Saturday, September 24, 2016

(රිවිර සිනමා කොලම -2) - ජීවිතය ‘චොකලට් පෙට්ටියකි‘!

මගෙ අම්මා හැමදාම කිව්වෙ ජීවිතේ කියන්නෙ චොකලට් පිරුණු පෙට්ටියක් කියල. ඔයා කවදාවත් දන්නෙ නෑ ඔයාට ලැබෙන්නෙ මොකක්ද කියල!“

1994 දී තිරයට ආ රොබට් සෙමිකිස් අධ්‍යක්ෂණය කළ ෆොරස්ට් ගම්ප් (Forrest Gump) චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය වූ ෆොරස්ට් ගම්ප් එක්තරා නගරයක බස් නැවතුමක බසයක් අපේක්ෂාවෙන් ඉන්නා අතර එහි දී හමුවන මගීන්ට සිය ජීවන වත ඉදිරිපත් කරයි. ඔහුගේ කතාව අතරතුර විවිධ පුද්ගලයින් එහි එන බස් රථවල නැගී පිටව ගිය ද යළි යළිත් එහි එන මගීන් වෙත සිය කතාව කියමින් ෆොරස්ට් සිය අපූරු ජීවන අන්දරය ඉදිරියට විකාශනය කරයි. ඉහත උද්ධෘතය සිය කතාව අතරතුර බොහෝ තැන්වලදී ඔහු මුවින් පිට වන උදාන වාක්‍යයකි.

අංගවිකල, තරමක මන්ද මානසිකත්වයකින් පෙළෙන දරුවකු ලෙස දිවි අරඹන ෆොරස්ට්ගේ ජීවිතය තුළ ඔහුට මුණ ගැසෙන, ඔහු අගයන හා ඔහු හා වෙසෙන චරිතද්වය වන්නේ මව සහ සහෘද මිතුරිය වන ජෙනී ය. ‘ආබාධිතයකු‘ වුව විසල් හදවතක් ඇති ෆොරස්ට් තමන්ට උසුළු විසුළු කරමින් පහර දෙන්නට එන පාසැල් සගයන්ගෙන් බේරීමට, ජෙනීගේ යෝජනාව මත, වේගයෙන් දුවන්නට පටන් ගනියි. ඔහුගේ වේගය ඔහුට විශ්වයට දොරටුවක් විවර කර දේ. ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව අභියස ජනපති ජෝන් එෆ්. කෙනඩි හමුවට යන දක්ෂ  ක්‍රීඩකයකු ලෙසද, වියට්නාම් යුද්ධයේදී යුධ වීරයෙකු ලෙස ද, ජනපති රිචඩ් නික්සන්ගේ පැසසුම් දිනන මේසපන්දු ක්‍රීඩකයකු ලෙස ද, අවසානයේ කූනිස්සන් අල්ලන්නට යන නැවක සාර්ථක කප්පිත්තකු ලෙස ද ජීවිතය විහිදුවන්නට ඔහුට ඉඩ සළසන්නේ මේ වේගය හරහා ඔහු දිනන ජීවිතයයි. සිනමා දෘශ්‍ය ප්‍රයෝග හේතුවෙන් අතීත වාර්තා සිතුවම් අතර ෆොරස්ට්ගේ රුව පිහිටුවමින් සිමිකිස් මතු කරන හාස්‍ය මුසු සිනමා නාටකය කෙළවර  අපට මුණ ගැසෙන්නේ ජීවිතය පිළිබඳ ගැඹුරු සංවේදනා පෙළකි.

ෆොරස්ට් කුඩා දරුවකු ලෙස ජීවිතය වටහා ගන්නේ සිය මව හරහා ය. පුතුගේ මන්ද මානසිකත්වය හේතුවෙන් ඔහු විශේෂ පාසැලකට ඇතුළු කරවීමට වන යෝජනාව ඉවත් කර සාමාන්‍ය පාසැලේ දොරටු ඔහුට විවර කර දෙන්නට මව සිය කය පාසැලේ මුල් ගුරුතුමාට පුද කරයි. ඉන් විවර පාසැල් බිමට ෆොරස්ට් පිටව යන පළමු දිනයේදීම ඔහුට පාසැල් බසයේදී කුඩා ජෙනී මුණ ගැසේ. පාසැල් බිමේ දී හා ඉන් නික්ම ගිය පසුවත් මව වියෝවූ පසුවත් ජීවිතයේ විවිධ ඉම්වලදී මුණ ගැසී ඔහුට ජීවිතය කියා දෙන්නී ජෙනී ය. සිය මවත්, ජෙනීත් දෙදෙනා මුහුණ දෙන අනේක විධ ගැහැට තුළින් හා ඔවුන් ලබා දෙන මග පෙන්වීම් තුළින් ෆොරස්ට් ජීවිතය වටහා ගන්නට යත්න දරත්දීත්, සිය අවබෝධයේ සීමාකම් තුළ රැඳ‍ෙමින් ඒ ප්‍ර‍ශ්න කරද්දීත් ජීවිතය දකින්නේ තිරය අභියස සිටින අප ය.

කටොළුවලින් පිරි ෆොරස්ට්ගේ ජීවිතය තුළ එකිනෙක යා කළ හැකි, නොහැකි විස්මිත කතන්දර රැසකි. ඒ බොහොමයක් කෙළවර වන්නේ තවත් අපේක්ෂාසහගත කතාවකට මග පාදමිනි. එකිනෙක හරහා ඇදහිය නොහැකි සංචාරයක යෙදෙන ෆොරස්ට් ඒ හරහා ජීවිතය වටහා ගනියි. ඇතැම් විට දහසක් සංකල්පනා මතු කොට බොහෝ වේලාවක් යළි යළිත් සිතා බලන්නට අප පොළඹන දෙබස් සිය මුවට නංවයි. ඒ ඔහු තමන් අත් දකින සැබෑව පිළිබඳ සෘජුව කියා පෑමෙනි. ඒ සියල්ල අවංක ය. යුද්ධයක නිරර්ථක බව හවන්නට යුද්ධය ගැන කිසිවකුත් නොකියා ඔහු ජෙනීට කියන මේ වදන් පෙළ සමත් වෙයි.

ඔයාට වියට්නාමෙදි බය හිතුණ ද?“ ජෙනී අසයි.

ඔව්.. ඇත්තටම... මං දන්නෙ නෑ. සමහර වෙලාවට වැස්ස නතර වෙලා තරු මතුවෙන්න පටන් ගන්නවා... ඊට පස්සෙ ඇත්තටම හොඳයි. ඒක හරියටම අපේ ගම්මානෙ දි ඉර බැහැල යන වෙලාව වගේ. අර කඳු මැද්දෙ තියෙන විල වගේම එහෙ වතුරත් හරියට දිස්නෙ ගහනව. ඒව කොයි තරම් පිරිසිදු වතුරද කියනව නම් ජෙනී, වෙලාවකට පේන්නෙ නිල් පාට අහසවල් දෙකක් එකට එක මුණගැහිල බලා ඉන්නව වගේ. ඊට පස්සෙ කාන්තාරෙදි, ඉර නැගල එන වෙලාවට... මට කියන්න තේරෙන්නෙ නෑ ජෙනී... පොළව ඉවර වෙලා දිව්‍ය ලෝකෙ පටන් ගන්නෙ කොතනින්ද කියල... ඒක ඒ තරම්ම ලස්සනයි!

සිනමා කෘතියක ජීවිතය හමුවන්නේ ඒ මේ යැයි දක්වමින් රූපය තුළ බහාලමින් නොව රූප හමුවේ අප මනස තුළ පැන නැගෙන ප්‍ර‍තිරූප පරිද්දෙනි. ප්‍රේමය, මානව දයාව, මනුසත්කම ආදී තෘප්තකර මිනිස් සමාජයකට හා ජීවිතයකට වඩා අවැසි දේ ෆොරස්ට් අපට මුණගස්වන්නේ ජීවිතය හරහා යන චාරිකාව තුළිනි. ජීවිතය සැබවින්ම අනේක රසැති හැඩැති චොකලට් පිරුණු චොකලට් පෙට්ටියක් ය යන්න ඔහු අපට කියා දේ.

එහෙත් ඊ ළග මොහොතේ කුමන රසයක් ලැබේදැයි, ෆොරස්ට්ගේ මව කී ලෙසම, අප දන්නේ නැත.

-          ප්‍රියන්ත ෆොන්සේකා -

     2016 සැප්තැම්බර් 22 - රිවිර පුවත්පත / ‘ඉම‘ පිටුව (20 පිට)





Saturday, September 17, 2016

(රිවිර සිනමා කොලම - 1) සිනමාව ජීවන පැවැත්මක් ලෙස...


1980 දශකයේ එක්තරා දිනයක, රෝමයේ දිවි ගෙවන ඉතාලි සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන සැල්වටෝට සිසිලියේ දුර බැහැර වන සිය ගම් පියසේ විසූ ඇල්ෆ්‍රඩෝ නමැති මහළු මිනිසා මියගිය පුවත සිය මවගෙන් ලැබෙන ඇමතුමක් මගින් අසන්නට ලැබේ. ඒ පුවත ඔහුට සැළ කරන සැල්වටෝගේ පෙම්වතිය ඇල්ෆ්‍රඩෝ යනු කවුරුන්දැයි ඔහුගෙන් විමසයි. 1988 වර්ෂයේ නිෂ්පාදිත ‘සිනමා පැරඩීසෝ‘ නමැති, ගුසෙප් ටොර්නටෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද, විචිත්‍ර‍ සිනමා පටය දිවෙන්නේ සැල්වටෝගේ ළමා කාලය හා බැඳි ඇල්ෆ්‍රඩෝ කවරෙක්දැයි අපට හෙළි කරන අතීතාවර්ජනයක් ලෙස ය. ටොටෝ යන සුරතල් නමින් ඇමතෙන සය වියැති කුඩා සැල්වටෝ සහ ගම්මානයේ ඇති සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටරය ක්‍රියාකරවන්නා වූ ඇල්ෆ්‍රඩෝ අතර ඇති අපූරු මිතු දම, සැල්වටෝ වෙත වන සිනමාව කෙරෙහි වන දැඩි බැඳීම ඉක්මවමින් මිනිස් ජීවිතය පිළිබඳ අපූරු රූප මාලාවක් අප ඉදිරියේ තබමින් අප හදවත් සසල කරවයි.

සිනමාව යනු කෙටි ඉතිහාසයක් තුළ සෙසු කලා භාවිතාවන් හා සමානුපාතික වන තරමට හෝ අභිබවනා තරමට නැගි අපූර්ව ශ්‍ර‍ව්‍ය දෘශ්‍ය කලා භාවිතාවකි. එහි ඇති සුවිශේෂ ගුණාංග අතර සෙසු කලා ගණනාවක්ම ඒ තුළ සංගෘහිතව නැගීම ද, ඒ එක් එක් භාවිතාවන් මනාව සුසාදිත කිරීමෙන් ගැඹුරු ජීවන සංවේදනා වෙත ගමන් කිරීමේ හැකියාව ද හමු වේ. ‘සිනමා පැරඩීසෝ‘ මෙහිලා අපූරු නිමැවුමක් වන්නේ එහි කතා තේමාවේ මූලික පසුබිම ද ‘සිනමාව‘ම වීම හේතුවෙනි. කුඩා ටොටෝ දෙවන ලෝක යුද්ධය නිසා විනාශ ව ගිය නටඹුන් ගම්මානය පසුබිමේ දිවයන්නේ ඇල්ෆ්‍රඩෝගේ සිනමා ශාලාව තුළ අත් විඳිය හැකි මානව සම්බන්ධතා සිය ළමා ඇසින් ග්‍ර‍හණය කිරීමට ය. ඔහු ජීවිතය දකින කවුළුව සිනමා තිරයයි. ඔහුට ජීවිතයේ ගැඹුර කියා දෙන වැඩිහිටියා ඇල්ෆ්‍රඩෝ යි.

මෙතන ජීවත් වෙන ගමන් උඹ හිතයි මේක තමයි ලෝකෙ හරි මැද කියල. උඹ හිතන්න ගනීවි කිසිම දෙයක් කවදාකවත් වෙනස් වෙන්නෙ නෑ කියල. ඊට පස්සෙ උඹ යන්න යාවි. අවුරුද්දකින්, දෙකකින් උඹ ආපිට එද්දි සේරම වෙනස් වෙලා තියේවි. හැම බැම්මක්ම කැඩිල. උඹ දකින්න කැමැත්තෙන් එන දේවල් එතන නෑ. උඹේ දේවල් නැති වෙලා. උඹ පිට වෙලා පලයන් දිග කාලෙකට.... ගොඩක් කාලෙකට. උඹ ආපිට ඇවිත් උඹේ මිනිස්සු හොයන්න කලින්. උඹ උපන් බිම හොයන්න කලින්. නමුත්, දැන්... ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් උඹ අන්ධයි... මේ මටත් වඩා අන්ධයි!...

කවුද ඔය දෙබස කියන්නෙ? ගැරී කූපර් ද? ජේම්ස් ස්ටුවර්ට් ද? නැත්තං හෙන්රි ෆොන්ඩා ද?

නෑ ටොටෝ... කවුරුත් කියන්නෙ නෑ. මේ පාර සේරම මගෙන්. ජීවිතේ චිත්‍ර‍පටි වගේ නෙවෙයි. ජීවිතේ ඊට වඩා ගොඩක් අමාරුයි!“

ටොටෝ හමුවේ සිනමා රූප පෙළගස්වමින් දිගු කලක් ජීවිතය මේ යැයි කියාදෙන ඇල්ෆ්‍රඩෝ අවසානයේ සිය දෙනෙත් අ වූ පසු ටොටෝ හමුවේ පවසන්නේ ඉහත කරුණ ය. සැබවින්ම සැබෑ ජීවිතය සිනමා රූපය තුළ රාමුගත සීමාවක නතර නොවන අති දුෂ්කර ව්‍යායාම පෙළකි. එහෙත් මෙහි ඇති ආකර්ෂණීය කරුණ නම් එය යළි අපට පසක් කරන්නට උදව් වන මෙවලමක් ලෙස සිනමාව ක්‍රියා කිරීම ය.

ඇල්ෆ්‍රඩෝගේ අදහස් අනුව ගියේ නොවූවත් ටොටෝ ගම හැර නගරයට යයි. ජීවිතයේ අනේක ගැහැටට මුහුණ දෙයි. යළි පෙරළා පැමිණ ඔහු කී දේ සත්‍යයක් බව, ජීවිතය වටහා ගැනීම හරහාම, වටහා ගනියි.

මෙම කුඩා තීරුව අද පටන් සිනමාව හා ජීවිතය පිළිබඳ ඔබ සමග සංවාදයක් අරඹනු ඇත. සිනමාව විෂයයෙහි සාකච්ඡාවට කැවිය හැකි දහසක් කරුණු අතුරින් අප තෝරා ඔබ වෙත තබන්නේ ජීවිතය හා සිනමාව අතර ඇති සහෘද සාකච්ඡා මාලාවයි.

කුඩා ටොටෝ සිනමා හළට දිව ආ අයුරින් දිවඑන්නැයි මම ඔබට ඇරයුම් කරමි. එන්න! අපි සිනමාව ජීවන විලාසයක් කරගනිමු!

(2016 - 09 - 15 - රිවිර පුවත්පත/ ‘ඉම‘ පිටුව )



-          ප්‍රියන්ත ෆොන්සේකා -