Tuesday, May 14, 2019

මිනිස් හදවත් දවා අළු කරන්නට පෙර...


(2019 මැයි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“මේ ෆිල්ම් එක බලන්න කලින් මට මුස්ලිම් ලෝකය ගැන, මිනිස්සු ගැන තිබ්බෙ පිළිකුලක්. ඒත් දැන් මට හිතෙනව ඒක වැරදියි කියල. සාරල, අලීල කියන්නෙ අපිම තමයි... මමයි මගෙ අයියයි වගේ...“

ඉහත කුඩා සටහන මා වෙත එවූ තරුණිය මා අදටත් හඳුනන්නේ නැත. 2005 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨ පළමු වසර විද්‍යාර්ථීන් වෙනුවෙන් පැවැත්වූ පදනම් පාඨමාලාවකදී මා විසින් තිරගත කරවන්නට යෙදුණු ඉරාන චිත්‍රපටයක් වූ මජිඩ් මජිඩිගේ ‘Children of Heaven’ (දෙව්ලොව දරුවෝ) චිත්‍රපට දැක්මෙන් අනතුරුව හත්සියයක ප්‍රේක්ෂාගාරය තුළ සිට ඇය මට මෙය එවා තිබිණ. ඒ එවැනි අදහස් සහිත තවත් සටහන් තීරු සිය ගණනක් අතර තබමිනි. චිත්‍රපටය කෙළවර මා ඉල්ලා සිටි ‘ඔබට දැණුනු හැඟීමක් හෝ අදහසක් ලියා එවැන්නයි‘ කළ ඉල්ලීමට පිළිතුරක් වශයෙනි.

එසමය තුළ මෙරට සිනමාලෝලීන් අතරත් ජනප්‍රිය වුණු ‘දෙව්ලොව දරුවෝ‘හි හමුවන්නේ, අලුත්වැඩියා කරගැනීමට ගොස් රැගෙන එන අතරතුර, තමන් අතින් නැතිවූ සිය සය හැවිරිදි නැගණිය සාරාගේ පාවහන් යුවළ ඇය වෙත සොයාදෙන්නට හෝ නව පාවහන් යුවළක් ඇය වෙත ලබා දෙන්නටත්, ඒ වන තෙක් ඇගේ පාසැල් ගමන, දුප්පත් දෙමාපියන්ට කරුණු සඟවමින්ම, නොකඩවා සිදුකරගෙන යන්නටත් වෙර දරන, නව හැවිරිදි අලීගේත් (නැගණිය සාරාගේත්) කතා පුවතයි. චිත්‍රපටය ඇරඹී සුළු මොහොතකින් ප්‍රේක්ෂාගාරයේ සිත් පැහැරගන්නා මේ සුරතල් දරු දෙදෙන, ආරම්භයෙහි ලියූ සටහනෙහි පරිදි යළි හැරී සිතන්නට පෙළඹෙන ප්‍රේක්ෂකයෙකු වෙත, තමන්ගේ මානව ලෝකය දෙස හැරී බලන්නට ආරාධනා කරති.
 
අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයකින් පසු, දැන් ඉතා බරපතල ලෙස සැකය අපගේ සිත් තුළ වැඩී නැගෙමින් පවතින මොහොතෙහි යළිත් අලී සහ සාරලාගේ ලෝකය දෙස දයාවේ නෙත් විවර කරන්නට මම ඔබට ආරාධනා කරමි. ‘දෙව්ලොව දරුවෝ‘ ඒ අදහස අප වෙත ස්ථාපිත කළ ද එය එම ලෝකය මුණගස්වන එකම සිනමා කෘතිය නොවේ. එම සමාජය තුළ හමුවන ලක්ෂ ගණනක් වූ ‘අලීලා සහ සාරලාගේ‘ තරුණ සහ වැඩිහිටි අවදීන් මුහුණ දෙන අසීමිත දුෂ්කරතා සමග ඔවුන්ගේ මානව සබඳතා අපට හමුවන තවත් බොහෝ චිත්‍රපට අන්තර්ජාලයේ සුළු ‘රස්තියාදුවකින්‘ සොයාගැනීම අසීරු නැත.



මජිඩ් මජිඩිම තනන ‘බරාන්‘ (වැස්ස) එවැනි එක් සිනමා පටයකි. එහි මුණගැසෙන්නේ 17 හැවිරිදි ගැටවරයෙකු වන ලතීෆ් සහ ඔහු ගොඩනැගිල්ලක් තැනෙන බිමක ඔහු සිදුකරන එහි කම්කරුවන්ට තේ පැන් සාදා දීමේ පහසු රැකියාව හදිසියේම උදුරාගන්නා 14 හැවිරිදි ඇෆ්ගන් සරණාගාතයකු වන රහ්මාත් අතර ගොඩනැගෙන ගැටුමයි. සිය පහසු රැකියාව උදුරාගැනීම නිසා රහ්මාත් සමග උරණ වන ලතීෆ් මුලින් ‘ඔහු‘ සමග ගැටුමකට ගිය ද අහම්බෙන් යෙදුණු මොහොතක රහ්මාත් යනු පිරිමි වෙසින් රැකියාවට පැමිණ සිටින යෞවනියක බව දැනගත් පසු ඇයට පෙම් බඳින්නට පටන් ගනියි. ඉරාන නීති රීති, සරණාගතයින්ගෙන් ශ්‍රමය සූරාකෑම, ඔවුන්ගේ අති දුෂ්කර ජීවිතය මෙම පුවත සුන්දරව දිවෙන බොලිවුඩාකාර පෙම් පුවතක් අප වෙත තබන්නේ නැත. එහෙත් එය අප සරලමතිකව හා ඒකමානීයව දකින්නට තනන, ඉස්ලාම් ලෝකය කොතරම් විෂමාකාර බිමක්දැයි අපට පෙන්වා දෙයි. රහ්මාත්ගේත් පවුලේ සැමගේත් මෙන්ම ලක්ෂ ගණනක් වූ ඇෆ්ගන් සරණාගතයින්ගේත් ජීවිත අනතුරේ හෙළා තිබෙන්නේ ඉස්ලාම් මූලධර්මවාදයයි. එය මුස්ලිමුන් බේරා සෙසු ආගමික හා වාර්ගික ජීවිත පමණක් අනතුරට කැඳවන ක්‍රියාවලියක් නොවේ. මනුෂ්‍යත්වය මරා දමා ම්ලේච්ඡත්වය හා ත්‍රස්තය තිර කරන ක්‍රියාදාමයකි.

“දැන් ඔයා ලියන කොලම් එකේ ලියන්න මේ තත්වය ගැන... සිරියාවෙයි ඉරාකෙයි ISIS එක පැරැද්දුවෙත් මුස්ලිම් අයම තමයි. වෙනින් කවුරුවත් නෙවෙයි...!“

මේ ලිවීම ගැන දන්නා රාජ්‍ය නිලධාරියෙකු මට කතා කළ කීවේ එයයි. සැබවින්ම, ඉස්ලාම් මූලධර්මවාදය සමග සෘජුව අභිමුඛ වන ප්‍රධාන පිරිස ඉස්ලාම් ආගමිකයින්ම මිස අන් කවරකුදු නොවේ. සිරියාව හා ඉරාකය තුළ, ඇෆ්ගනිස්ථානය තුළ, පකිස්ථානය තුළ යනාදී වශයෙන් නොයෙක් නාමයන්ගෙන් පෙරට එන මූලධාර්මික ත්‍රස්ත කණ්ඩායම් සමග, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එරෙහිව සිටගන්නේ ඔවුන්ම ය. ඔසාමාට එරෙහිව ‘ඔසාමා‘ සිනමා තිරය තුළ සිටගත් පරිදි ය!

1996න් පසු වසර 07කින් ඇෆ්ගනිස්ථානය තුළ තැනෙන ‘ඔසාමා‘ චිත්‍රපටය තලේබාන් මූලධර්මවාදයට එරෙහිව එහි නායකයාගේ නාමයම රූපකයක් ලෙස සිය නම තුළම තබමින් නිමැවූ නිර්භීත කෘතියකි. තලේබාන් රෙජීමය තුළ ස්ත්‍රියට එරෙහිව නැගුණු දහසක් මර්ධන නීතිවලට එරෙහිව කුඩා දැරියක් පිරිමි දරුවෙකු ලෙස වෙස්වලා ගනියි. ඇය තබාගන්නා නම ‘ඔසාමා‘ ය. ඇෆ්ගන් ඉතිහාසයේ විවිධ යුද්ධ නිසා අහිමි වුණු සිය පවුලේ පිරිමින් නිසා පවුලෙහි ආර්ථිකය ගොඩනැගීම ‘ඔසාමා‘ වෙත පැවරී ඇත. මද්‍රසා පාසැලක, පිරිමි දරුවන් සමග උගනිමින් සිටියදී වෙස් වළාගත් ‘ඔසාමා‘ හදිසියේම වැඩිවිය පත්වීම හේතුවෙන් ඇය දැරියක බව සෙසු පිරිස දැනගනියි. මුලින් මරා දැමීමට තීරණය වුවත් පසුව ඇගේ ජීවිත ඉරණම තීරණය වන්නේ මහල්ලෙකුගේ බිරින්දෑවරුන් අතර නවතම සාමාජිකාව බවට පත්වීමට ඇයට සිදුවීමෙනි.


බින් ලාඩන්ගේ මුල් නාමය චිත්‍රපට නාමය ලෙස තබමින් සිද්දික් බර්මාක් නමැති ඇෆ්ගනිස්ථාන අධ්‍යක්ෂකවරයා තැබූ, භයානක මෙන්ම නිර්භීත පියවර අපට මුණගස්වන්නේ මුස්ලිම් ජාතිකයෙකු ලෙස සිටිමින්ම තලේබාන් පාලනයට එරෙහිව ඔහු නගන විරෝධයයි. ඒ අතර, චිත්‍රපටයේ පුවත ඔස්සේ යමින් එක් අන්තයක අපට එක් ආඛ්‍යානයක් මුණගැසෙද්දී චිත්‍රපටයේ සැබෑ නළු නිළියන්ගේ ජීවිත ඔස්සේ යමින් විමසද්දී අපට සැබෑ මුස්ලිම් ජීවිතවල තවත් ආඛ්‍යාන බොහෝ ගණනක් මුණගැසෙයි.

‘ඔසාමා‘ගේ චරිතයට පණ පොවන කුඩා නිළිය වන මරීනා ගෝල්බාරි බර්මාක්ට මුණගැසෙන්නේ කාබුල් නගරයේ සිඟමන් යදිමින් ජීවිතය ගැටගසාගන්නා ප්‍රජාව අතරිනි. යන්තම් 14 වැනි වියට එළැඹෙද්දීම ඇය ‘ඔසාමා‘ චිත්‍රපටය හේතුවෙන් ලෝක අවධානයට පත් වෙයි. ඇයගේ රංගන කුසලතාවෙහි විශිෂ්ඨතාව පිළිබඳ ලෝක සිනමා විචාරකයෝ බොහෝ ඇගයුම් සටහන් ලියා තබති. එහෙත්, කොරියානු සිනමා උළෙලකට හිස වසා නොගෙන සහභාගී වීම හේතුවෙන් අසීමිත මරණ තර්ජන ලැබූ මරීනා අද ජීවත් වන්නේ සරණාගත තරුණියක ලෙස ප්‍රංශයේ ය.

අප සාකච්ඡා කළ ඉරාන සිනමාකරු මජිඩි මෙන්ම ඇෆ්ගන් සිනමාකරු බර්මාක් ද, ඔවුන්ගේ කෘති තුළ හමුවුණු අලී, සාරා, ලතීෆ්, ජමාත් සහ ඔසාමා ද, සැබැවින්ම චරිත නිරූපණයට එක් වූ, මරණ තර්ජන ලද මරීනා ද ආගමික භාවිතය තුළ මුස්ලිමුන් ය. එහෙත් ඔවුහු මූලධාර්මික ආගම්වාදය තිරය තුළත්, ඉන් පිටතත් ප්‍රතික්ෂේප කළ ප්‍රජාව නියෝජනය කරති. එය ත්‍රස්තය මඩින්නට ඇති එකම ස්ථිර මග යුද්ධය බව පිළිගැනීම ද නොවේ. එවැනි විශ්වාසයකින් අපට හමුවනු ඇත්තේ කුමක් ද?

තලේබාන් සංවිධානයට එරෙහිව සිදු කළ යුද්ධය හමුවේ ඇමරිකානු හමුදා සහ ඇෆ්ගනිස්ථාන රාජ්‍ය හමුදා වෙතින් ඝාතනය වූ සිවිල් පුරවැසියන් සංඛ්‍යාව තලේබාන් සංවිධානය විසින් ඝාතනය කෙරුණු පිරිසට වඩා ඉහළ බව ‘ද නිව්යෝක් ටයිම්ස්‘ පුවත්පතේ වෙබ් අඩවිය වෙත ඩේවිඩ් සුකචිනෝ ලියන්නේ මෙරට ප්‍රහාරයෙන් දින 03කට පසු අප්‍රේල් 24 වැනිදා කාබුල් නුවර සිට ය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරන ලද සංගණනයක් උපුටමිනි. එය මගේ නෙත ගැටුණේ ෆේස්බුක් අඩවියේ ඇති Muslims Against ISIS (අයිඑස්අයිස් සංවිධානයට එරෙහි මුස්ලිම්වරුන්) නමැති පිටුව තුළ උපුටා දක්වා තිබීම හේතුවෙනි.
ලාංකික ප්‍රජාව අභියස ඇති නව ත්‍රස්තවාදය අභ්‍යන්තර යුද්ධයක ස්වරූපයකට යොමුවන ස්වරූපයක් තවමත් නිරීක්ෂණය නොවේ. එය සතුටට කරුණකි. යුධමය තත්වයක හෝ බිහිසුණු ත්‍රස්තවාදී පසුබිමක ගොඩනැංවීම පහසු කරවමින් එම සංවිධාන පෝෂණය කරන්නේ වෛරය නංවමින් අනෙකා දෙස සැකයෙන් බැලීමෙන් මිස දයාර්ද්‍ර නෙතකින් ඔවුන් විමසීමෙන් නොවේ. 

‘බරාන්‘ චිත්‍රපටයේ ඇෆ්ගන් සරණාගත තරුණියට පෙම් බඳිමින් ඇය සොයා යන ලතීෆ්ට එම සරණාගත කඳවුරු අඩවියේ දී සපත්තු මසන්නෙකු මුණගැසෙයි. ලතීෆ් හමුවේ ඔහු පවසන පහත වදන් පෙළ අප සියල්ලෝම සිත් දරාගත යුතු බරකින් යුක්ත ය.

බෙදී නැගෙන උණුසුම් ගින්නෙහි ගිනි දළු මිනිස් හදවත් ද දවා අළු කරයි

-ප්‍රියන්ත ෆොන්සේකා -

Wednesday, May 8, 2019

අප සොයාගත යුත්තේ කුමක් ද?


(2019 මැයි 05 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)
අප්‍රේල් 21 වැනිදාව පසුවී තවමත් ගෙවී ඇත්තේ දින කිහිපයකි. ලොවම සසල කළ බිහිසුණු ඛේදවාචකයක් අපගේ ඇස් ඉදිරිපිටම සිදුවූ පසු, ඉන් අනතුරුව ඇදහිය නොහැකි තරමින් ආයුධ හා සන්නද්ධ අරගලවලට අදාල උපකරණ හා ඇඳුම් දිවයිනේ තැනින් තැනින් මතුවන්නට පටන් ගත් පසු බහුතර පුරවැසි සමාජය තව දුරටත් දිවි ගෙවන්නේ වික්ෂිප්ත වූ ස්වරූපයකිනි.
“දැන් ඉතින් මොකද කරන්නෙ? අපි කාවද විශ්වාස කරන්නෙ?“
නිරන්තරව නැගෙන මෙම පැනය යළි යළිත්, අපැහැදිලි පිළිතුරුවලින් හෝ පිළිතුරු රහිත බවින් හෝ අනතුරුව යළි නැගෙනු ඇසෙයි.
සැබවින්ම අප මනුෂ්‍යත්වය පිළිබඳ විශ්වාසය අත් හළ යුතු ද? ආගමික අන්තවාදයක තීව්‍ර කෙළවරක් දක්වා ගමන් කළ, අපැහැදිලි නමුත් කුඩා කණ්ඩායමක් හේතුවෙන් අපගේ මානව ධර්මතා අත් හළ යුතු ද? මගේ මනස තුළ නැගි මෙම පැනයට පැහැදිලි පිළිතුරක් රැගෙන පැමිණියේ චාලි චැප්ලින් ය. ගෙවුණු සියවසේ හමුවුණු භයානකම මානව නාශකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසිවාදය ලක්ෂ ගණනින් මිනිස් ජීවිත බිලිගනිද්දීම ඔහු මෙම ජන ඝාතකයාගේ චරිතය සිනමා කෘතියකට ගෙන ආවේ ය. චිත්‍රපටය  ද ග්‍රේට් ඩික්ටේටර්‘ (මහා ආඥාදායකයා)  නම් වූ අතර එය තිරයට පැමිණෙන්නේ දෙවන ලෝක යුද්ධය ඇරඹී වසරකට පසු, එනම් 1940 වර්ෂයේ දී ය. හිට්ලර්ගේ මරණ වරෙන්තුව ලද ලැයිස්තුවේ ඉහළින්ම සිය නාමය සඳහන් කරගන්නට චැප්ලින්ට මින් ඉඩ ලැබුණේ එය සෘජුවම හිට්ලර් සහ ඔහුගේ කුරිරු පාලනය විවේචනය කරමින් සහ ඔහුව උපහාසයට ලක් කරමින් නිපදවා තිබුණු හෙයිනි.

චිත්‍ර‍පටයේ සම-ප්‍ර‍ධාන චරිත වන හින්කල් නමැති ආඥාදායකයා සහ ඔහුගේ රූපයට පූර්ණ ලෙස සමාන යුදෙව් කරණවෑමියා යන චරිතද්වයම නිරූපණය කරන්නේ චාලි චැප්ලින් විසිනි. චිත්‍ර‍පටය කෙළවර වන්නේ, අහඹු සිදුවීම් පෙළකින් පසු දහස් සංඛ්‍යාත හමුදාව ඇමතීමේ අවස්ථාව හින්කල් ලෙස වැරදියට හඳුනාගෙන සිටින යුදෙව් කරණවෑමියා වෙත ලැබීමෙනි. ඔහු ආඥාදායකයා ලෙස පෙනී සිටිමින් සිදු කරන කථාව සිනමා ඉතිහාසයේ සුවිශේෂ තැනක තබා සඳහන් කෙරෙන්නකි. මනුෂ්‍යත්වය, මානව දයාව, යුධ විරෝධය, නාසි විරෝධය ආදී සියල්ල කැටි කළ එවැනි කතාවක් සිනමා ඉතිහාසය තුළින් සොයාගැනීම උගහට ය.

අන්තවාදය හා වර්ගවාදය ඇතුළු මානව විරෝධී ප්‍රවේශ හමුවේ අප උතුම් මිනිසත් බව පසෙක තැබිය නොයුතු බව චැප්ලින් සිය ප්‍රධාන චරිතය ඔස්සේ පැමිණ පවසයි. අද, මෙම අනපේක්ෂිත ඛේදවාචකය කෙළවර අපැහැදිලි ඉදිරියක් පිළිබඳ චකිතයකින් පසුවන ඔබට මවිසින් සිදු කළ එම කතාවෙහි සිංහල පරිවර්තනය කියවන්නට ආරාධනා කරමි:

  

මට සමාවෙන්න
, මට බැහැ ආඥාදායකයෙක් වෙන්න. ඒක මගේ වැඩේ නෙවෙයි. මට කවුරුවත් පාලනය කරන්නවත් පරද්දන්නවත් උවමනාවක් නෑ. මට ඕනෙ හැමෝටම උදව් කරන්න - පුළුවන් කමක් තියෙනව නම්, යුදෙව්වන්ට, යුදෙව්වො නොවන උන්ට - කල්ලන්ට වගේම සුද්දන්ට. අපි හැමෝම අනිත් කෙනාට උදව් කරන්න ඕනෙ. මිනිස්සු කියන්නෙ අන්න එහෙම අයට. අපි ජීවත් වෙන්න ඕනෙ එකිනෙකාගෙ සතුට වෙනුවෙන්. නැතුව එකිනෙකාගෙ වේදනාව වෙනුවෙන් නෙවෙයි.  අපි එකිනෙකාට වෛර කරන්නවත්, ඉරිසියා කරන්නවත් අවශ්‍ය නැහැ. මේ ලෝකෙ හැමෝටම ඉඩ තියෙනව. යහපත් ලෝකය පොහොසත්, ඒ වගේම හැමෝටම දෙන්න දෙයක් තියෙන තැනක්. ජීවිතයේ මාර්ගය නිදහස් සහ ලස්සන එකක් වෙන්න ඕනෙ, ඒත් අපි ඒ මාර්ගය වරද්දගෙන. 

කෑදරකම මිනිස් ආත්මය විසෙන් පුරවලා, ලෝකය වෛරයෙන් අහුරල දාල විතරක් නෙවෙයි අවාසනාව එක්ක ලේ වැගිරීම් එක්ක අපේ ඇස් කදුළුවලිනුත් පුරවලා.  අපි වේගෙන් සංවර්ධනය වෙනව, ඒත්, ඒ එක්කම අපි අපේ ජීවිත වහල අගුලු දාගන්නව. බොහොම දේ හදල දෙන යන්ත්‍ර‍ සූත්‍ර‍ අපේ ජීවිතවල අඩුවක් ඉතිරි කරල. අපේ දැනුම අපිව නරුම කරල. අපි ගොඩක් හිතනව ඒත් අපිට දැනෙන්නෙ හරිම පොඩ්ඩයි. යන්ත්‍ර‍ සූත්‍ර‍ මහා ගොඩකට වඩා අපිට ඕනෙ මනුස්සකම! බුද්ධිමත්කමට වඩා අපිට ඕනෙ කරුණාවන්තකම එක්ක ගුණයහපත්කම! මේ දේවල් නැති වුණොත් ජීවිතය එහෙම පිටින්ම ප්‍ර‍චණ්ඩකමින් පිරිල ගිහින් නැතිම වෙලා යාවි...

අහස් යාත්‍රාවයි ගුවන් විදුලිය යන්තරෙයි අපි එකිනෙකාව ලං කරල. ඒ අලුත් සොයාගැනීම්වල හැඩයම කෑගහල ඉල්ලන්නෙ මිනිස්සු ළඟ තියෙන හොඳකම - කෑගහල ඉල්ලන්නෙ ලෝකය පුරාම විසිරෙන සහෝදරකම - හැමෝගෙම එකමුතුකම!! මේ දැනුත්, ලෝකෙ පුරා ඉන්න මිලියන ගාණක් මිනිස්සු අතරට මගේ හඬ පැතිරෙනව - මිලියන් ගාණක් බලාපොරොත්තු බිඳ වැටුණු පිරිමි, ගැහැණු ඒත් එක්කම පුංචි දරුවො අතරට. නිරපරාදෙ මිනිස්සු හිරගත කරන සහ වධ බන්ධන දෙන ක්‍ර‍මයක ගොදුරු බවට පත් වුණු මිනිස්සු අතරට!    

මගේ හඬ ඇහෙන හැමෝටම මම කියන්නෙ - බලාපොරොත්තු නැති කරගන්න එපා. අපි ළඟ දැන් තියෙන කණස්සල්ලට මුල කාලකන්නි කෑදරකම. මිනිස්සුන්ගෙ තිත්ත ගතියට මුල මානව ප්‍ර‍ගතියට තියෙන බය. මිනිස්සු අතරෙ තියෙන වෛරය කෙළවර වේවි. ආඥාදායකයො මිය ඇදේවි. මිනිස්සුන්ගෙන් උන් ලබාගත්ත බලය ආපිට මිනිස්සුන්ටම ලැබේවි.  මිනිසුන් මැරී මැරී යන තාක් කල්  විමුක්තිය කිසි විටෙකත් උදාවෙන්නෙ නෑ.

සෙබළුනි! උඹලාව විනාශ කරන - උඹලාව වහලුන් කරන - උඹලාගේ ජීවිත පාලනය කරන - උඹලාට කළ යුතු දේට, සිතිය යුතු දේට, වගේම උඹලාගේ හැඟීම්වලට අණ කරන -  තක්කඩියන්ට විකිණෙන්න එපා! උඹලාව නටවන -  උඹලාව නැති කර දමන - උඹලාව හරකුන් හැටියට සළකන - උඹලාව මූනිස්සම් හැටියට භාවිතා කරන උන්! උඹලාගේ ජීවිත මේ අස්වාභාවික මිනිසුන්ට විකුණන්න එපා. යාන්ත්‍රික හදවත් සහ යාන්ත්‍රික හිත් ඇති යාන්ත්‍රික මිනිස්සු! උඹලා යන්තර නෙවෙයි! උඹලා හරක් නෙවෙයි! උඹලා මිනිස්සු!! උඹලාගේ හදවත්වල ආදරයයි මනුස්සකමයි තියෙනවා! උඹලා වෛර කරන්නෙ නෑ! අනාදරයයි වෛරයයි විතරක් කියන්නෙ, ආදරය නොකිරීම නැත්තම් අස්වාභාවිකකම!! සෙබළුනි! වහල්කම වෙනුවෙන් සටන් වදින්න එපා! විමුක්තිය වෙනුවෙන් සටන් වැදියල්ලා!!

ශාන්ත ලූක් දාහත්වන පරිච්ඡේදයේ ලියවිල තියෙනව දෙවියන්ගේ ස්වර්ග රාජ්‍යය ඇත්තේ මිනිසා තුළම යකියල. ඒ එක මිනිසෙක් තුළ නෙවෙයි - කණ්ඩායමක් තුළ නෙවෙයි - සියලු දෙනා තුළම!! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ, යන්ත්‍ර‍ සූත්‍ර‍ හැදීමේ බලය. සතුට ඇති කිරීමේ බලය! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ මේ ජීවිතය නිදහස් සහ ලස්සන කරන්න. මේ ජීවිතය පුදුමාකාර වික්‍ර‍මයක් බවට පත් කරන්න.

ඒ නිසා - ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන් - අපි මේ බලය පාවිච්චි කරමු - අපි හැමෝම එක්සත් වෙමු. අපි එකතුවෙලා සටන් කරමු අලුත් ලෝකයක් හදන්න -  මිනිස්සුන්ට වැඩ කරන්න ඉඩ දෙන ශිෂ්ඨසම්පන්න ලෝකයක් - තාරුණ්‍යයට අනාගතයක් හදන වගේම මහළු වයසට ආරක්ෂාවක් හදන! මේ පොරාන්දුවෙන්ම තමයි මේ තක්කඩි බලයට එන්නෙ. නමුත් උන් කියන්නෙ බොරු! උන් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නෙ නැහැ. කවදාවත් කරන්නෙ නැහැ!

ආඥාදායකයො, රජවරු, උන්ව නිදහස් කරගෙන මිනිස්සුන්ව වහල්ලු කරනව! ඒ නිසා අපි දැන් මේ පොරොන්දුව දිනාගන්න සටන් කරමු! අපි නිදහස් ලෝකයක් වෙනුවෙන් සටන් කරමු - හැම ජාතියකම බාධක අයින් කරල දාන - වෛරයයි, පටුකමයි එක්ක කෑදරකම පන්නලා දාන ලෝකයක්!  හේතුවක් ඇති ලෝකයක් හදන්න, විද්‍යාවයි ප්‍ර‍ගමනයයි හැම මනුස්සයගේම සතුට වෙනුවෙන් යෙදවෙන ලෝකයක් හදන්න අපි සටන් කරමු. සෙබළුනි! ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන්, හැමෝම එක්සත් වෙමු!!“

-ප්‍රියන්ත ෆොන්සේකා -


Tuesday, April 30, 2019

මනුෂ්‍යත්වය වෙනුවෙනි!


(2019 අප්‍රේල් 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

මෙම කුඩා තීරුව (නමක් නැති කොලම) සාහිත්‍යය හා කලාව වෙනුවෙනි. ‘අනිද්දා‘ හි කලා හා සාහිත්‍ය පිටුවල සංස්කාරකවරයා මාහට ආරාධනා කළේ එවැන්නක් ලිවීමට ය. එහෙත් අද මේ ලියන මොහොත වන විට ලිපිය සඳහා නිශ්චිත කලා සාහිත කෙතක් වෙත පය තබා ගත නොහී මම අතරමංව සිටිමි. ජීවිතවල නිශ්චිත අර්ථය වර නොනැගිය හැකි තැනක, රටක, මා ජීවිතය නොසොයමින් කලාව හා සාහිත්‍යය දෙස පමණක් කෙසේ බලම් ද?


කලාව හා සාහිත්‍යය යන සෞන්දර්යය හා සබැඳෙන උත්තර මිනිස් ක්‍රියාකාරීත්වයෙහි පරම අවැසියාව අපරිමිත දයාවෙන් සපිරි මානුෂවාදී සමාජයක් නිර්මාණය කිරීමයි. සියලු දොස් දුරැර ලූ, උපරිම ලෙස යහපත් සමාජයක් බිහිවීම බොහෝ විට සිදු නොවිය හැක්කක් වුවත් අවම වශයෙන් අනෙකා වෙත දක්වන ගරුත්වයෙන්, සදාචාර සම්පන්න බවින් හා මානුෂවාදී බවින් සපිරි සංස්කෘතික මිනිසුන් සැළකිය යුතු ප්‍රමාණයකින් හෝ අප වටා මුණගැසිය හැකි නම් ඒ සමාජය පිළිබඳ යහපත් පෙරනිමිති දකිමින් පෙරමග බලා සිටීම අසීරු කටයුත්තක් නොවේ.

පාස්කු ඉරිදාවේ ලොව සසල කළ මිනිස් බෝම්බ ප්‍රහාර වැල හා ඉන් අපට අහිමි වූ අවිහිංසක, නිරායුධ සිවිල් පුරවැසියන් පිළිබඳ මම යළිත් කිසිවක් නොලියමි. දශකයකට පෙර වියැකී ගිය ඉතිහාසය ක්ෂණයකින් අප ඉදිරියේ දෘශ්‍යමාන කරමින් බිහිව ඇති බිහිසුණු නිහැඬියාව එම ඛේදවාචකයේ තරම මොනවට විදහා පාමින් මේ මා ලියන මොහොතේත් අප වටා විහිද යමින් පවතී. ජීවිත අනතුරක සියුම් හෝ සලකුණක් නොදැක, සාමාන්‍ය පරිදි ඉරු දිනය ඇරඹූ තුන් සියයක් ඉක්මවූ අපගේම මව්වරුන්, පියවරුන්, සහෝදර සහෝදරයින් හා දරු දැරියන් පිරිසක් මේ වන විටත් අප හැර ගොසිනි. තවත් සිය ගණනක් රෝහල්වල ය. ඉඳින් මම අප සොයාගත යුතුම වන, අරගල කළ යුතුම වන මනුෂ්‍යත්වය වෙනුවෙන් ලියමි!

මිනිසත්කම වෙනුවෙන් ය යන්න සියල්ලටම පෙර සිය ජීවන දැක්ම බවට හරවාගන්නා සමාජයක් අප නිර්මාණය කරගන්නේ කෙසේ ද? අප මේ මොහොතේ යළි යළිත් නැගිය යුතු ප්‍රමුඛ පැනය එය බව මම යෝජනා කරමි. සියළු නොපනත්කම්වලට, භීෂණත්වයන්ට, ත්‍රස්තවාදයන්ට තියුණු, දිගු පිළිතුර පැන නගින්නේ එම පැනය සඳහා සොයාගන්නා පිළිතුර තුළින් වනු ඇත. ඒ කවරාකාර ලෙස ද?

ගෙවුණු ඉරු දින සිදුවීම් පෙළට මොහොතකට පෙර පටිගත වී ඇති සීසීටීවී දර්ශනවලින් එකක් තෝරාගෙන, ඒ දර්ශනය ඔස්සේ (ඔව්, එම දර්ශනවලට යොදා ඇති ත්‍රාසජනක චිත්‍රපට ස්වරූපයේ සංගීතය පසෙක තබා) අතීතයට යන්නට මම ඔබට යෝජනා කරමි. එහි එක් දර්ශනයක, බෝම්බ බෑගය කරේ එල්ලාගත් තරුණයකු, ඉතා සැහැල්ලුවෙන්, කිසිත් නොදන්නා මිනිසුන් අතරින් සිය ඉලක්කය වෙත ඇවිද යනු පෙනෙයි. මේ තරුණයාගේ අතීතයට, එම දර්ශන පටය පසුපසට ධාවනය කරමින් හෝ (වෙනත් විශ්මකර්ම ක්‍රමයකින් හෝ) ගොස් බලන්නට හැකිනම් අපට මුණගැසෙනු ඇත්තේ කවරාකාර ජීවිතයක් ද? එහි මුණගැසෙනු ඇති උස්මිටි තැන් සියල්ල එක පැහැර කියන්නට අප කිසිවෙකුට හැකි නොවෙතත් එක් නිශ්චිත කරුණු කිහිපයක් නියතවම හසුවනු ඇති බැව් මට නියත ලෙස යෝජනා කළ හැකි ය. වඩා යහපත්, සමබරව ලොව දකින්නට යෝජනා කෙරෙන අධ්‍යාපනයක් ඔහු වෙත ලැබී තිබෙන්නට ඇති අවකාශය පෙන්වන අතීත රූප එහි තිබෙන්නට ඇති ඉඩ අවම ය. අසීමිත ලෙස ඔහුගේ ළමා අවදිය වෙත ලැබුණු මාපිය හා වැඩිහිටි ආදරයක් සහිත අවකාශයක් ඒ අතීත රූප තුළ වෙතැයි මට විශ්වාස කළ නොහැකි ය. ස්වකීය ආගම, ලොව සෙසු ආගම් මෙන්ම මානවයාගේ යහපැවැත්ම යෝජනා කරන දහමකැයි යන නිවැරදි කියවීම ඔහු වෙත ලබා දුන් අවකාශයක් එම රූප තුළ හමුවීමේ අවස්ථාවලට ඇති ඉඩ අවම ය. තමා මෙන්ම, ඔහු අර ඇවිද යන බිමෙහි ඔහු අවටින් වන, ඔහු නොසළකා හරිමින් යන, අනෙකා ද මිනිස් දිවියක අසිරිය විඳීමට මේ ලොව තුළ ජනිත වී ඇති බවත්, එය තුටින් වැළඳගත යුත්තක් බවත් වටහා ගන්නට ඔහු වෙත ලැබී ඇති අවස්ථා පිළිබඳ එකදු රූපයක් හෝ එහි වීමට ඇති ඉඩ ශුන්‍ය අගයක වීමට ඇති ඉඩ ඉහළ ය.

මනුෂ්‍යත්වය, ආදරය, තමන් සහ අනෙකා වටහා ගැනීම, අනෙකාට ගරු කිරීම සහ ආදරය කිරීම ඇතුළු සියල්ල අයෙකු තුළ රෝපණය වන්නේ ඔහු/ඇය ලබන අධ්‍යාපනය, ජීවිතය ආරම්භ කරන නිවස සහ වටපිටාව, ආගමික දැක්ම මුණගස්වන පූජකස්ථානය ආදියෙනි. වත්මනෙහි මෙම බොහෝ කරුණු සඳහා මාධ්‍යයෙහි දායකත්වය ද නොමඳව ලැබෙන බැවින් (විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යයන්වල) එය ද මේ ආසන්න අංකයක් ලෙස සටහන් කිරීමෙහි ඇති වරදක් නැත. මෙහි ඉහත එක් ස්ථානයක් බිඳ වැටී ගියත් (උදාහරණ ලෙස අයෙකුගේ නිවසේ වටපිටාව ඛේදනීය ලෙස බිඳ වැටී තිබුණත්) සෙසු කලාප, විශේෂයෙන් අධ්‍යාපනය නිසි පරිදි ස්ථාපිතව තිබී ඔහු/ඇය වෙත බල පවත්වන්නේ නම් පුද්ගලයෙකු ලෙස පූර්ණ පරිහාණිගත තත්වයක් කරා යමින් තමන් හා අනෙකා නසා ගන්නා, සමාජ නාශකයෙකු ලෙස ක්‍රියාකරන්නට තැත් දරණා කලාපයකට ඔහු/ඇය පැමිණීමේ අවස්ථා ඉතා අවම වන බව වටහා ගැනීම අපහසු නැත. කුල, පන්ති හෝ වාර්ගික යනාදී වශයෙන් තමන් වෙත එල්ල වන පීඩනය හමුවේ වුව, පොදු සමාජ අරගල මගක් තෝරාගනු විනා, ස්වකීය ජීවිතයත් බාහිර, බොහෝ විට සමාන පීඩනයම විඳින සහෝදර පුරවැසි කණ්ඩායමක ජීවිතත් කිසිදු අර්ථයකින් තොරව විනාශ කර දමන මගක් තෝරාගැනීම ඔහු/ඇය විසින් සිදු කරනු ලැබේ යැයි සිතීමට ඇති ඉඩ ද අවම ය.

කෙසේ වෙතත්, ඒ අවම ඉඩ තුළින් පැමිණ, ස්වකීය ජීවිතය කෙරෙහි ඇති බැඳීමත් අතහැර දමා උන් කණ්ඩායමක් දැන් අපට හමුවී අවසාන ය. රටේ නීතිය හා සාමය ආරක්ෂා කොට, ආරක්ෂක මුරකාවල් සත්‍ය ලෙස ක්‍රියාත්මක කර පොදු පුරවැසි ජීවිතය සුරක්ෂිත කර දෙන මෙන් රජයන්ට බල කරමින්ම අනාගත ප්‍රජාව හමුවේදීත් යට හමුවුණු ජීවිතය, ආදරය හා මනුෂ්‍යත්වය නොහඳුනන තරුණයා යළි හමුවීමේ අවස්ථා නැති කිරීම සඳහා අප ක්‍රියාත්මක විය යුතු ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ විධිමත් අධ්‍යාපනයක්, තත්‍ය ලෙස ආගමික දර්ශනයන් වෙත සිය අනුගාමිකයින් මෙහෙයවන පූජකස්ථානයක්, පොදුජන විඥාණය තුළ මානුෂවාදී හැඟීම් පැල කරමින්, පුරවැසි ප්‍රජාව ඥාණනය කිරීම පිළිබඳ ඇති වගකීම හඳුනාගත් ජන මාධ්‍ය එකතුවක් යනාදියයි. අප දෙවනුව පෙළ ගැසිය යුත්තේ ඒ සාක්ෂාත් කරගැනීම වෙනුවෙනි.

අධ්‍යාපනය විධිමත් නම් එය සියල්ලට ඉහළින් මනුෂ්‍ය ජීවිතය පිහිටවනු ඇත. පූජකස්ථානය විධිමත් නම් එය ආගමික දර්ශනය ස්වකීය බල කලාප පුළුල් කිරීම සඳහා ව්‍යවහාරික නව ස්වරූපයන් තැනීම සඳහා යොදාගනු වෙනුවට මිනිස් ජීවිතවල අරුත සෙවීම සඳහා කළ අතීත උත්තර මිනිසුන්ගේ මැදිහත්වීම් පුරවැසියා වෙත පහදනු ඇත. ජන මාධ්‍යය විධිමත් නම් වඩාත් ප්‍රවේශම් සහගත ලෙස සහ වගකීම් සහගත ලෙස වදන් සහ රූප පුරවැසියා වෙත තබනු ඇත.

දැන්, අවසාන වශයෙන් මට මගේ තීරු ලිපියේ මුඛ්‍ය කලාපය වෙත ආසන්න වීමට අවසර දෙන්න. උදාහරණ ලෙස, අපට මුණගස්වන ජන මාධ්‍යයේ ප්‍රමුඛ අංගයක් වන ටෙලිවිෂනය විමසන්නට ඉඩ දෙන්න. එය මේ දැනුත් අප වෙත වැඩිපුර තබන්නේ මොනවා ද?

මෙහිම මා කලින් කල ලියා ඇති පරිදි කුඩා දරුවන් (මෙන්ම තරුණ තරුණියන්  හා වැඩිහිටියන් ද) ස්වකීය වෙළඳ අවශ්‍යතා වෙනුවෙන් අපහරණයේ යොදවන රියැලිටි, ලාභ, හඬ කැවූ විදේශ ටෙලි පඩංගු, කෝණ දෙක තුනකින් ඉනිම් ගණනින් රූගත කළ දේශීය ටෙලි විකාර, ළමුන්ගේ මනස දූෂ්‍ය කරවන හඬ කැවූ විදේශ කාටූන් ඒ අතර වැඩිපුර වෙයි. ඒ හැරුණු විට හමුවන විදේශීය චිත්‍රපට අතුරින් ඉතා ඉහළ අංකයක් හිමි කරගන්නේ ප්‍රචණ්ඩත්වය දරුණු ලෙස මුණගැසෙන දමිළ චිත්‍රපටවලට ය. සිංහල බසින් උප ශීර්ෂ සහිතව හමුවන එම අති-ප්‍රචණ්ඩ චිත්‍රපට දිවා රාත්‍රී වෙනසකින් තොරව සිංහල හා දමිළ නාලිකා ගණනාවක සැළකිය යුතු විකාශ කාලයක් අයිති කරගෙන ඇති බව පෙනේ. විනාඩි 120-150ක් අතර වන ධාවන කාලයක් තුළ සැළකිය යුතු මිනිස් ජීවිත ප්‍රමාණයක් මරා දැමෙන, රක්ත වර්ණ රුධිර ගංගාවන්ට, කැති, පොරෝ, මන්නාවලට, තුවක්කු, පිස්තෝල හා බෝම්බවලට සමීප රූපවල වැඩි ඉඩක් දෙන චිත්‍රපට ටෙලිවිෂන නාලිකා පුරා වැපිර පවතිද්දී ඉන්දීය කලාත්මක සිනමාව හෝ චීන, ජපාන, ඉරාන සිනමාව ප්‍රමුඛ සම්භාව්‍ය ආසියානු සිනමාව හෝ විශිෂ්ඨ යුරෝපීය හෝ ලතින් ඇමරිකානු සිනමාව හෝ ඉඳහිටවත් අප නෙත හමුවට එන්නේ නැත. ත්‍රාසය හා භීතිය යන ෂානරවලට අමතරව සංගීතමය, ප්‍රේමය මුල් කොටගත් රෝමාන්තික, හාස්‍යමය, සුඛාන්තමය වැනි සිනමා ෂානර ද ඇති බව ප්‍රේක්ෂාගාරය දැනගන්නේ ද නැත.

සියලු විවිධතා මුණගැසෙන දියුණු ටෙලි තිරයක් හමුවීම දියුණු සංස්කෘතික මිනිසකු බිහිකිරීමට වන එක් දායකත්වයකි. එපමණකින් සියල්ල සරිකළ හැකි නොවෙතත්, එපරිදි එකිනෙක පෙරට නැංවීම අපට අවසානයේ මුණගස්වනු ඇත්තේ සැබෑ සැහැල්ලුවකින් සීසීටීවී තිර හරහා ඇවිද යන, බෝම්බ වෙනුවට පොතපතින් සිය බෑගය පුරවාගත්, මිනිසාට සහ මනුෂ්‍යත්වයට ආදරය කරන තරුණයෙකි/තරුණියකි.
ඔහු/ඇය හමුවන තෙක් අප සටන් කළ යුතු ය! ඒ සටන මනුෂ්‍යත්වය වෙනුවෙනි!

-ප්‍රියන්ත ෆොන්සේකා -

Wednesday, April 24, 2019

නමක් නැති නාට්‍ය කණ්ඩායමේ කතා හතර


(2019 අප්‍රේල් 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

‘මේක දාල කොහේ යන්න ද? මේක අපේ තැන!“

මේ පැනය අසන්නේ තරුණයෙකි. ඔහු ‘කටු රැවුලක් වැවුණු, ගිලුණු හකු පාඩා ඇති‘ හීන්දෑරි එකෙකි. ප්‍රශ්නය අසන්නට මොහොතකට පෙර, ඔහුට අහම්බෙන් හමුවුණු, මළ ගෙදරක ගොස් නිවෙස් බලා යමින් සිටි, ධර්මදාසත්, ප්‍රනාන්දුත්, රත්නායකත් ඔහුට බරපතල ලෙස පහර දී යන්නට ගිය බව ප්‍රේක්ෂාගාරයේ සිටින අප ඇසින් දැක අවසාන ය. දැඩි වේදනාවෙන්, සිය ජීවිකාව සරිකරගන්නට, එනම් බස් රථවල ගීත ගයන්නට භාවිතා කරන ගිටාරය අතට ගන්නා තරුණයා ‘පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා“ යැයි ගයද්දී වේදිකාවේ ආලෝක පහන් අවසන් වරට නිවී යයි.

‘අන්නේම්ඩ් තියටර් ගෘෘප්‘ නැතිනම් ‘නමක් නැති නාට්‍ය කණ්ඩායමේ‘ ඉදිරිපත් කිරීමක් වන ‘කෙටි නාට්‍ය ගොමුවෙහි‘ අවසන් කෙටි නාට්‍යයෙහි අවසානය එපරිදි ය. දෙවැනි වරටත් එම කෙටි නාට්‍ය එකතුව නරඹන්නට මම වාසනාවන්ත වූයේ පසුගියදා පේරාදෙණියේ පැවැත්වුණු ‘විභාවන‘ සිනමා හා කලා උළෙලේ දී එය රඟ දැක්වුණු හෙයිනි. එහෙත් මෙම තීරයෙහි ඒ පිළිබඳ ලියන්නට මා තීරණය කර ගෙන සිටියේ රුහුණු විශ්වවිද්‍යාලයේ දී එය මුලින් දුටු අවස්ථාවේ පටන් ය. ඔබ සමග සාකච්ඡා කළ යුතු, ඔබ සැම විසින් නැරඹිය යුතු බවට යෝජනා කළ යුතු අනගි නාට්‍ය එකතුවකි එය.

ඉන් පෙර නිමාවූ නාට්‍ය සතියේ දී රඟ දැක්වුණු ‘මනමෙ‘ සහ ‘සිංහබාහු‘ ප්‍රේක්ෂාගාරයෙන් හතරෙන් එකක්වත් ‘කෙටි නාට්‍ය ගොමුව‘ නරඹන්නට පැමිණ සිටියේ නැතත්, ‘මනමෙ‘, ‘සිංහබාහු‘ හෝ එම සතිය තුළ හමුවූ දීර්ඝ නාට්‍යවලින් ගෙන ආ භාවමය කම්පනයන්ට සමාන කම්පනයක් මෙම නාට්‍ය ගොමුව විසින් ප්‍රේක්ෂකයා හමුවේ නිර්මාණය නොකළේ වෙතත්, විනාඩි තිහ නොඉක්මවූ ‘කෙටි නාට්‍ය‘ හතරකින් ඉතා සංකීර්ණ කාරණා රැසක් ප්‍රේක්ෂකයා හමුවේ සාකච්ඡා කළ බැවිනුත්, මාහැඟි නාට්‍ය රසයක් එය අප වෙත ගෙනා හෙයිනුත් මම එය සොයා ගොස් නරඹන්නැයි ඔබට යෝජනා කරමි. එහෙත්, ඒ යෝජනාවට පළමු හේතුව එය නොවේ. නාට්‍ය ගොමුව මා වෙත නිර්මාණය කර ඇති තියුණු කම්පනයයි. එය ඔබත් විඳිය යුත්තකි.

තරුණ නාට්‍යකරුවන් පිරිසක් වසර ගණනක් තිස්සේ සිදු කළ වැඩමුළු ක්‍රියාකාරකම් හා හැදෑරීම්වල ඵලයකි, ‘කෙටි නාට්‍ය ගොමුව‘. නාමල් ජයසිංහද ඔවුන්ගේ නාට්‍ය වැඩමුළු හා එක්ව කටයුතු කර තිබුණ ද එම කණ්ඩායමේ තරුණ තරුණියන් වැඩි පිරිසක් ද ඔහු වෙතින් ලැබෙන ආලෝකය පිළිබඳ පමණක් විශ්වාසය නොතබමින් ස්ව-අධ්‍යයනයන් හරහා මෙම නිර්මාණවලට ස්වකීය දායකත්වය ලබා දී ඇති බැව් නාට්‍ය දැක්මෙන් අනතුරුව පැවති සාකච්ඡාව ප්‍රේක්ෂාගාරයට සාක්ෂි සැපයී ය. එම වැඩමුළු ‘වෙහෙස‘ අප වෙත තබන කෙටි නාට්‍ය මොනවා ද?

ආණ්ඩුවේ රස්සාව - සුරනි අනුපමා සමග සේවියර් කණිෂ්ක
‘ආණ්ඩුවේ රස්සාව‘ ඉන් පළමුවැන්නයි. රැකියාවක් නැති තරුණයෙක් සිය බැංකු සේවිකා පෙම්වතිය හා විවාහ වීමට ඇයගේ නිවසෙන් ඇති ප්‍රතිරෝධතා ජයගන්නට ‘ආණ්ඩුවේ රස්සාවකට‘ ඇයටත් හොරා අයදුම් කර ඇත. උද්‍යානයක ඔවුන් දෙදෙනා මුණගැසෙන මොහොතේ අපි ඔවුන්ගේ ප්‍රේක්ෂාගාරය වෙමු. හෙට සිට තරුණයා ‘ආණ්ඩුවේ රස්සාවක් කරන‘ එකෙකි. එහෙත් ඔහු ද, ඇය ද අර්බුද රැසක ය. හේතුව ඔහු දිනාගෙන ඇත්තේ ‘අලුගෝසු තනතුර‘ වීමයි!

සිය මධුසමය ගත කරන්නට පැරණි හෝටල් කාමරයකට ගොඩ වදින අලුත විවාපත් යුවලක් ‘කිරි අම්මා අවතාරය‘  නමැති දෙවැනි කෙටි නාට්‍යයේදී අපට මුණ ගැසෙයි. මධු සමයේ පළමු රාත්‍රියේ රෝමාන්තික බව මෙන්ම, මඟුල් උත්සවයේ දැඩි වෙහෙස ද ඔවුන් වෙත ඇත. එහෙත් සයනගත වීමේ උවමනාව ඉක්මවූ කරුණු රැසක් ‘කිරි අම්මලාගේ සහ සීයලාගේ අවතාරවල‘ වෙළී ඔවුන් හමුවට එයි. ප්‍රේක්ෂාගාරයේ අප පළමුව සිනාසෙන්නට පටන් ගත්ත ද මේ කරුණු සිනාසිය හැකි කරුණු නොවන බව දෙවනුව අපට දැනෙයි.

තෙවැන්නෙහි දී යළිත් අප හමුවන්නේ තරුණයෙකි. කෙටි නාට්‍යය ‘ප්‍රේමී කවිනළුව‘යි. තරුණයා කවි නළුවක් අප ඉදිරිපිට තබයි. ඔහු පාසැලේ දී සිංදු කීමට දක්ෂ නිසා සංගීතය කිරීමට තෝරා යවනු ලැබූ, ටවර් හෝල් රංග පාසැල විසින් දෙවරක් ප්‍රතික්ෂේප කරන ලද, නාට්‍ය හැදෑරීමට අවකාශ නොලැබුණු අයෙකි. බොහෝ දීර්ඝ නාට්‍ය ‘හදවතට නොදැනෙන‘ බව ඔහු කියයි. නාට්‍ය උළෙලවල ප්‍රතික්ෂේප වන නාට්‍ය ආකෘති ඔහු හඳුනාගෙන ඇති බැවින් ‘නැටුම් ටීචර්‘ කෙනෙක් යටතේ නාට්‍යය හදාරණ පාසැල් ශිෂ්‍යයින් කිහිප දෙනෙක් ඔහු සිය වේදිකාවේ තබාගෙන සිටියි. ඔහු ‘හදවතට දැනෙන්නට‘ ගයන්නේ සහ රඟන්නේ සිය පෙම්වතිය වෙනුවෙන් ලියූ කවි නළුවයි. එහි ආකෘතිය ඔහුට හමුවී ඇත්තේ පිටකොටුවේ මව්ගුණ ගැයෙන කවි බණ සීඩී ඇසීමෙනි!

‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු‘ හිදී හමුවන තරුණයාට නිවෙස බලා යාමට බසයක් නැත. ඔහු මහ රාත්‍රියේ අවසන් බස් රථය එනතුරු බස් නැවතුමක හිඳියි. ඔහු උපාධියක් ලැබ ඇතත් රැකියාවක් නැති නිසා බස් රථවල ගිටාරයක් වයමින් සිංදු කියන්නෙකි. ඔහුගේ බස් නැවතුම අසල නිදාගැනීමට එන ‘උම්මන්තකයා‘ එහි නොරැඳී වහා පලායන්නැයි ඔහුට කියයි. ඔහුට අනුව තරුණයාට ද ‘අනතුරක් අතළඟ‘ නිසා ය. මළගෙදරක ගොස් එන අතරතුර බස් රථය කැඩී යාම නිසා ප්‍රනාන්දු, ධර්මදාස සහ රත්නායක යන වියපත්, පෙර පරම්පරාවේ තිදෙන බීමතින් බස් නැවතුමට එන්නේ එවිට ය. විශ්‍රාමික පොලිස් නිලධාරියකු වන ප්‍රනාන්දුට ‘කටු රැවුල් සහිත, හකු පාඩා ගිළුණු‘ තරුණයා දැකල පුරුදු වන්නේ ද එවිට ය!

එකිනෙකට වෙනස් තානයන්ගෙන් මුත්, තියුණු හාස්‍ය මුසු ජවනිකා වේදිකාව තුළ නිර්මාණය කරමින් කෙටි නාට්‍ය හතරම ඉදිරියට ගලන්නේ ප්‍රේක්ෂාගාරය සිනාවේ ගිල්වමිනි. එහෙත් එය ‘චැප්ලින් ස්වරූප‘ හාස්‍යයකි. ආණ්ඩුවේ රස්සාවෙහි තරුණිය සිය පෙම්වතාගේ ටොයිලට් යාමට නොහැකි ප්‍රශ්නයටත් කුමක් හෝ පියවරක් ගන්නට යෝජනා කරන විට, ‘කිරි අම්මා අවතාරයෙහි‘ විවාපත් තරුණයා(ගේ සීයා) සිය (මුණුපුරාගේ)  මහත බිරිඳ දෑවැද්දක් නොමැතිව පැමිණීම ගැන බැණ වදින විට, ‘ප්‍රේමී කවි නළුවෙහි‘ තරුණයා සිය වේදිකාවේ ඉන්නා අවශේෂ චරිත නාට්‍ය උළෙලවලින් ප්‍රතික්ෂේප වීම වළක්වා ගන්නට බොරුවට තැබූ චරිත බව කියන විට මෙන්ම ‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නගමු‘ හි රත්නායක මහතා බීමත්ව, අරක්කු බෝතලය අසිපත ලෙස වනමින් ‘ආදී සිංහලුන් පිට දීප දේස ජයගත්තා‘ ගීතයට නටන විට අප සිනාසෙන්නේ ඇසින් පනින කඳුළු පිස දමමිනි. එහෙත් ඒ වියැළෙන්නට පෙරම සත්‍ය කඳුළු බිඳු අප නෙත නැගෙයි. ඒ කඳුළු මොනවා ද?

විරැකියාව තරුණ ජීවිත අර්බුදයෙන් අර්බුදයට යවා ඇත. ලිංගික ජීවිතය ඇතුළු ජීවිතයේ තෘප්තකර කලාප ආර්ථික හා සමාජ සීමා හා බැඳීම් විසින් අනාගතයේ නොදන්නා කලාප වෙත තල්ලු කර හරමින් ඔවුහු අසීමිත පීඩනයක තෙරපෙති. විවාහය වුව තෘප්තිය කැඳවා නොඑයි. ඒ පසුපසින් එන, නව පරපුරද අත නොහැරි සම්ප්‍රදායික පීඩන රාමු රැසකි. ගැහැණිය හා පිරිමියා විෂයයෙහි වෙන්වත්, එක්වත් බල පැවැත්වෙන සමාජ-දේශපාලනික සංකීර්ණතා ගොණුවකි. ඒ කිසිවක් හඳුනාගන්නට සමාජය පොහොසත් නැත. එය නිද්‍රාශීලීත්වය හැර දමන්නේ පිටකොටුවේ ‘කවි බණ‘ අසන්නට ය. සංකීර්ණ කලාත්මක ප්‍රකාශන ඔවුන්ට දුරවබෝධ ය. ඔවුන් ‘අඬන්නට ඇති‘ හා ‘සිනාසෙන්නට ඇති‘ දේවල්වල්වත් වෙන් කොට හඳුනා නොගනී. එම අසංවේදී සමාජය නිර්මාණය කිරීමේ වගකීම වත්මන් පරපුර මත තබමින් ‘මේ කාලකන්නි සමාජයට‘ සාප කරමින් පෙර පරම්පරාවේ රත්නායකලා, ධර්මදාසලා සහ ප්‍රනාන්දුලා තරුණයින්ගේ කණ් පළති!

‘කෙටි නාට්‍ය ගොමුව‘ එකිනෙකට වෙනස් ආඛ්‍යාන හතරක් තුළ බහා ලූ සමාජ කියවීමකි. එහි අපූර්වත්වය මුළු රටේම ප්‍රේක්ෂාගාරය හමුවේ තැබිය යුත්තේ එය නියත, මග නොහැරිය යුතු සාකච්ඡාවක් යෝජනා කරන බැවිනි.

(මෙම නාට්‍ය එකතුව සංවිධානය කිරීමට අදහස් කරන්නේ නම් ෆේස්බුක් අඩවිය හරහා නාමල් ජයසිංහ හෝ එම කණ්ඩායමේ සාමාජිකයෙකු සම්බන්ධ කරගැනීම මැනවැයි අදහස් කරමි.)




-ප්‍රියන්ත ෆොන්සේකා-   

Thursday, April 11, 2019

ශක්තික හා පෙළට සිටගනිමු: වාරණයේ භීෂණ මුහුණවරට එරෙහිව!


(2019 අප්‍රේල් 07 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

මෙය ලියන මේ මොහොතට වඩා, පළ කෙරෙන මොහොත වන විට, පුවත්පත ඔබ අතට පත් වන මොහොත වන විට, ශක්තික සත්කුමාර නාමය තවදුරටත් ජනප්‍රියව තිබෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඔහු ලියා ඇති ‘අර්ධ‘ නමැති කෙටි කතාවට එරෙහිව ‘බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුණ‘ නමැති සංවිධානයක් බුදුදහමට අපහාස වන්නේ යැයි පොල්ගහවෙල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව යෞවන සම්මාන දිනූ මෙම තරුණ කතුවරයා අප්‍රේල් 09 වැනි දින තෙක් බන්ධනාගාර ගත කොට ඇති බැවිණි. ශක්තික බන්ධනාගාරගත කිරීම සියලුම සංස්කෘතික පුරවැසියන් වහා එක්ව විරෝධය පළ කළ යුතු, ප්‍රකාශනයේ නිදහසෙහි සීමාව පිළිබඳ ප්‍රබල සංඥාවක් නිකුත් කරන බැවින් එක්ව ක්‍රියාත්මක විය යුතු මොහොතක් බැවිනි.

ශක්තික සිය ලේඛණ කටයුතුවල නිරතව තිබෙන්නේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවක නිරත වෙමින් ඒ ප්‍රදේශයේ සිය පදිංචි ස්ථානයේ සිට ය. ඔහුගේ ලිවීමට එරෙහිව නැගුණු භික්ෂු මූලික විරෝධය පිළිබඳ මා මේ කෙටි ලේඛණය තුළ විස්තර නොලියන්නේ ඒ පිළිබඳ මේ වන විටත් ඔබ සමාජ ජාල ඔස්සේ කියවා ඇති බවට විශ්වාස කරන හෙයිනි. අප එක්ව පෙළ ගැසිය යුතු පෙරමුණ විමසීම දැන් වඩා වැදගත් යැයි හැඟෙන හෙයිනි.

ශක්තික බන්ධනාගාරගත කිරීම, ඇසූ විගස අප තිගස්වන සුළු ය. සිය පියාගේ සහ ස්වාමි පුරුෂයාගේ උණුසුම දරු දෙදෙනෙකුට හා බිරිඳකට අහිමි කර ඇති බැවින් ද, ප්‍රකාශනයට එරෙහි පාලක-පූජ්‍ය ත්‍රස්තවාදයේ හැඩරුව ප්‍රකට කරන මෙන්ම නීතියේ ඇති පනත් කෙටුම්පත් ආදිය වර නැගෙන්නට පටන්ගෙන ඇති ආකාරය අප වහා විමසා බැලිය යුතු බැවින් ද එය නොපෙනෙන තරම් බිහිසුණු කලාප පිළිබඳ සංඥා සහිත බව මම යෝජනා කරමි. කතුවර කම්මැල්ලවීර ඇතුළු කිහිප දෙනෙකුම මේ වන විටත් එයට එරෙහිව සිය ක්‍රියාකාරී මැදිහත්වීම සිදු කර ඇති බව මෙය ලියන මොහොත වන විටත් පෙනෙන්නට තිබෙන අතර ඉදිරි දින කිහිපයේ දී එය තව දුරටත් වැඩී නැගෙනු ඇති බවට විශ්වාස කළ හැක. කෙසේ වෙතත්, ශක්තිකට ශක්තියක් වීම යනු තරුණ ලේඛකයෙකු වෙත ගෙනා බිහිසුණු සිරගත කිරීමක් ඉක්මවන අනාගත භීෂණත්වයක හැඟවුමක් බැවින් අප ශක්තිමත් පවුරක එක්ව සිටගැනීමත්, වඩාත් ඉදිරි දැක්මකින් යුතුව ක්‍රියාත්මක වීමත් අත්‍යාවශ්‍ය බැව් පෙනේ.

ශක්තිකට විරුද්ධව චෝදනාවක් නැගෙන්නේ ඇයි?

දැනගන්නට ඇති තොරතුරු පරිදි, ඔහු ලියා ඇති කෙටි කතාවක ප්‍රධාන චරිතය සිවුර හැර දමා එන තරුණයකු වීම හා එම චරිතය හරහා සාකච්ඡා කෙරෙන භික්ෂු සමාජය සම්බන්ධ කාරණා එම චෝදනාවට මග පාදා ඇති බව පෙනේ. ‘බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුණ‘ හා/හෝ සෙසු චෝදනා කරන පිරිස් ඔහුට විරුද්ධව ඔහුගේ සේවා ස්ථානයේ ප්‍රධානීන් මුණගැසෙන්නේත්, අනතුරුව පොල්ගහවෙල පොලිස් ස්ථානය වෙත දිව යන්නේත් මේ කරුණු පාදක කොටගෙන බුදුදහමට නිගා වී ඇති බැව් චෝදනා කරමින් බව පෙනේ. මේ වන විටත්, සමාජ ජාලවල බොහෝ විචාරශීලී පුරවැසියන් ප්‍රශ්න කොට ඇති පරිදිම පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි තරුණ, තනි ලේඛකයෙකුගේ කුඩා කෙටි කථාවකින් ප්‍රබල ආගමික දර්ශනයක් නිග්‍රහයට පත් කරන්නේ කෙසේ ද හා එවැන්නකින් එවැනි තිරසාර දහමක් සෙළවෙන්නේ කෙසේද යන්න යන පැනය අපටත් නැගිය හැක. එහෙත්, එය නිස්සාර පැනයක් වන්නේම, චෝදනාව රැගෙන දුවයන කණ්ඩායම කිසිදු අයුරකින් මෙම පැනයට පිළිතුරු දිය හැකි පාර්ශවයක නොඉන්නා බව ඔවුන්ගේම චෝදනා ලිපියක් මගින් හෙළිදරව් කෙරෙන බැවිනි. ප්‍රබල මානව දයාවකින්, මහා කරුණා ගුණයකින් තමන් වෙත ගල් පෙරළූ අංගුලිමාල පාර්ශවය දෙස බැලූ බුදු රදුන් අනු නොයන මෙම කණ්ඩායම ශක්තික හඳුනාගන්නේම ද්වේශසහගත නෙත්වලින් බව එම ලිපිය සපථ කර දෙයි. 

ශක්තික සත්කුමාර, මුල් නමින් හා දෙවැනි නමින්ම, ශක්තිය හා සත්භාවය පිළිබඳ සංකේත අර්ථ දෙකක් අප වෙත තබා ඇත. අප ශක්තිමත් විය යුත්තේ මූලධර්මවාදී ඉස්ලාම් ලෝක ප්‍රජාව රුෂ්ඩිගේ හිස ඉල්ලූ පරිද්දෙන් මූලධර්මවාදී බෞද්ධ ප්‍රජාව ශක්තිකලාගේ හිස් නොඉල්ලන පසුබිමක් තනා ගන්නට ය. අප ශක්තිමත් විය යුත්තේ සත්භාවයකින් යුතුව සිය පෑන මෙහෙයවන සියළුම ආකාරයේ ලේඛක ප්‍රජාවන්ගේ ලිවීමේ නිදහසට පවුරු නොබැඳෙන ශක්තිමත් පසුබිමක් තනා ගන්නට ය. ඒ සඳහා අප වැඩ කළ යුතු ය.

සොක්‍රටීස් අප වෙනුවෙන් පානය කළ විස බඳුනේ පටන් ශක්තික මේ මොහොතේ ජීවත් වන කෑගල්ල බන්ධනාගාරය දක්වාම රාජ්‍යය හා ආගම වෙන් වශයෙන් හෝ බොහෝ විට රාජ්‍යය හා ආගම එක්ව පුරවැසියාගේ ප්‍රකාශන නිදහසට සීමා පනවමින් සිය පාලන කලාපය තුළ ඔවුන් තබාගන්නට තැත් කළ වෑයම් හමු වෙයි. එයට එරෙහිව ලද ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද අතීත විමසුම් තුළ හමුවෙයි. පරාජයන් බොහෝ විට සටන්කරුවා වෙත හිමිව ඇත්තේ ද සිය අයිතියත්, පුරවැසි සමාජයේ අයිතියත් වෙනුවෙන් කළ සටන් කිරීම්වලින් අනතුරුව බව ද පෙනෙන්නට තිබේ. අප ශක්තිකගේ ශක්තියට පවුරු බැඳිය යුත්තේ ද ඒ සියල්ල සිත්හි තබා ගනිමිනි.

යම් ශාස්ත්‍රෑවරයකු විසින් හෝ යම් යුගයක් හෝ අවස්ථාවක් විසින් නිර්මාණය කරන ලද වටිනා, තාර්කික දර්ශනයන් කාලයාගේ ඇවෑමෙන් රාජ්‍යයන්ගේත්, එම දර්ශනය අනුයන බව කියන අනුගාමික පූජ්‍ය හෝ වෙනයම් අනුගාමික පක්ෂයන්ගේත් ආයුධ බවට පත්වීම ලෝක ඉතිහාසය මුළුල්ලේ නිරන්තරව සිදුවෙමින් පවතින්නකි. මෑතකාලීනව අප රටෙහි ක්‍රමිකව නැගෙමින් පවතින අසීමිත භක්තියකින් හෙබි උපාසක උපාසිකාවන් පිරිවරාගත් ‘නිසැක‘ ධාතු වන්දනාවල සිට මල්, පළතුරු පූජා හරහා ශක්තිකගේ බන්ධනාගාරගත කිරීම දක්වාම පසුබිම්ගත වන්නේ බුදුදහමෙහි ව්‍යවහාරික පක්ෂයේ ක්‍රමික මූලධාර්මික සංස්ථා වෙත කෙරෙන අභිනික්මන බව සැක හැර වටහාගත හැකි ය.

ශක්තිකගේ සිද්ධිය තනි, ඒකල කරුණක් ලෙස නොගෙන දියුණු සංස්කෘතික පුරවැසි ප්‍රජාව ශක්තිමත් පවුරක් ලෙස එක්ව නැගිය යුත්තේ බන්ධනාගාරයෙන් නොනැවතී හෙට එවැන්නෙකුගේ හිස ඉල්ලන්නට තරම් භීෂණකාරී ප්‍රවේශයකට යන්නට වුව ආගමික මූලධර්මවාදය පසුබට නොවනු ඇති හෙයිනි. ඊටත් වඩා, එල්ලුම් ගස්, දඬුවම් සහිත භීෂණයක් විශ්වාස කරන ප්‍රජාවක් හා නායකයෙකු අපට ඉදිරියෙන් වන හෙයිනි. ඒ අනුහසින්, එය ‘මල්ඵල ගැන්වීමට වුව දෙවරක් නොසිතන‘ අනාගත ‘දියසේන‘ කුමරකු පහළ වීම වුව සිදුවිය හැක්කක් බැවිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -


Tuesday, April 9, 2019

විචිත්‍රත්වයෙන් විභාවනයට: විශ්වවිද්‍යාල කලා කථිකාවේ නව මැදිහත්වීම


(2019 මාර්තු 31 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ ‘වල සතිය’ ගැන ලියා සතියක් ගත වුණු විගස යළිත් විශ්වවිද්‍යාල දෙසටම හැරීම ගැන ඔබ උරණ නොවනු ඇතැයි මම සිතමි. ‘විභාවන’ නමින් සිනමා හා කලා උළෙලක් පේරාදෙණියේ දී දිග හැරෙන්නේ එළඹෙන අප්‍රේල් 03, 04 සහ 05 යන දිනයන්හිදී බැවින් මෙය කලින් ලියා තැබීම යෙහෙකි ය යන්න මගේ අදහසයි.


විශ්වවිද්‍යාල, විශේෂයෙන් පේරාදෙණිය, විද්‍යෝදය හා විද්‍යාලංකාර හෙවත් ජයවර්ධනපුර හා කැලණිය මෙන්ම කොළඹ යන විශ්වවිද්‍යාල මෑත ඉතිහාසය තුළ ලාංකික කලා භාවිතාව වෙත දක්වා ඇති දායකත්වය සුළුපටු නැත. පේරාදෙණි ගුරු කුලය, සරච්චන්ද්‍ර යුගය ගැන වැනි යෙදුම් තවමත් මෙරට කලා කථිකාව තුළ බහුලව යෙදෙන්නේත්, කවිය, නාට්‍යය, නව කථාව, සිනමාව ඈ එක් එක් කලා ප්‍රවර්ග විෂයයෙහි එක් එක් විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් දැක්වූ පොහොනි දායකත්වයන් ගැන කියවෙන්නේත්, ලියැවෙන්නේත් එබැවිනි. සාහිත්‍ය කලා විචාරයෙහි විශ්වවිද්‍යාලයීය මැදිහත් වීම ක්‍රමිකව හීන වී ගිය බව ප්‍රමුඛ මතය වුවත්, මෑතකාලීනව වුව, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, කථිකාචාර්ය චින්තක රණසිංහ වැන්නවුන් ඒ කෙත හා සෘජුවමත්, මහාචාර්ය ජයන්ත අමරසිංහ, මහාචාර්ය රත්නසිරි අරංගල, මහාචාර්ය සඳගෝමී කෝපරහේවා වැන්නවුන් භාෂා අධ්‍යයන ක්ෂේත්‍ර සමග එක්වත් සිදු කරන දායකත්වය පසෙක තැබිය නොහැක. මහාචාර්ය ලියනගේ අමරකීර්ති, කථිකාචාරිණී සුමුදු නිරාගී සෙනෙවිරත්න, ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි තිදෙන පේරාදෙණි සිංහල අධ්‍යයනාංශයේ සිට රාජ්‍ය, රජත හා ස්වර්ණ පුස්තක සම්මාන උළෙලවල සිය නම් ලියා තැබුවේ මේ ගෙවුණු වසරවල ය.

නාට්‍ය වේදිකාවේ දී විශ්වවිද්‍යාල නාට්‍ය පරිච්ඡේදය ලෙස හඳුනාගන්නා අවදිය ලුඩොවයික්, ජුබාල් සහ සරච්චන්ද්‍ර නම් සමග 50 දශකය තෙක්ම අතීතයට ඇදුණත්, ගෙවුණු දශක කිහිපය තුළ කැලණිය විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලී මණ්ඩපය යන ආයතනවල වේදිකාවතරණයන් නව විශ්වවිද්‍යාල නාට්‍ය සමයක් නිර්මාණය කර ඇත. යෞවන සම්මාන උළෙල ඔවුන් ද අයත් යෞවනයන්ටම වුවත්, ප්‍රවීණයන් හා සම තැන්හි හිඳිමින් රාජ්‍ය නාට්‍ය උළෙල ද ආක්‍රමණය කොට, ඔවුන් දෙවැනි තැන්හි තබා සම්මාන ඩැහැගෙන යන්නට පවා විශ්වවිද්‍යාල නාට්‍යකරුවන් සමත්ව අවසන් ය. පේරාදෙණියේ ලලිත කලා අධ්‍යයනාංශය, ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසංග කලා අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා ප්‍රතිබිම්බ කලා අධ්‍යනාංශය මෙන්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළත් සිනමාව පිළිබඳ විෂයාත්මක හැදෑරීම් ප්‍රවේශ දැනටමත් හමුවන අතර වෘතාන්ත චිත්‍රපටකරණය දක්වාම ඔවුන්ගේ මැදිහත්වීම පිළිබඳ ඉඟි ද දැන් දකින්නට ඇත. තොග ගණනින් නොවෙතත්, සාධනීය ලක්ෂණ ප්‍රකට කරන කෙටි චිත්‍රපට තනන්නට මෙම විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් සමත්ව ඇති අතර ඒ අතුරින් ඇතැම් කෘති දෙස් විදෙස් සම්භාවනාවට ද පාත්‍ර වී ඇත.

බැලූ බැල්මට ඉහත සඳහන ගෙන එනු ඇත්තේ විශ්වවිද්‍යාල සාහිත කලා මැදිහත්වීම පිළිබඳ ධනාත්මක සිතුවමකි. එහෙත් එය සාපේක්ෂ තත්වයක් බව පුළුල්ව විමසන්නෙකුට වහා හඳුනාගන්නට හැකිවනු ඇත. දිවයිනේ විහිද ඇති සිංහල ඇතුළු භාෂා අධ්‍යයනාංශවලත්, ලලිත කලා, ප්‍රසංග කලා හා සෞන්දර්ය කලා අධ්‍යයනාංශවලත් ආචාර්ය මණ්ඩලවල අංකය හා ශිෂ්‍ය අංකය වෙන් වෙන්ව ගෙන විමසූ විට සිය කලාපයන්හි සිට අභියෝගාත්මකව බාහිරය වෙත හැරී බලන්නට පොහොසත්, සාහිත කලා භාවිතයෙහි යෙදෙන්නන් හමුවන්නේ ඉතා අඩු වශයෙන් බව පෙනී යයි. නිර්මාණාත්මක හෝ ශාස්ත්‍රීය මැදිහත්වීම කෙසේ වුව, නිර්මාණ සේවනයෙහි යෙදෙමින් ඒ විඳින හා ඒ පිළිබඳ සාකච්ඡාවට මග පාදන, පොදු පුරවැසි ප්‍රජාව පොහොසත් නිර්මාණ සේවනයකට කැඳවන ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් විශ්වවිද්‍යාලවල මුණගැසෙන්නේ අඩුවෙනි. ‘දරුවන්ගේ හා ගෙදර දොරේ වැඩ’, ‘සමාජ වැඩ’ නැතිනම් වැඩිපුර එළිපිට නොකියන ‘ටියුෂන් වැඩ’ නිසා ඔවුන් කලා භාවිතය හමුවන අවකාශවලින් සැඟව සිටින බව පෙනෙයි. අනුයන ශිෂ්‍ය ප්‍රජාව ද, ‘නාට්‍ය හා සිනමා කෘති නොබලන, පොත් නොකියවන’ සර්ලාගෙන් හා මැඩම්ලාගෙන් කරදරයක් නැති නිසා කලා සේවනය ‘ඉඩක් ලැබුණොත් කරන්නට ඇති දෙයක්’ ලෙස සටහන් කරගෙන ඇත.

දශක එකහමාරකින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය වෙත පෙරළා පැමිණි මට, සෙසු විශ්වවිද්‍යාලවලටත් පොදු, ආචාර්ය මණ්ඩල සාමාජිකත්වය හා ශිෂ්‍ය ප්‍රජාව මෙම කලා- සාහිත කෙතින් දුරස්වීමේ ඛේදජනකය අත්විඳින්නට ලැබිණ. ආදායම ‘හොඳ’ බැවින් සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලට නාට්‍යයක් ගෙන එන්නට හෝ ක්‍රීඩාගාරයට සංගීත සංදර්ශනයක් ගෙන එන්නට විවිධ ශිෂ්‍ය සංගම් පෙරමුණට ආව ද කෘතීන් පිළිබඳ පසු කථිකාව දුර්වල ය. ‘ඩවුන්ලෝඩ්’ සිනමා කෘති නිසා සිය සිනමාහල ‘ලැප්ටොප්’ තුළ තනාගෙන සිටින විශ්වවිද්‍යාල ‘සිනමා රසිකයින්’ උසස් ගණයේ සිනමා කෘති සහිත චිත්‍රපට දැක්මවල් සංවිධානය නොකරන අතර කවර හෝ සිනමා කෘතියක ගුණාගුණ කතා කරන්නට එක් වන්නේ ද නැත. සෙසු සාහිත්‍ය, නාට්‍ය ආදිය පිළිබඳ උනන්දුව ද ඊට නොදෙවනි ය.

‘විචිත්‍රත්වයෙන් විභාවනයට’ යන මුල් යෙදුම මා මේ ලිපියට යොදන්නට හේතු වූ සිනමා-කලා උළෙල අපට මුණගැසෙන්නේ මෙවන් පසුබිමක ය. පසුගිය වසර අවසාන සමයේ රුහුණු විශ්වවිද්‍යාලයේ පැවති මෙම උළෙල ‘විචිත්‍රත්ව සිනමා හා කලා උළෙල’ ලෙස නම් ලබා තිබුණු අතර එය පේරාදෙණියට ප්‍රවේශ වන්නේ ‘විභාවන’ නම ලබමිනි. එහි අනුග්‍රාහකත්වය හා සංවිධාන දායකත්වය ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයක් වන ජීඅයිඉසෙඩ් (GIZ) ආයතනය විසින් දරනු ලබයි. පේරාදෙණියේදී එය සංවිධානය වන්නේ ලලිත කලා අධ්‍යයනාංශය වෙතිනි.

‘විභාවන’ සිනමා කලා උළෙලෙහි විශේෂත්වය යට කී කලා කෘති ආශ්‍රිත සාකච්ඡාව මුල් කොට ගනිමින් එය විහිද යෑමයි. වෘතාන්ත, වාර්තා හා කෙටි චිත්‍රපට ප්‍රදර්ශන සියල්ලේත්, කෙටි නාට්‍ය, වීදි නාට්‍ය හා රූකඩ දැක්මවල් මෙන්ම සංගීතමය වැඩසටහන් හා නර්තනමය වැඩසටහන් සියල්ලේත් අවසානයේ හමුවන විද්වත් මණ්ඩලයක් මුල් කොටගත් සංවාදය එක් එක් කෘතිය කියවීම සඳහා ප්‍රවේශ විය හැකි නන්විධ ප්‍රවේශ මාර්ගවල ඉඟි ප්‍රේක්ෂාගාරය වෙත තබනු ඇත. එක් එක් තනි පුද්ගලයකු විෂයයෙහි හමුවිය හැකි ඒක තානීය කියවීමට ඔබ්බෙන් වන බහුවිධ අදහස්, කියවීම්, ඇගයීම් මුණගස්වනු ඇත. සාමාන්‍ය සමාජය තුළ තබා විශ්වවිද්‍යාල තුළ හෝ අද අවමව ඇත්තේ මෙම බහුවිධ ප්‍රවේශ ඇති බවට වන හැඟීම හා අදහසයි.

Expressions යන ඉංග්‍රීසි යෙදුමට අනුයාත ‘විභාවන’ යන්න ‘ප්‍රකාශන’ යන බහු අරුත හඟවයි. අප්‍රේල් මුල් සතියේ පේරාදෙණියට පැමිණිය හැකි නම්... එන්න! කලා කෘති කියවමින් සංවාද මණ්ඩපයක රැඳීම සංස්කෘතික පුරවැසියන්ගෙන් සපිරි දිවයිනක් තනන්නට කෙතරම් අත්‍යාවශ්‍ය කරුණක් දැයි ඔබට හැඟී යනු නොඅනුමාන ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -