Tuesday, July 23, 2013

“අපි කවදාවත් දන්නෙ නැහැ ඊළඟ මිනිත්තුවෙ මොනව වෙයිද කියල“



පහත සම්මුඛ සාකච්ඡාව ප්‍රංශයේ නන්තෙස් නගරයේ පැවැත්වෙන ත්‍රෛ මහද්වීපික (ආසියානු, අප්‍රිකානු, සහ ලතින් ඇමරිකානු) සිනමා උළෙල වෙත  2011 වසරේ දී සිය ‘ඉගිල්ලෙන මාළුවෝ‘ සිනමා කෘතිය ඉදිරිපත්  කිරීමෙන් පසු Indes Réunionnaises වෙබ් අඩවිය සමඟ සංජීව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයකි. කාලීන වැදගත්කම සළකා එය ‘අළු‘ බ්ලොග් අඩවියේ පළ කරමු. 

ප්‍රශ්නය : ආයුබෝවන් සංජීව පුෂ්පකුමාර. කරුණාකරල, මුලින්ම අපේ පාඨකයින්ට ඔබව හඳුන්වල දෙන්න පුළුවන් ද?

සංජීව: මම ඉපදුණේ ලංකාවෙ නැගෙනහිර, ත්‍රිකුණාමලේ. මම මාධ්‍යවේදියෙක් හැටියට පුවත්පත්වල, ටෙලිවිෂන් නාලිකාවල සහ ගුවන්විදුලි නාලිකාවලත් වැඩ කළා. ඒත් එක්කම පිටපත් රචකයෙක් සහ නිෂ්පාදකවරයෙක් හැටියටත් වැඩ කළා.

ප්‍රශ්නය : ඒත් එක්කම අපිට කියන්න කෙහොමද ඔබ සිනමා අධ්‍යක්ෂණයට හා නිෂ්පාදනයට පිවිසුණේ කියල. කවුද, කුමක් ද ඔබට සිනමාවේ රසවත්කම කියල දුන්නෙ?

සංජීව : මම මාධ්‍යවේදියෙක් හැටියට වැඩ කරන කාලේ කවදාවත් නොදැකපු සිනමා කෘති විශාල සංඛ්‍යාවක් බලන්න මට ඉඩ ලැබුණා. කොළඹ තියෙනව, ප්‍රංශ මිත්‍ර සංගමය (අලියොන්ස් ප්‍රාන්සේස්), ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය (ගොයිත ආයතනය), ඇමරිකානු මධ්‍යස්ථානය, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය වගේ විදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන. ඒත් එක්කම ඒවයේ හැමවෙලාවකම තිබුණ  සිනමා දැක්මවල් සහ සිනමා ප්‍රදර්ශන. වාර්ෂිකව, යුරෝපා සංගමය, කොරියාව, ඉරානය සහ අනෙකුත් රටවල් ගෙන ආපු සිනමා උළෙලවල් තිබුණ. චිත්‍රපට නරඹන්නෙක් හැටියට මම මේ හැම සිනමා උළෙලකටම ගියා. මේවයේ පෙන්නපු චිත්‍රපට බලද්දි මට තේරුණා මටත් තියෙනව කියල ලෝකයට කියන්න කතන්දර ගොඩක්.  ඊට පස්සෙ මම මුලින්ම ස්වයං සිනමා අධ්‍යයනයකට යොමු වුණා. මට තවමත් කියන්න පුළුවන් මට සිනමාකරුවෙක් වෙන්න ඒ සිනමා උළෙලවල් තදින්ම බලපෑව කියල.

 ප්‍රශ්නය :ශ්‍රී ලංකාවෙ සහ විදේශයන්වල කියන දෙකේම ගත්තම, ඔබට තදින්ම බලපාපු සිනමාකරුවො සහ නළු නිළියො කවුද?

සංජීව : මම කියන්නම ඕන ලංකාවෙ සිනමාකරුවන්ගෙන් අශෝක හඳගම සහ ප්‍රසන්න විතානගේ බොහොම තදින්ම මට බලපෑව කියල. ඊට පස්සෙ ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ සහ ධර්මසිරි බණ්ඩාරනායක කියන අයත්. ඒ අතරෙ සිනමා විචාරකයෙක් උන්න මනුබන්දු විද්‍යාපති කියල. එයාගෙ රචනා මට ගොඩක් උදව් වුණා.  ලෝක සිනමාවෙදි, ප්‍රධාන වශයෙන් අන්ද්‍රෙයි තරකොව්ස්කි සහ ඉන්ග්මාර් බර්ග්මාන්. ඊට පස්සෙ බෙලා තාර්, මයිකල් ආන්ජලෝ අන්තෝනියෝනි, කාලොස් රෙගදාස්, වීරසේතකුල්, සෙලාන්, අබ්බාස් කියරොස්තාමි, කිම් කි දුක්, ඕසු ඇතුළු තවත් සිනමාකරුවො මහ ගොඩක්. 

ප්‍රශ්නය : ඔබ හැදුව ස්පර්ශය සහ ඉගිල්ලෙන්න පියාපත් නමින් කෙටි චිත්‍රපට දෙකක්. ඒව ගැන මොනවද කියන්න තියෙන්නෙ?

සංජීව ස්පර්ශය මම හැදුවෙ මගේ සිනමා ඩිප්ලෝමා පාඨමාලාවෙ නිෂ්පාදනයක් හැටියට 2007 දි. ඒක තමන්ගේ දෙඅතම අහිමි වෙච්ච සොල්දාදුවෙක් ගැන කතාවක්. ඉගිල්ලෙන්න පියාපත් මම හදන්නෙ 2008 දි කොරියාවෙදි. මගේ සිනමා අධ්‍යයන පාඨමාලාවෙ අවසන් නිෂ්පාදන කාර්යය හැටියට. මේක හමුදා සොල්දාදුවෙක් සහ අන්ධ යුවතියක් අතර ඇතිවන ප්‍රේමයක් ගැන කතාවක්.
 
ප්‍රශ්නය : ඉගිල්ලෙන මාළුවෝ මේ වෙද්දි ලෝකය පුරාම සිනමා උළෙලවල පෙන්වලා සහ ඇගයීම් ලබල තියෙන්නෙ. මේ කෘතිය ගැන යමක් කියන්න.

සංජීව : සිනමා කෘතිය ගැන තොරතුරු ඕන නම් විකිපීඩියා එකේ ඔක්කොම තියෙනව :
http://en.wikipedia.org/wiki/Flying_Fish_%28film%29
  
ඒත් එක්කම මෙන්න බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයේ (එක්සත් රාජධානිය) වෙබ් අඩවියේ සිනමා කෘතිය ගැන කියන දේ: " ඉගිල්ලෙන මාළුවෝ  ශ්‍රී ලාංකේය ඇතුළාන්තයෙහි වන දිදුලන බවක් නැති අඳුරු  හැඟුම්බර රූපයන් වෙත අසාමාන්‍ය චාරිකාවක් ගෙන එයි. ශ්‍රී ලංකාව හෙල්ලුම් කැවූ, විසිපස් වසරක සිවිල් යුධ සමය පසුබිම් කරන පුෂ්පකුමාරගේ විශිෂ්ට ආගමනය, රජයේ හමුදාවන් සහ ද්‍රවිඩ කොටි සංවිධානය අතර ගැටුමෙන්  පීඩාවට පත් වන පිටිසර ගමක, සාමාන්‍ය මිනිස් ජීවිත පිළිබඳ ස්ව අත්දැකීම්වලින් පෝෂිත ය. ලිංගික සූරාකෑම දැක්වෙන දසුන් අතරමැද, පුනර්කරණය වන විචිත්‍ර කෘමීන්ගේ සමීප රූප සහ විස්මයාවහ සුන්දරත්වයෙන් යුත් භූදර්ශන පැනෙන්නේ මෙය සුවපහසුවෙන් නැරඹිය නොහෙන චිත්‍රපටයක් බවට පත් කරමිනි. අපි එයට නිල් චැමලියන් ජූරි සම්මානය ලබා දුන්නෙමු. ඒ සමග මෙවර ලන්ඩන් සිනමා උළෙලේ දී එය නරඹන්නටත් ඔබට අවස්ථාව උදා වනු ඇත“

ප්‍රශ්නය  : ඔබ සිනමා කෘතිය රූපගත කළේ කොහේදි ද? කවදා ද? කොහොම ද?

සංජීව :  මේ මුළු චිත්‍රපටයම රූපගත කළේ  නැගෙහිර පළාතේ තියෙන මගේ ගෙදර වටපිටාවෙමයි. මේකෙ රූගත කිරීම් ඉවර වුණේ 2010 දි. සම්පූර්ණ චිත්‍රපටියම රූගත කරන්න අපිට දවස් 17ක් ගියා.
 
ප්‍රශ්නය : මේ චිත්‍රපටය ඔබ හදන්නෙ කැපවුණු  සිනමාකරුවෙක් හැටියට ද? මොකක්ද මූලිකම හේතුව  වුණේ මේක හදන්න?

සංජීව : තවම මම දන්නෙ නැහැ හරියටම මම ඇත්ත සිනමාකරුවෙක් ද කියල. මොනව වුණත් මට ඕන අනාගතේ දවසක ඓන්ද්‍රිය සිනමාකරුවෙක් වෙන්න, ස්වාත්මය හෙළිදරව් කරන සිනමාකරුවෙක්. ඉගිල්ලෙන මාළුවෝ හැදුවට පස්සෙ මට එකක් හරියටම කියන්න පුළුවන්. ඒ තමයි තරමක් දුරට මට මගේ ආත්මය සුවපත් කරගන්න පුළුවන් වුණා කියන එක.

ප්‍රශ්නය : මේ චිත්‍රපටය ඔබේ පුද්ගලික ජීවිතයත් එක්ක සම්බන්ධ ද? මේක ස්ව-චරිතාපදාන චිත්‍රපටියක් ද?

සංජීව : ඇත්තටම මේ චිත්‍රපටිය මගේ ජීවිතය තමයි. ඔබට කියන්න පුළුවන් ඉගිල්ලෙන මාළුවෝ කියන්නෙ ස්ව-චරිතාපදාන චිත්‍රපටියක් කියල.  සිනමාකරුවෙක් හැටියට මට ඕන මගේම ජීවිතේ ගැන කියන්න.

ප්‍රශ්නය  : ශ්‍රී ලාංකික සිනමාකරුවෙකුට  තමන්ගෙ රටේ මෑතකාලීන අතීතය සහ සිවිල් යුද්ධය නොතකා හරින්න පුළුවන් ද? 

සංජීව : මම හිතන්නෙ නැහැ සිනමාකරුවෙකුට මේ අතීතය නොතකා හරින එක ලේසි වැඩක් කියල. මේ ඉතිහාසය අපේ ජීවිත ඇතුළෙ සදාකාලික කම්පනයක් ඇති කරල තියෙන්නෙ. ඉතින් කොහොමද සිනමාකරුවෙක්ට පුළුවන් වෙන්නෙ, මේක නොතකා හරින්න?
 
ප්‍රශ්නය  : ලංකාවෙ චිත්‍රපටි හදන එක ලේසි ද?

සංජීව :  මම හිතන්නෙ නැහැ ඒක ලේසි වැඩක් කියල. සිනමාකරුවෙක් හැටියට ඔබට ගොඩක් ගැටළුවලට මුහුණ දෙන්න වෙනව. ඒ අතරින්, මූල්‍යමය බාධාවන්ටත් වඩා තවමත් දරුණුම දේ තමයි දේශපාලනික තත්වය. 

ප්‍රශ්නය : ඔබ මොනවද හිතන්නෙ ඉන්දියානු බොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාවන් ගැන?

සංජීව: අවංකවම කියනව නං මට ඒ සිනමාවන් එක්ක ගණුදෙනුවක් නැහැ. ඒත් මිනිස්සු ඒවට කැමති නිසා මම ඒව ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. මට කියන්න පුළුවන් ඒ මගේ සිනමාව නොවන බව සහ මම බලාපොරොත්තු වන සිනමාව නෙවෙයි කියල විතරයි.  මම දන්නව මේ සිනමා කෘති මිනිස්සුන්ගේ ඔළු අවුල් කරවනව වගේම සාමාන්‍ය මිනිහගෙ පොකට් එකට විදිනව. ඒත් තවම මිනිස්සු ඒවට කැමතියි. 

ප්‍රශ්නය  : මොනවද ඔබේ අනාගත සැලසුම් ?


සංජීව :  මම සිනමා කෘති බවට හරවන බලාපොරොත්තුවෙන් අලුත් වැඩ දෙකක්ම ලෑස්ති කරගෙන යනව. අපි බලමු, අපි කවදාවත් දන්නෙ නැහැ ඊළඟ මිනිත්තුවෙ මොනව වෙයිද කියල.


මුල් සාකච්ඡාව සඳහා මෙතනින් පිවිසෙන්න. http://www.indereunion.net/actu/Sanjeeva/interPushpakumara.htm

සේයාරුව :  http://www.indereunion.net/actu/Sanjeeva/sanjeeva.jpg

No comments:

Post a Comment