Wednesday, August 8, 2018

පතී සර්...! : අසම්මත ගුරුවරයා


ප්‍රවිශ්ටය

“පතී සර් ගැන ශිෂ්‍යයෙක් දකින හැටියට ලියන්න... ඔයාට තමයි ඒක කරන්න පුළුවන්!“

ඔබ අතැති මේ කෘතිය සම්පාදනය වන අවධියේ මා ඇමතූ අතුල සර් (අතුල සමරකෝන්) කියා සිටියේ ය. මහාචාර්ය සිවමෝහන් සුමති, සෙනේෂ් බණ්ඩාර දිසානායක ඇතුළු කෘතිය හා සම්බන්ධව උන් සෙසු පිරිස එය අනුමත කළ හ. මා වෙත ලද ගෞරවයක් ලෙස එය පිළිගත් මම මගේ ආදරණීය ගුරුවරයා ගැන ලියන්නට මහත් උද්දාමයෙන් පෑන අතට ගත්තෙමි. එහෙත්... මහා විසල් රුකක්ව අපට සෙවණ සදා දුන් ගුරුවරයෙකු, මග හෙළි කරමින් අප යන මග දෙස නෙත් යොමාගෙනම උන් ගුරුවරයකු, සරල වදනින් කියන්නේ නම්... ඔබ සිත තුළ මැවී නැගෙන ‘සම්මත උත්තම ස්වරූපයේ‘ ගුරුවරයකු මා අභියස නොමැති බව මට වැටහෙන්නට ගත්තේ ‘පතී සර්‘ ගැන අතීතය දෙසට හැරී මෙනෙහි කරන්නට ගත් පසු ය. ඔහු ‘සම්මත‘ ගුරුවරයෙකු ලෙස අප අභියස කිසි දිනක පෙනී සිට නොමැති බවත්, විසල් රුකක්ව අප සෙවණක තබා තනා නොමැති බවත් මට පසක් වූයේ, එක් එක් අවධි හරහා දශක දෙකකට ආසන්න කාලයක් පුරා ඔහු වෙතින් ලද ඇසුර සිහි කරන විට ය. ඔහු ‘අසම්මත‘ ගුරුවරයෙකි; සෙවණ සාදන රුකක් වෙනුවට ආලෝකය අප මත පතිත වන්නට සියලු අතු පතර මෑත් කරමින් දුරින් සිට බලා උන් කදිම මිනිසෙකි!

‘සම්මත‘ රූප මකා දමන්නට සිදු වීම ගැන කිසිවකු උරණ නොවනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඒ අසම්මත ගුරුවරයා ගැන දැන් මම ලියමි!


‘පතී සර්‘ මුලින්ම අපට මුණ ගැසෙන්නේ 1999 වර්ෂයේ දී ය. පේරාදෙණියේ ශාස්ත්‍ර‍ පීඨයේ පළමු වසර කෙළවර කර උන් අපි ජනප්‍රියව තිබුණු හා ආකර්ෂණීයව තිබුණු සිංහල සහ පුරා විද්‍යාව අතහැර ලලිත කලා විෂයය විශේෂ උපාධිය සඳහා තෝරා ගතිමු (‘අපි‘ යනුවෙන් යෙදෙන්නේ මා සමග සංජීව කුමාර සහ සුදර්ශන බණ්ඩාර යන මිතුරන් දෙදෙනා ද වූ හෙයිනි.). සිංහල අධ්‍යයනාංශය යටතේ පාඨමාලාවක් ලෙස පමණක් පැවති ලලිත කලා විෂයය තෝරා ගැනීම තරමක දඩබ්බර තීරණයක් වූ අතර එහි විශේෂ විෂයය වෙනුවෙන් ද අපි කුඩා අරගලයක් දියත් කළෙමු. ඒ, එවකට එහි පාඨමාලා සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ ආචාර්ය මයිකල් ප්‍ර‍නාන්දු හමුවේ මෙවැන්නක් පවසමිනි.

“සර්... අපි ෆයින් ආට්ස් ස්පෙෂල් කරන්න කැමතියි. හැබැයි ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන්වලින්. නාට්‍ය හා රංගකලාව හරි සංගීතය හරි එක්ක නං නෙවෙයි!“

“ඒක සිලබස් එකේ තිබුණට තාම අපිට ඔෆර් කරන්න බැහැනෙ. කවුද උගන්නන්නෙ?“ මයිකල් සර් පිළිතුරු දුන්නේ ය.

“එහෙනං අපි පුරා විද්‍යාව කරන්න යනවා“

“හරි... මට දවස් කීපයක් දෙන්න. බලමු මොනවද කරන්න පුළුවන් කියල“

අනතුරුව එළඹුණු සතියේ අපට කතා කළ මයිකල් සර් සිනමාව හා ටෙලිවිෂනය සඳහා ගුරුවරුන් සොයාගත් බව කියා පාඨමාලාවට ලියාපදිංචි වන්නට අපට ආරාධනා කළේ ය. සිනමා ඉතිහාසය සහ සිනමා කලාව හඳුන්වා දෙන්නට ගාමිණී වේරගම මහතා පේරාදෙණියට ආ අතර ටෙලිවිෂනය ගැන කියා දෙන්නට සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා පැමිණියේ ය. ලෝක සිනමා ප්‍ර‍වණතාවන් ගැන සාකච්ඡා කරමින් සිනමා න්‍යාය ගැන කතා කරන්නට ආවේ ‘පතී සර්‘ ය; ආචාර්ය ධර්මසේන පතිරාජ ය.

පතී සර් බොහෝ දිනවල නියමිත වේලාවට දේශනය පටන් ගත්තේ නැත. ගණනින් පස් දෙනෙක් වූ අප කණ්ඩායම වෙත ඔහුම ඔසවාගෙන එන වීඑච්එස් පටවලින් තෝරාගත් සිනමා කෘතියක් බලන්නට සැලැස්වූ ඔහු මයිකල් සර්ගේ කාමරයට වී පැය භාගයක් පමණ ගත කළේ ය. ඒ සර් සමග ආගිය තොරතුරු කතා කරන්නට නම් නොවේ. ‘Film Art: An Introduction’ වැනි පොතක් පෙරළමින් ඉදිරි පැය කිහිපයේ සාකච්ඡාවට පසුබිම හදාගන්නට ය. සතියකට හෝ දිනකට දෙකකට පෙර ඔහු අපගේ දේශනයට පෙර සූදානම් වන්නට ඇතැයි මට නොසිතුණේම මේ ‘පැය භාගයේ භාවනාව‘ ඔහු නිරතුරුව සිදු කළ හෙයිනි. නමුත් ඉන් පසු එළඹෙන පැය කිහිපය මට නම් අසීමිත ලෙස රසවත් විය. මිනිත්තු විස්සකින් තිහකින් කළඹවා ගත් මනස හරහා ඔහු සිය සිනමා දැනුම් සයුර අප වෙත විවර කර දුන් හෙයිනි.

සර්ගේ දේශන ශෛලිය අතිශය රසවත් වී යැයි මා මෙතන ලියා තැබුවහොත් එය බොරුවක් බව මගේ අනිත් සගයින් කියන්නට බැරි නැත. නමුත් එය ගැඹුරු විය. හරවත් විය. සිනමාවට පෙම් බඳින්නෙකුට සිනමා සයුර වෙත පැද යා හැකි පහුරක් බවට එය පත් කර ගත හැකි විය. නැටුම් විෂයය හදාරන්නට නොමැතිකම නිසා එතැනට පැමිණි මිතුරියන් දෙදෙනාත්, චිත්‍ර‍ කලාව හදාරන්නට නොමැතිකම නිසා එතැනට පැමිණි මිතුරන් දෙදෙනාත් සමග සිනමාවම විමසූ තනි මට සිදු වූයේ ඒ පහුර බොහෝ විට තනිව පැද යන්නට ය.

“මම මේව මොනෑෂ් ඉන්න කාලෙ රෙකෝඩ් කරගත්තෙ. එහෙ ෆිල්ම් ක්ලැසික්ස්ම ගිය ටීවී චැනල් එකක් තිබුණ. උදේට යද්දි ටයිමර් එකත් එක්ක රෙකෝඩ් වෙන්න දාල යනව... හවසට ගන්නව“

Birth of a Nation, Cabinet of Dr.Caligari සිට සියලු සිනමා පට ගැන ඔහු සාකච්ඡා කළේ අදාල කෘති අප අත තබමිනි.

“මම ලබන සතියෙ එද්දි බලල තියන්න!“

ඔහු සිනමා පට තොගයක් තබාගියත් සතිය ඇතුළත බලා නිම කරන්නට අප මිතුරු කැළ දක්ෂ විය. ඒ පටයේ වැඩි කොටසක් ‘ෆාස්ට් ෆෝවඩ්‘ කරමිනි! හැකි නම් වෙනම මොහොතක සිනමා පටය තනිව නැරඹුවා නම් මිස, ඊට එරෙහිව තනි මා දියත් කළ අරගලයක් නම් නැත.

“ඕවා කාටද බං බලන්න පුළුවන්...? මහ කම්මැලි වැඩක්නෙ.“

සිනමාව බිහිවූ යුගයේ ධාවන වේගය පවා වෙනස් වුණු ‘කම්මැලි ජාතියේ‘ නිහඬ චිත්‍ර‍පටවල සිට ඉතාලි නවයථාර්ථවාදය සහ ප්‍ර‍ංශ නවරැල්ල තෙක් සිනමා කෘති තොගයක් සෑම සති අන්තයකම පතී සර් අප වෙත උස්සාගෙන ආවේ ය. ජර්මානු ප්‍ර‍කාශනවාදය ගැන කතාබහ දෙවන ලෝක යුද්ධයෙන් මෙපිටට පනින විට සර්ගේ දේශනවල ජවය ද සමානුපාතික ලෙස වෙනස් වූයේ ඉතාලි හා ප්‍ර‍ංශ සිනමා ප්‍ර‍වණතා ඔහු වෙත ද තදින් බලපාන්නට ඇති නිසා බව මට සිතුණේ පසු කලෙක ය.

සති අන්ත සෙනසුරාදාව වෙන් කරගත් සර්ගේ දේශන බොහෝ දිනවල නියම කරගෙන සිටි හෝරාව තෙක් දිගු වූයේ නැත.

“අපි කන්න ඕනෙ නේ ද?“ දවල් එක පමණ වන විට මෙසේ කියමින් දේශනය නතර කරන සර්,

“දවල්ට කාල දෙක දෙකාමාර වෙද්දි ඇවිත් ඉන්නකො“ කියමින් සිය රථයට නැග පිටව ගියේ ය. දෙක හමාරට  පමණ අධ්‍යයනාංශයට ආවේ දුරකථන ඇමතුමක් මිස සර් නොවේ.

“මං හවස එන්නෙ නෑ. ‘ලවෙන්තුරා‘ දාගෙන බලන්න. අපි ඒ ගැන ලබන සතියෙ කතා කරනවා“

විදේශ විශ්වවිද්‍යාලවල ‘සිනමා කෘති නැරඹීම‘ සඳහා කාල සටහන අනුව වෙන් කර තිබුණු වේලාවන් අප වෙත තීන්දු වූයේ එපරිදි ය.

ප්‍රායෝගික පුහුණු සැසි අප දෙපතුල වෙත ගෙන දෙනු වෙනුවට ඔහු දුෂ්කර ක්‍රියා කරමින් ඒ ලබාගන්නට අප යොමු කරවී ය. පේරාදෙණියේ සිට පොල්හේන්ගොඩ රජයේ චිත්‍ර‍පට අංශය වෙත පැමිණ කැමරාකරණය ගැන ලාල් වික්‍ර‍මාරච්චි මහතාගෙන් ගුරුහරුකම් ලබාගන්නට සැලසීම එවැන්නකි. පේරාදෙණියේදී ම සංවිධානය කෙරුණු පුහුණු වැඩමුළුවලදී ද ඔහු කැමරා ආම්පන්න රැගෙන අපට විවිධ කෙටි චිත්‍ර‍පට කරන්නට ඉඩ සැලස්වී ය. එහෙත් ඒ මිනිස් චරිත භාවිතයට නොගෙන, ගසක් වැනි යමක් පමණක් වස්තු බීජය කොට ගනිමින් රූප සංරචනයට යෝජනා කරමිනි. පේරාදෙණියේ ‘එච්‘ ගස ගැන ශිෂ්‍ය අප කළ රූප එකතුව හරහා රිද්මය, සංරචනය, කැමරා භාවිතය ගැන අදහස් නිසංසලව අප වෙත ගලා එන්නට ඔහු ඉඩ සළසා තිබුණු බව මට හැඟී ගියේ නිර්මාණය කළ කෘතිය දෙස පසුකාලීනව විමසන විට ය.

අවසන් වසරට එළඹ, ස්වාධීන නිබන්ධනය ඉදිරිපත් කිරීමට කාලය එළඹුණු විට ‘ප්‍ර‍සන්න විතානගේගේ සිනමාව‘ ගැන හැදෑරීමට මම තීරණය කළෙමි. ඒ ගැන ප්‍ර‍සාදය පළ කළ මයිකල් සර් මාගේ මාර්ගෝපදේශකයා වශයෙන් පතී සර්ව පත් කළේ ය.

“පස්සෙන් ගිහින් කරගන්න වෙයි!“

මයිකල් සර් අනතුරු ඇඟවීමක් ද කළේ ය.

සිනමාවේ කතෘත්වය, යථාර්ථවාදය සහ අන්‍ය සිනමාවන්ගෙන් ලද ආභාසය යටතේ ප්‍ර‍සන්න විතානගේගේ සිනමාව දෙස පිවිස බලන්නැයි පතී සර් මට යෝජනා කළේ ය. ඒ, එක් එක් විෂයය ක්ෂේත්‍ර‍ පිළිබඳ ලියැවුණු ඉංග්‍රීසි ලේඛණ තොගයක් මා අත තබමිනි.

“කොහොම හරි පරිවර්තනය කරගන්න. ඒ කරල කියවන්න. මට පේන්නෙ නං ප්‍ර‍සන්නට ඉතාලි නවයථාර්ථවාදයයි, ප්‍ර‍ංශ නව රැල්ලයි සෑහෙන්න බලපාල තියෙනවා.“

“මට තදේට වැදුණෙ චීන පස්වෙනි පරම්පරාවෙ සිනමාවයි, ඉරාන නව සිනමාවයි...“ ප්‍ර‍සන්න විතානගේ හමු වී කළ සම්මුඛ සාකාච්ඡාවේදී ඔහු කීවේ ය. අලුතින් මුණගැසුණු සිනමා ප්‍ර‍වණතා ගැන සෙවූ මට ඒ ද්විත්වය සඳහාම ඉතාලි නව යථාර්ථවාදය සහ ප්‍ර‍ංශ නව රැල්ල දැඩිව බලපා ඇති බව කියවන්නට ලැබිණ.

ඉංග්‍රීසි ලේඛණ අතර මා ගිලී උන් සමයේම යුරෝපා සංචාරයකට ගිය පතී සර් මගේ නිබන්ධනය භාර දෙන කාල සීමාව තෙක්ම යළි පැමිණියේ නැත. ඒ නිසාම ගැඹුරු සාහිත්‍යයික පර්යේෂණයක් තිබූමුත් එහි විශ්ලේෂණය මනාව සිදු කරන්නට මට ඉඩ ලැබුණේ ද නැත. සර්ගේ පැමිණීම බලා හිඳ නොමැති තැන නිබන්ධනය භාර දෙන්නට කල් ඉල්ලන්නට ගිය විට මයිකල් සර්ගෙන් මට අසන්නට ලැබුණේ දෝස්මුරයකි.

“මං කිව්ව පස්සෙන් ගිහිල්ල කරගන්න කියල. කල් දෙන්නෙ නෑ. කොහොම හරි භාර දෙන්න!“

සාර්ථකව නිම කරන්නට නොහැකි වූ බව සිත කියූ පර්යේෂණ නිබන්ධනය පේරාදෙණියට භාර දී මා ප්‍ර‍ථම උපාධි කටයුතු හමාර කළේ පතී සර් මුණ නොගැසී ම ය. ප්‍ර‍තිඵල නිකුත් වූ පසු, මා බලාපොරොත්තු නොවූ මොහොතක, ලලිත කලා අධ්‍යයනාංශයේ සිනමාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන්නට මට ආරාධනා ලැබිණ. මාස කිහිපයකින් එහි සහකාර කථිකාචාර්ය ධූරයක් තෙක්ම එය දියුණු විය. පතී සර් යළිත් මට මුණ ගැසෙන්නට ඇත්තේ අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකත්වය ලද පසු විය යුතු ය.

“දැන් ඉතින් ප්‍රියන්තලටත් පුළුවන් වෙන්න ඕනෙ මේව ගැන උගන්නන්න“

සිය ආචාර්ය උපාධිය නිම කළ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පාඨමාලා අත්පොත්, නන්විධ සිනමා පොත පත සහ චිත්‍ර‍පට අප වෙත තබමින් ඔහු නිතර කීවේ ය. සෙනසුරාදා දේශනවලට ඒ වනවිටත් පැමිණි සර් එකට පමණ නවත්වන දේශනයෙන් පසු මට මෙසේ කියන්නට පුරුදු විය.

“යමු මොනව හරි කාල එන්න“

සර්ගේ රථය පේරාදෙණිය ගලහ පාරේ ඉදිරියට ඇදෙන විට ඔහු අනාගත කටයුතු ගැන යම් අදහස් මට ඉදිරිපත් කළේ ය.

“ප්‍රියන්තට තියෙන්නෙ පෝස්ට් ග්‍රැජුවෙට් එකට කොහෙ හරි යන්න... ඔය මොනෑෂ් එහෙම හොඳයි.“

දැඩි බලපෑම් නොවුණු, සිත තුළ රෝපණය කළ කුඩා සිතුවිලි මාත්‍ර‍ වුණු ඒ අදහස් අප සිත් තුළ නැගී වැඩුණේ සෙමිනි. පර්යේෂණ උපාධියක් සඳහා සිඩ්නි විශ්වවිද්‍යාලය කරා මා පිටත්ව යන්නට තවත් වසර 7-8ක්ම ගත වූ නමුත් රිය පදවමින් ඔහු කී බොහෝ දේ එසේ අතු ඉති ලා වැඩී තිබිණි.

සෙනසුරාදා සවස දේශන, සිනමා පට නැරඹීමකට මාරු කිරීමේ හේතුව ඒ මෝටර් රථ ගමන් මට පැහැදිලි කර දුන්නේ ය.

“ප්‍රියන්ත මොනවද බොන්නෙ?“

ඔහු ඒ ප්‍ර‍ශ්නය මගෙන් ඇසුවේ රථය පේරාදෙණිය තානායමට හරවන තැන දී ය.

ශ්‍රී පාලි මණ්ඩපයට කථිකාචාර්යවරයෙකු ලෙස සම්බන්ධ වීමට මා අයදුම් කරන මොහොතේ, ඉල්ලීමක් නැතිවම සර් ආචාර්ය ටියුඩර් වීරසිංහට මා ගැන නිර්දේශ කොට තිබිණ. ඒ, පේරාදෙණියේ සේවය කළ සමයේ, විවිධ විශ්වවිද්‍යාල පුහුණු වැඩ සටහන් ආදියට, හිටි අඩියේ ම දැනුම් දෙමින්, මා ද සම්බන්ධ කරවමින් නේක ආකාරයේ උගැන්නුම් ක්‍ර‍ම අත්විඳින්නට ඉඩ සලසමිනි. එසේම පේරාදෙණියෙන්ම පශ්චාත් උපාධිය කරන්නට මා ගත් තීරණයත්, එහි උපදේශකවරයා ලෙස ඔහු ම තෝරාගන්නට ගත් තීරණයත් දුර්මුඛ කරමිනි!

“කොහෙ හරි යන්න!“

නිතර නොවූවත් ඔහු අමතකව යන්නට ඉඩ නොතබමින් එය මට කී ය.

මා ද සර්ගෙන් උගත් බව කියමින් තුටු වන අය මට එතරම් හමු වී නැත. සිය ශිෂ්‍යයින් ගැන කතා කරමින් සර් උදම් අනනු කිසිවිටකත් මට හමුවී නැත. ‘බහුචිතවාදියා‘ තනමින් වෘතාන්ත සිනමාවට පිවිසි මාලක දේවප්‍රිය ගැන නම් අවස්ථා කිහිපයකම සතුටින් සඳහන් කළ බව මතක ය. සර් ‘ගෝලයින්‘ තැනූවෙක් නොවේ. ඒ මගේ ගෝලයෙක් හෝ සිසුවෙක් යැයි කියමින් කිසිවකුට අයිතිවාසිකම් කියන්නට ගිය අයෙකු ද නොවේ. කළ යුතු දේ ගැන අණපනත් පනවමින් අප පෙළූ අයෙක් ද නොවේ. ඔහු කළේ යට කී ලෙස ආලෝකය ගලා එන්නට අතුපතර පෙහෙළි කිරීම ය. පසෙකට වී නිහඬව බලා සිටීම ය.

ශ්‍රී පාලි මණ්ඩපයේ සේවය කළ සමයේදීත්, සිඩ්නි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරූ සමයේදීත් සර් මට මුණගැසුණේ කලාතුරකිනි. එහෙත් වසරකින් හෝ දෙකකින් පසු හමුවුවත් ඔහු වෙතින් පැන නැඟුණු උණුසුම්, සෙනෙහස මුසු, ඇමතුම වෙනස් වූයේ නැත.

“කොහොමද ප්‍රියන්ත?“

ඔහු බලාපොරොත්තු වූයේ ‘ඉන්නව සර්‘ වැනි පිළිතුරක් නොවේ. අපගේ වෛෂයික පිවිසුම් මොනවා ද යන්න හැඟවෙන බරසාර පිළිතුරකි. අප සමග වුව සාකච්ඡාවක් අනර්ථකාරීව ගෙවෙන බව දැනුණු විට සර් අප පිටත් කර හැරියේ මෙවැන්නක් කියමිනි.

“තාම කාලත් නැතුව ඇති නේ ද? ගිහින් බලන්න කැන්ටිමෙත් කෑම ඉවර වෙන්න බැරි නෑ!“

නිකරුණේ ගෙවෙනු ඇති බව සැක කළ ඇතැම් තැන්වල ඕනෑම කෙනෙකු මග හැර යන්නට පසුබට නොවූව ද බොහෝ අර්බුදකාරී මොහොතවල ඔහු අප අසළ සිට ගත්තේ ය. තමන් විශ්වාස කළ දේශපාලනයේ සිට ජීවිත දැක්ම දක්වාම එය එසේම විය. ‘පීතෘ භූමිකාවකට‘ සමැති ඔහුගේ ඉදිරිපත් වීම මට තදින් දැනුණේ මෑතකාලීනව මුහුණ දුන් දරුණු අර්බුද දෙකක දී ය. පළමුවැන්න කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපය, පශ්චාත් උපාධි සහතිකයේ දිනය පිළිබඳ ගැටළුවක් මතු කරමින් මාගේ සේවය අහෝසි කළ මොහොත ය. දෙවැන්න මා කුලියට ගෙන සිටි නිවස 2016 දී පැමිණි ගංවතුරට යටවූ මොහොත ය.

‘ප්‍රියන්ත කොහේවත් යන්න ඕනෙ නැහැ. මෙතන ඔෆිස් එකට ඇවිත් වැඩක් කරගන්න. මේ ඕනෙ තරං ඉඩ තියෙන්නෙ. මෙතන ෆිල්ම් කෝස් එකත් කෝඩිනේට් කරන්න‘ ඔහු පළමු අවස්ථාවේ, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ, සිය කාර්යාලය තුළ සිට කීවේ ය.

“මං දැන් ඉන්න රත්මලානෙ ගෙදරට ඇවිත් නතර වෙන්න. මං විතරමයි ඉන්නෙ... මහ රජ්ජුරුවො වාගෙ!“

ඔහු දෙවැනි අවස්ථාවේ දී කීවේ ය.

කාර්යාලයට නොගිය නමුත් මා ඔහුගේ ඇසුර ලබමින් ‘සිනමා අධ්‍යක්ෂණය හා සෞන්දර්යය‘ පිළිබඳ ඩිප්ලෝමාව සම්බන්ධීකරණය කළෙමි. එහි උගැන්වීමි. ඒ සමයේ චින්තන ධර්මදාස සිය ‘කල්ට් එක‘ කොලම හරහා ‘පතිරාජ ගෙදර යන්නැයි‘ කියූ විට සර් සිනමාව ගැන න්‍යායික රචනා පරිවර්තනය කරන්නට උත්සුක විය. හැත්තෑව ඉක්මවූ ඔහු තරමින් අප වැඩ නොකරන බව පසක් කරමින් ඒ වැඩවලට එක් වුණු සියල්ලන්ට වඩා සර් වැඩ කළේ ය. ‘පතිරාජගේ සිනමාව ගෙදර නොයා යුතු බව‘ සර් නොකී නමුත් ‘ස්වරූප‘ තිරයට පැමිණ එය කීවේ ය.

මාස කිහිපයකට පෙර තවත් මිතුරකු විසූ සර්ගේ රත්මලානේ නවාතැනෙහි ඉදිරිපස කාමරයේ මම ද නවාතැන් ගත්තේ කොළඹ එන දිනවල දී ය. සිය නිවස නිරතුරුව අපට විවර කළ ඔහු සිනමාව ගැන ලියවුණු පොතපත සිය එකතුවෙන් ගෙන කියවන්නැයි අපට ආරාධනා කර සිටියේ ය. උදෑසනක හෝ හවසක, ඉඩ ලැබුණු හැම මොහොතක, පෙර අප හා කියන්නට මග හැරුණු බොහෝ ජීවන අන්දර අපට කීවේ ය. කිසි විටෙක දියව නොයන මහා ශක්තියක්, ශාරීරිකව දුර්වල වුණු මොහොතක වුව, සර් තුළ විය.

ඔහු මුල් පුටුව දැරූ ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය (පූර්වයෙහි රූපවාහිනී අභ්‍යාස ආයතනය) ඩිජිටල් ෆිල්ම් ඇකඩමියට ලබා දෙන්නැයි ධනුෂ්ක ගුණතිලක එහි සිසුන් සමග එක්ව අරගල කරන විට එහි චෝදනාලාභී පක්ෂයේ සර් සිටියේ ය. ‘සක්කාරං‘ ප්‍ර‍තිගාමී සිනමා කෘතියකැයි භූපති නලින් ජර්මානු සංස්කෘතික ආයතනයේ දී නැගිට කියන විට සර් වේදිකාවේ සිට අසාගෙන සිටියේ ය. එහෙත්, පසුගිය වසරාවසානයේ ‘සිනමා අධ්‍යක්ෂණය හා සෞන්දර්යය‘ පාඨමාලාවට ආචාර්ය මණ්ඩලය සූදානම් කරන විට භූපතිටත්, ධනුෂ්කටත් කතා කරමු යැයි සර් යෝජනා කළේ තමන්ට හෝ කෘතීන්ට එරෙහිව නැගෙන විවේචන හා විරෝධතා පෞද්ගලිකව භාර නොගන්නා බව පසක් කරමිනි.

“උං දක්ෂ කොල්ලො“ සර් මා සමග කීවේ ය.

ඒ සියල්ල කෙසේ වුව, ඔහු සම්මත ගුරුවරයකු නොවන බව මා යළි කියන්නේ ඔහු අප වෙත කිසි විටෙක දැඩිව බලපෑමක් එල්ල නොකළ හෙයිනි. අප වෙත දැඩිව ආසක්ත නොවූ හෙයිනි. ඔහු බලා සිටියේ දුර සිට ය. අප ගැන සතුට ඔහු පෙන්වූයේ ටිකකි. අප දුක් වූ තැන අසළින් සිටීම ඊට වඩා වැඩි අගයක් ගත්තේ ය.

මා වෙත, අප වෙත එල්ල වුණු ඔහුගේ ආලෝකය, සිනමාවට අනුව වර නගන්නේ නම්, තීව්‍ර‍ සෙවණැලි නොතනන මෘදු ආලෝක ප්‍ර‍භවයකින් ලැබූ ආලෝකයක් වැන්නකි. එහි ප්‍ර‍භාවෙන් කිසි විටෙක අප දැවුණේ නැත. ඒ වෙනුවට, එහි සිසිල් ප්‍ර‍භාව මෘදුව විහිඳ ගොස් හාත්පස එළිය කොට, අපට සෙවණැලි හෝ තියුණු නොවන පසුබිමක් තැනී ය.

‘පතී සර්!‘ මගේ ගුරුවරයා වූයේ එලෙස ය!



-ප්‍රියන්ත ෆොන්සේකා - 


 (මෙම ලිපිය පසුගිය පෙබරවාරියේ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් එළිදැක්වූ ‘පතී වත‘ කෘතිය වෙනුවෙන් මවිසින් රචනා කරන ලද්දකි.)

Tuesday, March 27, 2018

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය අගයයි!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සිය වාර්ෂික මහ සභාවේදී මෙවර අප අතරින් වෙන්ව ගිය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය අගයමින් විශේෂ ඇගයුම් සම්මානයක් පතිරාජ මැතිණිය වෙත පිරිනමන්නට කටයුතු කළේ ය. ඒ සඳහා හේතු පාඨය ඉදිරිපත් කිරීමට මවෙත ආරාධනා කරන ලද අතර මෙහි පහත පළ කරන්නේ 2018 මාර්තු මස 25 වැනි දින පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේදී පැවති එම හමුවේ දී මවිසින් ඉදිරිපත් කළ එම හේතු පාඨයයි.


පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් ඇතුළු විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථී සුධීමතුනි, ගෞරවනීය ආරාධිතයිනි,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිය 75 වසරක ප්‍රෞඩ ඉතිහාසය තුළ සුවිශිෂ්ට බුද්ධිමතුන් සහ කලාකරුවන් රැසක් දේශයට දායාද කර ඇත. කලාව විෂයයෙහි සාහිත්‍යය, කවිය, වේදිකා නාට්‍යය ඈ නන්විධ ක්ෂේත්‍ර‍යන්ට පේරාදෙණියේ දායකත්වය තත් විෂයය ක්ෂේත්‍ර‍යන්හි පශ්චාත් කොලනිවාදී හැඩතලයන් තීරණය කරන්නට නොමඳව දායකව ඇති බව ඔබට අටුවා ටීකා අනවශ්‍ය බැව් දනිමි. 1947න් ඇරඹ, 1956 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව‘ සමගින් ජාතික සිනමාවක හැඩතල හඳුනාගත් මෙරට සිනමාව 1970 දශකය තුළ දී නව්‍ය සුසමාදර්ශයක් සමගින් වඩාත් ප්‍ර‍බල කලාපයකට කැඳවූ සිනමාකරුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාඩම්බර නිෂ්පාදනයක් බව සඳහන් කරන්නේ යටකී කලාව වෙත වූ පේරාදෙණියේ මැදිහත් වීම්වලට සිනමාව අංශයෙහි දායකත්වය ද අසමාන බැව් පෙන්වමිනි.

එම ප්‍ර‍මුඛ දායකත්වය ලබා දුන් ඔහු ආචාර්ය ධර්මසේන පතිරාජයන් ය. 1963-1967 වකවානුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර‍ පීඨයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මුල් පියවර තැබූ ඔහු විශ්වවිද්‍යාලයෙන් නික්මෙන්නට පෙරාතුවම සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ‘හන්තානේ කතාව‘ සඳහා සම තිරපිටපත් රචනයෙන් දායක වෙමින් පේරාදෙණියෙහි ජීවිතය සිනමාව තුළ චිත්‍ර‍ණය කරන්නටත්, ඒ හරහා සමකාලීන විශ්වවිද්‍යාල තාරුණ්‍යය හා ඔවුන්ගේ ගැටළු සාකච්ඡාවට කැඳවන්නටත් දායක විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ විගසම ජාත්‍යන්තර ඇගයුමට පත් ‘සතුරෝ‘ නැමති කෙටි චිත්‍ර‍පටය නිර්මාණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන පතිරාජයන් 1974 දී ‘අහස් ගව්ව‘ තනමින් වෘතාන්ත සිනමාවට පිවිස ලාංකික සිනමාවේ දෙවැනි සුසමාදර්ශය තැනී ය. ඉන් අනතුරුව, ‘බඹරු ඇවිත්‘, ‘එයා දැන් ලොකු ළමයෙක්‘, ‘පොන්මනි‘, ‘පාර දිගේ‘ සහ ‘සොල්දාදු උන්නැහෙ‘ යන කෘති සිනමාවට දායද කළ ඔහු සමකාලීන තාරුණ්‍යයේ අසහනය, විරැකියාව, පන්ති අර්බුදය, ධනේෂ්වරය හා පීඩිත පන්තිය අතර ගැටුම, කුල භේදය වැනි මාතෘකා සාකච්ඡාවට කැඳවී ය. මේ ඔහුගේ මුල්කාලීන කෘති සියල්ලම පාහේ ලාංකික සිනමාව තුළ හමුවන සුවිශිෂ්ට කෘතීන් ලෙස දෙස් විදෙස් විචාරක පැසසුමට ලක් විය.

‘පොන්මනි‘ නැමති දමිළ චිත්‍ර‍පටය ඔහු නිර්මාණය කරන්නේ ශාස්ත්‍ර‍ඥයෙකු වශයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශය හා එක්ව කටයුුතු කළ අවදියේ ය. කැලණිය විශ්වවිද්‍යාලයෙන් කථිකාචාර්යවරෙයකු  සිය ශාස්ත්‍රාලයීය ජීවිතය ආරම්භ කළ පතිරාජයන් බුද්ධි ගවේෂණයට හා කලාවට මතු නොව ජනවාර්ගික සහයෝගිතාවට ද යාපනය විශ්වවිද්‍යාලයේ දී කළ මැදිහත්වීම ඉමහත් ය. ඉන් පසුව රුහුණ විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජන මාධ්‍ය ඒකකය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය ඈ ශාස්ත්‍ර‍ ගවේෂණ ආයතනවල සිංහල භාෂාව, සිනමාව හා ටෙලිවිෂන් කලාව ඉගැන්වීම සඳහා කළ මැදිහත් වීම අප අගය කළ යුත්තේ බොහෝ තන්හි ඒ ඒ විෂයයන්හි සමාරම්භය සනිටුහන් කරන්නට ද ඔහු දායකව ඇති බව සිහිතබා ගනිමිනි.

2000න් පසු ‘මතුයම් දවස‘ චිත්‍ර‍පටය නිර්මාණය කරන තෙක්ම සිනමාවෙන් දුරස්ථව පතිරාජයන් ගත කළ සමය මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍ර‍ය සඳහා ඔහු ලබා දුන් දායකත්වයෙන් පෝෂිත ව ඇත. ‘නාඳුනන පුත්තු‘, ‘ගඟුලෙන් එගොඩට‘, ‘මායා මන්දිර‘, ‘ඇල්ල ළඟ වලව්ව‘, ‘දුර්ගාන්තය‘, ‘කම්පිත විල්‘ යනාදී ඔහු විසින් නිර්මිත ටෙලි නාට්‍ය ලැයිස්තුවෙහි මුල්ම අංකය බොහෝ විද්වතුන් ‘කඩුල්ල‘ සඳහා ලබා දෙන්නේ එදා මෙදාතුර ටෙලි නාට්‍ය විෂයයෙහි නිර්මිත ප්‍ර‍මුඛතම නාටකයක් ලෙස එය පෙරමුණෙහි තබමිනි.

පතිරාජයන් සිනමාවෙන් පසු ටෙලි නාට්‍ය කෙතෙහි සිය නම ප්‍ර‍මුඛ සඳහනෙහි තබා ඇති මුත්, ඒ විසල් දායකත්වයෙන් වැසී යා නොයුතු ඔහුගේ සෙසු ප්‍රාමාණික මැදිහත්වීම් අපමණ ය. 60-70 දශකවලදී යුෂෙන් ඉයනෙස්කෝගේ ‘The Chairs’ නාට්‍යය ‘පුටු‘ නමින් සිංහල වේදිකාවට කැඳවන ඔහු අනතුරුව ‘කොරා සහ අන්ධයා‘ පරිවර්තනය කරමින් මෙරට අභූතරූපි නාට්‍ය කලාව සඳහා සමාරම්භක දායකයින් අතුරෙහි සිය නාමය ලියා තබයි. සිංහල වේදිකාව දෙස ඔහුගේ සප්‍ර‍මාණික විමර්ෂණය හමුවන්නේ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයටම ඉදිරිපත් කළ සිය දර්ශනපති නිබන්ධනය වූ ‘සිංහල නාට්‍ය කලාවේ අන්තර්ගතය හා ආකෘතිය අතර අරගලය‘ නමැති ලේඛණය විමසන විට ය.

සිය ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයට ඇතුළු වන පතිරාජයන් එහිදී ‘The Dialectic of Region and Nation in the Third World in the Films of Bengali Independence: Ghatak, Ray and Sen’ යන පර්යේෂණ නිබන්ධනය රචනා කරන්නේ කලාපීය සිනමාව පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතකුගේ ආගමනය සනිටුහන් කරමිනි.

සිය දිවියේ අවසාන දශකයන්හිදී යළි සිනමාවට අවතීර්ණ වුණු පතිරාජයන් ‘In Search of a Road’ නමැති වාර්තා චිත්‍ර‍පටය හරහා බිඳී ගිය උතුර හා දකුණ යා කළ හැකි මං පෙත් විමසමින් ද, ‘මතුයම් දවස‘, ‘සක්කාරං‘ සහ ‘ස්වරූප‘ යන වෘතාන්ත චිත්‍ර‍පට හරහා මෑතකාලීන සමාජ දේශපාලනික විපර්යාසයන් දැඩිව විමසමින් ද සිය සිනමා තිර සංවාදය පුළුල් කළේ ය. ඔහුගේ එම සංවාදය කෙතරම් පුළුල්දැයි අපට අවසන් නිගමනයකට කිසිදා එළඹෙනු නොහැකි වනු ඇත්තේ ‘ෂෙල්ටන් සහ කාන්ති‘ නමැති වෘතාන්ත සිනමා පටය ඇතුළු ඔහුගේ දායකත්වය ලද කෘති කිහිපයක්ම 83 කළු ජූලියේ ගිනිදැල් අතර අළු වී ගොස් ඇති හෙයිනි. ‘වා සුළි‘ වැනි කෘතීන් තිරගත නොවී සැඟව ඇති හෙයිනි.

“හිමින් සැරේ පියා විදා“ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් චිත්‍ර‍පටයේ තේමාව ගෙනෙන ගීතය වුවත් එහි රචකයා පතිරාජයන් ය. 1985 ජනාධිපති සිනමා සම්මාන උළෙලේ හොඳම ගීත රචකයාට හිමි සම්මානය ඔහු දිනාගන්නේ ‘කරදිය වළල්ල‘ චිත්‍ර‍පටයට ලියූ ‘මම ඔබ සිඹිමි‘ ගීතය වෙනුවෙනි.  2013 වර්ෂයේදී හොඳම පරිවර්තනයට හිමි රාජ්‍ය සම්මානය ඔහු දිනා ගන්නේ හුවාන් රුල්ෆෝගේ Pedro Paramo  සිංහලයට නැගීම වෙනුවෙනි.

ආචාර්ය ධර්මසේන පතිරාජයන් ලාංකික ශාස්ත්‍ර‍ ලෝකයට සිනමා අධ්‍යයනය හඳුන්වා දුන් ප්‍ර‍ධානතම ගුරුවරයා ය. සිනමාවේ දෙවැනි සුසමාදර්ශය තනමින් ලාංකික සිනමා කෙත පෝෂණය කළ වම් ඉවුරේ සිනමාවේ පෙරගමන්කරුවා ය. ටෙලි නාටකයෙහි පරමාදර්ශ කෘතීන් තනා දෙමින් එහි මංපෙත් පෙහෙළි කළ නිර්මාපකයා ය. වේදිකා නාට්‍ය පරිවර්තනය හා නිෂ්පාදනය, ගීත, කාව්‍ය හා කෙටි කතා රචනය, පරිවර්තනය ඈ කෙත්බිම්වල සිය නාමය පැහැදිලිව සටහන්වන පරිදි දායකත්වය දුන් සුලවතා ය. චින්තකයෙකු වශයෙන් සිය ආස්ථානයන් හැම විටම සෘජුව ප්‍ර‍කාශ කළ සුධීමතා ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමය ලෙස අප අද ඔහුගේ සිනමාව ප්‍ර‍මුඛ කලා කෙත වෙත වූ වෙසෙසි දායකත්වය අගය කරමු. එසේම, ඒ දායකත්වය කෙළවර නොබෝදා සිදුවූ ඔහුගේ සමුගැනීම දැඩි සොවින් යුතුව මෙනෙහි කරමු.


ස්තුතියි!

ප්‍රියන්ත ෆොන්සේකා

Friday, October 6, 2017

තල් අරණේ මහා සිනමා මංගල්‍යය: යාපන ජාත්‍යන්තර සිනමා උළෙල ගැන පසුවදනක්

‘යෙලෝ බර්ඩ්‘ චිත‍්‍ර‍පටයෙන්...
(මෙම ලිපිය ඉරිදා රිවිර පුවත්පතේ ‘රඟමඬල‘ අතිරේකය වෙනුවෙන් ලියන ලදුව පසුගිය ඔක්තෝබර් 01 වැනි දින පළ විය.)

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලෙහි අනාගතය අවිනිශ්චිතව පවතින මොහොතක යාපන ජාත්‍යන්තර සිනමා උළෙල සිය තුන්වැනි පියවර සාර්ථකව කෙළවර කළේ ය. 2015 වර්ෂයේ දී ඇරඹ, වාර්ෂික උළෙලක් ලෙසින් දිවෙන යාපනයේ මේ මහා සිනමා මංගල්‍යය, වාර්ෂිකව, දකුණු වාසීන්ගේ සුපුරුදු සවාරිවලින් වෙනස් මගක් ගනිමින් යාපනය වෙත ඇවිද යන්නට හා එහි සරන්නට මට ආරාධනා කර ඇති බැවින් ඒ පිළිබඳව පසුවදනක් ලියා දෙන්නැයි මෙම පිටුවෙහි සංස්කාරකවරයා කළ ඉල්ලීම පසෙක දමන්නට නොහැකි හැඟීමක් මසිත ජනිත විය. මෙම කෙටි ලියැවිල්ල‍ පසුගිය සැප්තැම්බර් මස 15 වැනි දින සිට 20 වැනි දින දක්වා, පුරා දින හයක් යාපනයේ මැජෙස්ටික් සිනමා සංකීර්ණය, යාපන විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශ්‍ර‍වණාගාරය සහ හැටන් නැෂනල් බැංකු ශ්‍ර‍වණාගාරය, බ්‍රිතාන්‍ය කවුන්සිල ශ්‍ර‍වණාගාරය ආදී කලාප පසුබිම්ව විහිද පැතිරුණු යාපන ජාත්‍යන්තර සිනමා උළෙලෙහි වටිනාකම් සහ මතක පිළිබඳ සිහිකැදවීමකි; ඒ හා සමග එය ඔබ හා බෙදා ගැනීමකි.

නගර කේන්ද්‍ර‍ සිනමා උළෙල සංස්කෘතිය සහ යාපනය සිනමා උළෙල

ලොව ප්‍ර‍ධානතම උළෙල අතර කියැවෙන කාන්ස්, බර්ලින්, ටෝකියෝ, වෙනිස්, ලන්ඩන්, සිඩ්නි, මොස්කව් ඇතුළු සියල්ල එනමින් යුතු නගරය කේන්ද්‍රීයව විහිදේ. බොහෝ නගරවල නගර සභාවන්, නගරය අයිති රටෙහි රජය, නගරයෙහි ක්‍රියාත්මක හෝ ආශ්‍රිතව විහිද ඇති පෞද්ගලික සමාගම්, නගරවැසි ප්‍ර‍ජාව ඇතුළු විශාල කණ්ඩායමක් වාර්ෂිකව පැවැත්වෙන මෙම උළෙල වෙනුවෙන් වෙහෙසෙති. වෙළඳ සමාගම් තම සන්නාමය ප්‍ර‍වර්ධනය වෙනුවෙන් එක් වීම යන ප්‍ර‍මුඛ වෙළඳ අවශ්‍යතාවෙහි සිට හුදෙක් සිනමා රසිකත්වය හා කලාවෙහි ප්‍ර‍වර්ධනය වෙනුවෙන් කැපවන ස්වේච්ඡාවෙන් දායකත්වය ලබා දෙන්නන් දක්වා මෙම එකතුව විහිද යයි. නගරයකට නම් එය තම සංස්කෘතික දියුණුවෙහි කැඩපතකි. එහි වැසියන්ට එය අභිමානයකි.

සිනමා උළෙලක් යනු සිනමා කෘති ගණනාවක් එක දිගට තිරගත කෙරෙන සිනමා දර්ශන මාලාවක් පමණක් නොවේ. විශිෂ්ඨයින්ගේ සිනමා කෘති පිළිබඳ ප්‍ර‍ත්‍යාවලෝකන, සිනමාව පිළිබඳ සංවාද සහ විද්වතුන් හා ප්‍ර‍වීනයින් මෙහෙයවන වැඩමුළු, සිනමා වෙළඳ පොළ, සිනමා කෘති අතර තරග‍, නවකයින් හඳුන්වාදීම්, සිනමාකරුවන්ගේ හා ආශ්‍රිත ප්‍ර‍ජාවගේ සුහද හමු ආදී නානාවිධ ක්‍රියාකාරකම් උළෙලක් සමග පවතී. බොහෝ සිනමා උළෙලවලදී යම් නිශ්චිත අංශයන් වෙනුවෙන් සම්මාන හා ත්‍යාග ද පිරිනැමෙති. ඒ නිසාම උළෙලවලට ඇතුළු වන සිනමා පට තරගකාරී හා තරගකාරී නොවන අංශ නියෝජනය කරමින් තිරගත කෙරෙති.

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ඉහත ලක්ෂණ ගණනාවක් පූරණය කරමින් සැබෑ ජාත්‍යන්තර සිනමා උළෙලක රුවගුණ සහිතව මෙරට ක්‍රියාත්මක එකම සිනමා උළෙලයි. ‘එකම‘ යන යෙදුම එහිලා යෙදිය හැක්කේ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල දෙවතාවක් අප හමුවට පැමිණ ඇතත් එහි ඉදිරිය තවමත් අවිනිශ්චිත හෙයිනි. සිනමා කෘති ප්‍ර‍දර්ශනය අතින් ප්‍ර‍ධාන අංශ කිහිපයක්ම යාපන ජාත්‍යන්තර සිනමා උළෙල හමුවේ ඇත. දේශීය හා ජාත්‍යන්තර සිනමා කෘති ප්‍ර‍දර්ශනය කෙරෙන තරගකාරී නොවන සිනමා දැක්ම එයින් වැඩි සිනමා කෘති සංඛ්‍යාවක් අපි වෙත ගෙන එයි. මෙවරද එය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ප්‍ර‍ංශය, ජර්මනිය, චීනය, සිංගප්පූරුව, ඉතාලිය, ස්ලොවැකියාව, එක්සත් රාජධානිය, චිලී, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ක්‍රොඒෂියාව, ස්විට්සර්ලන්තය, චෙක් රිපබ්ලික්, රුමේනියාව, ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, පෝලන්තය යන රටවල විශිෂ්ඨ කෘති රැසක් අප වෙත තැබී ය. සිය කුළුදුල් වෘතාන්ත සිනමා කෘතිය සිනමාවට නගන කෝඩුකාරයින්ට පමණක් යාපන සිනමා උළෙලේ තරගකාරී අංශය විවෘත වේ. ජාත්‍යන්තර විචාරක ජූරියක් හමුවේ ප්‍ර‍දර්ශනය කෙරෙන එම සිනමා කෘති අතුරින් තුනක් සම්මානය සඳහා නිර්දේශ කෙරෙන අතර හොඳම කෘතිය සම්මානයට පාත්‍ර‍වන්නේ අවසන් දින රාත්‍රියේ පැවැත්වෙන සම්මාන උළෙලේ දී ය. මෙවර ඒ සම්මානය ඉන්දීය තරුණ සිනමාකාරිනියක වූ අනන්‍යා කසරවල්ලි (ගිරිෂ් කසරවල්ලිගේ දියණිය) විසින් සිය ‘හරිකතා ප්‍ර‍සංග‘ චිත්‍ර‍පටය වෙනුවෙන් දිනාගත්තේ ඉන්දීය සිනමාකාරිනියක වූ විදූ වින්සන්ට්ගේ ‘මෑන්හෝල්‘ චිත්‍ර‍පටයත්, ශ්‍රී ලංකාවේ දුමින්ද සංජීවගේ ‘දිසිදි පත්‘ චිත්‍ර‍පටයත් නිර්දේශ නාම අතර තබමිනි.

යාපනය සිනමා උළෙල දෙස් විදෙස් විශිෂ්ටයින් අගයයි. ඔවුන්ගේ කෘති යළි ප්‍ර‍දර්ශනයට කැඳවා විමසා බලයි. ප්‍ර‍ංශ නව රැල්ලේ එකම ක්‍රියාකාරී සිනමාකාරිනිය වූ ඇග්නෙස් වර්දාගේ ප්‍ර‍ත්‍යාවලෝකන සිනමා දැක්මකින් සහ ‘අහස් ගව්ව, බඹරු ඇවිත්, සොල්දාලු උන්නැහෙ, පාර දිගේ සහ මතුයම් දවස‘ යන චිත්‍ර‍පටවලින් සමන්විත ධර්මසේන පතිරාජ ප්‍ර‍ත්‍යාවලෝකන සිනමා දැක්මකින් ද මෙවර උළෙල පෝෂිතව තිබිණ. එමතුද නොව ධර්මසේන පතිරාජයන්ගේ සිනමාව විමසා බැලුණු විද්වත් කථිකාවක් ද සිනමා උළෙල අතරතුර පැවති අතර අවසන් දින පැවති සිනමා සම්මාන රාත්‍රිය ප්‍ර‍භාමත් වූයේ ආචාර්ය පතිරාජයන් වෙත 2017 උළෙලේ යාවජීව සම්මානය පිරිනමන ලද හෙයිනි.

කෙටි චිත්‍ර‍පට සඳහා තරගකාරී අංශයක් ඇති යාපන සිනමා උළෙල හොඳම දේශීය කෙටි චිත්‍ර‍පටය, හොඳම විදේශීය කෙටි චිත්‍ර‍පටය සහ වැඩිම ප්‍රේක්ෂක ප්‍ර‍සාදය දිනූ කෙටි චිත්‍ර‍පටය යනුවෙන් සම්මාන තුනක් පිරිනමයි. මෙවර එම සම්මාන පිළිවෙලින් ධනංජය බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ‘Song of the Innocent’  කෙටි චිත්‍ර‍පටයටත්, ස්ටෙෆාන් ස්කාලටෙස්කියු (රුමේනියාව) අධ්‍යක්ෂණය කළ  ‘Gratitude’ කෙටි සජීවකරණ චිත්‍ර‍පටයටත්, ධනේෂ්වරන් සමිදන් අධ්‍යක්ෂණය කළ ‘The Border’ කෙටි චිත්‍ර‍පටයටත් හිමි විය. ඒ දේශීය හා විදේශීය අංශයන්හි අවසන් තරගකාරී වටයන් සඳහා එක් එක් අංශයෙන් 10 බැගින් තෝරාගැනුණු කෙටි චිත්‍ර‍පට 20ක් අතුරිනි.

විවිධත්වය සමග එන විචිත්‍ර‍ත්වය

‘රතු සමණල හීනයක්‘ චිත්‍ර‍පටයෙන්
මෙවර සිනමා උළෙලෙහි කෙටි චිත්‍ර‍පට අංශයෙහි ජූරි සභිකයකු වශයෙන් කටයුතු කරන්නට සිදු වීම නිසා සිනමා උළෙලෙහි විවිධ අවකාශ අතර ඇවිද යාමට මට ඉඩ ලැබුණේ අවම වශයෙනි. එහෙත් ඒ සමගින් වුව සාමාන්‍ය ප්‍රේක්ෂකයකු වශයෙන් නරඹන්නට ලැබුණු දිගු වෘතාන්ත චිත්‍ර‍පට කිහිපය විචිත්‍ර‍ මතකයන් රැසක් මවෙත ඉතිරි කළේ ය. ඒ අතුරින් මෙහි සඳහන් නොකර යා නොහැකි චිත්‍ර‍පට කිහිපයක් ද වෙයි.
තරගකාරී අංශයට ඉදිරිපත්ව තිබුණු, සිංගප්පූරු ජාතික සිනමාකරු කේ.රාජ්ගෝපාල්ගේ ‘ද යෙලෝ බර්ඩ්‘ සිනමා කෘතිය, දැන් අප රට ද එසේ විය යුතු යැයි ගොඩනගන්නට සදන සිංගප්පූරුව ගැන අප නොදකින කලාපයක් වෙත නෙත් විවර කරන්නකි. සිනමා උළෙලෙහි අධක්ෂවරිය වන අනෝමා රාජකරුණා පැවසූ පරිදි උළෙලට මෙය තෝරාගැනීමේදීම මෙම ‘අනෙක් සිංගප්පූරුව‘ හමුවීම විශේෂ අවධානයට ලක්ව ඇත. සිංගප්පූරු-ඉන්දියානු දමිළයකු වන එහි ප්‍ර‍ධාන චරිතයේ (ශිවා) පුවත විකාශනය වන්නේ සිරගයෙින් නික්මුණු පසු සිය බිරිද හා දියණිය හමු නොවන ඔහුගේ චරිතය සහ පුරවැසි බව නොමැති හෙයින්ම ලිංගික සූරාකෑමට ලක් වන චීන ජාතික චරිතය (චෙන් චෙන්) ආශ්‍රිතව ය. සිංගප්පූරුවේ සශ්‍රීක බව ඔවුන්ගේ ජීවිතවලට උරුම නැත. උරුමය අහිමි වීම, වේදනාව හා රැවටීම සමග එන කළකිරීමයි.

ක්‍රොඒෂියානු අධ්‍යක්ෂවරියක වන කත්‍රිනා සින්කා මැට්ජෙවික්ගේ ‘ද ට්‍රැම්පොලයින්‘ චිත්‍ර‍පටය පියා හැරගිය නමුත් මවගේ ආදරය නොලබන දැරියක්, නිදහස සොයන යොවුන් තරුණියක් සහ තමන්ට  ලැබෙන දරුවාට තමන් ආදරය නොවනු ඇතැයි බිය වන විවාහක කතක් අතර එකිනෙකට සම්බන්ධිත නමුත් වෙන්ව දිවෙන කතා පුවත් තුනක් ඔස්සේ විහිද යන්නකි. කාන්තාවන් සිය ජීවිතයේ එක් එක් අවධීන්හි මුහුණ දෙන අභ්‍යන්තර හා බාහිර අරගලයන් ඔස්සේ දිවෙන එහි දෘශ්‍යමය වශයෙන් පොහොසත් ආඛ්‍යානය කෙළවර වන්නේ මේ එකම චරිතයක්දැයි යන චමත්කාරජනක පැනයක් අප වෙත තබමිනි.

සම්මානිත හා නිර්දේශිත චිත්‍ර‍පට මග හැරුණ ද ප්‍රියන්ත කළුආරච්චිගේ ‘රතු සමණල හීනයක්‘ සහ සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහගුන්‘ චිත්‍රපටවල ප්‍රේක්ෂාගාර හා එක්වීමට මටද අවස්ථාව හිමි විය. මායා යථාර්ථයට නෑකම් කියන කළුආරච්චිගේ චිත්‍ර‍පටය එක් අතෙකින් ප්‍රේම වෘතාන්තයක් අප වෙත තබමින් ද, තවත් අතෙකින් පශ්චාත් යුධ පුරවැසියා මුණ ගස්වමින් ද මේ සමයෙහි අප අභියස නැගෙන සමාජ අර්බුදය සාකච්ඡාවට ගනියි. එය චරිතයන්හි අනන්‍යතා හා සමීපව ගණුදෙනු කරනු වෙනුවට, එහි ඇති මායා යථාර්ථමය ලක්ෂණ හේතුවෙන්ම, එය පසෙක සිට විමසීමකට අපට ආරාධනා කරයි. එහෙත් පුෂ්පකුමාරගේ චිත්‍ර‍පටය, ඔහුගේ මුල් කෘතියෙන් බැහැරව, සෘජුව චරිත හා කේන්ද්‍රීයව රැඳෙමින් ඔවුන් අත් විදින ඛේදවාචකය අප ඉදිරිපස තබා පෙන්වයි. රූපමය සත්කාරයෙන් පොහොසත් කෘති දෙකම අනාගත කලාගාර සිනමාවේ දෘශ්‍ය වියමන් පිළිබඳ අප සැක සංකා තබා ගත නොයුතු බැව් පහදා දෙයි.

ඉහත සිනමා මුණගැසීම් කෙසේ වුව, මා වඩාත් තෘප්තියට පත් වූයේ කේසවරාජන්ගේ ‘පනයිමරක්කඩු‘ නරඹන්නට ඉඩ ලැබීම හේතුවෙනි. කේසවරාජන් යනු උතුරේ ක්‍රියාකාරී ද්‍ර‍විඩ සිනමාකරුවන් අතර ප්‍ර‍මුඛයා ය. ඔහුගේ ‘පනයිමරක්කඩු‘ වර්තමාන උතුරේ සිනමා භාවිතය පිළිබඳ අනේක කාරණා රැගත් දෘශ්‍යමය ගතක් වැනි ය. සිනමා උළෙල සඳහා ඔහු චිත්‍ර‍පටය ඉදිරිපත් කරන විටත් එහි දෙවැනි අර්ධයේ වැඩ පූර්ණ ලෙස අවසන්ව තිබුණේ නැත. ඒ පිළිබඳ කේසවරාජන් අවසන අපෙන් සමාව ඉල්ලා සිටියේ ය. එහෙත් එය සමාව ඉල්ලිය යුතු නොවන කරුණක් බව මට හැගුණේ ඔහු ප්‍රේක්ෂකයින් වෙත සිදු කළ දමිළ භාෂිත පැහැදිලි කිරීම් උළෙල සංවිධායක මණ්ඩලයේ සිටි ආනන්ද රමනන් විසින් පෙරළා දුන් පසු ය. ‘පනයිමරක්කඩු‘ වසර හතක අනවරත සිනමා වෑයමකි. එහෙත් එයට තවමත් වැයවී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණි. එහි නළු නිළියන් ඇතුළු සියල්ලෝ කෝවිල් බතින් සෑහී කෘතිය වෙනුවෙන් වෙහෙසුණු බව කේසවරාජන් කීවේ ආවේගයකිනි. එසේම සෙනෙහසකිනි.

පනයිමරක්කඩු අපට කියන පුවත කුමක් ද? එය සිවිල් යුද්ධය අවසන්ව, කඳවුරුවලින් පුනරුත්ථාපනය ලැබ ගමට එන එල්ටීටීඊ සාමාජිකයාගේ කතාවයි. එසේම උතුරේ යුධ වැන්දඹුවගේ කතාවයි. යුද්ධයෙන් සිය පියා, සොහොයුරා හෝ ඥාතීන් අහිමි වූ ජීවිත ඉතිරි වූවන්ගේ කතාවයි. එහි දෘශ්‍ය සැකසුම් සැම ඇසිල්ලකම පොහොසත් නැත. ශබ්දය තවම පූරණය වී නැත. එහෙත්, දකුණටත් ඇතැම් විට අත්විඳිය හැකි, පශ්චාත් යුධ යථාර්ථයන් ගණනාවක් එහි හමු වේ. ‘පුනරුත්ථාපනය වූ‘ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා දැන් රැකියාවක් නොමැතිව අසරණ වූ අත්හැර දැමූවෙකි. යුද්ධය නිසා ගම්බිම් හැර ගිය වැසියන්ගේ ඉඩම් ධනවත් මුදලාලි ප්‍ර‍ජාව හා දේශපාලන හස්ත විසින් ඩැහැගනිමින් තිබෙයි. කටුක, මග හැර යා නොහැකි, ඛේදයන් රැසකි.

යාපනය, එය මිහිරි හමු රැසක එකමුතු බිමකි!

යාපන ජාත්‍යන්තර සිනමා උළෙල කේසවරාජන් සහ පතිරාජ එක බිමකට කැඳවූ අවකාශයකි. වසර 7ක් තැනෙමින්, අවසන් වෙතැයිද යන පැනය ද සහිතව තිබූ ‘පනයිමරක්කඩු‘ උළෙල ඉලක්කයක් කරගනිමින් නිම කළ බව කේසවරාජන් කියන්නේ ආඩම්බරයෙනි. ‘ඔයා ගිහින් චිත්‍ර‍පටය හදන්න... අපට කීර්තිය විතරක් අරන් එන්න!‘ යනුවෙන් පවසමින් මහාචාර්ය කයිලාසපති, යාපනය විශ්වවිද්‍යාලයේ එවක උපකුලපතිවරයා ලෙස තමන්ට ‘පොන්මනි‘ සාදන්නට නිවාඩු අනුමත කළ බව පතිරාජයන් කියන්නේ අතීත ස්මරණ සමග නෙතට නැගි තුටු කදුළු ද සමගිනි. ඔහු දශක හතරකට පසු කීර්තියේ උච්චතම අවස්ථාවක් විශ්වවිද්‍යාලයේ මුව විටෙහිදී යළි අත් කර දී ඇත. උළෙල සිනමාකරුවන්ට ඉලක්ක, ස්මරණ, ඇගයීම් ප්‍ර‍තිමුඛ කොට ඇත.

යාපන ජාත්‍යන්තර සිනමා උළෙල දශක ගණනාවක අතීතය යළි සිහි කැඳවන තෝතැන්නකි. සිනමා උළෙල නරඹා අතුරු මගෙක ඇති කුඩා කඩපිළකට ගොඩ වී යාපනයේ තෝසේ එකක් සමග වඩේ කන ඔබට ‘තමන්ගේ අතීත සිංහල මිතුදම්‘ සිහි කොට සිනා නගන කඩ හිමියකු හමුවිය හැක. මනුෂ්‍යත්වය හා ගණුදෙනු කරන සිනමා කෘති නරඹා ඔබ මගට බසිනු ඇත්තේ නිකම්ම නිකම් තල් සූකිරි හෝ හකුරු සමග යාපනයේ මිදි රැගෙන හැරී යන මහ සෙනඟ හා එක්වන්නට නොවේ. සිනමා කෘතියේ රාමුව තුළ හමුවූවාට වඩා බරැති ජීවිත නගරාවකාශය හා යාබද අතුරු මාවත් තුළ ඔබට හමුවනු ඇත. ඔබ ඔවුන් හා සැබවින්ම සිනා නගනු ඇත.
තිස්වස් යුද්ධයකට පසු, නැගෙමින් තිබෙන භොතික පරිසරය දැක, යුද්ධයේ නටඹුන් කැමරාවට නගා ගනිමින්, එනමුත් බිඳුණු සිත් තුළ ඇති වේදනාව පිළිබඳ මඳ සැලකිල්ලකුදු නොමැතිව යාපන අර්ධද්වීපය පුරා ඇවිද යමින්, නාගදීපයද වැද පුදාගෙන එන දකුණේ ජන රැල්ලෙන් වෙන්ව, දින පහක් හයක් එහි ජන ජීවිතය ද දකිමින්, දේශීය හා විදේශීය සිනමාපට ද රසවිඳිමින් කාලය ගෙවන්නට ඔබටත් ඉඩක් වෙන් කරගත හැකිනම් එළඹෙන වසරේදී අපට එහි මුණගැසිය හැකි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -