Wednesday, December 19, 2018

හෙට දවස: ආදරයේ අනාගතය ද? ආත්මාරක්ෂාවේ අනාගතය ද?


(2018 දෙසැම්බර් 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

පාසැල් අවදියේ පටන් එකට උන් මිතුරෙකු කලකට පසු හමුවීමේ අවස්ථාව මෑතකදී මට ලැබිණ. පාසැල් සමයේත්, ඉන්පසු වසර කිහිපයකුත් ඉතා සමීපව ඇසුරු කළ මිතුරා, මගේ විශ්වවිද්‍යාල ගමනත්, ඔහුගේ රැකියාවත් විසින් ක්‍රමයෙන් දුරස් කරනු ලැබුව ද ඉඩ ලද විටක, ඉඳහිට මුණගැසෙමින් යළිත් මිතුදම් අලුත් කරගැනීමේ සිරිතක් අප අතර පැවතින. ඒ අයුරින් මෙවර ඔහු මට හමුවූයේ වසර ගණනක ඇවෑමෙනි. පෙර හමුවේ දී ළදරු පාසැල් අවදියේ වූ ඔහුගේ පුතු දැන් දොලොස් වැනි වියට ළඟා වෙමින් උන් අතර දියණිය ද පාසැල් ගමන ආරම්භ කොට තිබුණා ය. සතුටු සාමීචිය අතරතුර සිය පුතු ළඟට ගත් මා මිතුරා ඔහුගේ දස්කම් මවෙත පහදමින් මෙසේ කීවේ ය.

“දැං ඔරෙන්ජ් බෙල්ට් එකත් අරන් ඉන්නෙ. මෙහෙම හිටියට හොඳ ශක්තියක් තියෙනව. මාස්ටරුත් කැමතියි මෙයාට!“

පුතුගේ ආත්මාරක්ෂක සටන් කලාවේ දක්ෂතා ගැන මූලික පැහැදිලි කිරීමෙන් පසු ඔහු කීවේ, මේ ලිපියේ නිමිත්තට ද මා මෙහෙයවූ පහත ප්‍රකාශයයි.

“එන්න එන්නම රට අගාධෙට යනවනෙ මචං. ඉස්සරහට එන්නෙ මහ නරුම කාලයක්. අපිත් කොයි වෙලේ මැරෙයිද කවුද දන්නෙ. මුංට මෙහෙම දෙයක් උගන්නල තිබ්බම හිතට හොඳයි. අඩු තරමෙ නංගිව හරි බලාගනීනෙ!!“

මගේ මිතුරා තමන්ගේ මරණින් මතු සිය දරුවන්ගේ අනාගතය පිළිබඳව ද සිතා බලා තිබුණු අතර පිරිහෙන සමාජය හමුවේ ඔහු තෝරාගෙන තිබුණු පිළිවෙත නම් බාල දියණියගේ ද ආරක්ෂාව වෙනුවෙන් පුතුට කරාටේ උගැන්වීමයි!

ආත්මාරක්ෂාව පිණිස හෝ ඇතැම් විට ක්‍රීඩාවක් විලසින් හෝ සටන් කලාවන් ප්‍රගුණ කිරීම යහපත් ප්‍රවේශයකි. එහෙත් රටක අපැහැදිලි අනාගතය හමුවේ වඩාත් සුරක්ෂිතව ස්වකීය දරුවන්ගේ ආරක්ෂාව උදෙසා ඔවුන්ට ආත්මාරක්ෂක සටන් ප්‍රගුණ කරවීම පසුපස වන සමාජ දැක්ම කවරාකාරදැයි යළි විමසීම වටී. සමස්ථයක් ලෙස රටේ සමාජ විඥාණය ප්‍රකට කරවන මගේ මිතුරාගේ ක්‍රියාව හුදු පුද්ගලබද්ධ කලාපය ඉක්මවන කරුණක් බැවින් පොදු සාකච්ඡාවකට කැඳවීම වඩාත් උචිත බව මම කල්පනා කළෙමි.

මිතුරාටද පෙනී ගොස් ඇති පරිදි අපගේ රටේ ඉදිරි අනාගතය සුභ සිහින දකින්නට අවකාශ අවම වපසරියක් බව පැහැදිලි ය. මූලිකව දේශපාලනඥයින්ට වගකීම පවරා හිත හදාගන්නට බොහෝ පිරිසක් කල්පනා කළත් පුරවැසියන් ලෙස ඒ පිළිබඳ අප සියල්ල තුළ වන පොදු වගකීම ඉන් ඔබ්බෙහි පවතින්නක් බව මගේ යෝජනාවයි. ඒ කෙලෙසකින් ද?

පුරවැසියන් වඩාත් සබුද්ධික හා සංවේදී ප්‍රජාවක් බවට පත්වන්නට සියලු පසුබිම සළසන්නේ කුඩා අවදියේ පටන් ඔවුන් හමුවේ මුණගැසෙන සමාජ සංවිධාන පද්ධතියයි. මූලිකව ස්වකීය නිවස, දෙවනුව පාසැල, තෙවනුව ආගමිකස්ථානය සහ ඒ හා සමගාමීව ජන මාධ්‍යය යනාදී වශයෙන් මෙය අපිට ලේඛණගත කළ හැකි ය. මේ සියලු කුඩා සහ විශාල, සාපේක්ෂව පෞද්ගලික හා පොදු සංවිධාන මූලිකව පුරවැසියා යනු කවරකු ලෙස විග්‍රහ කොට ඇත් ද?

තරමක් විතැන් වූ අඩවි ඉඳහිට හමුවිය හැකි වෙතත්, දරුවන්ගේ ළමා අවදිය ගෙවෙන්නට සළස්වන ආකාරය දෙස විමසා බලන විට පවුල තුළ දරුවා පිහිටුවන ආකාරය හඳුනාගැනීම අපහසු නැත. දරුවන් සිය නව යොවුන් වියට පිවිසෙන්නේම අති වෙහෙසකර, ස්වකීය අවශ්‍යතාවට ඔබ්බෙන් වූ, (ශිෂ්‍යත්ව) තරග විභාග මානසිකත්වයක් සමග ය. ඇතැම් විට අනෙකා නොතකා දිවීමෙන් ලද ජයෙන් උද්දාමයට පත්වීමෙන් ඔද්දල් වූ හෝ දැඩි වෙහෙසකින් පසු ලද පරාජයකින් බිඳවැටීමෙන් වේදනාවට පත් වූ හෝ මනසක් එම දරුවන්ගේ උරුමය වී ඇතුවාට සැක නැත. සමානව පාසැල් ද ජයග්‍රාහකයින්ගේ මුහුණු සිය තාප්පවල ගසා, පරාජිතයින් යළි යළිත් ආන්තික සීමා වෙතම තල්ලු කර හරිමින් යට කී පවුල හමුවේ ආරම්භ වුණු තත්වයන් තව දුරටත් පෝෂණය කරයි. දරුවන් හමුවේ පාසැලත් මාධ්‍යයත් ඇතුළු සියලු කලාප ඉන් ඉදිරියට මුණ ගස්වන්නේ තරගයයි. කිසිදු සීමා මායිමක් (හෝ ප්‍රමිති සහතිකයක්) නොමැති ටියුෂන් පන්ති, තරගකාරීත්වයේ මූලික අදහස හෝ මුණ නොගස්වන, ජයම පමණක් ලැබිය යුතු බව සඳහන් වන ක්‍රීඩා, රියැලිටි තරග ඇතුළු මෙකී නොකී සියල්ල නිදහස් සිතුවිල්ලෙන් සපිරි, විවේක බුද්ධියෙන් ස්වකීය මනස මෙහෙයවන්නට සමත් පුරවැසියකු නිර්මාණය කරනු වෙනුවට, වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු ඈ, කරණීය තර්කනයෙන් යුතු, එනම් වඩාත් ඉහළ ආදායමක් ලැබිය හැකි රැකියාවක් සඳහා ඉලක්ක කරගත් තරග මානසිකත්වයකින් පමණක් හෙබි මනුෂ්‍ය ප්‍රාණියකු නිර්මාණය කෙරෙනු ලබයි. වෛද්‍ය හෝ ඉංජිනේරු ආදී වෘත්තීන් මෙහිලා අව තක්සේරු කිරීමට මා අදහස් නොකළත් එම අඩවි කරා යන වැඩි පිරිසකගේ (හෝ දෙමව්පියන්ගේ) මූලික ඉලක්කය වඩාත් තිරසාර ආදයමක් හා ‘හොඳ ජීවන තත්වයක් සහ පිළිගැනීමක්‘ මිස සමාජ පුරවැසියකු ලෙස සිය සක්‍රීය දායකත්වය රට හමුවේ තැබීම නොවන බව හඳුනාගැනීම අපහසු නැත.

දිගින් දිගටම මග හැරෙන සංවේදී සහ සංස්කෘතික මිනිසා බිහි කිරීමේ ක්‍රියාදාමය පාසැලේ පටන් ආගමිකස්ථානය හා ජන මාධ්‍යය යනාදිය හරහා යළි යළිත් අමතකව යද්දී හෝ අමතක කෙරෙද්දී ඒ වෙනුවට අපට නිරතුරුව මුණගස්වන්නේ අධික වේගයකින් දිවයන, තරගයම ජය සඳහා එකම මාවත ලෙස දකින, සාහිත්‍යය, කලාව, සෞන්දර්යය ආදී කලාප මග හැර දමන ඒකාකෘතික මිනිසකු බිහි කිරීමේ යාන්ත්‍රණයකි. බිඳ වැටීම් හමුවේ දිවි නැසීම හෝ නසා ගැනීම පිළිතුර වීම එවන් ඒකාකෘතික මිනිසකු හමුවේ අවසන් පිළිතුර වීම වටහා ගැනීමට මනෝ විද්‍යාවේ කෙළ පැමිණි ප්‍රාඥයකුගේ විමසීම් අත්‍යාවශ්‍ය නැත. ඉදින්, එවැනි කලාපයක දී ස්වකීය ආත්මාරක්ෂාව සඳහා දරුවකු කරාටේ ප්‍රගුණ කළ යුතු බවට මගේ මිතුරා (හෝ සමාන පුරවැසියා) සිතීම අරුමයක් නොවේ.

එහෙත් වඩාත් ඉදිරිගාමී සිතීමකදී මෙය තව දුරටත් අප අර්බුදය තුළම සිරකිරීම සිදු කරන බව වටහාගැනීම අසීරු නැත. අපගේ දරුවාගේ කරාටේ පහරට ලක් වන අනාගත අනෙකා කවු ද? ඔහු අපේ දරුවාගේ පහර ඉවසමින් පසෙකට වෙයි ද? ඔහු අත කරාටේ සටන් කලාව ප්‍රගුණ කළ කවරෙකු හෝ නැසිය හැකි අවියක් නොපැවතීමේ සම්භාවිතාව කුමක් ද? එය භාවිත කිරීමට හෝ නොකිරීමට ඔහු තුළ ඇති ඉවසීමේ සීමාව අප හඳුනාගන්නේ කෙසේ ද?

මෙම ප්‍රශ්න මාලාව තව දුරටත් දිගු කළ හැකි වුවත්, මාගේ මූලික තර්කය වටහා ගැනීමට ඔබ සමත්ව ඇතැයි මම සිතමි. අසීරු වුවත් අප වහා තෝරාගත යුත්තේ අනෙත් මාර්ගයයි!

කිසිදු අයුරකින් සමාජයේ සෙසු පුරවැසියන් ප්‍රතිවාදීන් ලෙස නොදකින සමාජයක් නිර්මාණය කිරීම, මානව පැවැත්ම අගයන, අනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීම එම මාර්ගයයි. ඒ සඳහා සමාජ ඇගයුම් හා ප්‍රතිමාන ලෙස අප හඳුනාගෙන ඇති දේ යළි විමසමින්, අධ්‍යාපනය, සන්නිවේදනය, ආගම ආදිය වඩාත් දියුණු පුරවැසි සමාජයක් නිර්මාණය කිරීම සඳහා භාවිත කළ හැකි ස්වරූප විමසා බැලිය යුතු ය. සාමූහික විඥාණය යන්නෙහි අරුත පුළුල්ව විමසමින්, සාමූහික වගකීම් හා වගවීම් පිළිබඳ සාකච්ඡාව අරඹමින් අපට මෙම කටයුත්තට මුල් පියවර තැබිය හැකි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

 සේයාරුව: https://i1.wp.com/www.budo-inochi.com 

Tuesday, December 11, 2018

සම්මාන වේදිකාවේ විරෝධ ප්‍රකාශන: තරුණ නාට්‍ය සම්මාන වේදිකාවෙන් ඔබ්බට


(2018 දෙසැම්බර් 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“දෙවියන් හොඳයි. දෙවියන් විශිෂ්ටයි. බින් ලාඩන්ගේ දෙවියන් නරකයි. උගේ දෙවියන් නරක කෙනෙක්. සදාම් හුසේන්ගේ දෙවියන්, උට එහෙම කෙනෙක් හිටියෙ නැති නම් හැර, නරක කෙනෙක්. ඌ ම්ලේච්ඡයෙක්. අපි ම්ලේච්ඡයෝ නෙවෙයි. අපි මිනිස්සුන්ගෙ බෙලි කපා දාන්නෙ නෑ. අපි විශ්වාස කරන්නෙ නිදහස. හරියට දෙවියන් වගේ!....“

මේ 2005 වර්ෂයේ දී නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද බ්‍රිතාන්‍ය ජාතික නාට්‍යකරුවකු හා රචකයෙකු වූ හැරල්ඩ් පින්ටර් සිය සම්මානය ලබා ගැනීම වෙනුවෙන් සිදු කළ දීර්ඝ දේශනය අතරතුර දී සිදු කළ එක් ප්‍රකාශයකි. ‘මගේ දෙවියන්‘ යනුවෙන් ඔහු මෙහි සඳහන් කරන්නේ ස්වකීය දෙවියන් ගැන නොවේ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ දෙවියන් ගැන ය. එවකට, ඔහුගේ දේශනයට අනුව, මූලිකව ජෝර්ජ් බුෂ් (කණිෂ්ඨ)ගේ  දෙවියන් ගැන ය. ජෝර්ජ් බුෂ්ට දේශන ලියා දෙන්නට කොතරම් දක්ෂ දේශන රචකයින් ඇතත් තමන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඉහත කොටස ද ඇතුළත් දේශනය බුෂ්ට ලියා දෙන්නට සූදානම් බව පින්ටර් සඳහන් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය විශ්ව ව්‍යාප්ත මට්ටමින් සිදු කරන ත්‍රස්තවාදය පැතිරවීම්, ම්ලේච්ඡ යුද්ධ හා ඝාතන ආදියට විරෝධය පළ කරමින් උපහාසය මුසු ආවේගාත්මක ස්වරයකිනි.

ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ නාමයෙන් 1901 වසරේ පටන් පිරි නැමෙන, ලොව විශිෂ්ටතම ත්‍යාග අතුරින් ඉහළින්ම තැබෙන, සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගනිමින් හැරල්ඩ් පින්ටර් එය වේදිකාවක් කරගන්නේ නාට්‍ය රචනය හෝ සාහිත්‍යය ගැන යමක් කියන්නට නොවේ. මූලිකව ආසන්න සමයේ ඉරාකය හමුවේ ඇමරිකා එක්සත් ජනපදය දියත් කළ මිලිටරි මැදිහත් වීමත්, ඊට පෙර සමයන්හිදී විවිධ ආකාරවලින් නිකරගුවාව, එල් සැල්වදෝරය, ඉන්දුනීසියාව, ග්‍රීසිය, හයිටි, බ්‍රසීලය, පැරගුවේ, තුර්කිය, පිලිපීනය, ගෝතමාලාව සහ චිලී රාජ්‍යය ඇතුළු රටවල දේශපාලනික අවස්ථා හමුවේ සෘජුව හා වක්‍රව මැදිහත් වෙමින් සිදු කළ හෝ සිදු වන්නට අනුබල දුන් ම්ලේච්ඡ සංහාර, මිනිස් ඝාතන හෝ මිනිස් ජීවිත අර්බුදයට යැවූ අරගල නිර්මාණය කිරීමත් විවේචනය කරන්නට ය. “මහා මිනිස් සංහාරකයෙකු ලෙස නම් ලබන්නට‘ කොතරම් නම් ජීවිත ප්‍රමාණයක් බිල්ලට ගත යුතු දැයි ඔහු නිර්භයව ඇමරිකානු ජනපතිවරයාගෙන් (හා සෙසු ලෝකයෙන්) ප්‍රශ්න කරයි.



සම්මාන වේදිකාව මනුෂ්‍යත්වයට එරෙහි භීම පාලකස්ථානයට එරෙහිව හඬ නගන්නට හෝ වෙනයම් අයුරකින් ස්වකීය ආස්ථානය ප්‍රකාශ කරන්නට භාවිත කළ එකම පුද්ගලයා හැරල්ඩ් පින්ටර් පමණක් නොවේ. එසේම එය මෙවැනි ප්‍රකාශවලින් පමණක් සිදු වී ඇති දෙයක් ද නොවේ. සම්මානය ප්‍රතික්ෂේප කිරීම, එය ලබාගෙන තමන් විශ්වාස කරන සුදුස්සාට එය ලැබිය යුතු බව ප්‍රකාශ කරමින් යළි වෙනත් අයෙකුට ප්‍රදානය කිරීම, සම්මානය ලැබීමෙන් පසු ලැබෙන අවස්ථාවේ සිය අදහස ප්‍රකාශ කිරීම මගින් යම් විරෝධයක් හෝ අදහසක් සමාජගත කරන්නට කටයුතු කිරීම මෙන්ම ලැබුණු සම්මාන පසුකාලීනව යළි භාර දීම මගින් ද විවිධ රටවල පුරවැසියන් සිය ජයග්‍රාහී කලාපයෙන් බැහැරව ස්වකීය දේශපාලනික හා සමාජ වගකීම වෙනුවෙන් උර දී කටයුතු කර ඇත.

මා මෙම කලාපය වෙත මෙවර අවධානය යොමු කරන්නට තීරණය කළේ පසුගියදා නිමාව දුටු යෞවන සම්මාන උළෙලේ දී තරුණ නාට්‍යකරුවන් දෙදෙනෙකු වූ සුරීන් චාමර සහ කසුන් චතුරංග විසින් උදය ගම්මන්පිල සහ දුමින්ද දිසානායක යන දේශපාලඥයින් අතින් සිය සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පැන නැගුණු කතාබහ හේතුවෙනි. සුරීන්ගේ සහ කසුන්ගේ ප්‍රතික්ෂේපය වීර ක්‍රියාවක් ලෙස දැකීම මෙන්ම ‘බාල මෝඩ ක්‍රියාවක්‘, උද්දච්චකමක්, පණ්ඩිතකමක් නොඑසේනම් නූගත්කම නිසා සිදු කළ ක්‍රියාවක් ලෙස වරනැගීම ද මූලිකව සමාජ මාධ්‍ය ජාල හමුවේ වූ පසුවදන් තුළ සඳහන්ව තිබෙනු දුටිමි.

බලාධිකාරියේ නියෝජිතයින් වන දේශපාලකයින්ට සිය අදහස් සමාජගත කිරීම සඳහා විවිධ මාධ්‍ය කලාප නිරතුරුව විවරව ඇත. අප රට හමුවේ වඩාත් ඛේදනීය තත්වයක වන මෙම අවකාශය සෘජුවම පාලකයාගේ අදහස් පමණක්, කිසිදු සත්‍ය අසත්‍යතා විමසිල්ලකින් තොරව, මහජනතාව අභියස තැබීමේ කලාපයක් බවට ඌනනය වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය, නීතිය, සදාචාරය, යහපාලනය ආදී ඉතා වැදගත් හා උත්තර ඇගයීම් හුදු අක්ෂර කිහිපයක එකතූන් පමණක් බවට පත් කර ඇති වර්තමාන දේශපාලන විකට පිටිය අභියස මාධ්‍යයත් යළි යළිත් අවකාශ සළසා දෙන්නේ එහි වන කිසිදු විනිසුරුවකු නැති, කාගේ ගෝල කණු කාගේ දැයි අපැහැදිලි මේ අභූතරූප නාටකයටම නම් අප කුමක් කළ යුතුදැයි යන පැනය වගකීම්සහගත පුරවැසියකු තුළ ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. ඉතා සුළු ඉංගිතයකින් හෝ ඉතා කෙටි පියවරයකින් හෝ මේ විකාරරූපී පන්දු කෙළියෙහි යෙදෙමින් සමස්ථ රටක අනාගතය අනතුරේ හෙළන විපරීතයින්ට විරෝධය පළ කිරීමට යමෙකු පියවර ගන්නේ නම් ඔහුට හෝ ඇයට ගෞරවය පුද කළ යුතු බව මම යෝජනා කරමි.

සාහිත්‍ය, නාට්‍ය, සිනමා කෘති ඈ විවිධ කලා ප්‍රකාශනයන් වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් හෝ විවිධ ආයතනික මට්ටමින් සම්මාන ප්‍රදානය කිරීම හා ඇගයීම ග්‍රීක යුගය තරම්ම ඈතට දිවෙන බව අපි දනිමු. එහි වත්මන් භාවිතාව ස්වරූප ගණනාවකින් අප අභියස වෙයි. “ඇමතිවරයා ඇඳ දෙන කොටු තුළ මම අඹ ඇට නොපනිමැයි“ සඳහන් කරමින් රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා තමන් සම්බන්ධ වන නාට්‍ය ඉදිරිපත් කිරීමට විරුද්ධ වූ මා මිත්‍ර තරුණ නාට්‍යකරුවෙක් තර්ක කර සිටියේ නාට්‍ය උළෙලක නිර්ණායක සෘජුවම රාජ්‍යයේ අවශ්‍යතාව නියෝජනය කරන හෙයින් ද, වඩාත් මර්ධනකාරී ලෙස කලාකරුවන් ඇතුළු පුරවැසියන් හමුවේ රාජ්‍යය කටයුතු කරමින් පවතින හෙයින් ද, ඔවුන්ගේ උළෙල ප්‍රතික්ෂේප කිරීම වඩාත් උචිත බවයි. එසේම විරෝධතා එක් එක් ස්වරූපවලින් පැමිණිය හැකි බව මෙරට සම්මාන ඉතිහාසය ද අපට පෙන්වා දී ඇත. රෝසි සේනානායකගෙන් සම්මාන නොගෙන වේදිකාවෙන් බැස ගිය සුනන්දා රණසිංහ, සිය සම්මානය සඳහා ලැබුණු රුපියල් ලක්ෂයක මුදල යාපනය පුස්තකාලය ගොඩ නැගීම සඳහා ලබා දෙන්නැයි ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි අශෝක හඳගම, තමන්ට ලැබුණු සම්මානයට නියම සුදුස්සා ප්‍රේමසිරි කේමදාසයන් බව කියූ එච්.එම්.ජයවර්ධන, විජය කුමාරතුංග සිරගත කිරීමට විරෝධය පාමින් සම්මානය ප්‍රතික්ෂේප කළ ප්‍රේමසිරි කේමදාස ආදී උදාහරණ මතකයට නැගෙතත් අප කිසිවකුගේ මතකය තුළ පවා සඳහනක් ඉතිරි නොකරමින් අප්‍රසිද්ධියේම සම්මාන ප්‍රතික්ෂේප කළ පිරිසක් ද වන බව අප සිහිතබා ගත යුතු ය.

සුරීන්ගේ සහ කසුන්ගේ සම්මාන උළෙල විරෝධය වඩා පුළුල් අවකාශයක තබා සාකච්ඡා කරමින් කලාකරුවාගේ භූමිකාව, ඔහුගේ වැඩබිම වන වේදිකාව තුළ පමණක් නොවන බවට වන අදහස අප විමසා බැලිය යුතු ය. ඒ හා සමග අප වහා සිදු කළ යුත්තේ සුරීන් හා කසුන් වෙතින් සෘජුව විරෝධය එල්ල නොවුණු, කලාකාර භූමිකාව තුළ රැඳෙන බවක් දක්වමින්ම, ඉහත කී පාලනාධිකාරයේ නියෝජිතායතන බවට පත්ව ඇති සූරසේනලාගේ භූමිකා විමසීම ය. කලාව හා දේශපාලනය යා කරමින් ඔවුන් ඇඳ ඇති නිර්ලජ්ජිත රේඛා හෙළි කරගැනීම සුරීන් හා කසුන් වැනි අනාගත තරුණ කලා ප්‍රකාශකයින් හැරල්ඩ් පින්ටර් වැනි අභීත නිර්මාණකරුවන් තෙක් ඔසවා තැබීමට දායක වනු ඇත. කලාව මතු නොව දේශපාලනයේ අනාගත හැඩරුව තීරණය කරන්නට ද දායක වනු ඇත.

-ප්‍රියන්ත ෆොන්සේකා -  

Wednesday, December 5, 2018

විජයසිංහලා සහ ‘අළු පැහැති ආරංචි’: මහ මග ඝාතනවලින් පසු

(2018 දෙසැම්බර් 02 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

ලියනගේ අමරකීර්තිගේ ‘අළු පැහැති ආරංචි’ කෙටි කතා එකතුවේ එන, පොතෙහි නමින්ම යුතු කෙටි කතාවේ මුඛ්‍ය චරිතයක් වන විජයසිංහ, එතරම් අත්‍යාවශ්‍යතාවක් නොවූව ද, සිය නිවසට සීසීටීවී කැමරා සවිකර ගනියි. විජයසිංහ පවුලේ ඒකාකාරී අඳුරු ජීවිතය කෙමෙන් ‘ආලෝකය’ වෙත යොමු වන්නේ මෙම කැමරා සවි කිරීමත් සමග ය. ඔවුන්ට ඔවුන්ගේ නිවසේ බිත්ති මායිමෙන් ඔබ්බෙහි වන ලෝකයේ සිදුවන, කිසිදු වැදගැම්මකට නැති දේවල්වල සිට කිසිසේත් නොසිතූ දේවල් ද මුණගැසෙන්නේ මේ කැමරා විසින් නොකඩවා රූපගත කර දෙන ‘අළු පැහැති රූප’ හරහා ය; අළු පැහැති ආරංචි හරහා ය. ලෞකික දිවිය කෙමෙන් අතහැර යමින් සිටි විජයසිංහගේ දියණිය යළි පුනරාගමනයට තීරණයක් ගන්නේ ද ඒ ‘අළු පැහැති’ ලෝකය ඇයගේ නෙත් අභියස ප්‍රතියමාන වීමත් සමග ය.

පසුගිය දා මාතරදී ගැටවරයකුගේ පිහි පහරකින් මහ මග දහවලක තවත් ගැටවරයකු මරුමුවට පත්වීම ද, තද කළු පැහැයෙන් ලියැවිය යුතු වුව, එවැනිම ‘අළු පැහැති ආරංචියක්’ ලෙස අසල නිවසක සීසීටීවීයක සටහන්ව තිබිණ. ලංකාවේ සියළුම ‘විජයසිංහලා, නෝනලා සහ දුවා දරුවන්’ වහවහා සිය දේශීය සීසීටීවී විකාශන නාලිකා අභියසට එදා රාත්‍රියේම එක්රොක් වූ අතර මේ ‘අළු පැහැති ආරංචිය’ සියැසින් දැකගනිමින්, සිය ‘ජාතික නිවසෙහි’ තාප්පයෙන් ඔබ්බෙහි සිදු වූ සිද්ධිය ‘රස විඳගෙන’ පසුදා එළි වන්නට මත්තෙන් ඒ පිළිබඳ විවිධ නිර්වචන, අදහස් හා උදහස් සමාජ මාධ්‍යජාලවලටත්, සිය දෛනික කතාබහ තුළටත් මුදා හරින්නට පටන් ගත් හ. ‘සීසීටීවී විකාශනවලින්’ පමණක් ‘විජයසිංහ පවුල්’ තෘප්තිමත් නොවන බැව් දත් නාලිකා මුදලාලිලා වහාම සිය හිත්පිත් නැති කැමරා මියගිය ගැටවරයාගේ නිවසට පිටත් කර හැර දෙවැනි දින රැයේ ආරංචි බලන්නට එන පිරිස තෘප්තිමත් කිරීමට ඔහුගේ මවගේ ද වැළපෙන රූප මාලාවක් එකතු කර ගෙන ආහ.

පසුගිය දින කිහිපය තුළ රටේ ජන නායකයින් ප්‍රජාතන්ත්‍රවාදය සමග සිදු කරන පන්දු ක්‍රීඩාව අතරතුර තරමක හෝ වැඩි ආකර්ෂණයක් හිමි වූයේ මෙම ආරංචි එකතුවට ය. ගැටවරයාගේ මරණයට පිහිය මෑනූ අනෙක් ගැටවරයාගේ පෙළඹවීම ‘දෙවැනි ඉනිම’ වැනි ටෙලි නාට්‍යයකට, පාර්ලිමේන්තු පිහි-මිරිස් කුඩු ගැටුම්වලට, ‘අපි දකුණේ කියා පෝස්ට් දමා අහක බලාගෙන ගිය මගියන්ට’ භාර දීමට බොහෝ දෙනෙක් වහ වහා කටයුතු කළේ එම ඝාතනයේ වගකීම එවැනි කලාපයකට දැමීම බැලූ බැල්මටම වඩාත් පහසු කටයුත්ත නිසා වන්නට ඇත. එහෙත්, පළමුව මේ ගැටවර මරණය කාගේ වරදක්දැයි අප සැබවින්ම හැරී විමසා බලන්නට සූදානම් ද? එය ජාතික පුවතක් බවට පත් කරමින් නිවසක එක් රහස් කැමරාවක දර්ශනයක් ඔස්සේ පටිගත වූ ඝාතනයක් ‘විශ්ව මහජන දැක්මක්’ බවට පත් කිරීමේ ඇති සදාචාරාත්මක බව අප විමසූයේ ද? මගේ පිළිතුර නම්, පුරවැසි ප්‍රජාවක් ලෙස මේ මූලික ප්‍රශ්න දෙක හමුවේම අප සෘණාත්මක පිළිතුර නියෝජනය කරන පක්ෂයට වැඩි බරක් දක්වන බවයි.

පළමුව, මහමගට බැස දරුවන් පිහි, කඩු, කිණිසි හා/හෝ වෙඩි උණ්ඩවලින් පවා ජීවිත පරදුවට තබමින් සටන් කරන්නට පෙළඹී ඇති සමාජ පසුබිමෙහි මූලයන් විමසන්නට අප පියවර ගත යුතු ය. මෙයට පිළිතුර වශයෙන් ‘ඔබේ දරුවා ද වහා දහම් පාසැල් එවැන්නැයි’ එක් ගුරුවරියක් සමාජ ජාලයක් හරහා ඉල්ලීමක් කර තිබෙනු මම දුටිමි. ආධ්‍යාත්මික වශයෙන් නිවී සැනසවීම මගින්, ආගම ඔස්සේ ද යමෙකු ශික්ෂිත පුද්ගලයකු බවට පත් කිරීමට යම් ඉඩක් ඇත්තේ වුව, බහුතර දරුවන් දහම් පාසැල් වෙත බලය යොදා තල්ලු කර හරමින්, දිනපතා බණ හා පිරිත් අස්සවන සමාජයක අප දැනටත් ජීවත් වන බව අප අමතක නොකළ යුතු ය. ප්‍රධාන පිළිතුර දහම් පාසැල් සීමාවෙන් ඔබ්බෙහි වන්නක් බව වටහාගත යුතු ය. මානව සමාජයේ දී අනෙකාට ගරු කිරීම, වඩා පොහොසත් මනසකින් අනෙකා දෙස බැලීම, අරගල කළ යුත්තේ අනෙකා නැසීමට නොව නැගීමට බව තේරුම් ගැනීම ඇතුළු සියල්ල දියුණු පුරවැසි සමාජයක් නිර්මාණය කිරීම සඳහා වන මූලික අවැසියාව සමග එන්නකි. ආර්ථික ප්‍රගතිය හරහා රට සිංගප්පූරුවක් බවට පත් කිරීමෙන් පමණක් සියල්ල දිනාගත හැකි ය යන විශ්වාසය සහිත පාලකස්ථානයක් හා ඒ අනු දකින පුරවැසි සමාජයක් සමග වඩාත් දියුණු සිසු පිරිසක්, තරුණ ප්‍රජාවක් තනාගන්නේ කෙසේ ද? ඒ අනුවම යමින් දේශනා කරන පූජකස්ථානයකින් පෙරටුගාමී දෙසුමක් බලාපොරොත්තු වන්නේ කෙසේ ද?

අධ්‍යාපනය, කලාව හා සෞන්දර්යය, සන්නිවේදනය, ආගමික පැවැත්ම ආදී සමාජ සංස්කෘතික වටපිටාවෙහි පුරවැසි ගනුදෙණුව සමග පවතින මූලික සංකල්පයන් ප්‍රවේසම්කාරීව තෝරා විග්‍රහ කරගනිමින් කටයුතු කරන සමාජයක් නිර්මාණය කිරීම සඳහා අප ඉක්මණින් කටයුතු කළ යුතු ය. තරගකාරීත්වය වෙනුවට ඥාණ ගවේෂණය සමග ඇගයීමමුල් කරගත් අධ්‍යාපන ක්‍රමයක දී අනෙකා අපට මිතුරකු ලෙස හැඟෙනු ඇත. දියුණු කලා භාවිතයක දී අනෙකා අපට හිත්පිත් ඇති මිනිසෙකු ලෙස පෙනෙනු ඇත. වගකීම්සහගත සන්නිවේදනයක දී අපට දුර්වලතා මග හැර ගනිමින් අප යා යුතු නිසි මාර්ගය මුණ ගැසෙනු ඇත. වඩා පොහොසත් ආගමික ගණුදෙනුවක දී අපට සියලු ආගමික ඉගැන්වීම් ඇත්තේ කෙනෙකු පෙළීමට නොවන බව වැටහෙනු ඇත.

කැමරා දර්ශනයක සටහන් වූ පමණින් ඒ සියල්ල මහජන ප්‍රදර්ශනයට කැඳවීමේ ‘නරුම පුරුද්ද’ යළි තහවුරු කරන්නේ සන්නිවේදනය හමුවේ පැවතිය යුතු මූලික ආචාරධාර්මික පැවතුම් අප දශමයකින් හෝ විමසා නොබලන බවයි. එය මා ඉහත කී සියලු කාරණා හමුවේ රටක් ලෙස අප අසමත්ව ඇති බවට මනා නිදර්ශනයකි. මාතර මරණය පමණක් නොව දිනකට මාර්ග අනතුරු ඇතුළු විවිධ මරණ, මාරක අනතුරු හෝ හදිසි අනතුරු අප ආලින්දයේ සිට රාත්‍රී ආහාරය සමග ‘රස විඳින’ බව රහසක් නොවේ. ‘රස විඳීම’ යන්න මා යොදන්නේ ඒ මරණ හෝ අනතුරු දැක අප කම්පනය නොවන නිසා ය. වෙනදා මෙන්ම සැනසිල්ලේ නිදාගන්නා නිසා ය. ‘දෙවැනි ඉනිමට’ හෝ ‘පාර්ලිමේන්තුවට’ වගකීම භාර දීම සඳහා වන ෆේස්බුක් පෝස්ටුවක් ෂෙයා කිරීමට ඔබ්බෙන් අප පසු දින සිදු කරන කාර්යය කුමක් ද?

මිනීමැරුම් හෝ අනතුරු අවම කෙරෙන හා දෙවනුව අතුගා දැමෙන, වඩා ආරක්ෂිත සමාජ වටපිටාවක් නිර්මාණය කරගැනීම සඳහා එකාවන්ව කටයුතු කිරීමට අප අදිටන් කරගත යුතු ය. නීතිය හමුවේ පමණක් දිග හැරිය යුතු සංවේදී රූප රාමු ‘මහජන ප්‍රදර්ශනයට’ කැඳවන තක්කඩි මාධ්‍ය වෙළෙන්දන්ට එරෙහිව පුළුල් විරෝධයක් ගොඩ නැගිය යුතු ය. වගකීම්සහගත මාධ්‍ය භාවිතය යනු ඇති පදම් ‘සීසීටීවී’ දර්ශනවලින් තිරය පිරවීම නොවන බව මාධ්‍යයට නිරතුරුව සිහි කැඳවා දිය යුතු ය. ඝාතන සහ අනතුරුවල නීතිමය තීන්දු වෙත පිවිසෙන්නට පොලීසියට හා උසාවියට ඉඩ දී අනතුරු අවම, මානව යහගුණයෙන් සපිරි සමාජයක් තනන්නට මුල් තැන ගත යුතුව ඇති බව මාධ්‍යයට පහදා දිය යුතු ය.

‘දෙවැනි ඉනිම’ මෙගා ටෙලියකි. එහි අනුහස්ලාගේ සමල්කලාගේ ජීවන වෘත්තීන් පිළිබඳ විචාරාත්මක මනසකින් බලන්නට හැකි පුරවැසි ප්‍රජාවක් නිර්මාණය කරගන්නට අප කටයුතු කළ යුතු ය. අප වැඩිපුර බිය විය යුත්තේ අනුහස්ලාට සමල්කලාට හෝ ඒ දෙස බලා සිටින පිරිසට නොවේ. ‘දෙවැනි ඉනිමෙන්’ පසු පැයේ හමුවන ‘සීසීටීවී’ ප්‍රදර්ශනවල ‘අළු පැහැති’ තත්‍ය ඝාතන දෙස බලා සැනසී නිදයන ‘විජයසිංහලාට’ ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -