Thursday, April 11, 2019

ශක්තික හා පෙළට සිටගනිමු: වාරණයේ භීෂණ මුහුණවරට එරෙහිව!


(2019 අප්‍රේල් 07 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

මෙය ලියන මේ මොහොතට වඩා, පළ කෙරෙන මොහොත වන විට, පුවත්පත ඔබ අතට පත් වන මොහොත වන විට, ශක්තික සත්කුමාර නාමය තවදුරටත් ජනප්‍රියව තිබෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඔහු ලියා ඇති ‘අර්ධ‘ නමැති කෙටි කතාවට එරෙහිව ‘බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුණ‘ නමැති සංවිධානයක් බුදුදහමට අපහාස වන්නේ යැයි පොල්ගහවෙල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව යෞවන සම්මාන දිනූ මෙම තරුණ කතුවරයා අප්‍රේල් 09 වැනි දින තෙක් බන්ධනාගාර ගත කොට ඇති බැවිණි. ශක්තික බන්ධනාගාරගත කිරීම සියලුම සංස්කෘතික පුරවැසියන් වහා එක්ව විරෝධය පළ කළ යුතු, ප්‍රකාශනයේ නිදහසෙහි සීමාව පිළිබඳ ප්‍රබල සංඥාවක් නිකුත් කරන බැවින් එක්ව ක්‍රියාත්මක විය යුතු මොහොතක් බැවිනි.

ශක්තික සිය ලේඛණ කටයුතුවල නිරතව තිබෙන්නේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවක නිරත වෙමින් ඒ ප්‍රදේශයේ සිය පදිංචි ස්ථානයේ සිට ය. ඔහුගේ ලිවීමට එරෙහිව නැගුණු භික්ෂු මූලික විරෝධය පිළිබඳ මා මේ කෙටි ලේඛණය තුළ විස්තර නොලියන්නේ ඒ පිළිබඳ මේ වන විටත් ඔබ සමාජ ජාල ඔස්සේ කියවා ඇති බවට විශ්වාස කරන හෙයිනි. අප එක්ව පෙළ ගැසිය යුතු පෙරමුණ විමසීම දැන් වඩා වැදගත් යැයි හැඟෙන හෙයිනි.

ශක්තික බන්ධනාගාරගත කිරීම, ඇසූ විගස අප තිගස්වන සුළු ය. සිය පියාගේ සහ ස්වාමි පුරුෂයාගේ උණුසුම දරු දෙදෙනෙකුට හා බිරිඳකට අහිමි කර ඇති බැවින් ද, ප්‍රකාශනයට එරෙහි පාලක-පූජ්‍ය ත්‍රස්තවාදයේ හැඩරුව ප්‍රකට කරන මෙන්ම නීතියේ ඇති පනත් කෙටුම්පත් ආදිය වර නැගෙන්නට පටන්ගෙන ඇති ආකාරය අප වහා විමසා බැලිය යුතු බැවින් ද එය නොපෙනෙන තරම් බිහිසුණු කලාප පිළිබඳ සංඥා සහිත බව මම යෝජනා කරමි. කතුවර කම්මැල්ලවීර ඇතුළු කිහිප දෙනෙකුම මේ වන විටත් එයට එරෙහිව සිය ක්‍රියාකාරී මැදිහත්වීම සිදු කර ඇති බව මෙය ලියන මොහොත වන විටත් පෙනෙන්නට තිබෙන අතර ඉදිරි දින කිහිපයේ දී එය තව දුරටත් වැඩී නැගෙනු ඇති බවට විශ්වාස කළ හැක. කෙසේ වෙතත්, ශක්තිකට ශක්තියක් වීම යනු තරුණ ලේඛකයෙකු වෙත ගෙනා බිහිසුණු සිරගත කිරීමක් ඉක්මවන අනාගත භීෂණත්වයක හැඟවුමක් බැවින් අප ශක්තිමත් පවුරක එක්ව සිටගැනීමත්, වඩාත් ඉදිරි දැක්මකින් යුතුව ක්‍රියාත්මක වීමත් අත්‍යාවශ්‍ය බැව් පෙනේ.

ශක්තිකට විරුද්ධව චෝදනාවක් නැගෙන්නේ ඇයි?

දැනගන්නට ඇති තොරතුරු පරිදි, ඔහු ලියා ඇති කෙටි කතාවක ප්‍රධාන චරිතය සිවුර හැර දමා එන තරුණයකු වීම හා එම චරිතය හරහා සාකච්ඡා කෙරෙන භික්ෂු සමාජය සම්බන්ධ කාරණා එම චෝදනාවට මග පාදා ඇති බව පෙනේ. ‘බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුණ‘ හා/හෝ සෙසු චෝදනා කරන පිරිස් ඔහුට විරුද්ධව ඔහුගේ සේවා ස්ථානයේ ප්‍රධානීන් මුණගැසෙන්නේත්, අනතුරුව පොල්ගහවෙල පොලිස් ස්ථානය වෙත දිව යන්නේත් මේ කරුණු පාදක කොටගෙන බුදුදහමට නිගා වී ඇති බැව් චෝදනා කරමින් බව පෙනේ. මේ වන විටත්, සමාජ ජාලවල බොහෝ විචාරශීලී පුරවැසියන් ප්‍රශ්න කොට ඇති පරිදිම පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි තරුණ, තනි ලේඛකයෙකුගේ කුඩා කෙටි කථාවකින් ප්‍රබල ආගමික දර්ශනයක් නිග්‍රහයට පත් කරන්නේ කෙසේ ද හා එවැන්නකින් එවැනි තිරසාර දහමක් සෙළවෙන්නේ කෙසේද යන්න යන පැනය අපටත් නැගිය හැක. එහෙත්, එය නිස්සාර පැනයක් වන්නේම, චෝදනාව රැගෙන දුවයන කණ්ඩායම කිසිදු අයුරකින් මෙම පැනයට පිළිතුරු දිය හැකි පාර්ශවයක නොඉන්නා බව ඔවුන්ගේම චෝදනා ලිපියක් මගින් හෙළිදරව් කෙරෙන බැවිනි. ප්‍රබල මානව දයාවකින්, මහා කරුණා ගුණයකින් තමන් වෙත ගල් පෙරළූ අංගුලිමාල පාර්ශවය දෙස බැලූ බුදු රදුන් අනු නොයන මෙම කණ්ඩායම ශක්තික හඳුනාගන්නේම ද්වේශසහගත නෙත්වලින් බව එම ලිපිය සපථ කර දෙයි. 

ශක්තික සත්කුමාර, මුල් නමින් හා දෙවැනි නමින්ම, ශක්තිය හා සත්භාවය පිළිබඳ සංකේත අර්ථ දෙකක් අප වෙත තබා ඇත. අප ශක්තිමත් විය යුත්තේ මූලධර්මවාදී ඉස්ලාම් ලෝක ප්‍රජාව රුෂ්ඩිගේ හිස ඉල්ලූ පරිද්දෙන් මූලධර්මවාදී බෞද්ධ ප්‍රජාව ශක්තිකලාගේ හිස් නොඉල්ලන පසුබිමක් තනා ගන්නට ය. අප ශක්තිමත් විය යුත්තේ සත්භාවයකින් යුතුව සිය පෑන මෙහෙයවන සියළුම ආකාරයේ ලේඛක ප්‍රජාවන්ගේ ලිවීමේ නිදහසට පවුරු නොබැඳෙන ශක්තිමත් පසුබිමක් තනා ගන්නට ය. ඒ සඳහා අප වැඩ කළ යුතු ය.

සොක්‍රටීස් අප වෙනුවෙන් පානය කළ විස බඳුනේ පටන් ශක්තික මේ මොහොතේ ජීවත් වන කෑගල්ල බන්ධනාගාරය දක්වාම රාජ්‍යය හා ආගම වෙන් වශයෙන් හෝ බොහෝ විට රාජ්‍යය හා ආගම එක්ව පුරවැසියාගේ ප්‍රකාශන නිදහසට සීමා පනවමින් සිය පාලන කලාපය තුළ ඔවුන් තබාගන්නට තැත් කළ වෑයම් හමු වෙයි. එයට එරෙහිව ලද ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද අතීත විමසුම් තුළ හමුවෙයි. පරාජයන් බොහෝ විට සටන්කරුවා වෙත හිමිව ඇත්තේ ද සිය අයිතියත්, පුරවැසි සමාජයේ අයිතියත් වෙනුවෙන් කළ සටන් කිරීම්වලින් අනතුරුව බව ද පෙනෙන්නට තිබේ. අප ශක්තිකගේ ශක්තියට පවුරු බැඳිය යුත්තේ ද ඒ සියල්ල සිත්හි තබා ගනිමිනි.

යම් ශාස්ත්‍රෑවරයකු විසින් හෝ යම් යුගයක් හෝ අවස්ථාවක් විසින් නිර්මාණය කරන ලද වටිනා, තාර්කික දර්ශනයන් කාලයාගේ ඇවෑමෙන් රාජ්‍යයන්ගේත්, එම දර්ශනය අනුයන බව කියන අනුගාමික පූජ්‍ය හෝ වෙනයම් අනුගාමික පක්ෂයන්ගේත් ආයුධ බවට පත්වීම ලෝක ඉතිහාසය මුළුල්ලේ නිරන්තරව සිදුවෙමින් පවතින්නකි. මෑතකාලීනව අප රටෙහි ක්‍රමිකව නැගෙමින් පවතින අසීමිත භක්තියකින් හෙබි උපාසක උපාසිකාවන් පිරිවරාගත් ‘නිසැක‘ ධාතු වන්දනාවල සිට මල්, පළතුරු පූජා හරහා ශක්තිකගේ බන්ධනාගාරගත කිරීම දක්වාම පසුබිම්ගත වන්නේ බුදුදහමෙහි ව්‍යවහාරික පක්ෂයේ ක්‍රමික මූලධාර්මික සංස්ථා වෙත කෙරෙන අභිනික්මන බව සැක හැර වටහාගත හැකි ය.

ශක්තිකගේ සිද්ධිය තනි, ඒකල කරුණක් ලෙස නොගෙන දියුණු සංස්කෘතික පුරවැසි ප්‍රජාව ශක්තිමත් පවුරක් ලෙස එක්ව නැගිය යුත්තේ බන්ධනාගාරයෙන් නොනැවතී හෙට එවැන්නෙකුගේ හිස ඉල්ලන්නට තරම් භීෂණකාරී ප්‍රවේශයකට යන්නට වුව ආගමික මූලධර්මවාදය පසුබට නොවනු ඇති හෙයිනි. ඊටත් වඩා, එල්ලුම් ගස්, දඬුවම් සහිත භීෂණයක් විශ්වාස කරන ප්‍රජාවක් හා නායකයෙකු අපට ඉදිරියෙන් වන හෙයිනි. ඒ අනුහසින්, එය ‘මල්ඵල ගැන්වීමට වුව දෙවරක් නොසිතන‘ අනාගත ‘දියසේන‘ කුමරකු පහළ වීම වුව සිදුවිය හැක්කක් බැවිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -


2 comments:

  1. මා විසින් ලියන ලද "පොඩි හාමුදුරුවෝ" කෙටි කතාව මා විසින්ම මගේ බ්ලොග් එකෙන් ඉවත් කරන ලදී. නහින දෙහින කාලයේ හිරේ ඉන්න මට බැරි නිසා.සමාජය තුළ සිදුවන දේ නිර්මාණයක් තුළින් ප්‍රකාශ කිරීම මෙතරම් වරදක්ද ?

    ReplyDelete
  2. ලබ්බට තැබූ අත පුහුලටත් තියන්නට කලින් ලියන, කියන, හිතන සියලු දෙනාම චීවර පාතාලයට එරෙහිව නැගී සිටිය යුතුයි.

    ReplyDelete