Tuesday, July 23, 2013

“අපි කවදාවත් දන්නෙ නැහැ ඊළඟ මිනිත්තුවෙ මොනව වෙයිද කියල“



පහත සම්මුඛ සාකච්ඡාව ප්‍රංශයේ නන්තෙස් නගරයේ පැවැත්වෙන ත්‍රෛ මහද්වීපික (ආසියානු, අප්‍රිකානු, සහ ලතින් ඇමරිකානු) සිනමා උළෙල වෙත  2011 වසරේ දී සිය ‘ඉගිල්ලෙන මාළුවෝ‘ සිනමා කෘතිය ඉදිරිපත්  කිරීමෙන් පසු Indes Réunionnaises වෙබ් අඩවිය සමඟ සංජීව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයකි. කාලීන වැදගත්කම සළකා එය ‘අළු‘ බ්ලොග් අඩවියේ පළ කරමු. 

ප්‍රශ්නය : ආයුබෝවන් සංජීව පුෂ්පකුමාර. කරුණාකරල, මුලින්ම අපේ පාඨකයින්ට ඔබව හඳුන්වල දෙන්න පුළුවන් ද?

සංජීව: මම ඉපදුණේ ලංකාවෙ නැගෙනහිර, ත්‍රිකුණාමලේ. මම මාධ්‍යවේදියෙක් හැටියට පුවත්පත්වල, ටෙලිවිෂන් නාලිකාවල සහ ගුවන්විදුලි නාලිකාවලත් වැඩ කළා. ඒත් එක්කම පිටපත් රචකයෙක් සහ නිෂ්පාදකවරයෙක් හැටියටත් වැඩ කළා.

ප්‍රශ්නය : ඒත් එක්කම අපිට කියන්න කෙහොමද ඔබ සිනමා අධ්‍යක්ෂණයට හා නිෂ්පාදනයට පිවිසුණේ කියල. කවුද, කුමක් ද ඔබට සිනමාවේ රසවත්කම කියල දුන්නෙ?

සංජීව : මම මාධ්‍යවේදියෙක් හැටියට වැඩ කරන කාලේ කවදාවත් නොදැකපු සිනමා කෘති විශාල සංඛ්‍යාවක් බලන්න මට ඉඩ ලැබුණා. කොළඹ තියෙනව, ප්‍රංශ මිත්‍ර සංගමය (අලියොන්ස් ප්‍රාන්සේස්), ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය (ගොයිත ආයතනය), ඇමරිකානු මධ්‍යස්ථානය, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය වගේ විදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන. ඒත් එක්කම ඒවයේ හැමවෙලාවකම තිබුණ  සිනමා දැක්මවල් සහ සිනමා ප්‍රදර්ශන. වාර්ෂිකව, යුරෝපා සංගමය, කොරියාව, ඉරානය සහ අනෙකුත් රටවල් ගෙන ආපු සිනමා උළෙලවල් තිබුණ. චිත්‍රපට නරඹන්නෙක් හැටියට මම මේ හැම සිනමා උළෙලකටම ගියා. මේවයේ පෙන්නපු චිත්‍රපට බලද්දි මට තේරුණා මටත් තියෙනව කියල ලෝකයට කියන්න කතන්දර ගොඩක්.  ඊට පස්සෙ මම මුලින්ම ස්වයං සිනමා අධ්‍යයනයකට යොමු වුණා. මට තවමත් කියන්න පුළුවන් මට සිනමාකරුවෙක් වෙන්න ඒ සිනමා උළෙලවල් තදින්ම බලපෑව කියල.

 ප්‍රශ්නය :ශ්‍රී ලංකාවෙ සහ විදේශයන්වල කියන දෙකේම ගත්තම, ඔබට තදින්ම බලපාපු සිනමාකරුවො සහ නළු නිළියො කවුද?

සංජීව : මම කියන්නම ඕන ලංකාවෙ සිනමාකරුවන්ගෙන් අශෝක හඳගම සහ ප්‍රසන්න විතානගේ බොහොම තදින්ම මට බලපෑව කියල. ඊට පස්සෙ ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ සහ ධර්මසිරි බණ්ඩාරනායක කියන අයත්. ඒ අතරෙ සිනමා විචාරකයෙක් උන්න මනුබන්දු විද්‍යාපති කියල. එයාගෙ රචනා මට ගොඩක් උදව් වුණා.  ලෝක සිනමාවෙදි, ප්‍රධාන වශයෙන් අන්ද්‍රෙයි තරකොව්ස්කි සහ ඉන්ග්මාර් බර්ග්මාන්. ඊට පස්සෙ බෙලා තාර්, මයිකල් ආන්ජලෝ අන්තෝනියෝනි, කාලොස් රෙගදාස්, වීරසේතකුල්, සෙලාන්, අබ්බාස් කියරොස්තාමි, කිම් කි දුක්, ඕසු ඇතුළු තවත් සිනමාකරුවො මහ ගොඩක්. 

ප්‍රශ්නය : ඔබ හැදුව ස්පර්ශය සහ ඉගිල්ලෙන්න පියාපත් නමින් කෙටි චිත්‍රපට දෙකක්. ඒව ගැන මොනවද කියන්න තියෙන්නෙ?

සංජීව ස්පර්ශය මම හැදුවෙ මගේ සිනමා ඩිප්ලෝමා පාඨමාලාවෙ නිෂ්පාදනයක් හැටියට 2007 දි. ඒක තමන්ගේ දෙඅතම අහිමි වෙච්ච සොල්දාදුවෙක් ගැන කතාවක්. ඉගිල්ලෙන්න පියාපත් මම හදන්නෙ 2008 දි කොරියාවෙදි. මගේ සිනමා අධ්‍යයන පාඨමාලාවෙ අවසන් නිෂ්පාදන කාර්යය හැටියට. මේක හමුදා සොල්දාදුවෙක් සහ අන්ධ යුවතියක් අතර ඇතිවන ප්‍රේමයක් ගැන කතාවක්.
 
ප්‍රශ්නය : ඉගිල්ලෙන මාළුවෝ මේ වෙද්දි ලෝකය පුරාම සිනමා උළෙලවල පෙන්වලා සහ ඇගයීම් ලබල තියෙන්නෙ. මේ කෘතිය ගැන යමක් කියන්න.

සංජීව : සිනමා කෘතිය ගැන තොරතුරු ඕන නම් විකිපීඩියා එකේ ඔක්කොම තියෙනව :
http://en.wikipedia.org/wiki/Flying_Fish_%28film%29
  
ඒත් එක්කම මෙන්න බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයේ (එක්සත් රාජධානිය) වෙබ් අඩවියේ සිනමා කෘතිය ගැන කියන දේ: " ඉගිල්ලෙන මාළුවෝ  ශ්‍රී ලාංකේය ඇතුළාන්තයෙහි වන දිදුලන බවක් නැති අඳුරු  හැඟුම්බර රූපයන් වෙත අසාමාන්‍ය චාරිකාවක් ගෙන එයි. ශ්‍රී ලංකාව හෙල්ලුම් කැවූ, විසිපස් වසරක සිවිල් යුධ සමය පසුබිම් කරන පුෂ්පකුමාරගේ විශිෂ්ට ආගමනය, රජයේ හමුදාවන් සහ ද්‍රවිඩ කොටි සංවිධානය අතර ගැටුමෙන්  පීඩාවට පත් වන පිටිසර ගමක, සාමාන්‍ය මිනිස් ජීවිත පිළිබඳ ස්ව අත්දැකීම්වලින් පෝෂිත ය. ලිංගික සූරාකෑම දැක්වෙන දසුන් අතරමැද, පුනර්කරණය වන විචිත්‍ර කෘමීන්ගේ සමීප රූප සහ විස්මයාවහ සුන්දරත්වයෙන් යුත් භූදර්ශන පැනෙන්නේ මෙය සුවපහසුවෙන් නැරඹිය නොහෙන චිත්‍රපටයක් බවට පත් කරමිනි. අපි එයට නිල් චැමලියන් ජූරි සම්මානය ලබා දුන්නෙමු. ඒ සමග මෙවර ලන්ඩන් සිනමා උළෙලේ දී එය නරඹන්නටත් ඔබට අවස්ථාව උදා වනු ඇත“

ප්‍රශ්නය  : ඔබ සිනමා කෘතිය රූපගත කළේ කොහේදි ද? කවදා ද? කොහොම ද?

සංජීව :  මේ මුළු චිත්‍රපටයම රූපගත කළේ  නැගෙහිර පළාතේ තියෙන මගේ ගෙදර වටපිටාවෙමයි. මේකෙ රූගත කිරීම් ඉවර වුණේ 2010 දි. සම්පූර්ණ චිත්‍රපටියම රූගත කරන්න අපිට දවස් 17ක් ගියා.
 
ප්‍රශ්නය : මේ චිත්‍රපටය ඔබ හදන්නෙ කැපවුණු  සිනමාකරුවෙක් හැටියට ද? මොකක්ද මූලිකම හේතුව  වුණේ මේක හදන්න?

සංජීව : තවම මම දන්නෙ නැහැ හරියටම මම ඇත්ත සිනමාකරුවෙක් ද කියල. මොනව වුණත් මට ඕන අනාගතේ දවසක ඓන්ද්‍රිය සිනමාකරුවෙක් වෙන්න, ස්වාත්මය හෙළිදරව් කරන සිනමාකරුවෙක්. ඉගිල්ලෙන මාළුවෝ හැදුවට පස්සෙ මට එකක් හරියටම කියන්න පුළුවන්. ඒ තමයි තරමක් දුරට මට මගේ ආත්මය සුවපත් කරගන්න පුළුවන් වුණා කියන එක.

ප්‍රශ්නය : මේ චිත්‍රපටය ඔබේ පුද්ගලික ජීවිතයත් එක්ක සම්බන්ධ ද? මේක ස්ව-චරිතාපදාන චිත්‍රපටියක් ද?

සංජීව : ඇත්තටම මේ චිත්‍රපටිය මගේ ජීවිතය තමයි. ඔබට කියන්න පුළුවන් ඉගිල්ලෙන මාළුවෝ කියන්නෙ ස්ව-චරිතාපදාන චිත්‍රපටියක් කියල.  සිනමාකරුවෙක් හැටියට මට ඕන මගේම ජීවිතේ ගැන කියන්න.

ප්‍රශ්නය  : ශ්‍රී ලාංකික සිනමාකරුවෙකුට  තමන්ගෙ රටේ මෑතකාලීන අතීතය සහ සිවිල් යුද්ධය නොතකා හරින්න පුළුවන් ද? 

සංජීව : මම හිතන්නෙ නැහැ සිනමාකරුවෙකුට මේ අතීතය නොතකා හරින එක ලේසි වැඩක් කියල. මේ ඉතිහාසය අපේ ජීවිත ඇතුළෙ සදාකාලික කම්පනයක් ඇති කරල තියෙන්නෙ. ඉතින් කොහොමද සිනමාකරුවෙක්ට පුළුවන් වෙන්නෙ, මේක නොතකා හරින්න?
 
ප්‍රශ්නය  : ලංකාවෙ චිත්‍රපටි හදන එක ලේසි ද?

සංජීව :  මම හිතන්නෙ නැහැ ඒක ලේසි වැඩක් කියල. සිනමාකරුවෙක් හැටියට ඔබට ගොඩක් ගැටළුවලට මුහුණ දෙන්න වෙනව. ඒ අතරින්, මූල්‍යමය බාධාවන්ටත් වඩා තවමත් දරුණුම දේ තමයි දේශපාලනික තත්වය. 

ප්‍රශ්නය : ඔබ මොනවද හිතන්නෙ ඉන්දියානු බොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාවන් ගැන?

සංජීව: අවංකවම කියනව නං මට ඒ සිනමාවන් එක්ක ගණුදෙනුවක් නැහැ. ඒත් මිනිස්සු ඒවට කැමති නිසා මම ඒව ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. මට කියන්න පුළුවන් ඒ මගේ සිනමාව නොවන බව සහ මම බලාපොරොත්තු වන සිනමාව නෙවෙයි කියල විතරයි.  මම දන්නව මේ සිනමා කෘති මිනිස්සුන්ගේ ඔළු අවුල් කරවනව වගේම සාමාන්‍ය මිනිහගෙ පොකට් එකට විදිනව. ඒත් තවම මිනිස්සු ඒවට කැමතියි. 

ප්‍රශ්නය  : මොනවද ඔබේ අනාගත සැලසුම් ?


සංජීව :  මම සිනමා කෘති බවට හරවන බලාපොරොත්තුවෙන් අලුත් වැඩ දෙකක්ම ලෑස්ති කරගෙන යනව. අපි බලමු, අපි කවදාවත් දන්නෙ නැහැ ඊළඟ මිනිත්තුවෙ මොනව වෙයිද කියල.


මුල් සාකච්ඡාව සඳහා මෙතනින් පිවිසෙන්න. http://www.indereunion.net/actu/Sanjeeva/interPushpakumara.htm

සේයාරුව :  http://www.indereunion.net/actu/Sanjeeva/sanjeeva.jpg

Thursday, July 18, 2013

ඔහු හරිම කොට ය!



සංජීව පුෂ්පකුමාර කොට ය. ඒ බව ඔහු විසින්ම 2011 - ශාන්ත පීටර්ස්බර්ග් සිනමා සම්මාන උළෙලේදී ‘නිව් ටෙරිටරීස්‘ අංශයේ හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ලබමින් කියනු ලැබ ඇත. ඔහුගේ මේ නොඋස්කම නිසා ම ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛ බොහෝ මාධ්‍යවලට ඔහු පුෂ්පකුමාර ‘නැමැත්තා‍‘ නම් විය. තරමක් හෝ උසක් තිබ්බා නම් අඩු තරමින් ඔහුට ‘මහතා‘ කෙසේ වෙතත්, නිකම්ම ‘සංජීව පුෂ්පකුමාර‘ වත් වන්නට ඉඩ තිබිණි. ලෝක සිනමා වපසරිය තුළ කෙසේ වෙතත් ශ්‍රී ලාංකික සිනමා වපසරිය තුළ සංජීව තවම කොටෙකු බැවින් ධර්මසිරි බණ්ඩාරනායක සහ ප්‍රසන්න විතානගේ හැර වෙනත් සිනමාකරුවන් එක් අයෙකුවත් ‘ඉගිල්ලෙන මාළුවෝ‘ වෙනුවෙන් තවම නම් හරියකට කටක් ඇර නැත.

කොටකු වීමේ පල විපාක එතනින් කෙළවර වී නැත. මේ ‘කොටකම‘ නිසාම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට හැරුණු විට අනෙත් හැමෝටම වාගේ සංජීවට හා චිත්‍රපටයට කලින් පෙනුනේ ‘බැටේ දෙන වෙලාවේ දෙකක් ඇණ සල්ලං කර දමන්නට‘ හිතාගෙන පිටුපසින් ගෙනවිත් සිටවූ උස මිනිසකු වූ ගාමිණී වියන්ගොඩ ව ය. උස වියන්ගොඩට කොටයන්ට දෙන ‘නැමැත්තා‘ නාමය දෙන්නට ගොස් ස්වාධීන රූපවාහිනිය හතර වරං ගසා ගත්තේ ය. ඒ උස අය බොහෝ දෙනෙක් පැමිණ වියන්ගොඩ උස බව පෙන්වා දුන් නිසා ය.

වියන්ගොඩ උස බව සැබෑ ය. සන්සන්දනාත්මක ව බැලූ කල මේ මොහොතේ ලංකාවේ සිටින උසම අය අතර වියන්ගොඩ ද වෙයි. එහෙත් වරද අපි බලමින් සිටින්නේ උස් තැන් දෙස පමණක් වීම ය. ඉක්මණින්ම පහළ ද නොබැලුවහොත් කොටට පෙනෙන සංජීවලා හැමදාටම නොපෙනී යන්නටද බැරිකමක් නැත.  

සංජීවලාගේ ‘කොටකම‘ ගැන කතා කරන්නට ඇති ඉතිරි බොහෝ දේවල් පසුවට කල් තබමු. ඊට පෙර අපි මේ ‘කොටත්වය‘ට හේතු වූ කරුණු ද සමහරක් කියවෙන බව පෙනෙන සංජීවගේ ශාන්ත පීටරස්බර්ග් සිනමා සම්මාන උළෙලේ අදහස් දැක්වීම විමසා බලමු. ‘ඉගිල්ලෙන මාළුවෝ‘ සිනමාපටය පිටුපස සිටි, තවමත් සොයාගන්නට බැරි වී ඇත්නම් හඳුනාගත හැකි, කට්ටිය ගැන මේ සංජීවම කියන්නෙ!!!!

 

“මම හරිම කොටයි!

මේ මල් හරිම ලස්සනයි... ඒත් මගේ ජීවිතේ ලස්සන නැහැ.
පළවෙනියෙන්ම මට ඕන මේ ලබපු සම්මානය පිළිගන්වන්න මගේ අගය කරනම සිනමාකරුවන් අතරින් දෙදෙනෙකුට...
එක අයෙක් මියගිහින්... මං අදහස් කරන්නෙ.. එයාට මිය යන්න සිදු වෙලා... හුඟක් කාලෙකට ඉස්සර...
අනෙත් සිනමාකරුවා, එයා තවම ජීවතුන් අතර... ඒත් සමහර මිනිස්සුන්ට ඕන ඔහුව මරා දමන්න...
පළමුවැන්නා, අන්ද්‍රෙයි තරකොව්ස්කි...
මම පිළිගන්වනවා මේ සම්මානය ඔහුගේ නමට...
ඊළඟට, අනෙක් කෙනා, ජෆාර් පනාහි...
එරෙහි වෙන ගමන් ඉරානයේ බිහිසුණු සහ අමන, තකතීරු පාලනයට...මට ඕන පිළිගන්වන්න මේ සම්මානය ඔහුට...

ඊට පස්සෙ මම මගේ අම්මාට ස්තුති කරන්නම ඕන...
හේතුව... මේ චිත්‍රපටය මම හැදුවෙ, ඇමරිකානු ඩොලර් විසිපන්දහසක වියදමක් ඇතුළත...
මගේ අම්ම හැදුව කෑම පාර්සල් හැත්තෑවක්, මිනිස්සු හැත්තෑවකට..
දවස් දාහතක් තිස්සෙ...
එයාගෙම අත්වලින්, කිසි කෙනෙකුගේ උදව්වක් නැතුවම...
චිත්‍රපට කණ්ඩායමේ සියල්ලන්ටම...
ඒ නිසා මම මගේ අම්මට ස්තුති කරන්න ඕනමයි...

ඒත් එක්කම මගේ කණ්ඩායමට සහ කිසිම මුදලක් නොගෙන රඟපෑ මගේ කණ්ඩායමේ ප්‍රධාන නිළියට...
මම ඒ ගොල්ලන්ට ස්තුති කරන්න ඕනමයි...
ඊට පස්සෙ මගේ අනුග්‍රාහකයා වුණු, මට ඇමරිකානු ඩොලර් විසිපන්දහසක පමණ මුදලක් දුන්නු, මනෝහර නානායක්කාර මහතාට...

ඒත් එක්කම කරුණු දෙකක් තියෙනව, මම ස්තුති කරන්නම ඕන හැම ශ්‍රී ලාංකිකයෙකුටම...
හේතුව මම ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපනය යටතෙයි ලංකාවෙදි...
ඒ නිසා මම ස්තුති කරන්නම ඕන...
ලංකාවෙ හැම දෙනාටම...

මම ස්තුති කරන්නම ඕන කොරියානු සමාජයට, කොරියානු ජනතාවට...
ඒ කියන්නෙ මම සිනමාව ඉගෙන ගන්නව 2007 ඉඳන් අද වෙනකම්ම,
  කිහිප වතාවක්ම ගිහින් කොරියාවෙ ඉඳන්...
මේ හැම වෙලාවකම...
 2007 දිත්, 2009 දිත්, මේ අවුරුද්දෙත්...
කොරියානු රජය මට අතහිත දුන්න...
මගේ අධ්‍යාපනය වෙනුවෙන් කොරියානු මිනිස්සුන්ගේ බදු සල්ලි වෙන් කරල...
ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනමයි...

ඊළඟට මම ස්තුතිවන්ත වෙන්න ඕන රොටර්ඩෑම් සිනමා උළෙලට...
ලන්දේසි ජාතිකයින්ට...
මට ඔවුන්ගේ බදු මුදල් එකතුවෙන්...
හුබර්ට් බාල් පදනම හරහා සල්ලි දුන්නට..
මගේ චිත්‍රපටියෙ වැඩ ඉවර කරගන්න..
සමහර විට මේ මට ලැබෙන අන්තිම වතාව වෙන්න පුළුවන්
ඒ ගොල්ලන්ට ස්තුති කරන්න ඉඩ ලැබෙන...

අවසාන වශයෙන් මම කැමතියි මේ උළෙල සංවිධායකයින්ට ස්තුති කරන්න...
මේ විශිෂ්ට නගරයට...
උළෙලේ  වැඩසටහන් අධ්‍යක්ෂ අංජලිකාට..
මගේ චිත්‍රපටය මේ සදහා තෝරාගත්තාට...

අන්තිමේ මම කියන්න ඕන...
අනෂ්ටාසියා, ෂෙන්යා ඒත් එක්කම එලේනා..
ස්තුතියි ඔය ගොල්ලන්ට...
හේතුව රුසියානු තානාපති කාර්යාලය එකඟ වුණෙත් නැහැ මුලදි
මට වීසා එක දෙන්න මෙහෙට එන්න...
ඒ ගොල්ල හිතන්න ඇති මම නතර වෙයි කියල..
මම ආදරෙයිනෙ මෙහෙට...
මෙහෙ උන්නු සහ ඉන්න...
තරකොව්ස්කිට...ඇලෙක්සැන්ඩර් සොකොරොව්ට.... ගොගොල්ට.. දොස්තයෙව්ස්කිට... වගේ අයටත්...
ඉතින් ඔයාල ගොඩක් මහන්සි වුණා...
මගේ වීසා එක අරන් දෙන්න...
මට මෙහෙට එන්න...

සමාවෙන්න මම ගොඩක් වෙලාවක් ගත්ත ස්තුති කරන්න...
බොහොමත්ම ස්තුතියි...!!“


පසු සටහන: ඉහත වන සංජීවගේ අදහස් දැක්වීම තුළ මවිසින් තද අකුරින් දක්වා ඇත්තේ චිත්‍රපටයට සෘජුව හා වක්‍රව උදව් කළ බව පෙනෙන පිරිස ය. ඒ මේ පසුපස වන පිරිස සොයා යන පරීක්ෂකයකුට උදව්වක් ලෙස ය.