Wednesday, March 20, 2019

නිර්මාණාත්මක විද්‍යාර්ථියා තනාගැනීම: අසීමිත වන්දනයෙන් ඉවතට!


(2019 මාර්තු 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

වසරාරම්භක සමය යනු (පේරාදෙණි කලා පීඨය තුළ නම්) සිය පළමු වසර අවසන් කළ විද්‍යාර්ථීන් සිය විශේෂවේදී උපාධිය සඳහා සුදුසු පාඨමාලා විමසන යුගයයි. නැතහොත් ස්ව කැමැත්තෙන් හෝ සුදුසුකම් අවම වීම නිසා සාමාන්‍ය උපාධි වෙත යොමුවන යුගයයි. මා සේවය කරන ලලිත කලා අධ්‍යයනාංශය වෙත පැමිණ, සිනමාව හා ටෙලිවිෂනය සිය ලලිත කලා විශේෂවේදී උපාධිය සඳහා ප්‍රමුඛ විෂයය ධාරාව බවට පත් කර හැකිදැයි විමසමින්, එහි අනාගත මංපෙත් කවරාකාරදැයි සාකච්ඡා කරමින් උන් දෙවන වසරට පිය ඔසවන විද්‍යාර්ථීන් දෙදෙනෙකු දීර්ඝ කතාබහ කෙළවර නැගී සිට, විෂයය භාර, මා මිත්‍ර ආචාර්යවරයා වෙත ගොස් වහා ඔහුට වැඳ නමස්කාර කළේ ‘වැඳීමක්‘ බලාපොරොත්තුවෙන් නොසිටි ඔහු වික්ෂිප්ත කරමිනි. ‘වඳින්න අවශ්‍ය නෑ හැමවෙලාවෙම... හැමදේටම...“ ඔහු කියන විටත් එම ශිෂ්‍යාවන් දෙදෙන සිය වැඳීම අහවර කර තිබුණු අතර ‘වැඳීම අනවශ්‍ය‘ බව කී මගේ ආචාර්ය මිතුරා දෙස බැලුවේ පුදුමයෙන් මෙනි.

සිය දෙමාපියන්ට මෙන්ම ගුරුවරුන්ට ද ‘වැඳීම‘ යහපත් දරුවකුගේ පුරුද්දක් බවත්, එය අපගේ සංස්කෘතියෙහි අනිවාර්ය, මග නොහැරිය යුතු, වැදගත් ක්‍රියාකාරකමක් බවත්, මේ දිනවල වර නැගෙන ප්‍රමුඛ කථිකාව විෂයයෙහි මූලික සඳහනකි. ‘මගේ දරුව නං මං හදන්නෙ වැඩිහිටියන්ට ගුරුවරුන්ට වඳින හොඳ දරුවෙක් විදිහට...‘ යන ආඩම්බර වදන් පෙළ බොහෝ දෙමාපියන්ගේ මුවින් පිටවනු මගේ කණ වැකී ඇත. එහෙත්, වැඩිහිටියකු හෝ ගුරුවරයකු දුටු විගස ඔහු ඉදිරිපිට වැඳ වැටීමේ මෙම ක්‍රියාව කොතරම් දුරට ශිෂ්‍යයාගේ/ශිෂ්‍යාවගේ පෞරුෂය කෙරෙහි සෘණාත්මකව බලපෑ හැකිදැයි අප විමසා ඇත් ද?

පාසැල් ශිෂ්‍යයකු ලෙස දශක කිහිපයකට පෙර මා අධ්‍යාපනය ලද අවදියේ, දෙමාපියන් හෝ ඇතැම් විට පූජ්‍ය පක්ෂය හමුවේ පරිදි, ගුරුවරුන් දුටු තැන ඔවුන්ට නමස්කාර කිරීමේ පුරුද්දක් හෝ අවශ්‍යතාවක් තිබූ බවක් මගේ මතකයේ නැත. ඒ හා සමානවම සෑම පියවරකදීම ඉගැන්වූ සෑම ගුරුවරයකුම හා ගුරුවරියකම ‘ගුරු පියවරුන්‘ හා ‘ගුරු මව්වරුන්‘ ලෙස ඇමතූ බවක් ද, ගුරුවරුන් හමුවන සෑම දරුවෙකුටම, නම පසෙක තබමින්, ‘දුව‘ හෝ ‘පුතා‘ යනුවෙන් ඇමතූ බවක් ද මගේ මතකය තුළ නැත. අපගේ දෙමාපියන් විසින් තැබූ නමින් අප ඇමතූ ගුරුවරුන් වෙත ‘සර්, මැඩම් හෝ ටීචර්‘ යන යෙදුම සමගින් ඇමතූ අපි, බුලත් හුරුල්ලක් දී ඔවුන්ට වැඳ ආචාර කළේ වසරාවසානයේ යෙදුණු ‘සමුගැනීමේ සාදය‘ දා පමණි. වාර්ෂිකව යෙදුණු ‘වැඳීමේ දිනය‘ එය පමණක් විය. ඉන් බාහිරව ඔවුන් ශිෂ්‍ය ප්‍රජාව වෙතින් වැඳීමක් බලාපොරොත්තු වූ බවක් මගේ මතකයේ නොවන නමුත් අදාල දිනයේ දී ද ‘හරි දරුවනේ... එක එක්කෙනා ඇවිත් වඳින්න ඕනෙ නෑ. හැමෝටම ආයුබෝවන්... හොඳට ඉගෙන ගන්න!“ කියමින් සුභ පැතූ ගුරුවර ගුරුවරියන් ද වූ බව නම් මතක ය. (අති සමීප නොවෙතත් දශක කිහිපයකට පෙර පාසැල් ගිය අයෙකු නම් ඔබේ ද අත්දැකීම මේ හා සමාන වන බව මම විශ්වාස කරමි.)

අපෙන් දිගින් දිගටම වැඳීම බලාපොරොත්තු නොවූ ගුරුවරු බාහිරයෙන් එන වැඩිහිටියන්ට දුටු තැන වඳින්නැයි කියා ඉල්ලා සිටියේ ද නැත. නිසි පරිදි හිස පමණක් නමා ආචාර කොට ත්‍යාගය අමුත්තා වෙතින් ලබා ගන්නට අප මෙහෙය වූ ඔවුහු ත්‍යාග ප්‍රදානෝත්සවවල, ක්‍රීඩා උත්සවවල ප්‍රධාන අමුත්තන් ලෙස ආ දේශපාලකයින් ඉදිරියේ අපේ කොඳු හැකි පමණ කෙළින් තබන්නට කටයුතු කළ හ. සෑම ගුරුවරයකුගේම, ගුරුවරියකගේම භූමිකාව සමාන තලයක තැබිය හැකි නොවෙතත් ගෞරවය වැඳීමෙන් සංකේතාත්මකව ලබා ගැනීමට වඩා ක්‍රියාව තුළින් එය දැකීමේ වටිනාකම ඔවුහු අවබෝධ කරගෙන උන් හ.  

දැන් පාසැල් දරුවන් පමණක් නොව විශ්වවිද්‍යාලවලට ගොඩ වදින, ඡන්ද බලය හිමි, පුරවැසි අයිතිවාසිකම් අයිති වැඩිහිටි විද්‍යාර්ථීන් ද දකින දකින තැන්වල වැඳ වැටෙමින් ගුරුවරයාට සිය ‘ගෞරවය ප්‍රකාශ කිරීම‘ ආරම්භ කර ඇත. ඇතැම් පාසැල්වල කාල ඡේදය ආරම්භ වන විටත්, අවසන් වන විටත් සියලු දරුවන් පැමිණ තමන්ට වඳින්නට මෙහෙයවා ගන්නා ගුරුවර ගුරුවරියන් ඉන්නා බව, මා පුදුම කරවමින්, මගේ මිතුරකු වරෙක මා සමග කීවේ ‘පාඩමෙන් බාගයක් ඉවරයි වැඳිල්ලට!‘ කියමින් සිනාසෙමිනි.

මේ ‘වැඳීම‘, බැලූ බැල්මට යහපත්, කීකරු, හොඳ, ශික්ෂිත දරුවකු පිළිබඳ සංඥාවක් බව පෙනෙන නමුත්, වැඳුම් ලබන්නා වෙත ඇති කෙරෙන ඉහළ ධූරාවලික තත්වය හේතුවෙන්, බරපතල අර්බුද ගණනාවක් නිර්මාණය කර දෙමින් ‘යහපත් දරුවාට‘ එරෙහිව ‘භින්න පෞරුෂයක් හිමි දරුවකු‘ බිහි කිරීමට දායක වන බව වටහා ගැනීම අපහසු නැත.  ඉහත කී භින්න පෞරුෂයක් ඇති කිරීම මෙන්ම නිරතුරුව වැඩිමහල් තැනැත්තන් නිවැරදිය යන වක්‍ර සඳහන ස්ථාපිත කිරීම යනාදිය අතර මා දකින භයානකම අනතුර නම් නිර්මාණාත්මක, නිදහස් සිතුවිලිවලින් සපිරි පාසැල් (හෝ විශ්වවිද්‍යාල) විද්‍යාර්ථියා බිහිකිරීමට එය සිදු කරන සෘණාත්මක බලපෑමයි. ගුරුවරයා/ගුරුවරිය හෝ ඔහු/ඇය වෙතින් ලැබෙන අධ්‍යාපනික කරුණු මෙන්ම ආකල්ප සහ අදහස් ප්‍රශ්න නොකිරීම, එපරිද්දෙන්ම භාර ගැනීම, පෙරළා ප්‍රශ්න කරමින් තාර්කික ඥාණ ගවේෂණ මාර්ග නොවිමසීම සහ නව, නිදහස් ආකල්ප ඔස්සේ සිත යොමු කරමින්, රාමුවෙන් පිටතට පැන ලෝකය දැකීමට නොපෙළඹීම ඇතුළු ඉතාම ඛේදනීය සහ භයානක බලපෑම් රාශියක් මේ ‘වැඳිල්ල‘ පසුපස පාසැල් හා විශ්වවිද්‍යාල භූමි හරහා වැඩී නැගෙයි.

සැබවින්ම සිසුවකු වෙතින් ගුරුවරයකු වෙත ලැබිය හැකි ඉහළම ගෞරවය කුමක් ද? තමන් විවර කර දෙන මාවත් ඔස්සේ යමින් වඩා යහපත් පුරවැසියකු ලෙස, මානව ප්‍රගමනය සඳහා දියුණු දායකත්වයක් දෙන අයෙකු ලෙස කටයුතු කරමින් ගුරුවරයා ද ඉක්මවූ තැනක සිටගැනීමෙන් ලබා දෙන ගෞරවය බව මගේ විශ්වාසයයි. යහපත්, දියුණු පුරවැසියා නිරතුරුව නව ආකල්ප හා අදහස්වලින් පෝෂිත, පවතින තත්වයන් ප්‍රශ්න කරමින් වටහාගන්නා, නව දැකීම්වලින් සපිරි අයෙකු විය යුතු මිස, වන පොත් කරවමින් ඔවුන් වෙත තබනා සියල්ල ඒ පරිද්දෙන්ම කටපාඩමින් අප ඉදිරියේ අතැර, ‘වැඳ වැඳ දුවන‘ භින්න පෞරුෂයකින් හෙබි අයෙකු විය යුතු නැත.

මා උසස් අධ්‍යාපනය හැදෑරූ ඕස්ට්‍රේලියාවේ මෙන්ම සෙසු බොහෝ රටවල ද ගුරුවරයා හෝ වෙනත් ඕනෑම වැඩිහිටියකු ඇමතීම සඳහා පාසැල් දරුවකු හෝ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙකු වුව භාවිතා කරන්නේ නම පමණි. වයෝවෘද්ධ මහාචාර්යවරයෙකු අමතමින් තරුණ කොල්ලෙකු හෝ කෙල්ලක ‘හලෝ ජෝන් කොහොමදැයි‘ විමසීම අපගේ සංස්කෘතික කලාපය පමණක් විමසූ අයෙකු තිගස්සවන කරුණක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. එහෙත් එම අධ්‍යාපන කලාපවල ද ගෞරවය දියව ගොස් නැත. ඒ හා සමග, ගුරුවරයා ඉක්මවමින් වඩාත් ඉදිරිගාමී අදහස්වලින් පෝෂිතව නැගෙන විද්‍යාර්ථීන්ගේ ද අඩුවක් නැත.

අතිගරු, ශ්‍රීමත්, ඇමතිතුමා, මැතිතුමා, ඔබතුමා, ඔබතුමී, ගුරු පියාණෝ, ගුරු මෑණියෝ ඇතුළු ගෞරවාර්ථ පදවලින් පමණක් පිරුණු සමාජ අවකාශයක, ඉහළින් සිට දකිමින් ස්වකීය ආස්ථානයන් නිරතුරුව නිවැරදි යැයි විශ්වාස කරන වැඩිහිටි ප්‍රජාවක් සහිතව යමින් අපට වඩා දියුණු සංස්කෘතික පුරවැසියන් සහිත අනාගත දේශයක් බිහිකර ගැනීමට සිහින දැකිය නොහැක. ‘වැඳීම‘ වෙනුවට අනෙකාට සැබවින්ම ගෞරව කිරීම හා ගෞරව කිරීමට පෙළඹවීම ඔස්සේ විවර කර ගත හැකිවනු ඇත්තේ එම දේශය වෙත වැටුණු මාවතයි.

-ප්‍රියන්ත ෆොන්සේකා -    

රූපය: https://blog.cognifit.com

2 comments:

  1. කියලා වැඩක් නෑ.

    සමාජය පස්සෙන් පස්සට යනවා.

    ඔබ මෙහි පුදුම වුණු ආකාරයටම මා වසර ගණනාවකට පෙර පුදුම වුනේ, ඔබේ (සහ මගේ) විශ්වවිද්‍යාලයේ සිසුන් එකිනෙකාට අයියා-මල්ලී යනුවෙන් අමතන බව ඇසීමෙනුයි.

    මෙය මා හැඳින්වූයේ "හයිරංකාර - බලු ගැත්තර" සංස්කෘතියක ලක්‍ෂණයක් ලෙසයි!

    http://rasikalogy.blogspot.com/2015/06/comradery-or-decadency.html

    ReplyDelete
  2. ඔය වගේම තවත් දුක්බර කාරණයක් තමයි සමාජවාදී පක්‍ෂවල සාමාජිකයින් පෙර පරිදි එකිනෙකාට සහෝදරයා කියා ඇමතීම අතහැර දැන් අයියා කියන බව.

    තව ටික කලකින් ජවිපෙ පොඩි මල්ලිලා බුළත් හුරුළු අරං අනුර අයියාට වඳින්න යයි පෝළිමේ!

    http://rasikalogy.blogspot.com/2017/05/all-jvpers-are-equal-but-some-jvpers.html
    එක පවුලේ සමාජවාදය නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ ලොකු අයියලා සහ චුට්ටං මල්ලිලා - All JVPers are equal but some JVPers are more equal (and bigger) than others

    ReplyDelete