Monday, May 27, 2019

අනන්‍යතා අර්බුදය අභියස විවිමරී සහ විසාකේස


(2019 මැයි 26 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

විවිමරී වැන්ඩර්පූටන්
මේ ලියවිල්ල ලිවීම සඳහා මා පරිගණකය අසලින් වාඩි වන්නට පැය කිහිපයකට පෙර යළිත් භීෂණකාරී ලෙස අතීතකළු ජූලියකමතක සෙවණැලි ලාංකිකයින්ගේ මනස් ගැබ තුළට නැගෙමින් තිබිණ. වයඹ පළාත මුල් කරගෙන නැගෙමින් තිබුණු ප්‍රණ්ඩකාරී සිදුවීම් කිහිපයක් අතීත භීතිය, ඉතිහාසය හඳුනන හා ඉන් උගත් පාඩම් මත අනාගත වත ලියැවෙනු දකින්නට කැමති, පුරවැසි මනස තුළට කැඳවා තිබිණ.

අප්‍රේල් 21 ප්‍රහාරයට පිළිතුරු ලෙස අප මේ විරෝධය ගොණු කරමින් ඉන්නේත්, ප්‍රචණ්ඩත්වය මුදා හරින්නේත් කාට එරෙහිව ? 83 දී අපදෙමළාඅපගේ අනෙකා ලෙස නම් කරගනිමින් ඔහුට එරෙහිව අවි ගත් පරිද්දෙන්ම දැන් අපේ අනෙකා වී ඇත්තේ මුසල්මානුවා . අයිඑස් සංවිධානයේ මූලධාර්මික අදහස් ඇත්තවුන් ශුද්ධ ඉස්ලාම් භක්තිකයින් හඳුනාගත් පරිද්දෙන්ම . එහෙත් පුද්ගල අනන්යතාව එතරම් සරල ලෙස හඳුනාගත හැක්කක් ?

මේ පැනය යළිත් මසිත නැගුණේ මා හට විවිමරී මුණගැසුණු පසු . ඇයගේ සම්පූර්ණ නමවිවිමරී වැන්ඩර්පූටන්. ඇය විවෘත විශ්වවිද්‍යාලයේ ඉංප්‍රීසි භාෂාව පිළිබඳ ආචාර්ය උපාධිධාරී කථිකාචාර්යවරියකි. එයටත් වඩා ග්‍රේෂන් සම්මානය, රාජ්‍ය සාහිත්‍ය සම්මානය හා ගොඩගේ සාහිත්‍ය සම්මානය විවිධ වසරවල තමන් වෙත දිනාගත් කිවිඳියකි. කවියේ දී ඇගේ බස ඉංග්‍රීසියයි. එම කවිවල යටි පෙළෙහි ප්‍රමුඛ විශ්ව බස මනුෂ්‍යත්වයයි!

ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවය සති දෙකකට වරක් සඳු දින රාත්‍රී 9.30 සිට පුරා පැයක් විකාශය කරනරසදීපනීයනු පසුගිය අප්‍රේල් මස පටන් යළි ශ්‍රාවකයා හමුවට පැමිණෙන ශාස්ත්‍රී සංවාදමය වැඩසටහනකි. ‘යළියැයි මා සටහන් කළේ එය ගෙවුණු දශක කිහිපයකට පෙර ගුවන් විදුලි ශ්‍රාවකයා හමුවේ දිග හැරුණු, වඩා හරවත් මාතෘකා සාකච්ඡාවට බඳුන් කළ වැඩසටහනක් වී ඇති හෙයිනි. මෙම නව නිෂ්පාදනයත් සමග, මූලිකව සංස්කෘතික අධ්‍යයනය හා කලාව විෂයයෙහි ඇති සාකච්ඡා කලාප සමගින් එය අප වෙත ගෙන එන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති .

මට විවිමරී මුණ ගැසෙන්නේරසදීපනීවැඩසටහන සඳහා සහභාගී වීමට මා වෙත ලැබුණු ආරාධනයක් මත එහි ගිය මොහොතක .

මගෙ නම නිසාම ගොඩක් අයට මගෙ අනන්‍යතාව ගැන ප්‍රශ්න තිබ්බ. මගෙ හමේ පාට. සමහරු ඒකට කිව්ව ආගමේ පාට කියල. ඒත් මම බුද්ධාගමේ වුණාම ගොල්ලො පුදුම වුණා.”

වැඩසටහනින් අනතුරුව සතුටු සාමීචියක දී විවිමරී අප සමග කීවා . අප ශුද්ධ සිංහල බෞද්ධයින් වී ශුද්ධ මුසල්මානුවන්ට විවිධ මාධ්‍ය ඔස්සේ ශාරීරිකව හෝ වැඩිමනත් වාචිකව නැතිනම් සමාජ මාධ්‍යමය මාර්ග ඔස්සේ පහර දෙමින් සිටින විට විවිමරී අනන්‍යතාව පිළිබඳ අප රැඳිය හැකි මිත්‍යා අප අභියස දිග හරින්නී . හා සමග තවත් බොහෝ මෙරට ජන ජීවිත අර්බුද සිය කවිය තුළ හිඳ ප්‍රශ්ණ කරන්නී .

Meeting a VIPනමින් ඇය Stitch your eyelids shutනමැති කාව්‍ය ග්‍රන්ථය තුළ තබන කවිය ස්වකීය ජීවිතය තුළින්ම ගෙන නගන අනන්‍යතාව පිළිබඳ ගැඹුරු මෙන්ම උපහාසාත්මක ප්‍රශ්න කිරීමකි. පහත සරල පරිවර්තනය මවිසින් සිදු කරන ලද්දකි.

තානාපතිතුමා මගෙන් ඇහුවා
මං කොහොම ද
සිංහල වෙන්නෙ කියල
50%කින් විතරක්?
ඉතින් එහෙම බැලුවම
මං 50%ක් බර්ගර් ද
එහෙමත්ම නැත්තං
මගෙං කාලක් බෙල්ජියං ද
මගෙ ඇඟේ දුවන
ලේවල හැටියට?

ටිකක් අමාරු වැඩක් වුණා
පැහැදිලි කරන එක
මං හිතපු විදිහට
අටෙන් එකක් කියන්නෙ
සීයට දොළාමාරක්
බෙල්ජියං විත්තිය
ඒත් එක්කම
ඉතිරි කාලම
ලන්දේසි විත්තිය
තවත් සීයට විසිපහේ දෙකක්
අනිත් පැත්තෙන්
බොහෝ විට මාව
සීයට පණහක
සිංහලයෙක් කරන විත්තිය!

(ඒත් මට හරියටම දිවුරන්න නං බෑ ඔන්න,
මං 25%ක් දෙමළ වුණත් වෙන්න පුළුවන්,
මගෙ උඩරට ලේවලින් සමහර විට)

ඉතින් මට බැරිවුණා
මේ ගණිත කරුමෙ කරන්න
මං උන්නේ ප්ලේන් එකෙන්
බැස්ස ගමන්
හරිම නිදිමතින්
ඒත් මට කියන්නමත් හිතුණ
අන්තිම වතාවෙ මං
අසනීප වුණු වෙලාවෙ
තානාපතිතුමනි
ගන්න වුණා “ෆුල් බ්ලඩ් කවුන්ට්” එකක්

මං හිතන්නෙ
ඒ රිපෝට් එක නෝමල්
‘ප්ලාස්මයි’’සුදු රුධිරාණුයි”
දෙකම නියම ප්‍රතිශතේ ලු
ඒත්,
මගෙ රතු රුධිර සෛල
ටිකක් අඩුයි ලු
පේනවනේ තානාපතිතුමනි
මං රතු මස් කන්නෙ නෑ
ඉතිං මං
හැමවෙලාවෙම
ටිකක් සුදුමෑලි පාටයි!

සිය පරම්පරාවේ මෑත අතීතය දන්නා විවිමරී 2008 වර්ෂයේ දී ලන්ඩන් නුවර දී එරට ශ්‍රී ලාංකික තානාපතිවරයා සිය අනන්‍යතාව පිළිබඳ නැගූ ප්‍රශ්නය කාව්‍යාත්මක පිළිතුරක් තුළ තබයි. බෙල්ජියම් ජාතික මුත්තා පිළිබඳව පටන් සිය අතීත වෘත්තය පිළිබඳ අදහසක් ඇති ඇයට ස්වකීය නාමය වැන්ඩර්පූටන් වීම පිළිබඳව ද අදහසක් ඇත. පුද්ගල අනන්‍යතා පිළිබඳ ඒකමානීය ලාංකික අදහසට ඇය අභියෝග කරන්නේ එහෙයිනි.

දැන් මුසල්මානු හා සිංහල බෞද්ධ අනන්‍යතා සමග එකිනෙකාට අභිමුඛව සිට ගන්නා ශුද්ධ (ආගමික) ජාතිකත්වයක් පිළිබඳ අදහසක් ඇති පිරිසට නැතිනම් ඔබට සහ මට විවිමරීට තරමින්වත් අපගේ අතීත වත නිශ්චිතව සිතියම්ගත කළ හැකි ද?

විසාකේස චන්ද්‍රසේකරම්
එයට පිළිතුර අපට මුණගස්වන්නේ විසාකේස චන්ද්‍රසේකරම් ය. ඔහු ‘රජ සහ ඝාතකයා’ නමින් ගෙන එන ස්වකීය නිර්මාණය වෙනුවෙන් ලියන ගීය තුළ තබමිනි. ‘නුඹෙ අම්මා ඉතා කළුයි’ නමින් ඇරඹෙන විසාකේස ලියන ගීතය මෙරට දීර්ඝ ඉතිහාසය තුළ සිදු වන්නට ඉඩ ඇති බොහෝ ජනවාර්ගික මිශ්‍රවීම් පිළිබඳ අපට සිහිකර දෙයි. එහි මධ්‍යයේ එන මෙම පද පෙළ ඔබ වෙත තබමින්, ගීතය අන්තර්ජාල විමසුමකින් සොයා හැකි පමණ ප්‍රජාව අතර බෙදා හරින ලෙස ඉල්ලමින් මම මෙම ලිපියට කෙළවර කරමි.

ඔය චීන ඉන්දියන් යෝනක
කාපිරි සහ හම්බ පැටව්
දාල යන්න බැරි හින්දා
බින්න බහින් ඇති නොවැ
අර හීනි වළලුකර වැද්දගෙ
තඹ පැහැ කෙස් ගස් සුද්දගෙ
බොකුටු කොණ්ඩෙ කාපිරියගෙ
කැරපොතු ඇස් පරංගියගෙ
චීනගෙ මොක්කන් නාසය
හම්බයන්ගෙ හමේ පැහැය
සේරම කලවන් වී සැදි
සාම්බාරෙ අපූරු ය!

-ප්‍රියන්ත ෆොන්සේකා -


Tuesday, May 14, 2019

මිනිස් හදවත් දවා අළු කරන්නට පෙර...


(2019 මැයි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“මේ ෆිල්ම් එක බලන්න කලින් මට මුස්ලිම් ලෝකය ගැන, මිනිස්සු ගැන තිබ්බෙ පිළිකුලක්. ඒත් දැන් මට හිතෙනව ඒක වැරදියි කියල. සාරල, අලීල කියන්නෙ අපිම තමයි... මමයි මගෙ අයියයි වගේ...“

ඉහත කුඩා සටහන මා වෙත එවූ තරුණිය මා අදටත් හඳුනන්නේ නැත. 2005 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨ පළමු වසර විද්‍යාර්ථීන් වෙනුවෙන් පැවැත්වූ පදනම් පාඨමාලාවකදී මා විසින් තිරගත කරවන්නට යෙදුණු ඉරාන චිත්‍රපටයක් වූ මජිඩ් මජිඩිගේ ‘Children of Heaven’ (දෙව්ලොව දරුවෝ) චිත්‍රපට දැක්මෙන් අනතුරුව හත්සියයක ප්‍රේක්ෂාගාරය තුළ සිට ඇය මට මෙය එවා තිබිණ. ඒ එවැනි අදහස් සහිත තවත් සටහන් තීරු සිය ගණනක් අතර තබමිනි. චිත්‍රපටය කෙළවර මා ඉල්ලා සිටි ‘ඔබට දැණුනු හැඟීමක් හෝ අදහසක් ලියා එවැන්නයි‘ කළ ඉල්ලීමට පිළිතුරක් වශයෙනි.

එසමය තුළ මෙරට සිනමාලෝලීන් අතරත් ජනප්‍රිය වුණු ‘දෙව්ලොව දරුවෝ‘හි හමුවන්නේ, අලුත්වැඩියා කරගැනීමට ගොස් රැගෙන එන අතරතුර, තමන් අතින් නැතිවූ සිය සය හැවිරිදි නැගණිය සාරාගේ පාවහන් යුවළ ඇය වෙත සොයාදෙන්නට හෝ නව පාවහන් යුවළක් ඇය වෙත ලබා දෙන්නටත්, ඒ වන තෙක් ඇගේ පාසැල් ගමන, දුප්පත් දෙමාපියන්ට කරුණු සඟවමින්ම, නොකඩවා සිදුකරගෙන යන්නටත් වෙර දරන, නව හැවිරිදි අලීගේත් (නැගණිය සාරාගේත්) කතා පුවතයි. චිත්‍රපටය ඇරඹී සුළු මොහොතකින් ප්‍රේක්ෂාගාරයේ සිත් පැහැරගන්නා මේ සුරතල් දරු දෙදෙන, ආරම්භයෙහි ලියූ සටහනෙහි පරිදි යළි හැරී සිතන්නට පෙළඹෙන ප්‍රේක්ෂකයෙකු වෙත, තමන්ගේ මානව ලෝකය දෙස හැරී බලන්නට ආරාධනා කරති.
 
අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයකින් පසු, දැන් ඉතා බරපතල ලෙස සැකය අපගේ සිත් තුළ වැඩී නැගෙමින් පවතින මොහොතෙහි යළිත් අලී සහ සාරලාගේ ලෝකය දෙස දයාවේ නෙත් විවර කරන්නට මම ඔබට ආරාධනා කරමි. ‘දෙව්ලොව දරුවෝ‘ ඒ අදහස අප වෙත ස්ථාපිත කළ ද එය එම ලෝකය මුණගස්වන එකම සිනමා කෘතිය නොවේ. එම සමාජය තුළ හමුවන ලක්ෂ ගණනක් වූ ‘අලීලා සහ සාරලාගේ‘ තරුණ සහ වැඩිහිටි අවදීන් මුහුණ දෙන අසීමිත දුෂ්කරතා සමග ඔවුන්ගේ මානව සබඳතා අපට හමුවන තවත් බොහෝ චිත්‍රපට අන්තර්ජාලයේ සුළු ‘රස්තියාදුවකින්‘ සොයාගැනීම අසීරු නැත.



මජිඩ් මජිඩිම තනන ‘බරාන්‘ (වැස්ස) එවැනි එක් සිනමා පටයකි. එහි මුණගැසෙන්නේ 17 හැවිරිදි ගැටවරයෙකු වන ලතීෆ් සහ ඔහු ගොඩනැගිල්ලක් තැනෙන බිමක ඔහු සිදුකරන එහි කම්කරුවන්ට තේ පැන් සාදා දීමේ පහසු රැකියාව හදිසියේම උදුරාගන්නා 14 හැවිරිදි ඇෆ්ගන් සරණාගාතයකු වන රහ්මාත් අතර ගොඩනැගෙන ගැටුමයි. සිය පහසු රැකියාව උදුරාගැනීම නිසා රහ්මාත් සමග උරණ වන ලතීෆ් මුලින් ‘ඔහු‘ සමග ගැටුමකට ගිය ද අහම්බෙන් යෙදුණු මොහොතක රහ්මාත් යනු පිරිමි වෙසින් රැකියාවට පැමිණ සිටින යෞවනියක බව දැනගත් පසු ඇයට පෙම් බඳින්නට පටන් ගනියි. ඉරාන නීති රීති, සරණාගතයින්ගෙන් ශ්‍රමය සූරාකෑම, ඔවුන්ගේ අති දුෂ්කර ජීවිතය මෙම පුවත සුන්දරව දිවෙන බොලිවුඩාකාර පෙම් පුවතක් අප වෙත තබන්නේ නැත. එහෙත් එය අප සරලමතිකව හා ඒකමානීයව දකින්නට තනන, ඉස්ලාම් ලෝකය කොතරම් විෂමාකාර බිමක්දැයි අපට පෙන්වා දෙයි. රහ්මාත්ගේත් පවුලේ සැමගේත් මෙන්ම ලක්ෂ ගණනක් වූ ඇෆ්ගන් සරණාගතයින්ගේත් ජීවිත අනතුරේ හෙළා තිබෙන්නේ ඉස්ලාම් මූලධර්මවාදයයි. එය මුස්ලිමුන් බේරා සෙසු ආගමික හා වාර්ගික ජීවිත පමණක් අනතුරට කැඳවන ක්‍රියාවලියක් නොවේ. මනුෂ්‍යත්වය මරා දමා ම්ලේච්ඡත්වය හා ත්‍රස්තය තිර කරන ක්‍රියාදාමයකි.

“දැන් ඔයා ලියන කොලම් එකේ ලියන්න මේ තත්වය ගැන... සිරියාවෙයි ඉරාකෙයි ISIS එක පැරැද්දුවෙත් මුස්ලිම් අයම තමයි. වෙනින් කවුරුවත් නෙවෙයි...!“

මේ ලිවීම ගැන දන්නා රාජ්‍ය නිලධාරියෙකු මට කතා කළ කීවේ එයයි. සැබවින්ම, ඉස්ලාම් මූලධර්මවාදය සමග සෘජුව අභිමුඛ වන ප්‍රධාන පිරිස ඉස්ලාම් ආගමිකයින්ම මිස අන් කවරකුදු නොවේ. සිරියාව හා ඉරාකය තුළ, ඇෆ්ගනිස්ථානය තුළ, පකිස්ථානය තුළ යනාදී වශයෙන් නොයෙක් නාමයන්ගෙන් පෙරට එන මූලධාර්මික ත්‍රස්ත කණ්ඩායම් සමග, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එරෙහිව සිටගන්නේ ඔවුන්ම ය. ඔසාමාට එරෙහිව ‘ඔසාමා‘ සිනමා තිරය තුළ සිටගත් පරිදි ය!

1996න් පසු වසර 07කින් ඇෆ්ගනිස්ථානය තුළ තැනෙන ‘ඔසාමා‘ චිත්‍රපටය තලේබාන් මූලධර්මවාදයට එරෙහිව එහි නායකයාගේ නාමයම රූපකයක් ලෙස සිය නම තුළම තබමින් නිමැවූ නිර්භීත කෘතියකි. තලේබාන් රෙජීමය තුළ ස්ත්‍රියට එරෙහිව නැගුණු දහසක් මර්ධන නීතිවලට එරෙහිව කුඩා දැරියක් පිරිමි දරුවෙකු ලෙස වෙස්වලා ගනියි. ඇය තබාගන්නා නම ‘ඔසාමා‘ ය. ඇෆ්ගන් ඉතිහාසයේ විවිධ යුද්ධ නිසා අහිමි වුණු සිය පවුලේ පිරිමින් නිසා පවුලෙහි ආර්ථිකය ගොඩනැගීම ‘ඔසාමා‘ වෙත පැවරී ඇත. මද්‍රසා පාසැලක, පිරිමි දරුවන් සමග උගනිමින් සිටියදී වෙස් වළාගත් ‘ඔසාමා‘ හදිසියේම වැඩිවිය පත්වීම හේතුවෙන් ඇය දැරියක බව සෙසු පිරිස දැනගනියි. මුලින් මරා දැමීමට තීරණය වුවත් පසුව ඇගේ ජීවිත ඉරණම තීරණය වන්නේ මහල්ලෙකුගේ බිරින්දෑවරුන් අතර නවතම සාමාජිකාව බවට පත්වීමට ඇයට සිදුවීමෙනි.


බින් ලාඩන්ගේ මුල් නාමය චිත්‍රපට නාමය ලෙස තබමින් සිද්දික් බර්මාක් නමැති ඇෆ්ගනිස්ථාන අධ්‍යක්ෂකවරයා තැබූ, භයානක මෙන්ම නිර්භීත පියවර අපට මුණගස්වන්නේ මුස්ලිම් ජාතිකයෙකු ලෙස සිටිමින්ම තලේබාන් පාලනයට එරෙහිව ඔහු නගන විරෝධයයි. ඒ අතර, චිත්‍රපටයේ පුවත ඔස්සේ යමින් එක් අන්තයක අපට එක් ආඛ්‍යානයක් මුණගැසෙද්දී චිත්‍රපටයේ සැබෑ නළු නිළියන්ගේ ජීවිත ඔස්සේ යමින් විමසද්දී අපට සැබෑ මුස්ලිම් ජීවිතවල තවත් ආඛ්‍යාන බොහෝ ගණනක් මුණගැසෙයි.

‘ඔසාමා‘ගේ චරිතයට පණ පොවන කුඩා නිළිය වන මරීනා ගෝල්බාරි බර්මාක්ට මුණගැසෙන්නේ කාබුල් නගරයේ සිඟමන් යදිමින් ජීවිතය ගැටගසාගන්නා ප්‍රජාව අතරිනි. යන්තම් 14 වැනි වියට එළැඹෙද්දීම ඇය ‘ඔසාමා‘ චිත්‍රපටය හේතුවෙන් ලෝක අවධානයට පත් වෙයි. ඇයගේ රංගන කුසලතාවෙහි විශිෂ්ඨතාව පිළිබඳ ලෝක සිනමා විචාරකයෝ බොහෝ ඇගයුම් සටහන් ලියා තබති. එහෙත්, කොරියානු සිනමා උළෙලකට හිස වසා නොගෙන සහභාගී වීම හේතුවෙන් අසීමිත මරණ තර්ජන ලැබූ මරීනා අද ජීවත් වන්නේ සරණාගත තරුණියක ලෙස ප්‍රංශයේ ය.

අප සාකච්ඡා කළ ඉරාන සිනමාකරු මජිඩි මෙන්ම ඇෆ්ගන් සිනමාකරු බර්මාක් ද, ඔවුන්ගේ කෘති තුළ හමුවුණු අලී, සාරා, ලතීෆ්, ජමාත් සහ ඔසාමා ද, සැබැවින්ම චරිත නිරූපණයට එක් වූ, මරණ තර්ජන ලද මරීනා ද ආගමික භාවිතය තුළ මුස්ලිමුන් ය. එහෙත් ඔවුහු මූලධාර්මික ආගම්වාදය තිරය තුළත්, ඉන් පිටතත් ප්‍රතික්ෂේප කළ ප්‍රජාව නියෝජනය කරති. එය ත්‍රස්තය මඩින්නට ඇති එකම ස්ථිර මග යුද්ධය බව පිළිගැනීම ද නොවේ. එවැනි විශ්වාසයකින් අපට හමුවනු ඇත්තේ කුමක් ද?

තලේබාන් සංවිධානයට එරෙහිව සිදු කළ යුද්ධය හමුවේ ඇමරිකානු හමුදා සහ ඇෆ්ගනිස්ථාන රාජ්‍ය හමුදා වෙතින් ඝාතනය වූ සිවිල් පුරවැසියන් සංඛ්‍යාව තලේබාන් සංවිධානය විසින් ඝාතනය කෙරුණු පිරිසට වඩා ඉහළ බව ‘ද නිව්යෝක් ටයිම්ස්‘ පුවත්පතේ වෙබ් අඩවිය වෙත ඩේවිඩ් සුකචිනෝ ලියන්නේ මෙරට ප්‍රහාරයෙන් දින 03කට පසු අප්‍රේල් 24 වැනිදා කාබුල් නුවර සිට ය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරන ලද සංගණනයක් උපුටමිනි. එය මගේ නෙත ගැටුණේ ෆේස්බුක් අඩවියේ ඇති Muslims Against ISIS (අයිඑස්අයිස් සංවිධානයට එරෙහි මුස්ලිම්වරුන්) නමැති පිටුව තුළ උපුටා දක්වා තිබීම හේතුවෙනි.
ලාංකික ප්‍රජාව අභියස ඇති නව ත්‍රස්තවාදය අභ්‍යන්තර යුද්ධයක ස්වරූපයකට යොමුවන ස්වරූපයක් තවමත් නිරීක්ෂණය නොවේ. එය සතුටට කරුණකි. යුධමය තත්වයක හෝ බිහිසුණු ත්‍රස්තවාදී පසුබිමක ගොඩනැංවීම පහසු කරවමින් එම සංවිධාන පෝෂණය කරන්නේ වෛරය නංවමින් අනෙකා දෙස සැකයෙන් බැලීමෙන් මිස දයාර්ද්‍ර නෙතකින් ඔවුන් විමසීමෙන් නොවේ. 

‘බරාන්‘ චිත්‍රපටයේ ඇෆ්ගන් සරණාගත තරුණියට පෙම් බඳිමින් ඇය සොයා යන ලතීෆ්ට එම සරණාගත කඳවුරු අඩවියේ දී සපත්තු මසන්නෙකු මුණගැසෙයි. ලතීෆ් හමුවේ ඔහු පවසන පහත වදන් පෙළ අප සියල්ලෝම සිත් දරාගත යුතු බරකින් යුක්ත ය.

බෙදී නැගෙන උණුසුම් ගින්නෙහි ගිනි දළු මිනිස් හදවත් ද දවා අළු කරයි

-ප්‍රියන්ත ෆොන්සේකා -

Wednesday, May 8, 2019

අප සොයාගත යුත්තේ කුමක් ද?


(2019 මැයි 05 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)
අප්‍රේල් 21 වැනිදාව පසුවී තවමත් ගෙවී ඇත්තේ දින කිහිපයකි. ලොවම සසල කළ බිහිසුණු ඛේදවාචකයක් අපගේ ඇස් ඉදිරිපිටම සිදුවූ පසු, ඉන් අනතුරුව ඇදහිය නොහැකි තරමින් ආයුධ හා සන්නද්ධ අරගලවලට අදාල උපකරණ හා ඇඳුම් දිවයිනේ තැනින් තැනින් මතුවන්නට පටන් ගත් පසු බහුතර පුරවැසි සමාජය තව දුරටත් දිවි ගෙවන්නේ වික්ෂිප්ත වූ ස්වරූපයකිනි.
“දැන් ඉතින් මොකද කරන්නෙ? අපි කාවද විශ්වාස කරන්නෙ?“
නිරන්තරව නැගෙන මෙම පැනය යළි යළිත්, අපැහැදිලි පිළිතුරුවලින් හෝ පිළිතුරු රහිත බවින් හෝ අනතුරුව යළි නැගෙනු ඇසෙයි.
සැබවින්ම අප මනුෂ්‍යත්වය පිළිබඳ විශ්වාසය අත් හළ යුතු ද? ආගමික අන්තවාදයක තීව්‍ර කෙළවරක් දක්වා ගමන් කළ, අපැහැදිලි නමුත් කුඩා කණ්ඩායමක් හේතුවෙන් අපගේ මානව ධර්මතා අත් හළ යුතු ද? මගේ මනස තුළ නැගි මෙම පැනයට පැහැදිලි පිළිතුරක් රැගෙන පැමිණියේ චාලි චැප්ලින් ය. ගෙවුණු සියවසේ හමුවුණු භයානකම මානව නාශකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසිවාදය ලක්ෂ ගණනින් මිනිස් ජීවිත බිලිගනිද්දීම ඔහු මෙම ජන ඝාතකයාගේ චරිතය සිනමා කෘතියකට ගෙන ආවේ ය. චිත්‍රපටය  ද ග්‍රේට් ඩික්ටේටර්‘ (මහා ආඥාදායකයා)  නම් වූ අතර එය තිරයට පැමිණෙන්නේ දෙවන ලෝක යුද්ධය ඇරඹී වසරකට පසු, එනම් 1940 වර්ෂයේ දී ය. හිට්ලර්ගේ මරණ වරෙන්තුව ලද ලැයිස්තුවේ ඉහළින්ම සිය නාමය සඳහන් කරගන්නට චැප්ලින්ට මින් ඉඩ ලැබුණේ එය සෘජුවම හිට්ලර් සහ ඔහුගේ කුරිරු පාලනය විවේචනය කරමින් සහ ඔහුව උපහාසයට ලක් කරමින් නිපදවා තිබුණු හෙයිනි.

චිත්‍ර‍පටයේ සම-ප්‍ර‍ධාන චරිත වන හින්කල් නමැති ආඥාදායකයා සහ ඔහුගේ රූපයට පූර්ණ ලෙස සමාන යුදෙව් කරණවෑමියා යන චරිතද්වයම නිරූපණය කරන්නේ චාලි චැප්ලින් විසිනි. චිත්‍ර‍පටය කෙළවර වන්නේ, අහඹු සිදුවීම් පෙළකින් පසු දහස් සංඛ්‍යාත හමුදාව ඇමතීමේ අවස්ථාව හින්කල් ලෙස වැරදියට හඳුනාගෙන සිටින යුදෙව් කරණවෑමියා වෙත ලැබීමෙනි. ඔහු ආඥාදායකයා ලෙස පෙනී සිටිමින් සිදු කරන කථාව සිනමා ඉතිහාසයේ සුවිශේෂ තැනක තබා සඳහන් කෙරෙන්නකි. මනුෂ්‍යත්වය, මානව දයාව, යුධ විරෝධය, නාසි විරෝධය ආදී සියල්ල කැටි කළ එවැනි කතාවක් සිනමා ඉතිහාසය තුළින් සොයාගැනීම උගහට ය.

අන්තවාදය හා වර්ගවාදය ඇතුළු මානව විරෝධී ප්‍රවේශ හමුවේ අප උතුම් මිනිසත් බව පසෙක තැබිය නොයුතු බව චැප්ලින් සිය ප්‍රධාන චරිතය ඔස්සේ පැමිණ පවසයි. අද, මෙම අනපේක්ෂිත ඛේදවාචකය කෙළවර අපැහැදිලි ඉදිරියක් පිළිබඳ චකිතයකින් පසුවන ඔබට මවිසින් සිදු කළ එම කතාවෙහි සිංහල පරිවර්තනය කියවන්නට ආරාධනා කරමි:

  

මට සමාවෙන්න
, මට බැහැ ආඥාදායකයෙක් වෙන්න. ඒක මගේ වැඩේ නෙවෙයි. මට කවුරුවත් පාලනය කරන්නවත් පරද්දන්නවත් උවමනාවක් නෑ. මට ඕනෙ හැමෝටම උදව් කරන්න - පුළුවන් කමක් තියෙනව නම්, යුදෙව්වන්ට, යුදෙව්වො නොවන උන්ට - කල්ලන්ට වගේම සුද්දන්ට. අපි හැමෝම අනිත් කෙනාට උදව් කරන්න ඕනෙ. මිනිස්සු කියන්නෙ අන්න එහෙම අයට. අපි ජීවත් වෙන්න ඕනෙ එකිනෙකාගෙ සතුට වෙනුවෙන්. නැතුව එකිනෙකාගෙ වේදනාව වෙනුවෙන් නෙවෙයි.  අපි එකිනෙකාට වෛර කරන්නවත්, ඉරිසියා කරන්නවත් අවශ්‍ය නැහැ. මේ ලෝකෙ හැමෝටම ඉඩ තියෙනව. යහපත් ලෝකය පොහොසත්, ඒ වගේම හැමෝටම දෙන්න දෙයක් තියෙන තැනක්. ජීවිතයේ මාර්ගය නිදහස් සහ ලස්සන එකක් වෙන්න ඕනෙ, ඒත් අපි ඒ මාර්ගය වරද්දගෙන. 

කෑදරකම මිනිස් ආත්මය විසෙන් පුරවලා, ලෝකය වෛරයෙන් අහුරල දාල විතරක් නෙවෙයි අවාසනාව එක්ක ලේ වැගිරීම් එක්ක අපේ ඇස් කදුළුවලිනුත් පුරවලා.  අපි වේගෙන් සංවර්ධනය වෙනව, ඒත්, ඒ එක්කම අපි අපේ ජීවිත වහල අගුලු දාගන්නව. බොහොම දේ හදල දෙන යන්ත්‍ර‍ සූත්‍ර‍ අපේ ජීවිතවල අඩුවක් ඉතිරි කරල. අපේ දැනුම අපිව නරුම කරල. අපි ගොඩක් හිතනව ඒත් අපිට දැනෙන්නෙ හරිම පොඩ්ඩයි. යන්ත්‍ර‍ සූත්‍ර‍ මහා ගොඩකට වඩා අපිට ඕනෙ මනුස්සකම! බුද්ධිමත්කමට වඩා අපිට ඕනෙ කරුණාවන්තකම එක්ක ගුණයහපත්කම! මේ දේවල් නැති වුණොත් ජීවිතය එහෙම පිටින්ම ප්‍ර‍චණ්ඩකමින් පිරිල ගිහින් නැතිම වෙලා යාවි...

අහස් යාත්‍රාවයි ගුවන් විදුලිය යන්තරෙයි අපි එකිනෙකාව ලං කරල. ඒ අලුත් සොයාගැනීම්වල හැඩයම කෑගහල ඉල්ලන්නෙ මිනිස්සු ළඟ තියෙන හොඳකම - කෑගහල ඉල්ලන්නෙ ලෝකය පුරාම විසිරෙන සහෝදරකම - හැමෝගෙම එකමුතුකම!! මේ දැනුත්, ලෝකෙ පුරා ඉන්න මිලියන ගාණක් මිනිස්සු අතරට මගේ හඬ පැතිරෙනව - මිලියන් ගාණක් බලාපොරොත්තු බිඳ වැටුණු පිරිමි, ගැහැණු ඒත් එක්කම පුංචි දරුවො අතරට. නිරපරාදෙ මිනිස්සු හිරගත කරන සහ වධ බන්ධන දෙන ක්‍ර‍මයක ගොදුරු බවට පත් වුණු මිනිස්සු අතරට!    

මගේ හඬ ඇහෙන හැමෝටම මම කියන්නෙ - බලාපොරොත්තු නැති කරගන්න එපා. අපි ළඟ දැන් තියෙන කණස්සල්ලට මුල කාලකන්නි කෑදරකම. මිනිස්සුන්ගෙ තිත්ත ගතියට මුල මානව ප්‍ර‍ගතියට තියෙන බය. මිනිස්සු අතරෙ තියෙන වෛරය කෙළවර වේවි. ආඥාදායකයො මිය ඇදේවි. මිනිස්සුන්ගෙන් උන් ලබාගත්ත බලය ආපිට මිනිස්සුන්ටම ලැබේවි.  මිනිසුන් මැරී මැරී යන තාක් කල්  විමුක්තිය කිසි විටෙකත් උදාවෙන්නෙ නෑ.

සෙබළුනි! උඹලාව විනාශ කරන - උඹලාව වහලුන් කරන - උඹලාගේ ජීවිත පාලනය කරන - උඹලාට කළ යුතු දේට, සිතිය යුතු දේට, වගේම උඹලාගේ හැඟීම්වලට අණ කරන -  තක්කඩියන්ට විකිණෙන්න එපා! උඹලාව නටවන -  උඹලාව නැති කර දමන - උඹලාව හරකුන් හැටියට සළකන - උඹලාව මූනිස්සම් හැටියට භාවිතා කරන උන්! උඹලාගේ ජීවිත මේ අස්වාභාවික මිනිසුන්ට විකුණන්න එපා. යාන්ත්‍රික හදවත් සහ යාන්ත්‍රික හිත් ඇති යාන්ත්‍රික මිනිස්සු! උඹලා යන්තර නෙවෙයි! උඹලා හරක් නෙවෙයි! උඹලා මිනිස්සු!! උඹලාගේ හදවත්වල ආදරයයි මනුස්සකමයි තියෙනවා! උඹලා වෛර කරන්නෙ නෑ! අනාදරයයි වෛරයයි විතරක් කියන්නෙ, ආදරය නොකිරීම නැත්තම් අස්වාභාවිකකම!! සෙබළුනි! වහල්කම වෙනුවෙන් සටන් වදින්න එපා! විමුක්තිය වෙනුවෙන් සටන් වැදියල්ලා!!

ශාන්ත ලූක් දාහත්වන පරිච්ඡේදයේ ලියවිල තියෙනව දෙවියන්ගේ ස්වර්ග රාජ්‍යය ඇත්තේ මිනිසා තුළම යකියල. ඒ එක මිනිසෙක් තුළ නෙවෙයි - කණ්ඩායමක් තුළ නෙවෙයි - සියලු දෙනා තුළම!! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ, යන්ත්‍ර‍ සූත්‍ර‍ හැදීමේ බලය. සතුට ඇති කිරීමේ බලය! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ මේ ජීවිතය නිදහස් සහ ලස්සන කරන්න. මේ ජීවිතය පුදුමාකාර වික්‍ර‍මයක් බවට පත් කරන්න.

ඒ නිසා - ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන් - අපි මේ බලය පාවිච්චි කරමු - අපි හැමෝම එක්සත් වෙමු. අපි එකතුවෙලා සටන් කරමු අලුත් ලෝකයක් හදන්න -  මිනිස්සුන්ට වැඩ කරන්න ඉඩ දෙන ශිෂ්ඨසම්පන්න ලෝකයක් - තාරුණ්‍යයට අනාගතයක් හදන වගේම මහළු වයසට ආරක්ෂාවක් හදන! මේ පොරාන්දුවෙන්ම තමයි මේ තක්කඩි බලයට එන්නෙ. නමුත් උන් කියන්නෙ බොරු! උන් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නෙ නැහැ. කවදාවත් කරන්නෙ නැහැ!

ආඥාදායකයො, රජවරු, උන්ව නිදහස් කරගෙන මිනිස්සුන්ව වහල්ලු කරනව! ඒ නිසා අපි දැන් මේ පොරොන්දුව දිනාගන්න සටන් කරමු! අපි නිදහස් ලෝකයක් වෙනුවෙන් සටන් කරමු - හැම ජාතියකම බාධක අයින් කරල දාන - වෛරයයි, පටුකමයි එක්ක කෑදරකම පන්නලා දාන ලෝකයක්!  හේතුවක් ඇති ලෝකයක් හදන්න, විද්‍යාවයි ප්‍ර‍ගමනයයි හැම මනුස්සයගේම සතුට වෙනුවෙන් යෙදවෙන ලෝකයක් හදන්න අපි සටන් කරමු. සෙබළුනි! ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන්, හැමෝම එක්සත් වෙමු!!“

-ප්‍රියන්ත ෆොන්සේකා -