Wednesday, March 18, 2020

හෙඩිමට ‘නවක වධය‘ නොකැඳවීමට...


(2020 ‍මාර්තු 15 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

අද සටහන අරඹන්නට පෙර 2016 වර්ෂයේ මා ලියූ දීර්ඝ බ්ලොග් සටහනකින් මුල් ඡේද දෙකක් ඔබ වෙත තබන්නට ඉඩ දෙන්න.

“නවක වධය ගැන කතා බහ යළි ඇවිලී ඇත. විශ්වවිද්‍යාලවල පාඨමාලා බොහොමයක් ඇරඹෙන්නේ වසරේ මුල් කාර්තුවේ නිසා මේ ඇවිලෙන සමය බව තතු දන්නෝ දනිති. මෙවර (මේ වන තෙක්) කරළියේ කතා අතරට පැමිණ ඇත්තේ කලින් වසරවල තරම් බිහිසුණු කතන්දර නොවේ. කැළණියේ නවක සිසුවියක් තමන්ට නිදහසේ සිය අධ්‍යාපනික කටයුතු කරගන්නට ඉඩ නොදුන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමකට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන, ඇප ලබා නොදී බන්ධනාගාර ගතකර ඇති බව එක් කතාවකි. දෙවැන්න අද (මැයි 12) පුවත්පත්වල පළවී තිබුණු අතර එය ඊට වඩා ශෝචනීය වූවකි. ඒ පුවත අනුව පේරාදෙණියේ සිසුවියක් ලිපියක් ලියා තබා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතැර යළි ගම්බ්ම් බලා ගොස් ඇත.
මේ අතර, පසුගිය කාලයක් පුරාම නැගී ආ සමාජ මාධ්‍ය ජාලය පුරා ද නවක වධය ගැන බොහෝ දේ ලියැවෙන්නට පටන් ගෙන ඇත. කිසිදු අදහසක් නැතිව කැමරා තිබූ පළියට දුවයන ටෙලිවිෂන්කාරයෝද ඇප නොදුන් අයගේ අම්මලා, අක්කලා හඬා වැළපෙන අයුරු ද, කොහේ හෝ නවක වධ සිදුවීමක් එළිදරව් වූ විගස දේවාරූඩ වේගයෙන් ආවේශ වී ‘ශිෂ්‍ය මර්දනය, ආණ්ඩුවේ කුමන්ත්‍ර‍ණ‘ ඇතුළු වසර ගණනක් පිළුණු වී ඇති වචන කිසිදු  ඇහිල්ලක් බැලිල්ලකින් තොරව අතාරින අන්තරයේ නන්නත්තාර කතාන්දරද සිය කැමරාවල පුරවාගෙන විත් සාලයට අතාරින්නට පටන් ගෙන ඇත. පත්තරවල කදුළු කතාද, තවත් බොහෝ පෙරහැර විස්තරද ඉදිරියේදී අපට හමුවනු ඇත.“

දැන් මට අද සටහන ඉහත පළමු ඡේදයේ මුල් වාක්‍ය දෙක යොදමින් අරඹන්නට යළිත් අවසර දෙන්න.
“නවක වධය ගැන කතා බහ යළි ඇවිලී ඇත. විශ්වවිද්‍යාලවල පාඨමාලා බොහොමයක් ඇරඹෙන්නේ වසරේ මුල් කාර්තුවේ නිසා මේ ඇවිලෙන සමය බව තතු දන්නෝ දනිති. ....

මගේ ලේඛණය යළිත් මේ 2020 වර්ෂයේ දී, 2016 දී මෙන්ම, පෙර පරිදිම ආරම්භ කිරීමට මට දැන් බාධාවක් නැත. මා කළ යුත්තේ එහි තෙවැනි වාක්‍යයට ‘අසන්නට ලැබී ඇති පුවත බිහිසුණු මෙන්ම හද රිදවන‘ එකක් බව ලියා පසිඳු හිරුෂාන්ගේ නම ඇතුළත් කිරීම ය. අනතුරුව ඉන් පසු ඇති වාක්‍යවල රටාව හා අන්තර්ගතය අදාලත්වය අනුව සංස්කරණය කිරීම ය. මාතෘකාව නොඑසේනම් හෙඩිම තුළ යෙදෙන ‘නවක වධය‘ යන්න සිදුවීමට අනුව සැකසීම ය. කෙසේ වෙතත්, මට හෙඩිමේ ඇති නවක වධය යන්න ඉවත් කිරීමටත්, අන්තර්ගතයේ මූලික පෙළ ගැස්වීම වෙනස් කිරීමටවත් ඉඩක් නැත.

මේ නම් දැවැන්ත ඛේදවාචකයකි!

2016 වර්ෂයේ මා ලියූ බ්ලොග් සටහනේ මාතෘකාව වූයේ “නවක වධය: එය මහා සංස්කෘතියේම පිළිබිඹුවක් මිස උප සංස්කෘතියක් නොවේ!“ යන්නයි. අප දශක ගණනක් අසමතුන්වම ඡන්දයෙන් ඔසවා තබා පාර්ලිමේන්තු යවනු හා සමානවම, දශක ගණනක් අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී ක්ෂේත්‍රවලටවත් ජාතික ප්‍රතිපත්ති සකසා ගැනීමට අසමත් වී ඇතුවා හා සමානවම, තවත් බොහෝ ජාතික වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල දී මූලික ප්‍රවිශ්ටයන් හෝ ගැනීමට අසමත් වී ඇතුවා හා සමානවම, ‘නවක වධය‘ නමැති තිරස්චීන ක්‍රියාදාමය මුලිනුපුටා දැමීමේ කටයුත්තේ දී ද අසාර්ථකව ඇත.

ඒ කවර හේතු නිසා ද?  

පළමුව, සෙසු බොහෝ කරුණු පිළිබඳ මෙන්ම අප සමාජයේ මේ පිළිබඳව ද අනවරත සංවාදයක් ද, ප්‍රායෝගික හා ක්‍රියාකාරී මැදිහත්වීමක් ද නැතිවීම හේතුවෙනි. ලිපිය ආරම්භයේ මා සඳහන් කළ පරිදි නවක වධය අපගේ මාතෘකා අතර ඉහළට එන්නේ විශ්වවිද්‍යාල හා සෙසු උසස් අධ්‍යාපන ආයතනවල පළමු වසරට සිසුන් එක් වන වසරාරම්භ කාල සමයන්වල දී ය. පසිඳු හිරුෂාන්ගේ නම ඔහු හා බැඳුණු සිද්ධිය යටපත් වී යත්ම ඉදිරියේ දී මැකී යන්නට නියමිත පරිදිම නවක වධය සම්බන්ධ මේ දිනවල පවතින උණුසුම ද මාධ්‍යය වෙතින් ද, සමාජය වෙතින් ද කෙමෙන් මැකී යන්නට නියමිත ය. කෙසේ වෙතත්, රූපා රත්නසීලී සිට වරප්‍රකාශ් හරහා නැගෙන නවක වධය හෝ ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් දිවි අහිමි වූවන්/දිවි නසාගත්තවුන්ගේ ලේඛණය ද, ඊට වඩා දිගු, ආබාධිත වූවන්ගේ ලේඛණය ද, ගිනිය නොහැකි තැනක ඇති, විශ්වවිද්‍යාල හැර ගියවුන්ගේ ලේඛණය ද, කෙළවර නොවන තැනක ඉදිරියටත් පවතිනු ඇත. පාලකස්ථාන ද, කථිකාව පසෙක තබා, ‘නවක වධ පනත‘ ලෙස නාමකරණය වී ඇති සම්පාදිත නීති පද්ධතියේ ඇතැම් ඡේද ක්‍රියාත්මක කරමින් හෝ නොකරමින් තත්වය ‘පාලනය කර තබනු‘ ඇත.

දෙවනුව, නවක වධය අර්ථගැන්වීම හා/හෝ හඳුනාගැනීම පිළිබඳ සමාජය හමුවේ විසිරුණු, ප්‍රතිවිරුද්ධ එළඹුම් ගණනාවක් පැවතීමේ බිහිසුණු මෙන්ම ඛේදනීය තත්වය හේතුවෙනි. එහිලා මා යළි 2016 මගේ බ්ලොග් ලිපියේම උපුටනයක් යළි ගෙන එමි.

“කෙසේ වෙතත් අප බොහෝ දෙනෙක් නවක වධය ගැන දරණ භයානකම ආකල්ප මුණ ගැසෙන්නේ ඒ පිළිබද ස්වකීය පුද්ගල අතීතය මත රැඳි පමණක් තීරණ ගැනීමට යාමෙනි. එක් එක් විශ්වවිද්‍යාලවල, ඒ ඒ පීඨවල මුණගැහෙන නවක වධ වෙනස් ස්වරූප ගන්නා බව පෙනෙන අතරම කාලයාගේ ඇවෑමෙන් ඒවායේ තත්වය වෙනස් වන බවද නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යනු ඇත. නවක වධයේ දේශපාලනික පසුබිම නිර්මාණය වූයේ ජවිපෙට සම්බන්ධ දේශපාලනය පදනම්ව නිසා සහ වත්මනෙහි ඒ නිර්මාණය වන්නේ පෙසප හා සම්බන්ධ දේශපාලනය පදනම්ව වීම හේතුවෙන් ඒ පක්ෂ හා සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා සෘජු සබඳතා නොදක්වන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හමුවේ ඒ බොහෝ විට අඩු වීමක් හඳුනාගත හැකි ය. එහෙත් නවක වධය පූර්ණ වශයෙන්ම දේශපාලනික ව්‍යාපාරයක් හා බැඳී නොපවතින්නක් වන හෙයින්ම අන්තරය හා සම්බන්ධ නොවන ශිෂ්‍ය දේශපාලනයක් පැවති පමණින් ඒ පාලනය වේයැයි සිතීම විහිළුවකි. හුදු තිබූ දේ යළි සිදු කිරීමේ උවමනාව, ‘උප-සංස්කෘතිය‘ නැසී යා නොදිය යුතුය යන සිතුවිල්ල, පරපීඩක කාමුකත්වය හෝ වෙනයම් කවරාකාරයක හෝ මනෝ ව්‍යාධි, ‘රැග් එකක් වත් කාල නැත්තං කැම්පස් ඉඳල වැඩක් නෑ‘ ආදී ගුරුවර/ටියුෂන් ගුරුවර/ වැඩිහිටි/ ලොකු ලොක්කන්ගේ කතා ඇතුළු තවත් බොහෝ කාරණා නවක වධය ඉදිරියට ගෙන යාමට පසුබිම සපයයි.“

ඉදින්, අප මෙම පසුබිම් සියල්ල ඔස්සේ යමින්, විවෘතව හා මැදහත්ව මේ ඛේදවාචකය විමසන්නට සූදානම් ද? පිළිතුරු සොයන්නට සූදානම් ද?

නවක වධය ද අධ්‍යාපන පද්ධතිය බිඳ වැටී පැවතීම හා එය ඉන් ගොඩට ගැනීමට අසීරුව පැවතීම හා සමාන, දුෂ්ට චක්‍රයක් මත දිවෙන්නකි. අධ්‍යාපන පද්ධතියේ දුෂ්ට චක්‍රය පිළිබඳ සාකච්ඡාව දෙවනුවට තබමින්, නවක වධය හමුවේ වන දුෂ්ට චක්‍රය පිළිබඳ මාගේ අර්ථ නිරූපණය පහදන්නට මට ඉඩ දෙන්න.

නවක වධයට ලක්වන, එය අත් විඳින කණ්ඩායම් හමුවේ ඒ පිළිබඳ වඩා ප්‍රබල සාකච්ඡාවක් ඇති කිරීමට විශ්වවිද්‍යාල ආයතන පද්ධති කිසිදු සමයක සමත් වී නැත. ඉහළ පාලකස්ථානවල පටන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල පවා හමුවන, සිත යටින් නවක වධය පැවතිය යුතුය යන්න විශ්වාස කරන හා/හෝ ඊට අනුබල දෙවන පිරිස ද සුළු අංකයක් නොවේ. ශිෂ්‍ය සංගම් ද සෘජුව ඒ පවත්වාගෙන යන හෝ පවත්වාගෙන යාමට අනුබල දෙන ස්ථානයක පැවතීම හේතුවෙන් සංවාදය පවතින්නේ අවම අගයක ය. ටියුෂන් සංස්කෘතිය විසින් ආක්‍රමණය කොට ඇති, තරග මානසිකත්වයන් විසින් විචාරශීලීත්වය මොට කොට ඇති නවක ශිෂ්‍ය ප්‍රජාව වෙතින්ම ද මේ පිළිබඳව ස්ව-කථිකාවක් බිහිවීමේ අවස්ථා විරල ය.  එනිසාම නවක වධය පවතී. ඒ පිළිබඳ වන සංවාදය නොපවතී.

චක්‍රය ඇරඹෙන්නේ මෙම වේදනාව ‘උප-සංස්කෘතික‘ යමක් හෝ ‘සාමාන්‍ය විශ්වවිද්‍යාල තත්වයක්‘ ලෙස පිළිගනිමින් හෝ වටහාගනිමින් ඉහළට යන බහුතර ‘නිද්‍රාශීලී‘ ශිෂ්‍ය ප්‍රජාව, පළමුව ඉහළ වසරවලදී ද, දෙවනුව විශ්වවිද්‍යාලයෙන් පිටව සමාජය තුළ දී ද මේ පිළිබඳ නිහඬ ප්‍රතිපත්තියකට හෝ එකඟ ප්‍රවේශයකට එළඹීමත් සමග ය. විශ්වවිද්‍යාලය තුළ දී එක්කෝ ඔවුහු පසුපසින් එන්නන් වධයට භාජනය කරති. නැතිනම් නිහඬ වෙති. සමාජයට පය තැබූ පසු පූර්ණ ලෙසම ‘තමන්ගේ වැඩක් බලාගෙන‘ නිහඬ වෙති! ඉඳහිට තමන්ගේ අතීතය සමරණ මොහොතක මෙහි වූ ‘ත්‍රිල් කෑලි‘ සොයා ඊළඟ පරපුරට ද, ‘රැග් එකක් වත් කාල නැත්තං කැම්පස් ඉඳල වැඩක් නෑ‘ ආදී සිය ගුරුවර/ටියුෂන් ගුරුවර/ වැඩිහිටි භූමිකාවල සිට පවසමින් චක්‍රය සම්පූර්ණ කර දෙති.
නවක වධය මේ කුඩා තීරුවට ලඝු කොට ලිවිය හැකි ඛේදවාචකයක් නොවේ. එය, විශ්වවිද්‍යාල පළමු වසර තුළ ශිෂ්‍ය ප්‍රජාවේ උද්යෝගය දැඩිව බිඳ දමන්නට පසුබිම තැනීම හේතුවෙන් ජාතික වශයෙන් රටේ ඉදිරි ගමන බිඳ දමන්නට සෘජුව හේතු සපයන, ඇඟ කිලි පොළන සුළු ඛේදවාචකයකි. පසිඳු හිරුෂාන්ගේ සිදුවීම අවසන් අංකයේ තබමින් අප යුහුසුළුව මැදිහත් විය යුත්තේ පුවත්පත් හෙඩිමට ‘නවක වධය‘ නොකැඳවීමට ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -   

Saturday, February 29, 2020

ලංකා සාන්ත සහ ඩේමියන්


(2020 ‍පෙබරවාරි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
සුනිල් සාන්ත
මට ලංකා සාන්ත සහ ඩේමියන් හමු විය. ඒ ගෙවුණු සති අන්තයේ ය. ලංකා සාන්ත යනු සුනිල් සාන්ත නමැති, සංගීත චින්තනයක් රටට ඇති කිරීමට, රටේ සියල්ලන්ට භාවිතයට කැඳවිය හැකි අනන්‍ය සංගීතයක් සොයා යාමට කටයුතු කළ විශිෂ්ට මිනිසාගේ දෙවැනි පුත්‍රයා ය. ඩේමියන් යනු මීගමු ප්‍රදේශයේ කුඩා විලා හෝටලයක ආවතේවකරුවකු ලෙස කටයුතු කරන, වැදූ මවගෙන් හැදූ මව වෙත භාර වූ හෙයින්, මව්වරුන් දෙදෙනෙකු මට විණි යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන, දමිළ ජාතික, එනමුත් සිංහලය ද හොඳින් වහරන හිත හොඳ මිනිසා ය.

මේ දෙදෙනාගේම හමුව එකවර යෙදුණේ සුනිල් සාන්තයන්ගේ චින්තනය පිළිබඳ හැදෑරීම හා පර්යේෂණය ප්‍රමුඛ කොටගත් අධ්‍යයන පදනමක් බිහිකිරීම පසුබිම්ව යෙදුණු සමාරම්භක සැසිය තුළ දී ය. සුනිල් සාන්ත සමාජය මේ වන විටත් වඩාත් ක්‍රියාකාරී සංවිධානයකි. එය වාර්ෂිකව සුනිල් සාන්ත සංගීත භාවිතාව සැමරීමට හා ඒ මැදිහත්වීම පෙරට ගෙන යාමට විවිධ වැඩසටහන් සමාජය වෙත තබයි. ඒ ආශ්‍රිත සාකච්ඡාවන් තුළ දී පැන නැගී ඇති බව පෙනෙන මෙම අධ්‍යයන පදනමක් බිහිකිරීමේ යෝජනාව මල් ඵල ගන්වනු වස් වන පළමු සැසියට මවෙත ආරාධනාව ගෙන ආවේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ ය.

සුනිල් සාන්තයන් මෙරට අධිපති සංගීත චින්තනය හා භාවිතය විසින් ආන්තික කලාප වෙත තල්ලු කරනු ලැබූ, අද දවසේ යළි හැරී විමසන විට පෙරමුණට කැඳවීමට බොහෝ කාරණා තිබුණු බව පෙනෙන විශිෂ්ඨයෙකි. අද, සෞන්දර්යයෙන් විනිර්මුක්ත සමාජයක ජීවත් වන අපි, සංගීතය යනු රියැලිටි තරු වෙත සිය දරුවන් දැක්කීම යැයි විශ්වාස කරන දෙමාපිය හා වැඩිහිටි පරපුරක් සමග සෞන්දර්යයේ අනාගතය ගැන සිහින දකින්නෝ වෙමු. සියලු පුරවැසියන්ට වඩාත් සමීප, නමුත් කිසිදු එක් සංගීත සම්ප්‍රදානයක් වෙත තනිව ඇලී නොපවතින, දේශජ සංගීත භාවිතයක් තැනීමේ සුනිල් සාන්ත සිහිනය සාක්ෂාත් විණි නම් අද අප ජීවත් වෙමින් සිටින්නට තිබුණේ ඊට හාත්පස වෙනස් සමාජයක වීමට තිබුණු ඉඩ සුළු නොවෙන්නක් බව පෙනෙන්නේ ඔහුගේ දැක්ම විමසන විට ය. ඒ කවරාකාර වූවක් ද?

සුනිල් සාන්ත ද ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ඉහළින්ම ප්‍රගුණ කළ අයෙකි. ඒ ප්‍රකට රතන් ජන්කර් පඬිදුන්ගේ හොඳම ශිෂ්‍යයකු ලෙස ඇගයුම් ද ලබමිනි. නමුත් ඔහුගේ ආගමනය, ඔහු හා සමකාලීනව ඉන්දියාවට ගිය ලයනල් එදිරිසිංහ යනාදීන්ගේ මගින් පොළා පැන අනන්‍ය දේශීය සංගීතයක් තැනීම වෙත යොමු විය. අද ‘දේශීය‘ හා ‘අනන්‍ය‘ වැනි වදන්වලට වෙනත් සංකල්ප රූප අප මනස් තුළ ස්ථාපනය කොට අහවර වී ඇතත් සුනිල් සාන්ත යෝජනා කළ අනන්‍ය දේශීය සංගීත භාවිතය වූ කලී එම කලාප තුළ සිර නොවූවක් බව පෙනෙන්නේ ඔහුගේ ක්‍රියාකාරී මැදිහත්වීම තුළ හමුවන සාර්ව-භෞමික ලක්ෂණයන් හේතුවෙනි. සැබවින්ම ඔහු යෝජනා කොට තිබුණේ කෞතුකාගාර ගත කළ යුතු අනන්‍ය - දේශීය සංගීත සම්ප්‍රදායක් පිළිබඳ නොස්ටැල්ජික ප්‍රවේශ මාර්ගයක් නොව එදිනෙදා භාවිතය තුළ පැවතිය යුතු සජීවි සංගීත භාවිතයකි.

කෙසේ වෙතත්, පසු-නිදහස් සමය තුළ පැන නැගෙන සංස්කෘතික භාවිතය තුළ පෙරටුගාමී බලඇණි වෙතින් ද, හෙළ හවුල හා සමීප වීම නිසා (සරච්චන්ද්‍ර ප්‍රමුඛ) පේරාදෙණි (ගුරු කුලයේ) මහා කථිකාව වෙතින් ද, ඉවත් කෙරුණු ලැබූ සුනිල් සාන්ත සිය ජීවිතයේ වැඩි කොටසක් ගත කොට ඇත්තේ සිය පවුලේ ජීවිකාව වෙනුවෙන් කැප වුණු සෙනෙහෙබර නමුත් අදීන පිය භූමිකාවක නිරත වෙමින් වෙනත් ස්වයං රැකියාදීයේ නිරත වෙමිනි. අගනුවරින් වැඩි ඈතක ජීවත් නොවුණ ද, එදවස දේශීය සංගීතයේ මුහුණවර තනන්නට ප්‍රමුඛ කටයුත්තක නිරත වූ ගුවන් විදුලි සංස්ථාවට වැඩිපුර ගොඩ නොවී ඇති සුනිල් සාන්ත, එහි කැඳවුණු මොහොතවලදී වුව එම ප්‍රවේශයන් ප්‍රශ්න කොට ඇති බව පෙනේ. සියලු ලාංකික ගායක ගායිකාවන් රතන් ජන්කර් පඬිතුමන් හමුවේ උත්තර භාරතීය සංගීතය පෙරමුණෙහි තබා පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු යෙදුණු විට, රතන් ජන්කර් යනු සිය ගුරුතුමන් වුව, සුනිල් සාන්ත එය ප්‍රතික්ෂේප කොට ඇත්තේ උත්තර භාරතීය සංගීතය මෙරට සංගීත සිතියම තනන්නට මුල්වන ප්‍රමුඛ ප්‍රවේශය බවට පත් කිරීමට විරෝධය පාමිනි.

සිවුදරු පියෙකු ලෙස, ස්වාත්මයෙන් ඇරඹ, රට, ලෝකය හා කලාව ඔස්සේ විහිදෙන පරිදි (සුනිල් සාන්ත, ලංකා සාන්ත, ජගත් සාන්ත යන පුතුන් හා කලා සාන්ත දියණිය) සිය දරුවන්ට ද නම් තබා ඇති සුනිල් සාන්ත ජීවන පැවැත්ම පූර්ණ ලෙස ස්වකීය දර්ශනය ඔස්සේ විහිදුවා ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ඔහු ආන්තික කලාපයක සිර කොට තබා තිබී ඇත්තේ ඔහුගේ භාවිතය ‘සරල වැඩි, වැඩකට නැති‘ තැනකට පටු කොට තබමිනි. ඔහු තනන්නට යත්න දැරූ සංගීත සම්ප්‍රදානය එක් සීමාවකින් ඉදිරියට යන්නට ඉඩ නොදී සීමා පනවමිනි.

ඔහුගේ දෙවැනි පුතු වූ ලංකා සාන්තගේ පූර්ණ දායකත්වය හිමිව තිබුණේ සිය පියාගේ මේ ගමන් මග යළි පිළිවිස ඒ ඔස්සේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් වෙත ද අප මෙහෙයවන්නට ය. එය අපට පෙනුණේ සිය පියා ස්වකීය නාමයෙහි පටන් තමන් වෙත තබා ගිය ඇඟවුමෙහි සංඥාව හඳුනාගත්තෙකුගේ මැදිහත්වීමක් ලෙස ය. භාෂාව, ජාතිකත්වය ඇතුළු කලාප වඩාත් දැඩි මූලධාර්මික සංස්ථාවන් හා බද්ධව හඳුනාගැනෙන හා අර්ථ දැක්වෙන අද දවස සුනිල් සාන්ත චින්තනය යළි විමසීම ජාතිකත්වය පිළිබඳ මෙරට පසු-නිදහස් කථිකාව හඳුනාගැනීමටත්, වෙනත් මානයකින් අර්ථ දක්වා ගැනීමකටත් මග පාදනු ඇත.

එසේ නම් ඩේමියන්?  

මේ සියලු සංවාදයන් සඳහා මුල පිරුණු රෝයල් ෆීනික්ස් විලාහි ආවතේවකරුවා ඔහු ය. උදෑසන තේ කෝප්පයේ පටන් රාත්‍රී ආහාරය දක්වා අපට සැපයූ ඩේමියන්, ඉන් ද නොනැවතී අප වෙත විටින් විට විවිධ අඩුවැඩිය සැපයී ය; අවශ්‍යතා විමසා බැලී ය. අප සැම සමග අපූරු කතා කියමින් සිය ජීවිතය ගැනත්, රටේ ලෝකයේ සමාජ දේශපාලනික වටපිටාව ගැනත් තමන්ටම අනන්‍ය කියවීම් අප වෙත ගෙන ආවේ ය.

“ඔය ආදරේ කියන එක තියෙනව නේද සර්? ඒක නිකං බස් එකේ නැත්තං ත්‍රීවීල් එකේ යනව වගේ වැඩක්. ඕනැ තැනක බහින්න පුළුවන්. ඒත් කසාදෙ එහෙම නෙවෙයි. ඒක ප්ලේන් එකේ යනව වගේ. නැග්ගට පස්සෙ බාන කං බැහිල්ලක් නෑ. මොකද ආය දොර ඇරන් පනින්නයැ?”

එවැනි කතා සමගින් ඔහු අප සිනා ගැන්වූයේ ය.

නමුත් අපූර්වතම අවස්ථාව හමුවූයේ අවසන් දිනයේ කපිල දිසාසේකර සිය ඉලෙක්ට්‍රොනික කී බෝඩය වයමින් ගීත ගැයූ මොහොතේ ය. අප වෙත ආ ඩේමියන් සුනිල් සාන්තයන්ගේ ‘ඕලු පිපීලා’ ඇතුළු ගීත කිහිපයක්ම වයන ලෙස කපිලගෙන් ඉල්ලා සිටියේ ඒ ගීත පිළිබඳ ඇගයුමක් ද ලබා දෙමිනි.

“ඒව හරි ලස්සන සිංදු සර්. මම දෙමළා තමා. හැබැයි මුං දැං මේ බාසාව කන එකට මට තරහයි. මේක සිංහල- දෙමළ කතාවක් නෙවෙයි. මුං සේරම මේක කනවා....”

ලංකා සාන්ත අනුග්‍රහය දක්වමින්, මහාචාර්ය ජයන්ත අමරසිංහගේ කැඳවීමට අනුව මා සම්බන්ධ වුණු සුනිල් සාන්ත අධ්‍යයන පදනම පිහිටුවීමේ අවස්ථාවේ දී ඩේමියන් හමුවීම මට නම් සුවිශේෂ ය. ඔහු නොකීව ද ඔහුගේ නම අනුව ඔහු දමිළ කතෝලිකයෙකු වන්නට ඇති ඉඩ වැඩි ය. නමුත් ඔහු සිංහල-බෞද්ධ දෘෂ්ඨිවාදයේ බල කේන්ද්‍ර විසින් ආන්තික කලාප වෙත තල්ලු කෙරුණු සුනිල් සාන්ත භාවිතාවේ වැදගත්කම ගැන අපට කියයි. එහි පොදු පුරවැසි නියෝජිතයෙක්ව නදීක ගුරුගේ, අජිත් කුමාරසිරි හා කපිල දිසාසේකර ඇතුළු පිරිස ගෙන ආ සුනිල් සාන්ත නිර්මාණ භාවිතය විඳියි.

සුනිල් සාන්ත දෙස අප හැරී බැලිය යුතු ය. ඒ ලංකා සාන්තගේ ඇරයුම හේතුවෙන් පමණක් නොවේ. ඩේමියන්ගේ ද ඇරයුම හා සිහි කැඳවුම හේතුවෙනි.


-ප්‍රියන්ත ෆොන්සේකා -


Thursday, February 13, 2020

දරුවාගේ විශ්වයෙන් වැඩිහිටියාගේ විශ්වයට: පුතුගේ චිත්‍රයේ ‘අපාය සහ දිව්‍ය ලෝකය‘

(2020 ‍පෙබරවාරි 01 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

දැනට දිනකට දෙකකට පෙර මගේ සිව් වියැති පුතු මගෙන් ප්‍රශ්න පෙළක් ඇසුවේ ය. ඒ අපාය සහ දිව්‍ය ලෝකය ගැන ය. මවිසින් පසුව ෆේස්බුක් අඩවිය තුළ කුඩා සටහනක් ලියන්නට ද හේතු වුණු එම කෙටි ප්‍රශ්නෝත්තර සංවාදය මෙපරිදි ය.

“තාත්තෙ, දිව්‍ය ලෝකෙ ද සුරංගනාවියොයි, බුදු සාදුලයි ඉන්නෙ?“

“සුරංගනාවියො දිව්‍ය ලෝකවල ඉන්නව කියල මම අහල තියෙනව. බුදු සාදුල ඉන්නව කියල අහල නෑ...“
පුතුගේ චිත්‍රය

“එතකොට... ඇනෙන කටු තියෙන ගස් ජාතියක් තියෙන්නෙ... ඒ අපායෙ ද?“

“හ්ම්... එහෙමත් කියනවනෙ... කවුද පුතාට අපායයි, දිව්‍ය ලෝකයයි ගැන කිව්වෙ??“

“ටීචර්... අද පන්තියෙ දි!“

එම සංවාදය කෙළවර වී නොබෝ වෙලාවකින් මගේ පුතු මා අත චිත්‍රයක් තැබූ අතර එහි පෙර පරිදිම ඔහු වළාකුළු, හිරු, මල්, ඵල දැරූ ගසක්, දුම් දමන නැවක් (වැනි රූපයක්), කුඩා දැරියක් (ඔහුගේ නැගණිය විය හැකි) ඇඳ තිබුණු අතර ඉහළ අහසේ වූ වළාකුළුවලට ද මත්තෙන් අතිශය කුඩාවට තවත් හැඩතල දෙකක් ද දක්වා තිබිණ.

“මේ තමයි අපාය... එතකොට තාත්ති මේ තමයි දිව්‍ය ලෝකය!“

එක සමාන්තරව අහසේ තිබුණු එම කළු පැහැ හැඩතල ඔහු මට පැහැදිලි කළේ එපරිද්දෙනි.

සිය ළදරු පාසැලේ දී මුල් වරට ගුරුතුමිය වෙතින් හඳුන්වා දෙන තෙක් දිව්‍ය ලෝකයක් සහ අපායක් පිළිබඳ අදහසක් මගේ පුතු වෙත නොතිබුණු අතර ඒ එක් එක් ලෝකවල අභ්‍යන්තරය පිළිබඳ ද අදහසක් තිබුණේ නැත. කෙසේ වෙතත්, සිය මූලික හැඳින්වීමේ දී සුරඟනන් සහ කටු ඉඹුල වැනි මූලික සංකල්ප රූපවලින් අදාල ‘ලෝක‘ හඳුන්වා දී ඇති බව පෙනෙන හෙයින් එම ‘ලෝක‘ වැඩිහිටි විශ්වයන් තුළ ස්ථානගත කර ඇති කලාප පිළිබඳ කුඩා පුතුට අදහසක් තිබුණේ ද නැත. ඔහු ඒ සියල්ල එකම සමාන්තර අහස් තලයක කුඩාවට නිරූපණය කළේ එනිසා ය.
ඔහුගේ පාසැල් සමය තුළ අපාය යනු පොළව අභ්‍යන්තරයේ ඇති කලාපයක් බවත්, වැරදි සහ පව් කරන්නන් පොළව පැලී හෝ ඉන් පිටතට එන යමපල්ලන් විසින් ඒ වෙත රැගෙන යනු ඇති බවත් හා දඬුවම් පැමිණවෙනු ඇති බවත් හඳුන්වාදෙනු ඇති අතර සමානව දිව්‍ය ලෝකය යනු ඉහළ අහසේ නොපෙනෙන තරම් දුරක පිහිටා ඇති, සියලු යස ඉසුරින් පිරි, දිව්‍යාංගනාවන් පිරිවරාගත් සුර කුමරන් සහිත ලෝකයක් බව ද හඳුන්වා දෙනු ඇත. ඒ හා සමග, පුතුගේ විශ්වයන් වෙනස් වෙමින් ගොස් පූර්ව නිර්මිත වැඩිහිටි විශ්වය වෙත ඔහු ක්‍රමයෙන් ප්‍රවේශ වනු ඇත.

දිනයකට දෙකකට පසු, මේ පිළිබඳ මා තැබූ කුඩා ෆේස්බුක් සටහන ඉහත ප්‍රවේශය පිළිබඳ මගේ මිතුරු සමාජයේ යම් පිරිසකගේ විවේචනවලින් හා, මා එහි පුතුගේ හා ඔහුගේ චිත්‍රයේ ඡායාරූපයක් ද පළ කළ හෙයින්, ඒ පිළිබඳ දැක්වූ ආදරය පළ කළ ඊට වැඩි පිරිසකගේ ඉමෝටිකොනවලින් ද පිරී පැවතිණ. විවේචනාත්මක ව ඒ පිළිබඳ මත පළ කළ මිතුරු කැළගේ පොදු මතය වූයේ මේ සියල්ල ‘බොරු මනස්ගාත‘ බවත්, සම්ප්‍රදායික අදහස් බවත්, දරුවා වඩා ඉදිරිගාමී අයෙකු බවට පත් කිරීමට මේ පිටු දැකිය යුතු බවත් ය.

මගේ මේ ලේඛණය එම කමෙන්ටු තුළින් නැගෙන තර්කනය ඔස්සේ ඉදිරියට යාමට ය. සැබවින්ම, අපාය හා දිව්‍ය ලෝකය පිළිබඳ මගේ පුතුටත්, හා සමානව සියළු දරුවන්ටත් මෙලෙස කරුණු පැහැදිලි කිරීම කළ යුත්තක් ද? නොකළ යුත්තක් ද? මේවා ‘බොරු මනස්ගාත‘ ම ද?

මෙම ප්‍රශ්න සඳහා මගේ අදහස් ගොණු කිරීමට මත්තෙන් මගේ අතීත අත්දැකීමක් ඔබ හා බෙදා ගැනීමට කැමැත්තෙමි. ඒ දැනට වසර 25කට පමණ පෙර මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී මා සහභාගී වූ නාට්‍ය වැඩමුළුවක සිද්ධියකි.

වීදි නාට්‍ය කලාව මෙරට බිහි කිරීමට පුරෝගාමී වූ ගාමිණී හත්තොටුවේගම මහතා විසින් සයමාසික සතිඅන්ත නාට්‍ය වැඩමුළුවක් එහි දී පැවැත්වූ අතර කටයුත්ත සංවිධානය කළේ මහනුවර යුනෙස්කෝ සමාජයයි. එක් සති අන්තයක, ඔහු නිර්මාණශීලීත්වය පිළිබඳ අප වෙත අදහස් දක්වමින් සිටියේ වෙහෙසකර රංග අභ්‍යාස මාලාවක් කෙළවර ය. ඒ පහත කතාව යම් නාට්‍යමය ස්වරූපයකින් ඉදිරිපත් කරමිනි.

“ඔන්න පොඩි දරුවෙක් ඉස්කෝලෙ ගිහිල්ල ගෙදර ඇවිත් කියනව... තාත්තෙ අද මම එනකොට දැක්කනෙ සිංහයෙක්... කියල. අපි දරුවට ඇත්ත කිව්වොත්, මෙන්න මෙහෙම මොක ද වෙන්නෙ? මොන පිස්සු ද පුතේ ලංකාවෙ කොහෙද සිංහයෝ? දරුව එතනම කඩා වැටෙනව! දරුවගෙ ඉමැජිනේෂන් එක ඉවරයි. මම කැමතියි ඒ වෙනුවට ආ ඇත්ත ද පුතේ ඌ මොනවද මගෙ පුතා එක්ක කිව්වෙ කියල අහන්න!“  

හත්තොටුවේගම මහතාගේ මේ කුඩා කතාව මගේ සිතේ තදින් කා වැදුණු එකකි. මගේ පුතු අපාය හා දිව්‍ය ලෝකය පිළිබඳ අදහස රැගෙන මා වෙත ආ මොහොතේ ක්ෂණයෙන් මගේ සිහියට ආවේ මෙම කුඩා කතාවයි. අපාය හා දිව්‍ය ලෝකය ‘බොරු මනස්ගාත‘ බවට ක්ෂණික ප්‍රතිචාරයක් මවෙතින් නැගුණේ නම් පුතු තුළ සැඟවී සිටීමට ඉඩ ඇති හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් පන්නයේ හෝ මාකේස් පන්නයේ නිර්මාණශීලී චින්තකයා මවිසින් එක පැහැර මරා දැමෙන්නට ඉඩ තිබිණි.

එබැවින් මට අනුව, ගුරුතුමිය විසින් අපාය හා දිව්‍ය ලෝකය පිළිබඳ පුතු වෙත සඳහන් කිරීම වරදක් නොවේ. වරද ගොඩ නැගෙන්නේ ඔහු වෙත ගුරුතුමිය විසින් ලබා දෙන සංඥා ඔස්සේ ගොඩ නගා ගන්නට ඉඩ ඇති අතිශය නිර්මාණශීලී ඔහුටම අනන්‍ය වූ විශ්වය පසුව යෙදෙන අධ්‍යාපන රටා ඔස්සේ ඒකාකෘතික රාමුවකට ගෙන විනාශ කිරීම හමුවේ ය. පුතුගේ අපාය අහසේ හමුවීම මට අනුව අපූරු ය. දිව්‍ය ලෝකය ඊට සමාන්තරව තැබීම එතරම්ම අපූරු ය. ඒවායේ ප්‍රමාණයේ ද සැලකිය යුතු වෙනසක් වූයේ නැත. දෙකම හඳුනාගන්න‍ට බැරි තරම් කුඩා ය!

දරුවන්ගේ නිර්මාණශීලී විශ්වයන් විවිධාකාර වන තරමට වඩවඩාත් නිර්මාණශීලී චින්තකයන් බිහි වනු ඇති බව මම විශ්වාස කරමි. එබැවින් මගේ ප්‍රගතිශීලී මිතුරු සමාජයේ අදහස බැහැර නොකරන නමුත් එක්වරම මා ඔවුන් සමග සිට ගන්නේ ද නැත!

මගේ කුඩා පුතු තවමත් කතා කරන සතුන් කොහේ හෝ ඉන්නා බව විශ්වාස කරයි. කාටුන් චිත්‍රපටවල ඔහු දකින ඇතැම් චරිත සැබෑවටම මුණ ගස්වන මෙන් මවෙත ආයාචනා කරයි. ඒ හා සමග ඇතැම් චරිත ‘බොරු නේදැයි‘ යන්න ද මගෙන් අසයි. මම ඒ සියල්ලට පිළිතුරු දෙන්නේ ප්‍රවේශමෙනි. කතා කරන සතුන් ඔහුගේ විශ්වය තුළ ජීවමානව පැවතීම අපූර්ව සිද්ධියකැයි මට සිතෙයි.

එහෙත් මේ කතාව පිටුපස මගේ මිතුරන් හා මා එකඟ වන තවත් සුවිශේෂ සත්‍යයක් ඇත. ඒ මෙම අපාය හා දිව්‍ය ලෝකය ඇතුළු සංකල්ප සියල්ල එක් මූලික දෘෂ්ටිවාදයක් වෙනුවෙන් සමාජ සංස්ථාව ගොණු කිරීම සඳහා පෙළ ගැස්වීමට භාවිතා කිරීමේ පසුබිමයි. ආගමික දෘෂ්ටීන් හමුවේ අනියත ලෙස දරුවන් බය ගන්වා, ඒකාකෘතික දරුවෙකු සමාජය වෙත කැඳවීමට මෙම සංකල්ප කැඳවීමට මම දැඩි ලෙස විරුද්ධ ය. අපාය කුමන කලාපයක තිබුණ ද, ‘පව් කිරීම‘ හේතුවෙන් එහි ගොස් දඬුවම් විඳීමට සිදුවන බව දරුවා වෙත දන්වමින් ඔහු බිය වැද්දීමට මා විරුද්ධ වන්නේ සමාන්තරව ‘මහා පව් කරන‘ අන්ත දූෂිතයින් යෙහෙන් වැජඹෙන සමාජ සංස්ථාව හමුවේ සන්නද්ධ බුද්ධි ජීවියෙකු ලෙස කටයුතු කිරීමට දරුවා වෙත අධ්‍යාපනය ලබා නොදෙන හෙයිනි.

සරලව කිවහොත්, අපාය හා දිව්‍ය ලෝකය ඇතුළු සංකල්ප රූප දරුවා වෙත මවා දෙන නිර්මාණශීලී විශ්ව දොරටුවට මා අතිශය කැමති ය. එසේ වෙතත්, ඒ මෙහෙය වෙන්නේ ‘නිහඬ කොට බිය වැද්දූ‘ සම්මත පුරවැසියා තනන්නට නම් මා කැමති ඒ සංකල්ප විසුණු වන තරමට ය. එය පැහැදිලි වන මොහෙත තෙක් මගේ පුතු ඇඳ ගෙනෙන සියළු චිත්‍ර දෙස මා සුපහන් සිතින් බලා ඉන්නට කැමැත්තෙමි.

-ප්‍රියන්ත ෆොන්සේකා -

Tuesday, January 28, 2020

මනෝ ගැන වචන දහසක්


(2020 ‍ජනවාරි 26  වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
(සේයාරුව: ‘හෝ ගානා පොකුණ‘ චිත්‍රපටයේ රූපාවලියක් ඇසුරෙන්
 www.colombotelegraph.com වෙබ් අඩවිය නිර්මාණය කළ රූප සැකැස්මකි.)
මෙම සටහන ලියැවෙන මොහොත වන විටත් ජයලත් මනෝරත්න නැතිනම් ‘මනෝ‘ දැයෙන් සමුගෙන ගොසිනි. ඔහුගේ සමුගැනීම යෙදී තිබුණු දිනයේ විදේශගත මිතුරෙකුගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණ.

“මචං, සරච්චන්ද්‍රගෙන් පස්සෙ හිටපු විශිෂ්ටතමයා මනෝ නේ ද?“

මම නිරුත්තර වීමි. එය එක්වරම පිළිතුරු සොයාගැනීම අසීරු පැනයකි. සරල ‘ඔව්‘ යෙදුමක් එකපැහැරම හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන ඈ ගෙවුණු දශකවල විශිෂ්ට නාට්‍යකරුවන් සියල්ලම ජයලත් මනෝරත්නට වඩා පහළ රේඛාවක් වෙත තල්ලු කර දමන හෙයිනි. කෙසේ වෙතත්, මා පිළිතුරක් සොයද්දී, නාට්‍ය ලැදි මගේ මිතුරා ඔහුගේ ස්ථානගත කිරීම සඳහා කරුණු ගොණු කරන්නට පටන් ගත්තේ ය.

“හෙන්රි ජයසේනල, සුගතපාල ද සිල්වල ඉහළ ගණයේ වැඩ කරල තියෙන බව ඇත්ත. ඒත් ඒ හැමෝගෙම තියෙන්නෙ හොඳම මට්ටමේ වැඩ දෙකයි නැත්තං තුනයි. ඒත් මනෝගෙ ඒ ජාතියෙ වැඩ හත අටක්ම තියෙනව නේද? ඉහළම මට්ටමේ වැඩ?“

එම සැසඳීම සාධාරණ දැයි යන පැනය සමගින් යළිත් මගේ සිත නැගුණේ තර්කයකි. කෙසේ වෙතත්, කලාව හා සාහිත්‍යය පිළිබඳ බොහෝ සහෘද අදහස් ඇති මගේ මිතුරා හා මා අතර වාදයක් පැන නොනැගුණේ මනෝරත්නයන් පිළිබඳ අප දෙදෙනාටම (මෙන්ම මෙය කියවන බහුතරයකට ද) පොදු අතීත ස්මරණ මාලාවක් ඔස්සේ අපේ දීර්ඝ සංවාදය විහිද ගියේ ය.

කලා ලොව බොහෝ මග සලකුණු තැබූ විශිෂ්ටතමයකු දිවියෙන් සමුගන්නා සෑම විටකම සිදුවන පරිද්දෙන් මනෝගේ මරණය ද ඔහු පිළිබඳ එකිනෙකා වෙත ඇති විශාල සහ කුඩා ස්මරණයන්, වැදගත් මෙන්ම නොවැදගත් අතීත වෘත්තයන්, ඡායාරූප, වීඩියෝ පට ආදිය ද සමග සමාජ මාධ්‍ය වෙත කැඳවා දුන් අතර මනෝ ඉතා සුළු කලකට මුත් අධි නිශ්චය වීම ද ඒ හා සමග සිදු විය. ඉහත මිතුරාගේ ඇමතුමට පෙර සිටම මගේ මෙම වචන දහසකට ආසන්න කුඩා සටහන ඔහු පිළිබඳ  වෙන් කිරීමට මා සිතා සිටි අතර එම ඇමතුම ඒ ලිවීම සඳහා වන පෙළඹීම ඉහළ නැංවී ය.

සැබවින්ම මනෝ කවු ද? ඔහුගේ වසර හැත්තෑ එකක දිවිසැරිය නිමාවන මොහොතේ අප ඔහු කියවාගත යුත්තේ කෙසේ ද?

මෙම පැනයන්ට මනෝගේ රසිකයින්, මිතුරු සහෘදයින්, ඔහුගේ කලා නිර්මාණ හා එක්ව කටයුතු කළ සාමාජික සාමාජිකාවන් මෙන්ම ඔහුගේ සමීප ඥාතීන් ඇතුළු ඔහු හා සමග විවිධ සමීප කලාපවල කටයුතු කළ අයට විවිධ පිළිතුරු ඇති බව මම හොඳින් දනිමි. මේ සියල්ල ඉක්මවමින් ඔහු පිළිබඳ අවසන් තක්සේරුවක් ලබා දීමේ විශේෂ බල කලාපයක මා නොසිටින බව ද ඉඳුරා දනිමි. නමුත්, මනෝගේ කලා භාවිතාව දෙස මැදිහත්ව හැරී බලමින් ඔහු කියවා ගැනීම වැදගත් වන බව යෝජනා කිරීමට එය බාධාවක් නොවන බව ද මම විශ්වාස කරමි. අත්‍යාවශ්‍ය වන්නේ ද නිර්මාණකරුවකු ලෙස ඔහුගේ දීර්ඝ සහ බහුවිධ මැදිහත්වීම් දෙස මැදිහත්ව විමසා බැලීමයි.

මනෝගේ ක්‍රියාකාරී කලාප කොතෙක් ද? ඔහු විශිෂ්ට නළුවෙකි. වේදිකා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. වේදිකා නාට්‍ය රචකයෙකි. නව කතා හා කෙටි කතා රචකයෙකි. කවියෙකි. ගායකයෙකි. ගුරුවරයෙකි.

ඉහත කුඩා වදන් පෙළ වෙත ඌණනය කොට තැබුව ද මනෝගේ කලා භාවිතාව කෘති වශයෙන් ගෙන පෙළ ගැස්විය හැක්කක් බව මම දනිමි. කෙසේ වෙතත්, මෙම වචන දහස තුළ මම යෝජනා කරන්නට යත්න දරන්නේ එම පුළුල් කලාප තුළ මනෝ නිවැරදි ලෙස ස්ථානගත කිරීම සඳහා සංවාදයක් ඇරඹීම වැදගත් බවයි.

මනෝගේ විශිෂ්ටතම කලාපය වේදිකාව බව ඔහුගේ කලා නිර්මාණ ඇසුරු කළ සැවොම පිළිගනු ඇත. ඔහු නිර්මාණය කළ නාට්‍ය පෙළ අතරින් වැඩි ප්‍රමාණයක් ලාංකික වේදිකාව තුළ යළි යළිත් සාකච්ඡා කළ යුතු නිර්මාණ බව පැහැදිලි ය. ‘තල මල පිපිලා‘, ‘අන්දරේලා‘ සහ ‘ගුරු තරුව‘ මෙම නාට්‍ය පෙළෙහි පෙරමුණෙන්ම ලියැවෙනු ඇති නමුත් ඔහුගේ සෙසු නිර්මාණ නොවිමසීමට ඉහත නාට්‍ය හේතු සපයා දෙන්නේ නැත. එහෙත්, නිර්මාණකරුවකු ලෙස ඔහු විමසීමේ දී පෙනී යන සුවිශේෂත්වය නම් මෙම නාට්‍ය රචනා කරමින් නොනැවතී අධ්‍යක්ෂණය කරමින් ද, ඒ සීමාව තුළ නොනැවතී ඒ සියළු නිර්මාණ තුළ ප්‍රධාන භූමිකාව නිරූපණය කරමින් ද ඔහු පෙන්වා ඇති විශිෂ්ට කුසලතා පෙළහරයි. සරච්චන්ද්‍ර සිට ඇරඹෙන මෙරට නූතන නාට්‍ය කථිකාව තුළ මෙම රචකයා - අධ්‍යක්ෂවරයා - ප්‍රධාන නළුවා භූමිකාව මෙතරම් පුළුල් කලාපයක විහිද යන පරිදි තනිව හෙබවූ වෙනත් නිර්මාණකරුවකු නොවන බව ස්ථිර ය.

අධ්‍යක්ෂවරයෙකු හා රචකයෙකු ලෙස ඔහුගේම භූමිකාවලට එරෙහිව යමින් ඔහුව ඉහළට ඔසවා තබන්නේ නළුවෙකු ලෙස ඔහුගේ භූමිකාවයි. එය සෙසු කලාපවලට සාපේක්ෂව බොහෝ ඉහළ තලයක පිහිටන බව මගේ නිරීක්ෂණයයි. වේදිකාවේ හමුවන පුළුල් භූමිකා එකතුවත්, සැලකිය යුතු ප්‍රමාණයක වන ටෙලි නාට්‍ය භූමිකා ප්‍රමාණයත්, සුළු නමුත් කැපී පෙනෙන චිත්‍රපට භූමිකා ප්‍රමාණයත් ඒ බවට දෙස් දෙයි. සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍ය භූමිකාවෙන් ඇරඹ, ‘තලමල පිපිලා‘ හි රන් බරණා ගුරුන්නාන්සේ වැනි ස්ව-අධ්‍යක්ෂිත, ගීත ද ඇතුළත් භූමිකා හරහා යමින් ‘ද්විත්ව‘ වැනි නාට්‍යයක ද්විත්ව චරිත නිරූපණයක් දක්වා ඔහු වේදිකාවේ මවන භූමිකා එකතුව සුවිශිෂ්ට ය. ‘දූ දරුවෝ‘ හි පුන්සිරි ද, ‘සකිසඳ එළියස්‘ හි එළියස් ද පුළුල් ටෙලි භූමිකා පෙළක අන්ත දෙකක් සඳහා උදාහරණ දෙකක් පමණ ය. චිත්‍රපට තිරයේ මනෝ වැඩිපුර මුණ නොගැසීමට වේදිකාව තුළ ඔහු නංවාගත් වේදිකා රංගනය ‘මාස්ටර් කිරීම‘ හේතුවක් වූයේ ද යන්න විමසිය යුතු කරුණක් වුවත් ‘හඳයා‘හි නිවේදකයාගෙන් ඇරඹ ‘හෝ ගානා පොකුණ‘ හි ජස්ටින් මාමා දක්වා ඔහු එක් කළ භූමිකා විමසීමට එය බාධාවක් නොකොටගත යුතු ය.

මනෝ ස්වකීය කලාප තුළ දී දුර්වලම වූයේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය තුළ බැව් හඟිමි. ‘රංසිරිගේ සංග්‍රාමය‘ සමගින් ඇරඹෙන ඔහුගේ ටෙලි නාට්‍ය නිර්මාණකරණය තුළ සමකාලීනයන් හා එක පෙළට තැබිය හැකි මට්ටමේ නිර්මාණ මුණගැසෙන්නේ නැති තරම් ය. ඇතැම් නිර්මාණයක දී ඔහුගේ රංගනය මතුවී පෙරට පැමිණ තිබුණු නමුත් වේදිකාව පිළිබඳ ඔහු තුළ වූ දැනුමට සාපේක්ෂව රූප බස පිළිබඳ වූ ඔහු තුළ වූ දැනුම යම් පහළ තලයක වූ හෙයින් එම නිර්මාණ රූපමය වශයෙන් පොහොසත් තැනක වූයේ නැත.

කෙසේ වෙතත්, අප මනෝ කියවිය යුත්තේ ඔහුගේ මෙම බහුවිධ කලාපවල සාර්ථක හා අසාර්ථකතාවයන් අනුව පමණක් යමින් නොවන බව මගේ යෝජනාවයි. ඔහුගේම නිර්මාණ කලාප එකිනෙක ගෙන සැසඳීම තුළ ද, ඔහුගේම රංගන භූමිකා එකිනෙක ගෙන විමසීම තුළ ද අපට ඒ එක් එක් කලාප හා භූමිකා තුළ වන වටිනාකම් හා දුර්වලතා හඳුනාගත හැකි වනු ඇත. ඔහුගේ සමකාලීනයන් මෙන්ම මගේ මිතුරාගේ යෝජනාව පරිදි පසු-නිදහස් සමයේ ලාංකික වේදිකාවේ පුරෝගාමී නිර්මාණකරුවන් හා තබමින් සාකච්ඡා කරමින් ද අපට ඔහුගේ මැදිහත්වීමේ තරම වටහාගත හැකි වනු ඇත. නමුත් ඒ සියල්ල අප වෙත තබන්නේ මනෝ හා මනෝගේ භූමිකා පිළිබඳ සාපේක්ෂ හා සන්සන්දනාත්මක කියවීම් මිස මනෝ වෙන්ව ගෙන හඳුනාගැනීම සඳහා වන කියවීමක් නොවේ.

මට මනෝ පෙනෙන්නේ ස්වකීය ප්‍රමුඛ භූමිකා කලාපයන් වන වේදිකාව හා රංගනය තුළ දී ඒ සඳහා සිය උපරිමය ලබා දීම වෙනුවෙන් කටයුතු කළ, තමන් විශ්වාස කළ කලා භාවිතය වෙනුවෙන් සෘජුව මැදිහත් වූ සහ ඒ භාවිතයට කැඳවූ, ඒ සියල්ලටම වඩා සිය ජීවන පැවැත්ම තුළ ද එම දැක්ම පවත්වාගෙන ගිය අයෙකු වශයෙනි. මනෝ පිළිබඳ කුඩා අතීත මතකයක් පිළිබඳ සමාජ ජාල සටහනක වුව මට හමුවන්නේ ඒ පැවැත්ම පිළිබඳ සේයාවයි.

‘නොමළ කලාකරුවෙකු ලෙස මියෙන්න‘ යනුවෙන් ධර්මසේන පතිරාජයන්ගේ සමුගැනීමෙන් වසරක් ගෙවුණු තැන මම මෙහි ලීවෙමි. මනෝ මිය යන්නට මත්තෙන් කිහිප වරක්ම ඔහු මළ බව සමාජ ජාලවල ප්‍රචාරය වී තිබුණු අතර දැන් ඔහුගේ භෞතික ශරීරය සැබවින්ම අප හැර ගොසිනි. එහෙත් සංස්කෘතික මිනිසෙකු තැනීම සඳහා වන දියුණු පුරවැසි අරගලය තුළ මනෝගේ භූමිකාව ඔහුගේ අන් සියළු භූමිකා අභිබවමින් ඔහු නොමළ මිනිසෙකු බවට හරවා ඇත. ඒ ‘මනෝ‘ හෙට ද අපට හමුවනු ඇත.


-ප්‍රියන්ත ෆොන්සේකා -   

Friday, January 17, 2020

අධ්‍යාපනය ගැන අලුතින් සිතීමට: බිංදුව වෙනුවට ලකුණු දෙකක්!


(2020 ‍ජනවාරි 12  වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

දරුවන්ගේ අනන්‍ය දක්ෂතා හඳුනාගත් ගුරුවරයෙකු ගැන කියවෙන
‘ටාරේ සමීන් පර්‘ (2007) චිත්‍රපටයෙන්...
නව පාසැල් වාරය ඇරඹී තිබේ. විශ්වවිද්‍යාල ගණනාවක ද නව ප්‍රවේශයන් සඳහා, පාසැල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කළ, විද්‍යාර්ථීන් පැමිණ සිටිනු ද දකින්නට ලැබේ. ඒ හා සමග, අනාගතයේ පාසැල් සහ විශ්වවිද්‍යාල හරහා යමින් ස්වකීය අධ්‍යාපන ගමන සාර්ථක කරගනු ඇතැයි යන විශ්වාසයෙන් තුන් වියැති වයසේ පටන් කුඩා දූ පුතුන් සමග ළදරු පාසැල් වෙත ඔවුන් රැගෙන යමින් සිටින මාපියන් ද අපට මේ දිනවල නිරතුරුව මුණගැසේ. ඒ සියල්ලම අතරතුර, දැවැන්ත ටියුෂන් පන්ති සඳහා බුරුතු පිටින් ඇදී එන පාසැල් දරු දැරියන් ප්‍රධාන නගර හා ප්‍රත්‍ය ජනපදවල ඇති ස්වකීය ‘සිත් දිනාගත්‘ ගුරුවරයාගේ පන්ති සඳහා ගාල් වන අයුරු ද, සාමාන්‍ය දිනවල සුලභ දසුන් අතර වෙයි. අධ්‍යාපනය ලැබීම හා ලබා දීම සඳහා වන උනන්දුව විවිධ රූප හා රූපක ඔස්සේ අප වෙත මුණගැසෙමින් තිබේ.

මෙයට ටික දිනකට කලින් මැකී ගියේ මෙම ‘අධ්‍යාපන උනන්දු‘ රැල්ලේ එක් වාර්ෂික ප්‍රමුඛ අවස්ථාවකි. ඒ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ දිනය හා ඉන් පසු යෙදෙන ඇගයුම් දින කිහිපයයි. පුවත්පත් හා ටෙලිවිෂන් නාලිකා දිවයිනේ ප්‍රථමයින්, දිස්ත්‍රික් ප්‍රථමයින් නව හා පැරණි නිර්දේශ ඔස්සේ ධාරා දෙකක් හරහා ගනිමින් අප වෙත මුණගැස්වූ අතර සුපුරුදු පරිදි ඔවුන් ස්වකීය ජයග්‍රහණයන් සඳහා වෙහෙස වූ ආකාරයන්, පාඩම් කළ හැටි, දෙමාපියන්ගේ කැපවීම් ආදිය අපට හඳුනාගන්නට ලැබිණ. මගේ නෙත ගැටුණු එක්තරා ටෙලිවිෂන ප්‍රවෘත්තියක දී මා දුටුවේ සෑම ජයග්‍රාහකයෙක්ම හා ජයග්‍රාහිකාවක්ම බුලත් හුරුල්ලක් රැගෙන සිය පාසැලේ විදුහල්පතිතුමා/තුමිය වෙත, සිය මාපියන් සමග ඇවිද යන සැටි හා වැඳ ආශිර්වාද ලැබීමෙන් අනතුරුව මාධ්‍යයට සිය අදහස දක්වන සැටි ය.

‘අපේ දරුවන්ට හොඳට උගන්නන්නයි මේ සේරම කරන්නේ‘ යනුවෙන් සඳහන් කරමින් ස්වකීය ජීවිතයේ බොහෝ දුක් ගැහැට ඉවසා දරාගන්නා දෙමාපියන් අපට නිරතුරුව මුණ ගැසේ. දහසින් බැඳි පියලි අත යටින් තබා පැමිණ හෝ සිය දරුවාට ‘හොඳ පාසැලක්‘ ලබා දීමට තැත් කරන ඔවුහු අනතුරුව ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ යනාදී කඩඉම් ඔස්සේ දරුවන් දුවවමින් හා විටෙක තමන් ද දුවමින් ද දිනයක් තුළ සැලකිය යුතු කාලයක් අධ්‍යාපන තරගයේ සිය (දරුවාගේ) ස්ථානය තහවුරු කිරීම සඳහා වෙන් කර තබා ගනිති.

පාසැල් ද කලින් කල යෙදෙන ජයග්‍රහණ සිය පිවිසුම් දොරටු අභියස ලියා තබමින් ‘හොඳම පාසැල‘ වීමේ තරගයට පිවිස කටයුතු කරන අතර ඒ සඳහා දරුවන් ද පෙළ ගස්වති. කෙසේ වෙතත්, පාසැල යනු පෙර පරිදි අධ්‍යාපනයේ ප්‍රධාන නියමු ස්ථානය නොවන අතර බොහෝ අවස්ථාවල ඒ තත්ව සංකේතයක් බවට පමණක් පත්වන්නේ විභාග ජයග්‍රහණ හිමි කරගනු පිණිස ‘හොඳම ටියුෂන් එක‘ සොයා ගැනීමට දරුවන් හා දෙමාපියන්, ඇතැම් විට පාසැලේ ද අනුදැනුම ඇතිව, කටයුතු කරනු සුලභ තත්වයක් වීම හේතුවෙනි. 

දැන්, අධ්‍යාපනය යනු, එක් එක් සමයන්හි ටෙලිවිෂන නාලිකා විසින් ‘රඟ දක්වවමින්‘ අප වෙත තබමින් ද, ඉන් අනතුරුව එක් එක් ටියුෂන් ගුරුවරුන් විසින් ස්වකීය පන්තියේ ජයග්‍රහණ පිළිබඳ වෙළඳ දැන්වීම් පළ කරමින් නගරවල දැවැන්ත පුවරුවල තබමින් ද, පාසැල්වල ඉදිරිපස ‘සුභපැතුම්‘ පුවරු බවට පත් කරමින් ද ඔද වැඩිය යුතු ‘ජයග්‍රහණ හෙවත් ප්‍රථම හා දෙවන‘ ආදී වශයෙන් ස්ථාන දිනන යමක් ද? නොඑසේනම්, රටක් ස්වකීය අනාගත පරපුර පූර්ණ වශයෙන් පෝෂණය කරමින් වඩාත් පොහොනි සමාජයක් හා පුරවැසි ප්‍රජාවක් තනා ගැනීම සඳහා ගෙන යන අනවරත ක්‍රියාදාමයක් ද?

රුසියානු විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා තරුණයෙක් එහි විභාග සඳහා ලබා දෙන ලකුණු පිළිබඳ තැබූ සටහනක් තවත් කවරකු හෝ උපුටා පළ කොට තිබියදී පසුගිය දිනෙක මගේ නෙත ගැටිණි. ඔහුට අනුව එහි එක් සාමාන්‍ය විභාගයකට ලැබෙන උපරිම ලකුණු සංඛ්‍යාව පහකි. යමෙක් කිසිවක් නොලියා හිස් කොලය යළි ගුරුවරයා වෙත ලබා දුනහොත් ලැබෙන ලකුණු සංඛ්‍යාව දෙකකි. මේ ‘අරුම පුදුම‘ ලකුණු දීම පිළිබඳ විමසන තරුණයාට එහි මහාචාර්යවරයා ලබා දුන් පිළිතුර මගේ මතකය අනුව මෙවැන්නකි.

“පුතා, අපිට පුළුවන් ද කෙනෙකුට බිංදුවක් දෙන්න? පහුගිය කාලයක් තිස්සෙ, මේ සීතලේ පාන්දර නැගිටලා දිනපතා දේශනවලට ආපු කෙනෙකුට, තමන්ගෙ කාලය ඉගෙනීම වෙනුවෙන් යොමු කරන්න තීරණය කරපු කෙනෙකුට, තමන්ගෙ අතේ ඇති මුදල්වලින් පොතක් පෑනක් සල්ලි දීල ඉගෙන ගන්න තීරණය කරපු කෙනෙකුට බින්දුවක් දෙන්න? ඒ ලකුණු දෙක දෙන්නෙ එයාගෙ කැපවීම හා ඉගෙන ගැනීමට කරපු වෙහෙස වීමට ගෞරවය හා ආදරය දක්වන්නයි...“

ජයග්‍රාහකයින් පිළිබඳ ටෙලිවිෂන තිරවල, නගර කටවුට්වල හා පාසැල් ගේට්ටු අසල විවිධ ඇගයුම් තබන අප ඉගෙන ගැනීම සඳහා සිය කාලය, ශ්‍රමය හා උනන්දුව පෙන්වමින් පැමිණ ඇත්තේ ඒ සුළුතරය පමණක් නොවන බව සිහිකොට ගත යුතු ය. ජයග්‍රාහකයින් ලෙස අප දකින්නන් මෙන්ම අදාල තරග විභාගයට අනුව පරාජිතයින් හෝ නුසුදුස්සන් ලෙස වර්ගීකරණය ලබන්නන් ද අදාල පාසැල්වල හා ටියුෂන් පන්තිවල යම් මොහොතක සාමාජිකත්වය දැරූ පිරිසක් බව අමතක නොකළ යුතු ය. එබැවින් අප කළ යුත්තේ පළමුවැනියා හෝ දෙවැනියා ලෙස ඉහළ වර්ගීකරණය දිනූ පිරිස සමග ‘හුරේ දැමීමෙන්‘ ඔබ්බට ගොස් සමස්ථ අනාගත පරපුරේ ජයග්‍රහණය වෙනුවෙන් අධ්‍යාපනය මෙහෙයවීම ය.

එය ටියුෂන් පන්තියක් හරහා ජනප්‍රියත්වය දිනූ, ඇතැම් විට අවශ්‍ය සුදුසුකමට වඩා මුඛරිකම ඇති, අධ්‍යාපන වෙළෙන්දන් හරහා සිදු කළ හැක්කක් නොවේ. ජනප්‍රිය පාසැල්, දිවයිනේ හෝ දිස්ත්‍රික් ප්‍රථමයා තෝරා දමන ඇගයීම්, පාසැල් දොරටු අභියස තබන සුභපැතුම් ආදිය ඔස්සේ කළ හැක්කක් ද නොවේ. නිසි අධ්‍යාපන ප්‍රතිපත්ති ඔස්සේ කළ හැක්කකි. අධ්‍යාපනය පිළිබඳ අපගේ චින්තනය වඩාත් පුළුල් සීමා දක්වා විහිදුවීම ඔස්සේ කළ හැක්කකි. ඒ සඳහා අප ඉගෙනුම පිළිබඳ ඇති අපගේ මූලික ප්‍රවේශය නැවත විමසා බැලිය යුතුම ය. ඒ කෙළෙසින් ද?

මෙය වටහා ගන්නට මා අත් විඳි කුඩා සිදුවීමක් ඔබ වෙත තබමින් මෙම සටහන හමාර කරමි. ඒ ඉදිරි ලිවීම් තුළ මේ පිළිබඳ තවත් සාකච්ඡා ගොඩ නංවන අපේක්ෂාවෙනි.

එහි කතා නායකයා පාසැල් ගුරුවරයෙකි. ප්‍රධාන නගරයකින් දුරබැහැර පාසැලක ස්වකීය සේවා කටයුතු කරන්නෙකි. ස්වකීය පැවැත්මේ පටන් තරගකාරී අධ්‍යාපනය ප්‍රතික්ෂේප කළ, වෙනස් සිතීමක් ඇති මිනිසෙකි; මහත් සතුටින් කල් ගෙවන දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ නිවසට ගොඩ වැදුණු මොහොතේ පාසැල් යන වයසේ වූ දියණිය හා පුතුන් දෙදෙන මහත් සතුටකින් මා හා කතා කළ අයුරු හා ස්වකීය කටයුතුවල නිරත වෙනු මගේ අවධානයට ලක් වූයේ ඔවුන් වෙත දක්නට ලැබුණු නිදහස්කාමී ස්වභාවය ද විශේෂ අවධානයකට පාත්‍ර වෙමිනි. අටේ පන්තියේ පමණ විය හැකි ඔහුගේ දෙටු දියණිය මවෙත තැඹිලි වීදුරුවක් ගෙන ආවේ මා එහි ගොස් ටික වේලාවකිනි.

“අද මෙයාලගෙ අම්මා ගෙදර නෑ. ලෙඩෙක් බලන්න ගිහිල්ලා...“ දියණිය ගෙන ආ තැඹිලි වීදුරුව බොන්නට ආරාධනා කරමින් මට වඩා වයසින් වැඩි ගුරුවර මිතුරා මට කරුණු කීවේ ය. දරුවන් වෙත දැකිය හැකි, උද්යෝගය, මිත්‍රශීලී බව, නිදහස්කාමී බව පිළිබඳ මගේ නිරීක්ෂණය දක්වමින් ඒ සඳහා හේතුව මම ඔහුගෙන් විමසුවෙමි. ඔහු සිනාසෙමින් පහත උදාහරණ කතාව මට කීවේ ය.

“මගෙ දරුවො තුන් දෙනාගෙන් දෙන්නෙක්ම ශිෂ්‍යත්වෙ ලියල ටිකක් කල්. අන්තිමයා මේ එන පාර ලියනව. මං කලින් දෙන්නටම විභාගෙට කලින් දවසෙ කිව්ව කතාව පොඩි පුතාටත් කියනව... ඒ කතාව මේකයි. මම කිව්ව ‘පුතේ... මේ විභාගෙ ඔයාට ලියන්න ඕනෙ නම් ලියන්න. බැරි නම් නොලිය ඉන්න. ඔයා මේක ලිව්වත් නැතත්, පාස් වුණත් නැතත්... මං එක දෙයක් හොඳටම දන්නව... ඒ මගේ පුතා දක්ෂයෙක් කියල!!“

“එයාල විභාගෙ පාස් වෙලා තිබුණ. ඒත් මං ඒවා ලොකුවට අරන් එයා අනිත් කාටවත් වඩා ලොකු ය... උසස් ය... කියන අදහස එයාලගෙ ඔළුවලට දැම්මෙ නෑ!“

අනාගත පරපුරම වඩාත් දියුණු චින්තන ලොවක් වෙත ඔසවා තැබීමට කටයුතු සරි කිරීම අධ්‍යාපනයේ මූල ප්‍රවේශය විය යුතුව ඇත.

-ප්‍රියන්ත ෆොන්සේකා -