ජර්මන්
නාසි හමුදා යුරෝපීය රටවල් ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදෙන දෙවන ලෝක යුද්ධයේ ආරම්භක
අවධියේ පෝලන්තය බලා, සිය වාසනාව සොයා පැමිණෙන, එක්තරා ජර්මානු ජාතිකයෙකි. පෝලන්තය
දිනූ සිය හමුදාවන්ගේ බලයෙහි පිහිටෙන් එහි ඇරඹෙන නව කම්හල් සිය ජීවිතයේ ඉදිරිය
තෘප්තකර කරනු ඇතැයි ඔහු විශ්වාස කරයි. එහෙත්, නාසි පාලනය වෙත මුලින් එක්ව සිටිය ද,
මනුෂ්‍යත්වයට නිගා දෙන, ඇදහිය නොහැකි අපරාධ මේ තනි මිනිසා කම්පනයට පත් කරයි.
පෝලන්ත යුදෙව්වන් ගාල් කළ, ඔහු පරිපාලනයට සම්බන්ධ වන, ‘ක්‍රකොව් ගෙට්ටෝ‘
හි ‘කර්මාන්ත ශාලා‘ කලාපය අවසන් ශක්ති බිඳ තෙක්ම යුදෙව්වන්ගේ සිරුරු සූරාගෙන ඔවුන්
මරණය වෙත, මිනී කඳු පිරි භීම භූමි වෙත, තල්ලු කර හරින බව ඔහු දැනගනියි. එතැන් පටන්
මේ තනි මිනිසාගේ අරගලය යොමු වන්නේ තමන්ට හැකි උපරිමයෙන් මරණයට නියමිත මිනිසුන්ගෙන්
පිරිසක් හෝ ගලවාගැනීම වෙත ය. ඒ සඳහා ඔහු තනන්නේ ලැයිස්තුවකි. මරණය වෙනුවට ජීවිතය
ගෙනෙන ‘ජීවිත ලැයිස්තුවකි‘!
1993 දී ලෝ ප්‍රකට සිනමාකරු ස්ටීවන් ස්පීල්බර්ග් අතින්
නිමවෙන උක්ත පුවත රැගත් චිත්‍රපටය මිනිස් ඉතිහාසය තුළ හමුවන, අතිශය ගරු කටයුතු,
ඇදහිය නොහැකි තරම් විශ්මිත, මානව දහම පෙරමුණෙහි තැබූ සත්‍ය කතාවක් පදනම් කරගෙන ඇත.
‘Schindler's List‘
(ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව) නමැති මෙම පුවත, සැබෑ ඉතිහාසය තුළ හමු වූ ඔස්කාර්
ෂින්ඩ්ලර් නැමති ජර්මානුවාගේ ජීවිතය පදනම්ව ඕස්ට්‍රේලියානු කතුවරයකු වූ තෝමස්
කෙනලි අතින් ලියැවුණු ‘Schindler's Ark‘ නම් නව
කථාව ඇසුරින් නිමවූවකි.
සිය නිෂ්පාදන අවශ්‍යතා ඉටු කරගත් වහාම යුදෙව්වන් පොදි
ලෙස ගෙන සමූල ඝාතනය කරන්නට කටයුතු කරන ජර්මානු එස්එස් හමුදාවේ ක්‍රියාකාරකම්
ෂින්ඩ්ලර් සියැසින් දකින්නේ එහි දෙවැනි ලුතිනන්වරයකු වන ඒමන් ගොත්, ප්ලාසොව්
ඉදිකිරීම් බිමට පැමිණ මරා දැමීම් මෙහෙයවන විට දී ය. ඉතාක් ස්ටෙය්න් නමැති සිය
යුදෙව් ගණකාධීකාරීවරයා සමගින් එක්වන ෂින්ඩ්ලර් තමන් සෙවනෙහි වන යුදෙව්වන්ගේ
ලේඛණයක් සාදන්නේ ලෝ ප්‍රකට අවුෂ්ට්විස්ට් වධ කඳවුර වෙත ඔවුන් ගෙන යන්නට නොදී,
දියමන්තිවලින් කඳවුරෙහි අණ දෙන්නාට කප්පම් ලබා දෙමින් බ්‍රින්ලිස්ට් නමැති කඳවුර
වෙත ඔවුන් යොමු කරවමිනි. එයින්ද නොනවතින ඔහු මිත්‍ර හමුදා ජර්මානුවන් පරදන තෙක්ම,
සිය සන්තකයෙහි ඇති ධනය වැය කොට, මිනිස් ජීවිත රැක ගනු පිණිස කප්පම් ලබා දෙමින්
පෝලන්ත යුදෙව්වන් සමූහයක් ආරක්ෂා කර ගනියි. මිනීමරු ගොත් ඇතුළු එස්එස් හමුදාව
හමුවේ ඔහු සියල්ල සුරක්ෂිත කරගන්නේ ඉතා කල්පනාකාරීව ඔවුන් ඇසුරු කරමින් මාගැඟි
තෑගිභෝගාදියෙන් ඔවුන් සනස්වමිනි.
ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 7කින්
පිදුම් ලැබූ ෂින්ඩ්ලර්ස් ලිස්ට්‘ තවත් සම්මාන උළෙල රැසකදීම නොමඳ ඇගයුම් ලැබී ය.
ෂානර ගණනාවක සමාන විශිෂ්ඨතා දක්වමින් සිනමා බස මනාව හසුරුවන ස්පීල්බර්ග් සිනමා
රූපය තුළට මනුෂ්‍යත්වය එක් කොට ලොවට විදාලූ මහරු කෘතියක් ලෙස මෙම චිත්‍රපටය ඔහුගේ
සිනමා නිර්මාණ පෙළෙහි ද පෙරමුණෙහි තැබිය හැක.
නාසිවාදියකු ලෙස කටයුතු කළ හෙයින්ම මිත්‍ර හමුදා යුද්ධය
දිනාගනිද්දී ඔවුන් වෙත භාර වීම පිණිස ෂින්ඩ්ලර් පිටව යන්නේ තවත් ජීවිත බේරාගන්නට
නොහැකි වීම පිළිබඳ පශ්චාත්තාප වෙමිනි. එහෙත් ඒ වන විටත් ඔහු සරණින් අභය දිනූ පිරිස
එක් දහස් දෙසියයක පමණ වෙයි! ඔහුගේ ‘ජීවිත ලැයිස්තුව‘ එපමණ දිගු එකකි.
කළු-සුදු සිනමා කෘතියක් ලෙස නම් ලබන මුත් වර්ණය ඉතා
සංකේතරූපීව සිනමා රූපය තුළ කටයුතු කරනු ‘ෂින්ඩ්ලර්ස් ලිස්ට්‘ හි හමුවන්නේ සංගීතය,
සංස්කරණය, රූප සංරචනය ආදී සෙසු අංගයන්හි ප්‍රශස්ත බවට අමතරව ය. කළු-සුදු රූප
වියමන අතර, යුදෙව් ජන සමූහය අතර ඇවිද යන රක්ත වර්ණැති කබායකින් සැරසුණු බුහුටි
දැරිය එක් උදාහරණයකි. එම රූපය අප කම්පනයට පත් කරන්නේ සමූහ ඝාතනය කළ මහ පිරිස්
හමුවේ ඇගේ රක්ත වර්ණ කබාය පැළඳි මළ සිරුර ද හමුවන විට ය.
ජීවිතයක අමිල අගයයන් තුට්ටුවට දමමින් මහ මග මිනිසුන් මරා
දැමෙන, නීතිය සුරකින පොලිසිය විසින් පුරවැසියන් නිකරුනේ මරා දමනු අසන්නට ලැබෙන
ඛේදනීය සමයකට අවතීර්ණව සිටින යුගයක අතීතයෙන් අප වෙත එබෙන ෂින්ඩ්ලර් ‘ජීවිත
ලැයිස්තුවක්‘ කෙසේ වුව, එක් මිනිසකුගේ හෝ ජීවිතය සුරකින්නට අපට ඇරයුම් කරනු ඔබට
චිත්‍රපටය නැරඹූ පසු හැඟී යනු ඇත. එය අප වෙත තබන්නේ ෂින්ඩ්ලර් වෙත යුදෙව්
ජීවිතලාභීන් තෑගි කරන මුදුවේ ඇති මහරු වදනෙහි අරුතයි.
“යමෙකු එක් අයෙකුගේ හෝ ජීවිතය සුරකී ද ඔහු සමස්ථ ලෝකයම
සුරක්ෂිත කළේ වේ!“
-ප්‍රියන්ත ෆොන්සේකා-
“යමෙකු එක් අයෙකුගේ හෝ ජීවිතය සුරකී ද ඔහු සමස්ථ ලෝකයම සුරක්ෂිත කළේ වේ!“
ReplyDeleteචිත්‍රපටය බලන්නට පෙළඹවීමක් ඇති කළා.. ස්තුතියි ප්‍රියන්ත මේ මානුෂිය සටහනට.
එලස්
ReplyDelete- ජෑමා කාලී -