(2020 අගෝස්තු 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
1967 වර්ෂයේ දී එවකට රජයේ අමාත්‍යවරයෙකු වූ ජේ ආර් ජයවර්ධන විසින් ගෙන එන ලද යෝජනාවකට අනුව පිහිටුවෙන ජාතික තරුණ සේවා සභාව එහි ඉතිහාස පුවතට අනුව වඩාත් දියුණු මාවතකට පිළිපන්ව ඇත්තේ 1977න් පසු එළඹෙන එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ය. ජනතා අප්‍රසාදයට බඳුන් ව තිබුණු සභාව වසා දැමීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට චරිත රත්වත්තේ වෙත කෙරුණු භාරදීම කෙළවර වී ඇත්තේ ඔහු යටතේ වඩාත් කාර්යක්ෂම හා විවිධාංගීකරණය වූ තරුණ සේවා සභාවක් එළි දැකීමෙනි. එවකට රජයේ තරුණ කටයුතු අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ යටතේ නැගුණු ජාතික තරුණ සේවා සභාව ජපාන රජයේ ආධාරයෙන් මහරගම ගොඩනැගෙන අපූර්ව පරිශ්‍රයක් වෙත යොමු වන්නේද මේ සමයේ දී ය.
රජයේ සෘජු පාලනය යටතේ පැවතීම නිසා ම බලය හිමිකරගන්නා පාර්ශවයන්ගේ සෘජු බලපෑමට නතු වන ආයතන ලයිස්තුවට ජාතික තරුණ සේවා සභාව ද එක් වූ නමුත් 1980 දශකය එම සභාව යටතේ ක්‍රීඩා, සංස්කෘතික, පුහුණු, අධ්‍යාපනික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සාධනීය මැදිහත්වීම් සිදුකෙරුණු යුගයක් බව නොරහසකි. ඉන් පසුව එළඹුණු කාල සමයන් තුළ වුව තරුණ සේවා සභාවේ මැදිහත්වීම් ජාතික තලයේ අවධානය දිනාගන්නා මට්ටමකින් සිදු වූ අවස්ථා නොතිබූයේ නොවේ. මුල් යුගයේ බෙල්වුඩ් රූපවාහිනී ගම්මානය ආශ්‍රිතව නැගී ආ සංගීත, නර්තන ආදී කණ්ඩායම් ජාතික කලා භාවිතය තුළ ඇති කළ බලපෑම සුළු නොවේ. තරුණයන් හමුවේ මුණගැසුනු එකම ජාතික නාට්‍ය උළෙල වූ යොවුන් නාට්‍ය උළෙල ගෙවුණු දශක කිහිපය තුළ රටේ නාට්‍ය ක්ෂේත්‍රය වෙත කළ මැදිහත්වීම ද ප්‍රබල ය.
ජාතික තරුණ සේවා සභාව පිළිබඳ විවිධාකාර සංඥා ඒ ඒ සමයන් හි සමාජය තුළ පැතිර ගිය අන්දම අපට සිහි කළ හැක. කලා හා සංස්කෘතික කලාපය එහිලා සුවිශේෂ ය. චන්ද්‍රලේඛා පෙරේරා, ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඇතුළු ගායක ගායිකාවන් ලාංකික ගීත කෙත තුළ සිය නාමයන් සටහන් කරන්නේද, රාජිත දිසානායක, ධනංජය කරුණාරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, ඉන්දික ෆර්ඩිනැන්ඩු වැනි පසුකාලීනව ජාතික නාට්‍ය තලය තුළ ප්‍රමුඛ මැදිහත්වීම් සිදු කළ නාට්‍යකරුවන් හඳුනා ගැනෙන්නේ ද තරුණ සේවා සභාවේ කටයුතු හරහා ය.
ඉහත ප්‍රමුඛ නාට්‍යකරුවන් තරමටම අත්දැකීම් නොවෙතත් තරුණ සේවා සභාව මගින් සංවිධානය කෙරුණු යොවුන් නාට්‍ය උළෙල වෙත කෙටි නාට්‍යයක් හා දිගු නාට්‍යයක් ඉදිරිපත් කොට ඇති අයෙකු ලෙස ඒ හා බැඳුණු මතක ආවර්ජන මවෙත ද ඇත. 1996 වර්ෂයේදී යොවුන් නාට්‍ය උළෙලට මා ඉදිරිපත් කළ ‘නොනිමි’ නම් ලද කෙටි නාට්‍යය තරුණ ප්‍රාදේශීය නිර්මාණකරුවෙකු ලෙස සුගතපාල ද සිල්වා මහතා මුණගැසීමට වාසනාව හිමිවූ එකම අවස්ථාව ලෙස මගේ මතකය තුළ ඉතිරිව ඇත. ප්‍රාදේශීය වටයට මා ඉදිරිපත් කළ නාට්‍යය පිළිබඳ ස්වකීය අදහස් ඔහු මා වෙත ගෙන ආවේ එම වටය විනිශ්චය කිරීමට පැමිණි විනිසුරුවකු ලෙස නොව සිය දරුවකුට මගපෙන්වන පියකු ලෙසිනි. එය උළෙලේ අවසන් වටය නියෝජනය කළේ එම අදහස්වලින් මා ලද පන්නරය ද සමගිනි.
නිසැකවම මා වැනි නිර්මාණකරුවන්ට ස්වකීය යොවුන් නාට්‍ය නිර්මාණ ඉතිහාසය තුළ සුගතපාල ද සිල්වා යන පීතෘ සංඥාව රැඳී ඇතුවාට සැක නැත. එය වඩාත් මා වෙත තහවුරු වූයේ ධනංජය කරුණාරත්න විසින් පසු කලෙක මවෙත පැවැසූ ඔහුගේ අතීත ස්මරණයන් සමගය. තරුණ නාට්‍යකරුවෙකු ලෙස ඔහු සිය නිර්මාණ වෙත ප්‍රවේශ වෙමින් උන් සමයේ සුගතපාල ද සිල්වා මහතා සමග, එතුමන් නාට්‍යකරුවන්ගේ කෘති විමසමින් යන පසුබිමෙහි අසුන්ගෙන, ඔහුගේ අර්ථ විවරණ විමසමින් ගතකළ ආකාරය රසවත්ව ධනංජය කරුණාරත්න විසින් වරෙක සිහි කැඳවනු ලැබීය. ඒ අනුව, තරුණයෙකු නොවූවද, සුගතපාල ද සිල්වා ජාතික තරුණ සේවා සභාව පිළිබඳ අතීත සංඥාවකි. එහි නාට්‍ය හා බැඳුණු කලාපය තුළ මකා නොදැමිය හැකි පුරාවතකි.
සුගතපාල ද සිල්වා සංඥාව යළිත් මගේ මනස වෙත නැගුනේ නව තරුණ කටයුතු අමාත්‍යවරයා ස්වකීය පාලන කලාපය තුළ වන ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙත සිදුකළ නව පත්වීම් දෙකක් පිළිබඳ පුවත නෙත ගැටීමත් සමඟ ය. මහ මැතිවරණයට සතියකට පෙර ආන්දෝලනාත්මක යූටියුබ් ගීතයක් තැනූ ඉරාජ් වීරරත්න ද, ජනාධිපතිවරණය වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ ගීතය ගැයූ ටෙහානි ඉමාරා ද එම ධූරයන් දෙක දිනා ඇත. ඒ හා සමග ඉමාරා කෙසේ වුව වීරරත්න සංඥාව තරුණ සේවා සභාව හා බැඳී නුදුරු සමය තුළ නැගෙනු ඇත.
සුගතපාල ද සිල්වා මහතා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල ධුරයක කටයුතු කළ බවක් මා අසා නැත. කෙසේ වෙතත් ඔහු වැන්නෙකු එහි නාට්‍ය කලාපය හා සම්බන්ධ කරගන්නට එවකට එහි උන් අධ්‍යක්ෂ මණ්ඩලවලට අවබෝධය තිබී ඇත. ලාංකික නාට්‍ය කෙත හා සම්බන්ධ දශක කිහිපයක මෑත ඉතිහාසයේ සිතියම හැඩ ගන්වන්නට සිල්වා මහතාගේ දායකත්වය තැනෙන්නේ එම තීරණවලට පින් සිදුවන්නට ය.
සුගතපාල ද
සිල්වා සංඥාව මකා දැමීමට වීරරත්න සංඥාවකට අවකාශ නොලැබෙනු ඇතත් ඔහුගේ
මැදිහත්වීම හේතුවෙන් අනාගතය තුළ නැගෙන්නට ඉඩ ඇති සංඥා කවරාකාරදැයි යන්න අනාගත කලා
සංස්කෘතික කලාපය අපට කියා දෙනු ඇත. ඒවා සරලමතික නොවන බව නම් සිය මැදිහත්වීම්
හරහා වීරරත්න දැනටම සංඥා කොට හමාරය.
- ප්‍රියන්ත ෆොන්සේකා -
No comments:
Post a Comment