Monday, January 16, 2017

රතු බල්ලා


(රිවිර සිනමා කොලම- 14)

සිය පෙම්වතිය වූ නැන්සි මුණ ගැසී යළි නවාතැන බලා එන අතරතුර, හැමර්ස්ලි යකඩ ආකරයේ බස් රථ රියදුරු, කඩවසම් තරුණයකු වූ ජෝන්ගේ මෝටර් බයිසිකලය කැන්ගරුවකු හා ගැටේ. ජෝන්ගේ මළ සිරුර ආකර කම්කරුවන් විසින් සොයාගැනෙන්නේ පසුදා උදයේ ය. නැන්සිගේත්, ජෝන්ගේ මිතුරු කම්කරුවන්ගේත් දැඩි කම්පනයට හේතුවන මෙම මරණය, දින කිහිපයකට ජෝන්ගේ ප්‍රාණසම මිතුරා පිළිබඳ සොයා බැලීමට ඔවුන්ට අමතක කරවයි. දින තුනකට පසු ඔවුන් දකින්නේ ජෝන් අවසන් වරට නැන්සි බලන්නට නික්ම යද්දී ඔහු එනතෙක් රැඳී සිටින්නැයි කියූ තැනම තවමත් රැඳී බලා සිටින එම මිතුරා ය. ඒ බල්ලෙකි! රතු බල්ලා (Red Dog) නමින් සැමගේ ආදරය දිනූ ජෝන්ගේ ප්‍රාණසම මිතුරා ඔහු ය!

2011 වර්ෂයේ නිෂ්පාදිත ‘රතු බල්ලා‘ (Red Dog) නමැති ඕස්ට්‍රේලියානු චිත්‍ර‍පටය, සත්‍ය කතාවක් මත පදනම් ව එනමින්ම රචිත ලුවී දි බර්නියර්ස්ගේ නව කථාව පසුබිම් කරගත්තකි. ක්‍රිව් ස්ටෙන්ඩර්ස් නමැති ඕස්ට්‍රේලියානු ජාතික සිනමා අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක් වූ එය ‘ඕස්ට්‍රේලියානු ඇකඩමි සිනමා සම්මාන උළෙල‘ සහ ‘ඉන්සයිඩ් සිනමා සම්මාන‘ නමැති ඕස්ට්‍රේලියානු සිනමා සම්මාන උළෙල ඇතුළු එරට ජාතික සිනමා සම්මාන උළෙල  රැසක වෙසෙසි අවධානයට හා සම්මානයට පාත්‍ර‍ වූයේ, ආකාර කම්කරුවන්ගේ ජීවිතය හා ඒ හා බැඳුණු ඕස්ට්‍රේලියානු බටහිර කාන්තර සංස්කෘතිය හරහා, ‘රතු බල්ලකු‘ කැටුව ගමන් කරමින් නිර්මාණය කළ ආකර්ෂණීය සිනමා වියමනෙහි අපූර්වත්වය හේතුවෙනි. එසේ වුවත් චිත්‍ර‍පටය දිනූ අපූරුම සම්මානය, එහි ප්‍ර‍ධාන චරිතය වන රතු බල්ලාගේ චරිතය නිරූපණය කළ ‘කොකෝ‘ විසින් දිනාගන්නේ, බල්ලන් සඳහා වූ ‘රන් කරපටි සම්මාන‘ උළෙලේ දී ය. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වෙන මෙම උළෙල ‘කොකෝ‘ වෙත ලබා දුන්නේ ‘විදේශීය සිනමා කෘතියක උන් හොඳම බල්ලා‘ සම්මානයයි. 

1971 වසරින් ඇරඹෙන කෘතිය විහිද යන්නේ රතු බල්ලාගේ වියපත් අවදිය දකින තරුණ ට්‍ර‍ක්රථ රියදුරකු වූ තෝමස් වෙත  බටහිර ඕස්ට්‍රේලියාවේ, ඩැම්පියර් නගරයේ අවන්හලක හමුවන පිරිසක් විසින් පවසන අතීතාවර්ජනයක් ලෙසිනි. ඒ වන විට එහි රෝගීව වැතිර සිටින සුප්‍ර‍සිද්ධ රතු බල්ලාට සැබෑ ස්වාමියකු නොවූ බව මුල් අතීත වෘත්ත තුළ කියැවුණ ද, සිනමා කෘතියේ ප්‍ර‍ධාන ‘මිනිස්‘ චරිතය වන, ඇමරිකානු ජාතික තරුණ රියදුරකු වන ජෝන් ඔහුගේ ස්වාමියා බව පසුව හෙළිදරව් කෙරේ. හැම්ර්ස්ලි යකඩ ආකරයේ රැකියාවෙහි නිරත කම්කරුවන් හා ආකරයේ බස් රථ රියදුරා වන ජෝන්, පසුව ඔහුගේ පෙම්වතිය වන, ආකරයේ ලේකම්වරිය වන සුරූපී නැන්සි ඇතුළු සියල්ලන්ගේ ජීවිත ආශ්‍රිතව ‘රතු බල්ලාගේ‘ ජීවිත අන්දරය ගොඩ නැඟෙන්නේ ඉන් අනතුරුව ය. ඉතා බුද්ධිමත් සහ ආදරය දිනාගන්නා බල්ලකු වන ඔහු සිය ස්වාමියා වන ජෝන් සමග ගොඩ නඟාගන්නා මිත්‍ර‍ත්වය, බටහිර ඕස්ට්‍රේලියානු කතරෙහි යකඩ ආකරයක් පසුබිමෙහි වන සියලු මානුෂීය සබඳතා පසුබිම් කරගනිමින් නැගෙනු අනතුරුව අපට හමු වේ.

සිනමා නිර්මාණයක් තැනීමේදී අසීරුම නළුවන් අතර තැබෙන සතෙකු විශිෂ්ඨ ලෙස මෙහෙයවා තැනූ චිත්‍ර‍පටයක් ලෙස ද අපට ‘රතු බල්ලා‘ අත්විඳිය හැක. පරතෙරක් නැතිව විහිද පවතින කතරෙහි, රක්ත වර්ණැති පස් සහිත භූමියත්, ඒ මතුයෙහි රේඛා ලෙස දිගුව විහිද යන මහාමාර්ග ආදියත් පසුබිමෙහි තනිව ඇවිද යන ‘කොකෝ‘ගේ අති දුර රූප, බල්ලෙකු ප්‍ර‍ධාන චරිතයට ගෙන නිපදවූ චිත්‍ර‍පටයක අසීරු නිර්මාණකරණය පිළිබඳ සඳහන් ඔබට පිරිනමනු ඇත.

ජෝන්ගේ මරණය අපට හමුවන්නේ චිත්‍ර‍පටය අවසානයේ නොවේ. ඒ එහි මධ්‍යාසන්න හැරවුම් ලක්ෂ්‍යයක් පමණි. දින තුනක් මුළුල්ලේ සිය ස්වාමියා එනමග බලා සිටි ‘රතු බල්ලා‘ ඔහු නොපැමිණි තැන ඔහු සොයා අරඹන විශ්මිත ගමනක් චිත්‍ර‍පටයේ දෙවැනි අර්ධය තුළ විහිද විකාශනය වේ. ඩැම්පියර් නගරය තුළ ජෝන් සැරිසැරූ සියලු ස්ථාන වෙත ගොස් ඔහු විමසන ‘රතු බල්ලා‘ අවසානයේ බටහිරදිග පර්ත් නගරයේ සිට උතුරෙහි ඩාවින් දක්වා සැතපුම් දහස් ගණනක භූමියෙහි ඔහු සෙවූ බව අතීතාවර්ජනය විමසන තෝමස්ට අසන්නට ලැබේ. එක් කතාවකට අනුව ජෝන් සොයමින් ‘රතු බල්ලා‘ ජපානය බලා නැව් නැග ද තිබේ. චිත්‍ර‍පටය තුළ එන, ‘ඇදහිය නොහැකි‘ මෙම පුරා වත් සියල්ල චිත්‍ර‍පටය අප වෙත චිත්‍ර‍ණය කර දෙන්නේ මිනිස් ශිෂ්ඨාචාරයේ ආදිතම ‘සත්ව‘ මිතුරා පිළිබඳ මහරු සෙනෙහසක් අප වෙත නැගෙන පරිදි ය.

චිත්‍ර‍පටය අවසානය එළැඹෙද්දී දිගු ගමන කෙළවර කරමින් යළි ඩැම්පියර් වෙත එන රතු බල්ලා නැන්සි වෙත යයි. නැන්සි ඒ වන විට දිවි ගෙවන ‘කැරවන්‘ උද්‍යානයේ අයිතිකරුවන්, ඔවුන්ගේ ‘රතු පූසා‘ සමග එක්ව ‘රතු බල්ලා‘ ප්‍ර‍තික්ෂේප කළ ද, ආකර කම්කරුවන්ගේ එකමුතුකම ‘රතු බල්ලා‘ටත් නැන්සිටත් ජය අත්කර දෙයි. අතීතාවර්ජන හරහා දිවෙන වෘතාන්තය කෙළවර වන්නේ සිය ආදරණීය ස්වාමියාගේ සොහොන වෙත ගොස් එහිදී මිය යන ‘රතු බල්ලා‘ගේ ජීවිතාවසානයෙනි. ඩැම්පියර් නගරය එහි අනන්‍යතාව ලොවට පවසනු වස් නගරය අභියස රතු බල්ලාගේ ගම්භිර ප්‍ර‍තිමාව නිරාවරණය කරයි. නැන්සිත්, ඇය හමුවට එන නව ‘රතු බලු පැටියාත්‘ බටහිර ඕස්ට්‍රේලියානු කතරෙහි යකඩ සොයා පොළව කනින කම්කරුවන් හා එක්ව අනාගතය දෙස බලා සිටිති.

රත් පැහැ පොළව, පුළුල් කතරෙහි ගිලෙන රත් පැහැ හිරු, රක්ත වර්ණිත මානුෂ ගුණැති බල්ලෙකු හරහා අපට කියන ජීවිතයේ අපූර්වත්වය හා බැඳුණු අරුමැති කතා පෙළක් අපේ ඉදිරිය දෙසද පුළුල්ව බලන්නැයි අපට ආරාධනා කරන බවක් ‘රතු බල්ලා‘ කෙළවර ඔබට හැඟෙනු ඇත.

-ප්‍රියන්ත ෆොන්සේකා -   

1 comment:

  1. This is an amazing movie..
    and in this write up, Priyantha nicely capturing the essence of it..

    "රත් පැහැ පොළව, පුළුල් කතරෙහි ගිලෙන රත් පැහැ හිරු, රක්ත වර්ණිත මානුෂ ගුණැති බල්ලෙකු හරහා අපට කියන ජීවිතයේ අපූර්වත්වය හා බැඳුණු අරුමැති කතා පෙළක් අපේ ඉදිරිය දෙසද පුළුල්ව බලන්නැයි අපට ආරාධනා කරන බවක් ‘රතු බල්ලා‘ කෙළවර ඔබට හැඟෙනු ඇත."

    simply, beautiful writing..


    This is from an IMDB review..

    "Was is it a perfectly scripted and acted movie? Perhaps, not but all I know was that I was entertained from the minute it started to the minute it ended and I walked away feeling touched. Sometimes, that's all a movie should do."

    ReplyDelete