(2020 ජූලි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
වර්ග කිලෝ
මීටර හැටහය දහසක් නොඉක්මවන කුඩා බිම් ප්‍රමාණයක විහිදි අප දිවයිනෙහි එක් එක් කලාප
යළිත් අනේක ප්‍රවර්ග ඔස්සේ බෙදා අගයන්නට හෝ ගරහන්නට අප සමාජය තුළ ඇති හැකියාව
විස්මිත ය. අනුරාධපුරය හා මහනුවර වැනි නගර අපට පූජා බිම් වන අතර නුවරඑළිය එංගලන්තය
ද පරදන තරමේ එංගලන්තයකි. යාපන අර්ධද්වීපයම යුධයකින් දිනූ ජයබිමක් ලෙස දකින අපි විල්පත්තුව
දේශපාලකයින්ගේ රුදුරු හස්තයට හසුවී විනාශ වී යන වනාන්තරයක් ලෙස ද, කොළඹ මුහුද ද
වසමින් පැතිරෙන දියුණුවේ අගනුවර ලෙස ද ගනිමු. ඒ අනුව ඒ දිගු ලැයිස්තුවේ තණමල්විලට
හිමිවන්නේ ඇගයුම් නාමයක් නොවේ. එපෙදස, තහනම්ව ඇති කංසා රහසින් වගා කොට රටට බෙදා
හරින කලාපයකි. චාමර වීරසිංහගේ මුවින් ‘තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට’ ලෙස
ගැයෙන්නේත්, ඒ ගීයේ තාලයට සංගීත ප්‍රසංගවලදී අප නටන්නේත් එම ‘පොදු’ පිළිගැනීමට
අවනත වෙමිනි.
කෙසේ වුවත්, ඉම්
බිම් හමුවේ මේ පොදු ඇගයුම් හා ගැරහුම් හමුවේ අප වෙතින් මැකී යන එක් නිශ්චිත කරුණක්
වෙයි. ඒ මේ සියලු කලාපයන්හි සිය ජීවිතය දිනනු වස් නෙක අරගලයන්හි නිරත වන දස දහස්
ගණනින් වන මිනිසුන් දිවි ගෙවන බව ය. එය පූජා බිම් අභිමුව මල් විකුණන, ශීත
නුවරඑළියේ මහමග සිට එළවළු මළු දිගුකරන, යාපනයේ යුධ ජය බිම් සොයා යද්දී මිදි පොකුරු
ගෙන එන, විල්පත්තුව දෙසට යද්දී බඩඉරිඟු තම්බා මග බලා සිටින මිනිසුන් දකිද්දී අපට
හැඟුණත් යළි මූල රූපය තුළ ඉතිරි වන්නේ යටකී ඇගයුම්-ගැරහුම් නාමයන් පමණි.
ගෙවුණු සතියේ
නිමාව දුටු, රොෂාන් රවීන්ද්‍රගේ පළමු ටෙලි සිත්තම වූ ‘තණමල්විල කොල්ලෙක්’, ගැරහුම්
නාමයක් ලෙස පොදු සමාජය තුළ ස්ථාපිතව පැවති තණමල්විල සිය කෘතියේ නාමය තුළම තබා පැමිණියකි.
එහිදී අපට මුණ ගැසෙන්නේ, සතියෙන් සතිය ගෙවී යද්දී තව දුරටත් හඳුනා ගැනෙන්නේ එම
‘ගැරහුම් බිම’ පසුපස සැඟවී ඇති මිනිස් ජීවිත පොකුරකි. සැබවින්ම තණමල්විලෙන් ගලවා
ඔවුන්ව අප මැදවච්චියේ හෝ කිලිනොච්චියේ තැබූව ද, සීතාඑළියේ හෝ හාවාඑළියේ තැබුව ද
පසුතල හා ඇතැම් විට ඇඳුම් පැළඳුම් සහ ඡවි වර්ණය වෙනස්වීම හැර හමුවන අරගල හා
අර්බුදවල තීරණාත්මක වෙනස්කම් හමු නොවනු නියත ය. මේ සෑම කලාපයකම සිය ජීවිතය දිනනු
වස් අනවරත අරගලවල නිරත වූ සහ නිරත වන විවිධ ජීවිත කොතරම් ඇති ද?
සුසිත්
විජේමුණි මේ ලියන්නේත්, රොෂාන් රවීන්ද්‍ර සිය දෘශ්‍ය වියමන තුළ ගොඩ නගන්නේත් එම දස
දහස් ගණන් ජීවිතවල පිළිඹුබවකි. ටෙලි සිත්තම දිග හැරෙමින් ගලද්දී, ‘පතෝලයා’,
‘කිතුලා’ සහ ‘කූරා’ වැනි චරිතවලට බැඳෙන ප්‍රේක්ෂාගාරය සිය ෆේස්බුක් අඩවි පුරා
ඔවුන් අගයමින් ලියද්දී එවැනිම චරිත බොහෝ ගණනක් ජීවිත සටන වෙනුවෙන් අරගල කරනු හෝ
යුද්ධයෙන් මියැදී හෝ ඇති බව සිහි කැඳවන්නේ නැතිනම් යළි අප තණමල්විල තබන්නේ යටකී
ගැරහුම් බිම තුළම ය.
කෙසේ වුවත්,
මෙහි ‘තණමල්විල කොල්ලා’ දීප්ත ය. සිය මිතුරු කැළේ හමුවන කූරාට, පතෝලයාට, කිතුලාට
සාපේක්ෂව ඔහු මුහුණ දී ඇති ගැටළු අල්ප ය. සිය තණමල්විල නිවසේ කාමරය තුළින් ඇරඹ
පැරිස් නුවරින් කෙළවර වන ඔහුගේ ගමන් මග තුළ ඔහු වැඩි වශයෙන් සිදු කරන්නේ නිහඬව බලා
සිටීම ය. මිනිස් ජීවිත ගලා යන අයුරු, වැඩෙන හා නැසෙන අයුරු ඔහු දකියි. සිද්ධාර්ථට පිය
රජු ජීවිතයේ දුක්ඛ පක්ෂය සඟවා තැබු මුත්, දීප්තගේ පියා නිහඬව බුද්ධ චරිතය සිතුවම්
කරමින් සිය පුතුට ජීවිතයේ සියළු දුක හා සතුට මුණගැසෙන්නට ඉඩ හරියි. එහි හමුවන පෙර
නිමිති සතරකට වැඩි ය. රෝග නෙක අයුරින් ඔහු වෙත ද, සෙස්සන් වෙත ද පැමිණෙයි. මහල්ලන්
මියෙන්නේ අලින්ගෙන් පහර කෑමෙනි. හමුවන මළමිනී ගණන බොහෝ ය. එක්ව නැගුණු මිතුරු කැළේ
ජගා පිහි ඇණුමකින් මියෙද්දී කිතුලා මියෙන්නේ යුද්ධයෙනි. ඔහුට හමුවන යශෝධරාව ද ඔහු
වෙතට සැඟවූ රෝගයක් හේතුවෙන් මිය යයි. පැවිද්දන් වුව අරගලවල ය. කුලය, දරිද්‍රතාව
ඇතුළු බොහෝ දේද, වත්මන් ආර්ථික-සමාජ දේහය තුළ සැඟවුණු බලවේගයන් ද පැවිදි ජීවිත
අභිමුවට පැමිණ ඒ නසා දමති. දීප්ත ඇවිද යන්නේ මේ සියල්ල දකිමින්, වටහා ගනිමින් ය.
තණමල්විල ශුෂ්ක බිමෙහි මෙන්ම අහස සිප ගන්නා උස් ගොඩනැගිලි සහිත අගනුවර තුළ ද ජීවිත
මුහුණ දෙන අනේක ජය පැරදුම් ඔහු දකියි. ඒ හා සමග ඔහු ද විටෙක වැටෙමින් ද, නැගෙමින්
ද පෙරට යයි. සියල්ල අවසන, වසර ගණනකට පසු, පියාගේ මරණය හේතුවෙන් පෙරළා තණමල්විලට එන
දීප්තගේ නෙතු අභියස මැවෙන අවසන් රුව සිය පියාගේ අවසන් නිර්මාණයයි. ඒ ශාන්ත බුදු
රුවකි.
‘තණමල්විල
කොල්ලෙක්’ ඈත-මෑත ටෙලි තිරය මත නැගුණු ටෙලි නාට්‍ය අතර ඇගයුම් සහගතම තැනක තබන්නට
හේතු බොහෝ වෙතත්, මේ කුඩා තීරුව තුළ ඒ සියල්ල ලිවීම උගහට ය. රංගනය, සංගීත
නිර්මාණය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය හා අධ්‍යක්ෂණය ආදී බොහෝ කලාප පිළිබඳ අපට
දිගු සාකච්ඡාවලට පිවිසිය හැක. එසේ නමුත්, ඒ සාකච්ඡා කලාප මතුවට තබමින් මෙම කෘතිය
සිදු කළ උඩුගම් බලා පිහිනීමේ වෑයම අගය කිරීම වෙත මම පිවිසෙමි.
80-90 දශකවල
නිමැවුණු ටෙලි නාට්‍ය නිර්මාණ අද හමුවන නිර්මාණ අභිබවන බවට වන බොහෝ අදහස් අපට
මුණගැසෙයි. එදවස නිර්මාණ ගෙන ආ ධර්මසේන පතිරාජ, ජයන්ත ධර්මසිරි, තිස්ස අබේසේකර, පරාක්‍රම
නිරිඇල්ල, බර්ට්‍රම් නිහාල් ආදීන්ගේ කෘතීන් වෙත ඇත්තේ වෙසෙසි ඇගයීමකි. කෙසේ වෙතත්,
එම නිර්මාණ යළිත් නාලිකා තුළ විකාශය වද්දී හෝ අන්තර්ජාලය ඔස්සේ නරඹද්දී හෝ හැඟෙන
කරුණ වන්නේ තාක්ෂණික සීමා කෙතරම් දුරට එදවස නිර්මාණයන්හි දිග-පළල සීමා කොට තිබිණි
ද යන්නයි. ඒ කෘතීන් බොහොමයක හමු වන වටිනාම අංගය කල්පනාකාරීව ගොඩ නැංවූ පිටපතයි.
සහ, ඒ තියුණු කොට ගෙනහැර පෑම සඳහා නංවන අධ්‍යක්ෂණය හා රංගනයයි. එහෙත්, වත්මනෙහි
හමුවන තාක්ෂණය එම සීමා බිඳ හෙළමින් බොහෝ කලාප වෙත සිය නිර්මාණයේ වපසරිය විහිදුවීමට
නිර්මාණකරුවන්ට අවකාශ සළසා ඇත. කෙසේ වෙතත්, හමු නොවන්නේත් එම වපසරිය නිසි භාවිතයට
කැඳවූ නිර්මාණ ය.
ක්‍රිකට් ක්‍රීඩාවේ
දී ඇත්තේ ඉනිම දෙකක් වුවත් ඉනිම් සිය ගණනින් තැනෙන ‘දෙවැනි ඉනිම්’ ඉහළ ප්‍රතිචාර
ලබන පසුබිමක, නාලිකා පාලකයින් ද එවැනි කොපි විමසන අවකාශයක ‘තණමල්විල කොල්ලෙක්’
ගමන් කළේ දීප්තගේ ගමනට නොදෙවනි දුෂ්කර ගමනකි. රූපය කුඩා තිරයක මැවෙන හෙයින්ම වන
සීමා ජයගනිමින් වඩාත් පොහොසත්ව ආඛ්‍යානයක් ප්‍රේක්ෂාගාරය අබිමුව තැබීමේ අභියෝගය
සැබෑ අධ්‍යක්ෂවරයෙකු වෙත වෙයි. ස්වකීය රංගන දායකත්වයෙන් නිමැවුණු ‘සහෝදරයා’ ඇතුළු
කෘති කිහිපයක් අසීරුවෙන් තනා තිබුණු දුෂ්කර මගක ‘තණමල්විල කොල්ලෙක්’ කැඳවාගෙන
රොෂාන් රවීන්ද්‍ර ගිය ගමන ඇගයිය යුත්තේ එබැවිනි.
-ප්‍රියන්ත
ෆොන්සේකා -
No comments:
Post a Comment