Sunday, December 20, 2020

මුහුණ හෙළි කිරීමේ සදාචාරය: මාධ්‍ය හැසිරීම උරගා බලනු වස්...

(2020 ‍‍දෙසැම්බර් 20 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)


‘මුහුණ’ ගෙවුණු වසර ගණනාව තුළ දැඩිව අවධානයට ලක් වුණු මිනිස් සිරුරු කලාපය බවට පත් වූයේ ත්‍රස්තවාදය, වසංගතය මෙන්ම මහජන විරෝධතා ඇතුළු බොහෝ තන්හිදී මුහුණට ලැබුණු වටිනාකම හේතුවෙනි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් මුසල්මානුවන් වූ හෙයින්ම එතෙක් යම් සීමා තුළ පැවති මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු සහ හිස් වස්නා පිළිබඳ බරපතල විරෝධයක් මතුව ආවේ එම වැස්ම තුළ සැඟවී ත්‍රස්තවාදියෙකුට වුව ප්‍රහාරයට මං සොයා ගත හැකි ය යන තර්කයෙනි. ඒ හේතුවෙන්ම හිස් සහ මුහුණු ආවරණ සහිතව, විශේෂයෙන් නිකාබයන් පැළඳ, වෙළඳ සැල් ආදියට ඇතුළු වීම තහනම් කරමින් පළ කළ දැන්වීම් අපගේ නෙත ගැටිණ. උත්ප්‍රාසජනක ලෙස වසර එක හමාරක් ගත වද්දීම සියල්ලන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කෙරුණු දැන්වීම් පෙර කී දැන්වීම් තිබුණු ස්ථානයන්ට පැමිණියේ පාස්කු ප්‍රහාර සංවාදය මකා දමමින් විශ්ව ව්‍යාප්ත කොරෝනා වසංගත භීතිය පෙරට පැමිණි හෙයිනි.

පළමුවැන්නේ දී හැර පෙන්විය යුතු වූයේ මුහුණ යි. දෙවැන්නේ දී වසා දැමිය යුතු වූයේ මුහුණ යි!

ඒ සිදුවීම් මාලාවට කෙටි කලකට පෙර දිවයිනේ ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක් සිය මාධ්‍ය වෙත විරෝධතා ලිපි රැගෙන, කළු රෙදි කඩවලින්, දෙනෙත් පමණක් විවර වන පරිදි, මුහුණු වසා පැමිණි විරෝධතාකරුවන්ගේ මුහුණු, ඔවුන් ඒ ඉවත් කළ මොහොතවල රූගත කොට ජනතාව හමුවේ රත් පැහැයෙන් රවුම් කොට තැබුවේ භයානක ත්‍රස්තයින් පිරිසක් හෙළිදරව් කරගත් අයුරින් වුවත්, ඔවුන්ගේ කැමරා කාචවල සටහන්ව තිබුණේ චාන්දනී සෙනෙවිරත්න, නදී කම්මැල්ලවීර, විදර්ශන කන්නන්ගර, කෞෂල්‍යා ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා ඇතුළු නළු නිළියන් සහ සමාජ ක්‍රියාධරයින් පිරිසකි. මුහුණ යළිත් භයානක ‘දෙයක්’ ලෙස හුවා දැක්වෙද්දී, විරෝධතාකරුවන්ගේ මූලික යොමුව වූ මාධ්‍යයේ යහ-භාවිතාව වෙනුවෙන් ඉදිරියට ආ සමාජ ජාලවල ක්‍රියාකාරී පිරිස් ද සිය මුහුණු රතු වර්ණයෙන් රවුම් කර ‘ජඩ මාධ්‍ය භාවිතයට’ සිය විරෝධය ෆේස්බුක් අඩවිය ඇතුළු සමාජ ජාල හරහා බෙදා හැරිය හ.

ඒ අනුව, තෙවැන්නේ දී රවුම් වූයේ මුහුණ යි!

දැන් යළිත් මුහුණ හෙළි කිරීම පිළිබඳ කතා බහක් කරළියට පැමිණ ඇත. මෙය මුලින්ම මගේ කණ වැකුණේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා විසින් කරනු ලැබූ නිවේදනයක් පුවත්පත් විසින් පළ කරන ලදුව, එය ගුවන් විදුලි නාලිකාවක් විසින් උපුටා කියවද්දී ය. සෑම ගුවන් විදුලි සහ ටෙලිවිෂන නාලිකාවක්ම පාහේ තරගයට මෙන් උදෑසන පත්තර කියවනු ලබතත්, කිසිදු නාලිකාවක් තමන් අතට පත් වන පුවත්පත් වාර්තා යළි විචාරාත්මකව විමසන්නට සූදානම් බවක් පෙන්වන්නේ නැත. ඉහත ‘මුහුණු හෙළි කිරීමේ පුවත’ ද ඒ අනුව ‘මව්බිම’ පුවත්පත ගෙන එන්නක් ලෙස ඔවුන් ඉදිරිපත් කළේ එයට යම් ඇගයීමකුත් එක් කරමිනි.

මේ ‘මුහුණු හෙළි කිරීම’ කුමක් ද?

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, නින්දිත ලෙස පාර මැද තබා පහර ගැසීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්නන් සමාජය වෙත මුහුණු හෙළි කිරීම ඔස්සේ හඳුන්වා දීම මෙම ක්‍රියාදාමයයි. අමාත්‍යවරයා පවසන පරිදි ඔවුන් මේ සඳහා පියවර ගන්නට යන්නේ නඩු පැවරීමට සමාන්තරව ය. එනම් නඩුවකින් වරදකරුවකු වීමට ප්‍රථම ය!

“ඇත්තටම ඇයි මේ ගොල්ලො සමාජෙට හෙළි නොකරන්නෙ කියල නොසෑහෙන්න මිනිස්සු කතා වෙනව.” යනුවෙන් ගුවන් විදුලි නාලිකාවේ පෝතක ජෝඩුව ද මහත් උද්දාමයෙන් යට කී තීරණය අනුමත කරමින් පුවත වාර්තා කරනු කණ වැකෙත්ම ම’තුළ භීතියක් නැගිණ. ඒ ඇයි?

අප සමාජය කොහොමටත් දරුණු ය. වරද කාගේ වුවත්, මාර්ග අනතුරකදී අදාල රථය ගිනි තබන්නටත්, රියදුරාට දැඩි ලෙස පහර දෙන්නටත් මොහොතකින් පෙරට එන හමුදා ඕනෑම මහමගක් ආසන්නයේ සීරුවෙන් සිටින සමාජයක් අභියස අපි රිය පදවමු. සැක කටයුතු තැනැත්තන් සොරුන් ලෙස සළකා ගස් බැඳ පහර දුන් පුවත්, ස්ත්‍රී හා ළමා අපචාර පිළිබඳ සැකය පළ වූ සැණින් අදාල අයවළුන්ගේ අත් පා බිඳ දැමූ පුවත් අපගේ කණ වැකෙන්නේ කලාතුරකින් නොවේ. කහවත්ත ඝාතන රැල්ලේ දී, ප්‍රසිද්ධියට පත් වූ දැරියක අපචාරයට ලක් කොට මරා දැමූ සිදුවීමක දී වරද නොකළ පුද්ගලයින් වරදකරුවන් කිරීමේ ඛේදනීය වරදවල් අපට යළි හැරවිය නොහැකි ඛේදයන් ඉතිරි කොට ඇත්තේ එම අවිහිංසකයින් දිවි නසා ගැනීම දක්වා සිදුවීම් දිගුවීම හරහා ය.

දැන් අපි, රජයේ ද මැදිහත්වීමෙන්, වරද සඳහා සැකකරුවන් සමාජයට හෙළි කිරීමේ උද්දාමය අත් විඳින්නට සූදානමින් සිටිමු. එම හෙළි කිරීම්, යළිත් දරුණු හිංසනය, වධ බන්ධන සහ මරා දැමීම ඔවුන් වෙත කැඳවන්නේ නැති බවට දිය හැකි සහතිකයක් ඇත් ද? ස්ථිර ලෙසම උසාවියක් වෙතින් වරදකරුවකු බවට පත් වන තුරුම ඔහු/ඇය වරද කළ බවට නොපිළිගන්නේ නම් ඔවුන් සමාජයට හෙළි කිරීමට අප වෙත ඇති අයිතිය කුමක් ද?

කෙසේ වෙතත්, දැන් අපට මාධ්‍ය ආයතන වෙත අභියෝගයක් ඉදිරිපත් කළ හැකි ය. මෙම සදාචාර නොවන එළඹුම හමුවේ ස්වකීය මාධ්‍ය සදාචාරය සුරක්ෂිත කරනු වස් අප නම් මුහුණු හෙළි කරන්නට ඉදිරිපත් නොවන බව ඔවුන්ට පෙරළා ප්‍රකාශ කළ හැකි ය. වඩා යහපත් සමාජයක් සෑදීම යනු වරදකරුවන් හෙළි කරමින්, මුහුණු පෙන්වමින් (මාධ්‍ය ආයතනයක් මෙය හැඳින්වූයේ, සතුටින් හිනැහෙමින්, ලජ්ජාව විලි ලැජ්ජාව බවට පත් කිරීම ලෙස ය) කටයුතු කිරීම නොව ඉතා ප්‍රබල ලෙස අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය දැක්මක් සහිතව එළඹ පුරවැසි ප්‍රජාව ඉහළට ඔසවා තැබීම බව රජයට වුව හැරී ප්‍රකාශ කිරීමට මාධ්‍යයට හැකි විය යුතු ය.

ඒ සඳහා පියවර තබන මාධ්‍ය ආයතන හිඳීවි ද? අපට ඇත්තේ ඉදිරිය දෙස බලා සිටීම ය.

-          ප්‍රියන්ත ෆොන්සේකා -  

1 comment:

  1. මෙය කියවන මොහොත වන විටත් එසේ හෙලිදරව් කරන ලද මුහුණු තුනක් වෙබ් පුවත් අඩවියක දැකගන්නට ලැබුණි.සැකකරුවන්ගේ අනන්‍යතාව මෙසේ හෙලිදරව් කිරීම නීතිය අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට ද බාධාවක් වන නිසා එයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මානව හිමිකම් සංවිධාන වලට තිබේ.

    ReplyDelete