Tuesday, July 16, 2019

බස් රථයකදී මුණ ගැසුණු ‘සියඹලා හොරා’

(2019 ජූලි 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)



ආදරණීය අම්මේ... තාත්තේ... අයියේ... අක්කේ...

බස් රථවල හා දුම්රියවල ගමන් ගන්නා මගීන්ට ඉහත ආමන්ත්‍රණය හුරුපුරුදු ය. උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් විවිධ අරගල, අර්බුද හා ක්‍රියාකාරකම් වෙනුවෙන්කැට හොල්ලමින්සම්මාදමේ යමින් හෝජනතාව දැනුවත් කිරීමසඳහා අත් පත්‍රිකා බෙදමින්, පොදුජනයා අමතමින් හෝ පොදු ප්‍රවාහන සේවාවලට ගොඩවැදී මගීන් ඇමතීම ආරම්භ කරන්නේ ඉහත පද පෙළ පෙරමුණෙහි තබමිනි. විටෙක පොදු මගී ප්‍රවාහන සේවාවල ගමන් ගන්නන්ගේ කරුණාවට ලක්ව ඔවුන් අතැති සොච්චම් මුදලකින් අනුග්‍රහය ලබමින් ද, තවත් විටෙක ඔවුන්ගේ උදහසට පාත්‍ර වෙමින්, ‘ඇනුම් බැණුම්වලින්ප්‍රතිචාර ලබමින් ද ඔවුන්ගේමහජන මුණගැසීම්කෙළවර වනු බොහෝ දෙනෙකු දැක ඇතුවාට සැක නැත.

මට ඉහත යෙදුමට සමාන වදන් පෙළකින් මා ගමන් කළ බස් රථයේ මගීන් අමතන තරුණයකුගේ හඬ කණ වැකුණේ දැනට සතියකට දෙකකට පෙර මහනුවර නගරයේදී ය. මා ගොඩ වැදී සිටි බස් රථය ඒ වන විටත් මහනුවර සිට පේරාදෙණිය දෙසට ධාවනය වීමට සූදානම්ව තිබිණ. තරුණයාගේ මුල් වදන් කිහිපය, බස් රථයේ මධ්‍යයට වන්නට ආසනයකට බරව උන් මගේ අවධානය දිනා නොගත්ත ද ඔහු ඉන්පසුව කී වදන් හේතුවෙන් හිස ඔසවා ඔහු දෙස බැලීමට මා තුළ පෙළඹීමක් ඇති විය.

මගේ අතේ තියෙනව පොතක්. මේක ළමා කතන්දර පොතක්. 2016 කෑගල්ල ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවේදි හොඳම ළමා කතන්දර පොත හැටියට සම්මානය දිනුවෙ මේ පොත. පොතේ නමසියඹලා හොරා’. රුපියල් සීයයි වෙන්නෙ. අරගෙන උදව්වක් කරන්න අම්මේ... තාත්තේ... මේ පොත ලිව්වෙ මම!

තළෙළු පැහැ, කෙසඟ තරුණයකු, වෙහෙසකර මුහුණකින් යුක්තව, පොත් මිටියක් අතැතිව, බලාපොරොත්තු සහගත මුහුණින් බස් රථයේ මගීන් දෙස බලමින් කතා කරනු හිස ඔසවා බැලූ මගේ නෙත ගැටිණ. කිසිදු මගියෙකුගේ විශේෂ අවධානයකට ලක් නොවුණු මේසම්මානලාභී ලේඛකයාබස් රථයේ පසුපසට ඇවිද එත්ම, මවෙතින් රුපියල් සියයේ නෝට්ටුවක් ඔහු වෙත දිගු කෙරිණ. පොතක් මා අත තැබූ ඔහු පසුපසට ඉක්මණින් ඇවිද ගියේ ඒ වන විටත් සෙමින් පිටත් වීම අරඹා තිබුණු බස් රථයෙන් බැස ගැනීමේ උනන්දුවෙනි.

බැස ගිය ඔහු නමින් දනිජු ගුණතිලක බව කෘතියේ කවරය මට කියා සිටියේ ය. පිටු 20ක කුඩා ගත, ඉතා සතුටින්, සිය පියා වන, පොල් කඩා ජීවිතය ගැට ගසාගන්නා සයිමන් සහ මව වන ගුණවතී සමග, ජීවිතය ගෙවන ටිකිරි නමැති කුඩා දරුවකුගේ කතා පුවතක් අප වෙත රැගෙන එයි. සයිමන්ගේ හදිසි වියෝව සහ අනතුරුව අසරණ වන ගුණවතී දැඩි ලෙස ඔත්පල වීම හමුවේ දක්ෂ, කාගේත් හිත් දිනූ දරුවකු වන ටිකිරි (මිතුරන්ගේ ආදරයට මිතූ යන ඇමතුම ද ලද)සියඹලාහොරෙන් අහුලා විකුණන්නට තීරණය කිරීම කතාවේ කූට ප්‍රාප්තිය වෙත අප කැඳවා යයි.

දනිජුගේසියඹලා හොරාසම්මාන දිනූ කෘතියක් වුව, නිරතුරුව හමුවන සුලභ ළමා කතා ආකෘතියෙන් වෙනස් වූවක් නොවේ. එහි සරල භාෂා හා ව්‍යාකරණ දෝෂයන් ගණනාවක්ද හඳුනාගත හැකි ය. ඒ එසේ වුව, ලිවීම සඳහා වන උද්යෝගයත්, එය පාඨකයා වෙත ගෙන යාම සඳහා වන කැමැත්තත් දනිජු තුළ ඇත. කෘතියේ වූ අංකයට ඇමතීමෙන්, පසුව ඔහුගෙන් දැනගත් තොරතුරු අනුව, ඔහු මින් පෙර තවත් ළමා කතාවක් ලියා ඇති බවත්, ‘සියඹලා හොරාහි දෙවැනි කොටසමිතූගෙ කතාවනමින් ලියා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව ඇති බවත් දැනගන්නට ලැබිණ.

මම ඉගෙන ගන්න ගමන් පොත් විකුණනවා. පේරාදෙණියෙ බාහිර උපාධියට ලෑස්ති වෙනවා.දනිජු දුරකථනය හරහා මට කීවේ ය.

දනිජුගේසියඹලා හොරාකෘතියේ කවරය ඔහු විසින්ම අඳින ලද සිත්තමකින් හැඩ වී ඇත. පෙර කවරය ඇතුල් පස ඔහුට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දිනූ සහතිකයේ සේයාරුවක් ද වෙයි. තමන්ම ලියා, කවරය ඇඳ, සහතිකයේ පිටපතක් කවරයේ ඇතුළත මුද්‍රණය කරගෙන ඇති දනිජුසියඹලා හොරාරුපියල් සියයකට විකුණමින් බසයෙන් බසයට ගොඩ වෙයි. ඒ කෑගල්ලෙන් පැමිණ ය. ඔහුට සහතික පිදූ රාජ්‍යය දනිජු හා ඒ වැනි අනාගත සිහින සහිත තරුණ අංකුර ලේඛක ලේඛිකාවන්ගේ ඉදිරිය ගැන කිසිදු අපේක්ෂාවක් නොදල්වා ඇති නමුත්, කෑගල්ලේ බන්ධනාගාරයේ තවත් ලේඛකයෙක් සිරකොට තබාගෙන නම් සිටියි. ඒ ශක්තික ය!

සිය ළමා කාලයේ අධිකතර දුක් පීඩා විඳි, කළු ඇමරිකානු ලේඛිකාවක, කිවිඳියක හා සිවිල් අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක වූ මායා ඇන්ජිලෝ අවසානයේ සිය වසර අසූහයක දිවිය කෙළවර කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළතම ඇගයීම් පණහකට අධික ගනනක් ලබා, දිවියේ කටුක, අරගලකාරී අතීතයන් ඔස්සේ දිවගිය ස්ව-චරිතාපදාන හතක් ලියා තබා, කාව්‍ය එකතූන්, රචනා ග්‍රන්ථ කිහිපයක්ම ලොවට දායාද කොට, සිනමා කෘති, ටෙලිවිෂන නාටක, නාට්‍ය නිෂ්පාදන ගණනාවකට දායකව, ඇමරිකානු අධ්‍යයනය පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් ලෙස ද සේවය කොට ය. ඒ සියල්ල අපට හමුවන්නේ ගායිකාවක, නාටිකාංගනාවක, නිළියක ලෙස ඇය දැක්වූ දායකත්වයන්ට අමතරව ය. මෑත දිනක වෙනත් කාව්‍ය එකතුවක් සඳහා ඇන්ජිලෝගේ ජීවන වත කෙටියෙන් ලියමින් සිටියදී ඒ වෙත එබුණු මගේ මිත්‍රයෙක් ඇගේ ලේඛණ දිවියට මුල් පියවර තැබෙන්නට දායකත්වය සැපයූහාලෙම් ලේඛක සංසදය’ (Harlem Writers Guild)  යන නාමය දක්වමින්ලේඛක සංසදයක්….? ඒක මොන වගේ වෙන්න ඇද්ද?’ යනුවෙන් මගෙන් පැනයක් ඇසී ය.

අන්තර්ජාලයට අනුව නම් මෙම ලේඛක සංසදය ඇමරිකා එක්සත් ජනපදයේ පළමුඅප්‍රිකානු - ඇමරිකානුලේඛක සංසඳයයි. 1950 දශකයේ ආරම්භ වන එම සංසඳය ඇන්ජලෝ ඇතුළු, පසුකාලීනව ඇමරිකානු සාහිත්‍යය තුළ ජය කෙහෙළි නැංවූ ලේඛක ලේඛිකාවන් රැසකගේ තිඹිරි ගෙය බවට පත්ව ඇත. ඇමරිකා එක්සත් ජනපදය තුළ හමුවන විවිධ ස්වරූපයේ ලේඛක හා සාහිත සංසද අතරහාලෙම්එක් නාමයක් පමණක් වන අතර සමානව යුරෝපය හා වෙනත් දියුණු සාහිත සමාජයන් හමුවන රාජ්‍යවල ද මෙවැනි සංසඳ හා එකතූන් බහුලව හමුව ඇති බව හා තවමත් හමුවන බව හඳුනාගැනීම අපහසු නැත.

දනිජු අනාගතය ගැන සිතමින්සියඹලා හොරාසමග කෑගල්ලෙන් පිටත්ව බසයෙන් බසයට යන, ශක්තික කෑගල්ලේම බන්ධනාගාරයකලිවීමවරදක් ද යන සැකයෙන් ඇප බලාපොරොත්තුවෙන් මාස ගණනක් බලා සිටින මෙම මොහොතෙහි, ඇන්ජිලෝ පිළිබඳ සටහන ලියන මොහොතේ මගේ කාමර සගයා ඇසූ පැනය එක්ව අසන්නට අවස්ථාවක් බවට පත් කොට ගත හැකි ය.

අපිටත් එහෙම සංසඳ මෙහෙ තියෙනව නම්…. නේ ද?”

දනිජුගේ කෘතිය පරිසමාප්ත කෘතියක් නොවන බව සැබෑ ය. ශක්තික බන්ධනාගාරගත ව සිටීමට නිමිත්ත සැපයූඅන්තර්ජාල කෙටි කතාවේදුර්වලතා පැවතීමට ඉඩ ඇති බව ද සැබෑ ය. එහෙත් ලේඛක සිහින ඇති, ලිවීම වෙනුවෙන් කාලය කැප කරන්නට කැමැත්තක් ඇති තරුණ තරුණියන් කිසිදු රටක තොග ගණනින් හමු නොවන බව වටහාගැනීම අපහසු නැත. කෘතියක ගුණාගුණ විමසන්නට, එය යොමු කළ හැකි මං පෙත් පුළුල් කර දෙන්නට මෙන්ම රාජ්‍ය මැදිහත්වීමක් නොමැති තැන ඔවුනට ශක්තියක් වන්නටත්, රාජ්‍යයේ මර්දනය එල්ල වන විට ඔවුන් රක්ෂා කරන්නට ශක්තිය සැපයීමටත් හැකි ලේඛක එකතුවක අවැසියාව විමසීමට මේ හොඳම මොහොතකි.

නැතිනම්, දනිජු හෙටත්සියඹලා හොරාසමග බසයක මුණගැසෙනු ඇත. ශක්තික කෙනෙකු බන්ධනාගාරයක හෝ වෙනයම් තැනක මර්දන දැලක පැටලෙනු ඇත. ආණ්ඩුසියඹලා නොගෙනෙනම නිසාවැරදිකරුවකු ද හමු නොවනු ඇත!

-ප්‍රියන්ත ෆොන්සේකා - 


Thursday, July 4, 2019

ශේක්ෂ්පියර්ගෙන් ‘කෑල්ලක්‘ වෙනුවට...


(2019 ජූනි 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


අද සටහනට මත්තෙන් නුදුරු දිනක මා වෙත හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමක සංක්ෂිප්තයක් ඔබ වෙත තැබීම සාකච්ඡාවට කැඳවීමට අදහස් කරන මාතෘකාවට අවශ්‍ය පසුබිම තනා දෙන බැව් විශ්වාස කරමි. එය පහත පරිදි ය.

සර්... සර්ට මතකද මාව? මං කතා කරන්නෙ සර්ගෙන් ඉගෙන ගත්ත අහවලා...

මොකද මතක නැත්තෙ? ඉතින්? මොකද හදිසියෙම?“

“අනේ සර්... මේ මං වැඩ කරන ඉස්කෝලෙ ඩ්‍රාමා මිස්ට පොඩි උදව්වකට... ශේක්ෂ්පියර් නාට්‍ය පිටපතක් හොයාගන්න බැරි වෙයි ද?“

“මොකක්ද පිටපත? මගෙ ළඟත් එකක් දෙකක් ඇති... යුනිවසිටි ලයිබ්‍රරි එකෙත් ඇතිනෙ...“

“ඔය රජ කතා කීපයක්ම එයා ලිව්වනෙ නේද? මොකක් හරි එව්වැයින් හොඳ එකක්... මේ පාර පාසැල් නාට්‍යවලට අපි කරන්න යන්නෙ ශේක්ෂ්පියර් නාට්‍ය... ඒකයි...!“

“හරියටම පිටපත කිව්වනං මට ලේසියි හොයල දෙන්න. සේරම පරිවර්තනය වෙලත් නෑනෙ...“

“සර් ඔය හොඳ මොකක් හරි එකක් තෝරල දෙන්න... “

මේ මෙවැනි ඉල්ලීම් සහිතව මා වෙත ලැබුණු එකම ඇමතුම නොවේ. පේරාදෙණියේ සේවයට යළි එක්වී ගෙවුණු පසුගිය වසරකට මඳක් වැඩි කාල සීමාව තුළ පාසැල් නාට්‍ය තරග මුල් කරගනිමින්, පිටපත් සොයාගැනීමට, හොඳ ‘ප්ලොට්‘එකක් සොයා ගැනීමට, තරග සඳහා ඉදිරිපත් කරන නාට්‍යවල ‘හොඳ නරක‘ හදා ගැනීමට යනාදී වශයෙන් විවිධ ඇමතුම් කිහිපයක්ම මවෙත ලැබිණි. ඒ බොහෝ ඇමතුම් ‘හදිසි‘ ඇමතුම් වූ අතර, දිනයකින් දෙකකින්, ඉක්මන් පිළිතුරු අපේක්ෂිත ස්වරූපයේ ඇමතුම් විය.

නාට්‍ය ඉතිහාසයේ සශ්‍රීකම සමයක් ලෙස ගැනෙන ග්‍රීක නාට්‍ය සමය පිළිබඳ කතාබහෙහි මූලිකව ගැනෙන්නේ ද ‘ඇතැන්ස්‘ නාට්‍ය උළෙල ප්‍රමුඛ නාට්‍ය තරගයන් ය. යුරිපිඩීස් සහ ඇරිස්ටොෆනීස් ඇතුළු, වසර දෙදහසකට ද ඔබ්බෙන් ජීවත් වූ නාට්‍යකරුවන්ගේ නාට්‍ය උත්සවවලින් ජය හිමිකරගත් නාට්‍ය අතුරින්, පිටපත් ලෙස ආරක්ෂාව ලැබ, දිගු අඳුරු මධ්‍යකාලය ඔස්සේ වත්මන තෙක් සුරක්ෂිත වූ පිටපත් අපි අද සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යය වෙත තබමින් හදාරමින් ද, අපගේ වේදිකා මත ප්‍රතිනිර්මාණය කොට රස විඳිමින් ද සේවනය කරමු. ගැමි නාටක හෝ සමකාලීන අභිචාර හා බැඳුණු නාටක තරග කොට ජය ලැබ ඇති බවක් නොපෙනෙතත්, ග්‍රීක හා රෝම නාට්‍ය සමයන්හි සිට විවිධ අවස්ථාවල මුණගැසෙන නෙක් ස්වභාවයේ නාට්‍ය උළෙල හා තරග රංග වේදිකා මත සිදු කළ ප්‍රකාශනයන් තවෙකක් පරයා යන්නට තරම් ඉහළින් නිර්මාණය කර ඇති ද යන විනිශ්චයට ද ලක් වෙමින් අද වන තෙක් පැමිණ ඇති බවට සාක්ෂි බොහොමයක් වෙයි.

ලාංකික නූතන නාට්‍ය ඉතිහාසයේ නාට්‍ය බොහොමයක් ද 60-70 දශකවල පටන් වැඩී නැගුණු නාට්‍ය උත්සවවල දී ඇගයුමට පාත්‍ර වූ, තරග කොට ජය ලැබූ, නාට්‍ය බව ඒ නාට්‍යවල වටපිට විමසන විට හඳුනාගන්නට ලැබේ. රාජ්‍ය නාට්‍ය උළෙල හා යෞවන සම්මාන උළෙල වැනි ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය අනුග්‍රහය ලැබෙන නාට්‍ය උළෙලවල සිට ‘දහදිය සිත්තම‘, ‘වේදිකාවෙන් මහ පොළවට‘ වැනි විවිධ සංගම්, වෘත්තීය සංවිධාන, විශ්වවිද්‍යාල යනාදී ආයතන මෙහෙයවන නාට්‍ය උළෙල ද විවිධ ‘සශ්‍රීක මට්ටම්වලින්‘ මෙරට නාට්‍ය බිම වෙත දොර විවර කර ඇති බැව් පෙනේ. රාජ්‍යයේ සෘජු අනුග්‍රහය ලැබෙන නාට්‍ය උළෙල වෙත වැඩි වශයෙන් නාට්‍ය නිෂ්පාදකයින්ගේ ආකර්ෂණයක් ඇති බැව් හඳුනාගැනීම අපහසු නොවන අතරම බොහෝ විට, උළෙල කෙළවර, විනිශ්චයන්හි ගුණදොස් පිළිබඳව වාර්ෂිකව කෙරෙන පසු-විවාද ද හමු නොවන්නේ නොවේ.

ඒ සියල්ල එසේ වුව, පාසැල් සෞන්දර්ය අධ්‍යාපනය තුළ ඉහළ අංකයක් ලැබ ගන්නා නාට්‍ය හා රංග කලාවෙහි ප්‍රමුඛ විමසුම නාට්‍ය තරග විය යුතු ද?

නර්තනය, සංගීතය, චිත්‍ර කලාව යනාදී සෙසු සෞන්දර්ය කලාප වෙත ද මේ පැනයම අදාල වන අතර, මගේ ප්‍රමුඛ අධ්‍යයන ක්ෂේත්‍රයක් වෙත තබා මම මේ සාකච්ඡාව ආරම්භ කරන්නට කැමැත්තෙමි. සෙසු කලාප වෙත සාකච්ඡාව දිගු කිරීම අපට දෙවනුව කළ හැකි ය.

වර්තමානය වන විට නාට්‍ය හා රංග කලාව, වසර කිහිපයකට පෙර පැවති ආකාරය බිඳ හෙළමින්, පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඉම් රේඛා පුළුල් කොටගෙන ඇත. එය දැන් අපට හමුවන්නේ පාසැලෙහි හත්වැනි වසරේ සිට අධ්‍යයනය කළ හැකි විෂයයක් ලෙසිනි. එනිසාම නාට්‍ය හා රංගකලාව පිළිබඳ ඇති උනන්දුව අතීතයට සාපේක්ෂව අධ්‍යාපන ලෝකය තුළ ඉහළ ය. නමුත් ඒ කෙලෙසකින් ද?

එක් අතෙකින් එය පාසැල්වල පෙර සිට පැවති සෞන්දර්ය විෂයය ඒකක අතරට පැමිණි අලුත් සාමාජිකයෙකි! දැන් දරුවන්ට නටන්නටත්, ගයන්නටත් නොඑසේනම් අඳින්නටත් ‘බැරි‘ නම් නාට්‍ය විෂයය තෝරාගන්නට පුළුවන. “මම නාට්‍ය කරන්න පන්තියෙ ඉතුරු වුණේ ඉතිරි දේවල්වලට තෝරගත්තෙ නැති නිසා“ යැයි ‘ප්‍රේමී කවි නළුව‘ නමැති විශිෂ්ට කෙටි නාට්‍යයේ ප්‍රධාන චරිතය වේදිකාවක් මත සිටම කියන්නේ මේ සත්‍යයයි. දෙවනුව එය නව ටියුෂන් දොරකි. මෙම විෂයය න්‍යායාත්මක පිළිතුරුවලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඉල්ලා සිටින්නක් වන බැවින් නාට්‍ය රංගනය ආදියට හැකියාවක් ඇති නාට්‍ය ගුරුවරුන්ට දැන් හොඳ ඉල්ලුමක් ඇත. එමෙන්ම විෂයය නිර්දේශවල හමුවන නිර්දේශ නාට්‍ය නිෂ්පාදනය කිරීම හා පාසැල් දර්ශන සංවිධානය කරමින් ඒ දරුවන් වෙත අලෙවි කිරීම මෙහිලා හමුවන තවත් නව කලාපයකි. ඒ හා සමගාමීව නැගී ඇති සිවුවැනි අංකය ඉහළ තරගකාරීත්වයක් ඇති පාසැල් නාට්‍ය තරග උණුසුමයි!

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව 2019 වසරේ පාසැල් නාට්‍ය තරග ළමා තේමාත්මක නාට්‍ය, කෙටි කතා පාදක, විශ්ව සාහිත්‍ය පාදක, ඒක-පාත්‍ර නාට්‍ය, ග්‍රීක හා රෝම ප්‍රහසන නාට්‍ය, නූතන නාට්‍යකරුවන්ගේ නාට්‍ය, ෂේක්ස්පියර් නාට්‍ය, සංස්කෘත නාට්‍ය, කතා පුවතක් ඉදිරිපත් කිරීම, ඒකල භාෂණ, යුගල භාෂණ, ගැමි නාටක, අභිරූපණ ලෙස ඉසව් ගණනාවක් ඔස්සේ දිවෙන්නකි. මෙම වසරේ පටන් ඒ සඳහා වන නවතම හඳුන්වා දීම ‘සංසද රංගය‘ නමින් සිංහල යෙදුමෙන් හඳුන්වා දී ඇති Forum Theatre තරග ඉසව්වයි. පළාත් මට්ටමෙන් ඇරඹ, විද්‍යාලයේ වන ශිෂ්‍ය සංඛ්‍යාව මත පදනම්ව හෝ වෙනයම් කාණ්ඩකරණයන් යටතේ වේදිකාගතව විහිදෙන මෙම නාට්‍ය තරග විශාල කාලයක්, ශ්‍රමයක් හා කැපකිරීමක් සමග නැගී ජාතික මට්ටමේ ජයග්‍රාහකයින්ගේ ජයපැන් බීම ඔස්සේ කෙළවර වෙයි.

ශිෂ්‍ය අවදියේ ලැබුණු පාසැල් තරගවලින් ලද පැසසුම් හා ඇගයුම් වින්දෙකු ලෙස පාසැල් නාට්‍ය විෂයයෙහි තරග ස්වරූප අහෝසි විය යුතු යැයි යන සාහසික යෝජනාවක් වෙත යොමුවීම හෝ ඒ තරගාවලි සංවිධානය කරමින් හා මෙහෙයවමින් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞන්දර්ය නිලධාරීන් සිදු කරන කැපකිරීම් අවතක්සේරු කිරීම වැනි ඉමකට තල්ලු වීම අසාධාරණ බව දන්නා නමුත් ඒ සියල්ල හමුවේ වුව මේ තරගවල වත්මන් ස්වරූපයන්හි ඇති ගැටළු සාකච්ඡාවකට කැඳවීම සෞන්දර්ය අධ්‍යාපනයේ මූලික හැඩරුව තීරණය කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය බැව් හඟිමි.

අසීමිත තරග උණුසුම හා අපේක්ෂා නාට්‍ය හා රංගකලාව පිළිබඳ ද්විතීයික අධ්‍යාපන සමයෙහි ස්ථාපිත කළ හැකි සහ කළ යුතු අදහස වෙනත් මානයක් ඔස්සේ විහිදුවමින් රටෙහි අනාගත පරපුර හමුවේ සෞන්දර්යය යන්න ද තවත් තරග කලාපයක් ලෙස ධාරණය කිරීම මෙම වත්මන් තත්වයෙහි මා දකින බිහිසුණුම අනතුරයි. සෞන්දර්ය කලා සේවනය හා වින්දනය පැවතිය යුත්තේ අධි-තරගකාරීව නැගෙන, එකිනෙකා පරයා යෑම සඳහාම වලිකන සමාජයක් නිවා දැමීම පිණිස වුවත් ඒ කලාපය තුළත් යළි තරගය අධි නිශ්චය වීම නාට්‍යයේ මූලික අපේක්ෂා නසා දමන්නකි. ග්‍රීක-රෝම ප්‍රහසනයක හෝ ශේක්ෂ්පියර් නාට්‍යයක තෝරාගත් කොටසක් ‘අනෙකාට වඩා කදිමෙට‘ රඟ පා දක්වමින් පළමුවැනියා වී තුටු වීම හෝ පරාජය වී දුක්වීමට වඩා ඉහළ වටිනාකමක් ලැබෙන්නේ අදාල කලා ස්වරූප හා චරිත වඩා සියුම් හා තීව්‍ර කියවීමක් හරහා බිහිකර ගැනීමට ඉඩ සොයාගත යුතු සංවේදී සමාජය වෙත ය. සීසර්ගේ නසා දැමීම අභියස මාක් ඇන්ටනිගේ විශ්වය දිනූ ඒකල භාෂණය ‘ටක්කෙටම කියා‘ පළමුවැනියා වීමට වඩා අනගි ජයග්‍රහණය වන්නේ ශේක්ෂිපියරියානු කෘතිය මතු නොව සැබෑ සීසරියානු අතීතය තුළ ද මුණගැසෙන බෘෘටස්ලා හඳුනාගැනීමට තරම් අනාගත පරපුර සවිඥාණික කරවීම ය.

ඒ සඳහා අවශ්‍ය ‘මොකක් හෝ නාට්‍ය කෑල්ලක්‘ නොවේ. ඉතා පිරිපහදු කොට තෝරාගත් පෙළ කියැවීම්, මනා හැදෑරීම් සහිත මාර්ගෝපදේශන සහ දියුණු අනාගත දැක්මකි; සෞන්දර්ය අධ්‍යාපනයේ නිසි යෙදවුම පිළිබඳ පැහැදිලි අදහසකි.

-ප්‍රියන්ත ෆොන්සේකා -


සේයාරුව: http://www.pulse.lk