Wednesday, November 20, 2013

මගේ ගුරුවරයා සිනමාවයි!


- ලලීන් ජයමාන්න සමඟ සංවාදයක් -

ලලීන් ජයමාන්න
ආචාර්ය ලලීන් ජයමාන්න සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. සිනමා අධ්‍යයනය පිළිබඳ ඉගැන්වීම හා පර්යේෂණ කිරීම සම්බන්ධයෙන් දශක ගණනාවක පළපුරුද්දක් ඇති ඇය මේ දිනවල ඉන්දීය සිනමාකරු කුමාර් ෂහානිගේ නිර්මාණ පිළිබඳව ලියැවෙන සිය නවතම පර්යේෂණ කෘතිය සඳහා අවසන් ලේඛණ සකස් කරමින් සිටියි. සිය ආචාර්ය උපාධිය පිළිබඳ පර්යේෂණ නිබන්ධනය  ලාංකික සිනමාවේ කාන්තා නිරූපණය ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ඇය, පසුකාලීනව අන්තර් සංස්කෘතික සිනමා විචාරවේදය, ස්ත්‍රීවාදී සිනමා න්‍යාය, කුමාර් ෂහානිගේ සිනමාව, ඩෙලෂියානු සිනමා න්‍යාය යන ක්ෂේත්‍ර කරා සිය අධ්‍යයන පරාසය විහිදුවාලී ය.
පහත සංවාදය සිය පර්යේෂණ කටයුතු අතරතුර 14 සඟරාව වෙනුවෙන් ඇය විසින් ලබාදෙන ලද්දකි. සංවාදය මෙහෙයවන ලද්දේ ප්‍රියන්ත ෆොන්සේකා සහ නෝමන් යූසුෆ් විසිනි.

ප්‍රියන්ත : පළමුවෙන්ම, මෙවර 14 සඟරාව මූලික කොටම කාන්තාව සහ සිනමාව යන තේමාව පදනම් කරගත්තක්. මෙම තේමාව ගැනම කතා කරමින් සාකච්ඡාවට ආවොත්, ඔබ දකින්නෙ කොහොමද මෙම කාන්තාව සහ සිනමාව අතර සබැඳියාව? එය වෙන්ව, මාතෘකාවක් ලෙස ගන්න පුළුවන් ද?

ලලීන් : ඇත්තටම! කාන්තාව සහ සිනමාව යන්න කතා කරන්න පුළුවන් මාතෘකාවක් තමයි. එය අර්ථ සහිත මාතෘකාවක්. වටපිටාවක් තියෙන.

සිනමාවේ ආරම්භයට යන්න. එහි මුලින්ම කියවෙන සිනෙමටොග්‍රැෆි (Cinematography) වචනය අරගෙන බලමු. මේ වචනය එන්නෙ ග්‍රීක භාෂාවෙන්. අදහස තමයි මෝෂන්ස් (motions) නැත්නම් චලන පටිගත කරනවාය කියන එක. නිකම්ම නිකම් ‘මෝෂන්ස් ‘ විතරක් නෙවෙයි මේ සඳහා එන්නෙ. මිනිස් හැඟීම්. ඒ කිව්වෙ ‘ඉමෝෂන්ස්‘ (Emotions) ආදියත් සිනමාවට වැදගත්. ඇත්තටම මුහුණ හා ශරීරය හා බැඳුණු හැඟීම් සහ ඉංගිත තමයි අපි රූපයට නගන්නෙ. ඉතින් මේ ‘ඉමෝෂන්ස්‘ සාපේක්ෂව වැඩියෙන් හමුවන තැනක් තමයි ස්ත්‍රී මුහුණ හා ශරීරය. ගැහැණු සිරුර සාපේක්ෂව කතා කරනව වැඩියි. මෙහෙම බැලුවම, ආරම්භයෙන්ම අදහසක් ගන්න පුළුවන් ස්ත්‍රියගේ වැදගත්කම සිනමාව සම්බන්ධයෙන්. 

සිනමාව ස්ත්‍රිය ගැන කතා කරන්න පුළුවන් තැනක්. ඇගේ හැඟීම්, සිතුවිලි හා ශරීර චලන ගැන. නමුත් අපි සීමාවෙන්න නරකයි. සිනමාව ස්ත්‍රිය ගැනම විතරක් නෙවෙයි. සිනමාව සියල්ල ගැනයි. පිරිමියා ගැන, පරිසරය ගැන, ගහකොළ ගැන, මිනිස්සු ගැන සිනමාවෙ තියෙනව. ඒ විතරක් නෙවෙයි, සිනමාව කිසිදෙයක් නැති, හිස්කම ගැනත්, ශුන්‍යත්වය ගැනත් වෙනවා. ඉතින් අපි විවර වුණු ඇසකින් මේ දිහා බලන්න ඕන. අනවශ්‍ය විදිහට රාමු හදාගැනීම අපරිමිත සිනමා ලෝකයට යන්න අපිට තියෙන මග අහුරනවා. 

සිනමාව සම්බන්ධව ස්ත්‍රිය හා එක්ව එන සාකච්ඡාව සිනමා අධ්‍යයනයේ ඉතිහාසය හරහා වටහාගත යුත්තක්. සිනමා අධ්‍යයනයේ විවිධ යුගයන්හිදී මේ කතාබහ විවිධාකාරයෙන් විකාශනය වෙමින් ආවා. ස්ත්‍රීවාදයේ නැගීම, ෂෝනර සිනමාව, ඒකාකෘතික ස්වභාවයන් (Stereotype) පිළිබඳ සාකච්ඡා වර්ධනය වීමත් එක්කම මේ කතාබහත් වැඩී පෙරමුණට ආවා.

ප්‍රියන්ත: එය තව දුරටත් පැහැදිලි කළොත්...

ලලීන්: සිනමා අධ්‍යයනයේ ඉතිහාසය දිහා විමසිල්ලෙන් බැලුවම එය බෙදී ඇති යුග කිහිපයක්ම හඳුනාගන්න පුළුවන්. මුල්ම යුගයේ සිනමාව පිළිබඳ කතා බහ අරගෙන බැලුවම අන්තිමේදි සිනමා කෘති විමසන්න පුරුදුවෙලා තිබුණෙ දෙයක් හොඳයිද නරකයිද නැත්නම් ධනාත්මක ද සෘණාත්මකද වගේ සරල විධික්‍රමයන් වලින් බව පේනව.

ලංකාවෙ සිනමාව ස්ත්‍රිය ගෙන ආපු විදිහම බලන්න. ඒක හරිම ඒකාකෘතික ස්වරූපයක්නෙ ගත්තෙ මුලදි. ගමයි,පන්සලයි, වැවයි, දාගැබයි සංකල්පයත් එක්කමයි හොඳ ගැහැණිය කියන අදහසත් තිබ්බෙ. නගරයේ ගැහැණිය සංකරයි, නරකයි, සිගරට්,මත්පැන් බොනවා,  හැමවෙලේම කොල්ලොත් එක්ක නටනවා, බාර් එකට යනවා වගේම ලිංගික දුරාචාරවලට ලොල් කියන කළු චිත්‍රයත්, ගමේ බෞද්ධ කුල කාන්තාව, හරිම විනීත, පිළිවෙලකට ඇඳුම් අඳින, ශිෂ්ට කෙනෙක් ය කියන සුදු චිත්‍රයත් එක්කයි මේක ගෙනාවෙ. 50 දශකයේ ආපු ‘පිටිසර කෙල්ල‘ වගේ චිත්‍රපටයක මේ අසම්පූර්ණ චිත්‍රය හොඳටම තිබුණ. නමුත්  ලෙස්ටර් ජේම්ස් පීරිස්  මේ චරිත ගොඩ නැඟුව පිළිගත හැකි වගේම හිත් ඇදගන්නා විදිහට. මුල්කාලෙ මේ පරමාදර්ශී ගැහැණිය නිරූපණය කළේ පුණ්‍යා හීන්දෙණිය නමැති නිළිය. ඇය ඇවිදින්නෙ, කතා කරන්නෙ හරිම විනීතව, ඇය කෙලින් බලන්නෙ නැහැ කෙනෙකුගේ ඇස් දිහා කතා බහකදි, බිම බලාගෙනයි උත්තර දෙන්නෙ. ඇය හරිම මෘදු වගේම නිවුණු, චාම් චරිතයක් වුණා. මේ හැමදේම ගොඩනැගෙන්නෙ මේ ඒකාකෘතික ස්වභාවය පිළිබඳ ඉතිහාසය තුළයි.  

මේ ස්වභාවය තුළින්ම ගොඩනඟාගෙන ඇවිත් විශිෂ්ට ආකාරයට ප්‍රතිවිරෝධී තැනක ස්ත්‍රිය පිහිටුවන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්, ‘රන් සළු‘ චිත්‍රපටියෙදි. අනුලා කරුණාතිලක සහ පුණ්‍යා හීන්දෙණිය තමයි එහි කාන්තා චරිත නිරූපණය කළේ. ඒ කතාවෙ අවසානය වෙනස්. නාගරික ගති පැවතුම් පෙන්නුම් කළ, කලින් කියපු ‘නරක‘ ගැහැණිය, සරෝජිනී (අනුලා කරුණාතිලක) තමයි චිත්‍රපටයේ ගැටුම අන්තිමේදි දසසිල් මාතාවක් බවට පත් වුණේ. නාගරික පැවතුම් තිබුණු ඇය පස්සෙ උස් කොණ්ඩ, ඇඳුම් එහෙම වෙනස් කරනව. සරලව අඳින්න පටන් ගන්නව..

සුජාතා වගේ සුමුදුව ඉන්නව කියල ටික කාලයක් තිබුණ ලංකාවෙ... (සිනාසෙයි)

මේ කෘතිය ගෙන ආවා නූතනත්වය ගමට නගරයට බලපාන විදිහ. ඒත් එක්කම ඒ ප්‍රතිවිරෝධතාවලට
මුහුණ දෙන ගැහැණියගේ ස්වරූපය.

ඉතින් මේ මුල්කාලීන, හොඳ -නරක, කළු - සුදු ආකාර බෙදීම කිසිම බුද්ධිමය විමසීමක් ගෙනාවෙ නැහැ. ඔබට පුළුවන් දිග ලේඛණයක් හදාගන්න. ඒත් ඒක කිසි පලක් ඇති වැඩක් නෙවෙයි. ඒත් එක්කම කිසිම දේශපාලනික වටිනාකමක් තිබ්බෙත් නැහැ. ඔබට පුළුවන් මේක මෙහෙමයි අරක මෙහෙමයි කිය කිය ඉන්න. ඒත් මුකුත් වෙන්නෙ නැහැ. කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැ ඒ ජාතියෙ කතිකාවකදි.

දෙවන යුගය එනකොට සිනමාව ගැන කතා කරන ස්ත්‍රීන් කණ්ඩායමකුත් ආව. මටනම් මෙතනදි වැදගත්ම ක්ලෙයාර් ජොන්ස්ටන්, ඇය බ්‍රිතාන්‍යයෙන් එන ප්‍රධාන චරිතයක්. Screen වැනි ශාස්ත්‍රීය සඟරාවල, එඩින්බරෝ සිනමා උළෙල වැනි තැන්වලින් නිකුත් කෙරුණු වාර ප්‍රකාශනවල ඇය ලියූ කියූ දේ වැදගත්. සිනමා අධ්‍යයනය හරියටම ස්ථාපිත වෙලත් නැති කාලයක මේ දේවල් වෙන්නෙ.

නෝමන් : ඒ 1960 -1970 දශක නේද?

ලලීන්: 1970 දශකයේ මුලදිම. හරියටම ඒ කාලෙදි. ලෝරා මල්විගේ ලේඛණත් වැදගත්. මේ වගේ කිහිප දෙනෙක්ම හිටියා. නමුත් මට ක්ලෙයාර්ගේ කටයුතු තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ. ඇය පසුබිම පෙන්වා දුන්නා ෂෝනර නැතිනම් ප්‍රභේදකරණයේ එහි වැදගත්කමත් සමග. ඒත් එක්කම ඒකාකෘතික (Stereotype) ස්වභාවය ගැන. ඒ අතර ඇති සම්බන්ධතාවය ගැන. ඔබ යම් තැනකදි කෑගසනවා මේක ඒකාකෘතිකයි කියල. එහෙම ගිහින් කවදාවත් බලන්නෙ නැහැ චිත්‍රපටය දිහා. ඒ තුළ පඨිත අතර ගොඩනැඟෙන කේත දිහා.

ලෝරා මල්වි
ලංකාවෙ සිනමාවෙ පටන් ගන්නෙ කොලනිවාදය පැවතුණ කාලෙනෙ. අපි චිත්‍රපට හදන්න ඉන්දියාවට ගියා. අපිට සියලුම ආකෘති ආවෙ එහෙන්. හේතුව, අපිට සිනමා කර්මාන්තයක්වත්, තාක්ෂණයක්වත් තිබ්බෙ නැති නිසා. බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නල, එඩී ජයමාන්නල ගියා දකුණු ඉන්දියාවට. පසුතල තිබ්බෙ එහෙ චිත්‍රාගාරෙ. ඒව එහෙ නිර්මාණවලට හදපු දේවල්. ලංකාවෙ ගම පසුබිමට ආවෙ නැහැ. රුක්මණී දේවිල, එඩී ජයමාන්නල ලංකාවෙන් ගියාට තාක්ෂණ ශිල්පියො එහෙන්. අපේ පළවෙනි චිත්‍රපටය, ‘කඩවුණු පොරොන්දුව‘ ඉන්දියාවෙ හැදුණු නිෂ්පාදනයක්. ඉන්දීය චිත්‍රපටයේ තිබුණු අතිනාටකීය ස්වභාවය එහෙම්ම ආව. අතිනාටකීය ෂෝනරය (melodrama) අපේ පළවෙනිම සිනමා ෂෝනරය. සිනමාව ව්‍යාපාරයක් ලෙස ගත්තම ෂෝනරවලින් තොරව හිතන්න අමාරුයි. ඉතින් මේ තමයි අපේ ආරම්භය. පාර්සි නාට්‍යවලින් එකතු වුණු දේවල් එක්කයි පටන් ගත්තෙ.

නෝමන් : ඒකනම් හරිම අපූරුයි. අපේ රටෙත්, ඒ කිව්වෙ මැලේසියාවෙ, මේ කොලනිවාදී යුගයෙ ආරම්භ වුණු සිනමාව හරිම දෙමුහුම් ලක්ෂණ ගෙනාව. බොහොමයක් ඉන්දියානු ලක්ෂණ. පාර්සි නාට්‍ය සෘජුවම බලපාල තිබුණ.

ලලීන් : ඒක තමයි. ඒක ආසන්න හැමතැනටම බලපෑව. මේ පාර්සි නාට්‍ය බොම්බාය ආශ්‍රිතව ගොඩනැඟුණු, බටහිර ආකෘතිවලින් තදින්ම ආභාසය ලබපු නාට්‍ය ප්‍රභේදයක්. ඒ අතිනාටකීය ස්වභාවයන් එන්නෙ රංග වේදිකාවේ ආකෘතියක් විදියට. සිනමාත්මක ප්‍රකාශනයේ මූලාකෘති ගණනාවක්ම වේදිකාවෙන් තමයි සම්භවය වුණේ. චැප්ලින් වැනි අති විශිෂ්ට සිනමාරංගධරයෝ එන්නෙ එතනින්. දැන් වටහාගන්න ඕන දේ, හිතන්න මුලින්ම මේ නළුවො රඟපාන්නෙ යන්ත්‍රයක් ඉදිරිපිට, ප්‍රේක්ෂාගාරයක් ඉදිරිපිට නෙවෙයි. යන්ත්‍රය නැවත ඔබ දෙස බලන්නෙ නැහැනෙ. ඉතින් ඔවුන් ඉක්මණින්ම මේ මාධ්‍යය අඳුනාගත්තා. චැප්ලින්ල වගේ අය. මුල්කාලීන ඇමරිකානු විකට නළුවො.

අපේ රටේ මුල්කාලීන සිනමාව මීට වෙනස්. ලෙස්ටර් දක්වා මුල්ම කෘති හරිම දුෂ්කර ඒ නමුත් වැදගත් යුගයක් නිරූපණය කරන්නෙ. ඉන්දියානු සිනමාවෙ මුල් කෘතිය වන ‍‘රාජා හරිස්චන්ද්‍ර‘ මොන තරම් ප්‍රබල ද? ඒත් අපේ මුල් කෘති දුර්වල ලෙස ඉන්දීය කෘති කොපි කර සාදපු ඒවා. ඇයි මේ තරම් ඉන්දීය සිනමා කෘති පිරිපුන් වුණේ?

ප්‍රියන්ත : මම දකින්නේ ඒ රටේ තිබුණු පිරිණු සංස්කෘතිය නිසා කියලයි. එහෙම නේද?

ලලීන්: ඇත්තටම. පිරිපුන් සංස්කෘතිය. විශේෂයෙන් ප්‍රසංග කලාවේ තිබුණු පරිපූර්ණ ස්වභාවය. සංගීතය, නැටුම්, නාට්‍යය වගේ කලාංග.

දැන් අපි අපේ යුගකරණයේ දෙවන පියවරට ආවොත්, මේ දෙවන යුගයේ දී හමුවෙනවා ස්ත්‍රීවාදීන්, ඔවුන් තමන්ව හඳුන්වාගත්තේම ඒ ආකාරයෙන්, ක්ලෙයාර් ජොන්ස්ටන් වැනි. ඔවුන්  බුද්ධිමතුන් වගේම ක්‍රියාධරයින්. ක්‍රියාධරයින් කියල මම හඳුන්වන්නෙ චින්තනය සහ එය භාවිතයට ගෙන ආපු ස්වභාවය අනුව. සිනමාවේ ස්ත්‍රිය ගොඩනංවන සම්ප්‍රදායන් ගැන වගේම කාන්තාවන් හැටියට ඔවුන් බුද්ධිමය සමාජය තුළ සිතන ලද හා ක්‍රියාකරන ලද ස්වභාවයත් වැදගත් වුණා. ශාස්ත්‍රාලීය පරිසරයක සිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතා කරන්නට පටන් ගැනීමම හරිම වෙනස් ප්‍රවේශයක්. ඒක ඊට කලින් තිබුණු දෙයක් නෙවෙයි.

නමුත් ක්ලෙයාර් ජොන්ස්ටන් පෙන්වා දුන්නු ආකාරයට, ඔබට බැහැ සිනමාවෙ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන හිතන්න, ෂෝනර සිනමාව සහ එහි භාවිතයන් වටහා ගන්නේ නැතිව. එහි ඇති ප්‍රබල ලක්ෂණ වටහාගන්නේ නැතිව. ෂෝනර සිනමාව හරහා ගොඩනැගූ ඒකාකෘතික ස්වරූපවලට අනුව චරිතයකට අනන්‍ය ලක්ෂණ තිබුණ. කොහොමද ඇවිදින්නෙ, කොහොමද හිටගන්නෙ, කොහොමද කතා කරන්නෙ, කොහොමද තුවක්කුව අල්ලන්නෙ වගේ හැම දේටම. ඒක ව්‍යාකරණයක්. චලනය පිළිබඳ ව්‍යාකරණයක්. එකම දේ එකම විදියට පැවතීම හරිම එපාකරවන සුළු වෙන්න පුළුවන් වුණත් කාටවත් මේක සම්පූර්ණයෙන් වෙනස් කරන්න බැහැ. එය චක්‍රයක් වගේ. හැබැයි මේ චක්‍රීය දේ නැවත එන තැන යම් නව්‍යාකාරයක් එක්කයි ගේන්න ඕන.

ඉතින් ඔබ කොහොමද සිනමාව වටහාගන්නේ මේ භාවිතාවන් අනුව? කොහොමද ෂෝනරය ගැන සංකල්පයක් වර්ධනය කරගන්නෙ, ශරීරයේ මෙම භාවිතය අනුව? මොන විදියෙ සංඥාර්ථ ද අපි යොදාගන්නෙ? ඒ අනුව අපිට ක්‍රමවේදයක් හදාගන්න වෙනව. ඉතින් ඔවුන් හැරුණ සංඥාර්ථවේදය දිහාට, වාග් විද්‍යාව දිහාට. සොයා බැලුව සංඥාව පිළිබඳ සංකල්පය මොකක්ද කියල. මෙන්න මේ මොහොතේ තමයි ක්ලෙයාර් ජොන්ස්ටන් ඇතුළු ඉතිරි කණ්ඩායම කිව්වෙ සිනමා කෘතිය තුළ ස්ත්‍රිය පෙනී සිටීම, සැබෑ ස්ත්‍රිය  එහි සිටීම නොවන බව නැතිනම් ඒ ස්ත්‍රිය පිළිබඳ සංඥාවක් පමණක් බව. එම සංඥාව අප වටහාගන්නා ආකාරය අනුවයි අප කෘතියේ දකින ස්ත්‍රිය විග්‍රහ කරන්නෙ. එය වාග් විද්‍යාත්මක ප්‍රවේශයක්. සංඥාව, සංඥාකාරකය හා සංඥිතය හරහා තේරුම් ගත යුතු. නමුත් වැදගත් ම දේ මේ ප්‍රතිරූප නිකම්ම නිකම් විනිවිද දකින්න පුළුවන්, කණ්නාඩි ප්‍රතිබිම්බ නෙවෙයි කියන එකයි. කැමරාව යමක් පරාවර්තනය කරන්නෙ නැහැ. එය රූපාන්තරණය කරනවා ද්විමාන රූපයකට වෙනත් හැඟවුම් සහිත. ඉතින් මෙම ප්‍රතිරූපයේ සංඥාව වටහාගන්න ආකාරය වැදගත්. ඒ වගේම කවරාකාරයේ සංඥාවේදයක් ඔබට අවශ්‍යද මෙය වටහාගන්න කියන දෙයත් වැදගත්.

ඒ වගේම මනෝ විශ්ලේෂණවාදයත් මේ යුගයේ තවත් වැදගත් පියවරක් ලෙස ආවා. ඇයි ඒ? සිනමාව අපට සහේතුක භාෂාවකින් හැමවිටම කතා කරන්නෙ නැහැ. එය කතා කරන්නේ හැඟීම් සහිතවයි. ඉතින් මිනිස් විඥාණය හා අවිඥාණය වටහාගන්නා මනෝවිශ්ලේෂණය වැදගත් වුණා. මනෝ විද්‍යාව හරහා ෆ්‍රොයිඩ් සහ ලැකෝන් රැගෙන ආ දේ වැදගත් වුණා. ඉතින් විශ්ලේෂකයෝ මේ න්‍යාය හරහා ගැඹුරු විශ්ලේෂණවලට ගියා.

සංඥාවේදය, මනෝ විශ්ලේෂණවාදය වගේම වැදගත් වුණා ආඛ්‍යාන විශ්ලේෂණයත්. කතන්දරය හා ආඛ්‍යානය විග්‍රහ කිරීම වැදගත් වුණා. මෙහිදී උදව්වට ආවෙ සාහිත්‍යය තුළ ගැඹුරින් වර්ධනය වෙලා තිබුණු ආඛ්‍යාන විශ්ලේෂණය. ඒ වන විටත් ආඛ්‍යානයේ ප්‍රභේද විශ්ලේෂණය කළ සාහිත්‍ය අධ්‍යයනයක් පැවතුණා.

ඉතින් මම මේ කිව්ව ක්ෂේත්‍ර තමයි දෙවන යුගය තුළ වර්ධනය වුණේ. මීට අමතරව මාක්ස්වාදයත් වැදගත් මෙහෙයක් කළා. සිනමාව වෙළඳ භාණ්ඩයක් ලෙස ගෙන විග්‍රහ කිරීම මෙහිදී වැදගත් වුණා. නමුත් ඒ අනෙකුත් වෙළඳ භාණ්ඩවලට වඩා වෙනස් දෙයක්. එය අහුවෙන දෙයක් නෙවෙයි. චිත්‍රපටය කෑන් එකේ තියෙනව තමයි. එය අපි බැලුවට පස්සෙ භෞතිකව නැහැ තව දුරටත්. නමුත් ඉතිරි වෙනව මනස ඇතුළෙ. මතක, අදහස්, සිහි කැඳවීම් හැටියට ආයෙම එනව. ඒත් එක්කම ඇති කරනව සංවේදනා සහ ආවේගයන්. අනෙත් අතට මේ අවකාශයට ඇතුල් වෙන්න මුල් කාලෙ ඕන වුණේ නිකල් කාසියක් නැත්තම් සත පහක් විතරයි. නාට්‍යය, ඔපෙරාව එක්ක සසඳද්දි මේක හරිම සුළු මුදලක්. මේ නිසා හරිම අපූරු මහජන අවකාශයක් (public Sphere)  මෙතන හැදුණ. මුල්කාලීනව, සිනමාව ලෝකයේ බිහි වූ විගසම කාලයේ ලේඛණ පිරික්සුවොත් ඔබට පෙනෙයි, ඇමරිකාවෙ සහ ජර්මනියෙ, පූජකවරු, දේශපාලඥයො සහ විශේෂයෙන් සමාජ පරිවර්තකයො සිනමාව කෙරෙහි දක්වපු බිය මුසු සොයා බැලීමේ තරම. වැඩ කරන පාන්තිකයන් මේ නව විවෘත මහජන අවකාශය කෙරෙහි දැක්වූ උද්යෝගය නිසා ඇත්තටම ඔවුන් කලබල වුණා. ඉතින්, ආඛ්‍යාන විග්‍රහය විතරක් නෙවෙයි, ඉතිහාසය සහ පන්ති ස්වභාවය අනුව කෙරෙන විග්‍රහයත් වැදගත් වුණා. මෙවැනි අවකාශවල සැදුණු ප්‍රේක්ෂාගාරයේ එක කොටසක් තමයි කාන්තාවන්. ඔවුන් මේ අවකාශයේ හැසිරුණේ හරිම සිත්ගන්නා සුළු විදියට. ඔවුන්ට ඉඩක් ලැබුණ, හොඳින් ඇඳ පැළඳ සමාජය ඉදිරියට යන්න මේ අවකාශය හරහා. නූතනවාදයේ නව ප්‍රවේශයක් වුණු සිනමාව නිසා එදිනෙදා ජීවිතය තුළ මිනිසුන්ට හමුවෙන්න ඉඩ ලැබුණු නව අවකාශයක් නිර්මාණය වුණා. හැබැයි මේ ප්‍රේක්ෂාගාරවල හිටියෙ වැඩ කරන මිනිස්සු. කම්කරුවන්ගෙන්, දුප්පත් කුඩා ළමයින්ගෙන්, ගැහැණුන්ගෙන් පිරුණු අවකාශයක් මේක.

මේ තමයි දෙවන යුගය හා එහි භාවිතාවන් හරහා පැමිණි න්‍යාය හා ක්‍රමවේද. මේ ඉතාම පොහොසත් දේ ලැබුණු යුගයක්. ලෝරා මල්වි ලියූ  Visual Pleasure and Narrative Cinema නමැති ග්‍රන්ථය හොඳ පදනමක් සැදුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය හරහා කෙරෙන විග්‍රහයට.

කොයි හැටි වුණත්, ඇතැමුන් මේ යුගයේ ක්‍රියාකාරකම් ප්‍රශ්න කරමින් කිව්වෙ මේ යුගයේ බුද්ධිමතුන් ඵලදායී විදිහට ඉතිහාස කාරණා සාකච්ඡාවට නොගත් බවයි. ඉතිහාසය අතහැර සරලව යම් යම් න්‍යායාත්මක ප්‍රවේශ කිහිපයක් හරහා සිනමාව දෙස බැලීමකුයි සිදුවුණේ කියා ඔවුන් තර්ක කළා. ඇත්තෙන්ම ඔවුන් සිනමාව ගැන කථිකාවට ගෙනා සංඥා විද්‍යාත්මක ප්‍රභේදයන් හමුවන්නෙ වාග් විද්‍යාවෙ. එය සිනමා ප්‍රතිරූප වෙනුවෙන් නිර්මාණය කළ දෙයක් නෙවෙයි. ප්‍රතිරූප ක්‍රියා කරන්නෙ භාෂාවක් ආකාරයට නෙවෙයි. අපිට ඒකට එකඟ වෙන්න වෙනව. එහෙම නේද?

හැම යුගයක්ම අපිට යමක් දුන්න. ඒත් එක්කම ඇතැම් මාර්ග අවහිරත් කළා. එතනදි විශ්වවිද්‍යාල  කරන්නෙත් මේ දේමයි. ශිෂ්‍යයන්ට ක්‍රමවේදයක් අනුව වැඩ කරන්නයි අනුබල දෙන්නෙ, චින්තනයක් අනුව යන්නට අනුබල දෙන එකෙන් වෙනස් වෙලා. ‘අවුට් සයිඩ් ඔෆ් ද බොක්ස්‘ නැත්නම් රාමුවෙන්, පෙට්ටියෙන් පිටට ඇවිල්ල හිතන්න කියන්නෙ නැහැ.

ඉතින් මට අනුව, ඔබ අහන ප්‍රශ්නය වන කාන්තාව සහ සිනමාව ගැන පිළිතුරක් දෙනවනම්, මම අද වෙනකොට හිතාමතාම, මගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ මාතෘකාව වුණු කාන්තාව සිනමාවේ නිරූපණය වන ආකාරය කියන මාතෘකාවෙන් පැත්තකට වෙලා ඉන්නවා. මම මගේ උපාධි නිබන්ධනයට මාතෘකා තරගත්තේ 1947 ඉඳන් 1982 විතර වෙනකම් ලංකාවෙ සිනමාවෙ නිරූපණය වුණු කාන්තාව. මේ ලේඛණය ඉවර කරද්දි මට හිතුණ දේ තමයි පටන් ගන්නත් කලින් ලියවෙන්නෙ මොකක්ද කියන එක මම දැනගෙන හිටිය නේද කියන එක. සිනමාව පීතෘමූලිකයි, සිනමාව කාන්තාව අභියස පෙනී සිටින දෙයක්, ඒක පුරුෂ දැක්මක් සහිතයි වගේ මේ හැම දෙයක්ම මගේ ලේඛණයට පෙර ඉඳන්ම බලපෑව නේද කියල මට හිතුණ. මම ඒකට කොටු නොවී හිතන්න උත්සාහ කළත් ඒක එතරම්ම සාර්ථක වුණේ නැහැ.

පසු කාලෙක වෙනත් ප්‍රංශ දාර්ශනික ලේඛණ දෙකක් තදින් මට බලපෑවා. එකක් ජිල් ඩිලෂ් (Gilles Deleuze) ගේ The Movement- Image සහ The Time- Image නමින් ඔහු ගෙනා සිනමාව පිළිබඳ ලේඛණය. අනිත් කෙනා හෙන්රි බර්ග්සන් (Henry Bergson). Matter and memory තුළ දී ඔහු ‘කාල මාත්‍රාව (Duration) පිළිබඳ ලියූ අදහස්.


සිනමාව විවිධාකාර රිද්මයන් අප වෙත රැගෙන එනවා. එය ඔරලෝසු කාලයට එරෙහිව යන දෙයක්. එය ක්‍රියා කරන්නෙ විද්‍යාත්මක ක්‍රමයකට හැදූ උපකරණයක් පදනම් කරගෙන තමයි. තත්පරයට රූප රාමු විසි හතරක් තමයි පදනම. නමුත් එයට වෙනත් හැකියාවන් ගණනාවක් තියෙනවා. එය අපේ මොළය ක්‍රියාත්මක තැනකට ගේනවා. ශරීරයට සංවේදනා ගෙන එනවා. ඩිලෂ් ‘ කයියදු සිනමා‘ සඟරාවට ලබා දෙන සම්මුඛ සාකච්ඡා ගණනාවම ඉතා වැදගත්. ඒ වගේම මුල්කාලීනව ගුරුතැන්හි ලා සැලකූ ක්‍රිස්ටියන් මේට්ස්ගේ අදහස් ප්‍රබලව විවේචනය කරමින් ඔහු සිය සිනමාව -2 කෘතියේ ගෙන එන අදහස්.

සිනමාව අපිට ඉතා පැහැදිලිව යමක් කියනවා. එහි තිබෙන රූප, ශබ්ද සහ ප්‍රබල සංඥා නිසා සිනමාව ඉතා පෝෂිත මාධ්‍යයක්. සිනමාවට පුළුවන් අපිට අසන්න, බලන්න, දැනෙන්න සලස්වන්න. අපේ අවිඥාණය වෙත අදහස් යවන්න.
ඉතින් මම ගොඩක්ම යොමු වෙලා ඉන්නෙ සිනමාව හරහා එය වටහා ගැනීමට, දැකීමට, ඒත්තු ගැන්වීමට, සංකල්ප නිර්මාණයට ඇති මාර්ග හදාරන්න. සිනමාව වටහාගැනීමට ඒ තුළින්ම ක්‍රමවේදයන් නිර්මාණය කරගන්න. මට හිතෙනවා ඩිලෂ් වැනි අය මේ සඳහා අවශ්‍ය දිශාව අපිට පෙන්නල තියෙනව කියල.

නෝමන්: අපේ කතාව ස්ත්‍රී පුරුෂ සමාජභාවය (Gender) දිහාට යොමු ක‍ළොත්, මේ වැනි විෂයයක් ආත්මීයව  අරගෙන, නැතිනම් ඇගයීමට අවශ්‍ය උපකරණයක් විදිහට නොගෙන, සිනමා සාකච්ඡාවට ගෙන එන එක නිසා වැදගත්ම සිනමා ව්‍යවහාරයන් ගැන කතාබහ අපට යම් දේවල් මගහැරෙන්න පුළුවන් නේද? සීමාවන් හැදෙන්න පුළුවන් නේද? ඔබ මොකක්ද මේ ගැන හිතන්නෙ?

ලලීන්: ඔව්. සිනමාව ගැන, ප්‍රතිරූප සෑදෙන ව්‍යුහය, එහි රිද්මය ගැන කතා කරද්දි අපිට විශාල පාඩුවක් වෙනව මෙහෙම ගියොත්. ඔබ දන්නවද, සිනමාවේ රිද්මය පිළිබඳ කතිකාව තවමත් සිනමා අධ්‍යයනය ඇතුළෙ පැවැත්ම තහවුරු කරල නැහැ. චරිතයක් ඇවිදින, හුස්ම ගන්න එකේ රිද්මයේ ඉඳන් සංස්කරණයේ රිද්මය දක්වාම, ඒ වගේම කැමරාකරණය කරන්නෙ චලනය නම් ඒ චලනය කියන්නෙත් රිද්මය, එය රිද්මයේ බහුවිධ ස්වරූප අරගෙන එන දෙයක්, ඒ දක්වාම. ඉතින් මේ දේවල් සරලව ධනාත්මක - සෘණාත්මක, නැත්නම් පුරුෂ සහ පුරුෂ ඇසින් දකින, ස්ත්‍රිය විෂයයක් කරපු, වැනි සීමාවලින් සිතන්න ගියාම ලඝු වෙනවා. මේක තමයි දැන් ගොඩක් අය කරන්නෙ, රූපයක් දිහා හරියට බලන්නත් කලින් ඔවුන් දන්නව මොනවද කියන්න ඕන කියල. ඇත්තටම ඔවුන් සිතන්නෙවත් නැහැ. ඔවුන් හරිම සරල විදියකින් මතුපිට ආවරණය දිහා බලල කතා කරනවා. අපි දන්න ‘රසවාදය‘ භාවිතා කළත් මීට ඉදිරියෙන් දෙයක් දකින්න පුළුවන්.

චිකාගෝ විශ්වවිද්‍යාලයේ සිනමාව පිළිබඳ මහාචාර්ය මීරියම් හැන්සන් වරක් කිව්ව ‘සිනමාව කියන්නෙ අපේ පොදු කාලයේ අඩවියයි‘ (Cinema is our common time site) කියල. එය විවිධාකාර කාල සමයන්, විවිධ පඨිතයන් විමසන්න තියෙන එක තැනක්. නූතනත්වයේ බලපෑම නිසා අහිමිව ගිය කාලය විමසන්නටත් පුළුවන් මෙතනදි.

ඉතින් මම දැන් සිනමාවටම විවෘත වුණා. සිනමාව තමයි මගේ ගුරුවරයා. එතනදි මම දැන් සොයා බලන කුමාර් ෂහානිගෙ වැඩ කටයුතු මට හරිම වැදගත්. ඔහු අපිව ගෙන යනව මෙම ගැඹුරු ඉසව් කරා.

ප්‍රියන්ත: කොහොම වුණත්, සිනමාවේ නිර්මාණකරුවන් දිහා බලද්දි අපිට කාන්තාවන් මුණ ගැසෙනවනෙ. ඔබ කොයි ලෙසකින්ද ඒ අයව හඳුනාගන්නෙ? මේ කලාපයෙන් ආපු ජේන් කැම්පියන් වගේ සිනමාකාරිනියන් එක්ක කතා කරද්දි.

ලලීන්: ජේන් කැම්පියන් සිත්ගන්නා සුළු නිර්මාණකාරිනියක්. ඇගේ ‘පියානෝ‘ චිත්‍රපටය ගොතික් සිනමා කෘතියක්. එය විශාල වශයෙන් ජනප්‍රිය වුණා.

ප්‍රියන්ත: ඔව්. ලංකාවෙත්.

The Piano
ලලීන්: ඇත්තටම? ඒ ගොල්ල ඒක ශාලාවලට දාන්න ඉඩ දුන්න ද?

ප්‍රියන්ත: නැහැ. ඒක ජනප්‍රිය වුණේ ශාලාවලට ඇවිත් නෙවෙයි. සිනමාව හදාරන්නන් සහ සිනමාවට ආදරය කරන්නන් අතර. ඒක ප්‍රචලිත වුණේ ඩී.වී.ඩී ආදිය හරහා.

ලලීන්: ඒක මුදා හරිනවත් එක්කම ලොකු කතාබහක් ඇති වුණා. චිත්‍රපටයට විශාල ආකර්ෂණයක් ආවා. මිනිස්සු හිටියෙ අන්ත දෙකේ. සම්පූර්ණයෙන්ම කැමති සහ සම්පූර්ණයෙන් විරුද්ධ විදිහට. මම ඒක දකින්නෙ ගොතික් සිනමා කෘතියක් විදිහටයි. එය එක්තරා සිනමා ෂෝනරයක්. 18 වන සහ 19 වන සියවස්වල යුරෝපයේ ආ කලා සම්ප්‍රදායක් තමයි ගොතික් කලාව. එය මුලින් නාට්‍යයට බලපෑවා. දෙවනුව සිනමාවට. ඔබ බැලුවොත් අධ්‍යක්ෂකවරිය හොලි හන්ටර් නැමති නිළිය ප්‍රධාන භූමිකාවට තෝරා ගන්නා ආකාරය, ඒ වගේම  නිසි පරිදි පැහැදිලි නොකරන ආඛ්‍යානයේ ඇති යම් කොටස් ආදිය මේ ගොතික් සිනමා ෂෝනරයේ ආකාර වටහාගන්න ලෙහෙසියි. හොලි හන්ටර් කියනව ඇයට විශාල කැමැත්තක් ඇති වුණු බව ඒ පිටපතට. ඇත්තටම පිටපතේ බොහෝ දේවල් නළු නිළියන්ටවත් පහදලා නැහැ කැම්පියන්. නිළියම සොයා ගන්නව එහි තියෙන අභිරහස් දේවල්. ඒව කිසි විට පැහැදිලි කරන්නෙ නැහැ.

සාහිත්‍ය ඉතිහාසයට අනුව ගොතික් කියන්නෙ බොහෝ ස්ත්‍රීමය ෂෝනරයක්. ගොතික් කලාව යුරෝපයේ වැඩෙන්නේ ස්ත්‍රීන්ගේ සාහිත්‍යයික නැඹුරුව ඉහළ යුගයක. ස්ත්‍රීන් පමණක් නෙවෙයි, පිරිමි අයත් ලිව්ව, නමුත් ස්ත්‍රී සහභාගිත්වය වැදගත්. ඔවුන් ලේඛිකාවන් සහ පාඨකයින් ලෙස පැමිණි ආකාරය. ඒ සම්ප්‍රදාය ගනුදෙනු කළේ ස්ත්‍රිය සහ ප්‍රචණ්ඩත්වය එක්ක. ගෙන ආ දේවල් නොවිසඳුනු, ක්ෂිතිමය ස්වභාවයක් ගත්තා. මතකනේ චිත්‍රපටයෙත්. ස්ත්‍රියට කතා කරන්න බැහැ. කුඩා දියණිය මුහුණ දෙන දේවල්, ඇයටමයි මවගේ වේදනාවට මුල් වෙන ඇතැම් දේ කරන්න සිද්ධ වෙන්නෙ.

ඉතින් අවසානයේ ඔබ ෂෝනරය අනුව විතරක් ගත්තොත් ඔබ එය හොඳයි නැත්නම් නරකයි කියල බෙදල නිකම් ඉඳීවි. නමුත් ඔබ  කතාවේ දිශානතිය දිහා උනන්දුවෙන් බැලුවොත් මෙතන තියෙනව හරිම වැදගත් අවසානයක්. මතකයිනෙ? ඇය අනෙත් මිනිසාව කසාඳ බැඳල සතුටින් ජීවිතය ගෙවන්න පටන් ගන්නවා. නමුත් බැලූ බැල්මට එහෙම පෙණුනත් එතන අවසානයන් දෙකක් තියෙනව. සතුටින් ඇය ඔහු සමග ජීවිතය ගෙවන්න ගන්නව වුණාට පියානෝව සමගින් ඇය මුහුද යටට ගිලී යන එක තවත් අවසානයක්. ඇය යළි නොඑන්නත් ඇති. පියානෝවට බැඳුණු රැහැන තමයි පෙකණි වැල වගේ ඇයව පෝෂණය කරන්නෙ. එය බිඳී යන්න පුළුවන් ද?

ප්‍රියන්ත: අනිත් සිනමාකාරිනියො ඔබ දකින්නෙ කොහොමද? එක් අතකින් ලෝක සිනමාව ඇරඹෙන තැනදිම සිනමාකාරිනියො හමුවෙන්නෙත් නැහැ. ඒ ගොල්ලො එන්නෙ ටිකක් පසුකාලීනව. ඒ අතරින් වඩාත් ආකර්ෂණීය චරිත ඔබට හමුවෙනව ඇති. ඒ කව්ද?

ලලීන්: කොයි රටවල ද?

ප්‍රියන්ත : සාමාන්‍යයෙන් ලෝකයම අරගෙන බැලුවොත්?

ලලීන්: මම කතා කරපු ලෝක සිනමාවෙ දෙවන යුගයට එන්න කලින්ම ලෝකයේ ඇතැම් සිනමා උළෙලවලදී කාන්තාවන්ගෙ නිර්මාණවලට ඉඩ ප්‍රස්ථා දිල තිබුණ. ඒ වගේම කාන්තාවන්ගෙම සිනමා කෘති රැගත් උළෙලවල් තිබුණ. වරක් එවැනි සිනමාකාරිණියන්ගෙ උළෙලක් තිබුණ, ඇත්තටම ඔවුන් හොඳින් සිනමාව ඉගෙන ගත් අය, ලෙනී රිෆෙන්ස්තාල්ගෙ කෘති සමග එක්ව ප්‍රදර්ශනය කළා එය. දන්නවනෙ, රිෆෙන්ස්තාල් කියන්නෙ හිට්ලර්ගෙ නිර්මාණකාරිය. ඇය මෙතෙන්ට ගත්තේ ඇය කාන්තාවක් වීම නිසා පමණයි. ඉතින් මේ පියවර ගොඩක් කාන්තාවන්ගේම විවේචනයට ලක් වුණා. අපිට පුළුවන්ද කෙනෙක් කාන්තාවක් වුණු පමණින්ම එයාව වරහනක් දාල එළියට ගන්න, එයාගෙ දේශපාලනය අමතක කරල?

ඇත්තටම මම කාන්තාවන්ගේ සිනමා කෘතිවලට කැමති වෙන්නෙ ඇගේ කෘති හොඳ නම් පමණයි. නිර්මාණය කාන්තාවකගේ වූ පමණින් එය වැදගත් වෙන්න බැහැ. ඒක පිරිමියාටත් එහෙමමයි. මම ගොඩක් අගය කරනව චන්ටල් ඇකර්මන්ගේ නිර්මාණ. ඇය සිනමාව ගන්නෙම ස්ථිරව හා දැඩිව, කිසිදු බුරුලක් නැති විදියකට. ඒ වගේම ප්‍රංශ නව රැල්ලේ ප්‍රධාන චරිතයක් වුණු ඇග්නස් වර්දාගෙ නිර්මාණ. ඒ වගේම මම කැමතියි කැත්රින් බිගෙලොව්ගේ චිත්‍රපටවලට‍. විශේෂයෙන් එයාගේ හර්ට් ලොකර් කෘතියට. මේක ගැන ගොඩක් විවේචන තිබුණ. චිත්‍රපටයෙ කාන්තා චරිත නැතිම තරම්. බිරිඳගේ චරිතය හමුවෙන්නෙත් විනාඩි පහක විතර කොටසක. යුධ කලාපයක් පසුබිම් වෙන්නෙ. ඉරාකය. මම හිතන්නෙ හැදුවෙ ජෝර්දානයෙ. ඇය නිතරම උනන්දුයි පිරිමින්ගේ ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්න. ක්‍රියාදාම සිනමාවට කැමති ගැහැණියක් ඇය. ඇය ගන්නා පසුබිම පවා දේශපාලනිකව අභියෝගාත්මකයි. මට මතක විදියට මෙයට වෙනිස් සිනමා උළෙලෙදි සම්මානය දුන්නු වෙලාවෙ චන්ටල් ඇකර්මන් වැනි ජූරියෙම හිටි ඇතැම් අය විරුද්ධ වුණා, ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කරමින් ඉඳිද්දි ඇමරිකානු සිනමාකාරිනියක්ම ඒ ගැන සිනමා කෘතියක් හැදීම විවේචනය කරමින්. මම ඒ ආස්ථානයෙන් කෘතිය කියවන්නෙ නැහැ. මට එය පෙනෙන්නේ ඇමරිකානු පුරුෂාකාරය, නැතිනම් ෆැසිස්ට් රූපයක් ගත් මේ පුරුෂ හමුදාව පතුරුවන ප්‍රචණ්ඩත්වය කියවීමක් හැටියටයි.

නෝමන්: මම වෙනත් පැත්තකින් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මැලේසියාවෙදිත් තදබල විදියට සංවාදයක්  යනව බුද්ධිමතුන් අතරෙ ජාතික සිනමාව ගැනත් යුරෝ කේන්ද්‍රීය න්‍යායයන් පිළිගැනීම සහ ප්‍රතික්ශේප කිරීම ගැනත්. ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය තමන් සතුය කියල හිතන එක මෙහි එක් අන්තයක්. ඔබ මොකද මේ ගැන හිතන්නෙ?

ලලීන් : කාලෙකදි අපි ඉගෙන ගත්ත ග්‍රීක සංස්කෘතිය ආදිය අති විශිෂ්ටයි කියල. එය සභ්‍යත්වයේ පදනම සාදා දුන්නා කියල. කුමාර් ෂහානිගෙ වැඩ ගැන බලද්දි මට හිතෙන්නෙ ග්‍රීක සංස්කෘතිය එහෙම පිටින්ම බටහිරට අයිති නැහැ කියලයි. එහෙම නේද? ග්‍රීක සභ්‍යත්වයේ හමුවන ඇතැම් සංකල්පවලදී ඒ වෙත වන අපරදිග බලපෑම වටහාගන්න පුළුවනි. ඒත් එක්කම දියොනීසියස් වෙත කෙරෙන පූජා හරහා සැදුණු නාට්‍යවලදී බෙර ආදිය වැයීම ප්‍රාකෘතික සමාජයේ අභිචාරයේම දිගුවක්. වයින්, සංගීතය ආදිය ආපු මූලය හොයන්නෙ කොහොමද? ග්‍රීසිය වතාවක් ඉන්දියාව දක්වාම ආක්‍රමණය කළා. ඊට කලින් පර්සියාව ග්‍රීසිය පැත්තට ගහගෙන ගියා. කොහොමද අපි මුලක් අල්ලන්නෙ? ඔබේ මැලේසියානු සංස්කෘතිය තව එකකට වඩා පහත් කියන්නෙ කොහොමද? පස්සෙ කාලෙක යටත් විජිතවාදයෙන් පස්සෙ මේ බෙදීම් ආව තමයි. ඔවුන් මේ වර්ග කිරීම් පතුරුවා හැරියා. හැබැයි ඒකට උත්තරය යුරෝපීය විරෝධය නෙවෙයි. මම යුරෝපීය සිනමාවට ආදරෙයි. මම යුරෝපීය චින්තාවට කැමතියි. මට සිත යන හැම හොඳ දේටම කැමතියි. ඒ නිසා පශ්චාත් විජිතවාදය ගෙනා ඇතැම් අදහස් එක්ක යන්න මට හිතෙන්නෙ නැහැ. එය මට වැඩ කරන්න කිසිම උපකරණයක් දෙන්නෙ නැහැ.

යුරෝපීය ආක්‍රමණ නිසා සියල්ල අහිමි වුණා කියල මම හිතන්නෙ නැහැ. ඉන්දියාව ගත්තොත්, ඊට කලිනුත් බොහෝ අය ආව. සංස්කෘතිය පෙරට ගියා. පොහොසත් වුණා. වෙනස් වුණා. ඒකයි තේරුම් ගන්න වෙන්නෙ. අපි ඉන්නෙ ගෝලීය සමාජයක නම් ඇයි අපි එකිනෙකා වටහාගන්න හැකි හැම දෙයක්ම පාවිච්චි කරන්නෙ නැත්තෙ?

ප්‍රියන්ත: මම කැමතියි ඔබේ අතීත අත්දැකීම් මතක දිහාට හැරිල ප්‍රශ්නයක් දෙකක් අහන්න. ලංකාවෙ ඉගෙනගත් කාලය, විශ්වවිද්‍යාල සමය, අම්මල තාත්තල ගැන මතක කියන්න පුළුවන් ද?

ලලීන්: පුංචි කාලෙ ඉඳන්ම මම චිත්‍රපටි බලන්න ගියා තාත්තලත් එක්ක. මම ගියේ කතෝලික විද්‍යාලයක් වුණු ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. මම හිතන්නෙ නැහැ එහෙ හිටපු මගෙ යාළුවො කිසි කෙනෙක් සිංහල චිත්‍රපටි බලන්න ගියා කියල. මට හිටිය මාම කෙනෙක් සිනමාශාලාවක් පවත්වාගෙන ගිය, ඒ ජා ඇල රත්නාවලී හෝල් එක. ඒක මාමගෙ. ඉතින් අපිට නිකම් ටිකට් ලැබුණ. ඒ නිසා අපි නිතර චිත්‍රපට බැලුව.

ප්‍රියන්ත: එතකොට මුල්කාලෙ ලංකාවෙ සිනමාවෙ උන්නු ජයමාන්නල එක්ක කිසිම නෑදෑ සම්බන්ධකමක් නැද්ද?

ලලීන් : කවුද? එඩී ජයමාන්නලද?

ප්‍රියන්ත: ඔව්. පළවෙනි ෆිල්ම් එක ‘කඩවුණු පොරොන්දුව‘ හදපු කෙනත් ජයමාන්න කෙනෙක්නෙ. බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්න?

ලලීන්: (සිනාසෙමින්) අනේ කොච්චර එකක්ද ඒ ගොල්ල නෑයො වෙලා හිටිය නම්. නැහැ ඒ ගොල්ල වෙන කට්ටියක්. මගේ තාත්තා කැපුන්ගොඩ, මීගමුවෙ. ඒ ගොල්ලත් කතෝලික අපිත් කතෝලික නම් තමයි ඊට වඩා සම්බන්ධයක් නැහැ.

මගේ තාත්තා ඉංජිනේරුවෙක්. ඒත් එයා සිනමාවට හරි කැමතියි. ඒ වගේමයි නාට්‍යවලටත්. හරියට නාඩගම් බලනව ගමේ. ඒක තමයි මට ලැබෙන පළවෙනි පෙළඹවීම. සිනමා කෘති බලන එකත් හරියට කෙරුණා. හොලිවුඩ් චිත්‍රපටියක් සතියකට වතාවක් ඉරිදට බලනව. ඒ වගේම සිංහල ඒවත් බලනව. ඒත් එක්ක මම වැඩුණෙ හින්දි සිනමාවත් දකිමින්. ඒ වුණත් මගේ දෙමව්පියො ගොඩක් ආස කලා හොලිවුඩ් සිනමාවට. ඒ නිසාම මමත් ආස කළා. ඉස්කෝලෙ මගේ යාළුවො නම් කැමති වුණේ හොලිවුඩ් ඒවට විතරයි. සිංහල සිනමාව දුර්වලයි කියලනෙ කිව්වෙ.

කොහොම වුණත් මට මතකයි ඉස්කෝලෙන් අපිව එක්ක ගියා රේඛාව බලන්න. ඒක හරිම  වැදගත් මොහොතක්. අපි ඒක බලල ඇවිත් ඒකෙ සමහර සින්දු කිව්ව. ශේෂා පළිහක්කාරගෙ බොරු කකුල්කාරයගෙ චරිතෙට ආස කළා. මම කුඩා කාලෙ නැටුම් ඉගෙන ගත්තේ ශේෂා පළිහක්කාරගෙන්.මතකයිනෙ රේඛාවෙ සිංදු..

“ඕලු නෙළුම් නෙරිය රඟාලා.....“ (සෙමින් ගායනා කරයි)

මට මතකයි ඉස්කෝලෙ අපි කෙල්ලො ඔක්කොම ඕක කියනව. අපේ ඉස්කෝලෙ ද්විභාෂිකයි. මම ඉගෙන ගත්තෙ සිංහලෙන්. ඒත් වැඩිපුර කතා කළේ ඉංග්‍රීසියෙන්. මගේ මුල්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇක්වයිනාස් ආයතනයේදි ලැබුවෙ ඉංග්‍රීසියෙන්. ඒ නිසා මගේ සිතන ක්‍රමය හැඩගැහුණේ ඉංග්‍රීසිය මුල් කරගෙන.

පස්සෙ මම පේරාදෙණියෙ ඉගැන්නුවා. බටහිර සම්භාව්‍ය සංස්කෘතිය. 1969 ඉඳන් 1971 අප්‍රේල් වෙනකම් විතරයි මම එහෙ හිටියෙ. කැම්පස් එකේ හොස්ටල්වල බෝම්බ අහුවුණු කාලෙ මම එහේ. මහාචාර්ය අමරසිංහ, මහාචාර්ය මර්ලින් පීරිස්, දක්ෂ නෙත් නොපෙණුනු තරුණයෙක් වුණු විමල් වීරක්කොඩි මට හොඳට මතකයි. මහාචාර්ය අමරසිංහගෙන් ඉගෙනගත් ග්‍රීක දර්ශනය සහ නාට්‍ය කලාව මගේ පදනම ශක්තිමත් කළා කියල මට හිතෙනව. සිනමාව ගැන හිතන්නටත්.

1971න් පස්සෙ මම ඇමරිකාවට ගියා මගෙ පශ්චාත් උපාධියට. පිටත් වෙන වෙලාවෙ මගේ අම්ම මට කිව්වෙ ‘කසාද බඳින්න එපා.. ඉගෙන ගනින්‘ කියල. ඇය අදහස් කළේ ඉගෙනීම ඉවර කරන්න කලින් බඳින්න එපා කියන එක වෙන්නැති. හැබැයි මම ඒ දෙකම එකටම කළා.

මහාචාර්ය කත්පට් අමරසිංහගෙ සහ ඇක්වයිනාස් ආයතනයේ ඉංග්‍රීසි උගන්නපු කේරළ ජාතික කුරුවිල්ල ගුරුතුමාගේ දැනුම බෙදීම ගොඩක් වැදගත් වුණා ඇමරිකාවෙ මා ගිය විශ්වවිද්‍යාල දෙකේදිම. අන්තිමේ මම ආචාර්ය උපාධිය කළේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ.

ඕස්ට්‍රේලියාවට ආවට පස්සෙයි මට ඉන්දියානු සංස්කෘතියෙ විශිෂ්ටකම පෙනෙන්න ගත්තෙ. ලංකාවෙම හිටියනම් එච්චර නොපෙනෙන්නත් තිබුණ. ෂහානිගේ නිර්මාණ හරහා ඒ මහා සංස්කෘතිය දකින්න ඉඩ සැලැස්සුවට මම ඕස්ට්‍රෙලියාවට ස්තුති කරන්න ඕන. මම එහේ ගියේ, ඒ පිරුණු සංස්කෘතියෙන් අංශුමාත්‍රයක් හරි තේරුම් ගත්තෙ මෙහෙ ආවට පස්සෙ.

ප්‍රියන්ත: අවසාන වශයෙන්, ලංකාවෙ සිනමාව ගැන, අපේ රටේ සිනමාකරුවන් ගැන ඔබේ අදහස මොකක්ද කියල කිව්වොත්?

ලලීන්: අලුත්ම නිර්මාණ මට දකින්න ලැබුණෙ ගොඩක් අඩුවෙන්. ප්‍රධානම හේතුව මට දිග කාලයකින් ලංකාවට යන්න නොලැබීම. ඒ වගේම මට දැන ගන්න ලැබුණත් ක්වීන්ස්ලන්ඩ් කලාගාරය 2008 දී ශ්‍රී ලංකාවෙ යුද්ධය ආශ්‍රිත සිනමා දැක්මක් පවත්වන බව, ඒ දවස්වල මගේ සැමියා අසනීපයෙන් උන්නු නිසා එතනට යන්නත් බැරි වුණා. ප්‍රියන්තම මට ගෙනත් දුන්නු ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටවලින් මම තාම බැලුවෙ ඉර මැදියම විතරයි. ඊට කලින් මම බැලුව පුරහඳ කළුවර. ඒ ගැන මම කෙටි විචාරයකුත් ලිව්ව මීට අවුරුදු හත අටකට උඩදි. අශෝක හඳගමගේ මේ මගේ සඳයි දැක්ක. ඒත් එක්කම මතකයි සිඩ්නි සිනමා උළෙලට ආපු විමුක්ති ජයසුන්දරගේ අහසින් වැටෙයි. මේ කුමාර්  ෂහානිගේ වීරකාව්‍ය සිනමාව ගැන ලියමින් ඉන්න පොතේ වැඩ ඉවර කළ ගමන්ම ලැබුණු අනිත් චිත්‍රපට බලන්නයි මම ඉන්නෙ.

සම්පූර්ණ චිත්‍රයක් ඇඳගන්න තරම් දේවල් මම දැකල නැතත් සුවිශේෂී දෙයක් සිද්ධ වෙමින් පවතින බව නම් පේනව. මට දැනට පැහැදිලිව කියන්න පුළුවන් වෙන්නෙ පතිරාජගේ පාර දිගේ මේ සියල්ල වෙත හැරවුම් ලක්ෂ්‍යය වෙන්නට ඇති කියල විතරයි. පතිරාජගේ සියලුම නිර්මාණ ගත්තම ප්‍රේක්ෂාගාරයට එච්චරම ළඟා නොවුණු පාර දිගේ, පොන්මනි සහ සොල්දාදු උන්නැහෙ කියන කෘති එච්චර කාලයකට ආපු ආකෘතිය වෙනස් කරල දැම්ම කියන එකයි මගේ අදහස. එතනදි තමයි  සම්මත අස්ථි පද්ධතිය බිඳල කෙලින්ම ස්නායු පද්ධතිය හොයා ගත්තෙ සිනමා ප්‍රකාශනයක් හදන්න. සමහරු කියන්න ගත්තනෙ, “අම්මේ... මේ මොනවද වෙන්නෙ? මේක චිත්‍රපටියක් ද“ කියල. ඒ ගොල්ල හිතුවෙ පතීට සිනමාව තේරෙන්නෙ නැහැ කියලයි. ඉතාලි නව යථාර්ථවාදයේදිත් මේක වුණා. පැවති ෂෝනර සිනමාව බිඳ දැමීම. පතී පාර දිගේ චිත්‍රපටියෙදි කරන්න හැදුවෙ මේකයි. ඒක සම්පූර්ණයෙන්ම සාර්ථක නොවුණත් පැවති සම්මත ආඛ්‍යාන ක්‍රමය එහෙම්ම එයා බින්දා. මේ සම්මත ෂෝනරය බිඳල ඇතුළටම බැහැල හාස්‍යය, විනෝදය පවා ඒකට ගෙනාව. වෙනම ආකෘති හැදුව.  අනිත් කෙනා වසන්ත ඔබේසේකර. දඩයම චිත්‍රපටයෙදි ඔහු ස්වර්ණා මල්ලවආරච්චිගේ රත්මලී චරිතය සමගින් නිර්මාණය කරන පසුබිම ඉතා වැදගත්. රත්මලීගේ එරෙහිව නැගී සිටීම හරහා ඔහු කී දේ සිංහල සිනමාවේ ප්‍රකාශනයට නව මානයක් එක් කළා. ඔබේසේකර ෂෝනරය හඳුනාගෙන සිනමා නිර්මාණ කළ කෙනෙක්. අනිත් කාරණය ඔහු කාලය හා අවකාශය ඝට්ටනය කළ ආකාරය. ශබ්දය හා රූපය එකිනෙකට විරුද්ධව තබමින්, සෘජු ප්‍රකාශනයෙන් ඉවත් වෙලා කළ හැඟවීම්. මේ දේවල් බොහෝ වෙනස්කම්වලට මග පාදපු බව පේනවා.

මට පෙනෙන්නෙ මේ අලුත් පසු පරම්පරාව බොහොම උගත් පරම්පරාවක් කියලයි. ඒ කියන්නෙ ලෝකය දැකපු, ප්‍රාසාංගික කලාව වටහාගත්, ලෝක සංස්කෘතිය දන්න, සිනමාව හා එහි ප්‍රකාශනය දන්න පරම්පරාවක්. ඔවුන් ගොඩ නගනවා විශාල පරාසයක විහිදෙන සිනමා රූප ගොන්නක්. විශාල දේශපාලනික හා සමාජ බිඳ වැටීමක් තිබිලත්, අවුරුදු තිහක සිවිල් යුද්ධයක් තිබිලත්, ඔවුන් කරමින් ඉන්න දේ විශාලයි. එහි සමාරම්භක පියවර එදා තැබුවෙ පතිරාජ කියලයි මට හිතෙන්නෙ. ඔහුගෙ මේ පියවර මුල් කාලෙ විමල් කුමාර ද කොස්තා සහ දයා තෙන්නකෝන් යොදාගෙන හදපු කොරා සහ අන්ධයා කියන වේදිකා නාට්‍යයේ ඉඳන්ම ගොඩ නැඟුණු එකක්.

ප්‍රියන්ත: ගොඩක් ස්තුතියි ලලීන්. ඔබ කලින් කියපු පුරහඳ කළුවර ගැන විචාරය සිංහලට නගලා ප්‍රසන්න විතානගේ නිකුත් කළ එහි පිටපත සමග පළ කරල තිබුණ. හැබැයි එතන නම ටිකක් වෙනස් විදියටයි තිබ්බෙ. මහාචාර්ය නලීන් ජයමාන්න කියල. පිරිමි නමක්!

ලලීන්: අයියෝ කමක් නැහැ. මම වෙලාවකට ගැහැණියෙක්. වෙලාවකට පිරිමියෙක්. තවත් වෙලාවක කිඹුලෙක්! ඒ ළඟකදි බාලි දූපත්වලට ගිහින් ආවට පස්සෙ. මතු ආත්මෙදි අර්ධ නාරිෂ්වර වෙන්නත් කැමැත්තෙන් ඉන්නෙ. හැබැයි මහාචාර්ය පදවියක් නම් මට නැහැ.  



නෝමන් යූස්ෆ් : මැලේසියාවේ මාරා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිනමාව පිළිබඳ කථිකාචාර්යවරයෙකි. ඔහු දැනට සිඩ්නි විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන අංශයේ සිනමාව පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කාර්යයේ නිරත වෙයි.           

ඡායාරූප - http://www.miramax.com/subscript/cannes-film-festival-jane-campion-piano-palme-dor
                http://en.wikipedia.org/wiki/Laura_Mulvey
                http://sydney.edu.au/arts/art_history_film/staff/profiles/laleen.jayamanne.php

(මෙම සංවාදය 14 සඟරාවේ ජූලි - දෙසැම්බර් කලාපයේ පළ කෙරිණි)

2 comments:

  1. ඔබගේ මෙම ලිපියේ වචන 4200ක් පමණ අඩංගු වෙනවා. මෙය සාමාන්‍යෙයන් බ්ලොග් අඩවි ලිපියක ඉතා අධිකතර වචන සංඛ්‍යාවක් වෙනවා. මෙවන් ලිපි සගරාදිය සඳහා ගැලපුනත් බ්ලොග් අවකාශයකදී මේ ලිපි වලට ඇති ආකර්ශනය අඩුවන්න තිබෙන හැකියාව වැඩියි.. මා පුද්ගලිකව හිතන විිදියට සමහර අදහස් සම්පින්ඩනය කරලා කොටස් කිහිපයකට ඉදිරිපත් කලානම් හෝ පිටු කිහිපයක් වෙන ලෙස නිර්මාණය කලා නම් මේ ලිපිය මීට වඩා ජනතා ආකර්ශනය ලබාගන්නට හේතු වේවි.

    සිංහල බස කුඩා අකුරු වලදීට වඩා මඳක් විශාලතර අකුරු වලදී වෙබ් කියවන්නාට වඩාත් සහනයක් ගෙන එනවා.. විශේසයෙන් වෙබ් අවකාශකයට සාමාන්‍යන් ගැලපෙන ෆොන්ට සයිස් එක විදියට මම දකින්නෙ 14 හෝ 16 යන අගය.

    සිංහල බස පමණක් නොවේ බොහෝ බාසාවල ලිපි වෙබ්ගත කිරීමේදී විශාල ඡේද වෙන් නොකොට කුඩා කුඩා ජේද යෙදීම ආකර්ශනය වැඩි කිරීමට සමර්ථ වෙනවා. ජනප්‍රිය පුවත් වෙබ් අඩවි වල වෙබ් ලිපි වාක්‍ය කිහිපයකින් සමන්විත පේලි පහ හයක ඡේද වශයෙන් තිබෙනවා. එය කියවන්නා ආකර්ශනය කිරීමට සමත් වනවා.

    අනික් එක තමයි මේ ඩයිනමික් කියන බ්ලොග් ටෙම්පෙලෙට්ටුව අඩු වේග අන්ර්ජාල වේග පවතින විට බාධා ඇතිකරන බවත්..මෙහිදී කමෙන්ට් දැමීමත් කියවීමේ රුචියත් සාපේක්ෂව අඩු බැව් මා කලක් ඩයිනමික් යන ටෙම්පලේට්ටුව යොදාගත් විට මිතුරන් පැවසුවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමිල, මෙම ලිපිය දිග බව මම දන්නවා. මෙය සඟරාවකට කළ සංවාදයක්. මෙය මෙතන පළ කළේ සඟරාව නොලබන, ඒත් මේ සංවාදය කියවන්න කැමති අය වෙනුවෙන්.

      අනිත් කාරණා ගැන නම් මම හිතන්නම්.

      කොහොම වුණත් අදහසට ස්තුතියි!

      Delete