Tuesday, November 24, 2020

ප්‍රාසාංගික කලාවට එරෙහිව කොවිඩ්-19 සහ කොවිඩ්-19ට එරෙහිව ප්‍රාසාංගික කලාව

 (2020 ‍‍නොවැම්බර් 22 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

පේරාදෙණි ලලිත කලා අංශය මගින්
 පවත්වන්නට නියමිත සංවාදයේ
පෝස්ටරය

කොවිඩ්-19  පසුගිය වසර අවසානයේ කරලියට පැමිණීමත් සමග නව ඇවතුම් පැවැතුම් රටාවන්  රැසක් සමාජය වෙත හඳුන්වා දෙනු ලැබිණ. සෙස්සන්ගෙන් හැකි පමණ දුරස්ථව කල්ගත කිරීම හෙවත් සමාජ දුරස්ථභාවය හඳුන්වාදීමත් සමග සමාජය වෙත පැමිණියේ නව ජීවන ස්වරූපයකි. මීටරයක දුර, මුහුණු ආවරණය, නිවසටම වී කල් ගෙවීම ඇතුළු වෛරස විරෝධී ක්‍රම පිළිවෙත් තවත් සජීව කලාප ගණනාවකටම සෘජුව පහර එල්ල කළේ ය. ඒ අතර වඩාත් ප්‍රමුඛ කලාපයක් වූයේ ප්‍රාසාංගික කලා අවකාශයයි.


භෞතිකවව එකිනෙකා මුණ ගැසී, බොහෝවිට ස්වකීය ශරීර ද දායක කර ගනිමින්, නර්තනය, නාට්‍ය හා රංගය ආදී සජීව කලාවන් ප්‍රේක්ෂකයා වෙත තැබූ එම අවකාශවල ක්‍රියාකාරීව කටයුතු කළෝ බොහෝ අංශවලින් අසරණව ගියෝ ය. එක් අතෙකින් සිය නිර්මාණයන් සූදානම් කරගැනීම සඳහා එකිනෙකා මුණගැසීමට නොහැකි වීම ඔවුන් වෙත අභියෝගයක් ලෙස පැමිණි අතර, අනෙක් අතින් සූදානම් කළ රංග කටයුතු ප්‍රේක්ෂකයා හමුවේ තැබීමට නොහැකිව තවත් අභියෝගයක් නිර්මාණය වී තිබිණ. ‘ලොක් ඩවුන්’ කාල සීමා දිගුවත්ම සදා නිම කළ නිර්මාණවල පුහුණුව බිඳ වැටීම හේතුවෙන් (වරෙක මගේ කලා විචාරක මිතුරෙක් මෙය හඳුන්වා තිබුණේ නාට්‍යවල ‘බැටරි බැසීම’ ලෙස ය.) යළි ඒ වේදිකාගත කිරීම පිණිස මුහුණ දිය යුතු අර්බුද ගණනාවක් නිර්මාණය විය. ඒ හා සමග, ආදායම් බිඳ වැටීම (අප රට වැනි සමාජයක කලා නිර්මාණකරුවන් බහුතරය ස්ථිර ආදායමක් නොලබන්නන් බැවින්) හේතුවෙන් ඔවුන්ගේ දෛනික ජීවිතය පවත්වා ගැනීමේ අර්බුද පිළිබඳ ව ද සාකච්ඡා මතු විණ. 


පළමුව වැසී ගියේ ද, කොරෝනා ‘රැළි’ බැස ගිය පසු, අවසානයේ විවෘත වූයේ ද, නාට්‍ය හා සිනමා ආදී ප්‍රාසංගික කලාව හා බැඳුණු ශාලා ඇතුළු රංග අවකාශයන් ය. එය, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විමසූ කල්හි යම් වෙනස්කම් පැවතිය හැකි වෙතත්, ප්‍රාසංගික කලාව වෙසෙසින්ම යෝජනා කරන්නේ ද එකිනෙකා හා සමීප වුණු කලා භාවිතයක් බැවින් එය වෙත සීමා පැනවීම මග හැර යා හැක්කක් ද නොවන්නේ වෛරසයේ ස්වරූපය සියයට සියයකින්ම ප්‍රාසංග කලා භාවිතයේ අවැසියාවන්ට එරෙහිව ප්‍රතිමුඛව පිහිටන හෙයිනි.


කෙසේ වෙතත්, ප්‍රාසාංගික කලාවට එරෙහිව කොවිඩ්-19 සිටගත් විගසම කොවිඩ්-19ට එරෙහිව ප්‍රාසාංගික කලාව ද සිය කටයුතු ඇරඹි බව වඩාත් අවධානයෙන් අදාල කලාප විමසන්නෙකුට පෙනී යනු ඇති අතර මගේ මෙම කුඩා තීරු ලිපියේ යොමුව ද එය නොදුටු අයෙකු වේ නම් එය දක්වා ලමින්, දුටු නුදුටු සැමට මෙම සුවිශේෂ කඩඉමෙහි වැදගත්කම අවධාරණය කිරීම ය.

කලාව යනු අප සමාජය ඉතා පසුගාමී ලෙස හඳුනාගෙන ඇති පරිදි විද්‍යාව, ගණිතය ඈ භෞතික විද්‍යාත්මක විෂයය ධාරාවෙන්ගෙන් පසුව තැබිය යුතු හෝ හැකි විෂයය පද්ධතියක් නොවේ. පෘතුගීසි - ඇමරිකානු සම්භවයක් සහිත, ස්නායු විද්‍යාඥයෙකු වන, දකුණු කැල්ෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අන්තෝනියෝ දමාසියෝ පවසන පරිදි මිනිසාගේ භාවයන් සමාජ සංජානනයේ දී හා තීරණ ගැනීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එනිසාමත් (හා එනිසාම නොවෙතත්), සෞන්දර්යය, කලාව හා ඒ හා බැඳි ක්‍රියාකාරකම් හා සංවාද, අපට වෛරස ක්‍රියාකාරීත්වයක් කෙළවර දකින තුරු පසෙක තැබිය යුතු නොවේ. (සහ, කලාව තුළ ක්‍රියාත්මක මනසකට හා/හෝ ශරීරයකට එය කෙළවර දක්වා නවතා තබනු නොවන්නට ද ඉඩ ඇත.)

කොවිඩ් - 19 පළමු ‘ලොක් ඩවුන්’ සමයේ ම  ‘සූම්’ පරිගණක යෙදවුම හරහා තැනුණු අශෝක හඳගමගේ ‘ඇල්කොහොල් නැති බියර්’ කෙටි චිත්‍රපටයට විශාල අවධානයක් මෙරට දී සැදුණේ මේ පසුබිමෙහි දී ය. රටවල් දෙකක, අවකාශ 4ක උන් 5 දෙනෙක් (හෝ කිහිප දෙනෙක්) එහි කතා පුවත අප වෙත තබා තිබුණු අතර අධ්‍යක්ෂවරයා එකදු නළුවකු හෝ නිළියක අසළ භෞතිකව නොසිටි බව පෙනී ගොස් තිබිණ. ‘ලොක් ඩවුන් ස්ටෝරීස්’ කෙටි ටෙලි නාට්‍යය නාමල් ජයසිංහගේ නිර්මාණ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වූයේ ද, එවැනි කී, නොකී මැදිහත්වීම් ඔස්සේ තවතවත් කටයුතු සඳහා නිර්මාණකරුවන් යොමු වූයේ ද මේ පසුබිමෙහි ය.     

මෙරට කොරෝනාවේ දෙවැනි රැල්ල වන විට ලෝකය පුරාම බරපතල ලෙස හමුවන ‘කොරෝනාට එරෙහි’ කලා භාවිතයන් හඳුනාගත හැක. අතථ්‍ය (virtual) අවකාශවල සිදු කෙරෙන, අනාගත සුභ සිහින පසුබිම් කරගත් නාට්‍ය හා නිර්මාණ පුහුණුවීම් එහිලා වැදගත් ය. දශක ගණනාවකට පසු සිදුවන ස්වකීය වේදිකාගමනය සංඥා කරමින් අශෝක හඳගම වේදිකා නාට්‍යයක පුහුණුවීම් ‘සූම්’ හරහා සිදු කරන අන්දම සමාජ ජාල ඔස්සේ බෙදාගෙන තිබිණ. සෙමින් හෝ වේගයෙන් ගිය ගමන නවතා ලූ වෛරසයට එරෙහිව සිට ගනිමින් තවත් නිර්මාණකරුවන් කිහිප දෙනෙකුම සිය ‘වැඩ’ ආරම්භ කර තිබුණේ ‘ලොක් ඩවුන්’ බිම සිටම ය. 

‘දැන් ඔයාල කොහොම ද නේද නටන්නෙ, රඟපාන්නෙ??”

සෙසු මානව හා ශාස්ත්‍ර විද්‍යා අධ්‍යාපන අංශ කම්පිතව (හෝ කලාතුරකින් මොහොතක සෝපාහාසාත්මකව) ප්‍රාසාංගික කලා අංශ වෙතින් විමසද්දී ඔවුන් ද සිය පියවර ස්වරූප වෙනස් කොට තිබිණ. ඒ අනුව, ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසංගික කලා අවසන් වසර නාට්‍යය මෙවර ගුවන් විදුලි නාට්‍ය ස්වරූපයක් ලෙස නැගී, දෙවනුව දෘශ්‍ය මාධ්‍ය වෙත සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රවණතා විමසනු ඇත. පේරාදෙණියේ (මා සේවය කරන) නාට්‍ය විද්‍යාර්ථීහු සිය කෙටි නාට්‍ය ත්‍රිත්වයක් ‘සූම්’ පුහුණුවීම් ඔස්සේ නංවමින් සිටින අතරම, එහි නර්තන, නාට්‍ය හා සංගීත ආචාර්ය හා ශිෂ්‍ය ප්‍රජාව විදේශ රටවල සම-ස්වරූපයේ ආයතන සමග අන්තර්ජාල පුහුනුවීම් ආදිය ද සිදු කරන්නේ, නව යෝජනා හරහා නැගුණු නිර්මාණ අවකාශ පෝෂණය කරනු පිණිස ය.

ඒ හා සමග, අදාල විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන ද මේ නව ප්‍රතිමුඛ වීම විෂයානුබද්ධව ගොස් විමසයි. දෙසැම්බරයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ‘කොවිඩ් සමයේ සෞන්දර්ය ඉගැන්වීම මුහුණදෙන අර්බුද’ හා සම්බන්ධ ය. එළඹෙන 27 වැනි සිකුරාදා සූම් හරහා පැවැත්වෙන, පේරාදෙණියේ ලලිත කලා අධ්‍යයනාංශය සංවිධානය කරන, ‘කොවිඩ් 19 හමුවේ රංග සහ නර්තන කලාවන් මුහුණ දෙන අභියෝග’ නමැති විද්වත් කතිකාව ද ඒ පිළිබඳ ව ය.

කලාවට කොවිඩ් ප්‍රතිමුඛ වී ඇති බව සැබෑ ය. එහෙත් එය ජය ගෙන හෝ ජය ගනු නැත.



-ප්‍රියන්ත ෆොන්සේකා -   

Thursday, November 19, 2020

‘විකාරි’ සහ ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’: කෙටි චිත්‍රපටයේ වෙනස් මුහුණුවර දෙකක් අසන එකම පැනයක්!

  (2020 ‍‍නොවැම්බර් 15 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)


අන්තර්ජාල සිනමා උළෙලක් ලෙස පැවති දකුණු ආසියානු සිනමා උළෙල අතර සහයෝගීතා සිනමා දැක්ම (COSAFF) පසුගිය ඔක්තෝබර් 03 සිට 17 දක්වා ලොව පුරා විසිරි සිනමා රසිකයින් වෙත තිළිණ විය. තිළිණ වී යැයි මා කීවේ එහි බොහෝ නැරඹීම් සඳහා අන්තර්ජාල සබැඳිය ලබා ගැනීමට කිසිදු මුදලක් ගෙවිය යුතුව නොතිබීම හේතුවෙනි. ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ නමැති චන්දන ප්‍රසන්නගේ කෙටි චිත්‍රපටය ද ශ්‍රී ලාංකික සිනමා නියෝජනයක් වශයෙන් එහි දී අප වෙත පැමිණි අතර ‘ඇගේ ජීවිතය, ඇගේ නීතිය’ යන තේමාව පදනම්ව, ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කෙරුණු කෙටි සිනමා පොකුරකට එය එක් කොට තිබිණ.

සඳුන් සෙනෙවිරත්න, චාලි බ්‍රේ සමග එක්ව අධ්‍යක්ෂණය කළ ‘විකාරි’ කෙටි චිත්‍රපටයට ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ස්ක්‍රීම්ෆෙස්ට් සංත්‍රාස (Horror) චිත්‍රපට උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වූයේ ඉහත සිනමා උළෙල කෙළවර වූ දිනට පසු දින එනම් ඔක්තෝබර් 18 වැනිදා ය (බොහෝ මාධ්‍ය මෙය වාර්තා කර තිබුණේ සඳුන් සෙනෙවිරත්නගේ තනි අධ්‍යක්ෂණයක් ලෙස ය.). (විකාරි පූර්ව ප්‍රචාරක පටයලොව ප්‍රමුඛතම ෂානර සිනමා උළෙල අතර ඉහළින්ම නම සඳහන් වෙන ස්ක්‍රීම්ෆෙස්ට් සංත්‍රාස චිත්‍රපට උළෙල තුළ කෙටි චිත්‍රපට අංශයේ ඉහළම සම්මානය දිනීම ද සුළු කොට ගිනිය නොහැකි, ඉහළ පැසසුමකින් සළකා බැලිය යුතු කරුණකි.

‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ සාදන චන්දන දිගු කලක් මුළුල්ලේ කෙටි චිත්‍රපටකරණයේ නියැලෙන්නෙකි. ඔහු තැනූ වාර්තා චිත්‍රපට ද වන අතර ඩෙනිස් පෙරේරා සමග සම-අධ්‍යක්ෂණයෙන් එක්ව ඔහු සෑදූ ‘How to become a Film Maker with Ten Dollars’ වාර්තා චිත්‍රපටය ශ්‍රී ලාංකික චිත්‍රපට ක්ෂේත්‍රය සහ එහි නිරතවන්නන් පිළිබඳ ඉතා විවෘත සහ නිර්භය කියවීමක් සහිත කෘතියකි. ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ තුළ දී ඔහුගේ සිනමා ඇස ගෘහ අභ්‍යන්තරයකින් බැහැර සිට රූපයක් තනන්නේ ආරම්භක අවස්ථාවේ දී පමණි. ඉන් අනතුරුව එක්තරා ගෘහයක් තුළට පිවිසෙන සිනමා ඇස පළමු රූපයේ එම නිවසින් පිටව ගිය පිරිසකට අත වනා සමු දුන් බව පෙනෙන පවුලක විසිරි සාමාජික පිරිසකගේ සංවාදයක් අප වෙත තබයි. එය නිවසේ තරුණ දියණිය කාංචනා ‘බලන්නට’ ‘මගුල් යෝජනා කණ්ඩායමක්’ පැමිණ ගිය දිනයයි. සිනමාකරු සෘජුවම අප වෙත තබන්නේ ඒ කණ්ඩායම පිටව ගිය සැණින් එළැඹෙන මොහොතයි. දියණියගේ සීයා, අත්තම්මා, අම්මා, වැඩිමහළු සොයුරිය (හා ඇගේ දරුවන්), මස්සිනා, නැන්දා ඇතුළු කණ්ඩායමක් වඩා තර්කානුකූල හා ඊටත් වඩා ‘ප්‍රජාතන්ත්‍රවාදී’ බව පෙනෙන යෝජනාවලියක් ඇය වෙත තබමින් පැමිණ ගිය (අප නොදුටු) මනමාලයාට ‘කැමැත්ත’ පළ කළ යුත්තේ මන්දැයි පහදයි. කාංචනා ඒ වෙත දක්වන ප්‍රතිවිරෝධයට එරෙහිව නැගෙන තර්ක සමුදාය ප්‍රබල ය.

චිත්‍රපටයේ උත්ප්‍රාසජනක අවසානය මෙහි ලියා තැබීමට කිසි ලෙසකින් මා අදහස් නොකරන නමුත්, චන්දනගේ අනගි නිර්මාණයේ බහුවිධ කලාප ආවරණය පිළිබඳ යමක් ලියන්නට සිතමි. එක් අතකින්, මෙහි (ඒ ඒ තැනැත්තා පදනම්ව) බැලූ බැල්මට තර්කානුකූල බව පෙනෙන සහ සාමාන්‍ය සමාජයේ වැසියන් බොහෝ විට ගෙනෙන අදහස් සහ යෝජනා ‘මගුල් තුලා’ ආදියෙහි දී බහුල ය. රටේ අති-බහුතර තරුණියන් සිය ජීවිතයේ ඉදිරිය පිළිබඳ තීරණය ගන්නේම එම ‘තර්ක’ පදනම්ව ය. එහෙත්, චන්දන චිත්‍රපටයේ නම තුළම බහා තබමින් සමස්ථ පුරවැසියා අභියස ඇති දේශපාලනික ‘තේරීම්’ යනාදිය පිළිබඳ ‘තර්ක’ ද සිනමා කෘතිය තුළ දී සංකේතාත්මකව ප්‍රශ්න කරයි. එහි නම ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ ය! 

‘විකාරි’ ගැන විමසන්නට අපට තවම ඉඩක් නැත. එය යූටියුබ් හරහා අන්තර්ජාලය ඔස්සේ අප වෙත තිළිණ කෙරෙන්නේ එළඹෙන දෙසැම්බරයේ ය. එහි පූර්ව ප්‍රචාරක පටය එය වඩාත් සුහුරු සිනමා රූප වියමනක් සහිත කෘතියක් බව අපට හඟවා ඇත. එය එසේ නොවිය හැකි ද? සඳුන් සෙනෙවිරත්න ලන්ඩන් සිනමා ඇකඩමියේ සිනමාකරණය පිළිබඳ හැදෑරීමක් සහිතව ආ අයෙකි. ලාංකිකයෙකු නොවූව ද ඔහු හා සම-අධ්‍යක්ෂණයට එක්ව ඇති චාලි බ්‍රේ ද ඔහුගේ ඇකඩමික සගයෙකු බව පෙනේ.

දැන් මට මගේ අද යොමුව වෙත හැරෙන්නට ඉඩ දෙන්න!

චන්දන ප්‍රසන්න සහ සඳුන් සෙනෙවිරත්න තැනූ කෙටි චිත්‍රපට ද්විත්වය මේ ගෙවුණු කාල වකවානුව තුළ මෙරට නව හා තරුණ නිර්මාණකරුවන් සිය සිනමා කාච තුළ සටහන් කරගත් සහ සංස්කරණ යන්ත්‍ර ඔස්සේ පෙළ ගස්වා ගත් එකම නිර්මාණ ද්විත්වය නොවේ. දැන් දැන්, කෙටි චිත්‍රපටය යනු විශාල ලෙස සිනමා මාධ්‍යය ඔස්සේ සිය ප්‍රකාශනයන් පෙළ ගස්වන්නට තරුණ පරපුර තෝරා ගන්නා කලා භාවිතාවක් වී තිබේ. එක් පසෙකින් විශ්වවිද්‍යාල සහ සිනමා පාඨමාලා පදනම්ව තනන කෙටි චිත්‍රපට හමුවන අතර තවත් පසෙකින් සිය වුවමනාව පදනම්ව ම කෙටි චිත්‍රපට තනන පරපුරක නිර්මාණ ද හමු වෙයි. චන්දනගේ කෘතියට නිෂ්පාදනයෙන් දායක වන ‘ඇජෙන්ඩා 14’ වැනි ආයතනවල ආර්ථික සහාය ද ලැබුණු විට හා/හෝ සඳුන්ගේ ඇකඩමික සිනමා ඥාණය වැනි නිර්මාණාත්මක පදනම එක් වූ විට ද, ඒ හා සමග චන්දනගේ වැනි දේශපාලනික හා සමාජයීය සවිඥාණිකත්වය එක් වුණු විට ද තැනෙන්නේ වඩා නිර්මාණශීලී කෘතීන් ය. එවැනි කෘති තොග ගණනින් නොවෙතත්, යම් සැලකිය යුතු මට්ටමකින්, නව සිනමා තාරුණ්‍යය වෙතින් බිහිවෙමින් පවතී.

හිටි අඩියේ නැගෙන විශ්ව සම්මානයකින් හෝ ජාත්‍යන්තර උළෙල සහභාගිත්වයකින් අවදි නොවෙන, නිරන්තර අවධානයකින් යුතුව අප මෙම නව සිනමා පරපුර සහ නිර්මාණ විමසිල්ලට ලක් කළ යුතු ය. ඒ පිළිබඳ ඇගයීම, රස වින්දනය මෙන්ම විචාරය මතු නොව එම කෘති වඩා ක්‍රමවත්ව ප්‍රේක්ෂකයා හමුවට යැවෙන ක්‍රම සම්පාදනය ද සිදු විය යුතු ය. ඒ, දැඩි දොම්නසකින් යුතු ව සිය කෘති සිනමා ශාලා වෙත යොමු කරගත නොහී බලා හිඳින සිය සහෝදර ‘දිගු සිනමා කෘති’ තැනූ නිර්මාණකරුවන්ගේ වේදනාව මොවුන් වෙත කාන්දු නොවෙන ස්ථිර වැඩ පිළිවෙලක් දියත් කිරීම ඔස්සේ ය.

‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ සහ ‘විකාරි’ වෙනස් ශානර සහ නිර්මාණ ඇමතුම් අවකාශවල සිට අසන එකම පැනය අප තේරුම් ගත යුතු ය. ‘අපේ අනාගතය කුමක් ද?’ යන්න ඒ තනි, ප්‍රබල එසේම විසඳුම් දිය යුතුම පැනයයි.

-ප්‍රියන්ත ෆොන්සේකා -    

 

Thursday, October 22, 2020

පුස්තක සම්මාන ‘එක මිටට’ ගැනීම: නොපෙනී මැකෙන සාහිත රචනා

 (2020 ‍ඔක්තෝබර් 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

මුලින්ම නව කතා වෙනුවෙන් ස්වර්ණ පුස්තක සම්මානයක් පිදෙන්නට තීරණය වූ මොහොතෙහි සමාජ අවධානය බිඳවැටෙමින් තිබෙන සාහිත්‍ය කලාපයක් දෙස යම් අවධානයක් යොමු කරවීමටත්, ලේඛකයින් වෙත යම් ප්‍රබෝධයක් හා උද්යෝගයක් ජනිත කරවීමටත් එය හේතු වනු යන හැඟීමෙන් මසිත පිරී ගිය බව මතක ය. පසු සමයක නව කතාවට පසුපසින් එමින් කෙටි කතා සහ කාව්‍ය වෙනුවෙන් රජත පුස්තක නමින් සම්මානයක් පිදෙන්නට යන බව ඇසූ විට නැගුණේ ද සමාන හැඟීමකි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, විදුදය සම්මාන සහ ගොඩගේ සම්මාන යනාදිය පැවතිය ද ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක යන්න ස්වර්ණමය හා රජතමය හැඟීමකින් අදාල කෘති දෙස බලන්නට අප පොළඹවනු ඇතැයි යන ධනාත්මක සිතුවිල්ල මසිත ජනිත කරවී ය. සියල්ලම නොවෙතත්, බොහෝ වසරවල සම්මානිත කෘති මිලට ගන්නට ද මා මෙහෙයවන්නට මේ සිතුවිල්ල බලපෑ බව දැන් හැරී බලද්දී හැඟෙයි.

පඩි පෙළක් නගින්නාක් මෙන් නැගෙමින්, වටයෙන් වටය තේරී කෘති ඉහළට යද්දීත්, තවත් බොහෝ කෘති හැලී යද්දීත් ඒ පිළිබඳ විවිධ වාද විවාද මෙන්ම අවලාද ද නැගෙනු සම්මානයේ අගනා බව ඉහළ යත්ම සිදු විණ.අගනා බව’  වැඩිමනත් ඉහළ ගියේ මුදලිනි! සම්මාන ගෙන ආ පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ඒ වෙත ලබා දුන් මුදල් තෑගි ඉහළ නැංවීමෙනි. කෙසේ වෙතත්, අවලාද සහ වාද විවාද නැඟුණේ මූලික වශයෙන් වඩා ඉහළ  ඇගයුමක් ලබාදිය යුතු කෘති ඉවතට විසි ව යන්නේ ය යන කරුණ වටා නැගෙමිනි. ඒ හා සමග ඉවත් කළ යුතු කෘති ඉහලට ගෙන ඇත්තේය යන චෝදනාව  පදනම්ව නැගෙමිනි.

 

කුමන අවලාද නැගී ආවද සාහිත්‍ය කෘති විෂයෙහි පමණක් නොව වෙනයම් කවර ක්ෂේත්‍රයක් හමුවේ වුව ඇගයුම් ලැබීම හෝ ලබා දීම වරදක් නොවේ. යම් කතුවරයෙකුගේ නිර්මාණාත්මක මැදිහත්වීම, වෙහෙස, සමාජ ප්‍රගමනය සඳහා ඔහු හෝ ඇය දක්වන ලද දායකත්වය ඇතුළු බොහෝ දේ වෙනුවෙන් සෙසු සමාජය දක්වන ඇගයුම පිළිබඳ හැඟීම එම සම්මානය පිටුපස සැඟව තිබෙයි. එබැවින් සම්මානයක හැඩය, උස, බරවිශාලත්වය කවර ස්වරූපයක් ගත්තද ඒ හා සමග නැගෙන ඇගයුමෙහි හැඩය එක සමාන හැඩයක් ගනී. නිර්මාණ විනිශ්චය මණ්ඩල පිළිබඳ ඔබගේ ඇගයුම් හා ප්‍රතිමාන වෙනස් වන බව හා ඒ පදනම්ව ලැබුණු හා ලැබෙන්නට නියමිත සම්මාන පිළිබඳ ඔබගේ කියවීම වෙනස් වන බව දැනගෙන වුව මා ඉහත ප්‍රකාශය සිදු කරන්නේ ප්‍රදානය කෙරෙන සම්මානය පිළිබඳ ගෞරවයෙනි.

 

මට හැඟෙන ආකාරයට, සම්මානයක් ප්‍රදානය කෙරෙන්නේ නම් ඒ සඳහා කෘති තේරීම සිදු විය යුතුම කරුණක් බැවින් අපේ අවධානය යොමු විය යුත්තේපාඨකයින් ලෙසසමස්තයක් වශයෙන් සම්මාන දිනන මෙන්ම නො දිනන කෘති වෙත ය. ස්වර්ණ හා රජත පුස්තක සම්මාන දසෙසු බොහෝ සම්මාන ද  පිරිනැමෙන්නේ වාර්ෂිකව අප වෙත එන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එළිපත්තේ හිඳ බැවින් සම්මාන සමඟ දිදුලා නැගීඉහළ පිටපත් ප්‍රමාණයක් විකිණීරට පුරා මධ්‍යම පාන්තික නිවෙස් හා කුඩා පුස්තකාලවල රාක්කවල ඉඩ වෙන්කරගැනීමට මේ සම්මානිත කෘතිවලට ලැබෙන අවකාශය ඉහළ ය.  නමුත් අවධානය අඩුවෙන් ලැබී, වැඩිපුර නොවිකිණී, යළිත් අදාල පොත් වෙළෙන්දන්ගේ ගබඩා වෙත මිටි වශයෙන් ගමන් කරන කෘතිද ඇති බව පැහැදිලි ය. ඒ මිටි ප්‍රමාණය වඩ වඩාත් ඉහළ නගින්නේ  පුස්තක සම්මාන දිනූ හා එක් එක් වටවලට තේරුණු කෘති කංචුකවල රන් සහ රක්ත වර්ණවලින් ඒ බව කියැවෙන වෙළඳ සංඥා එක් කිරීමත් සමගය. ඉන්ද නොනැවතී පුස්තක සම්මාන දිනූ කෘති සියල්ලටම  මිල මේ යැයි  කියවෙන ප්‍රචාරක පුවරු වෙළඳ කුටි අබියස තැබීමත් සමග ය.

 

 දැන්, මේ සියල්ල හමුවේ, තවත් විශිෂ්ට කෘති අපට නොපෙනී ගිය හොත්?

 

 මා සියලු නවකතාකෙටි කතා සහ කාව්‍ය කෘති විමසමින් බලන සාහිත්‍ය විචාරකයෙකු නොවේ. වඩා යහපත් යැයි හැඟෙනඇතැම් විට මිතුරන් හෝ නොයෙක් විද්වතුන් විසින් හොඳ කෘතියකැයි ඇගයුම් ලබාදී ඇතිඑසේත් නැතිනම් මගේ පෞද්ගලික කැමැත්ත අකමැත්ත පදනම්ව මවිසින්ම තෝරාගන්නා   යම් කෘති ප්‍රමාණයක්  ආශ්‍රය කරන පාඨකයෙක් පමණි. එවැන්නෙකු ලෙස ඉහත පැණය මවෙත නැඟුනේ අහම්බෙන් මුණගැසුනු යටකී සම්මාන විශ්වයට අතහැරුණු එක්තරා කෙටි කතා පොතක් හේතුවෙනි.  කෘතිය ලියා ඇත්තේ ඉසුරු චාමර සෝමවීර ය.  කෘතියේ නම ගැහැනු පිරිමි මල් පලතුරුය. 

 

සැබැවින්ම ඉසුරුගේ කෘතිය මා තවම කියවා අවසන් නැත.නිල් මල් ගවුම’, ‘ සාන්තසහකිඳුරු වෙරළ’  යන කෙටිකතා තුන පමණක් කියවන්නට පසුගිය දින කිහිපය මට අවසර ලබා දුන්නේය.  එම කතා ත්‍රිත්වය හා සමග මේ වසරේ සම්මාන දිනූ හෝ  සම්මාන සඳහා නිර්දේශ වූ  කෙටි කතා පොත්වල කතන්දර සසඳන්නට මා නොයන්නේ පෙරකී ලෙසම මා සාහිත විචාරකයෙක් නොවන බැවිනි.  නමුත් මගේ රසික මනස තුළ ඉසුරුගේ  කතා ලබා දුන් ආහ්ලාදය තවම මැකී ගොස් නැත‍. 

 

නිල් මල් ගවුමකෙටිකතාවෙහි විදුර අප අභියස තබන්නේ සංස්කෘතිකව දියුණු සමාජ වෙත සංක්‍රමණය වුවද මනසින් අසංස්කෘතික ශ්‍රී ලාංකික පිරිමියා පිළිබඳ අප තැතිගන්වන සුළු  සංකේතය ය.සාන්ත’  කෙටිකතාවෙහි බුදු කුටියෙහි සැඟව සිට කුඩා සාමණේරයන්ට මුණගැසෙන සාන්ත තවම මෙරට පුරවැසි ප්‍රජාවට මුණ නොගැසුණු කුඩා  සාමණේරවරුන් පිළිබඳ බිහිසුණු යථාර්ථය ගෙන එන සංකේතය ය.කිඳුරු වෙරළ’ යනු අප ප්‍රජාවේම එක් සහෝදර කලාපයක් පිළිබඳ නොපෙනී ගිය වෙරළ තීරයක් ය. කෙසේ හෝ වෙතත් මේ තැති ගැන්වීම් සමග වන යථාර්ථයන් ඉසුරු අප වෙත තබන්නේ විශ්මිත සාහිත්‍ය රසයක් මවමිනි. කෘතියේ ඉදිරිය වෙත ගමන් කිරීමට මා කැමැති වන්නේ මේ තැති ගැන්වීම් සහ බිහිසුණු බව සමගම ගෙන වඩා සුහුරු හා විශ්මිත සාහිත්‍ය රසයක් සමග එක්ව තබා එම කතන්දරද ඉසුරු අප වෙත ගෙනැවිත් ඇතැයි යන විශ්වාසය මා වෙත නැගී ඇති බැවිනි.

 

ඉසුරු චාමර සෝමවීර හා සමාන තවත් දක්ෂ රචකයින්ගේ සාහිත්‍ය රචනා පුස්තක සම්මාන එක මිටට ගෙන මිලට ගැනීම හා ඔද වැඩීම හේතුවෙන් අපගේ පුස්තකාල වෙත නොපැමිණෙනු ඇත. ඒ අප නොකිය වනු ඇත. සිදුවන්නේ වඩා පුළුල් සාහිත ලෝකයක් හා ඉතා රසවත් රචනා කලාපයක් නොපෙනී යාම ය. 

 

 සම්මාන පුස්තක වෙත ලැබුණා වේ!  ඒ ස්වර්ණමය හෝ රජතමය වූවා වේ! පාඨකයින් ලෙස අපි  සම්මානයට වඩා පියවරක් ඉදිරියෙන් සිට ගනිමු! එවිට ඉසුරු වැන්නන් ගෙන එන සාහිත්‍යමය ‘ඉසුරු’ අප නෙත ගැටෙනු ඇත.

 

- ප්‍රියන්ත ෆොන්සේකා - 

 

සේයාරුව: https://www.gagana.lk/

 

Thursday, October 1, 2020

නැටීමේ පද අරුත: වෙනුරි ඇතුළු කණ්ඩායමේ ‘නින්ජා’ නැටීම

 (2020 ‍සැප්තැම්බර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


ගෙවුණු සති අන්තයක, හදිසියේම කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන කිහිපයක මතුවූ නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් කණ්ඩායමක් සිය නිදහස් නර්තන චලන, සෙස්සන්ට බාධාවක් නොවන පරිදි ඉදිරිපත් කරමින් ස්වකීය ශරීරය ප්‍රකාශන මෙවලමක් ලෙස ගෙන, රටේ අගනුවර ජන සමාජය නර්තනය හා සමග ස්ත්‍රිය දෙස විමර්ශනාක්ෂිය යොමන ආකාරය විමසා බලා තිබිණ. සමකාලීන නර්තන භාවිතය සමග වඩාත් ඉහිල් එමෙන්ම සරල ශරීර ප්‍රකාශන සමග ක්‍රියාත්මකව තිබුණු roadside ninjas නමැති මෙම කණ්ඩායම හඳුනාගත නොහැකි ලෙස ස්වකීය මුහුණු ආවරණය කර ගැනීම හරහා ස්ත්‍රී ශරීරය මෙවලමක් ලෙස දැකීමේ සමාජ ප්‍රවේශය නිර්භීත ලෙස විමසා බලා තිබිණ. මහරගම සති පොළ, නුගේගොඩ දුම්රිය ස්ථානය අවට කලාපය, දියත උයන, One Galle face සුපිරි වෙළඳ සංකීර්ණය, තුරඟ තරඟ පිටියේ සෙනසුරාදා වෙළෙඳපොළ යන කලාප මෙම හදිසි නර්තන ප්‍රහාරකින්ගේ  විමසුම් කලාප බවට පත්ව තිබිණ.

ලාංකික සමකාලීන නර්තන කලාපය තුළ ස්වකීය භූමිකාව වඩාත් පැහැදිලිව සටහන් කොට ගෙන සිටින වෙනුරි පෙරේරා මෙම කණ්ඩායම මෙහෙයවා තිබුණේ ස්ත්‍රී ශරීරය පිළිබඳ පොදු සමාජ කියවීම විමසමින්ම නර්තනය අභිමුව සමාජ වටහා ගැනීමේ දිග පළල හඳුනා ගනු පිණිසය. යටකී ස්ථාන  සියල්ල වෙතදීම වෙනුරි ඇතුළු කණ්ඩායම ස්වකීය නර්තන භාවිතයන් වෙත ප්‍රවේශ වී තිබුණේ මෙම මොහොතේ පවතින සෞඛ්‍ය සීමාවන් පිළිබඳ පවා සවිඥානිකව බව නර්තන කණ්ඩායමේ සාමාජිකත්වය වෙතින් මට දැනගත හැකිවිය. ඒ කෙසේ වෙතත්, එක් එක් කලාපවල දී ස්වකීය ශරීරය මෙවලමක් ලෙස ගෙන නිදහස් නර්තන චලන වෙත ප්‍රවේශ වී තිබුණු නර්තන කණ්ඩායම් සාමාජිකත්වය වෙත ලැබී තිබුණු ප්‍රතිචාර නම් එකිනෙක වෙනස් මෙන්ම නර්තනය හා ස්ත්‍රී ශරීරය පිළිබඳ සමාජ කියවීම වඩා සංඥාරූපීව පිළිබිඹු කෙරෙන ස්වරූපයක් ගෙන තිබිණ.

සැබැවින්ම අනෙකාගේ නාස් පුඩුව වෙතින් අපගේ නිදහස සීමා වෙන බව කියැවෙතත් කොරෝනා හේතුවෙන් එය මීටරයකට මෙපිටින් සීමා කෙරෙද්දී  එම සීමාව තුළ හිඳ හෝ ස්වකීය ශරීරය නිදහස් නර්තන චලනයක් වෙත යොමුකිරීමේ අවකාශය අප රට ‘නිදහස’ තුළ පවතී දඑම පවතින ‘නිදහස’ වුව ස්ත්‍රිය සහ පුරුෂයා හමුවේ වෙනස් ස්වරූපයන් නොගනී දස්ත්‍රියම වුව, තවත් ස්ත්‍රියකගේ චර්යාවන් දෙස නෙත යොමන්නේ පුරුෂ ඇසකින් නොවන්නේ ද?

‘නටන්ඩ වෙන තැනක් නැතුව ඇති...? ‘ඔහොම නටන්ඩ නං අපිටත් බැරුවයැ...’ යනාදී වශයෙන් වෙනුරි ඇතුළු කණ්ඩායම ලබා තිබුණු ප්‍රතිචාරත් වඩා ‘නිදහස්ම’ අවකාශ ලෙස පිළිගැනෙන දියත උයන වැනි කලාපවලදී ඔවුන් වෙත ලැබී තිබුණු ආරක්ෂක අංශවල සීමාකිරීමුත් නර්තනය මතු නොව ස්ත්‍රී ශරීරය හමුවේ ගොඩනැගෙන සමාජ කියවීම පිළිබඳ වෙසෙසි අර්ථ ගැන්වීම් අප වෙත ලබා දෙයි.

වෙනුරි ගේ මූලිකත්වයෙන් යුත් ‘roadside ninjas කණ්ඩායමේ මෙම නර්තන ප්‍රවේශය වෙනත් දේශයක, වඩා දියුණු සංස්කෘතික නගර කලාපයක නම් එතරම් විස්මය දනවන එළඹුමක් නොවේ. කුඩා සංගීත මෙවලම් සමඟ   වීදි කෙළවරවල නැගෙන සංගීත කණ්ඩායම්පසුබිම් සංගීත හා නැගෙන නර්තන ඉදිරිපත් කරන්නන් මතු නොව මහමග වීදි කෙළවර විසල් අවකාශවල සිය කැන්වසය එළා අති දැවැන්ත සිතුවම් අඳින චිත්‍ර ශිල්පීන්ද එවැනි නගරවල නිරතුරුව හමුවන අතර සිය ගමන අතරතුර මොහොතකට නැවත එම ක්‍රියාකාරකම් දෙස බලා මුදලකින් නැතිනම් අත්පොළසකින් හෝ ඔවුන්ව දිරිමත් කොට යළි ඇවිද යන නගරවැසියන්ද නිරතුරුව දැකිය හැකි ය. කෙසේ වෙතත්, මහමග හමුවන යදින්නන් සමග මිස සංස්කෘතික ප්‍රකාශකයින් සමග ගනුදෙනු කොට නොමැති මෙරට සමාජයට වෙනුරිලාගේ කණ්ඩායම  විස්මයක් වීම අරුමයක් නොවේ. 

එසේ වතුදු, ඉහත කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ හසන්ති නිරිඇල්ල ස්වකීය අත්දැකීම් අප හා සමඟ බෙදා ගත්තේ මෙම සමාජ අවකාශ තුළ දී තමන් අත්දුටු වඩාත් සාධනීය කරුණු ද වූ බව පෙන්වා දෙමිනි. නුගේගොඩ දුම්රියපල අසල කොස් විකුණු කාන්තාවක් නර්තන ශිල්පිනිය අමතා ඇගේ නර්තනය අගය කොට තිබුණේ ‘ඔබට නටන්නට ලැබීම වැදගත් නමුත් මම නම් මෙතන වසර ගණනක් කොස් කපමින් ම කල් ගෙවන බව’ සඳහන් කරමිනි. වසර ගණනක නොවෙනස් ජීවිතය තුළ වූ, රේඛීය, ඒකාකාරී ස්වරූපය හඳුනා ගැනීමට හා යළි මෙනෙහි කිරීමට හදිසියේ ඇය අබියස නර්තනයක් ඉදිරිපත් කරමින් පෙනී නොපෙනී ගිය නර්තන ශිල්පිනියට හැකිවීම කෙතරම් සුවිශේෂ ද?

ඒ හා සමග, ‘ඕවා ඔහොම නටන ඒවා නෙවෙයි...’,‘මෙහෙම තැන් තැන්වල නටනවයැ!’ යනාදී වශයෙන් එම කණ්ඩායම වෙත ලැබී තිබුණු ප්‍රතිචාරත්, ‘මෙහෙ නටන්නෙ අවසරගෙන දැයි’ ආරක්ෂක අංශ වෙතින් ලැබී තිබුණු විමසීම් පෙළත් ලාංකික පොදු සමාජ අවකාශය තුළ නර්තනය, නර්තනය හා බැඳුණු ස්ත්‍රී ශරීරය විෂයයෙහි ඇති මූල කියවීම සංඥා කරයි. සැබැවින්ම නර්තනය පැවතිය යුත්තේ මතු මහලෙක දඑය නොයෙක් සමාජ අවකාශ තුළ පෙනී නොපෙනී හෝ පැවැතීමේ වරද කුමක්ද

ස්ත්‍රී ශරීරය මෙවලමක් ලෙස දැකීමේ ඛේදනීය පසුගාමී සමාජ තත්ත්වයට එරෙහිව වෙනුරි පෙරේරා ඇතුළු ‘roadside ninjas කණ්ඩායමේ ප්‍රවේශය අගය කළ යුතු ය. එමතු ද නොව නර්තනය යම් නිශ්චිත සංවෘත කලාපවල සඟවා තබා, කලාවේ භාවිතය රාමුගත සීමා තුළ සිර කොට තබා, වියළි, රළු හා කඨෝර නගර අවකාශ තුළ ඇවිද යාමට එළඹෙන සමාජ පසුගාමීත්වය පරාජය කළ යුතුය.

 -ප්‍රියන්ත ෆොන්සේකා - 

 සේයාරුව: https://52artists52actions.com/ 

Monday, September 7, 2020

විසල් වැඩ කළ ‘පුංචි’ මිනිසෙකුගේ ‘ලේඛනාවලි’ හෙළි කර දුන් අතීත වත

(2020 ‍අගෝස්තු 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

සම්මානිත මහාචාර්ය පුංචිබණ්ඩා මීගස්කුඹුර මහතාගේ ශාස්ත්‍රීය ජීවිතය තුළ ඔහු අතින් ලියැවුණු සියලු ශාස්ත්‍රීය ලිපි ඇතුළත් ලේඛනාවලි’ නමැති මාහැඟි පුස්තකය පසුගිය විසිපස් වැනි අඟහරුවාදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශාලාවේදී එළිදැක්විණ. ගෙවුණු දශක කිහිපය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය තුළ මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව සිය විශ්‍රාමික දිවිය තුළදී පේරාදෙණියේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශය හා සමීපව කටයුතු කරමින් මෙන්ම, ලොව පුරා විශ්වවිද්‍යාල ගණනාවක සැරිසරමින් සිය ශාස්ත්‍රීය සේවය විශ්ව දායකත්වයක තැබූ  මහාචාර්ය මීගස්කුඹුර ලාංකීය ශාස්ත්‍ර කෙත තුළ නැගුණු දුලබ විද්වතෙකි. ඔහුගේම සෙවනෙහි සිප් සැදෑරූ දඹුල්ලේ සුදේව, පිටතලාවේ විමලසාර සහ අපරැක්කේ සිරි සුධම්ම යන ස්වාමීන් වහන්සේලා තිදෙන එම විශිෂ්ට කෘතියේ සංස්කාරකත්වයට දායකව තිබිණ. එදින සැඳෑව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි එදා මෙදා තුර ඉතිහාසයේ හමුවන, තවමත් ජීවතුන් අතර හිඳිමින් සිය ශාස්ත්‍ර ඥානය සම්පාදනය කරන විද්වතුන්ගෙන් ද,   ඇසුරෙහි වැඩෙන ඥාන ගවේෂකයින්ගෙන් ඒකාලෝක තිබිණ.

මහාචාර්ය සඳගෝමී කෝපරහේවා සහ සම්මානිත මහාචාර්ය කේ.එන්.. ධර්මදාස සමග මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි යන විද්වතුන් තිදෙනගේ ප්‍රමුඛ දෙසුම් හා සමග මුණගැසුනු උළෙල තවත් බොහෝ පිරිසකගේ කෙටි අදහස් දැක්වීම්වලින් පෝෂිතව පැවතිණඋළෙල ඇරඹි මොහොතකින් මහාචාර්ය මීගස්කුඹුර මහතා එක්කළ අදහස් දැක්වීම ද, ඉහත සියලු අදහස් හා එක්ව මෙරට මානව ශාස්ත්‍ර අධ්‍යාපනය පිළිබඳ යම් අතීත මතක සෙවනැල්ලක් එම  පරිශ්‍රය තුළ චිත්‍රණය කළ වග අතුරු සිදුරු නොමැති පිරී තිබුණු ශාලාවෙහි කෙලවරක අසුන් ගෙන උන් මට හැඟිණ. මහාචාර්ය මීගස්කුඹුරයන්ගේ ශාස්ත්‍ර ජීවිතයෙහි වැදගත්කම කැපී පෙනුණු  එම මොහොතෙහි නැගෙමින් මැකෙමින් චිත්‍රණය වූ එම අතීත වත වඩා වැදගත් එමෙන්ම ඛේදනීය පුවතක ඡායා මාත්‍රයන් රැස්ව උන් පිරිස හමුවේ තැබී ය.


මහාචාර්ය මීගස්කුඹුරගේ මෙන්ම ඔහුගේ සමකාලීනයින්ගේ ද ශාස්ත්‍රීය මැදිහත්වීම් සහ ඔවුන්ට පෙර මං තැනූ මාහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි, මහාචාර්ය සුගතපාල ද සිල්වා සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි වියතුන්ගේ දායකත්වයන් පිළිබඳ යළි සාකච්ඡාවට ගැනීම මෙම අවකාශය තුළ සිදුවුණු එක් වැදගත් සිදුවීමකි. එය, වඩාත් පිරිපහදු කළ ශාස්ත්‍රීය කලාපයන් නිර්මාණය කරගනු වස් වර්තමානිකයින් ලෙස අප කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ සංඥා සපයා දිණ. කෙසේ වෙතත් එම සංඥා වසා දමමින් නැගුණේ මානව ශාස්ත්‍ර විෂයයන් හමුවේ අපේ පසු-නිදහස් පාලකස්ථානය කටයුතු කොට තිබුණු ඛේදනීය ප්‍රවේශයන් ගණනාවක් පිළිබඳ සඳහන් ය. 71 තරුණ නැගිටීමෙන් පසු පේරාදෙණියේ හොඳින් ස්ථාපිතව තිබුණු බොහෝ ශාස්ත්‍ර පීඨ දෙපාර්තමේන්තු (පාලි, සංස්කෘත, ලලිත කලා ආදී), යුනිවසිටි කොලීජී ලෙස සියලු විශ්වවිද්‍යාල එක් තනි දේශීය විශ්වවිද්‍යාලයක් (ලංකා විශ්වවිද්‍යාලය) යටතට ගෙන කැලණිය වැනි වෙනත් කලාප වෙත තල්ලු කර හැරීම, සිංහල භාෂාව හැදෑරීම ගර්හාත්මකව දකිමින් ස්ව-භාෂාව හැදෑරීම දුර්මුඛ කිරීම, ඒ හේතුවෙන් මානව ශාස්ත්‍ර විෂයයන් හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල වෙත පැමිණි ශිෂ්‍ය ප්‍රජාව බිඳ වැටීම මෙන්ම ඒ හමුවේ ඉතිරිව උන් විද්වතුන්ට මුහුණ දීමට සිදු වුණු අභියෝග ඇතුළු කරුණු ගණනාවක් එහි දී ඡායා මාත්‍රව නැගිණ. උළෙල අවසානයේ සිය වදන් කිහිපයක් සභාව හමුවේ තැබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්ෂ්මන් නුගපිටිය 80 දශකයේ මැද භාගය වන විට පේරාදෙණියේ සිංහල විෂයය හදාරණ විද්‍යාර්ථීන් දෙස එම පීඨයේම සමාජ විද්‍යා විෂයයන් හැදෑරූ සමකාලීනයින් දැරූ ආකල්පය ගෙන හැර දැක්වූයේ තම සටහන් ඇතුලත් ෆයිල් කවරයක නන්නාඳුනන යමෙකු ලියා තිබුණු කවියක් උපුටමිනි.

“බුත්සරණ ගලවා - අමාවතුරෙන් සෝදා

සිඛ වළ‍ඳේ දමා - තම්බා බොනු!”

ශාලාව වෙත සිනහවක් කැඳවූ ඉහත වදන් පෙළ වර්තමාන පසුගාමී සමාජය බිහි කිරීමට පදනම තැනූ අතීත වත පිළිබඳ මාහැඟි උදාහරණ වදන් පෙළක් ලෙස ද යෝජනා කිරීමෙහි වරදක් නැත. ලාංකික ගද්‍ය-පද්‍ය ඉතිහාසයේ මහරු නිර්මාණ ත්‍රිත්වයක් ‘අල, දියර සහ මැටි මුට්ටි’ ලා සැලකීම (හා එවැනි ආස්ථානයක් වෙත සමාජය විතැන් කරවීම) බිහිසුණු ය. යම් සංස්කෘතියක උදාරම් බව පිළිබඳ මාහැඟි සාක්ෂි එම සංස්කෘතික අතීතය හා බැඳුණු සාහිත්‍යය තුළින් නැගේ නම් එම සංස්කෘතියෙහි වත්මන් ප්‍රවාහය හා සමග ගණුදෙනු කරන්නා කෙතරම් ආඩම්බර විය යුතු ද? නමුත්, සිදුව ඇත්තේ එහි විලෝමයයි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නුගපිටියගේ අනුමානය නිවැරදි නම්, එය ලියා තබන්නට ඇත්තේ එම පීඨයේම සමාජ විද්‍යා කලාපයෙන් නම්, එය මෙරට මෑත ඉතිහාසය පිළිබඳ තිගස්සවන සුළු යථාවක් අපට සංඥා කරයි.

 පුංචි බණ්ඩා මීගස්කුඹුර මහැදුරුතුමන් ඇතුළු ඉතා සුළු විද්වතුන් පිරිසක් උඩුගම් බලා පිය නගා ඇත්තේ මේ බිහිසුණු බවට එරෙහිව ය. එය තව දුරටත් තීව්‍ර කරමින් මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසයන් සිය දෙසුමේ දී සිහි කැඳවූයේ ‘සංස්කෘත ශ්ලෝක, පාලි ගාථා සහ සිංහල කවි’ කියවීමෙන් ලැබෙන ඵලය කිමක්දැයි එවක උන් නම් දැරූ පීඨාධිපතිවරයෙකු විමසූ බව ය. භාෂාව හැදෑරීම යනු ශ්ලෝක, ගාථා සහ කවි විමසීම පමණක් නොවන බව ප්‍රතිවිරුද්ධ මහා ප්‍රවාහයට වටහා දීමට ‘පුංචි’ලාට සිය දිවියම කැප කරන්නට වූ බව ය.

විද්වත් මිතුරු කැළ අතර ‘පුංචි’ යනුවෙන් නම් ලැබූ මහාචාර්ය පුංචි බණ්ඩා මීගස්කුඹුර විසල් තුරකි. නමුත් ඔහුට අතු පතර විහිදුවන්නට සිදුව ඇති බව පෙනෙන්නේ හිරු එළිය කිසිදු අයුරකින් නොදකින පසුබිමක ය. මානව ශාස්ත්‍ර හැදෑරීම යනු අත්‍යාවශ්‍යයික ශාස්ත්‍ර වැඩ බිමක් බව නොවටහා ගන්නා රටක අනාගතය ශෝචනීය වන අයුරු දැක දැක ය.

‘සිංහල බස හැදෑරූ පසු රැකියා නොලැබෙන බව’ චක්‍ර ලේඛ මගින්ම දැනුම් දුන් යුගයක අප කටයුතු කළ බව මහාචාර්ය ධර්මදාස කීවේ ය. ‘දේශපාලන විද්‍යාව’ හදාරා ලැබෙන රැකියා අවස්ථා කවරේදැයි විමසන පාලකස්ථානයක් අපට සංඥා කරන්නේ මානව ශාස්ත්‍ර මතු නොව සමාජ විද්‍යා විෂයයන් වුව නුදුරු අනාගතය තුළ ආන්තික කලාප වෙත යොමු වීමේ අවධානම ය. එයට එරෙහිව ‘පුංචි’ වැනි පුංචි මිනිසුන්ගේ යෝධ සවිය එක් වීම අවැසි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -