Thursday, January 28, 2021

අධ්‍යාපනයේ අර්බුදය එක පිටුවකින්: හය ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනය - පිට 99

 (2021 ජනවාරි 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

දිනය මට හරියටම මතක නැතත් ඒ පසුගිය දෙසැම්බර් අවසානයේ දිනයක් බව නම් අමතක නැත. මගේ බිරිඳගේ ඥාති දියණියක ශිෂ්‍යත්ව විභාගය සමත්ව උන් හෙයින් ඇයට සුබ පතනු වස් අපි ඇයගේ නිවසට ගොස් සිටියෙමු. ශිෂ්‍යත්වය ඉහළින් සමත් වීම හේතුවෙනුත්, නව පාසැලකට යාමට ලැබීම හේතුවෙනුත් දියණිය සිටියේ සතුටකිනි. ඇය නව පාසැලේ දී අසුන් ගැනීමට නියමිත හය වැනි ශ්‍රේණියට අයත් පාසැල් පොත් එකතුවක්, ඇය තුළ වූ ආඩම්බරය සංඥා කරමින්ම, ඇගේ කුඩා පොත් මේසය මත රැඳී තිබුණේ ය. එකිනෙක පොත් අතින් ගෙන බැලූ මට මා වඩාත් ආශා කරන, නමුත් අප පාසැල් යන සමයේ එනමින් විෂයයක් නොවූ, පොතක් පෙරළා විමසන්නට සිතුණේ ය. පොත ‘පුරවැසි අධ්‍යාපනය’ පෙළ පොතයි. අහඹු ලෙස පෙරලීමෙන් පසු මගේ නෙතු නතර වූයේ 99 වන පිටුවේයි. මේ පහත මා උපුටන්නේ එහි මා දැක, මගේ දුරකථන කැමරාවේ සටහන් වූ ඡේදයකුයි.

නිව්යෝර්ක් නුවර මධ්‍යම උද්‍යානයේ දර්ශනයක්

“ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉඳලා කිලෝමීටර් 30ක් විතර යන තුරු කොළපාට එක ම එක ගහක්වත් දකින්න නෑ. ඊට එහා ගහකොළත් කොළපාට වෙන්නේ අවුරුද්දේ භාගයක් විතරයි. අවුරුද්ද පුරා අව්ව වැටෙන දහවලක් ඔවුන්ට ලැබෙන්නේ නෑ. ඒ රටවල අයට කොළපාටින් පිරුණු අපේ රට දකිනකොට ඇස් අදහා ගන්නත් බැහැ”.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් හයවැනි ශ්‍රේණිය සඳහා ප්‍රකාශයට පත් කොට ඇති පුරවැසි අධ්‍යාපනය පෙළ පොත ප්‍රමුඛ මාතෘකා තුනකට වෙන් කොට ඇති බව එහි පටුන දෙස් දෙයි. ‘අපේ පාසැල’ සහ ‘අප ජීවත්වන ප්‍රදේශය’ ලෙස වන පළමු හා දෙවන කොටස්වලින් පසු මුණගැසෙන තෙවැනි කොටස ‘යහපත් පුරවැසියෙකු වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග’ නමින් නම් කොට ඇත. ඉහත උපුටනය ඒ යටතේ එන අතර ඒ සඳහා වන අනු මාතෘකාව වී ඇත්තේ ‘අපේ දේශීය දේ අභිමානයෙන් සුරකිමු’ යන්නයි. අනු මාතෘකාවට පහළින් පහත ආරම්භක වැකිය සමගින් අදාල ඡේද පෙළ ඇරඹී තිබිණ.

“අපේ මව්බිම” නමින් පැවති රූපවාහිනී සංවාද වැඩසටහනක දී පළ වූ අදහස් කිහිපයකි මේ.

රූපවාහිනී වැඩසටහනක් හෝ වෙනයම් කවර කලාපයක් හෝ උපුටමින් දරුවන් වෙත යම් කරුණක් වෙත අවධානය යොමු කරවීම වරදක් යැයි කිසිවකුට යෝජනා කළ නොහැකි ය. වරද (මෙවැනි වැඩසටහනක් සත්‍ය ලෙසම පැවතියේ වුවත්) ඒ සටහන් කරන දෙයෙහි ඇති නිරවද්‍යතාවයි. දෙවැනුව ඒ ඔස්සේ දරුවන් වෙත අප සම්ප්‍රේෂණය කරන්නට යන කරුණෙහි හෝ කරුණු එකතුවෙහි වන දෘශ්ටිවාදීමය පදනමයි.

අපි එකින් එක විමසමු.

අන්තර්ජාලයේ ඇති තොරතුරු දත්ත අනුව වර්ග කිලෝමීටර 783.8ක් වන සමස්ථ නිව්යෝර්ක් නගර අවකාශයෙන් වර්ග කිලෝමීටර 113ක් වෙන්ව ඇත්තේ නගර උද්‍යාන සඳහා ය. නිව්යෝර්ක් නගර දෙපාර්තමේන්තුව ඉතා උනන්දුවෙන් මෙම උද්‍යාන කළමණාකරණය කරනු පමණක් නොව ඒවා තව දුරටත් සංවර්ධනය ද කරනු ලබන බව පෙනෙයි (විමසන්න: https://www.nycgovparks.org/). කොන්ක්‍රීට් වනාන්තරයක් ලෙස නිව්යෝර්ක් නගරය නම් දරා ඇති වුවත්, අති දැවැන්ත, නගර මධ්‍යය පුරා විහිදි මධ්‍යම උද්‍යානය ද සමග නැගෙන උද්‍යාන, කුඩා සෙල්ලම් පිටි ඇතුළු කලාප 17,000ක් නගර කලාපය පුරා විහිද පවතින බව සොයා ගැනීම සුළු අන්තර්ජාල සැරියකට වුව පිවිසෙන්නෙකුට අපහසු කටයුත්තක් නොවේ.

නිව්යෝර්ක් නගරය: කුරුළු ඇසකින්
නිව්යෝර්ක් නගරය පිළිබඳ ‘තඩි බොරුවක්’ දරුවන්ගේ මනස් තුළ ධාරණය කරවමින් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් ද සැදුම්ලත් පුරවැසි අධ්‍යාපනය පොතේ සංස්කාරක මඩුල්ල සිය ආධ්‍යාශය කොට ගන්නේ අප රටේ ‘ඇති’ (හෝ නැති) ශ්‍රී විභුතියක් පිළිබඳ දරුවන්ට අදහසක් දෙන්නට ය. සමස්ථ පාඩමම උපුටාගන්නා රූපවාහිනී වැඩසටහන මත පදනම් කරගන්නා සංස්කාරකවරු අදාල වැඩසටහන තුළ දී අපේ රටේ ඇති කෘෂි සම්පත් හා ඛණිජ සම්පත් ආදිය ගැන ද, පුරා විද්‍යාත්මක හා පරිසරමය සම්පත් ආදිය ගැන ද වර්ණනාභිමුඛව කතා කළ බව කියති.

අප රට හරිතමය දිවයිනක් බව රහසක් නොවේ. සමකාසන්න රටක් ලෙස එයට බලපෑ තත්‍ය පරිසර සාධක අප පාසැල් ගිය සමයේ නම් ‘සමාජ අධ්‍යයනය’ පාඩම් මාලාවල අප ට ඉගෙන ගන්නට තිබුණේ ය. නිව්යෝර්ක් නගරය වසරින් අඩක් හරිත වර්ණයෙන් තොර වන්නේ ලෝක දේශගුණික තත්වයන් හේතුවෙන් බව දරුවන්ට පැහැදිලි කර දී, ලෝකයේ විවිධ කලාපවල ඇති විවිධතාවන් පිළිබඳ ඇගයීමෙහි වටිනාකම වටහා දී අනතුරුව අපගේ සම්පත් පිළිබඳ හා ඒ අප රැකගත යුතු හේතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවේශ වූයේ නම් මෙම පාඩම ‘පුරවැසි අධ්‍යාපනය’ පිළිබඳ තත්‍ය පාඩමක් වීමට තිබිණ. නමුත් දැන් තැනී ඇත්තේ ඉතා පටු දෘෂ්ටිවාදයක් දරුවන් වෙත තබන පාඩමකි. එය නිව්යෝර්ක් නගරය ගැන කියන ‘තඩි බොරුවට’ වඩා භයානක ය.

යහපත් පුරවැසියකු නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡාව නිරන්තරයෙන් ඉදිරියට ඇදී යාම අත්‍යාවශ්‍ය ය. එහිලා පාසැල් අධ්‍යාපනය හමුවේ ‘පුරවැසි අධ්‍යාපනය’ මැයෙන් විෂයයක් හමුවීම ද වරදක් යැයි පෙනෙන්නේ නැත. වරද ඒ විෂයය සඳහා වන පෙළ පොත තුළ බහා ‘සීමාකාරී චින්තනයකින් යුතු’ පුරවැසියෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය දේ පොම්ප කිරීමට කටයුතු කිරීමයි.

මම පෙරළුවේ අහඹුවෙන් එක් පිටුවකි. ඔබ පෙරළන වෙනත් පිටුවල වෙනත් ‘තඩි බොරු’ ද, දුර දිග නොබැලූ මතිමතාන්තර ද නොවන බව තර්ක කළ හැකි ද?

-ප්‍රියන්ත ෆොන්සේකා -

 

 

 

Saturday, January 23, 2021

කවිකම සිරගෙයි ලෑම: ශක්තිකගෙන් පසු අහ්නෆ් ජසීම්

 (2021 ජනවාරි 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

පෙරදිග, සංස්කෘත නාට්‍ය කලාවෙහි මුඛ්‍ය ශාස්තෲවරයෙකු ලෙස සැලකෙන භරතමුණි විසින් ක්‍රි.පූ.2 වන සියවස තුළ ලියැවුණු ‘නාට්‍ය ශාස්ත්‍රය’ නමැති ග්‍රන්ථයෙහි නව වැදෑරුම් රසයන් පිළිබඳ සාකච්ඡා කෙරෙයි. වත්මනෙහි ද පෙරදිග නාට්‍ය හා රංග කලාව, සාහිත්‍යය ඈ කලාපවල පෙරමුණට ගෙනෙන මෙම රස නවය පිළිවෙලින් හාස්‍ය, වීර, කරුණා, ශෘංගාර, භීභත්ස්‍ය, ශාන්ත‍, භයානක, අද්භූත‍ සහ රෞද්‍ර ලෙස වෙයි. ප්‍රේක්ෂකයා අභිමුව මැවෙන නාටකයක දී නළුවකු විසින් ස්වකීය මුහුණෙහි ඉරියව් (සාත්වික අභිනය) භාවිතයෙන් මෙම රසයන්ට අදාල භාවයන් නිරූපණය කරන ආකාරයන් පිළිබඳ දීර්ඝ සාකච්ඡා පෙරදිග නාට්‍ය කලාව විෂයයෙහි හඳුනාගත හැක.

‘නව රසම්’ යනුවෙන් දමිළ බසින් අර්ථ ගැන්වෙන්නේ මෙම නව නළු රසයන් ය. එය මෙම ඡේදය ආරම්භයෙහි උපුටාගැනීමේ ලකුණු තුළ තැබීමට හේතු වන්නේ, මෙම තීරුව ලිවීමට අද පසුබිම සපයන, එනමින් යුතු කාව්‍ය ග්‍රන්ථය සහ එහි රචකයා පිළිබඳ සිදුවීම ය. රචකයා අහ්නෆ් ජසීම් ය. පසුබිම් සිදුවීම, අද වන විට ඔහු මාස 08කට ආසන්න කාලයක් එම කාව්‍ය ග්‍රන්ථය රචනා කිරීම හේතුවෙන් සිරගෙයි හිඳීම ය.

අහ්නම් ජසීම්

අහ්නෆ් ජසීම්, නොඑසේනම් මොහොමඩ් ජසීම් මොහොමඩ් අහ්නෆ් සිරගත කිරීම ගැන දීර්ඝ ලිපියක් පසුගිය ‘අනිද්දා’ පුවත්පතෙහි ද පළව ඇති පසුබිමක මෙම තීරුව තුළ යළි ඔහු පිළිබඳ සංවාදයක් ඇරඹීම අත්‍යාවශ්‍ය දැයි ඔබ ම’විමසනු නොඅනුමාන ය. මගේ පිළිතුර ‘ඔව්’ යන්නයි. ඒ ඇයි?

ජසීම් කවියෙකි. දමිළ බසින් කවි ලියන මුස්ලිම් ජාතික තරුණ කවියෙකි. අන්තවාදයට සහාය දෙන්නේයැයි චෝදනා කරමින්, ඔහු ලියූ ‘නවරසම්’ කවි පොත පදනම්ව ඔහු අත්අඩංගුවට පත් වන්නේ පසුගිය මැයි මාසයේ ය. කෙසේ වෙතත්, ඔහුගේ කවි පරිවර්තනය කොට බැලූ පරිවර්තකයින්ට හෝ ඒ කියවා බැලූ අයවළුන්ට හෝ එහි හඳුනා ගන්නට ලැබුණු අන්තවාදයක් පිළිබඳ ආරංචියක් නැත. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ව්‍යවස්ථාවේ වන මූලික සඳහනට එරෙහිව යමින් අත්අඩංගුවට පත් ජසීම් සිරබත් කන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට, යුද්ධයට, හිංසනයට, මුස්ලිම් අන්තවාදයට එරෙහිව යමින් සාමය හා මනුෂ්‍යත්වය පිළිබඳ කවි ලිවීම හේතුවෙනි. එනිසාවෙන්ම, අපි මෙවැනි තීරුවල පටන් දිගු ලිපි දක්වා යළි යළිත් ලියමින් ජසීම්ගේ නිදහස ඉල්ලා සිටිය යුතුම ය.

ශක්තික සත්කුමාර ‘අර්ධ’ නමින් කෙටි කතාවක් ලියූ වරදට සිරගත කෙරුණේ 2019 අප්‍රේල් මාසයේ, එනම් ජසීම් සිරගත කිරීමට වසරකට පමණ පෙරාතුව ය. ශක්තික දෙසට දිගු වුණු චෝදනා හස්තය කියා සිටියේ ඔහු බුදු දහමට අපහාස කොට ඇති බව ය. 2020 මැයි මස ජසීම් සිරගත කෙරෙන්නේ ඔහු අන්තවාදයට සහාය පළ කරමින් කවි ලියා ඇති බව සඳහන් කොට ය. මේ සිදුවීම් දෙකෙහිම ඇති සාම්‍යය නම්, දරුණු අපරාධකරුවන් හා සම තන්හි තබා, මේ ලේඛකයින් අත්අඩංගුවට පත් වන්නේ සහ සිරගත කෙරෙන්නේ පරීක්ෂණ පදනම්ව නොව සැකය පමණක් පදනම්ව වීමයි. එදා ශක්තික ද, අද ජසීම් ද සිරගෙයි සිය කාලය ගෙවන විට ඔවුන් වෙත එල්ලව ඇති චෝදනාව සත්‍යයක්දැයි දන්නා කවරකුදු ඔවුන් අත්අඩංගුවට ගන්නා පිරිස තුළ නොසිටි බව පැහැදිලි ය.

නීතිය ක්‍රියාත්මක වන්නේ එසේයැයි ඔබ මා සමග තර්ක කරන්නට පිවිසෙන බව මම දනිමි. අධිකරණ කටයුත්තකින් මිස යම් චෝදනාවකට යමෙකු වරදකරුවකු කළ නොහැකි බව ඔබ කියන බව ද මම දනිමි. නමුත්, එදා ශක්තික කළේත්, ජසීම් කළේත් (සත්‍ය වශයෙන්ම ජසීම්ගේ කෘතිය එළිදැක ඇත්තේ 2017 වර්ෂයේ ය.) අපරාධ නොව ලේඛණ කටයුතු ය. ඔවුන් සැඟව සිටි ‘බරපතල වරදවලට’ චෝදනා ලැබූවන් නොව, කෙටි කතා හෝ කවි ලියූවන් ය. ඒ හේතුවෙන් මේ අවස්ථා දෙකෙහිදීම අදාල කරුණෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ ගැඹුරු විමර්ෂණයක් පළමුව සිදු කිරීමේ හැකියාවක් කොහොමටත් ඇති බව පැහැදිලි ය.

අනෙත් අතට, ජසීම්ගේ ලිවීමට එරෙහි චෝදනා වර්තමානය වන විට අන්තවාදය වෙත සිට ළමා මනසට බලපෑම් කිරීම දක්වා විතැන් වී ඇති පසුබිමක එම කවිවලින් ළමා මනසට විය හැකි බලපෑමක් ඇත්දැයි යන්න සොයා බැලීමට මනෝ වෛද්‍ය විශේෂඥයින් වෙත ඒ ඉදිරිපත් කිරීමේ තීරණය දෙස ද අප හැරී බැලිය යුතු ය. මෙහිදී අප හැර දමන කරුණු රැසකි. මේ සාහිත්‍යමය ලේඛණයන් ය. නිශ්චිත බසක ඇති උපමා, රූපක, රූඩි යනාදියෙහි ඇසුර සමගින් ගෙන එනු ලැබූ නිර්මාණයන් ය. සාහිත්‍යමය කෘති පිළිබඳ කෙරෙන මනෝ වෛද්‍ය විද්‍යාත්මක නිර්වචනයකින් ලේඛකයෙකුගේ ජීවිතය සිරගෙයි ලන්නේ නම් අප පසුවන්නේ බිහිසුණු අවස්ථාවක ය.

තරුණයෙකු ලෙස ජසීම් දැන්, කවි ලිවීමේ වරදට, අට මසකට ආසන්න කාලයක් සිරගෙදර ය. කොවිඩ් හේතුවෙන් දික් වුණු අධිකරණ කටයුතු නිසා ඔහුගේ මීළඟ නඩුවාරය යෙදී ඇත්තේ මාර්තුවේ ය. ඒ වන විට ඔහුගේ සිරගෙයි දිවිය දසමාසයක් වනු ඇත. නිසි විමර්ෂණයකින් තොරව තරුණයකු සිරගෙයි ලෑමෙන් නොනැවතී, ඔහු එවැනි දිගු කලක් ඔහුගේ සමාජ දිවියෙන් ඈත් කොට තැබීම පිළිබඳ අප ලජ්ජා විය යුත්තේ රටක් වශයෙනි. ඒ ලජ්ජාව සිත්හි දරාගෙන අපට ඔහු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දා ලියා තැබූ කවියෙන් කොටසක් යළි කියවිය හැකි ය.

දස වසක් පමණ අපි

සහනයේ සුසුම් රැළි

සමග නැගෙමින් උනිමු

මරණයට බිය නොවී

දිවිය විඳිමින් උනිමු

ඔබ...

ක්ෂණයකින් නැගී විත්

එය විසුණු කළෙහි ය!

 

ලක් මවුන් දැන් නැවත

නියතවම හඬනු ඇත!

පරාදීසයේ ජීවිතය පිණිස ඔබ,

අප සැවොම පණපිටින්

නසා ඇත!

 

-ප්‍රියන්ත ෆොන්සේකා -


සේයාරුව: http://www.ft.lk/news/ 

Wednesday, January 20, 2021

උතුරේ මවුවරු ද දකුණේ මවුවරු ලෙසම වැළපෙති’

 

උතුරේ විසූ දමිළ සිනමාකරුවෙකු වූ කේසවරාජන් නවරත්නම් මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය. මේ ඔහු https://thecatamaran.org වෙබ් අඩවිය වෙනුවෙන් ශිවන්ති ප්‍රනාන්දු සමග 2017 දී සිදු කළ සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි. මෙය 'යුද්ධය ගැන මගෙත් වගකීමක් තියෙනවා' යන මැයෙන් 2021 ජනවාරි 17 වැනි දින 'රාවය' පුවත්පතෙහි පළ විය. 



කැටමරන්:  ඔබට පුළුවන් ද ඔබේ අලුත්ම චිත්‍රපටය ‘පනෙයිමරකාඩු’ ගැන අපිට යමක් කියන්න?

නවරත්නම්: මේකෙ ප්‍රධාන තේමාව සිවිල් යුද්ධෙන් පස්සෙ මෙහෙ යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත්වුණු අය මුහුණ දෙන අභියෝග. ඉන්දියානු නිෂ්පාදන සමාගමක් මුදල් ලබා දීලා චිත්‍රපටය හදන්න උදව් කළත් ගොඩක් ප්‍රශ්න තිබුණා. චිත්‍රපටය හදන්න අවුරුදු දෙකක් විතර ගියා. ඒත් මම බලාපොරොත්තු වෙනව ඉක්මණින්ම ඒක පෙන්වන්න.

කැටමරන්: ඔබ විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් චිත්‍රපට හදල තියෙනවා. දමිළ සමාජයේ මිනිස්සු වෙනුවෙන් ‘සටන්’ කරන්න හෝ කතා කරන්න තියෙන එකම විදිහ ඒක ද?

නවරත්නම්:  ඒ කාලෙත් මම ආයුධ සන්නද්ධ අරගල පිළිබඳ අදහසට විරුද්ධ වුණා. නමුත් මම කොටි සංවිධානයට වැඩ කළා. මම ඔවුන් වෙනුවෙන් මගේ පළවෙනි චිත්‍රපටය හැදුවෙ 1986 සහ 1987 කාලෙ. ඉන් පස්සෙ දිගටම එයාල උදව් කළා.  

මට තවමත් දෙමළ මිනිස්සුන්ගෙ වේදනාව දැනෙනවා. ගැටළු තාමත් විසඳිලා නැහැ වගේම විසඳෙන්නත් ඕනෙ. දැන් මම මුළු රටටම චිත්‍රපටි හදනව. මට ඕනෙ හැමෝම මගේ චිත්‍රපටි බලන්න. මම කොටි සංවිධානයට වැඩ කරන්න කලිනුත් චිත්‍රපටි හැදුව වගේම ඉන් පස්සෙත් චිත්‍රපටි හදනව.

කැටමරන්: දැන් යාපනෙන් හැදිල එන චිත්‍රපට ඔබට දැනෙන්නෙ කොහොම ද?

නවරත්නම්: උනන්දුව මැකිල ගිහිල්ල තියෙනවා. ඉන්දියානු සිනමාවෙන් ආක්‍රමණය කෙරෙන උතුරෙ සිනමාව රැකගන්න අවශ්‍යයි.

කැටමරන්: සිවිල් යුද්ධෙ අවුරුදු 8කට කලින් ඉවර වුණා. ඔබ තාම කොළඹ තියෙන විරෝධතාවලට සහභාගි වෙනවා. ඒ ඇයි?

නවරත්නම්: මිනිස්සුන්ට සිවිල් යුද්ධෙ නිසා ගොඩක් ප්‍රශ්න ඇති වුණා. එයාලට එයාලගෙ දරුවො අහිමි වුණා. එයාල දන්නෙ නෑ දරුවන්ට මොකක්ද වුණේ කියලවත්. යුද හමුදාව එයාලගෙ ඉඩම් අත්පත් කරගත්තා. ඉතින් මිනිස්සුන්ට මේ ප්‍රශ්නවලට උත්තර ඕනෙ. අපිට කියන්න බෑ එයාලගෙ ප්‍රශ්න විසඳුනා කියලා.

කැටමරන්: සිවිල් යුද්ධය ගැන හැදෙන චිත්‍රපටි ගැන ඔබේ අදහස මොකක් ද?

 නවරත්නම්: සමහර චිත්‍රපටිවල දෙමළ මිනිස්සු ගැන බොරු කියනවා. මම හිතන්නෙ නෑ යාපනේ ගැන නොදන්න කෙනෙකුට යාපනේ ගැන චිත්‍රපටියක් හදන්න පුළුවන් කියලා. මෙහෙ වටපිටාව නොදැක කොහොමද මෙහෙ ගැන චිත්‍රපටි හදන්නෙ?

කැටමරන්: දෙමළ මිනිස්සු දැන් මුහුණ දීල ඉන්න දේශපාලන තත්වය ගැන අදහසක් තියෙනව ද?

 

නවරත්නම්: තවමත් දෙමළ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. සිංහල වගේම දෙමළ දෙපැත්තෙම දේශපාලනඥයො මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන කතා කරල පස්සෙ අමතක කරල දානවා. කතා කරනවට වඩා යමක් කරන්නයි ඕනෙ.

අපි, දෙමළ මිනිස්සු, හැමවෙලාවෙම දෙමළ දේශපාලකයින්ට ඡන්දෙ දුන්නෙ එයාල මිනිස්සු වෙනුවෙන් යමක් කරයි කියල හිතාගෙන. නමුත් කවදාවත් මුකුත් වෙලා නැහැ. 

එයාල බලයට ආවට පස්සෙ ලේසියෙන්ම ඡන්ද දායකයින්ව අමතක කරල දානව. දේශපාලකයො කරන්නෙ එයාලගෙ කොටස ලොකු කරගන්න එක.

කැටමරන්: ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරු ගොඩක් විදේශ සිනමා සමාගම් එක්ක වැඩ කරන්න රට හැරදාල ගිහින් තියෙනවා. ඔබ ඒ පාර තෝරගෙන නැහැ.

නවරත්නම්: මේ යුද්ධයට මගේ වගකීමක් තියෙනව කියන හැඟීම මගේ ඇතුලෙ තියෙනව. තමන්ගෙ දරුවො අහිමි වෙච්ච දකුණෙ අම්මලා අඬන විදිහටමයි තමන්ගෙ දරුවො අහිමි වෙච්ච උතුරෙ අම්මලා අඬන්නෙ. මට හිතෙනව මම මෙහෙ ඉඳල එයාලට උදව් කරන්න ඕනෙ කියල.

https://thecatamaran.org වෙබ් අඩවිය වෙනුවෙන් සංවාදය: ශිවන්ති ප්‍රනාන්දු

පරිවර්තනය: ප්‍රියන්ත ෆොන්සේකා

සේයාරුව:  https://www.aithiya.lk