Monday, January 5, 2015

‘පෙත්තප්පු බත් කෑව ද?‘: මොහාන් සමරනායකට සාහසික නැති ප්‍රශ්නයක්


“ධම්මගෙන් අහපු හැම ප්‍රශ්නයක්ම සාහසිකයි!“

දීර්ඝ වාදයක් කෙළවර දී, දැඩි ආවේගයකින් මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපති උපදේශකයකු වූ මොහාන් සමරනායක නැමැත්තෙකි. සිරස රූපවාහිනියේ මේ දිනවල ප්‍රචාරය වන ‘සටන‘ දේශපාලන සංවාදය තුළ දී දිගින් දිගටම මාධ්‍යවේදීන් විසින් ධම්ම දිසානායක නැමැත්තෙකුගෙන් ප්‍රශ්න ඇසීම ඔහුගේ ජුවල් යාමට හේතු වී තිබිණි. මාධ්‍ය ආචාරධර්ම සිහි කරමින් චන්දන සූරියබණ්ඩාර ප්‍රමුඛ සිරස කණ්ඩායමට ‘රිඹ යන්නට නෙළූ‘ සමරනායක නැමැත්තා අවසානයේ ජයග්‍රාහී ලෙස ඉහත ප්‍රකාශය සිදු කළේ ‘සාහසික එක් ප්‍රශ්නයක් හෝ පෙන්වා දෙන්නැයි‘ චන්දන සූරියබණ්ඩාර ඇසූ විට ය. ඒ හා සමග සමරනායකලා සමග පැමිණි හුරේ දමන කණ්ඩායම ජයග්‍රාහී අත්පුඩියකින් සිය ‘වීරයාට‘ ප්‍රශංසා කළ හ.

මේ මොහාන් සමරනායක කවුද?

දශක දෙකකට පමණ පෙර සෙනසුරාදා හෝ ඉරිදා උදෑසනවල දේශපාලන විග්‍රහයත් රැගෙන මොහාන් සමරනායක කෙනෙක් ජාතික රූපවාහිනියෙන් අපේ ආලින්දයට ගොඩ විය. දේශීය හා විදේශීය දේශපාලන භූමියේ තොරතුරු ඉතා ව්‍යක්ත ලෙස පහදා දුන් ඔහු ඒ පිළිබඳ ස්වකීය විග්‍රහය අපූර්ව ලෙස ගොඩ නැංවී ය. ඔහුගේ විග්‍රහයන්හි ඇති දේශපාලනික කියැවීම පිළිබඳ ඇතමකු ප්‍රශ්න නැගිය වුවත් ඒ විග්‍රහය තුළින් ලෝකය ගැනත්, දේශය ගැනත් දේශපාලනික ඇසකින් බැලීමේ වපසරිය ඔහු පුළුල් කර දුන්නේ ය. එදිනෙදා ලෝකය තුළ අප දේශපාලනිකව විමසා බැලිය යුතු කරුණු කාරණා පිළිබඳ එම සමරනායක පෙන්වා දුන් මාර්ගය සරල නොවී ය.

එහෙත් එදා සටන වැඩ සටහනේදී අප දුටු මොහාන් සමරනායක ඒ මොහාන් සමරනායක නොවේ.

ජාතික රූපවාහිනියේ දේශපාලන විග්‍රහය ගෙන ආ මොහාන් සමරනායක හිටිවනම අතුරුදහන් විය. සති අන්තයේ රූපවාහිනිය ඉදිරිපිටට ආ පුරවැසියන් නන්නත්තාර විය. ඔහුට සිදුවුණු දෙයක්, එනම් දේශපාලන විග්‍රහයන් ගෙන ආ මොහාන් සමරනායකට සිදුවූ දෙයක්, ආරංචි වූයේ නැත. ඒ වෙනුවට ආරංචි වන්නට පටන් ගත්තේ ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස මොහාන් සමරනායක නැමැත්තකු පත්ව ආ බව ය. කලින් මොහාන් සමරනායක කී දේශපාලන කතාන්දරවල හැටියට ඔහු ආණ්ඩුවේ හොරණෑවකැයි ලේබලය වැදුණු ආයතනයක සභාපතිකම භාරගත නොහැකි බැවින් මුල් සමරනායකට සිදුවුණු දෙයක් ගැන ආරංචියක් නැති සොවින් සැවොම උකටලීව උන් හ. ජාතික රූපවාහිනිය තිබුණු තත්වයටත් වඩා අන්තයටම පිරිහෙන්නට පටන් ගත් බැවින් කලින් මොහාන් සමරනායක ඇත්තටම අතුරුදහන් වී ඇති බවත් මේ නව මොහාන් සමරනායක නැමැත්තා ඒ හැටි දැනුමක් තිබිය නොහැක්කෙක් බවත් සැවොම තේරුම් ගනිමින් උන් හ.

දෙවනුව ආ මොහාන් සමරනායක පසුකලෙක සභාපතිකමින් අස්වී ජනාධිපති උපදේශකකමකට ගිය බව ඔය අතර මාධ්‍ය වාර්තා කළේ ය. ඔහු සුදු ද, කළු ද යන්න හොයාගන්නට අපට ඒ හැටි ඉඩක් නොලැබෙමින් තිබෙන විට හදිසියේම ජනාධිපතිවරණයක් කඩාපාත් විය. මේ අලුත් මොහාන් සමරනායක අපේ නෙත හමුවට හොඳාකාරවම ප්‍රාදූර්භූත වන්නේ ඒ හදිසි කඩාපාත්වීමට පසුව ය. ඒ හදිසි ජනාධිපතිවරණය කැඳවූ ජනාධිපතිටම ඒ කැඳවීම ‘බූමරංග‘ වී ඇති බව පෙනෙන්නට ගත් මොහොතින් අනතුරුව ය.

දෙබිඩ්ඩෝ

‘තාරාවෝ ඉගිලෙති‘ නාට්‍යයේ සිංගප්පූරුවේ අතරමං වූ සොයුරා සොයායන නිවුන් සොයුරා තරම්මත්, දෙබිඩ්ඩෝ නාට්‍යයේ ප්ලාස්ටික් සැත්කමින් පසු ධනවතාට සමාන මුහුණුවර ගත් කම්කරුවා තරම්මත්, මේ අලුත් මොහාන් සමරනායකගේ මුහුණ පරණ මොහාන් සමරනායකට සමාන ය. ඇඟ කිළිපොලා යන සමානකමකින් යුක්ත ය. වඩාත් අරුමයට කරුණ නම් අලුත් සමරනායකගේ කතා විලාසය අතුරුදහන් වූ සමරනායකගේ විලාසයට දක්වන සමානකමයි. පරණ තැනැත්තා යළි පැමිණියහොත් ඔහු මේ සමානකම දැක, කම්පනයට පත්ව සිහි මූර්ජා වනු නිසැක ය.

එහෙත් සටන සංවාදයේ සමරනායක සම්බන්ධ වුණු වැඩ සටහන් බලන්නෙකුට මේ රූපමය හා කතා විලාසමය ‘හොර‘ සමරනායකගේ වංචාව අල්ලා ගැනීම අපහසු නැත. අලුත් තැනැත්තා එක් වැඩසටහනකට කිලෝ 80ක් බර විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු සමග පැමිණ කතා කළ වචන පෙර ඔහු එතරම් මුවට නැංවූ වචන නොවේ. ඔහු එහිදී නිතර නිතර කිව්වේ, ලක්ෂ එක හමාරක විතර සොච්චම් බිලක් සිය නිවසේ විදුලි බිල ලෙස ගෙවන, නිවාස ඇමති වීරවංශ කියන වචන ය. ‘බටහිර කුමන්ත්‍රණ, විදේශ බලවේග, අධිරාජ්‍යවාදය‘ ඇතුළු වචන හා ඒ සිහි කැඳවන උපමා-රූප එහි තිබිණි. මුල් මොහාන් සමරනායක මෙවැනි වචනයක් යෙදූ තැනකදී ඒ යෙදීමට හේතුව ඉතා පැහැදිලිව වර නගා දුන් නමුත් පසු ‘සමරූපිකයා‘ එය ඉටු කළේ නැත. අවසානයේ සිරසේ සූරියබණ්ඩාරට සාහසික ප්‍රශ්න පිළිබඳ අර්ථ ගැන්වීම ඉදිරිපත් කළේ මේ ‘වීරවංශ මොඩල‘ වචන සමග ආ මොහාන් සමරනායකම ය.

‘සාහසික‘ හා ‘හුරතල්‘ ප්‍රශ්න

සාහසික ප්‍රශ්න තිබේ. යමෙකුගෙන් “උඹ මිනියක් මැරුවා නේද?“ ආකාරයේ ප්‍රශ්නයක් ඇසීම අන්තිම සාහසික ය. ඒ සඳහා වන පිළිතුර මත ඔහුගේ ජීවිතයේ අනාගතයම තීරණය කරනා බැවිණි. ධම්ම දිසානායක නැමැත්තාගෙන් (මේ ද අතීත මොහාන් සමරනායක මෙන්ම අතුරුදහන් වී ගිය ධම්ම දිසානායකගෙන් පසු මතුවුණු ‘සමරූපිකයෙකි‘.) සිරස ඇසූ ප්‍රශ්න ඔහුට හෝ මොහාන් සමරනායකට ඒ ආකාරයට දැණුනා විය හැකි ය. අප දුටුවේ නම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු වූ ධම්ම දිසානායකගෙන් ඒ ආයතනයට සිදු කළ හෝ කරන්නට නියමිත බඳවා ගැනීම් සම්බන්ධ ප්‍රශ්න වැලකි. ඒ ප්‍රශ්න වැල සාහසික වන්නේ ඒ හා බැඳුණු ක්‍රියාදාම හෙළිදරව් වීම මිනීමැරුමක් හෙළි වීම තරම්ම දිසානායකගේ ජීවිතයට බලපෑමක් කරන්නේ නම් ය. ඒ හා සමග ඔහුගේ ආයතනයටත්, රජයටත් බලපෑමක් කරන්නේ නම් ය. නමුත් පොදු සමාජයට බලවත් යහපතක් ලැබෙන්නේ නම් ඒ ‘සාහසික‘ ප්‍රශ්න ඇසිය යුතුම ය!

මොහාන් සමරනායකලා අසතුටු වුණ, ඔවුන් ‘කිච‘ වීමට ඉඩ ඇති මෙම සාහසික ප්‍රශ්න වෙනුවට ඉතා අහිංසක හුරතල් ප්‍රශ්න ඇසිය යුතු බව ඔවුනගේ සභාපතිත්වය යටතේ පැවති ජාතික රූපවාහිනිය හා නැදෑකම් ඇති ස්වාධීන රූපවාහිනිය බලන අයට හිතෙනු ඇත. ඒ දේශපාලන වැඩසටහන්වලදී අසන ‘පෙත්තො බත් කෑවද?‘ වැනි ප්‍රශ්න කොතරම් ‘හුරතල්‘ද යත් ‘පෙත්ත බත් කෑවා‘ කියා පිළිතුරු දෙන්නාට කිව හැකි ය. ප්‍රශ්න අසන්නා එවැනි වැඩ සටහන්වලදී කිසි විටෙක පිළිතුරු දෙන සමරනායකලාට දිසානායකලාට කරදර කරන්නේ නැත. යමක් කියා ගන්නට බැරිව වචන හිර වද්දී ‘අනංමනං‘ තවත් අසන්නේ නැත. කොටිම්ම ඒ ගොල්ලන්ට කරදරයක් විය හැකි බව කලින්ම සිතා විරුද්ධ මතයක් ඇති කිසිදු එකෙකු පැත්ත පළාතේ ගෙන්නන්නේ ද නැත. සමරනායකලාට ‘සාහසික‘ විය හැකි කිසිදු පසුබිමක් සාදන්නේ නැත.

බත් කන පෙත්තප්පුලා

සිරසට පැමිණ, සාහසික ප්‍රශ්න ගැන කියා, ජනමාධ්‍ය ආචාර ධර්ම හා න්‍යාය මතක් කර සූරියබණ්ඩාරට උන් හිටි තැන් නැති වෙන්න බැටේ දුන්නේ ජාතික හා ස්වාධීන නාලිකාවල වැඩ සටහන්වල හරිම සුපේෂලව කතා කරන අලුත් මොහාන් සමරනායක ය. ඔහු අතුරුදහන් වූ දේශපාලන විශ්ලේෂකයා නොව ‘බත් කන පෙත්තප්පු‘ කෙනෙකි. ඔහු කියූ සාහසික වචනයේ තේරුමවත් ඔහු නොදන්නවාට සැක නැත. නැතිනම් කොතැනදී නැතත් ‘සාහසික‘ යන්න නිරතුරුව කියැවුණු හලාවත ධීවර ඝාතනය, කටුනායක නිදහස් වෙළඳ කලාප ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය, රතුපස්වල ඝාතන වැනි තැන්වලදීවත් ඔහුට එය සිහියට එන්නට ඉඩ තිබිණි. ඒ දවස්වල ශිශිර නිද්‍රාවක සිටියේ නම් අවදියෙන් සිටින මේ දිනවල දී කලාකරු ජයතිලක බණ්ඩාරට සාහසික ලෙස දෙවරක් පහර දෙන විට, තරුණ කලාකරුවන්ට සාහසික ලෙස පහර දෙන විට, විරුද්ධ පක්ෂයේ රැස්වීම්වලට, ඡන්ද කාර්යාලවලට, ආධාරකරුවන්ට සාහසික ලෙස පහර පිට පහර දෙන විට ඒ වචනාර්ථය සිහිවන්නට ඉඩ තිබිණි. එහෙම වුණේ නැත.

ඔහුට සාහසික වුණේ ‘සමරූපික සංගමයේ‘ ගමන් සගයා වෙත එල්ල වුණු, ජනතාවට දැන ගැනීමට අයිතියක් ඇති දෙයක් ගැන ඇසූ ප්‍රශ්න ය. වෙඩි උණ්ඩ නොවේ. මරණ නොවේ. තුවාල නොවේ. වේදනා නොවේ. කඳුළු නොවේ. වෙන කිසියම්ම හෝ දෙයක් නොවේ.

හිටපු මොහාන් සමරනායක නැත්තටම නැතිවී ගොස් ය. අපි මේ නව ‘සමරූපිකයා‘ගෙන් අහිංසක ප්‍රශ්නයක් අසමු.

“පෙත්තප්පු බත් කෑව ද?“



-ප්‍රියන්ත ෆොන්සේකා - 

Image : http://classroomclipart.com/images/gallery/Clipart/Animals/Bird_Clipart/green-parrot-in-gold-cage.jpg