Wednesday, October 24, 2018

දරුවන් තරු වෙත දැක්කීම හා සෞන්දර්ය අධ්‍යාපනය


(2018 ඔක්තෝබර් 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“ නෙත් යුග රන් තරු යුවළ තමයි... තොල් පෙති නාදළුවලට සමයි...
මගෙ හද ඔබෙ සුව යහන තමයි... ඔබ සොයනා කළු කෙල්ල මමයි...“

වයස අවුරුදු 8 නොඉක්මවූ කුඩා බුහුටි දැරියක් ගීතය තාලය අනුව නැලවෙමින් වේදිකාවේ සිට ගායනා කරන්නී ය. නෙතින් ගලා හැලෙන්නට ආසන්න කඳුළු පිරි දෙනෙතින් යුතු දැරියගේ මවත්, ඇය අසළ ඇයගේ අත අල්ලාගෙන සිය දියණියගේ ‘දක්ෂතා‘ දෙස බලා සිටින දැරියගේ පියාත් කැමරාකරුගේ සමීප රූපයට හසුවෙයි. ගීතයේ තාලය අනුව හිස සොලවමින්, ඉඳහිට ඇය අගයන ඉංගිත දක්වමින්, සිනාවලින් මුව සරසාගෙන සිටින විනිශ්චය මණ්ඩලයේ සමීප රූප වමේ සිට දකුණට දිවෙන රූපය තුළට එක් වන්නේ ඉන් අනතුරුව ය. මේ, සති අන්තයේ අපේ ආලින්දයට පැන ‘දරු සුරතල්‘ විකුණන ‘ළමා රියැලිටියක‘ එක් අවස්ථාවකි.

දරුවන් ගයන ගීතයේ වචනාර්ථ පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරව ‘රියැලිටි‘ අම්මලා තාත්තලා සිය දියණිය, පුතු වේදිකාවේ උස් තලය මතට යවති. දරුවා ගයන ගීතාර්ථය ගැන හොඳ අවබෝධයක් ඇති, විශ්වවිද්‍යාල කථිකාචාර්ය ටයිටලය ද සහිත විනිශ්චය මණ්ඩලය, ඒ පිළිබඳ කිසිදු විමසිල්ලක් නොකොට, ගායනයේ හඬ උස් පහත්වීම් හා රිද්ම රටාවල ‘සුළු සුළු අඩුපාඩු‘ ගායනයෙන් අනතුරුව සත්වැනි හෝ අටවැනි වියැති දරුවාට පහදා දෙති! සියල්ලටම හිස පහත් කරමින්, ‘ස්තුතියි ටීචර්... ස්තුතියි සර්!‘ පවසන කුඩා දරුවා අනතුරුව වේදිකාවට ගොඩවන නිවේදක අයියාට හා අක්කාට තුරුළු වී, තමන්ට එස්එම්එස් එවිය යුතු අංකය ඇඟිලි නමමින් ප්‍රේක්ෂාගාරයට පෙන්වයි.

“මාව ඉස්සරහට යවන්න නම් අහවල් අකුරු කොටා, අහවල් අංකයට හැකිතා...ක් එස්එම්එස් එවන්න!!“

සැබවින්ම එස්එම්එස් හැකිතාක් යවමින්, රූපවාහිනී තිරය ඉදිරිපිට හිඳ ‘දරු සුරතල් දැක‘ කදුළු සලමින්, පුරවැසි ප්‍රජාවක් ලෙස අප මේ දරුවන් යවමින් සිටින්නේ කුමන ඉදිරියකට ද?

කලාව වඩා හරවත් ලෙස භාවිතයට කැඳවීම හා ඒ සේවනය කිරීම දියුණු පුරවැසි ප්‍රජාවක් සහිත රටක හමුවිය හැකි සහ හමුවිය යුතු තෘප්තකර තත්වයකි. චිත්‍රය, සංගීතය, නර්තනය, රංගය, චිත්‍රපටය ආදී නන්විධ කලා ප්‍රවර්ගයන් සමග දියුණු ගනුදෙණුවක් පවත්වා ගනිමින්, උසස් රසවින්දනයක් සමග, එහි සමාජ භාවිතය වටහා ගැනීමත් ඒ තවත් දියුණු අඩවි කරා කැඳවා යමින් ඉදිරි පරම්පරාවන් වෙත ඉහළතම කලා රස වින්දනයක් දායාද කිරීමත් රටක සමස්ථ පුරවැසි සමාජයේ වගකීමකි. එය එස්එම්එස් යවමින් සිදු කළ හැකි අංක කෙටීමක් නොවේ. වේදිකාවල නොදරුවන්, කිසිදු අයුරකින් නොගැලපෙන ගීතවලට නටවමින් ඔවුන්ට ලකුණු දමා කළ හැකි යමක් ද නොවේ. අනවරත, දියුණු කලා භාවිතයක් හරහා සිදු කළ යුත්තකි. නාලිකා හා වෙළඳ සමාගම්වලට භාර නොදී පුරවැසි සමාජ භාවිතය වෙත තබා සිදු කළ යුත්තකි. වඩා සුපෝෂිත සෞන්දර්ය අධ්‍යාපනයක් ඔස්සේ යමින් සිදු කළ යුත්තකි.

කුඩා දරුවන් රියැලිටි වේදිකාවල නටවන ගයවන රියැලිටි තරග වැඩිහිටි රියැලිටි තරග තරම්ම ලොව සුලභ නැත. බොහෝ රටවල් දරුවන් සම්බන්ධ ක්‍රියාකාරකම්වලදී දක්වන තියුණු සංවේදීතාව එයට මූලික හේතුවයි. සිය අනාගත පරපුර විෂයයෙහි ඔවුන් දැඩිව විමසා බලන ආචාරධාර්මික මැදිහත්වීම දෙවැනි ප්‍රමුඛ හේතුවයි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්හිදී දරුවන් භාවිතයට ගෙන වෙළඳ ප්‍රවර්ධනය බොහෝ රටවල දැඩිව පාලනය කළ හෝ සීමා කළ කලාපයකි. ස්වකීය ජීවන අවශ්‍යතා පිළිබඳ තනිව තීරණ ගැනීමට නොහැකි වයසවල පසුවන දරුවන් සිනමා හෝ ටෙලි තිර අවකාශවල රැඳවීමෙහි දී සැලකිල්ලට ගත යුතු, ළමා අයිතීන් ගණනාවක් විශ්ව මට්ටමින් සාකච්ඡාවට ගෙන හා භාවිතයට කැඳවා ඇත. අප, පාසැල් අධ්‍යාපන කලාපය මතු නොව විශ්වවිද්‍යාල අධ්‍යාපනය කලාපය ද එකමුතුව, නිර්ලජ්ජිතව එස්එම්එස් ඉල්ලමින් සිටින්නේ ඒ නොසලකා හැර, අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටින ළමා අයිතිවාසිකම් හා ආචාර ධර්ම හා එකඟ වන ලෙස ය.

සෘජුව, දරුවන්ගේ අයිතීන් හා ආචාර ධර්ම නැසීමෙන් අප නැවතී නැත. කලා භාවිතය, එනම් ගායනය, නර්තනය, හා රංගනය යනු හුදු තරග ඉලක්කයන් බව අපි කොන්දේසිවලින් තොරව දරුවන්ගේ හිස් තුළට පොම්ප කරමින් සිටිමු. පහ වසර ශිෂ්‍යත්වය ගැන සිතන්නටත් පෙර සිට එහි තරග මානසිකත්වය දරුවන් තුළට පොවා ඔවුන්ගේ නිර්මාණශීලි චින්තනයත්, නිදහසත් මොට කර දමන අපි, දැන්, නාලිකා හා වෙළඳ සමාගම් හා එක්ව, සමගාමීව කලාව පිළිබඳ විශ්ව ව්‍යාප්ත අදහස් සමුදායත් දරුවන්ගෙන් දුරස් කර දමමින් සිටිමු. ටෙලිවිෂන් නාලිකාවල රියැලිටි වේදිකාවලට නොදෙවනිව, බොහෝ කාණ්ඩවලට බෙදා ඇති පාසැල් සෞන්දර්ය තරග ද, හැකි තරම් තරග මානසිකත්වය දරුවන් තුළ පෝෂණය කරමින් සෞන්දර්ය අධ්‍යාපනය වෙත නියතව හමුවිය යුතු බොහෝ අඩවි එහෙම පිටින්ම නසා දමමින් කලා භාවිතය හා සේවනය ද තරග කලාපයක්ම පමණක් බව සමස්ථ ශිෂ්‍ය ප්‍රජාව වෙත දන්වමින් සිටියි.

වහා හැරී විමසිය යුතු කලාප ගණනාවක්, සෞන්දර්ය අධ්‍යාපනය හා භාවිතය විෂයයෙහි වන බව, මොහොතක් හෝ නොපමාව අප වටහාගත යුතු ය. තවත් දශකයකින් හෝ දෙකකින් රටේ ඉදිරි අසුන් වෙත පිළිපනින්නට නියමිත දරු පරපුරක් හමුවේ සියුම්ව විමසිය යුතු කරුණු ගණනාවක් ද වන බව අප විමසිල්ලට ගත යුතු ය. ළමා ආරක්ෂක අධිකාරිය වැනි ආයතන පැවතිය යුත්තේ සෘජුව සිදු කෙරෙන ළමා අපචාර ගැන සොයන්නට පමණක් නොවේ. බුරුතු පිටින් නාලිකාවලට කැඳවා අපචාරයෙහි යොදවන රටේ සමස්ථ ළමා පරපුර ගැන ඔවුන් වඩා සවිඥාණික විය යුතු ය. තිරයේ සුරතල් වන දරුවා හමුවේ ‘පැරදී‘ හඬා වැටෙන, දරුණු මානසික කඩා වැටීම්වලට ලක්විය හැකි, තිරයෙන් පිටත දරුවා ගැන ඔවුන් විමසා බැලුවා ද? මෙය දරුණු ව්‍යසනයක් ය යන සාකච්ඡාව හෝ අධ්‍යාපන බලධාරීන් හමුවේ පැන නැගී ඇත් ද? මා මෑත දී සෞන්දර්ය අධ්‍යාපනය සම්බන්ධ ප්‍රධානියකුගේ මුවින්ම අසා දැනගත්තේ ළමා රියැලිටි වැඩසටහන්වල විනිශ්චය මණ්ඩලවලට ළමුන්ගේ මානසිකත්වය ගැන අදහසක් නැති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ළමා ආරක්ෂක අධිකාරියේ මැදිහත්වීම මත විනිශ්චය මණ්ඩලය වෙත ‘අපෙන් ද කෙනෙක්‘ වාඩි කරවා ගැනීම ගැන දැන් අවධානය යොමුවී ඇති බවයි! ආයතනයන්හි ළමා අයිතීන් හා ආචාර ධර්ම පිළිබඳ වැටහීමෙහි සීමාව ඉන් මැන ගත හැක.

අප වහා ප්‍රබල මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක වන තුරු, සෞන්දර්ය අධ්‍යාපනය හා භාවිතය පිළිබඳ, ළමා අයිතීන් පිළිබඳ නිසි අර්ථ නිරූපණ සාකච්ඡාවට කැඳවා භාවිතයට කැඳවන තුරු, මුලින් කී දැරිය වැනි අවිහිංසක දැරියන් ඉන්ද්‍රානි පෙරේරා ගයන ගීතය යළි යළි ගයනු ඇත. දරුවන් ඔවුන් හා නටනු ඇත.

“රළ ලෙස ජීවන දිය දහරේ - අත ගෙන එමි ඔබ යන පාරේ...
සුපුරුදු ගති ගුණ නොම නෑරේ - දුක හෝ සැප විඳගමු මිහිරේ...“

සමස්ථ දරු පරපුර අදහසකින් තොරව ‘සුපුරුදු ගතිගුණ නෑර‘ විවිධ පාරවල්වල යවා ඇද වැටුණු පසු අපටත් මේ තරග විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් කලකට ඉහත වෙනත් සන්දර්භයක ගැයූ ගීයකින් පදයක් දෙකක් එක්ව ගැයිය හැක.

“ඔබ පර වී වැටිලා... නැගිටින්න එපා... නැගිට කොහේ යන්න ද අපි?“

-ප්‍රියන්ත ෆොන්සේකා -


Tuesday, October 16, 2018

යාපන සිනමා උළෙලේ තාප්පයෙන් ඔබ්බට!



(2018 ඔක්තෝබර් 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“ඔබ ගිහින් චිත්‍රපටය කරන්න. විශ්වවිද්‍යාලයට කීර්තිය විතරක් අරගෙන එන්න!“

සිංහල සිනමාවේ දෙවැනි සුසමාදර්ශය තනන්නට දායක වූ බැව් පිළිගැනෙන ධර්මසේන පතිරාජයන් ‘බඹරු ඇවිත්‘ චිත්‍රපටය තැනීම සඳහා විශ්වවිද්‍යාලයෙන් නිවාඩු අනුමත කරගන්නට උපකුලපතිවරයා මුණගැසුණු මොහොතේ ඔහුට ලැබුණු පිළිතුරයි ඒ. උපකුලපතිවරයා මහාචාර්ය කෛලාසපති ය; විශ්වවිද්‍යාලය යාපනය විශ්වවිද්‍යාලය ය; කාල සමය 1976 පමණ වන්නට ඇත.


එවකට ධර්මසේන පතිරාජයන් යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් උන් බවත්, යාපනය විශ්වවිද්‍යාලය ඔහුගේ ශාස්ත්‍රීය හා කලා භාවිතයන් පිළිබඳ මැදිහත්වීම්වලට දැඩිව ගරු කළ හා ඇගයූ බවත් අප අසා, කියවා ඇත. මේ වසරේ මුල් මාසයේ ඔහු මියයන්නට මාස කිහිපයකට පෙර යළි ඔහු යාපනය වෙත ආවේ ය. ඒ වන විටත් දැඩිව රෝගාතුරව උන් ඔහු, අතරමග විඩා හරිමින්, දින දෙකක ගමනකින් පසු යාපනයට සේන්දු වූයේ යාපනයෙන් ඔහු වෙත පිදුණු විසල් ඇගයීමක් පිළිගන්නට ය. යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සිය තුන්වන පියවරෙහිදී සිනමාව කෙරෙහි ලබාදුන් දායකත්වය අරභයා යාවජීව සම්මානය ඔහු වෙත පිරි නැමූ අතර, අසීරුවෙන් නමුත්, සෘජුව නැගී සිටිමින්, තුටු කඳුළු පිරි දෙනෙතින්, ඔහු එය ලබා ගත්තේ ය.

පතිරාජයන් යාපන සිනමා උළෙලින් සම්මානය ලබාගත් පසු

නුදුරු අනාගතයක ගොඩ නැගෙන්නට නියමිත කිසියම් අරගලයක පෙර නිමිති ඉවෙන් මෙන් හඳුනාගනිමින් නමුත් වඩාත් දැඩිව උතුරු අර්ධද්වීපයේ ජන ප්‍රජාව හා බැඳෙමින් පතිරාජයන් එහි විශ්වවිද්‍යාලය තුළත් ඉන් පිටතත් කටයුතු කළ බව අද ද ඉඳහිට මුණගැසෙන, ඔහුගේ සමකාලීන යාපනයේ විද්වත්හු ප්‍රකාශ කරති. යාපනයේ විදේශීය සිනමා සම්මාදම්වල සමාරම්භක මැදිහත්වීම්වල ද පතිරාජයන් වූ බව සාක්ෂි හමුවන්නේ අදූර් ගෝපාල්ක්‍රිෂ්නන්ගේ පළමු ශ්‍රී ලාංකික සිනමා දැක්ම සංවිධානය වන්නේ ඔහුගේ මූලිකත්වයෙන් යාපනයේ දී  බව අසන්නට ලැබෙන විට ය. ‘එයා දැන් ලොකු ළමයෙක්‘ මංගල දැක්ම පැවත්වෙන්නේ ද යාපනයේ ය. ‘පොන්මනි‘ නිමවමින් යාපන වැසියන්ගේ සමාජ ජීවිතය තමා විමසූ බව පතිරාජයන් අපට කියන්නේ ද යාපනයේ සිට ය. එවන් අතීතයක් ඇති පුරවරයක් යළි එළඹ, යාවජීව සම්මානයකින් ජීවිත ඉම් කෙළවරෙහිදී ඔහුට සංග්‍රහ කිරීමම සුවිශිෂ්ට ය. ඔහු කළ සම්මාදමට තුති පුද කළාක් වැනි ය.

විශිෂ්ට සිනමාකරුවෙකුගේ දායකත්වයක් වෙනුවෙන් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල ලබා දුන් දායකත්වය නිසා හෝ, වසර තුනක් මුළුල්ලේ සිනමා රසවතුන්, විද්‍යාර්ථීන් හා ප්‍රජාව වෙත දායක කළ අනර්ඝ සිනමා පට එකතුව නිසා හෝ නොලද අවධානයක් හා ජනප්‍රියත්වයක් යාපනය අන්තර්ජාතික සිනමා උළෙලට මෙවර හිමි විය. බොහෝ මාධ්‍ය ප්‍රවර්ග හා විශේෂයෙන් සමාජ මාධ්‍ය යාපනය පිළිබඳ සාකච්ඡාව යළි විවර කළේ එහි දකින්නට ලැබුණු විශිෂ්ට සිනමා කෘතියක් නිසා හෝ උළෙල සිදු කළ, ඉහත කාර්යයට සමාන ක්‍රියාකාරකමක් නිසා නොව උළෙලින් ඉවත් කෙරුණු සිනමා කෘතියක් හේතුවෙනි. එම ඛේදනීය ඉරණමට ගොදුරුව තිබුණේ ජූඩ් රත්නම් අධ්‍යක්ෂණය කළ ‘Demons in Paradise’ චිත්‍රපටයයි.

Demons in Paradise’ චිත්‍රපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලට තෝරාගැනීමෙන් අනතුරුව යළි ඉවත් කිරීම ප්‍රශ්න කළ යුත්තක් බවට කිසිදු විවාදයක් නැත. සියලු ආකාරයේ වාරණ ස්වරූප ප්‍රශ්න කරන්නට තරම් අප ශක්තිමත් වීම දියුණු සමාජයක් පිළිබඳ සිහින දකින්නන් ලෙස අප තුටු විය යුත්තකි. ඒ වාරණයට එරෙහිව යමින් ස්වකීය කෘතිය උළෙලෙන් ඉවත් කරගත් මාලක දේවප්‍රිය ගැනත්, සිය කෘතිය ඉවත් කරගන්නට නොහැකිවීම පිළිබඳ වේදනාව ලියා තබමින් සිය විරෝධය දැක්වූ චින්තන ධර්මදාස ගැනත්, සිය කෘතිය උළෙලට රැගෙන ගොස් එහි සංවාදය අතරතුර පෙර වාරණය ගැන අදහස් දැක්වූ කිං රත්නම් ගැනත් එකිනෙකට වෙනස් ස්වරූපයේ ඇගයීමක් මෙන්ම ගෞරවයක් ද මා තුළ ඇත. ඒ හා සමග, උළෙල සංවිධායකයින් ‘Demons in Paradise’ ඉවත් වූ ප්‍රදර්ශන කාලය වෙනත් කෘතියකින් නොපුරවමින්, එය ‘හිස් වූ‘ කාල සමයක් බවට පත් කිරීමට සංවිධායකයින් කටයුතු කිරීම, ඉරාන රජය සිරගත කළ සිනමාකරු ජෆාර් ෆනාහි වෙනුවෙන් කෑන්ස් සිනමා උළෙල හිස් ආසනයක් වෙන් කිරීම හා සමාන බව දක්වමින් අශෝක හඳගම තැබූ සටහන ද විමසිය යුත්තේ මේ සියල්ල ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම පිළිබඳ පුරවැසි විරෝධතා හා අරගලයන්හි විවිධ ස්වරූප ප්‍රතියමාන කරනා හෙයිනි.

එහෙත්, ‘Demons in Paradise’ ප්‍රදර්ශනය අත්හිටුවීමට විරෝධය පළ කරමින් ම, අප විමසා බැලිය යුතු කලාප ගණනාවක් එහි තව දුරටත් වන බව මාගේ අදහසයි. ඇත්තටම අප යාපනයට යා යුත්තේ, අපේ චිත්‍රපටය එහි ප්‍රදර්ශනය කොට හෝ වෙනත් කෘතීන් විමසා බලා, නගරයේ පැරණිතම ‘තෝසේ කඩයට‘ ගොඩ වැදී උළුදු වඩේ කා, තල් අරක්කු බී, යළි පසු දා කොළඹ එන්නට ද? නැතිනම්, යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සීමා කරන තාප්පයෙන් පැන තරමකින් හෝ වටපිට විමසන්නට ද?


සිනමාව හා කලාව ලැදි, ස්වකීය ජීවිතය යම් පෙරටුගාමී ප්‍රවේශයක තබා උදම් අනන, සැබවින්ම ක්‍රියාකාරීත්වය තුළ දී වුව එවැනි කටයුතු හා සම්මාදම් වන පුරවැසි ප්‍රජාවකට වසරකට වරක් යාපනයට පැමිණ, කලාව රසවිඳිමින්ම, එහි ජීවිතය විමසා බලන්නට අවස්ථාවක් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල උදා කර දෙන බව මගේ හැඟීමයි. යාපන නගර මධ්‍යයේ ඇති මැජෙස්ටික් සිනෙෆ්ලෙක්ස් සිනමා සංකීර්ණයේ වායුසමීකරණය කළ ශාලාවේ දී හෝ යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාසපති වායුසමීකරණය කළ ශ්‍රවණාගාරයේ දී හෝ රාමුකරන ලද අවකාශයක ඔබට ජීවිතය මුණගැසිය හැකි වුව, සිනෙෆ්ලෙක්ස් සංකීර්ණය ඉදිරිපිටින් වැටී ඇති රෝහල් මාවත ඔස්සේ වෙරළ දෙසට ඇවිද ගොස් හෝ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ඇති මාවතෙහි එක් ඉමක් තෝරාගෙන ඇවිද ගොස් හෝ රාමු නොකරන ලද ජීවිතය හමුවීමට ද ඔබට හැකි බව අමතක නොකළ යුත්තකි. තිරයේ ජීවිතය කුඩා ය; රාමුගත ය; විනාඩි සියයකින් හමාරකින් කෙළවර වන සුළු ය. නමුත්, එළියේ ජීවිතය අපරිමිත ය; විශාල ය; කාල සීමාවලින් සීමාව හඳුනාගත නොහැකි තරම් ය.

ගෙවුණු වසර තුනේ දීම උළෙලෙහි නිත්‍ය සාමාජිකයකු වූ මම මේ වටපිට ‘රස්තියාදු‘ හරහා මුණගැසෙන ජීවිතය විඳින්නට ආශා කළෙමි. එය මවෙත ගෙන ආවේ පැහැදිලි කළ නොහැකි වේදනාවකි. යුද්ධය නිම වී වසර ගණනකින් පසු වුව, ජීවිතය සොයා ඇවිදින බොහෝ පිරිස් තවමත් එහි වෙයි. කවදා සිය හිමිකරු ඒ දැයි මග බලන මෙන් සිය සිරුර මතින් නැගී ඇති විසල් රුක්ෂවලට කොඳුරන ගරා වැටුණු නිවාස එහි වෙයි.
සිනමා උළෙලක් සංවිධානය අසීමිත වෙහෙසක් බව උළෙල සංවිධායකයින් හා සමීපව කටයුතු කර ඇති මම හොඳින් දනිමි. උළෙල වාර්ෂිකව ගෙනෙන අනෝමා රාජකරුණා ප්‍රමුඛ පිරිසෙහි කැපවීමත්, ඔවුන් නැති තැන ඔවුන් වෙත සංග්‍රහ කරන පරුෂ වචනත්, ඇති තැන වන වැළඳ ගැනීමුත් මා ඇසින් දැක ඇත. කෙසේ වුවත් ඒ සංවිධානය යනු අපරිමිත කාර්යයකි. කෙළවර හමු වන්නේ මනා මහරු උළෙලකි. එය අපට ලොව වටා මානව දයාවෙන් පිරි සිනමාකරුවන් රැසකගේ කෘති වාර්ෂිකව මුණගස්වයි.

කෙසේ වුවත්, අගනුවරින් නික්ම අප යාපනයට යා යුත්තේ උළෙල තාප්පයෙන් ඔබ්බට පනින්නටත් තත්‍ය යාපන ජීවිතය දෙස සුළු හෝ බැල්මක් හෙළන්නටත් ඉඩ තබා ගනිමිනි. වාරණයට එරෙහි වෙමු. ඒ හා සමග අපට ඇති එකම ජාත්‍යන්තර සිනමා උළෙල රැක ගනිමු. වසරකට වරක් හෝ සිනමා අවකාශය වෙතටත්, ඉන් ඔබ්බටත්, අප මේ ‘ජීවිත සංචාරයේ‘ යෙදුණහොත් පතිරාජයන්ගේ තුටු කඳුළෙහි අරුත වැටහී යනු ඇත. කෛලාසපති මහාචාර්යවරයා දුටු ‘කීර්තිය‘ කවරේදැයි පෙනී යනු ඇත‍.


-ප්‍රියන්ත ෆොන්සේකා -  

Wednesday, October 10, 2018

බස් රථවලට භාර කෙරුණු පුරවැසි රස වින්දනය


(2018 ඔක්තෝබර් 07 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)



රුමේනියානු ජාතික ජියෝර්ගෙ සම්ෆීර් (Gheorghe Zamfir) අසහාය සුශිර වාදන ශිල්පියෙකි. විශේෂයෙන් පෑන් ෆ්ලූට් නමැති වාදන භාණ්ඩයෙන් ඔහු මවන සුමියුරු නාද රටා රස විඳින්නට දසදහස් ගණනින් රසික ජනතාව ඔහු හමු විය හැකි සංගීත සන්ධ්වනි සොයා එති. බුකාරෙස්ට් නගරයේ ක්ලූජ් එරීනාවේ පැවැත්වෙන එවන් සන්ධ්‍යාවක ඔහු වයන ‘තනිවුණු ගොපල්ලා‘ (The Lonely Shepherd) සංගීත ඛණ්ඩය ඉදිරියේ දැඩි ලෙස නිහඬ වන එරීනාවේ සංගීත රසිකයෝ තරයේ එකිනෙකා වැළඳ ගනිමින් ද, දෙනෙතින් ගලා යන කඳුළට ඉඩ හරිමින් ද සම්ෆීර් ගෙනෙන ගොපල්ලාගේ වේදනාව බෙදා ගනිති. ඒ සමගින් සම්ෆීර් පණ පොවන වාදන භාණ්ඩයේ අරුමය හා සම්ෆීර්ගේ දක්ෂතාව එක සමව විඳ ගනිති. මිනිත්තු පහක පමණ කාලයක් දිවෙන ඔහුගේ වැයුම ඇරඹෙන්නේත් කෙළවර වන්නේත් ඉතා දිගු අත්පොළසන් නදවලිනි.

 
අපගේ ශ්‍රවණේන්ද්‍රිය අප අවදියෙන් පසුවන සෑම මොහොතකම සිව්දෙසින් එන අනේක නාද රටා හා ශබ්ද, අපේ අනුමැතියකින් තොරව වුව, අප වෙත සන්නිවේදනය කර දෙයි. හර්ට්ස් 20 සිට 20,000 දක්වා වන පරාසයක වන ශබ්ද අපේ කණට හඳුනාගත හැකි බව අපි කුඩා පන්තිවලදීම විද්‍යාව පාඩමේදී ඉගෙන ගෙන වන පොත් කර ඇත්තෙමු. මුලින්ම ඇසත්, දෙවනුව කණත් බාහිර ලෝකය පිළිබඳ සියලුම සංවේදනාවන් අපගේ මනස වෙත ගෙන ගොස් තැන්පත් කර දෙන බව දැන දැනම වුව අප ඒ පිළිබඳව සවිඥාණිකව ඇත්දැයි යන පැනය නැගිය හැක්කේ ඉහත ක්ලූජ් එරීනාවේ රසික පෙළට ප්‍රතිමුඛව අප නිර්මාණය කර ඇති රසික සමූහය විමසන විට ය. අපගේ රසික පෙළ පැය විසිහතර පුරාම සක්‍රිය ලක්ෂ සංඛ්‍යාවකින් සමන්විත පිරිසකි. අපගේ ‘එරීනාව‘ බස් රථයයි!
 
පුද්ගලික හා ලංගම බස් රථවලින් සිය දෛනික ගමන් අවශ්‍යතා පිරිමසා ගන්නා ලක්ෂ සංඛ්‍යාත මගීන් පිරිසක්, දුම්රියෙන් හා වෙනත් පෞද්ගලික රථවාහනවලින් ගමන් ගන්නා මගී පිරිස්වලට කිසි ලෙසකින් ඉක්මවිය නොහැකි අගයක් හිමි කරගනිමින්, සිය අසුන්වල වාඩි වී හෝ බස් රථවල සිටගෙන තෙරපෙමින් හෝ මේ ලියන මොහොතේදීත් ගමනාගමනයේ යෙදෙති. රැකියා සහ පාසැල් ඇරඹෙන හා කෙළවර වෙන මොහොතවලදී ඉහළ අගයක් ගන්නේ වුව, මැදි රැයේ හෝ පාන්දරක වුව එය කිසි විට ශුන්‍ය වෙත ළඟා වන්නේ හෝ නැත. බොහෝ දිගු දුර බස් රථ සමස්ථ රැය පුරාම සිය ගමනාන්ත කරා ධාවනය වෙමින් බස් රථවල පැය විසි හතරේ සේවාව ස්ථිර කරමින් සේවයේ යෙදෙන හෙයිනි.
 
කුඩා රේඩියෝවක සිට කැසට් යන්ත්‍ර හරහා නැගී ආ බස් රථවල ශබ්ද සැපයුම් ආම්පන්න අද රූපයද එක් කොටගෙන විශාල ඩිජිටල් තිරවලින් සැරසී බස් රථවල ඉදිරිපස, පූජ්‍ය පක්ෂයට වෙන් කොට ඇති ආසනයට මඳක් ඉහළින්, විද්‍යාමනව සිටිති. බස් රථයක් පිටත්වන තෙක් නැවතුමක නවතා ඇති මොහොතේ සිට ගමනාන්තයේ දී අවසන් මගියා ද බැස යන තෙක් මෙම ආම්පන්න ශ්‍රව්‍ය හා දෘශ්‍ය දෙමාධ්‍යයෙන්ම සිය ‘ප්‍රේක්ෂාගාරයට‘ සංග්‍රහ කරනු ඇත. නීතිමය වශයෙන් බස් රථයක මගීන් වෙත අසන්නට සැලැස්විය හැක්කේ ප්‍රවෘත්ති පමණක් යැයි (ඒ ද සුනාමි ව්‍යසනයෙන් පසුව ලු) මට නීති විශාරදයකු විසින්ම කියනු ලැබ අැතත් බොහෝ විට අසන්නට නොලැබෙන්නේද ප්‍රවෘත්ති ය. තමන්ගේ ශ්‍රවණේන්ද්‍රිය හරහා තමන් වෙතත්, තමා සමගම ගමනෙහි යෙදෙන කුඩා දියණිය හා පුතු වෙතත් ශ්‍රවණය විය යුතු කවරක්දැයි යන තීන්දුව ගැනීම බස් රථයේ කොන්ස්තදොස්තරවරයාට හෝ රියදුරාට භාර දී අැති අරුමැති ප්‍රේක්ෂාගාරයක් සිය බස් රථ ‘එරීනාවේ’ අසුන් ගෙන අපූරුවට ගමන් බිමන් යති.
 
මෙම බස් මගීන් වෙත අසීමිතව අසන්නට සලස්වන ගීත කවරේ ද? ඩිජිටල් තිරය පැමිණි පසු මෙම බස් මගී ප්‍රේක්ෂාගාරය වෙත සම්මුඛව අැති නව්‍ය අාකෘතීන් කවරාකාර ද?
 
නූතන ජනප්‍රිය ගීතය තුළ මුණගැසෙන නිශ්චිත ගීත කුලකයක්, විශේෂෙයන් විරහව සහ ප්‍රේමය මුල් කරගත් ගීතවලින් සමන්විත ගීත සමුදායක්, මෙම බස් ගීත අැතුළත මුදා හැරෙති. ඉතාම සෘජු, කාව්‍යාත්මක යෙදුම්වලට වඩා තනි අදහසකින් යුක්ත වදන්වලින් සමන්විත, මෙම ගීතවල පදවැල් බහු අර්ථ දනවන සාහිත්‍යයික යෙදුම්වලින් අතිශයින් දුරස්ථ වදන් එකතුවලින් යුක්ත ය. නිශ්චිත ඒකාකෘතික සංගීත සංරචනා සියුම් මානව හැඟීම් හා ගණුදෙනු කෙරෙන ප්‍රේමයේ සංවේදනා තනි පැතලි කෝවක බහා ඉදිරිපත් කරන, විරහව සම්බන්ධ ගීතයක් ඉදිරියේ වුව හැකිනම් නටන්නට හැකි රිද්ම රටාවලින් යුක්ත ය. ඩිජිටල් තිර අාගමනය විසින් සිදුව ඇත්තේ මෙම ඒකාකෘතික පද යෙදුම් හා නාද එකතුව රූපමය වශෙයන් යළි ඉදිරිපත් කිරීම ය. දිවයිෙන් තැනින් තැන, එළිමහන් වේදිකාවල පැවැත්වුණු සංගීත රාත්‍රීන්හි රූප රචනා, අැතැම් විට ඉතා දුර්වල රූප ගැන්වීම්වලින් සමන්විත ඩිජිටල් රූප එකතූන් ලෙසමේවායේදී යළි දකින්නට ලැබෙයි. වෙනස්කමකට එකතු වී අැත්තේ, ප්‍රචණ්ඩත්වය ඉතා දැඩිව හමුවන, ඉන්දීය දමිළ සහ හින්දි චිත්‍රපට සහ ඩීවීඩී වෙළද පොළ ඉලක්ක කොටගෙන නිර්මාණය කෙරුණු ලාභ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයයි.
 
ගීත හෝ චිත්‍රපට වුව ප්‍රදර්ශනය කෙරෙන්නේ දැඩි ශබ්දයක් නැගෙන පරිදි ඉහළ දැමූ (බේස් හඬ වැඩි කළ) හඬ විකාශනයක් සමග ය. එය නියත වශයෙන්ම මගීන්ගේ ශ්‍රවණ ඉන්ද්‍රියට හානිවන තත්වයක පැවතියත් ඉතා කලාතුරකින් මිස හඬ අඩු කරන්නට ඉල්ලන මගියකු හෝ මුණගැසීම උගහට ය.
 
ජියෝර්ගෙ සම්ෆීර් වැන්නෙකු කෙසේ වුව, යම් සාධනීය රස වින්දනයක් ඇති ප්‍රේක්ෂාගාරයක් වෙත මගියා කැඳවා යා හැකි, සංගීතය පිළිබද වන පොදු ජන අදහසට, ජීවිත පරිඥාණය පුළුල් කෙරෙන සංවාදයට ක්ෂුද්‍ර හෝ යමක් එකතු කරන අවකාශයක් මෙම බස් රථ එරීනාවේ නැත. ඛේදයකට කරුණ නම් මෙය ක්ලූජ් එරීනාවේ අවකාශයේ දී මෙන් කෙළවර නොවී අනවරතව, පැය විසිහතර පුරා, දින තුන්සිය හැට පහ පුරාම ක්‍රියාත්මකව පැවතීමයි.
 

එය බිහිසුණු ය! අනාගත පරපුරෙන් ඉතා විශාල පිරිසක් ද සමග ලාංකීය පුරවැසි ප්‍රජාවෙන් අති බහුතරයක් බස් රථ ගීත හා චිත්‍රපට ‘රස විඳින්නේ’ මහත් අභිරුචියකින් වීම තියුණු ලෙස විමසා බැලිය යුතු කරුණක් බව වටහා ගන්නා තුරුම කලාව පිළිබද අපගේ සංවාදය පියවර ගණනාවක් පසුපසින්ම වනු අැත.





Tuesday, October 2, 2018

ජ්‍යොතිෂ්‍යයට දෙන අවකාශය සාහිත්‍යයට දෙන්න!


(2018 සැප්තැම්බර් 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

ජාතික රූපවාහිනියේ මෙතෙක් කල් විකාශනය කෙරුණු ‘යථා රූප‘ නමැති වැඩසටහන හිටි අඩියේම ජනපති නියමයෙන් නතර කෙරුණු බවත්, ඒ වෙනුවට ජ්‍යොතිෂ්‍යය පිළිබඳ වැඩසටහනකට අවකාශ හිමිවනු ඇති බවටත් පසුගියදා ආරංචියක් පැතිරිණ. පැතිර ගිය ආරංචි මාත්‍රව සිදුව ඇත්තේ දිගු කලක් ජ්‍යොතිෂ්‍යය සහ වෙනත් මිත්‍යාමතික වැඩසටහන් හා ක්‍රියාකාරකම්වලට එරෙහිව ‘සත්‍යය‘ හා ‘යථාව‘ සමාජගත කරන්නට කටයුතු කරමින් උන් ‘යථාරූප‘ වැඩසටහනට එරෙහිව ප්‍රමුඛ ජ්‍යොතිෂ්‍යවේදීන් සටන් මගට බැසීම ය. ඔවුන්ගේ සටන එතරම් සංකීර්ණ, දිගු වූවක් බවද පෙනෙන්නට නැත. ඔවුන් සිදුකර ඇත්තේ සිය ග්‍රහයින්ගේ බලයන් පිළිබඳ විශ්වාස පසෙක තබා රටේ විධායකය මුණගැසීම ය!

මේ සියල්ල අතරතුර, යළිත් සුපුරුදු වාර්ෂික සාහිත්‍ය මංගල්‍යය කරළියට පැමිණ ඇත. දිගු පෝලිම්, ගියවරටත් එහා ගිය පොත් එළිදැක්වීම්, කතාබහ, සාහිත්‍ය ඇගයීම් හා සම්මාන ඈ සියල්ල සමග දැන් බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙත පොදිකමින් සිටිති. මේ ලිපිය ඔබ කියවන මොහොත විට කෙළවර දකින්නට නියමිත මෙම ‘පොත් සැණකෙළිය‘යළිත් වසරකින් මුණගැසීමේ පොරොන්දුව පිට ඉවත්ව යනු ඇත. ඉන්පසු, යළිත් වෙළඳ සැණකෙළි, මල් ප්‍රදර්ශන, මනාලියන් ඇන්දවීම් ඈ වැඩසටහන්වලින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වැසී යනු ඇත.

වාර්ෂිකව මිලට ගෙන ගොඩගසා ගන්නා පොත් එකතූන්වලින්, ඒ මිලට ගන්නට එන පිරිස ඉලක්ක කර නිකුත් කරන විවිධ වර්ගයේ කවි, කෙටිකතා, නවකතා, පරිවර්තන ඇතුළු නන්විධ පොතපතින් පමණක් අපට වඩා සංවේදී හා ගැඹුරු චින්තාවන් සහිත පුරවැසි සමාජයක් බිහිකරගත හැකි වනු ඇත් ද? නේක වර්ගයේ පොතපතින් පිරුණු කුටි පීරමින්, දරන්නට බැරි බරවලින් පොත්පත් උස්සාගෙන පොත් ප්‍රදර්ශන බිමෙන් පිටව යන පුරවැසියන් දකින්නෙකුට සමාජය පිළිබඳ යම් ධනාත්මක චින්තාවක් පහළ විය හැකි වුවත්, හෙට දින එම බිමෙහිම ‘යථා රූප‘ පැරදවූ ජ්‍යොතිෂ්‍යය හා ඒ ආශ්‍රිත මිත්‍යාවන් කරතබාගත් තක්කඩි වෙළෙන්දන්, ‘ජීවන සතුට‘ මිල කරමින් විකුණන ප්‍රදර්ශනයක් ඇරඹුවහොත් මේ පිරිසෙන්ම වැඩි කණ්ඩායමක් එහිදීද හමුවීමේ අවකාශ ඔහුට හෝ ඇයට ලැබෙනු ඇත.

සැබවින්ම අපට අවශ්‍ය ‘ඇතුන් බරට පොතපත‘ ද? නැතහොත් සාහිත්‍යය සේවනය කරන්නට නිසි දැනුමකින් සන්නද්ධ පුරවැසි සමාජයක් ද?

වාර්ෂික පොත් ප්‍රදර්ශනයකින් පුරවැසියන්ට සංග්‍රහ කිරීමත්, සිය පොත් එකතූන් නව සාහිත්‍ය සමාගම්වලින් පුරවාලන්නට ඔවුන් වෙත ආරාධනා කිරීමත් පොත් ප්‍රකාශකයින්ගේ අතින් සිදුවන අනගි මෙහෙයකි. එහෙත් එහි නිසි ප්‍රතිඵල අප වෙත ලැබෙනු ඇත්තේ සේවනය සඳහා කැඳවාගන්නා පොතපත නිසි ලෙස කියවාගත හැකි පාඨකයෙකු කෘතිය අභියසට ගෙන ආ පසු ය. දුර්වල අධ්‍යාපන ක්‍රමයක් ඇති රටක, සාහිත්‍යයේ අගය පිළිබඳ මනා සන්නිදර්ශන ඉදිරිපත් කරන්නට තරම් පෝෂිත අවබෝධයකින් පිරි ගුරුවරුන් හිඟ රටක, මේ මහා පොත් කන්ද වාර්ෂික සංදර්ශනයකින් එහා ගිය කිසිවක් නොකරනු ඇත. යළි යළිත් අප ‘ධර්මිෂ්ඨ සමාජයක‘ සිට ‘යහපාලනයක්‘ දක්වා විශ්වාස තබමින් නිර්මාණය කරන ‘ජනතා‘ නායකයින් වෙතින් ‘යථා රූප‘ පළවා හැරෙන සමාජයක්ම පමණක් නිර්මාණය කරනු ඇත.

වඩා ‘රැඩිකල්‘ හා ‘නිර්මාණශීලී‘ කාන්තාවක් ලෙස පිළිගැනීමක උන් ඉනෝකා සංත්‍යාගනීටම පෙර කී ජනපති නියමය ක්‍රියාත්මක කරන්නට සිදුවීම උත්ප්‍රාසයක් ලෙස දැකිය හැකි වුවත්, රාජ්‍ය යාන්ත්‍රණය තුළ වන මාධ්‍ය ආයතනයක මුල් පුටුවකට කවරකු පැමිණිය ද ‘ගුවන් කරණම්‘ ගැසීමට ඒ කවරකුට වුව හැකියාවක් නැති බව පැහැදිලි සත්‍යයකි. එහෙත් පුරවැසි සමාජය වෙනුවෙන් මාධ්‍ය ඇමතිවරයාගේ සිට සත්‍යාගංනී දක්වාත්, අනෙක් පස ස්වාධීන රූපවාහිනියේ සිටින කැටිපෙආරච්චි සහ අතාවුදහෙට්ටි දක්වාත් ඉදිරිපත් කළ හැකි අභියෝගාත්මක ඉල්ලීමක් (ඔව්... පුද්ගලික නාලිකාවලටත් ඇතුළුව) මෙහිලා ඉදිරිපත් කරන්නට මා සතුටු ය.

ජ්‍යොතිෂ්‍යයට ලබා දෙන අවකාශය සාහිත්‍යයට ලබා දෙන්න!

සෑම දිනකම උදෑසන 7-8 වන විට නාලිකා අරක්ගන්නා ජ්‍යොතිෂ්‍ය මුදලාලිලාගේ කතන්දරවලට අභියෝග කරන්නට ‘යථාරූප‘ නිපදවන්නට එපා යැයි කියන ජනපති නියමය එහෙමම තිබුණා දෙන්! ඒ වෙනුවට, මේ උදෑසන අවකාශවල (ඔව්... වෙළඳ හේතු මත ඒ වැඩසටහන් ඉවත් කරන්නට බැරි නම්), සමාන හෝ නැතිනම් තරමක අඩු කාලසීමාවක හෝ ඉඩක් සාහිත්‍යයට ලබා දෙන්න! පුද්ගලික නාලිකා තරම්ම ජ්‍යොතිෂ්‍යය වැඩසටහන්වලින් සෙසු නාලිකා පිරී නැතත් ඊට එරෙහිව අභියෝගය භාර ගැනීමට ඒ නාලිකාවලට පුළුවන.
පොත් ප්‍රදර්ශනවලින් නිවසට ඔසවාගෙන යන කෘති සේවනය කරන්නටත්, එහි අනේකවිධ අවකාශ අතර සරන්නටත් මේ පුරවැසි සමාජය වෙත නිතිපතා සහාය වන සංවාද මණ්ඩපයක් තනන්නට අපට හැකි නම් එය කදිම ය. විශ්වයේ කෙළවරක, කොහේ හෝ තැනක ඇති ග්‍රහයකුගෙන්, අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් අප ජීවිත වෙත සිදුවන්නට නියමිත ගැහැටට වඩා දහසක් කටෝරයන් රටක ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතාවලින් එළඹෙනු ඇති බවටත්, අදූරදර්ශී පාලකස්ථානවල තීරණවලින් අභිමුඛ වනු ඇති බවටත් එවිට ඔවුන්ට වැටහෙන්නට පටන් ගනු ඇත. සන්තුෂ්ටිදායක ජීවිතය වනාහි අතෝරක් නැති ඉලක්ක පසුපස හඹා යමින් අනෙකා පරයා යන්නට යත්න දැරීම නොව නිවහල් චින්තනයකින් යුතුව ජීවිතය වටහාගැනීම හා විඳීම බව ඔවුන් සාකච්ඡා කරන්නට පටන් ගනු ඇත.

ලග්නයෙන් ලග්නයට පැන දවසේ ඉදිරිය ගැන බිය වද්දන සමූහයට ප්‍රතිමුඛව ජයතිලක කම්මැල්ලවීර, ලියනගේ අමරකීර්ති, සුනේත්‍රා රාජකරුණානායක, සුමිත්‍රා රාහුබද්ධ, නිශ්ශංක විජේමාන්න ආදී ප්‍රබන්ධකරුවන්, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, රුවන් බන්දුජීව, රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර, සුනිල් විජේසිරිවර්ධන ආදී කවීන්, ගාමිණී වියන්ගොඩ, චූලානන්ද සමරනායක, අනුල ද සිල්වා ආදී පරිවර්තකයින් කැඳවා බලන්න. සාහිත්‍යය පිළිබඳ විචාරකයින් හා වියතුන් කැඳවන්න. ඒ හා සමග සාහිත රසවතුන් වාඩි කොට බලන්න.

ඉසියුම්ව ලියැවුණු කවියක පදවැල් අතර දිනපතා සරන වැඩසටහනක්, නවකතාවක් හෝ කෙටිකතාවක් මවන නෙක හැඩැති ලෝකයන් හා ඒ චරිත අතර දිනපතා සරන වැඩසටහනක්, ඒ සියල්ල අභිමුව නැගෙන ජීවිතය හා මනුෂ්‍යත්වය පිළිබඳ සංවාදය නිතිපතා අප වෙත තබන වැඩසටහනක් පුරවැසි සමාජය වෙතට කුමක් කාන්දු කරනු ඇත්දැයි අප සිතුවිල්ලකින් හෝ විමසා ඇත් ද?

විද්‍යාවත්, දර්ශනයත් හා නැගී වැඩෙමින්, දියුණු චින්තනයකින් හෙබි විශ්ව මානව ප්‍රජාව හා සමාන්තරව ගමන් කරමින්, වඩාත් දියුණු හා පෙර දැක්මක් ඇති පුරවැසි සමාජයක් තනාගන්නට නම් සාහිත්‍යය හා කලාව නිරන්තරයෙන් සේවනය කරන සමාජයක් අප තනා ගත යුතුම ය. වෙළඳ අවශ්‍යතා හා රාජ්‍ය පාලකස්ථානයේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පුද්ගලික හා රාජ්‍ය නාලිකාවලින් මෙවැනි ඉල්ලීම් කිරීම ප්‍රතිඵල විරහිත වනු ඇතැයි ඔබ කියන්නට ඉඩ ඇතත් එක දිගටම සිදු කරන බලපෑමකින් සුළු හෝ පෙරගමනක් අපේක්ෂා කළ හැකි බව සිතීමෙහි ඇති වරදක් නැත. එනිසා අපි එක්ව කියමු!

ඔව්! ජ්‍යොතිෂ්‍යයට ලබා දෙන අවකාශය සාහිත්‍යයට ලබා දෙන්න!

-          ප්‍රියන්ත ෆොන්සේකා -


Tuesday, September 25, 2018

කලාවේ ඉතිහාසය වෙත ඇවිද යාම සහ මොනාලිසා


(2018 සැප්තැම්බර් 23
වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය ලොව වැඩිම ජන ආකර්ශනයක් ඇති (2017 දී මිලියන 8.1ක්) අංක එකේ කලා කෞතුකාගාරයයි. ප්‍රාග් ඉතිහාසයේ පටන් නූතනය දක්වා විහිදෙන, කලා කෘති 38,000කට ආසන්න ප්‍රමාණයක් වර්ග මීටර 73,000ක් පුරා විහිදෙන කෞතුකාගාර බිමෙහි ඇවිද යන්නෙකුට මුණ ගැසෙනු ඇත. සෙන් නදියට දකුණින්, පිලිප් ඔගස්ටස් රජ සමයෙන් ඇරඹ, ප්‍රංශ ඉතිහාසයේ ප්‍රමුඛ රාජ්‍ය නාමයක් වන දහහතරවැනි ලුවී රජුගේ ද රාජකීය මාළිගයක්ව පැවත ඇති, වසර සිය ගණනක ඉතිහාසයක් හිමි, ගෘහ නිර්මාණ ශිල්පයෙහි අනගි නිමැවුමක් ද වන, විසල් ගොඩනැගිල්ලක් තුළ ඇවිද යමින් කලා ඉතිහාසය විමසීම සැබවින්ම සිත්ගන්නා සුළු කටයුත්තකි.

කෙසේ වෙතත්, මෙම කෞතුකාගාරයේ බොහෝ කලාපවල, එකිනෙකට කිසිදු සබඳතාවක් නැති කලා නිර්මාණ විමසමින් යන ඕනෑම කලා රසිකයෙකුට, යළි යළිත් මුණ ගැසෙන එක්තරා මග සළකුණක් වෙයි. ඒ නම්, මොනාලිසා නරඹන්නට නම් ඔබ මේ මගින් යා යුතු ය යන සඳහනයි. වීනස් ප්‍රතිමාව වෙත මග පෙන්වන්නට ද මග සළකුණු මුණ ගැසෙතත්, ඒ මොනාලිසා වෙත වන මග සළකුණු පරදවන තරමින් නොවේ.

කලා කෘති 38,000ක් පරදවන මොනාලිසා වෙත වන මෙම අරුමැති ආකර්ෂණය කුමක් ද?

2017 වර්ෂය වන විට මොනාලිසා චිත්‍රයෙහි මූල්‍ය වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 800ක් පමණ වෙතැයි ගණනය කොට ඇත. ඉතාලි පුනරුද සමයෙහි ප්‍රකට සිත්තරෙකු වන ලියනාඩෝ ඩා වින්සි අතින් සිතුවමට නැගී ඇති මෙම සිතුවම ප්‍රමාණයෙන් අඟල් 30ක දිගකින් සහ අඟල් 21ක පළලින් යුක්ත, සෙසු සිතුවම් බහුතරයකට සාපේක්ෂව කුඩා සිතුවමකි. මොනාලිසා වෙත වන ආකර්ෂණයට, එක්තරා අයුරකින් මෙහි වටිනාකම ද හේතුවක් වනු ඇති අතර, ඒ හා සමග, ලෝක කලා ඉතිහාසය තුළ හමුවන අති විශිෂ්ට කලා කෘතියක් ලෙස එය වර නැගී තිබීම ද හේතුවනු ඇත. මොනාලිසා සිතුවමෙහි හමුවන ලීසා දෙ ලියොකොන්ඩෝ නමැති ගැහැණියගේ මන්දස්මිතය, ඇයගේ අත් තබා ඇති අයුරු වැනි ආලේඛ්‍ය සිතුවමක හමුවන අංග ඩා වින්සි සිතුවම් කර ඇති ආකාරයත්, ලීසාගේ පසුබිමෙන් දිස් වන, ක්‍රමිකව දෘශ්‍ය ගැඹුර සමගින් වියැකී යන අයුරින් වන භූ දර්ශනය ඩා වින්සිගේ තෙලිතුඩින් මැවී ඇති ආකාරයත් කලා ඉතිහාස හා කලා ඇගයුම් කෘති අතිවිශාල ගණනක පිටු දහස් ගණනින් පුරවමින් මේ ආකර්ෂණය පසුපස වන අර්ඝණ කාර්යය සපුරා දී ඇත.

මොනාලිසා මුණ ගැසෙන, ඇයටම වෙන්ව ඇතැයි සඳහන් කාමරයේ වුව තවත් සිතුවම් 40-50ක පමණ ප්‍රමාණයක් ඇතත්, මොනාලිසා නරඹන්නට තෙරපෙන සිය ගණනක රසික සමූහයකගේ ඇස්වලට ඒ බොහෝ සිතුවම් මුණගැසෙන්නේ අඩු වශයෙනි. සිතුවමට අඩි කිහිපයක් ඉදිරියෙන් ඇද ඇති ආරක්ෂක කඹයත්, පසෙකින් වාඩි වී බලා සිටින ආරක්ෂකයාත් සිය රාමුවෙන් කපා හැර ගනිමින්, කෙසේ හෝ මොනාලිසා පසුපසින් තබාගෙන ‘සෙල්ෆියක්‘ ගසා ගන්නට පොර කන, ලොව නන් දෙසින් ආ ‘කලා රසිකයින්‘ මොනාලිසාගේ කාමරයේ දී ඔබට මුණගැසෙනු ඇත.

සැබවින්ම කලාගාරයක ඇවිද යාම යනු, තවත් කවරෙකු හෝ විසින් වරනගා ඇති, ඉතිහාසය විසින් ගොඩ නගා ඇති, මුදලින් මහා අගයක් ඇති, කෘතියක් සොයා යාමක් ද? මොනාලිසා පිළිබඳ ලූවර් කෞතුකාගාරයේ ‘ජනප්‍රියවාදී‘ වෙළඳ වටිනාකම හමුවේ අප නැගිය යුතු පැනය යැයි මම විශ්වාස කරමි. එක් කෘතියක් හමුවේ නංවන ලද ප්‍රභාවකින් අපගේ ඇස් නිලංකාර වීමට පෙර අප සමස්ථ කලාගාරය විමසිය යුතු ය.

මොනාලිසා මතු නොව සමස්ථ කලා ඉතිහාසයත්, කලා නොවන සෙසු ඉතිහාසයත් ඇතුළු බොහෝ කලාප හමුවේ මෙම සත්‍යය අප යළියළිත් සිහි කැඳවාගත යුතු ය. එය මෙරට ඉතිහාසය සම්බන්ධ විමසුමේදී මහා වංශයික පුරාවත පෙරමුණෙහි තබා මහානාම හිමියන්ගේ ලේඛණය හිස් මුදුනින් පිළිගැනීමට නොදෙවනි ය. සමාධි පිළිමය හෝ අවුකන ප්‍රතිමාව පෙරමුණට ගෙන, නැතිනම් සීගිරි සිතුවම පෙරමුණට ගෙන සෙසු නිර්මාණ මග හැර ඇවිද යාමට ද නොදෙවනි ය.

කලාව මූලිකව (හෝ නොමැතිව) අප වෙත නිරතුරුව මහා ආඛ්‍යානය වෙතින් පිරිනමන ඉතිහාසය සැබෑ කලාව පිළිබඳවත්, මානව ශිෂ්ටාචාරයේ බහුවිධ කලාප පිළිබඳවත් වන මග හැර යා නොයුතු තත්‍ය පුවත් බොහොමයක් අහිමි කරවන කලාපයකි. කලාව හමුවේ එය, එකිනෙකාට වෙනස්, අරුමැති ප්‍රවේශ මාර්ග දහස් ගණනකින් අප වෙත ඇමතූ, ඩා වින්සි හෝ මයිකල් ආන්ජලෝ සමග සමපාතව තබා විමසිය යුතු, තවත් බොහෝ නිර්මාණකරුවන්ගේ ඉතිහාසය හා ප්‍රකාශනයන් අපට අහිමි කරවනු ඇත. මානව ශිෂ්ටාචාරය වඩාත් පොහොසත්ව වටහා ගන්නට ඇති මාවත් අසුරා දමනු ඇත. සියල්ලටම වඩා, ඒකමානීය සිතීමක අප සියල්ලන්ම සිරකොට තබනු ඇත.

ඩා වින්සි සමග මොනාලිසා මෙන්ම කෘතිය හා සමග ගෙන විමසිය යුතු තවත් අති විශාල චිත්‍ර හා මූර්ති ශිල්පීහු සමූහයක් ලූවර් කෞතුකාගාර පරිශ්‍රය තුළ වෙති. ලූවර් පරිශ්‍රය තුළ දී ඒ මග හැරීම විශ්ව කලා ඉතිහාසය පිළිබඳ තත්‍ය සිතුවම මග හැරීමකි. එලෙසින්ම මානව ශිෂ්ටාචාරය සබැඳි නිවැරදි පුරාවතෙහි අනිවාර්ය අතුරු මාවත් සියල්ල මග හැර යාමකි. සමාන ලෙස මෙරට කලා ඉතිහාසය වර නැගීම තුළ මුණ ගැසෙන ‘මොනාලිසා’ ආකාර කෘතීන් වෙත සීමාව ඉක්මවා ආසක්ත වීම හා වැළඳ ගැනීම ද අප වෙත සම්මුඛ කර දෙනුයේ එවැනි ‘අතහැරුණු කලාප’ සහිත කලා (හා මානව) ඉතිහාසයකි.


මොනාලිසා කියවීම හා වටහා ගැනීම යනු, අනෙක් අතට, ඒ අභියස වන කඹය සහ මුරකරු සමගත්, සෙල්ෆි ගසන්නට පෙළ ගැසී සිටින ‘රසිකයා’ සමගත් ඒක්ව ගෙන කියවා ගැනීමයි. ඒ සමග ඒ කුඩා කාමරය තුළ වන වියැකී පසෙක සැඟව යන සිතුවම් පෙළත් අප කියැවීම වෙත කැඳවීම අත්‍යාවශ්‍ය කටයුත්තකි.

Wednesday, September 19, 2018

‘ඉලක්කය’ ඉහළට නම්...



(2018 සැප්තැම්බර් 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)



ගෝල්චිත්‍රපටය සිය සිනමා තිර අවකාශ සරණයේ අවසන් අදියර පසු කරමින් සිටී. තව දින කිහිපයකින් එය සිනමා ශාලාවලින් ඉවත්ව යනු ඇත. රොහාන් පෙරේරා අප වෙත ආසන්න කාල සමයන්හිදී තිළිණ කළ චිත්‍රපට පෙළෙහි තුන්වැන්නද, ‘කුඩා දරුවන් ඇසුරින් සිදු කළ අනගි නිමැවුමක්යයන සටහන යළිත් සිනමාව සම්බන්ධ සටහන්වල ලියා තැබෙනු ඇත. මේ වන විටත් හමුවන බොහෝ විචාර සටහන් සහ සමාජ මාධ්‍ය ජාල සටහන් ඒ බවට දෙස් දී හමාර ය.

ප්‍රේක්ෂක ආකර්ෂණය මනාව දිනා ගනිමින්, ඉතා බුහුටිව සිය උපකරණ සහ නළු නිළි පිරිස් මෙහෙයවා,  සිත් ඇදගන්නා සුළු ආඛ්‍යානයක් තිරය මත මැවීම අතින් රොහාන් පෙරේරා තරම් සුහුරු සිනමාකරුවකු මෑතකාලීනව ජනප්‍රිය සිනමා ධාරාව වෙත නොආ තරම් ය. තිසර ඉඹුලාන නිනෝ ලයිව්  සමගින් සමාන බුහුටි නිර්මාණයක් ගෙන ආ නමුත් ඔහුගේ ඉදිරි පියවර මෙරට සිනමාවේ දරිද්‍රතා හමුවේ ඇන හිට ඇත. තවත් තරුණ සිනමාකරුවන්ද ඉඹුලානට පසුපසින්, ජනප්‍රිය සිනමාව වෙත ප්‍රවේශ සිහින දකිමින් සිටින බව නොඅනුමානය.



මගේ අද පිවිසුම ගෝල්සිනමාපටය පිළිබඳ විවරණයකට නොවේ. ගෝල්වැනි, සිනමා රූප වියමන් ජනප්‍රිය ආඛ්‍යානයන් වෙත මෙහෙයවන්නට පෙරමුණ ගන්නා තරුණ සිනමාකරුවන් දෘෂ්ටිවාදීව වඩා පොහොසත් සිනමා වියමන් වෙත සිය ආම්පන්න මෙහෙය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකට මුල් පියවරක් තැබීමට ය. සිය නිර්මාණය සමග ශාලාව තුළ සිට ඒකාත්මික වන ප්‍රේක්ෂකයා යම් පියවරකින් හෝ ඔසවා තැබිය හැකි, අක්‍රිය, සියල්ල එලෙසම පිළිගන්නා ප්‍රේක්ෂකයකු නොකරන, ගණුදෙනු කළ හැකි කෘතියක් නිර්මාණය කරන්නට අවැසි අඩුමකුඩුම ගැන විමසා බලන්නට ය.

ගෝල්චිත්‍රපටය ශාලාව තුළ මුණගැසුණු විගස මගේ මතකය තුළට ආවේ මින් වසර කිහිපයකට පෙර ගුවන් ගමනක් අතරතුර මට මුණගැසුණු දකුණු කොරියානු/ ජපාන හවුල් නිෂ්පාදනයක් වූ සිනමා කෘතියකි.  සත්‍ය පුවතක් පසුබිම් කරගත් එහි නම ඉංග්‍රීසි බසින් සටහන්ව තිබුනේ A Barefoot Dream යනුවෙනි.




ගෝල්මට අ බෙය ෆූට් ඩ්‍රීම්ස්සිහි ගැන්වුයේ ඇයි? මූලික වශයෙන් මෙහි කතා පුවත් දෙකම එක හා සමානය. කිසිම දිනක පාපන්දු පිටියකට පය නොතැබූ කුඩා දරුවන් පිරිසක් මෙහෙයවන දක්ෂ ගුරුවරයෙක් සිය ඉලක්කය සපුරා ගනිමින්, දරුවන්ගේ සිහිනයද දිනා දෙමින්, පාපන්දු ලොව තුළ ජයකෙහෙළි නංවයි. කෘති දෙකේම දරුවන් පාපන්දුවට කෝඩුකාරයින්ය; දරුවන්ගේ දෙමාපියන් දුප්පතුන්ය; දරුවන්ගේ වටපිටාව මේ සඳහා උදව් නොදෙන තරම්ය. එහෙත් කෘති කෙළවර ආපසු හැරී බලන්නෙකුට, එක් එක් කෘති වෙන් වෙන්ව මුනගස්වන සාකච්ඡාවන් කුමන ආකාරයක් ගනීද? ගෝල්අප වෙත තබන ලද දේ සහ සංවේදනාවන් කෘතිය දුටු සියල්ලන්ට අඩුවැඩි වශයෙන් මතක ඇති බව සිතන හෙයින්ම මඍජුවම කොරියානු/ජපාන කෘතිය වෙත ඔබ කැඳවා යමි.

කිම් වොන් කාන් සිය බලාපොරොත්තු සපල කරගන්නට නොහැකිවූ, විශ්‍රාමික දකුණු කොරියානු පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු සියල්ල අතහැර නව සියවස සමගින් බිහිවුණු දේශය වූ නැගෙනහිර ටිමෝරය වෙත පිටත්ව යන්නේ එහි නව ව්‍යාපාරයක් අරඹමින් ආර්ථිකව හෝ ශක්තිමත් වන්නට ය. ටිමෝරයේ දිවි අරඹා ටික දිනකින් වීදි දරුවන් පිරිසක් නිරුවත් දෙපයින් පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටිනු දකින කිම් පාපන්දු පාවහන් සහ ජර්සි සාප්පුවක් විවෘත කරන්නට තීරණය කරයි. එහෙත් යළිත් ඔහු පරාජය වන්නේ පාවහන් මිලට ගන්නට තරම් වත්කමක් ඇති දරුවන් එහි හමු නොවන බැවිනි. එක්වරම නැගී ආ මහරු සිතුවිල්ලකින් පසු කිම් වීදි දරුවන්ට පාපන්දු උගන්වන්නට තීරණය කරයි. අදහස ඔහු නිවැරදි මාවතකට කැඳවා ඇති බව හැඟෙත්ම සිහිනය විසල් වෙයි. එනම් ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර යොවුන් පාපන්දු තරඟාවලිය ජය ලබන්නට ය.

සිහිනයක් යථාවක් බවට පත් කරගන්නට වෙර දරන තරුණ පාපන්දු ගුරුවරයෙක් සහ වීදි දරු පිරිසක් අතර නැගී එන සියුම් මානව ගණුදෙනුවලින් පිරි චිත්‍රපටය එහි ධාවන කාලය මුළුල්ලේ පාපන්දු පිටියට ඔබ්බෙන් වන, රූප රාමුවෙන්ද පිටතින් වන ලෝකය අප අභිමුව මවයි. ඒ එහි යටිපෙළ අරුත් මනාව හා පිරිසියුම්ව වියමන් කරමිනි. දරිද්‍රතාව සමග එන නැගෙනහිර ටිමෝරයේ ඛේදනීය සමාජ පසුබිම සැඟව ඇත්තේ දරුවන් ඩොලරයෙන් ඩොලරය එකතු කරමින් මිලට ගන්නට වෙර දරන පාපන්දු පාවහන් පසුපස ය. සමාජ විෂමතාව සැඟව ඇත්තේ පාපන්දු කණ්ඩායමේ සාමාජික වීදි දරුවකු වෙනුවෙන් සියල්ල කැප කරන්නට බලා සිටින ඔහුගේ කුඩා නැගණිය පසුපස ය.

ගෝල්ආකර්ශනීය සිතුවමක් වුවත් මේ සත්තාවන් හා කරන ගණුදෙනුව දුර්වල ය.  ගුරුවරයාගේ වයස්ගත බව ඔහුගේ දක්ෂකම්වලින් හා අතීත වෘත්තයෙන් වැසී යනු ඇතත් හිටි අඩියේ පහල වන මිළ අධික පාවහන් සහ ජර්සි බිඳ දමන්නේ විශ්වසනීය බව පමණක් නොවේ. වඩා සරු සහ මහරු ලෙස කැටයම් කරන්නට ඉඩ තිබුණු, රූප වියමනෙහි සංකේතීයව සඟවා තිබුණු අවස්ථාවන් ය.

සිනමා නිර්මාණකරණය හමුවේ අප දේශීය කෘති වෙත සාපේක්ෂ වෙමින් සිදු කරන අපට කළ හැකි සහ නොකළ හැකිදේ පිළිබඳ සීමා තාක්ෂණික මෙවලම් සහ වෙන් කෙරෙන නිෂ්පාදන වියදම් හමුවේ පමණක් විමසා බැලිය යුත්තකි. ආඛ්‍යානය ගොඩ නැගීම තුළ ජය ගත හැකි, ගැඹුරු සමාජ දේශපාලනික සාකච්ඡාව මග හැරයාම සිනමාව අපේ ඉලක්කයෙන්නැතිනම් ගෝලයෙන්පිටතට විතැන් කිරීමකි. ඉලක්කයඉහළට නම් වඩා හරවත් රූපමය වියමන් හමුවිය යුත්තේ කලාගාර සිනමාව තුළ පමණකිය යන අදහසින් අප ඉවතට පැමිණිය යුතුය. මෑතකාලීන දකුණු කොරියානු සිනමාව යළි නැගී සිටියේ එහි ඔවුන් තැනූ සියලු සිනමා ශානරයන්ට අයත් සිනමාපට තුළම වඩා පොහොනි රූප වියමන් හා ආඛ්‍යානයන් ගොඩනංවමිනි.

අ බෙයා ෆුට් ඩ්‍රීම්ස්මා දුටු ගුවන් ගමන, විදේශයකදී මවෙත ලැබෙන පියාගේ මරණය පිලිබඳ පුවතින් පසු මා යළි මව්රටට ආ ගුවන් ගමනයි. සලිතව, වේදනාබරිතව මෙරටට ගුවන් යානය ලංවන තුරු වන කාලය ගෙවාගන්නට උදව් දුන්නේ කිම් සහ දරු පිරිසයි. ජයගත නොහැකි ඉලක්ක දිනාගන්නා ඔහු වෙතින් මම මපියානන් යළි දිටිමි. ඒ කෘතියේ සුහුරු වියමන් හරහා එහි යටි පෙළ මා මනස් අභ්‍යන්තරය වෙත කිඳා බසිද්දී ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

සේයාරුව: https://i.ytimg.com/vi/LS18-cqHCZo/maxresdefault.jpg

Friday, September 14, 2018

වාරණය යළි කැඳවූ පසු: අප දැන් කොයි දෙසට හැරෙමු ද?


- මෙම ලිපිය සැප්තැම්බර් දෙවැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළ විය. ලිපියේ වරහන් තුළ වන මුල් ඡේදය පුවත්පත් අතිරේකයේ සංස්කාරකවරයා වෙතින් සංස්කරණයේ දී ඉවත් වී තිබිණ‍. - 

(සිනමාව, වේදිකාව සහ සාහිතකලාදිය ගැන සතිපතා ලියැවෙන ලිපි පෙළකට ‘අනිද්දා‘ වෙතින් මා වෙත ආරාධනා ලැබෙන්නේ සතියකට පමණ පෙර දිනක ය. දවසකින් දෙකකින් ලියන පළමු ලිපිය ගිය සතියේ පුවත්පතෙහි පළ කරමින් මේ කතාබහ අරඹන්නට මට ඉඩ තිබිණ. එහෙත් ගෙවෙමින් තිබුණේ තිගස්වන සුළු මොහොතකි. ඒ ආසන්න දිනක් හෝ දෙකක් ඇතුළත, වේදිකා නාට්‍යයක්, ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් සහ නව කථාවක් වාරණයකට ලක්ව තිබූ අතර ඒ පිළිබඳ විවිධ මතාන්තර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළත්, වෙසෙසින් සමාජ මාධ්‍ය තුළත් නැගීවිත් තිබිණ. ආරම්භක ලිපිය ගැන සිතත්ම එක්තරා භීතියක් සිත තුළ නැගී ඇති බැව් දැනුණු හෙයින් මම සතියක් සිතන්නට කල් ගනිමින් මේ සතිය වන විට පුවත්පත් කාර්යාලය වෙත ලිපිය ලබා දෙන්නට පොරොන්දු වුණෙමි. දැන් ඔබ මේ කියවන්නට පටන් ගන්නේ සතියක් කල් පසුකොට මා ලියන ආරම්භයයි.)

ගෙවුණු සතියක පමණ කාලය පුරාම මාලක දේවප්‍රියගේ ‘නිහොන් සැප ලැබේවා‘ ගුවන් විදුලි නාට්‍ය මාලාවේ නාට්‍ය කිහිපයක් වෙතත්, අසංක සායක්කාරගේ ‘මම කෙළින් මිනිහෙක්‘ වේදිකා නාට්‍යය වෙතත්, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව‘ නව කථාව වෙතත් යොමු වූ වාරණයන් ගැන පක්ෂ හා විපක්ෂ මත, ‘සංස්කෘතික‘ අමාත්‍යවරයාගෙන්, ‘රැඟුම්පාලක‘ මණ්ඩලයේ සභාපතිවරයාගෙන්, පූජ්‍ය පක්ෂයෙන්, කලාකරුවන්ගෙන්, අදාල කෘතිවල නිර්මාණකරුවන්ගෙන්, විද්වතුන්ගෙන් මෙන්ම (විශේෂයෙන් සමාජ මාධ්‍යජාල හරහා) සිවිල් සමාජ පුරවැසියන්ගෙන් අප අසා දැනගත් නිසාත්, ඒ පිළිබඳ අනේක වාද විවාද විවිධ අවකාශවල සිදු වූ නිසාත් යළි ඒ ගැන මගේ අදහස ඉදිරිපත් කරමින් සංවාදයේ මැදට පැනීම මෙහිලා මම අපේක්ෂා නොකරන බැව් මුලින්ම කිවමනා ය. මම නගන්නට බලාපොරොත්තු වන්නේ අප දැන් කොයි දෙසට හැරෙමු ද යන ප්‍රශ්නයයි. විශේෂයෙන් මෙම වාරණයන්ට තුඩු දී ඇති බැව් පෙනෙන කෘතිවල නාමයන් මුල් කරගත් හේතු ප්‍රත්‍ය දෙසත්, ඒ පිළිබඳ වන දේශපාලන හා ආගමික කණ්ඩායම්වල විරෝධයන් හා ඒ විරෝධයන්ට පක්ෂව නැගෙන සිවිල් පුරවැසි හඬවල තානයන් දෙසත් විමසා බලමින් ඉදිරිය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ වන ප්‍රශ්නයයි.

මෙම වාරණයන් සියල්ලේ ඇති එකමිතික බව නම් ඒ සියල්ලම පාහේ මූලිකව ‘කෘති නාමයන්‘ පදනම්ව නැගී තිබීමයි. මූලික වශයෙන්ම බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මයට ඒ නාමයන් විසින් ඇති කරනු ලැබ ඇතැයි ඔවුන් විශ්වාස කරන ගර්හාත්මක හෝ සෝපාහාසාත්මක බව වාරණයක් ගෙන එන්නට තරම් තියුණු විරෝධයක් බවට පත්ව ඇත. අදාල කෘතීන්හි අන්තර්ගතය ගැන වැඩිමනත් දේශපාලකයින්ට හෝ පූජ්‍ය පක්ෂයට අදාලව නොමැති බැව් ඔවුන්ගේ ප්‍රකාශ විමසූ විගසම පෙනේ. අගෝස්තු 23 වැනිදා මංගල සමරවීර අමාත්‍යවරයා විසින් වාරණයට ලක් වන ගුවන් විදුලි නාට්‍යවල අන්තර්ගතය ගැන පාර්ලිමේන්තුවේ සඳහන් කරමින් ඒවායෙන් බුදුදහමට අපහාස නොවන බව ප්‍රකාශ කිරීම ප්‍රවෘත්තියක් වන්නේ එබැවිනි.

‘යම් වාරණයක් අවශ්‍ය නම් පාඨකයින්ට, ප්‍රේක්ෂකයින් ඒ සඳහා ඉඩකඩ ලබා දෙන්න... ඔවුන් බුද්ධිමත්!‘

වාරණයන්ට එරෙහිව අදහස් දක්වන කලාකරුවන් හා ක්‍රියාධරයින් පිරිසක් සමග ආ තුමිඳු දොඩන්තැන්න මෙසේ කියනු මට අසන්නට ලැබුණේ සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වූ වීඩියෝ පටයකිනි. නමුත් ‘කූඹියෝ‘ ටෙලි නාට්‍යයේ ජෙහාන් ලෙස කළ රංගනය පදනම් ව ජනප්‍රිය නළු භූමිකාව තෙක්ම ඔසවා තැබුණු සිය සිත්ගත් නළුවා ප්‍රේක්ෂකයින් බුද්ධිමතුන් බැව් ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීම ඔහුගේ ප්‍රේක්ෂාගාරයේ සැළකිය යුතු ප්‍රතිශතයකගේ සිත්ගෙන තිබුණේ නැත. ඔවුන් සමාජ ජාල මැදට පැන ‘අමු තිත්ත කතාවෙන්‘ තුමිඳු දොඩන්තැන්න අමතමින් ඔහු වැරදි බැව් පෙන්වා දෙන්නට කටයුතු කරනු දක්නට ලැබිණ.

අන්තර්ගතය නොවිමසන දේශපාලන හා පූජක කණ්ඩායමකුත්, ඒ හා එකඟ වන, තමන් බුද්ධිමත් නැති බව තමන්ම පිළිගන්නා ප්‍රේක්ෂක- පාඨක ප්‍රජා කණ්ඩායමකුත් සමග කෘති නාමයන් පදනම්ව නැගෙන වාරණ මාලාවක් පිළිබඳ අනවරත අරගලයකින් අපට අත් වන ජය කුමක් ද?

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව වන අනවරත අරගලය වඩාත් දියුණු මානව සමාජයක් බිහිකර ගැනීම පිළිබඳව වන අපගේ අනාගත අපේක්ෂාව සාධනය කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය වූවකි. වර්ගීකරණය යන්න වාරණය ඉවත් කරමින් කැඳවාගත යුතු ක්‍රියාදාමය බවත් වඩාත් සංවිධිත ක්‍රියා පටිපාටියක් මේ හමුවේ ගොඩ නැංවිය යුතු බවත් අප සාකච්ඡා කළ යුතු ම ය. එයට එකඟත්වය පළ කරමින්ම, මෙම ‘නාම මූලික‘ වාරණය පිළිබඳ සංවාදයෙන් ඔබ්බට ගොස් අප විසින් විමසනු ලැබිය යුතු කරුණු නොවන්නේ ද යන්න මා නගන්නට කැමති ප්‍රශ්නයකි. හැඟෙමින් තිබෙන පරිදි ආගමික අන්තවාදී ලක්ෂණ පල කරන හා ඒ වෙනුවෙන් කටයුතු කරන දේශපාලන- පූජ්‍ය පක්ෂ එකමුතුව හා ඒ වෙත අත් ඔසවන පුරවැසි එකමුතුව අභියස අප ‘කෘති නාම‘ පෙරටු කොටගනිමින් ගොස් තාප්පයේ හැපෙමින් හඬ නගනවා ද නොඑසේනම් වඩාත් සූක්ෂම කලා ප්‍රකාශන භාවිතාවන් සමග යමින් අන්තර්ගතය සමාජය වෙත මුණගස්වා සංවාදය අරඹනවා ද යන්න අප විසින් කිරා මැන බැලිය යුතු ය.

1979 දී ඉරානය මුහුණ දෙන ආගමික විප්ලවයෙන් පසු දියුණු තියුණුව නැගුණු වාරණ හා තහනම් නියෝග අප වෙත මුණගස්වා ඇත්තේ පරාජිත කලා අවකාශයක් නම් නොවේ. වඩා ප්‍රබල සිනමා ධාරාවක්ව නැගුණු ඉරාන නව සිනමා රැල්ල හොලිවුඩ් මහා ධාරාවට වුව අභියෝග කළ හැකි සිනමා ප්‍රකාශන ධාරාවක් වූ බව ප්‍රකට කරුණකි. ප්‍රංශ නව රැල්ල, ඉතාලි නව යථාර්ථවාදී සිනමාව ගුරු තන්හි තබමින් අබ්බාස් කියොරස්තාමි සහ මොහ්සෙන් මක්මල්බාෆ් ප්‍රමුඛ සිනමා නිර්මාණ කුලකය ගෙන ආ කෘති පෙළ ඉරානය මතු නොව සමස්ථ ලෝකය හමුවේ ම ගැඹුරු සංවාදයන් නිපදවන්නට පසුබිම් තැනී ය. නිර්මාණ වාරණයට ලක්වද්දීත්, ඇතැම් සිනමාකරුවන්ට සිරබත් කන්නට සිදු වද්දීත් සිය ප්‍රකාශනයන් කෙළවර කරන්නට ඔවුන් සිතා බැලුවේ නැත. අප සිතා බැලිය යුත්තේ ද, වඩවඩාත් අන්තර්ගතය හා ආකෘතිය අතින් එකිනෙකට වෙනස් ලක්ෂණ ගනිමින්, නමුත් මනා සංවාදයක් ගොඩ නගා ගනිමින් හා උසස් රසවින්දන කලාප වෙත ප්‍රේක්ෂකයා කැඳවා ගනිමින්, මේ ‘කෘති නාම‘වල එල්ලෙන දේශපාලන- පූජක ප්‍රජාව මංමුලා කළ හැකි නිර්මාණ පෙරමුණට ගෙන එන්නේ කෙලෙසින් ද යන්නයි.

මජීඩ් මජිඩිගේ ‘දෙව්ලොව දරුවෝ‘ (Children of Heaven) විමසමින් එක් උදාහරණයක් දෙස හැරෙමු. 1997 දී තැනෙන මජිඩිගේ මෙම චිත්‍රපටය බැලූ බැල්මටම ළමා චිත්‍රපටයක රුවගුණ ඇති නිර්මාණයකි. එහි අපට හමුවන්නේ අලී නැමති නව වියැති දරුවෙක් සිය සත් වියැති නැගණියට පාවහන් යුවළක් ගෙන දෙන්නට සිදු කරන අරගලයයි. සිය පියා දුප්පත් කම්කරුවකු වීම පිළිබඳ යම් අදහසක් ඇති මේ කුඩා දරු දෙදෙනාගේ පුවත ප්‍රේක්ෂක නෙත් කඳුළින් පුරවමින් දිවෙන්නකි. අහම්බයකින් තමන් අතින් නැතිවන, අලුත්වැඩියාවට ගෙන ගිය නැගණියගේ පාසැල් පාවහන් යුවළ පිළිබඳ පුවත දෙමාපියන් වෙතින් සඟවමින් අලී සිය නැගණිය කෙසේ හෝ පාසැල් යවයි. නැතිවුණු පාවහන් සොයයි. අවසන නව පාවහන් යුවළක් දිනන්නට මං සොයයි.

සිනමා සෞන්දර්යයෙන් පිරුණු සෙසු ඉරාන නව සිනමාවේ කෘතින්හි මෙන්ම ‘දෙව්ලොව දරුවෝ‘ තුළ ද ආකෘතිය තුළ සැඟව නැගෙන තියුණු සමාජ දේශපාලනික සාකච්ඡාවක් ද වෙයි. එය අලීගේ හා සාරාගේ සංවේදී පුවත පසුපසින් අප වෙත ගෙන එන්නට රූප සමෝධානය කටයුතු කරයි. ඉසියුම්ව ලියැවෙන දෙබස් සහාය වෙයි. එක්වර නැගී මැකී යන අවශේෂ චරිත වුව උදව් දෙයි. කෙළවර, වඩාත් පුළුල්ව කෘතිය විමසන්නෙකුට හමුවන්නේ තල ගණනාවක් ඔස්සේ පිරිසියුම්ව සැකසුණු කෘතියකි. අපට ඒ එක් එක් තලයන් වෙත වෙන්ව හෝ එකවර ගමන් කරමින් අපේ සාකච්ඡාව ආරම්භ කළ හැක; හෝ පෙරට විහිදවිය හැක.

මම යෝජනා කරන්නේ අප මේ සීමා බන්ධනයන් ඉවසිය යුතු බව නොවේ. අපගේ අවකාශ පුළුල් කළ යුතු බවයි. ‘කෘති නාම‘ සීමාවේදීම කෘතියක ‘ගෙල සිඳ ලන්නට‘ ඉඩ සදා දෙන්නට තරම් ඉක්මන් නොවිය යුතු බවයි. තමන් බුද්ධිමතුන් බැව් කියන්නට යන කලාකරුවාට එරෙහි වෙමින් එය එසේ නොවන බව හඬගා කියන ප්‍රේක්ෂක සමූහයක් හා ඔවුන් විසින් තෝරා පත් කර යැවූ දේශපාලක නඩයකින් අප දියුණු සමාජයක කලා භාවිතයන් ඉල්ලා සිටීම මා සම කළ යුත්තේ කුමකට ද?

අප කොයි ලෙස අදහස් පළ කළ ද, තර්ක නැගූව ද, හෙටත් මේ වාරණ අත් කලා ප්‍රකාශන වෙත දිගු වෙනු ඇත. වාරණයේ අයිතිය හිමි, ආගමික අන්තවාදයට නෑකම් තනන්නට යන කුලකය මංමුලා කළ හැකි මාවත් තැනීම වඩාත් සාධනීය අවසානයක් සොයන ගමනකට මහරු මුල පිරීමක් වනු ඇත. මිනිස් හදවත් වඩාත් සංවේදී කරවන ‘කාව්‍යාත්මයන්ට‘ පාලකයින් කොහොමත් අකමැති බව වටහා ගනිමින් අපි වැඩ අරඹමු. ඒ සඳහා මා පරිවර්තනය කොට තිළිණ කරන එල්මා මිෂෙල්ගේ - This Poem... නමැති මේ කවිය  පිළිගන්න!

මෙ‍ම කවිය බිහිසුණු ය...

මෙ‍ම කවිය බිහිසුණු ය

එය තැබිය යුතු නැත
දරුවන් අත පොවන මානය
වැඩිහිටියකුට වුව නුසුදුසු ය... බිහිසුණු ය...

යමෙකු ගිල දැමුවොත් මුළුමනින්
අතුරු ආබාධ එනු ඇත නොනැවතී

‍නන්නාඳුනන බිහිසුණු කවිය
හමුවුවද මහ මග
පොදු ජන අවකාශයක
නොපිළිගන්න... නොකියවන්න...
උත්සාහ නොකරන්න...

බිහිසුණු කවිය ගෙන
මුද්‍රා තබා කවරයක සුරැකිව
ළඟම තක්සලාව වෙත යවන්න

එවිට උගතුන් ලිහනු ඇත
කරදර නොවන ලෙස
එම කවිය බිහිසුණු ය...

අති සරල කවියක් වුව
දිය කරනු ඇත ඔබේ හදවත
මිනිස් සිතිවිලි පොදි ගෙන
හද සසල කරවනු ඇත...

සියලු කවි වෙත රජයේ මුද්‍රාව තැබිය යුතු
මෙම කවි බිහිසුණු ය...
හද සසල වනු ඇත...
-        

-   ප්‍රියන්ත ෆොන්සේකා -
2018 සැප් 02 - අනිද්දා පුවත්පත

fiසේයාරුව: https://www.makeuseof.com/tag/next-10-years-looks-bad-internet-censorship/