Sunday, May 18, 2014

මාගේ සහෝදර රටවැසියනි!!

වසර 10ක කාලයක් ඉන්දීය අගමැති ධූරය දැරූ, ඉන්දියාවේ දහතුන්වැනි අගමැතිවරයා වූ, මන්මෝහන් සිං මහතා පසුගියදා නිමවුණු ඉන්දීය අගමැතිවරණයෙන් ජය ලද නරේන්ද්‍ර මෝදි වෙත අගමැති ධූරය භාර කරමින් සිය තනතුරෙන් ඉල්ලා අස් වී යන්නට ගියේ ය. සමුගන්නා මොහොතේ ඔහු කළ කෙටි කථාව මෙහි පරිවර්තනය කොට තබමි. එහි වටිනාකමේ අරුත් ලියන්නට මම වචන නොසොයමි. 


මාගේ සහෝදර රටවැසියනි,
 
ඉන්දියාවේ අගමැතිවරයා ලෙසට මා මේ ඔබ අමතන්නේ අවසාන වරට යි.

වසර දහයකට පෙර, උද්යෝගය මාගේ මෙවලම ලෙසත්, විශ්වාසය මගේ සහන් එළිය ලෙසත් ගනිමින්, මා මේ වගකීම භාරගත්තේ සැමවිටම නිවැරදි දේ කරන්නට මට ඉඩ ලැබේවායි යන්න දිවමතුරක් ලෙස තබාගෙන ය.

අද, සර්ව බලධාරීත්වය වෙතින්, එනම් තේරී පත් වන නියෝජිතයින් හා ආණ්ඩු යන සියල්ලන්ම  හිස නැමීමට නියමිත මහජන මතය නම් අධිකරණය වෙතින්, අප සියල්ලෝම බලාසිටින අවසාන තීන්දුව ලැබෙන්නට පෙරාතුවම මම  මාගේ නිලයෙන් සමුගන්නට සූදානම්ව සිටිමි.

සහෝදර රටවැසියනි, අපි සියල්ලෝම ඔබ විසින් ලබා දෙන ලද තීන්දුවට ගරු කළ යුතු වෙමු. මෙම නිමා වුණු සියලු මැතිවරණ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයේ පදනම ශක්තිමත් කරන බැවිණි.

බොහෝ අවස්ථාවල මා කියා ඇති පරිදි, මහජන සේවය සඳහා කැපවුණු මගේ නිල කාලය තුළ වන මාගේ ජීවිතය විවෘත පුස්තකයක් බඳු ය. මෙම විශිෂ්ඨ ජාතියට සේවය කිරීම සඳහා මම සෑම අවස්ථාවකම මාගේ උපරිම පරිශ්‍රමය දැරුවෙමි.

ගෙවුණු වසර දහය තුළදී, රටක් ලෙස සියල්ලන්ටම ආඩම්බරයට පත් විය හැකි බොහෝ ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් අපි දුටුවෙමු.  අද,  සෑම විෂයයකින්ම, දශකයකට පෙර පැවති තත්වයට වඩා  බොහෝ ශක්තිමත් රාජ්‍යයක් බවට ඉන්දියාව පත් වී ඇත. එම සියලු ජයග්‍රහණයන්හි ඇගයීම් මම ඔබට පිරිනමමි. කෙසේවෙතත්, අප රට තුළ තවදුරටත්, විශාල නෛසර්ගික දියුණුවීමේ හැකියාවත් පවතින අතර එය සාක්ෂාත් කරගනු පිණිස අප සැම එක්ව වෙහෙස වී වැඩ කළ යුතු ය.

මා නිලයෙන් සමුගන්නා මොහොත වන විට, ඔබෙන් නිරතුරුවම ලැබුණු ආදරය සහ කරුණාව පිළිබඳ නොමියෙන තිරසාර මතකයක් මහද තුළ ඉතිරිව ඇති බව දැනෙයි. ඉම් පෙදෙසකින් පැමිණි, වරප්‍රසාද නොලත් කුඩා දරුවකුවූ මට, නැගී සිටීමට අවැසි බලය ලබාදුන් මේ ශ්‍රේෂ්ඨ භූමියට මා ණයගැති ය. එය කිසිකලෙක මාහට ගෙවා නිම කළ නොහැකි ණයක් මෙන්ම ආඩම්බරයෙන් මා පැළඳ සිටින ආභරණයක් ද වෙයි.

මිත්‍රවරුනි, අනාගත ඉන්දියාව පිළිබඳ මට විශ්වාසයක් ඇත. අනාගතයේ සකස් කෙරෙන ගෝලීය ආර්ථිකයෙහි ප්‍රමුඛ බලකොටුවක් ලෙස ඉන්දියාවෙහි පෙරට ඒම පිළිබඳ මම ස්ථිරව විශ්වාසය තබමි. නූතනත්වය සහ විවිධත්වයෙන් යුතු ඒකීයත්වය සමග එන සම්මිශ්‍රිත සම්ප්‍රදායන්ගෙන් යුතු අපගේ මෙම ජාතිය ලොවට මග කියා දී ඇත. ජාතියට සේවය කරන්නට ලැබීම මාහට ගෞරවයකි. එයින් වැඩි කිසිවක් මා ඉල්ලා සිටින්නේ නැත.

ඉදිරි රජයට සුභ පතමින්ම එහි සියලු කටයුතු සාර්ථක කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අපගේ ජාතියට තවතවත් විශිෂ්ට විජයග්‍රහණයන් ලැබෙන්නැයි යාඥා කරමි.


ස්තුතියි, ජායි හින්ද්!!

පරිවර්තනය - ප්‍රියන්ත ෆොන්සේකා

සේයාරුව-http://static.financialexpress.com/pic/uploadedImages/mediumImages/M_Id_437792_Manmohan_Singh.jpg