Wednesday, July 6, 2016

අබ්බාස් කියොරස්තාමි සමග සම්මුඛ සාකච්ඡාවක්: " නව දේවල් සොයා යෑමේ ගමන මුණ ගැහෙන්නේ කෙටි චිත්‍ර‍පටවල සහ අධ්‍යක්ෂකවරයෙකුගේ කුළුදුල් සිනමා කෘතිය තුළයි“


කියොරස්තාමි
සිනමාකරුවකු මතු නොව කවියකු, චිත්‍ර‍ ශිල්පියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු ද වූ අබ්බාස් කියොරස්තාමි වසර 76 ක සිය දිවි ගමන නිමා කළේ ය. ඉරාන සිනමාව වෙත ලෝකයේ අවධානය යොමු කරගන්නට මුල් වූ සිනමාකරුවන් අතර ඔහු ප්‍ර‍මුඛයෙකි. එපමණකුදු නොව, ‘කතුවර සිනමාව‘ පිළිබඳ කතා බහේදී ද, 70 දශකයේ නැගී ආ ‘ඉරාන නව සිනමා රැල්ල‘ පිළිබඳ සාකච්ඡාවේදී ද ඔහුගේ නම පෙරමුණෙහි වේ. 1997 වර්ෂයේදී සිය Taste of Cherry (Ta'm e guilass) චිත්‍ර‍පටය සඳහා කෑන්ස් සිනමා උළෙලේදී කැමරා ඩි‘ඔර් සම්මානයෙන් පිදුම් ලද කියොරස්තාමි තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලබා ඇත. 2014 වර්ෂයේදී කෑන්ස් සිනමා උළෙලේ සිනෙෆොන්ඩේෂන්හි සභාපතිවරයා සහ කෙටි චිත්‍ර‍පට අංශයේ ජූරි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතරතුර ඔහු ලබා දුන් කෙටි සම්මුඛ සාකාච්ඡාවක පරිවර්තනය මෙහි වේ.  


එදා ඔබ කුමන වර්ගයේ යොවුන් සිනමාකරුවෙක් විදිහට ද ආවෙ?

මට අද කියන්න පුළුවන්, මේ වයසට ඇවිල්ල හැරිල බලපුවාම, අපි තරුණ සිනමාකරුවන්ට ඒ දවස්වල තිබුණු එකම දේ අපි තරුණ වීම පමණමයි කියල. මම සිනමාව හදාරලා නැහැ. මම දැක්කෙ නැහැ ඒක මගෙ හැකියාව කියල. මම ඉගෙන ගත්තෙ චිත්‍ර‍ශිල්පය. ඒත් මම චිත්‍ර‍ ශිල්පියෙක් වුණේ නෑ. ඒත් එක වෙලාවක මම තේරුම් ගත්ත සිනමාව තමයි මගේ තැන කියල. ඒත් එක්කම, චිත්‍ර‍පටය තමයි මගේ අදහස් ප්‍ර‍කාශ කරන්න තියෙන හොඳම මාධ්‍යය කියල.

කැමරාව පිටුපස ඔබේ පළමුවැනිම අත්දැකීම් පිළිබඳ තියෙන මතකයන් මොනවා ද?

මගේ පළවෙනි (කෙටි) චිත්‍ර‍පටය හදන එක හරිම අමාරු දෙයක් වුණා. ඒත් වාසනාවට ඒක කරගන්න පුළුවන් වුණා. ඒක විශාල ආකර්ෂණයක් ලබපු, ලොකු පිළිගැනීමක් ලබපු එකක් වුණා.  ඒත් මං හිතන්නේ නෑ ඒකෙන් මම සිනමාකරුවෙක් වුණා ය කියල. මම හිතුව ඒක එතනින් ඉවරයි කියල. එතනින් එහාට මම චිත්‍ර‍පට කරන එකක් නෑ කියල. මොනව වුණත්, මම චිත්‍ර‍පට ගොඩක් හැදුව... ඊටත් පස්සෙ තව ගොඩක්. මම මගේ පළවෙනි වෘතාන්ත චිත්‍ර‍පටය කළාට පස්සෙ මම මටම කියාගත්ත චිත්‍ර‍පටකරුවෙක් වුණු එක මගේ පළවෙනි රස්සාව හැටියට පිළිගනින් කියල. මේ පළවෙනිම වෘතාන්ත චිත්‍ර‍පටයෙදි මට මුණ ගැහුණ දෙයාකාරයක ප්‍රේක්ෂක පිරිසක්. පළවෙනි කණ්ඩායම මගෙ චිත්‍ර‍පටිවලට ආදරය කරපු අයගෙන් යුක්ත අය, දෙවැනි කණ්ඩායම, වඩාත් ලොකු පිරිස තමයි, මොනම විදියකින්වත් ඒ චිත්‍ර‍පටවලට කැමති නැති අය. ඒක අදටත් සත්‍යයක්. 
පළවෙනි චිත්‍ර‍පටය සාර්ථක වෙන්න නම් තියෙන්න ඕනෙ ලක්ෂණ මොනව ද?

මාව මෙහෙයවපු දේ තමයි මගේ පළවෙනිම චිත්‍ර‍පටය සාර්ථක වුණු කාලෙ ඒක චිත්‍ර‍පට උළෙලක පිළිගැනීමට ලක් වීම සහ හොඳම කෙටි චිත්‍ර‍පටය විදියට සම්මානයට පාත්‍ර‍ වීම. මට එදා සාර්ථකත්වයේ මිණුම් දඩු වුණේ ඒ දේවල්.  අද, ආපහු හැරිල බලනකොට මම හිතන්නෙ නෑ හොඳ චිත්‍ර‍පටය කියල කියන්නෙ සම්මානයට පාත්‍ර‍ වෙන එක කියල. ඒත් එක්කම මං හිතන්නෙ නෑ හොඳ චිත්‍ර‍පටය කියන්නෙ විශාල ප්‍රේක්ෂාගාරයක් දිනාගන්න, විචාරකයින්ගෙන් හොඳ අහන්න අවස්ථාව තියෙන චිත්‍ර‍පටය කියල. මම හිතන්නෙ සාර්ථකත්වය කියන්නෙ රඳාපැවැත්ම කියල. හොඳ චිත්‍ර‍පටයක් කියන්නෙ අවසානෙදි ඉතිහාසය පුරාම අපිත් එක්ක රැඳිල ඉන්න එකයි. මට මතක නෑ කවුද මේ අවුරුදු තිහේ කාල සීමාව හැදුවෙ කියල. කවුරු වුණත්, ඒකෙන් කියවෙන්නෙ අපිට අවුරුදු තිහකට පස්සෙ මනින්න පුළුවන් කියල චිත්‍ර‍පටයක් රඳා පවතිනවද කියල, ඒක නැති වෙලාම ගිහිල්ල තිබුණත් ඒ වෙනකොටත් අපි අතරෙ ඒක තවමත් සිහියෙ තියෙනවා නම්...   

සිනමාකරුවෙක් විදියට ගෙවුණු ජීවිතේ ඇතුළෙ ඔබව කෙටි චිත්‍ර‍පටවලට ආකර්ෂණය කරවන්න හේතු වුණු විශේෂතා මොනවාද?

ඒවා අතිශය වැදගත් වෙන්නේ එතනදි අධ්‍යක්ෂවරයෙකුට නිර්භීත වෙන්නත් පර්යේෂණ කරන්නත් අවස්ථාව සළස්වන හින්දයි. අධ්‍යක්ෂවරයෙකුගේ පෞරුෂය ඔහුගේ හෝ ඇයගේ කෙටි චිත්‍ර‍පටවල බොහොම ප්‍ර‍බල විදියට රැඳිල තියෙනව. වෘතාන්ත චිත්‍ර‍පටවලදී නිෂ්පාදකවරයා සහ මුල්‍ය තත්වය වගේම ප්‍රේක්ෂාගාරයේ රසඥතාවත් ලොකු හෙවණැල්ලක් විදියට චිත්‍ර‍පටය පුරා රැඳ‍ෙනව.  කිසිම අධ්‍යක්ෂවරයෙකුට මේ සත්‍යය මගාරින්න බෑ. ඒකෙ ප්‍ර‍තිඵලයක් හැටියට කෙටි චිත්‍ර‍පටය ඉතා වැදගත් වෙන්නෙ ඒක බොහෝම ආත්මීය නිසයි.  පෙරටුගාමියෙකු වීමේ මාවත, අලුත් දේ කරල බලන්න තියෙන උවමනාව, මුණගැහෙන්නෙ කෙටි චිත්‍ර‍පටවලත් අධ්‍යක්ෂවරයෙකුගේ පළමු චිත්‍ර‍පටයෙත්.

ඉරාන සිනමාව ගැන මට කියන්න. ඔබට හැඟ‍ෙනව ද ඒ සෞඛ්‍ය සම්පන්න තත්වයක තියෙනව කියල?


අද ඉරාන සිනමාව අරගෙන බැලුවම, ඔබට ධාරා දෙකක් දිගේ ඇදිල යන සිනමා ප්‍ර‍වර්ග දෙකක් මුණ ගැහේවි. එක් පැත්තකින් තියෙනව රජයේ සිනමාව, අධිකාරිය විසින් මුදල් යොදවනු ලබන. ඉරානයේ, සිනමාකරුවො රාශියක් ඉන්නව රජයට ස්තුතිවන්ත වෙන්න, රජය වෙනුවෙන් චිත්‍ර‍පටි හදන. මම ඒ ගොල්ලො ගැන එච්චර කල්පනා කරන්නෙ නැහැ, හේතුව මේ සිනමාකරුවන්ව හඳුනන්නෙ ඉරානය විතරයි.  ඒ ගොල්ලන්ගෙ චිත්‍ර‍පට එහෙම පිටින්ම දේශීයයි ඒ වගේම ඉලක්ක ප්‍රේක්ෂාගාරයක් සහිතයි. අනිත් පැත්තෙන් ස්වාධීන සිනමාවක් නැගීගෙන එනවා. අද, නන්නාඳුනන සිනමාකරුවන් පිරිසක් ඉරානයේ බොහොම දුර බැහැර පළාත්වලින් මතුවෙන්න පටන් අරන්. නව තාක්ෂණයටයි, පුංචි ඩිජිටල් කැමරාවලටයි ස්තුතිවන්ත වෙන්න ඔවුන් ඉතාම ඉහළ මට්ටමේ චිත්‍ර‍පටි හදනවා. මගේ බලාපොරොත්තුව පෙළගැහෙන්නෙ අන්න ඒ කණ්ඩායම ගැනයි. 

ඔබත් සම්බන්ධ වුණු ඉරාන නව රැල්ලෙන් ඉතිරි කරල ගිය දේ මොනවා ද?

ඔබ ඔය ප්‍ර‍ශ්නෙ අහන්න ඕනෙ අලුත් පරම්පරාවෙන්. ඔවුන්ට තමයි උත්තර දෙන්න පුළුවන්, ඔවුන් මොනවද එතනින් ලබාගත්තේ කියල වගේම ඒක යුගයක් ද බලපෑමක් එල්ල කළ කියල. එක දෙයක් සුවිශේෂයි: ඒ අද  ඉරානයේ සිනමාකරුවන්ට වඩා නිදහස් සිනමාවක් වගේම සිනමාකරුවො එදා හිටිය. අපිට ‘කානුන්‘ එක, ඒ කියන්නෙ දරුවන් සහ යෞවනයන් නැංවීම සඳහා වුණු ආයතනය තිබුණ. එහි අධ්‍යක්ෂවරු අපට දැනුම බෙදා දුන්න වගේම අපේ වැඩ කිසිම දේකට ඇගිලි ගැහීමක් කළේ නැහැ.  ඒක අපේ වැඩවලට බලපෑමක් කරපු සුවිශේෂම තැනක්. කොහොම වුණත්, මට හිතෙන්නෙ මේ නව රැල්ල කවදාවත් කඩා දමන්න බැරි දෙයක් කියලයි. ඈත පිටිසර පළාත්වල මම කියපු සිනමාකාරයො නිරන්තරයෙන් අලුත් වෙමින් ඉන්නව.

ඔබ තවමත් සිනමාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවා ද?

මම කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු අයිති තරුණයින්ට. නමුත්, කිසිවක් බලාපොරොත්තු නොවී මම වැඩ කරගෙන යනවා.  සිනමාවේ සාරය තියෙන්නේ රූප නිෂ්පාදනයේ. කෙටි චිත්‍ර‍පටයක්, පුංචි වීඩියෝ එකක් නැත්තම් ඡායාරූපයක්වත් නැතිව ගෙවුණු කිසිම මාසයක් මගේ කාලය තුළ නැහැ. සමහර විට අද මම සිනමාවෙන් බලාපොරොත්තු වෙන්නෙ, රෑට හොඳ නින්දක් ලබා දෙන ජාතියේ අලුත් ප්‍ර‍තිරූපයක් මම හැදුවාය කියන හැගීම වෙන්න පුළුවන්. හරියට මාළු බාන්නෙක් දැල එලන හැම වෙලාවකම මාළුවෙක් අහුවෙයි කියල හිතනව වගේම.


සංවාදය: බෙනෝයිත් පවන්

සේයාරුව: https://fullyfurnished.files.wordpress.com/2010/12/kiarostami.jpg

2 comments:

  1. wadagath lipiyak wides sinamawa gana danaganna aasai. sthuthiy.

    ReplyDelete
  2. කියවන්නාට ලුතින් හිතන්න දේවල් මෙහි තියෙනවා...ජයවේවා...

    ReplyDelete