Wednesday, January 29, 2014

සෙසෑන් වෙත ලියමි!




සෙසෑන් විසින් චිත්‍රණය කළ සෝලාගේ රුවක්
ලොව හමුවන විශිෂ්ට ලේඛකයින්, නිර්මාණකරුවන් බොහොමයක් සිය අදීන චින්තනයන් නිසා ද, මරණින් මතු වුව, ඇගයුමට පාත්‍රව ඇත. ප්‍රකට ප්‍රංශ ලේඛක එමිල් සෝලාගේ (1840 -1902) ජීවන වෘත්තය දෙසට එබී බලන්නෙකුට ද හමුවන්නේ එවන් මිනිසෙකි. ලෝ ප්‍රකට ප්‍රංශ සිත්තරකු වන පෝල් සෙසෑන් (1839 – 1906) ගේ ප්‍රාණ සම සුමිතුරා වූයේ සෝලා ය. දෙදෙන සිය දිගු මිත්‍ර සමාගමය තුළ, කලාව හා සාහිත්‍යය ගැනත් චිත්‍ර කලාව ගැනත්,එයින් නොනැවතී සත්‍යය හා මනුෂ්‍යත්වය ගැනත් සංවාද කළෝ ය. ඒ ගැන එකිනෙකා වෙත ලියූ ලිපි අද එම සාකච්ඡාවන්හි ඇති සුගන්ධවත් බව පිළිබඳ මනා සටහන් ලෙස කලාව හදාරන්නන් අතර ඇගයුමට ලක් ව ඇත.

මෙහි මා පරිවර්තනය කරන ලිපිය 1866 දී සෝලා විසින් සෙසෑන් වෙත ලියූවකි. ඔහු කියනා බොහෝ දේවල්හි අවස්ථා සම්බන්ධය වටහාගන්නට ලිපියේ කරුණු ප්‍රමාණවත් නොවේ. එහෙත්, සිය දෘෂ්ටිය පිළිබඳ අවංක බව ඒ ලිපියේ සෑම වදනක් තුළින්ම විහිද යයි. උණුසුම් මිතුදමක අපරිමිත වටිනාකම ද ඉන් නැගෙයි.

මේ ඒ ලිපියයි!


ප්‍රිය මිතුර, නුඹ සමග කෙරෙන සහෘද කතාබහ අප්‍රමාණ ප්‍රීතියකින් මගේ හද සනසාලයි. මොහොතකට පෙර, මේ පිටස්තර පිරිසත් සමග කළ දබරය නිසා මා කෙතරම් වේදනාවට පත් වුණේ දැයි ඔබට සිතා ගන්නටවත් නොහැකි වනු ඇත. වටපිටාවේ ඇති අනුමාන කිරීම් සහ වැරදි වැටහීම් නිසාම වෛරයට පාත්‍රවීම හේතුවෙන් මම නිරන්තරයෙන් අධෛර්යයට පත් වන අතර පෑන මාතින් ගිලිහී යයි. එහෙත් අද මට නැගී සිටිය හැක. ඒ වසර දහයක් පුරා ඇදී එන අපේ නිරන්තර, තෘප්තිකර කතාබහ අතරට එක් වුණු අලුත්ම සාමිචිය හේතුවෙනි. මා මේ පිටු කිහිපය ලියන්නේ ඔබට ය. ඔබ එය හදවතින්ම පිළිගෙන කියවා බලනු ඇති බවත්, හෙට තවත් උණුසුම් ලෙස මට ආදරය කරන බවත් මම ඉඳුරා දනිමි. මේ මහා කලබගෑනියෙන් දුරස්ථ, හුදකලා ඉසව්වක අප දෙදෙනා පමණක් හමුවී ඇති බවත්, දුටුමතින්ම එකිනෙකා හඳුනාගත් පැරණි මිතුරන් දෙදෙනෙකු සේ සුහදව අප දෙදෙනා කතා බහ කරමින් ඉන්නා බවත් මොහොතකට සිතා ගන්න.

වසර දහයක් පුරා අපි දෙදෙන චිත්‍ර කලාව සහ සාහිත්‍යය පිළිබඳ කතා කළෙමු. අපි එකට ජීවත් වුණෙමු. - නුඹට මතක නම් - බොහෝ දිනවල හිරු නැගෙද්දී පවා, අප දෙදෙන හමුවන්නේ අතීතය සොයා යමින් ද, වර්තමානය ප්‍රශ්න කරමින් ද, සත්‍යය හඳුනාගැනීමට වෑයම් කරමින් ද සහ අප සඳහාම වූ පරම, පරිපූර්ණ ආගමක් සඳහා විමසමින් ද යනාදී ලෙස ය. අති විශිෂ්ට අදහස්වලින් අපේ හිත් පිරී තිබෙයි. සියලු ක්‍රමවේදයන් පිරික්සා අහවර කොට, ප්‍රතික්ෂේප කර ඇති අපි දෙදෙන, අවසානයේ දුෂ්කර ගමනකින් පසු, බලසම්පන්න පුද්ගල ජීවිතය හැරුණු විට හමුවන්නේ මුසාව සහ විගඩම පමණකැයි තීරණය කර සිටිමු. 

අතීතය පිළිබඳ මතකයන් ඇති සියල්ලන්ම පිළිබඳ මට සතුටු ය! මගේ ජීවිතය තුළ ඔබ මට සිහියට එන්නේ ‘මුසේ‘[i] කියූ සුදුමෑලි තරුණයා ලෙස ය. මගේ තරුණ අවදියේ සියල්ල ඔබ ය. ඔබ මගේ සියලු සන්තුෂ්ටීන් සහ සියලු වේදනාවන් මා හා එක්ව බෙදාගත් අයුරු මගේ සිහියට නැගෙයි. සහෝදරත්වය පිළිබඳ වුණු අපේ තියුණු හැඟුම දෙපාර්ශවය විසින්ම නිරතුරුව වර්ධනය කළ එකකි. අද, අප ගොඩ නඟා පැමිණි පරිදිම, අප තුළ විශ්වාසයක් පවතියි. ඒ, අප අපේ හදවත්වලින් හා ශරීරවලින් එකට බැඳී ඇති හෙයිනි.

හුවමාරු කරගත් අදහස් සමග හිඳ, දුරින් හිඳිමින් ම වුව, එකිනෙකාගේ සෙවනැල්ල මත ගැවසෙමින් සතුටු වන්නට අපට හැකි ය. සන්සුන් සහ නිස්සාර මිනිසුන් මැද දී අප අතරමං වුණු සෙයක් අපට දැනේ. අප සැමතැනම සොයා ඇවිද්දේ මිනිසත්කම ය. චිත්‍රයක්, කවියක් වැනි සෑම නව පියවරකදීම ආත්මීය අවධාරණයක් සොයා ගැනීමේ නොනිත් උවමනාවක් අපට තිබිණි. කිසිවක් නොතිබුණු තැනක ලෝකය යන්න නිර්මාණය කළේ විශිෂ්ට මිනිසුන්ම බව අප අවධාරණය කළෙමු. එසේම එම ප්‍රතිභාවෙහි සුන්බුන් අතනින් මෙතැනින් අහුලාගැනීම සිය කාර්යය කොටගත් දුබල අනුගාමිකයන් අපි ප්‍රතික්ෂේප කළෙමු.  

අප නොදැනුවත්වම වුව, අප විප්ලවවාදීන් ව ඇති බව ඔබට වැටහේ ද? පසුගිය වසර දහය තිස්සේ අප මුමුණමින් සිටින්නේ කුමක්දැයි දැන් මට හඩඟා කිව හැකි ය. අරගලය පිළිබඳ පුවත ඔබ අසන්නට ඇත. ඔබට එය ඇසුණා නොවේ ද? එසේනම්, අපගේ සහෘද අදහස්වලට කෙතරම් ඉහළ පිළිගැනීමක් ලැබී ඇත්දැයි ඔබ දකින්නට ඇත. අහෝ...! ඒ දුප්පතුන් ප්‍රොවෙන්ස් නගර මධ්‍යයේ, චණ්ඩ හිරු එළිය යටට වී, ප්‍රයෝගයන්ට හසුව, සිය දිවියම වාගේ ගෙවා ඇති සැටියකි. 

ඉතින්, බොහෝවිට ඔබ නොදන්නේ වුවත්, මම රැවටිලිකාරයෙක් වී ඇත. පොදු ජන නියෝජනය මේ වන විටත් මා ‘චරෙන්ටන්හි‘ සිර කර තැබීමට නියෝග නිකුත් කොට ඇත. ඥාතීන්ගේ හා මිතුරන්ගේ පමණක් පිළිගැනීම ලබන මා හඳුනාගෙන ඇත්තේ මෝඩයෙකු හා දුෂ්ඨයෙකු ලෙසිනි. මා අපකීර්තිය ලක්ව ඇත.


මගේ ප්‍රිය මිතුර, එය ශෝකජනක ය අනුකම්පා උපදවන සුළු ය. එය යළිත් පැරණි සුපුරුදු කතාන්දරය වේවි ද? මිනිසකු සැමවිටම අනිත් අය මෙන්ම කතා කළ යුතුම ද? නැතිනම් නිහඬ විය යුතු ද? අපගේ දීර්ඝ සංවාද ඔබට සිහි කළ හැකි ද? වෛරයට හා පරිහාසයට පත් නොවී සත්‍යය පිළිබඳ ක්ෂුද්‍ර වන අදහසක්වත් ගෙන ආ නොහැකි බව අපි කීවෙමු. දැන් එළඹ ඇත්තේ මා එයට මුහුණ දිය යුතු වාරයයි. 

ප්‍රිය මිතුර, මෙය විශිෂ්ඨ කතාන්දරයකි. ලොව ඇති කිසිදු දෙයක් වෙනුවෙන් මෙම ලිපිය විනාශ කරන්නට මම නොසිතමි. එය ඒ තුළම එතරම් අගයක් නොපෙන්වුවත්, ප්‍රකාශ කිරීමේ දී ජන ප්‍රතිචාරය දැන ගැනීමේ උරගලක් විය. අප දැඩි ලෙස ඇලුම් කළ අදහස් කෙතරම් ජනතාවට අපුලදැයි දැන් අපි දනිමු.
කෙසේ නමුත්, දෙවන වතාව සඳහාත් මගේ අදහස් ප්‍රතිරාවය කරන්නට මම කැමති ය. මම ඒ දැඩිව විශ්වාස කරමි. එසේම වසර කිහිපයකින් මා කියනා දේ නිවැරදි බව සැම දෙන වටහා ගනු ඇතැයි මම විශ්වාස කරමි. හෙට ඔවුන් මවෙතට ගල් ගැසුවාට මම බිය නොවන්නේ එබැවිනි.

එමිල් සෝලා
1866 මැයි මස විසිවැනිදා, පැරිසියේ දී ය.


[i] ඇල්ෆ්‍රඩ් ඩි මුසේ - ප්‍රංශ නවකථාකරුවෙකි; නාට්‍යකරුවෙකි; කවියෙකි. 

රූපය -  http://www.paulfrasercollectibles.com/

1 comment:

  1. ප්‍රේමරංජිත් තිලකරත්න 'සරාගී' නමින් පරිවතනය කල එමිල් සෝලාගෙ 'තෙරේස් රොකෑන්' කියන පෝතෙන් තමයි මම මුලින්ම ඔහු ගැන දැන ගත්තේ. ප්‍රේමරංජිත්, එමිල් සෝලාගේම 'මැඩලීන් ෆෙරා' කියන පොතත් 'විළිබිය' නමින් පරිවර්තනය කරලා තියනවා. මේ ලිපි ගනුදෙනු පිළිබඳ නම් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ... ලිපිය බොහොම හෘදයාංගම එකක් බව පේනවා.

    ReplyDelete