Thursday, February 28, 2019

කිඩ්ස් (බ්)ලාස්ට්!: දරුවන්ට හොඳම දේ ද?


(2019 පෙබරවාරි 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

යන්තමින් සිවුවන වියට ළඟා වෙමින් ඉන්නා මගේ කුඩා පුතුත්, දෙහැවිරිදි විය පසු කළ දියණියත් සතියේ දිනවල යෙදෙන මගේත්, බිරිඳගේත් වෘත්තීමය කාර්යබහුලත්වය ඉදිරියේ, අත්තම්මා සමග, බිරිඳගේ මහගෙදරට වී කාලය ගත කරති. දිනපතා උදෑසන ගුරු සේවයට යන බිරිඳ යළි සන්ධ්‍යාව එළඹෙත්ම නිවසට පැමිණියත්, සති අන්තය හැකි උපරිම කාලය ඔවුන් හා ගත කරන අදිටනින් මා ඔවුන් වෙත දිවගියත්, අත්තම්මා සහ පුංචි අම්මා සමග ගෙවෙන සතියේ දින පහේ ඔවුන්ගේ ආසන්නතම නිවාස සගයා වී ඇත්තේ ටෙලිවිෂනයයි. විශාල එළිමහනකින් තොර බිරිඳගේ මහගෙදර දරුවන්ට වැඩි කාලයක් නිවස තුළට වී සිටින්නට නියම කර ඇතත්, නිවස තුළ නෙක වර්ගයේ සෙල්ලම් බඩු තබා ඇතත්, ආදරය අවැසි තැන ඒ ලබා දෙන්නට අත්තම්මා නිරතුරුව නිවස තුළ වෙතත්, එකපැහැර නෙත හා සිත පැහැර ගනිමින්, කොටු වූ ආලින්ද අවකාශය තුළ ඔවුන්ගේ ළමා ලෝකය, එකිනෙකට වෙනස්, දුරස්ථපාලක ඉල්ලීම් මගින් වෙනස් කළ හැකි, නානාවිධ අමුත්තන්ගෙන් පුරවන්නේ ටෙලිවිෂනයයි. එය ඔවුන්ට අරුම පුදුම විශ්ව අවකාශයකි!

රැකියාව මූලිකවත්, නිවසින් බැහැර සතියේ දින ගෙවන්නට සිදූවීම දෙවැනුවත් දියණිය හා පුතණුවන්ගෙන් මා දුරස් කර ඇති හෙයින් හා ඒ එක්වරම මගේ පාලනය වෙත කැඳවාලන්නට හැකි ශක්තියක් මා වෙත නොමැති හෙයින් දරුවන් වැඩි කලක් ගෙවන අවකාශය විමසමින් ඔවුන් දෙදෙන එහි සුරක්ෂිතදැයි සෙවීම පියකු ලෙස මගේ වගකීමක් බැව් මම සිතුවෙමි. නාලිකා ගණනාවකින් මගේ පුතු හා දියණිය වෙත තිළිණ කරන නන්විධ ළමා වැඩසටහන්, ඔවුන් දෙදෙනාගේ ‘විශ්ව ලෝකය’ කෙසේ නිර්මාණය කරමින් තිබේද යන්න හඳුනාගැනීම, අඩුවශයෙන් මගෙන් හා බිරිඳගෙන් දුරස්ව ඔවුන් ගෙවන ‘තනි’ ජීවිතය තුළ ඔවුන්ගේ ජීවන කලාපය වටහා ගැනීමටත්, දෙමාපියන් ලෙස අපට යම් සැනසුම් සුසුමකින් යුතුව හෝ අපගේ රැකියා ස්ථාන වෙත යොමු වන්නටත් හේතු තනා දෙනු ඇතැයි මම විශ්වාස කළෙමි.

දරුවන් විෂයයෙහි ටෙලිවිෂනය වෙත මා තැබූ විශ්වාසය ඔවුන් ඉටු කොට තිබුණේ ද? මා දුටු නිරීක්ෂණ ඔබ හා සමග බෙදාගැනීම, මා මෙන්ම, ටෙලිවිෂනය සිය දරුවන්ගේ නිවාස සගයා බවට පත් කර ඇති ඔබටත් ඉතා වැදගත් වනු ඇතැයි මම විශ්වාස කරමි. එබැවින් ඒවා යම් සංක්ෂිප්ත සටහනක් ලෙස ගෙන මෙහි ඔබ හා බෙදා ගනිමි.

මෙරට ටෙලිවිෂන් නාලිකා ගණනාවක් පැවතිය ද ඒ අතුරින් කිසිදු නාලිකාවක් සංඛ්‍යාත වශයෙන් තමන් හිමිකරගෙන ඇති පුරවැසි අයිතිය භාවිතයට ගෙන දරුවන් වෙනුවෙන්ම නාලිකාවක් පවත්වාගෙන යන්නේ නැත. කේබල් ටෙලිවිෂන් නාලිකාවක් (දිදුල නාලිකාව) දරුවන් වෙනුවෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන බව පෙනී ගියත්, අදාල නාලිකාව හා සම්බන්ධ වීමට හැකියාව ඇත්තේ බිල්පත් මගින් ගෙවීම් කිරීමට එම කේබල් සේවය මිලට ගත් ප්‍රේක්ෂාගාරයට පමණි. තවත් එවැනිම නාලිකා කිහිපයක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපන උපකාරක වැඩ සටහන් විකාශනය කරන බව පෙනුන ද, එය ද ඉහත සීමාවේ රැඳෙනු මෙන්ම, පන්ති කාමර ඉගැන්වීමට බොහෝ දුරට සමාන, ඒකාකාරී ‘ටියුෂන්’ ඉගැන්වීම්වලට ඒවා සීමා වී ඇති බව ද පෙනෙන්නට ඇත. අනෙත් අතට, ඉහත සියලු නාලිකා මූලික වශයෙන් සේවය සපයන්නේ පාසැල් අධ්‍යාපනය ආරම්භ කොට ඇති දරු පිරිස් මිස මගේ දරු දෙදෙනා මෙන් ආලින්දයට වී, අම්මලා තාත්තලා ළඟ නැති තනි නොතනියට ටෙලිවිෂනය විමසන පාසැල් යන වයසට එළඹ නැති දරුවන්ගේ අවශ්‍යතාව නොවේ.

රාජ්‍ය නාලිකා විසින් හෝ ප්‍රමුඛ පුද්ගලික නාලිකා විසින්, සතියේ දින හත පුරාම ක්‍රියාත්මක වන පරිදි වැඩ සටහන් විසුරුවා හැරෙන ළමා වැඩසටහනක් හෝ කිහිපයක් කිසිදු තැනක විකාශනය කරන්නේ නැත. සුලභ, නිරන්තර ඇසුරට කැඳවෙන, ළමුන් ඉලක්ක වැඩසටහන් බවට පත් වී ඇත්තේ ‘හඬ කවන ලද’ විදේශීය කාටූන් වැඩසටහන් ය. මගේ ළමා අවදියේ මා ඇසුරු කළ, ‘දොස්තර හොඳහිත’, ‘ගලිවරයන්ගේ සුවිසැරිය’, ‘පිස්සු පූසා’ වැනි වැඩසටහන් වෙනුවට ‘සූටිං මාටිං’, ‘සුපර් ෂිවා’, ‘සෝරෝ’, ‘ගාර්ෆීල්ඩ්’ වැනි කාටූන් වැඩසටහන් විවිධ නාලිකා ඔස්සේ මගේ දරුවන්ගේ ඇසුරට පැමිණ ඇත. ‘පෝගෝ’, ‘සීබීස්’ හෝ ‘බේබි ටීවී’ වැනි පැය විසිහතර පුරා දරුවන් වෙනුවෙන්ම වැඩසටහන් ගෙනෙන ළදරු හා ළමා නාලිකා අපට නොවෙතත්, එම නාලිකා වැඩසටහනක සෙවණැල්ල වැටුණු හෝ බව පෙනෙන, වෙහෙස වී දරුවන් ඉලක්ක කොට තැනූ, එකදු ළමා වැඩසටහනක් හෝ රාජ්‍ය හෝ පෞද්ගලික නාලිකා විෂයයෙහි හඳුනාගත නොහැකි වීම කණගාටුවකි. ළමා විය ඉක්මවමින් යෞවන වියට පා ඔසවමින් සිටින දරුවකු හෝ දැරියක විසින් මෙහෙයවනු ලබන, ඒකාකාරී ස්වරූපයක් ගත්, ළමා ගීත හා පුවත් ඇතුළත් වැඩසටහනක් දෙකක් ඉඳහිට හඳුනාගත හැකි ය.

දැන් විමසිය යුත්තේ, ‘හඬ කවා’ හෝ දරුවන් වෙත තබා ඇති, නොඑසේනම් ලාභයට මිලට ගෙන හෝ තනා ඇති මේ විකාශය කෙරෙන වැඩසටහන්වල ගුණාත්මක බවයි. යට සඳහන් කළ ‘හඬ කවන ලද’ කාටූන් වැඩසටහන් අතුරින් බහුතරයක් ‘සුපිරි වීරයන්’ තිරය මත ප්‍රති-නිර්මාණය කරන, බටහිර හෝ ඉන්දීය ටෙලි කාටූන් ය. දොස්තර හොඳහිත සිය නාමය තුළ පටන්ම විදහා දැක්වූ ‘හොඳහිත’ හා ‘සත්‍යය දිනීම’ පිළිබඳ අදහස මෙම කාටූන් තුළින් දරුවන් වෙත බෙදා හරින්නේ බාහු බලයෙන් හෝ ආයුධ භාවිතයෙන් දිනාගත යුත්තක් පරිද්දෙනි. ඒ හැරුණු විට, කිසිදු නියාමනයකින්, වග විමසීමකින් තොර බව පෙනෙන, මේවායේ හඬ කැවීමට යොදාගන්නා (ඇතැම් විට සෘජු පරිවර්තනද විය හැකි) සිංහල පිටපත් දැඩි ලෙස මානව විරෝධී අදහස් ද, වෛරී ප්‍රකාශන ද සමාජගත කරමින් පවතින බව එක් වැඩසටහනක් දෙස විමසිල්ලෙන් බැලීමෙන් පමණක් වුව වටහාගත හැකි බව මගේ අත්දැකීමයි. ‘සූටිං මාටිං’හි මුණගැසෙන ප්‍රධාන චරිතද්වය (සූටිං හා මාටිං) වරක් ස්ත්‍රී හැඩය ගත් යමක් අරඹයා පවසන්නේ ‘බෝලයක් වුණත් ඉතිං ගෑණියක්නෙ!’ වැනි අසික්ෂිත ප්‍රකාශයකි. අනෙකා පහත හෙළීම, පෙළීම, වේදනාවට පත් කර සතුටු වීම, ස්වකීය අවශ්‍යතා සඳහා කිසිදු වග විභාගයකින් තොරව කටයුතු කිරීම යනාදිය මෙම හඬ කවන ලද කාටූන්වල සුලභ ය.

වග විභාගයකින් තොරව, පාලනයක් රහිතව, හුදු ලාභයට මිලට ගැනීම නිසාම ගෙනැවිත් හඬ කවා ඉදිරිපත් කරන බව පෙනෙන මෙම ‘කාටූන්’ මෙරට අනාගත පරපුරෙහි ජීවන දැක්ම හැඩගැසීමෙහි ලා සිදු කරන බිහිසුණු බලපෑම පුරවැසි ප්‍රජාවක් ලෙස අප විමසිය යුතුව ඇත. ඒ හා සමගාමීව විමසිය යුත්තේ දරුවන් යොදමින් තනා ඇති, බැලූ බැල්මට ළමුන්ට ආමන්ත්‍රණය කරන බැව් පෙනෙන ‘ළමා වැඩසටහන්’ ය.

දරුවන්ට පළමු දේ බව නමින්ම හැඟවෙන සිරස නාලිකාවේ ‘කිඩ්ස් ෆස්ට්’ ලිපියේ අවසාන උදාහරණයට කැඳවිය හැකි එවැන්නකි. ‘කිඩ්ස් ෆස්ට් දරුවන්ට ආදරෙයි!’ යන අදහස අවසානයේ කියැවෙන තේමා ගීතය සමග සති අන්ත දින දෙකෙහි උදෑසන 6.30 ට ඇරඹෙන වැඩ සටහන, සියලු නාලිකාවල ළමා වැඩසටහන් පරදවමින් කුඩා දරුවන් කිහිප දෙනෙකු විසින්ම ඉදිරිපත් කරනු ලැබ, ළමා ගීත දර්ශකයක් තනා ගීත 10ක් ළමුන් වෙත තබා, ළදරු පාසැල්වල උත්සව ආදිය ගැන තොරතුරු සමග ඉංග්‍රීසි බස යනාදියද උගන්වා ‘දරුවන් අමතන’ වැඩසටහනකි. නමුත් එහි අන්තර්ගතය විමසීම අප නොතකා හැර දරුවන් අභියස තබන දුර්වල හා ඛේදනීය ළමා වැඩසටහනක රුවගුණ ඔබට හෙළි කරනු ඇත.

‘කිඩ්ස් ෆස්ට්’හි ගීත දර්ශකයේ එකදු ගීතයක් හෝ සම්පූර්ණයෙන් ප්‍රචාරය නොවේ. ‘කිරි සුදු හාවා පැන පැන එන මුත් එළවළු කොටුවේ දළු කොළ කන්නට’ කලින් සිරසේ නැන්දලා මාමලා ඊලඟ ගීත කොටස අතාරින බැවිනි. එහි වැඩසටහන් ඉදිරිපත් කරන දරුවෝ සිංහල හා ඉංග්‍රීසිය මිශ්‍ර බසක් සමග විත් ‘ඩක්ලා ඉන්න පාක්ස්වල සිට ලයිව් චාට් ෂෝ’ එකක් ‘අපේ යාළුවන්ට’ ඉදිරිපත් කරති. අනාගත නාලිකා ‘හුරතල්’වලට සූදානම් වෙති. තැනින් තැන ඇති ළදරු පාසැල්වල ආදියේ උත්සවවල ඉතා දුර්වල රූප සිය වැඩසටහන තුළ තබමින් ‘දරුවන්ට හොඳම රූප’ දෙති. මේ සියල්ල සමග, අනුග්‍රාහක ‘පැන්ඩලාගේ’ විස්තර ද කීප වතාවක් ගෙන එමින්, වැඩ සටහන කෙසේ හෝ පැය භාගයකින් කෙළවර කර දමති!  

‘සුපර් ෂිවා’ නමැති ‘සුපිරි වීර දරුවා’ පරිදිම අහසට පැන සිය නැගණියගේ මුහුණට පහර එල්ල කිරීමෙන් ඇය මෙල්ල කරන්නට මගේ කුඩා පුතු තීරණය කර තිබුණේ ඔහු අනුදකින ‘යුක්තිය’ දිනීම එය වන නිසා බව පෙනුනෙන් අපි බොහෝ කාටූන් අවකාශ ඔවුන් වෙතින් දුරස් කළෙමු. ‘දරුවන්ට ආදරෙයි’ කියමින් එන ‘කිඩ්ස් ෆස්ට්’ ආකාර වැඩසටහන් ගීත කැබලි ගෙන දරුවන්ට ඒවා කොලාජ් කර දෙන බැවින් දැන් අපි මෙරට ළමා වැඩසටහන්වලින් පුතු හා දියණිය ඉවත් කරන්නට සිතමු. නමුත් මෙරට පුරවැසි ප්‍රජාවෙහි බහුතර දරුවන් ෆස්ට් නොව (බ්)ලාස්ට් වීමට එරෙහිව මාහට තනිව කළ හැකි අරගලයක් නැත. ඇති නම් ඒ මෙම ලිවීම පමණි.


- ප්‍රියන්ත ෆොන්සේකා - 


රූපය: https://www.gettyimages.com 

No comments:

Post a Comment