Tuesday, September 24, 2019

විදේශ ශිෂ්‍යත්ව: සංවර්ධනය අර්ථ ගැන්වීමේ ගැටළුවෙහි පැතිකඩක් ලෙස


(2019 සැප්තැම්බර් 22 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


සිය දිවියෙන් දිගු කාලයක් විශ්වවිද්‍යාල සේවයට එක්වීම සඳහා විවිධ අරගල කරමින් උන්, සැබෑ ශාස්ත්‍ර ගවේෂණ උනන්දුවක් ඇති, මා දන්නා හඳුනන මිතුරියකට දැනට වසරකට පමණ පෙර සිය සිහිනය සැබෑ කරගැනීමේ අවස්ථාව උදා විය. ඒ වන විටත්, වෙනත් විශ්වවිද්‍යාල කිහිපයකම තාවකාලික කථිකාචාර්ය ධූර දරා තිබුණු ඇය, මැදිවියට එළඹෙමින් සිටින තමන්ගේ වයස පවා අමතක කොට, මේ නව ස්ථිර පදවියේ උදව්වෙන් විදේශ ශිෂ්‍යත්වයක් ලැබ ලොව ඉහළ පෙළ විශ්වවිද්‍යාලයකට ගොස් සිය ආචාර්ය උපාධිය ලැබීම සඳහා යුහුසුළුව කටයුතු කරන්නට විය. මේ වන විටත්, පොදු රාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වය යනාදිය හරහා ඔක්ස්ෆර්ඩ් ඇතුළු ලොව ප්‍රමුඛ විශ්වවිද්‍යාලවලින් ආචාර්ය උපාධිය සම්පූර්ණ කොට මෙරටට පැමිණ සිටින සමකාලීනයින්ගෙන් සිය අරමුණ පිළිබඳ විමසූ ඇයට ලැබී තිබුණේ එක්වරම සතුට කැඳවන ස්වරූපයේ දිරිගැන්වීම් ප්‍රකාශ නොවේ. ඇයගේ විෂයය අයත් මානව විද්‍යා විෂයය ක්ෂේත්‍රය දෙස මෙරට ඉහළ අධ්‍යාපන බලධාරීන් පළමුවත්, ශිෂ්‍යත්ව ප්‍රධානය කරන ආයතන (ඇතැම් විට) දෙවනුවත් බලන්නට ඉඩ තිබෙන පටු දෘෂ්ටි කෝණයන් පිළිබඳ අනතුරු ඇඟවීමකි.

ශ්‍රී ලංකාව දැන් ලොව පහළ - මධ්‍ය ආදායම්ලාභී රටවල් ලැයිස්තුවේ නම සඳහන් කරගෙන සිටින අතර එහි පාලකස්ථානය ‘සංවර්ධනය‘ යන්න දිවමතුරක් ලෙස නිරතුරුව සිය දේශපාලන සටන් පාඨ අතර තබමින් සිටියි. තුංග ගොඩනැගිලි, උසම කුළුණු, අධිවේගී මහා මාර්ග, වරාය, ගුවන් තොටවල්, කර්මාන්ත ශාලා, මෙගා පුරවර, වරාය නගර ඇතුළු නවීන ‘සශ්‍රීකත්ව දර්ශක‘ පුරවැසියා වෙත තබන ඔවුහු, විද්‍යාව හා තාක්ෂණය සමගාමීව ඉහළ භාවිතාවක් වෙත කැඳවිය යුතු බව විශ්වාස කරති; වහරති. මෑතදී මුල්ගල තැබුණු, කුලියාපිටිය නාරංගල්ලේ ඉදිවන්නට නියමිත, විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය මේ දැක්මේ එක් ආසන්න පැතිකඩකි. ටැබ්, වයිෆයි, තාක්ෂණ විද්‍යාගාර යනාදිය සිය ප්‍රමුඛ සඳහන් අතර තබමින් නිරතුරුව සිය අදහස් ප්‍රකාශ කිරීම් ආරම්භ කරන ප්‍රධාන පුරවැසියන් ප්‍රමුඛ, හා අධ්‍යාපන අමාත්‍යවරයා ද ඇතුළු අමාත්‍ය මණ්ඩලය තාක්ෂණික පෙරළීන් හරහා ඉදිවන අනාගත ‘විද්‍යා ප්‍රබන්ධ‘ ලෝක පිළිබඳ සිහින ජනතාව වෙත පොම්ප කරති. සමාන්තර ලෙස බහුතර (අධ්‍යාපන) පරිපාලන බලධාරීන් වෙත ඇත්තේ ද මේ අදහස් සමුදායම මිස වෙන යමක් නොවේ.

භාෂාව, දර්ශනය, සාහිත්‍යය, කලාව, ඉතිහාසය ඈ බොහෝ මානව විද්‍යාවන් ගර්හිත තැනෙක ලා සැලකීම දේශීය තත්වයක් පමණක්ම නොවන බව සැබෑවකි. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ අධ්‍යාපනයට ඉහළ ඇගයුමක් දෙන රාජ්‍යයන්හි පවා ගෙවුණු දශකවල දී මානව විද්‍යාවන් වර්ග කොට තබා ඇත්තේ පහළ අංකයක ය. ඒ විෂයයන් හැදෑරීම සඳහා වෙන්වන ප්‍රතිපාදන හා ශිෂ්‍යත්ව සංසන්දනාත්මකව විමසීමෙන් මේ බව තහවුරු කොටගත හැකි ය. ආර්ථික විද්‍යාව හා සමාජ විද්‍යාව ඇතුළු සමාජ විද්‍යා විෂයය ක්ෂේත්‍රයන් වෙත වන යොමුව මානව විද්‍යාව අභියස වන්නේ ඉහළ තැනක ය. ‘සංවර්ධනය‘ පිළිබඳ සාකච්ඡාව හා අර්ථකථනය තත් විෂයය ක්ෂේත්‍ර වෙත තබාගෙන ඇති හෙයින්දෝ ඒ ආශ්‍රිත විෂයයන් වෙත වන ප්‍රතිපාදන හා ශිෂ්‍යත්ව සැලකිය යුතු මට්ටමක වෙනසක් පෙන්වමින් දේශීයවත් (ජාත්‍යන්තරව බොහෝ රටවල් හමුවේත්) ඉහළ අංක සටහන් කරයි.

දැන් මෙම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රත්, ‘සංවර්ධනයේ යෙදවුම්, මූල්‍ය භාවිතාවන් හා අර්ථ නිරූපණ සඳහා වන සමාජ විද්‍යා විෂයය ක්ෂේත්‍රත් පමණක් අපගේ අවධානය බවට පත්වීම සාධාරණ හා සාර්ථක තත්වයක් ද? මානව විද්‍යාවන් ‘සංවර්ධනය‘ හා සෘජු සබඳතා නොදක්වන බව බැලූ බැල්මට පෙනුණු පමණින් ඒ ආන්තික කලාපවල තැබීම දීර්ඝකාලීනව අප රටටත්, හා ලෝකයටත් ගෙන එනු ඇත්තේ කවර ප්‍රතිඵලයන් ද?

වසර කිහිපයකට පෙර ලොව ඇති ඉහළම විශ්වවිද්‍යාලයක් වෙත සැළකෙන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත භාෂාව සඳහා සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ රෝහණ සෙනෙවිරත්න දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයා ලෙස සේවය කරයි. ඔහු එංගලන්තයේ අධ්‍යාපනය ලබන සමයේ ඔහුගේ සංස්කෘත භාෂා දැනුම අගයනු වස් ඉන්දියාව ඔහුට සරස්වතී සංස්කෘත ත්‍යාගය පිරිනැමුවේ ය. එදවස ඒ පිළිබඳ මා මගේ මිතුරකු සමග සතුටින් සඳහන් කරද්දී ඔහු පෙරළා මවෙත තැබූවේ පහළ පැනයයි.

“රෝහණ දක්ෂයෙක් වෙන්නැති. ඒත් අපරාදෙ නේද මේ මළ බාසාවක් ගැන ඉගෙන ගන්නෙ? කී දෙනාට ද ප්‍රයෝජනයක් තියෙන්නෙ? “

- රෝහණ සෙනෙවිරත්න වෙත සරස්වතී සංස්කෘත ත්‍යාගය පිරිනැමීමේ උත්සවය - 

එක් වරම පිළිතුරක් හමු නොවූ එම පැනය රෝහණගෙන් ද ඔහු මුහුණ දුන් පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වය සඳහා වන මෙරට පරීක්ෂක මණ්ඩලය විමසූ බව රෝහණම මට කීවේ මේ ඊයේ පෙරේදා දිනක ය. රෝහණ සෙනෙවිරත්න පරීක්ෂක මණ්ඩලයට පිළිගත හැකි ප්‍රතිචාරයක් ලබා දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගොස් ආචාර්ය රෝහණ සෙනෙවිරත්න වී පෙරළා පැමිණෙන්නේ සම්භාව්‍ය භාෂා පිළිබඳ ඔහු තුළ වූ පෘථුල දැනුම උපයෝගී කොටගෙන ය.

“මම කිව්ව සංස්කෘත භාෂාව මැරිල නෑ කියල!“

පෙරදිග මෙන්ම අපරදිග භාෂා එකතුවේ වන සංස්කෘත, පාලි, ලතින්, ග්‍රීක් ඇතුළු ව්‍යවහාරයේ හමු නොවන භාෂා එක පහරින්ම මිය ගොස් ඇති භාෂා ගොඩට තල්ලු කිරීම ‘සංවර්ධනය‘ නම් මේ මේ දේවල් යැයි තනි පේළියකින් විග්‍රහ කර කෙළවර කිරීමට කිසිසේත් දෙවැනි නොවේ. නමුත් යට කී භාෂා යනු ශිෂ්ටාචාරයන් ය; මානව ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු එක්රැස් කොට තබා ඇති භාණ්ඩාගාරයන් ය; සියල්ලටම වඩා ඒ ඔබේත් මගේත් මුතුන් මිත්තන්ගේ ජීවිතය සැඟවී ඇති අසිරිමත් ලෝකයන් ය. අප ඒ ලෝක වෙත පිවිසිය හැකි යතුරු වන ‘භාෂාව‘ පසෙක තැබීමෙන් සිදුවන්නේ නොගිනිය හැකි තරම් අතීත වෘත්තයන් සංඛ්‍යාවක් රැගත් කලාපයන් ගණනාවක් සඳහටම වසා දැමීම පමණි.

ඉතින්, එසේ නම්, ඒ අතීතය හා ‘සංවර්ධනය‘ අතර ඇති සබැඳියාව කුමක් ද? ඔබ මෙය පෙරළා මවෙත නගන බව මම දනිමි. රෝහණ සෙනෙවිරත්න සංස්කෘත භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබන්නෙකු කොට පෙරළා මෙරටට කැඳවා ගැනීම සිදු නොකොට වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, පරිගණක තාක්ෂණය, ආර්ථික විද්‍යාව ඈ ‘සංවර්ධනය‘ සමග සෘජු සබඳතා පෙන්වන විෂයය ක්ෂේත්‍රයක තරුණ විද්වතෙකු පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වය යටතේ එංගලන්තයට පිටත් කර හැරියේ නම් ‘ඉහළ මැදි ආදායම්ලාභී රටක්‘ වීමට වලිකන අප රටට වඩා ඉහළ ප්‍රතිලාභයක් ලැබීමට ඉඩ තිබුණු බව ඔබ කියනු ඇත.

‘සංවර්ධනය‘ පිළිබඳ අපගේ අර්ථ නිරූපණයේ ඇති ඛේදනීය දුබලතාව අපට හමුවන්නේ දැන් ය. ජනපති, අගමැති පටන් ඇමති මණ්ඩලය හා රාජ්‍ය නිලධාරීන් නිරතුරුව හඬගාන්නේත්, ඒ අනුසාරයෙන් ජන මාධ්‍ය වැඩිපුර අවධානය දෙන්නේත්, ඒ නිසාම බහුතර පුරවැසියා විශ්වාස කරන්නේත් එකම, පටු හා රේඛීය පදනමකි. තාක්ෂණයෙන් පිරිපුන්, මාර්ග හා ගොඩනැගිලිවලින් සපිරි රටක් සංවර්ධිත රටක් ලෙස හඳුනාගන්නා ඔවුහු ‘අතමිට යහමින් මුදල් ගැවසෙන පන්නයේ‘ ආර්ථික පදනමක් ඇති පුරවැසියෙක් සංවර්ධිත රටේ පුරවැසියෙක් ලෙස පෙන්වා දෙති. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අපට ආර්ථික ණය හා ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවල පාරිභාෂික වචන එකතුවේ ‘මානව සංවර්ධනය‘ යන්න හඳුනාගන්නේ ද ඒක පුද්ගල ආදායම වැනි මුදල ප්‍රමුඛ කොටගත් දර්ශකවලින් වීම මෙම තත්වය ස්ථිර කොට දෙයි.

සැබවින්ම, යටකී දියුණු රාජ්‍යයක් තැනීම හා මුල්‍ය ශක්තියක් සහිත පුරවැසියකු නිර්මාණය කිරීම කිසිසේත් වරදක් නොවේ. වරද නම් එතනින් නතර වීමයි. එනම්, අධිවේගයෙන් ඒ මේ අත ඇති මෙගා නගර වෙත යන ‘සල්ලිකාරයා‘ මුණගැසුණ ද ‘සංස්කෘතිකව දියුණු පුරවැසියා‘ අතහැරී යාම නියතයක් වීමයි.

සංස්කෘත බස වෙනුවෙන් ආචාර්ය රෝහණ සෙනෙවිරත්න වැනි විද්වතුන් දුසිම් ගණනක් රටට අවශ්‍ය නොවනු ඇති බව සැබෑ ය. එහෙත් සියලු විද්‍යා හා තාක්ෂණ මෙන්ම සමාජ විද්‍යා විෂයයන්ගේ අවශ්‍යතා හා යෙදවුම් හඳුනාගන්නා ස්වරූපයෙන්ම මානව විද්‍යා විෂයයන් ද වටහාගෙන ඒ ඒ ක්ෂේත්‍ර වෙත සාපේක්ෂ වශයෙන් අවශ්‍ය කරන්නා වූ උගතුන් බිහි කරනු වස් විදේශ ශිෂ්‍යත්ව ප්‍රදාන ඇතුළු රාජ්‍ය අධ්‍යාපන යෙදවුම් ක්‍රියාත්මක වන ස්ථාන ප්‍රතිසංවිධානය විය යුතුව ඇත. මක් නිසාද යත්, දර්ශනය, භාෂාව, ඉතිහාසය, කලාව ඈ ක්ෂේත්‍ර පසුපසට තැබූ පසු අපට ඉතිරි වන්නේ මිනිස් යන්ත්‍ර පමණක් වන හෙයිනි.  

-ප්‍රියන්ත ෆොන්සේකා -


රූපය : relif / Getty Images

Tuesday, September 17, 2019

පාසැල් අධ්‍යාපනය ගැන විමසීමක්: ‘ළඟම ඇති හොඳම පාසැලේ‘ ගුරුවරයා කවු ද?


(2019 සැප්තැම්බර් 15 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


සතිපතා බොහෝ විට අඟහරුවාදාවේ ලියැවෙන මෙම කුඩා තීරුව සඳහා මෙවර උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හා සම්බන්ධ කරුණක් මතු කරන්නට සඳුදා රාත්‍රිය තෙක් සිතා උන්නෙමි. ඒ අදහසින් අඟහරුවාදා උදෑසන අවදිව, ලිවීමට හිඳ ගන්නට මත්තෙන් ෆේස්බුක් අඩවිය වෙත නෙත් යොමු කළ මට මගේ පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ ස්වාමි පුරුෂයා තබා ඇති වේදනාබර සටහනක් නෙත ගැටිණ. සිය බිරිඳගෙන් සහ සිඟිති දියණියගෙන් දුරස්ව, බැහැර පාසැලක ගුරුවරයෙකු ලෙස සේවය කරන ඔහු, සිය සේවා මාරුව වෙනුවෙන් යළිත් ඉල්ලීම් කරන්නට ඉසුරුපායට ගිය අන්දමත්, සුපුරුදු පරිදි එය ප්‍රතික්ෂේප වූ අන්දමත්, හදිසියේ මියගිය ලොකු අම්මාගේ මළගමට සහභාගි වන්නට නිවාඩු නොලද බිරිඳ හා තවත් අන්තයක, වෙනත් නෑ නිවෙසක තැබූ දියණිය සමග අවසන් නිමේෂයේ දී ගිය අන්දමත්, පෙරළා සිය සේවා ස්ථානය වෙත එන්නට පිටත් වන විට රෝගාතුර වෙමින් සිටි දියණිය හා බිරිඳ ඔවුන්ගේ වාසය වෙත යන්නට මග දමා එන්නට වූ අන්දමත්, ගමන අතරතුර බිරිඳගේ මාලය මංකොල්ල කා ඇති බව දුරකථනයෙන් සැලවුණු අන්දමත් සිය අඩවියේ ලියා තිබිණ. එය ඔහු අරඹා තිබුණේ ‘ජීවිතයේ තුප්පැහිම දිනය අවසානයේ ලියමි‘ යනුවෙන් මාතෘකා තබමිනි.

මෙම සටහන තබන්නට තීරණය කළ තරුණ ගුරුවරයා හා ඔහුගේ බිරිඳ මෙන්ම ඔවුන් දෙදෙනාගේ දියණිය රාජ්‍ය සේවයේ දුෂ්කර සේවා, ස්ථාන මාරු පිළිබඳ නීති රීති යනාදිය හේතුවෙන් පීඩනයට පත්ව සිටින මෙරට එකම පවුල නොවන අතර ඔවුන් මුහුණ දී ඇති දුෂ්කරතා පෙළ එවැන්නන් මුහුණ දී ඇති දුෂ්කරතා අතර ඉහළම අංකයේ සඳහන් කළ හැකි දුෂ්කරතාව නොවන බව ද මම දනිමි. මා අසා දැක ඇති කාරණා සියල්ල ඉක්මවූ, ඇදහිය නොහැකි තරමින් දුෂ්කරතා හා වඳ වේදනා විඳිමින් සිය ‘සේවය‘ රාජ්‍යය වෙත ලබා දෙන ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින් වන බව ද මම දනිමි. එහෙත් ඉහත සටහන මේ සියල්ල පිළිබඳ ප්‍රකාශිත උදාහරණයක් අප ඉදිරිපිට තබා ඇති හෙයින් ‘හොඳම පාසැල ළඟම පාසැල‘ කරන්නෙමැයි ද, සියලු පාසැල් දරුවන් වෙත ටැබ් ලබා දෙමින් ඩිජිටල් ලෝකයේ දොර විවිර කර දෙන්නෙමැයි ද යනුවෙන් හාස්‍යජනක අධ්‍යාපනික ‘සිහින‘ දිවයින හමුවේ තබන පාලකස්ථානය වෙත හැරී විමසිය හැකි ප්‍රමුඛ ප්‍රශ්නයක් වෙනුවෙන් ඒ පෙරමුණට කැඳවිය යුතු බව මගේ යෝජනාවයි.

‘ළඟම පාසැල හොඳම පාසැල‘ වූවත්, නොවූවත් මෙරට ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය වඩාත් යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට වඩා කාර්යක්ෂම ගුරු සේවයක් පැවතීම අත්‍යාවශ්‍ය කරුණකි. සැබෑ වගකීමෙන් සිය පාසැලට එන දරුවාට අදාල වෛෂයයික දැනුම ලබා දීමට නම් ගුරුවරයා/ ගුරුවරිය පූර්ණ සහ තෘප්තිකර ලෙස සේවය ලබා දීමට සූදානමින් සිය සේවා ස්ථානය වෙත පිය එසවිය යුතු ය. ඒ සඳහා බලපාන බොහෝ කාරණා පෙන්වා දිය හැකි වන නමුත් අදාල වෘත්තියට ගැලපෙන වැටුපක් ලැබීමත්, ස්වකීය පුද්ගල ජීවිතය වඩා යහපත් ලෙස පවත්වාගෙන යාමට එම වෘත්තීය ජීවිතය වෙතින් ලැබෙන පිටුවහලත් අදාල කරුණු අතර පෙරමුණෙහි වන බව බොහෝ දෙනෙකු පිළිගනු ඇති බව මගේ විශ්වාසයයි.

මගේ මෙම ලිපියේ අද යොමුව ගුරු වැටුප ගැන නොවෙතත් එය ගුරුවරයෙකුගේ සේවයේ ස්වරූපය හා විමසීමේ දී කිසිදු අයුරකින් තෘප්තකර මට්ටමක නොපවතින බව පිළිගැනීමට බාහිර උදාහරණ ගෙන ඒම අනවශ්‍ය ය. දීමනා ද සහිතව අලුතින් පත්ව එන උප ගුරුවරයෙකු අතට ලැබෙන මාසික වේතනය රුපියල් 40,000ක පහතින් වන බව සැවොම දනිති. විවිධ අභ්‍යන්තරික උසස්වීම් හා විභාගාදිය පසුකරමින් ගුරු සේවයේ ඉහළටම යන්නෙකුට ලැබෙන්නේ රුපියල් 50,000ක පමණ වැටුපක් බව වසර 20කට ආසන්න සේවයක් ඇති, අදාල වෘත්තියේ නිරතව සිටින මගේ මිතුරෙකු ස්ථිර කොට කීවේ මේ දැන් ය. අධික ජීවන බරින් මිරිකෙන ගුරු වෘත්තිකයින් වැඩි පිරිසක් සියල්ල පසෙක තබා ටියුෂන් වෙළඳාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ තෝරාගැනීම පසුපස ඇති ඛේදනීය සත්‍යය මේ වැටුප් අර්බුදයයි.

වැටුපට පසු දිනක එමු. මගේ අද මූලික යොමුව ඒ නොවන බව ඔබ දනියි. මා, මෙම ලිපියට පාදක වූ ෆේස්බුක් සටහන පෙරමුණේ තබමින් අසන්නේ වැටුප යම් තෘප්තකර තැනකට පැමිණියත් ගුරුවරයා පාසැල තුළ සේවය කරන්නේ සතුටින් ද යන්නයි. විෂම පිළිතුරු හමුවිය හැකි වෙතත්, මගේ මූලික නිරීක්ෂණය ඔබ වෙත ඉදිරිපත් කළ පසු අපට එකම වේදිකාවක අසුන් ගැනීමට තරම් කරුණු මුණගැසෙනු ඇත.

පාසැල් පද්ධතිය වෙත ගුරුවරුන් බඳවා ගැනෙන ක්‍රම ඇත්තේ කිහිපයකි. පළාත්බද හා ජාතික පාසැල් මට්ටමින් ගුරුවරුන් පාසැල්වල ගුරු සේවය සඳහා බඳවා ගැනෙන අතර, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරන්නටත් මත්තෙන් වරක් මාහට ද ගුරු සේවයට බැඳීමට අවස්ථාවක් ලැබුණේ උසස් පෙළ ප්‍රතිඵල පදනම්ව පැවැත්වූ විවෘත තරග විභාගයකින් සමත්වීම හේතුවෙනි. එය වර්තමානය වන විට උපාධිධාරීන් වෙනුවෙන් වන තරග විභාග හා/හෝ සම්මුඛ පරීක්ෂණ සහ අධ්‍යාපන විද්‍යා පීඨවලින් පිටවන නවක ගුරුවරුන් සඳහා වෙන්වුණු බඳවාගැනීම් වශයෙන් ආකාර දෙකකින් පවතින බව නිරීක්ෂණය කළ හැකි ය. එක් එක් පළාත් සභාවල අධ්‍යාපන අමාත්‍යාංශ තව පළාත තුළ පවතින ගුරු පුරප්පාඩු පදනම්ව කලින් කලට නව බඳවාගැනීම් සඳහා අයදුම්පත් කැඳවනු අපට ජාතික පුවත්පත් හරහා නිරීක්ෂණය කළ හැකි ය. මේ සියල්ලෙන් සමත්ව ගුරු සේවයට එක් වන තරුණ, ක්‍රියාශීලී සහ උද්යෝගිමත් නවක ගුරු භවතුන් හමුවේ හමුවන, බොහෝ අවස්ථාවල මග හැර යා නොහැකි, පළමු සේවා යොමුව ‘දුෂ්කර සේවය‘යි!

‘දුෂ්කර‘ හා ‘අති-දුෂ්කර‘ යනුවෙන් ද ‘ජනප්‍රිය‘ හා ‘ජාතික‘ යනුවෙන් ද වශයෙන් පාසැල් විවිධාකාරයෙන් වර්ග කර ඇති රටක අප ජාතික ගුවන්විදුලියේ නිරතුරුව විශාල වැයකින් ප්‍රචාරය කෙරෙන ‘හොඳම පාසැල ළඟම පාසැලයි‘ ප්‍රචාරක පටය අසමින් සිටිමු. ඒ අසමින්ම අලුතින් පත්වන තරුණ ගුරුවරුන්/ගුරුවරියන්ගෙන් බහුතරයක් ඔවුන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව දුෂ්කර සේවයට තල්ලු කොට එය ගුරු සේවයේ ස්වභාවය හා නීතිරීති බව ස්ථිර කරමු. නමුත් මේ අදූරදර්ශී ක්‍රියාවෙන් සිදුවන හානිය කොපමණ ද?

ගුරුවරයකු හා ගුරුවරියක පමණක් නොව ඕනෑම වෘත්තිකයෙකු සේවයට බැඳුණු පමණින් හා සේවයේ දිවුරුම් දීමේ දී රට තුළ ඕනෑම තැනක සේවය කිරීමට එකඟ බව අත්සන් කළ එකඟ වූ පමණින් ඔහු හෝ ඇය ඒ සඳහා අත්‍යන්තයෙන්ම එකඟ බව නොහැඟවෙන බව සරල සත්‍යයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ අධ්‍යාපන විද්‍යා පීඨ අධ්‍යාපනය නිමා කළ විගස විවාපත් වීම, දරුවන් තැනීම හා ඇතැම් විට වයස්ගත වෙමින් සිටින මාපියයන් රැක බලා ගැනීම ආදිය සිය පෞද්ගලික ජීවන ඉලක්ක බවට පත් කරගෙන සිටින තරුණ ගුරු වෘත්තිකයින් නියත දුෂ්කර සේවය සඳහා පිටත්ව යන්නේ එහි ඇති අනිවාර්ය බව නිසා මිස වෘත්තියට ඇති ලැදියාව හෝ ගම් ඈත පිටිසර ගමක දරු දැරියන්ට සේවය කිරීමේ ‘දුයිෂෙන් ආකාර‘ අරමුණු නිසා නොවේ. එහි කාල සීමාව වසර 5ක් දක්වා දීර්ඝ වීමත් සමග විවාහ ජීවිතයක සතුට හමුවන මුල් සමය, සිය දරුවන්ගේ ළදරු අවදියේ ඔවුන් අසලම ගෙවිය යුතු, දරුවන්ගේ පෞරුෂ වර්ධනයට බලපාන සමය ඈ සියල්ලම නවක ගුරුවරයාට/ගුරුවරියට අහිමි වී යයි. ප්‍රතිඵලය ගුරුවරයාගේ අතෘප්තිකර සේවය හරහා දුෂ්කර පාසැල්වල දරුවන් ද අති දුෂ්කර අධ්‍යාපනයකට මුහුණ දීමයි. වසර පහක චක්‍රයෙන් ගැලවී, දේශපාලනික හෝ වෙනයම් මාර්ග ඔස්සේ මේ නියත චක්‍රයෙන් පළා යන ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවෙන්නේ එවැනිම නියත දුෂ්කර සේවය සොයා එන අතෘප්තිකර ගුරුවරයෙකුගෙන් නිසා තත්වයෙහි ලොකු වෙනසක් බලාපොරොත්තු වීම අසීරු ය. අනෙත් අතට එක් කොටසක් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් නගරයට හෝ ආසන්න පාසැල් වෙත මාරු තනා ගැනීම ඉතිරි පිරිස වෙත තනන්නේ තව දුරටත් කළකිරීම හා අප්‍රසාදය මුසු පසුබිමකි.

මේ විෂම චක්‍රය කැඩීමට හැකි ක්‍රම සෙවීමට අධ්‍යාපනයේ අනාගතය ගැන විමසන සැම කටයුතු කළ යුතු ය. මට පෙනෙන ආසන්නතම ප්‍රායෝගික යෝජනාව ‘දුෂ්කර‘ (දුරබැහැර) පාසැලක සේවය කිරීමේ නියත තත්වය සිය සේවා කාලය තුළ තමන්ට වඩාත් පහසු අවස්ථාවක තෝරාගැනීමට ඇති ඉඩ ගුරුවරයා වෙත ලබාදිය යුතු ය යන්නයි. ඒ හා සමග ‘දුෂ්කර‘ යනුවෙන් පාසැල් ප්‍රවර්ගයක් පවතින්නේ නම් වඩාත් ආකර්ෂණීය තත්ව නිර්මාණය කරමින් ඒ වෙත ගුරුවරුන් කැඳවිය හැකි උපාය මාර්ග විමසිය යුතුය යන්නයි. සමස්ථ වැටුපම ආකර්ෂණීය තැනකට ගෙන එන අතර මේ බැහැර පාසැල් ගුරුවරයාට ද (දැනට ඇති සුළු වැඩිවීම ඉක්මවූ) හැඟෙන සුළු ගෙවීමක් කිරීම මෙන්ම ඔවුන්ට වඩාත් තෘප්තිකර ජීවිතයක් ගෙවිය හැකි තරමට ගුරු නිවාස තනා දීම ආදිය එක්වරම සිතට නැගෙන කාරණා ය.

කිසිදු අතිකාල දීමනාවක් හෝ නොලබමින්, අනාගත සමාජයේ රුවගුණ තැනීමට වෙහෙසෙන ගුරුවරයාගෙන් තත්‍ය සේවාවක් ලබාගත හැක්කේ එවිට ය. වඩාත් වගකීම්සහගත ගුරු වෘත්තියක් වෙනුවෙන් කැප වී සිය සේවය සළසන්නැයි අපට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැක්කේ එවිට ය.

-ප්‍රියන්ත ෆොන්සේකා-  



Tuesday, September 10, 2019

යාපනේ ගියා ද?


(2019 සැප්තැම්බර් 08 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

මේ ලිපිය ඔබ කියවන්නට ඉඩ ඇති මුල්ම දිනය වන සැප්තැම්බර් 06 වෙනි සිකුරාදාව වන විට ඔබ යාපනේ ගියාදැයි මා අසන පැනයට මුල් වන නිමිත්තෙහි කාලයෙන් දින 03ක්ම ගෙවී අවසන් ය. එහෙත්, අවැසිම නම්, හෙට උදෑසනම හෝ, කොළඹින් නැතිනම් තදාසන්න නගරයකින් පිටත්වන බසයක හෝ දුම්රියක නැග ඔබට යාපනයට යා හැක. ඒ ‘යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ‘ ඉදිරි දින කිහිපය හා සමග හෝ එක්වීමට ය. සමාරම්භක උළෙලේ සිට තුන්වැන්න දක්වාම උළෙලෙහි එක් එක් කලාප හා සමග ඇවිද යමින්, වරෙක සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකු ලෙස ද, තවත් වරෙක කෙටි චිත්‍රපට අංශයේ ජූරි සභිකයෙකු ලෙස ද වශයෙන්, උළෙලෙහි අසිරිය විඳි අයෙකු ලෙස ඉදිරි දින කිහිපය හෝ ඔබ එහි ගත කරන්නේ නම් එය මහරු මතකයන් ගණනාවක් එක් කරනු ඇති බවට සැක හැර කියනු කැමැත්තෙමි.

2009 වර්ෂයේ දී යුද්ධය ‘කෙළවර‘ වූයේ උතුරු කලාපයේ පුරවැසියන්ගෙන් බහුතරයකටත්, දකුණු කලාපයේ සාපේක්ෂ වශයෙන් සුළුතරයකටත්, වෙන්වීම, අහිමි වීම, මනෝ භ්‍රාන්තිය, ක්ෂිතිය, කම්පනය ආදී පශ්චාත් යුධ සමයක නියත තත්වයන් හා මනෝ ව්‍යාධීන් උරුම කර දෙමිනි. යටත් පිරිසයෙන් ඉදිරි වසර 60-70ක කාලය තුළ හෝ මෙම ව්‍යාධීන්ගෙන් සෘජුව බලපෑම් ලද ප්‍රජාව ද, නොගිනිය හැකි වසර ගණනාවක් ඉදිරියේ දී එහි වක්‍ර බලපෑම් ලද ප්‍රජාව ද උතුරු (හා දකුණු) ඉම් බිම් වෙත හමුවීම නොවැළැක්විය හැක්කකි. යටකී බොහෝ කම්පනයන්ට ස්ථිරසාර පිළිතුරු කිසිසේත් නොසෙවිය හැකි වුවත්, කලාව හරහා එම සමාජය වෙත සමහන් සිතුවිලි මුණගැස්වීම වුව පැසසිය යුත්තකි. ඒ හා සමග, අප සියල්ලෝම යාපනයට ගොස් මෙහි සෘජු වේදනාකාරී ව්‍යසනයන්ට මුහුණ දුන් ප්‍රජාව සමග යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ අසුන් ගැනීම හා ඔවුන් හා සමග ජීවිතය බෙදා ගැනීම ඒ දැඩි කම්පනකාරී අතීතයෙන් මිදී යළි ජීවිතය වෙත පිය එසවීමට ඔවුන් වෙත සෙනෙහසේ දෑත් දිගු කිරීමකි.

මෙම තීරය ඔස්සේ පසුගිය වසරේත් ‘යාපන සිනමා උළෙලේ තාප්පයෙන් ඔබ්බට යන‘ යන මැයෙන් උළෙල පිළිබඳ සංවාදයට ඔබට ඇරයුම් කළ ද යළි වසරක ඇවෑමෙන් එහි නවමු හෙවත් පස්වන පියවර ගැන ලිවීම කිසිසේත් නොඅදාල යැයි නොසිතන්නේ ඉහත සඳහන් හේතුව මෙන්ම සිනමාලෝලීන් ලෙස අපට හමුවන එකම ජාත්‍යන්තර සිනමා උළෙලේ චිර පැවැත්ම වෙනුවෙන් අදහස් පළ කිරීම අත්‍යාවශ්‍ය ද බැවිනි. එකම වටයකින් කෙළවර දුටු මහනුවර ජාත්‍යන්තර සිනමා උළෙල හා ඇදහිය නොහැකි ආකර්ෂණයක් සමගවිත් ඇදහිය නොහැකි ලෙසම අතුරුදන් වූ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අභියස තවමත් යාපනය සිනමා උළෙල මහත් සැණකෙළි සරින් නොවූව ද, වසර 5ක් තිස්සේ ස්ථිරසාරව ඉදිරියට පැමිණ ඇත. 

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ මා දකින වැදගත් අංග කිහිපයකි. ඒ අතුරින් මා ඉහළම අංකයක තබන්නේ, ඇතැම් විට සාපේක්ෂව වෘතාන්ත චිත්‍රපටවලට තරම් ප්‍රේක්ෂක අවධානයක් නොලැබෙන, කෙටි චිත්‍රපට අංශයයි. දේශීය හා ජාත්‍යන්තර දෙඅංශයකින් වෙන්ව තරගකාරී අංශ පැවැත්වෙන කෙටි චිත්‍රපට තරගාවලියේ ඇති සුවිශේෂත්වය නම් ජාත්‍යන්තර මට්ටමේ කෙටි චිත්‍රපට මෙරට, විශේෂයෙන් උතුරේ, ප්‍රේක්ෂාගාරය වෙත පැමිණීමත්, ඒ හා සමග ස්වකීය අත්දැකීම් කෙටි සිනමාපටයක් ඔස්සේ ප්‍රකාශ කරමින් එය ජාත්‍යන්තර සිනමා වේදිකාවක තබන්නට එම කලාපීය නවමු සිනමාකරුවන්ට ලැබෙන අවකාශයත් ය. දැනට වසර තුනකට පෙර, දෙවැනි ජාත්‍යන්තර සිනමා උළෙල සමයේ කෙටි චිත්‍රපට විශාල ගණනක් තරගයට ඉදිරිපත් කරන්නට තනා තිබුණු විමල් රාජ් නම් තරුණ කෙටි චිත්‍රපටකරුවෙකු ගැන උළෙල සංවිධායකයින් මා සමග සඳහන් කළ අයුරු මට මතක ය.

“යුද්ධෙ ඉවර වුණාට පස්සෙ එයාලට කියන්න කතා මහ ගොඩක්. එයාල අරන් එන්නෙ චිත්‍රපටි දුසිම් ගණං. එච්චර ඉක්මනට ෆිල්ම් හදන්න බැරි බව ඇත්ත. ඒත් ඒ කතාවල තේමා හරිම ෂොකින්!“

මා කෙටි චිත්‍රපට ජූරියේ කටයුතු කළ තෙවැනි වසරේ දී දේශීය අංශයේ අවසන් වටය නියෝජනය කළ මධි සුදාර් නමැති තවත් තරුණ සිනමාකරුවකුගේ චිත්‍රපටයක තේමාව වී තිබුණේ එල්ටීටීඊයේ භටයෙකුව සිට යුද්ධය නිමවීමෙන් අනතුරුව යළි ගම්බිම් වෙත ආ තරුණයෙකු මුහුණ දෙන ඛේදවාචකයයි. නම සිහියට නොනැගෙන තවත් තරුණ සිනමාකරුවෙකු විශ්මිත ලෙස මුහුදු දර්ශන ද සමගින් යාපන කලාපීය ධීවරයින්ගේ ජීවිත මුහුණ දී ඇති අර්බුද හා ඉන්දීය ධීවරයින්ගේ බලය හමුවේ ඔවුන්ගේ ක්ෂුද්‍ර බව ආකර්ෂණීය ලෙස තිරය මත ඇඳ දක්වා තිබිණ.

උළෙලේ අනෙත් වැදගත් අංගයන් අතර මෙරට සිනමාකරුවන්ගේ ප්‍රමුඛයින්ගෙන් අයෙකුගේ සිනමා කෘති එකතුවක් වෙත නැවත හැරීම, යාපන කලාපය හා බැඳුණු සිනමාකරුවන්ගේ කෘති එළිදැක්වීම, දේශීය හා/හෝ ජාත්‍යන්තර වාර්තා චිත්‍රපට ප්‍රදර්ශන මාලාව, විශ්ව සම්භාව්‍ය කෘති හා සමකාලීන විශිෂ්ට සිනමා කෘති ප්‍රදර්ශනය, සිනමා වැඩමුළු සහ ප්‍රවීණයින්ගේ පන්ති, සිනමාවේ විශිෂ්ටතමයින්ට යාවජීව සිනමා සම්මාන පිරිනැමීම මෙන්ම අධ්‍යක්ෂවරුන්ගේ පළමු සිනමා කෘති එකතුවක් හමුවේ පැවැත්වෙන තරගකාරී සිනමා අංශය ද වෙයි.

ආචාර්ය ධර්මසේන පතිරාජ මිය යන්නට මාස කිහිපයකට පෙර පැවති තෙවැනි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ඔහුගේ කෘති එකතුවක් වෙත නැවත හැරී, ඉන් ද නොනැවතී ඔහු වෙත යාවජීව සම්මානය ද පුද කළේ ය. මෙවර එම යාවජීව සම්මානය සම්මාන ද්විත්වයක් ලෙස ස්වර්ණා මල්ලවආරච්චි වෙත ද,  ඉන්දීය ජාතික සම්මානලාභී සිනමා විචාරක වී.කේ. ජෝෂප් වෙත ද පිරි නැමෙන්නට නියමිත අතර නැවත හැරී බලන සිනමා දැක්ම ප්‍රසන්න විතානගේගේ කෘති වෙත හැරී ඇත. ඒ හැරුණු විට, ප්‍රවීණයන්ගේ පන්ති දෙකක්, එක් වැඩමුළුවක්, දින ගණනාවක් මුළුල්ලේ අතරතුර සමයන්හිදී යළි මුණගැසෙන කෙටි චිත්‍රපට දර්ශනවාර ගණනාවක්,  චිත්‍රපට 10කින් සමන්විත තරගකාරී අංශයක් සමග තවත් චිත්‍රපට රාශියක් සමගින් මෙවර ද සිනමා උළෙල ප්‍රේක්ෂාගාරය අභියසට පැමිණ ඇත.

මැජෙස්ටික් සිනමා සංකීර්ණය, යාපනය විශ්වවිද්‍යාලයීය කයිලාසපති ශ්‍රවණාගාරය, බ්‍රිතාන්‍ය මණ්ඩලය හා ඇමරිකානු මධ්‍යස්ථානය යන යාපන නගර කේන්ද්‍ර ස්ථාන 4ක හමුවන උළෙල එක් අතෙකින් මෙරට හා විදේශ සිනමාකරුවන් හා සිනමාව හා සබැඳි ක්‍රියාධරයින් එකම කලාපයක ආසන්න දිනවල හමුවිය හැකි අනගි බිමකි. මා එහි ගිය අවසන් වතාවේ දී ලාංකික සිනමාවේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය තැනූ ආචාර්ය පතිරාජ, පසුපරපුරේ ප්‍රමුඛයින් වූ ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම, විසි එක්වැනි සියවසේ මෙරට සිනමාවේ රුවගුණ තීරණය කරන්නට දායකව සිටින සංජීව පුෂ්පකුමාර, ප්‍රියන්ත කළුආරච්චි, සිවමෝහන් සුමති, යාපනයේ සිට යුධ සමයේ පටන්ම සිනමාව හා අරගල කළ කේසවරාජන් නවරත්නම් මෙන්ම අනාගතයේ දී වෘතාන්ත සිනමාකරුවන් ලෙස යාපන බිමේ සිට නැගෙන්නට නියමිත වතීෂ් වරුණන්, ආනන්ද රමනන් ඇතුළු ප්‍රවීණ හා අංකුර සිනමාකරුවන් රැසක් මුණගැසිණ. ඒ යාපන විශ්වවිද්‍යාලයේ සහෝදර කථිකාචාර්යවරුන් වන සාමිනාදන් විමල්, පාක්‍යනාදන් අහිලන්, ටී. සනාතනන්, සිවසුබ්‍රමනියම් රඝුරාම් වැන්නන් හා සිංගප්පූරු සිනමා උළෙලේ අධ්‍යක්ෂවරයා වන පිලිප් චෙයා, දකුණු ඉන්දීය සම්මානනීය සිනමාකරු රාම් ආදීන්ට අමතරව ය.

ඒ සියල්ලටම වඩා යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල අපට මුණගස්වන අනගිතම දෙය පිළිබඳ මා මින් පෙර ද ඔබට ලියා ඇත. ඒ මේ කුඩා සිනමා අවකාශවලට ඔබ්බෙන් හමුවන, දශක ගණනක් මුළුල්ලේ අප නොදුටු, යුද්ධය විසින් වසන් කොට තැබූ හා විනාශය වෙත තල්ලු කළ යාපනයේ ජන ජීවිතයයි. චිත්‍රපටයක් හෝ දෙකක් මග හැර, ‘ජීවිතය‘ දකින්නට පයින් නගරය දෙසට හෝ අනෙත් අන්තයට ඇවිද යන්නන්ට හමුවන දෙයයි. ඔබට එහි යන්නට ආරාධනා කළ ද කාර්යබහුලත්වය හේතුවෙන් මෙවර ඒ මග හැරෙන්නට මට ඉඩ ඇති හෙයින් ඉදිරි දිනවල මිතුරන් මගෙන් ඇසූ විට හිත දවන පැනය මෙයම වනු ඇත.

“යාපනේ ගියා ද?“

-ප්‍රියන්ත ෆොන්සේකා -  


Tuesday, September 3, 2019

මරණයේ රූප ටෙලි තිරවල ඇඳීම

(2019 සැප්තැම්බර් 01 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

පුද්ගල ඝාතන පිළිබඳ ප්‍රධාන පුවත් අතර ඉඩක් ලැබීම ජනාධිපතිවරණ අපේක්ෂකයන් තේරීමේ තරග සහ ප්‍රසංගාදියෙන් සති කිහිපයකට යටපත්ව තිබුණ ද ගෙවුණු සඳුදාවේ යළිත් හංවැල්ලේ දී සිදු වුණු ද්වි-පුද්ගල ඝාතනයක් හේතුවෙන් ඒ විරාමයට තිත තැබිණ. සුපුරුදු පරිදි මිනීමැරීම සිදුව ඇති ආකාරය පිළිබඳ සජීවකරණ රූප හා චිත්‍ර සටහන් ටෙලිවිෂන් පුවත් අතරට වහාම එකතු වුණු අතර පසුබිම් සංගීතයක් ද යොදා ‘භීභත්ස්‍ය රසය’ ඉහළ නංවා තිබුණු එම පුවත් ‘ප්‍රථම පුවත’ බවට පත් කරගැනීමේ තරගයට මාධ්‍ය ආයතන පොර වැදෙන අයුරු ද දක්නට ලැබිණ. මිනිස් ජීවිතයක් (හෝ කිහිපයක්) අහිමිවීම සංවේදී පුද්ගලයෙකු වෙත කම්පනයක් ඇති කරන අතර යම් අයෙකු විසින් තවෙකකු (හෝ කිහිප දෙනෙකු) මරා දැමීම ඊටත් වඩා කම්පනයක් නිර්මාණය කරනු නොඅනුමාන ය. එහෙත් මා මේ සතියේ ලිපිය ලියන්නට මුල් වන නිමිත්තට හේතු වූයේ මේ මිනීමැරීම් ‘ප්‍රථම පුවත’ බවට පත් කිරීමේ දී ස්වකීය චිත්‍ර සටහන් ටෙලි නාලිකාවේ පුවත් අතරට එක්වීමේ ‘ප්‍රීතිය’ ෆේස්බුක් සටහන් ඔස්සේ මිතුරු මිතුරියන් හා බෙදාහදාගත් තරුණ චිත්‍ර ශිල්පියෙකුගේ පෝස්ටුවක් දැක ඇති වුණු කම්පනයයි.

ප්‍රධාන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සවස 6.55 පුවත් එකතුවේ දී සිය චිත්‍ර සටහන් ද සමගින් මිනීමැරුම් පිළිබඳ ප්‍රවෘත්තිය ‘ප්‍රමුඛ පුවත’ ලෙස විකාශය වීම චිත්‍ර ශිල්පී තරුණයාගේ අමන්දානන්දයට හේතු වී තිබුණු අතර ඔහු නාලිකාවට සහ එහි සේවක ‘පවුල’ට ස්තුතිය සහ ආදරය පළ කරමින් එම චිත්‍රවල පිටපත් ෆේස් බුක් අඩවිය ඔස්සේ බෙදාගෙන තිබිණ. ස්වකීය මිත්‍රයාගේ ‘වෘත්තීය ජයග්‍රහණය’ පිළිබඳ සතුට පළ කරමින් හා එයට ආදරය හා විස්මය පළ කරමින් ඔහුගේ බොහෝ මිතුරු මිතුරියන් අදාළ පෝස්ටුවට යටින් කමෙන්ටු ද පළ කොට තිබිණ.

මිනීමැරුම් හා රිය අනතුරු ආදියෙන් අහිමි වන මිනිස් ජීවිත පිළිබඳ සංවේදී හැඟීම් ජනිත කරවමින් යළිත් එවැනි ආකාර ඛේදවාචක අප සමාජය තුළ සිදුවීම අවම කරවීම සඳහා සිය පුවත් හා වැඩසටහන් ඔස්සේ කරුණු සමාජගත කරනු වෙනුවට අදාල සිදුවීම උත්කර්ෂයට නංවන ස්වරූපයේ පුවත් පළ කරමින් ‘ප්‍රථම පුවත’ වාර්තා කිරීමේ තරගයෙන් ජය ගන්නට වෙර දරන අසික්ෂිත මාධ්‍ය භාවිතාවන් පිළිබඳ මා මෙම තීරය ඔස්සේත්, තවත් බොහෝ වගකිව යුතු පුරවැසියන් විවිධ වේදිකා ඔස්සේත් විරෝධය පළ කොට ඇත්තේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඉහත ෆේස්බුක් පෝස්ටුව හා කොමෙන්ටු එක්තරා අයුරකින් එම භාවිතය හේතුවෙන් ඇති වන ඛේදනීය සමාජ බලපෑම පිළිබඳ හැඟවුමක් ගෙන එමින්, අප නිර්වින්දිත සමාජය පිළිබඳ පිළිබිඹුවක් ද ගෙන එන හෙයින් මා තුළ ඇති වූ නව්‍ය කම්පනය ඔබ වෙත තබමින් ඒ සඳහා පිළිතුරු සෙවීමට ද අප යොමු විය යුතු බවට ආරාධනා කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණ යි.

මරණයේ චිත්‍ර පෙළ ‘ප්‍රථම පුවතට’ අඳින තරුණයා චිත්‍ර හා සැලසුම්කරණය පිළිබඳ විශ්විද්‍යාල උපාධිධරයෙකි. ඔහුගේ චිත්‍ර ඔහු අදාල ශිල්පය පිළිබඳ දක්ෂතා ඇති තරුණයෙකි යන හැඟවුම අප වෙත තබන්නේ නිතැතිනි. එහෙත් ඔහු තෙලිතුඩ මෙහෙයවන්නට පැය කිහිපයකට පෙර හංවැල්ලේ, පහත්ගම තැනෙක පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරෙන්නේ මව්වරුන්ට දරුවන්, බිරිඳකට ස්වාමියෙකු හා සියල්ලටම වඩා දරුවන්ට පියෙකු ඇතුළු බොහෝ මානව සබඳතා ගණනාවකට නැවතුම් තිත තබමිනි. මෙවැනි සිදුවීම්වල ලේ සහ කඳුළු විකිණිය හැකි දින ගණනින් පසු කිසිම මාධ්‍යයක් ඒ ඉතිරි ජීවිත දෙස හැරී නොබලන හෙයින් යළිදු පෙර වූ ජීවිතය වෙත කිසිදු අයුරකින් නොහැරී, ක්ෂිතිය, කම්පනය ඇතුළු මානසික වේදනාවන් සිත්හි දරාගෙන ඉදිරි සමස්ථ ජීවිතයම ගෙවන එම පවුල්වල බහුතර සාමාජික පිරිස කිසිවකුට මුණ ගැසෙන්නේ නැත. මගේ මුල්ම කම්පනය මිනිස් ජීවිතවල වටිනාකම හා මානව සබඳතාවල වටිනාකම පිළිබඳ චිත්‍ර කලාව වැනි සියුම් කලාවක් හැදෑරූ තරුණයෙකු තුළ සංවේදී බවක් නොහමුවීම හේතුවෙන් නැගෙන්නකි.

කැලණි විහාරයේ බිතු සිතුවම් ඇඳි සෝලියස් මෙන්දිස් නමැති විශිෂ්ට සිතුවම්කරුවා සිය සිතුවම් සඳහා අවශ්‍ය සායම් නිපදවන්නට බිත්තර සුදු මදය සපයා ගැනීමට ‘කැඩුණු බිත්තර’ ඇති වෙළඳ සැල් සොයමින් ඇවිද ගිය කතාවක් මා අසා ඇත. චිත්‍ර කර්මය වෙනුවෙන්ම බිත්තර නොකැඩීමට ඔහු පෙළඹී නොමැත්තේ ඔහු වෙත වූ අවිහිංසාවාදී දැක්ම හේතුවෙන් බව මෙන්දිස් චරිතය පිළිබඳ විවිධ ලේඛණ දෙස් දෙයි. දවසකට දස දහස් ගණනින් මිනිස් පරිභෝජනයට එක් කරගන්නා බිත්තරයක් හමුවේ වුව සිය දෘෂ්ටිය වෙනස් නොකළ දේශීය චිත්‍ර ශිල්පියෙකුගේ අතීතය එපරිදි ය. මේ තරුණයා සතුටු වන්නේ බිත්තර බිඳීමක් දැක හෝ ඇඳ නොවේ. පෙරදා වූ මිනීමැරුමක් චිත්‍රයට නඟා එහි තිර රූප දැක ය.

චිත්‍රය මතු නොව ඕනෑම කලාවක් භාවිතා විය යුත්තේ මානව ප්‍රගමනය වෙනුවෙනි. ඒ හා ගණුදෙනු කරන කලාකරුවෙකු වෙත ද දයාර්ද්‍රිතව ගලා හැලෙන හදවතක් මෙන්ම තියුණු මානව ප්‍රේමයක් පැවතිය යුතු ය. තමන්ගේ තෙලිතුඩින් නැගෙන සිතුවමක, ඇඟිලි තුඩකින් නැගෙන තත් සරයක, ශරීර හැඩතලයකින් නැගෙන නර්තන රිද්මයක අවසාන යෙදවුම කුමන අන්තයක් වෙත යොමු වේ දැයි ඔහුට හෝ ඇයට තියුණු සංවේදනයක් තිබිය යුතු ය.

මෙරට මුණ ගැහෙන බහුතරයක් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන කටයුතු කරන්නේ පුරවැසියා සිය ප්‍රමුඛ සඳහනෙහි තබාගෙන නොවේ. ස්වකීය දෘෂ්ටිවාදය හා ඒ අනුයන පාලකස්ථානය ස්ථාපිත කරවීම හෝ ස්ථාපිත පාලකස්ථාන සුරක්ෂිත කිරීම එක් අන්තයකින් ද, වෙළඳ ප්‍රචාරණ උපායයන් හරහා අධික ලාභ ඉපයීම අනෙක් අන්තයෙන් ද තබා ගනිමින් ඒ ආයතනවල ක්‍රියාදාම පසුපසින් වෙයි. එක් අතෙකින් මුලින් සඳහන් පාලකස්ථානය හා කටයුතු කිරීම රාජ්‍ය මාධ්‍යවලදී පෙරමුණෙහි වද්දී පෞද්ගලික නාලිකා හමුවේ ඒ එම කරුණ (හෝ ප්‍රතිවාදී බලඇණිය පාලකස්ථානයේ තැබීම) හා සමානුපාතිකවම ලාභ ඉපැයීම ද වෙයි. ‘මරණයට’ චිත්‍රමය ‘ප්‍රමුඛ පුවත්’ වටිනාකමක් ලැබෙන්නේ මෙතැනිනි.

නිශ්චිතව හතේ, අටේ කණිසම්වලට ඇසෙමින් තිබුණු ප්‍රවෘත්ති @55 දක්වා විනාඩි 05කින් පසුපසට පැමිණීම, ‘පළමුවැන්නා අප ය’ යන හැඟවුම සහිත නානාවිධ ‘උද්ධෘතයන් ලියැවීම’ මේ ප්‍රවෘත්ති තරගයේ මෑත දුටු කරණම් වර්ග ය. එහෙත්, කිසිදු නාලිකාවක් පුරවැසියා පෙරමුණට තබමින් වගකීම්සහගත කටයුතු කොට, මාධ්‍ය ආචාරධර්ම සුරක්ෂා කොට සිය ග්‍රාහකයාගේ බුද්ධියට ගෞරව කොට, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක නිරත වන බවකට සළකුණක් හෝ හඳුනාගන්නට නැත.

වසර 13ක් ඉක්මවින් පාසැල් අධ්‍යාපනය කෙළවර කොට, ඉන් පසුව තවත් වසර 4-5ක් විශ්වවිද්‍යාලවල ගත කොට ඉන් පිටව එන තරුණයෙකු හෝ තරුණියක කුමන හෝ නීත්‍යානුකූල වෘත්තියක නිරත වෙමින් රටේ ශ්‍රම බලකාය හා එක්වීම සිදු විය යුත්තකි. විශ්වවිද්‍යාල කෙළවර කරන වෛද්‍ය ශිෂ්‍යයෙකුට මෙන් නිශ්චිත වුණු තබා එළඹිය හැකි කුමන හෝ වෘත්තියක් පිළිබඳ අදහසක්වත් කලා උපාධිධාරීන් වෙත නිශ්චිතව ඇති කරන්නට සමත් පැහැදිලි ක්‍රියා පිළිවෙතක් අප රට තුළ නොමැති පසුබිමක චිත්‍ර හා සැලසුම්කරණය උගත් උපාධිධාරී තරුණයෙකුට/තරුණියකට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සැලසුම් ශිල්පියෙකු ලෙස (හෝ සමාන වෘත්තියක) සේවය කරන්නට අවස්ථාව ලැබීම අගනේ ය. අර්බුදය ඇති වන්නේ එහි ගොඩ වදින ඔහු/ඇය සදාචාර සම්පන්න සිතුවිලි දොරකඩ තබා ඇතුළු වූ විට ය. නොඑසේනම්, ඔහුගේ/ඇයගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔවුන් වෙත ඒ පිළිබඳව සඳහනක් හෝ සිදු කර නොමැත්තේ නම් ය.

මිනී මැරීමක්, ස්ත්‍රියකට සිදු කළ අතවරයක්, රිය අනතුරක් වැනි යමක් පිළිබඳ චිත්‍රයට නැගූ හෝ සජීවකරණය කළ රූප පෙළක් ප්‍රවෘත්ති සංස්කාරකවරයා වැනි ඉහළ නිළයක් විසින් ඉල්ලා සිටීමත්, ඒ ඇඳ දෙන්නට සිදු වීමත් එහි සේවය කරන සිතුවම් නිර්මාණකරුවකු හමුවේ වන ඔහුට පාලනය කළ නොහැකි දේ බැව් මම දනිමි. වේතනය පිළිබඳ අදහසත්, රැකියාවක සුරක්ෂිත බවත් ගැන සිතමින් ඔහුට ඒ සිදු කරන්නට වන බව පිළිගනිමි. අර්බුදය නිර්මාණය වන්නේ එම ‘මරණයේ රූප’ පළ කළ නාලිකාවට ආදරය කරන බව කියමින් සතුටු වන්නට ගත් විගසම ය. ඒ, එම සතුටෙහි මුල තවත් පියෙකුගේ, ස්වාමි පුරුෂයෙකුගේ, පුතෙකුගේ මරණයක් සමග මෙන්ම තවත් දරුවකුගේ, බිරිඳකගේ, මවකගේ හෝ පියෙකුගේ වේදනාව සමග එක්ව බැඳී ඇති හෙයිනි.

මිනිස් ජීවිතයක් අගය සියල්ලට පෙර ය! අපට ඒ වෙනුවෙන් සියලු කැපකිරීම් කළ නොහැකි වුවත් හෘද සාක්ෂිය ඒ වෙනුවෙන් කැප කළ යුතුම ය!

-          ප්‍රියන්ත ෆොන්සේකා - 
  
        සේයාරුව: Da Professa ගෙන එන මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ඉදිරිපත් කිරීමකිනි.


 

Wednesday, August 28, 2019

විශ්වවිද්‍යාල සංගීත අධ්‍යාපනයේ අර්බුදය


(2019 අගෝස්තු 25 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

තරුණ සංගීත උගතුන් කණ්ඩායමක් කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කර ඇති අතර මේ දිනවල එය විභාගයට ගැනෙයි. කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාල සඳහා කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේ දී ඉන්දීය උපාධි පාඨමාලා සම්පූර්ණ කොට මෙරටට පැමිණ සිටින අයගේ අයදුම්පත් පළමු වටයේ සළකා බැලීම්වලින් ඉවත් කිරීම මේ නඩුව පැවරීමට මුල්ව ඇති නිමිත්තයි. විශ්වවිද්‍යාලවල තර්කය අනුව ඉන්දීය විශ්වවිද්‍යාලවල සංගීත පාඨමාලා හැදෑරෙන්නේ වසර තුනක් පමණක් හෙයින් මෙරට විශ්වවිද්‍යාල පනත හා නීති සංග්‍රහය අනුව ඒ අයත් වන්නේ සාමාන්‍ය උපාධි යටතට මිස විශේෂ උපාධි යටතට නොවේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විශේෂවේදී පාඨමාලා යටතේ සංගීතය හදාරන්නෙකු/හදාරන්නියක වසර 4ක උපාධි පාඨමාලාවක් සපුරන හෙයින් ඔහු/ඇය මෙම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පළමුව කැඳවිය යුතු ය.

අනෙත් අතට, අධිකරණය හමුවට යන පාර්ශවයේ තර්කය වී ඇත්තේ, ඉන්දීය විශ්වවිද්‍යාල සංගීත පාඨමාලා වසර තුනකින් කෙළවර වීම ඔවුන්ගේ වරදක් නොවන බවයි. එසේම උපාධියට ප්‍රවේශ වීම සඳහා නිම කරන ඩිප්ලෝමා මට්ටම් ආදියද සමග එය වසර පහකට ආසන්න කාලයක අධ්‍යයන කටයුත්තක් බවයි. ඒ හා සමග, මෙරට දී සළකා බැලෙන පාඨමාලාවල ‘ක්‍රෙඩිට් ප්‍රමාණ‘ (ඇමරිකානු සමාසික නැතිනම් සෙමෙස්තර ක්‍රමය යටතට ගැනෙන) ආදිය වෙනුවට ඉන්දියාවේ දී සැලකෙන්නේ අවසන් කෙරෙන/ පුහුණුව ලැබෙන ‘පැය ප්‍රමාණ‘ ආදිය බවයි. ඉහත තර්ක ඔස්සේ සලකා බැලූ විට, බොහෝ දුරට මෙරට විශ්වවිද්‍යාලයක ආචාර්ය මණ්ඩලයකට එකතු වීමේ අවස්ථාව ඔවුන්ට හිමිවන්නට ඇති අවස්ථා අවමව ඇති වටපිටාවක, ඔවුන්ගේ අරගලය යම් පදනමක් සහිත වූවක් බව පිළිගත හැකි ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත ඉහත පිරිස හා විශ්වවිද්‍යාලවල සංගීත පාඨමාලාවල අනාගත ස්වරූප ලියැවීමට ඉඩක් වද්දී, සෞන්දර්ය අධ්‍යාපනයට ලැදි හා වඩා විධිමත්ව ඒ ගොඩ නැගිය යුතු බැව් විශ්වාස කරන පිරිසක් ලෙස අප රට සංගීත අධ්‍යාපනය වෙත නැවත හැරී බැලීමට මෙය අවස්ථාවක් කර ගැනීම උචිත බව මගේ අදහසයි. එය සමස්ථයක් ලෙස සංගීත අධ්‍යාපනය මතු නොව සංගීතය යන පුළුල් කලා කෙත දෙසම වන දේශජ දැක්ම යළි විමසීමට පසුබිමක් තනා දෙනු ඇති හෙයිනි.

සංගීතය නොඋගැන්වූව ද සංගීතය විෂයයක් ලෙස හදාරන විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් සහිත, සෞන්දර්ය අධ්‍යාපනය මූලික කොටගත්, විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන දෙකක වසර 16කට නොඅඩු අත්දැකීම් ඔස්සේ නැවත හැරී බලද්දී මට පෙනෙන්නේ අප සංගීතය අධ්‍යයන විෂයයක් දකින ආකාරයේම මූලික අර්බුදයක් හඳුනාගත හැකි බවයි. එය විශ්වවිද්‍යාල මට්ටමේ පමණක් පවතින්නක් නොවේ. අන්‍යෝන්‍ය වශයෙන් දෙපසින්ම ඇගයුම් හා එකඟතාවන් ලබමින් පාසැල් හා විශ්වවිද්‍යාල යන දෙඅංශයේම පවතින්නකි. එය සරල උදාහරණයකින් වටහා දෙන්නට මට ඉඩ දෙන්න.

මා කලින් සේවය කළ මෙයින් එක් සෞන්දර්ය මූලික විශ්වවිද්‍යාල ආයතනයකට ළමුන් බඳවා ගැනෙන්නේ උසස් පෙළ සමත්වූවන් වෙනුවෙන් වන සම්මුඛ පරීක්ෂණයකිනි. අවසානයේ විද්‍යාර්ථීන් 10-15කට ලැබෙන අවස්ථාවක් දිනා ගනු පිණිස වසරකට උසස් පෙළ සමත් සිසු සිසුවියන් තුන්සියයකට නොඅඩු පිරිසක් සංගීතයට පමණක් එම ආයතනයට අයදුම් පත් එවා මෙම සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙති. සංගීතය පිළිබඳ ව ප්‍රවීණ දැනුමකින් සමන්විත ආචාර්ය මණ්ඩල සාමාජික පිරිසට අමතරව කලාව හා සෞන්දර්ය පිළිබඳ අයදුම්කරුවන්ගේ සාමාන්‍ය දැනුම විමසා බලන්නෙකු ලෙස මම අවස්ථා ගණනාවකදීම මෙම මණ්ඩලවල වාඩිවී සිට ඇත. සෑම විටම ඒ මණ්ඩලය ඉදිරියට එන සිසුවකු හෝ සිසුවියකගෙන් ඇසෙන අනිවාර්ය පළමු පැනය මෙයයි.

“ඔයා වයලින් ද? වෝකල් ද?“

අයදුම්කරු වයලීනය ප්‍රගුණ කර ඇත්නම් ඔහුට හෝ ඇයට ඉදිරිපස වාඩි වී නම් කරන ලද හා පුහුණු වූ ඉන්දියානු රාග වයන්නට ද, ගායනය ප්‍රගුණ කළේ නම් ඉන්දියානු රාග ගයන්නට ද සිදු වන අතර, වෙනත් සංගීත භාණ්ඩවලට ඔවුන් වෙත හුරුවක් වේදැයි යන්න සරල ගීත හෝ ජන ගීත ආදිය ගයන්නට හැකිදැයි යන්න දෙවනුව හෝ තෙවනුව විමසා බලා සම්මුඛ පරීක්ෂණය කෙළවර කෙරෙයි. බටනලාවක්, සිතාරයක්, තබ්ලාවක් හෝ බටහිර වාද්‍ය භාණ්ඩයක් ඔසවාගෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් වන අයෙක් වෙතොත් ඔහුට/ඇයට බොහෝ දුරට ලැබී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

“ඔයා සෞන්දර්යයටත් ඇප්ලයි කළා ද? එහෙ නං ඔය වගේ ඉන්ස්ට්‍රැමන්ට් කෙරෙනව. එහෙම නැත්තං ඔයා කැමති නැද්ද වයලින් එක හරි ගායනේ හරි කරන්න මෙහෙ ඇවිත්?“

අරුමය නම් මේ දෙවැනි පිළිතුර අසන්නට එන පිරිස අතේ ඇඟිලි ගණන නොඉක්මවන අති සුළුතරයක් වීමයි. මණ්ඩල දොරෙන් ඇතුළු වන්නා නියතවම වයලිනයක් අත දරා හෝ  ගයන්නට මුව සූදානම් කරගෙන හෝ පැමිණෙන බැවිනි. එයට හේතුව පාසැල් සංගීත අධ්‍යාපනය ද මූලිකව වයලීනය හෝ ගායනය මුල් කරගෙන විහිද යන නිසා බැව් ඒ දිනවල විශ්මයට පත්ව උන් මා වෙත මණ්ඩලයේ ප්‍රවීණයෙක් පහදා දුන්නේ ය.

දැන් අපට නියත, අනිවාර්ය, එනමුත් කවුරුත් නොඅසන පැනයක් ඇසිය හැකි ය. සංගීතය යනු මේ ද? වයලීනය හෝ ගායනය මූලිකව තැබූ, තබ්ලා, සිතාර හා බටහිර සෙසු වාදන භාණ්ඩ දෙවනුව තැබූ දෙයක් ද?

මෙය සංගීතය, උත්තර භාරතීය හා දක්ෂිණ භාරතීය ලෙස ද, බටහිර ලෙස ද වෙන් සම්ප්‍රදායන් ලෙස ගෙන හැදෑරීම ඉක්මවූ ඛේදනීය ආස්ථානයකි. මා දන්නා විශ්වවිද්‍යාල පාඨමාලාවලින් අති බහුතරයක් මෙම, ඉන්දීය රාගධාරී සංගීතය මුල් කොටගත්, දිගින් දිගටම රාග වැයීම හෝ ගැයීම පුහුණු කෙරෙන, සාම්ප්‍රදායික ප්‍රවේශය බිඳ හෙළා වෙනත් මාවත් සොයාගෙන නැත. සරස්වතී ප්‍රතිමාවක් සිය පුහුණු පන්ති අභියස තබා, ඒ වැඳ අවසර ගෙන කෙරෙන පුහුණු සැසි හැරුණු විට විශ්ව සංගීතය විමසිය හැකි ආකාර සොයා බලා නැත. යට සඳහන් කළ අධ්‍යයන ආයතන දෙකෙහිම නව විෂයය නිර්දේශ යාවත්කාලීන සැසි හා එක්ව මා සම්බන්ධ වන විෂයය ක්ෂේත්‍රවල කටයුතු කරද්දී, සංගීතයේ නන්විධ ප්‍රවේශ හා ස්වරූප විමසිය හැකි, ලොව දියුණු විශ්වවිද්‍යාල හා සංගීත පාසැල්වල ක්‍රියාත්මක පාඨමාලා අනුදත් විෂයය නිර්දේශ තැනීමට ඒ ආචාර්යවරුන් වෙහෙසෙන බවක් දැක හෝ නැත.

එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එක් ‘ප්‍රශ්න කළ හැකි‘ පොදු ප්‍රකාශයක් නම් නිරතුරුව වහරති. ‘සංගීතය විශ්ව භාෂාවකි!‘ යන්න එම ප්‍රකාශයයි.

සංගීතය දෙස බලන, විමසන හා ඒ හදාරණ මාවත් ගණනාවක් ලෝකයේ සංගීතය ප්‍රමුඛ කොටගත් පාසැල් හා විශ්වවිද්‍යාල හමුවේ හඳුනාගත හැක. උදාහරණයක් ලෙස සිඩ්නි විශ්වවිද්‍යාලයට අයත් ප්‍රමුඛතම අධ්‍යාපන (සංගීත සංරක්ෂණ) ආයතනයක් වන Sydney Conservatorium music හි නිර්මාණශීලී සංගීතය, සමකාලීන සංගීත භාවිතය, ඩිජිටල් සංගීතය හා මාධ්‍යය, ජනසංගීතවේදය, සංගීතවේදය, ආදිවාසී සංගීතය, ගොඩ නංවන (Improvised) සංගීතය, අභිවහන විද්‍යාව, අභිවහනය හා සංරක්ෂණය යනාදී විෂය ප්‍රවේශ සිය පළමු උපාධිය සඳහා සංගීතය තෝරාගන්නෙකු වෙත හමුවනු ඇත. අප රට හමුවන පාඨමාලා අතර මේ විෂයය ක්ෂේත්‍ර අතුරින් යම් කලාප (උදා: ජනසංගීතවේදය) හමු වන අවස්ථා ඉඳහිට හඳුනාගත හැකි වුවත් ඒ ඉතා කුඩා ඒකක වශයෙන් පමණි.

කැලණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලවල බඳවා ගැනීම් පටිපාටිය පිළිබඳ ඉන්දීය සංගීත උපාධිධාරීන්ගේ අභියෝගය වැදගත් ය. ‘ඉන්දීය රාගධාරී සංගීතය උගැන්වීමට ඉන්දියාවෙන්ම ඉගෙන පැමිණීම නුසුදුසුකමක් වේයැයි‘ යන තියුණු හාස්‍යජනක හැඟවුමකට එරෙහි වීමක් එහි ඇත. අනෙත් අතට, මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නගන, මග හැර යා නොහැකි සහ වැදගත් ප්‍රශ්නයක් ඉන්දීය සංගීත උපාධිධාරීන් අභියස ද ඉතිරි වේ. පර්යේෂණාත්මක අධ්‍යාපනයක් මග හැරුණු, හුදු දීර්ඝකාලීන පුහුණුවකින් හා ඒ විභාග කිරීමකින් පමණක් ඔබ ලැබූ උපාධි සුදුසුකම මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉල්ලා සිටින පර්යේෂණාත්මක ආචාර්යවරයා නිර්මාණය කරන්නේ ද යන්න ඒ වැදගත් පැනයයි. එයට ඔවුන් පිළිතුරු දිය යුත්තේ නිර්මාණශීලී ක්‍රියාකාරකම් හරහා මෙන්ම විශ්ව සංගීතය පිළිබඳ නව දැනුම පොත්පත් හා ලිපි ආදිය සම්පාදනය හරහා සිදු කරන ද්වි-ආකාර මැදිහත්වීම් ඔස්සේ සංගීත අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කිරීම මගිනි. ඒ අභියෝගය ඉන්දීය සංගීත උපාධිලාභීන් වෙත මෙන්ම මෙරට විශ්වවිද්‍යාලවල සංගීත ආචාර්ය පරපුර වෙත ද එල්ලව ඇති බව එපිරිස ද මනාව වටහාගත යුතු ය.

දැඩි සීමාකම් සහිත මෙරට සංගීත අධ්‍යාපනය පුළුල් මානයක ස්ථාපිත වනු ඇත්තේ එවන් ප්‍රවේශයකින් පමණි.


-ප්‍රියන්ත ෆොන්සේකා -


සේයාරුව:  සෑම් ස්මිත්ගේ "I am not the only one' ගීයේ අනුවාදනය සඳහා ඩෙරික් ග්ලේටන් (ඩීෂාර්ප් ලෙස ප්‍රසිද්ධ) ඉදිරිපත් කරන වීඩියෝවේ කවරයේ සේයාරුවයි. 

Wednesday, August 21, 2019

අනාගතයට ආදරය කරමු!


(2019 අගෝස්තු 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

මහා තරගයක් ඉදිරියට පැමිණෙමින් තිබෙන බව පසුගිය සති අන්තය අපට කියා සිටියේ ය. එක් පාර්ශවයක ‘සිහින අපේක්ෂකයා‘ නම් කිරීමත් සමග රතිඤ්ඤා, රබන් සුරල්, පපරේ සංගීතය සහ කිරිබත් කරළියට ආ අතර ඉතිරි ප්‍රමුඛ පාර්ශවය සහ සෙසු තෙවැනි සහ සිවුවැනි බල මුළු, ඒ ඒ පාක්ෂිකයන්ට ස්ව-වින්දනාත්මක පසුබිමක් තනමින් සිය අපේක්ෂකයින් ඉදිරි දින කිහිපය තුළ නම් කරනු ඇති බවට අදහස් පළ විය. ඉන් පසු, ජනපතිවරණය එළඹෙන තෙක්, ‘හෙට දවස‘ පිළිබඳ අනේක සුභ සිහින රැගත් විවිධ යෝජනා සහ බලාපොරොත්තු ඇති කෙරෙන කතා ද, අතීත වැරදි සහ දූෂණ හා වංචා පිළිබඳ විවිධ චෝදනා මාලා ද පුරවැසියන්ගේ දෙසවන් තුළ රැව් පිළිරැව් නංවමින් නැගෙනු ඇති අතර ජනපතිවරයකු පත් වූ අනතුරුව සුපුරුදු ‘අනෙකා වෙත යොමු වන සිනාසීම්‘ හෝ ‘පසුතැවිලිවීම්‘ නැගී එනු ඇත.

මේ සියලු ක්‍රියාවලීන් අතරතුර, ගෙවුණු 71 වසරක පසු-නිදහස් සමය තුළ අප සමාජය යළි යළිත් සිදු කළ මෙම ‘තට්ටු මාරු‘ දේශපාලනය තුළින් රටට අත්වුණු ජයග්‍රහණයක් වී දැයි යන පැනය අසන සමාජ ස්ථරයක් ද අපට මුණ ගැසෙයි. තිස් වසරක සිවිල් යුද්ධයක්, පරාජිත තරුණ කැරළි දෙකක් යන ලේ වැකුණු මෑත ඉතිහාසයක් හේතුවෙන් අපට අහිමි වුණු ජීවිත දසදහස් ගණනක් මෙන්ම, ආර්ථිකමය, දේශපාලනමය හා සංස්කෘතිමය වශයෙන් අප සමාජයක් ලෙස පසු බැස ඇති තරම ගිණිය නොහැකි තරම් දුරකට වේ යැයි එම කණ්ඩායමේ අදහස්වල සාරයයි.

මුලින් සඳහන් කළ පොදු සමාජ කණ්ඩායම් කිහිපය ස්වකීය නායකයාගේ ‘දැක්ම‘ හෝ අදහස් අනුව යමින් හා/හෝ සම්ප්‍රදායානුකූලව සිය විශ්වාසය දිනාගත් පක්ෂය වෙත ආසක්ත වෙමින් හෝ මේ පෙර දකින්නට උත්සාහ කරන්නේ වඩා යහපත් හෙට දවසක් පිළිබඳ අදහසකි. දෙවනුව සඳහන් කළ, මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳ පොදු විවේචනාත්මක දෘෂ්ටියකින් අදහස් ගොණු කරන කණ්ඩායමේ මූලික අදහස තුළ ද ඇත්තේ තත්‍යාකාර වෙනසක් සිදු නොවුණහොත් යහපත් හෙට දිනයක් උදා නොවනු ඇති බව හා මේ පවතින දේශපාලන පක්ෂ හා නායකයින් හමුවේ ඒ සඳහා බලාපොරොත්තු ඇති කිරීම උගහට බව ය.

නිශ්චිත කුලකයක වන ස්වාත්ම පෝෂණ සිහින පසෙක ලෑ විට, මේ සියල්ලන්ගේ ප්‍රකාශ හා අදහස්වලින් වෙන්කොට ගත හැකි තනි යෙදුම නම් ‘හෙට දවස‘ යන්නයි. අපි සියල්ලෝම හෙට දවස ගැන බලාපොරොත්තු තබා ගනිමින් ද, ඒ කඩා බිඳ දමා ගනිමින් ද, සැක කරමින් ද ජීවත් වන්නෝ වෙමු. එහෙත්, සිවු වසරකට හෝ පස් වසරකට වරක් එළඹෙන ජනාධිපතිවරණ හා මහ මැතිවරණ වෙත පමණක් අවධානය යොමු නොකොට හා එමගින් වන යහපත් එළඹුම් දෙස පමණක් බලා නොසිට හෙට දවස වෙනුවෙන් පුරවැසි සමාජයක් ලෙස අපට කළ හැකි දේ කුමක්දැයි අප සිතා බලා ඇත් ද?

දැනට දෙසතියකට පමණ පෙර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ‘සංස්කෘතික විපුලතාව‘ වෙනුවෙන් වූ නේවාසික පුහුණු වැඩසටහනක සහභාගි වීමේ අවස්ථාව මට ලැබිණ. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන එහි මූලික සම්පත්දායකයා ලෙස කටයුතු කළ අතර, පුරා දින 5ක් තිස්සේ 20ක පමණ කණ්ඩායමක් සමග සංස්කෘතිය හා බැඳුණු විවිධ න්‍යායික එළඹුම් ද සාකච්ඡා කරමින්, සමාජයක් ලෙස අප මුහුණ දී ඇති අර්බුද වටහා ගැනීමට හා සමාජ-සංස්කෘතික ගතිකයන් වටහා ගනිමින් ඒ සඳහා පිළිතුරු සෙවීමට ඇති මං වටහා ගැනීමට අපි කටයුතු කළෙමු. වැඩමුළුව කෙළවර ඔහු සඳහන් කළ එක්තරා සඳහනක් ඔස්සේ සිත යොමු කළ මට, මෙතෙක් මේ ලිපිය තුළ මා ගොනු කරමින් එන ‘හෙට දවස‘ පිළිබඳ සමාජ අදහස වඩාත් විස්තීර්ණ කළ හැකි කලාපයක් එහි වන බව හැඟී ගියේ ය.

ආචාර්ය විජේසිරිවර්ධන වසර කිහිපයක් තිස්සේ ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් හා ඒ හා බැඳුණු සමාජ-සංස්කෘතික එළඹුම් සමූහයක් වෙනුවෙන් නිහඬ අරගලයක යෙදී සිටියි. ඇතමෙකුට අනුව මෙය එක්තරා ‘පිස්සු වැඩක්‘ ලෙස පෙනී යා හැකි වෙතත්, ‘සංස්කෘතික ප්‍රතිපත්තියක්‘ යනුවෙන් ඔහු (සහ ඔහු සමග වැඩ කරමින් සිටින කුඩා කණ්ඩායම) ඉදිරිපත් කරන අදහස කුමක්දැයි සැලකිල්ලට ගෙන විමසා බැලීම වටී. සංස්කෘතිය යන්න නිසි අර්ථ නිරූපණයකින් වටහා නොගත් සහ ඒ නිසාම කලා-සංස්කෘතික කලාප වෙත දැඩි සීමාකාරී රාමු නිර්මාණය කරන ආණ්ඩුවල අණපනත් පසෙක ලා පුරවැසියා විසින්ම සකසාගත් සංස්කෘතික ප්‍රතිපත්තියක් සකසා ගැනීම හා ඒ ඔස්සේ වඩාත් දියුණු හා යහපත් සමාජයක් වෙනුවෙන් කලාව, අධ්‍යාපනය, ආගම හා මාධ්‍යය යන සිවු වැදෑරුම් සමාජ මෙහෙයුම් පද්ධති යොමු කරවීම ඔහුගේ/ඔවුන්ගේ පිරිසේ යෝජනාමාලාව තුළ වන බව මට පෙනී ගොස් ඇත. අද මේ ලිපියේ සාකච්ඡාවට ගැනෙන ‘හෙට දවස‘ පිළිබඳ කතාව වෙනස් මගකට පිළි පනින්නේ ද ඒ මූලික සාකච්ඡා පද්ධතිය තුළ හිඳිමින්ම ආචාර්ය විජේසිරිවර්ධන කරන එක් යෝජනාවක් පදනම්ව ය. යහපත් හෙටක් දකින්නට නම් අපි ‘අනාගතයට ආදරය කළ යුතු යැයි‘ ඔහු යෝජනා කරයි!

සැබැවින්ම අපි අනාගතයට ආදරය කරන්නේ වෙමු ද? අනාගතය යනු ‘හෙට දවස‘ පමණක්ම නොවේ. එය අපේ ජීවිත කාලයෙන් ඔබ්බට පරම්පරා ගණනාවක් ඔස්සේ අනන්තයක් දක්වා විහිදෙයි. දරුවන්ගේ ද දරු මුණුපුරන්ට වඩාත් සතුටින් ජීවත් විය හැකි අනාගතයක් වෙනුවෙන් ජල සම්පත හා සත්ව සම්පත සුරැකීම, කුඩා ප්ලාස්ටික් බෝතලයක් වසර 450ක් දිරාපත් නොවන බව වටහාගෙන ඒ භාවිතය හැකි තරම් සීමා කිරීම වැනි කුඩා පියවරක සිට ප්‍රති-වන වගාව යනාදිය මෙම අනාගතයට ආදරය කිරීම සම්බන්ධ පරිසරය හා බැඳුණු දේ ය. අපේ සමාජය හා සංස්කෘතික පරිසරය හා බැඳුණු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිතා බලමින් අපට මේ අනාගතයට ආදරය කිරීමේ සිතුවිල්ල කෙතරම් ස්ථිරව අප තුළ වේ දැයි කිරා මැන බැලිය හැක.

ඒ ඔස්සේ එළඹෙත් දී, හෙට දවසේ ‘දියුණු රට‘ යනු අහස සිඹින ගොඩනැගිලි හා වේගයෙන් දිවෙන සුඛෝපභෝගී යාන වාහනවලින් පමණක් පිරුණු රටක් පිළිබඳ ‘සිංගප්පූරු චිත්‍රය‘ නොවන බව අපට වැටහෙනු ඇත. ගස්වැල්වලින් තොර පරිසරය අඩු ඔක්සිජන් පිරි, හුස්ම ගැනීම අසීරු නගර අවකාශ නිර්මාණය කරන හෙයිනි; රෝගී සමාජයක් තනා දෙන හෙයිනි. එනයින් වෘක්ෂලතාදිය ද හමුවන, තදබද නැති නගරයක සෙමින් පාපැදියක් පැද යන නගර වැසියෙකුගේ ‘නෙදර්ලන්ත නගර චිත්‍රය‘ වඩා ආකර්ෂණීය බව අපට පෙනී යනු ඇත. සෙසු සියලු කලාප මෙවැනි උදාහරණ මාලා ඔස්සේ යමින් අපට විමසා බැලිය හැකි ය.

දැන් අපේ ‘හෙට දවස‘ පිළිබඳ සිහින රැගෙන එන නායකයින්, දේශපාලන පක්ෂ, පුරවැසි කණ්ඩායම් ඇතුළු සියල්ලන් කෙතරම් දුරට මෙම තත්‍ය අනාගතය දෙස බලා ඇත්දැයි අපට මැන බැලිය හැකි ය. බොහෝ දෙනෙකුගේ ප්‍රකාශ හා ප්‍රකාශන ‘අනාගත මහා නගරවල‘ ගිලී ගොසිනි; ආර්ථික අභිලාෂවල කිමිදී ගොසිනි; කර්මාන්ත හා යෝජනා ක්‍රමවල පැටලී ගොසිනි. ඒ කිසිදු වැඩ සටහනක් හෝ දැක්මක් ‘හෙට දවස‘ දෙස මිස ‘අනිද්දා‘ දෙස නොබලයි.

ආචාර්ය විජේසිරිවර්ධන ප්‍රමුඛ කුඩා බලපෑම් කණ්ඩායමේ එළඹුම පිළිබඳ විවේචන නැගිය හැකි අවස්ථා ඇති වුව ද, නොවූව ද ඔවුන්ගේ ආස්ථානයේ ඇති මූලික වැදගත් යෝජනාව අප සමාජයක් ලෙස යළි යළිත් සිතා බැලිය යුත්තක් බව මගේ යෝජනාවයි. ආර්ථික ක්‍රමය වෙනස් කිරීම, දේශපාලනික ප්‍රතිපත්ති වෙනස් කිරීම, පාලනය පෙරළා දැමීම වැනි එක් පියවරකින් පමණක් තියුණු හා දියුණු සමාජ වෙනසක් පිළිබඳ බලාපොරොත්තු තැබීම පදනම් විරහිත බව ඔවුහු යෝජනා කරති. අවශ්‍ය වන්නේ සමාජ පැවත්මෙහි පුළුල් වෙනස් කිරීමකි. ඒ සඳහා යට කී  කලාව හා සෞන්දර්යය, අධ්‍යාපනය, ආගම හා මාධ්‍යය අප වටහාගෙන ඇති හා භාවිතා කරමින් ඇති ස්වරූප වෙනස් කළ යුතු ය.

එය තනි නායකයෙකු පැමිණ දිනකින්, සතියකින්, මාසයකින් හෝ වසරකින් දෙකකින් කරන විශ්වකර්ම කටයුත්තක් විය නොහේ. ‘අනාගතයට ආදරය කරන‘ සමස්ථ පුරවැසි සමාජයේ අවශ්‍යතා ඔස්සේ වැඩී නැගිය යුතු අනවරත ක්‍රියාවලියක් ඔස්සේ දිනිය යුත්තකි.

-ප්‍රියන්ත ෆොන්සේකා -