Wednesday, March 6, 2019

වීරයා යළි කැඳවීම: පුංචි තිරය නිසි එල්ලයට...


(2019 මාර්තු 03
 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

අපි කරපිංචා බං... උන්ගෙ හොද්දෙ තැම්බෙනකං හොඳයි... හොද්ද ඉදිල පිඟානට බෙදාගත්ත ගමංම ඉස්සෙල්ලාම කරන්නෙ සූප්පු කරල පැත්තකිං තියන එක... අපි කරපිංචා!

හමුදා සේවයේ දී හදිසියේ අතුරුදහන් ව, මියගියා යැයි සැක කොට දුන් දානමානාදියත් කෙළවර වූ පසු, පෙම්වතිය තවකකු හා විවාහ වී දරුවකු ද ලැබ වසර දෙකක් ඉක්ම ගිය අනතුරුව, නෙත් අඳ තැනැත්තෙකු ලෙස එක්වරම යළි ගමට එන කුලේහමුවේ ඉහත දෙබස් කණ්ඩය තබන්නේ ඔහුගේ හමුදා සගයෙකි. ‘කුලේ’ හමුවට ඔහු පැමිණ සිටින්නේ මහ රැයක ය. ඔහු පැමිණි ජීප් රථයේ විදුලි ලාම්පුවල එළිය මගින් ලැබෙන පසු ආලෝකයෙන් පමණක් ආලෝකමත්  වූ දර්ශන තලයක, අඳුර සමග වැඩි ගණුදෙනුවක යෙදෙමින් හමුදා සගයා සිටගෙන සිටියි. නෙත් නොපෙනෙන ‘කුලේ’ සිටින්නේ ඔහු ඉදිරිපස සිටගෙන මඳ අඳුරක ය. ඔහු ඉදිරියෙන් ඒ දණ්ඩකට සමාන කුඩා කොන්ක්‍රීට් කණු යෙදූ පාලමකි. අවට ගසින් පිරුණු වතු පිටි හා අඳුර ය. ඉඳහිට ඈත පාරේ ඇදෙන රථයක පහන් ආලෝකයත්, වඩා තීව්‍රව පෙනෙන පසු ආලෝකයේ රත් පැහැයත්, යම් බියමුසු සැකයක් සිත පහළ කරමින් තිරයේ එක් අන්තයක සිට අනිත් අන්තයට ඇදෙයි.

ඉහත දර්ශනය හා දෙබස මවෙත මුණගැසුණේ මේ දිනවල සති අන්තයේ ජාතික නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන ‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලි සිත්තම වෙත දී ය.නාමල් ජයසිංහගේ තිර රචනයෙන් ද ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණයෙන් ද නිමැවී ඇති ‘වීරයා ගෙදර ඇවිත්’, රොෂාන් රවීන්ද්‍ර සහ ජයනි සේනානායක ඇතුළු සුහුරු රංගන ශිල්පීන් කිහිප දෙනෙකුගේම විස්මිත රංගන දායකත්වය සමගින් එක්ව කලාතුරකින් ප්‍රේක්ෂක නෙත හමුවට එන ප්‍රවර්ගයේ ටෙලි නාට්‍යයක් ජාතික නාලිකාවේ විකාශ කාලය තුළ තබන්නට සමත් වී ඇත. 

ගුවන් විදුලියේ ‘මුවන් පැලැස්ස’ හෝ ‘මොණර තැන්න’, ඒත් නොමැති නම් ‘ගුවන්විදුලි රඟ මඬල’ අසන්නට වාඩි වූ ප්‍රේක්ෂාගාරයත්, සිනමා හලෙහි ලෙනින් මොරායස් සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ධර්මසේන පතිරාජ දක්වා නිමැවුණු සිනමා සිතුවම් පෙළ නරඹන්නට වාඩි වූ ප්‍රේක්ෂාගාරයත් සිය තිර අවකාශය අභියස වාඩි කරගනිමින් 80 දශකය වන විට වඩාත් ඉහළ අක්‍රිය හා සක්‍රිය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රඳවා ගනිමින්, ‘කතන්දරකරුවාගේ’ භූමිකාවේ නව මුහුණුවර නිර්මාණය කළේ ටෙලිවිෂනයයි. ලෝක ටෙලිවිෂන ප්‍රවේශයට දශක කිහිපයක්ම පසුපසින් සිය මැදිහත් වීම ඇරඹුව ද, කිසිසේත් ලෝකයට නොදෙවෙනි වූ මෙරට ටෙලිවිෂනය ද ඉක්මණ්, විශාල පියවර කිහිපයක් හරහා සිය ‘ආලින්ද ප්‍රේක්ෂාගාරය’ ඉහත කී ගුවන් විදුලි හා සිනමා ප්‍රේක්ෂාගාර සියල්ල පරාජය කරන්නට කටයුතු කළේ ය.

‘කතන්දර’ ඇසීමත් ඒ රස විඳීමත් මෙරට පුරවැසියා මතු නොව සමස්ථ ලෝක පුරවැසි ප්‍රජාව හමුවේම හඳුනාගත හැකි පොදු, ප්‍රමුඛ මිනිස් ගුණාංගයකි. මුල, මැද හා අග සහිත කතන්දර, විවිධ ෂානර ඔස්සේත් විවිධ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේත් රස විඳින්නට පෙරමග බලා සිටින ප්‍රේක්ෂක ප්‍රජාවෙහි අරමුණ සාධනය කර දෙමින්ම ඔවුන් වඩාත් ඉදිරිගාමී සිතුවිලිවලින් පොහොසත්, රස වින්දන ශක්තියකින් හා බුද්ධිමය සාකච්ඡාවකට පොළඹවාගත හැකි ඥාණමය පිබිදීමකින් යුතු පිරිසක් බවට පත් කරගැනීම සිය කාර්යය බව හඳුනාගත් නිර්මාණකරුවන් යම් පිරිසක් හෝ මෙරට මෙන්ම විශ්ව නිර්මාණ කුලකයන් වෙත වූ බව ටෙලිවිෂන අතීතය දෙස හැරෙත්ම හඳුනාගත හැක. පතිරාජයන්ගේ ‘කඩුල්ල’ පෙරමුණු නාමය වෙත තබමින් මෙරට ටෙලි සිතුවම් අතීතය තුළ පෙළගැසී අපට හමුවන්නේ එම නිර්මාණ කුලකයේ මෙරට නිර්මාණකරුවන් පිරිසයි.

පෞද්ගලික නාලිකා ආරම්භයත්, ක්‍රමිකව වඩාත් ලාභදායී, හඬ කවා ප්‍රේක්ෂකයා වෙත යැවිය හැකි විදේශ ටෙලි නාටක මිලට ගැනීමට ලැබුණු ඉඩකඩත්, ලාභය පරම චේතනාව ලෙස දුටු ‘මාධ්‍ය මුදලාලිලාගේ’වෙළඳ චින්තනයත්, නියාමනයකින් තොර මාධ්‍ය භාවිතයත් ඇතුළු මේ සියල්ල 90 දශකාවසානයේ පටන් ක්‍රමිකව පිවිසෙමින් සිටියේ යට සඳහන්, පොහොසත් නිර්මාණ ටෙලිවිෂන් තිරය වෙතින් දුරස් කරන්නට ය. ජාතික හා ස්වාධීන රූපවාහිනී නාලිකා ද පෞද්ගලික නාලිකා සමග කෙරෙන අරගලය ලෙස වටහා ගත්තේ ද සමාන ටෙලි නාටක ස්වරූප සොයා ආලින්දයට එවීම මිස ප්‍රති ප්‍රවේශයන් නොවේ. නව සියවසේ මුල් දශකයත් සමග, සතියේ දින පහම දිවෙන, ‘මෙගා ටෙලි රැල්ල’ පළමුව පෞද්ගලික නාලිකා ද, දෙවනුව ඒ පසුපස දිවගිය රාජ්‍ය නාලිකා ද ආක්‍රමණය කළේ තත්වයන් බරපතල අර්බුදයකට ලක් කරමිනි.

‘වීරයා ගෙදර ඇවිත්’ නාමය ජාතික නාලිකා තිරය මත පතිත කරවීම, ‘රණවිරු’ නාමයෙන් කලෙක ඉහළ ඇගයුමක තැබූ, යුද්ධයේ පෙරමුණු බලඇණිවල හිඳ ජීවිතයේ කුමන හෝ අංගයක් අහිමි කරගත්, යුධ සෙබලෙකුගේ පුනරාගමනය මතු නොව, පොහොසත් ශ්‍රව්‍ය හා දෘශ්‍ය සත්කාරයකින් යුතු ‘තත්‍ය’ ටෙලි සිත්තම්වල පුනරාගමනයේ අවැසියාව ද සංඥා කරවන බව මට හැඟෙන්නේ එහෙයිනි. වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආලින්දයේ හිඳුවා ගනිමින් ඔවුන්ගේ දෛනික ජීවිතයේ විවේකීම ‘රන් දෙපැය’, මුදල් තෑගි දෙමින් ඔවුන්ගේ ‘ඛේදනීය දෙපැය’ බවට පත් කරන ‘ටෙලි කුණුහරුප’ ඔවුන්ගේ නෙත් අභියස තබමින් සමස්ථ පුරවැසි ප්‍රජාවේ ශ්‍රව්‍ය-දෘශ්‍ය කියැවීම මොට කර දමමින්, දෘශ්‍ය සාක්ෂරතාව ද මොට කර දමනු වෙනුවට වඩා ඉදිරිගාමී අදහස් සහිතව ඔවුන් ඥාණනය කරමින්, පොහොනි වින්දන කලාපවලට කැඳවන ප්‍රවේශ විමසන්නට නිර්මාණකරුවන් පෙරමුණ ගත යුතු ය.

පසුගිය වසරත් සමග යම් පිබිදීමක් ලබන නව්‍ය ටෙලි සිතුවම් නිර්මාණ රැල්ලක් (කූඹියෝ, සහෝදරයා, තාත්තා, ත්‍රෛලෝකා ආදී නිර්මාණ සමග), ඉහත ‘ටෙලි කුණුහරුප’ නිසා ආලින්දය අතහැර කාමරවලට වැදී සිටි බුද්ධිමත් ප්‍රේක්ෂක ප්‍රජාව ද යළි කැඳවූ අතර ‘වීරයා ගෙදර ඇවිත්’ එම ප්‍රේක්ෂකයාට ‘රන් දෙපැයවල්’ නරඹමින් දිගටම වාඩි වී සිටි ප්‍රේක්ෂකයා සමගම ආලින්දයේ රැ‍ඳෙමින් ක්‍රමික පුනරාගමනයක් සඳහා සාකච්ඡාවක් අරඹන්නට බල කරමින් සිටී.

සිය ‘අන්ධ’ චරිතය ටක්කෙටම කරන්නට වෙර දරන රොෂාන් රවීන්ද්‍රගේ වෙහෙසකර රූපණ සත්කාරය, ඉතා සියුම්, එකිනෙකට වෙනස්, සංකීර්ණ මනෝභාව රැසක් සමග එකම මොහොතක ගණුදෙනු කරන චරිතයක් විස්මිත ලෙස කුඩා තිර අවකාශයක රූපණය කරන්නට සමත් වන ජයනි සේනානායකගේ රූපණය මෙන්ම ළමා රංගන ශිල්පියාගේ පටන් සෙසු රංග ශිල්පීන්ගේ දායකත්වය ද අපට ‘ආලින්ද තිර අවකාශයක’ කළ හැකි පොහොසත් රූපණ මැදිහත්වීම් පිළිබඳ සාක්ෂි ගෙන එද්දී වෙහෙස වී තනන රූප රාමු, ආලෝකකරණය ඇතුළු සෙසු අනුශාංගිකාංග ද අපට සිහි කැඳවන්නේ එම තිර අවකාශයට සෞන්දර්යාත්මක ගුණ සහිතව කථා කීමට ඇති ශක්‍යතාවය ය.

ඉතා දීප්තිමත් රූප ඔස්සේ, නළු නිළියන්ගේ මුහුණුවල ඇති උද්දීප්ත කළ බුහුටි හැඩතල පමණක් ග්‍රහණය කරගන්නා, කැමරාවේ නන්විධ චලන මගින් රූප බසෙහි බහු අර්ථ නිපදවීම කළ හැකි බව අමතක කළ, කිසිදු වර්ධනයක් හෝ තාර්කික පෙරගමනක් නොපෙන්වන චරිතවල පැතලි හා අතාර්කික රංග භාවිතයන් සමගින්, කොටස් සිය දහස් ගණනින් තනා තිරයට ‘පොම්ප කරන’ ‘ඉනිම්’ ගණනේ තැනෙන ටෙලිවිෂන් කුණුහරුපවලට ප්‍රතිපක්ෂව වඩා පිරිසියුම්ව තැබූ ටෙලි නාට්‍ය නිර්මාණ තබමින් කරන මැදිහත් වීම ‘වීරයා යළි කැඳවීමක්ම’ වනු ඇත්තේ ඒ හා සමග ක්‍රමිකව අපට පොහොසත් කියැවීමකින් යුතු ප්‍රේක්ෂාගාරයක් තනාගත හැකි බැවිණි.

නැතහොත් අප ද ‘කරපිංචා’ බවට පත්ව, ටෙලි හොදි පැසුණු පසු සූප්පූ වී පිඟන් පසෙකට යනු ඇත!

-ප්‍රියන්ත ෆොන්සේකා-


1 comment:

  1. මාත් ඉතා කැමැත්තෙන් නරඹනවා.

    චාන්දනී සෙනෙවිරත්න ගේ චරිතය කුමක්ද යන්න තාමත් හිතාගන්න බෑ.

    ReplyDelete