Tuesday, April 20, 2021

ඇන්ටික් කඩවලට වී නොමැරී සිටීම: හඳගමයානු බහු-ආඛ්‍යාන


  (2021 අප්‍රේල් 03 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)

මෙම සටහනම නොවෙතත්, ‘ඇන්ටික් කඩයක මරණයක්’ හා සබැඳුණු තරමක සමාන සටහනක් පසුගිය සතියේ මෙම තීරුව සඳහා ලියා අවසන් වෙමින් තිබිය දී පරිගණකය විසින් එය අතුරුදන් කෙරුණේ ඉඳහිට පරිගණකවල නැගෙන යාන්ත්‍රික දෝෂ දෙසට වගකීම දමමිනි. හඳගමගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ සඳහා ආවේශය සපයන, ඔහුගේ සිනමා කෘතියක් වූ ‘අක්ෂරය’ ද ඉතා දිගු කලක් වෙනත් දෝෂ දර්ශන තුළ බහා අතුරුදන් කොට ඇති පසුබිමක ඔහු ‘ඇන්ටික් කඩයක මරණයක්’ සමග පැමිණීමට ගරු කරමින් යළි, සතියක් තුළ තව දුරටත් නැගුණු සිතුවිලි සමගින්, එම කෘතිය පිළිබඳව ලියූ සටහන වෙතම රැඳෙන්නට සිතුවෙමි.

හඳගමගේ කෘති තුළ ඔහුට ආවේණික ලක්ෂණ වෙයි. වරෙක ‘මේ මගේ සඳයි’ පිළිබඳ සංවාදයක දී ඔහු කියා තිබුණේ ‘මට සිනමා භාෂාවක් නැතැයි’ යනුවෙනි. ඒ සමස්ථ චිත්‍රපටයම ස්ථිතික රූප රාමු තුළ බහාලමින්, චරිත රාමුව තුළට ගෙන එමින් හා පිට කරමින් ඔහු සිදු කළ තිබුණු ‘අමුතු’ හරඹය විමසූ විට ය. එහෙත්, භාෂාවක් නැති බව කී විගසම, ඔහු නව භාෂාවක් සිය ප්‍රකාශනය සඳහාම තනා ඇති බව හැඟවෙයි. හඳගමගේ නිර්මාණ, මේ හඳගමයානු භාෂා ලක්ෂණවලට ගරු නොකරන සහ නොපිළිගන්නා අවකාශ තුළ ආන්තික කලාප වෙත කෙසේ වුව, කේන්ද්‍රීය සාකච්ඡාවෙන් ඔබ්බට හෝ, තල්ලු කොට දැමෙන්නේ එහෙයිනි. නඩු විනිශ්චයන්, තහනම් කිරීම්, විරෝධතා සියල්ල පසුපස මේ ඔහු තනාගන්නා ස්ව-භාෂා ලක්ෂණ හා අඩු වැඩි වශයෙන් බැඳෙයි.

කෙසේ වෙතත්, හඳගම වේදිකාවට බසින්නේ දශක ගණනකට පසුව ය. සිය පළමු වේදිකා නිර්මාණ කිහිපයෙන් පසු, ටෙලි නාට්‍ය සහ සිනමා කෘති හරහාම සිය ප්‍රකාශන අප වෙත තැබූ හඳගම යළි සිය පුනරාගමනය සඳහා දොරටුව තනාගන්නේ ද සිනමා කෘතියකම පශ්චාත් කතාපුවතයි. ඒ අනුව, එක්තරා දුරකට මෙය සිය සිනමා කෘතිය වූ ‘අක්ෂරය’ බිත්තියට හේත්තු කිරීමට ඔහු පෙරළා දුන් ප්‍රති-ප්‍රහාරයක් වැනි ය.

‘ඇන්ටික් කඩයක මරණයක්’ මංගල දර්ශන තෙදිනෙන් පසු ඒ පිළිබඳ සමාජ මාධ්‍ය අවකාශ ප්‍රමුඛ කොටගනිමින් ලියා තිබුණු සටහන් කිහිපයක්ම කියවන්නට මට අවස්ථාවක් ලැබිණ. ඒ හැරුණු විට, ප්‍රේක්ෂාගාරයේ උන් ඇතැමෙක් කෘතිය සමග සිය එකඟතා හා නොඑකඟතා ද මා හා බෙදා ගත් හ. ඊඩිපස් සංකීර්ණය සහ මනෝ විශ්ලේෂණවාදය හා බැඳී ආ අදහස්, සිංහල - බෞද්ධ ජාතිකවාදය සමග කෘතියේ පෙළ කරන ගණුදෙනුව, තල ත්‍රිත්වයක් මත දිවෙන කෘතියේ රංග අවකාශය පිළිබඳ අදහස්, ප්‍රධාන චරිත කිහිපයේ සහ ගායන/වාද්‍ය වෘන්දයේ මැදිහත්වීම් ඒ කියැවීම් තුළ සඳහන්ව තිබිණ. මේ කුඩා සටහන, නිරතුරුව බහු-කියැවීම් යෝජනා කරන හඳගමගේ කෘති එකතුවේ නවතම වේදිකා නාට්‍යමය මැදිහත්වීම වන ‘ඇන්ටික් කඩයක මරණයක්’ වෙත තවත් එක් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ය.

හඳගමගේ ‘ඇන්ටික් කඩය’ ඔහුගේ ‘අක්ෂරයේ’ දිගුවක් ලෙස පැමිණ තවත් මරණයක් අප වෙත තබයි. එය කෘතියේ නම තුළම වෙයි. ඒ කෙසේ වෙතත්, කෘතිය නරඹන අපි ද, කෘතියේ පාත්‍ර වර්ගයාගෙන් වැඩි කොටසක් ද මේ ඇන්ටික් කඩ අවකාශය අභියස නොමැරී ජීවත් වන්නෝ වෙති. මට අනුව, ඔහු මේ අප වෙත තබන ‘ඇන්ටික් කඩය’, නව නාට්‍ය ආකෘතිය තුළ තත්‍ය රංග උපකරණ භාවිතා නොකොට තැනිය හැකි බව එක් තරුණ දක්ෂ නාට්‍යකරුවෙකු මා සමග සඳහන් කළ ‘ඇන්ටික් කඩය’, පෙර කෞතුකාගාර මුරකරන්නා දැන් ඒ අතීතයෙන්ම තෝරා බේරාගත් භාණ්ඩ විකිණීම සඳහා භාවිතා කරන ‘ඇන්ටික් කඩය’, ඔහුගේම රමණ රහස් අප වෙත (නො)සඟවා තබන ‘ඇන්ටික් කඩය’, ඔහුගේම ‘අදරැති’ දියණිය  මාරාන්තික රමණයකින් පසු මරා දැමෙන ‘ඇන්ටික් කඩය’ ඇතුළු සියල්ල ඉක්මවමින්, හඳගමයානු ප්‍රකාශන භාෂා ස්වරූපය මත මැවෙන ‘ඇන්ටික් කඩයකි’! එය අප මිය නොයා ජීවත්වන ඇන්ටික් කඩය පිළිබඳ සංකේතයක් ද අප වෙත සංඥා කරයි.

මගේ යෝජනාව මේ බහු සංඥා සපයන ‘ඇන්ටික් කඩය’ පමණක් ගෙන වෙන්ව සාකච්ඡා කිරීම ද අගනා බව ය.

පෙර කෞතුකාගාර මුරකරු හෙවත් වර්තමාන ඇන්ටික් කඩකරු, ඔහුගේ දියණිය, දියණියගේ හීරළු පෙම්වතා, පරිවාසයේ සිට පෙරළා පැමිණෙන මහේස්ත්‍රාත්වරියගේ පුතු යන සියල්ලන්ගේම චක්‍රීය ගමන් මාර්ග ඇන්ටික් කඩය පසුබිමෙහි තබමින් තැනෙයි. මුරකරුගේ නිවස තැනී ඇත්තේ, භෞතිකව නම්, ඇන්ටික් කඩයේ උඩුමහලේ ය. ගායන හා වාදන වෘන්දය හමුවන්නේ ඇන්ටික් කඩයට වම් පසින් පහළ වේදිකාවේ ය. ඒ හැටි දෙයක් නොවුණත්, ඇන්ටික් කඩය වේදිකාවේ විශාල අවකාශයක් අරාගනිමින් රැඳෙයි. මේ ‘ඇන්ටික් කඩය’ කුමක් විය හැකි ද?

සංස්කෘත නාට්‍යයේ සිට මෙරට ගැමි නාටකය හරහාත්, නෝ කබුකි හරහාත් ගමන් කරමින් සරච්චන්ද්‍ර තැනූ ‘දේශීය නූතන නාට්‍ය සම්ප්‍රදායේ දී’ චරිත සිය අවකාශ සොයා යන්නේ චක්‍රීය ගමන් පථවල ය. මෙහිදී සියල්ලෝ ඒ ගමන් පථ හා සමාන ගමන් පථවල යති. අප වසර 75ක් පමණ තිස්සේ ඉහළ තලයක ලා අගයන චක්‍රීය ගමන් පථය පසුපසෙහි ඇන්ටික් කඩය තබමින්, හා ඇන්ටික් කඩය සාපේක්ෂව අක්‍රීය අවකාශයක් බවට හරවමින්, හඳගම සිය නව ප්‍රකාශන අඩවිය විමසන්නට අපට ආරාධනා කරන බව පෙනේ.

සරච්චන්ද්‍ර තැනූ චක්‍රීය ගමන් පථය පසුපස දෘශ්‍යමාන ඇන්ටික් කඩයක් නොතැනුණ ද ඒ පසුපසින් නැගී ආ දෘෂ්ටිවාදාත්මක ප්‍රවේශ අපට ඇන්ටික් ලොවක් තනා දුන් හ. ඒ සමාජ, දේශපාලනික කතිකාව ඛේදාන්තයකින් පසු ඇන්ටික් කඩ අප වෙත තබන සමය වන විට හඳගම පැමිණ එය අපට පෙන්වා ඇත. එබැවින්ම මේ අඳුරු, චරිත එතරම් ඇවිද නොයන, වාද්‍ය/ගායන වෘන්දය විමසන්නට හෝ නොසිතන ‘ඇන්ටික් කඩ’ අවකාශය විසුණු කොට විමසිය යුත්තේ අප ද? ඒ හරහා අප සොයාගත යුත්තේ ‘ඇන්ටික් කඩ’ අවකාශවල අප නොමැරී ගත කරන ජීවිත ද?

‘ඇන්ටික් කඩය’ බහු-කියවීම් නිතැනින්ම තනන අවකාශයක් බැවින් මට එරෙහිව අතීත උරුමයෙන් ගත් ආයුධයක් ‘ඇන්ටික් කඩ’ අවකාශයෙන්ම ගෙන දමා ගසා ඔබටත් තවත් මාර්ග යෝජනා කළ හැකි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා - 

Thursday, April 8, 2021

ලක්ෂපති සහ වොයිස් ශ්‍රී ලංකා: නාලිකාවක සමාජ ප්‍රවේශය

  (2021 මාර්තු 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)

ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සංඛ්‍යාව ජනගහනයට සාපේක්ෂව ඉතා ඉහළ අගයකි. සංඛ්‍යාත ඔස්සේ බෙදා හැරෙන, භාෂා තුනකින් අප වෙත ලැබෙන, නාලිකා ගණනාවකට අමතරව කේබල් නාලිකා විශාල සංඛ්‍යාවක් ඇසුරු කරන්නට ද දැන් ලාංකික ප්‍රජාවට ඉඩ ලැබී ඇත්තේ ඩයලොග් සහ පියෝ ටීවී යන සේවාවන් ඔස්සේ ය. සෘජුව විදේශයන්ගෙන් මිලට ගෙන බෙදා හැරෙන නාලිකා සියල්ල පසෙකින් තැබුව ද මෙම නාලිකා අප වෙත පිරි නමන දේශීය නාලිකා ගණන සුළු නැත. ඒ අතරට, නව මාධ්‍යමය, යූටියුබ් නාලිකා ද එක් කළහොත් ලැබෙන්නේ විශාල අංකයකි. ඒ අගය කොපමණදැයි මා දන්නේ නැත.

‘ඔබේ පවුලේ නාලිකාව’, ‘රූපවාහිනී මහගෙදර’ වැනි උද්‍යෝග පාඨයන් සමග කෙතරම් පෙරට කැඳවීමට උත්සාහ කළත්, බිඳ වැටී, දේශපාලනීකරණය වූ පරිපාලනයන් නිසාත්, නිර්මාණශීලී එළඹුම් නොමැති වීම නිසාත් ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනිය යන ප්‍රධාන රාජ්‍ය නාලිකා පෙර පවත්වාගෙන ආ ඇගයුම් කටයුතු තත්වයන් බිඳ දමාගෙන ඇති බව නොරහසකි. විශේෂයෙන් 90 දශකය තුළ සිරස ටීවී හා සමග පෞද්ගලික නාලිකාවන්හි තරගකාරීත්වය ඉහළ නැග ඒමත් සමග රාජ්‍ය නාලිකා සිදු කළේ එම නාලිකාවන්හි ෂෝනරික ප්‍රවේශ කොපි කිරීම මිස අන් කවරකුදු නොවේ. එනයින්ම, ඒ ඒ සමයන්හි සාපේක්ෂව වඩාත් සාධනීය තැන හිමි කරගන්නේ යම් නිර්මාණශීලී මැදිහත්වීමක් සමග එන පෞද්ගලික නාලිකාවන් ය. එක් එක් සමයන්හි එය සිරස, දෙරණ, ස්වරණවාහිනී වැනි වැඩි ප්‍රේක්ෂක අවධානයක් ඇති නාලිකා අතර දෝලනය වන අයුරු නිරීක්ෂණය කළ හැකි ය.

2000 වර්ෂයෙන් පසු එළඹෙන මුල් දශකයේ ‘සිරස සුපර් ස්ටාර්’ වැඩසටහන සමගින් රියැලිටී ගීත ගායනා තරග ෂානරය මෙරට ප්‍රේක්ෂාගාරය අභියස තැබූ සිරස නාලිකාව ඉන් මඳ කළකට පසු ‘ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති’ ප්‍රශ්න විචාරාත්මක රියැලිටි වැඩසටහන ද ආලින්දයට කැඳවා දුන්නේ ය. විදෙස් රියැලිටි වැඩසටහන්වල ආකෘතික සමානකම් හෝ සෘජු අවසරයන් සහිත දේශීය ප්‍රති-නිර්මාණයන් ලෙස මෙහි නිර්මාණය වූ මෙම වැඩසටහන්, ඒ පසුපස සිටි දේශීය නිර්මාණ කණ්ඩායම්වල ශූරත්වය මත යම් වැඩි ආකර්ෂණයක් ද දිනාගත්තේ ය. වත්මනෙහි, දෝලනය වෙමින් පැවති ජනප්‍රියත්ව තරගයේ, පැහැදිලි බිඳ වැටීමකට පසු තීරණාත්මක පෙරගමනක් දිනාගෙන ඇත්තේ ‘ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති’හි පසුකාලීන නිෂ්පාදනය වූ ‘සිරස ලක්ෂපති’ සහ ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වෙන රියැලිටි ගායනා තරගාවලියක් වන ‘වොයිස්’ හි මෙරට තරගාවලිය වන ‘වොයිස් ශ්‍රී ලංකා’ ය.

මේ නිශ්චිත වැඩසටහන් යුගලය පිළිබඳ මෙම තීරයෙහි සටහනක් තැබිය යුතු බව මට හැඟුණේ ඇයි?

මාධ්‍යයන් පුරවැසියන් වෙනුවෙන් නොවන තැන දී ඊට එරෙහි වූ බලපෑම් කණ්ඩායමක් සියලු මාධ්‍ය ආයතනවලට සිය විරෝධතාව ප්‍රකාශ කරන්නට කළු පැහැයෙන් මුහුණු බැඳගෙන සංදේශ රැගෙන ගිය මොහොතේ සිරස ටීවී ආයතනය කටයුතු කළ ආකාරයට එරෙහිව එදවස මම ද අදහස් ප්‍රකාශ කළෙමි. තම මාධ්‍ය ආයතනය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන්ගේ මුහුණු රතු පැහැයෙන් රවුම් කොට දැක් වූ අවස්ථාවේ අප ලීවේ ‘මගේ මුහුණත් රවුම් කරපිය’ යනුවෙනි. ඒ, වඩා යහපත් මාධ්‍ය භාවිතයක් ඉල්ලා සිටින පුරවැසි කණ්ඩායමකට එරෙහි වීමට අපේ විරෝධය පෙන්වීමට ය. ඒ සිරස ටෙලිවිෂනය තුළම සාධනීය වැඩසටහනක් විකාශය කෙරෙද්දී එය ඇගයීමට ද අප පසුබට විය යුතු නැත. ඉහත වැඩ සටහන් ඒ සාධනීය ලකුණු අප වෙත තබයි.

විදෙස් රියැලිටි වැඩසටහන් දෙකක මෙරට ඉදිරිපත් කිරීම් ස්වරූප නිසාම ‘ලක්ෂපති’ සහ ‘වොයිස් ශ්‍රී ලංකා’ ටෙලිවිෂන රූපමය ආකර්ෂණයෙන් ඉදිරි ලකුණක් ගනී. ඒ සඳහා නියත වශයෙන් ආයතනයේ තාක්ෂණික නිර්මාණ අංශයේ දායකත්වය ද මේ වැඩසටහන් වෙත ලැබී ඇති බව පෙනේ. නමුත් මගේ අවධානය යොමු වන්නේ මෙහි ‘පිටපත’ පිළිබඳව ය!



රියැලිටිවලට පිටපත්?

රියැලිටි ටෙලිවිෂන තිරය මත ඇඳෙන්නේම පිටපතකින් තොර බව හඟවමිනි. බොහෝ විට ඉතා ඉසියුම්ව නැගූ පිටපතක් එහි නොතිබෙන්නට ද පුළුවන. එසේ වුවත්, එහි ලියැවෙන හෝ නොලියැවී නැගෙන පිටපත තැනෙන්නේ එය නිර්මාණය කෙරෙද්දී ය. ඉදිරිපත් වන්නාගේ, ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජික පිරිසගේ සමීප රූපයේ සිට දුර රූපය තෙක් ද, ඔවුන්ගෙන් අසන පැනයේ සිට නොඅසා මග අරින පැනය තෙක් ද ඒ පිටපත තුළ ඇත. එය සියල්ල රූගත කිරීමෙන් අනතුරුව සිදුවන පසු නිෂ්පාදන අවදියේ දී තැනෙන්නක් වුව වන්නට බැරි නැත. සිරසට ඇගයුම ලැබෙන්නේ මේ පසුබිමේ දී ය.

‘ලක්ෂපති’ සඳහා එන භාග්‍යා අබේරත්න සිංහරාජය විනාශ වීම පිළිබඳ සිය පිළිතුරෙන් ඔබ්බට ගොස් කරුණු දැක්වීම, ‘වොයිස් ශ්‍රී ලංකා’ වෙත එන ඒ. ආර්. ජිතේන්ද්‍ර "මම මේ ලෝකෙ වෛර කරන දේවල් දෙකක් තියෙනවා. ජාතිවාදය සහ ජාතිවාදීන්!” යනුවෙන් තමන් හඳුන්වා දෙමින් පැවසීම රියැලිටියක වඩා පොහොනි පියවරකි. දියව යමින් සූරා දමන පරිසරයක් අභියස, ජාතිවාදියෙන් මනුෂ්‍යත්වය පාගා දමන සමාජයක් අභියස ඉතා සීමාකාරී වැඩසටහන් හමුවේ මේ යොමුවීම් අගය කළ යුතු එබැවිනි. ‘ලක්ෂපති’ ප්‍රශ්න අසන්නා ලෙස චන්දන සූරියබණ්ඩාර ඉතා ආකර්ශණීය ලෙස ප්‍රශ්න නැගුව ද සෑම පිළිතුරු දෙන්නෙකුම සමාජ තත්ව පිළිබඳ එක්වරම සිය හඬ එතැන නගන්නේ නැත. ඒ බුද්ධිමත්ව තැනූ එහි පිටපතයි. ‘වොයිස් ශ්‍රී ලංකා’ වේදිකාවේ දී හිටිවනම තරුණයෙකු හෝ තරුණියක නගන්නේ ද ඒ යොමුවයි.

නාලිකා වැසි වැස්සවිය හැක. සොයාගත නොහැක්කේ මනුෂ්‍යත්වය හා සමාජ වගකීම හා වගවීම සහිත මාධ්‍ය භාවිතයයි. ඒ දෙස හැරී බලන මාධ්‍යයකට වුව අප ආචාර කළ යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -