Friday, November 4, 2016

ආදරයට අලුත් වදනක් (ජීවිත සිනමාව/ රිවිර සිනමා කොලම - 7)




ඇනා සහ ජෝර්ජස් යනු ප්‍රංශයේ ප්‍රධාන නගරයක තට්ටු නිවාසයක දිවි ගෙවන අසූ විය ඉක්මවූ විවාපත් යුවළකි. විශ්‍රාමික පියානෝ ගුරුවරුන් වන ඔවුන්ගේ දියණිය ඊවා විවාහ වී නිවස හැර ගොසිනි. අතීතයේ සිය ශිෂ්‍යයන් ලෙස පියානෝ වාදනයට අත් පොත් තැබූවන් විශිෂ්ඨ වාදකයින් ලෙස ලබා ඇති ප්‍රගතිය දකිමින් සතුටු වන මෙම මහළු යුවළ හුදකලා නිවෙස තුළ එකිනෙකාගේ අවැසියාවන් විමසා බලමින් සිය ජීවිතවල සැඳෑ සමය ගෙවා දමමින් සිටිති. ඉතා සෙමින් ගලා බසින දෙදෙනාගේ ජීවිතයේ අවසන් කාල සමය එක් වරම තියුණු හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පිවිසෙන්නේ එක්තරා දිනයක, උදෑසන ආහාරය සඳහා මේසය වෙත වාඩි වන ඇනා, ක්ෂණිකවම හා නිහඬවම, ආඝාත තත්වයකට මුහුණ දීම සමගිනි. කිසිදු වදනක් නොදොඩා, කිසිදු හැඟීමකින් තොරව, එක් එල්ලයක් දෙස බලා සිටින සිය බිරිඳ ඇනා දකින ජෝර්ජස් ඇය රෝහලකට කැඳවාගෙන යාමට සූදානම් වුවත් මොහොතකින් ඇය පියවි ලොවට පිවිසේ. එහෙත් ඇගේ ශරීරය තව දුරටත් මොළය මගින් නිකුත් කරන විධානයන් නිසි ලෙස ක්‍රියාවට නොනංවන බව දෙදෙනාම වටහා ගනිති.

2012 වර්ෂයේ දී කෑන්ස් සිනමා උළෙලේ පාම් දිඕ සම්මානයත්, ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂිත චිත්‍රපටය සඳහා වන සම්මානයත් යන සම්මාන ද්විත්වයම දිනාගත් ඔස්ට්‍රියානු සිනමා කතුවර මයිකල් හැනිකේගේ ‘අමොර්‘ (Amour - ප්‍රංශ අරුත ආදරය යන්නයි.) ඇනා සහ ජෝර්ජස් මුහුණ දෙන මෙම ජීවිත සැඳෑ සමයේ වියපතුන්ගේ අභියෝගය විමසන සිනමා කෘතියකි. ලොව විශිෂ්ඨතම සිනමාකරුවන්ගේ ප්‍රමුඛ කෘති ලෙස ගැනෙන ජපාන සිනමාකරු යසුජිරෝ ඕසුගේ Tokyo Story සහ ස්වීඩන සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන්ගේ  Wild Strawberries යන නිමැවුම්වලින් අනතුරුව වයස්ගත වීම සහ මරණය සිනමා රූපය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කළ විශිෂ්ඨ සිනමා වියමනක් ලෙස ‘අමොර්‘ විසල් අවධානයක් හිමිකරගෙන ඇත. සෙසු සිනමා කෘති සේම හෝ ඊටත් වඩා ‘අමොර්‘හි වියපත් වීම හා මරණය හා බැඳී ආ අනෙක් ප්‍රමුඛ මානව දහම වූයේ ආදරයයි.

අසනීපය හේතුවෙන් ඇනා රෝහල්ගත කෙරුණු පසු යළි සුවය ලබා ඇය නිවසට එන්නේ රෝද පුටුවකිනි. රෝහල හමුවේ තමන් ලැබූ ඛේදනීය හැඟීම් මඟහරිනු වස් ඇය ජෝරජස්ගෙන් ඉල්ලන්නේ එක් කුඩා නමුත් අපහසු ඉල්ලීමකි. ඒ තමන් යළි කිසි විටෙක රෝහල වෙත ගෙන නොයන ලෙස ය. දියණිය ඊවාගේ මැදිහත්වීම් ද මග හරිමින්, ඇය විමසන සියල්ලන්ගෙන් ඇගේ රෝගී තත්වයේ සත්‍යය වසන් කර තබමින් ජෝරජස් ඇනාගේ ඉල්ලීම ඉටු කර දෙමින් ඇය රැක බලා ගනියි. දිනෙන් දින, සෙමින් වියැකී යන සිය ආදරණීය බිරිඳගේ ජීවිතාපේක්ෂාවන් හමුවේ මහළු ජෝරජස් සංකීර්ණතා රැසකට මුහුණ දෙයි. නිසි ලෙස නොලබන නින්දේ සිට අපිළිවෙල වූ ජීවිතය ඔහු හා සමව බෙදාගන්නට ඇනා ඔහු හා නිරෝගීව පසෙකින් නොසිටීමම ජෝරජස් වෙත ද උදා කරන්නේ පීඩිත කාල සමයකි. එසේ වුවත්, ඒ සියල්ල විඳ දරා ගනිමින්, සිය ආදරණීය ඇනා මනසින් හෝ ශක්තිමත් කරන්නට ඔහු යත්න දරයි.

“දවසින් දවස තත්වෙ ටික ටික හොඳ අතට හැරෙනව!“

ඔහු ඇනාට කියයි.

“මට බලා ඉන්න ඕනෙ නෑ. ඔයා හැමදේම ලේසි කරන්න පුංචි පුංචි ලස්සන වැඩ කරනව. ඒත් මට බලා ඉන්න ඕනෙ නෑ... ඒ මං හින්දමයි... ඔයා හින්ද නෙවෙයි“

“මම ඔයාව විශ්වාස කරන්නෙ නෑ. මම දන්නව ඔයාගෙ හැටි. ඔයා හිතනව ඔයා මට කරදරයක් වෙලා කියල. ඒත් මගේ තැන හිටියෙ ඔයා නං ඔයා මොකද කරන්නෙ?“

“මට මගෙ ඔලුව පිස්සු වට්ටගන්න බෑ ඒව හිතල... මට මහන්සියි. මට නිදා ගන්න ඕනෙ!“

වෙව්ලන, සෙමින් ඇවිද යන, අත් පා නිසි ලෙස හැසිරවිය නොහැකි, තනිකම උරුම වුණු ඇනා සහ ජෝරජස්ගේ ජීවිතයේ මේ අවසන් කාල සමයේ සිදුවීම් පෙළ වියපත් වීම සමග මහළු වී නොයන ආදරයේ අරුමය අපට පෙන්වා දෙයි. සිය ආදරණීය බිරිඳගේ පෙළීම් හා වේදනාවන් සමනය කරන්නට බොහෝ පියවර සොයා යන ජෝර්ජස් ඒ සියල්ල ඉක්මවූ තැන ඇගේ වේදනාවන්ගෙන් ඇය මුදවා ලනු පිණිස ආදරයම මුල් වූ තීන්දුවක් පෙරට කැඳවයි.

ජීවිතය සිනමාවට වඩා බොහෝ විශාල බව සැබෑවකි. එහෙත් සිනමා රූපය අප අභියස තබන ඒ විසල් ජීවිතයෙන් අසුලාගත් කැබලි ජීවිතය කවරේදැයි යළි යළිත් අපට පසක් කරවයි. ‘අමොර්‘ ඒ සිනමා ජීවිත වන්දනාවේ අපූරු නවාතැනකි. එහි තේමාව නැඟෙන්නේ මරණය හා වියපත් වීම මත වුව වියමනෙහි ප්‍රමුඛ ධාරණාව ආදරයයි.

අමොර්! ඒ ආදරයට අලුත් වදනකි.

-      ප්‍රියන්ත ෆොන්සේකා -

-       

  

2 comments:

  1. indumathie adikariNovember 6, 2016 at 9:56 AM

    මා මේ සුන්දර ච්ත්‍රපටිය නැරඹුවා .මා 66 වියැති විශ්‍රාමික ගුරුවරියක් .එය හද සසල කළා ,ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉන්දුමතී මහත්මියට... ඔව්, එය හද සසල කරවන්නක්!

      Delete