Sunday, November 15, 2015

‘කැමොෆ්ලාජ් යුක්තිය‘ට එදිරිව ‘කලාකෘතිමය කැමොෆ්ලාජය‘: සමකාලීන ශ්‍රී ලාංකික කලා භාවිතය ඇසුරින් කෙරෙන විමසුමක්

(2013 ජූලි මස දී සිඩ්නි විශ්වවිද්‍යාලයීය නීති පීඨයේ පැවති උසස් පර්යේෂණ සමුළුවට මවිසින් ඉදිරිපත් කළ පත්‍රිකාව සඳහා කළ දේශනයේ සෘජු සිංහල පරිවර්තනය)

මේ සමුළුවට මගේ පර්යේෂණ පත්‍රිකාව භාරගත්තට පස්සෙ, ගිය සතියෙ මැද මේ සමුළුවේ වැඩ සටහන මට ඊ-මේල් එකකින් ලැබුණ. ඒකෙ තිබුණු හැටියට මගේ පර්යේෂණය ගැන මම කතා කරන්න නියම වෙලා තිබුණෙ අද උදේ තිබුණු ‘Violence and Media’ කියන තේමාව ගත්තු පැනල් එකේ දි. ඒත් හදිසියේම දවස් දෙකකින් මට ආයෙම ඊ මේල් එකක් ආව සංවිධාන ගැටළු වගයක් නිසා මේ වෙලාවට ඒ කියන්නෙ ‘Indigenous people and Environmental Justice’ කියන පැනල් එක යටතේ හවසට පේපර් එක ඉදිරිපත් කරන්න කැමති ද කියල අහල. කොහොමත් වැඩ කල් දාන්න කැමති මම පැනල කැමති වුණා.

ඒත් මම කල්පනා කරන්න ගත්ත. ‘මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය‘ යටතේ තිබුණු මගේ පේපර් එක ‘ආදිවාසී මිනිස්සු සහ පාරිසරික යුක්තිය‘ යටතට ඇවිල්ල. මේක සංවිධායක මණ්ඩලේ හිතල මතල නොකරත්, මගේ අවධානය තදින් පැහැරගත්ත එක දෙයක්. මම කතා කරන්නෙ යන්නෙ කැමොෆ්ලාජ් ගැන. ලංකාවෙ සමකාලීන කලාකරුවො අවුරුදු තිහක් තිස්සෙ පැවතුණු යුද්ධෙ එක්ක ආපු කැමොෆ්ලාජ් වර්ණිත අවකාශ වෙනස් කියවීමකට ගෙන ගිය හැටි ගැන. ඒ හරහා ඔවුන් රාජ්‍ය ගොඩ නැගූ යුක්තිය ගැන කතා කරපු හැටි ගැන. ‘කැමොෆ්ලාජය හරහා ගෙන ආ නැත්තම් යෝජනා කළ යුක්තිය‘ ට එරෙහිව ‘කලාකෘතිමය කැමොෆ්ලාජය‘ පිහිටවපු එක ගැන. ඉතින් දැන් බලන්න... කැමොෆ්ලාජ්... ඒක එක අතකින් පරිසරයම තමයි... ආදිවාසීන්... මෙහෙ ඇබොරජින් මිනිස්සු වගේම ලංකාවෙ වැද්දො එක්ක කිට්ටුවෙන්ම තිබුණ පාට ටිකම තමයි... ඒ අර්ථයෙන් මේක මේ පැනල් එකට අපූරුවට ගැලපෙනව. ඒත් මේක ‘මාධ්‍ය සහ ප්‍රචණ්ඩත්වය‘කියන තේමාවෙන් බැහැර වෙනව ද? මට පේන්නෙ මම ඉන්න ඕනෙ හරි මැද කියලයි!

2006 අවුරුද්දෙ අප්‍රේල් මාසෙ දවසක ශ්‍රී ලංකා හමුදාවේ හිටපු හමුදාපතිවරයා මරාගෙන මැරෙන්න ආපු එල්ටීටීඊ බෝම්බකාරියක් ලංකාවෙ හමුදා මූලස්ථානයේ ආරක්ෂක මායිම්වලින් පැනගෙන තමන්ගෙ ශරීරය පුපුරුවා ගත්තු හැටි ලංකාවෙ ප්‍රවෘත්ති වාර්තා කළා. කැබලි වෙච්ච බෝම්බකාරියගේ සිරුරු කොටස්, තුවාල වුණු හමුදාපතිවරයා සහ ආරක්ෂක නිලධාරීන්, පසුබිම් ගොඩනැගිලි හා මුරකපොළු අපි ටෙලිවිෂන් එකෙන් දැක්ක. හමුදා මූලස්ථානෙ ඉස්සරහ කැමොෆ්ලාජ් පාට ගාපු මුර කපොළු, කැමොෆ්ලාජ් පාට ඇඳගත්තු හමුදා සෙබළු ටෙලිවිෂන තිරයට කළු, කොළ, කහ සහ දුඹුරු පාට වැඩි පුර ගෙනාව. ඒව මුදා හැරියෙ නිශ්චිත සංඥා පද්ධතියක්. ඒ කාලෙ හැම පුපුරුවාගැනීමකදිම අන්තිමේ දි පෙන්නපු විදියට සැක කරන එල්ටීටීඊයේ කිහිප දෙනෙක්ගෙ රූපත් අපි දැක්ක. උත්ප්‍රාසජනක දේ, ඔවුන් ඇඳල හිටියෙත්, රටාව ටිකක් වෙනස් කැමොෆ්ලාජ් ඇඳුම්!

ඊට අවුරුද්දකට විතර පස්සෙ, 2007 දි, මට යන්න අවස්ථාවක් ලැබුණ ලංකාවෙ ප්‍රකට සමකාලීන චිත්‍රශිල්පියෙකු වෙන චන්ද්‍රගුප්ත තේනුවරගෙ ‘පශ්චාත් බැරල්වාදය‘ කියන චිත්‍ර හා ස්ථාපන ප්‍රදර්ශනය බලන්න. ‘පශ්චාත් බැරල්වාදය‘ කියන්නෙ තේනුවර 1997 දි කරපු ‘බැරල්වාදය‘ කියන චිත්‍ර හා ස්ථාපන ප්‍රදර්ශනයෙ පසු නිෂ්පාදනය. ඒක ඊටත් පස්සෙ නව්‍ය බැරල්වාදය විදිහටත් ආව.

‘බැරල්වාදයෙදි‘ තේනුවර පෙන්නුවෙ හරි සරල දෙයක් කලාගාරයට ගෙන්නල. ඒ කැමොෆ්ලාජ් පාට ගාපු බැරල්. ඒ තමයි බැරල්වාදයෙ මූලිකම ස්ථාපනය. හමුදාපතිවරයාට බෝම්බ ප්‍රහාරය එල්ල කරපු තැන විතරක් නෙවෙයි, රටේ හැම අහුමුල්ලකම, අපි යන එන පාරෙ නිතර දාල තිබුණු හමුදා මුර පොළ කවුළුවල ගොඩ ගහල තිබුණු පාට කරපු බැරල් තේනුවර ගෙනත් කලාගාරය ඇතුළෙ තිබ්බ. ඔහු යෝජනා කළේ සමස්ථ ජනතාවගේම ජන ජීවිතය හසුරුවන්න පුළුවන්කමක් තියෙන මේ අපූරු බැරල් ‍‘ඉස්ම්‘ එකක් වෙලා කියලයි. ‘බැරල්වාදයක්‘! කැමොෆ්ලාජ් වර්ණ ගන්නපු මේ බැරල් තිබුණු අවකාශයට පුදුමාකාර බලයක් තිබුණ. පාරෙ යන එන සියලුම පුරවැසියන්ගෙ ‘අනන්‍යතාවය‘ පරීක්ෂා කරන්න කැමොෆ්ලාජ් වර්ණ ඇඳගත්තු සෙබළු ඒ තැන්වල හිටිය. ඒ ‘ආරක්ෂාකාරී පියවර‘ හරහා සුරක්ෂිත කෙරෙන්නෙ පුරවැසියා බව රාජ්‍යය කියල තිබුණ. රේඛීය, නිදහස් මාර්ග අවකාශ වසාගත්තු, සමහර වෙලාවසම්පූර්ණයෙන්ම අවහිර කෙරුණු කැමොෆ්ලාජ් බැරලය සහ සෙබළු ගැන රාජ්‍ය ගෙන ආ අධිපති ප්‍රවාදය වුණේ ඒ හරහා යළි පුරවැසියා වෙත ආරක්ෂාව හා නිදහස ලැබෙන බවයි. ඒ දෙයින් යුක්තිය ආරක්ෂා වෙන බවයි.

ලංකාවෙ සිවිල් යුද්ධය ආරම්භ වෙන්නෙ අසූව දශකය එළඹෙනවත් එක්කමයි. ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ මූලික කරගත්තු, ද්‍රවිඩ ජාතික, අවිගත් තරුණ කණ්ඩායම් පැවති සිංහල මූලික වුණු පාලනයට එරෙහිව නැගීමත්, රජය ඊට එරෙහිව හමුදාව මෙහෙයවීමත් යුද්ධයට හේතු වුණා. යම් වෙනස්කම් සහිත දේශපාලන විභව තිබුණු ද්‍රවිඩ කණ්ඩායම් මුලදී මෙම සටන් සඳහා පිවිසියත් සෙසු සියලු කණ්ඩායම් මැඩගෙන එල්ටීටීඊ සංවිධානය හිස එසවුවා. 1990 දශකය වෙනකොට යුද්ධයේ ප්‍රතිවාදියා හැටියට ලංකාවෙ රජයට හිටියෙ එල්ටීටීඊ එක විතරයි. ඔවුන්ගේ ඉල්ලීම හරිම සරලයි. වෙනම රාජ්‍යයක්.

යුදමය වශයෙන් දෙපාර්ශවයම ශක්තිමත් වුණු අතරෙ, කිසිදු කණ්ඩායමක් සාමය සඳහා සෘජු වගේම අවංක උත්සාහයක් නොගත්තු එකත් නිසා යුද්ධය දවසෙන් දවස දරුණු වුණා. ක්‍රියාකාරී යුද්ධය තිබුණෙ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වුණත් රටේ ආර්ථික හා දේශපාලනික මර්මස්ථානවලටත්, දේශපාලන නායකත්වයටත් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රහාර එල්ල වෙන්න ගත්තම රටේ සැමතැනකටම යුධ බිය පැතිරුණා. සිවිල් සමාජය ඉලක්ක කරගෙන බස් රථවල, දුම්රියවල බෝම්බ පිපිරෙන්න ගත්තම මේ තත්වය තවත් ඉහළ ගියා. ප්‍රතිඵලය වුණේ සෑම විශේෂිත ස්ථානයකම, නගරයකම, කඩපිලකම මුරපොළවල් හා වැඩ කඩුළු ඉදිවීම‍. කැමොෆ්ලාජ් වර්ණ ඇඳගත්ත සෙබළුන් එක්ක, කැමොෆ්ලාජ් වර්ණ ගත්ත බැරල් සහ ගෝනි එක්කම කම්බි වැටවල් හැම මානයකම දකින්න ලැබුණා. උතුර හෝ නැගෙනහිර යන දෙපළාතෙම අවස්ථා මම හැබෑවට නොදැක්කත් ඒ ප්‍රදේශවල ජනතාව මීට වඩා දරුණු විදියට මේ තත්වයට මුහුණ දුන්නු බව පෙනුනා. ඔවුන්ට හම්බ වුණේ එක පාර්ශවයක කැමොෆ්ලාජය විතරක් නෙවෙයි... දෙපැත්තෙම! සමහර වෙලාවක දකුණ කරා එන සිවිල් වැසියෙකුට යුධ සීමාවලදී දෙපැත්තේ ම කැමොෆ්ලාජ් අවකාශවලට තමන්ගෙ අනන්‍යතාවය තහවුරු කරන්නත් සිද්ධ වුණා.

දකුණෙදි හෝ උතුරෙදි වුණත් කැමොෆ්ලාජ් වර්ණ අවකාශය නිර්මාණය කළේ බලය හිමි රාජ්‍යය හෝ බලය ලැබීමට සටන් කළ, ප්‍රාදේශීයව බලය ස්ථාපිත කරගෙන උන්නු සංවිධානය විසින්. මේ අවකාශය ගැන සොයා බලන්න යද්දි මම මුලින් ම බැලුවෙ මෙහි වචනාර්ථය. අපූරුම දේ ඒකට නාම පදයක් විදියටත්, ක්‍රියා පදයක් විදියටත් වෙන්වුණු ඒත් සමීප (?) අර්ථ පැවතීම.

Collins Cobuild Advanced Learners Dictionary එකේ 2006 වසරේදි එන පස්වන සංස්කරණයේ 196 පිටුව බලන්න. එතන මේ වචනාර්ථ මෙහෙම සාකච්ඡාවට ගන්නවා.  

“If military buildings or vehicles are camouflaged…” යනුවෙන් එහි ක්‍රියා පදයේ ගුණය විස්තර කරන්න ගන්න ශබ්ද කෝෂය පරිසරයේ ස්වභාවිකව වැඩිපුර හමුවන කොළ, දුඹුරු, කළු සහ කහ පැහැ වර්ණවලින් මේ සමන්විත වීම නිසා මේ අවකාශය පරිසරයේ සැඟව යා හැකි ආකාරය ගැන කියනවා.

ඒකෙ නාම පදයට යද්දි එන උදාහරණයත් සැඟවීමක් ගැන තමයි. හැබැයි ඒ තමන් තුළ, ස්වාත්මයෙන් එන වේදනාව තුළ සැඟවීමක්!

“The constant partygoing of her later years was desperately camouflage for her grief”

බැරල්වාදයෙන්

තේනුවර බැරල් කලාගාරයට ගෙන ආ ගමන්ම හැදුණු වෙනස් කියවීම එහි ක්‍රියා පද අර්ථය බිඳගෙන නාම පද අර්ථය දිහාට ලංවුණු බවයි මටනම් හිතුණෙ. නගර අවකාශයේ දී හමුවන පරිසරයේ කැමොෆ්ලාජ් වර්ණ කොහෙත්ම සැඟවෙන්නෙ නැහැ... නගරය ගහ කොළවල පාටින් සම්පූර්ණයෙන්ම වියුක්ත නිසා. ඒ පරිසරය නානාවිධ දීප්තිමත් වර්ණ එකතු කරපු තැනක්. ඒ මැද්දෙ කැමොෆ්ලාජය සැඟව සිටීමක් නෙවෙයි. කැපී පෙනීමක්!

මේ කැපී පෙනෙන කැමොෆ්ලාජ් බැරල් කලාගාරයට ගෙනාපු තේනුවර මෙහෙම කිව්ව.

We cannot even freely walk on the streets anymore. Barrels obstruct our paths as they did not so long ago. There are many newly established checkpoints. Roads on which we could travel to and from now have arrows pointing one way only. These arrows determine the direction in which we as a people should travel. Stranding us on a road with one-way traffic, the city of Colombo has been turned into one big time bomb.
(Thenuwara. Fedaralidea.com, 2007)

ඒ අතරෙ කලා විචාරකයො ඒක හඳුනගත්තෙ මෙහෙම.

“තේනුවරගේ බැරලිසම් කෘති ප්‍රචණ්ඩත්වය සහ යුද්ධය පිළිබඳ ප්‍රකාශන වන්නා සේම ඒවා නගරය සහ නාගරික අවකාශ පිළිබඳ සමකාලීන ප්‍රකාශන ද වේ. මන්ද යත් බැරල් නාගරික අවකාශයේ නූතනම බලය අර්ථගන්වන්නා සහ බලය ප්‍රකාශ කරන්නා බවට පත්ව ඇති හෙයිනි.“

-ජගත් වීරසිංහ - 90 ප්‍රවණතාව සහ සමකාලීන දෘශ්‍ය කලා භාවිතය -

‘බැරලිසම්‘ එකේ දි තේනුවර සෘජුව යොදාගත්තු කැමොෆ්ලාජය තවත් චිත්‍ර හා ස්ථාපන ශිල්පියො සෘජුවමත් වක්‍රවත් යොදාගත්තා. ජගත් වීරසිංහ 90 දශකයේ දිම ගෙනාපු ‘සාංකාව‘ කියන චිත්‍ර දැක්මෙදි පෙනෙන්නට තියෙන චිත්‍ර ගණනක කැමොෆ්ලාජ් වර්ණ කිහිපය හරිම ප්‍රධානයි. වීරසිංහ මේ සරල වර්ණ කිහිපයක සිට ඇඳීමට තමන්ට බලපාන්නෙ ලංකාවෙ පන්සල් චිත්‍ර වගේ දේවල් බව කිව්වත් මට පේන්නෙ ආසන්න දිනවල තමන්ගෙ වටපිටාවෙ ඔහු දකින කැමොෆ්ලාජ් අවකාශයේ සළකුණ. අනිත් අතට ‘සාංකාව‘ මොකක්ද? 1983 කළු ජූලිය, සිය ගණන් අහිංසක සිවිල් ද්‍රවිඩ වැසියන් දකුණේ දී ඝාතනය කෙරුණු ජූලියේ මතක වේදනාව ප්‍රති නිර්මාණය වීම. ඒකත් ටිකක් ළඟ කැමොෆ්ලාජ් නාම පදය පැත්තට නේද?

කැමොෆ්ලාජ් භූ දර්ශනය - චම්මික ජයවර්ධන

චම්මික ජයවර්ධන කියන තරුණ චිත්‍ර ශිල්පියා අඳින ‘කැමොෆ්ලාජ් භූ දර්ශන‘ සිය ද්‍රවිඩ ජාතික මිතුරිය සමග කැමොෆ්ලාජ් වර්ණ ගැන්වුණු මුර කපොළුවලින් යද්දි අත්විඳි ‘අනන්‍යතා පරීක්ෂණ‘ නිසා ලැබුණු සිත් සසළ වීමේ ප්‍රකාශනය කියල ඔහු කියනව.

I began to think whether there was a common factor between the war and the dress. There is a reason for it. It is a result of a personal experience I had in the company of a friend who happened to be a Tamil girl. We were our way to attend to some matter in Colombo. At every check point we have to prove our identity. My friend was more embarrassed than I. The questions asked and to close us to endure. This was a recurring experience.

These unpalatable experiences awakened me. I started thinking seriously about the war.

Chammika Jayawardhane – 02nd March, 2001.

සමස්ථ භූ දර්ශනයම කැමොෆ්ලාජයක් බවට පත් කිරීමේ චිත්‍ර ශිල්පියාගේ ප්‍රවේශය බහුඅරුත් දනවන්නක්.
කැමොෆ්ලාජ් වර්ණිත අවකාශ සමග ආ මේ සිත්තර කලා පිවිසුම් බොහොමයක් තිබුණත් මගේ අවධානය තදින් පැහැරගත්තේ සිවිල් යුද්ධයේ නිමාවෙන් පස්සෙ, ආධුනික සිත්තරියක වුණු කලනි විල්සන් කළ කැමොෆ්ලාජ් අවකාශයේ සැඟවුණු තරුණිය පිළිබඳ ප්‍රාසාංගික ස්ථාපනය. පසුබිමත් කැමොෆ්ලාජ් වර්ණ ගැන්වුණු අවකාශයක ඇය පූර්ණ සිරුරම කැමොෆ්ලාජ් වර්ණ කළ තරුණියක් පිහිටුවනවා. සැබවින්ම ඇය පසුතලය තුළ සැඟවී නොපෙනී යනවා. නිරූපණය කෙළවර අපිට ඉතිරි වුණේ ප්‍රශ්න දෙකක්. ඇත්තටම තරුණිය කැමොෆ්ලාජ් අවකාශය විසින් සඟවාගත්තා ද? ඇය ඒ තුළට වැදී සැඟවුණා ද? ප්‍රශ්නයට පිළිතුර කලනි අපට කියන්නෙ නැහැ. ඒ වුණත් කලනි ද්‍රවිඩ ජාතික තරුණියක් වීම නිසා මේ වෙතින් නැගෙන සංඥාවන්ට අමතර මාන හැදෙනව කියලයි මට හිතෙන්නෙ. ඇය අත් විඳින්නට ඇති කැමොෆ්ලාජ් මුරපොළ අත්දැකීම් ආදිය අපි දන්නෙ නැහැ. එහෙත් අගනුවර ජීවත් වුණු තරුණියක් හැටියට මෙය අනිවාර්යෙන්ම ඉහළ අගයක් ගන්නවා ඇති.

කැමොෆ්ලාජයේ බලාත්මක අයිතිය තිබුණු රාජ්‍යය හෝ රාජ්‍යයට එරෙහි ව අවි දරා උන් කණ්ඩායම් මේ චිත්‍ර හා ස්ථාපන ප්‍රදර්ශනවලින් එතරම් සසල වුණු බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. ලංකාවෙ සමකාලීන චිත්‍ර කලාව සමාජය සමග පවත්වන කථිකාව ප්‍රබල නොවීම මෙයට ප්‍රධානම හේතුව වෙන්න ඇති කියල හිතෙන්නෙ ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රකාශනයක් වුණු සිනමාව ඇතුළෙ දි කැමොෆ්ලාජය භාවිතා වෙන්න ගද්දිම පාලනය සසල වුණු හැටි දැක්කමයි.

90 දශකය ආරම්භයත් සමග හමුවන ලංකාවෙ තුන්වන පරම්පරාවෙ සිනමාකරුවො කිහිප දෙනෙක් ම යුද්ධය පසුබිම් වුණු තේමා තිරයට ගේනවා. ඉහළ සිනමාත්මක අගයක් තිබුණු මෙම සිනමා කෘති විචාරක අවධානයට, ලෝක සිනමා උළෙලවල සම්මානයට පාත්‍ර වෙනවා. ප්‍රසන්න විතානගේ, අ‍ශෝක හඳගම, සුදත් මහදිවුල්වැව වගේ මුල් දශකයේ දිම හම්බ වෙන කට්ටියගෙ ප්‍රකාශන වගේම විමුක්ති ජයසුන්දර, සංජීව පුෂ්පකුමාර වගේ 2000 න් පස්සෙ හමුවන තරුණ සිනමාකරුවො කිහිප දෙනාගෙ නිර්මාණත් මෙතනදි හරිම වැදගත්.

ප්‍රසන්නගෙ කෘතිවලදි කැමොෆ්ලාජය අපිට හමුවෙන්නෙ දුරස්ථව, ඒත් එක්කම සමහර වෙලාවට රාමුවෙන් පිටත! රාජ්‍යයේ මැදිහත් වීමෙන් තහනමට ලක් කෙරුණු, පස්සෙ අධිකරණයේ මැදිහත් වීමෙන් නිදහස් කෙරුණු ‘පුරහඳ කළුවර‘ චිත්‍රපටය උතුරු යුධ බිමේ දි මියගිය සිය පුතුගේ වියෝව නොපිළිගන්නා නෙත් අඳ පියෙක් ගැන කතාවක්. බෝම්බයකට අහුවුණු බව කියන ඔහුගේ මළ සිරුර නිවසට එන්නේ සීල් කළ පෙට්ටියකින්. කැමොෆ්ලාජ් වර්ණ නිල ඇඳුමවත්, ඒ ඇඳගත් සෙබළාවත් අපි දකින්නේ නැහැ. සිරුර දකින්නට නැති නිසාම මරණය පිළිනොගන්නා පියා අන්තිමේ මළ සිරුර සහිත පෙට්ටිය ගොඩ ගෙන සීල් එක කඩා බලනවා. පෙට්ටිය තුළ කැමොෆ්ලාජ් ඇඳි සෙබළ සිරුරක සේයාවක්වත් නැහැ. තියෙන්නෙ කෙසෙල් කොටන් දෙකක් සහ ගල් කැබලි කිහිපයක්!

මේ මගේ සඳයි
ප්‍රසන්නගේම ‘ඉර මැදියම‘, හඳහමගේ ‘මේ මගේ සඳයි‘ වගේ කෘතිවලදි නම් සෙබළා හමුවෙනවා. විමුක්තිගේ ‘සුළඟ එනු පිණිස‘ කෘතියේත් ඔහු ඉන්නවා, කැමොෆ්ලාජ් වර්ණ නිල ඇඳුම ඇඳගෙනම. ඒ වුණත් මේ කෘති හැම එකකදීම හොයන්නෙ කැමොෆ්ලාජයට යටින් සැඟව සිටින මිනිසාගේ ජීවිතය. ‘ඉර මැදියමේ‘ දී නිවාඩු එන හමුදා සෙබළාට අතරමග ඇති ලිංගික ශ්‍රමිකයන් විකුණන තැනකදී තමන්ගේම නැගණිය මුණ ගැහෙනවා. ‘මේ මගේ සඳයි‘ කෘතියේ දී භූගත බංකරයක සිටින සෙබළා හමුවට එන ද්‍රවිඩ තරුණියක් සිය සිරුර සෙබළා වෙත පුදා ජීවිත ආරක්ෂාව සළසා ගන්නවා. සෙබළාගේ ජීවිතයේ යථාව අපි දකින්නෙ ඔහු පෙරළා ගමට ආවයින් පස්සෙයි. සුළඟ එනු පිණිස‘ කෘතියේ දී සෙබළා යුධ භූමියේ තමන් විඳි දැඩි ලිංගික පීඩනය ගම්වැසි විවාහක කතක් හමුවේත්, ගැබිණි මවක් හමුවේත් මුදා හරිනවා.

මෙම සිනමාකරුවන්ගෙ නිර්මාණ හැම එකකටම වගේ රාජ්‍යයේ හෝ හමුදාවේ විවේචන, විරෝධතා එල්ල වුණා. සෙබළා පිළිබඳ ඇති ප්‍රතිරූපය බිඳ හෙළීම, යුද්ධය විවේචනය කිරීම හෝ යුධ විරෝධී බව මේ එරෙහිවීම්වල මුඛ්‍ය පදනම වෙද්දී සිනමාකරුවන් පිළිතුරු ලෙස කිව්වෙ තමන් විනිවිදින්නට උත්සාහ කරන්නේ කැමොෆ්ලාජ් නිල ඇඳුමට යටින් හමුවන සැබෑ මිනිසාගේ ජීවිතය බවයි. සත්‍යයත් තිබුණෙ එතන. ‘ඉර මැදියමේ‘ හමුදා සෙබළාට නැගණිය ලිංගික ශ්‍රමිකයන් අතර මුණගැසීමත්, ‘මේ මගේ සඳයි‘ හා ‘සුළඟ එනු පිණිස‘ කෘතිවල හමුවන ජීවිතය පිළිබඳ ආශාවන් වගේම ලිංගික පීඩනය පිළිබඳ සඳහනත් සාකච්ඡාවට කැඳවන්නේ සමාජ හා දේශපාලනික ප්‍රස්තුත ගණනාවක්. ඒ විදියට බැලුවාම බලාධිකාරයේ කැමොෆ්ලාජයේ ක්‍රියාපදමය ප්‍රවේශය වෙනුවට කලාකරුවා එන්නෙ නාම පද ප්‍රවේශයකින්. හැබැයි කිසිම වෙලාවක මෙය රාජ්‍යය විසින් පිළිගන්නේ නැහැ. ආසන්නතම, ප්‍රබල හා බිහිසුණුම සිදුවීම තමයි සංජීව පුෂ්පකුමාරගේ ‘ඉගිල්ලෙන මාළුවෝ‘ නැමති සම්මානිත චිත්‍රපටය ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් තහනම් කිරීම.

ප්‍රංශ තානාපති කාර්යාලය මගින් සංවිධානය කෙරුණු සිනමා උළෙලකට ‘ඉගිල්ලෙන මාළුවෝ‘ ඇතුළු කෙරෙන්නේ එය ලැබූ ජාත්‍යන්තර අවධානය නිසයි. ඒ වන විටත් ලංකාවේ තිරගත කිරීම අරඹා නොතිබුණු සිනමා පටය උළෙලේ පෙන්වීමත් සමග වහා ක්‍රියාත්මක වුණු ආරක්ෂක අංශ චිත්‍රපටය පමණක් නෙවෙයි චිත්‍රපට උළෙලත් නවතා දැමුවා. දිගු කතාබහකට පස්සේ දැන් අවසන් එකම චෝදනාව එහි අධ්‍යක්ෂවරයාට එල්ල වෙලා. රජයෙන් නිසි ලෙස අවසර නොගෙන හමුදා නිල ඇඳුම් චිත්‍රපටය සඳහා යෙදීම. ඒ කිව්වෙ කැමොෆ්ලාජ් එක!

ඉගිල්ලෙන මාළුවෝ
චිත්‍රපටයේ හමුවන කතා තුනෙන් එකකදී රජයේ හමුදාවක සෙබළෙක් ගමක තරුණියක් සමග පෙමින් වෙලී ඇය හා ලිංගික සම්බන්ධයක් පවත්වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබ්ගත්තත් ඔහුට ඇය විවාහ කරගන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔහු යන්නට යනවා. පසුව ඇය ඔහු සොයා ගොස්, ලිංගය කපා දමමින් ඔහුගෙන් පළිගන්නවා. මේ සෙබළා හැඳ සිටින කැමොෆ්ලාජ් නිල ඇඳුම නිසා හමුදාවට සිදුවන අවමානය ගැන රාජ්‍යය තර්ක කරනවා. ‘එවැනි ඇඳුමක්‘ අඳින්නට ලැබුණු අවසරය ඔවුන් විමසනවා. අවසර ලබා ගත් බවට තර්ක කරමින්ම අධ්‍යක්ෂවරයා කියන්නෙ මෙයයි. ඔහු කතා කරන්නේ නිල ඇඳුමට වැසී සිටින මිනිසා ගැන බවයි.


ආයෙම වතාවක් කැමොෆ්ලාජයේ ක්‍රියාපදමය හා නාමපදමය අරුත් අතර දෙගොල්ලො පැටලිලා. තේනුවරගේ බැරල්වාදයේ ඉඳන් පුෂ්පකුමාරගෙ ඉගිල්ලෙන මාළුවෝ දක්වාම කලාකරුවන් යොදන කැමොෆ්ලාජ් අවකාශය හා වස්ත්‍රය තත්‍ය ලෝක යෙදවුමෙන් පැත්තකට ඇවිත් වෙනස් සංඥා නිකුත් කරන්නෙ කොතනදිද? ඒ මොනවාද?

මේ අවකාශය හා වස්ත්‍රය ගෙන එන සංඥාවන් මම කියවන්න කැමති මින් පෙර වතාවක පුරහඳ කළුවර චිත්‍රපටයෙ පුතා අහිමි වුණු පියාගෙ, නැත්තම් වන්නිහාමිගෙ, නිහඬතාව කියවපු තැන ඉඳගෙනමයි. මම එතනදි කිව්වෙ පුතාගෙ මරණය හමුවේ කිසිම දෙයක් කතා නොකරන වන්නිහාමිගෙ නිහඬතාව මහා ශබ්දයක් වෙලා කෙනන් ෆර්ග්සන් ඉදිරිපත් කරන කියන ‘ප්‍රතිරෝධී නිහඬතාව‘ සංකල්පයේ සීමාවනුත් බිඳගෙන යන බව. ඒක‘ප්‍රතිරෝධී - ප්‍රතිචාරී නිහඬතාව‘ ලෙසයි මම දකින්නෙ.  වර්ණ තුන හතරක කැමොෆ්ලාජ් රටා පිරුණු අවකාශ සහ ඇඳුමත් මේ වගේම තමයි. තේනුවර ‘බැරල්වාදය‘ හරහා ප්‍රශ්න කරන්නෙ, වීරසිංහගේ ‘සාංකාවෙ‘ වර්ණ ඇතුළෙ හැංගිලා නැගෙන්නෙ, චම්මිකගෙ කලනිගෙ ප්‍රකාශනවලදි පුපුරන්නෙ මේ නිහඬ ප්‍රතිවිරෝධය, ක්‍රියාකාරී විදියට. රාමුවෙන් පිටත තියෙන, අපි නොදකින, කැමොෆ්ලාජ් සිරුර රාජ්‍යය කම්පනය කරපු හැටි, හඬක් හැටියට ගත්තු හැටි අපි පුරහඳ කළුවරේ දි දැක්ක. අද ඉගිල්ලෙන මාළුවෝ තියෙන්නෙ ඒ තැන. දැන් කැමොෆ්ලාජ් අවකාශය හා ඇඳුම ගේන්නෙ හුදෙක් වර්ණ ටිකක් හා රටාවක් නෙවෙයි. ඒක හඬක්... නිහඬ ඒ නමුත් ප්‍රතිචාර දක්වන හා ක්‍රියාත්මක වෙන! ඒක අපිට ‘ඇහෙන‘ නිහඬතාවක්!

බැලූ බැල්මට මගේ මේ පත්‍රිකාව ‘ආදිවාසී මිනිස්සු හා පරිසරය‘ එක්ක යන වැඩක් තමයි කලින් කිව්ව වගේ. මේ ඒ ගොල්ලන්ගෙ වර්ණනෙ... කැලේ.. ගහ කොළේ මුණගැහුණු. ඒත් මට හිතෙනව ‘මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය‘ එක්ක මේ තේමාවෙ තියෙන සම්බන්ධකමත් පේන්න ඇති කියල. අපි මේ පාට පරිසරයෙන් ගලවලා අපේ නගර අවකාශ, යුද්ධ භූමි, මහපාරවල්වලට ගේද්දිම මේක ප්‍රචණ්ඩ වෙලා ඉවරයි. ඒකයි මම කිව්වෙ මම මැද ඉන්න ඕන කියල.

ඒත් ප්‍රායෝගිකව වැඩේ යෙදුණෙ මට වාසි විදියට. ඒ කිව්වෙ උදේ ඉඳන් කල් ගිහිල්ල හවසට. ඒ වුණත් කැමොෆ්ලාජය එක්ක කලාකරුවා යෝජනා කරන යුක්තිය පිළිබඳ නව සිතීම උදේ හවස වගේම රාත්‍රියටත් අදාලයි.


ස්තුතියි.