Saturday, May 2, 2015

(ප්‍රසූත) මරණින් මතු ජීවිතය



එක් මවකගේ කුස තුළ දරුවන් දෙදෙනෙක් වැඩෙමින් සිටිය හ. එක් මොහොතක එකෙකු අනෙකාගෙන් මෙසේ ඇසී ය.

“උඹ ප්‍රසූතියෙන් පස්සේ ජීවිතයක් ගැන විශ්වාස කරනවා ද?“

අනෙකා පිළිවදන් දුන්නේ, “ ඇයි? ඇත්තටම ඔව්. ප්‍රසූතියෙන් පස්සෙ යමක් තියෙන්නම ඕනෙ. සමහර විට අපි මෙතන ඉන්නෙ පස්සෙ කාලෙක අපි ඉන්න විදියට සූදානම් කරන්න වෙන්න ඇති.“

“විකාර!“ පළමුවැන්නා කතා කරන්නට විය. “ප්‍රසූතියෙන් පස්සෙ ජීවිතයක් නෑ. මොන වගේ එකක් වෙයිද එහෙම තිබුණොත්?“

දෙවැන්නා පිළිතුරු දුන්නේ, “මම දන්නෙ නෑ. ඒත් බොහොම වෙලාවට මෙතනට වඩා එතන එළියක් තියෙන්න බැරි නෑ. සමහර විට අපි අපේ කකුල්වලින් ඇවිදලා කටින් කෑම කාවි. ඒ වගේම සමහර විට අපිට තව තව හැඟීම් ඇති වෙන්න බැරි නැහැ දැනට අපිට නොතේරෙනව වුණාට!“

“ඒක නං මහ අභූත කතාවක්. ඇවිදින එක කරන්න බැරි වැඩක්. අනික කටින් කෑම කන්න? අමු පිස්සුවක්නෙ ඒක! අපිට ඕනෙ කරන හැම දෙයක්ම බඩවැල හරහා අපිට ලැබෙනව. ඒත් ඒක හරිම කොටයි. ඒ හින්ද ප්‍රසූතියෙන් පස්සෙ ජීවිතය කියන්නෙ තාර්කිකවම පවතින්න බැරි දෙයක්.“ දෙවැන්නා පිළිතුරු දුන්නේ ය.

“ඒ වුණත් මං නං හිතන්නෙ එහෙ ඇති අපිට තේරුම් ගන්න බැරි යමක් වගේම මෙහෙට වැඩිය වෙනස් දෙයක්. සමහර විට අපිට මේ බඩවැල ආයෙම ඕනෙ නොවෙන්න වුණත් බැරි නෑ!“ පළමුවැන්නා සෙමෙන් නමුත් විශ්වාසවන්තව කීවේ ය.

“පළමුවැන්නා පිළිතුරු දුන්නේ තරමක උපහාසයකිනි. “මහ විකාරයක් ඒක නං!! අනිත් එක එහෙ ජීවිතයක් තියෙනවම නං ඇයි කවුරුත් කවදාවත් ආපිට ඇවිත් නැත්තෙ? ප්‍රසූතියෙන් පස්සෙ ජීවිතයක් නෑ. ඉන් පස්සෙ තියෙන්නෙ අඳුරයි, නිස්සද්ද බවයි එක්ක නොපැවතීමයි විතරයි. ඒක අපිව කිසිම දිහාකට ගෙනියන්නෙ නෑ.“

“හොඳයි. මං දන්නෙ නෑ. ඒත් සමහර විට අපිට එහෙදි අම්මා මුණ ගැහේවි. එයා අපිව බලා ගනීවි.“

දෙවැන්නාගේ පිළිතුර පළමුවැන්නා වෙත ගෙන ආවේ තරමක කෝපයකි.

“අම්මා? උඹ ඇත්තටම අම්මා කියල කෙනෙක් ගැන විශ්වාස කරනව ද? ඒක නං හරිම විහිළුවක් තමයි. අම්ම කියල කෙනෙක් ඉන්නව නං ඇත්තටම කෝ දැන් එයා?“

“එයා අපි වටේම ඉන්නව. අපි වටවෙලා ඉන්නෙ එයාගෙන්. අපි එයාටයි අයිති. එයා ඇතුළෙයි අපි ඉන්නෙ. එයා නැතුව මේ ලෝකෙ හැදෙන්නෙවත් පවතින්නෙවත් නෑ‘ පළමුවැන්නා කීවේ ය.

“ඒත් මට එයාව පේන්නෙ නැහැ. ඒ තර්කෙම ඇති එයා නැහැ කියල පිළිගන්න!“ පළමුවැන්නා යළි තර්ක කළේ ය.

දෙවැන්නාගේ පිළිතුර නැගී ආයේ ය.


“සමහර විට, නුඹ නිශ්ශබ්දව ඉන්න වෙලාවක, හිත එකම අරමුණකට අරන් හොඳින් අහගෙන ඉන්න වෙලාවක, නුඹට එයාව දැනේවි... නුඹට එයා ආදරයෙන් කතා කරන හඬ ඇහේවි... ඉහළ ඉඳන් අපිට කතා කරන හඬ!“

( Útmutató a Léleknek නමැති හංගේරියානු රචකයාගේ පර්යේෂණාත්මක ලියවිල්ලක පරිවර්තනයකි)


3 comments: