Thursday, October 31, 2019

කලාව හා සංස්කෘතිය වෙත ඇස් දැල්වීම: පුරවැසියෙකුගේ ඇසින්


(2019 ඔක්තෝබර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

මෙම කුඩා තීරුව ලිවීම සඳහා ‘අනිද්දා‘ කලා පිටු සංස්කාරකවරයාගෙන් ආරාධනය ලැබුණු අවස්ථාවත්, එහිදී ඇතිවූ කෙටි සංවාදයත් මට අදටත් හොඳින් මතක ය.

“සිනමාව ගැන ලියන්න ද ඕනෙ?“

“නෑ. සාහිත්‍යයයි කලාවයි ගැන පොදුවේ ලියනව නම් හොඳයි!“

ආරාධනය පිළිගනිමින් එදා පටන් අද දක්වාම ලියමින් පැමිණියේ සාහිත්‍යය හා කලාව මෙන්ම ඒ හා බැඳුණු ක්ෂේත්‍ර ඔස්සේ අවධානය යොමු කරමින්, පොදුවේ සංස්කෘතික පුරවැසියෙකු මුණගැසෙන හා සාහිත කලා කෙත් පිළිබඳ දැල්වුණු ඇස් ඇති සමාජයක් ගොඩ නැගීම සඳහා වන අරමුණක් පෙරදැරිව ය. මේ ලිවීම අරඹා දැන් වසරකට වඩා ගත වී ඇති අතර, ඒ අතරතුර මුණගැසෙන නියත දේශපාලනික අවස්ථාවක් අප අභියස මේ වන විට ඇත. ඒ ජනපතිවරණයයි.

ජනපතිවරණයත්, ඒ හා සමග ඉදිරි වසර තුළ හමුවන්නට ඉඩ ඇති මහ මැතිවරණයත් මා හා සමග මේ පුවත්පතේ ඔබ දකින මෙම සාහිත කලා අතිරේකයේ ලියන බහුතර සහෘද ලේඛකයින් මෙන්ම මෙහි නොලියන නමුත් ක්‍රියාකාරීව මැදිහත් වෙමින් උන් පිරිසක්, අනවරතව අවධානය යොමු කරමින් උන් කලාපයක් වෙත තවත් පිරිසකගේ සුවිශේෂ අවධානයක් යොමු වන්නට කටයුතු යෙදෙන සමයකි. ඒ කලාව හා සංස්කෘතියයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, විරැකියාව, ආර්ථික අර්බුදය, ණය බර වැනි මාතෘකා අතර තරමක් පහළින් හෝ නමුත් සාමාන්‍ය සමයට වඩා වැඩි අවධානයකින් ‘කලාව හා සංස්කෘතිය‘ පිළිබඳ සඳහන ද හමුවීම මැතිවරණ සමයන්හි නියත සාධකයකි.

කෙසේ වෙතත්, මෙවර ජනපතිවරණ තරග වේදිකාව තුළ, ගෙවුණු දශක ගණනාවක ඔස්සේ පැමිණෙන විට හමු නොවුණු ‘කලාව හා සංස්කෘතිය‘ පිළිබඳ සුවිශේෂ අවධානයකින් ලියැවුණු වෙනම ලියැවිල්ලක් හමුවෙයි. ඒ පසුගිය 20 වැනි ඉරිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී එළි දක්වන්නට යෙදුණු ජාතික ජන බලවේගයේ ‘කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය‘යි. සෑම මැතිවරණයකදීම පාහේ ප්‍රධාන පක්ෂ විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු ප්‍රතිපත්ති ප්‍රකාශනවල ‘කලාව හා සංස්කෘතිය‘ පිළිබඳ ලියැවුණු පරිච්ඡේදයක් හෝ නැතිනම් අංගයක්, උප කොටසක් හෝ හඳුනාගත හැකිව තිබුණ ද අදාල පක්ෂය ‘කලාව හා සංස්කෘතිය‘ සම්බන්ධයෙන් දරණ ප්‍රතිපත්තිය කවරේදැයි දීර්ඝ ලෙස වෙන්ව ගෙන ප්‍රකාශයට පත් කළ අවස්ථාවක් වී දැයි සැක සහිත ය. එසේ හෙයින්, පුරවැසියෙකු වශයෙන් මෙන්ම ‘කලාව හා සංස්කෘතිය‘ පිළිබඳ ක්‍රියාකාරී විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු හා සමාජ ක්‍රියාධරයෙකු වශයෙන් එළිදක්වා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය විමසීමට හා ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇරඹීමට ආරාධනා කිරීම අගනේ යැයි විශ්වාස කරමි.

ජාතික ජන බලවේගය හා එන ජාතික විද්වත් සංවිධානයේ කලා හා සංස්කෘතික අනුකමිටුව (සෙසු ක්ෂේත්‍ර සඳහා වෙන් වෙන් අනුකමිටු සිදු කළ බැව් කියැවෙන පරිද්දෙන්ම) ස්වකීය විෂයය ක්ෂේත්‍රය අරඹයා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කොට ඇත. දේශපාලනික වශයෙන් අප කුමනාකාර මතිමතාන්තරයක් දැරුව ද, අදාල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අදහස්වලට කුමන මට්ටමකින් එකඟ වූව ද, නොවූව ද මෙම මැදිහත්වීම සාධනීය බැව් ‘සිතන්නට හැකි‘ සෑම පුරවැසියෙකුගේ අදහස වනු ඇතැයි සිතමි. එයට පළමු හේතුව, කලාව හා සංස්කෘතිය වෙන්ව සහ ගැඹුරින් ගෙන, ස්වකීය සමාජ- දේශපාලනික හා සංස්කෘතික දැක්ම තුළ හිඳිමින් ඒ ජනගත කරන්නට පෙළඹෙන සම්ප්‍රදායක් මෙයින් ආරම්භ වීමයි. දෙවැනි හේතුව, මෙම පියවර සෑම ප්‍රධාන පක්ෂයක්ම හා පෙරමුණක්ම සාධනීය ලෙස පිළිගතහොත් (ඔවුන් එය නියත වශයෙන්ම සළකා බැලිය යුතුය යන්න මගේ විශ්වාසයයි.) ස්වකීය පක්ෂයේ හා/හෝ පෙරමුණේ කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය ද (සෙසු අංශවල ප්‍රතිපත්ති සමග) වෙන්ව හෝ විස්තරාත්මකව ජනගත කරන්නට ඔවුන්ට බල කිරීමයි. එහි සාධනීය අනාගත සාධකය වන්නේ කවර පක්ෂයක් හෝ පෙරමුණක් ජය ගත්ත ද කලාව හා සංස්කෘතිය සම්බන්ධව ඔවුන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව අප අත ඉතිරි වීමත්, ඒ ඔස්සේ ක්‍රියාත්මක වීමට ඔවුන්ට බල කිරීමට පුරවැසියාට ඉඩ ලැබීමත් ය.

එය සාධනීය සාධකයක් වන්නේ ඇයි?

නිදහසින් පසු බලයට පත් වුණු සෑම ආණ්ඩුවක්ම පාහේ කලාව හා සංස්කෘතිය අරඹයා කටයුතු කොට ඇත්තේ එකම නිශ්චිත ආකෘතියක සිට ය. එහිදී ඡන්දය සමග කලාව හා සංස්කෘතිය හා සබැඳෙන යම් යම් ආකර්ෂණීය මාතෘකා මෙන්ම පොරොන්දු වේදිකාවල තබා ඇති ඔවුහු ඡන්ද විමසීම් කෙළවර වූ වහාම ඒ සියල්ල යළි පෙට්ටගම්වල දමා වසා දමා ඇත. ඡන්ද සමයේ සාකච්ඡා විමසන විට පෙනී යන්නේ ද, කලාව හා සංස්කෘතිය වටහා ගැනීම හා නිර්වචනය කිරීම පිළිබඳ ඔවුන් වෙත වූ අසමත්කමයි. අසීමිත අවස්ථාවලදී ඔවුන් සංස්කෘතිය හඳුනාගෙන ඇත්තේම අතීතකාමී හා සිංහල බෞද්ධ ජාතිකවාදී මූල කථිකාව හා එක්ව යන තැනක තබමිනි. සම්ප්‍රදාය යනු ගලා යන ප්‍රවාහයක් බව ද, සංස්කෘතිය යනු කලාව මතු නොව මානව චර්යාවන්, ජීවන ක්‍රමයන්, ඇදහිලි, සම්ප්‍රදායන් සහ අගයන් එක්ව ගැනීමක් බව ද වටහාගන්නා ලද ස්වභාවයක් ඒ බොහෝ ප්‍රකාශනවල නැත.

සංස්කෘතික අමාත්‍යාංශයක්, ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් හා නිලධාරි පිරිසක්, පළාත් අමාත්‍යාංශ පෙළක් හා ඒ ඒ පළාත් සඳහා යළි ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා නිලධාරිවරු පෙළක්, සංස්කෘතික නිලධාරීන් ලෙස නම් ලබමින්ම පත්වීම් ලබා ඇති රාජ්‍ය සේවකයින් එකතුවක්, සංස්කෘතික මධ්‍යස්ථාන ලෙස නම් ලබා ඇති ග්‍රාමීය හා නාගරික අවකාශවල හමුවන ගොඩනැගිලි සමූහයක් යනාදී වශයෙන් සංස්කෘතිය යන වචනය හා බැඳුණු රාජ්‍ය පද්ධතියක් අපට අදටත් රට තුළ හඳුනාගත හැක. වාර්ෂිකව ජාතික මට්ටමින් හා පළාත් මට්ටමින් එක් එක් කලා ‘ඉසව්‘ තනා, තරග පවත්වා සම්මාන උළෙල පැවැත්වීම සමග වයෝවෘද්ධ කලාකරුවන්ට නේක නම් සමගින් සම්මාන පිදීම හා ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානවල නැටුම් හා සංගීත වැනි පන්ති පැවැත්වීම හැර බරපතල ලෙස සංස්කෘතිය දෙස විමර්ෂණාක්ෂිය යොමුවීමක් මෙම රාජ්‍ය පද්ධතිය තුළින් කවර යුගයක හෝ සිදුවී ඇති බවට සාධක නැත. එවැනි ප්‍රබල මැදිහත්වීමක් වූයේ නම්, මහාචාර්ය ඒ.වී. සුරවීර සංස්කෘතික අමාත්‍ය ධූරය දැරූ සමය වැනි කාල සමවලින් පසු මහා සංස්කෘතික පිබිදීමක් හා කියවීමක් රට තුළ සිදුවිය යුතුව තිබිණ.

සාහිත්‍ය කෙතට සුවිශේෂ දායකත්වයක් දැරූ, වංග බසින් සිංහලයට සෘජුවම සාහිත්‍ය කෘති දායද කළ චින්තා ලක්ෂ්මී සිංහාරච්චි වැනි අපූර්ව ලේඛිකාවක් අකාලයේ රෝගීව මිය යෑම, අජිත් කුමාරසිරි හා චින්තක ගීතදේව වැනි පූර්ණ ලෙසම මහා ධාරාවෙන් විතැන්ව සිටින සංගීතකරුවන් ආන්තික කලාපවලට තල්ලු වීම, සිය පළමු සිනමා කෘතිය තිරගත කරගැනීමට නොහැකිව වසර ගණනක් බලා සිටින තරුණ සිනමාකරුවන්ගේ සංවිධානයක් බිහිවීම, ප්‍රාදේශීය සිනමා ශාලා වැසීයාම මෙන්ම පවතින සිනමා ශාලා පසුපස මාෆියාවක් ඇතිවීම, නාට්‍ය උළෙලකදී තරුණ නාට්‍යකරුවන් විරෝධතා පුවරු රැගෙන සම්මාන වේදිකාවට නැගීම, ජ්‍යෝතිෂ වෙළෙන්දන් උදේ පටන් රාත්‍රිය දක්වා මාධ්‍යවල කරණම් ගැසීම ඇතුළු බැලූ බැල්මට එකට නොපෑහෙන බොහෝ කරුණුවල මූල හේතුව පසුපස ඇත්තේ කලාව හා සංස්කෘතිය වටහාගැනීම පිළිබඳ හා ඒ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඇති දුප්පත් හා දෘඪ ප්‍රවේශ ගැන හැඟවුමකි.

ජාතික ජන බලවේගයේ ප්‍රවේශය පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පෙරමුණ හමුවේ අභියෝගයක් තනා ඇත. ඒ ඔවුන් තනන ප්‍රතිපත්ති මාලා මේ ඉක්මවූ තැනක් වෙත යොමු කිරීමේ අභියෝගයයි. අනෙත් අතට මේ සියලුම පෙරමුණු හා බලවේගවලට ද බලය ඇති හා නැති කවර අවස්ථාවකදී වුව භාවිතයේ දී ස්වකීය ප්‍රතිපත්ති හා බැඳී කටයුතු කිරීමේ වගකීම ද පැවරේ.

ඒ කුමන වපසරියක පැතිර ද?

උදාහරණයකට ජාතික ජන බලවේගය මෙම ප්‍රකාශනය ගෙන ආ විගස එහි ජනපති අපේක්ෂකයාගේ පක්ෂ නියෝජනය වන ජනතා විමුක්ති පෙරමුණ හා බැඳෙන (නැතිනම්, පෙරටුගාමීන් වෙත විතැන් වීමට පෙර බැඳී පැවති), විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ආදියේ ක්‍රියාකාරී මැදිහත්වීම් සමග මේ ප්‍රකාශනය ප්‍රතිමුඛ වෙයි. ප්‍රකාශනය යෝජනා කරන සංස්කෘතික සුඛනම්‍යතාව, සංස්කෘතියේ නාමයෙන් වෙන් කොට සැලකීම හා හිංසනය ආදිය ශිෂ්‍ය සංගම්වල අනුදැනුමෙන් හා ආශීර්වාදයෙන් ද පවත්වාගෙන යනු ලැබෙන (උප-සංස්කෘතියට අනුගත කිරීම ලෙස ශිෂ්‍යයින් අතර ප්‍රචලිත) නවක වදය හා ගැටෙයි. එවැනි සියලු අඩවිවල වඩා විවෘතව හා ස්වයං විවේචනාත්මකව කටයුතු කරමින් මෙන්ම, ඉදිරිගාමී ප්‍රවේශයක සිට කටයුතු කරමින්ම ජවිපෙට තමන් අත්වැල් බැඳගත් බලවේගයේ සංස්කෘතික ප්‍රතිපත්තිය හා පෙරට යා හැකි ය. ප්‍රතිපත්ති ලියා ගෙන ඒමේ පමණක් වැදගත්කමක් නැති බවත්, ජය ලද්දේ හා නොලද්දේ වුව සිය කලාපවල ඒවා ක්‍රියාවට කැඳවිය හැකි බවත් ඔප්පු කළ හැකි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

No comments:

Post a Comment