Tuesday, February 12, 2019

අතීත විත්ති භාවිතයට (නො)කැඳවීම: 71 වැනි නිදහස් දින ආසන්නයේ දුටු ‘සිනමා සහ ක්‍රිකට්‘ පාඩම්


(2019 පෙබරවාරි 10 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)



ශ්‍රී ලංකාව සිය 71 වන නිදහස් දිනය සැමරුවේ පසුගිය 4 වැනිදා ය. ලැබූ ‘නිදහස‘ පිළිබඳ අර්ථ ගැන්වීම් කවරාකාර වුව ඉංග්‍රීසි ජාතිකයින් අප රට පූර්ණ වශයෙන් පාලනය කිරීම හැර ගොස් වසර 71ක් බව සැබෑවකි. වසර 71ක් යනු දීර්ඝ කාලයකි. 1948 දී සිදුවූ එම ‘නිදහස‘ ලැබීමේ අවස්ථාව පිළිබඳ නිවැරදි මතකයක් සහිතව ජීවත්වන්නන් ඇත්තේ ද කිහිප දෙනෙකු විය යුතු ය. මෙය ලියන මමත්, කියවන ඔබ අතුරින් අති බහුතරයකුත් 1948න් පසු එළඹුණු දශකවල උපත ලද අයයි. නව සහස්‍රකයේ සිය උපන් දිනය ලියැවූ කෙනෙකු ද මේ පිරිස අතර සිටින්නට බැරිකමක් නැත.


සෑම නිදහස් දිනයක්ම කොළඹ නගරය තුළ සිදු කෙරෙන, දින හෝ සති කිහිපයක මාර්ග අවහිරකිරීම්, ගුවන් හා මුහුදු සංදර්ශන, රථ හා මිනිස් පෙළපාලි, රූපවාහිනී සජීව විකාශයන්, විවිධ රටවල නායකයින්ගෙන් හා තානාපතිවරුන්ගෙන් ලැබෙන සුභ පැතුම් පණිවුඩ ආදියෙන් පිරී පවතියි. ගාලු මුවදොර පිටිය අභියස ඇති පීඨිකාවක් මත සිට හමුදා උත්තමාචාර පිළිගැනීම සඳහා රාජ්‍ය නායකයා සීරුවෙන් සිට ගැනීම ද, ඒ මොහොතේ අව් රශ්මිය හේතුවෙන් විදේශ තානාපතිවරු, මැති ඇමති හා බිරින්දෑවරු අව් කණ්නාඩි පැළඳ ගැනීම ද දැන් නිදහස් දවසේ නිශ්චිත රූපවාහිනී දර්ශන අතර වන බව නොදන්නා කුඩා ළමයෙකු හෝ නැත. එහෙත්, මා මේ ඔබට ආරාධනා කරන්නේ මෙවර 71 වැනි නිදහස් සමරුව මොහොතේත්, ඒ තදාසන්න දිනවලත් අප ආශ්‍රය කළ එකිනෙකට සෘජු සබඳතාවක් නැති සිද්ධීන් හෝ අවස්ථා, ක්‍රියාකාරකම් කිහිපයක් විමසමින් මේ ගෙවී ගොස් ඇති වසර 71 ක කාලයේ අප අතහරින්නට සිතාවත් නැති ප්‍රබලතම දුර්වලතාවක් වෙත හැරී බලන්නට ය.

30 වසරක සිවිල් යුද්ධයත්, දකුණේ සිදු වූ පරාජිත තරුණ කැරළි ද්විත්වයත් ඇතුළු බොහෝ ඛේදනීය අතීත වෘත්තීන් මෙන්ම ගෙවුණු දශක සියල්ලෙහිම පාහේ රට මුහුණ දී ඇති සමාජ හා ආර්ථික බිඳවැටීම් සියල්ලම අපට විවිධාකාර පාඩම් උදාහරණ සහිතව අප අභියස දක්වමින් එක් එක් අංශයන්හි අප වෙත ඇති අභියෝග හා විසඳුම් සෙවිය යුතු ගැටළු ආදිය පෙන්වා දී ඇත. ඇතැම් අවස්ථාවල දී මුහුණ දුන් ඛේදවාචකවල බිහිසුණු බව කොතරම් වී ද යත් ඒ ඒ අවස්ථා පිළිබඳ යළි විමසන්නට විවිධ කොමිෂන් සභාදිය පත් කළ බව ද අප නොදන්නා කරුණක් නොවේ. යුද්ධයෙන් පසු මුණ ගැසුණු උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම උදාහරණයකි. මේ සියල්ලෙහි සෙවීම් වාර්තාදියත්, දිනෙන් දින යළි යළිත් මුණ ගැසෙන අසාර්ථක දේශපාලනික හා ආර්ථික පියවරයන් ආදියත් සමගින් රාජ්‍ය නායකයා සිය රාජ්‍ය විමසීම අරඹා සිදු කරන සිව්වැනි නිදහස් සමරුවේ දී ද යළි යෝජනා කරන්නේ දැන් අප පරිසර සංරක්ෂණය ප්‍රමුඛ තිරසාර සංවර්ධනය, දූෂණය පරාජය කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු අත්‍යාවශ්‍ය කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් යහපත් රටක් බිහිකර ගැනීම සඳහා අදිටන් කරගත යුතු බවයි!

අතීතය නිරතුරුව විවිධ පාඩම් අප වෙත තබයි. අප කටයුතු කළ යුත්තේ එම පාඩම් මත අනාගතය සඳහා ක්‍රියාත්මක කළ හැකි සහ ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහන් කැඳවමින් පවතින තත්වයේ සිට ඉදිරියට යාමට මිස එකම තැන කරකැවෙමින් සිටීමට නොවේ. සිය ධූර කාලයේ එළැඹෙන සිවුවැනි නිදහස් සමරුවේදී ද යළි මූලික පිළිවෙත් වෙනුවෙන් ‘අධිෂ්ඨාන ගොඩ නගන්නට‘ පුරවැසියාට ආරාධනා කරන්නට සිදුවීම ම කෙතරම් ප්‍රබල ලෙස නායකයාගේත් සමස්ථ පුරවැසි ප්‍රජාවගේත් අසමත්කම පිළිබිඹු කරන්නක් නොවේද? කිසිවක් නොකොට කාලයට ගලන්නට ඉඩ හැර ඇති බව හැර අන් කවරක් ද?

ප්‍රමුඛ අසුනේ සිට මුණ ගැසෙන, අතීතය වෙතින් ලද පාඩම් අනුසාරයෙන් කටයුතු කරමින් පවතින තත්වයේ සිට ඉදිරියට යෑම සිදු නොකිරීම, මෙරට බොහෝ අංශ වෙතින් යළි යළිත් මුණගැසෙන විටෙක සිනහව කැඳවන, තවත් විටෙක ශෝකය ඇති කරන දුර්වලතාවකි. රාජ්‍ය නායකයාගේ නිදහස් දින කතාවට පෙර දින, පෙරදී රාජ්‍ය නායකයා තරම්ම හෝ ඊටත් වැඩි පිළිගැනීමක් පුරවැසියා වෙත වූ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විසින් ද, එබඳුම කතාවක් ඕස්ට්‍රේලියාවේ දී කියනු ලැබූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණ. ඒ ‘තරුණ කණ්ඩායමක් ලෙස අසීරු කණ්ඩායම්වලට මුහුණ දීම සඳහා දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අත්දැකීම් එකතු කරගනිමින් ඉන්නා බව‘ ය. තරග ප්‍රවර්ග දෙකක් යටතේ ලෝක ශූරතා ද්විත්වයක් දිනූ ආසන්න ඉතිහාසයක් සහිත කණ්ඩායමක නායකයෙකුට මෙවැනි ප්‍රකාශ සිදු කළ හැකි ද?

මේ අන් කිසිවක් නොව, අතීතයේ පාඩම් පිළිබඳවත්, අනාගත අවශ්‍යතාවන් පිළිබඳවත් වග නොකියන පොදු දේශජ දුර්වලතාවකි. මූලිකව, මෙම සතිපතා පළ කෙරෙන මගේ ලිපියෙහි යොමුව සාහිත කලා කෙත වුවත් ඉහත සාකච්ඡාව ඉන් පොළා පැන ඇති බැව් යමෙකුට යෝජනා කළ හැකි වෙතත්, මා මෙම කරුණ යෝජනා කළේ ම මෙම පොදු දුර්වලතා කලාපය කලාව හමුවේ ද යෙදෙන බැව් නිදහස් සැමරුම ආසන්නයේම එළි දුටු චිත්‍රපට දෙකක් ද මවෙත සාක්ෂි සපයා දුන් බැවිණි. ඒ අනුරුද්ධ ජයසිංහගේ ‘ගින්නෙන් උපන් සීතල‘ සහ පාලිත පෙරේරාගේ ‘තාල‘ යන සිනමා කෘති ද්විත්වයයි. රාජ්‍ය නායකයාත්, ක්‍රිකට් නායකයාත් හා සමානව මේ නිර්මාණකරුවන් අතහැර දමන ‘උගෙන සිටිය යුතු‘ පාඩම් මොනවා ද?

නිදහස ලබන්නටත් අවුරුද්දකට පෙර ඇරඹෙන මෙරට කතානාද සිනමාව සිය 72 වසර සැමරුවේ ගෙවුණු මාසයේ ය. බටහිර උපත ලබන කලාවක් ලෙස අප හඳුනාගන්නා සිනමාව වඩාත් තිරසාර ලෙස මෙරට පොළව මත මුල් අද්දන ලද්දේ 1956 දී තිරගත කෙරුණු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව‘ සමගින් බව කියවෙතත් රේඛාවෙහි සිට මෑත අවදිය දක්වා මෙරට ප්‍රේක්ෂාගාර හමුවේ එළි දුටු කෘති වැඩි ප්‍රමාණයකදී ජයගත් හෝ වරද්දාගත් දුර්වලතා පිළිබඳ මේ නිර්මාණකරුවන් දෙදෙන සවිඥාණික වී නැති බැව් කෘති ද්විත්වය සීරුවෙන් විමසන විට පෙනෙයි. ප්‍රබන්ධ සිනමා කෘතියක විකාශනයේ මූලික හුය ගෙතෙන විශ්වසනීය චරිත ගොඩනැගීම හා ඒ චරිත සාර්ථක ලෙස වර්ධනය කිරීම ඒ කාරණා අතර ප්‍රමුඛ ය. ‘ගින්නෙන් උපන් සීතලෙහි‘ ගමනායකගේ පටන් බොහෝ උපප්‍රධාන චරිත කෘතිය තුළ පැතලිව වැතිර හිඳිනු මිස තිරය මත දිග හැරෙන පැය දෙක හමාරක කාලය තුළ ලබා ගන්නා වර්ධනයක් නැත. එක්සත් රාජධානියේ නොදන්නා තැනකින් එන මහාචාර්ය ඇමතුමක් නිසා මිස අසේල වැනි නාගරික තරුණයකු දුෂ්කර පාසැලකට එන්නටත්, එහි අනේක පෙරළි කරන්නටත්, ඔහුට පාලනය කළ හැකි බව පෙනෙන දේශපාලනය හමුවේ ඔහුට අවැසි අරුන්දතී පාසැලට එවා අතුරුදහන් වන්නටත් හේතුවන චරිතයේ අභ්‍යන්තර වර්ධනයන් විසින් නගන අවශ්‍යතා ‘තාල‘ චිත්‍රපටය තුළ අපට මුණගැසෙන්නේ නැත.  

රොබට් මැකී සහ සිඩ් ෆීල්ඩ් වැනි සිනමා ගුරුන් සිය සිනමා තිර රචනා න්‍යායික ග්‍රන්ථ තුළ වැඩි අවධානයකින් අවධාරණය කළේ චරිතයක අතීත වෘත්තය එහි අනාගතය ගොඩනැගීම සඳහා කෙතරම් අත්‍යාවශ්‍ය ද යන්නයි. චිත්‍රපටයේ තිර රචනය තුළ සෘජුව නොගෙනාව ද සිය කෘතියේ සෑම චරිතයක් සඳහාම අතීත වෘත්තයක් ලියන්නැයි සිඩ් ෆීල්ඩ් සිනමා තිර රචකයින්ගෙන් ඉල්ලා සිටියේ ය. අපේ සිනමා නිර්මාණකරුවන් සැබෑවටම මුණ ගැසෙන අතීත චරිතයක් වන ගමනායකගේ හෝ සිය මනෝ ලොව තුළ උපදින අසේලගේ අතීත වෘත්තය විමසන්නේ නැත. එය දේශජ ගැටළුවක් බව මට නිදහස ආසන්න කතාබහ පෙන්නුම් කළේ රාජ්‍ය නායකයාත්, ක්‍රිකට් නායකයාත් අතීතය නොවිමසමින් කතා කරන බැව් පෙනී ගිය නිසාවෙනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -

Tuesday, February 5, 2019

නොමළ කලාකරුවෙකු ලෙස මියෙන්න: ධර්මසේන පතිරාජගේ සමුගැනීමෙන් වසරකට පසු!


(2019 පෙබරවාරි 03
 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

ආචාර්ය ධර්මසේන පතිරාජ අප අතුරින් සමුගෙන වසරක් ගෙවී ගියේ පසුගිය 28 වැනිදා ය. සිනමාකරුවෙකු, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු, සමාජ ක්‍රියාධරයෙකු ඈ නන්විධ භූමිකා සිය ජීවන ගමන්මග තුළ නිරූපණය කළ පතිරාජගේ සමුගැනීමෙන් වසරක් ගෙවුණු තැන ඔහුගේ සමීපතමයින් ඔහු සිහි කරනු වස් යොදාගෙන තිබුණේ සමරු දේශනයක් සහ චිත්‍රපට ප්‍රදර්ශනයකි. ‘විචාරාත්මක දුරස්ථභාවය සහ කලාකරුවාගේ සංස්කෘතික කාර්ය’ යන මැයෙන් වූ දේශනය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පවත්වනු ලැබූ අතර පතිරාජයන්ගේ සුහුරුම සිනමා කෘතියක් වූ ‘පාර දිගේ’ දෙසුමෙන් අනතුරුව තිරගත කෙරිණි. සමරු සැඳෑව පැවැත්වුණු චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලා පරිශ්‍රය අතුරු සිදුරු නැතිව පිරීගොස් තිබුණු අතර දෙසුම හා සිනමා දැක්ම හා ඇතැමුන් එක්ව උන්නේ ශාලාවේ බිම වාඩිගෙන ය.

පතිරාජ වැනි විශිෂ්ටයෙකු නොමියෙන බවට වන සාක්ෂියක් එහි වන බව එම පැය කිහිපය තුළ සිදුවුණු කාර්යයන් පසුපස වූ බව දෙසුමෙහි ශ්‍රාවකයෙකු ලෙසත්, සිනමා කෘතියෙහි ප්‍රේක්ෂකයෙකු ලෙසත් ශාලාවේ අසුන්ගෙන සිටි මට හැඟී ගොස් තිබිණ. යට කී, බොහෝ සෙයින් කාලෝචිත හා නිරතුරුව විමසා බැලිය යුතු කරුණුවලින් සමන්විත දෙසුම සහෘද කලාකරුවන් ඇතුළු ක්‍රියාකාරී පුරවැසි ප්‍රජාවක් අභියස තබන්නටත්, දශක තුනකටත් වඩා පෙර සමයක තැනුණු ‘පාර දිගේ’ යළි එම පිරිස අභියස තබමින් යම් සර්වකාලීන බවකින් හෙබි සිනමාත්මක ප්‍රකාශනයක රුවගුණ පිළිබඳ සජීවි සාකච්ඡාවක් තනන්නටත් කලාකරුවෙකුට හැකි නම් ඔහු මිය ගොස් තිබිය හැකි ද?

පතිරාජගේ ජීවන විලාසය ඔහුගේ මරණින් පසුව වුව, ගුණ කථන, ආගමික පුන්‍යානුමෝදනා, දාන මාන, ඔහුගේ දෙන අභියස තැබුවේ නැත. ඩබ්ලිව්.ජයසිරි 28 දා සමරු සැඳෑව අරඹමින් මහාචාර්ය අමරකීර්තිට දෙසුම සඳහා ආරාධනා කළේ ද පතිරාජයන්ගේ නික්ම යෑමෙන් සත් දිනකට පසු ඔහුගේ මහනුවර නිවසේ දී ඔහු සිහි කළ ලෞකික ස්වරූපය මෙනෙහි කරමිනි. දශක සතක් ඉක්මවූ ඔහුගේ ජීවන ගමන වඩාත් සෘජු, විශ්වසනීය, සමාජය පිළිබඳ විවරැති මනසකින් හෙබි කලාකරුවකුගේ වගකීම්සහගත බව ප්‍රකට කර ඇති බව වඩාත් ප්‍රත්‍යක්ෂ වන්නේ දැන් හැරී යළි විමසන විට ය. සෑම කෙනෙකුටම මරණය වැළඳගත හැක. එහෙත් මිය ගිය පසු ජීවත් විය හැක්කේ අතලොස්සකට ය. කලාකරුවෙකු ලෙස මරණින් මතු වඩාත් සක්‍රිය ලෙස සිය ජීවන දැක්ම සමාජගත කරන්නට හැකි විලාසය පතිරාජ සොයාගෙන ඇති බැව් 28 සැඳෑව එහි රැස්ව උන් පිරිසට සාක්ෂි සැපයී ය.

කලාකරුවෙකුගේ සංස්කෘතික කාර්ය පිළිබඳ සාකච්ඡා කරමින් ජාතිය සහ සම්ප්‍රදාය අතේ දුරින් තබා ගැනීම, බහුවිධ සංස්කෘතික ස්වරූප පිළිගනිමින් ‘අනන්‍යතාව’ වෙතින් දුරස්වීම, අතීතය යථා පරිදි අවබෝධ කරගැනීම, පරමාර්දර්ශී රූපය හා තත්‍ය රූපය සමබරව වටහා ගැනීම ඇතුළු අනු කරුණු සාකච්ඡා කෙරෙන දෙසුමක් සිය මරණින් මතු පළමු අනුස්මරණය වෙත තබන්නට හැකි ජීවිතයක් ගත කරන කලාකරුවන් කොපමණ පිරිසක් අපට ‘සජීවී’ කලාකරුවන් අතුරින් සොයාගත හැකි ද? ඒකමානීය සහ ඒකාකෘතික රූප ස්වරූප මත තබමින් ජාතිය, ආගම, ජන වර්ගය, ඉතිහාසය ඇතුළු නන් කාරණා සිය සමාජ හා දේශපාලනික අපේක්ෂා වෙනුවෙන් වර නගමින් නොදියුණු දේශපාලනික භාවිතාවන් වෙනුවෙන් ඒ වෙන්දේසි දමන ‘කලාකාර’ භූමිකාවකට (මරණින් මතු වුව) වඩා පොහොසත් සංස්කෘතික කථිකාවකට ඉඩ සළසා දීම වෙනුවෙන් පෙනී සිටිය හැකි ද?

පතිරාජයානු භූමිකාවේ අගය වඩාත් ඉහළ නැගෙන්නේ එවන් වටපිටාවක ය. සිය සමාරම්භක කෘතිවල පටන් තරුණ ගැටළු හා අර්බුද පිළිබඳ, ආර්ථික, දේශපාලනික හා සමාජයීය විෂමතා පිළිබඳ (අහස් ගව්ව, බඹරු ඇවිත්, පාර දිගේ) සාකච්ඡා කරමින්, යුද්ධය පිළිබඳ සවිඥාණික විරෝධාත්මක මැදිහත්වීමක් (සොල්දාදු උන්නැහෙ) සිදු කරමින්, කුලය, පන්තිය වැනි සාධක වඩා සක්‍රීය ලෙස ජනවර්ග සියල්ල වෙතම පාහේ සිදු කරන බලපෑම පිළිබඳ (පොන්මනි) සාකච්ඡා කරමින් ඔහු සිදු කළ සිනමා රූපය හරහා වූ දේශපාලනික මැදිහත්වීම, සිය ජීවන පැවැත්ම තුළ ද සක්‍රියව පවත්වාගෙන ගිය බව යාපන විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ඔහු ගත කළ සමය පිළිබඳ අතීත වෘත්තීන් දෙස් දෙයි. තීරණාත්මක දේශපාලනික වෙනස්කම් සිදු වුණු සමයන්හිදී, (අමරකීර්ති සිය දෙසුමේ දී පෙන්නුම් කළ පරිදි) යම් විචාරාත්මක දුරස්ථභාවයකින් යුතුව වුව ඒ සඳහා සක්‍රිය මැදිහත්වීමට දායක වීම ඔහු තුළ වූ සමාජ වගකීම පෙන්වා දෙයි.

60-70 දශකයන් හිදී පෙරටුගාමී කලාකරුවෙකු ලෙස නාට්‍ය සහ සිනමාව ආශ්‍රිතව සිය කලාත්මක ප්‍රකාශනයන් සමාජගත කිරීම ඇරඹූ පතිරාජයන් වෙත ඒ හරහා සමාජය අභියස තැබිය යුතු ආඛ්‍යානයන් පිළිබඳ සුපැහැදිලි අදහසක් තිබූ බව ‘පාර දිගේ’ දෙස් දුන්නේ යළිත් එම කළු සුදු රූප එකතුවේ තිගස්සවන සුළු සිනමාත්මක ජවය අප ඉදිරියේ ප්‍රතියමාන කළ හෙයිනි. අජිත් තිලකසේනගේ විශිෂ්ට තිර රචනයක් සමග වුව, විජය කුමාරණතුංගගේ සහ ඉන්දිරා ජොන්ක්ලාස්ගේ මහරු චරිත නිරූපණ හමුවේ වුව, ඩොනල්ඩ් කරුණාරත්නගේ විස්මයාවහ කැමරා මෙහෙයවීම හමුවේ වුව, වඩාත් විවරැති මනසකින් හෙබි නිර්මාණකරුවෙකු ලෙස පතිරාජ මෙහෙයුම් අසුනේ නොවී නම් ‘පාර දිගේ’ නිමවෙන්නේ නැත. අභූතරූපී නාට්‍ය වෙත ඔහු තුළ වූ ආසක්ත බව විටෙක ද, ප්‍රංශ නව රැල්ල හා/හෝ ජර්මානු ප්‍රකාශනවාදය වෙත ඔහු තුළ වූ නැඹුරුව විටෙක ද, ඉතාලි නව යථාර්ථවාදය වෙත ඔහු වෙත වූ ප්‍රේමය තවත් විටෙක ද කෘතිය තුළින් නැගෙයි. එහෙත් ඒ ඔහු නගන්නට තැත් දරණ ගැඹුරු සමාජ දේශපාලනික සාකච්ඡාව එම රූප වියමන තුළ සිනමාත්මකව බහාලමින් මිස රළුව හෝ කටෝරව නම් නොවේ.

මරණය හෝ නික්ම යෑම වඩා සතුටුදායක, ස්ව ආත්මය පමණක් නිවන වෙත යවන, පශ්චාත් මරණ සමයකට වඩා වඩාත් සක්‍රීය හා පොහොසත් සංවාදයක් සෙසු ජීවත් වන ආත්ම දහස් ගණනක් හමුවේ තබන්නට පතිරාජයන් සමත්වී ඇත. අමරකීර්තිගේ දෙසුමෙන් අනතුරුව පතිරාජයන්ගේ කණිටු පුත් මිලින්ද පතිරාජ මා වෙත පැවසූ පරිදිම අප වෙත ඇත්තේ තාවකාලික ජීවිතයන් ය. ඒ සදාකාලික වීම කෙසේ වුව වඩාත් ඵලදායක වීම සිදු වන්නේම ගෙවෙන හෝ ගෙවුණු ජීවිතාත්මයේ දශක කිහිපය ඉක්මවූ කාල සමයක් පුරවැසියා වෙත තබන්නට අපට හැකිවීම මත ය. කලාකරුවකු වඩාත් සාර්ථක වූයේ යැයි අපට තුටු විය හැක්කේ ද එවිට ය.

“අපි හරියට විසි කරල දාපු එඬරු දඬු වගේ... මුල් නෑ... ඒත් දලු එනව!”

ඉහත ‘පාර දිගේ’ හි චන්දරේගේ ප්‍රකාශය නැවත නැවතත් අපගේ ජීවිත හමුවේ වර නගමින් සමාජයේ ඇති අසංවිධිත බව හා අපගේ ජීවිත තුළ ඇති අපේක්ෂාභංග බව අපට පෙන්විය හැක. එහෙත් චන්දරේ අපට මුණ ගැස්වූ පතිරාජ නික්ම ගොස් ඇත්තේ චන්දරේලාගේ සහ ස්වර්ණලාගේ ජීවිත අභියස බොහෝ දෑ ඉතිරි කොට බව අප අමතක නොකළ යුතු ය. එමතු නොව, නිරතුරුව මෙනෙහි කළ යුතු ය. අඩුම තරමින් එඬරු දණ්ඩකට හෝ මුල් සහිතව නැගෙන්නට බිමක් තනාගත හැක්කේ එවිට ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

Wednesday, January 30, 2019

භාෂා භාවිතයේ අර්බුද: අප දෙසම හැරී බලන්නට කවුළුවක් ලෙස

(2019 ජනවාරි 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“බ්ලැක් ෆැට් රයිස් ෆ්ලයිස් වෙරි එරිත්මැටික්!“

අප කුඩා කල මපියාණන් විසින් නොදන්නා ඉංග්‍රීසි කතා කරන්නට ගිය අයෙකු ‘කළුතර හාල් මැස්සන් හරි ගණන්‘ යන්න ඉංග්‍රීසි බසින් ඉහත පරිදි වැහැරූ බව කියන ලද්දේ අප සිනා ගැන්වීමට ය. පාසැලේ සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉගෙන ගෙන, වතු ලිපිකරුවකු ලෙස සේවය කරමින් උන් අපගේ පියාට හොඳින් ඉංග්‍රීසි ලියන්නට, කියවන්නට හා කථා කරන්නට හැකියාව තිබුණේ දමිළ බසින් කතා කිරීමේ පමණක් වූ හැකියාව ද සමග ය. නිදහස ලබන්නට පෙර සමයේ පැවති ඉංග්‍රීසි භාෂිත අධ්‍යාපනයක් ලබා දුන් පාසැලකින් අධ්‍යාපනය ලබා තිබුණු ඔහු මෙන්ම ඔහුගේ සමකාලීනයන් වැඩි දෙනෙක් ඉංග්‍රීසිය චතුර ලෙස භාවිත කිරීමේ හැකියාවකින් යුතු අය වූ හ. නිදහසින් දශක 7ක් ගෙවුණු පසු අප අද කණගාටු වන්නේ හෝ සිනාසෙන්නේ අපගේ රාජ්‍ය නායකයාගේ ‘නොදන්නා ඉංග්‍රීසිය‘ ගැන ය. ඔහුගේ ඉංග්‍රීසි වැහැරීම පිළිබඳ කතාන්දරය සමස්ථ රටෙහිම ඉංග්‍රීසිය මතු නොව සිංහල භාෂා භාවිතය පිළිබඳව ද යළි හැරී බලන්නට කවුළුවක් හෝ අවස්ථාවක් ලෙස භාවිතා කරන්නට මා යෝජනා කරන්නට කැමැත්තේ අත්‍යාවශ්‍ය භාෂා සාධකයන් බොහෝ විට අප අමතක කොට ඇතැයි හැඟී යන හෙයිනි.

මහත් ව්‍යසනයකට මග පෑදූ ‘සිංහල භාෂා පනත‘ සම්මත කිරීමත් සමග මිය ගියේ හෝ ආන්තික කලාප වෙත තල්ලු කර හැරුණේ දමිළ බස පමණක් නොවේ. එතෙක් සාධනීය භාවිත තලයක පැවති ඉංග්‍රීසි භාෂා භාවිතය ද ක්‍ර‍මයෙන් පිවිසියේ ආන්තික සීමා වෙත ය. ඉංග්‍රීසි භාෂාව හරහා විශාල සංස්කෘතික ලෝකයකට මං විවර කරගෙන සිටි, මගේ පියාගේ පරම්පරාවෙන් ගුරුහරුකම් ලැබූ, පසු පරම්පරාව ද පාසැල ඇතුළු අධ්‍යාපන කලාපවලින් කෙමෙන් වියැකී යද්දී 80-90 දශක එළඹෙන විට අපට එහි හමුවූයේ මූලික වශයෙන් සිංහල පමණක් භාවිතා කළ හැකි පරපුරකි. (මෙය උතුරු-නැගෙනහිර කලාපයේ ක්‍රියාත්මක වූ ආකාරයෙහි වූ සමාන අසමානතා විමසීම තවත් අත්‍යාවශ්‍යයික කාර්යයකි.) මෙම පරම්පරා මාරුවීම් සමග ආ රට හමුවේ නව සියවසෙහි සමාරම්භයේ දී පෙරමුණෙහි උන්නේ ඉංග්‍රීසිය සමග ගණුදෙනුවෙන් විශාල ලෙස දුරස් පුරවැසි ප්‍ර‍ජාවකි. ජාත්‍යන්තර භාෂාවක් හමුවේ සිය පරම්පරාවේ අසමත්කම හඳුනාගත් එහි එක් කුලකයක් වෙත සිය දරුවන්ගේ අනාගත භාෂා දොරටුව විවර කරදෙන්නට අත දිගු කරමින් උන්නේ ව්‍යාපාරයන් ලෙස ලියාපදිංචිය සහතික කරගෙන සිටි ජාත්‍යන්තර පාසැල් කර්මාන්තයකි. රාජ්‍ය පාසැල් ද පසුකාලීනව ‘ඉන්ග්ලිෂ් මීඩියම්‘ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හඳුන්වා දෙමින් මෙම රික්තය පිරවීමට සිය දායකත්වය ලබා දීමට කටයුතු කළ බව ද රහසක් නොවේ.

නිදහසින් වසර 70ක් පමණ ඉක්මවූ තැනක, සිංහල භාෂාව පමණක් ඉල්ලා වසර 62ක් ගෙවී අවසන් තැනක, ජාත්‍යන්තර පාසැල් කර්මාන්ත අරඹා දශක දෙක තුනක්ම ගෙවෙමින් පවතින හා ‘ඉංග්ලිෂ් මීඩියම්‘ සා/පෙළ හා උසස් පෙළ හඳුන්වා දී සැලකිය යුතු කලක් ගෙවී ඇති තැනක, රාජ්‍ය නායකයාගේ ඉංග්‍රීසියට සිනා වෙමින් නොසිට අපට අපගේ භාෂා භාවිතය ගැනත්, සිංහල (දමිළ) හා ඉංග්‍රීසි භාෂා හමුවේ අපගේ නිපුණතා හා සීමා ගැනත් හැරී බලන්නට අවකාශ ඇති බැව් මම යෝජනා කරන්නට කැමැත්තෙමි. ඉංග්‍රීසියට පෙර, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය තුළ හමුවන බහුතරයකට නිවැරදි සිංහල භාවිතා කරන්නට නොහැකි බවට වන චෝදනාවට රටක් ලෙස අප සොයාගෙන ඇති පිළිතුර කුමක්දැයි අප විමසිය යුතු ය. භාෂාව දැනුමෙහි යතුර නම්, එම භාෂාව සමගින් ගොස්, මිත්‍යාව අතික්‍ර‍මණය කොට, අප දිනාගෙන ඇති ඥාණ ලෝකය කුමක්දැයි ප්‍ර‍ශ්න කළ යුතු ය. සාහිත කලාදිය සේවනය කරමින් නිර්මාණය කරගෙන ඇති සංස්කෘතික මිනිසා කොහිදැයි සොයා බැලිය යුතු ය.

සිංහලය පමණක් ඉල්ලූ 56හි ඉල්ලීමෙහි සාධනීය හා සීමාකාරී මායිම් කවරේ වුව, ඉන් වසර 62කින් පසු පෙනෙන්නේ භාෂාව අභියස පොදු පුරවැසි ප්‍ර‍ජාව පියවර කිහිපයක් පසුපසට ගොස් ඇති බවයි. එක්තරා අතකට සාමාන්‍ය පෙළින් පසු සිංහල භාෂාව උසස් පෙළට හදාරන්නට තෝරා ගන්නා කණ්ඩායමට පමණක් භාෂාව පිළිබඳ වැඩිදුර හැදෑරීම අයිතියැයි සිතන අධ්‍යාපනය සම්බන්ධ චින්තන ධාරාවකින් පොදුවේ භාෂාව පිළිබඳ උනන්දු සමාජයක් බිහිකිරීම සම්බන්ධ ප්‍ර‍ගතිශීලී ක්‍රියා පටිපාටි බලාපොරොත්තු විය නොහැක. එමෙන්ම, පෙර පාසැලෙහි සිට පාසැලෙහි වසර 13 තිස්සේත්, විශ්වවිද්‍යාලවල ගෙවෙන වසර 4 තිස්සේත් ලබාදෙන අනවරත ඉංග්‍රීසි අධ්‍යාපනයකින් පසු වුව, සාධනීය ඉංග්‍රීසි භාවිතයකින් දුරස්ථ ප්‍ර‍ජාවක් ඉතිරි වීමේ විස්මය යළි නොවිමසන අධ්‍යාපන ධාරාවකටභාෂාව හමුවේ ඇති අර්බුදය වටහාගන්නට හැකි වෙතැයි යන්න පිළිගන්නට ද නොහැක.

රාජ්‍ය නායකයාගේ ‘දුර්වල‘ ඉංග්‍රීසියට සිනාසෙන්නට මත්තෙන් අප රටක් ලෙස අප භාෂාව වටහාගෙන ඇති ආකාරය විමසිය යුතු ය. නිකම්ම නිකමින් සිය නම ලියන්නට හා අත්සනක් ගසන්නට හැකි විගස ඔහු හෝ ඇය සාක්ෂරතාවයෙන් යුතු පුද්ගලයකු ලෙස වරදවා වටහා ගන්නා පරිදිම භාෂාව ලිවීමට, කියවීමට හා කථා කිරීමට හැකිවූ විගසම ඔහුට හෝ ඇයට භාෂාව ‘පුළුවන්‘ යැයි අපි විශ්වාස කරමු. උපකරණය හැසිරවීම හඳුනාගත් විගස උපකරණය යමෙකු හොඳින්හඳුනාගත් බව අප පිළිගන්නේ ඇයි? උපකරණය හඳුනාගැනීම යනු ඉන් කරන කාර්යය හඳුනාගැනීමත් නොවේ ද? සමානව, භාෂාව දැනගැනීම යනු ඉන් කරන කාර්යයෙහි වැදගත්කම දැනගැනීම විය යුතු නැති ද?

දැනුම ගවේෂණය කරමින්, පොහොනි සාහිත්‍ය, කලා විමසුම් වෙත යොමු වෙමින්, නව ලෝකය වෙත අප සමාජයේ පුරවැසි ප්‍ර‍ජාව යොමු කරමින් සිදු කරන පොහොසත් භාෂා භාවිතයක් රටක හමුවන්නේ නම් පමණක් අපට එහි තත්වය පිළිබඳ සතුටු විය හැකි ය. එහෙත් එය එසේ නොවන බැව් භාෂාවේ භාවිත කලාපයන් කිහිපයක උදාහරණවලින් වුව අපට හඳුනාගත හැකි ය.

දැනුම සමාජගත කිරීමෙහි ලා විවිධ විද්‍යා විෂයයන් හමුවේ ඒ ඒ යුගවල ලොව මූල කෘති සිංහලයට නගමින්, සිංහලයෙන් විද්‍යාව ඉගෙනීමට නව වදන් නිපදවමින් ගමන ආරම්භ කළ අපි ගෙවුණු දශක කිහිපයේදීම නව ඥාණ විභාග සහිත නවමු කෘති සිංහලයට නඟා නැත. ඒ වෙනුවට දැන්, පෙර අපම කියවා තනාගත් ‘කෙටි සටහන්‘ ආදිය මුද්‍ර‍ණය කොට සිසුවා අත තබන්නට තරම් ‘පොහොසත්‘ වී ඇත. ඒ සාහිත්‍ය කෘතියක, පරිවර්තනයක පිටපත් දෙතුන් දහසක්වත් විකුණාගත නොහැකිය යන මැසවිල්ල නැගෙන ප්‍ර‍කාශකයින්ගේ දුප්පත්කම අභියස හිඳ ය. විද්‍යාව හා මිත්‍යාව යන දෙවදනෙහිම වන ‘යන්සය‘ යෙදීමේ සමානකම නිසා එම ප්‍ර‍ති-පක්ෂ සමාන යැයිහඳුනාගන්නා ප්‍ර‍ජාවක අවිද්‍යාත්මක පිවිසුම් ‘හක්ගෙඩි‘ වෙළෙන්ඳන්ගේ ප්‍රකෝටිපති ජීවිත හමුවේ පෙනෙන විට භාෂාව උපකරණයක් ලෙස නිවැරදිව නොයොදන බවට හැඟවුමක් එහි ඇති බව අප තේරුම්ගත යුතු ය.

රාජ්‍ය නායකයාගේ අසමත්කම සංකේතාත්මකව රාජ්‍යයේ අසමත්කම බව පෙනී යන බව සැබෑවකි. එහෙත් අප ක්‍රියා කළ යුත්තේ ඉංග්‍රීසිය මෙන්ම සිංහල බස ද වඩා පරිණත භාවිතයකට කැඳවන සමාජයක් නිර්මාණය කර ගන්නට ය. අනාගත පුරවැසි ප්‍ර‍ජාව නිසි ලෙස බස හා ගණුදෙනු කරන්නටත්, ඉන් විවර කර දෙන සංස්කෘතික ලෝකය තුළ සිත් සේ සැරි සරන්නටත් කටයුතු කරනු ඇත්තේ එවන් ජයග්‍ර‍හණයක් තුළ මිස හොඳම ඉංග්‍රීසි කතාව කරන නායකයකු මුල් අසුනේ තැබීම තුළ නම් නොවේ.


-ප්‍රියන්ත ෆොන්සේකා -

රූපය: https://brewminate.com/the-importance-of-language-it-matters/

Friday, January 25, 2019

‘පුරවැසි සිරසට‘ අත නොතබනු: පුරවැසි කේන්ද්‍රීය මාධ්‍ය භාවිතයක් වෙත...



(2019 ජනවාරි 20 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

‘මේ පුරවැසි නාලිකාවයි. අද දවසේ අපගේ වැඩ සටහන් මෙතැන් පටන් ආරම්භ කෙරෙනු ඇත. අපගේ ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ද්විත්වයත්, පුවත්පතත්, සමාජ මාධ්‍ය තීරයත් යන සියල්ල මෙරට පුරවැසියන්ගේ ප්‍රමුඛ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වන අතර මෙහි පළ කෙරෙන ප්‍රවෘත්ති සහ සෙසු වැඩසටහන්/ලිපි ඇතුළු සියලු විකාශය කෙරෙන හෝ මුද්‍රණය කෙරෙන ඕනෑම දෙයක් වෙනුවෙන් පුරවැසි නාලිකාව පුරවැසියා වෙත වගකීමට බැඳී සිටින හෙයින් ඕනෑම මොහොතක ඒ පිළිබඳ විමසා බැලීමට ඔබට අයිතියක් ඇත. ඒ සඳහා පහත අංක යටතේ අප අමතන මෙන්......‘

සිහිනයක දුටු ප්‍රකාශයකින් මා අද ලිවීම ආරම්භ කොට ඇතැයි ඔබට සිතෙන්නට ඉඩ ඇති බැව් මම දනිමි. සියලු ටෙලිවිෂන හා ගුවන් විදුලි නාලිකා මෙන්ම ප්‍රධාන පුවත්පත් ද මූලිකව රජයට හෝ කිසියම් පෞද්ගලික ආයතනයකට නොඑසේනම් තනි පවුලකට/පුද්ගලයෙකුට අයිතිව ඇති වටපිටාවක පුරවැසි නාලිකාවක් පිළිබඳ අදහස සිහිනයක මිස වෙන කොතැනක මුණ ගැසේවි ද? එහෙත්, මේ සිහින යථාවත් කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු කාලයයි. මා එසේ ලියන්නේ ඇයි?

දැනට දින කිහිපයකට පෙර පුරවැසි සංවිධාන කිහිපයක එකමුතුවෙන් තැනුනු ‘අලුත් පියාපත්‘ සංවිධානය ජන මාධ්‍යයේ වගකීම සහ වගවීම සිහි කැඳවමින් සහ ආචාරධාර්මික මාධ්‍ය භාවිතය ඉල්ලා සිටිමින් දිවයිනේ ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ල වෙතම පාහේ සංදේශයක් රැගෙන ගිය බැව් අපි දැන් දනිමු. කළු පැහැති ඇදුමින් සැරසී, කළු මුකවාඩම් බැද, නිහඬ විරෝධයක් ද සමගින් ගිය මෙම සංදේශ භාර දීමේ ගමන කෙළවර වූයේ නොසිතූ විරූ ලෙස ‘එන්ජීඕකාර සහ පක්ෂ දේශපාලනය හා බැඳුණු‘ නඩයක් මාධ්‍ය වෙත තර්ජනය කරන්නට හා පහර දෙන්නට පැමිණි බැව් වර නගමින් ඔවුන් පිළිබඳ ස්වකීය මාධ්‍ය තුළ ‘අසත්‍ය‘ ප්‍රවෘත්ති පළ කරන්නට මාධ්‍ය ආයතන කිහිපයක්ම පියවර ගැනීමත් සමග ය. ‘මව්බිම‘ පුවත්පත හා ‘සිරස ටීවී‘ නාලිකාව මේ පුවත් පළ කිරීමේ පෙරමුණු බලඇණියේ උන් අතර සිය ශ්‍රව්‍ය දෘෂ්‍ය විද්‍යුත් නාලිකාවේ බලය භාවිතා කරමින් ඔවුහු විරෝධතා සංදේශය රැගෙන පැමිණි පිරිස්වල මුහුණු සමීප රූපයට ගනිමින් ‘ඔවුන් රටට හෙළි දරව් කරන්නට‘ කටයුතු කළේ චාන්දනී සෙනවිරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු, සමණලී ෆොන්සේකා වැනි සම්මානනීය නිළියන්ගේ, විමුක්ති ජයසුන්දර වැනි සම්මාන දිනූ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ, විදර්ශන කන්නන්ගර වැනි සමාජ ක්‍රියාධරයින්ගේ මුහුණු රක්ත වර්ණයෙන් රවුම් කොට දක්වමිනි.

මූලිකව, මාධ්‍යවලින් ජාතිවාදී ප්‍රචාර නවතා දමන මෙන් ඉල්ලීමට, සත්‍ය ප්‍රචාරය කිරීම පමණක් සිදු කරන මෙන් ඉල්ලීමට, මිත්‍යාව සමාජගත කිරීම නවත්වන මෙන් ඉල්ලීමට පුරවැසියකු හෝ කණ්ඩායමකට නොහැකි වන්නේ කෙසේ ද? දිගින් දිගටම රටේ බහුතර මාධ්‍ය ආයතන අනේක විධ මිත්‍යා මතිකයන් සමාජගත කරන තත්වයක උන් බවත්, එය ක්‍රමිකව ඉහළ නැගෙමින් පවතින බවත් කිසිවකුට රහසක් නොවේ. ඒ හා සමානව සිංහල හා බෞද්ධ නොවන ජනවර්ගයන් හා ආගම් පිළිබඳව ද සත්‍ය නොවන, ගොඩ නැංවූ සහ ඇතැම් විට වෛරී ප්‍රකාශ සහ තොරතුරු ද සමාජගත කරන්නට ඇතැම් මාධ්‍ය මූලිකත්වය ගෙන තිබුණු බව ද රහසක් නොවේ. ඒ සියල්ල හා සමග, රට තුළ සිදුවන සියළු දේශපාලනික හා ආගමික හා සමාජයීය කටයුතු ස්වකීය ‘මිතුරු දේශපාලනික පක්ෂයට හෝ කලාපයට‘ වාසිදායක වන පරිදි තොරතුරු වාර්තාකරණය තුළ දී වර නැගීමට ද බහුතරයක් මාධ්‍ය නිරතුරුව කටයුතු කළ බව කිසිසේත්ම රහසක් නොවේ. ඉදින්, ඉතා පැහැදිලි කාරණා පිළිබඳ ස්වකීය විරෝධය ප්‍රකාශ කරන්නටත්, යහපත් මාධ්‍ය භාවිතාවක් ඉල්ලා සිටින්නටත් පුරවැසියාට නොහැකි ඇයි?

‘අලුත් පියාපත්‘ ඇතුළු සංවිධාන එකමුතුවේ පිරිස දහස් ගණනක් නොවූව ද ඔවුන් මේ තැබූයේ මිලියන ගණනක සමස්ථ පුරවැසි ප්‍රජාවේ අනාගතය වෙනුවෙන් වූ අගනා පියවරකි. සත්‍යය, මිත්‍යාවෙන් තොර යථාව සහ ජාතිවාදයෙන් හා වෛරයෙන් තොර මනුෂ්‍යත්වය ඉල්ලා සිටීම සමස්ථ පුරවැසියාගේ යහපත් සහ දියුණු හෙට දවස වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඉල්ලීමකි. සියලු පුරවැසියන් ස්වකීය තනි පුද්ගල දේශපාලනික දෘශ්ටීන් මොහොතකට පසෙක තබා ඒ ඉල්ලීම සමග සිටගත යුතුම ය.

‘සිරස‘ නාලිකාවේ ප්‍රති-විරෝධය ගැඹුරින් කියවා ගැනීමත් මෙවැනි අවකාශයක දී අත්‍යාවශ්‍ය ය. ‘සිරසට අත තබා පසුතැවිලි නොවන්නැයි‘ කියමින් සිය ප්‍රේක්ෂාගාරය වෙත ‘තගරි‘ දමමින් තමන් කියනා දෙයම පිළිගන්නට ඔවුන් කරන ‘චණ්ඩි පාට්‘ ඉල්ලීම පසුපස සැඟව ඇත්තේ මාධ්‍යයේ බලාධිකාරය නිශ්චිත පුද්ගල කණ්ඩායමක් වෙතින් ගිලිහී යාම ඉඩ ඇතැයි යන්න පිළිබඳ වන බියයි. ආණ්ඩු තැනීම, බිලියන ගණනින් කෙරෙන මුදල් හුවමාරු, කොමිස්, සුඛිත ජීවිත ඇතුළු එකිනෙකට බැඳුණු කාරණා සියල්ල ජන මාධ්‍යයේ හිමිකාරීත්වය සමග ද තදින් පෑහි ඇති හෙයින් ජන මාධ්‍යය පුරවැසියාගේ ඉල්ලීමට අනුව පාලනය වීම හෝ පිළිගත් ආචාරධර්මික පැවැත්මක් වෙත පැමිණීම හෝ ස්වකීය අවශ්‍යතා ඉටු නොකරන කලාපයක් වෙත තල්ලු වීමක් බව මාධ්‍ය අයිතිකරුවන් හා රාජ්‍ය මාධ්‍ය පාලනය කරන ආණ්ඩු හොඳින් දන්නා බැව් පැහැදිලි ය. (ජන මාධ්‍ය ආයතනවල හිමිකාරීත්වය හා සබඳතා වටහා ගැනීමට වෙරිටේ රීසර්ච් ආයතනයේ Media Ownership Monitor වෙබ් අඩවිය විමසා බලන්න.)

අප ඉදිරියේ පියවර දෙකක් ඇත. මෙම ‘අලුත් පියාපත්‘හි ඉල්ලීම තව දුරටත් බල ගන්වමින් අදාල ඉල්ලීම් ඉටු කරන මෙන් සියලු මාධ්‍ය ආයතන වෙත බල කිරීම සඳහා පෙළ ගැසීම පළමුවැන්නයි. ‘ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධයි‘ යනුවෙන් අපගේ ෆේස්බුක් ප්‍රොෆයිල මුහුණු ද රත් පැහැයෙන් රවුම් කරමින් ‘සිරස‘ සිදු කළ සදාචාර විරෝධී කටයුත්තට ඔවුන්ගේම ක්‍රියාව ප්‍රතික්‍රියාව ලෙස යෙදීමට මා සිදු කළ ෆේස්බුක්‘ ඉල්ලීම ඉතා කෙටි කාලයකින් විශාල ප්‍රජාවක් තුළ පැතිරීම අපගේ බලය පෙන්වන, මා හොඳින්ම අත්දුටු, කදිම සාක්ෂියකි. එවැනි විවිධ විරෝධතා සහ පෙළගැසීම්, අපට හැකි කලාපයන් තුළ හෝ සිදු කිරීම අනගි මැදිහත් වීමකි. දෙවැන්න තරමක් දීර්ඝකාලීන ය. නමුත් දිනිය හැකි ය. ඒ පෞද්ගලික ‘සිරස‘වල්වලට එරෙහි ‘පුරවැසි සිරස‘ හෙවත් ‘හිස‘ පෙරමුණට කැඳවමින් පුරවැසි මාධ්‍ය ජාලයක් නිර්මාණය කර ගැනීමයි.

වහල් බවින් මිදෙන තෙක්ම ඇතැම් වහලුන්ට ඔවුන් වහලුන් බව නොතේරුණු බැව් අතීත වහල් සමය ආශ්‍රිත කථිකා අපට පහදා දී ඇත. මාධ්‍ය වහල් බවින් අප මිදී පුරවැසි නාලිකාවක ආශ්‍රය ලබන්නට මුල පුරන දිනක අපගේ සීමා අපට වැටහෙනු ඇත. ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවන් ඉදිරියට තබමින් පුරවැසි නාලිකාවක රුවගුණ වටහා ගැන්මට ජපාන එන්එච්කේ ආයතනය පමණක් හෝ විමසන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි.

-ප්‍රියන්ත ෆොන්සේකා -

Friday, January 18, 2019

සිංගප්පූරුව අතහැර කොස්ටාරිකාව දෙසට හැරෙමු!

(2019 ජනවාරි 13 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

කොස්ටාරිකා
නව වසරක් එළඹ ඇත. සුපුරුදු පරිදි, සියලුම මාධ්‍යයන් භාවිතා කරමින් රාජ්‍ය නායකයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සියල්ලෝම සෙස්සන්ට සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතමින් සිටිති. වඩා යහපත් හෙට දිනයක් උදෙසා එකිනෙකා වෙත සුබ පැතුම් එක් කිරීම වඩාත් යහපත් කටයුත්තක් වුවත්, එය පොදුවේ සමාන සිතුවිලි දාමයකට සියල්ලන් කැඳවීමක් වුවත් ‘සුබ නව වසර‘ යනුවෙන් අප හඳුනාගන්නා, පිළිගන්නට කැමති දෙය කුමක් ද යන්න විමසීම මේ අනාගත සුබ සිද්ධිය විග්‍රහ කර ගැනීමටත්, දිනා ගැනීමටත් වඩා සාර්ථක එළඹුම බැව් මම විශ්වාස කරමි.

නිදහස ලබා ගෙවුණු වසර 70ක කාලය මුළුල්ලේම අප වඩාත් සුඛිත දේශයක් බිහි කරගැනීම සඳහා බලාපොරොත්තු තබා සිටිනා බැව් නොරහසකි. අප පසුකරමින් ඇදෙන දකුණු කොරියාව, සිංගප්පූරුව, වියට්නාමය ආදී වෙනත් ආසියාතික රටවල් මෙන්ම එක් එක් පාර්ශවයන්ගෙන් අප පසුකරමින් සිටින බංග්ලාදේශය, නේපාලය ආදී අසල්වැසි දකුණු ආසියාතික රටවල් ද දෙස බලමින් කණගාටුවට පත් වන අපි, අපගේ ජයග්‍රහණය උදෙසා යළි යළිත් සැලසුම් සකස් කරමින් ඉදිරි සාර්ථකත්වයන් අපේක්ෂා කරති. දේශපාලනික බල කලාපය කෙතරම් ආචාරධාර්මික පිරිහීමකට ලක්ව තිබුණ ද, පුරවැසි සමාජය කෙතරම් තරගකාරී, එකිනෙකා පරයා යන්නට තනන අරගල බිමකට පැමිණ තිබුණ ද අපේ අනාගත සැලසුම් සියල්ලේම මූලික සඳහන ආර්ථිකය බැව් යළි යළිත් විශ්වාස කරමින්ම අපි ‘අනාගත සිංගප්පූරුවක්‘ තැනීමෙහි ‘සිහිනයක‘ ගිලෙමින් කටයුතු කරමු. නව වසර පිළිබඳ ‘කිරියෙන් පැණියෙන් ඉතිරෙන‘ ප්‍රාර්ථනයේ හැඟවුම ද මේ ආර්ථික සශ්‍රීකත්වයයි.

ආර්ථිකය හා ඒ ඉලක්ක හා බැඳුණු දේශපාලනය වෙනස් වීමත් සමග රට වඩාත් සුඛිත තත්වයක් වෙත ළඟා වනු ඇතැයි යන ‘බ්‍රේස්ලට් සිහින‘ හා/හෝ ‘ආසියාවේ ආශ්චර්ය‘ දැක්මවල් අප සිත් තුළ සාමූහික චින්තන ස්වරූපයක් ලෙස පැලපදියම් වූයේ කවරදා පටන් ද? මේ ‘සිහින-ආශ්චර්ය‘ දෘෂ්ටීන් හමුවේ අපට මග හැරී ඇති කලාපයන් මොනවා ද? සැබවින්ම මේ ඉලක්ක ළඟා කර ගත හැකි ද? අප දිනාගන්නට කැමති අනාගත දේශයේ තත්වයන් දැනටමත් දිනාගෙන ඇති රාජ්‍යය සිංගප්පූරුව නම් ඔවුන් අද ඔවුන්ගේ රාජ්‍යයේ තත්වය ගැන සිතන්නේ කුමක් ද? සැබෑ දියුණුව සෙසු රවටලට නොදෙවනි තුංග ගොඩනැගිලිවලින් පිරි නගර හා ආර්ථිකය නගා සිටවූ රාජ්‍යයක් ද නොඑසේනම්, දියුණු මානව සංවර්ධනයක් සහිත රාජ්‍යයක් ද?

නව වසර එළඹෙන මොහොතේ සිංගප්පූරුව අතහැර කොස්ටාරිකාව දෙස හැරී බලමු යැයි මම ඔබට යෝජනා කරන්නට කැමැත්තෙමි. නගර - රාජ්‍යයක් වන සිංගප්පූරුව බොහෝ කලාපවලින් ආසියාවේ මධ්‍යස්ථානයක් බවට පත් වෙමින්, පළවෙනි ලෝකයට අයත් රාජ්‍යයක් බවට පත් වෙමින් තිබිය දී, දූපත් රාජ්‍යයක් නොවූවත්, රටේ නැගෙනහිරින් සහ බටහිරින් මුහුදින් සීමාවන රාජ්‍යයක් වන, වර්ග කිලෝ මීටර 51,060ක භූමි ප්‍රමාණයකින් හා මිලියන 5ක පමණ ජන සංඛ්‍යාවකින් හෙබි ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන කොස්ටාරිකාව සියලු ලතින් ඇමරිකානු රාජ්‍යයන් අභිබවා ගිය මානව සංවර්ධන දර්ශකයන් සමගින් කලාපීය සටහනෙහි ඉහළින්ම සිය රාජ්‍ය නාමය සටහන් කරගෙන සිටියි. අපූර්වත්වය එය නොවේ. ලොව දියුණුම හා ආර්ථික වශයෙන් බලවත්ම රටවල්වල ජනතාව අතරට පමණක් පැමිණිය හැකි යැයි බැලූ බැල්මට පෙනෙන වඩාත් සතුටින්ම ජීවත්වන පුරවැසියන්ගෙන් සමන්විත රාජ්‍ය ලැයිස්තුවේ ඉහළම අංකයක් කොස්ටරිකාවට හිමිව තිබීමයි. යුරෝපීය, උතුරු ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු නාම අතර ඇති එකම ලතින් ඇමරිකානු රාජ්‍ය නාමය කොස්ටරිකාවයි.

කොස්ටරිකාව මේ පෙරළිකාර ඉදිරි ගමන පැමිණ ඇති ආකාරය විමසමින් ස්වයං විවේචනාත්මකව අපේ ‘කිරියෙන් පැණියෙන් ඉතිරෙන‘ අනාගත පැතුම් දෙස විමසන්නට මම ඔබට ආරාධනා කරනු කැමැත්තෙමි. සමකාසන්න රාජ්‍යයක් වන කොස්ටරිකාව 2021 වන විට පූර්ණ වශයෙන් ප්ලාස්ටික්වලින් සහ කාබන්වලින් නිදහස් රාජ්‍යයක් වීමට සූදානම් බවට තොරතුරු එම සෙවීම දී ඔබට හමුවනු ඇත. කෘෂිකර්මාන්තය ද පෙරමුණේ තබමින් වඩාත් ඵලදායී කාර්මික නිෂ්පාදන කරා එළඹ වාර්ෂිකව දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන ගණනින් ඉහළ නංවා ගන්නා එම රාජ්‍යය, ස්වකීය වන ගහනය, පරිසරය, ජෛව විවිධත්වය යනාදිය ගැන දැඩිව අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය දෙස අවධානය යොමු කර ඇති අයුරු ද හඳුනාගනු ඇත.

දැන් අපිට අපේ 2025 හෝ 2030 තිරසාර සංවර්ධන ඉලක්කවල මේ කලාප වෙත අවධානයන් දක්වමින් ප්‍රති තර්ක ගොණු කළ හැකි ය. යටකී ‘සංවර්ධන ඉලක්ක‘ සාක්ෂාත් කරගැනීමට අප ද පිඹුරුපත් සකසා අවසන් බව ද, ලෝක සංවිධාන හා ආර්ථික සහයෝගිතාකරුවන් ඒ පිළිගෙන ඇති බව ද දැක්විය හැකි ය. එහෙත්, අපි අපේ ඉලක්ක කරා ගමන් කරන්නේ කා සමගින් ද? ඒ ඉලක්ක ඉටු කරගන්නට, යථාවාදී අයුරින් ඒ සඳහා තරග වදින්නට අපේ පුරවැසි ප්‍රජාව සූදානම් ද?

අප අතහැර ඇති, කොස්ටරිකාව වැඩිම අවධානය දී ඇති කලාපයන් වෙත අපේ අවධානය යොමු වනු ඇත්තේ මේ සාකච්ඡාව ආරම්භ කළ පසු ය. 4.4%ක් වන ලෝක සාමාන්‍ය අගය පරයමින් 6.9%ක දළ ජාතික නිෂ්පාදිත අගයක් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති කොස්ටාරිකාව වඩාත් සබුද්ධික පුරවැසි ප්‍රජාවක් සමග, ගැඹුරු සාමූහික විඥාණයක්, සාමූහික පරිකල්පනයක් සහිතව අනාගත සිහින වෙත එළඹ ඇති බව ය. කොස්ටරිකාව පොදු එකඟතාවක් මත සිය හමුදාව විසිරුවා හැර ඇති රාජ්‍යයකි. අනෙකා සැක කිරීම වෙනුවට අනෙකාට ආදරය කිරීම හා විශ්වාස කිරීම පිළිගෙන ඇති එරට පුරවැසියා යුද්ධය, ගැටුම, අර්බුදය පිළිබඳ වන භීතීන් සිය මනසින් පසෙක තබා ඇත. වඩාත් දියුණු සංස්කෘතික ක්‍රියා පිළිවෙත් වෙත යොමු වෙමින් මනසින් ද පොහොසත් ප්‍රජාවක් තනා ගනිමින් සිය පුරවැසි ප්‍රජාවේ මානසික සෞඛ්‍යය දියුණු තලයක් කරා රැගෙන විත් ඇත. සංතුෂ්ටිදායක ප්‍රජාවක් අනාගත සිහින වෙත වඩාත් කැමැත්තෙන් හා සාමූහිකව පිය ඔසවනු ඇති බව අපට උදාහරණ හමුවන්නේත්, අප ඒ හමුවේ වඩාත් පසුගාමී තැනක වන බව අපට පැහැදිලි වන්නේත් කොස්ටරිකාව විමසන විට ය.

අප සිංගප්පූරුව දකින්නේම එහි ඇති ආර්ථික පසුබිම පමණක් තේරුම් ගනිමිනි. ‘සල්ලි සියල්ල නොවන බව‘ වටහාගත් විගම අපට අපගේ අර්බුදයට පිළියම් සෙවිය යුතු මාර්ගය පසක් වනු ඇත. ටියුෂන් මුදලාලිලා වෙත දරුවන් තබමින්, තරග පිටියකට ඔවුන් ඇද දමමින්, සංස්කෘතික මිනිසා නසා, හමුදා කඳවුරු හා හමුදා පුහුණු ගැන විශ්වාස තබමින්, සැකයෙන් හා බියෙන් ගැහෙමින් අපට දිනාගත හැකි අභිවෘද්ධියක් නැත.

සංස්කෘතික ජීවිතය මුණගැසෙන, නැගිය හැකි නව වසරක් වේවා!

-ප්‍රියන්ත ෆොන්සේකා -  

Tuesday, January 1, 2019

සියල්ලෝ සතුටින් විසිර ගියෝ ද? : සමාජ දේශපාලනික ආඛ්‍යාන කියවීමට කලාව

(2018 දෙසැම්බර් 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

අවසානයේ සිදුවිය හැකි බිහිසුණුම දෙය සියල්ල යළි සාමාන්‍ය තත්වයට පත්වීම බව පසුගිය දිනවල සිදුවුණු දේශපාලනික අස්ථාවරතා සමයේ ධනංජය කරුණාරත්න සිය ෆේස්බුක් අඩවියේ ලියා තැබී ය. වැඩිදෙනෙකු සිනා මුහුණුවලින් සංග්‍රහ කොට තිබුණු ධනංජයගේ ප්‍රකාශය වඩාත් ගැඹුරින් සිතා බැලූ අයෙක් වී නම් එහි වන සිනහව ඉක්මවන ඛේදනීය තත්වය වටහා ගනු ඇත. මගේ මේ ආරාධනය ධනංජය මතු කරන කාරණයත් සමගම සිතමින් ‘අවසානය’ ලෙස අප වටහා ගන්නා ස්ථානය පිළිබඳව යළි සිතා බලන්නට එකතු වෙන ලෙස ය. කලාව ඇසුරෙහි දී වුව අප ‘කෙළවර වීම’ ලෙස වටහා ගන්නා තත්වය කෙතරම් දුරට අප යම් ආකෘතික සිතන්නකු බවට පත් කොට ඇත් ද යන්න පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට ය.

ඇමරිකානු හොලිවුඩ් මහා සිනමා සම්ප්‍රදාය තුළ තිර රචනා ‘ගුරු’ කෙනෙකු ලෙස ඉහළ තැනක තබා පිළිගන්නා සිඩ් ෆීල්ඩ් ‘හොඳ තිර රචනයක’ පැවතිය යුතු ගුණාංග රාශියක් පිළිබඳව සාකච්ඡා කරයි. ඔහුගේ ක්‍රමවේදයට අනුව ප්‍රේක්ෂකයා අතරමං නොකරන කතාවකට නිසි මුලක්, මැදක් හා අගක් තිබිය යුතු ය. නිසි චරිත සංවර්ධන රීතින් අනුව නැගුණු ප්‍රධාන චරිතයක් අදාල කතාව තුළ නිශ්චිතව මුණ ගැසෙන ‘දුෂ්ට චරිතය’ පරාජය කොට අග කොටස නියම කරන කාල සමය තුළ දීම සිය ජයග්‍රහණය වාර්තා කළ යුතු ය. ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂාගාරයෙන් නැගිට යා යුත්තේ සිතෙහි ඇති අපැහැදිලිතා සමගින් නොවේ. කතාව තුළ අප වර්ධනය කළ සියලුම අර්බුද සිනමා කෘතියේ අවසන් රූප රාමුවත් සමග විසඳී ගොස් සැහැල්ලු මනසකින් යුතු ප්‍රේක්ෂකයකු අසුනින් නැගී සිටිය යුතු ය!

සිඩ් ෆීල්ඩ් මේ යෝජනා කරන්නේ නැවුම්, පෙර නොවූ විරූ ආඛ්‍යාන ස්වරූපයක් නොවේ. ක්‍රි.පූ. 335 දී පමණ ඇරිස්ටෝටල් විසින් රචනා කරන ලදැයි සැළකෙන ‘කාව්‍ය ශාස්ත්‍රය’ නමැති ග්‍රන්ථය තුළ ඔහු යෝජනා කළ අඛ්‍යාන රචනා ක්‍රමවේදය තුළ වන යෝජනාවම ය. වසර දහස් ගණනක් තිස්සේ නාට්‍ය, සාහිත්‍ය ඈ ආඛ්‍යානය ප්‍රමුඛ කොටගත් ලේඛණයන් තුළත්, පසුකාලීනව එම රටාවන් ගුරු කොටගත් සිනමාව තුළත් යළි යළිත් ඉතා සුළු අපගමනයන් මධ්‍යයේ වුව මුණගැසෙන්නේ ඇරිස්ටෝටලියානු ක්‍රමවේදයම ය. සිඩ් ෆීල්ඩ් අනු දකින්නේ ද එයයි.

මෙම ක්‍රම රීතීන් වඩාත් ප්‍රබල ලෙස සිත්හි සටහන් වූ පසු අප තිරය, වේදිකාව ආදී ස්ථානවල දකින්නට වැඩිපුරම ආසා කරන්නේ ඉහත පරිදි සියල්ල පරදා ජය ලබන ‘වීරයකු’ මුණ ගැසෙන කතා ස්වරූපයන් ය; ඒ හා සමග සියළු ගැටළු විසඳී, සියල්ලෝ සතුටින් විසිර යන කතන්දර ය. මෙම ස්වරූපයන්හි ඇති සිත් ඇදගන්නා බව කොතරම් ද යත් ‘හොලිවුඩ් මහා සිනමාවට’ දැඩිව ආසක්ත වුණු පුද්ගලයන් අබිං කෑවුන් වැනියැයි වාමවාදී සිනමා විචාරකයකු වරෙක ලියා ඇත. එම රටාවම ඉල්ලීම ඇබ්බැහියකි. ‘අබිං කෑ පරිදි’ එම රටාවම විමසන අප අවසානයේ කතන්දර ලෙස විශ්වාස කරන්නේම එම ස්වරූපයන් පමණි.

මෙය සත්‍යයක් ද?

සැබවින්ම කලාතුරකින් හෝ ‘වීරයකු විසින් සියලු නරක පරාජය කරනු ලැබීම’ සිදු වීමට ඇති ඉඩ ඉතා අවම බව තත්‍ය ලෝකය බොහෝ උදාහරණ අප වෙත සපයා දී ඇත. වඩාත් පෙරටුගාමී කලා භාවිතයන් අප වෙත ගෙන එන්නේ ද ‘වීරයකු නැති’ මෙම ලෝක යථාවයි. නැතහොත්, ඊටත් වඩා, පරාජය කිරීමට අසීරු බිහිසුණු සහ ඛේදනීය දුෂ්ටත්වයන් සහ අමිහිරි තත්‍ය ලෝක ස්වභාවයයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඉතාලි, ප්‍රංශ ආදී සිනමාවන්, සංස්කෘතික විප්ලව සමයන්ගෙන් පසු ඉරාන සහ චීන රටවල සිනමාවන් මේ ආකාර ප්‍රතිවිරෝධී ආඛ්‍යාන අප වෙත තැබූ උදාහරණයන් ය. බ්‍රෙෂ්ට්, දාරියෝ ෆෝ, ඉයනෙස්කෝ සහ පින්ටර් වැනි නාට්‍යකරුවන් මේ ආකාර නාට්‍ය වේදිකා උදාහරණයන් අප වෙත තබා ඇත.

වඩා දියුණු කලා කෘති සේවනය කරන සමාජයක් සාදා ගැනීමෙහි ඇති වටිනාකම් රැස අතර මෙම ‘වීරයාගේ ජය’ පමණක් නොපතන බහුවිධ අවසානයන් වටහා ගැනීමේ තත්වය හමුවීම ද වෙයි. සැම මොහොතකම තබා කලාතුරකින් වුව වෘකයා පරාජය නොවන බව වටහා ගැනීම ජීවිතය, ඒ හා සමග බද්ධව පවතින සමාජ දේශපාලන දේහය වටහා ගැනීමටත්, එයට එරෙහිව ස්වකීය අරගලය වඩාත් දියුණු ලෙස ක්‍රියාත්මක කිරීමටත් සහාය දක්වනු ඇත. වඩා සබුද්ධික සමාජ ජීවියෙකු නිර්මාණය කර ගැනීමට උදව් දෙනු ඇත.

ධනංජයගේ ‘සිනහ කැඳවන සුළු’ පාඨය දෙස දැන් අපි නැවත හැරී බලමු. ඔහු කී පරිද්දෙන්ම දැන් යළි එලඹ ඇත්තේ සියල්ල සාමාන්‍ය වූ තත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමූ පාලකයින්ට අධිකරණය පාඩම් උගන්වා ඇත. වරදකරුවන් එය පිළිගෙන ඇත. ‘වැරදි’ භාවිතයන් සඳහා පෙළඹුණු පාලක කණ්ඩායම් ඉල්ලා අස්වී ගොසිනි. දැන්, ‘කූඨප්‍රාප්තියෙන් පසු’සියල්ල යහපත් තත්වයකට පැමිණ ඇත. ‘සිඩ් ෆීල්ඩියානු ක්‍රමවේදයට’ අනුව නම්, නැතිනම් ‘ඇරිස්ටෝටල්ට අනුව’ නම් මෙය ඉතා අනගි කතා ස්වරූපයකි. දුෂ්ටයා, වීරයා, ගැටුම ඈ සියල්ල එකහැරම හඳුනාගත හැකි තරමටම සියලු කරුණු පැහැදිලි ය!

නමුත් අප සමාජ දේශපාලන කලාපය දෙසත් ‘මහා සම්ප්‍රදාය අනුදකින හොලිවුඩය’ දෙස බලනායුරින් බලන සම්මත ආකාරය යළි විමසිය යුතු ය. අප මනස වෙත ස්ථිර කර දී ඇති ‘මහා සම්ප්‍රදාය’ විසින් ගොඩ නගා ඇති ආඛ්‍යාන ස්වරූපයේ ආකෘතිය බිඳ හෙළන්නට අප කටයුතු කළ යුතු ය. ‘වීරයා’ පිළිබඳ සම්මත ගොඩනැගීම හෝ ‘දුෂ්ටයා’ පිළිබඳ සම්මත ගොඩනැගීම පෙරමුණේ තබමින්, නොදැනුවත්ව වුව, අප කියවමින් පවතින ඒකාකෘතික රාමුගත ස්වරූපවලට ඔබ්බෙන් වන අපැහැදිලි අඩවි විමසීමට අප කටයුතු කළ යුතු ය.

සියල්ල යළි යථා තත්වයට එළඹීම, මහා සිනමාවේදී මෙන්ම, තත්‍ය ලෝකය තුළ දී ද අපි සැහැල්ලු විය හැකි අවස්ථාවක් ලෙස ගනිමු. පැහැදිලිව පෙනෙන ගැටුම කෙළවර වූ පසු දැන් එළඹ ඇත්තේ හුස්ම පහළ හෙළා සැහැල්ලු විය හැකි මොහොත බව අපි විශ්වාස කරමු. එහෙත් සිනමා තිර රාමුව හෝ ප්‍රොසීනියම් ආරුක්කුව හතරැස් ආකෘතියක බහා අප වෙත තෝරා බේරා ඉදිරිපත් කළ ආඛ්‍යානයක පරිද්දෙන් එය එවැනි සැහැල්ලුවකින් කෙළවර වන කතාංගයක් නොවේ. එය අනවරත ක්‍රියාදාමයකි; බහුවිධ අවසාන ඇති ගලායෑමකි; බහුමානීය දෘශ්ටිකෝණ ඇති කලාපයකි.

මුල, මැද සහ අග සහිත සම්මත මහා ආඛ්‍යානය ක්‍රමිකව සමාජය, දේශපාලනය මෙන්ම ජීවිතය ද ඒ ආකෘතික ස්වරූපය හරහාම වටහා ගන්නට අප පොළඹවන බව වටහා ගැනීමම වඩාත් නැවුම් හා වෙනස් ප්‍රවේශ ඔස්සේ සමාජ, දේශපාලන මෙන්ම පුද්ගලබද්ධ ලෝකයන් දෙසද පිවිස බැලීමේ අනගි දොරටුවක් විවර කර දෙන්නකි.

ඔව්! අපි අලුතෙන්ම, වෙනස් ව, බලමු!

-ප්‍රියන්ත ෆොන්සේකා -

Wednesday, December 19, 2018

හෙට දවස: ආදරයේ අනාගතය ද? ආත්මාරක්ෂාවේ අනාගතය ද?


(2018 දෙසැම්බර් 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

පාසැල් අවදියේ පටන් එකට උන් මිතුරෙකු කලකට පසු හමුවීමේ අවස්ථාව මෑතකදී මට ලැබිණ. පාසැල් සමයේත්, ඉන්පසු වසර කිහිපයකුත් ඉතා සමීපව ඇසුරු කළ මිතුරා, මගේ විශ්වවිද්‍යාල ගමනත්, ඔහුගේ රැකියාවත් විසින් ක්‍රමයෙන් දුරස් කරනු ලැබුව ද ඉඩ ලද විටක, ඉඳහිට මුණගැසෙමින් යළිත් මිතුදම් අලුත් කරගැනීමේ සිරිතක් අප අතර පැවතින. ඒ අයුරින් මෙවර ඔහු මට හමුවූයේ වසර ගණනක ඇවෑමෙනි. පෙර හමුවේ දී ළදරු පාසැල් අවදියේ වූ ඔහුගේ පුතු දැන් දොලොස් වැනි වියට ළඟා වෙමින් උන් අතර දියණිය ද පාසැල් ගමන ආරම්භ කොට තිබුණා ය. සතුටු සාමීචිය අතරතුර සිය පුතු ළඟට ගත් මා මිතුරා ඔහුගේ දස්කම් මවෙත පහදමින් මෙසේ කීවේ ය.

“දැං ඔරෙන්ජ් බෙල්ට් එකත් අරන් ඉන්නෙ. මෙහෙම හිටියට හොඳ ශක්තියක් තියෙනව. මාස්ටරුත් කැමතියි මෙයාට!“

පුතුගේ ආත්මාරක්ෂක සටන් කලාවේ දක්ෂතා ගැන මූලික පැහැදිලි කිරීමෙන් පසු ඔහු කීවේ, මේ ලිපියේ නිමිත්තට ද මා මෙහෙයවූ පහත ප්‍රකාශයයි.

“එන්න එන්නම රට අගාධෙට යනවනෙ මචං. ඉස්සරහට එන්නෙ මහ නරුම කාලයක්. අපිත් කොයි වෙලේ මැරෙයිද කවුද දන්නෙ. මුංට මෙහෙම දෙයක් උගන්නල තිබ්බම හිතට හොඳයි. අඩු තරමෙ නංගිව හරි බලාගනීනෙ!!“

මගේ මිතුරා තමන්ගේ මරණින් මතු සිය දරුවන්ගේ අනාගතය පිළිබඳව ද සිතා බලා තිබුණු අතර පිරිහෙන සමාජය හමුවේ ඔහු තෝරාගෙන තිබුණු පිළිවෙත නම් බාල දියණියගේ ද ආරක්ෂාව වෙනුවෙන් පුතුට කරාටේ උගැන්වීමයි!

ආත්මාරක්ෂාව පිණිස හෝ ඇතැම් විට ක්‍රීඩාවක් විලසින් හෝ සටන් කලාවන් ප්‍රගුණ කිරීම යහපත් ප්‍රවේශයකි. එහෙත් රටක අපැහැදිලි අනාගතය හමුවේ වඩාත් සුරක්ෂිතව ස්වකීය දරුවන්ගේ ආරක්ෂාව උදෙසා ඔවුන්ට ආත්මාරක්ෂක සටන් ප්‍රගුණ කරවීම පසුපස වන සමාජ දැක්ම කවරාකාරදැයි යළි විමසීම වටී. සමස්ථයක් ලෙස රටේ සමාජ විඥාණය ප්‍රකට කරවන මගේ මිතුරාගේ ක්‍රියාව හුදු පුද්ගලබද්ධ කලාපය ඉක්මවන කරුණක් බැවින් පොදු සාකච්ඡාවකට කැඳවීම වඩාත් උචිත බව මම කල්පනා කළෙමි.

මිතුරාටද පෙනී ගොස් ඇති පරිදි අපගේ රටේ ඉදිරි අනාගතය සුභ සිහින දකින්නට අවකාශ අවම වපසරියක් බව පැහැදිලි ය. මූලිකව දේශපාලනඥයින්ට වගකීම පවරා හිත හදාගන්නට බොහෝ පිරිසක් කල්පනා කළත් පුරවැසියන් ලෙස ඒ පිළිබඳ අප සියල්ල තුළ වන පොදු වගකීම ඉන් ඔබ්බෙහි පවතින්නක් බව මගේ යෝජනාවයි. ඒ කෙලෙසකින් ද?

පුරවැසියන් වඩාත් සබුද්ධික හා සංවේදී ප්‍රජාවක් බවට පත්වන්නට සියලු පසුබිම සළසන්නේ කුඩා අවදියේ පටන් ඔවුන් හමුවේ මුණගැසෙන සමාජ සංවිධාන පද්ධතියයි. මූලිකව ස්වකීය නිවස, දෙවනුව පාසැල, තෙවනුව ආගමිකස්ථානය සහ ඒ හා සමගාමීව ජන මාධ්‍යය යනාදී වශයෙන් මෙය අපිට ලේඛණගත කළ හැකි ය. මේ සියලු කුඩා සහ විශාල, සාපේක්ෂව පෞද්ගලික හා පොදු සංවිධාන මූලිකව පුරවැසියා යනු කවරකු ලෙස විග්‍රහ කොට ඇත් ද?

තරමක් විතැන් වූ අඩවි ඉඳහිට හමුවිය හැකි වෙතත්, දරුවන්ගේ ළමා අවදිය ගෙවෙන්නට සළස්වන ආකාරය දෙස විමසා බලන විට පවුල තුළ දරුවා පිහිටුවන ආකාරය හඳුනාගැනීම අපහසු නැත. දරුවන් සිය නව යොවුන් වියට පිවිසෙන්නේම අති වෙහෙසකර, ස්වකීය අවශ්‍යතාවට ඔබ්බෙන් වූ, (ශිෂ්‍යත්ව) තරග විභාග මානසිකත්වයක් සමග ය. ඇතැම් විට අනෙකා නොතකා දිවීමෙන් ලද ජයෙන් උද්දාමයට පත්වීමෙන් ඔද්දල් වූ හෝ දැඩි වෙහෙසකින් පසු ලද පරාජයකින් බිඳවැටීමෙන් වේදනාවට පත් වූ හෝ මනසක් එම දරුවන්ගේ උරුමය වී ඇතුවාට සැක නැත. සමානව පාසැල් ද ජයග්‍රාහකයින්ගේ මුහුණු සිය තාප්පවල ගසා, පරාජිතයින් යළි යළිත් ආන්තික සීමා වෙතම තල්ලු කර හරිමින් යට කී පවුල හමුවේ ආරම්භ වුණු තත්වයන් තව දුරටත් පෝෂණය කරයි. දරුවන් හමුවේ පාසැලත් මාධ්‍යයත් ඇතුළු සියලු කලාප ඉන් ඉදිරියට මුණ ගස්වන්නේ තරගයයි. කිසිදු සීමා මායිමක් (හෝ ප්‍රමිති සහතිකයක්) නොමැති ටියුෂන් පන්ති, තරගකාරීත්වයේ මූලික අදහස හෝ මුණ නොගස්වන, ජයම පමණක් ලැබිය යුතු බව සඳහන් වන ක්‍රීඩා, රියැලිටි තරග ඇතුළු මෙකී නොකී සියල්ල නිදහස් සිතුවිල්ලෙන් සපිරි, විවේක බුද්ධියෙන් ස්වකීය මනස මෙහෙයවන්නට සමත් පුරවැසියකු නිර්මාණය කරනු වෙනුවට, වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු ඈ, කරණීය තර්කනයෙන් යුතු, එනම් වඩාත් ඉහළ ආදායමක් ලැබිය හැකි රැකියාවක් සඳහා ඉලක්ක කරගත් තරග මානසිකත්වයකින් පමණක් හෙබි මනුෂ්‍ය ප්‍රාණියකු නිර්මාණය කෙරෙනු ලබයි. වෛද්‍ය හෝ ඉංජිනේරු ආදී වෘත්තීන් මෙහිලා අව තක්සේරු කිරීමට මා අදහස් නොකළත් එම අඩවි කරා යන වැඩි පිරිසකගේ (හෝ දෙමව්පියන්ගේ) මූලික ඉලක්කය වඩාත් තිරසාර ආදයමක් හා ‘හොඳ ජීවන තත්වයක් සහ පිළිගැනීමක්‘ මිස සමාජ පුරවැසියකු ලෙස සිය සක්‍රීය දායකත්වය රට හමුවේ තැබීම නොවන බව හඳුනාගැනීම අපහසු නැත.

දිගින් දිගටම මග හැරෙන සංවේදී සහ සංස්කෘතික මිනිසා බිහි කිරීමේ ක්‍රියාදාමය පාසැලේ පටන් ආගමිකස්ථානය හා ජන මාධ්‍යය යනාදිය හරහා යළි යළිත් අමතකව යද්දී හෝ අමතක කෙරෙද්දී ඒ වෙනුවට අපට නිරතුරුව මුණගස්වන්නේ අධික වේගයකින් දිවයන, තරගයම ජය සඳහා එකම මාවත ලෙස දකින, සාහිත්‍යය, කලාව, සෞන්දර්යය ආදී කලාප මග හැර දමන ඒකාකෘතික මිනිසකු බිහි කිරීමේ යාන්ත්‍රණයකි. බිඳ වැටීම් හමුවේ දිවි නැසීම හෝ නසා ගැනීම පිළිතුර වීම එවන් ඒකාකෘතික මිනිසකු හමුවේ අවසන් පිළිතුර වීම වටහා ගැනීමට මනෝ විද්‍යාවේ කෙළ පැමිණි ප්‍රාඥයකුගේ විමසීම් අත්‍යාවශ්‍ය නැත. ඉදින්, එවැනි කලාපයක දී ස්වකීය ආත්මාරක්ෂාව සඳහා දරුවකු කරාටේ ප්‍රගුණ කළ යුතු බවට මගේ මිතුරා (හෝ සමාන පුරවැසියා) සිතීම අරුමයක් නොවේ.

එහෙත් වඩාත් ඉදිරිගාමී සිතීමකදී මෙය තව දුරටත් අප අර්බුදය තුළම සිරකිරීම සිදු කරන බව වටහාගැනීම අසීරු නැත. අපගේ දරුවාගේ කරාටේ පහරට ලක් වන අනාගත අනෙකා කවු ද? ඔහු අපේ දරුවාගේ පහර ඉවසමින් පසෙකට වෙයි ද? ඔහු අත කරාටේ සටන් කලාව ප්‍රගුණ කළ කවරෙකු හෝ නැසිය හැකි අවියක් නොපැවතීමේ සම්භාවිතාව කුමක් ද? එය භාවිත කිරීමට හෝ නොකිරීමට ඔහු තුළ ඇති ඉවසීමේ සීමාව අප හඳුනාගන්නේ කෙසේ ද?

මෙම ප්‍රශ්න මාලාව තව දුරටත් දිගු කළ හැකි වුවත්, මාගේ මූලික තර්කය වටහා ගැනීමට ඔබ සමත්ව ඇතැයි මම සිතමි. අසීරු වුවත් අප වහා තෝරාගත යුත්තේ අනෙත් මාර්ගයයි!

කිසිදු අයුරකින් සමාජයේ සෙසු පුරවැසියන් ප්‍රතිවාදීන් ලෙස නොදකින සමාජයක් නිර්මාණය කිරීම, මානව පැවැත්ම අගයන, අනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීම එම මාර්ගයයි. ඒ සඳහා සමාජ ඇගයුම් හා ප්‍රතිමාන ලෙස අප හඳුනාගෙන ඇති දේ යළි විමසමින්, අධ්‍යාපනය, සන්නිවේදනය, ආගම ආදිය වඩාත් දියුණු පුරවැසි සමාජයක් නිර්මාණය කිරීම සඳහා භාවිත කළ හැකි ස්වරූප විමසා බැලිය යුතු ය. සාමූහික විඥාණය යන්නෙහි අරුත පුළුල්ව විමසමින්, සාමූහික වගකීම් හා වගවීම් පිළිබඳ සාකච්ඡාව අරඹමින් අපට මෙම කටයුත්තට මුල් පියවර තැබිය හැකි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

 සේයාරුව: https://i1.wp.com/www.budo-inochi.com