Wednesday, January 20, 2021

උතුරේ මවුවරු ද දකුණේ මවුවරු ලෙසම වැළපෙති’

 

උතුරේ විසූ දමිළ සිනමාකරුවෙකු වූ කේසවරාජන් නවරත්නම් මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය. මේ ඔහු https://thecatamaran.org වෙබ් අඩවිය වෙනුවෙන් ශිවන්ති ප්‍රනාන්දු සමග 2017 දී සිදු කළ සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි. මෙය 'යුද්ධය ගැන මගෙත් වගකීමක් තියෙනවා' යන මැයෙන් 2021 ජනවාරි 17 වැනි දින 'රාවය' පුවත්පතෙහි පළ විය. 



කැටමරන්:  ඔබට පුළුවන් ද ඔබේ අලුත්ම චිත්‍රපටය ‘පනෙයිමරකාඩු’ ගැන අපිට යමක් කියන්න?

නවරත්නම්: මේකෙ ප්‍රධාන තේමාව සිවිල් යුද්ධෙන් පස්සෙ මෙහෙ යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත්වුණු අය මුහුණ දෙන අභියෝග. ඉන්දියානු නිෂ්පාදන සමාගමක් මුදල් ලබා දීලා චිත්‍රපටය හදන්න උදව් කළත් ගොඩක් ප්‍රශ්න තිබුණා. චිත්‍රපටය හදන්න අවුරුදු දෙකක් විතර ගියා. ඒත් මම බලාපොරොත්තු වෙනව ඉක්මණින්ම ඒක පෙන්වන්න.

කැටමරන්: ඔබ විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් චිත්‍රපට හදල තියෙනවා. දමිළ සමාජයේ මිනිස්සු වෙනුවෙන් ‘සටන්’ කරන්න හෝ කතා කරන්න තියෙන එකම විදිහ ඒක ද?

නවරත්නම්:  ඒ කාලෙත් මම ආයුධ සන්නද්ධ අරගල පිළිබඳ අදහසට විරුද්ධ වුණා. නමුත් මම කොටි සංවිධානයට වැඩ කළා. මම ඔවුන් වෙනුවෙන් මගේ පළවෙනි චිත්‍රපටය හැදුවෙ 1986 සහ 1987 කාලෙ. ඉන් පස්සෙ දිගටම එයාල උදව් කළා.  

මට තවමත් දෙමළ මිනිස්සුන්ගෙ වේදනාව දැනෙනවා. ගැටළු තාමත් විසඳිලා නැහැ වගේම විසඳෙන්නත් ඕනෙ. දැන් මම මුළු රටටම චිත්‍රපටි හදනව. මට ඕනෙ හැමෝම මගේ චිත්‍රපටි බලන්න. මම කොටි සංවිධානයට වැඩ කරන්න කලිනුත් චිත්‍රපටි හැදුව වගේම ඉන් පස්සෙත් චිත්‍රපටි හදනව.

කැටමරන්: දැන් යාපනෙන් හැදිල එන චිත්‍රපට ඔබට දැනෙන්නෙ කොහොම ද?

නවරත්නම්: උනන්දුව මැකිල ගිහිල්ල තියෙනවා. ඉන්දියානු සිනමාවෙන් ආක්‍රමණය කෙරෙන උතුරෙ සිනමාව රැකගන්න අවශ්‍යයි.

කැටමරන්: සිවිල් යුද්ධෙ අවුරුදු 8කට කලින් ඉවර වුණා. ඔබ තාම කොළඹ තියෙන විරෝධතාවලට සහභාගි වෙනවා. ඒ ඇයි?

නවරත්නම්: මිනිස්සුන්ට සිවිල් යුද්ධෙ නිසා ගොඩක් ප්‍රශ්න ඇති වුණා. එයාලට එයාලගෙ දරුවො අහිමි වුණා. එයාල දන්නෙ නෑ දරුවන්ට මොකක්ද වුණේ කියලවත්. යුද හමුදාව එයාලගෙ ඉඩම් අත්පත් කරගත්තා. ඉතින් මිනිස්සුන්ට මේ ප්‍රශ්නවලට උත්තර ඕනෙ. අපිට කියන්න බෑ එයාලගෙ ප්‍රශ්න විසඳුනා කියලා.

කැටමරන්: සිවිල් යුද්ධය ගැන හැදෙන චිත්‍රපටි ගැන ඔබේ අදහස මොකක් ද?

 නවරත්නම්: සමහර චිත්‍රපටිවල දෙමළ මිනිස්සු ගැන බොරු කියනවා. මම හිතන්නෙ නෑ යාපනේ ගැන නොදන්න කෙනෙකුට යාපනේ ගැන චිත්‍රපටියක් හදන්න පුළුවන් කියලා. මෙහෙ වටපිටාව නොදැක කොහොමද මෙහෙ ගැන චිත්‍රපටි හදන්නෙ?

කැටමරන්: දෙමළ මිනිස්සු දැන් මුහුණ දීල ඉන්න දේශපාලන තත්වය ගැන අදහසක් තියෙනව ද?

 

නවරත්නම්: තවමත් දෙමළ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. සිංහල වගේම දෙමළ දෙපැත්තෙම දේශපාලනඥයො මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන කතා කරල පස්සෙ අමතක කරල දානවා. කතා කරනවට වඩා යමක් කරන්නයි ඕනෙ.

අපි, දෙමළ මිනිස්සු, හැමවෙලාවෙම දෙමළ දේශපාලකයින්ට ඡන්දෙ දුන්නෙ එයාල මිනිස්සු වෙනුවෙන් යමක් කරයි කියල හිතාගෙන. නමුත් කවදාවත් මුකුත් වෙලා නැහැ. 

එයාල බලයට ආවට පස්සෙ ලේසියෙන්ම ඡන්ද දායකයින්ව අමතක කරල දානව. දේශපාලකයො කරන්නෙ එයාලගෙ කොටස ලොකු කරගන්න එක.

කැටමරන්: ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරු ගොඩක් විදේශ සිනමා සමාගම් එක්ක වැඩ කරන්න රට හැරදාල ගිහින් තියෙනවා. ඔබ ඒ පාර තෝරගෙන නැහැ.

නවරත්නම්: මේ යුද්ධයට මගේ වගකීමක් තියෙනව කියන හැඟීම මගේ ඇතුලෙ තියෙනව. තමන්ගෙ දරුවො අහිමි වෙච්ච දකුණෙ අම්මලා අඬන විදිහටමයි තමන්ගෙ දරුවො අහිමි වෙච්ච උතුරෙ අම්මලා අඬන්නෙ. මට හිතෙනව මම මෙහෙ ඉඳල එයාලට උදව් කරන්න ඕනෙ කියල.

https://thecatamaran.org වෙබ් අඩවිය වෙනුවෙන් සංවාදය: ශිවන්ති ප්‍රනාන්දු

පරිවර්තනය: ප්‍රියන්ත ෆොන්සේකා

සේයාරුව:  https://www.aithiya.lk 


 

Tuesday, December 29, 2020

‘සෞම්‍යප්ප්‍රශ්ණය’ විසඳීම: විශ්වවිද්‍යාල සෞන්දර්ය අධ්‍යාපනය දෙස හැරී බලනු පිණිස...

(2020 ‍‍දෙසැම්බර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.)

මහාචාර්ය සෞම්‍ය ලියනගේ වෙනුවෙන්
සැදුණු විරෝධතා පෝස්ටරයක්!

පාලක සභාව එක්ව ගත් තීරණයක් හරහා, වසර කිහිපයකට පෙර සිදුවුණු සිද්ධියක් පදනම්ව මහාචාර්ය ධූරයෙන් ඉවත් කෙරුණු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටි මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා, පාලක සභාව විසින්ම සිය වරද පිළිගනිමින් හා නිවැරදි කරමින් යළි සේවයේ පිහිටුවා ඇත. ‘සෞම්‍යප්ප්‍රශ්නය’ ලෙස මවිසින් නම් කරමින් අරඹන මෙම අර්බුදය හා බැඳුණු සිදුවීම මෙරට සෞන්දර්ය කලා විෂයය දෙස යළි හැරී බලන්නට කාරණා රැසක් මතු කරවන බව මගේ යෝජනාවයි. එබැවින් අද ලිපියේ නිමිත්ත ‘සෞම්‍යප්ප්‍රශ්නය’යි.  

කෙසේ වෙතත්, මෙම ලිපිය ලියන්නට තීරණය කිරීමම මසිත තුළ දෙයාකාර හැඟීම් ජනිත කරවයි. පළමුවැන්න නම්, මහාචාර්ය සෞම්‍ය ලියනගේ වැනි තත් විෂයක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතකු අහිමි නොකරගන්නට සබුද්ධික වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ඇතුළු එහි පාලක සභාවේ සාමාජිකත්වය වෙත ගෞරව පූර්වකත්වය හා බැඳී නැගෙන හැඟීමයි. එය සෞන්දර්ය කලා විෂයය සම්බන්ධ ක්ෂේත්‍රය සමග හිඳ කටයුතු කරන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස මතුළ නැගෙන සංතෘප්තිය සමග යන්නකි. සෞන්දර්යය, වෙසෙසින් නාට්‍ය හා රංග කලාව විෂයයෙහි ජාත්‍යන්තර අත්දැකීමෙන් පරිණත, පිළිගත් විදෙස් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් දිනූ ශාස්ත්‍රඥයින් අප රට තුළ වන්නේ අතලොස්සක් වන මොහොතක මහාචාර්ය ලියනගේ යළි-කැඳවීම සතුටුදායක සිදුවීමකි. මසිත තුළ නැගෙන දෙවැනි හැඟීම මෙම සිදුවීම අපට සංඥා කළ සෞන්දර්ය අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ, වෙසෙසින් විශ්වවිද්‍යාල පසුබිමෙහි හඳුනාගත හැකි, අර්බුදය කෙතරම් බරපතල වූවක් ද යන්නයි. එය මහාචාර්යවරයා යළි-කැඳවීමෙන් මැකී නොයන තරමට බිහිසුණු ය.

‘සෞම්‍යප්ප්‍රශ්නය’ සමගින් ලාංකික සමාජයේ වෙසෙසි අවධානයට ලක් වූව ද මෙරට විශ්වවිද්‍යාලයන්හි සෞන්දර්ය හා ලලිත කලා ආයතන සම්බන්ධ අර්බුදය නිරන්තර අවධානයට හා සාකච්ඡාවට ලක් විය යුත්තකි. (යමෙක් මෙය සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය හා සම්බන්ධව සමාන බැව් යෝජනා කළ හැකි වුවත්, මාගේ යෝජනාව එය සමස්ථ සීමා ඉක්මවන තැනක වන බව ය.) සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, කැලණිය, පේරාදෙණිය, ශ්‍රී පාලි මණ්ඩපය හා ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාල හා මණ්ඩපවල සිංහල මාධ්‍යයෙන් ලලිත කලා, ප්‍රාසාංගික කලා හෝ සෞන්දර්ය කලාශ්‍රිත විෂයයන් අධ්‍යයනය කෙරේ. දමිළ මාධ්‍යයෙන් එය හැදෑරෙනුයේ යාපන විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්වවිද්‍යාලය යටතේම වන ලලිත කලාව සඳහා වන රාමනාදන් ඇකඩමියේත්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සහ ඒ යටතේම වන ස්වාමි විපුලානන්ද සෞන්දර්ය කලා අධ්‍යයන ආයතනයේත් ය. මොරටුව සහ රුහුණ වැනි විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලා යටතේ ලලිත කලා හෝ සෞන්දර්ය අධ්‍යයන ආශ්‍රිත කරුණු සාකච්ඡා කෙරෙන ස්ථාන මුණ ගැසුණ ද එම විශ්වවිද්‍යාලවල ඒ සම්බන්ධ උපාධි පිරි නැමෙන්නේ නැත. ඒ අනුව, සිංහල සහ දමිළ මාධ්‍ය පදනම්ව උපාධි පිරිනැමෙන තත් විෂයබද්ධ ආයතන 9කි.

දමිළ මාධ්‍යයෙන් ඉගැන්වෙන ආයතන පිළිබඳ මාගේ අවබෝධය සාපේක්ෂව අඩු තැනක පැවතිය ද පොදු තත්වය හමුවේ මේ සියලු ආයතන අභියස වන අර්බුදය සාකච්ඡාවට කැඳවීමට එය බාධාවක් බව නොපෙනෙන්නේ මෙය මුල පිරීමක් පමණක් බැවිණි. මේ සියලු ආයතනවලටම පාහේ බලපාන්නා වූ යටිතල පහසුකම් ආදියෙහි වන ගැටළු සම්බන්ධයෙන් සැවොම මා සමග එක් පෙරමුණකට පැමිණිය හැකි වෙතත්, මා නගන පැනය වෙනත් තැනක පවතින්නකි. යටිතල පහසුකම් විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ කලාපයන්හි සීමිත බව සැබෑවකි. සෞන්දර්ය හා බද්ධ තන්හිදී එය දැඩි අර්බුද නිර්මාණය කරන්නේ රංග ශාලා, පුහුණුවීම් සඳහා ශාලිකා, කලාගාර, තාක්ෂණික පහසුකම් යනාදී අදාල විෂයයන් සඳහා වන ආවේණික අවශ්‍යතා බොහෝ පාලකස්ථාන හඳුනා නොගැනීම හේතුවෙනි. ‘නාට්‍ය පෙන්වීම සඳහා ක්‍රීඩාගාරය භාවිතා කළ නොහැකි මන්දැයි’ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක හිටපු උප කුලපතිවරයෙකු විමසූ පුවත එවැනි එක් උදාහරණයක් පමණි. 

කෙසේ වෙතත්, ඒ සියල්ල පසෙක ලා අපට අප වෙතම හැරෙමින් ස්වයං-විවේචනාත්මකව අපගේ සීමාවන් විමසන්නට ‘සෞම්‍යප්ප්‍රශ්නය’ පසුබිමක් තනා දී ඇත. පළමුව, මහාචාර්ය සෞම්‍ය ලියනගේ යළි සේවයේ පිහිටුවීම සමග ඔහුගේ සේවය අහිමි කිරීම නිවැරදි නොවූවක් බවත්, එය යම් කුමන්ත්‍රණයක් බවත් යෝජනා කිරීම අසීරු නොවන්නකි. ඔහු ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාහට ද හා ඔහු ඉවත් කිරීමට හේතුපාදක විය හැකි කාරණා කවරේ ද යනාදී ගැටළු ඔස්සේ තාර්කිකව සිත යොමු කරන පොදු සමාජ පුරවැසියෙකුට වුව, අතීත සමය තුළ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ භූමිකාවට එරෙහිව පවතින්නට ඉඩ ඇති බලවේග පිළිබඳ සංඥා හඳුනාගත හැකි ය. මගේ යෝජනාව ඒ මහාචාර්ය ලියනගේ වෙත පුද්ගලිකව එල්ල වීමෙන් නොනවතින, සෞන්දර්ය කලාව හා බැඳුණු කලාත්මක භාවිතාවන් පිළිබඳ වන ශාස්ත්‍රාලීය ප්‍රවේශය වෙත පුළුල්ව එල්ල වන බලවේග පද්ධතියක් ලෙස හඳුනාගැනීම වඩා යෝග්‍ය බව යි.

ඒ ඇයි?

මහාචාර්ය ලියනගේ යනු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලද්වයකින් සිය ආචාර්ය උපාධිය දක්වා වන සුදුසුකම් සපුරා ගත්තෙකි. ඔහු ද්විභාෂික විද්වතෙකි. ගෙවුණු වසර කිහිපය තුළ මහාචාර්ය රස්ටම් බරුචා වැනි ලෝ ප්‍රකට විදේශ විද්වතුන් පවා මෙරට ශාස්ත්‍රාලීය සංවාද කලාපය තුළට කැඳවාලමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන කෙත පුළුල් බිමක් වෙත විහිදවූවෙකි. මහාචාර්ය ලියනගේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හේතුවෙන් බැබලුණේ නොව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය බැබලෙන්නට ඔහු පදනම සපයනායුරු බාහිරයේ සිටි අපට පෙනී ගියේ වරක් දෙවරක් නොවේ.

‘සෞම්‍යප්ප්‍රශ්නය’ නිර්මාණය කරමින් ඔහු වෙත එල්ල වූ බලවේග එකතුව ඔහුගේ වෘත්තිය අහිමි කිරීම තෙක් කටයුතු කිරීම ඔහුගේ මේ හැකියාව සහ පෞරුෂය වෙත වන ඊර්ෂ්‍යාවක් ලෙස යමෙකු යෝජනා කළ හැකි වෙතත්, ආයතනයක පාලක සභාවක් ඔහුට එරෙහිව පෙළ ගැස්වීමට තරම් වන සමාජ ඊර්ෂ්‍යාවක් ගැන සිතීම අසීරු ය. මේ නැගී පැමිණියේ සමස්ථ විශ්වවිද්‍යාල සෞන්දර්ය කලා හා සමාන්තර ක්ෂේත්‍රවල පවතින පොදු තත්වයට එරෙහිව සෞම්‍ය ‘සෞම්‍ය නොවන’ ලෙස ප්‍රතිමුඛ වීමේ ප්‍රතිඵලයයි. ඒ පොදු තත්වය කුමක් ද?

බොහෝ යටකී ආයතනවල මුණගැසෙන පෙරමුණු ආචාර්ය, මහාචාර්යවරු අති බහුතරය සිය සේවය ස්ථිර කර ගැනීමේ සහ උසස්වීමේ අවශ්‍යතා වෙනුවෙන් අදාල අධ්‍යයන පෙරට විහිදවූවන් මිස දැනුම් පිපාසාවෙන් නිරන්තරව පෙළෙමින් ශාස්ත්‍ර ගවේෂණයේ යෙදෙන්නන් නොවේ. ඔවුන්ට පසුපසින් පැමිණෙමින් සිටින ආධුනික කථිකාචාර්ය බලමුළු ද එම ක්‍රමවේදම අනුව යමින් සියලු කඩඉම් ජයගැනීම සඳහා වන පහසුම කෙටි මාර්ග විමසමින් සිටිති. විදේශ දැනුම සහිතව පැමිණෙන්නන් පිටු දැකීමෙන් ද, ද්විභාෂික උගතුන් හෙලා දැකීමෙන් ද ස්වකීය ආරක්ෂිත කලාප තනා ගනු පිණිසත්, තිර කරගනු පිණිසත් මෙම ඉහළ සහ පහළ කථිකාචාර්ය කණ්ඩායම් අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කරමින් සිටිති. ‘සෞම්‍යප්ප්‍රශ්නය’ නිර්මාණය වන්නේ මෙම ආරක්ෂිත කලාප බිඳ වැටෙන තරමට මහාචාර්ය සෞම්‍ය ලියනගේ පෞරුෂය ඉහළ නැගෙන විට ය.

සෞම්‍ය ලියනගේ යළි කැඳවීම සමග ‘ඔහු වෙනුවෙන් පෙනී සිටියවුන්ට තුති’ පුදා යළි හැරෙන්නට අපට අවසර නැත. හේතුව සෞන්දර්ය අධ්‍යාපනය හා ආශ්‍රිත කලාප සමග කටයුතු කරන්නට විශ්වවිද්‍යාල වෙත පියවර තබන්නට නියමිත අනාගත පරපුර ඉහත කී බහුතර එකඟතා කණ්ඩායම්වල සීමාකාරී මෙහෙයවීම්වලින් නොගැලවී ඇති බැවිණි. වඩා යාවත්කාලීන වූ දැනුමක් සමග සිය ශාස්ත්‍ර ගවේෂණ ලෝකය වෙත පැමිණෙන්නට සියල්ලන්ට බල කෙරෙන පෙරමුණක් වෙත යාමට ‘සෞම්‍යප්ප්‍රශ්නය’ යොදාගත යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -  

Monday, December 21, 2020

කියවන කවයක හිඳ ගතිමි!

කියවන කවයේ දවසක්
(2020 ‍‍දෙසැම්බර් 13 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

සිත්ගත් කෘතියක් කියවීම කෙතරම් සිත්ගන්නා සුළු කටයුත්තක්දැයි, ඔබ පොත්පත් කියවන්නට ඇබ්බැහි වූවෙකු නම්, මා අමුතුවෙන් පැහැදිලි කොට දිය යුතු නැත. තමන්ගේ කියවීම් අවකාශය තුළ, උණුසුම් තේ හෝ කෝපි කෝප්පයක් සමග විත්, සුවපහසුම අසුනකට බරවී, කැමතිම ප්‍රබන්ධ හෝ ප්‍රබන්ධ නොවන කෘතිය සමග ඒකාත්මික වීමේ ප්‍රහර්ෂය කෙතරම් දැයි මා දන්නා හඳුනන ‘පොත්ගුල්ලන්’ කිහිප දෙනෙකුම සිය සමාජ ජාල අඩවි තුළ සටහන් කොට තිබෙනු පසුගිය සමයන් හි ඇස ගැටී ඇති අතර එය කෙතරම් සත්‍යයක්දැයි මට ද හැඟී ගොස් ඇත. පොතක් අප කැඳවාගෙන යන අප නොදුටු විස්ම ලෝකය හේතුවෙන් පොත්වලට ඇබ්බැහි වූවන් මෙම කටයුත්ත සිය දෛනික දිවි පැවැත්ම තුළ ප්‍රමුඛ පියවරක් ලෙස තබා ඇත. ප්‍රබන්ධ ලෝකය තරම්ම අරුමැසි ලොවකට ශාස්ත්‍රීය කෘතියක් අප කැඳවා නොයතත්, හෝ එය වෙනස් පිවිසුමක් තනා දෙතත්, ශාස්ත්‍රීය හැදෑරීම් තුළ හිඳින්නෝ ද සිය කෘති සමග ඒකාත්මික වනු කැමැත්තෝ කියවීමට ප්‍රමුඛ ඉඩක් තනා දෙමින් සිය දැනුම් පැස පුළුල් කොට ගනිති.

මේ ආරම්භක ඡේදය සමගින් මා ඔබ වෙත තබන්නට සැරසෙනුයේ ‘කියවීමේ කවයක’ හිඳ ගැනීමේ හේතුවෙන් මා ලද තෘප්තිය පිළිබඳ අදහසකි. විෂයානුබද්ධ ශාස්ත්‍රීය කෘතිවලින් තෝරාගත් ලිපි ගැඹුරින් සාකච්ඡාවට ගනිමින් ඉදිරියට විහිදෙමින් පවතින මෙම කියවන කවය සෑම සතියකට හෝ දෙකකට වරක් මුණගැසෙන ආචාර්ය මණ්ඩල සහ පශ්චාත් උපාධි විද්‍යාර්ථීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පේරාදෙණි විශ්වවිද්‍යාල ලලිත කලා අධ්‍යනාංශයේ දී පැවැත්වෙමින් තිබේ.

කියවීම ගැඹුරු කටයුත්තකි. වචනාර්ථ වැටහුණු පමණින් හෝ බස පැහැදිලි වුණු පමණින් ලේඛකයා අදහස් කරන සංකල්පයන් අප වෙත එකහෙළා සම්ප්‍රේෂණය වන්නේ නැත. අප තුළ අදාල විෂය කලාපය පිළිබඳ වන දැනුම, අපගේ මතිමතාන්තර, විශ්ලේෂණ හැකියාව ඇතුළු බොහෝ කරුණු ලේඛණය වටහා ගැනීම හෝ නොගැනීම පසුපස එයි. එසේම ලේඛකයා රැගෙන එන උපමා රූපකයන්, සංකේතයන් හා රූඩීන් හඳුනාගැනීමේ හැකියාව ද කියවන්නා සතු විය යුතු ය. එය, වගා කළ යුත්තකි. එකපැහැර, කෘතියක් අතට ගත් පමණින්ම, එය ප්‍රබන්ධ හෝ ශාස්ත්‍රීය යන කවර ගණයකට අයත් වුවත්, ලේඛණයේ සියලු අහුමුළුවල ඇවිද යන්නට හැකියාව ලැබෙන්නේ සීමිත පිරිසකට ය. ඒ ද, ඔවුන් සිය හැදෑරීම නිරතුරුව ඉටු කරමින් සිටින නිසා ය.

කියවන කවය එළිමහනට ආ දවසක්

කවයක අසුන් ගෙන, කණ්ඩායමක් ලෙස එක් ලේඛණයක් වෙත පිවිසීමේ වැදගත්කම හමුවන්නේ මෙතැන දී ය. කණ්ඩායමේ එක් එක් සාමාජිකයා හෝ සාමාජිකාව වෙත වන භාෂා දැනුම, ශාස්ත්‍ර ඥාණය ඇතුළු බොහෝ දේ සමග එකිනෙකා වෙත වන විශ්ලේෂණ හැකියාව එක් වූ විට තැනෙන්නේ වඩා පොහොනි දැනුම් හුවමාරු අවකාශයකි; හා සමග වඩා ගැඹුරු කියවීමේ ඉඩකි.

90 දශකයේ මෙරට දැනුම් විමසුම් අවකාශයට දැනෙන සුළු මැදිහත්වීමක් කළ X කණ්ඩායම තුළ ද මේ කටයුත්ත සිදු වූවාට සැක නැත. එහි ක්‍රියාකාරීත්වය සමග සම්බන්ධ වී ලද අවබෝධයක් මා වෙත නැතත්, කියවීමට ඒ තුළ ලැබුණු ප්‍රමුඛස්ථානය විශ්වවිද්‍යාල අවකාශයෙන් පරිබාහිරව, ඇතැම් තැන්හි දී තීරණාත්මක ලෙස විශ්වවිද්‍යාල අවකාශයන්ද අභිබවා යන තරමට, වූ බව පැහැදිලි වන්නේ ලාංකික සමාජය වෙත ඔවුන් එක් කළ දායකත්වය විමසද්දී ය. ලද දැනුම සමාජගත කිරීමේ දී X කණ්ඩායම වෙතින් යෝජනා වූ භාෂා භාවිතය ඇතැම් අත්‍යාවශ්‍ය කතිකා පසෙකට කරන්නට හේතු වී යැයි පෙනී ගිය ද ඔවුන්ගේ ‘කියවන කවමය’ මැදිහත්වීම් සුවිශේෂ ය.

වත්මනෙහි දර්ශනය හා බැඳුණු සංකල්ප හා ප්‍රවේශ විමසමින් වංගීස සුමනසේකර ඇතුළු කණ්ඩායම කියවන කවයක් නිර්මාණය කොට ඇත. විශ්වවිද්‍යාල අවකාශය තුළ අත්‍යාවශ්‍යයික විමසුම වන දර්ශනය දැඩිව වල් වැදෙමින් පවතින්නේ, එක්කෝ එම දර්ශනාංශවල මහැදුරන් දර්ශනය පසෙක තබමින් දේශපාලන අසුන් වෙත පියවර නගමින් හෝ, නොඑසේනම් ජ්‍යොතිෂය පිළිබඳ දර්ශනයට වඩා විශ්වාසය තබමින් හෝ, නව විෂය නිර්දේශයක් වුව ඉදිරිපත් කරන්නට ඉඩ නොදෙමින් පවතින අවකාශයක් තුළ ය. වංගීස ඇතුළු කණ්ඩායම විශ්වවිද්‍යාලවලට මග හැරෙන කියවීම නිර්මාණය කිරීම වඩා ඉහළ ඇගයුමකට ලක් විය යුත්තේ ද එනිසා ය.

දැන් ඔබට මගේ යෝජනාව ගෙන එන්නට ඉඩ දෙන්න!

දේශපාලනිකව ද, සමාජ හා සංස්කෘතිකව ද තැනෙමින් තිබෙන්නේ සැහැල්ලුවෙන් පියවර තැබිය හැකි අවකාශයක් නොවන බව ඔබට පෙනීගොස් ඇති බව මම විශ්වාස කරමි. කොරෝනා හේතුවෙන් වඩාත් බිහිසුණු අවදියකට පිවිසෙමින් සිටින අපි, ආර්ථිකමය අවපාතයක අභියස හිඳිමින්, විසඳුමක ලකුණකුදු නොමැතිව කටයුතු කරන පාලකස්ථානයක් හා ගණුදෙනු කරමින් සිටිමු. සියලු බිඳ වැටීම් හමුවේ අප කළ යුතුම දේ හා කළ හැකිම දේ ලෙස මා දකින්නේ සමාජය ඥාණනය කිරීමයි; හා සමග අපගේ දැනුම් විමසුම ද පුළුල් කිරීමයි. ඒ සඳහා ඔබට ද, ඔව් ඔබට ද, කියවන කව ඇරඹිය හැක!

කුඩා කවියක් රස විඳින, සාහිත්‍ය කෘතියක බර විමසන තැනෙකින් ඇරඹෙන කියවන කවයක් වුව එවැනි කටයුත්තක් සඳහා මුල පිරීමක් වනු ඇත. නමුත් ඉක්මණින් ම, ඔබගේ විෂයාවකාශන් වන අධ්‍යාපනය, නීතිය, සෞඛ්‍යය, කලාව, සෞන්දර්යය, විද්‍යාව ඇතුළු කලාප වෙත විහිදුවීම හා ඒ හා බැඳුණු ඉංග්‍රීසි භාෂිත (සහ හැකිනම් වෙනත් භාෂාවලින් ලියැවුණු) කෘති හා ලේඛණ කැඳවීම හරහා වඩා මහරු පියවරක් වෙත ප්‍රවිශ්ට වීමට ඔබට ඉඩ ලැබෙනු ඇත.

‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යන සුප්‍රකට කියමන වුව ප්‍රශ්න කළ හැකි සම්පූර්ණ මිනිසුන්ගෙන් පිරුණු සමාජයක් තනාගත හැක්කේ කියවීම පෙරමුණට කැඳවීම සමගිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -

Sunday, December 20, 2020

මුහුණ හෙළි කිරීමේ සදාචාරය: මාධ්‍ය හැසිරීම උරගා බලනු වස්...

(2020 ‍‍දෙසැම්බර් 20 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)


‘මුහුණ’ ගෙවුණු වසර ගණනාව තුළ දැඩිව අවධානයට ලක් වුණු මිනිස් සිරුරු කලාපය බවට පත් වූයේ ත්‍රස්තවාදය, වසංගතය මෙන්ම මහජන විරෝධතා ඇතුළු බොහෝ තන්හිදී මුහුණට ලැබුණු වටිනාකම හේතුවෙනි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් මුසල්මානුවන් වූ හෙයින්ම එතෙක් යම් සීමා තුළ පැවති මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු සහ හිස් වස්නා පිළිබඳ බරපතල විරෝධයක් මතුව ආවේ එම වැස්ම තුළ සැඟවී ත්‍රස්තවාදියෙකුට වුව ප්‍රහාරයට මං සොයා ගත හැකි ය යන තර්කයෙනි. ඒ හේතුවෙන්ම හිස් සහ මුහුණු ආවරණ සහිතව, විශේෂයෙන් නිකාබයන් පැළඳ, වෙළඳ සැල් ආදියට ඇතුළු වීම තහනම් කරමින් පළ කළ දැන්වීම් අපගේ නෙත ගැටිණ. උත්ප්‍රාසජනක ලෙස වසර එක හමාරක් ගත වද්දීම සියල්ලන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කෙරුණු දැන්වීම් පෙර කී දැන්වීම් තිබුණු ස්ථානයන්ට පැමිණියේ පාස්කු ප්‍රහාර සංවාදය මකා දමමින් විශ්ව ව්‍යාප්ත කොරෝනා වසංගත භීතිය පෙරට පැමිණි හෙයිනි.

පළමුවැන්නේ දී හැර පෙන්විය යුතු වූයේ මුහුණ යි. දෙවැන්නේ දී වසා දැමිය යුතු වූයේ මුහුණ යි!

ඒ සිදුවීම් මාලාවට කෙටි කලකට පෙර දිවයිනේ ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක් සිය මාධ්‍ය වෙත විරෝධතා ලිපි රැගෙන, කළු රෙදි කඩවලින්, දෙනෙත් පමණක් විවර වන පරිදි, මුහුණු වසා පැමිණි විරෝධතාකරුවන්ගේ මුහුණු, ඔවුන් ඒ ඉවත් කළ මොහොතවල රූගත කොට ජනතාව හමුවේ රත් පැහැයෙන් රවුම් කොට තැබුවේ භයානක ත්‍රස්තයින් පිරිසක් හෙළිදරව් කරගත් අයුරින් වුවත්, ඔවුන්ගේ කැමරා කාචවල සටහන්ව තිබුණේ චාන්දනී සෙනෙවිරත්න, නදී කම්මැල්ලවීර, විදර්ශන කන්නන්ගර, කෞෂල්‍යා ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා ඇතුළු නළු නිළියන් සහ සමාජ ක්‍රියාධරයින් පිරිසකි. මුහුණ යළිත් භයානක ‘දෙයක්’ ලෙස හුවා දැක්වෙද්දී, විරෝධතාකරුවන්ගේ මූලික යොමුව වූ මාධ්‍යයේ යහ-භාවිතාව වෙනුවෙන් ඉදිරියට ආ සමාජ ජාලවල ක්‍රියාකාරී පිරිස් ද සිය මුහුණු රතු වර්ණයෙන් රවුම් කර ‘ජඩ මාධ්‍ය භාවිතයට’ සිය විරෝධය ෆේස්බුක් අඩවිය ඇතුළු සමාජ ජාල හරහා බෙදා හැරිය හ.

ඒ අනුව, තෙවැන්නේ දී රවුම් වූයේ මුහුණ යි!

දැන් යළිත් මුහුණ හෙළි කිරීම පිළිබඳ කතා බහක් කරළියට පැමිණ ඇත. මෙය මුලින්ම මගේ කණ වැකුණේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා විසින් කරනු ලැබූ නිවේදනයක් පුවත්පත් විසින් පළ කරන ලදුව, එය ගුවන් විදුලි නාලිකාවක් විසින් උපුටා කියවද්දී ය. සෑම ගුවන් විදුලි සහ ටෙලිවිෂන නාලිකාවක්ම පාහේ තරගයට මෙන් උදෑසන පත්තර කියවනු ලබතත්, කිසිදු නාලිකාවක් තමන් අතට පත් වන පුවත්පත් වාර්තා යළි විචාරාත්මකව විමසන්නට සූදානම් බවක් පෙන්වන්නේ නැත. ඉහත ‘මුහුණු හෙළි කිරීමේ පුවත’ ද ඒ අනුව ‘මව්බිම’ පුවත්පත ගෙන එන්නක් ලෙස ඔවුන් ඉදිරිපත් කළේ එයට යම් ඇගයීමකුත් එක් කරමිනි.

මේ ‘මුහුණු හෙළි කිරීම’ කුමක් ද?

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, නින්දිත ලෙස පාර මැද තබා පහර ගැසීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්නන් සමාජය වෙත මුහුණු හෙළි කිරීම ඔස්සේ හඳුන්වා දීම මෙම ක්‍රියාදාමයයි. අමාත්‍යවරයා පවසන පරිදි ඔවුන් මේ සඳහා පියවර ගන්නට යන්නේ නඩු පැවරීමට සමාන්තරව ය. එනම් නඩුවකින් වරදකරුවකු වීමට ප්‍රථම ය!

“ඇත්තටම ඇයි මේ ගොල්ලො සමාජෙට හෙළි නොකරන්නෙ කියල නොසෑහෙන්න මිනිස්සු කතා වෙනව.” යනුවෙන් ගුවන් විදුලි නාලිකාවේ පෝතක ජෝඩුව ද මහත් උද්දාමයෙන් යට කී තීරණය අනුමත කරමින් පුවත වාර්තා කරනු කණ වැකෙත්ම ම’තුළ භීතියක් නැගිණ. ඒ ඇයි?

අප සමාජය කොහොමටත් දරුණු ය. වරද කාගේ වුවත්, මාර්ග අනතුරකදී අදාල රථය ගිනි තබන්නටත්, රියදුරාට දැඩි ලෙස පහර දෙන්නටත් මොහොතකින් පෙරට එන හමුදා ඕනෑම මහමගක් ආසන්නයේ සීරුවෙන් සිටින සමාජයක් අභියස අපි රිය පදවමු. සැක කටයුතු තැනැත්තන් සොරුන් ලෙස සළකා ගස් බැඳ පහර දුන් පුවත්, ස්ත්‍රී හා ළමා අපචාර පිළිබඳ සැකය පළ වූ සැණින් අදාල අයවළුන්ගේ අත් පා බිඳ දැමූ පුවත් අපගේ කණ වැකෙන්නේ කලාතුරකින් නොවේ. කහවත්ත ඝාතන රැල්ලේ දී, ප්‍රසිද්ධියට පත් වූ දැරියක අපචාරයට ලක් කොට මරා දැමූ සිදුවීමක දී වරද නොකළ පුද්ගලයින් වරදකරුවන් කිරීමේ ඛේදනීය වරදවල් අපට යළි හැරවිය නොහැකි ඛේදයන් ඉතිරි කොට ඇත්තේ එම අවිහිංසකයින් දිවි නසා ගැනීම දක්වා සිදුවීම් දිගුවීම හරහා ය.

දැන් අපි, රජයේ ද මැදිහත්වීමෙන්, වරද සඳහා සැකකරුවන් සමාජයට හෙළි කිරීමේ උද්දාමය අත් විඳින්නට සූදානමින් සිටිමු. එම හෙළි කිරීම්, යළිත් දරුණු හිංසනය, වධ බන්ධන සහ මරා දැමීම ඔවුන් වෙත කැඳවන්නේ නැති බවට දිය හැකි සහතිකයක් ඇත් ද? ස්ථිර ලෙසම උසාවියක් වෙතින් වරදකරුවකු බවට පත් වන තුරුම ඔහු/ඇය වරද කළ බවට නොපිළිගන්නේ නම් ඔවුන් සමාජයට හෙළි කිරීමට අප වෙත ඇති අයිතිය කුමක් ද?

කෙසේ වෙතත්, දැන් අපට මාධ්‍ය ආයතන වෙත අභියෝගයක් ඉදිරිපත් කළ හැකි ය. මෙම සදාචාර නොවන එළඹුම හමුවේ ස්වකීය මාධ්‍ය සදාචාරය සුරක්ෂිත කරනු වස් අප නම් මුහුණු හෙළි කරන්නට ඉදිරිපත් නොවන බව ඔවුන්ට පෙරළා ප්‍රකාශ කළ හැකි ය. වඩා යහපත් සමාජයක් සෑදීම යනු වරදකරුවන් හෙළි කරමින්, මුහුණු පෙන්වමින් (මාධ්‍ය ආයතනයක් මෙය හැඳින්වූයේ, සතුටින් හිනැහෙමින්, ලජ්ජාව විලි ලැජ්ජාව බවට පත් කිරීම ලෙස ය) කටයුතු කිරීම නොව ඉතා ප්‍රබල ලෙස අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය දැක්මක් සහිතව එළඹ පුරවැසි ප්‍රජාව ඉහළට ඔසවා තැබීම බව රජයට වුව හැරී ප්‍රකාශ කිරීමට මාධ්‍යයට හැකි විය යුතු ය.

ඒ සඳහා පියවර තබන මාධ්‍ය ආයතන හිඳීවි ද? අපට ඇත්තේ ඉදිරිය දෙස බලා සිටීම ය.

-          ප්‍රියන්ත ෆොන්සේකා -  

Monday, December 7, 2020

කොරෝනාව අවුළුවන සහෘද මනස්: ජාල අවකාශයේ නෙක කතා

 (2020 ‍‍නොවැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

එළඹෙන සංවාදයේ පෝස්ටරය

කොරෝනාව පරදිනු ඇතත් ඒ සඳහා වන දිනයක් පිළිබඳ නිශ්චිත අනාවැකි කිසිවකුට කිව නොහැකි ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා නොබෝ දිනයක කියා තිබුණේ එන්නත් සොයා ගනිමින් තිබුණ ද වෛරසය මුළුමනින්ම පරාජය කිරීමට ඒ ප්‍රමාණවත් නොවනු හැකි බවයි. අවිනිශ්චිත බව, දොම්නස ඇතුළු බොහෝ සෘණාත්මක හැඟීම් මේ හා සමග අප වෙත සම්ප්‍රේෂණය වෙමින් පැවතිය ද, පෙර සතියේ මා ප්‍රාසාංගික කලා අවකාශය තුළ වෛරසය සමග ප්‍රතිමුඛ ව සටනට බට කලා නිර්මාණකරුවන් සහ ක්‍රියාධරයින් පිළිබඳ සඳහන් කළ පරිද්දෙන්ම, ඒ සමාන ලෙස, නැගී විවිධ නව සංවාද කලාප තනා සහෘද මනස් අවුළුවන යම් පිරිස් හේතුවෙන් කලා සාහිත අවකාශ වෙත අප නෙතු යොමු වෙයි; ජීවිතයෙහි අගය ද යළි අප වෙත නැගෙයි.

‘සූම් ටු පොයම්’ නොඑසේ නම් සූම් අවකාශය හරහා කවිය පිළිබඳ ඇරඹී තිබුණු නව සංවාද මණ්ඩපය එවැනි එක් අපූර්ව අවකාශයකි. සෑම සඳුදා දිනකම රාත්‍රී අටට මෙරට මතු නොව ලොව පුරා විසිර සිටින ලාංකික කවි කිවිඳියෝ සහ කවි සහෘදයෝ සැළකිය යුතු පිරිසක් තෝරාගත් කෘතියක් හෝ කවියක් පිළිබඳ සංවාදයකට පිවිසීම මෙහි දී සිදු කරමින් සිටිති. මෙය මා ලියන මොහොත වන විට එවැනි හමු 24ක් නිමාව දැක තිබිණ. ප්‍රමුඛ කවි කිවිඳියන්ගේ කෘතීන් මෙන්ම කවි කෙත වෙත තීරණාත්මක මැදිහත්වීම් සිදු කළ කවීන් පිළිබඳව ද ඒ හමු තුළ සාකච්ඡා කොට තිබිණ.

භාෂාවෙහි මායිම් මතු නොව දේශ සීමාවන්හි මායිම් ද ඉක්මවමින් කවිය නමැති මහා දහර ගලා බසිනායුරු මෙම සාකච්ඡා අතරතුර සංවාදයට බඳුන් වනු එහි ගොඩ වැදි තැන්හිදී මගේ සවන් වැකිණ. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් සිය දශකයකට නොඅඩු රුසියානු ජීවිතය හරහා මෙරටට රැගෙන ආ, එරට සමාජ-සංස්කෘතික ආශ්‍රයෙන් ද පරිණත, රුසියානු කවිය සිංහලයට නැගීම හා ඒ පිළිබඳ කළ සාකච්ඡාව මෙන්ම පරිවර්තකයාම ඒ කවි එහි මුල් බසින් ගයමින්ම සංවාදය නැංවීම (මෙය පුරා සති දෙකක් විහිද ගිය වැඩසටහනකි.) එවැනි මහරු-අතත්‍ය අවකාශමය අත්දැකීමකි. නන්දන වීරසිංහ වැනි වත්මන් ප්‍රමුඛ කවියෙකු පිළිබඳ සජීවී සංවාද මණ්ඩපයක් තැනීම, ප්‍රභාත් ජයසිංහගේ ‘අනවරත’, මාලන් බණ්ඩාර කපුවත්තගේ ‘නිමා වූ සෘතුවක ශේෂ පත්‍ර’ ඇතුළු පද්‍ය කෘති කිහිපයක්ම සංවාදයට කැඳවීම කිසිසේත් අනෙක පරයා නැගෙන්නට නොහැකි, සමාන බරකින් යුතු පියවර පෙළකි.

කොරෝනාව ලොව බිය නොගන්වන්නට, කලා රසික සමාජය නිවස තුළ වැඩිපුර නොතබන්නට පෙර පියවර කිහිපය ඇතුළු පියවර රැසක් පිළිබඳ කිසිවකු උනන්දු නොවන බව පැහැදිලි ය. විශේෂයෙන් ප්‍රංශයේ ජීවත් වන මංජුල වෙඩිවර්ධන වැනි කවියෙකු හැකි සෑම සතියකම මෙරට සාකච්ඡා මණ්ඩපයකට කැඳවීම ඇතුළු විදේශීය නිර්මාණකරුවන් හා සහෘද සමාජය එකම අවකාශයක හිඳුවා ගැනීමේ වැඩි ගෞරවය ද කොරෝනාවට ම ය.

මෙවැනි අවකාශ, මේ හේතුවෙන්ම, තවත් පදනම් කිහිපයක් ම සාදා දෙයි. උදාහරණයකට, සිය කෘතිය පිළිබඳ පවතින සංවාදය, ඇගයුම් හා වැඩදායක විචාරයන් හේතුවෙන් ඉදිරි නිර්මාණකරණයන් සඳහා පිවිසීමට යම් උද්යෝගයක් නිර්මාණකරුවන් තුළ ඇති වීමට මග පාදයි. සහෘදයා තුළ ඇති කියවීම සමග නිර්මාණකරුවගේ පරිකල්පනයන්හි දිග පළල සසඳා බැලෙමින් දිවෙන ගැඹුරු සංවාදයන් කිසි විටෙක සෘණාත්මක ප්‍රතිඵල ළඟා කර නොදෙනු ඇත. දෙවැනුව, මෙම සංවාද මණ්ඩප හරහා ගොඩ නැංවෙන, පශ්චාත් කොරෝනා සමයක් එළඹුණු දිනයක නොබිඳෙන, කවි කිවිඳ සහයෝගීතාවන් ඉදිරියට තව දුරටත් විහිදීමේ ඇති වැඩි ඉඩයි. සංවාදය, අනිවාර්ය ක්‍රියාකාරීත්වයක් බවට ස්ථිර කෙරෙත්ම එහි දිගුකාලීන පැවැත්ම ස්ථිර කෙරෙනු ඇත.

කම්මැල්ලවීර, විජේසිරිවර්ධන, අමරකීර්ති, වෙඩිවර්ධන, සුනිල් සෙනෙවි ආදී ප්‍රමුඛ සාහිතකාරකාදීන් සමග විහිදෙන සංවාද දෙස බලා උන් පසු පරපුරෙහි තරුණ උනන්දුකරුවන් ද සමාන සංවාද මණ්ඩප තනා තිබෙනු දැකීම තව දුරටත් මෙවැනි සංවාදවල ධනාත්මක බලපෑම පහදයි. ස්වකීය අවකාශවල ලියැවුණු හෝ ලියැවෙන කවි හා සාහිත රචනා යළිත් වෙනත් අතත්‍ය අවකාශයක සංවාදයට ගැනීම අපූරු ය. සංවාදයන් බෝවීම, විසම්මුතියෙහි අගය වටහා ගනිමින් ඒ සංවාද තව දුරටත් නැගී යාම හෙට දිනය පිළිබඳ පැහැබර සිතුවිලි තනයි.

නමුත් මේ සියල්ල කොරෝනා හේතුවෙනි!

කොරෝනාව අප නිවෙස තුළ තබමින්, සමාජයෙහි සෙසු සියල්ලන් ‘අනෙකා’ ලෙස මීටරයක් හෝ දුරින් තබන්නැයි යෝජනා කරමින් අප වෙත තැබූ ‘නිරෝධායන අවකාශ’ අප විසින් ‘අතත්‍ය, සාහිත කලා අවකාශ’ බවට පත් කර ගැනීමත් සමග පශ්චාත් කොරෝනා සමය පිළිබඳ වඩාත් පිරුණු සිතින් බැලිය හැකි ය.

-          ප්‍රියන්ත ෆොන්සේකා -  

 


Tuesday, November 24, 2020

ප්‍රාසාංගික කලාවට එරෙහිව කොවිඩ්-19 සහ කොවිඩ්-19ට එරෙහිව ප්‍රාසාංගික කලාව

 (2020 ‍‍නොවැම්බර් 22 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

පේරාදෙණි ලලිත කලා අංශය මගින්
 පවත්වන්නට නියමිත සංවාදයේ
පෝස්ටරය

කොවිඩ්-19  පසුගිය වසර අවසානයේ කරලියට පැමිණීමත් සමග නව ඇවතුම් පැවැතුම් රටාවන්  රැසක් සමාජය වෙත හඳුන්වා දෙනු ලැබිණ. සෙස්සන්ගෙන් හැකි පමණ දුරස්ථව කල්ගත කිරීම හෙවත් සමාජ දුරස්ථභාවය හඳුන්වාදීමත් සමග සමාජය වෙත පැමිණියේ නව ජීවන ස්වරූපයකි. මීටරයක දුර, මුහුණු ආවරණය, නිවසටම වී කල් ගෙවීම ඇතුළු වෛරස විරෝධී ක්‍රම පිළිවෙත් තවත් සජීව කලාප ගණනාවකටම සෘජුව පහර එල්ල කළේ ය. ඒ අතර වඩාත් ප්‍රමුඛ කලාපයක් වූයේ ප්‍රාසාංගික කලා අවකාශයයි.


භෞතිකවව එකිනෙකා මුණ ගැසී, බොහෝවිට ස්වකීය ශරීර ද දායක කර ගනිමින්, නර්තනය, නාට්‍ය හා රංගය ආදී සජීව කලාවන් ප්‍රේක්ෂකයා වෙත තැබූ එම අවකාශවල ක්‍රියාකාරීව කටයුතු කළෝ බොහෝ අංශවලින් අසරණව ගියෝ ය. එක් අතෙකින් සිය නිර්මාණයන් සූදානම් කරගැනීම සඳහා එකිනෙකා මුණගැසීමට නොහැකි වීම ඔවුන් වෙත අභියෝගයක් ලෙස පැමිණි අතර, අනෙක් අතින් සූදානම් කළ රංග කටයුතු ප්‍රේක්ෂකයා හමුවේ තැබීමට නොහැකිව තවත් අභියෝගයක් නිර්මාණය වී තිබිණ. ‘ලොක් ඩවුන්’ කාල සීමා දිගුවත්ම සදා නිම කළ නිර්මාණවල පුහුණුව බිඳ වැටීම හේතුවෙන් (වරෙක මගේ කලා විචාරක මිතුරෙක් මෙය හඳුන්වා තිබුණේ නාට්‍යවල ‘බැටරි බැසීම’ ලෙස ය.) යළි ඒ වේදිකාගත කිරීම පිණිස මුහුණ දිය යුතු අර්බුද ගණනාවක් නිර්මාණය විය. ඒ හා සමග, ආදායම් බිඳ වැටීම (අප රට වැනි සමාජයක කලා නිර්මාණකරුවන් බහුතරය ස්ථිර ආදායමක් නොලබන්නන් බැවින්) හේතුවෙන් ඔවුන්ගේ දෛනික ජීවිතය පවත්වා ගැනීමේ අර්බුද පිළිබඳ ව ද සාකච්ඡා මතු විණ. 


පළමුව වැසී ගියේ ද, කොරෝනා ‘රැළි’ බැස ගිය පසු, අවසානයේ විවෘත වූයේ ද, නාට්‍ය හා සිනමා ආදී ප්‍රාසංගික කලාව හා බැඳුණු ශාලා ඇතුළු රංග අවකාශයන් ය. එය, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විමසූ කල්හි යම් වෙනස්කම් පැවතිය හැකි වෙතත්, ප්‍රාසංගික කලාව වෙසෙසින්ම යෝජනා කරන්නේ ද එකිනෙකා හා සමීප වුණු කලා භාවිතයක් බැවින් එය වෙත සීමා පැනවීම මග හැර යා හැක්කක් ද නොවන්නේ වෛරසයේ ස්වරූපය සියයට සියයකින්ම ප්‍රාසංග කලා භාවිතයේ අවැසියාවන්ට එරෙහිව ප්‍රතිමුඛව පිහිටන හෙයිනි.


කෙසේ වෙතත්, ප්‍රාසාංගික කලාවට එරෙහිව කොවිඩ්-19 සිටගත් විගසම කොවිඩ්-19ට එරෙහිව ප්‍රාසාංගික කලාව ද සිය කටයුතු ඇරඹි බව වඩාත් අවධානයෙන් අදාල කලාප විමසන්නෙකුට පෙනී යනු ඇති අතර මගේ මෙම කුඩා තීරු ලිපියේ යොමුව ද එය නොදුටු අයෙකු වේ නම් එය දක්වා ලමින්, දුටු නුදුටු සැමට මෙම සුවිශේෂ කඩඉමෙහි වැදගත්කම අවධාරණය කිරීම ය.

කලාව යනු අප සමාජය ඉතා පසුගාමී ලෙස හඳුනාගෙන ඇති පරිදි විද්‍යාව, ගණිතය ඈ භෞතික විද්‍යාත්මක විෂයය ධාරාවෙන්ගෙන් පසුව තැබිය යුතු හෝ හැකි විෂයය පද්ධතියක් නොවේ. පෘතුගීසි - ඇමරිකානු සම්භවයක් සහිත, ස්නායු විද්‍යාඥයෙකු වන, දකුණු කැල්ෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අන්තෝනියෝ දමාසියෝ පවසන පරිදි මිනිසාගේ භාවයන් සමාජ සංජානනයේ දී හා තීරණ ගැනීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එනිසාමත් (හා එනිසාම නොවෙතත්), සෞන්දර්යය, කලාව හා ඒ හා බැඳි ක්‍රියාකාරකම් හා සංවාද, අපට වෛරස ක්‍රියාකාරීත්වයක් කෙළවර දකින තුරු පසෙක තැබිය යුතු නොවේ. (සහ, කලාව තුළ ක්‍රියාත්මක මනසකට හා/හෝ ශරීරයකට එය කෙළවර දක්වා නවතා තබනු නොවන්නට ද ඉඩ ඇත.)

කොවිඩ් - 19 පළමු ‘ලොක් ඩවුන්’ සමයේ ම  ‘සූම්’ පරිගණක යෙදවුම හරහා තැනුණු අශෝක හඳගමගේ ‘ඇල්කොහොල් නැති බියර්’ කෙටි චිත්‍රපටයට විශාල අවධානයක් මෙරට දී සැදුණේ මේ පසුබිමෙහි දී ය. රටවල් දෙකක, අවකාශ 4ක උන් 5 දෙනෙක් (හෝ කිහිප දෙනෙක්) එහි කතා පුවත අප වෙත තබා තිබුණු අතර අධ්‍යක්ෂවරයා එකදු නළුවකු හෝ නිළියක අසළ භෞතිකව නොසිටි බව පෙනී ගොස් තිබිණ. ‘ලොක් ඩවුන් ස්ටෝරීස්’ කෙටි ටෙලි නාට්‍යය නාමල් ජයසිංහගේ නිර්මාණ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වූයේ ද, එවැනි කී, නොකී මැදිහත්වීම් ඔස්සේ තවතවත් කටයුතු සඳහා නිර්මාණකරුවන් යොමු වූයේ ද මේ පසුබිමෙහි ය.     

මෙරට කොරෝනාවේ දෙවැනි රැල්ල වන විට ලෝකය පුරාම බරපතල ලෙස හමුවන ‘කොරෝනාට එරෙහි’ කලා භාවිතයන් හඳුනාගත හැක. අතථ්‍ය (virtual) අවකාශවල සිදු කෙරෙන, අනාගත සුභ සිහින පසුබිම් කරගත් නාට්‍ය හා නිර්මාණ පුහුණුවීම් එහිලා වැදගත් ය. දශක ගණනාවකට පසු සිදුවන ස්වකීය වේදිකාගමනය සංඥා කරමින් අශෝක හඳගම වේදිකා නාට්‍යයක පුහුණුවීම් ‘සූම්’ හරහා සිදු කරන අන්දම සමාජ ජාල ඔස්සේ බෙදාගෙන තිබිණ. සෙමින් හෝ වේගයෙන් ගිය ගමන නවතා ලූ වෛරසයට එරෙහිව සිට ගනිමින් තවත් නිර්මාණකරුවන් කිහිප දෙනෙකුම සිය ‘වැඩ’ ආරම්භ කර තිබුණේ ‘ලොක් ඩවුන්’ බිම සිටම ය. 

‘දැන් ඔයාල කොහොම ද නේද නටන්නෙ, රඟපාන්නෙ??”

සෙසු මානව හා ශාස්ත්‍ර විද්‍යා අධ්‍යාපන අංශ කම්පිතව (හෝ කලාතුරකින් මොහොතක සෝපාහාසාත්මකව) ප්‍රාසාංගික කලා අංශ වෙතින් විමසද්දී ඔවුන් ද සිය පියවර ස්වරූප වෙනස් කොට තිබිණ. ඒ අනුව, ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසංගික කලා අවසන් වසර නාට්‍යය මෙවර ගුවන් විදුලි නාට්‍ය ස්වරූපයක් ලෙස නැගී, දෙවනුව දෘශ්‍ය මාධ්‍ය වෙත සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රවණතා විමසනු ඇත. පේරාදෙණියේ (මා සේවය කරන) නාට්‍ය විද්‍යාර්ථීහු සිය කෙටි නාට්‍ය ත්‍රිත්වයක් ‘සූම්’ පුහුණුවීම් ඔස්සේ නංවමින් සිටින අතරම, එහි නර්තන, නාට්‍ය හා සංගීත ආචාර්ය හා ශිෂ්‍ය ප්‍රජාව විදේශ රටවල සම-ස්වරූපයේ ආයතන සමග අන්තර්ජාල පුහුනුවීම් ආදිය ද සිදු කරන්නේ, නව යෝජනා හරහා නැගුණු නිර්මාණ අවකාශ පෝෂණය කරනු පිණිස ය.

ඒ හා සමග, අදාල විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන ද මේ නව ප්‍රතිමුඛ වීම විෂයානුබද්ධව ගොස් විමසයි. දෙසැම්බරයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ‘කොවිඩ් සමයේ සෞන්දර්ය ඉගැන්වීම මුහුණදෙන අර්බුද’ හා සම්බන්ධ ය. එළඹෙන 27 වැනි සිකුරාදා සූම් හරහා පැවැත්වෙන, පේරාදෙණියේ ලලිත කලා අධ්‍යයනාංශය සංවිධානය කරන, ‘කොවිඩ් 19 හමුවේ රංග සහ නර්තන කලාවන් මුහුණ දෙන අභියෝග’ නමැති විද්වත් කතිකාව ද ඒ පිළිබඳ ව ය.

කලාවට කොවිඩ් ප්‍රතිමුඛ වී ඇති බව සැබෑ ය. එහෙත් එය ජය ගෙන හෝ ජය ගනු නැත.



-ප්‍රියන්ත ෆොන්සේකා -   

Thursday, November 19, 2020

‘විකාරි’ සහ ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’: කෙටි චිත්‍රපටයේ වෙනස් මුහුණුවර දෙකක් අසන එකම පැනයක්!

  (2020 ‍‍නොවැම්බර් 15 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)


අන්තර්ජාල සිනමා උළෙලක් ලෙස පැවති දකුණු ආසියානු සිනමා උළෙල අතර සහයෝගීතා සිනමා දැක්ම (COSAFF) පසුගිය ඔක්තෝබර් 03 සිට 17 දක්වා ලොව පුරා විසිරි සිනමා රසිකයින් වෙත තිළිණ විය. තිළිණ වී යැයි මා කීවේ එහි බොහෝ නැරඹීම් සඳහා අන්තර්ජාල සබැඳිය ලබා ගැනීමට කිසිදු මුදලක් ගෙවිය යුතුව නොතිබීම හේතුවෙනි. ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ නමැති චන්දන ප්‍රසන්නගේ කෙටි චිත්‍රපටය ද ශ්‍රී ලාංකික සිනමා නියෝජනයක් වශයෙන් එහි දී අප වෙත පැමිණි අතර ‘ඇගේ ජීවිතය, ඇගේ නීතිය’ යන තේමාව පදනම්ව, ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කෙරුණු කෙටි සිනමා පොකුරකට එය එක් කොට තිබිණ.

සඳුන් සෙනෙවිරත්න, චාලි බ්‍රේ සමග එක්ව අධ්‍යක්ෂණය කළ ‘විකාරි’ කෙටි චිත්‍රපටයට ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ස්ක්‍රීම්ෆෙස්ට් සංත්‍රාස (Horror) චිත්‍රපට උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වූයේ ඉහත සිනමා උළෙල කෙළවර වූ දිනට පසු දින එනම් ඔක්තෝබර් 18 වැනිදා ය (බොහෝ මාධ්‍ය මෙය වාර්තා කර තිබුණේ සඳුන් සෙනෙවිරත්නගේ තනි අධ්‍යක්ෂණයක් ලෙස ය.). (විකාරි පූර්ව ප්‍රචාරක පටයලොව ප්‍රමුඛතම ෂානර සිනමා උළෙල අතර ඉහළින්ම නම සඳහන් වෙන ස්ක්‍රීම්ෆෙස්ට් සංත්‍රාස චිත්‍රපට උළෙල තුළ කෙටි චිත්‍රපට අංශයේ ඉහළම සම්මානය දිනීම ද සුළු කොට ගිනිය නොහැකි, ඉහළ පැසසුමකින් සළකා බැලිය යුතු කරුණකි.

‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ සාදන චන්දන දිගු කලක් මුළුල්ලේ කෙටි චිත්‍රපටකරණයේ නියැලෙන්නෙකි. ඔහු තැනූ වාර්තා චිත්‍රපට ද වන අතර ඩෙනිස් පෙරේරා සමග සම-අධ්‍යක්ෂණයෙන් එක්ව ඔහු සෑදූ ‘How to become a Film Maker with Ten Dollars’ වාර්තා චිත්‍රපටය ශ්‍රී ලාංකික චිත්‍රපට ක්ෂේත්‍රය සහ එහි නිරතවන්නන් පිළිබඳ ඉතා විවෘත සහ නිර්භය කියවීමක් සහිත කෘතියකි. ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ තුළ දී ඔහුගේ සිනමා ඇස ගෘහ අභ්‍යන්තරයකින් බැහැර සිට රූපයක් තනන්නේ ආරම්භක අවස්ථාවේ දී පමණි. ඉන් අනතුරුව එක්තරා ගෘහයක් තුළට පිවිසෙන සිනමා ඇස පළමු රූපයේ එම නිවසින් පිටව ගිය පිරිසකට අත වනා සමු දුන් බව පෙනෙන පවුලක විසිරි සාමාජික පිරිසකගේ සංවාදයක් අප වෙත තබයි. එය නිවසේ තරුණ දියණිය කාංචනා ‘බලන්නට’ ‘මගුල් යෝජනා කණ්ඩායමක්’ පැමිණ ගිය දිනයයි. සිනමාකරු සෘජුවම අප වෙත තබන්නේ ඒ කණ්ඩායම පිටව ගිය සැණින් එළැඹෙන මොහොතයි. දියණියගේ සීයා, අත්තම්මා, අම්මා, වැඩිමහළු සොයුරිය (හා ඇගේ දරුවන්), මස්සිනා, නැන්දා ඇතුළු කණ්ඩායමක් වඩා තර්කානුකූල හා ඊටත් වඩා ‘ප්‍රජාතන්ත්‍රවාදී’ බව පෙනෙන යෝජනාවලියක් ඇය වෙත තබමින් පැමිණ ගිය (අප නොදුටු) මනමාලයාට ‘කැමැත්ත’ පළ කළ යුත්තේ මන්දැයි පහදයි. කාංචනා ඒ වෙත දක්වන ප්‍රතිවිරෝධයට එරෙහිව නැගෙන තර්ක සමුදාය ප්‍රබල ය.

චිත්‍රපටයේ උත්ප්‍රාසජනක අවසානය මෙහි ලියා තැබීමට කිසි ලෙසකින් මා අදහස් නොකරන නමුත්, චන්දනගේ අනගි නිර්මාණයේ බහුවිධ කලාප ආවරණය පිළිබඳ යමක් ලියන්නට සිතමි. එක් අතකින්, මෙහි (ඒ ඒ තැනැත්තා පදනම්ව) බැලූ බැල්මට තර්කානුකූල බව පෙනෙන සහ සාමාන්‍ය සමාජයේ වැසියන් බොහෝ විට ගෙනෙන අදහස් සහ යෝජනා ‘මගුල් තුලා’ ආදියෙහි දී බහුල ය. රටේ අති-බහුතර තරුණියන් සිය ජීවිතයේ ඉදිරිය පිළිබඳ තීරණය ගන්නේම එම ‘තර්ක’ පදනම්ව ය. එහෙත්, චන්දන චිත්‍රපටයේ නම තුළම බහා තබමින් සමස්ථ පුරවැසියා අභියස ඇති දේශපාලනික ‘තේරීම්’ යනාදිය පිළිබඳ ‘තර්ක’ ද සිනමා කෘතිය තුළ දී සංකේතාත්මකව ප්‍රශ්න කරයි. එහි නම ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ ය! 

‘විකාරි’ ගැන විමසන්නට අපට තවම ඉඩක් නැත. එය යූටියුබ් හරහා අන්තර්ජාලය ඔස්සේ අප වෙත තිළිණ කෙරෙන්නේ එළඹෙන දෙසැම්බරයේ ය. එහි පූර්ව ප්‍රචාරක පටය එය වඩාත් සුහුරු සිනමා රූප වියමනක් සහිත කෘතියක් බව අපට හඟවා ඇත. එය එසේ නොවිය හැකි ද? සඳුන් සෙනෙවිරත්න ලන්ඩන් සිනමා ඇකඩමියේ සිනමාකරණය පිළිබඳ හැදෑරීමක් සහිතව ආ අයෙකි. ලාංකිකයෙකු නොවූව ද ඔහු හා සම-අධ්‍යක්ෂණයට එක්ව ඇති චාලි බ්‍රේ ද ඔහුගේ ඇකඩමික සගයෙකු බව පෙනේ.

දැන් මට මගේ අද යොමුව වෙත හැරෙන්නට ඉඩ දෙන්න!

චන්දන ප්‍රසන්න සහ සඳුන් සෙනෙවිරත්න තැනූ කෙටි චිත්‍රපට ද්විත්වය මේ ගෙවුණු කාල වකවානුව තුළ මෙරට නව හා තරුණ නිර්මාණකරුවන් සිය සිනමා කාච තුළ සටහන් කරගත් සහ සංස්කරණ යන්ත්‍ර ඔස්සේ පෙළ ගස්වා ගත් එකම නිර්මාණ ද්විත්වය නොවේ. දැන් දැන්, කෙටි චිත්‍රපටය යනු විශාල ලෙස සිනමා මාධ්‍යය ඔස්සේ සිය ප්‍රකාශනයන් පෙළ ගස්වන්නට තරුණ පරපුර තෝරා ගන්නා කලා භාවිතාවක් වී තිබේ. එක් පසෙකින් විශ්වවිද්‍යාල සහ සිනමා පාඨමාලා පදනම්ව තනන කෙටි චිත්‍රපට හමුවන අතර තවත් පසෙකින් සිය වුවමනාව පදනම්ව ම කෙටි චිත්‍රපට තනන පරපුරක නිර්මාණ ද හමු වෙයි. චන්දනගේ කෘතියට නිෂ්පාදනයෙන් දායක වන ‘ඇජෙන්ඩා 14’ වැනි ආයතනවල ආර්ථික සහාය ද ලැබුණු විට හා/හෝ සඳුන්ගේ ඇකඩමික සිනමා ඥාණය වැනි නිර්මාණාත්මක පදනම එක් වූ විට ද, ඒ හා සමග චන්දනගේ වැනි දේශපාලනික හා සමාජයීය සවිඥාණිකත්වය එක් වුණු විට ද තැනෙන්නේ වඩා නිර්මාණශීලී කෘතීන් ය. එවැනි කෘති තොග ගණනින් නොවෙතත්, යම් සැලකිය යුතු මට්ටමකින්, නව සිනමා තාරුණ්‍යය වෙතින් බිහිවෙමින් පවතී.

හිටි අඩියේ නැගෙන විශ්ව සම්මානයකින් හෝ ජාත්‍යන්තර උළෙල සහභාගිත්වයකින් අවදි නොවෙන, නිරන්තර අවධානයකින් යුතුව අප මෙම නව සිනමා පරපුර සහ නිර්මාණ විමසිල්ලට ලක් කළ යුතු ය. ඒ පිළිබඳ ඇගයීම, රස වින්දනය මෙන්ම විචාරය මතු නොව එම කෘති වඩා ක්‍රමවත්ව ප්‍රේක්ෂකයා හමුවට යැවෙන ක්‍රම සම්පාදනය ද සිදු විය යුතු ය. ඒ, දැඩි දොම්නසකින් යුතු ව සිය කෘති සිනමා ශාලා වෙත යොමු කරගත නොහී බලා හිඳින සිය සහෝදර ‘දිගු සිනමා කෘති’ තැනූ නිර්මාණකරුවන්ගේ වේදනාව මොවුන් වෙත කාන්දු නොවෙන ස්ථිර වැඩ පිළිවෙලක් දියත් කිරීම ඔස්සේ ය.

‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ සහ ‘විකාරි’ වෙනස් ශානර සහ නිර්මාණ ඇමතුම් අවකාශවල සිට අසන එකම පැනය අප තේරුම් ගත යුතු ය. ‘අපේ අනාගතය කුමක් ද?’ යන්න ඒ තනි, ප්‍රබල එසේම විසඳුම් දිය යුතුම පැනයයි.

-ප්‍රියන්ත ෆොන්සේකා -