Monday, November 28, 2016

සැදූ මවක් වෙත සෙනෙහසින්! (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 9)



රොජර් ලියුන්ග් යනු අවිවාහක මැදි වියැති හොංකොං ජාතික සිනමා අධ්‍යක්ෂවරයෙකි. ඔහු, සිය පවුලේ මෙහෙකාරිය ලෙස වසර ගණනාවක් සේවය කළ, චුන්ග් චුන් නැමති, වයස්ගත මෙහෙකාරිය සමග හොංකොං පුරයේ තට්ටු නිවසක වාසය කරයි. සිය චිත්‍ර‍පට නිෂ්පාදන කටයුතු සඳහා නිතර පීකිං නගරය කරා දුවමින්ද, විවිධ රැස්වීම් ආදියට සහභාගි වෙමින් ද දිවි ගෙවන රොජර්ට නිවසේදී මුණගැසෙන චුන්ග් පෙනෙන්නේ, සිය අහර සරි කර දෙන, ඇඳුම් සකසා දෙන, කතා බහට එතරම් දේ නොමැති නිවසේ වෙසෙන එක්තරා ගැහැණියක් ලෙස පමණි. එක්තරා දිනක, පෙරළා නිවසට එන රොජර්ට ආඝාතය වැළඳී නිවස තුළ වැටී සිටින චුන්ග් හමුවේ. ඇය රෝහල්ගත කළ පසු, දිගු කලක් තිස්සේ සිය නිවස තුළ රැඳී සිටිමින් සිය දිවියේ සියළු අවැසියාවන් සපුරා ලූ චුන්ග් යනු හුදකලා සිය දිවිය පසුපස සිටි මව්ගුණැති සෙවණැල්ල බව ඔහුට පසක් වේ.

ඈන් හුයි නමැති හොංකොං ජාතික සිනමාකාරිණිය විසින් අධ්‍යක්ෂණය කෙරුණු ‘සරල ජීවිතයක්‘ අරුතැති ‘Simple Life’ යනු 2011 වර්ෂයේ නිමැවුණු, ඉතා සෙමින් ගලා යන  ඇති රිද්මයක් සහිත ආකර්ෂණීය සිනමා කෘතියකි. මෙම චිත්‍ර‍පටය සිය සිනමා වෘත්තියෙන් සමුගැනීමේ කෘතිය බව සටහන් කරන්නට හුයි අදහස් කරගෙන සිටියද, චුන්ග්ගේ චරිතය නිරූපණය කළ ඩෙනී එල්පී වැනිස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගැනීම ඇතුළු කෘතිය දිනාගත් වෙසෙසි අවධානය එම තීරණය අනාගතය වෙත තල්ලු කරන්නට හේතු සපයා දුන්නේ ය.

චුන්ග්ගේ රෝගාතුර වීම රොජර් මෙතෙක් සිනමා රූප තුළ සෙවූ ජීවිතයේ අර්ථය සැබෑ දිවිය දෙසට හැරී විමසන්නට ඔහුට හේතු සපයා දෙයි. සිය උදෑසන තේ කෝප්පයේ පටන් සියල්ල නිසි පිළිවෙතකට අනුව සපුරා දුන් ඒ අරුම ගැහැණිය කවුරුන්දැයි ඔහු ජීවිතයේ පළමුවරට හැරී විමසා බලයි. තමන් කුඩා ළදරුවකු අවදියේ පටන් කළ කී දෑ සියල්ල පිළිබඳ මහරු මතකයන් සිත්හි දරාගනිමින්, විවාපත් නොවී සිය තරුණ දිවිය සිය පවුල වෙතම දියකර හරිමින්, කිසිදු අයුරකින් ඒ කිසිවකට මැසිවිලි නොනගමින් තම ජීවිතය හා සමාන්තරව, නිහඬව තමා දෙස බලා හිදිමින්, ගමන් කර ඇති චුන්ග් තව දුරටත්, ජීවිතයේ රෝගී සැඳෑ සමය තුළ මගහැර යා නොයුතු විශිෂ්ඨ ගැහැණියක බව රොජර් වටහා ගනියි. එතැන් පටන් ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් වෙන් වන්නේ චුන්ග්ගේ ජීවිතයේ සතුට සොයා දෙනු පිණිස ය.

මෙහෙකාරියක ලෙස නාමික ව හැඳින්විය හැකි වුවත්, ලියුන්ග් පවුලේ සාමාජිකාවක සමානව ජීවිතය ගත කර ඇති චුන්ග් රෝගී ජීවිතය ඔවුනට බරක් නොවී මහලු නිවාසයක ගත කළ යුතු බව තීරණය කරයි. අනේක විධ මහලු ජීවිත අතර ජීවිතයේ නේක ස්වරූප හඳුනාගනිමින් චුන්ග් ගෙවන ජීවිතය සිය ‘ප්‍රාණසම‘, පුතකු වැනි රොජර්ගේ ඇසුරින් පිරී යයි. සිනමාකරුවකු ලෙස ඔහු නිපදවන සිනමා කෘතියේ මංගල දර්ශනය කෙළවර, අසාර්ථක සිනමා පටය ගැන ඔහු හමුවේ අදහස් දක්වන්නට අකමැති ආරාධිතයින් ඔහු මගහැර පිටව යයි. පාළු වීදි මගෙහි ඔහු හා ඇවිද යන්නට ඉතිරි වන්නේ, මව හා සම තැන තබමින් ඔහු එහි කැඳවූ චුන්ග් ය.

“මම දැක්ක ගොඩක් අය චිත්‍ර‍පටිය මැද්දෙ නැගිටල යනව. මම හිතුව ඒ අය වැසිකිළියට යනව ඇති කියල. ඒත් කවුරුත් ආයෙම ආවෙ නෑ“ චුන්ග් රොජර් විමසන්නේ පාළු වීදියේ ඇවිද යන අතරතුර ය.

“ඒ ගොල්ලො ගියේ චිත්‍ර‍පටිය හොඳ නැති නිසා... මට මූණ දෙන්න අකමැති හින්ද!“

“හොඳ නෑ??? නෑ... ඒක හොඳ චිත්‍ර‍පටියක්!!“


චුන්ග් තුළ වෙසෙන රොජර්ගේ මව පැමිණ රොජර්ව අස්වසාලයි.

පසෙකින්, එක් එක් දිනයන්හිදී මෙලොවින් සමුගන්නා හෝ දුකට පත්ව සිටින මහලු නිවාසවාසීන්ගේ ජීවිත දෙස බලා කම්පා වන චුන්ග් ඒ අතරින් තම ජීවිතයේ වේදනාවන් නසන්නට තමන් සොයා එන රොජර්ගේ දයාබරිත බව හමුවේ සතුටට පත් වෙයි. දිනෙන් දින වියැකෙන ජීවිතය අවසන් වන්නට මත්තෙන් අතීතය පිළිබඳ බොහෝ දේ රොජර් සමග හුවමාරු කරගන්නට ඇයට හැකි වෙයි.

චුන්ග් සහ රොජර්... හොංකොං නමැති කුඩා නගර දේශයේ වීදි මත සරමින් ජීවිතයක වන අරුත අපට පසක් කරන්නට කැමරා කාචයට ඉඩ දෙයි. ‘A Simple Life’ යනු ඔබ මග හැර යා නොයුතු සිනමා වියමනක් වන්නේ ඒ පසක් කොට ගත යුතු ජීවිත අරුත් එම සිනමා රූප මත හිඳ අප දෙස බලා සිටිනා හෙයිනි. 

-      ප්‍රියන්ත ෆොන්සේකා -  

Saturday, November 12, 2016

දුවන්න ලෝලා දුවන්න! (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 8)

ලෝලාට සිය පෙම්වතා වන මන්නිගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබේ. අපරාධයක් අවසානයේ ලැබුණු මාර්ක් ලක්ෂයක මුදල් බෑගය රැගෙන ඔහුගේ පාතාල නායකයා වෙත ඒ රැගෙන යන්නට ලෝලා නොපැමිණීම හේතුවෙන් උමං දුම්රියක ගමන් කරන්නට මන්නිට සිදුවූ බවත්, හදිසියේම ටිකට් පරීක්ෂකවරයා පැමිණීම නිසා ලහිලහියේ දුම්රියෙන් බැස ගනිද්දී ඔහු අතින් මුදල් බෑගය මගහැරුණු බවත්, දුම්රියේ ගිය හින්නෙකු අතට ඒ පත් වනු ඔහු යාන්තමින් දුටු බවත්, හරියටම මධ්‍යාහ්නය වන විට මුදල් යළි පාතාල නායකයා අතට පත් නොකළහොත් ඔහු මරා දැමෙනු ඇති බවත්, දැඩි ආතතියකින් ඔහු කියාගෙන යයි. මන්නි හා මුදල් බෑගය ගෙන එන්නට යාමට නොහැකි වූයේ ලෝලාට ය. ඒ ඇයගේ කුඩා මෝටර් බයිසිකලය කවරකු හෝ සොරකම් කිරීම හේතුවෙනි. මන්නිගේ අදහස ජීවිතය රැකගනු වස් මුදල මංකොල්ල කන්නට ය. ලෝලාගේ අදහස.... මධ්‍යහ්නයට ඇති විනාඩි විස්ස තුළ කෙසේ හෝ මුදල් සොයා ගනු පිණිස.... දුවන්නට ය!

ඇය දුවන්නට පටන් ගනියි!

1998 වර්ෂයේ එළි දුටු ‘රන් ලෝලා රන්‘ (Run Lola Run) ප්‍ර‍කට ජර්මානු සිනමාකරු ටොම් ටයික්වර් විසින් නිර්මාණය කෙරුණු, ලෝක සිනමා ප්‍රේක්ෂක ආකර්ෂණය දැඩිව හිමි කරගත්, සිනමා පටයකි. සම්මාන 41කට නාමකරණය ලැබ ඉන් 26ක් දිනූ ‘රන් ලෝලා රන්‘ ලෝක සිනමාවේ විශිෂ්ඨතම කෘති සියය අතර සිය නම සඳහන් කරගන්නට 2010 වසරේදී වරම් ලබා ගත් සිනමා පටයකි. සාමාන්‍ය සිනමා කෘතියක අවම ධාවන කාලයටත් වඩා බොහෝ අඩු ලෝලාගේ දිව යෑමේ කාලය වන මිනිත්තු විස්ස තත්‍ය කාලය හා සමානුපාතිකවම අවසන් වෙමින් මිනිත්තු විස්සක් තුළ එහි ආඛ්‍යානය කෙළවරට පැමිණිය ද, කෘතියේ ඇති සුවිශේෂ බව වන්නේ එය යළි එක් සැනෙකදී ආරම්භයට පිවිස යළි ලෝලා මුල් මිනිත්තුවේ සිට දුවන්නට පටන් ගැනීමයි. චිත්‍ර‍පටය පුරා ලෝලා අතිශය සමාන පසුබිම් මතින්, ඉතා කුඩා තත්පරයක දෙකක වෙනසක් මත ඇය මුහුණ දෙන විසල් වෙනස්කම් හා ගැටෙමින්, සිය පෙම්වතාගේ ජීවිතය රැක ගනු වස් දිව යනු අපට පෙනෙයි.

බොහෝ සිනමා ආඛ්‍යානවලින් වෙනස් වන ‘රන් ලෝලා රන්‘ යනු සිය පෙම්වතා වෙනුවෙන් මිනිත්තු විස්සක් තුළ මාර්ක් ලක්ෂයක් සොයාගන්නට පෙම්වතියක දරණ වෑයමක් පමණකදු නොවේ. එය ඉතා කුඩා නිමේෂයකින් අප ඉදිරියෙන් හෝ පසුපසින් අප වෙත හමු වී මැකී යන ක්ෂුද්‍ර‍ අංශු මාත්‍ර‍යකින් හෝ අප මතකයක නොරැඳ‍ෙන සුළු සිදුවීමක් හෝ හමුවන නන්නාඳුනන්නෙක් වුව කෙතරම් දුරට අපගේ ජීවිතයේ ඉදිරිය වෙනස් කරන්නට ඉඩ ඇති දැයි අපට පසක් කර දෙමින්, ජීවිතයේ අරුමය හා අසිරියත් තවත් ලෙසකින් නිස්සාරත්වයත් එකවර හෙළි කරන අපූරු සිනමා පටයකි.

ආසන්නයේම ඇති සුපිරි වෙළඳසැල මංකොල්ල කා සිය ජීවිතය රැකගනු පිණිස මාර්ක් ලක්ෂයක් සොයන්නට මන්නි ගෙන ඇති තීරණය වළක්වන්නට බැංකු නිලධාරියෙකු වන සිය පියා වෙත දුවන ලෝලාට ඒ දිවීම අතරතුර මුණගැහෙන අංශු මාත්‍ර‍ දේවල්, එනම් නිවාස සංකීර්ණයේ පඩි පෙළ මත හමුවන බල්ලකු කැටුව යන මිනිසා, ළදරු කරත්තයක් තල්ලු කරගෙන යන කාන්තාව, පාපැදිකරුවා, සිය මෝටර් රථය හප්පාගත් ඇය හඳුනන මෙයියර් මහතා, වීදුරු තහඩුවක් මග හරහා ඔසවාගෙන යන කම්කරුවන්, වේගයෙන් ඇදී යන ගිලන් රථය ආදී සියල්ල යළි යළිත් මුල සිට ඇරඹෙන කතාව තුළ නැගී ඒ වෙනස් කාල නිමේෂ තුළ දී, එක්කෝ ඇයගේ ගමන දැඩි ලෙස තීරණය කරයි; නැතිනම් ඇයට මග හැරී යයි.

‘රන් ලෝලා රන්‘ ඔබට අන්තර්ජාලය මගින් පහසුවෙන් සොයාගත හැකි සිනමා කෘතියකි. එහෙත් ඔබ එය නැරඹිය යුත්තේ, චිත්‍ර‍පටයේ වේගවත් බව හා සමානුපාත නොවෙමින්, එහි කිසිදු නිමේෂයක් අත් නොහැර, ඉතා සාවධානව ය. ඒ එය සිනමා කාලය හා සමපාත වන ජීවිතයේ යථා කාලයේ මිනිත්තු විස්සක් පමණක් නොවන හෙයිනි.

ලෝලා දිව යන්නේ මූලිකව සිය ජීවිතය මිනිත්තු විස්සකින් උඩු යටිකුරු කරන්නට ඉඩ ඇති අසීමිත අවදානම පරදන්නට ය. එනම් ජීවිතය දිනන්නටය. ජීවිතය යනු තත්පර දශමයක් තුළ දැඩිව වෙනස් විය හැකි අරුමැති දෙයක් බව ලෝලා දිවයමින්ම අපට පසක් කර දෙයි. ඇයගේ මිනිත්තු විස්ස තුළ ඇය යළිත් හැරී මුල සිට දුවන විට ජීවිතය දිවගොස් වැළඳ ගත යුතු, පරාජය හිමි කරගත නොයුතු දෙයකැයි අපට ද පසක් වෙයි.

‘දුවන්න ලෝලා දුවන්න!‘

අපට ද මුර දෙන්නට සිතෙයි. ඒ කුඩා තත්පරයක් තුළ වුවත් ජීවිතයේ අසිරිය සැඟව ඇති බව සිනමා රූපය අපට පවසන හෙයිනි.



-      ප්‍රියන්ත ෆොන්සේකා -  

Friday, November 4, 2016

ආදරයට අලුත් වදනක් (ජීවිත සිනමාව/ රිවිර සිනමා කොලම - 7)




ඇනා සහ ජෝර්ජස් යනු ප්‍රංශයේ ප්‍රධාන නගරයක තට්ටු නිවාසයක දිවි ගෙවන අසූ විය ඉක්මවූ විවාපත් යුවළකි. විශ්‍රාමික පියානෝ ගුරුවරුන් වන ඔවුන්ගේ දියණිය ඊවා විවාහ වී නිවස හැර ගොසිනි. අතීතයේ සිය ශිෂ්‍යයන් ලෙස පියානෝ වාදනයට අත් පොත් තැබූවන් විශිෂ්ඨ වාදකයින් ලෙස ලබා ඇති ප්‍රගතිය දකිමින් සතුටු වන මෙම මහළු යුවළ හුදකලා නිවෙස තුළ එකිනෙකාගේ අවැසියාවන් විමසා බලමින් සිය ජීවිතවල සැඳෑ සමය ගෙවා දමමින් සිටිති. ඉතා සෙමින් ගලා බසින දෙදෙනාගේ ජීවිතයේ අවසන් කාල සමය එක් වරම තියුණු හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පිවිසෙන්නේ එක්තරා දිනයක, උදෑසන ආහාරය සඳහා මේසය වෙත වාඩි වන ඇනා, ක්ෂණිකවම හා නිහඬවම, ආඝාත තත්වයකට මුහුණ දීම සමගිනි. කිසිදු වදනක් නොදොඩා, කිසිදු හැඟීමකින් තොරව, එක් එල්ලයක් දෙස බලා සිටින සිය බිරිඳ ඇනා දකින ජෝර්ජස් ඇය රෝහලකට කැඳවාගෙන යාමට සූදානම් වුවත් මොහොතකින් ඇය පියවි ලොවට පිවිසේ. එහෙත් ඇගේ ශරීරය තව දුරටත් මොළය මගින් නිකුත් කරන විධානයන් නිසි ලෙස ක්‍රියාවට නොනංවන බව දෙදෙනාම වටහා ගනිති.

2012 වර්ෂයේ දී කෑන්ස් සිනමා උළෙලේ පාම් දිඕ සම්මානයත්, ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂිත චිත්‍රපටය සඳහා වන සම්මානයත් යන සම්මාන ද්විත්වයම දිනාගත් ඔස්ට්‍රියානු සිනමා කතුවර මයිකල් හැනිකේගේ ‘අමොර්‘ (Amour - ප්‍රංශ අරුත ආදරය යන්නයි.) ඇනා සහ ජෝර්ජස් මුහුණ දෙන මෙම ජීවිත සැඳෑ සමයේ වියපතුන්ගේ අභියෝගය විමසන සිනමා කෘතියකි. ලොව විශිෂ්ඨතම සිනමාකරුවන්ගේ ප්‍රමුඛ කෘති ලෙස ගැනෙන ජපාන සිනමාකරු යසුජිරෝ ඕසුගේ Tokyo Story සහ ස්වීඩන සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන්ගේ  Wild Strawberries යන නිමැවුම්වලින් අනතුරුව වයස්ගත වීම සහ මරණය සිනමා රූපය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කළ විශිෂ්ඨ සිනමා වියමනක් ලෙස ‘අමොර්‘ විසල් අවධානයක් හිමිකරගෙන ඇත. සෙසු සිනමා කෘති සේම හෝ ඊටත් වඩා ‘අමොර්‘හි වියපත් වීම හා මරණය හා බැඳී ආ අනෙක් ප්‍රමුඛ මානව දහම වූයේ ආදරයයි.

අසනීපය හේතුවෙන් ඇනා රෝහල්ගත කෙරුණු පසු යළි සුවය ලබා ඇය නිවසට එන්නේ රෝද පුටුවකිනි. රෝහල හමුවේ තමන් ලැබූ ඛේදනීය හැඟීම් මඟහරිනු වස් ඇය ජෝරජස්ගෙන් ඉල්ලන්නේ එක් කුඩා නමුත් අපහසු ඉල්ලීමකි. ඒ තමන් යළි කිසි විටෙක රෝහල වෙත ගෙන නොයන ලෙස ය. දියණිය ඊවාගේ මැදිහත්වීම් ද මග හරිමින්, ඇය විමසන සියල්ලන්ගෙන් ඇගේ රෝගී තත්වයේ සත්‍යය වසන් කර තබමින් ජෝරජස් ඇනාගේ ඉල්ලීම ඉටු කර දෙමින් ඇය රැක බලා ගනියි. දිනෙන් දින, සෙමින් වියැකී යන සිය ආදරණීය බිරිඳගේ ජීවිතාපේක්ෂාවන් හමුවේ මහළු ජෝරජස් සංකීර්ණතා රැසකට මුහුණ දෙයි. නිසි ලෙස නොලබන නින්දේ සිට අපිළිවෙල වූ ජීවිතය ඔහු හා සමව බෙදාගන්නට ඇනා ඔහු හා නිරෝගීව පසෙකින් නොසිටීමම ජෝරජස් වෙත ද උදා කරන්නේ පීඩිත කාල සමයකි. එසේ වුවත්, ඒ සියල්ල විඳ දරා ගනිමින්, සිය ආදරණීය ඇනා මනසින් හෝ ශක්තිමත් කරන්නට ඔහු යත්න දරයි.

“දවසින් දවස තත්වෙ ටික ටික හොඳ අතට හැරෙනව!“

ඔහු ඇනාට කියයි.

“මට බලා ඉන්න ඕනෙ නෑ. ඔයා හැමදේම ලේසි කරන්න පුංචි පුංචි ලස්සන වැඩ කරනව. ඒත් මට බලා ඉන්න ඕනෙ නෑ... ඒ මං හින්දමයි... ඔයා හින්ද නෙවෙයි“

“මම ඔයාව විශ්වාස කරන්නෙ නෑ. මම දන්නව ඔයාගෙ හැටි. ඔයා හිතනව ඔයා මට කරදරයක් වෙලා කියල. ඒත් මගේ තැන හිටියෙ ඔයා නං ඔයා මොකද කරන්නෙ?“

“මට මගෙ ඔලුව පිස්සු වට්ටගන්න බෑ ඒව හිතල... මට මහන්සියි. මට නිදා ගන්න ඕනෙ!“

වෙව්ලන, සෙමින් ඇවිද යන, අත් පා නිසි ලෙස හැසිරවිය නොහැකි, තනිකම උරුම වුණු ඇනා සහ ජෝරජස්ගේ ජීවිතයේ මේ අවසන් කාල සමයේ සිදුවීම් පෙළ වියපත් වීම සමග මහළු වී නොයන ආදරයේ අරුමය අපට පෙන්වා දෙයි. සිය ආදරණීය බිරිඳගේ පෙළීම් හා වේදනාවන් සමනය කරන්නට බොහෝ පියවර සොයා යන ජෝර්ජස් ඒ සියල්ල ඉක්මවූ තැන ඇගේ වේදනාවන්ගෙන් ඇය මුදවා ලනු පිණිස ආදරයම මුල් වූ තීන්දුවක් පෙරට කැඳවයි.

ජීවිතය සිනමාවට වඩා බොහෝ විශාල බව සැබෑවකි. එහෙත් සිනමා රූපය අප අභියස තබන ඒ විසල් ජීවිතයෙන් අසුලාගත් කැබලි ජීවිතය කවරේදැයි යළි යළිත් අපට පසක් කරවයි. ‘අමොර්‘ ඒ සිනමා ජීවිත වන්දනාවේ අපූරු නවාතැනකි. එහි තේමාව නැඟෙන්නේ මරණය හා වියපත් වීම මත වුව වියමනෙහි ප්‍රමුඛ ධාරණාව ආදරයයි.

අමොර්! ඒ ආදරයට අලුත් වදනකි.

-      ප්‍රියන්ත ෆොන්සේකා -

-