Thursday, August 27, 2020

සුගතපාල ද සිල්වා වෙනුවට ඉරාජ් වීරරත්න: තරුණ සේවා සභාව පිළිබඳ සංඥා වෙනස් වීම

(2020 ‍අගෝස්තු 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

1967 වර්ෂයේ දී  එවකට රජයේ  අමාත්‍යවරයෙකු වූ ජේ ආර් ජයවර්ධන විසින් ගෙන එන ලද යෝජනාවකට අනුව පිහිටුවෙන ජාතික තරුණ සේවා සභාව එහි ඉතිහාස පුවතට අනුව වඩාත්  දියුණු මාවතකට පිළිපන්ව ඇත්තේ 1977න්  පසු එළඹෙන එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ය. ජනතා අප්‍රසාදයට බඳුන් ව තිබුණු සභාව වසා දැමීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට චරිත රත්වත්තේ වෙත කෙරුණු භාරදීම කෙළවර වී ඇත්තේ ඔහු යටතේ වඩාත් කාර්යක්ෂම හා විවිධාංගීකරණය වූ තරුණ සේවා සභාවක් එළි දැකීමෙනි.  එවකට රජයේ තරුණ කටයුතු අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ යටතේ නැගුණු ජාතික තරුණ සේවා සභාව  ජපාන රජයේ ආධාරයෙන් මහරගම ගොඩනැගෙන අපූර්ව පරිශ්‍රයක් වෙත යොමු වන්නේද මේ සමයේ දී ය.

රජයේ සෘජු පාලනය යටතේ පැවතීම නිසා ම බලය හිමිකරගන්නා පාර්ශවයන්ගේ සෘජු බලපෑමට නතු වන ආයතන ලයිස්තුවට ජාතික තරුණ සේවා සභාව ද එක් වූ නමුත් 1980 දශකය එම සභාව යටතේ  ක්‍රීඩාසංස්කෘතික, පුහුණු, අධ්‍යාපනික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සාධනීය මැදිහත්වීම් සිදුකෙරුණු යුගයක් බව නොරහසකි. ඉන් පසුව එළඹුණු කාල සමයන් තුළ වුව තරුණ සේවා සභාවේ මැදිහත්වීම් ජාතික තලයේ අවධානය දිනාගන්නා මට්ටමකින් සිදු වූ අවස්ථා නොතිබූයේ නොවේ. මුල් යුගයේ බෙල්වුඩ් රූපවාහිනී ගම්මානය ආශ්‍රිතව නැගී ආ සංගීත, නර්තන ආදී කණ්ඩායම් ජාතික කලා භාවිතය තුළ ඇති කළ බලපෑම සුළු නොවේ. තරුණයන් හමුවේ මුණගැසුනු එකම ජාතික නාට්‍ය උළෙල වූ යොවුන් නාට්‍ය උළෙල ගෙවුණු දශක කිහිපය තුළ රටේ නාට්‍ය ක්ෂේත්‍රය වෙත කළ මැදිහත්වීම  ප්‍රබල ය. 

ජාතික තරුණ සේවා සභාව පිළිබඳ විවිධාකාර සංඥා ඒ ඒ සමයන් හි සමාජය තුළ පැතිර ගිය අන්දම අපට සිහි කළ හැක. කලා හා සංස්කෘතික කලාපය එහිලා  සුවිශේෂ ය. චන්ද්‍රලේඛා පෙරේරාෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන  හෙට්ටිආරච්චි ඇතුළු ගායක ගායිකාවන් ලාංකික ගීත කෙත තුළ සිය නාමයන් සටහන්  කරන්නේදරාජිත දිසානායකධනංජය කරුණාරත්න, ප්‍රසන්නජිත් අබේසූරියඉන්දික ෆර්ඩිනැන්ඩු වැනි පසුකාලීනව ජාතික  නාට්‍ය තලය තුළ ප්‍රමුඛ මැදිහත්වීම් සිදු කළ නාට්‍යකරුවන් හඳුනා ගැනෙන්නේ ද තරුණ සේවා සභාවේ කටයුතු හරහා ය‍. 

ඉහත  ‍ප්‍රමුඛ නාට්‍යකරුවන් තරමටම අත්දැකීම් නොවෙතත් තරුණ සේවා සභාව මගින් සංවිධානය කෙරුණු යොවුන් නාට්‍ය උළෙල වෙත කෙටි නාට්‍යයක් හා දිගු නාට්‍යයක් ඉදිරිපත් කොට ඇති අයෙකු ලෙස ඒ හා බැඳුණු මතක ආවර්ජන මවෙත ද ඇත.  1996 වර්ෂයේදී යොවුන් නාට්‍ය උළෙලට මා ඉදිරිපත් කළනොනිමි’ නම් ලද කෙටි නාට්‍යය තරුණ ප්‍රාදේශීය නිර්මාණකරුවෙකු ලෙස සුගතපාල ද සිල්වා මහතා මුණගැසීමට වාසනාව හිමිවූ එකම අවස්ථාව ලෙස මගේ මතකය තුළ ඉතිරිව ඇත.  ප්‍රාදේශීය වටයට මා ඉදිරිපත් කළ නාට්‍යය පිළිබඳ ස්වකීය අදහස් ඔහු මා වෙත ගෙන ආවේ එම වටය විනිශ්චය කිරීමට පැමිණි විනිසුරුවකු ලෙස නොව සිය දරුවකුට මගපෙන්වන පියකු ලෙසිනි.  එය උළෙලේ අවසන් වටය නියෝජනය කළේ එම අදහස්වලින් මා ලද පන්නරය ද සමගිනි.

 නිසැකවම මා වැනි නිර්මාණකරුවන්ට ස්වකීය යොවුන් නාට්‍ය නිර්මාණ ඉතිහාසය තුළ සුගතපාල ද සිල්වා යන පීතෘ සංඥාව රැඳී ඇතුවාට සැක නැත. එය වඩාත් මා වෙත තහවුරු වූයේ  ධනංජය කරුණාරත්න විසින් පසු කලෙක මවෙත පැවැසූ ඔහුගේ අතීත ස්මරණයන් සමගය. තරුණ නාට්‍යකරුවෙකු ලෙස ඔහු සිය නිර්මාණ වෙත ප්‍රවේශ වෙමින් උන් සමයේ සුගතපාල ද සිල්වා මහතා සමග, එතුමන් නාට්‍යකරුවන්ගේ කෘති විමසමින් යන පසුබිමෙහි අසුන්ගෙන, ඔහුගේ අර්ථ විවරණ විමසමින් ගතකළ ආකාරය රසවත්ව ධනංජය කරුණාරත්න විසින් වරෙක සිහි කැඳවනු ලැබීය. ඒ අනුව, තරුණයෙකු නොවූවද, සුගතපාල ද සිල්වා ජාතික තරුණ සේවා සභාව පිළිබඳ අතීත සංඥාවකි. එහි නාට්‍ය හා බැඳුණු කලාපය තුළ මකා නොදැමිය හැකි පුරාවතකි.

සුගතපාල ද සිල්වා සංඥාව යළිත් මගේ මනස වෙත නැගුනේ නව තරුණ කටයුතු අමාත්‍යවරයා ස්වකීය පාලන කලාපය තුළ වන ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙත සිදුකළ නව පත්වීම් දෙකක් පිළිබඳ පුවත නෙත ගැටීමත් සමඟ ය.  මහ මැතිවරණයට සතියකට පෙර  ආන්දෝලනාත්මක යූටියුබ් ගීතයක් තැනූ ඉරාජ් වීරරත්න දජනාධිපතිවරණය වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ ගීතය ගැයූ ටෙහානි ඉමාරා ද  එම ධූරයන් දෙක  දිනා ඇත. ඒ හා සමග ඉමාරා කෙසේ වුව වීරරත්න සංඥාව තරුණ සේවා සභාව හා බැඳී නුදුරු සමය තුළ නැගෙනු ඇත.

  සුගතපාල ද සිල්වා මහතා තරුණ සේවා සභාවේ  අධ්‍යක්ෂක මණ්ඩල ධුරයක  කටයුතු කළ බවක් මා අසා නැත.  කෙසේ වෙතත් ඔහු වැන්නෙකු එහි නාට්‍ය කලාපය හා සම්බන්ධ කරගන්නට එවකට එහි උන්  අධ්‍යක්ෂ මණ්ඩලවලට අවබෝධය තිබී ඇත. ‍ලාංකික නාට්‍ය කෙත හා සම්බන්ධ දශක කිහිපයක මෑත ඉතිහාසයේ සිතියම හැඩ ගන්වන්නට සිල්වා මහතාගේ දායකත්වය තැනෙන්නේ එම තීරණවලට පින් සිදුවන්නට ය.


සුගතපාල ද සිල්වා සංඥාව මකා දැමීමට වීරරත්න සංඥාවකට අවකාශ නොලැබෙනු ඇතත් ඔහුගේ මැදිහත්වීම හේතුවෙන් අනාගතය තුළ නැගෙන්නට ඉඩ ඇති සංඥා කවරාකාරදැයි යන්න අනාගත කලා සංස්කෘතික කලාපය අපට කියා දෙනු ඇත. ඒවා සරලමතික නොවන බව නම් සිය මැදිහත්වීම් හරහා වීරරත්න දැනටම සංඥා කොට හමාරය.

 

-       ප්‍රියන්ත ෆොන්සේකා -

 

Wednesday, August 12, 2020

දේශපාලන විද්‍යාවේ වැදගත්කම සහ ඉරාජ්ගේ ජවිපාවුන්

(2020 ‍අගෝස්තු 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

දැන් ඡන්දය හමාරය. පුවත්පත කියවන මොහොත වන විට  ඔබ ඡන්දයේ ජය කා වෙත හිමි වී ඇත්දැයි දැන සිටිනු ඇත. එක්  නියෝජිතයෙකු වෙනුවෙන් කෝටි තුනකට අධික මුදලක් වැය කරමින් පැවති ඡන්ද විමසීම කෙළවර ඉදිරි වසර පහ සඳහා නීති සම්පාදනය සිදුකෙරෙන ව්‍යවස්ථාදායකය වෙත මහජන ඡන්දයෙන් පත්කොට යැවුණු 225 දෙනා කවුරුන්දැයි ඔබ හඳුනාගෙන සිටිනු ඇත. තවමත් ඒ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත්වී නැති නම් එලඹෙන දිනයේදී හෝ ඊට පසු දිනයේ ඔබ එය හඳුනාගනු ඇත. උත්තරීතර ‍ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්, ඔබ කැමති වුවත් අකමැති වුවත්, බහුතර මතය දිනා ඇති හෙයින් එළඹෙන කාලය තුළ අපගේ නියෝජනය පාර්ලිමේන්තුව තුළ සිදු කරනු ඇත්තේ එම පිරිස විසිනි.

 ඡන්ද විමසීම කෙළවර වී තිබුණ ද ඡන්දයට ආසන්න සමය තුළ අපගේ සමාජ දේහය අබියස මුණගැසුනු ඒ ඒ දේශපාලන කඳවුරු විසින් හඳුන්වාදුන් ස්වකීය දෘෂ්ටිවාදයන්ට අනුකූල යම් සංකේතික සිදුවීම් නැවත හැරී විමසා බැලීම සමාජ සත්වයෙකු ලෙස අප විසින් සිදුකරනු ලැබිය යුත්තකි. ඒ එළැඹෙන වසර පහ හෝ එසේත් නොමැති නම් එළැඹෙන වසර දහය හෝ පහළොව වුව කුමන ස්වරූපයක් ගනු ඇත්දැයි මෙන්ම සමාජ සංස්කෘතික වටපිටාව කවර හැඩතලයක් නිර්මාණය කරනු ඇත්දැයි එම සිදුවීම් විසින් පෙන්වා දෙනු ලැබ ඇති හෙයිනි.

 මෙම කුඩා සටහන එම සමය තුළ මුණගැසුනු, බැලූ බැල්මට එකිනෙක නොබැඳුණු සිදුවීම් දෙකක් ඔස්සේ විහිදුවමින් සාකච්ඡාවකට මුලපිරීමක් වෙත යොමුවනු ඇත. ඒ සාකච්ඡාවකට මුල පිරීමකැයි මා හඳුන්වන්නේ එළඹෙන වසර කිහිපය පුරාම අපට එම සාකච්ඡාව ඉදිරියට විහිදුවීමට හැකි බැවිනි. රටේ අධ්‍යාපනය පිළිබඳ පාලකස්ථානයේ ආස්ථානය මෙන්ම එම ආස්ථානය පදනම් වූ එළඹුමකදී කලාව සහ එහි භාවිතය පිළිබඳ කියවීම කුමනාකාර දැයි එම සිදුවීම් අප වෙත සංඥා කොට ඇති බැවිනි.

 මහ ඡන්දයට ආසන්න දිනක ඡන්ද රැස්වීමකට සහභාගී වුනු රටේ ජනාධිපතිවරයා දේශපාලන විද්‍යාව හැදෑරීමේ පදනම කුමක්දැයි ස්වකීය  පක්ෂයේ ඡන්ද දායයකුගෙන් විමසනු ද හැදෑරිය යුත්තේ තාක්ෂණික විෂයන් බවට  උපදෙස් දෙනු ද මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබිණ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉලක්ක කොටගත්, ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කෙරුණුජවිපාවුන්ගීතය යූටියුබ් අවකාශය ඔස්සේ ජනගත කෙරුණේ ඊට  නුදුරු දිනයක ය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මෙන්ම ඉරාජ් වීරරත්න ගේ ගීතය ද වැඩි ජනතා අවධානයකින් සාකච්ඡාවට  ගැනෙනු  දක්නට ලැබිණ. සමාජ හා මානව විද්‍යාවන් විෂයෙහි ජනාධිපතිවරයා දක්වන උදාසීන එළඹුම එක් අතකින් විවේචනයට ලක් වත් දී ගීතය හරහා වීරරත්න රැගෙන එන කලා විරෝධී ප්‍රවේශය තවත් අතෙකින් විවේචනයට ලක් විය. ඒ එම ආස්ථානයන් පිළිගන්නා ප්‍රජාවෙහි ඇගයුමට සමාන්තරවය.

  දේශපාලන විද්‍යාව පිළිබඳ රාජ්‍ය නායකයාගේ උදාසීනත්වය මෙන්ම එම කඳවුරට සෘජු සහයෝගයක් දක්වමින් වීරරත්න නිර්මාණය කොට එළිදක්වන යූටියුබ් ගීතය යන දෙකම ඉතා ආසන්න, එකම කාසියේ දෙපැත්ත ලෙස වුව හැඳින්විය හැකි, එළඹුම් ලෙස යෝජනා කරන්නට මම කැමැත්තෙමි. 

සමාජයේ බුද්ධිමය සංවාදයන් පිළිබඳ හමුවන වඩාත් පැරණිම එමෙන් ම දියුණුම අවස්ථාවන් අපට මුණ ගැසෙන්නේ ග්‍රීක යුගයෙනි. සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ප්‍රමුඛ එම කලාපයේ දාර්ශනික න්‍යායාචාර්යවරුන් ස්වකීය සංවාද මණ්ඩප තුළ ඉහළම අගයක තබා සාකච්ඡා කොට ඇති මාතෘකා අතර දේශපාලන විද්‍යාවට මෙන්ම කලාවටද හමුවන්නේ  ප්‍රධාන ස්ථානයකි. ප්ලේටෝගේ ‘ජනරජය’ මෙන්ම ඇරිස්ටෝටල්ගේ ‘කාව්‍ය ශාස්ත්‍රය’ අපට හඟවන සත්‍යය එයයි. එතැන් පටන් හමුවන දියුණු සමාජ යුගයන්හි මෙන්ම දියුණු දේශයන්හි එළඹුම් වල ද මෙම විෂයන් පිළිබඳ සංවාදය ඉදිරිගාමී තැනක පැවති බව අතීතය අපට දෙස් දෙයි. ග්‍රීක යුගයෙන් පසු රෝම යුගය වඩාත් දියුණු තැනක ලා අප විසින් හඳුනාගනු ලබන්නේ ද ඉන් පසුව එළඹෙන යුගය ඉතා දිගු වුවත් අඳුරු මධ්‍යකාලීන යුගය ලෙස හඳුනාගනු ලබන්නේ ද යටකී මානව හා ශාස්ත්‍ර විෂයයන් ප්‍රමුඛ කලාපයන්ට ඒ ඒ යුගයන් තුළ ලබාදී තිබුණු පිළිගැනීමද හේතුවෙනි.

අධ්‍යාපනය හැදෑරීම හුදෙක් රැකියා අවස්ථාවක් දිනාගැනීම ලෙස පමණක් දැකීම බුද්ධිගෝචර එළඹුමක් නොවේ. සෑම පුරවැසියෙකුටම යහපත් ජීවිතයක් ගත කිරීමට පසුබිමක් සැලසීම පාලකස්ථානයකින් පුරවැසියා බලාපොරොත්තු වන ප්‍රධාන මැදිහත්වීමක් වන අතරම තමා වැඩි කැමැත්තකින් විමසන්නට එළඹෙන විෂය කලාපයක් හදාරන්නට සුදුසු අධ්‍යාපන වපසරියක් නිර්මාණය කිරීම ද එම පාලකස්ථානයේ වගකීම වේ. වැඩි රැකියා අවස්ථා ඇති (ඇතැම් විට එසේ පෙනී යන) විෂය මේ යැයි පෙන්වා දෙමින් පුරවැසියා රේඛීය කලාප වෙත තල්ලු කොට හැරීම ඉතා ඛේදනීය අවසානයක් වෙත සමාජයක් තල්ලු කොට හැරීමක් ද වනු ඇත.

 එවැනි සමාජයක් කුමන ස්වරූපයක් ගනු ඇත්දැයි යන්න සිය ප්‍රකාශයෙන් දිනකට දෙකකට පසු පෙන්වා දෙන ආකාරයේ එළඹුමක් වීරරත්න විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. කලා ප්‍රකාශනයක තිබිය යුතු මූලික සදාචාර එළඹුම් පවා උල්ලංඝනය කොට ඇති, අපහාසය හා උපහාසය අතර ඇත්තේ තනි අකුරක වෙනසක් ඉක්මවා යන ගැඹුරු වටහා ගැනීමක් බව නොදැන, ඉදිරිපත් කරනු ලැබ ඇති එම යූටියුබ් ගීතය සමාජ හා මානව විද්‍යා විෂයයෙහි අපගේ ලුහු කියවීම කෙතරම් බිහිසුණු සමාජ දේහයක් සාදන්නට මග පාදනු  ඇති දැයි පෙන්වා දෙන කැඩපතක් වැනිය. අවන්ත ආටිගලගේ කාටුනයක් දැක අප වෙත නැගෙන සිනහව වෙනුවට එම ගීතය අප වෙත නංවන ජුගුප්සාව ඉතා භයානක පෙරනිමිත්තක් පිළිබඳ සංඥාවකි. සංවේදී සමාජ සත්වයින් ලෙස අප යටකී ප්‍රකාශය සහ ගීතය යළියළිත් විමසා බැලිය යුත්තේ එහෙයිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා- 


සේ‍යාරුව: FABRICE COFFRINI/AFP/Getty Images

 

Monday, August 3, 2020

කලාව සහ සංස්කෘතිය අභියස ඡන්දය


(2020 ‍අගෝස්තු 02 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

මෙම  පුවත්පත ඔබ අතට පත්වන මොහොත වන විට මහ ඡන්දයට ඉතිරිව තිබෙනු ඇත්තේ සතියකට නො අඩු කාලයකි.  තවත් සතියකින් නව පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වන මන්ත්‍රීවරුන් 225  දෙනා කවුරුන්දැයි යන වග අප විසින් හඳුනා ගැනෙනු ඇත. ඉන් අනතුරුව අපගේ සංස්කෘතික ජීවිතය කවර ආකාරයෙන් ගෙවී යා යුතුදැයි වසර පහක් මුළුල්ලේ ඔවුන් විසින් තීරණය කෙරෙනු ඇත. සංස්කෘතිය වරනැගීම අතීතය හා බැඳුණු දේ  පිළිබඳ පහදා දීම කලාවේ හැඩතල කවරාකාර විය යුතු දැයි පෙන්වා දීම ඇතුළු බොහෝ කාරණා පිළිබඳ කලාප තුළ  ඔවුන්ගේ පෙනෙන නොපෙනෙන බලාධිකාරිය පැතිර විහිදෙනු ඇත.

සංස්කෘතිය යනු  අමාත්‍යාංශයක් ලෙස දකිනා පාලකයින් සමග අපි දශක ගණනාවක් ජීවත්ව ඇත්තෙමු.  මානව ශිෂ්ටාචාරය තුළ වඩා ඉහළ කලාපයක තබා සාකච්ඡාවට ගැනෙන සංස්කෘතිය හා බැඳුණු බොහෝ කාරණා ඉතා සුළු වාක්‍ය ඡේද තුළ තබා ගොනු ගත කොට පසෙක තැබූ යුගයන් අප විසින් පසු කරනු ලැබ ඇත්තෙමු.  එළැඹෙන ඡන්දයේ ප්‍රතිඵලය අපට යෝජනා කරනු ඇත්තේ ද තවදුරටත් මෙම ස්වරූපයේ සමාන පාලන අධිකාරියක් සමග තවත් වසර කිහිපයක් අප ජීවත් විය යුතු බව මිස වෙනයම් කිසිවක් නොවන බව පිළිබඳ සඳහන් හඳුනාගැනීම මේ වනවිටත් අසීරු නැත.

සංස්කෘතික මිනිසා යනු වඩා ඉහළ සංවේදී කලාපයන් සමඟ ගනුදෙනු කරන දියුණු මානවයෙකි. ‘හෝමෝ සාපියන්ස් සාපියන්ස්’ යන විද්‍යාත්මක අර්ථගැන්වීම තුළ ශරීරාංග පිහිටි පමණින් මිනිසකු සංස්කෘතික සත්වයෙකු වන්නේ නැත. ඒ සඳහා වඩා ඉහළ බුද්ධිමය කතිකාවක් වෙත පිවිසීමේ හැකියාවද ඔහු හෝ ඇය වෙත පැවතිය යුතුය. ස්වකීය අධ්‍යාපන මට්ටම හා සමාජ වටපිටාව යනාදිය හේතුවෙන් මෙම හැකියාවෙහි උස්පහත් වීම් පැවතිය හැකි වුවද සංස්කෘතිය පිළිබඳ සංවේදනයකින් තොර සමාජ ජීවියෙකු ලෙස  සිය දිවිය පවත්වා ගෙන යෑම මිනිසෙකු වෙතින් බලාපොරොත්තු නොවිය යුත්තකි.

 අතීත කම්කරු සටන් තුළ පැය අටක සේවා මුරය පිළිබඳ අරගලය නිර්මාණය වන්නේම ඉතිරි පැය දහසය පිළිබඳවද අර්ථ ගැන්වීමක් ද සහිතවය. මිනිසෙකු දිනෙක වෙහෙස නිවා දමා එළඹෙන දිනට සූදානම් වනු පිණිස පැය අටක් නින්දට සහ වෙහෙස නිවා ගැනීමට වෙන්කොට තබන්නේ නම්  ඉතිරි පැය අට කුමක් සඳහා විය යුතු ද?  සංස්කෘතික ජීවිතය හමුවන්නේ එම  පැය අට තුළ ය! ස්වකීය කුටුම්භය හා ඥාති හිත මිතුරන් සමග ගත කිරීම, කලාව හා සාහිත්‍යය ඇසුරු කිරීම, විනෝද චාරිකා, සතුටු සාද ඇතුළු බොහෝ දේ මෙම සංස්කෘතික ජීවිතය හා  බැඳී අප වෙත  ප්‍රවේශ විය යුතුය. දියුණු රටක පුරවැසියාගේ ජීවන තත්ත්වය මැන බැලීමේදී මෙම කරුණ වෙත තියුණු අවධානයක් යොමු වන නමුත් අපි සංස්කෘතිය අමාත්‍යාංශයකට බාරදී, ඇමතිවරයා පිළිබඳ විශ්වාසය තබා, ජීවිතය බස් රථවල පාපුවරුවේ එල්ලමු. අසීරුවෙන් නිවසට ගොඩ වැදී, සංස්කෘතිය විනාශ කරන ලොවට බැණ  වදිමින් මෙගා ටෙලිනාට්‍ය බලා නින්දට යන්නෙමු.

 එළැඹෙන ඡන්දයෙන් පසුව ද මෙම ඛේදනීය ස්වරූපය උඩු යටිකුරු කිරීම සඳහා ප්‍රභවයක් සහිත පාලකස්ථානයක් අපට හිමි වේයැයි බලාපොරොත්තුවක් තබාගැනීමේ සුවිශේෂ පසුබිමක් පෙනෙන්නට නැත. එසේ වුව පුරවැසියන් ලෙස, සමාජ ජීවීන් ලෙස මෙම තත්ත්වය පිළිබඳ සංවේදී, අවම මැදිහත්වීමකින් හෝ සමාජ දේහය  දශමයකින් හෝ ඔසවා තබන්නට මැදිහත්වන කවරකු හෝ අපගේ නියෝජිතයින් ලෙස තෝරා පත් කර යැවීමේ වගකීම අප හමුවේ ඇත. සිනමාව යනු, ආරාධනා ලැබුණු පසු මංගල දර්ශනයට ගොස් සුභ පතා පැමිණෙන යමක් සහ ස්වකීය හිතවතුන් විසින් තනා අහවර කරන කෘතීන් අධ්‍යාපන අමාත්‍යාංශ නිර්දේශ යටතේ ආදායම ඉහළ නැංවිය යුතු යමක් ලෙස දකින පාලකස්ථානය සහ ඉඳහිට සම්මාන උළෙලක් දෙකක් පැවැත්විය යුතු යමක් ලෙස දකින පාලකස්ථානය, නාට්‍යය යනු නෙළුම් පොකුණ රඟහල තුළ රඟදැක්වීමට පමණක් දැනෙන දෙයක් ලෙස හා රාජ්‍ය සම්මාන උළෙලකට සීමා විය යුතු දෙයක් ලෙස දකින පාලකස්ථානය, සාහිත්‍යය යනු සැප්තැම්බරයට එළඹෙන පොත් ප්‍රදර්ශනයක් සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලක් ලෙස පමණක් දකින පාලකස්ථානය, සංගීතය යනු රියැලිටි වැඩසටහන් තුළ ගැයෙන ගීත සහ ස්වකීය පිළිගැනීමේ හා විවෘත කිරීමේ උත්සව තුළ  ගැයෙන ප්‍රශස්ති ලෙස පමණක් දකින පාලකස්ථානය, නර්තනය යනු මගුල් බෙර සහ පිලිගැනීමේ උඩරට නැටුම් ලෙස පමණක් දකින පාලකස්ථානය වෙනස්  නොවූවද, එම ආස්ථානයන් වෙත යම් බලපෑමක් කළ හැකි හෝ නියෝජිතයින් කිහිප දෙනෙකු හෝ පාර්ලිමේන්තුව වෙත යැවීම අපගේ වගකීම් අතර ඉදිරියෙන් වෙයි.

ආර්ථික සමෘද්ධිය, ගොඩනැගිලි, මං මාවත් පිළිබඳ පමණක් සඳහන් කරමින්, පුරවැසියාගේ සංස්කෘතික ජීවිතය අමතක කොට දමන පාලකස්ථානය ඉහත කී හඳුනා ගැනීම්වලට බැහැරින් වන ප්‍රකාශන දකින්නේ ස්වකීය ගමන් මඟට බාධා එල්ල කරන දේ පමණක් වන ලෙස බැවින් ඔවුන්ගේ ප්‍රවේශය එහිදී වාරණය සහ මර්දනය වෙත යොමුවීමේ ඉඩකඩ වඩා ඉහළ අගයක පවතින බව අප විසින් වටහාගත යුතුව ඇත. ඒ හේතුවෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම යනු ආර්ථික නගා සිටුවීම පිළිබඳ, හොරමැරකම් සහ දූෂණය මැඩලීම පිළිබඳ හා පොරොන්දු ඉටුකිරීම පිළිබඳ අපගේ සිහිනය හා එක්වගෙන විමසනු හා සමානව සංස්කෘතික ජීවිතය පිළිබඳ සිහිනය හා එක්ව ගෙන විමසීමද අත්‍යාවශ්‍ය ය.

ඡන්ද යනු කතිරයක් හෝ මනාපයක් පමණක් නොවේ. රාත්‍රියක්  ගෙවෙනතුරු ප්‍රතිඵල පිටවන අයුරු විමසීම පමණක් නොවේ. එහි පසුපස සැඟව ඇත්තේ අපගේ ජීවිත අනාගතය පිළිබඳ සඳහන ය.

 -ප්‍රියන්ත ෆොන්සේකා-


සේයාරුව: https://www.blackenterprise.com/

Friday, July 17, 2020

ටෙලි තිරය ඉසියුම්ව සැරසීම: තණමල්විල කොල්ලෙක්


(2020 ‍ජූලි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

වර්ග කිලෝ මීටර හැටහය දහසක් නොඉක්මවන කුඩා බිම් ප්‍රමාණයක විහිදි අප දිවයිනෙහි එක් එක් කලාප යළිත් අනේක ප්‍රවර්ග ඔස්සේ බෙදා අගයන්නට හෝ ගරහන්නට අප සමාජය තුළ ඇති හැකියාව විස්මිත ය. අනුරාධපුරය හා මහනුවර වැනි නගර අපට පූජා බිම් වන අතර නුවරඑළිය එංගලන්තය ද පරදන තරමේ එංගලන්තයකි. යාපන අර්ධද්වීපයම යුධයකින් දිනූ ජයබිමක් ලෙස දකින අපි විල්පත්තුව දේශපාලකයින්ගේ රුදුරු හස්තයට හසුවී විනාශ වී යන වනාන්තරයක් ලෙස ද, කොළඹ මුහුද ද වසමින් පැතිරෙන දියුණුවේ අගනුවර ලෙස ද ගනිමු. ඒ අනුව ඒ දිගු ලැයිස්තුවේ තණමල්විලට හිමිවන්නේ ඇගයුම් නාමයක් නොවේ. එපෙදස, තහනම්ව ඇති කංසා රහසින් වගා කොට රටට බෙදා හරින කලාපයකි. චාමර වීරසිංහගේ මුවින් ‘තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට’ ලෙස ගැයෙන්නේත්, ඒ ගීයේ තාලයට සංගීත ප්‍රසංගවලදී අප නටන්නේත් එම ‘පොදු’ පිළිගැනීමට අවනත වෙමිනි.

කෙසේ වුවත්, ඉම් බිම් හමුවේ මේ පොදු ඇගයුම් හා ගැරහුම් හමුවේ අප වෙතින් මැකී යන එක් නිශ්චිත කරුණක් වෙයි. ඒ මේ සියලු කලාපයන්හි සිය ජීවිතය දිනනු වස් නෙක අරගලයන්හි නිරත වන දස දහස් ගණනින් වන මිනිසුන් දිවි ගෙවන බව ය. එය පූජා බිම් අභිමුව මල් විකුණන, ශීත නුවරඑළියේ මහමග සිට එළවළු මළු දිගුකරන, යාපනයේ යුධ ජය බිම් සොයා යද්දී මිදි පොකුරු ගෙන එන, විල්පත්තුව දෙසට යද්දී බඩඉරිඟු තම්බා මග බලා සිටින මිනිසුන් දකිද්දී අපට හැඟුණත් යළි මූල රූපය තුළ ඉතිරි වන්නේ යටකී ඇගයුම්-ගැරහුම් නාමයන් පමණි.

ගෙවුණු සතියේ නිමාව දුටු, රොෂාන් රවීන්ද්‍රගේ පළමු ටෙලි සිත්තම වූ ‘තණමල්විල කොල්ලෙක්’, ගැරහුම් නාමයක් ලෙස පොදු සමාජය තුළ ස්ථාපිතව පැවති තණමල්විල සිය කෘතියේ නාමය තුළම තබා පැමිණියකි. එහිදී අපට මුණ ගැසෙන්නේ, සතියෙන් සතිය ගෙවී යද්දී තව දුරටත් හඳුනා ගැනෙන්නේ එම ‘ගැරහුම් බිම’ පසුපස සැඟවී ඇති මිනිස් ජීවිත පොකුරකි. සැබවින්ම තණමල්විලෙන් ගලවා ඔවුන්ව අප මැදවච්චියේ හෝ කිලිනොච්චියේ තැබූව ද, සීතාඑළියේ හෝ හාවාඑළියේ තැබුව ද පසුතල හා ඇතැම් විට ඇඳුම් පැළඳුම් සහ ඡවි වර්ණය වෙනස්වීම හැර හමුවන අරගල හා අර්බුදවල තීරණාත්මක වෙනස්කම් හමු නොවනු නියත ය. මේ සෑම කලාපයකම සිය ජීවිතය දිනනු වස් අනවරත අරගලවල නිරත වූ සහ නිරත වන විවිධ ජීවිත කොතරම් ඇති ද?

සුසිත් විජේමුණි මේ ලියන්නේත්, රොෂාන් රවීන්ද්‍ර සිය දෘශ්‍ය වියමන තුළ ගොඩ නගන්නේත් එම දස දහස් ගණන් ජීවිතවල පිළිඹුබවකි. ටෙලි සිත්තම දිග හැරෙමින් ගලද්දී, ‘පතෝලයා’, ‘කිතුලා’ සහ ‘කූරා’ වැනි චරිතවලට බැඳෙන ප්‍රේක්ෂාගාරය සිය ෆේස්බුක් අඩවි පුරා ඔවුන් අගයමින් ලියද්දී එවැනිම චරිත බොහෝ ගණනක් ජීවිත සටන වෙනුවෙන් අරගල කරනු හෝ යුද්ධයෙන් මියැදී හෝ ඇති බව සිහි කැඳවන්නේ නැතිනම් යළි අප තණමල්විල තබන්නේ යටකී ගැරහුම් බිම තුළම ය.

කෙසේ වුවත්, මෙහි ‘තණමල්විල කොල්ලා’ දීප්ත ය. සිය මිතුරු කැළේ හමුවන කූරාට, පතෝලයාට, කිතුලාට සාපේක්ෂව ඔහු මුහුණ දී ඇති ගැටළු අල්ප ය. සිය තණමල්විල නිවසේ කාමරය තුළින් ඇරඹ පැරිස් නුවරින් කෙළවර වන ඔහුගේ ගමන් මග තුළ ඔහු වැඩි වශයෙන් සිදු කරන්නේ නිහඬව බලා සිටීම ය. මිනිස් ජීවිත ගලා යන අයුරු, වැඩෙන හා නැසෙන අයුරු ඔහු දකියි. සිද්ධාර්ථට පිය රජු ජීවිතයේ දුක්ඛ පක්ෂය සඟවා තැබු මුත්, දීප්තගේ පියා නිහඬව බුද්ධ චරිතය සිතුවම් කරමින් සිය පුතුට ජීවිතයේ සියළු දුක හා සතුට මුණගැසෙන්නට ඉඩ හරියි. එහි හමුවන පෙර නිමිති සතරකට වැඩි ය. රෝග නෙක අයුරින් ඔහු වෙත ද, සෙස්සන් වෙත ද පැමිණෙයි. මහල්ලන් මියෙන්නේ අලින්ගෙන් පහර කෑමෙනි. හමුවන මළමිනී ගණන බොහෝ ය. එක්ව නැගුණු මිතුරු කැළේ ජගා පිහි ඇණුමකින් මියෙද්දී කිතුලා මියෙන්නේ යුද්ධයෙනි. ඔහුට හමුවන යශෝධරාව ද ඔහු වෙතට සැඟවූ රෝගයක් හේතුවෙන් මිය යයි. පැවිද්දන් වුව අරගලවල ය. කුලය, දරිද්‍රතාව ඇතුළු බොහෝ දේද, වත්මන් ආර්ථික-සමාජ දේහය තුළ සැඟවුණු බලවේගයන් ද පැවිදි ජීවිත අභිමුවට පැමිණ ඒ නසා දමති. දීප්ත ඇවිද යන්නේ මේ සියල්ල දකිමින්, වටහා ගනිමින් ය. තණමල්විල ශුෂ්ක බිමෙහි මෙන්ම අහස සිප ගන්නා උස් ගොඩනැගිලි සහිත අගනුවර තුළ ද ජීවිත මුහුණ දෙන අනේක ජය පැරදුම් ඔහු දකියි. ඒ හා සමග ඔහු ද විටෙක වැටෙමින් ද, නැගෙමින් ද පෙරට යයි. සියල්ල අවසන, වසර ගණනකට පසු, පියාගේ මරණය හේතුවෙන් පෙරළා තණමල්විලට එන දීප්තගේ නෙතු අභියස මැවෙන අවසන් රුව සිය පියාගේ අවසන් නිර්මාණයයි. ඒ ශාන්ත බුදු රුවකි.

‘තණමල්විල කොල්ලෙක්’ ඈත-මෑත ටෙලි තිරය මත නැගුණු ටෙලි නාට්‍ය අතර ඇගයුම් සහගතම තැනක තබන්නට හේතු බොහෝ වෙතත්, මේ කුඩා තීරුව තුළ ඒ සියල්ල ලිවීම උගහට ය. රංගනය, සංගීත නිර්මාණය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය හා අධ්‍යක්ෂණය ආදී බොහෝ කලාප පිළිබඳ අපට දිගු සාකච්ඡාවලට පිවිසිය හැක. එසේ නමුත්, ඒ සාකච්ඡා කලාප මතුවට තබමින් මෙම කෘතිය සිදු කළ උඩුගම් බලා පිහිනීමේ වෑයම අගය කිරීම වෙත මම පිවිසෙමි.

80-90 දශකවල නිමැවුණු ටෙලි නාට්‍ය නිර්මාණ අද හමුවන නිර්මාණ අභිබවන බවට වන බොහෝ අදහස් අපට මුණගැසෙයි. එදවස නිර්මාණ ගෙන ආ ධර්මසේන පතිරාජ, ජයන්ත ධර්මසිරි, තිස්ස අබේසේකර, පරාක්‍රම නිරිඇල්ල, බර්ට්‍රම් නිහාල් ආදීන්ගේ කෘතීන් වෙත ඇත්තේ වෙසෙසි ඇගයීමකි. කෙසේ වෙතත්, එම නිර්මාණ යළිත් නාලිකා තුළ විකාශය වද්දී හෝ අන්තර්ජාලය ඔස්සේ නරඹද්දී හෝ හැඟෙන කරුණ වන්නේ තාක්ෂණික සීමා කෙතරම් දුරට එදවස නිර්මාණයන්හි දිග-පළල සීමා කොට තිබිණි ද යන්නයි. ඒ කෘතීන් බොහොමයක හමු වන වටිනාම අංගය කල්පනාකාරීව ගොඩ නැංවූ පිටපතයි. සහ, ඒ තියුණු කොට ගෙනහැර පෑම සඳහා නංවන අධ්‍යක්ෂණය හා රංගනයයි. එහෙත්, වත්මනෙහි හමුවන තාක්ෂණය එම සීමා බිඳ හෙළමින් බොහෝ කලාප වෙත සිය නිර්මාණයේ වපසරිය විහිදුවීමට නිර්මාණකරුවන්ට අවකාශ සළසා ඇත. කෙසේ වෙතත්, හමු නොවන්නේත් එම වපසරිය නිසි භාවිතයට කැඳවූ නිර්මාණ ය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඇත්තේ ඉනිම දෙකක් වුවත් ඉනිම් සිය ගණනින් තැනෙන ‘දෙවැනි ඉනිම්’ ඉහළ ප්‍රතිචාර ලබන පසුබිමක, නාලිකා පාලකයින් ද එවැනි කොපි විමසන අවකාශයක ‘තණමල්විල කොල්ලෙක්’ ගමන් කළේ දීප්තගේ ගමනට නොදෙවනි දුෂ්කර ගමනකි. රූපය කුඩා තිරයක මැවෙන හෙයින්ම වන සීමා ජයගනිමින් වඩාත් පොහොසත්ව ආඛ්‍යානයක් ප්‍රේක්ෂාගාරය අබිමුව තැබීමේ අභියෝගය සැබෑ අධ්‍යක්ෂවරයෙකු වෙත වෙයි. ස්වකීය රංගන දායකත්වයෙන් නිමැවුණු ‘සහෝදරයා’ ඇතුළු කෘති කිහිපයක් අසීරුවෙන් තනා තිබුණු දුෂ්කර මගක ‘තණමල්විල කොල්ලෙක්’ කැඳවාගෙන රොෂාන් රවීන්ද්‍ර ගිය ගමන ඇගයිය යුත්තේ එබැවිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -



Friday, July 3, 2020

බොරු කීමට සූදානම් වීම: පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ තරග


(2020 ‍ජූනි 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

2021 සඳහා රජයේ පාසැල්වල පළමු වසර සඳහා ඇතුළත් කිරීමට නියමිත දරුවන් සඳහා අයදුම්පත් කැඳවෙන බව සඳහන් දැන්වීම පසුගිය දිනවල ජාතික පුවත්පත් ඇතුළු මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්ව තිබිණ. පස් වෙනි විය පසුකරමින් සිටින දූ පුතුන් සහිත (මධ්‍යම පාන්තික) දෙමාපියෝ ඒ හා සමග සුපුරුදු ‘වාර්ෂික තරගයට’ අවතීර්ණ වූ අතර, කුහුඹු කකුල් හා සමාන අකුරින් මුද්‍රණය වී ඇති උපදෙස් පත්‍රිකා සමග වන අයදුම් පත් කට්ටල බැගින් මිලට ගනිමින්, සත්‍ය සහ අසත්‍ය (බව හොඳින් දන්නා) ලිය කියවිලි සූදානම් කරමින් සිය දරුවාට ‘වඩාත්ම හොඳ’ පාසැල ලබා දීමට පොර බැදීමට අවතීර්ණව සිටිති.

තරගය මතුපිටට පෙනෙන ස්වභාවයක් දක්වා රූපාන්තරණය වන්නේ මේ දැන් වුව ද ඇතැම් දෙමාපියන් දරුවා මව් කුස වැඩෙද්දීම මෙම තරගයේ සැලකිය යුතු කොටසක් සඳහා අවතීර්ණ වන අතර, මුදල් ඇත්නම් ‘හොඳ ඉස්කෝල’ ඇති නාගරික පරිසරවලින් නිවෙස් මිලට ගැනීමත්, මුදල් නැත්නම් එවැනි නිවාස හෝ දේපළ ඇති බව පෙන්වන පරිදි ලියකියවිලි සැදීමත් සිදු කරන බව ප්‍රසිද්ධ රහසකි. නිවාස සහ දේපළවල අයිතියට අමතරව විදුලි හා ජල බිල්පත්, ග්‍රාමසේවක සහතික ආදියට ද වැඩි ඉල්ලුමක් මේ පසුබිමෙහි ලැබෙයි. ඒ අතර එක් එක් අනු අංශ යටතේ ඇති යොමු සඳහා ඉල්ලුම වැඩිවන තවත් දේ ඇත. උදාහරණයකට දුෂ්කර සේවයේ වසර පහක් සපුරා ඇති ගුරු සේවයේ නියුතු මව හෝ පියා සිය ඉලක්ක පාසැල සඳහා වන දුර සීමා තනා ගැනීමට ගමනාගමන මණ්ඩල වෙත ගොඩ වෙයි. තමන් ඉගෙන ගත් ‘ජනප්‍රිය’ පාසැලට ආදි ශිෂ්‍ය ‘අයිතිය’ යටතේ දරුවාට ප්‍රවේශය සාදා දීමට ආදි සිසු/සිසුවි සංගම් නිලධාරීන් හමුවට ගොස් සබඳතා අලුත් කරයි. මෙවැනි කටයුතු රැසක් මේ තරගය පසුපස එකිනෙක බැඳී නැගෙයි.

අල්ලස් දෙමින්, සුදුසුකම් සහිත දරුවන් ඉක්මවමින් සිය දරුවාට ‘හොඳ පාසැල’ සාදා දෙන දෙමාපියන් පිළිබඳ පුවත් තවමත් ඉඳහිට නැඟුණ ද අල්ලස් හා දූෂණ කොමිසම මෙන්ම, ඊටත් වඩා අවස්ථාව අහිමිවන දරුවන්ගේ දෙමාපියන්ගේ උකුසු ඇසට බිය වීම නිසා ඒ සිදුවන්නේ සාපේක්ෂව අඩු අගයකින් බව පෙනේ. එහෙත්, නගරයේ පාසැල ආසන්නයේ හරි හෝ වැරදි අයුරින් පදිංචිය තනමින් දරුවන්ට දොර විවර කරදීමට සිදු කරන වෙහෙස නම් ඉහළ යනු මිස පහළ යනු නිරීක්ෂණය කළ නොහැකි ය.

මේ සියල්ල කුමකට ද?

මාර්ගය සඳහා ප්‍රවිශ්ට වන ස්වරූපය ශිෂ්ට හෝ අශිෂ්ට විය හැකි වුව ද සියලු දෙමාපියන්ගේ අභිප්‍රාය යහපත් පදනමක් මත පිහිටයි. එනම්, සිය පුතු හෝ දියණිය වඩාත් හොඳ අධ්‍යාපනයක් ලැබෙන, පිළිගත් පාසැලක අධ්‍යාපනය සඳහා යොමු කිරීම ය. නිදහස් අධ්‍යාපනය යටතේ සියලු දරුවන්ට නොමිල අධ්‍යාපනය ස්ථිරව ඇත්තේ වුව, නාගරික හා ග්‍රාමීය වශයෙන් ද, ජනප්‍රිය හා ජනප්‍රිය නොවන වශයෙන් ද ඇතුළුව විසල් ධූරාවලියක බෙදී පවතින මෙරට පාසැල් අතුරින් සිය දරුවා තරමක් හෝ තෘප්තිකර මට්ටමක පාසැලකට ඇතුළු කරවීම බහුතර දෙමාපිය සිහිනය වී තිබේ. දරිද්‍රතාවයෙන් පෙළෙන මෙන්ම ඈත දුෂ්කර පළාත්වල දෙමාපියන්ට පමණක් මේ සිහිනය අත හැර ‘දුෂ්කර සේවය’ නියත හෙයින් පැමිණෙන ගුරුවර ගුරුවරියන්ගේ සහායෙන් දිවෙන ‘දුෂ්කර’ පාසැලකට සිය දරුවා ඇතුළු කොට සැනසීමට සිදු වේ. වත්කමක් ඇත්නම් සහ ඉහත තරගය හා ගැටීමට අකමැති නම් යමෙකුට සිය දරුවාට ජාත්‍යන්තර පාසැලක දොරටුව විවර කළ දිය හැකි ය.

‘හොඳම පාසැල -ළඟම පාසැල’ යන සංකල්පය පිළිබඳ කියැවුණු දැන්වීමක් පසුගිය වසරවල නිරන්තරයෙන් ජාතික ගුවන්විදුලි නාලිකාවල අසන්නට ලැබිණ. එහි පදනම ගොඩ නැගී තිබුණේ සියලු පාසැල්වලට සම-පහසුකම් සපයමින් පාසැල් සඳහා මේ හමුවන තරගය අවම කිරීම බව ද කියැවිණ. නමුත් අලංකාර ගීතමය ගුවන්විදුලි දැන්වීම නොඉක්මවූ සංකල්පය කෙළවර 2020 වසරේ දී ද පෙර තරගය කැඳවා ඇත.

අපි රටක් වශයෙන් දිගු කලක් මුළුල්ලේ වචනාර්ථ වෛශ්‍යා වෘත්තියේ යොදවමින් සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදය සිට නිදහස දක්වා ද, ධර්මිෂ්ඨ සමාජයේ සිට යහ-පාලනය දක්වා ද අප වචන කැඳවූයේ එහි අර්ථය සාක්ෂාත් කරනු පිණිස නොවේ. පාසැල් පිළිබඳ මෙම තරගය අපට යෝජනා කරන්නේ ද ඒ හා සමාන ක්‍රියාවලියකි. සියල්ල පසෙක තබා පාසැල් සඳහා දරුවන් ඇතුළු කිරීම සම්බන්ධ නිවේදනය ගන්න. එය පූර්ණ වශයෙන්ම පවතින ධූරාවලිය දැඩිව අනුමත කරන, පවත්වා ගෙන යාමට යෝජනා කරන සහ සහාය දෙන ලේඛණයක් මිස සමාන තත්ව අනාගත පරපුර වෙත තිළිණ කිරීමට යෝජනා කරන ලියවිල්ලක් නොවේ. අංග ගණනාවක් ඔස්සේ ලකුණු ලැබෙන පිළිවෙල යෝජනා කරන එහි ඇති ඉලක්කයම නගරයේ ජනප්‍රිය පාසැල් වෙත ළමුන් ඇතුලත් කිරීම සඳහා ක්‍රමයක් පෙන්වීම මිස 2021 වර්ෂයේ සය වැනි වියට පැමිණෙන ලාංකික දරු පරපුර පාසැල් වෙත ආදරයෙන් පිළිගෙන අනාගතය වෙත කැඳවාගෙන යාම නොවේ.

දැන් ජනප්‍රිය පාසැල් ඉලක්ක කරන දරුවන් බොරු කීමට පුරුදු විය යුතු ය. ළමා කාලයේ පටන් තමන් නගරයේ ආසන්න තැනක ජීවත් වූ බව සම්මුඛ පරීක්ෂණයේ දී වැමෑරීමට හුරු විය යුත්තේ බොරුව පාසැලේ යතුර තමන් වෙත තබන පාලම තනන හෙයිනි. බොරු කියන දරුවා කෙසේ වුව, බොරු තනන හා කියන දෙමාපියෝ සිය දරුවාගේ යතුර වෙනුවෙන් තමන් වෙනත් සුදුසු දරුවකුගේ යතුරක් සොරකම් කරන බව ද නොසිතති.

නමුත්, යළිත්, මේ සියල්ල කුමකට ද?

යහපත් අරමුණක් වෙනුවෙනි. දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා ය. කෙසේ වෙතත්, මේ සියලු කටයුතු මධ්‍යයේ දිගින් දිගටම අප වෙතින් ගිලිහෙන සාමූහික වගකීම හා වගවීම හේතුවෙන් ‘විෂයයගත අධ්‍යාපනයක්’ දරුවන් වෙත තැබීමට හැකි වුව ද දියුණු සමාජයක් තනාගැනීමට නම් අපට ඉඩ නොලැබෙන බව මම යෝජනා කරමි.

සාමූහික පුරවැසි වගකීමක් ඇති සමාජයක් කටයුතු කරනු ඇත්තේ සියලු දරුවන් එක හා සමානව දකිමිනි. තමන්ගේ දරුවාට ආදරය කිරීම පසෙකින් නොතබමින්ම සමස්ථ සමාජයේ දරුවන් ද ඔහු හෝ ඇය හා සමානව දැකීමට එවැනි සමාජයකට හැකි ය. අප එවැන්නන් නම් ඉල්ලා සිටිය යුත්තේ සැමට සම අවස්ථා සහිත අධ්‍යාපනයකි. බොරු කියූ දරුවන්ට පාසැල් දොර විවර කෙරෙන හා යමක් කමක් නැති පවුල්වල දරුවන්ට වේදනාව හිමිවන ක්‍රමයක් නොවේ. එවිට පමණකි අධ්‍යාපනයෙන් අනතුරුව ජීවිතයට පිවිසීමට යහපත් සමාජයක් දරුවා අභියස නිමැවෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලුම් පත්‍ර කැඳවීම මූලික අත්‍යාවශ්‍ය තොරතුරු විමසීමට පමණක් සීමා කෙරෙන, තනි ඒකල දැන්වීමකට සීමා වන මොහොත තුළ සැබවින්ම ‘ළඟම පාසැල-හොඳම පාසැල’ වී පවතිනු ඇත. ඒ සඳහා අධ්‍යාපනයේ සැබෑ සම අවස්ථා වෙනුවෙන් වන සමාජ වගවීමක් සහිත අරගලයක් අවශ්‍ය ය.


-ප්‍රියන්ත ෆොන්සේකා -


Tuesday, June 9, 2020

පෙර-පාසැල් දරුවාගේ ජීවන චක්‍රය සහ මදුරුවෝ


(2020 ‍මැයි 31 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

සතියකට පමණ පෙර ඇදහිය නොහැකි පුවතක් මගේ ෆේස්බුක් මිතුරියක සිය පිටුවේ ලියා තිබිණ. ඒ අනුව නුදුරු දිනයක ඇගේ සිවු වියැති දියණියට, පෙර පාසැල් ගුරුතුමිය විසින් ‘කොරෝනා-සමය’ වෙනුවෙන් වූ ‘ගෙදර වැඩ’ ලබා දෙනු ලැබ ඇති අතර ඒ අතරෙහි සම්පූර්ණ කළ යුතු මදුරුවාගේ ජීවන චක්‍රයේ රූපසටහන ද, වර්ණ ගැන්විය යුතු (සහ දෙමාපිය සහායෙන් වටහාගත යුතු) කොරෝනා වෛරසයේ විද්‍යානුකූල හරස්කඩක් ද යනාදි වැඩ එකතුවක් වී ඇත. වරදක් වී ඇත්දැයි යළි ගුරුතුමිය විමසුව ද ‘ඒවා දෙමාපිය සහායෙන් කළ හැකි’ දේ බව ගුරුතුමිය පැහැදිලි කර ඇති අතර මගේ මිතුරිය ලියා තිබුණේ ඒ පිළිබඳ සිය කම්පනයයි.

මදුරුවන්ගේ ජීවන චක්‍ර ඇතුළු බොහෝ චක්‍ර, වක්‍ර සහ පැටලිලි අවිහිංසක දරුවන්ගේ මනස අභියස තබන අපගේ පෙර පාසැල් අධ්‍යාපන ක්‍රමයේ ඇතැම් කලාප දරුණු ලෙස දරුවාගේ ජීවන චක්‍රය විනාශ කර දමයි. වඩා ‘දියුණු’ දරුවෙක් මෙන්ම ‘අනෙකා අභිබවා ගිය’ දරුවෙක් බලාපොරොත්තු වන ඇතැම් දෙමාපියෝ ද පෙර පාසැල හා එක්ව දරුවාගේ ජීවන චක්‍රය නසා දැමීමට සහාය දෙති. අවසානයේ හමුවන්නේ නිසි පරිදි කීට තත්වය හා කෝෂගත නොවීම හේතුවෙන් විකෘති වූ ‘සුහුඹුලෙකි’! අපේම දරුවාගේ ජීවය උරා බොන මදුරුවන් වන්නේ අපම ය!

‘දැන් ඉස්සර වගේ නෙවෙයි. ළමයි අවුරුදු 3 පිරෙද්දිම මොන්ටිසෝරි දැම්මෙ නැත්තං වැඩක් නෑ. අනිත් ළමයි අපේ දරුවො පහු කරගෙන යනවා’

මේ දෙමාපියන්ගේ සුපුරුදු ප්‍රකාශනයයි. දෙමාපියන්ගේ ජීවන චර්යාව තුළ හමුවන අවිවේකී බව, දෙදෙනාම රැකියාවල නිරත වීම, ජීවන අරගලය හේතුවෙන් දරුවන් වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට අපහසු වීම යනාදිය හේතුවෙන් දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසැල් වෙත යොමු කිරීමට පියවර ගැනීම ඇතැම් තත්වයන් හමුවේ විකල්ප සොයාගත නොහැකි පසුබිමක් සාදන බව ද පෙනේ.

කෙසේ වෙතත්, ළදරු වියේ පසුවන දරුවකු පෙර-පාසැලක් වෙත යැවීමේ අරමුණ අප විමසා බැලිය යුතු ය. නම යෝජනා කරන පරිදිම එය ‘පෙර-පාසැලක්’ මිස පාසැලක් නොවේ. එනම් එහි මුණගැසිය යුත්තේ පාසැලට ‘පෙර’ අවස්ථාවයි. මෙහි පැවතිය යුතු මූලිකම ප්‍රවේශය අධ්‍යාපනය ලැබීම සඳහා දරුවා තුළ ආදරයක් සහ උනන්දුවක් ඇති කිරීම ය. ඒ හා සමග, එක් එක් දරුවාට ආවේණික ශාරීරික, මානසික, ඥාණගවේශී සහ සමාජශීලී ස්වභාවයන් හඳුනාගනිමින් එළඹෙන ජීවිතය වෙත පිය නැගීම සඳහා පදනමක් සැදීම ය.

අප වැඩි දෙනෙක් හඳුනන ‘මොන්ටිසෝරි’ යන්න පෙර පාසැල් විෂයයෙහි එක් ප්‍රවර්ගයක් පමණි. ඉතාලි ජාතික ආචාර්ය මාරියා මොන්ටිසෝරිගේ වර්ධනය කළ එම ප්‍රවේශයට අමතරව රෙගියෝ එමිලියා, වල්ඩොෆ්, හයිස්කෝප්, බෑන්ක් ස්ට්‍රීට්, දෙමාපිය සහයෝගී, ආගමික පසුබිම් සහිත යනාදී වශයෙන් බොහෝ පෙර පාසැල් ප්‍රවේශ ලොව පුරා ක්‍රියාත්මක වේ. මින් බොහෝ ක්‍රමවේදයන්, ළමා මනස පිළිබඳ දැනුමැති විශේෂඥයින් විසින් සංවර්ධනය කොට ඇති අතර පොදුවේ කුඩා දරුවෙකු විෂයයෙහි වඩාත් ඵලදායී ප්‍රවේශයන් හරහා පෙර පාසැල් අධ්‍යාපනය ලබා දිය හැකි ආකාරයන් යෝජනා කරයි. මේ සියල්ල විමසන්නෙකුට අඩු වැඩි වශයෙන් හඳුනාගත හැකි වැදගත්ම කරුණ වනු ඇත්තේ, වෙනස් මාර්ග ඔස්සේ යමින් වුව, මේ සියලු ප්‍රවේශ කුඩා දරුවා ‘දරුවකු’ ලෙස පිළිගනිමින් සිය යෝජනා ඉදිරිපත් කරන බව ය. යට කී ජීවන චක්‍ර පාඩම් සහ කොරෝනා වෛරස පාඩම් නසන්නේ එම දරුවා ය.

සාපේක්ෂව ඉදිරිගාමී පෙර පාසැල් අප රට තුළ ද ක්‍රියාත්මක වන බව ඔබ යෝජනා කරන බව මම දනිමි. එය ඇත්තක් වන අවස්ථා ද හමු වීමේ පසුබිම් ඇත. යටකී මිතුරියගේ පෝස්ටුව යටින් ද ‘දරුවා හඳුනන පෙර පාසැලකට යාමට සිදුවීම’ පිළිබඳ සතුටු වූ දෙමාපිය ප්‍රතිචාර ද මට දක්නට ලැබිණ.

නමුත්, අර්බුදය ඇත්තේම එම ‘සාධනීය’ ප්‍රවේශ ජාතික වශයෙන් යෙදවෙන තත්වයක් මෙරට පෙර පාසැල් විෂයයෙහි නොවීම ය. අප වඩාත් ප්‍රවේශම් සහගතව විමසිය යුතු පූර්ව ළමා විය අධ්‍යාපනය දෙස රටක් ලෙස විමසා ඇත්තේ උනන්දුවකින් තොරව ය. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැක සිතෙන, දරුවන්ට නිසි වටපිටාවක් නැති නාගරික වීදිවල ගාල් වුණු පෙර පාසැල් ඇති තරම් අප රට තුළ හඳුනාගත හැක. ඇතැම් රටවල ඉතා තියුණු ලෙස විමසා බැලෙන පෙර පාසැල් ගුරුවරයාගේ/ගුරුවරියගේ අධ්‍යාපන සුදුසුකම් මෙරටදී විමසා බැලෙන ආකාරය ඒ එක් එක් පෙර පාසැල හමුවේ වෙනස් බව තේරුම් ගැනීමට අසීරු නැත.

දැන් අපි ඉහත මිතුරියගේ දියණිය මුහුණ දුන් සිදුවීම ඛේදවාචකයක් වන්නේ ඇයිදැයි බලමු.

ඇදහිය නොහැකි වුණු, පාසැලක ප්‍රාථමික පන්තිවල දරුවකුට වුව තේරුම් ගැනීමට අසීරු වෛරසයක හරස්කඩක් වර්ණ ගන්වමින්, එය දෙමාපියන්ගේ සහායෙන් වටහා ගැනීමට යොමු කරවීම සැබවින්ම සිදු විනි දැයි විමසීමෙන් පසු ඇය මට අදාල සිදුවීම හා බැඳුණු රූප සටහන් සියල්ල එවමින් පසුබිම ද පැහැදිලි කළා ය. පෙර පාසැල් ගුරුතුමිය විශ්වාස කරන බව පෙනෙන්නේ, අප බොහෝ වැඩිහිටියන් දැන් යෝජනා කරන පරිද්දෙන්ම, ‘දැන් හැදෙන දරුවන්ට’ මේ අසීරු දේ නොවන බවයි. එහෙත්, කුඩා දරුවකුගේ මොළය වර්ධනය වීම අසාමාන්‍ය ලෙස වේගවත් වෙමින්, ප්‍රබල විද්‍යාත්මක කරුණු පවා එකපැහැර ධාරණය කර ගැනීමේ හැකියාවක් දරුවකු තුළ දැන් පහළව ඇතැයි කිසිදු විද්‍යාඥයකු සඳහන් කර නැත. මේ අප සිදු කරමින් සිටින්නේ, අපේ හිතළු දරුවන් මත පැටවීම ය. කෙමෙන්, සිය වටපිටාව දකිමින්, විඳිමින්, තේරුම් ගනිමින් පියෙන් පිය ඔසවා නැගී සතුටින් දිව එන දරුවෙකු වෙනුවට දැඩි වෙහෙසකට පත් කොට ජීවිතය අරඹන්නට පෙරම විකෘති කළ යන්ත්‍රයක් නිර්මාණය කිරීම ය.

පින්ලන්තයේ අධ්‍යාපනය ලොව විශිෂ්ටතම අධ්‍යාපනයට හිමිකම් කියන රට බව අපි අන්තර්ජාලය හා විදෙස් මාධ්‍ය ඔස්සේ හඳුනාගනිමු. නමුත්, විෂයයන් වෙනුවෙන් ඉගැන්වීම ඔවුන් ආරම්භ කරන්නේ අපට වඩා බොහෝ පසුපසට වී බව සොයා බලන්නට අපි නොනවතිමු.

‘පින්ලන්තෙ දරුවන්ට මුල් කාලෙ සබ්ජෙක්ට් උගන්න උගන්න ඉන්නෙ නෑලු!’

වරෙක දන්නා හඳුනන ප්‍රාථමික පාසැල් ගුරුවරියක හා පැවසූ විට විශ්මයට පත් ඇය පෙරළා මගෙන් ඇසුවේ ‘එහෙම නැතුව වෙන මොනවද උගන්නන්නේ?’ යන්නයි.

මේ අප සමාජ දේහය තුළම ඇති, අප පටලවා ගත්, පොදු ප්‍රශ්නයයි. අපි දරුවන්ට විෂයයන් උගන්වමින් සිටිමු. ජීවිතය ඔවුන්ට නොපෙන්වමු; පහදා නොදෙමු.

පෙර පාසැල් දරුවන් වෙත මදුරුවන්ගේ ජීවන චක්‍ර තබමින් අප වසා දමන්නේ ඔවුන් ලෝකයේ අසිරිය වෙත ඉහිල්ව හෙළිය යුතු බැල්මයි. ජීවිතය අසිරිමත්ව වැළඳගත යුතු බවට වන පිවිසුමයි. යට කී ලෙස අපි අනිසි, වේගවත් ‘සුහුඹුලන් තනා’ තත්‍ය ලෝකය දකින්නට වෙර දරන බිහිසුණු සිහිනයක ගිලී සිටිමු. අවදවීම ඉක්මණින් සිදු විය යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -





Wednesday, June 3, 2020

නිබන්ධන ඇගයීම: විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන තවත් මානයක්


(2020 ‍මැයි 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)



කොරෝනා කලබගෑනිය නිසා විශ්වවිද්‍යාල ද වැසී ගියේ ය. වසා දැමෙන දිනය වන විට, පේරාදෙණියේ අප නම් සිටියේ, ගෙවුණු වසර වෙනුවෙන්, මේ වසරාරම්භයේ පැවති දෙවැනි සමාසිකයේ ප්‍රශ්න පත්‍ර ඇගයුම් කටයුතුවල යෙදෙමිනි. ඒ හා සමග, නව සමාසිකයේ පළමු සතියේ ඉගැනුම් කටයුතු සඳහා වැඩ කරමිනි. නමුත් දැන් වෛරසයක් විසින් සිසුන් හා අප කෙටි කලකට නිවෙස් තුළට ගාල් කොට තබනු ලැබ ඇත.

“ඔයාලටත් ඉතින් නිවාඩුනෙ නේ ද?“

යම් හේතුවක් මුල් කොටගෙන විශ්වවිද්‍යාල වැසී ගිය වහාම දන්නා හඳුනන නෑසියන් හා මිතුරු මිතුරියන් වෙතින් මේ ප්‍රශ්නය නියතව නැගේ. සැබෑ පිළිතුර නම්, අප ‘සැබෑ ලෙසම‘ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයක සාමාජිකත්වයක් දරන්නෙකු නම්, ‘නැත‘ යන්නයි. නොයෙක් හේතු මුල් කොටගෙන විශ්වවිද්‍යාල වසා දැමුව ද ශාස්ත්‍ර ගවේෂකයින් වශයෙන් අපගේ කාර්යයට නිවාඩු නොලැබෙන බව ඒ සඳහා දීර්ඝ හේතු දක්වමින් පැහැදිලි කළ හැකි ය. (ඔව්! විශ්වවිද්‍යාලවල සැබෑ ශාස්ත්‍ර ගවේෂකයින් සිටින්නේ ද යන පැනය නගමින් ඔබ තර්ක කරන බව මම දනිමි. මගේ මේ ලිවීම එසේ නොවී සිය තත්‍ය මැදිහත්වීම ශාස්ත්‍ර ගවේෂණය වෙනුවෙන් මෙහෙයවන අතලොස්ස වෙනුවෙනි.)

විශ්වවිද්‍යාල වැසී ගොස් ඇති මේ මොහොතේ මට භාර වී ඇති විශ්වවිද්‍යාල වැඩ කටයුතු අතර පසුගිය දා විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධියේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කොට නිවෙස් බලා ගිය විශේෂ උපාධි හැදෑරූ විද්‍යාර්ථීන් කිහිප දෙනෙකුගේ ස්වාධීන නිබන්ධන ඇගයීම ද තිබේ. අවසන් වසර එළඹෙන විට විශේෂ උපාධියක් හදාරණ සියළුම සිසුන් පාහේ මෙම නියත ස්වාධීන නිබන්ධනය ලියා භාර දිය යුතු ය. කලාතුරකින් ඇතැම් විශ්වවිද්‍යාල අධ්‍යයනාංශයක මෙය අනිවාර්ය අංගයක් නොවන බව අසන්නට ලැබී ඇතත්, වඩාත් පූර්ණ විශේෂ උපාධියක් වෙනුවෙන්, ශාස්ත්‍රීය ලේඛණය සඳහා විද්‍යාර්ථියා පුහුණු කෙරෙනු ලබන මෙම නිබන්ධනය බොහෝ ස්ථානවල නියත ලෙස ඉල්ලා සිටියි. විශේෂයෙන් සමාජ විද්‍යා සහ මානව විද්‍යා ප්‍රමුඛ කොටගත්, ශාස්ත්‍ර පීඨවල මෙම පර්යේෂණ නිබන්ධන රචනාවට ලැබෙන්නේ ඉහළ පිළිගැනීමකි. වෛද්‍ය, ඉංජිනේරු, කළමණාකරණ, විද්‍යා ආදී වෙනත් පීඨවල ඒ ඒ විෂය කලාප අනුව අවසන් වසර නිම කරන විද්‍යාර්ථියෙකුගෙන් ඉල්ලා සිටින පර්යේෂණාත්මක එළඹුම් විවිධ වනු ඇත.

ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් යනු කුමක් ද? යෙදුමේ ආරම්භයේදීම සඳහන් වී ඇති පරිදි මෙහිදී බලාපොරොත්තු වන්නේ විද්‍යාර්ථියා විසින් සිදු කරන ස්වාධීන අධ්‍යයනයකි. තමන්ගේ විෂයක්ශේත්‍රය තුළ ඇති, යම් ආකාරයකින් තව දුරටත් විමසා බැලිය යුතුයැයි හැඟෙන, යම් මාතෘකාවක් ඔස්සේ යමින් විද්‍යාර්ථියාට සිය පර්යේෂණය මෙහෙයවිය හැකි ය. ඒ සඳහා අධ්‍යයනාංශය වෙතින් නම් කෙරෙන්නේ අධීක්ෂණය කරමින් මග පෙන්වන්නෙක් (Supervisor/Guide) පමණි. අදාල කලාපය තුළ ප්‍රවීණත්වයක් ඇති අභ්‍යන්තර (හෝ ඇතැම් විට බාහිර) ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ඔහු/ඇය විද්‍යාර්ථියාගේ පර්යේෂණයේ නිශ්චිත අවස්ථාවලදී එහි ගුණදොස් විමසමින් එය නිසි අරමුණක් ඔස්සේ විහිදුවීමට අදාල මග පෙන්වීම සිදු කරනු ඇත.

නිසි ඇගයුම් සිදු කෙරෙන විශ්වවිද්‍යාල අධ්‍යයනාංශයකදී, අදාළ විද්‍යාර්ථියාගේ නිබන්ධනය සමීක්ෂණ කටයුතු සඳහා භාර වූ පසු සිදු කරන්නේ ඒ සඳහා මග පෙන්වූ ආචාර්යවරයා/වරිය හැර වෙනත් සමීක්ෂකවරුන් (බොහෝ විට) දෙදෙනෙකු පත් කිරීමයි. අදාල නිබන්ධනයේ ඇති විෂයය සඳහා ලබා දෙන නැවුම් දැනුම සම්පාදනය, ඒ සඳහා  විද්‍යාර්ථියා භාවිත කර ඇති පර්යේෂණ ක්‍රමවේදය, විද්‍යාර්ථියා ආශ්‍රය කර ඇති පූර්ව කෘති හා ලේඛණ, අදාල නිබන්ධනය ඉදිරිපත් කර ඇති ස්වභාවය යනාදී කරුණු ගණනාවක් සැළකිල්ලට ගනිමින් අවසන් ඇගයුමක් මේ සඳහා ලබා දීමට සමීක්ෂකවරුන් වෙන් වෙන්ව කටයුතු කරයි. පිළිගත් විශ්වවිද්‍යාලයකදී මේ ලකුණු අතර සැලකිය යුතු තරමක පරතරයක් දක්නට ලැබුණහොත් සමීක්ෂණ කටයුතු සඳහා තුන්වැන්නෙකු ද කැඳවේ.

මගේ කාර්යාල කාමරයේ මේ දැන් මා අභියස ඇත්තේ එම සමීක්ෂණ ක්‍රියාවලිය සඳහා ලැබුණු නිබන්ධන කිහිපයකි. විශ්වවිද්‍යාල අවසන් වසර නිබන්ධනයක් සඳහා අපේක්ෂිත වචන සංඛ්‍යාව 10,000ක් පමණ බැවින් මෙම නිබන්ධන පිටු 50ත් 100ත් අතර වෙයි. කෙසේ වෙතත්, නව දැනුමක් හෝ තර්කනයක්, පෙර නොඇසූ විරූ යමක් මෙම කෘති අතරින් හමුවෙතැයි යන කුතුහලයෙන් හා ප්‍රහර්ෂයෙන් යුතුව මෙම නිබන්ධන පෙරළීමට උනන්දුවක් මා තුළ නැගී නැත. ඒ ඇයි?

විශ්වවිද්‍යාල තුළ බහුතර විද්‍යාර්ථීන් ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක ඇති වටිනාකම හෝ ඒ තුළ තමන් වෙත හිමිවන ස්වාධීනත්වය වටහාගෙන මෙම නිබන්ධන රචනය සඳහා එළඹෙන බවක් මා නිරීක්ෂණය කර නැත. තමන්ගේම නමින් ඉදිරිපත් කෙරෙන ලේඛණයක් සඳහා සිය උපරිම වෙහෙස නොදරන බහුතර ශිෂ්‍ය ප්‍රජාව මෙය දකින්නේ ‘මොනවා හෝ ලියා භාර දී බේරිය යුතු‘ යමක් වශයෙන් පමණි. ඔවුන් මොනවා හෝ ලිවීම සඳහා යොදාගන්නේ දැනට හමුවන වෙනත් ශාස්ත්‍රීය (හෝ නොවන) ලේඛණයන් ය. ඒ කෘතිවල අන්තර්ගතයෙන් උපුටා ගන්නා කරුණු යළි සිය වචනවලින් ලියා, අවසාන විශ්ලේෂණ පරිච්ඡේදයට පමණක් ඒ එකිනෙක සසඳමින් හෝ ඝටමින් යම් කිසිවක් ලියන ඔවුහු කෘතියේ කෙළවර මගේ නිරීක්ෂණ හා නිගමන මේ යැයි මොනවා හෝ පෙළ ගස්වා අදාළ දිනයේ අධ්‍යයනාංශය වෙත භාර දෙති.

දැන් ඔබට අසන්නට ප්‍රශ්න පෙළක් ඇති බව මම දනිමි. එවිට පත් කළ මග පෙන්වන ආචාර්යවරයා/වරිය කුමක්වත් කරන්නේ නැද්ද? මේ එක් වැදගත් පැනයකි. ඉතා උනන්දුවෙන් මාර්ගයෙන් පිට පනින විද්‍යාර්ථීන් මෙහෙයවා ඔවුන්ගේ වටහා ගැනීමේ හා තර්ක කිරීමේ කලාපය තුළ රැඳෙමින් වඩාත් සාධනීය නිබන්ධන ලියවීමට මග පෙන්වන ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් නොවන්නේ නොවේ. එහෙත් ඇතැම් විද්‍යාර්ථීහු මග පෙන්වන්නා මග හැර යති. තවත් අවස්ථාවල මග පෙන්වන්නෝ විද්‍යාර්ථියා ද මග හැර යති. “මම ලියපු එක දිහා බලන්නෙවත් නැතුව මේක හරි නෑ කියල විසි කළා...“ කියමින් කඳුළු සළන හෝ “බලන්නෙත් නැතුව හොඳයි කිව්වා“ කියමින් සිනාසෙන විද්‍යාර්ථීන් මට මුණ නොගැසුණේ නොවේ. “ඩෙසටේෂන් ගයිඩ් කිරිල්ල තමයි පෙන්නන්නම බැරි!“ කියමින් එයට දෙස් තබන ආචාර්ය මණ්ඩල සාමාජිකයින් මුණ නොගැසුණේ ද නොවේ.

ආයතනික වශයෙන්ම ස්වාධීන පර්යේෂණ නිබන්ධන කෙරෙහි දක්වන වැරදි එළඹුම් හා ආකල්ප ද විද්‍යාර්ථීන්ගේ ලිවීම් විනාශ කර දමයි. උදාහරණයකට ප්‍රමුඛ විශ්වවිද්‍යාල මණ්ඩපයක සියලු විද්‍යාර්ථීන්ම පාහේ සිය නිබන්ධන රචනයේ දී ඉහළම ස්ථානය ලබා දෙන්නේ ‘සම්මුඛ සාකච්ඡා‘වලට ය. ඔවුහු අදාල විෂයයට සම්බන්ධ (හෝ නැති) ප්‍රවීණයින් කිහිප දෙනෙකු මුණගැසී, මාතෘකාව ගැන ‘ඔබ සිතන්නේ කුමක් ද?‘ ස්වරූපයේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කොට, ඒ අනුසාරයෙන් විශ්ලේෂණය ඉදිරිපත් කරති. ශාස්ත්‍රීය පර්යේෂණකරණය පිළිබඳ වැරදි පදනම් සහිත ප්‍රමුඛාචාර්යවරුන් විද්‍යාර්ථීන්ගේ ප්‍රවේශය ‘හරි‘යැයි අගයන බැවින් එහි ඇති මූලික වරද විද්‍යාර්ථීහු අවබෝධ කර නොගනිති.

ශාස්ත්‍ර පීඨ හමුවේ විද්‍යා පර්යේෂකයින්ගේ බලය ද, මානව විද්‍යා පර්යේෂකයින් හමුවේ සමාජ විද්‍යා පර්යේෂකයින්ගේ බලය ද, අවසන් වසර ස්වාධීන නිබන්ධනවලදී පමණක් නොවුනත්, මෙම පර්යේෂණවල හැඩතල තීරණය කරයි. නියැදි, උපන්‍යාස, නිශ්චිත අරමුණු හා අපේක්ෂා පදනම් වන විද්‍යා පර්යේෂණ හෝ සමාජ විද්‍යා පර්යේෂණවලට වඩා මානව විද්‍යා පර්යේෂණ යොමුව අනුව වෙනස්වන බව පිළිගැනීමට හෝ ඇතැම් ප්‍රමුඛාචාර්යවරුන් සූදානම් නැත. එනිසා ද මෙම පර්යේෂණ සඳහා එළඹෙන විද්‍යාර්ථීහු අපහසුතාවට පත් වෙති.

බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් ලෙස ගැනෙන අන්‍ය ලේඛණ සොරකම ද මෙම රචනා තුළ බහුලව සිදු වන්නකි. ඉංග්‍රීසි බසින් ලියැවුණු ලේඛණයක් ‘Plagiarism Check’ කිරීම සඳහා යොමු කිරීමට මෘදුකාංග වෙතත් සිංහලයට එවැනි දේ තවම නොමැති හෙයින් ඇතැම් විද්‍යාර්ථීහු ඒ වරද කරති. ඒ හා සමග, වෙනත් විශ්වවිද්‍යාලවල අවසන් වසර නිබන්ධන කොපි කර ගෙනෙති. පැරණි නිබන්ධන ගෙන යළි පිටපත් කරති. වරක් වසර කිහිපයකට පෙර ලියූ ලේඛණයක් කොපි කර ඇති බව හෙළි වුණේ එහි සම්මුඛ සාකච්ඡාවකට බඳුන් කර තිබුණු කලාකරුවෙකු ඉන් වසර කිහිපයකට පෙර මිය ගිය අයෙකු බව හෙළිදරව් වීමෙනි.

ඉදින්, මා විමසන්නට යන අවසන් වසර ස්වාධීන නිබන්ධනයන් ද අපගේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වන අර්බුද පෙන්වන කැටපත් වැනි ය. ඒ අතරතුර අගනා කෘති නොවන්නේ ද නොවේ. එවැනි එක් කෘතියක් මේ මොහොතේ අසල රාක්කයක් තුළ හිඳ මදෙස බලා හිඳියි. “සොඳුරු සිනමා අදියුරු: තිස්ස ලියනසූරිය“ එහි නමයි. දිලීප පෙරේරා එහි ලේඛකයාගේ නමයි. සරසවි ප්‍රකාශනයක් ලෙස එය ප්‍රකාශයට පත් වීමට පෙර දිලීප එය රචනා කළේ පේරාදෙණියේ ලලිත කලා අධ්‍යයනාංශයේ අවසන් වසර ස්වාධීන නිබන්ධනය වෙනුවෙන් බව මගේ මතකය කියයි.

-ප්‍රියන්ත ෆොන්සේකා -