Tuesday, December 29, 2020

‘සෞම්‍යප්ප්‍රශ්ණය’ විසඳීම: විශ්වවිද්‍යාල සෞන්දර්ය අධ්‍යාපනය දෙස හැරී බලනු පිණිස...

(2020 ‍‍දෙසැම්බර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.)

මහාචාර්ය සෞම්‍ය ලියනගේ වෙනුවෙන්
සැදුණු විරෝධතා පෝස්ටරයක්!

පාලක සභාව එක්ව ගත් තීරණයක් හරහා, වසර කිහිපයකට පෙර සිදුවුණු සිද්ධියක් පදනම්ව මහාචාර්ය ධූරයෙන් ඉවත් කෙරුණු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටි මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා, පාලක සභාව විසින්ම සිය වරද පිළිගනිමින් හා නිවැරදි කරමින් යළි සේවයේ පිහිටුවා ඇත. ‘සෞම්‍යප්ප්‍රශ්නය’ ලෙස මවිසින් නම් කරමින් අරඹන මෙම අර්බුදය හා බැඳුණු සිදුවීම මෙරට සෞන්දර්ය කලා විෂයය දෙස යළි හැරී බලන්නට කාරණා රැසක් මතු කරවන බව මගේ යෝජනාවයි. එබැවින් අද ලිපියේ නිමිත්ත ‘සෞම්‍යප්ප්‍රශ්නය’යි.  

කෙසේ වෙතත්, මෙම ලිපිය ලියන්නට තීරණය කිරීමම මසිත තුළ දෙයාකාර හැඟීම් ජනිත කරවයි. පළමුවැන්න නම්, මහාචාර්ය සෞම්‍ය ලියනගේ වැනි තත් විෂයක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතකු අහිමි නොකරගන්නට සබුද්ධික වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ඇතුළු එහි පාලක සභාවේ සාමාජිකත්වය වෙත ගෞරව පූර්වකත්වය හා බැඳී නැගෙන හැඟීමයි. එය සෞන්දර්ය කලා විෂයය සම්බන්ධ ක්ෂේත්‍රය සමග හිඳ කටයුතු කරන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස මතුළ නැගෙන සංතෘප්තිය සමග යන්නකි. සෞන්දර්යය, වෙසෙසින් නාට්‍ය හා රංග කලාව විෂයයෙහි ජාත්‍යන්තර අත්දැකීමෙන් පරිණත, පිළිගත් විදෙස් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් දිනූ ශාස්ත්‍රඥයින් අප රට තුළ වන්නේ අතලොස්සක් වන මොහොතක මහාචාර්ය ලියනගේ යළි-කැඳවීම සතුටුදායක සිදුවීමකි. මසිත තුළ නැගෙන දෙවැනි හැඟීම මෙම සිදුවීම අපට සංඥා කළ සෞන්දර්ය අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ, වෙසෙසින් විශ්වවිද්‍යාල පසුබිමෙහි හඳුනාගත හැකි, අර්බුදය කෙතරම් බරපතල වූවක් ද යන්නයි. එය මහාචාර්යවරයා යළි-කැඳවීමෙන් මැකී නොයන තරමට බිහිසුණු ය.

‘සෞම්‍යප්ප්‍රශ්නය’ සමගින් ලාංකික සමාජයේ වෙසෙසි අවධානයට ලක් වූව ද මෙරට විශ්වවිද්‍යාලයන්හි සෞන්දර්ය හා ලලිත කලා ආයතන සම්බන්ධ අර්බුදය නිරන්තර අවධානයට හා සාකච්ඡාවට ලක් විය යුත්තකි. (යමෙක් මෙය සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය හා සම්බන්ධව සමාන බැව් යෝජනා කළ හැකි වුවත්, මාගේ යෝජනාව එය සමස්ථ සීමා ඉක්මවන තැනක වන බව ය.) සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, කැලණිය, පේරාදෙණිය, ශ්‍රී පාලි මණ්ඩපය හා ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාල හා මණ්ඩපවල සිංහල මාධ්‍යයෙන් ලලිත කලා, ප්‍රාසාංගික කලා හෝ සෞන්දර්ය කලාශ්‍රිත විෂයයන් අධ්‍යයනය කෙරේ. දමිළ මාධ්‍යයෙන් එය හැදෑරෙනුයේ යාපන විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්වවිද්‍යාලය යටතේම වන ලලිත කලාව සඳහා වන රාමනාදන් ඇකඩමියේත්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සහ ඒ යටතේම වන ස්වාමි විපුලානන්ද සෞන්දර්ය කලා අධ්‍යයන ආයතනයේත් ය. මොරටුව සහ රුහුණ වැනි විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලා යටතේ ලලිත කලා හෝ සෞන්දර්ය අධ්‍යයන ආශ්‍රිත කරුණු සාකච්ඡා කෙරෙන ස්ථාන මුණ ගැසුණ ද එම විශ්වවිද්‍යාලවල ඒ සම්බන්ධ උපාධි පිරි නැමෙන්නේ නැත. ඒ අනුව, සිංහල සහ දමිළ මාධ්‍ය පදනම්ව උපාධි පිරිනැමෙන තත් විෂයබද්ධ ආයතන 9කි.

දමිළ මාධ්‍යයෙන් ඉගැන්වෙන ආයතන පිළිබඳ මාගේ අවබෝධය සාපේක්ෂව අඩු තැනක පැවතිය ද පොදු තත්වය හමුවේ මේ සියලු ආයතන අභියස වන අර්බුදය සාකච්ඡාවට කැඳවීමට එය බාධාවක් බව නොපෙනෙන්නේ මෙය මුල පිරීමක් පමණක් බැවිණි. මේ සියලු ආයතනවලටම පාහේ බලපාන්නා වූ යටිතල පහසුකම් ආදියෙහි වන ගැටළු සම්බන්ධයෙන් සැවොම මා සමග එක් පෙරමුණකට පැමිණිය හැකි වෙතත්, මා නගන පැනය වෙනත් තැනක පවතින්නකි. යටිතල පහසුකම් විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ කලාපයන්හි සීමිත බව සැබෑවකි. සෞන්දර්ය හා බද්ධ තන්හිදී එය දැඩි අර්බුද නිර්මාණය කරන්නේ රංග ශාලා, පුහුණුවීම් සඳහා ශාලිකා, කලාගාර, තාක්ෂණික පහසුකම් යනාදී අදාල විෂයයන් සඳහා වන ආවේණික අවශ්‍යතා බොහෝ පාලකස්ථාන හඳුනා නොගැනීම හේතුවෙනි. ‘නාට්‍ය පෙන්වීම සඳහා ක්‍රීඩාගාරය භාවිතා කළ නොහැකි මන්දැයි’ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක හිටපු උප කුලපතිවරයෙකු විමසූ පුවත එවැනි එක් උදාහරණයක් පමණි. 

කෙසේ වෙතත්, ඒ සියල්ල පසෙක ලා අපට අප වෙතම හැරෙමින් ස්වයං-විවේචනාත්මකව අපගේ සීමාවන් විමසන්නට ‘සෞම්‍යප්ප්‍රශ්නය’ පසුබිමක් තනා දී ඇත. පළමුව, මහාචාර්ය සෞම්‍ය ලියනගේ යළි සේවයේ පිහිටුවීම සමග ඔහුගේ සේවය අහිමි කිරීම නිවැරදි නොවූවක් බවත්, එය යම් කුමන්ත්‍රණයක් බවත් යෝජනා කිරීම අසීරු නොවන්නකි. ඔහු ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාහට ද හා ඔහු ඉවත් කිරීමට හේතුපාදක විය හැකි කාරණා කවරේ ද යනාදී ගැටළු ඔස්සේ තාර්කිකව සිත යොමු කරන පොදු සමාජ පුරවැසියෙකුට වුව, අතීත සමය තුළ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ භූමිකාවට එරෙහිව පවතින්නට ඉඩ ඇති බලවේග පිළිබඳ සංඥා හඳුනාගත හැකි ය. මගේ යෝජනාව ඒ මහාචාර්ය ලියනගේ වෙත පුද්ගලිකව එල්ල වීමෙන් නොනවතින, සෞන්දර්ය කලාව හා බැඳුණු කලාත්මක භාවිතාවන් පිළිබඳ වන ශාස්ත්‍රාලීය ප්‍රවේශය වෙත පුළුල්ව එල්ල වන බලවේග පද්ධතියක් ලෙස හඳුනාගැනීම වඩා යෝග්‍ය බව යි.

ඒ ඇයි?

මහාචාර්ය ලියනගේ යනු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලද්වයකින් සිය ආචාර්ය උපාධිය දක්වා වන සුදුසුකම් සපුරා ගත්තෙකි. ඔහු ද්විභාෂික විද්වතෙකි. ගෙවුණු වසර කිහිපය තුළ මහාචාර්ය රස්ටම් බරුචා වැනි ලෝ ප්‍රකට විදේශ විද්වතුන් පවා මෙරට ශාස්ත්‍රාලීය සංවාද කලාපය තුළට කැඳවාලමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන කෙත පුළුල් බිමක් වෙත විහිදවූවෙකි. මහාචාර්ය ලියනගේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හේතුවෙන් බැබලුණේ නොව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය බැබලෙන්නට ඔහු පදනම සපයනායුරු බාහිරයේ සිටි අපට පෙනී ගියේ වරක් දෙවරක් නොවේ.

‘සෞම්‍යප්ප්‍රශ්නය’ නිර්මාණය කරමින් ඔහු වෙත එල්ල වූ බලවේග එකතුව ඔහුගේ වෘත්තිය අහිමි කිරීම තෙක් කටයුතු කිරීම ඔහුගේ මේ හැකියාව සහ පෞරුෂය වෙත වන ඊර්ෂ්‍යාවක් ලෙස යමෙකු යෝජනා කළ හැකි වෙතත්, ආයතනයක පාලක සභාවක් ඔහුට එරෙහිව පෙළ ගැස්වීමට තරම් වන සමාජ ඊර්ෂ්‍යාවක් ගැන සිතීම අසීරු ය. මේ නැගී පැමිණියේ සමස්ථ විශ්වවිද්‍යාල සෞන්දර්ය කලා හා සමාන්තර ක්ෂේත්‍රවල පවතින පොදු තත්වයට එරෙහිව සෞම්‍ය ‘සෞම්‍ය නොවන’ ලෙස ප්‍රතිමුඛ වීමේ ප්‍රතිඵලයයි. ඒ පොදු තත්වය කුමක් ද?

බොහෝ යටකී ආයතනවල මුණගැසෙන පෙරමුණු ආචාර්ය, මහාචාර්යවරු අති බහුතරය සිය සේවය ස්ථිර කර ගැනීමේ සහ උසස්වීමේ අවශ්‍යතා වෙනුවෙන් අදාල අධ්‍යයන පෙරට විහිදවූවන් මිස දැනුම් පිපාසාවෙන් නිරන්තරව පෙළෙමින් ශාස්ත්‍ර ගවේෂණයේ යෙදෙන්නන් නොවේ. ඔවුන්ට පසුපසින් පැමිණෙමින් සිටින ආධුනික කථිකාචාර්ය බලමුළු ද එම ක්‍රමවේදම අනුව යමින් සියලු කඩඉම් ජයගැනීම සඳහා වන පහසුම කෙටි මාර්ග විමසමින් සිටිති. විදේශ දැනුම සහිතව පැමිණෙන්නන් පිටු දැකීමෙන් ද, ද්විභාෂික උගතුන් හෙලා දැකීමෙන් ද ස්වකීය ආරක්ෂිත කලාප තනා ගනු පිණිසත්, තිර කරගනු පිණිසත් මෙම ඉහළ සහ පහළ කථිකාචාර්ය කණ්ඩායම් අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කරමින් සිටිති. ‘සෞම්‍යප්ප්‍රශ්නය’ නිර්මාණය වන්නේ මෙම ආරක්ෂිත කලාප බිඳ වැටෙන තරමට මහාචාර්ය සෞම්‍ය ලියනගේ පෞරුෂය ඉහළ නැගෙන විට ය.

සෞම්‍ය ලියනගේ යළි කැඳවීම සමග ‘ඔහු වෙනුවෙන් පෙනී සිටියවුන්ට තුති’ පුදා යළි හැරෙන්නට අපට අවසර නැත. හේතුව සෞන්දර්ය අධ්‍යාපනය හා ආශ්‍රිත කලාප සමග කටයුතු කරන්නට විශ්වවිද්‍යාල වෙත පියවර තබන්නට නියමිත අනාගත පරපුර ඉහත කී බහුතර එකඟතා කණ්ඩායම්වල සීමාකාරී මෙහෙයවීම්වලින් නොගැලවී ඇති බැවිණි. වඩා යාවත්කාලීන වූ දැනුමක් සමග සිය ශාස්ත්‍ර ගවේෂණ ලෝකය වෙත පැමිණෙන්නට සියල්ලන්ට බල කෙරෙන පෙරමුණක් වෙත යාමට ‘සෞම්‍යප්ප්‍රශ්නය’ යොදාගත යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -  

4 comments:

  1. දැන් ඔහුට නැවතත් ලැබිල නේද තිබ්බ පදවියම

    ReplyDelete
  2. මහාචාර්ය සෞම්‍යට වෙච්ච දේ මොකක් වුනත් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල යැපෙන්නේ මහජන මුදල් මත. එතකොට පොදුවේ හැමෝටම අදාළ වෙන නීති තියෙනවා, එහෙම නැතුව මෙයාගේ විෂය හරි ලොකුයි, ඒක නැතුව මොකුත් කරන්න බෑ එහෙම කතා නෑ. මෙතන සරලවම වෙච්ච වැඩේ මෙයා උපාධිය අරන් සම්පූර්ණ කරන්න තිබ්බ කාලය ගැන ගැටළුව. ඒක මුලින් හරි කියලා පස්සේ වැරදියි කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඒවා කතා නොකර ඇයි මේ නාට්‍ය කලාවක් ගැන කතා කරන්නේ?
    නාට්‍ය කලාව කරන කෙනාට ඒක තමයි වැඩේ, ඒක නැත්නම් මොනවත් නෑ ගානට කියවන්නේ. ඒත් අනෙක් විෂයන් කරන අයත් ඉන්නවා, ඒවත් වැදගත්. ඉතින් සෞම්‍යට තනතුරු ආපහු දෙන්න එයා කරන විෂයේ සම්බන්ධයක් තියෙන්න ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. බොහෝ යටකී ආයතනවල මුණගැසෙන පෙරමුණු ආචාර්ය, මහාචාර්යවරු අති බහුතරය සිය සේවය ස්ථිර කර ගැනීමේ සහ උසස්වීමේ අවශ්‍යතා වෙනුවෙන් අදාල අධ්‍යයන පෙරට විහිදවූවන් මිස දැනුම් පිපාසාවෙන් නිරන්තරව පෙළෙමින් ශාස්ත්‍ර ගවේෂණයේ යෙදෙන්නන් නොවේ. ඔවුන්ට පසුපසින් පැමිණෙමින් සිටින ආධුනික කථිකාචාර්ය බලමුළු ද එම ක්‍රමවේදම අනුව යමින් සියලු කඩඉම් ජයගැනීම සඳහා වන පහසුම කෙටි මාර්ග විමසමින් සිටිති. විදේශ දැනුම සහිතව පැමිණෙන්නන් පිටු දැකීමෙන් ද, ද්විභාෂික උගතුන් හෙලා දැකීමෙන් ද ස්වකීය ආරක්ෂිත කලාප තනා ගනු පිණිසත්, තිර කරගනු පිණිසත් මෙම ඉහළ සහ පහළ කථිකාචාර්ය කණ්ඩායම් අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කරමින් සිටිති. ‘සෞම්‍යප්ප්‍රශ්නය’ නිර්මාණය වන්නේ මෙම ආරක්ෂිත කලාප බිඳ වැටෙන තරමට මහාචාර්ය සෞම්‍ය ලියනගේ පෞරුෂය ඉහළ නැගෙන විට ය.


      විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයක නම් ඉන්නෙ, මෙන්න මේක පොඩ්ඩක් විමසලා බලන්න මිත්‍රයා. ඔබතුමා ලිපිය කියවලා නෑ හරියට.

      Delete
    2. ලිපිය නෙවෙයි පහුගිය කාලේ ඔය සෞම්‍යගේ ප්‍රශ්නය ගැන කතා කරපු ගොඩක් දෙනෙක් එක්කො සෞම්‍යගේ ප්‍රතිභාව ගැන කතා කළා.නැත්නම් මේක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරා. ඒකේ නම් දේශපාලන හේතු තිබ්බද කියලා නම් වෙනම හොයලා බලන්න ඕන දෙයක්. නමුත් දැන් මේ ලිපි ඇතුළුව සෞම්‍යගේ ප්‍රතිභාව ගැන කියනා ලිපි යම් හෙයකින් සෞම්‍ය තරම් ප්‍රතිභාවක් නැති කෙනෙකුට මෙවැනි දෙයක් වුනොත් දන්නෙ නැති ගාණට ඉන්නවද? ඔය ඇකඩමියාවට ඇතුළු වෙන්න සමහරු එක එක ගේම් දානවා වෙන්න පුළුවන්. නමුත් ඇයි ඒ වෙන මොකක් වත් නෙවෙයි එතන භුක්ති විඳින අති විශාල නියම හෝ අනියම් වරප්‍රසාද. ඒත් සාමාන්‍ය සිසුවෙක් අද මේ පාඨමාලා කරලා බලාපොරොත්තු වෙන්නේ සරලවම තමන්ට රස්සාවක් හොයාගන්න හැකි වෙයිද කියන එක. අන්න එතනදි ඔය සෞම්‍ය ප්‍රශ්නය කියලා දක්වන ප්‍රශ්නය එයාලට ගැටළුවක් වෙන්නේ නෑ. තවත් දුරට කියනවා නම් ඔය කියනා ඇකඩමික ප්‍රතිභාව මාරම ප්‍රශ්නයක් නම් ළමයි සෞන්දර්ය උපාධි කරලා තමන්ට රස්සා දිය කියන ගානට වැටෙන්නේ නෑ. මොකද සෞන්දර්ය විෂයයන් කරලා ශිල්පියෙක් වෙන්න පුළුවන් ඒත් ඒ තමන්ගේ හැකියාව මත. එහෙම නැතුව ඔය විෂයන්ට අදාළව ලංකාවේ කරන්න පුළුවන් වෙන්නේ ගුරු වෘත්තිය වගේ දෙයක් තමයි. ඒ නිසා ක්‍රීඩාගාරයේ නාට්‍ය පෙන්වන්න හැකියි කියලා කිව්වා කියලා විස්සෝප වෙන්න දෙයක් නෑ.

      Delete