Friday, October 14, 2016

හුස්ම (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම -5 )


මහල්ලකු වන විෂාරේ මහා රාෂ්ටයේ ඈත දුෂ්කර ගම්මානයක සිට සිය අට හැවිරිදි මුණුපුරා වන පර්ෂුරාම්, නැතිනම් සුරතල් වදනින් ඇමතෙන පර්ෂා, සමග බොම්බාය නගරයට පැමිණෙයි. ඔහු අත වන්නේ සිය මුණුපුරාගේ ඇස් විශේෂඥයකු වෙත පෙන්වීම සඳහා ගම් පෙදෙසේ වෛද්‍යවරයකු වෙතින් ලද තුණ්ඩු කැබැල්ලකි. නගරයට කෝඩුකාරයින් වන ඔවුන් දෙදෙනා සමග තනි නොතනියට එන, පර්ෂාගේ මාමා කෙනෙකු වන, දිවාකර් නැමති තරුණයා ද ඔවුන් සමග වෙයි. නගරයේ ජනාකීර්ණ රෝහලක සිටින අක්ෂි විශේෂඥ සානි පර්ෂාගේ ඇස් පරීක්ෂා කොට ලැබෙන වාර්තා කෙළවර ඔහු වහා ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බව තීන්දු කරයි. ජීවිතයේ කිසිදු දිනක මුහුණ නොදුන් අර්බුදයකට මහලු විෂාරේ මුහුණ දෙන්නේ ඒ හා සමග ය. ඒ පර්ෂාගේ ජීවිතය රැකෙන එම ශල්‍යකර්මය ඔහුට දෙනෙත් අහිමි කරවන්නක් බව ඇසීමෙනි. රෙටිනොබ්ලාස්ටොමා නැමති කලාතුරකින් හමුවන අක්ෂි පිළිකාවක් පර්ෂාගේ ඇස් ආක්‍ර‍මණය කොට ඇත.

භාෂා 26කින් සිනමා නිර්මාණ හමුවන ඉන්දියාවේ මහා රාෂ්ට ප්‍රාන්තයෙන් එන මරාති සිනමාවට අයත් ‘ෂ්වාස්‘ (Shwaas) නැතිනම් 'හුස්ම' නම් ලබන චිත්‍ර‍පටය සන්දීප් සවාන්ත් නැමති නිර්මාණකරුවාගේ පළමු නිර්මාණයයි. කෝටි ගණනින් වැය කොට නිපදවෙන දැවැන්ත සිනමා නිර්මාණ සියල්ල අභිබවමින් 2004 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ ඉන්දීය නියෝජනය සඳහා වරම් ලබන්නටත්, එහිදී හොදම විදේශ භාෂිත චිත්‍ර‍පටය සඳහා වන ලැයිස්තුවේ සයවන තැන ලබන්නටත්, ඉතා අඩු මිලකින් නිපදවෙන, ප්‍රාන්ත සිනමාවකින් ආ ‘ෂ්වාස්‘ සිනමා කෘතිය අවස්ථාව හිමි කරගන්නේ ජීවිතය පිළිබඳ ඒ හෙළිකරන විශිෂ්ඨ රූප සන්ද්වනියේ ඇති පොහොසත්කම හේතුවෙනි.

වෛද්‍ය සමාජ සේවිකාවක ලෙස කටයුතු කරන, නාගරික තරුණියක වන, ආශාවරීගේ කරුණාබර මග පෙන්වීම හා පහදා දීම හේතුවෙන් පර්ෂාගේ ජීවිතය මුහුණ දී ඇති අනතුර වටහා ගත්ත ද, නෙත් අඳ කොලු පැටියකු බවට පත්වන්නට නියමිත සිය මුණබුරු සුරතලාගේ හෙට දිනය පිළිගන්නට නොහැකිකමින් මහලු විෂාරේ හඬා වැටෙයි. ගම්මානයේ වෙසෙන පර්ෂාගේ ආදරණීය මවට සත්‍යය හෙළි කළ නොහැකි වීමත්, නන්නාඳුනන නගරයක දී පිළිගන්නට අපහසු යථාර්ථයක් හමුවේත්, කිසිවක් නොවැටහෙන පර්ෂාගේ සුරතල් දඟකාරකම් හමුවේත් උභතෝකෝටිකයකට මුහුණ දෙන විෂාරේ ඒ හිත පෙළන සත්‍යය පිළිගත හැකි මගක් නොමැතිව අසරණ වෙයි. සියල්ලටම වඩා ඔහු පෙළන්නේ ශල්‍ය කර්මය තෙක් සතර වටින් වට කළ කුඩා වාට්ටුවක පර්ෂා නතර කළ පසු ඔහු දිගින් දිගටම ආලෝකය සහ ලෝකය දකින්නට සිදු කරන පෙරැළිය හමුවේ ය.

‘ෂ්වාස්‘ චිත්‍ර‍පටයේ තීරණාත්මක අවසානය එළැඹෙන්නේ හිටිවනම අතුරුදන් වන විෂාරේ සහ පර්ෂාගේ පිළිබඳ තොරතුරක් නොමැතිව තරුණ දිවාකර් අසරණව වැළපීමත් සමගම ය. ආශාවරී, වෛද්‍ය සානි ඇතුළු විෂාරේ සහ පර්ෂා හඳුනන්නන් පළමුවත්, සමස්ථ රෝහල දෙවනුවත් මේ අතුරුදන් වීම හේතුවෙන් දැඩිව කලබල වේ. සිය සෙනෙහෙබර මුණුපුරාගේ ඛේදනීය අනාගතය පිළිගත නොහී ඔහු ද සමග විෂාරේ දිවිනසාගන්නට ඇතැයි යන සිතුවිල්ල එකිනෙකා අතර අප්‍ර‍කාශිත හැඟීමක් ලෙස නැගී එයි.

‘ෂ්වාස්‘ සිනමා කෘතියේ අවසන් දර්ශන පෙළ, ජීවිතය යනු කවර කටුක යථාර්ථයන් හමුවේ වුව අත්හැර දැමිය නොහැකි හා අත්හැර දැමිය නොයුතු දෙයක් බවත්, ඒ යථාව සමග ගණුදෙනු කිරීම වඩා අනගි ක්‍රියාව බවත් අපට පසක් කර දෙන්නට සහාය දක්වන රූප එකතුවකි. ගිනිගත් රෝහලත්, කෝපයට පත් වෛද්‍යවරයාත් අභියස සතුටින් පිරී සිටින පර්ෂා සමග නිසලව පෙනී සිටින්නේ මහලු විෂාරේ ය. වෛද්‍යවරයාගේ කේන්තිය හමුවේ ඔහු ලබා දෙන පිළිතුර ඔහු මතු නොව තිරයෙන් මෙපිට සිට නෙත් දල්වා බලා සිටින අප සැම ක්ෂණිකව සලිත කරන්නට සමත් වෙයි.

දොස්තර මහත්තයෝ, පර්ෂා ලෝකෙ දකින්නෙ තව දවසයි දෙකයි... ඊට පස්සෙ අව්ව, වැස්ස, දේදුන්න, ගස් කොළ, පාට, ලස්සන මේ කිසි දෙයක් නැතිව එයාගෙ ලෝකෙ අඳුරු වෙනව... පර්ෂා අඳුරත් එක්ක ජීවත් වෙන්න ගනීවි... අපි දකින කිසි දෙයක් දකින්නෙ නැතුව එයා ජීවත් වේවි... මම පර්ෂා එක්ක ඇවිදින්න ගියා... හෙට එයාට දකින්න බැරි වෙන ගොඩාක් දේවල් මම එයාට පෙන්නුවා... අඳුර එන්න කලින් මම එයාට පෙන්නුවා ලෝකය... එයාට ඉතිරි වෙලා තිබුණු අන්තිම පැය කීපය ඇතුළෙ දි මම එයාගෙ ඇස් රූපවලින් පිරෙව්වා...

2004 ඉන්දීය ජාතික සිනමා සම්මානය දිනා ගන්නේ ද ‘ෂ්වාස්‘ ය. එය අපට කියා දෙන්නේ ජීවිතයයි. ඉතා කුඩා වැයකින් නිර්මිත සිනමා කෘතියක රූප වියමන තුළ සැඟවූ අමිල හැඟවුම වූ, ජීවිතයයි.


-      ප්‍රියන්ත ෆොන්සේකා -

  

Thursday, October 6, 2016

එකෙකුවත් අඩු නැතිව! (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම -4 )




චීනයේ අතිදුෂ්කර පෙදෙසක පිහිටි ෂුයිකුවාන් ගම්මානයේ ඇති කුඩා පාසලක සිටින එකම ගුරුවරයාට හදිසි කටයුත්තකට මසක පමණ නිවාඩුවක් ලබා ගන්නට අවශ්‍ය වේ. පාසැලේ කටයුතු බලා ගන්නට කිසිවකුත් නොමැති තැන ගම්මුලාදෑනියා ඒ සඳහා කැඳවාගෙන එන්නේ පාසැලේ දරුදැරියන්ට වඩා තරමක් වයසින් වැඩි, දහතුන් වියැති, වෙයි මින්ෂි නමැති දැරියයි. ඉගැන්වීමට ඒ තරම් දේ නොදන්නා ඇය, මසක් අවසානයේ ලැබෙන බවට පොරොන්දු වූ මුදල වෙනුවෙන්, පෙළ පොත්වල ඇති කරුණු යළි පිටපත් කරවමින් ද, තමන්ගේ මතකයේ ඇති එකම ගීය ඔවුන් වෙත කියා දෙමින් ද පාසැල පවත්වාගෙන යයි. එහෙත්, සියල්ලටම වඩා, ඇය දැඩිව රකින්නට යත්න දරන්නේ ස්ථිර ගුරුවරයා පිටව යන්නට මත්තෙන් දැඩිව අවධාරණය කළ කරුණකි.

වෙයි මින්ෂි, උඹ දරුවන්ව හොඳට බලාගන්න ඕන. දහදෙනෙකුට වැඩියෙන් දැනටමත් යන්න ගිහිල්ල. මට තවත් උන් නැති කරගන්න ඕනෙ නැහැ. ගම්මුලාදෑනිය උඹට යුවාන් පණහක් පොරොන්දු වුණා; ඒක උඹට දෙන බව එයා සහතික වුණා. මම එනකොට මේ දරුවො සේරම ඉතිරි වෙලා හිටියොත් - එකෙකුවත් අඩු නැතිව - උඹට තවත් යුවාන් දහයක් ලැබේවි

සිනමා පටය දිගහැරෙන්නේ ‘එකකුවත් අඩු නැතිව‘ යළි පාසැල ස්ථිර ගුරුවරයා වෙත භාරදීම සඳහා වෙයි මින්ෂි දියත් කරන අරගලය ඔස්සේ යමිනි.

චීන සංස්කෘතික විප්ලව සමයේ වසා දැමුණු බීජිං සිනමා පාසැල 1978දී යළි විවෘත කෙරුණු පසු ඉන් පිටවන මුල්ම උපාධිධරයින්ගෙන් අයෙකු වන, චීන පස්වන පරපුරේ සිනමාකරුවන් අතර ප්‍රමුඛ නාමයක් හිමි ෂැං යිමෝ, ඉහත ‘වෙයි‘ගේ කතාවේ කතුවරයා ය. ඔහු තැනූ අසිරිමත් සිනමා පට අතුරින් Not One Less (‘එකෙකුවත් අඩු නැතිව‘) යනු 2000  වර්ෂයේදී නිර්මාණය කෙරුණු, වෙයි සහ ඇයගේ ‘ශිෂ්‍ය ශිෂ්‍යාවන්‘ පිරිසගේ පුවත රැගත්, චීනය මතු නොව ආසියාකරයේත්, අඩු වැඩි වශයෙන් ලෝකයේත් අධ්‍යාපන විෂමතාවන් පිළිබඳ විවරණයක් වන අතරම මානව සබඳතා විෂයයෙහි අපූර්ව සංවේදී සිනමා වියමනක් ද වේ.

කුඩා ගුරුතුමිය වූ ‘වෙයි‘ගේ අධිෂ්ඨානය කෙසේ වුවත්, දුප්පත්කම බොහෝ පාසැල් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල කරයි. වගා බිම් වපුරන සමයේ ඒ කටයුතුවලට සහාය දීමටත්, රෝගී මාපියන්ගේ ජීවන දුෂ්කරතා මග හැරවීමටත් පාසැල් සිසු-සිසුවියෝ පාසැල හැර දමා යන්නට යත්න දරති. ඒ තත්වයන් මත හෝ දිවීමේ දස්කම නිසාම නගරයේ ක්‍රීඩා පාසැලට ශිෂ්‍යත්වයක් ලබා දී රැගෙන යන කුඩා දැරියගේ හෝ වෙන්වීම පිළිගන්නට ‘වෙයි‘ සූදානම් නැත. ශිෂ්‍යත්වයක් දිනන ක්‍රීඩාශූරී දැරිය සඟවා තබමින් ද, නිවෙස්වල බලපෑමෙන් නතර වන සිසු-සිසුවියන් සොයා මාපියන් වෙත ඇවිද යමින්ද ‘වෙයි‘, එකෙකු වත් අඩු නැතිව පාසැල යළි භාර දීමට සියලු වෙර දරයි. එහෙත්, විටෙක සාර්ථක නොවන ඇගේ ක්‍රියාදාමය එහෙම පිටින්ම වාගේ බිඳ වැටෙන්නේ, ඇය පාසැලේ ‘උගැන්වීම‘ ඇරඹූ දින පටන්ම සියලු පාසැල් කටයුතුවලට බාධා එල්ල කළ ‘කරදරකාර‘ කුඩා ෂැන්ග් පාසැලට නොපැමිණීමත් සමගම ය.

සිය රෝගී මවගේ යොමු කිරීම මත ෂැන්ග් රැකියාවක් සොයා ෂැන්ග්ජියාකොව් නගරය වෙත ගොස් ඇති බව දැනගන්නා ‘වෙයි‘ සියලු පාසැල් දරුවන්ගේ සහාය ඇතිව ඔහු සොයා යෑමේ මෙහෙයුමක් අරඹයි. ආරම්භක දිනයේදීම ‘වෙයි‘ ගුරුතුමියක නොව ‘අක්කා‘ කෙනෙකු බව කියමින් ඇය ප්‍රතික්ෂේප කළ පාසැල් දරු පිරිස එකාවන්ව ඇය හා බැඳෙමින්, ෂැන්ග් සොයා නගරයට යන්නට ‘වෙයි‘ට අවශ්‍ය මුදල් සොයන්නට ගඩොල් වැඩපළක ද සේවය කරමින් සිදු කරන ක්‍රියාකාරකම් මාලාව, විටෙක ළමා වියේ අව්‍යාජත්වය හරහා ද, විටෙක අවිධිමත් අධ්‍යාපනයේ අපූර්වත්වය හරහා ද, ඒ සියල්ලටම වඩා මිනිසත්කම පිළිබඳ ගැඹුරු සංවේදනා සහිත රූපමය වියමනක් හරහාද තිරයේ චිත්‍රණය වෙයි.

දුෂ්කර මගක් පාගමනින් ගෙවා ෂැන්ග්ජියාකොව් වෙත එන වෙයි, දහස් සංඛ්‍යාත මිනිසුන් අතර ඇවිද යමින් ෂැන්ග් විමසන්නේ, නගරය ඇමතිය හැකි රූපවාහිනිය සිය ඇමතුම් මග ලෙස හඳුනාගනිමින් ප්‍රධාන නාලිකාවක කාර්යාල දොරටුව වෙත පියනගා එහි ප්‍රධානියා මුණගැසෙනු වස් වරු ගණනක් එතැන රැඳෙයි.

චිත්‍රපටය කෙළවර වන්නේ සජීවී විකාශයක් හරහා කඳුළු සළමින් තමන් අමතන වෙයි දකින ෂැන්ග් ඇය හා එක්ව, තෑගි භෝග රැසක් හා ටෙලිවිෂන කැමරා පිරිවරාගෙන ගමට යළි පැමිණීමෙනි. ෂැන්ග් යළි පැමිණිය ද දහස් ගණනක් දරුවන් තවමත් චීනයේදී ප්‍රාථමික අධ්‍යාපන සමයේදීම පාසැල් හැර යමින් ළමා ශ්‍රම හමුදාවට එක්වන බව අවසන් නාමාවලියට පෙර ෂැන්ග් යිමෝ තිරයේ ලියයි.

‘එකෙකුවත් අඩු නැතිව‘ දරුවන් පාසැලේ තබා ගැනීම ‘වෙයි‘ගේ සිනමා තිර විරුකමින් ගැලවී අපගේ ජීවන පැවැත්ම වෙත සම්ප්‍රේෂණය වන්නේ ඒ හා සමගිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -       

Saturday, October 1, 2016

“මගේ ජීවිතය මට දෙන්න!“ (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම 03)


1960 වර්ෂයේදී බෙංගාලි සිනමාවට එක් වුණු රිත්වික් ඝටක්ගේ ‘මෙගා ධක තාරා‘ (The Cloud Clapper Star - වළාකුලෙන් වැසුණු තාරකාව‘) චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය වන නීතා, සිය කැපකිරීම්වලින් පිරුණු ජීවිතය කෙළවර, ක්ෂය රෝගය වැළඳීම නිසා, නිවසින් බොහෝ දුර කඳුකර සාත්තු නිවාසයක නතර කිරීමෙන් අනතුරුව සිය වැඩිමහල් සොයුරා අභියස ‘මගේ ජීවිතය මට දෙන්න‘ යැයි කියමින් වැළපෙන්නට පටන් ගනියි. චිත්‍ර‍පටය මුළුල්ලේම අප දැඩි ලෙස ආසක්ත කරගත් මේ මහරු තරුණියගේ ඛේදනීය අවසානයේ, ඇගේ වේදනාබර ඉල්ලීම අපගේ හදවත් තුළ ද නින්නාද නගන්නට ගන්නේ, චිත්‍ර‍පටයේ දී ඇගේ උස් වැළපීම කඳු මුදුන් සිසාරා දෝංකාර දෙන පරිද්දෙනි.

බංග්ලා දේශය නමැති නව රාජ්‍යය නිර්මාණය කරමින් ඉන්දියාවෙන් වෙන්ව නැගෙන බෙංගාලයේ නැගෙනහිර භූමිය ජීවිත කාලයක් මුළුල්ලේ තමන් උපත ලබා, හැදී වැඩුණු බිමක අයිතිය මිනිස් කණ්ඩායමකට අහිමි කළේ ය. ඒ කණ්ඩායමක සාමාජිකයකු වන ඝටක්, ඉන්දීය මහා සිනමාකරු රායි නිසාවෙන් වැසී ගිය ප්‍ර‍බල සිනමා කතුවරයෙකි. සිය දිගු සිනමා ගමන තුළ ඔහු නිමවූ සිනමා පට සියල්ලම පසුපස අනන්‍ය සමාජ සංස්කෘතික භූමිය අහිමි කළ වින්දිතයාගේ වේදනාව දැඩිව තැවරී තිබේ. නීතාගේ ශෝචනීය වත අපට මුණගැසෙන්නේ ඒ හැගුම්බර සිනමා ප්‍ර‍කාශන අතර ඉහලින්ම ලියැවුණු ‘මෙගා ධක තාරා‘ සිනමා පටය තුළදී ය.

දේශ සීමා බෙදී වෙන්වීම හේතුවෙන් සරණාගතයින් ලෙස කල්කටා නගරයට ආසන්න බිමක ජීවත් වන්නට සිදුවන නීතාට සිය පවුලේ සාමාජිකයින්ගේ කුසගිනි නිවන්නට සිදු වෙයි. ඇයගේ පියා විශ්‍රාමික ගුරුවරයෙකි. වියපත් මව නිවසේ අහර සරිකරන්නියයි. වැඩිමල් සොයුරු ගායකයකු වීමේ විසල් ආසාවකින් මඩනා ලදුව, රැකියාවක් සොයන්නට වෙහෙස නොවී කටහඩ අභ්‍යාසවල යෙදෙයි. ක්‍රීඩකයකු වීමේ උනන්දුවකින් පෙළෙන, කම්කරු රැකියාවක නිරත වන බාල සොහොයුරු, රූපය මුල් තැනෙහි තබන නැගණිය මෙන්ම අනාගත අපේක්ෂා හේතුවෙන් නීතා හැරදමා නැගණිය විවාකරගන්නා පෙම්වතා නීතාගේ දිවියෙහි කටොළු තව දුරටත් තීව්‍ර‍ කරන්නට පසුබිම් සාදන්නෝ වෙති. අධ්‍යාපනය, ප්‍රේමය, ජීවිතයේ සතුට සහ නිදහස යන සියල්ලම සිය පවුල වෙනුවෙන් කැප කරමින්, අනේක ගැහැට විදිමින් නීතා වෙහෙස වන්නේ ස්වාත්මය නොලබන සංතුෂ්ටියක් පවුලේ සෙසු සාමාජිකයන්ට ළගා කර දෙන්නට ය.

නීතා ‘මෙගා ධක තාරා‘ නාමාර්ථය තහවුරු කර දෙන වළාකුළින් වැසී යන තාරකාවයි. චිත්‍ර‍පටයේ ආරම්භයේ අපට හමුවන, ඇයට ආදරය කරන ඇගේ පියා අතරමගදී රෝගියකු බවට පත් වෙයි. බාල සොයුරාගේ ආදායම් ද බිවැටෙද්දී ‘බත් පත දිනා දෙන්නිය‘ නිවසින් බැහැර වේය යන අම්මාගේ ‘ආත්මාර්ථකාමී‘ සිතුවිල්ල ඇයට පෙම්වතා අහිමි කරන්නට මග විවර කර දෙයි. ඔහු දිනාගන්නී ඇයගේම දගකාර නැගණියයි. ගායක සිහිනයෙන් ගම හැර යන, නමුත් සිය සොහොයුරියගේ අසීමිත කැපවීම හදුනාගෙන සිටි වැඩිමහල් සොයුරා ගායකයකු ලෙස යම් පිළිගැනීමක් ලැබ ගමට යළි පා තබද්දී දකින්නේ, සියල්ල අවසන් වූ පසු, ක්ෂය රෝගියකු වීම නිසා නිවසේ මායිමකට තල්ලු කෙරුණු නීතා ය. එවකට පිළියම් විරහිත රෝගයක් ලෙස පිළිගත් ක්ෂය රෝගය අවසානයේ ඇයට බල කර සිටින්නේ කඳුකර සාත්තු නිවාසයක් වෙත යන්නට ය. ඒ මරණය පැමිණෙන තෙක් රැඳ‍ෙන්නට මිස වෙන යමකට නොවේ. නීතා ජීවිතය ඉල්ලන්නේ එතැන දී ය.

සිය ජීවන මංපෙත් වැටී සැදුණු බිමකින් යමෙකු ඈත් කර තැබීම ඔහුට හෝ ඇයට මරණීය වේදනාවක් ගෙන දෙන්නට ඉඩ ඇති දෙයකි. ඒ විසල් වේදනාව සමගින් දිවි ගෙවූ ඝටක් නීතා ඇතුළු සිය සිනමා චරිත හරහා ඒ වේදනාව අප වෙත යොමු කර දැක්වී ය. සිනමාව ජීවිතය විඳින්නට මතු නොව විඳවමින් ගත කරන්නට සිදු ව ඇති ජීවිතවල ගැහැට ගැන යළි සිතා බලන්නට අප යොමු කරන්නට හැකි මෙවලමක් බව පෙන්වූ සිනමාකරුවන් අතරින් අයෙකි ඝටක්. නීතාගේ ඉල්ලීම හුදෙක් ක්ෂය රෝගය නිසා දිවි මග හැර යන්නට බල කළ තරුණියකගේ ඉල්ලීම තුළට සීමා නොවී, මියයමින් ජීවත් වන්නට සිදුව ඇති මහා මිනිස් සයුරක වේදනාබරිත ඉල්ලීමක් වන්නේ එබැවිනි.

ඔව්, සිනමාව ජීවිතය වෙනුවෙනි! ඒ ඉල්ලා හඬා වැටෙන මිනිසුන් ද වෙනුවෙනි!!

-          ප්‍රියන්ත ෆොන්සේකා -


Saturday, September 24, 2016

(රිවිර සිනමා කොලම -2) - ජීවිතය ‘චොකලට් පෙට්ටියකි‘!

මගෙ අම්මා හැමදාම කිව්වෙ ජීවිතේ කියන්නෙ චොකලට් පිරුණු පෙට්ටියක් කියල. ඔයා කවදාවත් දන්නෙ නෑ ඔයාට ලැබෙන්නෙ මොකක්ද කියල!“

1994 දී තිරයට ආ රොබට් සෙමිකිස් අධ්‍යක්ෂණය කළ ෆොරස්ට් ගම්ප් (Forrest Gump) චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය වූ ෆොරස්ට් ගම්ප් එක්තරා නගරයක බස් නැවතුමක බසයක් අපේක්ෂාවෙන් ඉන්නා අතර එහි දී හමුවන මගීන්ට සිය ජීවන වත ඉදිරිපත් කරයි. ඔහුගේ කතාව අතරතුර විවිධ පුද්ගලයින් එහි එන බස් රථවල නැගී පිටව ගිය ද යළි යළිත් එහි එන මගීන් වෙත සිය කතාව කියමින් ෆොරස්ට් සිය අපූරු ජීවන අන්දරය ඉදිරියට විකාශනය කරයි. ඉහත උද්ධෘතය සිය කතාව අතරතුර බොහෝ තැන්වලදී ඔහු මුවින් පිට වන උදාන වාක්‍යයකි.

අංගවිකල, තරමක මන්ද මානසිකත්වයකින් පෙළෙන දරුවකු ලෙස දිවි අරඹන ෆොරස්ට්ගේ ජීවිතය තුළ ඔහුට මුණ ගැසෙන, ඔහු අගයන හා ඔහු හා වෙසෙන චරිතද්වය වන්නේ මව සහ සහෘද මිතුරිය වන ජෙනී ය. ‘ආබාධිතයකු‘ වුව විසල් හදවතක් ඇති ෆොරස්ට් තමන්ට උසුළු විසුළු කරමින් පහර දෙන්නට එන පාසැල් සගයන්ගෙන් බේරීමට, ජෙනීගේ යෝජනාව මත, වේගයෙන් දුවන්නට පටන් ගනියි. ඔහුගේ වේගය ඔහුට විශ්වයට දොරටුවක් විවර කර දේ. ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව අභියස ජනපති ජෝන් එෆ්. කෙනඩි හමුවට යන දක්ෂ  ක්‍රීඩකයකු ලෙසද, වියට්නාම් යුද්ධයේදී යුධ වීරයෙකු ලෙස ද, ජනපති රිචඩ් නික්සන්ගේ පැසසුම් දිනන මේසපන්දු ක්‍රීඩකයකු ලෙස ද, අවසානයේ කූනිස්සන් අල්ලන්නට යන නැවක සාර්ථක කප්පිත්තකු ලෙස ද ජීවිතය විහිදුවන්නට ඔහුට ඉඩ සළසන්නේ මේ වේගය හරහා ඔහු දිනන ජීවිතයයි. සිනමා දෘශ්‍ය ප්‍රයෝග හේතුවෙන් අතීත වාර්තා සිතුවම් අතර ෆොරස්ට්ගේ රුව පිහිටුවමින් සිමිකිස් මතු කරන හාස්‍ය මුසු සිනමා නාටකය කෙළවර  අපට මුණ ගැසෙන්නේ ජීවිතය පිළිබඳ ගැඹුරු සංවේදනා පෙළකි.

ෆොරස්ට් කුඩා දරුවකු ලෙස ජීවිතය වටහා ගන්නේ සිය මව හරහා ය. පුතුගේ මන්ද මානසිකත්වය හේතුවෙන් ඔහු විශේෂ පාසැලකට ඇතුළු කරවීමට වන යෝජනාව ඉවත් කර සාමාන්‍ය පාසැලේ දොරටු ඔහුට විවර කර දෙන්නට මව සිය කය පාසැලේ මුල් ගුරුතුමාට පුද කරයි. ඉන් විවර පාසැල් බිමට ෆොරස්ට් පිටව යන පළමු දිනයේදීම ඔහුට පාසැල් බසයේදී කුඩා ජෙනී මුණ ගැසේ. පාසැල් බිමේ දී හා ඉන් නික්ම ගිය පසුවත් මව වියෝවූ පසුවත් ජීවිතයේ විවිධ ඉම්වලදී මුණ ගැසී ඔහුට ජීවිතය කියා දෙන්නී ජෙනී ය. සිය මවත්, ජෙනීත් දෙදෙනා මුහුණ දෙන අනේක විධ ගැහැට තුළින් හා ඔවුන් ලබා දෙන මග පෙන්වීම් තුළින් ෆොරස්ට් ජීවිතය වටහා ගන්නට යත්න දරත්දීත්, සිය අවබෝධයේ සීමාකම් තුළ රැඳ‍ෙමින් ඒ ප්‍ර‍ශ්න කරද්දීත් ජීවිතය දකින්නේ තිරය අභියස සිටින අප ය.

කටොළුවලින් පිරි ෆොරස්ට්ගේ ජීවිතය තුළ එකිනෙක යා කළ හැකි, නොහැකි විස්මිත කතන්දර රැසකි. ඒ බොහොමයක් කෙළවර වන්නේ තවත් අපේක්ෂාසහගත කතාවකට මග පාදමිනි. එකිනෙක හරහා ඇදහිය නොහැකි සංචාරයක යෙදෙන ෆොරස්ට් ඒ හරහා ජීවිතය වටහා ගනියි. ඇතැම් විට දහසක් සංකල්පනා මතු කොට බොහෝ වේලාවක් යළි යළිත් සිතා බලන්නට අප පොළඹන දෙබස් සිය මුවට නංවයි. ඒ ඔහු තමන් අත් දකින සැබෑව පිළිබඳ සෘජුව කියා පෑමෙනි. ඒ සියල්ල අවංක ය. යුද්ධයක නිරර්ථක බව හවන්නට යුද්ධය ගැන කිසිවකුත් නොකියා ඔහු ජෙනීට කියන මේ වදන් පෙළ සමත් වෙයි.

ඔයාට වියට්නාමෙදි බය හිතුණ ද?“ ජෙනී අසයි.

ඔව්.. ඇත්තටම... මං දන්නෙ නෑ. සමහර වෙලාවට වැස්ස නතර වෙලා තරු මතුවෙන්න පටන් ගන්නවා... ඊට පස්සෙ ඇත්තටම හොඳයි. ඒක හරියටම අපේ ගම්මානෙ දි ඉර බැහැල යන වෙලාව වගේ. අර කඳු මැද්දෙ තියෙන විල වගේම එහෙ වතුරත් හරියට දිස්නෙ ගහනව. ඒව කොයි තරම් පිරිසිදු වතුරද කියනව නම් ජෙනී, වෙලාවකට පේන්නෙ නිල් පාට අහසවල් දෙකක් එකට එක මුණගැහිල බලා ඉන්නව වගේ. ඊට පස්සෙ කාන්තාරෙදි, ඉර නැගල එන වෙලාවට... මට කියන්න තේරෙන්නෙ නෑ ජෙනී... පොළව ඉවර වෙලා දිව්‍ය ලෝකෙ පටන් ගන්නෙ කොතනින්ද කියල... ඒක ඒ තරම්ම ලස්සනයි!

සිනමා කෘතියක ජීවිතය හමුවන්නේ ඒ මේ යැයි දක්වමින් රූපය තුළ බහාලමින් නොව රූප හමුවේ අප මනස තුළ පැන නැගෙන ප්‍ර‍තිරූප පරිද්දෙනි. ප්‍රේමය, මානව දයාව, මනුසත්කම ආදී තෘප්තකර මිනිස් සමාජයකට හා ජීවිතයකට වඩා අවැසි දේ ෆොරස්ට් අපට මුණගස්වන්නේ ජීවිතය හරහා යන චාරිකාව තුළිනි. ජීවිතය සැබවින්ම අනේක රසැති හැඩැති චොකලට් පිරුණු චොකලට් පෙට්ටියක් ය යන්න ඔහු අපට කියා දේ.

එහෙත් ඊ ළග මොහොතේ කුමන රසයක් ලැබේදැයි, ෆොරස්ට්ගේ මව කී ලෙසම, අප දන්නේ නැත.

-          ප්‍රියන්ත ෆොන්සේකා -

     2016 සැප්තැම්බර් 22 - රිවිර පුවත්පත / ‘ඉම‘ පිටුව (20 පිට)





Saturday, September 17, 2016

(රිවිර සිනමා කොලම - 1) සිනමාව ජීවන පැවැත්මක් ලෙස...


1980 දශකයේ එක්තරා දිනයක, රෝමයේ දිවි ගෙවන ඉතාලි සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන සැල්වටෝට සිසිලියේ දුර බැහැර වන සිය ගම් පියසේ විසූ ඇල්ෆ්‍රඩෝ නමැති මහළු මිනිසා මියගිය පුවත සිය මවගෙන් ලැබෙන ඇමතුමක් මගින් අසන්නට ලැබේ. ඒ පුවත ඔහුට සැළ කරන සැල්වටෝගේ පෙම්වතිය ඇල්ෆ්‍රඩෝ යනු කවුරුන්දැයි ඔහුගෙන් විමසයි. 1988 වර්ෂයේ නිෂ්පාදිත ‘සිනමා පැරඩීසෝ‘ නමැති, ගුසෙප් ටොර්නටෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද, විචිත්‍ර‍ සිනමා පටය දිවෙන්නේ සැල්වටෝගේ ළමා කාලය හා බැඳි ඇල්ෆ්‍රඩෝ කවරෙක්දැයි අපට හෙළි කරන අතීතාවර්ජනයක් ලෙස ය. ටොටෝ යන සුරතල් නමින් ඇමතෙන සය වියැති කුඩා සැල්වටෝ සහ ගම්මානයේ ඇති සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටරය ක්‍රියාකරවන්නා වූ ඇල්ෆ්‍රඩෝ අතර ඇති අපූරු මිතු දම, සැල්වටෝ වෙත වන සිනමාව කෙරෙහි වන දැඩි බැඳීම ඉක්මවමින් මිනිස් ජීවිතය පිළිබඳ අපූරු රූප මාලාවක් අප ඉදිරියේ තබමින් අප හදවත් සසල කරවයි.

සිනමාව යනු කෙටි ඉතිහාසයක් තුළ සෙසු කලා භාවිතාවන් හා සමානුපාතික වන තරමට හෝ අභිබවනා තරමට නැගි අපූර්ව ශ්‍ර‍ව්‍ය දෘශ්‍ය කලා භාවිතාවකි. එහි ඇති සුවිශේෂ ගුණාංග අතර සෙසු කලා ගණනාවක්ම ඒ තුළ සංගෘහිතව නැගීම ද, ඒ එක් එක් භාවිතාවන් මනාව සුසාදිත කිරීමෙන් ගැඹුරු ජීවන සංවේදනා වෙත ගමන් කිරීමේ හැකියාව ද හමු වේ. ‘සිනමා පැරඩීසෝ‘ මෙහිලා අපූරු නිමැවුමක් වන්නේ එහි කතා තේමාවේ මූලික පසුබිම ද ‘සිනමාව‘ම වීම හේතුවෙනි. කුඩා ටොටෝ දෙවන ලෝක යුද්ධය නිසා විනාශ ව ගිය නටඹුන් ගම්මානය පසුබිමේ දිවයන්නේ ඇල්ෆ්‍රඩෝගේ සිනමා ශාලාව තුළ අත් විඳිය හැකි මානව සම්බන්ධතා සිය ළමා ඇසින් ග්‍ර‍හණය කිරීමට ය. ඔහු ජීවිතය දකින කවුළුව සිනමා තිරයයි. ඔහුට ජීවිතයේ ගැඹුර කියා දෙන වැඩිහිටියා ඇල්ෆ්‍රඩෝ යි.

මෙතන ජීවත් වෙන ගමන් උඹ හිතයි මේක තමයි ලෝකෙ හරි මැද කියල. උඹ හිතන්න ගනීවි කිසිම දෙයක් කවදාකවත් වෙනස් වෙන්නෙ නෑ කියල. ඊට පස්සෙ උඹ යන්න යාවි. අවුරුද්දකින්, දෙකකින් උඹ ආපිට එද්දි සේරම වෙනස් වෙලා තියේවි. හැම බැම්මක්ම කැඩිල. උඹ දකින්න කැමැත්තෙන් එන දේවල් එතන නෑ. උඹේ දේවල් නැති වෙලා. උඹ පිට වෙලා පලයන් දිග කාලෙකට.... ගොඩක් කාලෙකට. උඹ ආපිට ඇවිත් උඹේ මිනිස්සු හොයන්න කලින්. උඹ උපන් බිම හොයන්න කලින්. නමුත්, දැන්... ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් උඹ අන්ධයි... මේ මටත් වඩා අන්ධයි!...

කවුද ඔය දෙබස කියන්නෙ? ගැරී කූපර් ද? ජේම්ස් ස්ටුවර්ට් ද? නැත්තං හෙන්රි ෆොන්ඩා ද?

නෑ ටොටෝ... කවුරුත් කියන්නෙ නෑ. මේ පාර සේරම මගෙන්. ජීවිතේ චිත්‍ර‍පටි වගේ නෙවෙයි. ජීවිතේ ඊට වඩා ගොඩක් අමාරුයි!“

ටොටෝ හමුවේ සිනමා රූප පෙළගස්වමින් දිගු කලක් ජීවිතය මේ යැයි කියාදෙන ඇල්ෆ්‍රඩෝ අවසානයේ සිය දෙනෙත් අ වූ පසු ටොටෝ හමුවේ පවසන්නේ ඉහත කරුණ ය. සැබවින්ම සැබෑ ජීවිතය සිනමා රූපය තුළ රාමුගත සීමාවක නතර නොවන අති දුෂ්කර ව්‍යායාම පෙළකි. එහෙත් මෙහි ඇති ආකර්ෂණීය කරුණ නම් එය යළි අපට පසක් කරන්නට උදව් වන මෙවලමක් ලෙස සිනමාව ක්‍රියා කිරීම ය.

ඇල්ෆ්‍රඩෝගේ අදහස් අනුව ගියේ නොවූවත් ටොටෝ ගම හැර නගරයට යයි. ජීවිතයේ අනේක ගැහැටට මුහුණ දෙයි. යළි පෙරළා පැමිණ ඔහු කී දේ සත්‍යයක් බව, ජීවිතය වටහා ගැනීම හරහාම, වටහා ගනියි.

මෙම කුඩා තීරුව අද පටන් සිනමාව හා ජීවිතය පිළිබඳ ඔබ සමග සංවාදයක් අරඹනු ඇත. සිනමාව විෂයයෙහි සාකච්ඡාවට කැවිය හැකි දහසක් කරුණු අතුරින් අප තෝරා ඔබ වෙත තබන්නේ ජීවිතය හා සිනමාව අතර ඇති සහෘද සාකච්ඡා මාලාවයි.

කුඩා ටොටෝ සිනමා හළට දිව ආ අයුරින් දිවඑන්නැයි මම ඔබට ඇරයුම් කරමි. එන්න! අපි සිනමාව ජීවන විලාසයක් කරගනිමු!

(2016 - 09 - 15 - රිවිර පුවත්පත/ ‘ඉම‘ පිටුව )



-          ප්‍රියන්ත ෆොන්සේකා - 

Tuesday, July 26, 2016

මට බැහැ ආඥාදායකයෙක් වෙන්න!

චාලි චැප්ලින්ගේ The Great Dictator (මහා ආඥාදායකයා) චිත්‍ර‍පටයේ ඓතිහාසික කතාව

චාලි චැප්ලින්ගේ ‘ද ග්‍රේට් ඩික්ටේටර්‘ (මහා ආඥාදායකයා) සිනමා කෘතිය තිරයට පැමිණෙන්නේ දෙවන ලෝක යුද්ධය ඇරඹී වසරකට පසු, එනම් 1940 වර්ෂයේ දී ය. හිට්ලර්ගේ මරණ වරෙන්තුව ලද ලැයිස්තුවේ ඉහළින්ම සිය නාමය සඳහන් කරගන්නට චැප්ලින්ට මින් ඉඩ ලැබුණේ එය සෘජුවම හිට්ලර් සහ ඔහුගේ කුරිරු පාලනය විවේචනය කරමින් සහ ඔහුව උපහාසයට ලක් කරමින් නිපදවා තිබුණු හෙයිනි.

චිත්‍ර‍පටයේ සම-ප්‍ර‍ධාන චරිත වන හින්කල් නමැති ආඥාදායකයා සහ ඔහුගේ රූපයට පූර්ණ ලෙස සමාන යුදෙව් කරණවෑමියා යන චරිතද්වයම නිරූපණය කරන්නේ චාලි චැප්ලින් විසිනි. චිත්‍ර‍පටය කෙළවර වන්නේ, අහඹු සිදුවීම් පෙළකින් පසු දහස් සංඛ්‍යාත හමුදාව ඇමතීමේ අවස්ථාව හින්කල් ලෙස වැරදියට හඳුනාගෙන සිටින යුදෙව් කරණවෑමියා වෙත ලැබීමෙනි. ඔහු ආඥාදායකයා ලෙස පෙනී සිටිමින් සිදු කරන කථාව සිනමා ඉතිහාසයේ සුවිශේෂ තැනක තබා සඳහන් කෙරෙන්නකි. මනුෂ්‍යත්වය, මානව දයාව, යුධ විරෝධය, නාසි විරෝධය ආදී සියල්ල කැටි කළ එවැනි කතාවක් සිනමා ඉතිහාසය තුළින් සොයාගැනීම උගහට ය. පහත එන්නේ එම ඓතිහාසික කතාවේ සිංහල පරිවර්තනයයි. 
  

මට සමාවෙන්න, මට බැහැ ආඥාදායකයෙක් වෙන්න. ඒක මගේ වැඩේ නෙවෙයි. මට කවුරුවත් පාලනය කරන්නවත් පරද්දන්නවත් උවමනාවක් නෑ. මට ඕනෙ හැමෝටම උදව් කරන්න - පුළුවන් කමක් තියෙනව නම්, යුදෙව්වන්ට, යුදෙව්වො නොවන උන්ට - කල්ලන්ට වගේම සුද්දන්ට. අපි හැමෝම අනිත් කෙනාට උදව් කරන්න ඕනෙ. මිනිස්සු කියන්නෙ අන්න එහෙම අයට. අපි ජීවත් වෙන්න ඕනෙ එකිනෙකාගෙ සතුට වෙනුවෙන්. නැතුව එකිනෙකාගෙ වේදනාව වෙනුවෙන් නෙවෙයි.  අපි එකිනෙකාට වෛර කරන්නවත්, ඉරිසියා කරන්නවත් අවශ්‍ය නැහැ. මේ ලෝකෙ හැමෝටම ඉඩ තියෙනව. යහපත් ලෝකය පොහොසත්, ඒ වගේම හැමෝටම දෙන්න දෙයක් තියෙන තැනක්. ජීවිතයේ මාර්ගය නිදහස් සහ ලස්සන එකක් වෙන්න ඕනෙ, ඒත් අපි ඒ මාර්ගය වරද්දගෙන. 

කෑදරකම මිනිස් ආත්මය විසෙන් පුරවලා, ලෝකය වෛරයෙන් අහුරල දාල විතරක් නෙවෙයි අවාසනාව එක්ක ලේ වැගිරීම් එක්ක අපේ ඇස් කදුළුවලිනුත් පුරවලා.  අපි වේගෙන් සංවර්ධනය වෙනව, ඒත්, ඒ එක්කම අපි අපේ ජීවිත වහල අගුලු දාගන්නව. බොහොම දේ හදල දෙන යන්ත්‍ර‍ සූත්‍ර‍ අපේ ජීවිතවල අඩුවක් ඉතිරි කරල. අපේ දැනුම අපිව නරුම කරල. අපි ගොඩක් හිතනව ඒත් අපිට දැනෙන්නෙ හරිම පොඩ්ඩයි. යන්ත්‍ර‍ සූත්‍ර‍ මහා ගොඩකට වඩා අපිට ඕනෙ මනුස්සකම! බුද්ධිමත්කමට වඩා අපිට ඕනෙ කරුණාවන්තකම එක්ක ගුණයහපත්කම! මේ දේවල් නැති වුණොත් ජීවිතය එහෙම පිටින්ම ප්‍ර‍චණ්ඩකමින් පිරිල ගිහින් නැතිම වෙලා යාවි...

අහස් යාත්‍රාවයි ගුවන් විදුලිය යන්තරෙයි අපි එකිනෙකාව ලං කරල. ඒ අලුත් සොයාගැනීම්වල හැඩයම කෑගහල ඉල්ලන්නෙ මිනිස්සු ළඟ තියෙන හොඳකම - කෑගහල ඉල්ලන්නෙ ලෝකය පුරාම විසිරෙන සහෝදරකම - හැමෝගෙම එකමුතුකම!! මේ දැනුත්, ලෝකෙ පුරා ඉන්න මිලියන ගාණක් මිනිස්සු අතරට මගේ හඬ පැතිරෙනව - මිලියන් ගාණක් බලාපොරොත්තු බිඳ වැටුණු පිරිමි, ගැහැණු ඒත් එක්කම පුංචි දරුවො අතරට. නිරපරාදෙ මිනිස්සු හිරගත කරන සහ වධ බන්ධන දෙන ක්‍ර‍මයක ගොදුරු බවට පත් වුණු මිනිස්සු අතරට!    

මගේ හඬ ඇහෙන හැමෝටම මම කියන්නෙ - බලාපොරොත්තු නැති කරගන්න එපා. අපි ළඟ දැන් තියෙන කණස්සල්ලට මුල කාලකන්නි කෑදරකම. මිනිස්සුන්ගෙ තිත්ත ගතියට මුල මානව ප්‍ර‍ගතියට තියෙන බය. මිනිස්සු අතරෙ තියෙන වෛරය කෙළවර වේවි. ආඥාදායකයො මිය ඇදේවි. මිනිස්සුන්ගෙන් උන් ලබාගත්ත බලය ආපිට මිනිස්සුන්ටම ලැබේවි.  මිනිසුන් මැරී මැරී යන තාක් කල්  විමුක්තිය කිසි විටෙකත් උදාවෙන්නෙ නෑ.

සෙබළුනි! උඹලාව විනාශ කරන - උඹලාව වහලුන් කරන - උඹලාගේ ජීවිත පාලනය කරන - උඹලාට කළ යුතු දේට, සිතිය යුතු දේට, වගේම උඹලාගේ හැඟීම්වලට අණ කරන -  තක්කඩියන්ට විකිණෙන්න එපා! උඹලාව නටවන -  උඹලාව නැති කර දමන - උඹලාව හරකුන් හැටියට සළකන - උඹලාව මූනිස්සම් හැටියට භාවිතා කරන උන්! උඹලාගේ ජීවිත මේ අස්වාභාවික මිනිසුන්ට විකුණන්න එපා. යාන්ත්‍රික හදවත් සහ යාන්ත්‍රික හිත් ඇති යාන්ත්‍රික මිනිස්සු! උඹලා යන්තර නෙවෙයි! උඹලා හරක් නෙවෙයි! උඹලා මිනිස්සු!! උඹලාගේ හදවත්වල ආදරයයි මනුස්සකමයි තියෙනවා! උඹලා වෛර කරන්නෙ නෑ! අනාදරයයි වෛරයයි විතරක් කියන්නෙ, ආදරය නොකිරීම නැත්තම් අස්වාභාවිකකම!! සෙබළුනි! වහල්කම වෙනුවෙන් සටන් වදින්න එපා! විමුක්තිය වෙනුවෙන් සටන් වැදියල්ලා!!

ශාන්ත ලූක් දාහත්වන පරිච්ඡේදයේ ලියවිල තියෙනව “දෙවියන්ගේ ස්වර්ග රාජ්‍යය ඇත්තේ මිනිසා තුළම ය“ කියල. ඒ එක මිනිසෙක් තුළ නෙවෙයි - කණ්ඩායමක් තුළ නෙවෙයි - සියලු දෙනා තුළම!! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ, යන්ත්‍ර‍ සූත්‍ර‍ හැදීමේ බලය. සතුට ඇති කිරීමේ බලය! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ මේ ජීවිතය නිදහස් සහ ලස්සන කරන්න. මේ ජීවිතය පුදුමාකාර වික්‍ර‍මයක් බවට පත් කරන්න.

එ් නිසා - ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන් - අපි මේ බලය පාවිච්චි කරමු - අපි හැමෝම එක්සත් වෙමු. අපි එකතුවෙලා සටන් කරමු අලුත් ලෝකයක් හදන්න -  මිනිස්සුන්ට වැඩ කරන්න ඉඩ දෙන ශිෂ්ඨසම්පන්න ලෝකයක් - තාරුණ්‍යයට අනාගතයක් හදන වගේම මහළු වයසට ආරක්ෂාවක් හදන! මේ පොරාන්දුවෙන්ම තමයි මේ තක්කඩි බලයට එන්නෙ. නමුත් උන් කියන්නෙ බොරු! උන් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නෙ නැහැ. කවදාවත් කරන්නෙ නැහැ!

ආඥාදායකයො, රජවරු, උන්ව නිදහස් කරගෙන මිනිස්සුන්ව වහල්ලු කරනව! ඒ නිසා අපි දැන් මේ පොරොන්දුව දිනාගන්න සටන් කරමු! අපි නිදහස් ලෝකයක් වෙනුවෙන් සටන් කරමු - හැම ජාතියකම බාධක අයින් කරල දාන - වෛරයයි, පටුකමයි එක්ක කෑදරකම පන්නලා දාන ලෝකයක්!  හේතුවක් ඇති ලෝකයක් හදන්න, විද්‍යාවයි ප්‍ර‍ගමනයයි හැම මනුස්සයගේම සතුට වෙනුවෙන් යෙදවෙන ලෝකයක් හදන්න අපි සටන් කරමු. සෙබළුනි! ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන්, හැමෝම එක්සත් වෙමු!!


Wednesday, July 6, 2016

අබ්බාස් කියොරස්තාමි සමග සම්මුඛ සාකච්ඡාවක්: " නව දේවල් සොයා යෑමේ ගමන මුණ ගැහෙන්නේ කෙටි චිත්‍ර‍පටවල සහ අධ්‍යක්ෂකවරයෙකුගේ කුළුදුල් සිනමා කෘතිය තුළයි“


කියොරස්තාමි
සිනමාකරුවකු මතු නොව කවියකු, චිත්‍ර‍ ශිල්පියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු ද වූ අබ්බාස් කියොරස්තාමි වසර 76 ක සිය දිවි ගමන නිමා කළේ ය. ඉරාන සිනමාව වෙත ලෝකයේ අවධානය යොමු කරගන්නට මුල් වූ සිනමාකරුවන් අතර ඔහු ප්‍ර‍මුඛයෙකි. එපමණකුදු නොව, ‘කතුවර සිනමාව‘ පිළිබඳ කතා බහේදී ද, 70 දශකයේ නැගී ආ ‘ඉරාන නව සිනමා රැල්ල‘ පිළිබඳ සාකච්ඡාවේදී ද ඔහුගේ නම පෙරමුණෙහි වේ. 1997 වර්ෂයේදී සිය Taste of Cherry (Ta'm e guilass) චිත්‍ර‍පටය සඳහා කෑන්ස් සිනමා උළෙලේදී කැමරා ඩි‘ඔර් සම්මානයෙන් පිදුම් ලද කියොරස්තාමි තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලබා ඇත. 2014 වර්ෂයේදී කෑන්ස් සිනමා උළෙලේ සිනෙෆොන්ඩේෂන්හි සභාපතිවරයා සහ කෙටි චිත්‍ර‍පට අංශයේ ජූරි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතරතුර ඔහු ලබා දුන් කෙටි සම්මුඛ සාකාච්ඡාවක පරිවර්තනය මෙහි වේ.  


එදා ඔබ කුමන වර්ගයේ යොවුන් සිනමාකරුවෙක් විදිහට ද ආවෙ?

මට අද කියන්න පුළුවන්, මේ වයසට ඇවිල්ල හැරිල බලපුවාම, අපි තරුණ සිනමාකරුවන්ට ඒ දවස්වල තිබුණු එකම දේ අපි තරුණ වීම පමණමයි කියල. මම සිනමාව හදාරලා නැහැ. මම දැක්කෙ නැහැ ඒක මගෙ හැකියාව කියල. මම ඉගෙන ගත්තෙ චිත්‍ර‍ශිල්පය. ඒත් මම චිත්‍ර‍ ශිල්පියෙක් වුණේ නෑ. ඒත් එක වෙලාවක මම තේරුම් ගත්ත සිනමාව තමයි මගේ තැන කියල. ඒත් එක්කම, චිත්‍ර‍පටය තමයි මගේ අදහස් ප්‍ර‍කාශ කරන්න තියෙන හොඳම මාධ්‍යය කියල.

කැමරාව පිටුපස ඔබේ පළමුවැනිම අත්දැකීම් පිළිබඳ තියෙන මතකයන් මොනවා ද?

මගේ පළවෙනි (කෙටි) චිත්‍ර‍පටය හදන එක හරිම අමාරු දෙයක් වුණා. ඒත් වාසනාවට ඒක කරගන්න පුළුවන් වුණා. ඒක විශාල ආකර්ෂණයක් ලබපු, ලොකු පිළිගැනීමක් ලබපු එකක් වුණා.  ඒත් මං හිතන්නේ නෑ ඒකෙන් මම සිනමාකරුවෙක් වුණා ය කියල. මම හිතුව ඒක එතනින් ඉවරයි කියල. එතනින් එහාට මම චිත්‍ර‍පට කරන එකක් නෑ කියල. මොනව වුණත්, මම චිත්‍ර‍පට ගොඩක් හැදුව... ඊටත් පස්සෙ තව ගොඩක්. මම මගේ පළවෙනි වෘතාන්ත චිත්‍ර‍පටය කළාට පස්සෙ මම මටම කියාගත්ත චිත්‍ර‍පටකරුවෙක් වුණු එක මගේ පළවෙනි රස්සාව හැටියට පිළිගනින් කියල. මේ පළවෙනිම වෘතාන්ත චිත්‍ර‍පටයෙදි මට මුණ ගැහුණ දෙයාකාරයක ප්‍රේක්ෂක පිරිසක්. පළවෙනි කණ්ඩායම මගෙ චිත්‍ර‍පටිවලට ආදරය කරපු අයගෙන් යුක්ත අය, දෙවැනි කණ්ඩායම, වඩාත් ලොකු පිරිස තමයි, මොනම විදියකින්වත් ඒ චිත්‍ර‍පටවලට කැමති නැති අය. ඒක අදටත් සත්‍යයක්. 
පළවෙනි චිත්‍ර‍පටය සාර්ථක වෙන්න නම් තියෙන්න ඕනෙ ලක්ෂණ මොනව ද?

මාව මෙහෙයවපු දේ තමයි මගේ පළවෙනිම චිත්‍ර‍පටය සාර්ථක වුණු කාලෙ ඒක චිත්‍ර‍පට උළෙලක පිළිගැනීමට ලක් වීම සහ හොඳම කෙටි චිත්‍ර‍පටය විදියට සම්මානයට පාත්‍ර‍ වීම. මට එදා සාර්ථකත්වයේ මිණුම් දඩු වුණේ ඒ දේවල්.  අද, ආපහු හැරිල බලනකොට මම හිතන්නෙ නෑ හොඳ චිත්‍ර‍පටය කියල කියන්නෙ සම්මානයට පාත්‍ර‍ වෙන එක කියල. ඒත් එක්කම මං හිතන්නෙ නෑ හොඳ චිත්‍ර‍පටය කියන්නෙ විශාල ප්‍රේක්ෂාගාරයක් දිනාගන්න, විචාරකයින්ගෙන් හොඳ අහන්න අවස්ථාව තියෙන චිත්‍ර‍පටය කියල. මම හිතන්නෙ සාර්ථකත්වය කියන්නෙ රඳාපැවැත්ම කියල. හොඳ චිත්‍ර‍පටයක් කියන්නෙ අවසානෙදි ඉතිහාසය පුරාම අපිත් එක්ක රැඳිල ඉන්න එකයි. මට මතක නෑ කවුද මේ අවුරුදු තිහේ කාල සීමාව හැදුවෙ කියල. කවුරු වුණත්, ඒකෙන් කියවෙන්නෙ අපිට අවුරුදු තිහකට පස්සෙ මනින්න පුළුවන් කියල චිත්‍ර‍පටයක් රඳා පවතිනවද කියල, ඒක නැති වෙලාම ගිහිල්ල තිබුණත් ඒ වෙනකොටත් අපි අතරෙ ඒක තවමත් සිහියෙ තියෙනවා නම්...   

සිනමාකරුවෙක් විදියට ගෙවුණු ජීවිතේ ඇතුළෙ ඔබව කෙටි චිත්‍ර‍පටවලට ආකර්ෂණය කරවන්න හේතු වුණු විශේෂතා මොනවාද?

ඒවා අතිශය වැදගත් වෙන්නේ එතනදි අධ්‍යක්ෂවරයෙකුට නිර්භීත වෙන්නත් පර්යේෂණ කරන්නත් අවස්ථාව සළස්වන හින්දයි. අධ්‍යක්ෂවරයෙකුගේ පෞරුෂය ඔහුගේ හෝ ඇයගේ කෙටි චිත්‍ර‍පටවල බොහොම ප්‍ර‍බල විදියට රැඳිල තියෙනව. වෘතාන්ත චිත්‍ර‍පටවලදී නිෂ්පාදකවරයා සහ මුල්‍ය තත්වය වගේම ප්‍රේක්ෂාගාරයේ රසඥතාවත් ලොකු හෙවණැල්ලක් විදියට චිත්‍ර‍පටය පුරා රැඳ‍ෙනව.  කිසිම අධ්‍යක්ෂවරයෙකුට මේ සත්‍යය මගාරින්න බෑ. ඒකෙ ප්‍ර‍තිඵලයක් හැටියට කෙටි චිත්‍ර‍පටය ඉතා වැදගත් වෙන්නෙ ඒක බොහෝම ආත්මීය නිසයි.  පෙරටුගාමියෙකු වීමේ මාවත, අලුත් දේ කරල බලන්න තියෙන උවමනාව, මුණගැහෙන්නෙ කෙටි චිත්‍ර‍පටවලත් අධ්‍යක්ෂවරයෙකුගේ පළමු චිත්‍ර‍පටයෙත්.

ඉරාන සිනමාව ගැන මට කියන්න. ඔබට හැඟ‍ෙනව ද ඒ සෞඛ්‍ය සම්පන්න තත්වයක තියෙනව කියල?


අද ඉරාන සිනමාව අරගෙන බැලුවම, ඔබට ධාරා දෙකක් දිගේ ඇදිල යන සිනමා ප්‍ර‍වර්ග දෙකක් මුණ ගැහේවි. එක් පැත්තකින් තියෙනව රජයේ සිනමාව, අධිකාරිය විසින් මුදල් යොදවනු ලබන. ඉරානයේ, සිනමාකරුවො රාශියක් ඉන්නව රජයට ස්තුතිවන්ත වෙන්න, රජය වෙනුවෙන් චිත්‍ර‍පටි හදන. මම ඒ ගොල්ලො ගැන එච්චර කල්පනා කරන්නෙ නැහැ, හේතුව මේ සිනමාකරුවන්ව හඳුනන්නෙ ඉරානය විතරයි.  ඒ ගොල්ලන්ගෙ චිත්‍ර‍පට එහෙම පිටින්ම දේශීයයි ඒ වගේම ඉලක්ක ප්‍රේක්ෂාගාරයක් සහිතයි. අනිත් පැත්තෙන් ස්වාධීන සිනමාවක් නැගීගෙන එනවා. අද, නන්නාඳුනන සිනමාකරුවන් පිරිසක් ඉරානයේ බොහොම දුර බැහැර පළාත්වලින් මතුවෙන්න පටන් අරන්. නව තාක්ෂණයටයි, පුංචි ඩිජිටල් කැමරාවලටයි ස්තුතිවන්ත වෙන්න ඔවුන් ඉතාම ඉහළ මට්ටමේ චිත්‍ර‍පටි හදනවා. මගේ බලාපොරොත්තුව පෙළගැහෙන්නෙ අන්න ඒ කණ්ඩායම ගැනයි. 

ඔබත් සම්බන්ධ වුණු ඉරාන නව රැල්ලෙන් ඉතිරි කරල ගිය දේ මොනවා ද?

ඔබ ඔය ප්‍ර‍ශ්නෙ අහන්න ඕනෙ අලුත් පරම්පරාවෙන්. ඔවුන්ට තමයි උත්තර දෙන්න පුළුවන්, ඔවුන් මොනවද එතනින් ලබාගත්තේ කියල වගේම ඒක යුගයක් ද බලපෑමක් එල්ල කළ කියල. එක දෙයක් සුවිශේෂයි: ඒ අද  ඉරානයේ සිනමාකරුවන්ට වඩා නිදහස් සිනමාවක් වගේම සිනමාකරුවො එදා හිටිය. අපිට ‘කානුන්‘ එක, ඒ කියන්නෙ දරුවන් සහ යෞවනයන් නැංවීම සඳහා වුණු ආයතනය තිබුණ. එහි අධ්‍යක්ෂවරු අපට දැනුම බෙදා දුන්න වගේම අපේ වැඩ කිසිම දේකට ඇගිලි ගැහීමක් කළේ නැහැ.  ඒක අපේ වැඩවලට බලපෑමක් කරපු සුවිශේෂම තැනක්. කොහොම වුණත්, මට හිතෙන්නෙ මේ නව රැල්ල කවදාවත් කඩා දමන්න බැරි දෙයක් කියලයි. ඈත පිටිසර පළාත්වල මම කියපු සිනමාකාරයො නිරන්තරයෙන් අලුත් වෙමින් ඉන්නව.

ඔබ තවමත් සිනමාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවා ද?

මම කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු අයිති තරුණයින්ට. නමුත්, කිසිවක් බලාපොරොත්තු නොවී මම වැඩ කරගෙන යනවා.  සිනමාවේ සාරය තියෙන්නේ රූප නිෂ්පාදනයේ. කෙටි චිත්‍ර‍පටයක්, පුංචි වීඩියෝ එකක් නැත්තම් ඡායාරූපයක්වත් නැතිව ගෙවුණු කිසිම මාසයක් මගේ කාලය තුළ නැහැ. සමහර විට අද මම සිනමාවෙන් බලාපොරොත්තු වෙන්නෙ, රෑට හොඳ නින්දක් ලබා දෙන ජාතියේ අලුත් ප්‍ර‍තිරූපයක් මම හැදුවාය කියන හැගීම වෙන්න පුළුවන්. හරියට මාළු බාන්නෙක් දැල එලන හැම වෙලාවකම මාළුවෙක් අහුවෙයි කියල හිතනව වගේම.


සංවාදය: බෙනෝයිත් පවන්

සේයාරුව: https://fullyfurnished.files.wordpress.com/2010/12/kiarostami.jpg