Wednesday, April 24, 2019

නමක් නැති නාට්‍ය කණ්ඩායමේ කතා හතර


(2019 අප්‍රේල් 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

‘මේක දාල කොහේ යන්න ද? මේක අපේ තැන!“

මේ පැනය අසන්නේ තරුණයෙකි. ඔහු ‘කටු රැවුලක් වැවුණු, ගිලුණු හකු පාඩා ඇති‘ හීන්දෑරි එකෙකි. ප්‍රශ්නය අසන්නට මොහොතකට පෙර, ඔහුට අහම්බෙන් හමුවුණු, මළ ගෙදරක ගොස් නිවෙස් බලා යමින් සිටි, ධර්මදාසත්, ප්‍රනාන්දුත්, රත්නායකත් ඔහුට බරපතල ලෙස පහර දී යන්නට ගිය බව ප්‍රේක්ෂාගාරයේ සිටින අප ඇසින් දැක අවසාන ය. දැඩි වේදනාවෙන්, සිය ජීවිකාව සරිකරගන්නට, එනම් බස් රථවල ගීත ගයන්නට භාවිතා කරන ගිටාරය අතට ගන්නා තරුණයා ‘පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා“ යැයි ගයද්දී වේදිකාවේ ආලෝක පහන් අවසන් වරට නිවී යයි.

‘අන්නේම්ඩ් තියටර් ගෘෘප්‘ නැතිනම් ‘නමක් නැති නාට්‍ය කණ්ඩායමේ‘ ඉදිරිපත් කිරීමක් වන ‘කෙටි නාට්‍ය ගොමුවෙහි‘ අවසන් කෙටි නාට්‍යයෙහි අවසානය එපරිදි ය. දෙවැනි වරටත් එම කෙටි නාට්‍ය එකතුව නරඹන්නට මම වාසනාවන්ත වූයේ පසුගියදා පේරාදෙණියේ පැවැත්වුණු ‘විභාවන‘ සිනමා හා කලා උළෙලේ දී එය රඟ දැක්වුණු හෙයිනි. එහෙත් මෙම තීරයෙහි ඒ පිළිබඳ ලියන්නට මා තීරණය කර ගෙන සිටියේ රුහුණු විශ්වවිද්‍යාලයේ දී එය මුලින් දුටු අවස්ථාවේ පටන් ය. ඔබ සමග සාකච්ඡා කළ යුතු, ඔබ සැම විසින් නැරඹිය යුතු බවට යෝජනා කළ යුතු අනගි නාට්‍ය එකතුවකි එය.

ඉන් පෙර නිමාවූ නාට්‍ය සතියේ දී රඟ දැක්වුණු ‘මනමෙ‘ සහ ‘සිංහබාහු‘ ප්‍රේක්ෂාගාරයෙන් හතරෙන් එකක්වත් ‘කෙටි නාට්‍ය ගොමුව‘ නරඹන්නට පැමිණ සිටියේ නැතත්, ‘මනමෙ‘, ‘සිංහබාහු‘ හෝ එම සතිය තුළ හමුවූ දීර්ඝ නාට්‍යවලින් ගෙන ආ භාවමය කම්පනයන්ට සමාන කම්පනයක් මෙම නාට්‍ය ගොමුව විසින් ප්‍රේක්ෂකයා හමුවේ නිර්මාණය නොකළේ වෙතත්, විනාඩි තිහ නොඉක්මවූ ‘කෙටි නාට්‍ය‘ හතරකින් ඉතා සංකීර්ණ කාරණා රැසක් ප්‍රේක්ෂකයා හමුවේ සාකච්ඡා කළ බැවිනුත්, මාහැඟි නාට්‍ය රසයක් එය අප වෙත ගෙනා හෙයිනුත් මම එය සොයා ගොස් නරඹන්නැයි ඔබට යෝජනා කරමි. එහෙත්, ඒ යෝජනාවට පළමු හේතුව එය නොවේ. නාට්‍ය ගොමුව මා වෙත නිර්මාණය කර ඇති තියුණු කම්පනයයි. එය ඔබත් විඳිය යුත්තකි.

තරුණ නාට්‍යකරුවන් පිරිසක් වසර ගණනක් තිස්සේ සිදු කළ වැඩමුළු ක්‍රියාකාරකම් හා හැදෑරීම්වල ඵලයකි, ‘කෙටි නාට්‍ය ගොමුව‘. නාමල් ජයසිංහද ඔවුන්ගේ නාට්‍ය වැඩමුළු හා එක්ව කටයුතු කර තිබුණ ද එම කණ්ඩායමේ තරුණ තරුණියන් වැඩි පිරිසක් ද ඔහු වෙතින් ලැබෙන ආලෝකය පිළිබඳ පමණක් විශ්වාසය නොතබමින් ස්ව-අධ්‍යයනයන් හරහා මෙම නිර්මාණවලට ස්වකීය දායකත්වය ලබා දී ඇති බැව් නාට්‍ය දැක්මෙන් අනතුරුව පැවති සාකච්ඡාව ප්‍රේක්ෂාගාරයට සාක්ෂි සැපයී ය. එම වැඩමුළු ‘වෙහෙස‘ අප වෙත තබන කෙටි නාට්‍ය මොනවා ද?

ආණ්ඩුවේ රස්සාව - සුරනි අනුපමා සමග සේවියර් කණිෂ්ක
‘ආණ්ඩුවේ රස්සාව‘ ඉන් පළමුවැන්නයි. රැකියාවක් නැති තරුණයෙක් සිය බැංකු සේවිකා පෙම්වතිය හා විවාහ වීමට ඇයගේ නිවසෙන් ඇති ප්‍රතිරෝධතා ජයගන්නට ‘ආණ්ඩුවේ රස්සාවකට‘ ඇයටත් හොරා අයදුම් කර ඇත. උද්‍යානයක ඔවුන් දෙදෙනා මුණගැසෙන මොහොතේ අපි ඔවුන්ගේ ප්‍රේක්ෂාගාරය වෙමු. හෙට සිට තරුණයා ‘ආණ්ඩුවේ රස්සාවක් කරන‘ එකෙකි. එහෙත් ඔහු ද, ඇය ද අර්බුද රැසක ය. හේතුව ඔහු දිනාගෙන ඇත්තේ ‘අලුගෝසු තනතුර‘ වීමයි!

සිය මධුසමය ගත කරන්නට පැරණි හෝටල් කාමරයකට ගොඩ වදින අලුත විවාපත් යුවලක් ‘කිරි අම්මා අවතාරය‘  නමැති දෙවැනි කෙටි නාට්‍යයේදී අපට මුණ ගැසෙයි. මධු සමයේ පළමු රාත්‍රියේ රෝමාන්තික බව මෙන්ම, මඟුල් උත්සවයේ දැඩි වෙහෙස ද ඔවුන් වෙත ඇත. එහෙත් සයනගත වීමේ උවමනාව ඉක්මවූ කරුණු රැසක් ‘කිරි අම්මලාගේ සහ සීයලාගේ අවතාරවල‘ වෙළී ඔවුන් හමුවට එයි. ප්‍රේක්ෂාගාරයේ අප පළමුව සිනාසෙන්නට පටන් ගත්ත ද මේ කරුණු සිනාසිය හැකි කරුණු නොවන බව දෙවනුව අපට දැනෙයි.

තෙවැන්නෙහි දී යළිත් අප හමුවන්නේ තරුණයෙකි. කෙටි නාට්‍යය ‘ප්‍රේමී කවිනළුව‘යි. තරුණයා කවි නළුවක් අප ඉදිරිපිට තබයි. ඔහු පාසැලේ දී සිංදු කීමට දක්ෂ නිසා සංගීතය කිරීමට තෝරා යවනු ලැබූ, ටවර් හෝල් රංග පාසැල විසින් දෙවරක් ප්‍රතික්ෂේප කරන ලද, නාට්‍ය හැදෑරීමට අවකාශ නොලැබුණු අයෙකි. බොහෝ දීර්ඝ නාට්‍ය ‘හදවතට නොදැනෙන‘ බව ඔහු කියයි. නාට්‍ය උළෙලවල ප්‍රතික්ෂේප වන නාට්‍ය ආකෘති ඔහු හඳුනාගෙන ඇති බැවින් ‘නැටුම් ටීචර්‘ කෙනෙක් යටතේ නාට්‍යය හදාරණ පාසැල් ශිෂ්‍යයින් කිහිප දෙනෙක් ඔහු සිය වේදිකාවේ තබාගෙන සිටියි. ඔහු ‘හදවතට දැනෙන්නට‘ ගයන්නේ සහ රඟන්නේ සිය පෙම්වතිය වෙනුවෙන් ලියූ කවි නළුවයි. එහි ආකෘතිය ඔහුට හමුවී ඇත්තේ පිටකොටුවේ මව්ගුණ ගැයෙන කවි බණ සීඩී ඇසීමෙනි!

‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු‘ හිදී හමුවන තරුණයාට නිවෙස බලා යාමට බසයක් නැත. ඔහු මහ රාත්‍රියේ අවසන් බස් රථය එනතුරු බස් නැවතුමක හිඳියි. ඔහු උපාධියක් ලැබ ඇතත් රැකියාවක් නැති නිසා බස් රථවල ගිටාරයක් වයමින් සිංදු කියන්නෙකි. ඔහුගේ බස් නැවතුම අසල නිදාගැනීමට එන ‘උම්මන්තකයා‘ එහි නොරැඳී වහා පලායන්නැයි ඔහුට කියයි. ඔහුට අනුව තරුණයාට ද ‘අනතුරක් අතළඟ‘ නිසා ය. මළගෙදරක ගොස් එන අතරතුර බස් රථය කැඩී යාම නිසා ප්‍රනාන්දු, ධර්මදාස සහ රත්නායක යන වියපත්, පෙර පරම්පරාවේ තිදෙන බීමතින් බස් නැවතුමට එන්නේ එවිට ය. විශ්‍රාමික පොලිස් නිලධාරියකු වන ප්‍රනාන්දුට ‘කටු රැවුල් සහිත, හකු පාඩා ගිළුණු‘ තරුණයා දැකල පුරුදු වන්නේ ද එවිට ය!

එකිනෙකට වෙනස් තානයන්ගෙන් මුත්, තියුණු හාස්‍ය මුසු ජවනිකා වේදිකාව තුළ නිර්මාණය කරමින් කෙටි නාට්‍ය හතරම ඉදිරියට ගලන්නේ ප්‍රේක්ෂාගාරය සිනාවේ ගිල්වමිනි. එහෙත් එය ‘චැප්ලින් ස්වරූප‘ හාස්‍යයකි. ආණ්ඩුවේ රස්සාවෙහි තරුණිය සිය පෙම්වතාගේ ටොයිලට් යාමට නොහැකි ප්‍රශ්නයටත් කුමක් හෝ පියවරක් ගන්නට යෝජනා කරන විට, ‘කිරි අම්මා අවතාරයෙහි‘ විවාපත් තරුණයා(ගේ සීයා) සිය (මුණුපුරාගේ)  මහත බිරිඳ දෑවැද්දක් නොමැතිව පැමිණීම ගැන බැණ වදින විට, ‘ප්‍රේමී කවි නළුවෙහි‘ තරුණයා සිය වේදිකාවේ ඉන්නා අවශේෂ චරිත නාට්‍ය උළෙලවලින් ප්‍රතික්ෂේප වීම වළක්වා ගන්නට බොරුවට තැබූ චරිත බව කියන විට මෙන්ම ‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නගමු‘ හි රත්නායක මහතා බීමත්ව, අරක්කු බෝතලය අසිපත ලෙස වනමින් ‘ආදී සිංහලුන් පිට දීප දේස ජයගත්තා‘ ගීතයට නටන විට අප සිනාසෙන්නේ ඇසින් පනින කඳුළු පිස දමමිනි. එහෙත් ඒ වියැළෙන්නට පෙරම සත්‍ය කඳුළු බිඳු අප නෙත නැගෙයි. ඒ කඳුළු මොනවා ද?

විරැකියාව තරුණ ජීවිත අර්බුදයෙන් අර්බුදයට යවා ඇත. ලිංගික ජීවිතය ඇතුළු ජීවිතයේ තෘප්තකර කලාප ආර්ථික හා සමාජ සීමා හා බැඳීම් විසින් අනාගතයේ නොදන්නා කලාප වෙත තල්ලු කර හරමින් ඔවුහු අසීමිත පීඩනයක තෙරපෙති. විවාහය වුව තෘප්තිය කැඳවා නොඑයි. ඒ පසුපසින් එන, නව පරපුරද අත නොහැරි සම්ප්‍රදායික පීඩන රාමු රැසකි. ගැහැණිය හා පිරිමියා විෂයයෙහි වෙන්වත්, එක්වත් බල පැවැත්වෙන සමාජ-දේශපාලනික සංකීර්ණතා ගොණුවකි. ඒ කිසිවක් හඳුනාගන්නට සමාජය පොහොසත් නැත. එය නිද්‍රාශීලීත්වය හැර දමන්නේ පිටකොටුවේ ‘කවි බණ‘ අසන්නට ය. සංකීර්ණ කලාත්මක ප්‍රකාශන ඔවුන්ට දුරවබෝධ ය. ඔවුන් ‘අඬන්නට ඇති‘ හා ‘සිනාසෙන්නට ඇති‘ දේවල්වල්වත් වෙන් කොට හඳුනා නොගනී. එම අසංවේදී සමාජය නිර්මාණය කිරීමේ වගකීම වත්මන් පරපුර මත තබමින් ‘මේ කාලකන්නි සමාජයට‘ සාප කරමින් පෙර පරම්පරාවේ රත්නායකලා, ධර්මදාසලා සහ ප්‍රනාන්දුලා තරුණයින්ගේ කණ් පළති!

‘කෙටි නාට්‍ය ගොමුව‘ එකිනෙකට වෙනස් ආඛ්‍යාන හතරක් තුළ බහා ලූ සමාජ කියවීමකි. එහි අපූර්වත්වය මුළු රටේම ප්‍රේක්ෂාගාරය හමුවේ තැබිය යුත්තේ එය නියත, මග නොහැරිය යුතු සාකච්ඡාවක් යෝජනා කරන බැවිනි.

(මෙම නාට්‍ය එකතුව සංවිධානය කිරීමට අදහස් කරන්නේ නම් ෆේස්බුක් අඩවිය හරහා නාමල් ජයසිංහ හෝ එම කණ්ඩායමේ සාමාජිකයෙකු සම්බන්ධ කරගැනීම මැනවැයි අදහස් කරමි.)




-ප්‍රියන්ත ෆොන්සේකා-   

No comments:

Post a Comment