Wednesday, August 28, 2019

විශ්වවිද්‍යාල සංගීත අධ්‍යාපනයේ අර්බුදය


(2019 අගෝස්තු 25 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

තරුණ සංගීත උගතුන් කණ්ඩායමක් කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කර ඇති අතර මේ දිනවල එය විභාගයට ගැනෙයි. කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාල සඳහා කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේ දී ඉන්දීය උපාධි පාඨමාලා සම්පූර්ණ කොට මෙරටට පැමිණ සිටින අයගේ අයදුම්පත් පළමු වටයේ සළකා බැලීම්වලින් ඉවත් කිරීම මේ නඩුව පැවරීමට මුල්ව ඇති නිමිත්තයි. විශ්වවිද්‍යාලවල තර්කය අනුව ඉන්දීය විශ්වවිද්‍යාලවල සංගීත පාඨමාලා හැදෑරෙන්නේ වසර තුනක් පමණක් හෙයින් මෙරට විශ්වවිද්‍යාල පනත හා නීති සංග්‍රහය අනුව ඒ අයත් වන්නේ සාමාන්‍ය උපාධි යටතට මිස විශේෂ උපාධි යටතට නොවේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විශේෂවේදී පාඨමාලා යටතේ සංගීතය හදාරන්නෙකු/හදාරන්නියක වසර 4ක උපාධි පාඨමාලාවක් සපුරන හෙයින් ඔහු/ඇය මෙම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පළමුව කැඳවිය යුතු ය.

අනෙත් අතට, අධිකරණය හමුවට යන පාර්ශවයේ තර්කය වී ඇත්තේ, ඉන්දීය විශ්වවිද්‍යාල සංගීත පාඨමාලා වසර තුනකින් කෙළවර වීම ඔවුන්ගේ වරදක් නොවන බවයි. එසේම උපාධියට ප්‍රවේශ වීම සඳහා නිම කරන ඩිප්ලෝමා මට්ටම් ආදියද සමග එය වසර පහකට ආසන්න කාලයක අධ්‍යයන කටයුත්තක් බවයි. ඒ හා සමග, මෙරට දී සළකා බැලෙන පාඨමාලාවල ‘ක්‍රෙඩිට් ප්‍රමාණ‘ (ඇමරිකානු සමාසික නැතිනම් සෙමෙස්තර ක්‍රමය යටතට ගැනෙන) ආදිය වෙනුවට ඉන්දියාවේ දී සැලකෙන්නේ අවසන් කෙරෙන/ පුහුණුව ලැබෙන ‘පැය ප්‍රමාණ‘ ආදිය බවයි. ඉහත තර්ක ඔස්සේ සලකා බැලූ විට, බොහෝ දුරට මෙරට විශ්වවිද්‍යාලයක ආචාර්ය මණ්ඩලයකට එකතු වීමේ අවස්ථාව ඔවුන්ට හිමිවන්නට ඇති අවස්ථා අවමව ඇති වටපිටාවක, ඔවුන්ගේ අරගලය යම් පදනමක් සහිත වූවක් බව පිළිගත හැකි ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත ඉහත පිරිස හා විශ්වවිද්‍යාලවල සංගීත පාඨමාලාවල අනාගත ස්වරූප ලියැවීමට ඉඩක් වද්දී, සෞන්දර්ය අධ්‍යාපනයට ලැදි හා වඩා විධිමත්ව ඒ ගොඩ නැගිය යුතු බැව් විශ්වාස කරන පිරිසක් ලෙස අප රට සංගීත අධ්‍යාපනය වෙත නැවත හැරී බැලීමට මෙය අවස්ථාවක් කර ගැනීම උචිත බව මගේ අදහසයි. එය සමස්ථයක් ලෙස සංගීත අධ්‍යාපනය මතු නොව සංගීතය යන පුළුල් කලා කෙත දෙසම වන දේශජ දැක්ම යළි විමසීමට පසුබිමක් තනා දෙනු ඇති හෙයිනි.

සංගීතය නොඋගැන්වූව ද සංගීතය විෂයයක් ලෙස හදාරන විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් සහිත, සෞන්දර්ය අධ්‍යාපනය මූලික කොටගත්, විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන දෙකක වසර 16කට නොඅඩු අත්දැකීම් ඔස්සේ නැවත හැරී බලද්දී මට පෙනෙන්නේ අප සංගීතය අධ්‍යයන විෂයයක් දකින ආකාරයේම මූලික අර්බුදයක් හඳුනාගත හැකි බවයි. එය විශ්වවිද්‍යාල මට්ටමේ පමණක් පවතින්නක් නොවේ. අන්‍යෝන්‍ය වශයෙන් දෙපසින්ම ඇගයුම් හා එකඟතාවන් ලබමින් පාසැල් හා විශ්වවිද්‍යාල යන දෙඅංශයේම පවතින්නකි. එය සරල උදාහරණයකින් වටහා දෙන්නට මට ඉඩ දෙන්න.

මා කලින් සේවය කළ මෙයින් එක් සෞන්දර්ය මූලික විශ්වවිද්‍යාල ආයතනයකට ළමුන් බඳවා ගැනෙන්නේ උසස් පෙළ සමත්වූවන් වෙනුවෙන් වන සම්මුඛ පරීක්ෂණයකිනි. අවසානයේ විද්‍යාර්ථීන් 10-15කට ලැබෙන අවස්ථාවක් දිනා ගනු පිණිස වසරකට උසස් පෙළ සමත් සිසු සිසුවියන් තුන්සියයකට නොඅඩු පිරිසක් සංගීතයට පමණක් එම ආයතනයට අයදුම් පත් එවා මෙම සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙති. සංගීතය පිළිබඳ ව ප්‍රවීණ දැනුමකින් සමන්විත ආචාර්ය මණ්ඩල සාමාජික පිරිසට අමතරව කලාව හා සෞන්දර්ය පිළිබඳ අයදුම්කරුවන්ගේ සාමාන්‍ය දැනුම විමසා බලන්නෙකු ලෙස මම අවස්ථා ගණනාවකදීම මෙම මණ්ඩලවල වාඩිවී සිට ඇත. සෑම විටම ඒ මණ්ඩලය ඉදිරියට එන සිසුවකු හෝ සිසුවියකගෙන් ඇසෙන අනිවාර්ය පළමු පැනය මෙයයි.

“ඔයා වයලින් ද? වෝකල් ද?“

අයදුම්කරු වයලීනය ප්‍රගුණ කර ඇත්නම් ඔහුට හෝ ඇයට ඉදිරිපස වාඩි වී නම් කරන ලද හා පුහුණු වූ ඉන්දියානු රාග වයන්නට ද, ගායනය ප්‍රගුණ කළේ නම් ඉන්දියානු රාග ගයන්නට ද සිදු වන අතර, වෙනත් සංගීත භාණ්ඩවලට ඔවුන් වෙත හුරුවක් වේදැයි යන්න සරල ගීත හෝ ජන ගීත ආදිය ගයන්නට හැකිදැයි යන්න දෙවනුව හෝ තෙවනුව විමසා බලා සම්මුඛ පරීක්ෂණය කෙළවර කෙරෙයි. බටනලාවක්, සිතාරයක්, තබ්ලාවක් හෝ බටහිර වාද්‍ය භාණ්ඩයක් ඔසවාගෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් වන අයෙක් වෙතොත් ඔහුට/ඇයට බොහෝ දුරට ලැබී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

“ඔයා සෞන්දර්යයටත් ඇප්ලයි කළා ද? එහෙ නං ඔය වගේ ඉන්ස්ට්‍රැමන්ට් කෙරෙනව. එහෙම නැත්තං ඔයා කැමති නැද්ද වයලින් එක හරි ගායනේ හරි කරන්න මෙහෙ ඇවිත්?“

අරුමය නම් මේ දෙවැනි පිළිතුර අසන්නට එන පිරිස අතේ ඇඟිලි ගණන නොඉක්මවන අති සුළුතරයක් වීමයි. මණ්ඩල දොරෙන් ඇතුළු වන්නා නියතවම වයලිනයක් අත දරා හෝ  ගයන්නට මුව සූදානම් කරගෙන හෝ පැමිණෙන බැවිනි. එයට හේතුව පාසැල් සංගීත අධ්‍යාපනය ද මූලිකව වයලීනය හෝ ගායනය මුල් කරගෙන විහිද යන නිසා බැව් ඒ දිනවල විශ්මයට පත්ව උන් මා වෙත මණ්ඩලයේ ප්‍රවීණයෙක් පහදා දුන්නේ ය.

දැන් අපට නියත, අනිවාර්ය, එනමුත් කවුරුත් නොඅසන පැනයක් ඇසිය හැකි ය. සංගීතය යනු මේ ද? වයලීනය හෝ ගායනය මූලිකව තැබූ, තබ්ලා, සිතාර හා බටහිර සෙසු වාදන භාණ්ඩ දෙවනුව තැබූ දෙයක් ද?

මෙය සංගීතය, උත්තර භාරතීය හා දක්ෂිණ භාරතීය ලෙස ද, බටහිර ලෙස ද වෙන් සම්ප්‍රදායන් ලෙස ගෙන හැදෑරීම ඉක්මවූ ඛේදනීය ආස්ථානයකි. මා දන්නා විශ්වවිද්‍යාල පාඨමාලාවලින් අති බහුතරයක් මෙම, ඉන්දීය රාගධාරී සංගීතය මුල් කොටගත්, දිගින් දිගටම රාග වැයීම හෝ ගැයීම පුහුණු කෙරෙන, සාම්ප්‍රදායික ප්‍රවේශය බිඳ හෙළා වෙනත් මාවත් සොයාගෙන නැත. සරස්වතී ප්‍රතිමාවක් සිය පුහුණු පන්ති අභියස තබා, ඒ වැඳ අවසර ගෙන කෙරෙන පුහුණු සැසි හැරුණු විට විශ්ව සංගීතය විමසිය හැකි ආකාර සොයා බලා නැත. යට සඳහන් කළ අධ්‍යයන ආයතන දෙකෙහිම නව විෂයය නිර්දේශ යාවත්කාලීන සැසි හා එක්ව මා සම්බන්ධ වන විෂයය ක්ෂේත්‍රවල කටයුතු කරද්දී, සංගීතයේ නන්විධ ප්‍රවේශ හා ස්වරූප විමසිය හැකි, ලොව දියුණු විශ්වවිද්‍යාල හා සංගීත පාසැල්වල ක්‍රියාත්මක පාඨමාලා අනුදත් විෂයය නිර්දේශ තැනීමට ඒ ආචාර්යවරුන් වෙහෙසෙන බවක් දැක හෝ නැත.

එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එක් ‘ප්‍රශ්න කළ හැකි‘ පොදු ප්‍රකාශයක් නම් නිරතුරුව වහරති. ‘සංගීතය විශ්ව භාෂාවකි!‘ යන්න එම ප්‍රකාශයයි.

සංගීතය දෙස බලන, විමසන හා ඒ හදාරණ මාවත් ගණනාවක් ලෝකයේ සංගීතය ප්‍රමුඛ කොටගත් පාසැල් හා විශ්වවිද්‍යාල හමුවේ හඳුනාගත හැක. උදාහරණයක් ලෙස සිඩ්නි විශ්වවිද්‍යාලයට අයත් ප්‍රමුඛතම අධ්‍යාපන (සංගීත සංරක්ෂණ) ආයතනයක් වන Sydney Conservatorium music හි නිර්මාණශීලී සංගීතය, සමකාලීන සංගීත භාවිතය, ඩිජිටල් සංගීතය හා මාධ්‍යය, ජනසංගීතවේදය, සංගීතවේදය, ආදිවාසී සංගීතය, ගොඩ නංවන (Improvised) සංගීතය, අභිවහන විද්‍යාව, අභිවහනය හා සංරක්ෂණය යනාදී විෂය ප්‍රවේශ සිය පළමු උපාධිය සඳහා සංගීතය තෝරාගන්නෙකු වෙත හමුවනු ඇත. අප රට හමුවන පාඨමාලා අතර මේ විෂයය ක්ෂේත්‍ර අතුරින් යම් කලාප (උදා: ජනසංගීතවේදය) හමු වන අවස්ථා ඉඳහිට හඳුනාගත හැකි වුවත් ඒ ඉතා කුඩා ඒකක වශයෙන් පමණි.

කැලණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලවල බඳවා ගැනීම් පටිපාටිය පිළිබඳ ඉන්දීය සංගීත උපාධිධාරීන්ගේ අභියෝගය වැදගත් ය. ‘ඉන්දීය රාගධාරී සංගීතය උගැන්වීමට ඉන්දියාවෙන්ම ඉගෙන පැමිණීම නුසුදුසුකමක් වේයැයි‘ යන තියුණු හාස්‍යජනක හැඟවුමකට එරෙහි වීමක් එහි ඇත. අනෙත් අතට, මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නගන, මග හැර යා නොහැකි සහ වැදගත් ප්‍රශ්නයක් ඉන්දීය සංගීත උපාධිධාරීන් අභියස ද ඉතිරි වේ. පර්යේෂණාත්මක අධ්‍යාපනයක් මග හැරුණු, හුදු දීර්ඝකාලීන පුහුණුවකින් හා ඒ විභාග කිරීමකින් පමණක් ඔබ ලැබූ උපාධි සුදුසුකම මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉල්ලා සිටින පර්යේෂණාත්මක ආචාර්යවරයා නිර්මාණය කරන්නේ ද යන්න ඒ වැදගත් පැනයයි. එයට ඔවුන් පිළිතුරු දිය යුත්තේ නිර්මාණශීලී ක්‍රියාකාරකම් හරහා මෙන්ම විශ්ව සංගීතය පිළිබඳ නව දැනුම පොත්පත් හා ලිපි ආදිය සම්පාදනය හරහා සිදු කරන ද්වි-ආකාර මැදිහත්වීම් ඔස්සේ සංගීත අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කිරීම මගිනි. ඒ අභියෝගය ඉන්දීය සංගීත උපාධිලාභීන් වෙත මෙන්ම මෙරට විශ්වවිද්‍යාලවල සංගීත ආචාර්ය පරපුර වෙත ද එල්ලව ඇති බව එපිරිස ද මනාව වටහාගත යුතු ය.

දැඩි සීමාකම් සහිත මෙරට සංගීත අධ්‍යාපනය පුළුල් මානයක ස්ථාපිත වනු ඇත්තේ එවන් ප්‍රවේශයකින් පමණි.


-ප්‍රියන්ත ෆොන්සේකා -


සේයාරුව:  සෑම් ස්මිත්ගේ "I am not the only one' ගීයේ අනුවාදනය සඳහා ඩෙරික් ග්ලේටන් (ඩීෂාර්ප් ලෙස ප්‍රසිද්ධ) ඉදිරිපත් කරන වීඩියෝවේ කවරයේ සේයාරුවයි. 

Wednesday, August 21, 2019

අනාගතයට ආදරය කරමු!


(2019 අගෝස්තු 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

මහා තරගයක් ඉදිරියට පැමිණෙමින් තිබෙන බව පසුගිය සති අන්තය අපට කියා සිටියේ ය. එක් පාර්ශවයක ‘සිහින අපේක්ෂකයා‘ නම් කිරීමත් සමග රතිඤ්ඤා, රබන් සුරල්, පපරේ සංගීතය සහ කිරිබත් කරළියට ආ අතර ඉතිරි ප්‍රමුඛ පාර්ශවය සහ සෙසු තෙවැනි සහ සිවුවැනි බල මුළු, ඒ ඒ පාක්ෂිකයන්ට ස්ව-වින්දනාත්මක පසුබිමක් තනමින් සිය අපේක්ෂකයින් ඉදිරි දින කිහිපය තුළ නම් කරනු ඇති බවට අදහස් පළ විය. ඉන් පසු, ජනපතිවරණය එළඹෙන තෙක්, ‘හෙට දවස‘ පිළිබඳ අනේක සුභ සිහින රැගත් විවිධ යෝජනා සහ බලාපොරොත්තු ඇති කෙරෙන කතා ද, අතීත වැරදි සහ දූෂණ හා වංචා පිළිබඳ විවිධ චෝදනා මාලා ද පුරවැසියන්ගේ දෙසවන් තුළ රැව් පිළිරැව් නංවමින් නැගෙනු ඇති අතර ජනපතිවරයකු පත් වූ අනතුරුව සුපුරුදු ‘අනෙකා වෙත යොමු වන සිනාසීම්‘ හෝ ‘පසුතැවිලිවීම්‘ නැගී එනු ඇත.

මේ සියලු ක්‍රියාවලීන් අතරතුර, ගෙවුණු 71 වසරක පසු-නිදහස් සමය තුළ අප සමාජය යළි යළිත් සිදු කළ මෙම ‘තට්ටු මාරු‘ දේශපාලනය තුළින් රටට අත්වුණු ජයග්‍රහණයක් වී දැයි යන පැනය අසන සමාජ ස්ථරයක් ද අපට මුණ ගැසෙයි. තිස් වසරක සිවිල් යුද්ධයක්, පරාජිත තරුණ කැරළි දෙකක් යන ලේ වැකුණු මෑත ඉතිහාසයක් හේතුවෙන් අපට අහිමි වුණු ජීවිත දසදහස් ගණනක් මෙන්ම, ආර්ථිකමය, දේශපාලනමය හා සංස්කෘතිමය වශයෙන් අප සමාජයක් ලෙස පසු බැස ඇති තරම ගිණිය නොහැකි තරම් දුරකට වේ යැයි එම කණ්ඩායමේ අදහස්වල සාරයයි.

මුලින් සඳහන් කළ පොදු සමාජ කණ්ඩායම් කිහිපය ස්වකීය නායකයාගේ ‘දැක්ම‘ හෝ අදහස් අනුව යමින් හා/හෝ සම්ප්‍රදායානුකූලව සිය විශ්වාසය දිනාගත් පක්ෂය වෙත ආසක්ත වෙමින් හෝ මේ පෙර දකින්නට උත්සාහ කරන්නේ වඩා යහපත් හෙට දවසක් පිළිබඳ අදහසකි. දෙවනුව සඳහන් කළ, මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳ පොදු විවේචනාත්මක දෘෂ්ටියකින් අදහස් ගොණු කරන කණ්ඩායමේ මූලික අදහස තුළ ද ඇත්තේ තත්‍යාකාර වෙනසක් සිදු නොවුණහොත් යහපත් හෙට දිනයක් උදා නොවනු ඇති බව හා මේ පවතින දේශපාලන පක්ෂ හා නායකයින් හමුවේ ඒ සඳහා බලාපොරොත්තු ඇති කිරීම උගහට බව ය.

නිශ්චිත කුලකයක වන ස්වාත්ම පෝෂණ සිහින පසෙක ලෑ විට, මේ සියල්ලන්ගේ ප්‍රකාශ හා අදහස්වලින් වෙන්කොට ගත හැකි තනි යෙදුම නම් ‘හෙට දවස‘ යන්නයි. අපි සියල්ලෝම හෙට දවස ගැන බලාපොරොත්තු තබා ගනිමින් ද, ඒ කඩා බිඳ දමා ගනිමින් ද, සැක කරමින් ද ජීවත් වන්නෝ වෙමු. එහෙත්, සිවු වසරකට හෝ පස් වසරකට වරක් එළඹෙන ජනාධිපතිවරණ හා මහ මැතිවරණ වෙත පමණක් අවධානය යොමු නොකොට හා එමගින් වන යහපත් එළඹුම් දෙස පමණක් බලා නොසිට හෙට දවස වෙනුවෙන් පුරවැසි සමාජයක් ලෙස අපට කළ හැකි දේ කුමක්දැයි අප සිතා බලා ඇත් ද?

දැනට දෙසතියකට පමණ පෙර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ‘සංස්කෘතික විපුලතාව‘ වෙනුවෙන් වූ නේවාසික පුහුණු වැඩසටහනක සහභාගි වීමේ අවස්ථාව මට ලැබිණ. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන එහි මූලික සම්පත්දායකයා ලෙස කටයුතු කළ අතර, පුරා දින 5ක් තිස්සේ 20ක පමණ කණ්ඩායමක් සමග සංස්කෘතිය හා බැඳුණු විවිධ න්‍යායික එළඹුම් ද සාකච්ඡා කරමින්, සමාජයක් ලෙස අප මුහුණ දී ඇති අර්බුද වටහා ගැනීමට හා සමාජ-සංස්කෘතික ගතිකයන් වටහා ගනිමින් ඒ සඳහා පිළිතුරු සෙවීමට ඇති මං වටහා ගැනීමට අපි කටයුතු කළෙමු. වැඩමුළුව කෙළවර ඔහු සඳහන් කළ එක්තරා සඳහනක් ඔස්සේ සිත යොමු කළ මට, මෙතෙක් මේ ලිපිය තුළ මා ගොනු කරමින් එන ‘හෙට දවස‘ පිළිබඳ සමාජ අදහස වඩාත් විස්තීර්ණ කළ හැකි කලාපයක් එහි වන බව හැඟී ගියේ ය.

ආචාර්ය විජේසිරිවර්ධන වසර කිහිපයක් තිස්සේ ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් හා ඒ හා බැඳුණු සමාජ-සංස්කෘතික එළඹුම් සමූහයක් වෙනුවෙන් නිහඬ අරගලයක යෙදී සිටියි. ඇතමෙකුට අනුව මෙය එක්තරා ‘පිස්සු වැඩක්‘ ලෙස පෙනී යා හැකි වෙතත්, ‘සංස්කෘතික ප්‍රතිපත්තියක්‘ යනුවෙන් ඔහු (සහ ඔහු සමග වැඩ කරමින් සිටින කුඩා කණ්ඩායම) ඉදිරිපත් කරන අදහස කුමක්දැයි සැලකිල්ලට ගෙන විමසා බැලීම වටී. සංස්කෘතිය යන්න නිසි අර්ථ නිරූපණයකින් වටහා නොගත් සහ ඒ නිසාම කලා-සංස්කෘතික කලාප වෙත දැඩි සීමාකාරී රාමු නිර්මාණය කරන ආණ්ඩුවල අණපනත් පසෙක ලා පුරවැසියා විසින්ම සකසාගත් සංස්කෘතික ප්‍රතිපත්තියක් සකසා ගැනීම හා ඒ ඔස්සේ වඩාත් දියුණු හා යහපත් සමාජයක් වෙනුවෙන් කලාව, අධ්‍යාපනය, ආගම හා මාධ්‍යය යන සිවු වැදෑරුම් සමාජ මෙහෙයුම් පද්ධති යොමු කරවීම ඔහුගේ/ඔවුන්ගේ පිරිසේ යෝජනාමාලාව තුළ වන බව මට පෙනී ගොස් ඇත. අද මේ ලිපියේ සාකච්ඡාවට ගැනෙන ‘හෙට දවස‘ පිළිබඳ කතාව වෙනස් මගකට පිළි පනින්නේ ද ඒ මූලික සාකච්ඡා පද්ධතිය තුළ හිඳිමින්ම ආචාර්ය විජේසිරිවර්ධන කරන එක් යෝජනාවක් පදනම්ව ය. යහපත් හෙටක් දකින්නට නම් අපි ‘අනාගතයට ආදරය කළ යුතු යැයි‘ ඔහු යෝජනා කරයි!

සැබැවින්ම අපි අනාගතයට ආදරය කරන්නේ වෙමු ද? අනාගතය යනු ‘හෙට දවස‘ පමණක්ම නොවේ. එය අපේ ජීවිත කාලයෙන් ඔබ්බට පරම්පරා ගණනාවක් ඔස්සේ අනන්තයක් දක්වා විහිදෙයි. දරුවන්ගේ ද දරු මුණුපුරන්ට වඩාත් සතුටින් ජීවත් විය හැකි අනාගතයක් වෙනුවෙන් ජල සම්පත හා සත්ව සම්පත සුරැකීම, කුඩා ප්ලාස්ටික් බෝතලයක් වසර 450ක් දිරාපත් නොවන බව වටහාගෙන ඒ භාවිතය හැකි තරම් සීමා කිරීම වැනි කුඩා පියවරක සිට ප්‍රති-වන වගාව යනාදිය මෙම අනාගතයට ආදරය කිරීම සම්බන්ධ පරිසරය හා බැඳුණු දේ ය. අපේ සමාජය හා සංස්කෘතික පරිසරය හා බැඳුණු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිතා බලමින් අපට මේ අනාගතයට ආදරය කිරීමේ සිතුවිල්ල කෙතරම් ස්ථිරව අප තුළ වේ දැයි කිරා මැන බැලිය හැක.

ඒ ඔස්සේ එළඹෙත් දී, හෙට දවසේ ‘දියුණු රට‘ යනු අහස සිඹින ගොඩනැගිලි හා වේගයෙන් දිවෙන සුඛෝපභෝගී යාන වාහනවලින් පමණක් පිරුණු රටක් පිළිබඳ ‘සිංගප්පූරු චිත්‍රය‘ නොවන බව අපට වැටහෙනු ඇත. ගස්වැල්වලින් තොර පරිසරය අඩු ඔක්සිජන් පිරි, හුස්ම ගැනීම අසීරු නගර අවකාශ නිර්මාණය කරන හෙයිනි; රෝගී සමාජයක් තනා දෙන හෙයිනි. එනයින් වෘක්ෂලතාදිය ද හමුවන, තදබද නැති නගරයක සෙමින් පාපැදියක් පැද යන නගර වැසියෙකුගේ ‘නෙදර්ලන්ත නගර චිත්‍රය‘ වඩා ආකර්ෂණීය බව අපට පෙනී යනු ඇත. සෙසු සියලු කලාප මෙවැනි උදාහරණ මාලා ඔස්සේ යමින් අපට විමසා බැලිය හැකි ය.

දැන් අපේ ‘හෙට දවස‘ පිළිබඳ සිහින රැගෙන එන නායකයින්, දේශපාලන පක්ෂ, පුරවැසි කණ්ඩායම් ඇතුළු සියල්ලන් කෙතරම් දුරට මෙම තත්‍ය අනාගතය දෙස බලා ඇත්දැයි අපට මැන බැලිය හැකි ය. බොහෝ දෙනෙකුගේ ප්‍රකාශ හා ප්‍රකාශන ‘අනාගත මහා නගරවල‘ ගිලී ගොසිනි; ආර්ථික අභිලාෂවල කිමිදී ගොසිනි; කර්මාන්ත හා යෝජනා ක්‍රමවල පැටලී ගොසිනි. ඒ කිසිදු වැඩ සටහනක් හෝ දැක්මක් ‘හෙට දවස‘ දෙස මිස ‘අනිද්දා‘ දෙස නොබලයි.

ආචාර්ය විජේසිරිවර්ධන ප්‍රමුඛ කුඩා බලපෑම් කණ්ඩායමේ එළඹුම පිළිබඳ විවේචන නැගිය හැකි අවස්ථා ඇති වුව ද, නොවූව ද ඔවුන්ගේ ආස්ථානයේ ඇති මූලික වැදගත් යෝජනාව අප සමාජයක් ලෙස යළි යළිත් සිතා බැලිය යුත්තක් බව මගේ යෝජනාවයි. ආර්ථික ක්‍රමය වෙනස් කිරීම, දේශපාලනික ප්‍රතිපත්ති වෙනස් කිරීම, පාලනය පෙරළා දැමීම වැනි එක් පියවරකින් පමණක් තියුණු හා දියුණු සමාජ වෙනසක් පිළිබඳ බලාපොරොත්තු තැබීම පදනම් විරහිත බව ඔවුහු යෝජනා කරති. අවශ්‍ය වන්නේ සමාජ පැවත්මෙහි පුළුල් වෙනස් කිරීමකි. ඒ සඳහා යට කී  කලාව හා සෞන්දර්යය, අධ්‍යාපනය, ආගම හා මාධ්‍යය අප වටහාගෙන ඇති හා භාවිතා කරමින් ඇති ස්වරූප වෙනස් කළ යුතු ය.

එය තනි නායකයෙකු පැමිණ දිනකින්, සතියකින්, මාසයකින් හෝ වසරකින් දෙකකින් කරන විශ්වකර්ම කටයුත්තක් විය නොහේ. ‘අනාගතයට ආදරය කරන‘ සමස්ථ පුරවැසි සමාජයේ අවශ්‍යතා ඔස්සේ වැඩී නැගිය යුතු අනවරත ක්‍රියාවලියක් ඔස්සේ දිනිය යුත්තකි.

-ප්‍රියන්ත ෆොන්සේකා -

Wednesday, August 14, 2019

කියවීම ‘උමතුවක්‘ ලෙස ගැනීම: සංස්කෘතික මිනිසකු ගොඩ නඟා ගනු පිණිස


(2019 අගෝස්තු 11 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

සතිපතා තමන් වෙත හෝ තමන් වෙතින් විශ්‍රාමික මහාචාර්යවරයෙකු වෙතින් හෝ වෙත යොමු වන නිශ්චිත දුරකථන ඇමතුමක් ගැන දීර්ඝ සහ අනර්ඝ සටහනක් පසුගිය සතියේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිය ෆේස්බුක් අඩවියේ පළ කොට තිබිණි. “මොනවද මේ දවස්වල කියවන්නෙ?“ යන නියත පැනය කුමන හෝ අන්තයක් වෙත නියතව යොමු වන මේ ඇමතුම ස්වකීය කියවීමේ ‘උමතුව‘ බෙදාහදා ගැනීම පිණිස ඔහු වෙත ලැබෙන්නක් මිස ‘උමතුව‘ සුව කරනු පිණිස වන ඖෂධයක් නොවන බවත්, ඒ ‘උමතුව‘ වැළඳුණු බවට ඔහුට හැඟෙන විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයින් පේරාදෙණියෙන් හමුවන්නේ තුන් හතර දෙනෙක් හා ඒ නම් මේ බවත්, ඒ ‘උමතුවේ‘ වටිනාකම මෙපරිදි බවත් ලියා තිබුණු මහාචාර්ය අමරකීර්ති සිය සටහන කෙළවර කර තිබුණේ තමන්ට සතිපතා දුරකථනයෙන් ‘කියවන දේවල්‘ ගැන කතා කරන විශ්‍රාමික මහාචාර්යවරයාගේ නම ජයදේව උයන්ගොඩ බව හෙළි කරමිනි.

මහාචාර්ය අමරකීර්තිගේ සටහන බොහෝ දෙනෙකු යළි සිය ෆේස්බුක් පිටුවල ද බෙදාගෙන තිබුණු අතර එම සටහනට ආදරය, කැමැත්ත සමගින් විශ්මයාවහ එකඟතාව පළ කළ පිරිස ද විශාල පිරිසක් බව සටහනෙහි පහතින් පෙනෙන්නට තිබිණි. ‘කියවීම‘ ගැන, සම්මානලාභී ලේඛකයෙකු ද, විශ්වවිද්‍යාලයක සිංහල අධ්‍යයනාංශයක මහාචාර්යවරයකු ද වන අයෙකු ලියා තිබුණු සටහනක් දැඩිව ආදරය හා කැමැත්ත ලබා ගනිමින් බෙදාහදා ගැනෙද්දී සැබෑවටම ඔහු මතු කරන කියවීමේ ‘උමතුවකින් තොර‘ සමාජය පිළිබඳ බිහිසුණු හැඟවුම යටපත් වෙමින් යන බව මගේ නිරීක්ෂණයයි. යට කී ප්‍රතිචාර දක්වන්නන් හා බෙදාහදා ගන්නන් බහුතරය ‘සෙමින් සෙමින් ගොස්‘ මහාචාර්ය අමරකීර්ති අසලින් සිට ගනිමින් “පේනව නේද රටකට වෙලා තියෙන දේ?“ වැනි ප්‍රශ්නයක් අනෙකාගෙන් අසා තමන් ද ‘උමතුවක් ඇති අයෙකු‘ බවට වන ව්‍යාජ හැඟවුමක් දක්වමින් හිත හදා ගෙන හා/හෝ හිත රවටාගෙන සාකච්ඡාව කෙළවර කරයි.

සැබවින්ම මේ ෆේස්බුක් අඩවි සටහන අපට එතරම් ‘පහසුවෙන්‘ බෙදාහදා ගත හැකි සටහනක් ද? ප්‍රතිචාර දක්වා අමතක කළ හැකි සටහනක් ද? දියුණු සංස්කෘතික සමාජයක් ගොඩ නගා ගැනීමට නම් අප වෙත නියත වශයෙන්ම නිර්මාණය කර ගත යුතු සංස්කෘතික මිනිසාගේ පරිපූර්ණත්වය පිළිබඳ පැහැදිලි හැඟවුමක් වන ‘කියවීම‘ පිළිබඳ සාධකය ගැන භාෂා විශාරදයකුගේ නිරීක්ෂණය අප වෙත කිසිදු පහසුවක් ඇති නොකරන්නක් වන හෙයින්ම එය කිසිදු ආකාරයකින් අමතක නොකොට යළි යළිත් සාකච්ඡාවට කැඳවිය යුත්තක් බව මම යෝජනා කරන්නට කැමැත්තෙමි.

සමාජයක් ලෙස අප, පොත් ප්‍රදර්ශනවල රස්තියාදු ගසමින් හෝ, පොත් මිලට ගන්නේ කියවන්නට නොවන බව සැප්තැම්බරයේ පළ වන බහුතර සමාජ ජාලා සටහන්වලින්ම නිරීක්ෂණය කළ හැකි ය. පොත්වලට වඩා වැඩියෙන් ක්ෂණික නූඩ්ල්ස් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන සමය විකිණෙන බවට ලියූ සෝපාහසාත්මක සටහන් ද, ‘ගිය වර මිලට ගත් පොත්වලට තවම අත වත් තබා නැති බව‘ ලියූ දුක්බර සටහන් ද මා කොතෙකුත් දැක ඇත. එහෙත් ඔවුන්ටම අනුව මේ වෙළඳ ආකර්ෂණය මඟ හැර යා නොහැක. මෙය සමාජ විලාසිතාවක් හෙයින් නොකියවන්නෙකු වුව ද එහි ගොඩ වැදිය යුතුම ය.

“ඉස්සර නම් මං හරියට කියෙව්වා. ඒත් දැන් තමයි වෙලාව නැත්තෙ.“ යනු කියවීම මඟහැරීම පිළිබඳ තවත් ප්‍රකට පළා යෑමේ ප්‍රකාශයකි. අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය සඳහා වෙහෙසුණු ශිෂ්‍ය අවදියේ තමන් පොතපත සේවනය කළ බවත්, රාජකාරි හා පවුල් බර මෙන්ම සමාජ ක්‍රියාකාරකම් යනාදිය තමන් පොතපතින් ඈත් කර ඇති බවත් දක්වමින් වරද ‘සමාජ ක්‍රමයේ‘ බව හඟවන මේ ‘පළා යන්නෝ‘ සමාජය වඩා යහපත් තැනක්ව තිබුණි නම් තමන් විශිෂ්ට ලෙස පොතපත සේවනය කරන්නෙකු වීමට ඉඩ තිබුණු බව අප වෙත හඟවති.
කියවීම ගැන යථාව කුමක් ද? අප සමාජයක් ලෙස කියවීම යන්න වටහාගෙන ඇත්තේ කෙලෙසකින් ද? “අපි ජාතියට කියවීම හුරු කළෙමු“යි ප්‍රකට ප්‍රකාශන සමාගමක් සිය උදාන වැකියේ සටහන් කර තිබුණ ද, අප ජාතියක් ලෙස කියවන්නෝ වෙමු ද?

කියවීම අපට එතරම් හුරු හෝ ධනාත්මක අදහසක් ඇති කරන වදනක් නොවේ. කුඩා අවදියේ පටන් අප කරන්නේ පොත් ‘පාඩම් කිරීමයි‘. එනයින්, ගුරුවරයා අප වෙත ගෙන ආ කුමන හෝ දෙයක් ‘වනපොත් කිරීමයි‘. කියවීම යන්නට සාමාන්‍ය සමාජය තුළ ඇත්තේ සෘණාත්මක හැඟවුමකි. “නිකං බොරුවට කියවන්න එපා මෙතන“ යනාදී යෙදුම්වලදී හමුවන එය ‘කියවීම‘ යන අකුරු හතර වෙත වන සමාජ කියැවීම කුමන ස්වරූපයක වේදැයි අප වෙත කියා දෙයි. පාසැල හෙවත් වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ මූලික මධ්‍යස්ථානය කිසිවකුට කියවීම ‘උමතුවක් ලෙස‘ බෝ කරන්නේ නැත.

දියුණු සමාජවල කියවීම දියුණු සමාජ ක්‍රියාවකි. ස්මාර්ට් ෆෝන් හෝ ටැබ් නැතිනම් ලැප්ටොප් අතින් දරා හෝ උකුල මත තබාගෙන ඒ හා අන්තර්ක්‍රියා කරන මගීන් දියුණු රටවල මගී ප්‍රවාහන සේවාවන්හි ගමන් කරන්නෙකුට දක්නට ලැබෙන සුලභ දසුනක් වුව, ඒ නොඉක්මවූව ද සිය ගමන් මල්ලෙන් පිටත ගත් පොතක් කියවමින් යන මගීන් ඇස ගැටීම ද දුලභ දසුනක් නම් නොවේ.

අනෙත් අතට කියවීමේ ‘උමතුව‘ වැළඳුණු තැනැත්තා නිරතුරුව කියවයි. සිය සාක්කුවේ රුවාගත් නැමූ ඉංග්‍රීසි පත්තර පිටු බස් රථවල පාපුවරුවේ එල්ලී යන මොහොතවල පවා, නිදහස් අතින් ගෙන කියවූ මිතුරකු මගේ මිතුරු සමාජයේ වෙයි. පොතක කොටසක් හෝ කියවා කෙළවර නොකොට නින්දට නොයන්නන්, කන්තෝරු වේලාවේ ඉඩක් ලද විගස තමන් වෙත වන පොතෙහි පිටුවක් හෝ දෙකක් කියවා කෙළවර කිරීමේ පිපාසාවෙන් පෙළෙන්නන් ඉතා අඩු අංකවලින් වුව මගේ මිතුරන් අතර වෙයි. එහෙත් බහුතරය ඒ නොවේ.

වැඩි පිරිසකට යට කී ලෙස දැන් කියවන්නට වෙලාවක් නැත. තවත් පිරිසකට දැන් කියවන්නට සුදුසු පොතපත පළ වන්නේ ද නැත! මේ සියල්ලම ඉක්මවමින් කියවීම පිළිබඳ පොදු අදහස තුළ ඇත්තේ කියවිය යුත්තේ ඒ තමන්ට ‘අදාල නම්‘ පමණක් ය යන්නයි. ඒ අදහස දරන්නන් සාහිත්‍ය පොත කියවන පරිගණක ඉංජිනේරුවෙක් දෙසත්, ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන විමසන සමාජ විද්‍යා ශිෂ්‍යයෙකු දෙසත් බලන්නේ ‘මේ මොන විකාර වැඩක්‘දැයි යන අදහසිනි. විශ්වවිද්‍යාලවල වුව, නූතන සාහිත්‍යය දැඩිව සේවනය නොකරන භාෂාව පිළිබඳ ආචාර්යවරයකු හමුවීම වුව විය නොහැක්කක් නොවන්නේ, “මගෙ අංශය ඉතින් පැරණි සාහිත්‍යයනෙ...“ නැතිනම් “මං ඉතින් ව්‍යාකරණකාරයනෙ..“ වැනි තර්ක සමග වන ‘භාෂා ප්‍රවීණයන්‘ විශ්වවිද්‍යාලවල ද වන බැවිණි.

පොතක් අතට ගැනීම ක්‍රියාකාරීව සිදු කළ යුතුම නොවෙතත්, පරිගණක තිර, ඊ කියැවීම් තිර යනාදී කුමන හෝ මාධ්‍යයක් හරා එළැඹීම කළ හැකි වෙතත්, කියවීම මිය නොයනු ඇති, සදාකාලික තාරුණ්‍යයක් සහිතව එන කටයුත්තක් බව වටහාගත මනා ය. නිර්මාණශීලී රචනයක, එනම් කවියක, කෙටි කතාවක හෝ නව කථාවක මෙන්ම ශාස්ත්‍රීය ලියැවිල්ලක වන අදාල කෘතියට ආවේණික නැවුම් බව වෙනත් කිසිදු ස්වරූපයකින් එපරිද්දෙන්ම හමුවෙන්නක් නොවේ. කවිය, කෙටි කතාව හා නව කතාව ඇතුළු නෙක සාහිත්‍යාංග යළි යළිත් නැගී අප වෙත තබන, කතුවරයාගේ නිර්මාණශීලීත්වය, ප්‍රතිභාව හා පරිකල්පනය තුරුළේ නැගුණු නව අදහසක් හෝ කතා පුවතක් අප වෙත මවන අපූර්වත්වය සම නොකල හැක්කකි. පැවති දැනුම හා වැඩි කලක් ගැටී නැගෙමින්, සිය මනස තුළ පැන නැගුණු නන්විධ ශාස්ත්‍රීය ගැටළු හා තර්ක සමග ගණුදෙනු කරමින්, දීර්ඝකාලීන වෙහෙසකින් අප වෙත තබන ශාස්ත්‍රීය කෘතියක ඇති දැනුමෙහි නැවුම් බව ද එම ලෝකය විමසන්නෙකුට සුවිශේෂ ය.

නිර්මාණශීලී කවි, කෙටි කතා හා නව කතා ඇතුළු සාහිත්‍යමය කෘති සේවනයත්, ඒ හා සමාන්තර ධාරාව වන පැවති න්‍යායික කලාප අභියෝග කෙරෙමින් නව දැනුම හා සංකල්ප ගොඩ නැංවෙන ශාස්ත්‍රීය කෘති සේවනයත් “අපේ වැඩ නොවන“ කලාපවල, බහුතර විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයාගේ සිට පාසැල් ගුරුවරයා, රාජ්‍ය හා පෞද්ගලික අංශවල නිලධාරියා සිට විශ්වවිද්‍යාල හා පාසැල් ශිෂ්‍යයා දක්වා සමස්ථ පුරවැසි ප්‍රජාවම ජීවත් වීම සංස්කෘතික මිනිසකු බිහි කිරීම පිළිබඳ වන බරපතලම අභියෝගයකි. රට විනාශ වෙමින් පවතින්නේ ය යන අ‍පේ පොදු දොස් පැවරීම අප වෙතම ද ඇඟිල්ල දිගුවන කලාපයක් වන බව වටහා ගනිමින් අප ‘කියවන උමතුවක්‘ ඇති සමාජයක් තනාගත යුතු ය. එය අමරකීර්ති හෝ උයන්ගොඩ දෙපළට තනිව විඳින්නට ඉඩ දී හිත හදාගත යුතු යමක් නොවේ. සමාජ උමතුවකින් කෙළවර විය යුත්තකි.


-ප්‍රියන්ත ෆොන්සේකා - 



Tuesday, August 6, 2019

රොඳ බැඳ නැරඹිය යුතු කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල

(2019 අගෝස්තු 04ඉඉ වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


දශකයකට නැතිනම් දෙකකට පමණ පෙර මරදාන හන්දියෙන් බසයකින් බසින නාට්‍ය ලෝලියෙකුට, ඒ ඔහු හෝ ඇය ගෙවමින් සිටින්නේ සති අන්තයක් ද නම්, සිය නාට්‍ය පිපාසාවට කුමන හෝ පිළිතුරක් සොයා ගැනීමට වැඩි ඉඩක් තිබිණ. හන්දියේ එක් පසෙකින් වන ශ්වේත වර්ණැති සුන්දර ගොඩනැගිල්ල අභියස, එල්ෆින්ස්ටන් රඟහල අභියස, ඒ සමයේ වේදිකාගත වෙමින් පැවතුණු කුමන හෝ නාට්‍යයක දර්ශනයක් ඒ සති අන්තයේත් එහි වේදිකාගත වන බවට වන පුවරුවක් හමුවීමට ඇති සම්භාවිතාව ඉහළ අගයක විය. එතැනින් පහළට මීටර කිහිපයක් ඇවිද ගිය විගස මුණගැසුණු ටවර් රඟහල පසුකාලීනව අලුත්වැඩියාව සඳහා වසා දැමුණු පසු එල්ෆින්ස්ටන් රඟහල මරදානේ එකම ප්‍රේක්ෂක ආකර්ෂණය බවට පත් ව තිබුණු අතර ‘නාට්‍ය පිස්සෙකු‘ මරදාන හන්දිය ආසන්නයක කුමන අයුරකින් හෝ මුණ නොගැසුණේ ‘නවීකරණය සඳහා වසා ඇතැයි‘ යන පුවරුව එහි දොරකඩ ද සවි කළ පසු ය. සමකාලීනව ජෝන් ද සිල්වා රඟහල ද ‘පොළවට සමතලා කළ පසු‘ කොළඹ නාට්‍ය ලෝකයට මුහුණ දෙන්නට සිදු වූයේ තරමක අභාග්‍ය අවදියකට ය.

නාට්‍ය නිෂ්පාදනය වීමේ ප්‍රමාණය, නිපදවෙන නාට්‍යවල ගුණාත්මක තත්වය, යම් ඇගයීමක් ලද නාට්‍යයක් ප්‍රේක්ෂාගාර අභියසට යළි පැමිණීමට ඇති පහළ සම්භාවිතාව ආදී ගැටළු පැවතිය ද ඒ සියලු අර්බුද හමුවේ වුව ‘සති අන්තයක නාට්‍යයක් බලන්නට‘ ඇති හැකියාව බොහෝ දුරට ඉතිරිව තිබුණේ අගනුවර පමණි. සමාන සමයන්හි රඟහලවල් කිහිපයක්ම නවීකරණයට වසා දැමීම හෝ ‘අලුත් එකක් දෙන්නම්‘ කියා කඩා දැමීම මෙම නාට්‍යමය සතිඅන්ත දුර්වල කළේ ය. එහෙත් දැන්, වසර ගණනාවකට පසු, එලිෆින්ස්ටන් රඟහලේ ස්ථිර හැඩතලය යැයි රැවටෙන තරමට එහි බාහිරයෙන් ඉදි කර තිබුණු පලංචි හා වැටවල් ඉවත් වී ගොස්, එය යළි විවෘත ව තිබේ! දැන් මරදාන හන්දිය, කලකට පෙර යළි විවෘත කෙරුණු ටවර් රඟහල ද සමගින් (එහි වේදිකාවේ සිවිලිම බිමට කඩා වැටීම ටිකකට ඔහොමම තිබුණාවේ!) ‘නාට්‍ය පිස්සන්ට‘ යළි ආරාධනා කරමින් සිටියි.

එල්ෆින්ස්ටන්හි යළි විවෘත වීම පිළිබඳ මෙම දීර්ඝ සමාරම්භක සටහන, අවැසි නම් යමෙකුට නොතකාම හැරිය හැකි වුවත්, ඒ විවෘතව ඇති රඟහල පරිශ්‍රය මූලික කර ගනිමින් මේ ගෙවෙන සති අන්තයෙන් ඇරඹෙන නාට්‍ය උළෙල කිසිදු අයුරකින් නොතකා හැරිය නොහැක්කක් බැව් අප පිළිගත යුතු ය. ඒ, නන්විධ අර්බුද නාට්‍ය වේදිකාව අභියස ඇති රටක, සාපේක්ෂ වශයෙන් නාට්‍ය හා රංග කලාව සෙසු කලාපීය රටවලට වඩා පහළ ස්ථරයක ඇති රටක, පාසැල් අධ්‍යාපන පද්ධතිය ද මේ තවත් තරග සංවිධානය කොට, ‘ළමුන් දැක්කිය යුතු කලාපයක්‘ ලෙස හඳුනාගන්නා රටක, වසර අටක් තිස්සේ නොනැවතී ගලා එන ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් අප අභියස මෙවර දිගහැරෙන්නේ එහි සිට බැවිණි; ඒ දිනවල බැවිණි.

අගෝස්තු මස 04 වැනිදායින් ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල 09 වැනිදා දක්වා ජර්මනිය, ඔස්ට්‍රියාව සහ රුමේනියාව යන යුරෝපීය කලාපයේ රටවලින් ද, ඇමරිකා එක්සත් ජනපදයෙන් ද, ඉරානය, ඉන්දියාව සහ පකිස්ථානය යන ආසියානු හා දකුණු ආසියානු කලාපයේ රටවලින් ද නාට්‍ය ගෙනැවිත්, අප රටේ පසුගිය වසරේ දී සම්මාන දිනූ නාට්‍ය හා එක්ව තබා ඉදිරිපත් කරයි. දිගු, කෙටි, ළමා යනාදී ප්‍රවර්ගවලින් මෙහිදී අප වෙත එන නාට්‍ය ගණන 13කි. එසේම එය නාට්‍ය ‘උළෙලක්‘ වන්නේ, වචනාර්ථයෙන්ම ‘ජාත්‍යන්තර ද‘ වන්නේ, නාට්‍ය දර්ශනවලින් නොනැවතී, නාට්‍ය වැඩමුළු, සමුළු ඈ උළෙලක අතාවශ්‍ය තවත් බොහෝ අංග ද නාට්‍යලෝලීන් අභියස තබා ඇති බැවිණි.

වේදිකා නාට්‍යයක ආකෘතිය පිළිබඳ අප සමාජය තුළ ඇත්තේ ඉතා පටු අදහසක් එකතුවකි. නාට්‍ය හා රංග කලා විෂයය හදාරන්නෙකු තුළ වුව නාට්‍යයක් යනු කවරක්දැයි දෙන්නට ඇති නිර්වචනය එතරම් පුළුල් වූවක් නොවේ. දෙබස් විරහිත නාට්‍ය අපට දුරස්ථ ය. නර්තනය, සංගීතය, දෘශ්‍ය කලා ප්‍රයෝග, රූකඩ ආදී වෙනත් රංග කලා ප්‍රවර්ග සමග සම්මිශ්‍රිතව ඉදිරිපත් කරන නාට්‍ය අපට දුරවබෝධ ය. අප නාට්‍ය වටහා ගන්නේ ම දෙබස් හරහා ‘වැඩිපුර‘ සම්ප්‍රේෂණය යුත්තක් ලෙසිනි. හොඳ ‘හඬක් ඇති‘ නළු, නිළියන්ට වැඩි ඉඩක් ඇති කලාපයක් ලෙසිනි. එහෙත් එය ඒ සීමාකාරීත්වය ඉක්මවූ පුළුල් වපසරියක විහිද යන්නක් බව වටහා ගැනීමට නම් අප විශ්ව රංග කලා වේදිකා විමසිය යුතු ය. මෙරට සිට ඒ දෙස බලන්නට ලැබෙන කවුළුව කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලයි.

එක් අතෙකින්, මෙම දුරවබෝධයන් හා අනවබෝධයන්ට මූලික හේතුව රංග කලාවන් පුළුල්ව නොගෙන නාට්‍ය යන්න ඒකල අරුතකින් පමණක් වටහා ගැනීම ද විය හැක. මෙම උළෙලේ දී වුව Colombo International Theatre Festival යන්න සිංහලයට නැගී ඇත්තේකොළඹ ජාත්යන්තර නාට්ය උළෙල‘ යනුවෙන් මිස ‘රංග කලා උළෙල‘ යනුවෙන් නොවේ. කෙසේ වුවත්, මෙය රංග වේදිකාව මත නන්විධ ස්වරූපයේ නාට්‍යමය ඉදිරිපත් කිරීම් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එයි. එය බොහෝ දුරට ඒකමානීය කලාපවල සිට නාට්‍ය හා රංග කලාව හඳුනාගෙන සිටින මෙරට ප්‍රේක්ෂාගාරයට නවමු කලාප දැක්වීමකි.
දෙවරක් පැවැත්වූ ‘කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල‘ එහි තිබූ ඇදහිය නොහැකි විචිත්‍රත්වය හා ජනාකර්ෂණය පරදවමින් දෙවරක් ප්‍රේක්ෂාගාර සාදා මැකී ගියේ ය. එම්. සෆීර් ප්‍රමුඛ ‘ඉන්ටර් ඇක්ට් ආර්ට්‘ සංවිධානය ගෙන එන මෙම ජාත්‍යන්තර නාට්‍ය උළෙල වසර 8ක් මුළුල්ලේ සෙමින් නමුත් නොකඩවා වැඩී වර්ධනය වෙමින් පෙරට ඒම ඇගයුම් කටයුතු කරුණකි. එම කණ්ඩායම කුඩා නමුත් ශක්තිමත් බවත්, සිය ඉලක්ක සපුරා ගැනීම පිණිස නිරන්තරව කටයුතු කරමින් සිටින බවත් වාර්ෂිකව අපට හමුවන මෙම උළෙල සාක්ෂියකි.

අගෝස්තු 04 වැනිදා සිට 09 වැනිදා තෙක් එල්ෆින්ස්ටන් රඟහල පරිශ්‍රය ප්‍රමුඛ කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල කලාපවල සැරිසරමින් නාට්‍ය සේවනය කිරීමට හේතුවිය යුත්තේ යට කී කරුණු පමණක් නොවේ. සංස්කෘතික වශයෙන් දියුණු සමාජයක් තනා ගැනීමට යත්න දරමින්, වඩා පෝෂිත නාට්‍ය කලාවක අනාගතයක් පිළිබඳ සිහින දකින සියල්ලෝම මේ දිනවල උළෙල රොඳ බැඳ ගොස් නැරඹිය යුතු ය. අපට හමුවන නාට්‍ය විචාල යුතු ය. ඒ නිර්මාණකරුවන් අගයමින් ඔවුන් හා කතාබහ කළ යුතු ය. දුරු කතර ගෙවමින් මෙහි පැමිණීම පිළිබඳ ඔවුන්ට තුති පුද කළ යුතු ය. ඒ සියල්ලෙන් ලැබෙන ආලෝක ධාරා ඔස්සේ අපගේ නාට්‍ය වේදිකාව ඔසවා තැබිය හැකි මානයන් පිළිබඳ විමසිය යුතු ය. ඒ පිළිබඳව අනවරත සාකච්ඡා වෙත යොමු විය යුතු ය.

මරදාන හන්දියෙන් ඔබත් බැස එන්න! අපි නාට්‍ය ශාලාවක අසුන්ගෙන විශ්ව නාට්‍ය ලෝකය වෙත නෙත් විවර කරමු!


-ප්‍රියන්ත ෆොන්සේකා - 

Saturday, August 3, 2019

අයියර් යුවළ නැවත හමුවීම

(2019 ජූලි 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

‘Mr. and Mrs. Iyer’ (2002)
“මචං උඹ Mr. and Mrs. Iyer’ බලල ඇති නේද? මට චිත්‍රපටියෙ වටපිටාවයි අපර්ණා සෙන් ගැනයි උඹ දන්න තොරතුරු ටිකක් කියනව ද...? අපි ළඟදි ඒක බලල පොඩි සංවාදයක් කරන වැඩක් ලෑස්ති කරගෙන යනව...“

මේ නුදුරු දිනයක මගේ දුරකථනයට ආ ඇමතුමකි. සැබවින්ම මිතුරාගේ පිළිතුරට එක ක්ෂණයකින් දීර්ඝ විස්තරාත්මක පිළිතුරක් දෙන්නට තරම් චිත්‍රපටය පිළිබඳ පැහැදිලි මතකයක් මසිත ඇඳී තිබුණේ නැත. මහනුවර සත්‍යෝදයේ දී Mr. and Mrs. Iyer’ චිත්‍රපටය නරඹා ඒ පිළිබඳ සංවාදයක නියැලෙන්නට මාහට ආරාධනා ලැබුණේ මින් වසර 13කට හෝ 14කට පමණ පෙර විය යුතු ය. එසමයේ දී ගැඹුරින් මසිත කම්පනය කළ චිත්‍රපටය පිළිබඳ මතකයන් අපර්ණා සෙන්ගේම The Japanese Wife (2010) ඇතුළු පසුකාලීනව නැරඹූ විශිෂ්ට චිත්‍රපට විසින් කෙමෙන් මකා දමා ඇති බව මට පැහැදිලි වූයේ ‘අයියර් යුවළ‘ මගේ මතක ලෝකය වෙත යළි කැඳවීමට උත්සාහ කරද්දී ය.

කෙසේ වෙතත්, 2002 දී නිර්මාණය වුණු ඉන්දීය, (බෙංගාලි සිනමාවට අයත් සිනමාකාරිණියක වෙතින් නිර්මාණය කෙරුණු) චිත්‍රපටයක් 2019 දී ද යළි නරඹමින් ඒ පිළිබඳ සංවාද නිර්මාණය වීම අප වටහාගත යුත්තේ කුමන ආස්ථානයක සිට ද? චිත්‍රපට පිළිබඳ සංවාද සංවිධානය කරන විවිධ සංගම් සහ සංවාද මණ්ඩප කැඳවන්නන් Mr. and Mrs. Iyer’ යළි යළිත් නැරඹීමට හේතුපාදක වන කරුණු මොනවා ද? චිත්‍රපටය විමසීම හා සමානවම වසර 17ක් පුරා කලාත්මක චිත්‍රපට විමසන්නන්ගේ අවධානය මෙම චිත්‍රපටය වෙත නොනැසී පැවතීම ද විමසා බැලිය යුත්තක් බවට මම යෝජනා කරමි.

Mr. and Mrs. Iyer’ යනු පෙර සඳහන් කළ පරිදි 2002 දී නිර්මාණය වන ඉන්දීය චිත්‍රපටයකි. එය ඉංග්‍රීසි භාෂිත ය. චිත්‍රපටය නිර්මාණය කරන්නේ  36 Chowringhee Lane (1981) සිනමා කෘතිය තනමින් බෙංගාල සිනමාව හරහා ඉන්දීය ජාතික සිනමා කලාපයට පා තැබූ අපර්ණා සෙන් ය. අපර්ණාගේ හයවැනි චිත්‍රපටය වන Mr. and Mrs. Iyer’, දමිළ අයියර් බ්‍රාහ්මණ, හින්දු ආගමික තරුණියක වන, තම අතදරුවා ද සමග ගමනාන්තය කරා යාමට පැමිණෙන, මීනක්ෂි අයියර් සහ බෙංගාලි-මුස්ලිම් ජාතික වන ජීවී ඡායාරූප ශිල්පී තරුණයකු වන රාජා චෞද්රි, (හා සමග තවත් මගීන් පිරිසක්) බස් රථයක ගමන් කරනා අතරතුර මුහුණු දෙන ජාතිවාදී කෝලහාලයක් පසුබිම්ව දිවෙන කතා පුවතකින් සමන්විත ය. මීනක්ෂිගේ මිතුරකු හරහා, කලින් නොහඳුනන මීනක්ෂී සහ රාජා එකිනෙකා හඳුනාගන්නේ, බසයට ගොඩ වදින මොහොතේ දී ය. රාජාගේ ආගමික අනන්‍යතාව නොදැන ඔහු හා හිතවත් වන මීනක්ෂි වරෙක ඔහු වෙතින් ජලය ඉල්ලාගෙන පානය කළ ද පසුව ඔහු ඉස්ලාම් භක්තිකයෙකු බව දැනගෙන කම්පනයට පත් වෙයි. තමන්ගෙන් දුරස්ව සිටින ලෙස ද ඉල්ලයි. හින්දු හා ඉස්ලාම් භක්තික දෙපිරිසක් අතර ගැටුමක් හේතුවෙන් මාර්ග වසා දමා ඇති බවත්, ඇඳිරි නීතිය පනවා පොලීසිය ක්‍රියාත්මකව ඇති බවත් බසයේ මගීන් දැනගන්නේ මේ අතරතුර ය.

පොලිස් සෝදිසි කිරීම් හා සමග, ඒ ද ඉක්මවමින්, පොලිසිය හැරී ගිය පසු බස් රථය වෙත පැමිණෙන හින්දු අන්තවාදීන්ගේ සෝදිසි කිරීම් ද අවිහිංසක බස් මගීන් වෙත ගෙන එන්නේ භීෂණයයි. බස් රථයේ සිටින ඉස්ලාම් භක්තිකයින් හඳුනාගනු පිණිස, පුරුෂයින් සුන්නත් කර ඇද්දැයි පරීක්ෂා කිරීමට අන්තවාදීන් තීරණය කරත්ම මීනක්ෂී රාජා යනු තමන් අත රැඳි අතදරුවාගේ පියා හෙවත් තම ස්වාමි පුරුෂයා ලෙස භීෂකයින්ට හඳුන්වා දෙයි. ඒ අනුව ඔහු එතැන් පටන් ‘Mr. Iyer’ හෙවත් අයියර් මහතා බවට පත් වෙයි. 

චිත්‍රපටයේ කතා පුවත, උක්ත සිදුවීම හරහා පැන නගින පසු-සිදුවීම් මාලාවක් හරහා දිවෙමින් ඉන්දියාව අභියස, එරට නිදහස දිනූ මොහොතේ පටන් කෙළවර වී නොමැති ආගමික හා වාර්ගික අරගල පසුබිම්ව තබමින් පෙරට ඇදෙයි. චිත්‍රපටයේ අපට මුණගැසෙන ‘ව්‍යාජ‘ අයියර් යුවළ ස්වකීය ‘ව්‍යාජ අනන්‍යතාව‘ ඔස්සේ පිටු දකින්නට යත්න දරන්නේ දශක ගණනාවක් ඔස්සේ නන්විධ රුධිර ගංගා ඔස්සේ දියව ගිය අමානුෂික අරගලකාරී ප්‍රචණ්ඩත්වයයි; දිනාගන්නට යත්න දරන්නේ මනුෂ්‍යත්වය හා ආදරයයි.

2002 දී අපර්ණා සෙන් මෙය නිර්මාණය කිරීමෙන් අනතුරුව අපට මුල්වරට මුණගැසුණු මොහොතේ පටන් අපි වසර 17ක් පුරා යළි යළිත් සිනමාලෝලීන්ගේ අවකාශ අභිසයට Mr. and Mrs. Iyer’ කැඳවා නරඹමින් අපගේ අසල්වැසි රාජ්‍යයෙන් අප දායාද කොටගෙන ඇත්තේ සංස්කෘතික අනගිතා පමණක් නොවන බවට සංඥා දල්වමින් සිටිමු. එරට ‘ව්‍යාජ අයියර් යුවළ‘ මෙරටට ද එපරිද්දෙන්ම වලංගු ය. සිනමා කෘතිය නිර්මාණය වූ 2002 සිට ගෙවුණු මුල් දශකය තුළ වූ කලාපයෙන් එය වෙනත් කලාපයකට පොළා පැනීම පමණි, මෙරට දී සිදුව ඇති වෙනස වන්නේ.

භික්ෂූන් ලෙස වෙස්වළාගෙන ගිය මුස්ලිම් ජාතිකයින් කෝලහාලකරුවන්ට හසුවූ ආකාරය, ‘බාල්දිය‘ යන්න වහරන්නට නොහැකිව ‘සිංහලයින්‘ ලෙස පෙනී සිටි දමිළයින් ජාතිවාදී ම්ලේච්ඡයින්ට හසුවූ ආකාරය යනාදිය ගැන මෑත ජනශ්‍රැතිය තුළ වන කතා අසමින්, ‘ව්‍යාජ අනන්‍යතා‘ දක්වමින් හෝ සිය දිවි ගලවාගන්නට යත්න දැරූ අවිහිංසක මිනිසුන්ගේ ජීවන වෘත්තීන්  අසන (හා සිනාසෙන) අපට තවත් බොහෝ ‘අයියර්වරු‘ මෙරට මෑත අතීතය සළකුණක් හෝ ඉතිරි නොකොට මැකී ගොස් ඇති බව වටහා ගැනීමට අසීරු නැත. Mr. and Mrs. Iyer’ යළි කැඳවමින් සාකච්ඡා කිරීම එක්තරා අයුරකින් එවැනි අතීත අප වෙත ද පැවති බව වටහා ගැනීමට දොරගුළු විවර කරගැනීමකි.

කෙසේ වෙතත්, අප ඒ ඉමෙහි නොනැවතී තව දුරටත් විමසිය යුතු ඉම් පෙදෙස් ඇත. සාකච්ඡාවට කැඳවිය යුතු මාතෘකා ද ඇත. ‘අයියර් යුවළ‘ සිය සංවේදී පුවත අපට කියන තිරය මත ප්‍රති නිර්මාණය කළ යුතු බොහෝ පුවත් ද ඇත.

ඉන්දීය මෙන්ම දේශීය මෑත ඉතිහාසය තුළ පැන නැගී ඇති මෙම වාර්ගික හා ආගමික ජන කණ්ඩායම් අතර වන අරගල අප භූ කලාපයක් ලෙස කෙතරම් ලෝක දේශපාලනය තුළ පසුපසට තල්ලු කොට ඇද්දැයි විමසීම එහිලා විමසිය හැකි එක් ඉමකි. අසීමාන්තික ලෙස ආගමික හෝ වාර්ගික කලාප වෙත දක්වන ආසක්ත බව මුල් ආගමික ඉගැන්වීම්වල වන අවිහිංසාවාදී දෘශ්ටීන්ගෙන් අප කොතරම් දුරට විතැන් කොට ඇත්දැයි  වටහා ගැනීම එහි තවත් ඉමකි. සමාන්තර ලෙස, මනුෂ්‍යත්වය, මානව දයාව, පුද්ගල අනන්‍යතාවල ඇති ව්‍යාජය ඇතුළු බොහෝ කලාප මෙහිලා අපට විමසා බැලිය හැකි බව ඔබට වැටහී යනු ඇත. සාකච්ඡාවට කැඳවිය හැකි බව ද පැහැදිලි වනු ඇත.

එසේම, ‘අයියර් යුවල‘ වැනි, තම ජීවිතය දෙවැනි කොට තවකකුගේ බේරා ගනු පිණිස ස්වකීය ‘අනන්‍යතා‘ හා සංස්කෘතික බැඳියාවන් පසුපසින් තබා මනුෂ්‍යත්වය පෙරමුණට කැඳවූ නන්විධ චරිත මෙරට මෑත ඉතිහාසයෙන් ද හමුවනු ඇති බවට ද, ඒ විශිෂ්ටයින්ට ‘අයියර් යුවල‘ ජීවමාන වන සිනමා තිරය තුළ අවකාශ හිමිවිය යුතු බවට නිර්මාණකරුවන්ට යෝජනා කළ යුතු බවට ද අපට හැඟී යනු ඇත.

‘සාධු ජන රාව‘ සංගීත ප්‍රසංගය රට වටා ගෙන යමින් උන් සමයේ එහි නිර්මාපක ජයතිලක බණ්ඩාරයන් මෙසේ කියනු මගේ කණ වැකී ඇත.

“මම සතුටු වෙන්නෙ කවද හරි, මේ ප්‍රසංගය නවත්තපු දවසට... ඒක නවතින්නෙ යුද්ධෙ නැවතුනාම නිසා!“
බණ්ඩාරයන් බලාපොරොත්තු වූ පරිදි යුද්ධය නැවතී සාමය උදා නොවුණ ද, යුද්ධය කෙළවර දුටුවේ වෙනත් ආකාරයකින් වුව ද, දැන් සමාන අවශ්‍යතාවකින් ‘සාධු ජන රාව‘ නැගීමෙහි උවමනාව ද නැත. Mr. and Mrs. Iyer’ යළි නැරඹීම කෙළවර විය යුත්තේ ද එහි වන මූලික ඉඟි සමාජගත වීමේ දිගුකාලීන අවශ්‍යතා නැසී ගිය සමාජයක් නිර්මාණය කර ගැනීම තුළ ය.

එය අසීරු ඉලක්කයක් වුව, අප ගමන් කළ යුතුම ය!


-ප්‍රියන්ත ෆොන්සේකා -