Friday, July 17, 2020

ටෙලි තිරය ඉසියුම්ව සැරසීම: තණමල්විල කොල්ලෙක්


(2020 ‍ජූලි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

වර්ග කිලෝ මීටර හැටහය දහසක් නොඉක්මවන කුඩා බිම් ප්‍රමාණයක විහිදි අප දිවයිනෙහි එක් එක් කලාප යළිත් අනේක ප්‍රවර්ග ඔස්සේ බෙදා අගයන්නට හෝ ගරහන්නට අප සමාජය තුළ ඇති හැකියාව විස්මිත ය. අනුරාධපුරය හා මහනුවර වැනි නගර අපට පූජා බිම් වන අතර නුවරඑළිය එංගලන්තය ද පරදන තරමේ එංගලන්තයකි. යාපන අර්ධද්වීපයම යුධයකින් දිනූ ජයබිමක් ලෙස දකින අපි විල්පත්තුව දේශපාලකයින්ගේ රුදුරු හස්තයට හසුවී විනාශ වී යන වනාන්තරයක් ලෙස ද, කොළඹ මුහුද ද වසමින් පැතිරෙන දියුණුවේ අගනුවර ලෙස ද ගනිමු. ඒ අනුව ඒ දිගු ලැයිස්තුවේ තණමල්විලට හිමිවන්නේ ඇගයුම් නාමයක් නොවේ. එපෙදස, තහනම්ව ඇති කංසා රහසින් වගා කොට රටට බෙදා හරින කලාපයකි. චාමර වීරසිංහගේ මුවින් ‘තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට’ ලෙස ගැයෙන්නේත්, ඒ ගීයේ තාලයට සංගීත ප්‍රසංගවලදී අප නටන්නේත් එම ‘පොදු’ පිළිගැනීමට අවනත වෙමිනි.

කෙසේ වුවත්, ඉම් බිම් හමුවේ මේ පොදු ඇගයුම් හා ගැරහුම් හමුවේ අප වෙතින් මැකී යන එක් නිශ්චිත කරුණක් වෙයි. ඒ මේ සියලු කලාපයන්හි සිය ජීවිතය දිනනු වස් නෙක අරගලයන්හි නිරත වන දස දහස් ගණනින් වන මිනිසුන් දිවි ගෙවන බව ය. එය පූජා බිම් අභිමුව මල් විකුණන, ශීත නුවරඑළියේ මහමග සිට එළවළු මළු දිගුකරන, යාපනයේ යුධ ජය බිම් සොයා යද්දී මිදි පොකුරු ගෙන එන, විල්පත්තුව දෙසට යද්දී බඩඉරිඟු තම්බා මග බලා සිටින මිනිසුන් දකිද්දී අපට හැඟුණත් යළි මූල රූපය තුළ ඉතිරි වන්නේ යටකී ඇගයුම්-ගැරහුම් නාමයන් පමණි.

ගෙවුණු සතියේ නිමාව දුටු, රොෂාන් රවීන්ද්‍රගේ පළමු ටෙලි සිත්තම වූ ‘තණමල්විල කොල්ලෙක්’, ගැරහුම් නාමයක් ලෙස පොදු සමාජය තුළ ස්ථාපිතව පැවති තණමල්විල සිය කෘතියේ නාමය තුළම තබා පැමිණියකි. එහිදී අපට මුණ ගැසෙන්නේ, සතියෙන් සතිය ගෙවී යද්දී තව දුරටත් හඳුනා ගැනෙන්නේ එම ‘ගැරහුම් බිම’ පසුපස සැඟවී ඇති මිනිස් ජීවිත පොකුරකි. සැබවින්ම තණමල්විලෙන් ගලවා ඔවුන්ව අප මැදවච්චියේ හෝ කිලිනොච්චියේ තැබූව ද, සීතාඑළියේ හෝ හාවාඑළියේ තැබුව ද පසුතල හා ඇතැම් විට ඇඳුම් පැළඳුම් සහ ඡවි වර්ණය වෙනස්වීම හැර හමුවන අරගල හා අර්බුදවල තීරණාත්මක වෙනස්කම් හමු නොවනු නියත ය. මේ සෑම කලාපයකම සිය ජීවිතය දිනනු වස් අනවරත අරගලවල නිරත වූ සහ නිරත වන විවිධ ජීවිත කොතරම් ඇති ද?

සුසිත් විජේමුණි මේ ලියන්නේත්, රොෂාන් රවීන්ද්‍ර සිය දෘශ්‍ය වියමන තුළ ගොඩ නගන්නේත් එම දස දහස් ගණන් ජීවිතවල පිළිඹුබවකි. ටෙලි සිත්තම දිග හැරෙමින් ගලද්දී, ‘පතෝලයා’, ‘කිතුලා’ සහ ‘කූරා’ වැනි චරිතවලට බැඳෙන ප්‍රේක්ෂාගාරය සිය ෆේස්බුක් අඩවි පුරා ඔවුන් අගයමින් ලියද්දී එවැනිම චරිත බොහෝ ගණනක් ජීවිත සටන වෙනුවෙන් අරගල කරනු හෝ යුද්ධයෙන් මියැදී හෝ ඇති බව සිහි කැඳවන්නේ නැතිනම් යළි අප තණමල්විල තබන්නේ යටකී ගැරහුම් බිම තුළම ය.

කෙසේ වුවත්, මෙහි ‘තණමල්විල කොල්ලා’ දීප්ත ය. සිය මිතුරු කැළේ හමුවන කූරාට, පතෝලයාට, කිතුලාට සාපේක්ෂව ඔහු මුහුණ දී ඇති ගැටළු අල්ප ය. සිය තණමල්විල නිවසේ කාමරය තුළින් ඇරඹ පැරිස් නුවරින් කෙළවර වන ඔහුගේ ගමන් මග තුළ ඔහු වැඩි වශයෙන් සිදු කරන්නේ නිහඬව බලා සිටීම ය. මිනිස් ජීවිත ගලා යන අයුරු, වැඩෙන හා නැසෙන අයුරු ඔහු දකියි. සිද්ධාර්ථට පිය රජු ජීවිතයේ දුක්ඛ පක්ෂය සඟවා තැබු මුත්, දීප්තගේ පියා නිහඬව බුද්ධ චරිතය සිතුවම් කරමින් සිය පුතුට ජීවිතයේ සියළු දුක හා සතුට මුණගැසෙන්නට ඉඩ හරියි. එහි හමුවන පෙර නිමිති සතරකට වැඩි ය. රෝග නෙක අයුරින් ඔහු වෙත ද, සෙස්සන් වෙත ද පැමිණෙයි. මහල්ලන් මියෙන්නේ අලින්ගෙන් පහර කෑමෙනි. හමුවන මළමිනී ගණන බොහෝ ය. එක්ව නැගුණු මිතුරු කැළේ ජගා පිහි ඇණුමකින් මියෙද්දී කිතුලා මියෙන්නේ යුද්ධයෙනි. ඔහුට හමුවන යශෝධරාව ද ඔහු වෙතට සැඟවූ රෝගයක් හේතුවෙන් මිය යයි. පැවිද්දන් වුව අරගලවල ය. කුලය, දරිද්‍රතාව ඇතුළු බොහෝ දේද, වත්මන් ආර්ථික-සමාජ දේහය තුළ සැඟවුණු බලවේගයන් ද පැවිදි ජීවිත අභිමුවට පැමිණ ඒ නසා දමති. දීප්ත ඇවිද යන්නේ මේ සියල්ල දකිමින්, වටහා ගනිමින් ය. තණමල්විල ශුෂ්ක බිමෙහි මෙන්ම අහස සිප ගන්නා උස් ගොඩනැගිලි සහිත අගනුවර තුළ ද ජීවිත මුහුණ දෙන අනේක ජය පැරදුම් ඔහු දකියි. ඒ හා සමග ඔහු ද විටෙක වැටෙමින් ද, නැගෙමින් ද පෙරට යයි. සියල්ල අවසන, වසර ගණනකට පසු, පියාගේ මරණය හේතුවෙන් පෙරළා තණමල්විලට එන දීප්තගේ නෙතු අභියස මැවෙන අවසන් රුව සිය පියාගේ අවසන් නිර්මාණයයි. ඒ ශාන්ත බුදු රුවකි.

‘තණමල්විල කොල්ලෙක්’ ඈත-මෑත ටෙලි තිරය මත නැගුණු ටෙලි නාට්‍ය අතර ඇගයුම් සහගතම තැනක තබන්නට හේතු බොහෝ වෙතත්, මේ කුඩා තීරුව තුළ ඒ සියල්ල ලිවීම උගහට ය. රංගනය, සංගීත නිර්මාණය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය හා අධ්‍යක්ෂණය ආදී බොහෝ කලාප පිළිබඳ අපට දිගු සාකච්ඡාවලට පිවිසිය හැක. එසේ නමුත්, ඒ සාකච්ඡා කලාප මතුවට තබමින් මෙම කෘතිය සිදු කළ උඩුගම් බලා පිහිනීමේ වෑයම අගය කිරීම වෙත මම පිවිසෙමි.

80-90 දශකවල නිමැවුණු ටෙලි නාට්‍ය නිර්මාණ අද හමුවන නිර්මාණ අභිබවන බවට වන බොහෝ අදහස් අපට මුණගැසෙයි. එදවස නිර්මාණ ගෙන ආ ධර්මසේන පතිරාජ, ජයන්ත ධර්මසිරි, තිස්ස අබේසේකර, පරාක්‍රම නිරිඇල්ල, බර්ට්‍රම් නිහාල් ආදීන්ගේ කෘතීන් වෙත ඇත්තේ වෙසෙසි ඇගයීමකි. කෙසේ වෙතත්, එම නිර්මාණ යළිත් නාලිකා තුළ විකාශය වද්දී හෝ අන්තර්ජාලය ඔස්සේ නරඹද්දී හෝ හැඟෙන කරුණ වන්නේ තාක්ෂණික සීමා කෙතරම් දුරට එදවස නිර්මාණයන්හි දිග-පළල සීමා කොට තිබිණි ද යන්නයි. ඒ කෘතීන් බොහොමයක හමු වන වටිනාම අංගය කල්පනාකාරීව ගොඩ නැංවූ පිටපතයි. සහ, ඒ තියුණු කොට ගෙනහැර පෑම සඳහා නංවන අධ්‍යක්ෂණය හා රංගනයයි. එහෙත්, වත්මනෙහි හමුවන තාක්ෂණය එම සීමා බිඳ හෙළමින් බොහෝ කලාප වෙත සිය නිර්මාණයේ වපසරිය විහිදුවීමට නිර්මාණකරුවන්ට අවකාශ සළසා ඇත. කෙසේ වෙතත්, හමු නොවන්නේත් එම වපසරිය නිසි භාවිතයට කැඳවූ නිර්මාණ ය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඇත්තේ ඉනිම දෙකක් වුවත් ඉනිම් සිය ගණනින් තැනෙන ‘දෙවැනි ඉනිම්’ ඉහළ ප්‍රතිචාර ලබන පසුබිමක, නාලිකා පාලකයින් ද එවැනි කොපි විමසන අවකාශයක ‘තණමල්විල කොල්ලෙක්’ ගමන් කළේ දීප්තගේ ගමනට නොදෙවනි දුෂ්කර ගමනකි. රූපය කුඩා තිරයක මැවෙන හෙයින්ම වන සීමා ජයගනිමින් වඩාත් පොහොසත්ව ආඛ්‍යානයක් ප්‍රේක්ෂාගාරය අබිමුව තැබීමේ අභියෝගය සැබෑ අධ්‍යක්ෂවරයෙකු වෙත වෙයි. ස්වකීය රංගන දායකත්වයෙන් නිමැවුණු ‘සහෝදරයා’ ඇතුළු කෘති කිහිපයක් අසීරුවෙන් තනා තිබුණු දුෂ්කර මගක ‘තණමල්විල කොල්ලෙක්’ කැඳවාගෙන රොෂාන් රවීන්ද්‍ර ගිය ගමන ඇගයිය යුත්තේ එබැවිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -



Friday, July 3, 2020

බොරු කීමට සූදානම් වීම: පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ තරග


(2020 ‍ජූනි 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

2021 සඳහා රජයේ පාසැල්වල පළමු වසර සඳහා ඇතුළත් කිරීමට නියමිත දරුවන් සඳහා අයදුම්පත් කැඳවෙන බව සඳහන් දැන්වීම පසුගිය දිනවල ජාතික පුවත්පත් ඇතුළු මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්ව තිබිණ. පස් වෙනි විය පසුකරමින් සිටින දූ පුතුන් සහිත (මධ්‍යම පාන්තික) දෙමාපියෝ ඒ හා සමග සුපුරුදු ‘වාර්ෂික තරගයට’ අවතීර්ණ වූ අතර, කුහුඹු කකුල් හා සමාන අකුරින් මුද්‍රණය වී ඇති උපදෙස් පත්‍රිකා සමග වන අයදුම් පත් කට්ටල බැගින් මිලට ගනිමින්, සත්‍ය සහ අසත්‍ය (බව හොඳින් දන්නා) ලිය කියවිලි සූදානම් කරමින් සිය දරුවාට ‘වඩාත්ම හොඳ’ පාසැල ලබා දීමට පොර බැදීමට අවතීර්ණව සිටිති.

තරගය මතුපිටට පෙනෙන ස්වභාවයක් දක්වා රූපාන්තරණය වන්නේ මේ දැන් වුව ද ඇතැම් දෙමාපියන් දරුවා මව් කුස වැඩෙද්දීම මෙම තරගයේ සැලකිය යුතු කොටසක් සඳහා අවතීර්ණ වන අතර, මුදල් ඇත්නම් ‘හොඳ ඉස්කෝල’ ඇති නාගරික පරිසරවලින් නිවෙස් මිලට ගැනීමත්, මුදල් නැත්නම් එවැනි නිවාස හෝ දේපළ ඇති බව පෙන්වන පරිදි ලියකියවිලි සැදීමත් සිදු කරන බව ප්‍රසිද්ධ රහසකි. නිවාස සහ දේපළවල අයිතියට අමතරව විදුලි හා ජල බිල්පත්, ග්‍රාමසේවක සහතික ආදියට ද වැඩි ඉල්ලුමක් මේ පසුබිමෙහි ලැබෙයි. ඒ අතර එක් එක් අනු අංශ යටතේ ඇති යොමු සඳහා ඉල්ලුම වැඩිවන තවත් දේ ඇත. උදාහරණයකට දුෂ්කර සේවයේ වසර පහක් සපුරා ඇති ගුරු සේවයේ නියුතු මව හෝ පියා සිය ඉලක්ක පාසැල සඳහා වන දුර සීමා තනා ගැනීමට ගමනාගමන මණ්ඩල වෙත ගොඩ වෙයි. තමන් ඉගෙන ගත් ‘ජනප්‍රිය’ පාසැලට ආදි ශිෂ්‍ය ‘අයිතිය’ යටතේ දරුවාට ප්‍රවේශය සාදා දීමට ආදි සිසු/සිසුවි සංගම් නිලධාරීන් හමුවට ගොස් සබඳතා අලුත් කරයි. මෙවැනි කටයුතු රැසක් මේ තරගය පසුපස එකිනෙක බැඳී නැගෙයි.

අල්ලස් දෙමින්, සුදුසුකම් සහිත දරුවන් ඉක්මවමින් සිය දරුවාට ‘හොඳ පාසැල’ සාදා දෙන දෙමාපියන් පිළිබඳ පුවත් තවමත් ඉඳහිට නැඟුණ ද අල්ලස් හා දූෂණ කොමිසම මෙන්ම, ඊටත් වඩා අවස්ථාව අහිමිවන දරුවන්ගේ දෙමාපියන්ගේ උකුසු ඇසට බිය වීම නිසා ඒ සිදුවන්නේ සාපේක්ෂව අඩු අගයකින් බව පෙනේ. එහෙත්, නගරයේ පාසැල ආසන්නයේ හරි හෝ වැරදි අයුරින් පදිංචිය තනමින් දරුවන්ට දොර විවර කරදීමට සිදු කරන වෙහෙස නම් ඉහළ යනු මිස පහළ යනු නිරීක්ෂණය කළ නොහැකි ය.

මේ සියල්ල කුමකට ද?

මාර්ගය සඳහා ප්‍රවිශ්ට වන ස්වරූපය ශිෂ්ට හෝ අශිෂ්ට විය හැකි වුව ද සියලු දෙමාපියන්ගේ අභිප්‍රාය යහපත් පදනමක් මත පිහිටයි. එනම්, සිය පුතු හෝ දියණිය වඩාත් හොඳ අධ්‍යාපනයක් ලැබෙන, පිළිගත් පාසැලක අධ්‍යාපනය සඳහා යොමු කිරීම ය. නිදහස් අධ්‍යාපනය යටතේ සියලු දරුවන්ට නොමිල අධ්‍යාපනය ස්ථිරව ඇත්තේ වුව, නාගරික හා ග්‍රාමීය වශයෙන් ද, ජනප්‍රිය හා ජනප්‍රිය නොවන වශයෙන් ද ඇතුළුව විසල් ධූරාවලියක බෙදී පවතින මෙරට පාසැල් අතුරින් සිය දරුවා තරමක් හෝ තෘප්තිකර මට්ටමක පාසැලකට ඇතුළු කරවීම බහුතර දෙමාපිය සිහිනය වී තිබේ. දරිද්‍රතාවයෙන් පෙළෙන මෙන්ම ඈත දුෂ්කර පළාත්වල දෙමාපියන්ට පමණක් මේ සිහිනය අත හැර ‘දුෂ්කර සේවය’ නියත හෙයින් පැමිණෙන ගුරුවර ගුරුවරියන්ගේ සහායෙන් දිවෙන ‘දුෂ්කර’ පාසැලකට සිය දරුවා ඇතුළු කොට සැනසීමට සිදු වේ. වත්කමක් ඇත්නම් සහ ඉහත තරගය හා ගැටීමට අකමැති නම් යමෙකුට සිය දරුවාට ජාත්‍යන්තර පාසැලක දොරටුව විවර කළ දිය හැකි ය.

‘හොඳම පාසැල -ළඟම පාසැල’ යන සංකල්පය පිළිබඳ කියැවුණු දැන්වීමක් පසුගිය වසරවල නිරන්තරයෙන් ජාතික ගුවන්විදුලි නාලිකාවල අසන්නට ලැබිණ. එහි පදනම ගොඩ නැගී තිබුණේ සියලු පාසැල්වලට සම-පහසුකම් සපයමින් පාසැල් සඳහා මේ හමුවන තරගය අවම කිරීම බව ද කියැවිණ. නමුත් අලංකාර ගීතමය ගුවන්විදුලි දැන්වීම නොඉක්මවූ සංකල්පය කෙළවර 2020 වසරේ දී ද පෙර තරගය කැඳවා ඇත.

අපි රටක් වශයෙන් දිගු කලක් මුළුල්ලේ වචනාර්ථ වෛශ්‍යා වෘත්තියේ යොදවමින් සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදය සිට නිදහස දක්වා ද, ධර්මිෂ්ඨ සමාජයේ සිට යහ-පාලනය දක්වා ද අප වචන කැඳවූයේ එහි අර්ථය සාක්ෂාත් කරනු පිණිස නොවේ. පාසැල් පිළිබඳ මෙම තරගය අපට යෝජනා කරන්නේ ද ඒ හා සමාන ක්‍රියාවලියකි. සියල්ල පසෙක තබා පාසැල් සඳහා දරුවන් ඇතුළු කිරීම සම්බන්ධ නිවේදනය ගන්න. එය පූර්ණ වශයෙන්ම පවතින ධූරාවලිය දැඩිව අනුමත කරන, පවත්වා ගෙන යාමට යෝජනා කරන සහ සහාය දෙන ලේඛණයක් මිස සමාන තත්ව අනාගත පරපුර වෙත තිළිණ කිරීමට යෝජනා කරන ලියවිල්ලක් නොවේ. අංග ගණනාවක් ඔස්සේ ලකුණු ලැබෙන පිළිවෙල යෝජනා කරන එහි ඇති ඉලක්කයම නගරයේ ජනප්‍රිය පාසැල් වෙත ළමුන් ඇතුලත් කිරීම සඳහා ක්‍රමයක් පෙන්වීම මිස 2021 වර්ෂයේ සය වැනි වියට පැමිණෙන ලාංකික දරු පරපුර පාසැල් වෙත ආදරයෙන් පිළිගෙන අනාගතය වෙත කැඳවාගෙන යාම නොවේ.

දැන් ජනප්‍රිය පාසැල් ඉලක්ක කරන දරුවන් බොරු කීමට පුරුදු විය යුතු ය. ළමා කාලයේ පටන් තමන් නගරයේ ආසන්න තැනක ජීවත් වූ බව සම්මුඛ පරීක්ෂණයේ දී වැමෑරීමට හුරු විය යුත්තේ බොරුව පාසැලේ යතුර තමන් වෙත තබන පාලම තනන හෙයිනි. බොරු කියන දරුවා කෙසේ වුව, බොරු තනන හා කියන දෙමාපියෝ සිය දරුවාගේ යතුර වෙනුවෙන් තමන් වෙනත් සුදුසු දරුවකුගේ යතුරක් සොරකම් කරන බව ද නොසිතති.

නමුත්, යළිත්, මේ සියල්ල කුමකට ද?

යහපත් අරමුණක් වෙනුවෙනි. දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා ය. කෙසේ වෙතත්, මේ සියලු කටයුතු මධ්‍යයේ දිගින් දිගටම අප වෙතින් ගිලිහෙන සාමූහික වගකීම හා වගවීම හේතුවෙන් ‘විෂයයගත අධ්‍යාපනයක්’ දරුවන් වෙත තැබීමට හැකි වුව ද දියුණු සමාජයක් තනාගැනීමට නම් අපට ඉඩ නොලැබෙන බව මම යෝජනා කරමි.

සාමූහික පුරවැසි වගකීමක් ඇති සමාජයක් කටයුතු කරනු ඇත්තේ සියලු දරුවන් එක හා සමානව දකිමිනි. තමන්ගේ දරුවාට ආදරය කිරීම පසෙකින් නොතබමින්ම සමස්ථ සමාජයේ දරුවන් ද ඔහු හෝ ඇය හා සමානව දැකීමට එවැනි සමාජයකට හැකි ය. අප එවැන්නන් නම් ඉල්ලා සිටිය යුත්තේ සැමට සම අවස්ථා සහිත අධ්‍යාපනයකි. බොරු කියූ දරුවන්ට පාසැල් දොර විවර කෙරෙන හා යමක් කමක් නැති පවුල්වල දරුවන්ට වේදනාව හිමිවන ක්‍රමයක් නොවේ. එවිට පමණකි අධ්‍යාපනයෙන් අනතුරුව ජීවිතයට පිවිසීමට යහපත් සමාජයක් දරුවා අභියස නිමැවෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලුම් පත්‍ර කැඳවීම මූලික අත්‍යාවශ්‍ය තොරතුරු විමසීමට පමණක් සීමා කෙරෙන, තනි ඒකල දැන්වීමකට සීමා වන මොහොත තුළ සැබවින්ම ‘ළඟම පාසැල-හොඳම පාසැල’ වී පවතිනු ඇත. ඒ සඳහා අධ්‍යාපනයේ සැබෑ සම අවස්ථා වෙනුවෙන් වන සමාජ වගවීමක් සහිත අරගලයක් අවශ්‍ය ය.


-ප්‍රියන්ත ෆොන්සේකා -


Tuesday, June 9, 2020

පෙර-පාසැල් දරුවාගේ ජීවන චක්‍රය සහ මදුරුවෝ


(2020 ‍මැයි 31 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

සතියකට පමණ පෙර ඇදහිය නොහැකි පුවතක් මගේ ෆේස්බුක් මිතුරියක සිය පිටුවේ ලියා තිබිණ. ඒ අනුව නුදුරු දිනයක ඇගේ සිවු වියැති දියණියට, පෙර පාසැල් ගුරුතුමිය විසින් ‘කොරෝනා-සමය’ වෙනුවෙන් වූ ‘ගෙදර වැඩ’ ලබා දෙනු ලැබ ඇති අතර ඒ අතරෙහි සම්පූර්ණ කළ යුතු මදුරුවාගේ ජීවන චක්‍රයේ රූපසටහන ද, වර්ණ ගැන්විය යුතු (සහ දෙමාපිය සහායෙන් වටහාගත යුතු) කොරෝනා වෛරසයේ විද්‍යානුකූල හරස්කඩක් ද යනාදි වැඩ එකතුවක් වී ඇත. වරදක් වී ඇත්දැයි යළි ගුරුතුමිය විමසුව ද ‘ඒවා දෙමාපිය සහායෙන් කළ හැකි’ දේ බව ගුරුතුමිය පැහැදිලි කර ඇති අතර මගේ මිතුරිය ලියා තිබුණේ ඒ පිළිබඳ සිය කම්පනයයි.

මදුරුවන්ගේ ජීවන චක්‍ර ඇතුළු බොහෝ චක්‍ර, වක්‍ර සහ පැටලිලි අවිහිංසක දරුවන්ගේ මනස අභියස තබන අපගේ පෙර පාසැල් අධ්‍යාපන ක්‍රමයේ ඇතැම් කලාප දරුණු ලෙස දරුවාගේ ජීවන චක්‍රය විනාශ කර දමයි. වඩා ‘දියුණු’ දරුවෙක් මෙන්ම ‘අනෙකා අභිබවා ගිය’ දරුවෙක් බලාපොරොත්තු වන ඇතැම් දෙමාපියෝ ද පෙර පාසැල හා එක්ව දරුවාගේ ජීවන චක්‍රය නසා දැමීමට සහාය දෙති. අවසානයේ හමුවන්නේ නිසි පරිදි කීට තත්වය හා කෝෂගත නොවීම හේතුවෙන් විකෘති වූ ‘සුහුඹුලෙකි’! අපේම දරුවාගේ ජීවය උරා බොන මදුරුවන් වන්නේ අපම ය!

‘දැන් ඉස්සර වගේ නෙවෙයි. ළමයි අවුරුදු 3 පිරෙද්දිම මොන්ටිසෝරි දැම්මෙ නැත්තං වැඩක් නෑ. අනිත් ළමයි අපේ දරුවො පහු කරගෙන යනවා’

මේ දෙමාපියන්ගේ සුපුරුදු ප්‍රකාශනයයි. දෙමාපියන්ගේ ජීවන චර්යාව තුළ හමුවන අවිවේකී බව, දෙදෙනාම රැකියාවල නිරත වීම, ජීවන අරගලය හේතුවෙන් දරුවන් වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට අපහසු වීම යනාදිය හේතුවෙන් දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසැල් වෙත යොමු කිරීමට පියවර ගැනීම ඇතැම් තත්වයන් හමුවේ විකල්ප සොයාගත නොහැකි පසුබිමක් සාදන බව ද පෙනේ.

කෙසේ වෙතත්, ළදරු වියේ පසුවන දරුවකු පෙර-පාසැලක් වෙත යැවීමේ අරමුණ අප විමසා බැලිය යුතු ය. නම යෝජනා කරන පරිදිම එය ‘පෙර-පාසැලක්’ මිස පාසැලක් නොවේ. එනම් එහි මුණගැසිය යුත්තේ පාසැලට ‘පෙර’ අවස්ථාවයි. මෙහි පැවතිය යුතු මූලිකම ප්‍රවේශය අධ්‍යාපනය ලැබීම සඳහා දරුවා තුළ ආදරයක් සහ උනන්දුවක් ඇති කිරීම ය. ඒ හා සමග, එක් එක් දරුවාට ආවේණික ශාරීරික, මානසික, ඥාණගවේශී සහ සමාජශීලී ස්වභාවයන් හඳුනාගනිමින් එළඹෙන ජීවිතය වෙත පිය නැගීම සඳහා පදනමක් සැදීම ය.

අප වැඩි දෙනෙක් හඳුනන ‘මොන්ටිසෝරි’ යන්න පෙර පාසැල් විෂයයෙහි එක් ප්‍රවර්ගයක් පමණි. ඉතාලි ජාතික ආචාර්ය මාරියා මොන්ටිසෝරිගේ වර්ධනය කළ එම ප්‍රවේශයට අමතරව රෙගියෝ එමිලියා, වල්ඩොෆ්, හයිස්කෝප්, බෑන්ක් ස්ට්‍රීට්, දෙමාපිය සහයෝගී, ආගමික පසුබිම් සහිත යනාදී වශයෙන් බොහෝ පෙර පාසැල් ප්‍රවේශ ලොව පුරා ක්‍රියාත්මක වේ. මින් බොහෝ ක්‍රමවේදයන්, ළමා මනස පිළිබඳ දැනුමැති විශේෂඥයින් විසින් සංවර්ධනය කොට ඇති අතර පොදුවේ කුඩා දරුවෙකු විෂයයෙහි වඩාත් ඵලදායී ප්‍රවේශයන් හරහා පෙර පාසැල් අධ්‍යාපනය ලබා දිය හැකි ආකාරයන් යෝජනා කරයි. මේ සියල්ල විමසන්නෙකුට අඩු වැඩි වශයෙන් හඳුනාගත හැකි වැදගත්ම කරුණ වනු ඇත්තේ, වෙනස් මාර්ග ඔස්සේ යමින් වුව, මේ සියලු ප්‍රවේශ කුඩා දරුවා ‘දරුවකු’ ලෙස පිළිගනිමින් සිය යෝජනා ඉදිරිපත් කරන බව ය. යට කී ජීවන චක්‍ර පාඩම් සහ කොරෝනා වෛරස පාඩම් නසන්නේ එම දරුවා ය.

සාපේක්ෂව ඉදිරිගාමී පෙර පාසැල් අප රට තුළ ද ක්‍රියාත්මක වන බව ඔබ යෝජනා කරන බව මම දනිමි. එය ඇත්තක් වන අවස්ථා ද හමු වීමේ පසුබිම් ඇත. යටකී මිතුරියගේ පෝස්ටුව යටින් ද ‘දරුවා හඳුනන පෙර පාසැලකට යාමට සිදුවීම’ පිළිබඳ සතුටු වූ දෙමාපිය ප්‍රතිචාර ද මට දක්නට ලැබිණ.

නමුත්, අර්බුදය ඇත්තේම එම ‘සාධනීය’ ප්‍රවේශ ජාතික වශයෙන් යෙදවෙන තත්වයක් මෙරට පෙර පාසැල් විෂයයෙහි නොවීම ය. අප වඩාත් ප්‍රවේශම් සහගතව විමසිය යුතු පූර්ව ළමා විය අධ්‍යාපනය දෙස රටක් ලෙස විමසා ඇත්තේ උනන්දුවකින් තොරව ය. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැක සිතෙන, දරුවන්ට නිසි වටපිටාවක් නැති නාගරික වීදිවල ගාල් වුණු පෙර පාසැල් ඇති තරම් අප රට තුළ හඳුනාගත හැක. ඇතැම් රටවල ඉතා තියුණු ලෙස විමසා බැලෙන පෙර පාසැල් ගුරුවරයාගේ/ගුරුවරියගේ අධ්‍යාපන සුදුසුකම් මෙරටදී විමසා බැලෙන ආකාරය ඒ එක් එක් පෙර පාසැල හමුවේ වෙනස් බව තේරුම් ගැනීමට අසීරු නැත.

දැන් අපි ඉහත මිතුරියගේ දියණිය මුහුණ දුන් සිදුවීම ඛේදවාචකයක් වන්නේ ඇයිදැයි බලමු.

ඇදහිය නොහැකි වුණු, පාසැලක ප්‍රාථමික පන්තිවල දරුවකුට වුව තේරුම් ගැනීමට අසීරු වෛරසයක හරස්කඩක් වර්ණ ගන්වමින්, එය දෙමාපියන්ගේ සහායෙන් වටහා ගැනීමට යොමු කරවීම සැබවින්ම සිදු විනි දැයි විමසීමෙන් පසු ඇය මට අදාල සිදුවීම හා බැඳුණු රූප සටහන් සියල්ල එවමින් පසුබිම ද පැහැදිලි කළා ය. පෙර පාසැල් ගුරුතුමිය විශ්වාස කරන බව පෙනෙන්නේ, අප බොහෝ වැඩිහිටියන් දැන් යෝජනා කරන පරිද්දෙන්ම, ‘දැන් හැදෙන දරුවන්ට’ මේ අසීරු දේ නොවන බවයි. එහෙත්, කුඩා දරුවකුගේ මොළය වර්ධනය වීම අසාමාන්‍ය ලෙස වේගවත් වෙමින්, ප්‍රබල විද්‍යාත්මක කරුණු පවා එකපැහැර ධාරණය කර ගැනීමේ හැකියාවක් දරුවකු තුළ දැන් පහළව ඇතැයි කිසිදු විද්‍යාඥයකු සඳහන් කර නැත. මේ අප සිදු කරමින් සිටින්නේ, අපේ හිතළු දරුවන් මත පැටවීම ය. කෙමෙන්, සිය වටපිටාව දකිමින්, විඳිමින්, තේරුම් ගනිමින් පියෙන් පිය ඔසවා නැගී සතුටින් දිව එන දරුවෙකු වෙනුවට දැඩි වෙහෙසකට පත් කොට ජීවිතය අරඹන්නට පෙරම විකෘති කළ යන්ත්‍රයක් නිර්මාණය කිරීම ය.

පින්ලන්තයේ අධ්‍යාපනය ලොව විශිෂ්ටතම අධ්‍යාපනයට හිමිකම් කියන රට බව අපි අන්තර්ජාලය හා විදෙස් මාධ්‍ය ඔස්සේ හඳුනාගනිමු. නමුත්, විෂයයන් වෙනුවෙන් ඉගැන්වීම ඔවුන් ආරම්භ කරන්නේ අපට වඩා බොහෝ පසුපසට වී බව සොයා බලන්නට අපි නොනවතිමු.

‘පින්ලන්තෙ දරුවන්ට මුල් කාලෙ සබ්ජෙක්ට් උගන්න උගන්න ඉන්නෙ නෑලු!’

වරෙක දන්නා හඳුනන ප්‍රාථමික පාසැල් ගුරුවරියක හා පැවසූ විට විශ්මයට පත් ඇය පෙරළා මගෙන් ඇසුවේ ‘එහෙම නැතුව වෙන මොනවද උගන්නන්නේ?’ යන්නයි.

මේ අප සමාජ දේහය තුළම ඇති, අප පටලවා ගත්, පොදු ප්‍රශ්නයයි. අපි දරුවන්ට විෂයයන් උගන්වමින් සිටිමු. ජීවිතය ඔවුන්ට නොපෙන්වමු; පහදා නොදෙමු.

පෙර පාසැල් දරුවන් වෙත මදුරුවන්ගේ ජීවන චක්‍ර තබමින් අප වසා දමන්නේ ඔවුන් ලෝකයේ අසිරිය වෙත ඉහිල්ව හෙළිය යුතු බැල්මයි. ජීවිතය අසිරිමත්ව වැළඳගත යුතු බවට වන පිවිසුමයි. යට කී ලෙස අපි අනිසි, වේගවත් ‘සුහුඹුලන් තනා’ තත්‍ය ලෝකය දකින්නට වෙර දරන බිහිසුණු සිහිනයක ගිලී සිටිමු. අවදවීම ඉක්මණින් සිදු විය යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -





Wednesday, June 3, 2020

නිබන්ධන ඇගයීම: විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන තවත් මානයක්


(2020 ‍මැයි 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)



කොරෝනා කලබගෑනිය නිසා විශ්වවිද්‍යාල ද වැසී ගියේ ය. වසා දැමෙන දිනය වන විට, පේරාදෙණියේ අප නම් සිටියේ, ගෙවුණු වසර වෙනුවෙන්, මේ වසරාරම්භයේ පැවති දෙවැනි සමාසිකයේ ප්‍රශ්න පත්‍ර ඇගයුම් කටයුතුවල යෙදෙමිනි. ඒ හා සමග, නව සමාසිකයේ පළමු සතියේ ඉගැනුම් කටයුතු සඳහා වැඩ කරමිනි. නමුත් දැන් වෛරසයක් විසින් සිසුන් හා අප කෙටි කලකට නිවෙස් තුළට ගාල් කොට තබනු ලැබ ඇත.

“ඔයාලටත් ඉතින් නිවාඩුනෙ නේ ද?“

යම් හේතුවක් මුල් කොටගෙන විශ්වවිද්‍යාල වැසී ගිය වහාම දන්නා හඳුනන නෑසියන් හා මිතුරු මිතුරියන් වෙතින් මේ ප්‍රශ්නය නියතව නැගේ. සැබෑ පිළිතුර නම්, අප ‘සැබෑ ලෙසම‘ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයක සාමාජිකත්වයක් දරන්නෙකු නම්, ‘නැත‘ යන්නයි. නොයෙක් හේතු මුල් කොටගෙන විශ්වවිද්‍යාල වසා දැමුව ද ශාස්ත්‍ර ගවේෂකයින් වශයෙන් අපගේ කාර්යයට නිවාඩු නොලැබෙන බව ඒ සඳහා දීර්ඝ හේතු දක්වමින් පැහැදිලි කළ හැකි ය. (ඔව්! විශ්වවිද්‍යාලවල සැබෑ ශාස්ත්‍ර ගවේෂකයින් සිටින්නේ ද යන පැනය නගමින් ඔබ තර්ක කරන බව මම දනිමි. මගේ මේ ලිවීම එසේ නොවී සිය තත්‍ය මැදිහත්වීම ශාස්ත්‍ර ගවේෂණය වෙනුවෙන් මෙහෙයවන අතලොස්ස වෙනුවෙනි.)

විශ්වවිද්‍යාල වැසී ගොස් ඇති මේ මොහොතේ මට භාර වී ඇති විශ්වවිද්‍යාල වැඩ කටයුතු අතර පසුගිය දා විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධියේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කොට නිවෙස් බලා ගිය විශේෂ උපාධි හැදෑරූ විද්‍යාර්ථීන් කිහිප දෙනෙකුගේ ස්වාධීන නිබන්ධන ඇගයීම ද තිබේ. අවසන් වසර එළඹෙන විට විශේෂ උපාධියක් හදාරණ සියළුම සිසුන් පාහේ මෙම නියත ස්වාධීන නිබන්ධනය ලියා භාර දිය යුතු ය. කලාතුරකින් ඇතැම් විශ්වවිද්‍යාල අධ්‍යයනාංශයක මෙය අනිවාර්ය අංගයක් නොවන බව අසන්නට ලැබී ඇතත්, වඩාත් පූර්ණ විශේෂ උපාධියක් වෙනුවෙන්, ශාස්ත්‍රීය ලේඛණය සඳහා විද්‍යාර්ථියා පුහුණු කෙරෙනු ලබන මෙම නිබන්ධනය බොහෝ ස්ථානවල නියත ලෙස ඉල්ලා සිටියි. විශේෂයෙන් සමාජ විද්‍යා සහ මානව විද්‍යා ප්‍රමුඛ කොටගත්, ශාස්ත්‍ර පීඨවල මෙම පර්යේෂණ නිබන්ධන රචනාවට ලැබෙන්නේ ඉහළ පිළිගැනීමකි. වෛද්‍ය, ඉංජිනේරු, කළමණාකරණ, විද්‍යා ආදී වෙනත් පීඨවල ඒ ඒ විෂය කලාප අනුව අවසන් වසර නිම කරන විද්‍යාර්ථියෙකුගෙන් ඉල්ලා සිටින පර්යේෂණාත්මක එළඹුම් විවිධ වනු ඇත.

ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් යනු කුමක් ද? යෙදුමේ ආරම්භයේදීම සඳහන් වී ඇති පරිදි මෙහිදී බලාපොරොත්තු වන්නේ විද්‍යාර්ථියා විසින් සිදු කරන ස්වාධීන අධ්‍යයනයකි. තමන්ගේ විෂයක්ශේත්‍රය තුළ ඇති, යම් ආකාරයකින් තව දුරටත් විමසා බැලිය යුතුයැයි හැඟෙන, යම් මාතෘකාවක් ඔස්සේ යමින් විද්‍යාර්ථියාට සිය පර්යේෂණය මෙහෙයවිය හැකි ය. ඒ සඳහා අධ්‍යයනාංශය වෙතින් නම් කෙරෙන්නේ අධීක්ෂණය කරමින් මග පෙන්වන්නෙක් (Supervisor/Guide) පමණි. අදාල කලාපය තුළ ප්‍රවීණත්වයක් ඇති අභ්‍යන්තර (හෝ ඇතැම් විට බාහිර) ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ඔහු/ඇය විද්‍යාර්ථියාගේ පර්යේෂණයේ නිශ්චිත අවස්ථාවලදී එහි ගුණදොස් විමසමින් එය නිසි අරමුණක් ඔස්සේ විහිදුවීමට අදාල මග පෙන්වීම සිදු කරනු ඇත.

නිසි ඇගයුම් සිදු කෙරෙන විශ්වවිද්‍යාල අධ්‍යයනාංශයකදී, අදාළ විද්‍යාර්ථියාගේ නිබන්ධනය සමීක්ෂණ කටයුතු සඳහා භාර වූ පසු සිදු කරන්නේ ඒ සඳහා මග පෙන්වූ ආචාර්යවරයා/වරිය හැර වෙනත් සමීක්ෂකවරුන් (බොහෝ විට) දෙදෙනෙකු පත් කිරීමයි. අදාල නිබන්ධනයේ ඇති විෂයය සඳහා ලබා දෙන නැවුම් දැනුම සම්පාදනය, ඒ සඳහා  විද්‍යාර්ථියා භාවිත කර ඇති පර්යේෂණ ක්‍රමවේදය, විද්‍යාර්ථියා ආශ්‍රය කර ඇති පූර්ව කෘති හා ලේඛණ, අදාල නිබන්ධනය ඉදිරිපත් කර ඇති ස්වභාවය යනාදී කරුණු ගණනාවක් සැළකිල්ලට ගනිමින් අවසන් ඇගයුමක් මේ සඳහා ලබා දීමට සමීක්ෂකවරුන් වෙන් වෙන්ව කටයුතු කරයි. පිළිගත් විශ්වවිද්‍යාලයකදී මේ ලකුණු අතර සැලකිය යුතු තරමක පරතරයක් දක්නට ලැබුණහොත් සමීක්ෂණ කටයුතු සඳහා තුන්වැන්නෙකු ද කැඳවේ.

මගේ කාර්යාල කාමරයේ මේ දැන් මා අභියස ඇත්තේ එම සමීක්ෂණ ක්‍රියාවලිය සඳහා ලැබුණු නිබන්ධන කිහිපයකි. විශ්වවිද්‍යාල අවසන් වසර නිබන්ධනයක් සඳහා අපේක්ෂිත වචන සංඛ්‍යාව 10,000ක් පමණ බැවින් මෙම නිබන්ධන පිටු 50ත් 100ත් අතර වෙයි. කෙසේ වෙතත්, නව දැනුමක් හෝ තර්කනයක්, පෙර නොඇසූ විරූ යමක් මෙම කෘති අතරින් හමුවෙතැයි යන කුතුහලයෙන් හා ප්‍රහර්ෂයෙන් යුතුව මෙම නිබන්ධන පෙරළීමට උනන්දුවක් මා තුළ නැගී නැත. ඒ ඇයි?

විශ්වවිද්‍යාල තුළ බහුතර විද්‍යාර්ථීන් ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක ඇති වටිනාකම හෝ ඒ තුළ තමන් වෙත හිමිවන ස්වාධීනත්වය වටහාගෙන මෙම නිබන්ධන රචනය සඳහා එළඹෙන බවක් මා නිරීක්ෂණය කර නැත. තමන්ගේම නමින් ඉදිරිපත් කෙරෙන ලේඛණයක් සඳහා සිය උපරිම වෙහෙස නොදරන බහුතර ශිෂ්‍ය ප්‍රජාව මෙය දකින්නේ ‘මොනවා හෝ ලියා භාර දී බේරිය යුතු‘ යමක් වශයෙන් පමණි. ඔවුන් මොනවා හෝ ලිවීම සඳහා යොදාගන්නේ දැනට හමුවන වෙනත් ශාස්ත්‍රීය (හෝ නොවන) ලේඛණයන් ය. ඒ කෘතිවල අන්තර්ගතයෙන් උපුටා ගන්නා කරුණු යළි සිය වචනවලින් ලියා, අවසාන විශ්ලේෂණ පරිච්ඡේදයට පමණක් ඒ එකිනෙක සසඳමින් හෝ ඝටමින් යම් කිසිවක් ලියන ඔවුහු කෘතියේ කෙළවර මගේ නිරීක්ෂණ හා නිගමන මේ යැයි මොනවා හෝ පෙළ ගස්වා අදාළ දිනයේ අධ්‍යයනාංශය වෙත භාර දෙති.

දැන් ඔබට අසන්නට ප්‍රශ්න පෙළක් ඇති බව මම දනිමි. එවිට පත් කළ මග පෙන්වන ආචාර්යවරයා/වරිය කුමක්වත් කරන්නේ නැද්ද? මේ එක් වැදගත් පැනයකි. ඉතා උනන්දුවෙන් මාර්ගයෙන් පිට පනින විද්‍යාර්ථීන් මෙහෙයවා ඔවුන්ගේ වටහා ගැනීමේ හා තර්ක කිරීමේ කලාපය තුළ රැඳෙමින් වඩාත් සාධනීය නිබන්ධන ලියවීමට මග පෙන්වන ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් නොවන්නේ නොවේ. එහෙත් ඇතැම් විද්‍යාර්ථීහු මග පෙන්වන්නා මග හැර යති. තවත් අවස්ථාවල මග පෙන්වන්නෝ විද්‍යාර්ථියා ද මග හැර යති. “මම ලියපු එක දිහා බලන්නෙවත් නැතුව මේක හරි නෑ කියල විසි කළා...“ කියමින් කඳුළු සළන හෝ “බලන්නෙත් නැතුව හොඳයි කිව්වා“ කියමින් සිනාසෙන විද්‍යාර්ථීන් මට මුණ නොගැසුණේ නොවේ. “ඩෙසටේෂන් ගයිඩ් කිරිල්ල තමයි පෙන්නන්නම බැරි!“ කියමින් එයට දෙස් තබන ආචාර්ය මණ්ඩල සාමාජිකයින් මුණ නොගැසුණේ ද නොවේ.

ආයතනික වශයෙන්ම ස්වාධීන පර්යේෂණ නිබන්ධන කෙරෙහි දක්වන වැරදි එළඹුම් හා ආකල්ප ද විද්‍යාර්ථීන්ගේ ලිවීම් විනාශ කර දමයි. උදාහරණයකට ප්‍රමුඛ විශ්වවිද්‍යාල මණ්ඩපයක සියලු විද්‍යාර්ථීන්ම පාහේ සිය නිබන්ධන රචනයේ දී ඉහළම ස්ථානය ලබා දෙන්නේ ‘සම්මුඛ සාකච්ඡා‘වලට ය. ඔවුහු අදාල විෂයයට සම්බන්ධ (හෝ නැති) ප්‍රවීණයින් කිහිප දෙනෙකු මුණගැසී, මාතෘකාව ගැන ‘ඔබ සිතන්නේ කුමක් ද?‘ ස්වරූපයේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කොට, ඒ අනුසාරයෙන් විශ්ලේෂණය ඉදිරිපත් කරති. ශාස්ත්‍රීය පර්යේෂණකරණය පිළිබඳ වැරදි පදනම් සහිත ප්‍රමුඛාචාර්යවරුන් විද්‍යාර්ථීන්ගේ ප්‍රවේශය ‘හරි‘යැයි අගයන බැවින් එහි ඇති මූලික වරද විද්‍යාර්ථීහු අවබෝධ කර නොගනිති.

ශාස්ත්‍ර පීඨ හමුවේ විද්‍යා පර්යේෂකයින්ගේ බලය ද, මානව විද්‍යා පර්යේෂකයින් හමුවේ සමාජ විද්‍යා පර්යේෂකයින්ගේ බලය ද, අවසන් වසර ස්වාධීන නිබන්ධනවලදී පමණක් නොවුනත්, මෙම පර්යේෂණවල හැඩතල තීරණය කරයි. නියැදි, උපන්‍යාස, නිශ්චිත අරමුණු හා අපේක්ෂා පදනම් වන විද්‍යා පර්යේෂණ හෝ සමාජ විද්‍යා පර්යේෂණවලට වඩා මානව විද්‍යා පර්යේෂණ යොමුව අනුව වෙනස්වන බව පිළිගැනීමට හෝ ඇතැම් ප්‍රමුඛාචාර්යවරුන් සූදානම් නැත. එනිසා ද මෙම පර්යේෂණ සඳහා එළඹෙන විද්‍යාර්ථීහු අපහසුතාවට පත් වෙති.

බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් ලෙස ගැනෙන අන්‍ය ලේඛණ සොරකම ද මෙම රචනා තුළ බහුලව සිදු වන්නකි. ඉංග්‍රීසි බසින් ලියැවුණු ලේඛණයක් ‘Plagiarism Check’ කිරීම සඳහා යොමු කිරීමට මෘදුකාංග වෙතත් සිංහලයට එවැනි දේ තවම නොමැති හෙයින් ඇතැම් විද්‍යාර්ථීහු ඒ වරද කරති. ඒ හා සමග, වෙනත් විශ්වවිද්‍යාලවල අවසන් වසර නිබන්ධන කොපි කර ගෙනෙති. පැරණි නිබන්ධන ගෙන යළි පිටපත් කරති. වරක් වසර කිහිපයකට පෙර ලියූ ලේඛණයක් කොපි කර ඇති බව හෙළි වුණේ එහි සම්මුඛ සාකච්ඡාවකට බඳුන් කර තිබුණු කලාකරුවෙකු ඉන් වසර කිහිපයකට පෙර මිය ගිය අයෙකු බව හෙළිදරව් වීමෙනි.

ඉදින්, මා විමසන්නට යන අවසන් වසර ස්වාධීන නිබන්ධනයන් ද අපගේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වන අර්බුද පෙන්වන කැටපත් වැනි ය. ඒ අතරතුර අගනා කෘති නොවන්නේ ද නොවේ. එවැනි එක් කෘතියක් මේ මොහොතේ අසල රාක්කයක් තුළ හිඳ මදෙස බලා හිඳියි. “සොඳුරු සිනමා අදියුරු: තිස්ස ලියනසූරිය“ එහි නමයි. දිලීප පෙරේරා එහි ලේඛකයාගේ නමයි. සරසවි ප්‍රකාශනයක් ලෙස එය ප්‍රකාශයට පත් වීමට පෙර දිලීප එය රචනා කළේ පේරාදෙණියේ ලලිත කලා අධ්‍යයනාංශයේ අවසන් වසර ස්වාධීන නිබන්ධනය වෙනුවෙන් බව මගේ මතකය කියයි.

-ප්‍රියන්ත ෆොන්සේකා -


 

Wednesday, March 18, 2020

හෙඩිමට ‘නවක වධය‘ නොකැඳවීමට...


(2020 ‍මාර්තු 15 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

අද සටහන අරඹන්නට පෙර 2016 වර්ෂයේ මා ලියූ දීර්ඝ බ්ලොග් සටහනකින් මුල් ඡේද දෙකක් ඔබ වෙත තබන්නට ඉඩ දෙන්න.

“නවක වධය ගැන කතා බහ යළි ඇවිලී ඇත. විශ්වවිද්‍යාලවල පාඨමාලා බොහොමයක් ඇරඹෙන්නේ වසරේ මුල් කාර්තුවේ නිසා මේ ඇවිලෙන සමය බව තතු දන්නෝ දනිති. මෙවර (මේ වන තෙක්) කරළියේ කතා අතරට පැමිණ ඇත්තේ කලින් වසරවල තරම් බිහිසුණු කතන්දර නොවේ. කැළණියේ නවක සිසුවියක් තමන්ට නිදහසේ සිය අධ්‍යාපනික කටයුතු කරගන්නට ඉඩ නොදුන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමකට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන, ඇප ලබා නොදී බන්ධනාගාර ගතකර ඇති බව එක් කතාවකි. දෙවැන්න අද (මැයි 12) පුවත්පත්වල පළවී තිබුණු අතර එය ඊට වඩා ශෝචනීය වූවකි. ඒ පුවත අනුව පේරාදෙණියේ සිසුවියක් ලිපියක් ලියා තබා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතැර යළි ගම්බ්ම් බලා ගොස් ඇත.
මේ අතර, පසුගිය කාලයක් පුරාම නැගී ආ සමාජ මාධ්‍ය ජාලය පුරා ද නවක වධය ගැන බොහෝ දේ ලියැවෙන්නට පටන් ගෙන ඇත. කිසිදු අදහසක් නැතිව කැමරා තිබූ පළියට දුවයන ටෙලිවිෂන්කාරයෝද ඇප නොදුන් අයගේ අම්මලා, අක්කලා හඬා වැළපෙන අයුරු ද, කොහේ හෝ නවක වධ සිදුවීමක් එළිදරව් වූ විගස දේවාරූඩ වේගයෙන් ආවේශ වී ශිෂ්‍ය මර්දනය, ආණ්ඩුවේ කුමන්ත්‍ර‍ණඇතුළු වසර ගණනක් පිළුණු වී ඇති වචන කිසිදු  ඇහිල්ලක් බැලිල්ලකින් තොරව අතාරින අන්තරයේ නන්නත්තාර කතාන්දරද සිය කැමරාවල පුරවාගෙන විත් සාලයට අතාරින්නට පටන් ගෙන ඇත. පත්තරවල කදුළු කතාද, තවත් බොහෝ පෙරහැර විස්තරද ඉදිරියේදී අපට හමුවනු ඇත.“

දැන් මට අද සටහන ඉහත පළමු ඡේදයේ මුල් වාක්‍ය දෙක යොදමින් අරඹන්නට යළිත් අවසර දෙන්න.
“නවක වධය ගැන කතා බහ යළි ඇවිලී ඇත. විශ්වවිද්‍යාලවල පාඨමාලා බොහොමයක් ඇරඹෙන්නේ වසරේ මුල් කාර්තුවේ නිසා මේ ඇවිලෙන සමය බව තතු දන්නෝ දනිති. ....

මගේ ලේඛණය යළිත් මේ 2020 වර්ෂයේ දී, 2016 දී මෙන්ම, පෙර පරිදිම ආරම්භ කිරීමට මට දැන් බාධාවක් නැත. මා කළ යුත්තේ එහි තෙවැනි වාක්‍යයට ‘අසන්නට ලැබී ඇති පුවත බිහිසුණු මෙන්ම හද රිදවන‘ එකක් බව ලියා පසිඳු හිරුෂාන්ගේ නම ඇතුළත් කිරීම ය. අනතුරුව ඉන් පසු ඇති වාක්‍යවල රටාව හා අන්තර්ගතය අදාලත්වය අනුව සංස්කරණය කිරීම ය. මාතෘකාව නොඑසේනම් හෙඩිම තුළ යෙදෙන ‘නවක වධය‘ යන්න සිදුවීමට අනුව සැකසීම ය. කෙසේ වෙතත්, මට හෙඩිමේ ඇති නවක වධය යන්න ඉවත් කිරීමටත්, අන්තර්ගතයේ මූලික පෙළ ගැස්වීම වෙනස් කිරීමටවත් ඉඩක් නැත.

මේ නම් දැවැන්ත ඛේදවාචකයකි!

2016 වර්ෂයේ මා ලියූ බ්ලොග් සටහනේ මාතෘකාව වූයේ “නවක වධය: එය මහා සංස්කෘතියේම පිළිබිඹුවක් මිස උප සංස්කෘතියක් නොවේ!“ යන්නයි. අප දශක ගණනක් අසමතුන්වම ඡන්දයෙන් ඔසවා තබා පාර්ලිමේන්තු යවනු හා සමානවම, දශක ගණනක් අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී ක්ෂේත්‍රවලටවත් ජාතික ප්‍රතිපත්ති සකසා ගැනීමට අසමත් වී ඇතුවා හා සමානවම, තවත් බොහෝ ජාතික වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල දී මූලික ප්‍රවිශ්ටයන් හෝ ගැනීමට අසමත් වී ඇතුවා හා සමානවම, ‘නවක වධය‘ නමැති තිරස්චීන ක්‍රියාදාමය මුලිනුපුටා දැමීමේ කටයුත්තේ දී ද අසාර්ථකව ඇත.

ඒ කවර හේතු නිසා ද?  

පළමුව, සෙසු බොහෝ කරුණු පිළිබඳ මෙන්ම අප සමාජයේ මේ පිළිබඳව ද අනවරත සංවාදයක් ද, ප්‍රායෝගික හා ක්‍රියාකාරී මැදිහත්වීමක් ද නැතිවීම හේතුවෙනි. ලිපිය ආරම්භයේ මා සඳහන් කළ පරිදි නවක වධය අපගේ මාතෘකා අතර ඉහළට එන්නේ විශ්වවිද්‍යාල හා සෙසු උසස් අධ්‍යාපන ආයතනවල පළමු වසරට සිසුන් එක් වන වසරාරම්භ කාල සමයන්වල දී ය. පසිඳු හිරුෂාන්ගේ නම ඔහු හා බැඳුණු සිද්ධිය යටපත් වී යත්ම ඉදිරියේ දී මැකී යන්නට නියමිත පරිදිම නවක වධය සම්බන්ධ මේ දිනවල පවතින උණුසුම ද මාධ්‍යය වෙතින් ද, සමාජය වෙතින් ද කෙමෙන් මැකී යන්නට නියමිත ය. කෙසේ වෙතත්, රූපා රත්නසීලී සිට වරප්‍රකාශ් හරහා නැගෙන නවක වධය හෝ ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් දිවි අහිමි වූවන්/දිවි නසාගත්තවුන්ගේ ලේඛණය ද, ඊට වඩා දිගු, ආබාධිත වූවන්ගේ ලේඛණය ද, ගිනිය නොහැකි තැනක ඇති, විශ්වවිද්‍යාල හැර ගියවුන්ගේ ලේඛණය ද, කෙළවර නොවන තැනක ඉදිරියටත් පවතිනු ඇත. පාලකස්ථාන ද, කථිකාව පසෙක තබා, ‘නවක වධ පනත‘ ලෙස නාමකරණය වී ඇති සම්පාදිත නීති පද්ධතියේ ඇතැම් ඡේද ක්‍රියාත්මක කරමින් හෝ නොකරමින් තත්වය ‘පාලනය කර තබනු‘ ඇත.

දෙවනුව, නවක වධය අර්ථගැන්වීම හා/හෝ හඳුනාගැනීම පිළිබඳ සමාජය හමුවේ විසිරුණු, ප්‍රතිවිරුද්ධ එළඹුම් ගණනාවක් පැවතීමේ බිහිසුණු මෙන්ම ඛේදනීය තත්වය හේතුවෙනි. එහිලා මා යළි 2016 මගේ බ්ලොග් ලිපියේම උපුටනයක් යළි ගෙන එමි.

කෙසේ වෙතත් අප බොහෝ දෙනෙක් නවක වධය ගැන දරණ භයානකම ආකල්ප මුණ ගැසෙන්නේ ඒ පිළිබද ස්වකීය පුද්ගල අතීතය මත රැඳි පමණක් තීරණ ගැනීමට යාමෙනි. එක් එක් විශ්වවිද්‍යාලවල, ඒ ඒ පීඨවල මුණගැහෙන නවක වධ වෙනස් ස්වරූප ගන්නා බව පෙනෙන අතරම කාලයාගේ ඇවෑමෙන් ඒවායේ තත්වය වෙනස් වන බවද නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යනු ඇත. නවක වධයේ දේශපාලනික පසුබිම නිර්මාණය වූයේ ජවිපෙට සම්බන්ධ දේශපාලනය පදනම්ව නිසා සහ වත්මනෙහි ඒ නිර්මාණය වන්නේ පෙසප හා සම්බන්ධ දේශපාලනය පදනම්ව වීම හේතුවෙන් ඒ පක්ෂ හා සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා සෘජු සබඳතා නොදක්වන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හමුවේ ඒ බොහෝ විට අඩු වීමක් හඳුනාගත හැකි ය. එහෙත් නවක වධය පූර්ණ වශයෙන්ම දේශපාලනික ව්‍යාපාරයක් හා බැඳී නොපවතින්නක් වන හෙයින්ම අන්තරය හා සම්බන්ධ නොවන ශිෂ්‍ය දේශපාලනයක් පැවති පමණින් ඒ පාලනය වේයැයි සිතීම විහිළුවකි. හුදු තිබූ දේ යළි සිදු කිරීමේ උවමනාව, ‘උප-සංස්කෘතියනැසී යා නොදිය යුතුය යන සිතුවිල්ල, පරපීඩක කාමුකත්වය හෝ වෙනයම් කවරාකාරයක හෝ මනෝ ව්‍යාධි, ‘රැග් එකක් වත් කාල නැත්තං කැම්පස් ඉඳල වැඩක් නෑආදී ගුරුවර/ටියුෂන් ගුරුවර/ වැඩිහිටි/ ලොකු ලොක්කන්ගේ කතා ඇතුළු තවත් බොහෝ කාරණා නවක වධය ඉදිරියට ගෙන යාමට පසුබිම සපයයි.“

ඉදින්, අප මෙම පසුබිම් සියල්ල ඔස්සේ යමින්, විවෘතව හා මැදහත්ව මේ ඛේදවාචකය විමසන්නට සූදානම් ද? පිළිතුරු සොයන්නට සූදානම් ද?

නවක වධය ද අධ්‍යාපන පද්ධතිය බිඳ වැටී පැවතීම හා එය ඉන් ගොඩට ගැනීමට අසීරුව පැවතීම හා සමාන, දුෂ්ට චක්‍රයක් මත දිවෙන්නකි. අධ්‍යාපන පද්ධතියේ දුෂ්ට චක්‍රය පිළිබඳ සාකච්ඡාව දෙවනුවට තබමින්, නවක වධය හමුවේ වන දුෂ්ට චක්‍රය පිළිබඳ මාගේ අර්ථ නිරූපණය පහදන්නට මට ඉඩ දෙන්න.

නවක වධයට ලක්වන, එය අත් විඳින කණ්ඩායම් හමුවේ ඒ පිළිබඳ වඩා ප්‍රබල සාකච්ඡාවක් ඇති කිරීමට විශ්වවිද්‍යාල ආයතන පද්ධති කිසිදු සමයක සමත් වී නැත. ඉහළ පාලකස්ථානවල පටන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල පවා හමුවන, සිත යටින් නවක වධය පැවතිය යුතුය යන්න විශ්වාස කරන හා/හෝ ඊට අනුබල දෙවන පිරිස ද සුළු අංකයක් නොවේ. ශිෂ්‍ය සංගම් ද සෘජුව ඒ පවත්වාගෙන යන හෝ පවත්වාගෙන යාමට අනුබල දෙන ස්ථානයක පැවතීම හේතුවෙන් සංවාදය පවතින්නේ අවම අගයක ය. ටියුෂන් සංස්කෘතිය විසින් ආක්‍රමණය කොට ඇති, තරග මානසිකත්වයන් විසින් විචාරශීලීත්වය මොට කොට ඇති නවක ශිෂ්‍ය ප්‍රජාව වෙතින්ම ද මේ පිළිබඳව ස්ව-කථිකාවක් බිහිවීමේ අවස්ථා විරල ය.  එනිසාම නවක වධය පවතී. ඒ පිළිබඳ වන සංවාදය නොපවතී.

චක්‍රය ඇරඹෙන්නේ මෙම වේදනාව ‘උප-සංස්කෘතික‘ යමක් හෝ ‘සාමාන්‍ය විශ්වවිද්‍යාල තත්වයක්‘ ලෙස පිළිගනිමින් හෝ වටහාගනිමින් ඉහළට යන බහුතර ‘නිද්‍රාශීලී‘ ශිෂ්‍ය ප්‍රජාව, පළමුව ඉහළ වසරවලදී ද, දෙවනුව විශ්වවිද්‍යාලයෙන් පිටව සමාජය තුළ දී ද මේ පිළිබඳ නිහඬ ප්‍රතිපත්තියකට හෝ එකඟ ප්‍රවේශයකට එළඹීමත් සමග ය. විශ්වවිද්‍යාලය තුළ දී එක්කෝ ඔවුහු පසුපසින් එන්නන් වධයට භාජනය කරති. නැතිනම් නිහඬ වෙති. සමාජයට පය තැබූ පසු පූර්ණ ලෙසම ‘තමන්ගේ වැඩක් බලාගෙන‘ නිහඬ වෙති! ඉඳහිට තමන්ගේ අතීතය සමරණ මොහොතක මෙහි වූ ‘ත්‍රිල් කෑලි‘ සොයා ඊළඟ පරපුරට ද, රැග් එකක් වත් කාල නැත්තං කැම්පස් ඉඳල වැඩක් නෑආදී සිය ගුරුවර/ටියුෂන් ගුරුවර/ වැඩිහිටි භූමිකාවල සිට පවසමින් චක්‍රය සම්පූර්ණ කර දෙති.
නවක වධය මේ කුඩා තීරුවට ලඝු කොට ලිවිය හැකි ඛේදවාචකයක් නොවේ. එය, විශ්වවිද්‍යාල පළමු වසර තුළ ශිෂ්‍ය ප්‍රජාවේ උද්යෝගය දැඩිව බිඳ දමන්නට පසුබිම තැනීම හේතුවෙන් ජාතික වශයෙන් රටේ ඉදිරි ගමන බිඳ දමන්නට සෘජුව හේතු සපයන, ඇඟ කිලි පොළන සුළු ඛේදවාචකයකි. පසිඳු හිරුෂාන්ගේ සිදුවීම අවසන් අංකයේ තබමින් අප යුහුසුළුව මැදිහත් විය යුත්තේ පුවත්පත් හෙඩිමට නවක වධයනොකැඳවීමට ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -   

Saturday, February 29, 2020

ලංකා සාන්ත සහ ඩේමියන්


(2020 ‍පෙබරවාරි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
සුනිල් සාන්ත
මට ලංකා සාන්ත සහ ඩේමියන් හමු විය. ඒ ගෙවුණු සති අන්තයේ ය. ලංකා සාන්ත යනු සුනිල් සාන්ත නමැති, සංගීත චින්තනයක් රටට ඇති කිරීමට, රටේ සියල්ලන්ට භාවිතයට කැඳවිය හැකි අනන්‍ය සංගීතයක් සොයා යාමට කටයුතු කළ විශිෂ්ට මිනිසාගේ දෙවැනි පුත්‍රයා ය. ඩේමියන් යනු මීගමු ප්‍රදේශයේ කුඩා විලා හෝටලයක ආවතේවකරුවකු ලෙස කටයුතු කරන, වැදූ මවගෙන් හැදූ මව වෙත භාර වූ හෙයින්, මව්වරුන් දෙදෙනෙකු මට විණි යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන, දමිළ ජාතික, එනමුත් සිංහලය ද හොඳින් වහරන හිත හොඳ මිනිසා ය.

මේ දෙදෙනාගේම හමුව එකවර යෙදුණේ සුනිල් සාන්තයන්ගේ චින්තනය පිළිබඳ හැදෑරීම හා පර්යේෂණය ප්‍රමුඛ කොටගත් අධ්‍යයන පදනමක් බිහිකිරීම පසුබිම්ව යෙදුණු සමාරම්භක සැසිය තුළ දී ය. සුනිල් සාන්ත සමාජය මේ වන විටත් වඩාත් ක්‍රියාකාරී සංවිධානයකි. එය වාර්ෂිකව සුනිල් සාන්ත සංගීත භාවිතාව සැමරීමට හා ඒ මැදිහත්වීම පෙරට ගෙන යාමට විවිධ වැඩසටහන් සමාජය වෙත තබයි. ඒ ආශ්‍රිත සාකච්ඡාවන් තුළ දී පැන නැගී ඇති බව පෙනෙන මෙම අධ්‍යයන පදනමක් බිහිකිරීමේ යෝජනාව මල් ඵල ගන්වනු වස් වන පළමු සැසියට මවෙත ආරාධනාව ගෙන ආවේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ ය.

සුනිල් සාන්තයන් මෙරට අධිපති සංගීත චින්තනය හා භාවිතය විසින් ආන්තික කලාප වෙත තල්ලු කරනු ලැබූ, අද දවසේ යළි හැරී විමසන විට පෙරමුණට කැඳවීමට බොහෝ කාරණා තිබුණු බව පෙනෙන විශිෂ්ඨයෙකි. අද, සෞන්දර්යයෙන් විනිර්මුක්ත සමාජයක ජීවත් වන අපි, සංගීතය යනු රියැලිටි තරු වෙත සිය දරුවන් දැක්කීම යැයි විශ්වාස කරන දෙමාපිය හා වැඩිහිටි පරපුරක් සමග සෞන්දර්යයේ අනාගතය ගැන සිහින දකින්නෝ වෙමු. සියලු පුරවැසියන්ට වඩාත් සමීප, නමුත් කිසිදු එක් සංගීත සම්ප්‍රදානයක් වෙත තනිව ඇලී නොපවතින, දේශජ සංගීත භාවිතයක් තැනීමේ සුනිල් සාන්ත සිහිනය සාක්ෂාත් විණි නම් අද අප ජීවත් වෙමින් සිටින්නට තිබුණේ ඊට හාත්පස වෙනස් සමාජයක වීමට තිබුණු ඉඩ සුළු නොවෙන්නක් බව පෙනෙන්නේ ඔහුගේ දැක්ම විමසන විට ය. ඒ කවරාකාර වූවක් ද?

සුනිල් සාන්ත ද ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ඉහළින්ම ප්‍රගුණ කළ අයෙකි. ඒ ප්‍රකට රතන් ජන්කර් පඬිදුන්ගේ හොඳම ශිෂ්‍යයකු ලෙස ඇගයුම් ද ලබමිනි. නමුත් ඔහුගේ ආගමනය, ඔහු හා සමකාලීනව ඉන්දියාවට ගිය ලයනල් එදිරිසිංහ යනාදීන්ගේ මගින් පොළා පැන අනන්‍ය දේශීය සංගීතයක් තැනීම වෙත යොමු විය. අද දේශීයහා අනන්‍යවැනි වදන්වලට වෙනත් සංකල්ප රූප අප මනස් තුළ ස්ථාපනය කොට අහවර වී ඇතත් සුනිල් සාන්ත යෝජනා කළ අනන්‍ය දේශීය සංගීත භාවිතය වූ කලී එම කලාප තුළ සිර නොවූවක් බව පෙනෙන්නේ ඔහුගේ ක්‍රියාකාරී මැදිහත්වීම තුළ හමුවන සාර්ව-භෞමික ලක්ෂණයන් හේතුවෙනි. සැබවින්ම ඔහු යෝජනා කොට තිබුණේ කෞතුකාගාර ගත කළ යුතු අනන්‍ය - දේශීය සංගීත සම්ප්‍රදායක් පිළිබඳ නොස්ටැල්ජික ප්‍රවේශ මාර්ගයක් නොව එදිනෙදා භාවිතය තුළ පැවතිය යුතු සජීවි සංගීත භාවිතයකි.

කෙසේ වෙතත්, පසු-නිදහස් සමය තුළ පැන නැගෙන සංස්කෘතික භාවිතය තුළ පෙරටුගාමී බලඇණි වෙතින් ද, හෙළ හවුල හා සමීප වීම නිසා (සරච්චන්ද්‍ර ප්‍රමුඛ) පේරාදෙණි (ගුරු කුලයේ) මහා කථිකාව වෙතින් ද, ඉවත් කෙරුණු ලැබූ සුනිල් සාන්ත සිය ජීවිතයේ වැඩි කොටසක් ගත කොට ඇත්තේ සිය පවුලේ ජීවිකාව වෙනුවෙන් කැප වුණු සෙනෙහෙබර නමුත් අදීන පිය භූමිකාවක නිරත වෙමින් වෙනත් ස්වයං රැකියාදීයේ නිරත වෙමිනි. අගනුවරින් වැඩි ඈතක ජීවත් නොවුණ ද, එදවස දේශීය සංගීතයේ මුහුණවර තනන්නට ප්‍රමුඛ කටයුත්තක නිරත වූ ගුවන් විදුලි සංස්ථාවට වැඩිපුර ගොඩ නොවී ඇති සුනිල් සාන්ත, එහි කැඳවුණු මොහොතවලදී වුව එම ප්‍රවේශයන් ප්‍රශ්න කොට ඇති බව පෙනේ. සියලු ලාංකික ගායක ගායිකාවන් රතන් ජන්කර් පඬිතුමන් හමුවේ උත්තර භාරතීය සංගීතය පෙරමුණෙහි තබා පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු යෙදුණු විට, රතන් ජන්කර් යනු සිය ගුරුතුමන් වුව, සුනිල් සාන්ත එය ප්‍රතික්ෂේප කොට ඇත්තේ උත්තර භාරතීය සංගීතය මෙරට සංගීත සිතියම තනන්නට මුල්වන ප්‍රමුඛ ප්‍රවේශය බවට පත් කිරීමට විරෝධය පාමිනි.

සිවුදරු පියෙකු ලෙස, ස්වාත්මයෙන් ඇරඹ, රට, ලෝකය හා කලාව ඔස්සේ විහිදෙන පරිදි (සුනිල් සාන්ත, ලංකා සාන්ත, ජගත් සාන්ත යන පුතුන් හා කලා සාන්ත දියණිය) සිය දරුවන්ට ද නම් තබා ඇති සුනිල් සාන්ත ජීවන පැවැත්ම පූර්ණ ලෙස ස්වකීය දර්ශනය ඔස්සේ විහිදුවා ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ඔහු ආන්තික කලාපයක සිර කොට තබා තිබී ඇත්තේ ඔහුගේ භාවිතය සරල වැඩි, වැඩකට නැතිතැනකට පටු කොට තබමිනි. ඔහු තනන්නට යත්න දැරූ සංගීත සම්ප්‍රදානය එක් සීමාවකින් ඉදිරියට යන්නට ඉඩ නොදී සීමා පනවමිනි.

ඔහුගේ දෙවැනි පුතු වූ ලංකා සාන්තගේ පූර්ණ දායකත්වය හිමිව තිබුණේ සිය පියාගේ මේ ගමන් මග යළි පිළිවිස ඒ ඔස්සේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් වෙත ද අප මෙහෙයවන්නට ය. එය අපට පෙනුණේ සිය පියා ස්වකීය නාමයෙහි පටන් තමන් වෙත තබා ගිය ඇඟවුමෙහි සංඥාව හඳුනාගත්තෙකුගේ මැදිහත්වීමක් ලෙස ය. භාෂාව, ජාතිකත්වය ඇතුළු කලාප වඩාත් දැඩි මූලධාර්මික සංස්ථාවන් හා බද්ධව හඳුනාගැනෙන හා අර්ථ දැක්වෙන අද දවස සුනිල් සාන්ත චින්තනය යළි විමසීම ජාතිකත්වය පිළිබඳ මෙරට පසු-නිදහස් කථිකාව හඳුනාගැනීමටත්, වෙනත් මානයකින් අර්ථ දක්වා ගැනීමකටත් මග පාදනු ඇත.

එසේ නම් ඩේමියන්?  

මේ සියලු සංවාදයන් සඳහා මුල පිරුණු රෝයල් ෆීනික්ස් විලාහි ආවතේවකරුවා ඔහු ය. උදෑසන තේ කෝප්පයේ පටන් රාත්‍රී ආහාරය දක්වා අපට සැපයූ ඩේමියන්, ඉන් ද නොනැවතී අප වෙත විටින් විට විවිධ අඩුවැඩිය සැපයී ය; අවශ්‍යතා විමසා බැලී ය. අප සැම සමග අපූරු කතා කියමින් සිය ජීවිතය ගැනත්, රටේ ලෝකයේ සමාජ දේශපාලනික වටපිටාව ගැනත් තමන්ටම අනන්‍ය කියවීම් අප වෙත ගෙන ආවේ ය.

“ඔය ආදරේ කියන එක තියෙනව නේද සර්? ඒක නිකං බස් එකේ නැත්තං ත්‍රීවීල් එකේ යනව වගේ වැඩක්. ඕනැ තැනක බහින්න පුළුවන්. ඒත් කසාදෙ එහෙම නෙවෙයි. ඒක ප්ලේන් එකේ යනව වගේ. නැග්ගට පස්සෙ බාන කං බැහිල්ලක් නෑ. මොකද ආය දොර ඇරන් පනින්නයැ?”

එවැනි කතා සමගින් ඔහු අප සිනා ගැන්වූයේ ය.

නමුත් අපූර්වතම අවස්ථාව හමුවූයේ අවසන් දිනයේ කපිල දිසාසේකර සිය ඉලෙක්ට්‍රොනික කී බෝඩය වයමින් ගීත ගැයූ මොහොතේ ය. අප වෙත ආ ඩේමියන් සුනිල් සාන්තයන්ගේ ‘ඕලු පිපීලා’ ඇතුළු ගීත කිහිපයක්ම වයන ලෙස කපිලගෙන් ඉල්ලා සිටියේ ඒ ගීත පිළිබඳ ඇගයුමක් ද ලබා දෙමිනි.

“ඒව හරි ලස්සන සිංදු සර්. මම දෙමළා තමා. හැබැයි මුං දැං මේ බාසාව කන එකට මට තරහයි. මේක සිංහල- දෙමළ කතාවක් නෙවෙයි. මුං සේරම මේක කනවා....”

ලංකා සාන්ත අනුග්‍රහය දක්වමින්, මහාචාර්ය ජයන්ත අමරසිංහගේ කැඳවීමට අනුව මා සම්බන්ධ වුණු සුනිල් සාන්ත අධ්‍යයන පදනම පිහිටුවීමේ අවස්ථාවේ දී ඩේමියන් හමුවීම මට නම් සුවිශේෂ ය. ඔහු නොකීව ද ඔහුගේ නම අනුව ඔහු දමිළ කතෝලිකයෙකු වන්නට ඇති ඉඩ වැඩි ය. නමුත් ඔහු සිංහල-බෞද්ධ දෘෂ්ඨිවාදයේ බල කේන්ද්‍ර විසින් ආන්තික කලාප වෙත තල්ලු කෙරුණු සුනිල් සාන්ත භාවිතාවේ වැදගත්කම ගැන අපට කියයි. එහි පොදු පුරවැසි නියෝජිතයෙක්ව නදීක ගුරුගේ, අජිත් කුමාරසිරි හා කපිල දිසාසේකර ඇතුළු පිරිස ගෙන ආ සුනිල් සාන්ත නිර්මාණ භාවිතය විඳියි.

සුනිල් සාන්ත දෙස අප හැරී බැලිය යුතු ය. ඒ ලංකා සාන්තගේ ඇරයුම හේතුවෙන් පමණක් නොවේ. ඩේමියන්ගේ ද ඇරයුම හා සිහි කැඳවුම හේතුවෙනි.


-ප්‍රියන්ත ෆොන්සේකා -