Saturday, February 20, 2021

ක්‍රිකට් පිටියේ අර්බුදය වෙනම දැකීමේ අර්බුදය

 (2021 පෙබරවාරි 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.)


ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ නැගී ඇති අර්බුදය පිළිබඳ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ අතීත ප්‍රමුඛයින් සිදු දෙනෙකු සමග සිදු කෙරුණු රූපවාහිනී සංවාදයක් පසුගිය දා නෙත ගැටිණි. දකුණු අප්‍රිකානු සංචාරයත්, ඉන්පසුව යෙදුණු එංගලන්ත පිළේ ශ්‍රී ලංකා සංචාරයත් ඉතා ඛේදනීය ලෙස පරාජයට පත් වීමත් සමග, පසුගිය වසර කිහිපයක් මුළුල්ලේ නැගී එමින් තිබුණු ක්‍රිකට් පරිපාලනය සහ කණ්ඩායම පිළිබඳ සංවාදය යළි පෙරමුණට පැමිණ තිබුණු අතර, ක්‍රිකට් පිළිබඳ වැඩි අවධානයක් නිරතුරුව ලබා දෙන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සංවාදය කැඳවා තිබිණ. මූලාරම්භයේ දී අනුමාන කළ හැකි වූ ලෙසම, ක්‍රිකට් ක්‍රීඩා පිටිය හා සම්බන්ධව උන් අතීත ප්‍රමුඛයින් වූ බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, සනත් ජයසූරිය සහ අවිශ්ක ගුණවර්ධන සමස්ථ වැඩ සටහන පුරා පෙන්වා දුන්නේ ක්‍රමිකව නැගී ආ පරිපාලන අර්බුද ඇති වීමත්, ක්‍රීඩකයින් තුළ වූ විනය, සාමූහික වගකීම හා වගවීම, කණ්ඩායම් හැඟීම, පුහුණුවීම පිළිබඳ දක්වන උනන්දුව ආදිය බිඳීයාමත්, මුදල් සියල්ලම යට කරමින් නැගී සිටීමත් හේතුවෙන් ක්‍රිකට් බිඳ වැටී ඇති බව ය.

දැන් මේ අර්බුදය අපට වෙන්ව ගෙන සාකච්ඡා කළ හැකි ද? ඒ සාකච්ඡාව තුළ යමින් පමණක් විසඳුම් සෙවිය හැකි ද? මගේ පිළිතුර නම් නොහැකිය යන්නයි.

දේශපාලනිකව මේ ප්‍රශ්නය වටහා ගැනීමකින් තොරව මේ සඳහා විසඳුම් සොයනු නොහැකි යැයි අයෙකු තර්ක කරනු ඇත. තවකෙකු අතීතයේ පටන් නැගී ආ හා පසුව බිඳ වැටුණු ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනය එකිනෙක පිළිවෙලින් විමසා බැලීමකින් තොරව මෙය සිදු කළ නොහැක්කකැයි කියා සිටිනු ඇත. ඒ සියල්ල පසෙක තබනු නොහැකි වුවත්, පිටිය තුළ පෙනී යන, අසංවිධිත බවෙහි සංඥාව අප වටහා ගන්නේ කෙසේ ද? අප රට හා සමාන තත්වයන් තුළ වුව, එක් එක් කණ්ඩායම් තුළ හඳුනාගත හැකි ක්‍රීඩාශීලීත්වය, සාමූහික බව සමග වගකීම හා වගවීම දියව යාම අප හඳුනාගැනීමට ප්‍රවේශ විය යුතු මාර්ගය කුමක් ද? මෙතැනදී වර්ණපුර, රණතුංග, ජයසූරිය හා ගුණවර්ධන යන ක්‍රිකට් පිටියේ අතීත ප්‍රමුඛයින්ගෙන් පමණක් අපට විසඳුම් බලාපොරොත්තු විය නොහැක.

තත්වානුරූපීව මේ දැන් සංඥා කෙරෙමින් පවතින්නේ ගෙවී ගිය දශක කිහිපය මුළුල්ලේ ක්‍රමිකව බිඳ වැටෙමින් පවතින අධ්‍යාපනය හා සංස්කෘතික හර පද්ධතිය පිළිබඳ පසුබිමයි. දැන් අපට තාක්ෂණයෙන් පිරිපුන් පිති හරඹ ඥාණයක් ඇතැයි සඳහන් කුසල් මෙන්ඩිස් කෙනෙකු මුණ ගැසී අවස්ථාවෝචිත ප්‍රතිචාර සහිත පිති හරඹ ඥාණයක් සහිත කුසල් මෙන්ඩිස් කෙනෙකු මුණ නොගැසෙන්නේ එහෙයිනි. කඩුල්ල පිටුපස සංගක්කාර කෙනෙකු වෙනුවට දික්වැල්ල කෙනෙකු ද, පන්දුව රැගෙන දිව එන වාස් කෙනෙකු වෙනුවට ලක්මාල් කෙනෙකු ද, දඟ පන්දුව සිය සුරතට ගන්නා මුරලි කෙනෙකු වෙනුවට අකිල ධනංජය කෙනෙකු ද මෙලෙසම වර නගමින් වටහා ගත හැක. ගෙවුණු දශකය හෝ දෙක තුළ ලාංකික පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටුණු බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ට ලැබෙන ඡන්ද ගණන අවම වීම හේතුවෙන් පාසැල් ක්‍රිකට් නොසළකා හැරි බවටත් සඳහන් කෙරෙද්දී අප අමතක කර දමන්නේ පාසැල් පද්ධතියම, සියල්ල සමග, කොහොමත් බිඳ වැටී ඇති බව ය. දරුවකු පාසැල වෙත යැවීමේ දෙමාපිය චින්තනය ද පැවති පුළුල් සීමාවලින් විතැන් වී ඇති බව ය.

දැන් එළඹ ඇත්තේ සාමූහික තරගකාරීත්වය ඉක්මවූ අනෙකා පරයා යෑමේ තරගය ඉස්මතු කෙරෙන යුගයයි!

කණ්ඩායම් ක්‍රීඩා පිළිබඳ දශක කිහිපයකට පෙර සිදුවූ පූර්ව යොමු කිරීම්, අවම පහසුකම් මධ්‍යයේ වුව, සාමූහිකත්වයේ මූල සාධකය පදනම්ව නැගිණ. විශේෂයෙන් පාසැල් පසුබිමෙහි දී මේ ක්‍රීඩා නැගී තිබුණු ආකාරය, මෙය කියවන ඔබ මැදි වියට එළඹ ඇත්තෙකු නම්, අතීත ස්ව-පාසැල් අත්දැකීම් ඔස්සේ සැරිසරමින් විමසීම අගනේ ය.

“තමන්ගෙ පුතා ලකුණු 100ක් ගැහුවම විතරක් සතුටු වෙන, ඒ ටීම් එකේම වෙන දරුවෙක් හොඳට සෙල්ලම් කළොත් ඉරිසියා කරන අම්මල තාත්තල දැන් ඉන්නෙ!”

මෙවැනි උදාහරණ දෙබස් පාසැල් ක්‍රීඩා පිටි අසබඩින් ඇසෙන්නේ ඉඳහිට නොවේ. 5 වසර ශිෂ්‍යත්වයේ පටන් නංවා තැබෙන තරගකාරීත්වය විසින් ආකෘතිගත කර ඇති ‘දෙමාපිය-දුදරු යන්ත්‍ර’ සාමූහික වගවීම් හා වගකීම් සහිත, ක්‍රීඩාශීලි ගුණය උතුරන, ක්‍රීඩාවක ජීව ගුණය මතු කොට ඔප් නංවන පසුබිමක් තනා දෙතැයි විශ්වාස කළ නොහැකි ය.

එසේනම් අප විසින් සිදු කළ යුත්තේ කුමක් දැයි ඔබ මවෙතින් විමසන බව මම දනිමි. අපට ඒ සඳහා කළ හැකි විශ්වකර්ම පියවරයන් නොමැත. අධ්‍යාපනය ප්‍රමුඛව තබමින් වඩා සාධනීය හෙට දවසක් වෙනුවෙන් තුංග පුරවැසියෙකු තැනීම සඳහා වන ක්‍රියාකාරීත්වයක් සඳහා අපට මං විවර කළ හැකි නම් එය මේ සඳහා දිගුකාලීන, එනමුත් ප්‍රායෝගික, පිළිතුර බව පමණක් යෝජනා කළ හැකි ය. වඩා යහපත් සමාජ-දේශපාලනික වටපිටාවක් තැනීම ඒ සඳහා අත්‍යාවශ්‍ය පියවරකි.

ඒ සියල්ල අතරතුර, ඇතැම් විට හෙට, ශතකයක් දෙකක් සහ කඩුළු ත්‍රිත්වයක් ආදිය සමග, අපේ කණ්ඩායම දිනන්නටත් ඉඩ ඇත. එම ජයග්‍රහණ අප වටහාගත යුත්තේ බුද්ධිමත්ව ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

 සේයාරුව: © Getty Images

 

No comments:

Post a Comment