
සිනමාව යනු කෙටි
ඉතිහාසයක් තුළ සෙසු කලා භාවිතාවන් හා සමානුපාතික වන තරමට හෝ අභිබවනා තරමට නැගි
අපූර්ව ශ්‍රව්‍ය දෘශ්‍ය කලා භාවිතාවකි. එහි ඇති සුවිශේෂ ගුණාංග අතර සෙසු කලා ගණනාවක්ම
ඒ තුළ සංගෘහිතව නැගීම ද, ඒ එක් එක් භාවිතාවන් මනාව සුසාදිත කිරීමෙන් ගැඹුරු ජීවන
සංවේදනා වෙත ගමන් කිරීමේ හැකියාව ද හමු වේ. ‘සිනමා පැරඩීසෝ‘ මෙහිලා අපූරු
නිමැවුමක් වන්නේ එහි කතා තේමාවේ මූලික පසුබිම ද ‘සිනමාව‘ම වීම හේතුවෙනි. කුඩා ටොටෝ
දෙවන ලෝක යුද්ධය නිසා විනාශ ව ගිය නටඹුන් ගම්මානය පසුබිමේ දිවයන්නේ ඇල්ෆ්‍රඩෝගේ
සිනමා ශාලාව තුළ අත් විඳිය හැකි මානව සම්බන්ධතා
සිය ළමා ඇසින් ග්‍රහණය කිරීමට ය. ඔහු ජීවිතය දකින කවුළුව සිනමා තිරයයි. ඔහුට
ජීවිතයේ ගැඹුර කියා දෙන වැඩිහිටියා ඇල්ෆ්‍රඩෝ යි.
“මෙතන ජීවත් වෙන ගමන්
උඹ හිතයි මේක තමයි ලෝකෙ හරි මැද කියල. උඹ හිතන්න ගනීවි කිසිම දෙයක් කවදාකවත් වෙනස්
වෙන්නෙ නෑ කියල. ඊට පස්සෙ උඹ යන්න යාවි. අවුරුද්දකින්, දෙකකින් උඹ ආපිට එද්දි සේරම
වෙනස් වෙලා තියේවි. හැම බැම්මක්ම කැඩිල. උඹ දකින්න කැමැත්තෙන් එන දේවල් එතන නෑ.
උඹේ දේවල් නැති වෙලා. උඹ පිට වෙලා පලයන් දිග කාලෙකට.... ගොඩක් කාලෙකට. උඹ ආපිට
ඇවිත් උඹේ මිනිස්සු හොයන්න කලින්. උඹ උපන් බිම හොයන්න කලින්. නමුත්, දැන්... ඒක
කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් උඹ අන්ධයි... මේ මටත් වඩා අන්ධයි!...
කවුද ඔය දෙබස කියන්නෙ?
ගැරී කූපර් ද? ජේම්ස් ස්ටුවර්ට් ද? නැත්තං හෙන්රි ෆොන්ඩා ද?
නෑ ටොටෝ... කවුරුත් කියන්නෙ
නෑ. මේ පාර සේරම මගෙන්. ජීවිතේ චිත්‍රපටි වගේ නෙවෙයි. ජීවිතේ ඊට වඩා ගොඩක්
අමාරුයි!“
ටොටෝ හමුවේ සිනමා රූප
පෙළගස්වමින් දිගු කලක් ජීවිතය මේ යැයි කියාදෙන ඇල්ෆ්‍රඩෝ අවසානයේ සිය දෙනෙත් අඳ වූ පසු ටොටෝ හමුවේ
පවසන්නේ ඉහත කරුණ ය. සැබවින්ම සැබෑ ජීවිතය සිනමා රූපය තුළ රාමුගත සීමාවක නතර නොවන
අති දුෂ්කර ව්‍යායාම පෙළකි. එහෙත් මෙහි ඇති ආකර්ෂණීය කරුණ නම් එය යළි අපට පසක්
කරන්නට උදව් වන මෙවලමක් ලෙස සිනමාව ක්‍රියා කිරීම ය.
ඇල්ෆ්‍රඩෝගේ අදහස් අනුව
ගියේ නොවූවත් ටොටෝ ගම හැර නගරයට යයි. ජීවිතයේ අනේක ගැහැටට මුහුණ දෙයි. යළි පෙරළා
පැමිණ ඔහු කී දේ සත්‍යයක් බව, ජීවිතය වටහා ගැනීම හරහාම, වටහා ගනියි.
මෙම කුඩා තීරුව අද පටන්
සිනමාව හා ජීවිතය පිළිබඳ ඔබ සමග සංවාදයක් අරඹනු ඇත. සිනමාව විෂයයෙහි සාකච්ඡාවට කැඳවිය හැකි දහසක් කරුණු
අතුරින් අප තෝරා ඔබ වෙත තබන්නේ ජීවිතය හා සිනමාව අතර ඇති සහෘද සාකච්ඡා මාලාවයි.
කුඩා ටොටෝ සිනමා හළට දිව
ආ අයුරින් දිවඑන්නැයි මම ඔබට ඇරයුම් කරමි. එන්න! අපි සිනමාව ජීවන විලාසයක්
කරගනිමු!
(2016 - 09 - 15 - රිවිර පුවත්පත/ ‘ඉම‘ පිටුව )
-
ප්‍රියන්ත ෆොන්සේකා -
හොඳ ඇරඹුමක් .ජය!
ReplyDeleteස්තුතියි!
Delete