Wednesday, November 7, 2018

කලාව, (සෞන්දර්ය) අධ්‍යාපනය සහ රටේ දේශපාලනය

(2018 නොවැම්බර් 04 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

බැලූ බැල්මට, එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැති කරුණු කිහිපයකින් අද ලිපිය අරඹන්නට මට ඉඩ දෙන්න.

පසුගිය සතියක ‘අනිද්දා‘ වෙත ලියූ ‘දරුවන් තරු වෙත දැක්කීම සහ සෞන්දර්ය අධ්‍යාපනය‘ නමැති ලිපිය මාගේ බ්ලොග් අඩවියේ පළ කළ පසු එය දුටු, විදේශයක සිටින මගේ මිතුරකු මෙවන් අදහසක් දක්වා සිටියේ ය.

“අපේ රට බතින් බුලතින් හොඳටම සුඛිත මුදිත වෙලා හැම ප්‍රශ්නෙම විසඳිලා තියෙන හින්ද දැං මේ වගේ කාලෝචිත ප්‍රශ්න ගැන අවධානය දක්වන එක වැදගත්!“

පසුගිය සිකුරාදා හදිසියේම සිදු වුණු අගමැති මාරුව පසුබිම්ව පාර්ලිමේන්තුව කැඳවීම නොවැම්බර් 16 වැනි දින දක්වා කල් දැමුණු පසු, රට තුළ පැන නැගුණු දේශපාලනික අස්ථාවරභාවය හා අනාරක්ෂිතභාවය පසුබිම්ව, ඊට එරෙහිව කලාකරුවන් හඬ නැඟූ තොරතුරු ෆේස්බුක් සමාජ ජාලය හරහා සංසරණය වූ තැනක ප්‍රමුඛ වෘත්තීය සංධානයක ක්‍රියාධරයකු සටහන් කර තිබුණේ මෙවන් අදහසකි.

“කළ යුත්තේ මෙසේ මෝඩයින් සේ හැසිරීම නොව උසාවියේ පිහිට පැතීම ය.“

මේ සියල්ලෙන් අනතුරුව මා මේ ලිපිය ලියන්නට සූදානම් වද්දීම දුරකථනයෙන් මා ඇමතූ සමීපතම ඥාතියෙකු කලාව ගැන කුමක් ලීවත් මේ පවතින දේශපාලන තත්වය ගැන වැඩිමනත් ලිවීම නොකරන්නැයි ආයාචනය කළ සිටියේ ය.

“වෙලා තියෙන දේවල් මදැයි. වැඩිය ඕවට අත දාන්න යන්න එපා. පාඩුවෙ හිටියම හරි!“

මුල් සටහනේ තරමක සෝපාහාසාත්මක ස්වරයකින් විදේශ රටක පදිංචි මිතුරා සඳහන් කරන්නේ අප මුලින් කතා කළ යුත්තේ රට තුළ ඇති ආර්ථික හා දේශපාලනික කඩාවැටීම් පිළිබඳ මිස කුඩා දරුවන් විකුණමින් කරන මාධ්‍ය භාවිතය හෝ සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ නොවන බව ය. දෙවැන්නා දේශපාලනික තත්වයන් හමුවේ සෘජුව මැදිහත් වන හා අදහස් දක්වන කලාකරුවන් ‘මෝඩයින් පිරිසක්‘ සේ දකියි. තුන්වැන්නා මට (හා මා වැනි අදහස් දක්වන්නන්ට) අනතුරු අඟවන්නේ නිහඬ වීමෙන් මිස ගැලවීමක් ළඟා නොවනු ඇති බවයි.


මේ සියලු අදහස් එක් තලයකට ගෙන විමසා බැලුවහොත් මෙවැනි අදහස් කිහිපයක් අපට පෙළ ගස්වා ගත හැක.

·         දේශපාලනික හා ආර්ථික, සමාජයීය කාරණා සෞන්දර්ය පිළිබඳ හා අධ්‍යාපනය (හා දරුවන්) පිළිබඳ සංවාදයන්ගෙන් හා මැදිහත්වීම්වලින් වියුක්ත, වෙනම කලාපවල පවතින ඒවා ය.
·         කලාකරුවන්ට දේශපාලනික හා සමාජ, ආර්ථික කාරණා තේරෙන්නේ නැත. ඔවුන් ඒ කලාපවලදී මෝඩයන් ය. (කොහොමටත් ඔවුන් කරමින් සිටියේ නැටීම, ගැයීම හෝ නාට්ටි කිරීම වැනි දෙයක් මිස සමාජ-දේශපාලනික සංවාද කිරීම නොවේ ය වැනි අදහසක් ද මේ පසුපස ඇත.)
·         කලාව හා (සෞන්දර්ය) අධ්‍යාපනය සම්බන්ධිත කලාපවල සිටින අපි කොහොමටත් මේ නොදන්නා (නමුත් බිහිසුණු බව පෙනෙන) දේශපාලනික කාරණාවලට කට දැමිය යුතු නැත. වඩා යහපත් හා සෞඛ්‍යාරක්ෂිත විය හැක්කේ ඇඟ බේරාගැනීම ය.

මෙරට කලාව සම්බන්ධ පොදුජන කථිකාව දිවෙන්නේත්, අදහස් ගොඩනැගෙන්නේත් මෙවැනි පසුබිම්වල බව සිට බව පැහැදිලි සත්‍යයකි. අප සියලු දෙනාගේ ඉදිරිය වඩාත් තීරණාත්මක ලෙස වර නැගෙන දේශපාලනික භාවිතය සඳහා සෘජුව මැදිහත් වීම හෝ අදහස් දැක්වීම කලාකරුවාට අනුචිත, තරම් නොවන, නොගැලපෙන හෝ නොතේරෙන තැනක තැබීම ඉතා දිගු අතීතයක සිටම කලාව හා සම්බන්ධිත දේශපාලනය සම්බන්ධයෙන් පැවති ප්‍රමුඛ අදහස ය. එසේම සෞන්දර්ය හා එක්ව ගැනෙන හෝ ඉන් ඔබ්බට ගිය සමස්ථ අධ්‍යාපනය, දරුවන්, ළමා අයිතීන් මෙන්ම කලාව හා කලා භාවිතයන් ද වැඩි පිරිසක් හඳුනාගනිමින් හෝ වර නගමින් සිටින්නේ පවතින දේශපාලනික කලාපයන්ට බොහෝ පිටත තැනක පවතින, එකිනෙකින් වියුක්ත සන්දර්භයන් ලෙස ය.

නමුත් සත්‍යය මෙහි විලෝමයයි.

අධ්‍යාපනය, කලාව හා සෞන්දර්යය, දරු පරපුර ආදී කලාප සියල්ල පිළිබඳ අනාගත ක්‍රියාකාරීත්වයන් හා පියවරයන් එහෙම පිටින්ම පවතින දේශපාලනික දෘෂ්ටිවාදී තානයන් සමග තකට තක ගැලපෙමින් ඉදිරියට යයි. ගුරුවරියක දණ ගැස්වීම, කලා කෘති වාරණය කිරීම, විශ්වවිද්‍යාලවල පවා විද්‍යාර්ථීන්ට ආචාර්යවරයා/වරිය වන්දනය කිරීම සඳහා සහ පැදකුණු කරමින් ඔවුන්ගේ අදහස් පිළිගැනීම සඳහා ඉල්ලා සිටීම, විශ්වවිද්‍යාල සෞන්දර්ය කලා ආචාර්යවරුන් කුඩා දරුවන්ට ‘තරු‘ බවට පත්වීම සඳහා බෞතීස්ම ලබා දීම, බහුතර ප්‍රේක්ෂක පිරිසක් රූපවාහිනී තිර අභියස ඒ දකිමින් කඳුළු සැලීම, කුඩා, අවිහිංසක දරුවන් තරු තරග හා ශිෂ්‍යත්ව තරගවල සිට සියලු තරගවලට ගුරු දෙගුරු කැමැත්තෙන්ම බැසීම, සාහිත්‍ය කලාදිය යට කරමින් ජ්‍යොතිෂ්‍යය වෙළෙන්දන් කරණම් ගැසීම ආදී එකිනෙකට සෘජුව සම්බන්ධ බව නොපෙනෙන බොහෝ කරුණු පැහැදිලි ලෙසම එකිනෙක මත අතිපිහිත වෙමින් පවතින රාජ්‍ය යාන්ත්‍රණයන් සඳහා සහාය ලබාදිය හැකි, අක්‍රීය, බියට පත් වුණු, අන්ධ බවට පත් වුණු හෝ ගිනිකණ වැටුණු පුරවැසියකු නිර්මාණය කරමින් සිටියි. (තවත් දීර්ඝ තොරතුරු සඳහා ලියනගේ අමරකීර්ති විසින් පරිවර්තිත මාර්තා නස්බෝම්ගේ Not for Profit: Democracy Needs the Humanities හි පරිවර්තනය වන ‘කලාව කුමකට ද?‘ කියවන්න.)

පුරවැසියකු ලෙස, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස, කලාව හා සම්බන්ධ ක්‍රියාධරයෙකු ලෙස මෙන්ම, හෝ එසේ නොවෙතත් අඩු තරමින් කුඩා දරු පැටවුන් දෙදෙනෙකුගේ පියෙකු ලෙස මේ අතිශය නිද්‍රාශීලී, දුර නොපෙනෙන, තත්‍ය හැඟීම් සහ සංවේදනාවලින් විනිර්මුක්ත සමාජ කණ්ඩායම යළි පියවි ලොව වෙත කැඳවීම සඳහා දායක වීම, ලිවීම, කතා කිරීම සහ ක්‍රියාත්මක වීම මම මගේ පරම වගකීමක් ලෙස දකිමි. මා මෙන්ම, යටකී ලෙස දේශපාලන අඳුරුවීම් පිළිබඳ සංවේදී ලෙස පෙරට පැමිණෙන කලාකරුවන් ද එම තත්වයන් හමුවේ සවිඥාණික බව මගේ අදහසයි.

පළමුව කලාව හා එහි භාවිතය පමණක් නොව ඒ සඳහා සෘජුව මැදිහත් වන කලාකරුවන් රටේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලන භාවිතය පිළිබඳව ද සවිඥාණිකව මැදිහත් විය යුතු ම ය. වඩා දියුණු පුරවැසි සමාජයක්, පොහොසත් ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණවලින් යුතු සමාජයක් සමාජ හා සංස්කෘතික වශයෙන් දියුණු අනාගතයක් කරා අප මෙහෙයවනු ඇති බැවිනි. ඒ හා සමග, වඩා හරවත් හා භාවිතයෙන් ඉහළ කලාත්මක එළඹුම් වෙත යා හැකි වන්නේ ද එවැනි පෙර දැක්මක් සහිත සමාජ පද්ධතියක් තුළ බැවිනි.

දරුවන් වඩා යහපත් හා සාධනීය, තරග මානසිකත්ව වලින්ම හිස් පිරී නැති, විවැරති මනසින් යුතු පිරිසක් බවට පත් කිරීම, දියුණු (සෞන්දර්ය) අධ්‍යාපනයක් කැඳවීම සඳහා අරගල කිරීම, සාහිත කලා කෙත් පුළුල් කොට ජ්‍යොතිෂ්‍යය හා ආගම් වෙළෙන්දන් සමාජයෙන් දුරස් කරවීම, වාරණය පිටු දකිමින් වඩා හරවත් කලා කෘති සේවනය සඳහා ඉල්ලා සිටින ප්‍රේක්ෂාගාරයක් තැනීම එකම වියමනක එක් එක් කෙළවරින් ඇතුළු විය හැකි, එක්ව බැඳුණු හුයවල් බඳු ය. මාගේ කුඩා පැටවුන් දෙදෙනා මෙන්ම සමස්ථ දිවයිනෙහි දරු පරපුර විෂයෙයහිවත් වඩා සාධනීය හෙට දිනයක් නිර්මාණය කිරීම සඳහා කලාව පිළිබඳ විවිධ කලාපයන් වෙත අවධානයන් කැඳවීමත්, ඒ සියල්ල හා බැඳෙන දේශපාලනික භාවිතාවන් හමුවේ ක්‍රියාත්මක වීමත් අත්‍යාවශ්‍ය බැව් මා දකින්නේ එහෙයිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -


No comments:

Post a Comment