Tuesday, October 30, 2018

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දැන්වීම් පුවරුවෙන් එළි දකින බිහිසුණු යථාර්ථය


(2018 ඔක්තෝබර් 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි. එහි දී මෙය ‘සරසවි දැන්වීම් පුවරුවෙන් එළි දකින බිහිසුණු යථාර්ථය‘  මැයෙන් පළ විය.)

“දවසක් මම ඇවිද ඇවිද හිටිය ඇතැන්ස්වල පහළ වීදියෙ සොක්‍රටීස් එක්ක. පැන්නෙ නැද්ද ඇක්‍රොපොලිස් එක පිටිපස්සෙ ඉඳල ඉලන්දාරි හය දෙනෙක්! උන් ඉල්ලුව අපි ළඟ තිබුණු සල්ලි සේරම.“

“ඉතින්...ඉතින්... ඊට පස්සෙ මොකද වුණේ?“

“සොක්‍රටීස් ඔප්පු කළා ඉතාමත් සරල පැහැදිලි තර්කයක් යොදාගෙන, නපුර කියන්නෙ සත්‍ය වශයෙන්ම ඇත්ත නොදැනීම ය කියල!“

“ඊට පස්සෙ?“

“උං එතුමගෙ නහය කැඩුව!“
රෆායෙල්ගේ The School of Athens,  (1509) චිත්‍රයේ අංගයක්

මෙම දෙබස් කණ්ඩය මුණගැසෙන්නේ 2000 වර්ෂයේ නිෂ්පාදනය වුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෙටි නාට්‍යයක ය. කංචුකා ධර්මසිරි විසින් පරිවර්තනය කොට නිෂ්පාදනය වූ නාට්‍යයේ නම ‘දෙයියෝ‘ ය. එහි මුල් කෘතිය වුඩී ඇලන් නමැති සුප්‍රකට ඇමරිකානු නාට්‍යකරුවාගේ ‘The God’ නමැති නාට්‍ය පිටපතයි.

සිය නාට්‍ය කෘතියේ අවසානය සොයාගත නොහැකිව ග්‍රීක වේදිකාවක අසරණ වන නාට්‍ය රචකයෙකු හා නළුවෙකු පිළිබඳ හාස්‍යය මුසු පුවතකින් සමන්විත කෙටි නාට්‍යයෙහි ඉහත දෙබස හිටි අඩියේ හමුවන ‘ඩියුක්ස් එක්ස් මැෂිනාවකට‘ පින් සිදු වන්නට ගොඩ නගාගත් අවසානයක් සමග කතාව ඉදිරියට විකාශනය කරද්දී මුණ ගැසෙන්නකි. ග්‍රීක නළුවා ඒ වන විට සංවාදයේ යෙදී සිටින්නේ කොළඹ කෝච්චියකදී පිහි ඇනුම් කා මිය ගිය තරුණියක සමග ය. ‘කොළඹ විතරක් නොව කොහෙත් ඔහොම තමයි‘ යනුවෙන් නළුවා ප්‍රචණ්ඩත්වයේ අතීතය පැහැදිලි කරන්නේ ඉහත පුවත සමගිනි.

සත්‍ය ඉතිහාසය තුළ ‘නහය කැඩීමකින්‘ කෙළවර නොවූ සොක්‍රටීස්ගේ ජීවිතය කෙළවර වූයේ හලාහල විෂක් පානය කරන්නට බල කෙරුණු මරණයකිනි. කෙසේ වෙතත්, කිසිදු විටෙක නොනැසී ගිය, ඔහු හා සමග ඔහුගේ ශිෂ්‍ය ප්ලේටෝ සහ ප්ලේටෝගේ ශිෂ්‍ය ඇරිස්ටෝටල් ගෙන ආ දාර්ශනික ධාරණාවන්, පසුකාලීනව ප්‍රමුඛ බටහිර දාර්ශනික න්‍යායන් ලෙස හඳුනාගනු ලැබූ අතර මෙම තිදෙන ග්‍රීක දර්ශනයේ ‘මහා තිදෙන‘ (The big three) ලෙස නම් කෙරෙනු ලැබී ය.

ඉහත දෙබසෙහි කියැවෙන පරිදිම සොක්‍රටීස් සිය සිසු පිරිස සමග වැඩි වශයෙන් වාදවිවාද කරමින් සිටියේ ඇතැන්ස් වීදිවල ය. ඔහු ‘වීදි කොණ දාර්ශනිකයා‘ ලෙස ද හඳුනා ගනු ලැබෙයි. සොක්‍රටික දර්ශනය ඔහු ලියූ පොත පත තුළින් මුණ නොගැසෙන අතර ඔහු සිදු කළේ නිරන්තරව ප්‍රශ්න මතු කරමින් අනේක විධ දාර්ශනික චින්තාවන් පහළ වීමට හා ඒ ගැටීමට ඉඩ සැලැස්වීමයි. අවසානයේ මරා දැමිය යුතු වරදක් ලෙස පාලකයා දුටුව ද ඔහුගේ මතවාද හා සාකච්ඡා එකිනෙක ගැටෙමින් විත්, යළි ප්‍රශ්න කෙරෙමින් විත්, නව්‍ය අදහස් හා එක්ව, ප්ලේටෝගේ ‘ජනරජය‘ සහ ඇරිස්ටෝටල්ගේ ‘කාව්‍ය ශාස්ත්‍රය‘ ඇතුළු කෘති හා අදහස් සමුදායන් ඔස්සේ වර්තමාන දාර්ශනික සාකච්ඡාව දක්වාම වැඩී නැගෙමින් පැමිණ ඇත.

සොක්‍රටීස්ගේ සීමා යළි ප්‍රශ්න කෙරෙමින් ප්ලේටෝනික දර්ශනය බිහිවන්නේත්, ප්ලේටෝ විමසමින් ඇරිස්ටෝටලියානු දර්ශනය බිහි වන්නේත්, අදත් දර්ශනය මතු නොව කලා ඉතිහාසය හා සෞන්දර්ය විද්‍යාව ආදී විෂයයන් බැඳුණු කලාප ගණනාවක් (මෙන්ම හා බාහිරව ද) තුළ ඒ සාකච්ඡා කෙරෙන්නේත් එක්තරා මූලික එකඟතාවක් හෝ පිළිගැනීමක් මෙන්ම ඇගයීමක් මේ ‘මහා තිදෙන‘ හමුවන සමයේ පටන්ම හඳුනාගත හැකිවන බැවිනි. ඒ ගුරුවරයා ප්‍රශ්න කිරීමට, විමසීමට ශිෂ්‍යයාට ලැබෙන අයිතියයි!

දැන් අපට ඉන් වසර දහස් ගණනකට පසු මෙරටින් හමුවන ‘බිහිසුණු‘ දැන්වීමක් විමසිය හැක.

 විද්‍යාර්ථියනි, ඔබට ගුරුවරයාගෙන් ලැබෙන අවවාදය පැදකුණු කරමින් පිළිගන්න. කිසිදා ගුරුවරයාගෙන් ලැබෙන අවවාදයට ගැටෙන්න යන්න උත්සාහ නොකරන්න. එසේ ගැටුණු සිතක් මොහොතකට හෝ ඇති වුවහොත් එය තමා තුළම ඇති වූ මහා පරිහාණියක් ලෙසම දකින්න. මිහිරි ලෙසින් හෝ දැඩි බවින් ඔබට ලැබෙන අවවාද සියල්ල මල් කළඹක් හිස් මුදුනේ පැළඳ ගන්නාක් මෙන් මහත් සතුටින් දරාගන්න. එය ඔබේ ජීවිතයේ ඉදිරි ගමනට ආශීර්වාදයක් වේවි!“

මෙය ළදරු පාසැලක හෝ ප්‍රාථමික පාසැලක අලවා තිබුණු දැන්වීමක් නොවේ. මධ්‍යකාලීන දේවධර්ම ශාස්ත්‍රාලයක මුණ ගැසී ඇති දැන්වීමක පරිවර්තනයක් ද නොවේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන රංගකලා හා ඉතිහාසය අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයා විසින් 2016 මාර්තු 18 දාතමින් යුතුව සිය දැන්වීම් පුවරුවක අලවා තිබුණු දැන්වීමකි!

රංගකලා ඉතිහාසය සත්‍ය වශයෙන්ම සේවනය කරන අධ්‍යයනාංශයක් නම් ඉහත ‘මහා තිදෙන‘ ඇතුළු ග්‍රීක ගුරු-සිසු පරපුරත්, වෙනත් කලා ඉතිහාස කලාපවල ගුරු-සිසු වාද විවාදත් මුණ ගැසීම අනිවාර්ය විය යුත්තකි. ‘අවවාද‘ පිළිපදිමින් ගුරුවරයා අනුයන ආයතනයක් විශ්වවිද්‍යාලයක් නොව ප්‍රාථමික පාසැලක් වුව නොවනු ඇත. ඉතිහාසය අපට පහදා දී ඇත්තේම වඩාත් දියුණු, යථාවත්, සාර්ථක සංවාද වෙත සමාජය පිළි පැන ඇත්තේම ප්‍රශ්න කිරීම මත පදනම්ව බවයි. ගුරුවරයාගේ අදහස් අවවාද හිස් මුදුනින් පිළිගන්නා තැනක වී නම් අපට සිදුහත් මුණගැසෙනු ඇත්තේ ගෞතම බුදුන් ලෙස නොව නිගන්ඨනාථ පුත්ත හෝ මක්ඛලි ගෝසාල අසල පසෙකින් වාඩිවී සිටින්නෙකු ලෙස පමණ ය. එනිසාම තමන් කියූ පමණින් පිළි නොගන්නා ලෙස ගෞතම බුදුන් වහන්සේ නිරතුරුව දේශනා කළ බව බුද්ධ චරිතය දෙස් දෙන බව තතු විමසන්නකුට සොයාගැනීම අපහසු නැත. ගුරුවරයා විමසීම හා නව අදහස් නිපදවීම පිළිබඳ පෙරදිග හා අපරදිග උදාහරණ ‘මහා තිදෙන‘ සහ ‘ගෞතම බුද්ධ‘ ආශ්‍රිතව වුව වටහාගැනීම ඉහත දැන්වීමෙහි ඇති බිහිසුණු පසුගාමීත්වය තේරුම් ගැනීමට ප්‍රමාණවත් ය.

කෙසේ වෙතත්, දැන්වීමක් ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයක දැන්වීම් පුවරුවකට ආ ඉහත ප්‍රකාශය සෞන්දර්ය අධ්‍යාපනය මූලිකව මෙරට වැඩිමනත් විශ්වවිද්‍යාල, පාසැල් හා කලායතන පද්ධති තුළත්, ඉන් බාහිරව, අඩු වැඩි වශයෙන් සමස්ථ උසස් අධ්‍යාපන හා පාසැල් අධ්‍යාපන පද්ධතිය තුළත් හමුවන බිහිසුණු තත්වයකි. එය දැන්වීම් ආකාරයෙන්ම නිර්භයව ප්‍රකාශ කිරීම මගින් සෞන්දර්ය අධ්‍යාපන කලාපවල එහි ඇති පිළිගන්නා සුළු ස්වභාවය මොනවට පැහැදිලි වෙයි. සෞන්දර්ය අධ්‍යාපනය වඩාත් සුඛිත තත්වයක් වෙත කැඳවාලමින් අපගේ කලා භාවිතාවන් වඩාත් පොහොනි කලාපයන් වෙත කැඳවාගෙන යා යුතු නම් අප වහ වහා මෙම ගුරු වන්දනා ස්වරූප සුණු කළ යුතුම ය!

පන්ති හා දේශන කෙළවර ගුරුවරයාට වැඳ නමස්කාර කිරීමෙන් වටපාටාවට විද්‍යාමන වන මේ ගුරු වන්දනාව ගුරුවරයාගේ සකලවිධ අඩන්තේට්ටම් හා අපචාර ඉවසාගෙන සිටීම තෙක් විහිද ඇති බව සෞන්දර්ය අධ්‍යාපන කලාප විමසන්නනෙකුට හඳුනාගැනීම අපහසු නැත. ප්ලේටෝ ප්‍රශ්න කළ ඇරිස්ටෝටල් කෙනෙකු හෝ මක්ඛලි ගෝසාල හැර ගිය සිදුහත් කෙනෙකු නොවන ‘වැඳ අවවාද පිළිගන්නා ගෝලයා‘ යළි සිය වාරය පැමිණි පසු නිර්මාණය කරන්නේ එම චක්‍රයම මිස අන් කවරකුදු නොවේ. කලාව සම්බන්ධ දාර්ශනික සාකච්ඡාව, කලා ඉතිහාසය ලිවීම හා ඇගයීම, කලා භාවිතය ඇතුළු සියල්ලම වක්‍ර මාර්ගයකම යමින් යළි යළිත් නව්‍ය කලාප වෙත නොගොස් ‘එකතැන පල් වීම‘ මේ වන්දනයේ අවසන් ඛේදවාචකයයි.

අප කටයුතු කළ යුත්තේ ගෝලයන් තනා, අප අනුගමනය කරමින්, වඳිමින් දුවන පරපුරක් තනන්නට නොවේ. වඩාත් සාධනීය සාකච්ඡාවන් ඔස්සේ යමින්, අප ප්‍රශ්න කරමින් නැගෙන විද්‍යාර්ථීන් තනන්නට ය. ඒ සරිකර ගැනීම වෙනුවෙන් හලාහල විෂ බඳුනක් වුව අත දැරීමට අප බිය නොවිය යුතු ය! නාසය කඩා දමන්නට ‘ඇක්‍රොපොලිස‘ පිටුපසින් පනින මැරයන්ට වුව එරෙහිව සිටගත යුතු ය!


-ප්‍රියන්ත ෆොන්සේකා-

සේයාරුව: https://www.berfrois.com/අඩවියෙනි.

Wednesday, October 24, 2018

දරුවන් තරු වෙත දැක්කීම හා සෞන්දර්ය අධ්‍යාපනය


(2018 ඔක්තෝබර් 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“ නෙත් යුග රන් තරු යුවළ තමයි... තොල් පෙති නාදළුවලට සමයි...
මගෙ හද ඔබෙ සුව යහන තමයි... ඔබ සොයනා කළු කෙල්ල මමයි...“

වයස අවුරුදු 8 නොඉක්මවූ කුඩා බුහුටි දැරියක් ගීතය තාලය අනුව නැලවෙමින් වේදිකාවේ සිට ගායනා කරන්නී ය. නෙතින් ගලා හැලෙන්නට ආසන්න කඳුළු පිරි දෙනෙතින් යුතු දැරියගේ මවත්, ඇය අසළ ඇයගේ අත අල්ලාගෙන සිය දියණියගේ ‘දක්ෂතා‘ දෙස බලා සිටින දැරියගේ පියාත් කැමරාකරුගේ සමීප රූපයට හසුවෙයි. ගීතයේ තාලය අනුව හිස සොලවමින්, ඉඳහිට ඇය අගයන ඉංගිත දක්වමින්, සිනාවලින් මුව සරසාගෙන සිටින විනිශ්චය මණ්ඩලයේ සමීප රූප වමේ සිට දකුණට දිවෙන රූපය තුළට එක් වන්නේ ඉන් අනතුරුව ය. මේ, සති අන්තයේ අපේ ආලින්දයට පැන ‘දරු සුරතල්‘ විකුණන ‘ළමා රියැලිටියක‘ එක් අවස්ථාවකි.

දරුවන් ගයන ගීතයේ වචනාර්ථ පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරව ‘රියැලිටි‘ අම්මලා තාත්තලා සිය දියණිය, පුතු වේදිකාවේ උස් තලය මතට යවති. දරුවා ගයන ගීතාර්ථය ගැන හොඳ අවබෝධයක් ඇති, විශ්වවිද්‍යාල කථිකාචාර්ය ටයිටලය ද සහිත විනිශ්චය මණ්ඩලය, ඒ පිළිබඳ කිසිදු විමසිල්ලක් නොකොට, ගායනයේ හඬ උස් පහත්වීම් හා රිද්ම රටාවල ‘සුළු සුළු අඩුපාඩු‘ ගායනයෙන් අනතුරුව සත්වැනි හෝ අටවැනි වියැති දරුවාට පහදා දෙති! සියල්ලටම හිස පහත් කරමින්, ‘ස්තුතියි ටීචර්... ස්තුතියි සර්!‘ පවසන කුඩා දරුවා අනතුරුව වේදිකාවට ගොඩවන නිවේදක අයියාට හා අක්කාට තුරුළු වී, තමන්ට එස්එම්එස් එවිය යුතු අංකය ඇඟිලි නමමින් ප්‍රේක්ෂාගාරයට පෙන්වයි.

“මාව ඉස්සරහට යවන්න නම් අහවල් අකුරු කොටා, අහවල් අංකයට හැකිතා...ක් එස්එම්එස් එවන්න!!“

සැබවින්ම එස්එම්එස් හැකිතාක් යවමින්, රූපවාහිනී තිරය ඉදිරිපිට හිඳ ‘දරු සුරතල් දැක‘ කදුළු සලමින්, පුරවැසි ප්‍රජාවක් ලෙස අප මේ දරුවන් යවමින් සිටින්නේ කුමන ඉදිරියකට ද?

කලාව වඩා හරවත් ලෙස භාවිතයට කැඳවීම හා ඒ සේවනය කිරීම දියුණු පුරවැසි ප්‍රජාවක් සහිත රටක හමුවිය හැකි සහ හමුවිය යුතු තෘප්තකර තත්වයකි. චිත්‍රය, සංගීතය, නර්තනය, රංගය, චිත්‍රපටය ආදී නන්විධ කලා ප්‍රවර්ගයන් සමග දියුණු ගනුදෙණුවක් පවත්වා ගනිමින්, උසස් රසවින්දනයක් සමග, එහි සමාජ භාවිතය වටහා ගැනීමත් ඒ තවත් දියුණු අඩවි කරා කැඳවා යමින් ඉදිරි පරම්පරාවන් වෙත ඉහළතම කලා රස වින්දනයක් දායාද කිරීමත් රටක සමස්ථ පුරවැසි සමාජයේ වගකීමකි. එය එස්එම්එස් යවමින් සිදු කළ හැකි අංක කෙටීමක් නොවේ. වේදිකාවල නොදරුවන්, කිසිදු අයුරකින් නොගැලපෙන ගීතවලට නටවමින් ඔවුන්ට ලකුණු දමා කළ හැකි යමක් ද නොවේ. අනවරත, දියුණු කලා භාවිතයක් හරහා සිදු කළ යුත්තකි. නාලිකා හා වෙළඳ සමාගම්වලට භාර නොදී පුරවැසි සමාජ භාවිතය වෙත තබා සිදු කළ යුත්තකි. වඩා සුපෝෂිත සෞන්දර්ය අධ්‍යාපනයක් ඔස්සේ යමින් සිදු කළ යුත්තකි.

කුඩා දරුවන් රියැලිටි වේදිකාවල නටවන ගයවන රියැලිටි තරග වැඩිහිටි රියැලිටි තරග තරම්ම ලොව සුලභ නැත. බොහෝ රටවල් දරුවන් සම්බන්ධ ක්‍රියාකාරකම්වලදී දක්වන තියුණු සංවේදීතාව එයට මූලික හේතුවයි. සිය අනාගත පරපුර විෂයයෙහි ඔවුන් දැඩිව විමසා බලන ආචාරධාර්මික මැදිහත්වීම දෙවැනි ප්‍රමුඛ හේතුවයි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්හිදී දරුවන් භාවිතයට ගෙන වෙළඳ ප්‍රවර්ධනය බොහෝ රටවල දැඩිව පාලනය කළ හෝ සීමා කළ කලාපයකි. ස්වකීය ජීවන අවශ්‍යතා පිළිබඳ තනිව තීරණ ගැනීමට නොහැකි වයසවල පසුවන දරුවන් සිනමා හෝ ටෙලි තිර අවකාශවල රැඳවීමෙහි දී සැලකිල්ලට ගත යුතු, ළමා අයිතීන් ගණනාවක් විශ්ව මට්ටමින් සාකච්ඡාවට ගෙන හා භාවිතයට කැඳවා ඇත. අප, පාසැල් අධ්‍යාපන කලාපය මතු නොව විශ්වවිද්‍යාල අධ්‍යාපනය කලාපය ද එකමුතුව, නිර්ලජ්ජිතව එස්එම්එස් ඉල්ලමින් සිටින්නේ ඒ නොසලකා හැර, අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටින ළමා අයිතිවාසිකම් හා ආචාර ධර්ම හා එකඟ වන ලෙස ය.

සෘජුව, දරුවන්ගේ අයිතීන් හා ආචාර ධර්ම නැසීමෙන් අප නැවතී නැත. කලා භාවිතය, එනම් ගායනය, නර්තනය, හා රංගනය යනු හුදු තරග ඉලක්කයන් බව අපි කොන්දේසිවලින් තොරව දරුවන්ගේ හිස් තුළට පොම්ප කරමින් සිටිමු. පහ වසර ශිෂ්‍යත්වය ගැන සිතන්නටත් පෙර සිට එහි තරග මානසිකත්වය දරුවන් තුළට පොවා ඔවුන්ගේ නිර්මාණශීලි චින්තනයත්, නිදහසත් මොට කර දමන අපි, දැන්, නාලිකා හා වෙළඳ සමාගම් හා එක්ව, සමගාමීව කලාව පිළිබඳ විශ්ව ව්‍යාප්ත අදහස් සමුදායත් දරුවන්ගෙන් දුරස් කර දමමින් සිටිමු. ටෙලිවිෂන් නාලිකාවල රියැලිටි වේදිකාවලට නොදෙවනිව, බොහෝ කාණ්ඩවලට බෙදා ඇති පාසැල් සෞන්දර්ය තරග ද, හැකි තරම් තරග මානසිකත්වය දරුවන් තුළ පෝෂණය කරමින් සෞන්දර්ය අධ්‍යාපනය වෙත නියතව හමුවිය යුතු බොහෝ අඩවි එහෙම පිටින්ම නසා දමමින් කලා භාවිතය හා සේවනය ද තරග කලාපයක්ම පමණක් බව සමස්ථ ශිෂ්‍ය ප්‍රජාව වෙත දන්වමින් සිටියි.

වහා හැරී විමසිය යුතු කලාප ගණනාවක්, සෞන්දර්ය අධ්‍යාපනය හා භාවිතය විෂයයෙහි වන බව, මොහොතක් හෝ නොපමාව අප වටහාගත යුතු ය. තවත් දශකයකින් හෝ දෙකකින් රටේ ඉදිරි අසුන් වෙත පිළිපනින්නට නියමිත දරු පරපුරක් හමුවේ සියුම්ව විමසිය යුතු කරුණු ගණනාවක් ද වන බව අප විමසිල්ලට ගත යුතු ය. ළමා ආරක්ෂක අධිකාරිය වැනි ආයතන පැවතිය යුත්තේ සෘජුව සිදු කෙරෙන ළමා අපචාර ගැන සොයන්නට පමණක් නොවේ. බුරුතු පිටින් නාලිකාවලට කැඳවා අපචාරයෙහි යොදවන රටේ සමස්ථ ළමා පරපුර ගැන ඔවුන් වඩා සවිඥාණික විය යුතු ය. තිරයේ සුරතල් වන දරුවා හමුවේ ‘පැරදී‘ හඬා වැටෙන, දරුණු මානසික කඩා වැටීම්වලට ලක්විය හැකි, තිරයෙන් පිටත දරුවා ගැන ඔවුන් විමසා බැලුවා ද? මෙය දරුණු ව්‍යසනයක් ය යන සාකච්ඡාව හෝ අධ්‍යාපන බලධාරීන් හමුවේ පැන නැගී ඇත් ද? මා මෑත දී සෞන්දර්ය අධ්‍යාපනය සම්බන්ධ ප්‍රධානියකුගේ මුවින්ම අසා දැනගත්තේ ළමා රියැලිටි වැඩසටහන්වල විනිශ්චය මණ්ඩලවලට ළමුන්ගේ මානසිකත්වය ගැන අදහසක් නැති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ළමා ආරක්ෂක අධිකාරියේ මැදිහත්වීම මත විනිශ්චය මණ්ඩලය වෙත ‘අපෙන් ද කෙනෙක්‘ වාඩි කරවා ගැනීම ගැන දැන් අවධානය යොමුවී ඇති බවයි! ආයතනයන්හි ළමා අයිතීන් හා ආචාර ධර්ම පිළිබඳ වැටහීමෙහි සීමාව ඉන් මැන ගත හැක.

අප වහා ප්‍රබල මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක වන තුරු, සෞන්දර්ය අධ්‍යාපනය හා භාවිතය පිළිබඳ, ළමා අයිතීන් පිළිබඳ නිසි අර්ථ නිරූපණ සාකච්ඡාවට කැඳවා භාවිතයට කැඳවන තුරු, මුලින් කී දැරිය වැනි අවිහිංසක දැරියන් ඉන්ද්‍රානි පෙරේරා ගයන ගීතය යළි යළි ගයනු ඇත. දරුවන් ඔවුන් හා නටනු ඇත.

“රළ ලෙස ජීවන දිය දහරේ - අත ගෙන එමි ඔබ යන පාරේ...
සුපුරුදු ගති ගුණ නොම නෑරේ - දුක හෝ සැප විඳගමු මිහිරේ...“

සමස්ථ දරු පරපුර අදහසකින් තොරව ‘සුපුරුදු ගතිගුණ නෑර‘ විවිධ පාරවල්වල යවා ඇද වැටුණු පසු අපටත් මේ තරග විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් කලකට ඉහත වෙනත් සන්දර්භයක ගැයූ ගීයකින් පදයක් දෙකක් එක්ව ගැයිය හැක.

“ඔබ පර වී වැටිලා... නැගිටින්න එපා... නැගිට කොහේ යන්න ද අපි?“

-ප්‍රියන්ත ෆොන්සේකා -


Tuesday, October 16, 2018

යාපන සිනමා උළෙලේ තාප්පයෙන් ඔබ්බට!



(2018 ඔක්තෝබර් 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“ඔබ ගිහින් චිත්‍රපටය කරන්න. විශ්වවිද්‍යාලයට කීර්තිය විතරක් අරගෙන එන්න!“

සිංහල සිනමාවේ දෙවැනි සුසමාදර්ශය තනන්නට දායක වූ බැව් පිළිගැනෙන ධර්මසේන පතිරාජයන් ‘බඹරු ඇවිත්‘ චිත්‍රපටය තැනීම සඳහා විශ්වවිද්‍යාලයෙන් නිවාඩු අනුමත කරගන්නට උපකුලපතිවරයා මුණගැසුණු මොහොතේ ඔහුට ලැබුණු පිළිතුරයි ඒ. උපකුලපතිවරයා මහාචාර්ය කෛලාසපති ය; විශ්වවිද්‍යාලය යාපනය විශ්වවිද්‍යාලය ය; කාල සමය 1976 පමණ වන්නට ඇත.


එවකට ධර්මසේන පතිරාජයන් යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් උන් බවත්, යාපනය විශ්වවිද්‍යාලය ඔහුගේ ශාස්ත්‍රීය හා කලා භාවිතයන් පිළිබඳ මැදිහත්වීම්වලට දැඩිව ගරු කළ හා ඇගයූ බවත් අප අසා, කියවා ඇත. මේ වසරේ මුල් මාසයේ ඔහු මියයන්නට මාස කිහිපයකට පෙර යළි ඔහු යාපනය වෙත ආවේ ය. ඒ වන විටත් දැඩිව රෝගාතුරව උන් ඔහු, අතරමග විඩා හරිමින්, දින දෙකක ගමනකින් පසු යාපනයට සේන්දු වූයේ යාපනයෙන් ඔහු වෙත පිදුණු විසල් ඇගයීමක් පිළිගන්නට ය. යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සිය තුන්වන පියවරෙහිදී සිනමාව කෙරෙහි ලබාදුන් දායකත්වය අරභයා යාවජීව සම්මානය ඔහු වෙත පිරි නැමූ අතර, අසීරුවෙන් නමුත්, සෘජුව නැගී සිටිමින්, තුටු කඳුළු පිරි දෙනෙතින්, ඔහු එය ලබා ගත්තේ ය.

පතිරාජයන් යාපන සිනමා උළෙලින් සම්මානය ලබාගත් පසු

නුදුරු අනාගතයක ගොඩ නැගෙන්නට නියමිත කිසියම් අරගලයක පෙර නිමිති ඉවෙන් මෙන් හඳුනාගනිමින් නමුත් වඩාත් දැඩිව උතුරු අර්ධද්වීපයේ ජන ප්‍රජාව හා බැඳෙමින් පතිරාජයන් එහි විශ්වවිද්‍යාලය තුළත් ඉන් පිටතත් කටයුතු කළ බව අද ද ඉඳහිට මුණගැසෙන, ඔහුගේ සමකාලීන යාපනයේ විද්වත්හු ප්‍රකාශ කරති. යාපනයේ විදේශීය සිනමා සම්මාදම්වල සමාරම්භක මැදිහත්වීම්වල ද පතිරාජයන් වූ බව සාක්ෂි හමුවන්නේ අදූර් ගෝපාල්ක්‍රිෂ්නන්ගේ පළමු ශ්‍රී ලාංකික සිනමා දැක්ම සංවිධානය වන්නේ ඔහුගේ මූලිකත්වයෙන් යාපනයේ දී  බව අසන්නට ලැබෙන විට ය. ‘එයා දැන් ලොකු ළමයෙක්‘ මංගල දැක්ම පැවත්වෙන්නේ ද යාපනයේ ය. ‘පොන්මනි‘ නිමවමින් යාපන වැසියන්ගේ සමාජ ජීවිතය තමා විමසූ බව පතිරාජයන් අපට කියන්නේ ද යාපනයේ සිට ය. එවන් අතීතයක් ඇති පුරවරයක් යළි එළඹ, යාවජීව සම්මානයකින් ජීවිත ඉම් කෙළවරෙහිදී ඔහුට සංග්‍රහ කිරීමම සුවිශිෂ්ට ය. ඔහු කළ සම්මාදමට තුති පුද කළාක් වැනි ය.

විශිෂ්ට සිනමාකරුවෙකුගේ දායකත්වයක් වෙනුවෙන් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල ලබා දුන් දායකත්වය නිසා හෝ, වසර තුනක් මුළුල්ලේ සිනමා රසවතුන්, විද්‍යාර්ථීන් හා ප්‍රජාව වෙත දායක කළ අනර්ඝ සිනමා පට එකතුව නිසා හෝ නොලද අවධානයක් හා ජනප්‍රියත්වයක් යාපනය අන්තර්ජාතික සිනමා උළෙලට මෙවර හිමි විය. බොහෝ මාධ්‍ය ප්‍රවර්ග හා විශේෂයෙන් සමාජ මාධ්‍ය යාපනය පිළිබඳ සාකච්ඡාව යළි විවර කළේ එහි දකින්නට ලැබුණු විශිෂ්ට සිනමා කෘතියක් නිසා හෝ උළෙල සිදු කළ, ඉහත කාර්යයට සමාන ක්‍රියාකාරකමක් නිසා නොව උළෙලින් ඉවත් කෙරුණු සිනමා කෘතියක් හේතුවෙනි. එම ඛේදනීය ඉරණමට ගොදුරුව තිබුණේ ජූඩ් රත්නම් අධ්‍යක්ෂණය කළ ‘Demons in Paradise’ චිත්‍රපටයයි.

Demons in Paradise’ චිත්‍රපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලට තෝරාගැනීමෙන් අනතුරුව යළි ඉවත් කිරීම ප්‍රශ්න කළ යුත්තක් බවට කිසිදු විවාදයක් නැත. සියලු ආකාරයේ වාරණ ස්වරූප ප්‍රශ්න කරන්නට තරම් අප ශක්තිමත් වීම දියුණු සමාජයක් පිළිබඳ සිහින දකින්නන් ලෙස අප තුටු විය යුත්තකි. ඒ වාරණයට එරෙහිව යමින් ස්වකීය කෘතිය උළෙලෙන් ඉවත් කරගත් මාලක දේවප්‍රිය ගැනත්, සිය කෘතිය ඉවත් කරගන්නට නොහැකිවීම පිළිබඳ වේදනාව ලියා තබමින් සිය විරෝධය දැක්වූ චින්තන ධර්මදාස ගැනත්, සිය කෘතිය උළෙලට රැගෙන ගොස් එහි සංවාදය අතරතුර පෙර වාරණය ගැන අදහස් දැක්වූ කිං රත්නම් ගැනත් එකිනෙකට වෙනස් ස්වරූපයේ ඇගයීමක් මෙන්ම ගෞරවයක් ද මා තුළ ඇත. ඒ හා සමග, උළෙල සංවිධායකයින් ‘Demons in Paradise’ ඉවත් වූ ප්‍රදර්ශන කාලය වෙනත් කෘතියකින් නොපුරවමින්, එය ‘හිස් වූ‘ කාල සමයක් බවට පත් කිරීමට සංවිධායකයින් කටයුතු කිරීම, ඉරාන රජය සිරගත කළ සිනමාකරු ජෆාර් ෆනාහි වෙනුවෙන් කෑන්ස් සිනමා උළෙල හිස් ආසනයක් වෙන් කිරීම හා සමාන බව දක්වමින් අශෝක හඳගම තැබූ සටහන ද විමසිය යුත්තේ මේ සියල්ල ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම පිළිබඳ පුරවැසි විරෝධතා හා අරගලයන්හි විවිධ ස්වරූප ප්‍රතියමාන කරනා හෙයිනි.

එහෙත්, ‘Demons in Paradise’ ප්‍රදර්ශනය අත්හිටුවීමට විරෝධය පළ කරමින් ම, අප විමසා බැලිය යුතු කලාප ගණනාවක් එහි තව දුරටත් වන බව මාගේ අදහසයි. ඇත්තටම අප යාපනයට යා යුත්තේ, අපේ චිත්‍රපටය එහි ප්‍රදර්ශනය කොට හෝ වෙනත් කෘතීන් විමසා බලා, නගරයේ පැරණිතම ‘තෝසේ කඩයට‘ ගොඩ වැදී උළුදු වඩේ කා, තල් අරක්කු බී, යළි පසු දා කොළඹ එන්නට ද? නැතිනම්, යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සීමා කරන තාප්පයෙන් පැන තරමකින් හෝ වටපිට විමසන්නට ද?


සිනමාව හා කලාව ලැදි, ස්වකීය ජීවිතය යම් පෙරටුගාමී ප්‍රවේශයක තබා උදම් අනන, සැබවින්ම ක්‍රියාකාරීත්වය තුළ දී වුව එවැනි කටයුතු හා සම්මාදම් වන පුරවැසි ප්‍රජාවකට වසරකට වරක් යාපනයට පැමිණ, කලාව රසවිඳිමින්ම, එහි ජීවිතය විමසා බලන්නට අවස්ථාවක් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල උදා කර දෙන බව මගේ හැඟීමයි. යාපන නගර මධ්‍යයේ ඇති මැජෙස්ටික් සිනෙෆ්ලෙක්ස් සිනමා සංකීර්ණයේ වායුසමීකරණය කළ ශාලාවේ දී හෝ යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාසපති වායුසමීකරණය කළ ශ්‍රවණාගාරයේ දී හෝ රාමුකරන ලද අවකාශයක ඔබට ජීවිතය මුණගැසිය හැකි වුව, සිනෙෆ්ලෙක්ස් සංකීර්ණය ඉදිරිපිටින් වැටී ඇති රෝහල් මාවත ඔස්සේ වෙරළ දෙසට ඇවිද ගොස් හෝ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ඇති මාවතෙහි එක් ඉමක් තෝරාගෙන ඇවිද ගොස් හෝ රාමු නොකරන ලද ජීවිතය හමුවීමට ද ඔබට හැකි බව අමතක නොකළ යුත්තකි. තිරයේ ජීවිතය කුඩා ය; රාමුගත ය; විනාඩි සියයකින් හමාරකින් කෙළවර වන සුළු ය. නමුත්, එළියේ ජීවිතය අපරිමිත ය; විශාල ය; කාල සීමාවලින් සීමාව හඳුනාගත නොහැකි තරම් ය.

ගෙවුණු වසර තුනේ දීම උළෙලෙහි නිත්‍ය සාමාජිකයකු වූ මම මේ වටපිට ‘රස්තියාදු‘ හරහා මුණගැසෙන ජීවිතය විඳින්නට ආශා කළෙමි. එය මවෙත ගෙන ආවේ පැහැදිලි කළ නොහැකි වේදනාවකි. යුද්ධය නිම වී වසර ගණනකින් පසු වුව, ජීවිතය සොයා ඇවිදින බොහෝ පිරිස් තවමත් එහි වෙයි. කවදා සිය හිමිකරු ඒ දැයි මග බලන මෙන් සිය සිරුර මතින් නැගී ඇති විසල් රුක්ෂවලට කොඳුරන ගරා වැටුණු නිවාස එහි වෙයි.
සිනමා උළෙලක් සංවිධානය අසීමිත වෙහෙසක් බව උළෙල සංවිධායකයින් හා සමීපව කටයුතු කර ඇති මම හොඳින් දනිමි. උළෙල වාර්ෂිකව ගෙනෙන අනෝමා රාජකරුණා ප්‍රමුඛ පිරිසෙහි කැපවීමත්, ඔවුන් නැති තැන ඔවුන් වෙත සංග්‍රහ කරන පරුෂ වචනත්, ඇති තැන වන වැළඳ ගැනීමුත් මා ඇසින් දැක ඇත. කෙසේ වුවත් ඒ සංවිධානය යනු අපරිමිත කාර්යයකි. කෙළවර හමු වන්නේ මනා මහරු උළෙලකි. එය අපට ලොව වටා මානව දයාවෙන් පිරි සිනමාකරුවන් රැසකගේ කෘති වාර්ෂිකව මුණගස්වයි.

කෙසේ වුවත්, අගනුවරින් නික්ම අප යාපනයට යා යුත්තේ උළෙල තාප්පයෙන් ඔබ්බට පනින්නටත් තත්‍ය යාපන ජීවිතය දෙස සුළු හෝ බැල්මක් හෙළන්නටත් ඉඩ තබා ගනිමිනි. වාරණයට එරෙහි වෙමු. ඒ හා සමග අපට ඇති එකම ජාත්‍යන්තර සිනමා උළෙල රැක ගනිමු. වසරකට වරක් හෝ සිනමා අවකාශය වෙතටත්, ඉන් ඔබ්බටත්, අප මේ ‘ජීවිත සංචාරයේ‘ යෙදුණහොත් පතිරාජයන්ගේ තුටු කඳුළෙහි අරුත වැටහී යනු ඇත. කෛලාසපති මහාචාර්යවරයා දුටු ‘කීර්තිය‘ කවරේදැයි පෙනී යනු ඇත‍.


-ප්‍රියන්ත ෆොන්සේකා -  

Wednesday, October 10, 2018

බස් රථවලට භාර කෙරුණු පුරවැසි රස වින්දනය


(2018 ඔක්තෝබර් 07 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)



රුමේනියානු ජාතික ජියෝර්ගෙ සම්ෆීර් (Gheorghe Zamfir) අසහාය සුශිර වාදන ශිල්පියෙකි. විශේෂයෙන් පෑන් ෆ්ලූට් නමැති වාදන භාණ්ඩයෙන් ඔහු මවන සුමියුරු නාද රටා රස විඳින්නට දසදහස් ගණනින් රසික ජනතාව ඔහු හමු විය හැකි සංගීත සන්ධ්වනි සොයා එති. බුකාරෙස්ට් නගරයේ ක්ලූජ් එරීනාවේ පැවැත්වෙන එවන් සන්ධ්‍යාවක ඔහු වයන ‘තනිවුණු ගොපල්ලා‘ (The Lonely Shepherd) සංගීත ඛණ්ඩය ඉදිරියේ දැඩි ලෙස නිහඬ වන එරීනාවේ සංගීත රසිකයෝ තරයේ එකිනෙකා වැළඳ ගනිමින් ද, දෙනෙතින් ගලා යන කඳුළට ඉඩ හරිමින් ද සම්ෆීර් ගෙනෙන ගොපල්ලාගේ වේදනාව බෙදා ගනිති. ඒ සමගින් සම්ෆීර් පණ පොවන වාදන භාණ්ඩයේ අරුමය හා සම්ෆීර්ගේ දක්ෂතාව එක සමව විඳ ගනිති. මිනිත්තු පහක පමණ කාලයක් දිවෙන ඔහුගේ වැයුම ඇරඹෙන්නේත් කෙළවර වන්නේත් ඉතා දිගු අත්පොළසන් නදවලිනි.

 
අපගේ ශ්‍රවණේන්ද්‍රිය අප අවදියෙන් පසුවන සෑම මොහොතකම සිව්දෙසින් එන අනේක නාද රටා හා ශබ්ද, අපේ අනුමැතියකින් තොරව වුව, අප වෙත සන්නිවේදනය කර දෙයි. හර්ට්ස් 20 සිට 20,000 දක්වා වන පරාසයක වන ශබ්ද අපේ කණට හඳුනාගත හැකි බව අපි කුඩා පන්තිවලදීම විද්‍යාව පාඩමේදී ඉගෙන ගෙන වන පොත් කර ඇත්තෙමු. මුලින්ම ඇසත්, දෙවනුව කණත් බාහිර ලෝකය පිළිබඳ සියලුම සංවේදනාවන් අපගේ මනස වෙත ගෙන ගොස් තැන්පත් කර දෙන බව දැන දැනම වුව අප ඒ පිළිබඳව සවිඥාණිකව ඇත්දැයි යන පැනය නැගිය හැක්කේ ඉහත ක්ලූජ් එරීනාවේ රසික පෙළට ප්‍රතිමුඛව අප නිර්මාණය කර ඇති රසික සමූහය විමසන විට ය. අපගේ රසික පෙළ පැය විසිහතර පුරාම සක්‍රිය ලක්ෂ සංඛ්‍යාවකින් සමන්විත පිරිසකි. අපගේ ‘එරීනාව‘ බස් රථයයි!
 
පුද්ගලික හා ලංගම බස් රථවලින් සිය දෛනික ගමන් අවශ්‍යතා පිරිමසා ගන්නා ලක්ෂ සංඛ්‍යාත මගීන් පිරිසක්, දුම්රියෙන් හා වෙනත් පෞද්ගලික රථවාහනවලින් ගමන් ගන්නා මගී පිරිස්වලට කිසි ලෙසකින් ඉක්මවිය නොහැකි අගයක් හිමි කරගනිමින්, සිය අසුන්වල වාඩි වී හෝ බස් රථවල සිටගෙන තෙරපෙමින් හෝ මේ ලියන මොහොතේදීත් ගමනාගමනයේ යෙදෙති. රැකියා සහ පාසැල් ඇරඹෙන හා කෙළවර වෙන මොහොතවලදී ඉහළ අගයක් ගන්නේ වුව, මැදි රැයේ හෝ පාන්දරක වුව එය කිසි විට ශුන්‍ය වෙත ළඟා වන්නේ හෝ නැත. බොහෝ දිගු දුර බස් රථ සමස්ථ රැය පුරාම සිය ගමනාන්ත කරා ධාවනය වෙමින් බස් රථවල පැය විසි හතරේ සේවාව ස්ථිර කරමින් සේවයේ යෙදෙන හෙයිනි.
 
කුඩා රේඩියෝවක සිට කැසට් යන්ත්‍ර හරහා නැගී ආ බස් රථවල ශබ්ද සැපයුම් ආම්පන්න අද රූපයද එක් කොටගෙන විශාල ඩිජිටල් තිරවලින් සැරසී බස් රථවල ඉදිරිපස, පූජ්‍ය පක්ෂයට වෙන් කොට ඇති ආසනයට මඳක් ඉහළින්, විද්‍යාමනව සිටිති. බස් රථයක් පිටත්වන තෙක් නැවතුමක නවතා ඇති මොහොතේ සිට ගමනාන්තයේ දී අවසන් මගියා ද බැස යන තෙක් මෙම ආම්පන්න ශ්‍රව්‍ය හා දෘශ්‍ය දෙමාධ්‍යයෙන්ම සිය ‘ප්‍රේක්ෂාගාරයට‘ සංග්‍රහ කරනු ඇත. නීතිමය වශයෙන් බස් රථයක මගීන් වෙත අසන්නට සැලැස්විය හැක්කේ ප්‍රවෘත්ති පමණක් යැයි (ඒ ද සුනාමි ව්‍යසනයෙන් පසුව ලු) මට නීති විශාරදයකු විසින්ම කියනු ලැබ අැතත් බොහෝ විට අසන්නට නොලැබෙන්නේද ප්‍රවෘත්ති ය. තමන්ගේ ශ්‍රවණේන්ද්‍රිය හරහා තමන් වෙතත්, තමා සමගම ගමනෙහි යෙදෙන කුඩා දියණිය හා පුතු වෙතත් ශ්‍රවණය විය යුතු කවරක්දැයි යන තීන්දුව ගැනීම බස් රථයේ කොන්ස්තදොස්තරවරයාට හෝ රියදුරාට භාර දී අැති අරුමැති ප්‍රේක්ෂාගාරයක් සිය බස් රථ ‘එරීනාවේ’ අසුන් ගෙන අපූරුවට ගමන් බිමන් යති.
 
මෙම බස් මගීන් වෙත අසීමිතව අසන්නට සලස්වන ගීත කවරේ ද? ඩිජිටල් තිරය පැමිණි පසු මෙම බස් මගී ප්‍රේක්ෂාගාරය වෙත සම්මුඛව අැති නව්‍ය අාකෘතීන් කවරාකාර ද?
 
නූතන ජනප්‍රිය ගීතය තුළ මුණගැසෙන නිශ්චිත ගීත කුලකයක්, විශේෂෙයන් විරහව සහ ප්‍රේමය මුල් කරගත් ගීතවලින් සමන්විත ගීත සමුදායක්, මෙම බස් ගීත අැතුළත මුදා හැරෙති. ඉතාම සෘජු, කාව්‍යාත්මක යෙදුම්වලට වඩා තනි අදහසකින් යුක්ත වදන්වලින් සමන්විත, මෙම ගීතවල පදවැල් බහු අර්ථ දනවන සාහිත්‍යයික යෙදුම්වලින් අතිශයින් දුරස්ථ වදන් එකතුවලින් යුක්ත ය. නිශ්චිත ඒකාකෘතික සංගීත සංරචනා සියුම් මානව හැඟීම් හා ගණුදෙනු කෙරෙන ප්‍රේමයේ සංවේදනා තනි පැතලි කෝවක බහා ඉදිරිපත් කරන, විරහව සම්බන්ධ ගීතයක් ඉදිරියේ වුව හැකිනම් නටන්නට හැකි රිද්ම රටාවලින් යුක්ත ය. ඩිජිටල් තිර අාගමනය විසින් සිදුව ඇත්තේ මෙම ඒකාකෘතික පද යෙදුම් හා නාද එකතුව රූපමය වශෙයන් යළි ඉදිරිපත් කිරීම ය. දිවයිෙන් තැනින් තැන, එළිමහන් වේදිකාවල පැවැත්වුණු සංගීත රාත්‍රීන්හි රූප රචනා, අැතැම් විට ඉතා දුර්වල රූප ගැන්වීම්වලින් සමන්විත ඩිජිටල් රූප එකතූන් ලෙසමේවායේදී යළි දකින්නට ලැබෙයි. වෙනස්කමකට එකතු වී අැත්තේ, ප්‍රචණ්ඩත්වය ඉතා දැඩිව හමුවන, ඉන්දීය දමිළ සහ හින්දි චිත්‍රපට සහ ඩීවීඩී වෙළද පොළ ඉලක්ක කොටගෙන නිර්මාණය කෙරුණු ලාභ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයයි.
 
ගීත හෝ චිත්‍රපට වුව ප්‍රදර්ශනය කෙරෙන්නේ දැඩි ශබ්දයක් නැගෙන පරිදි ඉහළ දැමූ (බේස් හඬ වැඩි කළ) හඬ විකාශනයක් සමග ය. එය නියත වශයෙන්ම මගීන්ගේ ශ්‍රවණ ඉන්ද්‍රියට හානිවන තත්වයක පැවතියත් ඉතා කලාතුරකින් මිස හඬ අඩු කරන්නට ඉල්ලන මගියකු හෝ මුණගැසීම උගහට ය.
 
ජියෝර්ගෙ සම්ෆීර් වැන්නෙකු කෙසේ වුව, යම් සාධනීය රස වින්දනයක් ඇති ප්‍රේක්ෂාගාරයක් වෙත මගියා කැඳවා යා හැකි, සංගීතය පිළිබද වන පොදු ජන අදහසට, ජීවිත පරිඥාණය පුළුල් කෙරෙන සංවාදයට ක්ෂුද්‍ර හෝ යමක් එකතු කරන අවකාශයක් මෙම බස් රථ එරීනාවේ නැත. ඛේදයකට කරුණ නම් මෙය ක්ලූජ් එරීනාවේ අවකාශයේ දී මෙන් කෙළවර නොවී අනවරතව, පැය විසිහතර පුරා, දින තුන්සිය හැට පහ පුරාම ක්‍රියාත්මකව පැවතීමයි.
 

එය බිහිසුණු ය! අනාගත පරපුරෙන් ඉතා විශාල පිරිසක් ද සමග ලාංකීය පුරවැසි ප්‍රජාවෙන් අති බහුතරයක් බස් රථ ගීත හා චිත්‍රපට ‘රස විඳින්නේ’ මහත් අභිරුචියකින් වීම තියුණු ලෙස විමසා බැලිය යුතු කරුණක් බව වටහා ගන්නා තුරුම කලාව පිළිබද අපගේ සංවාදය පියවර ගණනාවක් පසුපසින්ම වනු අැත.





Tuesday, October 2, 2018

ජ්‍යොතිෂ්‍යයට දෙන අවකාශය සාහිත්‍යයට දෙන්න!


(2018 සැප්තැම්බර් 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

ජාතික රූපවාහිනියේ මෙතෙක් කල් විකාශනය කෙරුණු ‘යථා රූප‘ නමැති වැඩසටහන හිටි අඩියේම ජනපති නියමයෙන් නතර කෙරුණු බවත්, ඒ වෙනුවට ජ්‍යොතිෂ්‍යය පිළිබඳ වැඩසටහනකට අවකාශ හිමිවනු ඇති බවටත් පසුගියදා ආරංචියක් පැතිරිණ. පැතිර ගිය ආරංචි මාත්‍රව සිදුව ඇත්තේ දිගු කලක් ජ්‍යොතිෂ්‍යය සහ වෙනත් මිත්‍යාමතික වැඩසටහන් හා ක්‍රියාකාරකම්වලට එරෙහිව ‘සත්‍යය‘ හා ‘යථාව‘ සමාජගත කරන්නට කටයුතු කරමින් උන් ‘යථාරූප‘ වැඩසටහනට එරෙහිව ප්‍රමුඛ ජ්‍යොතිෂ්‍යවේදීන් සටන් මගට බැසීම ය. ඔවුන්ගේ සටන එතරම් සංකීර්ණ, දිගු වූවක් බවද පෙනෙන්නට නැත. ඔවුන් සිදුකර ඇත්තේ සිය ග්‍රහයින්ගේ බලයන් පිළිබඳ විශ්වාස පසෙක තබා රටේ විධායකය මුණගැසීම ය!

මේ සියල්ල අතරතුර, යළිත් සුපුරුදු වාර්ෂික සාහිත්‍ය මංගල්‍යය කරළියට පැමිණ ඇත. දිගු පෝලිම්, ගියවරටත් එහා ගිය පොත් එළිදැක්වීම්, කතාබහ, සාහිත්‍ය ඇගයීම් හා සම්මාන ඈ සියල්ල සමග දැන් බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙත පොදිකමින් සිටිති. මේ ලිපිය ඔබ කියවන මොහොත විට කෙළවර දකින්නට නියමිත මෙම ‘පොත් සැණකෙළිය‘යළිත් වසරකින් මුණගැසීමේ පොරොන්දුව පිට ඉවත්ව යනු ඇත. ඉන්පසු, යළිත් වෙළඳ සැණකෙළි, මල් ප්‍රදර්ශන, මනාලියන් ඇන්දවීම් ඈ වැඩසටහන්වලින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වැසී යනු ඇත.

වාර්ෂිකව මිලට ගෙන ගොඩගසා ගන්නා පොත් එකතූන්වලින්, ඒ මිලට ගන්නට එන පිරිස ඉලක්ක කර නිකුත් කරන විවිධ වර්ගයේ කවි, කෙටිකතා, නවකතා, පරිවර්තන ඇතුළු නන්විධ පොතපතින් පමණක් අපට වඩා සංවේදී හා ගැඹුරු චින්තාවන් සහිත පුරවැසි සමාජයක් බිහිකරගත හැකි වනු ඇත් ද? නේක වර්ගයේ පොතපතින් පිරුණු කුටි පීරමින්, දරන්නට බැරි බරවලින් පොත්පත් උස්සාගෙන පොත් ප්‍රදර්ශන බිමෙන් පිටව යන පුරවැසියන් දකින්නෙකුට සමාජය පිළිබඳ යම් ධනාත්මක චින්තාවක් පහළ විය හැකි වුවත්, හෙට දින එම බිමෙහිම ‘යථා රූප‘ පැරදවූ ජ්‍යොතිෂ්‍යය හා ඒ ආශ්‍රිත මිත්‍යාවන් කරතබාගත් තක්කඩි වෙළෙන්දන්, ‘ජීවන සතුට‘ මිල කරමින් විකුණන ප්‍රදර්ශනයක් ඇරඹුවහොත් මේ පිරිසෙන්ම වැඩි කණ්ඩායමක් එහිදීද හමුවීමේ අවකාශ ඔහුට හෝ ඇයට ලැබෙනු ඇත.

සැබවින්ම අපට අවශ්‍ය ‘ඇතුන් බරට පොතපත‘ ද? නැතහොත් සාහිත්‍යය සේවනය කරන්නට නිසි දැනුමකින් සන්නද්ධ පුරවැසි සමාජයක් ද?

වාර්ෂික පොත් ප්‍රදර්ශනයකින් පුරවැසියන්ට සංග්‍රහ කිරීමත්, සිය පොත් එකතූන් නව සාහිත්‍ය සමාගම්වලින් පුරවාලන්නට ඔවුන් වෙත ආරාධනා කිරීමත් පොත් ප්‍රකාශකයින්ගේ අතින් සිදුවන අනගි මෙහෙයකි. එහෙත් එහි නිසි ප්‍රතිඵල අප වෙත ලැබෙනු ඇත්තේ සේවනය සඳහා කැඳවාගන්නා පොතපත නිසි ලෙස කියවාගත හැකි පාඨකයෙකු කෘතිය අභියසට ගෙන ආ පසු ය. දුර්වල අධ්‍යාපන ක්‍රමයක් ඇති රටක, සාහිත්‍යයේ අගය පිළිබඳ මනා සන්නිදර්ශන ඉදිරිපත් කරන්නට තරම් පෝෂිත අවබෝධයකින් පිරි ගුරුවරුන් හිඟ රටක, මේ මහා පොත් කන්ද වාර්ෂික සංදර්ශනයකින් එහා ගිය කිසිවක් නොකරනු ඇත. යළි යළිත් අප ‘ධර්මිෂ්ඨ සමාජයක‘ සිට ‘යහපාලනයක්‘ දක්වා විශ්වාස තබමින් නිර්මාණය කරන ‘ජනතා‘ නායකයින් වෙතින් ‘යථා රූප‘ පළවා හැරෙන සමාජයක්ම පමණක් නිර්මාණය කරනු ඇත.

වඩා ‘රැඩිකල්‘ හා ‘නිර්මාණශීලී‘ කාන්තාවක් ලෙස පිළිගැනීමක උන් ඉනෝකා සංත්‍යාගනීටම පෙර කී ජනපති නියමය ක්‍රියාත්මක කරන්නට සිදුවීම උත්ප්‍රාසයක් ලෙස දැකිය හැකි වුවත්, රාජ්‍ය යාන්ත්‍රණය තුළ වන මාධ්‍ය ආයතනයක මුල් පුටුවකට කවරකු පැමිණිය ද ‘ගුවන් කරණම්‘ ගැසීමට ඒ කවරකුට වුව හැකියාවක් නැති බව පැහැදිලි සත්‍යයකි. එහෙත් පුරවැසි සමාජය වෙනුවෙන් මාධ්‍ය ඇමතිවරයාගේ සිට සත්‍යාගංනී දක්වාත්, අනෙක් පස ස්වාධීන රූපවාහිනියේ සිටින කැටිපෙආරච්චි සහ අතාවුදහෙට්ටි දක්වාත් ඉදිරිපත් කළ හැකි අභියෝගාත්මක ඉල්ලීමක් (ඔව්... පුද්ගලික නාලිකාවලටත් ඇතුළුව) මෙහිලා ඉදිරිපත් කරන්නට මා සතුටු ය.

ජ්‍යොතිෂ්‍යයට ලබා දෙන අවකාශය සාහිත්‍යයට ලබා දෙන්න!

සෑම දිනකම උදෑසන 7-8 වන විට නාලිකා අරක්ගන්නා ජ්‍යොතිෂ්‍ය මුදලාලිලාගේ කතන්දරවලට අභියෝග කරන්නට ‘යථාරූප‘ නිපදවන්නට එපා යැයි කියන ජනපති නියමය එහෙමම තිබුණා දෙන්! ඒ වෙනුවට, මේ උදෑසන අවකාශවල (ඔව්... වෙළඳ හේතු මත ඒ වැඩසටහන් ඉවත් කරන්නට බැරි නම්), සමාන හෝ නැතිනම් තරමක අඩු කාලසීමාවක හෝ ඉඩක් සාහිත්‍යයට ලබා දෙන්න! පුද්ගලික නාලිකා තරම්ම ජ්‍යොතිෂ්‍යය වැඩසටහන්වලින් සෙසු නාලිකා පිරී නැතත් ඊට එරෙහිව අභියෝගය භාර ගැනීමට ඒ නාලිකාවලට පුළුවන.
පොත් ප්‍රදර්ශනවලින් නිවසට ඔසවාගෙන යන කෘති සේවනය කරන්නටත්, එහි අනේකවිධ අවකාශ අතර සරන්නටත් මේ පුරවැසි සමාජය වෙත නිතිපතා සහාය වන සංවාද මණ්ඩපයක් තනන්නට අපට හැකි නම් එය කදිම ය. විශ්වයේ කෙළවරක, කොහේ හෝ තැනක ඇති ග්‍රහයකුගෙන්, අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් අප ජීවිත වෙත සිදුවන්නට නියමිත ගැහැටට වඩා දහසක් කටෝරයන් රටක ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතාවලින් එළඹෙනු ඇති බවටත්, අදූරදර්ශී පාලකස්ථානවල තීරණවලින් අභිමුඛ වනු ඇති බවටත් එවිට ඔවුන්ට වැටහෙන්නට පටන් ගනු ඇත. සන්තුෂ්ටිදායක ජීවිතය වනාහි අතෝරක් නැති ඉලක්ක පසුපස හඹා යමින් අනෙකා පරයා යන්නට යත්න දැරීම නොව නිවහල් චින්තනයකින් යුතුව ජීවිතය වටහාගැනීම හා විඳීම බව ඔවුන් සාකච්ඡා කරන්නට පටන් ගනු ඇත.

ලග්නයෙන් ලග්නයට පැන දවසේ ඉදිරිය ගැන බිය වද්දන සමූහයට ප්‍රතිමුඛව ජයතිලක කම්මැල්ලවීර, ලියනගේ අමරකීර්ති, සුනේත්‍රා රාජකරුණානායක, සුමිත්‍රා රාහුබද්ධ, නිශ්ශංක විජේමාන්න ආදී ප්‍රබන්ධකරුවන්, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, රුවන් බන්දුජීව, රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර, සුනිල් විජේසිරිවර්ධන ආදී කවීන්, ගාමිණී වියන්ගොඩ, චූලානන්ද සමරනායක, අනුල ද සිල්වා ආදී පරිවර්තකයින් කැඳවා බලන්න. සාහිත්‍යය පිළිබඳ විචාරකයින් හා වියතුන් කැඳවන්න. ඒ හා සමග සාහිත රසවතුන් වාඩි කොට බලන්න.

ඉසියුම්ව ලියැවුණු කවියක පදවැල් අතර දිනපතා සරන වැඩසටහනක්, නවකතාවක් හෝ කෙටිකතාවක් මවන නෙක හැඩැති ලෝකයන් හා ඒ චරිත අතර දිනපතා සරන වැඩසටහනක්, ඒ සියල්ල අභිමුව නැගෙන ජීවිතය හා මනුෂ්‍යත්වය පිළිබඳ සංවාදය නිතිපතා අප වෙත තබන වැඩසටහනක් පුරවැසි සමාජය වෙතට කුමක් කාන්දු කරනු ඇත්දැයි අප සිතුවිල්ලකින් හෝ විමසා ඇත් ද?

විද්‍යාවත්, දර්ශනයත් හා නැගී වැඩෙමින්, දියුණු චින්තනයකින් හෙබි විශ්ව මානව ප්‍රජාව හා සමාන්තරව ගමන් කරමින්, වඩාත් දියුණු හා පෙර දැක්මක් ඇති පුරවැසි සමාජයක් තනාගන්නට නම් සාහිත්‍යය හා කලාව නිරන්තරයෙන් සේවනය කරන සමාජයක් අප තනා ගත යුතුම ය. වෙළඳ අවශ්‍යතා හා රාජ්‍ය පාලකස්ථානයේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පුද්ගලික හා රාජ්‍ය නාලිකාවලින් මෙවැනි ඉල්ලීම් කිරීම ප්‍රතිඵල විරහිත වනු ඇතැයි ඔබ කියන්නට ඉඩ ඇතත් එක දිගටම සිදු කරන බලපෑමකින් සුළු හෝ පෙරගමනක් අපේක්ෂා කළ හැකි බව සිතීමෙහි ඇති වරදක් නැත. එනිසා අපි එක්ව කියමු!

ඔව්! ජ්‍යොතිෂ්‍යයට ලබා දෙන අවකාශය සාහිත්‍යයට ලබා දෙන්න!

-          ප්‍රියන්ත ෆොන්සේකා -