(2018 නොවැම්බර් 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)
සිවු විය
නොඉක්මවූ මගේ කුඩා පුතු විවිධ වර්ණැති කුඩා සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරමින්
සිටියි. ඒ එක් එක් වර්ණයන් ඔහු වෙත පැහැදිලිව හඳුනා දෙන්නට මගේ බිරිඳ ගන්නේ අසීමිත
උත්සාහයකි. රතු වර්ණය රතු ලෙස ද, නිල් වර්ණය නිල් ලෙස ද යනාදී වශයෙන් පුතු අදාල
වර්ණ නිවැරදිව හඳුනාගන්නට සමත් වන විට ඇගේ මුහුණ සතුටින් පිරී යනු නිරීක්ෂණය කළ
හැකි ය. ඒ වැරදි වටහාගැනීම් මග හැර ගන්නට යළි යළිත් වර්ණ දක්වමින්, ඒ පුනරුච්චාරණය
කරවමින් සිදු කරන දීර්ඝ ප්‍රතිඵලයක අවසන ඇය ලබන ජයග්‍රහණය මතු නොව කුඩා පුතු නිවැරදිව
වර්ණ හඳුනාගන්නට සමත්වීම පිළිබඳ සතුට යන දෙකෙහිම එකතුවකි. ඇය මේ අත්විඳිමින්
සිටින්නේ දෘශ්‍ය සාක්ෂරතාවෙහි හෝඩිය හඳුනාගන්නා පුතුගේ දියුණුව දැකීමේ සතුටයි.
අක්ෂර සමගින්
ගණුදෙනු කොට, එක් එක් අක්ෂරයෙහි හැඩතල සමගින් ශබ්දය හඳුනාගැනීමට දරුවකු සමත් වන්නේ
නිශ්චිත වයසක් කරා ඔහු හෝ ඇය වර්ධනය වූ පසු ය. නමුත් වර්ණ සහ වෙනත් හැඩතල
හඳුනාගනිමින් සිය වටපිටාවෙහි දෘශ්‍ය ලෝකය වටහාගන්නට ඔහු හෝ ඇය ඉන් පෙරම සමත් වෙයි.
මව හා පියාගේ පටන් මිනිස් රූපකායන් හඳුනා ගනිමින් ද, වටපිටාවේ කුඩා සතුන්
හඳුනාගනිමින් ද සිය අවට ලෝකයේ ජීවිතය හඳුනාගන්නට සමත් වෙයි. මේ දෘශ්‍ය හඳුනාගැනීම්
අක්ෂර කියවා වටහාගැනීමට පෙළඹවීම හා ඉගැන්වීම තරම් අසීරු කාර්යයක් නොවන අතර බොහෝ
අවස්ථාවලදී දරුවාගේ වර්ධනය සමග සිදුවන ස්වාධීන තේරුම් ගැනීම මත ද නිතැතින් සිදුවන
අවස්ථා වන බව ද පැහැදිලි කරගැනීම අසීරු නැත.
කෙසේ
වෙතත්, රටක හෝ සමාජයක ‘දියුණුව‘ පිළිබඳ
දර්ශකයන්හිදී පෙරමුණෙහි තබමින් වටහාගන්නා සාක්ෂරතාව පිළිබඳ සාකච්ඡාවේදී අවධානය
යොමු වන්නේ අකුරු ලිවීමෙහි හා කියැවීමෙහි හැකියාව පදනම් කරගත් කලාපය මිස දෘශ්‍ය
සාක්ෂරතාව නොවන බව අපි දනිමු. යමෙකුට අකුරු කියවාගත හැකි වූ පමණින් හෝ සිය නාමය
ලියාගන්නට හැකි වූ පමණින් සාක්ෂරතාව සහිත පුද්ගලයෙකු ලෙස හඳුනාගත හැකි දැයි වන ප්‍රචලිත
පැනය රටක සාක්ෂරතාව මැනීමේ දර්ශකය ද ගැටළුවක් අභියස තබමින් යළි ඒ විමසුම දෙස හැරී
බලන්නට ආරාධනා කර ඇති බව නොරහසකි. එසේ වුව, මා යෝජනා කරන්නේ, අප ඉන් ද ඔබ්බට යමින්
සමාජයක් කොපමණ දෘශ්‍ය සාක්ෂරතාවකින් හෙබි දැයි විමසීම ද අත්‍යාවශ්‍ය බවයි.
කුඩා දරුවන්ගේ
ළදරු පාසැල් අධ්‍යාපන සමයෙන් අනතුරුව අපි දෘශ්‍ය සාක්ෂරතාව පිළිබඳ එහෙම පිටින්ම
අමතක කොට දමමු. එහෙත් එය වර්ණ සහ හැඩතල හඳුනාගැනීමේ, රූප හඳුනාගැනීමේ මූලික රාමුව
අභිබවා යන්නකි. තත්‍ය ලෙස දෘශ්‍ය සාක්ෂරතාවකින් හෙබි පුද්ගලයා අප වටා ඇති, අප වෙත
හමුවන, දෘශ්‍ය ලෝකය අර්ථ ගන්වා ගන්නට, වටහා ගන්නට, ඒ හා සමග ගණුදෙනු කරන්නට මෙන්ම
දෘශ්‍ය රූපවලින් නැගෙන සංකේතාර්ථ තේරුම් ගනිමින් අර්ථ නිරූපණය කරන්නට ද සමත් විය
යුතු ය. සැබවින්ම දෘශ්‍ය සාක්ෂරතාව යනු වර්ණ, හැඩතල, රූප හා සංඥාවලින් පිරී ඇති අප
අවට ලෝකය වටහා ගැනීමයි. එය චිත්‍ර ශිල්පය හදාරණ, නොඑසේනම්, සිනමාව, ගෘහ නිර්මාණ
ශිල්පය හෝ ඡායාරූප කලාව සමග ගණුදෙනු කරන, රූප හා වර්ණ සමග සෘජුව කටයුතු කරන
පිරිසකට සීමා වන්නක් නොවේ. සමස්ථ ප්‍රජාව වෙතම යොමු විය යුත්තකි.
අප අවට ලෝකය
දෙස මොහොතක් නැවතී බලන්න. නගර අවකාශයක හෝ ගම් පියසක භූ දර්ශනය දෙස මොහොතක් බලන්න.
ආලින්දයක වාඩි වී ටෙලිවිෂන දෙස ඇස් පිය නොහෙලා බලා සිටින නිවැසියන් පිරිසක් දෙස
බලන්න. ඒ ටෙලිවිෂනයෙන් ගෙන එන රූප එකතූන් දෙස බලන්න. ගොඩනැගිල්ලක පිළිවෙල හෝ
අපිළිවෙල දෙස බලන්න. සරලවම නම්, අවට වටපිටාවේ ඇති චංචල හෝ නිශ්චල ඕනෑම දෙයක් දෙස
බලන්න.
සුන්දර රටක්
ලෙස, ස්වභාව ධර්මය විසින් ලබා දුන් දායාදයට ඔබ්බෙන් ගොස්, අප විසින් නිර්මාණය
කරගෙන ඇති පරිසරයෙහි ඇති දෘශ්‍යමය වියමන ගැන ඔබට කොතරම් සෑහීමකට පත් විය හැකි ද?
අප නිර්මාණය කරගනිමින් පුරවැසියා වෙත එවන දෘශ්‍ය පණිවුඩ කොතරම් දුරට පොහොසත් ද?
ඒවා නිසි ලෙස කියවාගැනීමට පුරවැසි සමාජය සමත් ද? මේ ඇතුළු ආශ්‍රිත බොහෝ ගැටළුවලට
ඔබට ලැබෙන පිළිතුර සෘණාත්මක වීමට ඇති ඉඩකඩ බොහෝ ඉහළ බැව් මට නොබියව ප්‍රකාශ කළ
හැක. ඉන් හෙළිවන්නේ පොදු පුරවැසි සමාජයේ දෘශ්‍ය සාක්ෂරතාවෙහි දුර්වලතාව මිස අන්
කවරක් ද?
දරිද්‍රතාව
වඩාත් මනරම් නිවෙස්වලින් හෙබි වටපිටාවක් අප වෙත තබන්නට ප්‍රබල බාධකයක් බවට ඔබ තර්ක
කරන බව, ගෘහ නිර්මාණයන්හි ඇති දෘශ්‍ය රූපවල හිඟකම ගැන සාකච්ඡා කරන්නට මත්තෙන් මම
දනිමි. එහෙත් ස්වකීය සීමාවන් තුළ හිඳිමින් වුව, වටපිටාවෙහි ඇති භූමිය, සෙසු නිවාස,
වෘක්ෂලතාදිය සමග තබමින් විමසන නිවාස තනන්නන් අපට මුණගැසේ ද? එපරිද්දෙන්ම ඔබට ප්‍රති
තර්ක ඇත්තේ වුවත් පහත පැන කිහිපය ද, උදාහරණ ලෙස, ඔබ වෙත තබන්නට මම කැමැත්තෙමි. සිය
ආලින්දයේ ඇති ටෙලිවිෂනය, තමන් මිල දී ගත් අවස්ථාවේ පැවති වර්ණ සැකසීමෙහිම තබමින්,
කිසිදු වග විභාගයකින් තොරව එහි මැවෙන රූප දෙස බලන කොපමණ ප්‍රේක්ෂාගාරයක් අප වෙත වේ
ද? වඩා පොහොසත් දෘශ්‍ය සාක්ෂරතාවකින් හෙබි සමාජයක් අභියස, ඉතා දුර්වල රූප සංරචනා
සහිත, තෙවැනි පන්තියේ මෙගා ටෙලි නාට්‍ය ඇතුළු බොහෝ ටෙලිවිෂන් විප්‍රකාර, අවර ගණයේ
වීදි කඩ චිත්‍රපට, දියව යා යුතු නැති ද? සිය නෙත් සීමාවෙන්, බොහෝ විට තමන්ගේ
නිවසෙහි බැම්මෙන්, ඔබ්බෙහි තමන් විසින්ම ගොඩ ගසන කුණු කඳු පරිසරය පිළිබඳ පහන්
සිතුවමක් දකින්නට සමස්ථ පුරවැසි සමාජයටම බාධා එල්ල කරන්නේ ය යන කරුණට වැසියන්
සවිඥාණික ද?
දෘශ්‍ය රූපය
යන්න චිත්‍ර කලාව හා ආශ්‍රිත කලාපයේ අතහැර දමා ඒමේ ආදීනව අපි රටක් ලෙස අත්
විඳිමින් සිටිමු. නිල් - කොළ -රතු දේශපාලනික වර්ණයන් ඉක්මවූ තැන අපට වර්ණය
නොවැටහේ. රවුම් හා කොටු ආදී මූලික හැඩතලවලින් පසු අපට හැඩතල මුණගැසී නැත. රේඛීයව
ස්වකීය නෙත් අභියස සිට එක එල්ලේම යමින් සිටින සමාජයක් ලෙස අපට වක් ව, විකර්ණිකව හෝ
තිරස්ව නැගෙන රේඛාදිය පෙනෙන්නේ ද නැත. කැඩපත අභියස මුණගැසෙන ස්වකීය රූපය මිස බොහෝ
දෙනෙක් විවිධ හැඩගත් අරුමැසි, අපූර්ව සමාජයේ පුරවැසියන්ගේ අනේක රූප ද දැක නැත. තමන්ගේ
ඇඳුමෙහි පැළඳුමෙහි සිට ජීවන චර්යාවන් හරහා, කලාව හා දේශපාලනය දක්වාම මුණ ගැසෙන
දෘශ්‍ය ලෝකය හරයාත්මකව වටහා ගැනීමට දෘශ්‍ය සාක්ෂරතාවකින් හෙබි සමාජයක් වහා
නිර්මාණය කොට ගැනීමට අප කටයුතු කළ යුත්තේ එහෙයිනි.
-ප්‍රියන්ත
ෆොන්සේකා -
No comments:
Post a Comment