Saturday, February 29, 2020

ලංකා සාන්ත සහ ඩේමියන්


(2020 ‍පෙබරවාරි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
සුනිල් සාන්ත
මට ලංකා සාන්ත සහ ඩේමියන් හමු විය. ඒ ගෙවුණු සති අන්තයේ ය. ලංකා සාන්ත යනු සුනිල් සාන්ත නමැති, සංගීත චින්තනයක් රටට ඇති කිරීමට, රටේ සියල්ලන්ට භාවිතයට කැඳවිය හැකි අනන්‍ය සංගීතයක් සොයා යාමට කටයුතු කළ විශිෂ්ට මිනිසාගේ දෙවැනි පුත්‍රයා ය. ඩේමියන් යනු මීගමු ප්‍රදේශයේ කුඩා විලා හෝටලයක ආවතේවකරුවකු ලෙස කටයුතු කරන, වැදූ මවගෙන් හැදූ මව වෙත භාර වූ හෙයින්, මව්වරුන් දෙදෙනෙකු මට විණි යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන, දමිළ ජාතික, එනමුත් සිංහලය ද හොඳින් වහරන හිත හොඳ මිනිසා ය.

මේ දෙදෙනාගේම හමුව එකවර යෙදුණේ සුනිල් සාන්තයන්ගේ චින්තනය පිළිබඳ හැදෑරීම හා පර්යේෂණය ප්‍රමුඛ කොටගත් අධ්‍යයන පදනමක් බිහිකිරීම පසුබිම්ව යෙදුණු සමාරම්භක සැසිය තුළ දී ය. සුනිල් සාන්ත සමාජය මේ වන විටත් වඩාත් ක්‍රියාකාරී සංවිධානයකි. එය වාර්ෂිකව සුනිල් සාන්ත සංගීත භාවිතාව සැමරීමට හා ඒ මැදිහත්වීම පෙරට ගෙන යාමට විවිධ වැඩසටහන් සමාජය වෙත තබයි. ඒ ආශ්‍රිත සාකච්ඡාවන් තුළ දී පැන නැගී ඇති බව පෙනෙන මෙම අධ්‍යයන පදනමක් බිහිකිරීමේ යෝජනාව මල් ඵල ගන්වනු වස් වන පළමු සැසියට මවෙත ආරාධනාව ගෙන ආවේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ ය.

සුනිල් සාන්තයන් මෙරට අධිපති සංගීත චින්තනය හා භාවිතය විසින් ආන්තික කලාප වෙත තල්ලු කරනු ලැබූ, අද දවසේ යළි හැරී විමසන විට පෙරමුණට කැඳවීමට බොහෝ කාරණා තිබුණු බව පෙනෙන විශිෂ්ඨයෙකි. අද, සෞන්දර්යයෙන් විනිර්මුක්ත සමාජයක ජීවත් වන අපි, සංගීතය යනු රියැලිටි තරු වෙත සිය දරුවන් දැක්කීම යැයි විශ්වාස කරන දෙමාපිය හා වැඩිහිටි පරපුරක් සමග සෞන්දර්යයේ අනාගතය ගැන සිහින දකින්නෝ වෙමු. සියලු පුරවැසියන්ට වඩාත් සමීප, නමුත් කිසිදු එක් සංගීත සම්ප්‍රදානයක් වෙත තනිව ඇලී නොපවතින, දේශජ සංගීත භාවිතයක් තැනීමේ සුනිල් සාන්ත සිහිනය සාක්ෂාත් විණි නම් අද අප ජීවත් වෙමින් සිටින්නට තිබුණේ ඊට හාත්පස වෙනස් සමාජයක වීමට තිබුණු ඉඩ සුළු නොවෙන්නක් බව පෙනෙන්නේ ඔහුගේ දැක්ම විමසන විට ය. ඒ කවරාකාර වූවක් ද?

සුනිල් සාන්ත ද ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ඉහළින්ම ප්‍රගුණ කළ අයෙකි. ඒ ප්‍රකට රතන් ජන්කර් පඬිදුන්ගේ හොඳම ශිෂ්‍යයකු ලෙස ඇගයුම් ද ලබමිනි. නමුත් ඔහුගේ ආගමනය, ඔහු හා සමකාලීනව ඉන්දියාවට ගිය ලයනල් එදිරිසිංහ යනාදීන්ගේ මගින් පොළා පැන අනන්‍ය දේශීය සංගීතයක් තැනීම වෙත යොමු විය. අද දේශීයහා අනන්‍යවැනි වදන්වලට වෙනත් සංකල්ප රූප අප මනස් තුළ ස්ථාපනය කොට අහවර වී ඇතත් සුනිල් සාන්ත යෝජනා කළ අනන්‍ය දේශීය සංගීත භාවිතය වූ කලී එම කලාප තුළ සිර නොවූවක් බව පෙනෙන්නේ ඔහුගේ ක්‍රියාකාරී මැදිහත්වීම තුළ හමුවන සාර්ව-භෞමික ලක්ෂණයන් හේතුවෙනි. සැබවින්ම ඔහු යෝජනා කොට තිබුණේ කෞතුකාගාර ගත කළ යුතු අනන්‍ය - දේශීය සංගීත සම්ප්‍රදායක් පිළිබඳ නොස්ටැල්ජික ප්‍රවේශ මාර්ගයක් නොව එදිනෙදා භාවිතය තුළ පැවතිය යුතු සජීවි සංගීත භාවිතයකි.

කෙසේ වෙතත්, පසු-නිදහස් සමය තුළ පැන නැගෙන සංස්කෘතික භාවිතය තුළ පෙරටුගාමී බලඇණි වෙතින් ද, හෙළ හවුල හා සමීප වීම නිසා (සරච්චන්ද්‍ර ප්‍රමුඛ) පේරාදෙණි (ගුරු කුලයේ) මහා කථිකාව වෙතින් ද, ඉවත් කෙරුණු ලැබූ සුනිල් සාන්ත සිය ජීවිතයේ වැඩි කොටසක් ගත කොට ඇත්තේ සිය පවුලේ ජීවිකාව වෙනුවෙන් කැප වුණු සෙනෙහෙබර නමුත් අදීන පිය භූමිකාවක නිරත වෙමින් වෙනත් ස්වයං රැකියාදීයේ නිරත වෙමිනි. අගනුවරින් වැඩි ඈතක ජීවත් නොවුණ ද, එදවස දේශීය සංගීතයේ මුහුණවර තනන්නට ප්‍රමුඛ කටයුත්තක නිරත වූ ගුවන් විදුලි සංස්ථාවට වැඩිපුර ගොඩ නොවී ඇති සුනිල් සාන්ත, එහි කැඳවුණු මොහොතවලදී වුව එම ප්‍රවේශයන් ප්‍රශ්න කොට ඇති බව පෙනේ. සියලු ලාංකික ගායක ගායිකාවන් රතන් ජන්කර් පඬිතුමන් හමුවේ උත්තර භාරතීය සංගීතය පෙරමුණෙහි තබා පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු යෙදුණු විට, රතන් ජන්කර් යනු සිය ගුරුතුමන් වුව, සුනිල් සාන්ත එය ප්‍රතික්ෂේප කොට ඇත්තේ උත්තර භාරතීය සංගීතය මෙරට සංගීත සිතියම තනන්නට මුල්වන ප්‍රමුඛ ප්‍රවේශය බවට පත් කිරීමට විරෝධය පාමිනි.

සිවුදරු පියෙකු ලෙස, ස්වාත්මයෙන් ඇරඹ, රට, ලෝකය හා කලාව ඔස්සේ විහිදෙන පරිදි (සුනිල් සාන්ත, ලංකා සාන්ත, ජගත් සාන්ත යන පුතුන් හා කලා සාන්ත දියණිය) සිය දරුවන්ට ද නම් තබා ඇති සුනිල් සාන්ත ජීවන පැවැත්ම පූර්ණ ලෙස ස්වකීය දර්ශනය ඔස්සේ විහිදුවා ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ඔහු ආන්තික කලාපයක සිර කොට තබා තිබී ඇත්තේ ඔහුගේ භාවිතය සරල වැඩි, වැඩකට නැතිතැනකට පටු කොට තබමිනි. ඔහු තනන්නට යත්න දැරූ සංගීත සම්ප්‍රදානය එක් සීමාවකින් ඉදිරියට යන්නට ඉඩ නොදී සීමා පනවමිනි.

ඔහුගේ දෙවැනි පුතු වූ ලංකා සාන්තගේ පූර්ණ දායකත්වය හිමිව තිබුණේ සිය පියාගේ මේ ගමන් මග යළි පිළිවිස ඒ ඔස්සේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් වෙත ද අප මෙහෙයවන්නට ය. එය අපට පෙනුණේ සිය පියා ස්වකීය නාමයෙහි පටන් තමන් වෙත තබා ගිය ඇඟවුමෙහි සංඥාව හඳුනාගත්තෙකුගේ මැදිහත්වීමක් ලෙස ය. භාෂාව, ජාතිකත්වය ඇතුළු කලාප වඩාත් දැඩි මූලධාර්මික සංස්ථාවන් හා බද්ධව හඳුනාගැනෙන හා අර්ථ දැක්වෙන අද දවස සුනිල් සාන්ත චින්තනය යළි විමසීම ජාතිකත්වය පිළිබඳ මෙරට පසු-නිදහස් කථිකාව හඳුනාගැනීමටත්, වෙනත් මානයකින් අර්ථ දක්වා ගැනීමකටත් මග පාදනු ඇත.

එසේ නම් ඩේමියන්?  

මේ සියලු සංවාදයන් සඳහා මුල පිරුණු රෝයල් ෆීනික්ස් විලාහි ආවතේවකරුවා ඔහු ය. උදෑසන තේ කෝප්පයේ පටන් රාත්‍රී ආහාරය දක්වා අපට සැපයූ ඩේමියන්, ඉන් ද නොනැවතී අප වෙත විටින් විට විවිධ අඩුවැඩිය සැපයී ය; අවශ්‍යතා විමසා බැලී ය. අප සැම සමග අපූරු කතා කියමින් සිය ජීවිතය ගැනත්, රටේ ලෝකයේ සමාජ දේශපාලනික වටපිටාව ගැනත් තමන්ටම අනන්‍ය කියවීම් අප වෙත ගෙන ආවේ ය.

“ඔය ආදරේ කියන එක තියෙනව නේද සර්? ඒක නිකං බස් එකේ නැත්තං ත්‍රීවීල් එකේ යනව වගේ වැඩක්. ඕනැ තැනක බහින්න පුළුවන්. ඒත් කසාදෙ එහෙම නෙවෙයි. ඒක ප්ලේන් එකේ යනව වගේ. නැග්ගට පස්සෙ බාන කං බැහිල්ලක් නෑ. මොකද ආය දොර ඇරන් පනින්නයැ?”

එවැනි කතා සමගින් ඔහු අප සිනා ගැන්වූයේ ය.

නමුත් අපූර්වතම අවස්ථාව හමුවූයේ අවසන් දිනයේ කපිල දිසාසේකර සිය ඉලෙක්ට්‍රොනික කී බෝඩය වයමින් ගීත ගැයූ මොහොතේ ය. අප වෙත ආ ඩේමියන් සුනිල් සාන්තයන්ගේ ‘ඕලු පිපීලා’ ඇතුළු ගීත කිහිපයක්ම වයන ලෙස කපිලගෙන් ඉල්ලා සිටියේ ඒ ගීත පිළිබඳ ඇගයුමක් ද ලබා දෙමිනි.

“ඒව හරි ලස්සන සිංදු සර්. මම දෙමළා තමා. හැබැයි මුං දැං මේ බාසාව කන එකට මට තරහයි. මේක සිංහල- දෙමළ කතාවක් නෙවෙයි. මුං සේරම මේක කනවා....”

ලංකා සාන්ත අනුග්‍රහය දක්වමින්, මහාචාර්ය ජයන්ත අමරසිංහගේ කැඳවීමට අනුව මා සම්බන්ධ වුණු සුනිල් සාන්ත අධ්‍යයන පදනම පිහිටුවීමේ අවස්ථාවේ දී ඩේමියන් හමුවීම මට නම් සුවිශේෂ ය. ඔහු නොකීව ද ඔහුගේ නම අනුව ඔහු දමිළ කතෝලිකයෙකු වන්නට ඇති ඉඩ වැඩි ය. නමුත් ඔහු සිංහල-බෞද්ධ දෘෂ්ඨිවාදයේ බල කේන්ද්‍ර විසින් ආන්තික කලාප වෙත තල්ලු කෙරුණු සුනිල් සාන්ත භාවිතාවේ වැදගත්කම ගැන අපට කියයි. එහි පොදු පුරවැසි නියෝජිතයෙක්ව නදීක ගුරුගේ, අජිත් කුමාරසිරි හා කපිල දිසාසේකර ඇතුළු පිරිස ගෙන ආ සුනිල් සාන්ත නිර්මාණ භාවිතය විඳියි.

සුනිල් සාන්ත දෙස අප හැරී බැලිය යුතු ය. ඒ ලංකා සාන්තගේ ඇරයුම හේතුවෙන් පමණක් නොවේ. ඩේමියන්ගේ ද ඇරයුම හා සිහි කැඳවුම හේතුවෙනි.


-ප්‍රියන්ත ෆොන්සේකා -


Thursday, February 13, 2020

දරුවාගේ විශ්වයෙන් වැඩිහිටියාගේ විශ්වයට: පුතුගේ චිත්‍රයේ ‘අපාය සහ දිව්‍ය ලෝකය‘

(2020 ‍පෙබරවාරි 01 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

දැනට දිනකට දෙකකට පෙර මගේ සිව් වියැති පුතු මගෙන් ප්‍රශ්න පෙළක් ඇසුවේ ය. ඒ අපාය සහ දිව්‍ය ලෝකය ගැන ය. මවිසින් පසුව ෆේස්බුක් අඩවිය තුළ කුඩා සටහනක් ලියන්නට ද හේතු වුණු එම කෙටි ප්‍රශ්නෝත්තර සංවාදය මෙපරිදි ය.

තාත්තෙ, දිව්‍ය ලෝකෙ සුරංගනාවියොයි, බුදු සාදුලයි ඉන්නෙ?“

සුරංගනාවියො දිව්‍ය ලෝකවල ඉන්නව කියල මම අහල තියෙනව. බුදු සාදුල ඉන්නව කියල අහල නෑ...
පුතුගේ චිත්‍රය

එතකොට... ඇනෙන කටු තියෙන ගස් ජාතියක් තියෙන්නෙ... අපායෙ ?“

හ්ම්... එහෙමත් කියනවනෙ... කවුද පුතාට අපායයි, දිව්‍ය ලෝකයයි ගැන කිව්වෙ??“

ටීචර්... අද පන්තියෙ දි!

එම සංවාදය කෙළවර වී නොබෝ වෙලාවකින් මගේ පුතු මා අත චිත්‍රයක් තැබූ අතර එහි පෙර පරිදිම ඔහු වළාකුළු, හිරු, මල්, ඵල දැරූ ගසක්, දුම් දමන නැවක් (වැනි රූපයක්), කුඩා දැරියක් (ඔහුගේ නැගණිය විය හැකි) ඇඳ තිබුණු අතර ඉහළ අහසේ වූ වළාකුළුවලට ද මත්තෙන් අතිශය කුඩාවට තවත් හැඩතල දෙකක් ද දක්වා තිබිණ.

“මේ තමයි අපාය... එතකොට තාත්ති මේ තමයි දිව්‍ය ලෝකය!“

එක සමාන්තරව අහසේ තිබුණු එම කළු පැහැ හැඩතල ඔහු මට පැහැදිලි කළේ එපරිද්දෙනි.

සිය ළදරු පාසැලේ දී මුල් වරට ගුරුතුමිය වෙතින් හඳුන්වා දෙන තෙක් දිව්‍ය ලෝකයක් සහ අපායක් පිළිබඳ අදහසක් මගේ පුතු වෙත නොතිබුණු අතර ඒ එක් එක් ලෝකවල අභ්‍යන්තරය පිළිබඳ ද අදහසක් තිබුණේ නැත. කෙසේ වෙතත්, සිය මූලික හැඳින්වීමේ දී සුරඟනන් සහ කටු ඉඹුල වැනි මූලික සංකල්ප රූපවලින් අදාල ‘ලෝක‘ හඳුන්වා දී ඇති බව පෙනෙන හෙයින් එම ‘ලෝක‘ වැඩිහිටි විශ්වයන් තුළ ස්ථානගත කර ඇති කලාප පිළිබඳ කුඩා පුතුට අදහසක් තිබුණේ ද නැත. ඔහු ඒ සියල්ල එකම සමාන්තර අහස් තලයක කුඩාවට නිරූපණය කළේ එනිසා ය.
ඔහුගේ පාසැල් සමය තුළ අපාය යනු පොළව අභ්‍යන්තරයේ ඇති කලාපයක් බවත්, වැරදි සහ පව් කරන්නන් පොළව පැලී හෝ ඉන් පිටතට එන යමපල්ලන් විසින් ඒ වෙත රැගෙන යනු ඇති බවත් හා දඬුවම් පැමිණවෙනු ඇති බවත් හඳුන්වාදෙනු ඇති අතර සමානව දිව්‍ය ලෝකය යනු ඉහළ අහසේ නොපෙනෙන තරම් දුරක පිහිටා ඇති, සියලු යස ඉසුරින් පිරි, දිව්‍යාංගනාවන් පිරිවරාගත් සුර කුමරන් සහිත ලෝකයක් බව ද හඳුන්වා දෙනු ඇත. ඒ හා සමග, පුතුගේ විශ්වයන් වෙනස් වෙමින් ගොස් පූර්ව නිර්මිත වැඩිහිටි විශ්වය වෙත ඔහු ක්‍රමයෙන් ප්‍රවේශ වනු ඇත.

දිනයකට දෙකකට පසු, මේ පිළිබඳ මා තැබූ කුඩා ෆේස්බුක් සටහන ඉහත ප්‍රවේශය පිළිබඳ මගේ මිතුරු සමාජයේ යම් පිරිසකගේ විවේචනවලින් හා, මා එහි පුතුගේ හා ඔහුගේ චිත්‍රයේ ඡායාරූපයක් ද පළ කළ හෙයින්, ඒ පිළිබඳ දැක්වූ ආදරය පළ කළ ඊට වැඩි පිරිසකගේ ඉමෝටිකොනවලින් ද පිරී පැවතිණ. විවේචනාත්මක ව ඒ පිළිබඳ මත පළ කළ මිතුරු කැළගේ පොදු මතය වූයේ මේ සියල්ල ‘බොරු මනස්ගාත‘ බවත්, සම්ප්‍රදායික අදහස් බවත්, දරුවා වඩා ඉදිරිගාමී අයෙකු බවට පත් කිරීමට මේ පිටු දැකිය යුතු බවත් ය.

මගේ මේ ලේඛණය එම කමෙන්ටු තුළින් නැගෙන තර්කනය ඔස්සේ ඉදිරියට යාමට ය. සැබවින්ම, අපාය හා දිව්‍ය ලෝකය පිළිබඳ මගේ පුතුටත්, හා සමානව සියළු දරුවන්ටත් මෙලෙස කරුණු පැහැදිලි කිරීම කළ යුත්තක් ද? නොකළ යුත්තක් ද? මේවා ‘බොරු මනස්ගාත‘ ම ද?

මෙම ප්‍රශ්න සඳහා මගේ අදහස් ගොණු කිරීමට මත්තෙන් මගේ අතීත අත්දැකීමක් ඔබ හා බෙදා ගැනීමට කැමැත්තෙමි. ඒ දැනට වසර 25කට පමණ පෙර මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී මා සහභාගී වූ නාට්‍ය වැඩමුළුවක සිද්ධියකි.

වීදි නාට්‍ය කලාව මෙරට බිහි කිරීමට පුරෝගාමී වූ ගාමිණී හත්තොටුවේගම මහතා විසින් සයමාසික සතිඅන්ත නාට්‍ය වැඩමුළුවක් එහි දී පැවැත්වූ අතර කටයුත්ත සංවිධානය කළේ මහනුවර යුනෙස්කෝ සමාජයයි. එක් සති අන්තයක, ඔහු නිර්මාණශීලීත්වය පිළිබඳ අප වෙත අදහස් දක්වමින් සිටියේ වෙහෙසකර රංග අභ්‍යාස මාලාවක් කෙළවර ය. ඒ පහත කතාව යම් නාට්‍යමය ස්වරූපයකින් ඉදිරිපත් කරමිනි.

“ඔන්න පොඩි දරුවෙක් ඉස්කෝලෙ ගිහිල්ල ගෙදර ඇවිත් කියනව... තාත්තෙ අද මම එනකොට දැක්කනෙ සිංහයෙක්... කියල. අපි දරුවට ඇත්ත කිව්වොත්, මෙන්න මෙහෙම මොක ද වෙන්නෙ? මොන පිස්සු ද පුතේ ලංකාවෙ කොහෙද සිංහයෝ? දරුව එතනම කඩා වැටෙනව! දරුවගෙ ඉමැජිනේෂන් එක ඉවරයි. මම කැමතියි ඒ වෙනුවට ආ ඇත්ත ද පුතේ ඌ මොනවද මගෙ පුතා එක්ක කිව්වෙ කියල අහන්න!“  

හත්තොටුවේගම මහතාගේ මේ කුඩා කතාව මගේ සිතේ තදින් කා වැදුණු එකකි. මගේ පුතු අපාය හා දිව්‍ය ලෝකය පිළිබඳ අදහස රැගෙන මා වෙත ආ මොහොතේ ක්ෂණයෙන් මගේ සිහියට ආවේ මෙම කුඩා කතාවයි. අපාය හා දිව්‍ය ලෝකය ‘බොරු මනස්ගාත‘ බවට ක්ෂණික ප්‍රතිචාරයක් මවෙතින් නැගුණේ නම් පුතු තුළ සැඟවී සිටීමට ඉඩ ඇති හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් පන්නයේ හෝ මාකේස් පන්නයේ නිර්මාණශීලී චින්තකයා මවිසින් එක පැහැර මරා දැමෙන්නට ඉඩ තිබිණි.

එබැවින් මට අනුව, ගුරුතුමිය විසින් අපාය හා දිව්‍ය ලෝකය පිළිබඳ පුතු වෙත සඳහන් කිරීම වරදක් නොවේ. වරද ගොඩ නැගෙන්නේ ඔහු වෙත ගුරුතුමිය විසින් ලබා දෙන සංඥා ඔස්සේ ගොඩ නගා ගන්නට ඉඩ ඇති අතිශය නිර්මාණශීලී ඔහුටම අනන්‍ය වූ විශ්වය පසුව යෙදෙන අධ්‍යාපන රටා ඔස්සේ ඒකාකෘතික රාමුවකට ගෙන විනාශ කිරීම හමුවේ ය. පුතුගේ අපාය අහසේ හමුවීම මට අනුව අපූරු ය. දිව්‍ය ලෝකය ඊට සමාන්තරව තැබීම එතරම්ම අපූරු ය. ඒවායේ ප්‍රමාණයේ ද සැලකිය යුතු වෙනසක් වූයේ නැත. දෙකම හඳුනාගන්න‍ට බැරි තරම් කුඩා ය!

දරුවන්ගේ නිර්මාණශීලී විශ්වයන් විවිධාකාර වන තරමට වඩවඩාත් නිර්මාණශීලී චින්තකයන් බිහි වනු ඇති බව මම විශ්වාස කරමි. එබැවින් මගේ ප්‍රගතිශීලී මිතුරු සමාජයේ අදහස බැහැර නොකරන නමුත් එක්වරම මා ඔවුන් සමග සිට ගන්නේ ද නැත!

මගේ කුඩා පුතු තවමත් කතා කරන සතුන් කොහේ හෝ ඉන්නා බව විශ්වාස කරයි. කාටුන් චිත්‍රපටවල ඔහු දකින ඇතැම් චරිත සැබෑවටම මුණ ගස්වන මෙන් මවෙත ආයාචනා කරයි. ඒ හා සමග ඇතැම් චරිත ‘බොරු නේදැයි‘ යන්න ද මගෙන් අසයි. මම ඒ සියල්ලට පිළිතුරු දෙන්නේ ප්‍රවේශමෙනි. කතා කරන සතුන් ඔහුගේ විශ්වය තුළ ජීවමානව පැවතීම අපූර්ව සිද්ධියකැයි මට සිතෙයි.

එහෙත් මේ කතාව පිටුපස මගේ මිතුරන් හා මා එකඟ වන තවත් සුවිශේෂ සත්‍යයක් ඇත. ඒ මෙම අපාය හා දිව්‍ය ලෝකය ඇතුළු සංකල්ප සියල්ල එක් මූලික දෘෂ්ටිවාදයක් වෙනුවෙන් සමාජ සංස්ථාව ගොණු කිරීම සඳහා පෙළ ගැස්වීමට භාවිතා කිරීමේ පසුබිමයි. ආගමික දෘෂ්ටීන් හමුවේ අනියත ලෙස දරුවන් බය ගන්වා, ඒකාකෘතික දරුවෙකු සමාජය වෙත කැඳවීමට මෙම සංකල්ප කැඳවීමට මම දැඩි ලෙස විරුද්ධ ය. අපාය කුමන කලාපයක තිබුණ ද, ‘පව් කිරීම‘ හේතුවෙන් එහි ගොස් දඬුවම් විඳීමට සිදුවන බව දරුවා වෙත දන්වමින් ඔහු බිය වැද්දීමට මා විරුද්ධ වන්නේ සමාන්තරව ‘මහා පව් කරන‘ අන්ත දූෂිතයින් යෙහෙන් වැජඹෙන සමාජ සංස්ථාව හමුවේ සන්නද්ධ බුද්ධි ජීවියෙකු ලෙස කටයුතු කිරීමට දරුවා වෙත අධ්‍යාපනය ලබා නොදෙන හෙයිනි.

සරලව කිවහොත්, අපාය හා දිව්‍ය ලෝකය ඇතුළු සංකල්ප රූප දරුවා වෙත මවා දෙන නිර්මාණශීලී විශ්ව දොරටුවට මා අතිශය කැමති ය. එසේ වෙතත්, ඒ මෙහෙය වෙන්නේ ‘නිහඬ කොට බිය වැද්දූ‘ සම්මත පුරවැසියා තනන්නට නම් මා කැමති ඒ සංකල්ප විසුණු වන තරමට ය. එය පැහැදිලි වන මොහෙත තෙක් මගේ පුතු ඇඳ ගෙනෙන සියළු චිත්‍ර දෙස මා සුපහන් සිතින් බලා ඉන්නට කැමැත්තෙමි.

-ප්‍රියන්ත ෆොන්සේකා -