Wednesday, February 22, 2017

සෙනෙහසේ මං පෙත

(රිවිර සිනමා කොලම- 18)

 චීනයේ කලබලැති නගරයක රැකියාවක නියුතු තරුණයෙකුට සිය ඈත පිටිසර ගම්මානයේ ගම්පතිවරයාගෙන් වේදනාබර ඇමතුමක් ලැබෙයි. ඒ ගම්මානයේ කුඩා පාසලෙහි එකම ගුරුවරයා ද වූ ඔහුගේ පියා මියගිය පුවතයි. ශීත සමයේ ඇද හැලෙන හිම කැටැතිවලින් පිරී ගිය මාර්ගය ඔස්සේ, සිය සේවාස්ථානයෙන් ලද රථයක නැගී ඔහු ගම්මානය බලා යයි. එහිඳී ඔහුට මුණගැසෙන්නේ, පියා සිය ප්‍රාණය දෙවැනි කොට සැලකූ පාසැල දෙස, ශීතයෙන් ගැහෙමින්, අනිමිසලෝචනයෙන් නෙත් දල්වා බලා සිටින, අහිමි වීමේ වේදනාව දරාගන්නට තැත් දරණ ඔහුගේ මවයි. පියාගේ අවසන් කටයුතු සූදානම් කෙරෙද්දී ඇය සිය පුතුගෙන් ඉල්ලා සිටින්නේ එක් සුවිශේෂ ඉල්ලීමක් පමණි. ඇය අතින්ම වියා නිමකරන ශ්වේත වර්ණැති සළුවකින් පියාගේ දෙන වසා, ඔහුගේ මරණය සිදුවූ රෝහලෙහි සිට ගම්මානය වෙත වන මං පෙත දිගෙහි මිනිසුන් විසින්ම ඒ ඔසවාගෙන ගෙන එන්නට කටයුතු සළස්වන ලෙසයි. එය ඉපැරණි චීන චාරිත්‍ර‍යකි. එමතුද නොව, මියගිය තම දයාර්ද්‍ර‍යාට සිය නිවස කරා එන මග අමතකව නොයන්නට සිදු කරන සෙනෙහසින් පිරුණු පිළිවෙතකි.

පුතුගේ විරෝධයද නොතකමින්, දැඩිව තමන් පෙළන වේදනාව හද දරාගෙන, මහළු මව තමන් වෙත වූ පැරණි පිළි වියන යන්ත්‍රයෙන් ශ්වේත සළුව වියන්නට පටන් ගනිද්දී තරුණ පුත්‍ර‍යා අසළ කුඩා කාමරයට වී ඔවුනගේ අතීත සැමරුම් වෙත නෙත් යොමයි. කළු - සුදු චිත්‍ර‍පටයක් ලෙස ඇරඹුණු සිනමා පටය, වෛවර්ණිත අතීතාවර්ජනය වෙත පිවිසෙන්නේ පුතුගේ මෙම මතක විමසුම් සමග ය. එතැන් පටන් අප අභියස මැවෙන්නේ ගම්මානයේ මිහිරතම පෙම් පුවතෙහි පුරාවතයි. දයි නමැති ඉතා සුන්දර අවිහිංසක තරුණියත්, ඇය රුව දැක වශීවන නගරයෙන් පාසැලක් අරඹනු පිණිස ගමට එන ලුඕ නමැති කඩවසම් තරුණයාත් අතර දළුලන ප්‍රේමය පිළිබඳ අති රමණිය කතාවයි. නැතිනම්, 2000 වර්ෂයේදී බර්ලින් සිනමා උළෙලේ රිදී වලසා සම්මානය සහ ජූරියේ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන පෙළකින් ද, රන් සැවුලා (Golden Rooster) සහ දහසක් මල් (Thousand Flowers) ඇතුළු චීන දේශීය සම්මාන පෙළකින් ද පිදුම් ලද, ෂැං යිමෝ නමැති චීන පස්වන පරපුරේ ප්‍ර‍මුඛ සිනමා කතුවර පිරිසේ සාමාජිකයෙකුගේ ‘The Road Home’ සිනමා පටයේ කතා පුවතයි.  

විප්ලවයෙන් පසු සමාජවාදී පිළිවෙතකට පිළිපන් චීන සමූහාණ්ඩුවේ අධ්‍යාපන තත්වය නගා සිටිවනු පිණිස ඈත පිටිසර දුෂ්කර ගම්මානවල ද පාසැල් ඇති කිරීමට එරට ආණ්ඩුව කටයුතු යොදයි. රැකියාවක් සොයමින් සිටින නාගරික තරුණයකු වන ලුඕ රැකියා පිරිනැමීමට සාදන නම් ලැයිස්තුවකට නම ලබා දෙන්නේ දුෂ්කර ගමක පාසැල් ගුරුවරයෙකු වන්නෙමැයි සිතමින් නොවේ. එහෙත් ඔහු වෙත ලැබෙන රාජකාරිය එයයි. පාසැලක් නොමැති ගම්මානයේ පාසැලක් අරඹනු පිණිස නගරයේ සිට ගම්මානය කරා වැටී ඇති මං පෙත ඔස්සේ දූලි වලා විහිදුවමින් අශ්ව කරත්තයකින් ඔහු පැමිණෙයි. ඔහු පිළිගන්නට පෙළ සැදී සිටින ගම්වැසියන් අතර රුවැති දයි ද වන අතර ඇය ඔහු නෙත ගැටෙන්නේ ගමට පිය තැබූ විගසම ය. හමුවන්නේ දෙදෙනාගේ දෙනෙත් පමණක් වුවත්, එකදු වදනක් හෝ හුවමාරු නොවුණත්, ඒ කාන්තිමත් දෙනෙතෙහි දීප්තිය දයි වෙත ආදරය පිළිබඳ හැඟුමක් තිළිණ කරයි. සිය දෙනෙත් අඳ මහළු මව සමගින් ජීවත් වන දයි උතුරා යන සතුටකින් නිවස කරා දිවයන්නේ තමන් වෙත ඇති හොඳම ඇඳුමින් සැරසී ලුඕ වෙනුවෙන් කටයුතු කරන්නට පටන් ගනියි.

ඉදිවන පාසැල් ගොඩනැගිල්ලේ වැඩ කරන ගම්මානයේ පිරිමින් වෙත ආහාර රැගෙන එන ගම්වැසි ගැහැණුන් හා එක්ව දයිද සිය රසවත්ම වට්ටෝරු තනන්නේ ලුඕ වෙත ඒ ලැබෙනු ඇතැයි යන සතුටින් සිත පුරවාගෙන ය. තමන් ගෙන එන භෝජන ගොඩනැගිල්ල තැනෙන බිමට ඈතින් තබා පිටව යන්නට ගැහැණුන්ට සිදු වුවද, බොහෝ නිවෙස්වලින් බොහෝ ආහාර භාජන ලැබුණ ද, ලුඕ වෙත තමන් අතින් පිළියෙල වූ ආහාරය ලැබෙනු ඇතැයි දයි සිහින දකියි.

ඉදිවන ගොඩනැගිල්ලේ ඉහළ බාල්කයේ බඳින්නට නියමිත රක්ත වර්ණැති ධජය ගම්මානයේ රූමත්ම තරුණිය අතින් නිම විය යුතු හෙයින් එය තමන් වෙත භාර වද්දී ද ඇය එය ඔහු වෙත පුද කරන තිළිණයක් ලෙසම ගනියි. එමතුද නොව ඉදිවූ පාසැල් ගොඩනැගිල්ලෙහි ලුඕගේ ගැඹුරු හඬින් නැගෙන පාඩම් හඬ අසන්නට ඒ අසලින්, තම නිවසට බොහෝ දුරින් වන ළිඳ වෙත යාමට ද ඇය පටන් ගනියි. පාසැල නිම වී කුඩා දරුවන් නිවෙස් කරා හැරලන්නට ගම්මානයේ සුන්දර මිටියාවත අතරින්  ලුඕ පැමිණෙන තෙක් ඇය වන රොද තුළ හෝ තණ බිමෙහි කෙළවර සැඟවී සිටියි. අප්‍ර‍කාශිත ප්‍රේමයක අරුමැති සුන්දරත්වයකින් ක්‍ර‍මිකව වැසී යන ගම්මානයේ සුන්දර භූමිය එහි වන ආහ්ලාදය නෙක් විසිතුරු වර්ණ හා මුසු කොට අප වෙත තබයි.

නාගරිකයා වෙත එක් නිවසකින් එක් දිනකට බැගින් පිරි නැමෙන දිවා භෝජනය තමන් වෙත භාර වන දිනය, වදනකින් නොවූව ද, සෙසු සියල්ලෙන් දෙදෙනා වෙත වන උතුරන ප්‍රේමය ප්‍ර‍කාශ වන දිනය බවට හැරේ. සිය ඉස්තරම්ම කෑම වට්ටෝරුව ඔහු වෙනුවෙන් තනා ඔහු එන තෙක් ඇය මග බලා හිඳී. එදිනම රාත්‍රී භෝජනයට ද ඇය ඔහුට ආරාධනා කළ ද නගර කාර්යාලයෙන් ලැබෙන ඇමතුමක් මත ඔහු ගම්මානයෙන් පිට වෙයි.
හදිසියේ පිටවන ලුඕ වෙත, ඔහු තිළිණ කළ කොණ්ඩ කටුව ද පැළඳ ඇය දිව යන්නේ සාදන ලද ආහාර බඳුන ලබා දෙන්නට ය. ඈතට ඇදෙන අශ්ව කරත්තය ලුහු බඳිනු වස් ඇය වන පෙත් මං ඔස්සේ දිව ගියද අවසන සිදුවන්නේ ලිස්සා වැටී බඳුන ද බිදී යෑමයි; ඊටත් වඩා ප්‍රේමයේ එකම තිළිණය වූ කොණ්ඩා කටුවද නැති වීමයි.

තරුණ ප්‍රේමය පිළිබඳ සංවේදනා රැගත්, විශ්මය දනවන තරම් අගනා රූප රචනයකින් යුතු, ‘ද රෝඩ් හෝම්‘ වැනි සිනමා පටයක් සමකාලීන සිතුවම් අතර ඇත්නම් ඒ අතලොස්සක් විය යුතු ය. නගරය වෙත යන ලුඕ යළි පෙරළා එන තෙක්, ශරීර ගල් කරවන තරම් බිහිසුණු ශීතලෙහි ගැහෙමින්, ඇය මං පෙත දෙස බලා සිටියි. ඔබ විසින්ම විමසා විදින්නට ආරාධනා කරන එහි අපූර්ව අවසානය ඈ ඒ බලා සිටින මං පෙත ඔස්සේම යළි ඔහුගේ මෘත ශරීරය රැගෙන එන්නට උත්සාහ කරන මහළු දයිගේ අවසන් කැමැත්තයි. රැකියා සොයා නගර කරා සංක්‍ර‍මණය වී ඇති තරුණ පිරිස හේතුවෙන් මිනිසුන් අඩු ගම් පියස වෙත මේ චාරිත්‍ර‍ය ඉටු කරනු පිණිස, සැතපුම් ගණනක පාගමනට කවුරුන් එක් වේ ද? ‘ද රෝඩ් හෝම්‘ අන්තර්ජාලයෙන් විමසා නැරඹීම එයට පිළිතුර සාදනු ඇත.




-      ප්‍රියන්ත ෆොන්සේකා -

Wednesday, February 8, 2017

කුසලානය

(රිවිර සිනමා කොලම- 17)

ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක උණුසුම ලොව පුරා පැතිරෙමින් පවතින සමයකි. ජපානය හෝ දකුණු කොරියාව හෝ අරාබිකරයෙන් වාසනාව උරුම කරගත්, පාපන්දුව මනා ලෙස හසුරුවන, එක් රටක් හැර වෙනත් කිසිදු ආසියාතික රටක් අවසන් කණ්ඩායම් අතරට නොපිවිසුණ ද කිසිදු වෙනසක් නැතිවම තරග දෙස බලා සිටින අසීමිත පාපන්දුලෝලීන් සමස්ථ ආසියාකරය පුරා ද විහිද සිටිනු ඇත. ඉන්දියාවේ ඈත උතුරු ඉමට වන්නට පිහිටි ටිබෙටියානු බෞද්ධ ආශ්‍ර‍ම පරිසරය ද බාහිරයේ ඇති උණුසුම ලබා මදින් මද පාපන්දු ලොව දෙස බලන්නේ එහි වෙසෙන කුඩා සාමනේර හිමිවරුන් දෙනමක් දැඩි ලෙස ඒ වෙත ආසක්ත වද්දී ය. මහායාන බුදුදහම විමසන මේ සාමනේර හිමිවරුන්ගේ කාමර බිත්ති, ‘රූපීයව පමණක්‘ ඔවුන් හා සමාන, හිස මුඩු, රොනාල්ඩෝ ඇතුළු පාපන්දු ලොව වීරයින්ගේ සේයාරූවලින්  වැසී ගොසිනි. කුසලානයේ හිමිකරුවා ඒ දිනාගනු සියැසින් දැකගැනීම ඔවුන්ගේ තිර අධිෂ්ඨානයයි. අවසන් තරගයේදී ටිබෙටය වෙනුවෙන් දේශපාලනිකව සහාය දෙන ප්‍ර‍ංශය අතින් බ්‍ර‍සීලය පරාජය වනු දැකීම ඔවුන්ගේ කැමැත්තයි. 



1999 වර්ෂයේ දී, ක්යෙන්ත්සේ නෝබු නැමති ටිබෙටියානු ජාතික අධ්‍යක්ෂවරයා අතින් නිර්මාණය කෙරෙන ‘The Cup’ (කුසලානය) ලොව පළමු ටිබෙටියානු භාෂිත චිත්‍ර‍පටයයි. ලාමාවරයකු වන නෝබු චිත්‍ර‍පටයක් තැනීමේ නොනිත් ආසාවෙන් යුක්තව නිව්යෝක් සිනමා ඇකඩමිය වෙත පා තැබූ ලාමාවරයෙකි. බෞද්ධ ආශ්‍ර‍මයක් හා එහි වෙසෙන බෞද්ධ භික්ෂූන්ගේ ජීවිතය තරමක හාස්‍යයක් ද මුසුව නිරූපණය කළ  ‘ද කප්‘ සමකාලීන ටිබෙටියානු ආශ්‍ර‍ම ජීවිතය, බාහිර නූතන ලෝකය හා ගැටීම සිනමාරූපය තුළ කදිමට චිත්‍ර‍ණය කරයි. වැඩිමනත්, සාම්ප්‍ර‍දායික ඉගැන්වීම් හා පරිභෝජනවාදී නූතන සමාජය අතර වන නිරන්තර අර්බුදය ග්‍ර‍හණය කරගනියි.

චීනයේ ආක්‍ර‍මණික මැදිහත්වීම් මධ්‍යයේ දකුණු බිම් වෙත පලා ආ ටිබෙටියානු ජාතිකයින්ට ඉන්දීය භූමිය තුළ සරණාගතයින් ලෙස ජීවත් වන්නට සිදු විය. චිත්‍ර‍පටය, සිය රූගත කිරීම් ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ බිර් නමැති ටිබෙට් සරණාගත ගම්මානය සිය පසුතලය ලෙස ගෙන, එම ගම්මාන ආශ්‍රිත ටිබෙටියානු මාහායානික පන්සලක් ආඛ්‍යානය විහිද යන බිම ලෙස ගනියි.

චිත්‍ර‍පටයෙහි ආරම්භයේදීම, සිය ගුරු හිමිවරුන්ට රහසින්, පන්සල් මිදුලෙහි පාපන්දු ක්‍රීඩා කරන තරුණ හිමිවරුන් කිහිප දෙනෙකු අපට හමු වේ. ඔවුන්ගේ ‘පන්දුව‘ හිස් කොකාකෝලා කෑනයකි. නූතන ලෝකයේ බොහෝ දෑ ආශ්‍ර‍මය ගිලගනිමින් සිටිනා වග සිනමාකරු අප වෙත තබන්නේ මේ ‘කොකාකෝලා‘ කෑනය සමග අප ගෙන යමිනි.

“අපි තට්ටෙ බෑවට පස්සෙ කෙල්ලො අපෙ දිහා හැරිලවත් බලන්නෙ නෑ!“

තරුණ සාමනේර නමකගේ මෙම ප්‍ර‍කාශය උත්ප්‍රාසජනක ලෙස එහි ප්‍ර‍තිලෝමය සිදුවන බව අපට හඟවයි. පැවිඳි බිමට පා තැබූ පමණින්ම සැඟව නොයන පෘථග්ජන මනස මෙම ආශ්‍ර‍ම ජීවිතය ද ගැටවර හා තරුණ ‘කොල්ලන්ගේ‘ කවටකම්, සෙල්ලක්කාරකම් හා දිවෙන ඒ ජීවිත හා බැදුණු ආශාවන්ගෙන් යුක්ත අවකාශයක් බව අපට දක්වා සිටියි. පාපන්දු ලෝලීත්වය ගැටවර ක්‍රීඩා නැඹුරුවෙහි උච්චස්ථානයකි. සම බිම් පිටියක පෙරළී ක්‍රීඩක දෙපා අතරින් රිංගා දුවන පාපන්දුව උස් හෙළින් පිරි විෂම බිමක වෙසෙන තරුණ සාමනේර හිමිවරුන්ගේ ද සිත් කෙළි බිමෙහි දිව යයි.

කඩපළ වෙත කළමණා රැගෙන එන්නට යන ගමනේදී තොරතුරු විමසා හෝ ආශ්‍ර‍මයෙන් හොරෙන් පැනගොස් අසළ ගම්මානයේ ඇති එකම රූපවාහිනියේ තිරයට එබී හෝ ලෝක පාපන්දු කුසලානයේ උණුසුම විමසීම ආශ්‍ර‍මයේ ප්‍ර‍ධානතම පාපන්දු ලෝලියා වන ඔර්ග්යන් නමැති සාමනේර හිමිනමට නොසෑහෙන්නකි. අවසන් තරගයේ උණුසුම ක්‍ර‍මිකව සියල්ල වසා පැතිර යද්දී සමානුපාතිකව අහිමි වී යන ගම්මානයේ රූපවාහිනී ගණුදෙනුව ඔහු වෙත තබන්නේ එක් නියත නමුත් අපහසු තීරණයකි. ඒ දුර පිහිටි සැටලයිට් ග්‍රාහක කුලියට දෙන ස්ථානයෙන් එක් ග්‍රාහකයක් කුලියට ගැනීමේ අදහසයි. සම්ප්‍ර‍දායික ඇවතුම් පැවතුම් දැඩිව අගයන ප්‍ර‍ධාන හිමියන්, වෙනස් වන තත්වයන් දෙස විවරැති මනසින් බලන ගුරු හිමියන්, ආදී සියල්ලන් මේ දුෂ්කර පියවර අභියස ඔහු ඉදිරියේ මුණ ගැසේ.

කෑන්ස් සම්මාන උළෙල, ඔස්කාර් සම්මාන උළෙල ඇතුළු ප්‍ර‍ුමුඛ සිනමා උළෙල ප්‍රේක්ෂාගාර බොහොමයක අවධානය දිනූ ‘ද කප්‘ ටොරන්ටෝ සිනමා උළෙල තුළදී ප්‍රේක්ෂක සම්මානයෙහි දෙවැනි ස්ථානය දිනා ගත්තේ ය. එම ප්‍රේක්ෂාගාරය විඳි ඒ අපූර්ව රසය විඳින්නට අන්තර්ජාලය වෙත ගොස් ‘ද කප්‘ සොයා නරඹන්නැයි මම ඔබට ආරාධනා කරමි. ආශ්‍ර‍ම ජීවිතය, ආගම, ආධ්‍යාත්මික ජයග්‍ර‍හණයන් මෙන්ම ක්‍රීඩාව, වින්දනය, තෘප්තිය ආදිය ද  අරුමැති මිනිස් ජීවිතය හා විහිද විසිර යන, ජීවිතයෙහි විසල් බව කෙරෙහි සාක්ෂි සපයන දේ යැයි ඔබට හැඟෙනු ඇත. 

-      ප්‍රියන්ත ෆොන්සේකා -