Monday, January 5, 2015

‘පෙත්තප්පු බත් කෑව ද?‘: මොහාන් සමරනායකට සාහසික නැති ප්‍රශ්නයක්


“ධම්මගෙන් අහපු හැම ප්‍රශ්නයක්ම සාහසිකයි!“

දීර්ඝ වාදයක් කෙළවර දී, දැඩි ආවේගයකින් මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපති උපදේශකයකු වූ මොහාන් සමරනායක නැමැත්තෙකි. සිරස රූපවාහිනියේ මේ දිනවල ප්‍රචාරය වන ‘සටන‘ දේශපාලන සංවාදය තුළ දී දිගින් දිගටම මාධ්‍යවේදීන් විසින් ධම්ම දිසානායක නැමැත්තෙකුගෙන් ප්‍රශ්න ඇසීම ඔහුගේ ජුවල් යාමට හේතු වී තිබිණි. මාධ්‍ය ආචාරධර්ම සිහි කරමින් චන්දන සූරියබණ්ඩාර ප්‍රමුඛ සිරස කණ්ඩායමට ‘රිඹ යන්නට නෙළූ‘ සමරනායක නැමැත්තා අවසානයේ ජයග්‍රාහී ලෙස ඉහත ප්‍රකාශය සිදු කළේ ‘සාහසික එක් ප්‍රශ්නයක් හෝ පෙන්වා දෙන්නැයි‘ චන්දන සූරියබණ්ඩාර ඇසූ විට ය. ඒ හා සමග සමරනායකලා සමග පැමිණි හුරේ දමන කණ්ඩායම ජයග්‍රාහී අත්පුඩියකින් සිය ‘වීරයාට‘ ප්‍රශංසා කළ හ.

මේ මොහාන් සමරනායක කවුද?

දශක දෙකකට පමණ පෙර සෙනසුරාදා හෝ ඉරිදා උදෑසනවල දේශපාලන විග්‍රහයත් රැගෙන මොහාන් සමරනායක කෙනෙක් ජාතික රූපවාහිනියෙන් අපේ ආලින්දයට ගොඩ විය. දේශීය හා විදේශීය දේශපාලන භූමියේ තොරතුරු ඉතා ව්‍යක්ත ලෙස පහදා දුන් ඔහු ඒ පිළිබඳ ස්වකීය විග්‍රහය අපූර්ව ලෙස ගොඩ නැංවී ය. ඔහුගේ විග්‍රහයන්හි ඇති දේශපාලනික කියැවීම පිළිබඳ ඇතමකු ප්‍රශ්න නැගිය වුවත් ඒ විග්‍රහය තුළින් ලෝකය ගැනත්, දේශය ගැනත් දේශපාලනික ඇසකින් බැලීමේ වපසරිය ඔහු පුළුල් කර දුන්නේ ය. එදිනෙදා ලෝකය තුළ අප දේශපාලනිකව විමසා බැලිය යුතු කරුණු කාරණා පිළිබඳ එම සමරනායක පෙන්වා දුන් මාර්ගය සරල නොවී ය.

එහෙත් එදා සටන වැඩ සටහනේදී අප දුටු මොහාන් සමරනායක ඒ මොහාන් සමරනායක නොවේ.

ජාතික රූපවාහිනියේ දේශපාලන විග්‍රහය ගෙන ආ මොහාන් සමරනායක හිටිවනම අතුරුදහන් විය. සති අන්තයේ රූපවාහිනිය ඉදිරිපිටට ආ පුරවැසියන් නන්නත්තාර විය. ඔහුට සිදුවුණු දෙයක්, එනම් දේශපාලන විග්‍රහයන් ගෙන ආ මොහාන් සමරනායකට සිදුවූ දෙයක්, ආරංචි වූයේ නැත. ඒ වෙනුවට ආරංචි වන්නට පටන් ගත්තේ ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස මොහාන් සමරනායක නැමැත්තකු පත්ව ආ බව ය. කලින් මොහාන් සමරනායක කී දේශපාලන කතාන්දරවල හැටියට ඔහු ආණ්ඩුවේ හොරණෑවකැයි ලේබලය වැදුණු ආයතනයක සභාපතිකම භාරගත නොහැකි බැවින් මුල් සමරනායකට සිදුවුණු දෙයක් ගැන ආරංචියක් නැති සොවින් සැවොම උකටලීව උන් හ. ජාතික රූපවාහිනිය තිබුණු තත්වයටත් වඩා අන්තයටම පිරිහෙන්නට පටන් ගත් බැවින් කලින් මොහාන් සමරනායක ඇත්තටම අතුරුදහන් වී ඇති බවත් මේ නව මොහාන් සමරනායක නැමැත්තා ඒ හැටි දැනුමක් තිබිය නොහැක්කෙක් බවත් සැවොම තේරුම් ගනිමින් උන් හ.

දෙවනුව ආ මොහාන් සමරනායක පසුකලෙක සභාපතිකමින් අස්වී ජනාධිපති උපදේශකකමකට ගිය බව ඔය අතර මාධ්‍ය වාර්තා කළේ ය. ඔහු සුදු ද, කළු ද යන්න හොයාගන්නට අපට ඒ හැටි ඉඩක් නොලැබෙමින් තිබෙන විට හදිසියේම ජනාධිපතිවරණයක් කඩාපාත් විය. මේ අලුත් මොහාන් සමරනායක අපේ නෙත හමුවට හොඳාකාරවම ප්‍රාදූර්භූත වන්නේ ඒ හදිසි කඩාපාත්වීමට පසුව ය. ඒ හදිසි ජනාධිපතිවරණය කැඳවූ ජනාධිපතිටම ඒ කැඳවීම ‘බූමරංග‘ වී ඇති බව පෙනෙන්නට ගත් මොහොතින් අනතුරුව ය.

දෙබිඩ්ඩෝ

‘තාරාවෝ ඉගිලෙති‘ නාට්‍යයේ සිංගප්පූරුවේ අතරමං වූ සොයුරා සොයායන නිවුන් සොයුරා තරම්මත්, දෙබිඩ්ඩෝ නාට්‍යයේ ප්ලාස්ටික් සැත්කමින් පසු ධනවතාට සමාන මුහුණුවර ගත් කම්කරුවා තරම්මත්, මේ අලුත් මොහාන් සමරනායකගේ මුහුණ පරණ මොහාන් සමරනායකට සමාන ය. ඇඟ කිළිපොලා යන සමානකමකින් යුක්ත ය. වඩාත් අරුමයට කරුණ නම් අලුත් සමරනායකගේ කතා විලාසය අතුරුදහන් වූ සමරනායකගේ විලාසයට දක්වන සමානකමයි. පරණ තැනැත්තා යළි පැමිණියහොත් ඔහු මේ සමානකම දැක, කම්පනයට පත්ව සිහි මූර්ජා වනු නිසැක ය.

එහෙත් සටන සංවාදයේ සමරනායක සම්බන්ධ වුණු වැඩ සටහන් බලන්නෙකුට මේ රූපමය හා කතා විලාසමය ‘හොර‘ සමරනායකගේ වංචාව අල්ලා ගැනීම අපහසු නැත. අලුත් තැනැත්තා එක් වැඩසටහනකට කිලෝ 80ක් බර විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු සමග පැමිණ කතා කළ වචන පෙර ඔහු එතරම් මුවට නැංවූ වචන නොවේ. ඔහු එහිදී නිතර නිතර කිව්වේ, ලක්ෂ එක හමාරක විතර සොච්චම් බිලක් සිය නිවසේ විදුලි බිල ලෙස ගෙවන, නිවාස ඇමති වීරවංශ කියන වචන ය. ‘බටහිර කුමන්ත්‍රණ, විදේශ බලවේග, අධිරාජ්‍යවාදය‘ ඇතුළු වචන හා ඒ සිහි කැඳවන උපමා-රූප එහි තිබිණි. මුල් මොහාන් සමරනායක මෙවැනි වචනයක් යෙදූ තැනකදී ඒ යෙදීමට හේතුව ඉතා පැහැදිලිව වර නගා දුන් නමුත් පසු ‘සමරූපිකයා‘ එය ඉටු කළේ නැත. අවසානයේ සිරසේ සූරියබණ්ඩාරට සාහසික ප්‍රශ්න පිළිබඳ අර්ථ ගැන්වීම ඉදිරිපත් කළේ මේ ‘වීරවංශ මොඩල‘ වචන සමග ආ මොහාන් සමරනායකම ය.

‘සාහසික‘ හා ‘හුරතල්‘ ප්‍රශ්න

සාහසික ප්‍රශ්න තිබේ. යමෙකුගෙන් “උඹ මිනියක් මැරුවා නේද?“ ආකාරයේ ප්‍රශ්නයක් ඇසීම අන්තිම සාහසික ය. ඒ සඳහා වන පිළිතුර මත ඔහුගේ ජීවිතයේ අනාගතයම තීරණය කරනා බැවිණි. ධම්ම දිසානායක නැමැත්තාගෙන් (මේ ද අතීත මොහාන් සමරනායක මෙන්ම අතුරුදහන් වී ගිය ධම්ම දිසානායකගෙන් පසු මතුවුණු ‘සමරූපිකයෙකි‘.) සිරස ඇසූ ප්‍රශ්න ඔහුට හෝ මොහාන් සමරනායකට ඒ ආකාරයට දැණුනා විය හැකි ය. අප දුටුවේ නම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු වූ ධම්ම දිසානායකගෙන් ඒ ආයතනයට සිදු කළ හෝ කරන්නට නියමිත බඳවා ගැනීම් සම්බන්ධ ප්‍රශ්න වැලකි. ඒ ප්‍රශ්න වැල සාහසික වන්නේ ඒ හා බැඳුණු ක්‍රියාදාම හෙළිදරව් වීම මිනීමැරුමක් හෙළි වීම තරම්ම දිසානායකගේ ජීවිතයට බලපෑමක් කරන්නේ නම් ය. ඒ හා සමග ඔහුගේ ආයතනයටත්, රජයටත් බලපෑමක් කරන්නේ නම් ය. නමුත් පොදු සමාජයට බලවත් යහපතක් ලැබෙන්නේ නම් ඒ ‘සාහසික‘ ප්‍රශ්න ඇසිය යුතුම ය!

මොහාන් සමරනායකලා අසතුටු වුණ, ඔවුන් ‘කිච‘ වීමට ඉඩ ඇති මෙම සාහසික ප්‍රශ්න වෙනුවට ඉතා අහිංසක හුරතල් ප්‍රශ්න ඇසිය යුතු බව ඔවුනගේ සභාපතිත්වය යටතේ පැවති ජාතික රූපවාහිනිය හා නැදෑකම් ඇති ස්වාධීන රූපවාහිනිය බලන අයට හිතෙනු ඇත. ඒ දේශපාලන වැඩසටහන්වලදී අසන ‘පෙත්තො බත් කෑවද?‘ වැනි ප්‍රශ්න කොතරම් ‘හුරතල්‘ද යත් ‘පෙත්ත බත් කෑවා‘ කියා පිළිතුරු දෙන්නාට කිව හැකි ය. ප්‍රශ්න අසන්නා එවැනි වැඩ සටහන්වලදී කිසි විටෙක පිළිතුරු දෙන සමරනායකලාට දිසානායකලාට කරදර කරන්නේ නැත. යමක් කියා ගන්නට බැරිව වචන හිර වද්දී ‘අනංමනං‘ තවත් අසන්නේ නැත. කොටිම්ම ඒ ගොල්ලන්ට කරදරයක් විය හැකි බව කලින්ම සිතා විරුද්ධ මතයක් ඇති කිසිදු එකෙකු පැත්ත පළාතේ ගෙන්නන්නේ ද නැත. සමරනායකලාට ‘සාහසික‘ විය හැකි කිසිදු පසුබිමක් සාදන්නේ නැත.

බත් කන පෙත්තප්පුලා

සිරසට පැමිණ, සාහසික ප්‍රශ්න ගැන කියා, ජනමාධ්‍ය ආචාර ධර්ම හා න්‍යාය මතක් කර සූරියබණ්ඩාරට උන් හිටි තැන් නැති වෙන්න බැටේ දුන්නේ ජාතික හා ස්වාධීන නාලිකාවල වැඩ සටහන්වල හරිම සුපේෂලව කතා කරන අලුත් මොහාන් සමරනායක ය. ඔහු අතුරුදහන් වූ දේශපාලන විශ්ලේෂකයා නොව ‘බත් කන පෙත්තප්පු‘ කෙනෙකි. ඔහු කියූ සාහසික වචනයේ තේරුමවත් ඔහු නොදන්නවාට සැක නැත. නැතිනම් කොතැනදී නැතත් ‘සාහසික‘ යන්න නිරතුරුව කියැවුණු හලාවත ධීවර ඝාතනය, කටුනායක නිදහස් වෙළඳ කලාප ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය, රතුපස්වල ඝාතන වැනි තැන්වලදීවත් ඔහුට එය සිහියට එන්නට ඉඩ තිබිණි. ඒ දවස්වල ශිශිර නිද්‍රාවක සිටියේ නම් අවදියෙන් සිටින මේ දිනවල දී කලාකරු ජයතිලක බණ්ඩාරට සාහසික ලෙස දෙවරක් පහර දෙන විට, තරුණ කලාකරුවන්ට සාහසික ලෙස පහර දෙන විට, විරුද්ධ පක්ෂයේ රැස්වීම්වලට, ඡන්ද කාර්යාලවලට, ආධාරකරුවන්ට සාහසික ලෙස පහර පිට පහර දෙන විට ඒ වචනාර්ථය සිහිවන්නට ඉඩ තිබිණි. එහෙම වුණේ නැත.

ඔහුට සාහසික වුණේ ‘සමරූපික සංගමයේ‘ ගමන් සගයා වෙත එල්ල වුණු, ජනතාවට දැන ගැනීමට අයිතියක් ඇති දෙයක් ගැන ඇසූ ප්‍රශ්න ය. වෙඩි උණ්ඩ නොවේ. මරණ නොවේ. තුවාල නොවේ. වේදනා නොවේ. කඳුළු නොවේ. වෙන කිසියම්ම හෝ දෙයක් නොවේ.

හිටපු මොහාන් සමරනායක නැත්තටම නැතිවී ගොස් ය. අපි මේ නව ‘සමරූපිකයා‘ගෙන් අහිංසක ප්‍රශ්නයක් අසමු.

“පෙත්තප්පු බත් කෑව ද?“



-ප්‍රියන්ත ෆොන්සේකා - 

Image : http://classroomclipart.com/images/gallery/Clipart/Animals/Bird_Clipart/green-parrot-in-gold-cage.jpg

Tuesday, July 1, 2014

සෙල්විලා හැරී බලා සිනාසෙන තෙක්: ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටය පිළිබඳ කෙටි ඇගයුමක්


ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය කරන්නට තවම සූදානමක් නැති, ප්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටය ජූනි මස 29 වැනිදා සිඩ්නි නුවර, කාසල් හිල් හි, ඉවෙන්ට් සිනමා ශාලාවේදී තිරගත කෙරිණි. මෙම කෙටි ඇගයුම එම සිනමා කෘතිය පිළිබඳව ය.

නිල් පැහැය සෞම්‍ය වර්ණයකි. රත් පැහැ රුධිරයෙන්, කහ, තැඹිලි වර්ණැති ගිනි දැල්ලෙන්, කළු, අඳුරු පැහැ භයංකාර රාත්‍රියෙන් එය බොහෝ දුරස්ථ ය. ඇස පෙලන දීප්තියක් නැති සෞම්‍ය නිල් පැහැය මුසු කඳු වළලු දෙස, මනාව විවර වුණු කවුළුවක් අසලට වී තේ කෝප්පයක් තොල ගාමින් ඔහේ බලා සිටින්නට පුළුවන. නිල් කඳු වැටිය සිසාරා පැතිරෙන මිහිදුම් රටා සෞම්‍ය දසුනෙහි අපූර්වත්වය තවත් ඉහළ නංවන විට, කවුළුව වෙතින් පසෙකට පිය මනින්නට අප නොසිතනු ඇත.

‘සරත්සිරි‘ගේ උකස් බඩු සාප්පුවේ ඉහළ මාලයේ ඇති ඔහුගේ කුඩා නවාතැනෙහි කවුළුව නිල් පැහැ කඳු වැටිය දෙස නෙත් යොමන්නට අපූරු පිවිසුම් දොරටුවකි. තනිකඩ සරත්සිරි, සිය සාප්පුවේ දොරගුළු හරින්නට පෙරත්, ටෙලිවිෂනයේ සිය ප්‍රියතම වැඩසටහන (ජෝන් සීනාගේ රෙස්ට්ලින් තරග) නොබලන මොහොතවලදීත් මේ කවුළුව අසලට වී ඔහුගේ අනාගත සිහිනය, නිල් -කොළ මිශ්‍ර පැහැයෙන් දිලෙන තේ වත්ත, දෙස බලා සිටියි. තේ වත්තේම ලැයිමකින් විත් ඔහුගේ අහර සරිකර දෙන තලතුනා ගැහැණිය ලක්ෂ්මි ‘කෑම සීතල වෙන‘ බව කීව ද මේ නිල් පැහැය දෙසින් ඔහු නෙත් පසෙකට ගන්නේ ඉතා සෙමිනි.

‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටය දිවෙන්නේ මෙම තේමාත්මක ‘සෞම්‍ය‘ නිල් පැහැය අප නෙත් ඉදිරියේ නිරතුරුව රඳවමිනි. සිය සත්වැනි සිනමා නිර්මාණය සමග අප හමුවට එන ප්‍රසන්න විතානගේ කෘතියෙහි ඇති සුසාධිත බව අතර වන එක් ප්‍රමුඛ සංඥාවක් ලෙස මෙම නිල් පැහැ තානය පවත්වා ගනියි. ප්‍රධාන චරිතද්වය වන සරත්සිරි සහ සෙල්වි දෙදෙනාගේ ඇඳුම්පැළඳුම්වලිනුත්, කවුළුවෙන් දකින කඳුකරයේ මනස්කාන්ත දර්ශනවලිනුත්, කුඩා උඩුමහල් නවාතැනේ අවකාශය අතරිනුත් යළි යළිත් නිල් පැහැ තාන අපට හමුවෙයි.

රතු, තැඹිලි, කහ වැනි දීප්තිමත් වර්ණ හමු නොවන කෘතියේ ඇරඹුම, ‘සරත්සිරි‘මෙන්ම, ඔහු උකස් බඩු සාප්පුව පවත්වාගෙන යන තේ වතු මැද පිහිටි කුඩා කඩ මණ්ඩිය මෙන්ම, නිශ්චල ය. සිය උකස් බඩු සාප්පුවේ යකඩ කූරු අතරින් දිගුවන එක්තරා සිහින් සුරතක් නිසා සරත්සිරිගේ මනස කැළඹුණ ද චිත්‍රපටය ඉන් පසුව වුව බොහෝ දුර ගලන්නේ නිසලව ය. ආසන්න දින කිහිපයක පැමිණ, කරාබු ජෝඩුව, කුඩා නාස් පළඳනාව ඇතුළු රන් අභරණ එකිනෙක මේ දැඩි යකඩ කූරු අතරින් දිගු කරන සුරත හිමි බුහුටි දමිළ තරුණිය කවුදැයි සරත්සිරි නිහඬව සොයා බලයි. ඇය පිටව ගිය වහාම දිවගොස් ඉහළ මාලයේ කවුළුව වෙතින්, සිය අනාගතය දකින කවුළුව වෙතින්, ඔහු ඇය සොයයි. අවසානයේ වැඩි කලබලයකින් තොරවම ඇය ගැන තොරතුරු ඔහුට දැනගන්නට ලැබේ.

ඇය සෙල්වි ය. යුධ සමයේ උතුරුකරයෙන් පැමිණ මෙහි නතර වුණු ඇය ‘උසස් කුල‘ දමිළ තරුණියකි. යුද්ධය නිමා වී තිබුණ ද, මාපියන් පිළිබඳ සඳහනක් නොමැති හෙයින් ඇයට යන්නට තැනක් නැත. යුද්ධය නිමාවන තෙක් ඇයට රැකවරණය දුන් වතුකරයේ කුඩා නිවසේ නිවැසියන්ට ඇය දැන් බරකි. ඔවුන් පෙළන දරිද්‍රතාව තවත් කුසක් පුරවන්නට තබා, සිරිත් පරිදි උදෑසන ඇය කරන ස්නානයට දිය බිඳ කිහිපයක් සපයන්නටවත් ශක්තියක් සපයා නොදේ. සෙල්විගේ රන් අභරණ එකිනෙක සරත්සිරිගේ උකස් සාප්පුවේ සේප්පුව තුළට වදින්නේ මේ අසරණකමින් ගැලවෙන්නට ඇය සිය අවසන් උත්සාහයන් දරන අතරතුර දී ය.

සෙල්විගේ රූමත් බව නිසාම ඇයට වටිනාකමක් හිමිවෙයි. කුසවල් පුරවාගන්නට බලා සිටින ළමා ලපැටියන් රැසක් සිටින නිවැසියන්ට බඩුමලු දෙකතුනක් ගෙනැවිත් දී සනසා සෙල්වි සරණ ගන්නට ‘නාකි හම්පඩ‘ මුදලාලියකු සැරසෙන බව සරත්සිරි දැනගන්නේ ලක්ෂ්මිගෙනි. දැඩි යකඩ කූරුවලට පහළින් වූ කුඩා කවුළුවෙන් දිගුවුණු සුරතටත්, යකඩ කූරු අතරින් අපහසුවෙන් සොයාගත් මුවැත්තියකගේ බඳු තැතිගත් අවිහිංසක ඇස්වලටත් පෙම් බඳින සරත්සිරි, සෙල්වි කුඩා ටෙලිවිෂන තිරයකින් පමණක් දැක තිබුණු දමිළ සිනමාවේ තිර වීරයකු වන ‘විජේ‘ මෙන් සුරුවිරුකම් නොපාම, සෙල්වි ගලවා ගනියි. ඇය විවාහ කොටගෙන සිය උකස් සාප්පුවේ උඩු මහල් නවාතැනට කැඳවාගෙන එයි. ‘සෞම්‍ය‘ නිල් පැහැය දෙස කවුළුව තුළින් බලා සිටින්නටත්, සිහින දකින්නටත් සෙල්විටත් අවස්ථාවක් උදා වේ.

උදෑසනම, සිරිත් පරිදි දියනා පිරිසුදුව දිනය පටන් ගන්නටත්, පෙරදිනක උකස් කරන්නට සැරසුණු ඔරසන් කියන්නට ගන්නා මාලය ගෙන පල්ලි යන්නටත් දැන් ඇයට ඉඩ ඇත. වියැකී ගිය මතක අතරින් අහුලාගත් නැටුමකින් කොටසක් නටමින් ලක්ෂ්මි සමග කෑම මේසය පිළියෙල කරන්නටත්, සිය සැමියාගේ මෝටර් සයිකලයේ පසුපස අසුනේ හිඳගෙන ‘විජේ‘ රඟන චිත්‍රපට සිනමා හලක තිරයේ බලන්නට යන්නටත් ඇයට බාධාවක් නැත. සැබවින්ම, කවුළුව තුළින් පෙනෙන කඳුවැටියේ සෞම්‍ය බව තරම්ම, බැලූ බැල්මටම, ඔවුන්ගේ ජීවිත ද සෞම්‍ය ය; නිල්වන් ය.

එහෙත් අතීත මතකයන් අතැර දමාවිත්, අනන්‍යතාවන් සඟවා තබමින් ජීවිතයේ ඉදිරිය දකින්නට, කවුළු අතරින් ‘සෞම්‍ය නිලැති‘ අනාගත සිහිනය දකින්නට සෙල්විටත්, සරත්සිරිටත් පහසු ද?

 “ ඔයාව දැකපු මුල්ම දවසේ ඉඳල මම ඔයාට ආදරය කළා.  මම ඉස්සෙල්ලම දැක්කෙ මේ ඇඟිලි... ඊට පස්සෙ මේ ඇස්...“

කියා සිය තරුණ බිරිඳ ඉදිරියේ පෙම් බස් කියා ඇය සනසන්නට සරත්සිරිටත්, යකඩ කූරු අතරින් සුරතලයට අත දිගු කොට, සිය සැමියාට විසුළු කොට දිවයන්නට සෙල්විටත් ඉඩක් ඇත් ද?

අනන්‍යතාව අහිමි වූ මිනිසුන්මෙන් සැඟව පලා යන්නට අප කිසිවකුට නොහැක. අනන්‍යතාවයෙහි සැඟවුණු මතකයන් අපගේ අල්මාරියේ රහසිගත ලාච්චුවක හෝ සැඟවී තිබෙන්නට, අප නොසිතන මොහොතක එය තවකකු ඇස ගැටෙන්නට නිරන්තර ඉඩක් ඇත. සඟවන්නට තැත් කළ ද මහා වංශික ඉතිහාසය විසින් උත්කර්ෂයට නගා සමාජගත කර අවසන් හෙයින් ‘ගාමිණී‘ නැමති ඓතිහාසික ‘විරු‘ නාමය ත්‍රීවීලරයක හෝ නැගීවිත් ඔබේ දොරටුව මුල බසිනු ඇත. සරත්සිරිටත්, සෙල්විටත් ගැලවීගත නොහැකි වන්නේ මේ යථාර්ථයෙනි.

‘ඔබ නැතුව ඔබ එක්ක‘ ප්‍රසන්නගේ පෙර සිනමා කෘතිවල පැවති කතෘ අනන්‍ය ලක්ෂණ ගණනාවක් පෙරට ගෙන එයි. එසේම ඔහුගේ පූර්ව කෘතිවලට ඔබ්බෙන් වුණු කාව්‍යාත්මක ස්වරයක් ද සංඥිත කරයි. වර්ණ තානයන් සමග කෘතියේ මුඛ්‍යාර්ථය සමරූප කොට පෙරට ගෙන යාම අතින් නව කෘතිය, ඔහුගේ ‘අනන්ත රාත්‍රිය‘ හා ‘පවුරු වළලු‘ සිහි ගන්වයි. උභතෝකෝටිකයකට මුහුණ දෙන ප්‍රධාන චරිත මුණ ගැසීම අතින් ‘සිසිල ගිනි ගනී‘ හි ‘ඇනට්‘, අනන්ත රාත්‍රියෙහි ‘සුවිසාල්‘, ‘පුරහඳෙහි‘ වන්නිහාමි, ‘පවුරු වළලු‘ හි ‘වයලට්‘ හා සමාන වටපිටාවක සෙල්වි‘ හා ‘සරත්සිරි‘ද රඳවයි. නිහඬ, මනා සුසංයෝගයකින් සැදුණු රූප රාමු ‘ආකාස කුසුම්‘ කෙළවර ප්‍රසන්න තබා ඇත්තේ ‘කොමාව‘ නැමති විරාම ලක්ෂණය පමණක් බව කියයි. අවමතාවාදී ගුණය (Minimalism) අතින් බොහෝ අපර කෘති ප්‍රති-ස්මරණය කරන්නට ආරාධනා කරයි. එහෙත් මෙහි හමුවන ‘කාව්‍යාත්මක‘ ස්වරූපය ගත් දෙබස අපට පෙරදී එතරම්ම හමු නොවූ ඒවා වේ. වන්නිහාමි, දුමින්ද, චමරි, වයලට්, පියුමි, සුවිසාල්, සන්ධ්‍යා රාණි කී දේවල් සිහි කරන විට සරත්සිරි හා සෙල්වි අතර සංවාද තරමක කාව්‍යාත්මක චමත්කාරයක් නංවන බව පෙනේ.

“ඇයි ඔයා මට මෙහෙම කළේ... ඔයා කැමති ඕනැම කෙනෙක් එක්ක ඔයාට යාළු වෙන්න තිබුණ... ඔයා එක සැරයක් හැරිල මා දිහා බලල හිනාවුණා නං...“

මේ කාව්‍යමය ගුණය සිනමා කෘතියේ හමුවන සෙල්වි-සරත්සිරි දෙදෙනාගේ ප්‍රේමය උත්තර තැනක ඔසවා තබයි. යමෙකුට, ඔව්... උවමනා නම්, කෘතියේ යටි පෙළින් ගලවාගෙන මේ මහරු පෙම රස විඳිය හැක. ඒ ඔහු ඇගේ පෙම කෙරෙහි දක්වන ගරුත්වයද දකිමිනි.

“ඔයාගෙ ආදරයට මං බය වුණා... මං නිශ්ශබ්ද වුණා....“

එහෙත්, යට කී ලෙසම, අනන්‍යතාවන් සඟවා සැඟව යන්නට, නිශ්ශබ්ද වන්නට අපට හැකියාවක් නැත. චිත්‍රපටයේ යටි පෙළ යෝජනා කරන අරුත එයයි. යුද්ධයක් කෙළවර වුණු විගස, රාජ්‍ය නායකයා සරලව කී පමණින්, ‘රාජ්‍යයට ආදරය කරන වැඩි කොටසක් හා ආදරය නොකරන සුළු කොටසක්‘ ලෙස සමස්ථ ජනවර්ග එකතුව අතිසරල බෙදුම් කඩනයකින් බෙදා සියල්ල අවසන් කිරීමට අපට හැකියාවක් නැත. ඒ ඒ ජනවර්ගයට, පුද්ගලයින්ට හිමිවුණු, අතීතයක් මුළුල්ලේ ගොඩ නැගුණු අනන්‍යතා රාශියකි. සංස්කෘතික පද්ධතීන් රාශියකි. ඒ සියල්ල තිබියදී කඩා වැටුණු යුද්ධය හා ගැටුම් අති ප්‍රබල ක්ෂිතීන් පමණක් ඉතිරි කොට වියැකී ගොසිනි.

සෙල්වි හා සරත්සිරි අමතක කරන්නට හා සඟවන්නට යත්න දරන අතීතය, නිහඬවී සඟවා තබන්නට යත්න දරන අතීතය සරල නැත. සොයුරන් දකුණේ හමුදාව අතින් මරණයට පත් වුණු, යුද්ධය නිමා වුවත් සිය මව පියා හමු නොවුණු සෙල්වි අති ප්‍රබල ක්ෂිතිමය අත්දැකීම් හා සංකාවන් කැටිකොටගත් තරුණියකි. ඇගේ සිහින ලොව තුළ දී ඇය තවමත් අම්මාට අඬ ගසයි. කොයි මොහොතක හෝ උතුරින් එන්නට ඉඩ ඇති ඇමතුමක් පිළිබඳ බලාපොරොත්තුවෙන් ඇය වෙත තබාගෙන උන් ජංගම දුරකථනය ඇය උකස් කරන්නට සිතන්නේ රන් අභරණ ද උකස් කොට අවසන් වුණු පසු ය.

උකස් බඩු සාප්පුවක් පවත්වාගෙන යමින් සිය අතීතය සඟවා තිබුණ ද සරත්සිරිගේ පිස්තෝලය තවමත් අල්මාරියේ රහස් ලාච්චුවේ ය. සිය බිරිඳ අත්හැර යතැයි සිතෙද්දී හඬා පාපොච්චාරණය කරන්නට සිතෙන තරම් බරක් සිත තුළ ය.

සමථකරණය ගැන පාලනය කෙතරම් වහසි බස් දෙඩුව ද මනස් අභ්‍යන්තරයෙහි සැඟවුණු භ්‍රාන්තියෙන් යම් පුද්ගලයකු ගලවාගෙන ඔහු හෝ ඇය යළි තත්‍ය ලොව තුළ පිහිටුවීම අති දුෂ්කර කටයුත්තකි. තිස්වසරකට ආසන්න කාලයක් අප මුහුණ දුන් සිවිල් යුද්ධයේ කම්පනය තවත් දිගු කලක් සැඟවී සෙල්විලාගේ සරත්සිරිලාගේ අල්මාරි ලාච්චුවලින් හෝ සිහිනවලින් හෝ මතුවනු ඇත. ඒ නැතිනම් ත්‍රීවීලරයක නැගී විත් දොරට තට්ටු කරනු ඇත.‘ඔබ නැතුව ඔබ එක්ක‘ මේ තත්‍ය ගැටළුව දෙස අපගේ අවධානය යොමු කරවයි.

සෙල්වි තුළත්, සරත්සිරි තුළත් එකිනෙකා වෙත දැනෙන උතුරන ප්‍රේමය පමණක් මේ අතීත භ්‍රාන්තියෙන් ගැලවී යන්නට ප්‍රමාණවත් නොවේ. ‘අපි ඉක්මණින් පැනගමු‘ කියා සරත්සිරි දිව යන්නේ උකස් සාප්පුව ද විකුණා ගත් මුදලින් ගුවන් ටිකට්පත් ගෙන සෙල්වි සමග ඉන්දියාවට පැනගන්නට ය. එහෙත් මේ සියල්ලෙන් මිදී අපට පැන යා හැකි ද? කවුළුවෙන් එපිට දෘශ්‍යමානයේත්, නිවස තුළ බිත්ති පුරාත්, ඇඟලුමේත්  ඇතුළුව සෑම තැනම දකින්නට ලැබෙන, නිල් පැහැ සෞම්‍ය බවට ඔබ්බෙන් කුමක් සැඟව පවතී ද? අතීතයෙන් ගලන රත් පැහැ රුධිරය, කහ, තැඹිලි ගිනිදැල්, කළු පැහැ අඳුරු භංයකාරීත්වය සැඟව ගොස් පිටු දැකිය හැක්කක් ද?

සෙල්වි අවසානයේ අපගේ නෙත් හරවන්නේ එදෙසට ය.


-ප්‍රියන්ත ෆොන්සේකා-

සේයාරුව - http://jillmore.com/world-cinema/world-cinema-news/

Monday, June 16, 2014

ජූලිය එළඹෙමින් පවතී!


ජූලි මාසය එළඹෙමින් පවතියි. දිනවලින් නම් තවත් 15කි. ඉතිහාසය දන්නා අයෙකුට ජූලිය කෙතරම් බියකරුදැයි කියා දිය යුතු නැත. එහෙත් දන්නා ජූලියට වඩා බොහෝ නොදන්නා දේ ඒ ජූලියේ සිදුව ඇත. ඇතැම් දේ බියකරු ය. බොහෝ දේ වැදගත් ය. හැරී බලා විමසන්නකුට තේරුම් ගන්නට ඇති බොහෝ කරුණු ඒ මාසය තුළ සැඟව ඇත.

1926 ජූලි 17 වැනිදා සිලෝන් මෝනින් ලීඩර් පුවත්පත මෙවැන්නක් සටහන් කරයි.

“ලංකාවේ සුළුතර ජනකොටස් එකිනෙකා දෙස බලන්නේ සැකයෙනි. ඔවුන් අතර ඇති වෙනස්කම් අති මූලික ඒවා නොවේ යැයි සිතීම සාවද්‍ය ය. අවුරුදු සියයකට පෙර නම් එවැනි වෙනස්කම් තිබුණේ නැත. එම වෙනස්කම් මතු නොවූයේ දමිළයන්, පහතරට සිංහලයින් සහ උඩරට සිංහලයින් යන ජන කොටස් ඉංග්‍රීසින් විසින් පාලනය කරනු ලැබූ නිසා ය. එහෙත් ලංකාවේ ජනයා ආණ්ඩු බලය තමන් අතට ගැනීමට අවශ්‍ය වේ යැයි කතා කළ මොහොතේ පටන්ම, යටගැසී තිබුණු වෙනස්කම් ගිනි අඟුරු මෙන් මතු වී එන්නට පටන් ගැණුනි.“

ඒ ප්‍රකාශය ඉන් වසර 30කට පසු අගමැතිවරයා ලෙස බලයට පත් බණ්ඩාරනායකගේ ය. සුළුජාතික අයිතීන් ගැන අදහසක් තිබුණු බව පෙනෙන ඉහත කියමන කිවූ බණ්ඩාරනායක අගමැති වූ පසු චෙල්වනාගයම් සමග ගිවිසුමකට අත්සන් කළේ නැගෙන්නට ඉඩ තිබෙන බවට සංඥා දැල්වුණු අර්බුදයක් සමනය කරන්නට ය.

ගිවිසුම අත්සන් කළේ 1957 ජූලියේ ය! හරියටම කියනවා නම් ජූලි 27 වැනි දා ය.

ගිවිසුම ඉන් ටික දිනකට පසු ඉරා දමන්නට සිදු වූයේ පූජ්‍ය පක්ෂය මුල් කරගත් විපක්ෂය මහා විරෝධයක් ගොණු කළ නිසා ය. එය ඉරා දමමින් බණ්ඩාරනායක මෙසේ කීවේ ලු!

“ඔබ වහන්සේලා මෙයට විරුද්ධ නම් මා මෙය ඉරා දමන්නම්. නමුත් මෙය ඉරා දැමීම තුළ රටේ අනාගතයේ දී හානිකර ප්‍රතිඵල ඇතිවිය හැකි ය. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න“

භාෂාව, පුරවැසිභාවය, පාලන නියෝජනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ සෙවුණු යහපත් අදහස් ඉරී ගියේ ය. දෙවසරකට පසු, බණ්ඩාරනායක සිවුරු හැඳ ආ තැනැත්තෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.

වසර ගණනාවක් පුරා බලයේ සිටින පක්ෂ හා ද්‍රවිඩ නියෝජිතයින් සාකච්ඡා කරමින් හා යෝජනා ගෙනෙමින් ද, විරුද්ධ පක්ෂ ගෙනෙන සියල්ලට විරුද්ධ වෙමින්ද ගෙවිණි. වාමාංශිකයෝ පවා විටෙක ‘ඩඩ්ලිගෙ බඩේ -මසල වඩේ‘ කියමින් මහමග පෙළපාලි ගිය හ.

අවසන තවත් ජූලියක් එළැඹිණි. ඒ 1975 ජූලි මාසයයි.

1975 ජූලි 28 දින යාපනය නගරාධිපතිවරයාව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ප්‍රභාකරන් නැමති තරුණයකු විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි.

ජූලි මාස පසුවෙමින් යද්දී සුළු ජාතික අසහනයන් දැඩිව නැගෙමින් පවතින බව ද, සිය ජාතියේම වුව තම දැක්මට එරෙහි වන්නන් මරා දැමෙන යුගයක් එළඹෙමින් පවතින බව ද කිසිවකුට පෙනී ගියේ නැත.
අනතුරුව එළැඹියේ ජූලියට සූදානම් වීමේ සමයයි.

ජූලිය එළඹෙන්නට මත්තෙන් 1981 ජූනියේදීම යාපන පුස්තකාලය ගිනි තැබීම ඇතුළු අති බිහිසුණු සංස්කෘතික විනාශයන් දකුණේ පාලනය විසින් සිදු කරන ලද්දේ ය. දමිළ තරුණයින් අත්අඩංගුවට ගැනීම, පහර දීම, මරා දැමීම වැනි දේ ද සිදුවෙමින් පැවතිණි.  ජූලියට පෙර සූදානම් හැමතින්ම පෙණිනි. අනතුරුව සියල්ලට පසු, බිහිසුණුම ජූලිය එළඹුණේ ය.

ඒ 1983 ජූලියයි.

ලේ වැකුණු රුධිරයේ වර්ණ වියැළි යන තෙක්ම රාජ්‍ය නායකයින් නෙත් පියා සිටි බැවින් එය රතු ජූලිය යැයි නම් නොලබා ‘කළු ජූලිය‘ යැයි නම ලද්දේ ය. උතුරේ දී හමුදා භටයින් 13ක් මරා දැමූ ද්‍රවිඩ සටන්කාමී සංවිධානයක් සමග ඇති වුණු කේන්තිය නිවා ගන්නට දකුණේ ජීවත් වුණු කිසිවක් නොදත් නිරායුධ සිවිල් වැසියන් දහස් ගණනක් මරා දැමිණි. දේපල විනාශ කෙරිණි. ස්ත්‍රීන් කෙළසිණි. බොහෝ දේ සිදුවිණි.

කළු ජූලිය උතුරට තිස්වසක යුද්ධයක් සපයා දුන්නේ ය. රටටම එහි විපාක ගෙනැවිත් දුන්නේ ය. වසර පහකින් දකුණේ තරුණ කැරැල්ලක් ඇති වන්නට පසු බිම ද සපයා දුන්නේ ය.

වේදනාව හා කළකිරීම නිසා රටින් පිටව ගිය අය බටහිර දෙසටත් නැගෙනහිර දෙසටත් පියාසර කළ හ. පිටව යෑමට ශක්තිය නැත්තෝ රටේ උතුරට ගොස් සංවිධාන හා එක් වූ හ. ඇතැමුන් යළි ලංකාව දෙස හැරී නොබැලූ මුත් වෛරය ඉතිරි වූ ඇතමෙක් උතුරේ සටනට ආධාර ද එවූ හ. ලක්ෂයකට නොඅඩු ජීවිත උතුරටද  දකුණටද අහිමි විය. යුද්ධය කෙළවර විය. කම්පන හා ක්ෂිතිමය අත්දැකීම් ඉතිරි විය.

අවස්ථාව සෙවූ ජේආර් රජය වමේ පක්ෂ තහනම් කළේ ය. බොහෝ පක්ෂ නිහඬව හිඳිද්දී ජවිපෙ සන්නද්ධ මාවත තෝරා ගත්තේ ය. ලක්ෂයකට ආසන්න ජීවිත අහිමි කරමින් හා නොමැකෙන කම්පනයන් පමණක් ඉතිරි කරමින් අරගලය කෙළවර විය.

ඒ සියල්ල ජූලි මාසයක හැරවුම් ලක්ෂය සාදා දුන් ප්‍රතිඵලයන් ය!!

ඒ අතර වසර ගණනක් තුළ හමුවුණු ජූලීන්වලද විවිධ දේ සිදු විය.

1987 ජූලියේ දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කෙරිණි.

ඉන්දීය හමුදාවන්ගේ පීඩනයන්ට උතුරේ සිවිල් වැසියන් මුහුණ දුන්නා මිස කිසිවකු දිනුවේ නැත. අත්සන තැබූ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඉන්දියාවේදීම පසුව ඝාතනය කෙරිණි.

2004 ජූලියේ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය කොළඹදී සිදු විය.

ඊලාම් යුද්ධ ත්‍රිත්වයට පසු, 2006 ජූලියේ ඇරඹුණු හතරවැනි ඊලාම් යුද්ධය තුන්වසක් පුරා ඇදී යන්තම් 2009 ජූලියට දෙමසකට පෙර කෙළවර විය.

සැබවින්ම ජූලි මාසවල දී පමණක් නොව ඉතිරි මාසවලදී ද නොවිය යුතු බොහෝ දේ සිදු විය. මහා මිනිස් ඝාතන, වේදනා, අහිමිවීම්, ලේ, කඳුළු නිරතුරුව පෙණින. ප්‍රභාකරන් නැමති තරුණයා ප්‍රභාකරන් විය. මහා මාර්ග ‍දෙපස ‘රණවිරු‘ බස් නැවතුම් ඉදිවිණි. උතුරේත් දකුණේත් අම්මලා නොපැමිණෙන දරුවන් දකින්නට මග බලා උන් හ.

මේ 2014 වසරයි. තවත් ජූලියක් එළඹෙමින් පවතියි. ඉතිහාසයේ මුග්ධකම් හා ජඩකම් දෙස බලා පාඩම් ඉගෙන ගන්නේද, යළි අතීතය කැඳවන්නේ ද යන්න තීරණය කළ යුත්තේ අපම ය.

ආයුධ ද ඇත. 1957 ජූලියේ පෙරට ආ සිවුරු දාගත්තවුන්ට වඩා දාමරික සිවුරුකාරයින් එළිමහනේ ය. 1983 ජූලියේදී තරම්ම හෝ ඊටත් වඩා ස්වාර්ථයම විමසන ආණ්ඩුවක් බලයේ ය. එදාටත් වඩා නිර්ලජ්ජිත ලෙස මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ හැකි නිල ප්‍රකාශකරුවන් ද සූදානමිනි.


ජූලි මාසය එළඹෙමින් පවතියි.

-ප්‍රියන්ත ෆොන්සේකා -

සිතුවම හා කවිය - http://ctya.org/blog/wp-content/uploads/BlackJuly83.jpg

Sunday, May 18, 2014

මාගේ සහෝදර රටවැසියනි!!

වසර 10ක කාලයක් ඉන්දීය අගමැති ධූරය දැරූ, ඉන්දියාවේ දහතුන්වැනි අගමැතිවරයා වූ, මන්මෝහන් සිං මහතා පසුගියදා නිමවුණු ඉන්දීය අගමැතිවරණයෙන් ජය ලද නරේන්ද්‍ර මෝදි වෙත අගමැති ධූරය භාර කරමින් සිය තනතුරෙන් ඉල්ලා අස් වී යන්නට ගියේ ය. සමුගන්නා මොහොතේ ඔහු කළ කෙටි කථාව මෙහි පරිවර්තනය කොට තබමි. එහි වටිනාකමේ අරුත් ලියන්නට මම වචන නොසොයමි. 


මාගේ සහෝදර රටවැසියනි,
 
ඉන්දියාවේ අගමැතිවරයා ලෙසට මා මේ ඔබ අමතන්නේ අවසාන වරට යි.

වසර දහයකට පෙර, උද්යෝගය මාගේ මෙවලම ලෙසත්, විශ්වාසය මගේ සහන් එළිය ලෙසත් ගනිමින්, මා මේ වගකීම භාරගත්තේ සැමවිටම නිවැරදි දේ කරන්නට මට ඉඩ ලැබේවායි යන්න දිවමතුරක් ලෙස තබාගෙන ය.

අද, සර්ව බලධාරීත්වය වෙතින්, එනම් තේරී පත් වන නියෝජිතයින් හා ආණ්ඩු යන සියල්ලන්ම  හිස නැමීමට නියමිත මහජන මතය නම් අධිකරණය වෙතින්, අප සියල්ලෝම බලාසිටින අවසාන තීන්දුව ලැබෙන්නට පෙරාතුවම මම  මාගේ නිලයෙන් සමුගන්නට සූදානම්ව සිටිමි.

සහෝදර රටවැසියනි, අපි සියල්ලෝම ඔබ විසින් ලබා දෙන ලද තීන්දුවට ගරු කළ යුතු වෙමු. මෙම නිමා වුණු සියලු මැතිවරණ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයේ පදනම ශක්තිමත් කරන බැවිණි.

බොහෝ අවස්ථාවල මා කියා ඇති පරිදි, මහජන සේවය සඳහා කැපවුණු මගේ නිල කාලය තුළ වන මාගේ ජීවිතය විවෘත පුස්තකයක් බඳු ය. මෙම විශිෂ්ඨ ජාතියට සේවය කිරීම සඳහා මම සෑම අවස්ථාවකම මාගේ උපරිම පරිශ්‍රමය දැරුවෙමි.

ගෙවුණු වසර දහය තුළදී, රටක් ලෙස සියල්ලන්ටම ආඩම්බරයට පත් විය හැකි බොහෝ ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් අපි දුටුවෙමු.  අද,  සෑම විෂයයකින්ම, දශකයකට පෙර පැවති තත්වයට වඩා  බොහෝ ශක්තිමත් රාජ්‍යයක් බවට ඉන්දියාව පත් වී ඇත. එම සියලු ජයග්‍රහණයන්හි ඇගයීම් මම ඔබට පිරිනමමි. කෙසේවෙතත්, අප රට තුළ තවදුරටත්, විශාල නෛසර්ගික දියුණුවීමේ හැකියාවත් පවතින අතර එය සාක්ෂාත් කරගනු පිණිස අප සැම එක්ව වෙහෙස වී වැඩ කළ යුතු ය.

මා නිලයෙන් සමුගන්නා මොහොත වන විට, ඔබෙන් නිරතුරුවම ලැබුණු ආදරය සහ කරුණාව පිළිබඳ නොමියෙන තිරසාර මතකයක් මහද තුළ ඉතිරිව ඇති බව දැනෙයි. ඉම් පෙදෙසකින් පැමිණි, වරප්‍රසාද නොලත් කුඩා දරුවකුවූ මට, නැගී සිටීමට අවැසි බලය ලබාදුන් මේ ශ්‍රේෂ්ඨ භූමියට මා ණයගැති ය. එය කිසිකලෙක මාහට ගෙවා නිම කළ නොහැකි ණයක් මෙන්ම ආඩම්බරයෙන් මා පැළඳ සිටින ආභරණයක් ද වෙයි.

මිත්‍රවරුනි, අනාගත ඉන්දියාව පිළිබඳ මට විශ්වාසයක් ඇත. අනාගතයේ සකස් කෙරෙන ගෝලීය ආර්ථිකයෙහි ප්‍රමුඛ බලකොටුවක් ලෙස ඉන්දියාවෙහි පෙරට ඒම පිළිබඳ මම ස්ථිරව විශ්වාසය තබමි. නූතනත්වය සහ විවිධත්වයෙන් යුතු ඒකීයත්වය සමග එන සම්මිශ්‍රිත සම්ප්‍රදායන්ගෙන් යුතු අපගේ මෙම ජාතිය ලොවට මග කියා දී ඇත. ජාතියට සේවය කරන්නට ලැබීම මාහට ගෞරවයකි. එයින් වැඩි කිසිවක් මා ඉල්ලා සිටින්නේ නැත.

ඉදිරි රජයට සුභ පතමින්ම එහි සියලු කටයුතු සාර්ථක කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අපගේ ජාතියට තවතවත් විශිෂ්ට විජයග්‍රහණයන් ලැබෙන්නැයි යාඥා කරමි.


ස්තුතියි, ජායි හින්ද්!!

පරිවර්තනය - ප්‍රියන්ත ෆොන්සේකා

සේයාරුව-http://static.financialexpress.com/pic/uploadedImages/mediumImages/M_Id_437792_Manmohan_Singh.jpg

Wednesday, January 29, 2014

සෙසෑන් වෙත ලියමි!




සෙසෑන් විසින් චිත්‍රණය කළ සෝලාගේ රුවක්
ලොව හමුවන විශිෂ්ට ලේඛකයින්, නිර්මාණකරුවන් බොහොමයක් සිය අදීන චින්තනයන් නිසා ද, මරණින් මතු වුව, ඇගයුමට පාත්‍රව ඇත. ප්‍රකට ප්‍රංශ ලේඛක එමිල් සෝලාගේ (1840 -1902) ජීවන වෘත්තය දෙසට එබී බලන්නෙකුට ද හමුවන්නේ එවන් මිනිසෙකි. ලෝ ප්‍රකට ප්‍රංශ සිත්තරකු වන පෝල් සෙසෑන් (1839 – 1906) ගේ ප්‍රාණ සම සුමිතුරා වූයේ සෝලා ය. දෙදෙන සිය දිගු මිත්‍ර සමාගමය තුළ, කලාව හා සාහිත්‍යය ගැනත් චිත්‍ර කලාව ගැනත්,එයින් නොනැවතී සත්‍යය හා මනුෂ්‍යත්වය ගැනත් සංවාද කළෝ ය. ඒ ගැන එකිනෙකා වෙත ලියූ ලිපි අද එම සාකච්ඡාවන්හි ඇති සුගන්ධවත් බව පිළිබඳ මනා සටහන් ලෙස කලාව හදාරන්නන් අතර ඇගයුමට ලක් ව ඇත.

මෙහි මා පරිවර්තනය කරන ලිපිය 1866 දී සෝලා විසින් සෙසෑන් වෙත ලියූවකි. ඔහු කියනා බොහෝ දේවල්හි අවස්ථා සම්බන්ධය වටහාගන්නට ලිපියේ කරුණු ප්‍රමාණවත් නොවේ. එහෙත්, සිය දෘෂ්ටිය පිළිබඳ අවංක බව ඒ ලිපියේ සෑම වදනක් තුළින්ම විහිද යයි. උණුසුම් මිතුදමක අපරිමිත වටිනාකම ද ඉන් නැගෙයි.

මේ ඒ ලිපියයි!


ප්‍රිය මිතුර, නුඹ සමග කෙරෙන සහෘද කතාබහ අප්‍රමාණ ප්‍රීතියකින් මගේ හද සනසාලයි. මොහොතකට පෙර, මේ පිටස්තර පිරිසත් සමග කළ දබරය නිසා මා කෙතරම් වේදනාවට පත් වුණේ දැයි ඔබට සිතා ගන්නටවත් නොහැකි වනු ඇත. වටපිටාවේ ඇති අනුමාන කිරීම් සහ වැරදි වැටහීම් නිසාම වෛරයට පාත්‍රවීම හේතුවෙන් මම නිරන්තරයෙන් අධෛර්යයට පත් වන අතර පෑන මාතින් ගිලිහී යයි. එහෙත් අද මට නැගී සිටිය හැක. ඒ වසර දහයක් පුරා ඇදී එන අපේ නිරන්තර, තෘප්තිකර කතාබහ අතරට එක් වුණු අලුත්ම සාමිචිය හේතුවෙනි. මා මේ පිටු කිහිපය ලියන්නේ ඔබට ය. ඔබ එය හදවතින්ම පිළිගෙන කියවා බලනු ඇති බවත්, හෙට තවත් උණුසුම් ලෙස මට ආදරය කරන බවත් මම ඉඳුරා දනිමි. මේ මහා කලබගෑනියෙන් දුරස්ථ, හුදකලා ඉසව්වක අප දෙදෙනා පමණක් හමුවී ඇති බවත්, දුටුමතින්ම එකිනෙකා හඳුනාගත් පැරණි මිතුරන් දෙදෙනෙකු සේ සුහදව අප දෙදෙනා කතා බහ කරමින් ඉන්නා බවත් මොහොතකට සිතා ගන්න.

වසර දහයක් පුරා අපි දෙදෙන චිත්‍ර කලාව සහ සාහිත්‍යය පිළිබඳ කතා කළෙමු. අපි එකට ජීවත් වුණෙමු. - නුඹට මතක නම් - බොහෝ දිනවල හිරු නැගෙද්දී පවා, අප දෙදෙන හමුවන්නේ අතීතය සොයා යමින් ද, වර්තමානය ප්‍රශ්න කරමින් ද, සත්‍යය හඳුනාගැනීමට වෑයම් කරමින් ද සහ අප සඳහාම වූ පරම, පරිපූර්ණ ආගමක් සඳහා විමසමින් ද යනාදී ලෙස ය. අති විශිෂ්ට අදහස්වලින් අපේ හිත් පිරී තිබෙයි. සියලු ක්‍රමවේදයන් පිරික්සා අහවර කොට, ප්‍රතික්ෂේප කර ඇති අපි දෙදෙන, අවසානයේ දුෂ්කර ගමනකින් පසු, බලසම්පන්න පුද්ගල ජීවිතය හැරුණු විට හමුවන්නේ මුසාව සහ විගඩම පමණකැයි තීරණය කර සිටිමු. 

අතීතය පිළිබඳ මතකයන් ඇති සියල්ලන්ම පිළිබඳ මට සතුටු ය! මගේ ජීවිතය තුළ ඔබ මට සිහියට එන්නේ ‘මුසේ‘[i] කියූ සුදුමෑලි තරුණයා ලෙස ය. මගේ තරුණ අවදියේ සියල්ල ඔබ ය. ඔබ මගේ සියලු සන්තුෂ්ටීන් සහ සියලු වේදනාවන් මා හා එක්ව බෙදාගත් අයුරු මගේ සිහියට නැගෙයි. සහෝදරත්වය පිළිබඳ වුණු අපේ තියුණු හැඟුම දෙපාර්ශවය විසින්ම නිරතුරුව වර්ධනය කළ එකකි. අද, අප ගොඩ නඟා පැමිණි පරිදිම, අප තුළ විශ්වාසයක් පවතියි. ඒ, අප අපේ හදවත්වලින් හා ශරීරවලින් එකට බැඳී ඇති හෙයිනි.

හුවමාරු කරගත් අදහස් සමග හිඳ, දුරින් හිඳිමින් ම වුව, එකිනෙකාගේ සෙවනැල්ල මත ගැවසෙමින් සතුටු වන්නට අපට හැකි ය. සන්සුන් සහ නිස්සාර මිනිසුන් මැද දී අප අතරමං වුණු සෙයක් අපට දැනේ. අප සැමතැනම සොයා ඇවිද්දේ මිනිසත්කම ය. චිත්‍රයක්, කවියක් වැනි සෑම නව පියවරකදීම ආත්මීය අවධාරණයක් සොයා ගැනීමේ නොනිත් උවමනාවක් අපට තිබිණි. කිසිවක් නොතිබුණු තැනක ලෝකය යන්න නිර්මාණය කළේ විශිෂ්ට මිනිසුන්ම බව අප අවධාරණය කළෙමු. එසේම එම ප්‍රතිභාවෙහි සුන්බුන් අතනින් මෙතැනින් අහුලාගැනීම සිය කාර්යය කොටගත් දුබල අනුගාමිකයන් අපි ප්‍රතික්ෂේප කළෙමු.  

අප නොදැනුවත්වම වුව, අප විප්ලවවාදීන් ව ඇති බව ඔබට වැටහේ ද? පසුගිය වසර දහය තිස්සේ අප මුමුණමින් සිටින්නේ කුමක්දැයි දැන් මට හඩඟා කිව හැකි ය. අරගලය පිළිබඳ පුවත ඔබ අසන්නට ඇත. ඔබට එය ඇසුණා නොවේ ද? එසේනම්, අපගේ සහෘද අදහස්වලට කෙතරම් ඉහළ පිළිගැනීමක් ලැබී ඇත්දැයි ඔබ දකින්නට ඇත. අහෝ...! ඒ දුප්පතුන් ප්‍රොවෙන්ස් නගර මධ්‍යයේ, චණ්ඩ හිරු එළිය යටට වී, ප්‍රයෝගයන්ට හසුව, සිය දිවියම වාගේ ගෙවා ඇති සැටියකි. 

ඉතින්, බොහෝවිට ඔබ නොදන්නේ වුවත්, මම රැවටිලිකාරයෙක් වී ඇත. පොදු ජන නියෝජනය මේ වන විටත් මා ‘චරෙන්ටන්හි‘ සිර කර තැබීමට නියෝග නිකුත් කොට ඇත. ඥාතීන්ගේ හා මිතුරන්ගේ පමණක් පිළිගැනීම ලබන මා හඳුනාගෙන ඇත්තේ මෝඩයෙකු හා දුෂ්ඨයෙකු ලෙසිනි. මා අපකීර්තිය ලක්ව ඇත.


මගේ ප්‍රිය මිතුර, එය ශෝකජනක ය අනුකම්පා උපදවන සුළු ය. එය යළිත් පැරණි සුපුරුදු කතාන්දරය වේවි ද? මිනිසකු සැමවිටම අනිත් අය මෙන්ම කතා කළ යුතුම ද? නැතිනම් නිහඬ විය යුතු ද? අපගේ දීර්ඝ සංවාද ඔබට සිහි කළ හැකි ද? වෛරයට හා පරිහාසයට පත් නොවී සත්‍යය පිළිබඳ ක්ෂුද්‍ර වන අදහසක්වත් ගෙන ආ නොහැකි බව අපි කීවෙමු. දැන් එළඹ ඇත්තේ මා එයට මුහුණ දිය යුතු වාරයයි. 

ප්‍රිය මිතුර, මෙය විශිෂ්ඨ කතාන්දරයකි. ලොව ඇති කිසිදු දෙයක් වෙනුවෙන් මෙම ලිපිය විනාශ කරන්නට මම නොසිතමි. එය ඒ තුළම එතරම් අගයක් නොපෙන්වුවත්, ප්‍රකාශ කිරීමේ දී ජන ප්‍රතිචාරය දැන ගැනීමේ උරගලක් විය. අප දැඩි ලෙස ඇලුම් කළ අදහස් කෙතරම් ජනතාවට අපුලදැයි දැන් අපි දනිමු.
කෙසේ නමුත්, දෙවන වතාව සඳහාත් මගේ අදහස් ප්‍රතිරාවය කරන්නට මම කැමති ය. මම ඒ දැඩිව විශ්වාස කරමි. එසේම වසර කිහිපයකින් මා කියනා දේ නිවැරදි බව සැම දෙන වටහා ගනු ඇතැයි මම විශ්වාස කරමි. හෙට ඔවුන් මවෙතට ගල් ගැසුවාට මම බිය නොවන්නේ එබැවිනි.

එමිල් සෝලා
1866 මැයි මස විසිවැනිදා, පැරිසියේ දී ය.


[i] ඇල්ෆ්‍රඩ් ඩි මුසේ - ප්‍රංශ නවකථාකරුවෙකි; නාට්‍යකරුවෙකි; කවියෙකි. 

රූපය -  http://www.paulfrasercollectibles.com/