Thursday, March 14, 2019

නැෂනල් ඇම්නීසියා!

(2019 මාර්තු 10 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

සෑම සති අන්තයකම ඔබ අතට පත්වන ‘අනිද්දා‘ පුවත්පතෙහි හැන්දෑව අතිරේකය සඳහා සාහිත කලා මුල් කොටගත් කුඩා ලිපියක් සම්පාදනය කිරීමට එහි සංස්කාරකවරයාගෙන් ආරාධනා ලැබ කෙටි කලක් ගෙවී ගොස් ය. මෙම ලිපිය (නමක් නොලද තීරුව) ලිවීම ආරම්භ කළ දා පටන්, මගේ කාර්යබහුලත්වය නිසා එක් සතියකත්, පුවත්පතේ හැන්දෑව අතිරේකය පළ නොවීම නිසා තවත් සතියකත් හැර, එක දිගටම මම මෙය ඔබ වෙත ඉදිරිපත් කොට ඇත්තෙමි. වැඩිම අළෙවියක් ඇති සති අන්ත පුවත්පතකැයි තමන්වම වර නගා ගෙන ඇති පුවත්පත් අතර, අලුත් සාමාජිකයකු වන ‘අනිද්දා‘ සඳහා ලියන කුඩා ලිපියකින් කළ හැකි මැදිහත්වීමක් වෙත්දැයි යන සැකයක් මුලදී මා වෙත වුවත් ලිපි පෙළ පළවන්නට පටන් ගෙන ඉතා කෙටි කාල සීමාවකදී එම සැකය තුරන් විය. දුරකථනයෙන්, ෆේස්බුක් අඩවියෙන් හෝ මහමග හමුවන විට මා ඇමතූ හෝ හමුවූ අයෙකු ‘ලිපිය අපි කියවනව. හොඳයි ඒක!“ වැනි කුඩා අදහස් දැක්වීමක සිට දීර්ඝ අදහස් දැක්වීම් දක්වාම, තොග ගණනින් නොවෙතත්, ප්‍රතිචාර එයට ලැබෙන්නට පටන් ගත් හෙයිනි. එනිසාම, දැන්, සෑම සතියකම මෙය ලිවීම අරඹන්නට පෙර මම බොහෝ කල්පනා කරමි. ඉදිරි සති අන්තයට කුමක් ලිවිය යුතු ද?

එකහැර සිත පැහැරගත් යමක් හෝ තදින් සිත කම්පනය කළ යමක් නොවුණු තැන පමණක් නොව යමක් පිළිබඳ ලියන්නට අදහසක් සිතට නැඟුණු විට පවා එම කල්පනාව මසිතට නැගෙයි. අතීත ලිවීම් යළි පෙරළමින්, ලියා ඇති දෙයක් යළි ‘රිපීට්‘ නොවන්නට කටයුතු කළ යුතු බව සිතෙයි.

ලිපිය (හෝ තීරුව) සූදානම් දැයි හැන්දෑව අතිරේකයේ සංස්කාරකවරයාගේ දුරකථන ඇමතුම ලැබෙන්නට ආසන්න වන විටත් (ලිපිය ලැබී නැතිනම් සාමාන්‍යයෙන් අඟහරුවාදා 11-12 අතර ඔහු මා අමතන නිසා), මේ සති අන්තය සඳහා අවශ්‍ය ලිපියේ ප්‍රස්තුතය මසිතට නැගී තිබුණේ නැත. “පෙබරවාරි 10 වැනිදා ඔබේ ලිපිය විශිෂ්ටයි! නැෂනල් ඇම්නීසියා!!“ යනුවෙන් මිතුරෙකුගෙන් කෙටි පණිවුඩයක් මවෙත ලැබුණේ එවිට ය.

ජාතික විස්මෘතිය!! එය නම් කදිම අදහසකි; සිතුවිල්ලකි. ඔහු ඒ යෙදුම භාවිත කොට තිබුණේ මා ලියූ ‘අතීත විත්ති භාවිතයට (නො)කැඳවීම: 71 වැනි නිදහස් දින ආසන්නයේ දුටු සිනමා සහ ක්‍රිකට්පාඩම්‘ නමැති ලිපිය සම්බන්ධයෙනි. රාජ්‍ය නායකයාගේ සිට ක්‍රිකට් නායකයා හරහා සිනමා අධ්‍යක්ෂවරයා දක්වා අතීතය අතහැර කටයුතු කිරීම පිළිබඳ මගේ නිරීක්ෂණ මම එහිදී සාකච්ඡා කළෙමි. ‘ජාතික විස්මෘතිය‘ ලෙස මගේ මිතුරා යෝජනා කරන තත්වය ගැන තව දුරටත් ලිවීම කිසිදු වරදක් ද නොවන, ලියන්නට තව බොහෝ දේ හමුවන කලාපයක් බව ඒ ඔස්සේ සිත යොමු කරද්දී මට කල්පනා විය.

සැබවින්ම මේ ලිපිය ලියන්නට යන සෑම සතියකම මා යළි හැරී බලන්නේ ඇයි? මෙම ලිපි පෙළ ලිවීම අරඹා වැඩි කලක් ගතවී නැතත්, සෑම සතියකම ලියූ සියලු ලිපි සහ අඩංගු කළ සියලු කරුණු මගේ මතකයේ පැහැදිලිව සටහන්ව නැති හෙයිනි. අප ලියන, කියන, ක්‍රියාවට නගන සියලු දේ පිළිබඳ ඉතා පැහැදිලිව මතකයේ රඳවා ගැනීම ඒ පිළිබඳම පුහුණුවීම් කරන අයෙකුට වුව නොකළ හැක්කකි. මතකය හා බුද්ධිය සම්බන්ධ ප්‍රබලතම ගණුදෙනුව සිදුවන චෙස් ක්‍රීඩාවේ දී ද ලෝක ශූරයා, මතකය නිවැරදිව ගබඩා කෙරුණු වැඩි දියුණු කළ පරිගණකයක් හමුවේ පරාජය වී අවසන් ය.

එදිනෙදා සිදුවන සෑම ක්ෂුද්‍ර සිදුවීමක්ම මතකයේ රැඳීම අනවශ්‍ය වුවත් සමාජ, දේශපාලනික, ආර්ථික හෝ සංස්කෘතික වශයෙන් සුවිශේෂ වන යමක් අපගේ ‘ජාතික මතකය‘ තුළ රැඳීම අත්‍යාවශ්‍ය ය. පරමාණු බෝම්බය හිරෝෂිමා සහ නාගසාකි නගර වෙත පතිත වීම පිළිබඳ ‘ජාතික මතකය‘ ජපානයේ ‘ජාතික චින්තනයේ‘ හැඩතල මේ යැයි තීරණය කොට ඇති පරිදි, ‘සුනාමිය‘, ‘කළු ජූලිය‘, ‘සිවිල් යුද්ධය‘, ’71 සහ 88-89 තරුණ කැරලි‘ ඇතුළු අපගේ සමාජ දේහය තදින් කම්පනය කළ සිදුවීම් පිළිබඳ ‘ජාතික මතකය‘ අපගේ චින්තනය තුළත් තදින් එල්බ ගත්තේ නම් එම සිදුවීම්වලින් අනතුරුව සිදුවුණු බොහෝ ක්ෂුද්‍ර හා ක්ෂුද්‍ර නොවන සමාජ- දේශපාලනික සිදුවීම් හා පෙරළි සිදුවන්නේ එපරිද්දෙන් නොවේ යැයි අපට තර්ක කළ හැකි ය.

‘නැෂනල් ඇම්නීසියා‘ තත්වයකට මග පාදන, ‘ජාතික මතකයක් අහිමි‘ පුරවැසි ප්‍රජාවකගේ සාමාජිකයින් බවට පත් වන්නට අපට සිදුවී ඇත්තේ ඇයි? පුරවැසි මතකය තුළ තිරව සනිටුහන් කළ යුතු කාරණා කවරේදැයි යන්න පිළිබඳ ජාතික අදහසක් අප වෙත නැත. අධ්‍යාපනය හා සන්නිවේදනය හමුවේ අප ක්‍රියා කරමින් සිටින ආකාරයත්, එම තීරණාත්මක විෂයයන් හා ඒ හා අත්වැල් බැඳගන්නා කලාව යන්න අප වරනගා ගන්නා ආකාරයත්, අප එවැනි වගකීමක් සහිතව කටයුතු නොකරන බව ස්ථිර කර දෙයි. පුරවැසියාගේ චින්තනය, දෘෂ්ටිවාදය, වින්දනය හා ආකල්ප මෙන්ම අනාගත පුරවැසි ප්‍රජාවේ මතක සංචිත නිර්මාණයට පසුබිම සපයන අධ්‍යාපන ක්‍රියාකාරකම් ඈ සියල්ලකදීම අප කටයුතු කර ඇති හා දැනටත් කටයුතු කරන ආකාරය ඒ බවට ඇති පමණ සාක්ෂි අප වෙත සපයමින් සිටියි.

අධ්‍යාපනය තුළ යුද්ධය ආශ්‍රිත කරුණු පිළිබඳ සිදු කරන සාකච්ඡාවන් දෙස බලන්න. මෑත සිවිල් යුද්ධයේ උණුසුම තවම මැකී නැතත්, අපගේ ආගමික හා සමාජ අධ්‍යයන හා ඉතිහාස පාඩම්මාලාවල තවමත් ‘වීරයා‘ දුටුගැමුණු ය. මෑත (හො ඈත) ඉතිහාසය පදනම්ව, යුද්ධයක නිස්සාරත්වය හා මනුෂ්‍යත්වයේ ප්‍රබලත්වය පාසැල් අධ්‍යාපනය හරහා දරුවන් වෙත ගෙන යා හැකි වුවත් අප තවමත් ‘උඩ දමමින් ඉන්නේ‘ දුටුගැමුණු ස්වරූපවල වීරත්වයයි. ජාතික මතකය තුළ යුද්ධයේ වේදනාකාරීත්වය හෝ අහිමිවීමේ ඛේදය පිළිබඳ අදහසක් අප විසින් ඇති කරනු ලැබ නැති හෙයින්ම ‘අතුරුදහන් වූවන්‘ පිළිබඳ විමසන අම්මලා තාත්තලාගේ වේදනාව අපට ජාතික වේදනාවක් බවට පත්ව නැත.

මතකය සිහි කැඳවීම් ඔස්සේ මැකී යා නොදී පුරවැසියා හමුවේ තබන්නට ඉහළම ශක්‍යතාව ඇත්තේ මාධ්‍යයට ය. ටෙලිවිෂනය ගෙන බලමු. ශ්‍රව්‍ය හා දෘෂ්‍ය භාවිතය හේතුවෙන්, අතීතය මත පදනම්ව ගොතමින් සබුද්ධිකව පෙළ ගසන ‘මතක සංවේදනා පිළිබඳ රූප හා ශබ්ද‘ හරහා යළි සුනාමියක හෝ යුද්ධයක, ඒත් නැතිනම් මර්ධනකාරී තරුණ කැරැල්ලක ඛේදය පුරවැසියා වෙත තබා පුරවැසියා වඩාත් සංවේදී ප්‍රජාවක් බවට පත් කරන්නට, අවැසි නම්, ටෙලිවිෂනයට හැකි ය. නමුත් තොග ගණනින් එන, රියැලිටි විලක්කු හා මෙගා ටෙලි පඩංගු ප්‍රේක්ෂාගාරය වෙත තබා, තම ආයතනික දෘෂ්ටියට ගැලපෙන්නට ප්‍රවෘත්තියේ පටන් හැඩරුව මකමින් තබනු මිස ටෙලිවිෂන නාලිකා ඒ කලාප ගැන හිත යොමු කරනු පෙනෙන්නට නැත.

ඉඳින් මේ මතකය පවත්වා ගැනීම පිළිබඳ අදහසින් ද මඩනා ලද පුරවැසියා කවු ද? ටෙලිවිෂන් මෙගා ස්වරූපයේ මුල් කෘතියක උදාහරණයක් පමණක් ලියා අවසන් වාක්‍ය ඛණ්ඩයට වෙත යන්නට මට ඉඩ දෙන්න. ‘සත්පුර වැසියෝ‘ නමින් ටෙලි නාටකයක් ජාතික නාලිකාව හරහා ඔබ වෙත තැබූ බව ඔබට මතක ඇතැයි සිතමි. මෙය විකාශය වී කෙටි කලකින් එයට ‘සත්පුර වැසියෝ‘ යන නම යෙදුණේ මන්දැයි මම ‘සිනමාව හා ටෙලිවිෂනය‘ විශේෂ උපාධිය සඳහා හදාරණ ශිෂ්‍ය පිරිසකගෙන් ඇසීමි. සිතට නැගුණු එක් එක් අදහස් පිළිතුර සඳහා ගොණු කළත් සැබෑ පිළිතුර කිසිවකු ලබා දුන්නේ නැත. සත්පුරය නම් ‘ආබාධ සහිත‘ තරුණ තරුණියන් ඉලක්ක කළ ආයතනයක් මුල් කොට ගනිමින් ආරම්භ කෙරුණු පුවතෙහි (යශෝධා විමලධර්ම රඟපෑ) ප්‍රධාන චරිතය, සෙසු චරිත හා ගණුදෙනුව ආරම්භ කළේ ද එම ‘සත්පුරයෙහි‘ සාමාජිකාවක ලෙස හිඳිමිනි. නාටකය ඉදිරියට විකාශනය වද්දී (ඇතැම් මෙගාවල චරිත හිටි අඩියේ මිය යනු හෝ රූප වෙනස් වනු සමානව) ‘සත්පුරය‘ හා එහි සාමාජිකයින් කතාවෙන් හැලී ගිය අතර සිය මතකයෙන් සමානුපාතිකව ‘සත්පුරය‘ හලා දැමූ ප්‍රේක්ෂාගාරය ද ‘සත්පුර වැසියෝ‘ ටෙලි නාට්‍යය සතිපතා නරඹමින් සතුටු වූහ. ටෙලිවිෂනය ගැන හදාරණ සිසුවකුගේ හෝ මතකයේ ඉතිරි නොවුණු සත්‍ය ‘සත්පුරය‘ පරිද්දෙන් කතාකරුවාගේ මනෝ විකාරවලට, කැමැත්තට හා අදහසට අනුව ඕනෑම දෙයක් ටෙලි පුරවැසි මතකවලින් මකා දැමෙන අතර ඒ කැමැත්ත අනුව ඕනෑම දෙයක් මතකයෙන් හලා දමන්නට සැදී පැහැදුණු ප්‍රේක්ෂාගාරයක්ද අපට වෙයි.

‘නැෂනල් ඇම්නීසියා‘ යනුවෙන් මගේ මිතුරා නම් තබන, පුරවැසියාගේ ජාතික මතක කලාපයන් සෝදා දමන මේ බිහිසුණු තත්වය සමාජ, දේශපාලනික හා සංස්කෘතික දේහය විනාශ කර දමන ඛේදවාචකයකි. රටක් ලෙස, පුරවැසියන් ලෙස අප දේශජ මතකයන් බවට පත් විය යුතු සියලු කලාප හඳුනාගන්නා අධ්‍යාපනික, ආගමික, මාධ්‍ය මෙන්ම කලා භාවිතයක් වෙනුවෙන් පෙරමුණ ගත යුතු ය. ඒ ස්ථාපිත කිරීමට බල කළ යුතු ය. ‘නැෂනල් ඇම්නීසියා‘ මෙන් නොව ‘නැෂනල් මෙමරි‘ යනු තෘප්තකර මාතෘකාවකැයි අපට ලියනු හැකි වන්නේ එදිනට ය.


-          ප්‍රියන්ත ෆොන්සේකා -          

1 comment:

  1. සත්පුර වැසියෝ කියන්නේ අය හෙන්රි ජයසේන A.B.C. George ලෙස රඟ පෑ මාලා නාටකය නොවේද?

    ReplyDelete